Tuesday, November 29, 2011

බුදු මල්ලියේ වද්දන්න එපා ලීස්එක ඉවරවුනාම රේස්එකේ යමු

අද කියන්න යන්නේ "වාක්‍ය" ගැන කතාය. වාක්‍ය යනුවෙන් සදහන් කලේ වාහනවල පිටුපස ඇදඇති හෝ මුද්‍රණය කර අලවා ඇති පාඨයන් පිළිබදවය. මේව වැඩියෙන්ම ඇත්තේ තුන්රෝද රථවලය. මේ වාක්‍ය ඇදීම තුලින් බලාපොරොත්තු වන්නේ හාස්‍ය රසයක් ගෙනදීම හෝ යම්කිසි තේරුමක්-තම ජීවිතයට හෝ වාහනයට සම්බන්ධ සිද්ධියක්-විදහා දැක්වීම වියහැකිය. කුරුටු ගී අඩංගු නොවන පොදු වැසිකිළි මෙන්ම මෙවැනි වාක්‍ය අඩංගු නොවන තුන්රෝද රථ සොයාගැනීම උගහටය.

මගේ මිත්‍රයෙක් ලගදි ට්‍රක් රථයක් මිලදීගත් අතර එය දන්නා කියන රියදුරෙකු හට භාරදෙනලදී. දින කිහිපයකට පසු දුරකථන ඇමතුමක් ගත් රියදුරු විමසා ඇත්තේ වාහනයේ පිටුපස දොරට යම් පාඨයන් ඇලවීමට අවසර ඇත්දැයි දැනගැනීමටයි. නමුත් ඒවනවිටත් කාර්ය කර අවසන් බව මිතුරා ප්‍රකාශ කරන්නේ හාස්‍යයෙනි.

මාත් යහළුවෙකුත් අප හදුනන තවත් වැඩිහිටියෙකුත් මෙම මාතෘකාව ගැන කථා කරමින් සිටි අතර එහිදී සදහන් කෙරුණු වාක්‍යක් එවකට ලොරියක හිමිකරුවකු වූ ඉහත සදහන් කල වැඩිහිටි පුද්ගයාගේ සිත ගතී. එය නම් "වමෙන් ගියත් දකුණෙ කොල්ලො" යන්නයි. ඔහු එම වාක්‍ය තම ලොරියේ පින්තාරු කලත් දකුණෙන් ගෙනා බල්ලෙක් බළලෙක්වත් ඔහුගේ නිවසේ නැත.

අම්මේ ඔබ බුදුවේවා, අම්මා පෙව් කිරි කදුලිනි මේ ලොව මෙතරම් හැඩවුනේ... මේ මා දැක ඇති අම්මා ගැන සදහන් වැකිය.

අම්බලන්ගොඩ ඇති තුන්රෝද රියක අලවා ඇති ස්ටිකරයට සදහන් වන්නේ "ආදරයේ උල්පත වූ නැන්දා" යන්නයි. ඒ පුද්ගලයා කුඩාකල මවුපියන් අහිමි වූ විට රැකබලාගෙන ඇත්තේ ඔහුගේ නැන්දා වන අතර ඇයට උපහාර ලෙස "ආදරයේ උල්පත වූ අම්මා" යන වාක්‍යයේ අම්මා වෙනුවට නැන්දා ආදේශ විය.

තුන්රෝදරථ හැරුණු විට මෙවැනි පාඨ සදහන්වන අනෙක් වාහනය වන්නේ පෞද්ගලික බස් රථයන්ය. මේටට හේතුව පෞද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් සහ තුන්රෝදරථ ධාවකයන් එකම සමාජ ස්ථරයක අයවලුන් වීම විය හැකිය.

බස්රථ වල බොහෝවිට දක්නට ලැබෙන්නේ මෙවැනි වාක්‍යන්ය.
රජවෙන්න නෙවේ මේ උත්සාහය දවසෙ ගාන හොයාගන්න.
පිඹගෙන් එන්නේ ඉඹගෙන යන්නද?

මීට අමතරව ආදරය සම්බන්ධ වැකි දක්නට ලැබෙන අතර ඒ පිළිබදව වෙනම කථාකල යුතුය.

මෙවැනි වාක්‍ය අතුරින් වඩාත්ම මාගේ සිත්ගත් වාක්‍ය වන්නේ ගෙවීමේ ක්‍රමයට බසයක් මිලදීගත් රියදුරෙකු අදින ලද මෙම වාක්‍යයි.

"බුදු මල්ලියේ වද්දන්න එපා. ලීස්එක ඉවරවුනාම රේස්එකේ යමු"
ඔබේ මතකයේ රැදී ඇති මෙවැනි "වාක්‍ය" පහතින් දක්වන්න.

Friday, November 25, 2011

ඖෂධීය පනා, වද බෙහෙත් (ටිකක් හිනාවෙන්න)

අද කියන්න යන්නෙ අපේ ග්‍රාමසේවක රාලහාමිල කිහිපදෙනෙක් කරපු මගෝඩි වැඩ ටිකක් ගැනයි. මේ සිද්ධි දෙකට රාලහාමිලා හතරදෙනෙක් සම්බන්ධය.
දවසක් මේ දෙන්නෙක් සෙට්වෙලා,ඒත් අනුමත වෙන්න සල්ලිනෑ. දෙන්න කල්පනා කර කර ඉන්නකොට එනව එතෙන්ට තවත් රාගහාමි කෙනෙක්. මෙයාගෙ කොන්ඩෙ සම්පූර්ණයෙන්ම සුදුපාටයි. පෙර සූදානමක් නැතුව අර දෙන්න පටන් ගත්ත මේවගේ කතාවක්.
රාලහාමි 1: මේ එහෙනං මටත් ගෙනත් දියං අර ජාතියෙ පනාවක් ඔය සල්ලි වලින්.
රාලහාමි2 : හරි හරි ඒවා වැඩිය තිබුනෙත් නෑ, මම කොහොමහරි ගේන්නංකො. මුදලාලිත් මම ටිකක් අදුරනවා.
රාලහාමි3 : මොකක්ද පනාවක් ගැන කිවුවෙ?
රාලහාමි1 : නෑ මේ මූට හම්බඋනාලු කොළඹදි පනාවක්. පීරුවම කොන්ඩෙ කළුවෙන...
රාලහාමි3 : නෑ.... කීයද එකක් මටත් එකක් ගෙනත් දෙන්න බැරිද?
රාලහාමි 2: තියේවිද දන්නෑ බං. එකක් නං හාරසීය පනහයි.(ඒකාලෙ ගල් බෝතලේ තුන්සීය ගානයි).
රාලහාමි 3:(මුදල් දෙමින්) අනේ කොහොමහරි මටත් එකක් ගෙනෙං.
රාලහාමි1 හා රාලහාමි2 සතුටින් පිටව යයි. පනාව මතක් කලවිට රාලහාමි3 ගෙන් හොදවයින් දෙකක් අසාගතහැකිය.
************************************************************
තවත් රාලහාමිකෙනෙක් මුදල් නැතිව සිටින්නේ අනුමතවීමට නොහැකිවය. මේ අතර දන්න කියන පශුවෛද්‍යතුමෙක් මෝටර් සයිකලයෙන් පැමිණේ.
පශුවෛද්‍යතුමා : ආ... මොකද කරන්නෙ?
රාලහාමි : කරන්න දේකුත් නෑ..... සල්ලිත් නෑ...
පශුවෛද්‍යතුමා : යංකො මාත් එක්ක.
(දෙදෙනා පිටවීයයි. ටික දුරක් ගොස් නිවසකට ගොඩවේ. නිවස හිමි කාන්තාව සමග ටිකක් කතාකරගෙන යද්දී..)
කාන්තාව : අනේ ඩොක්ට, අපේ බල්ල කන්නෙ නෑනෙ දැං. ලෙඩක්ද දන්නෙ නෑ නේද?
පශුවෛද්‍යතුමා : ආ... මේ දවස්වල තියන ලෙඩක්නෙ ඕක. ඕකට ඉන්ජෙක්ෂන් එකක් තියනව. ගැහුවම හරි.
කාන්තාව : අනේ ඩොක්ට ලග නැද්ද ඒක.
පශුවෛද්‍යතුමා : තිබුන මගේ හිතේ.
(බෑග් එකෙන් සිරිංජයකට කුඩා කුප්පියක ඇති සේලයින් දියරය ගෙන පැමිණේ)
පශුවෛද්‍යතුමා : ආ මේක විද්දම හරි.
(බල්ලාට සේලයින් එන්නත් කරයි:D)
කාන්තාව : බොහොම ස්තුතියි ඩොක්ට. කීයද ගාන?
පශුවෛද්‍යතුමා : ආ....ඕක රුපියල් හාරසිය හැත්ත ගානයි.
(මුදල් රැගෙන පිටවී යයි.ටික දුරක් ගොස් තවත් නිවසකට ගොඩවදී)
නිවැසියා: ඩොක්ට, අර බැළලි පැටව් ගැහුවනේ?
පශුවෛද්‍යතුමා : ආ... එහෙමද එහෙනං මං හිතන්නෙ පැටවු ලැබෙන්න ඉන්නකොට තමයි ඒක ගහන්න ඇත්තෙ. (වැඩිවේලා නොසිට නිවසින් පිටව යයි)
රාලහාමි : ඒ මහත්තයෝ අර මිණිහ කිවුවෙ මොකක් ගැනද?
පශුවෛද්‍යතුමා : නෑ බං මම බැළලියෙකුට බේත් විද්ද පැටවු හම්බවෙන්නෙ නැතිවෙන්න. දෙපාරක් විදල සල්ලි ගත්ත අදත් ආවෙ බයිට් එකේ ගාන හොයාගන්න. කොහෙද ඒකි පැටවු ගහලනේ.
(දෙදෙනා තැබෑරුමක් සොයා යයි)

Wednesday, November 23, 2011

මාර්ගඵල ලාභියෙකුගේ උදාන ගීතය.

මේ දිනවල මාර්ගඵල ලාභියකු ගැන අසන්නට ලැබේ. ඒ අන් කිසිවෙකු නොව පිටිදූවේ සිරිධම්ම හිමියන් ගැනය. උන්වහන්සේ සකෘදාගාමී මාර්ගඵලය ලැබූ බව වදාරණ අතර විරුද්ධ මතධාරීන්ට අනුව උන්වහන්සේ මාණසික රෝගියෙකි. එහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වුවත් මා සදහන් කරන්නට යන (වික්ටර් රත්නායකයන් ගයන) මේ ගීතය අඩුම තරමින් සෝවාන් මාර්ගඵලය හෝ ලැබූවකු විසින් ගයන ලද්දක්දැයි සිතේ.

ගීතය මෙසේය,
අරුණළු පැතිරෙන හිමිදිරි යාමේ....
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ....
හිමියනි මං බුදු රැස් දැකගත්තෙමි....
හිමියනි මං බුදු රැස් දැකගත්තෙමි....
කළුවර ගොණුකොට ගිමන් දවන මග....
ගමන් කලෙමි දුර සසර පුරා....
පස්කම් සම්පත් එක්තැන් කරගෙන....
ගමන් කලෙමි දුර සසර පුරා....
මහ කරුණාවේ සිසිළ ගලා එන....
බුදු හිමියනි ඔබෙ මෙත් දහරේ....
නැහැවෙමි සසරෙහි කෙළෙස් මුදාහැර....
බුදු හිමියනි ඔබෙ මෙත් දහරේ....

බුදුන් දැකීම හෝ බුදු රැස් දැකීම යනු ආගමික අර්ථයෙන් ගත්කල සත්‍යාවබෝධයයි. බුදුන් දැකිය හැක්කේ සත්‍යාවබෝධය ලැබූ තැනැත්තාටය. "අරුණළු පැතිරෙන හිමිදිරි යාමය" සංකේතවත් කරන්නේ දවසේ යහපත්වූ කාලය වන අතර බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබුවේද මේ කාලයේය. ගයන්නා තම සිතුවිලි තුලින් බුදු රැස් දුටු බව කියැවේ.

දෙවැනි පද සතරෙන් කියවෙන සියල්ල මේවනවිට අතීතයට එක්වූ දේවල් බව "ගමන් කලෙමි දුර සසර පුරා" යන්නෙන් කියැවේ. එයින්ද ගම්‍ය වන්නේ ඔහු කෙළෙස් නැසූවකු බව නොවේද? මේ කරුණ සනාථ කරන අනෙක් සාධකය වන්නේ අන්තිම කොටසෙහි "නැහැවෙමි සසරෙහි කෙළෙස් මුදාහැර" යන පද පේලිය වේ.

මෙම ගීතය කෙළෙසුන් දුරුකල උතුමෙකුගේ උදාන වාක්‍යක් වන අතර අන්තිම පද සතරෙන් එය මනාව පැහැදිල්වේ.

youtube අඩවියේ ඇති ගීතය.

වික්ටර් රත්නායකයන්ගේ ගායනය සහ සංගීතය පිළිබද කරුණු දැක්වීමක් අවශ්‍ය නොවන්නේ ඒවා පරිපූර්ණ ලෙසම ඇති බැවිණි.

පක්ෂ-විපක්ෂ මත දැක්වීම් අගය කරමි.

Monday, November 21, 2011

මට හිතෙන හැටි.

පරිගණකය ඉදිරියේ හිදගත්තේ සතියකට පසුව බැවින් බ්ලොග් ලිවීමට හෝ කියවීමට නොහැකිවිය.(විශේශයෙන්ම දේශපාලන ලිපි). වෙන වෙනම ලිවියයුතු කාරණා කිහිපයක් ගැන එකම සටහනක පළ කිරීමට සිදුවන්නේ කාල වේලාවක් නොමැතිකමින්ය.

සරත් ෆොන්සේකා

නඩු තීන්දුවේ ඇති සාධාරණ අසාධාරණකම් ගැන කතා කිරීමට මෙය වේලාව නොවේ. සියල්ල සිදුවී අවසන්ය. ඉතිරිව ඇත්තේ අභියාචනා තීන්දුව ගැන බලාසිටීම පමණි. කෙසේ වුවද මෙම තීන්දුව හරහා ජාත්‍යන්තරයට යන පණිවුඩය වන්නේ "සුදු කොඩි රැගෙන පැමිණී එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට වෙඩිතැබීමට ගෝටාභය රාජපක්ෂ මහාතා ෂවේන්ද්‍ර සිල්වා මහතාට නියෝග කල බව එවකට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි" යන්න නොවේද? දැන් ලංකාවේ අධිකරනයකින්ම "ඔප්පුවී ඇති" ඇති එම චෝදනාවට උත්තර සොයාගැනීම රජයට සිදුවේ. "කුම්බලා මාළු කෑවාපන් විදවපන් බළලෝ".

ඉන්පසුව සදහන් කල යුත්තේ ලාංකීය සමාජයේ ඇති නොදැනුවත් භාවය සහ තමා යටත්වන නීති පද්ධතිය තුල ඇති අයිතිවාසිකම් පිළිබදව නොදැනීම යන කාරණය ගැන කතා කිරීමයි. මේ සදහාද ප්‍රස්තුතය වූයේ සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් යම් යම් අය විසින් විවිධ අවස්ථා වලදී දක්වන ලද අදහස්ය.(මෙවැනි අදහස් බ්ලොග් අවකාශයේද දුටුවෙමි).

"සරත් ෆොන්සේක චන්දෙ ඉල්ලුවෙ නැත්නම් පැන්ෂන් එකත් අරගෙන ලස්සනට ජීවත්වෙන්න තිබුන. දේශපාලනයට ආවෙ නැත්නම් ඔය ටික වෙන්නෙ නෑනෙ"

"සරත් ෆොන්සේකට මේ වෙච්ච දේට වගකියන්න ඕන ජෙප්පො.උං තමයි එයාව දේශපාලනයට ඇදල ගත්තෙ"

"ෆොන්සේකට තිබුනෙ එකපාරටම ජනාධිපතිතුමාට විරුද්ධව එන්නෙ නැතුව 2016 විතර චන්දෙ ඉල්ලන්න. එහෙම නැත්තං සංදානෙං ආවනං හොදම ඇමතිකමකුත් ගන්න තිබුනා"

‍ඉහත දක්වන ලද අදහස් වලින් ගම්‍ය වන්නේ කුමක්ද? මිණිසුන් තමාගේ අයිතිවාසිකම් තේරුම්ගෙන නොමැති බව හා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම නොවේද?

ෆොන්සේකාට ඡන්දයට ඉදිරිපත් වීමට අවශ්‍ය නම් 2016 වනතුරු බලා සිටිය යුත්තේ ඇයි?

රැකියාවෙන් විශාමගිය පසු තම ප්‍රධානියාට විරුද්ධවීම(දේශපාලනිකව) දඩුවම් ලැබියයුතු වරදක්ද?

මෙසේ සිතන ඡන්ද දායකයන් සිටින තාක් ලංකාවේ දේශපාලකයන්ගේ වර්තමාන තත්වය වෙනස් නොවනු ඇත.

වැදගත්- ෆොන්සේකා වැරදි නොකලා යයිද වැරදි කලානම් ඒවාට දඩුවම් නොදිය යුතු යයිද මා නොකියමි. ඔහු සිරගතවූයේ දේශපාලනය නිසා පමණක් බව දැඩිසේ විශ්වාස කරමි.

සරත් එන් සිල්වා.

ගොනා හැරෙන ඊලග පොල් පැලය සරත් එන් සිල්වා විය හැකිය. ඔහු අගවිනිසුරු ධූරය දැරූ කාලයේ දුන්නා යැයි කියන නඩු තීන්දුද නැවත සමාලෝචනය කරන බව වටින් ගොඩින් ඇසේ. මේ ගැන වඩාත් සතුටු වන්නේ(සහ ඊට වඩාත් වැඩි අයිතියක් ඇත්තේ) රාවය කතෘ වික්ටර් අයිවන් වියහැකිය. සරත් එන් සිල්වා මහතාගේ ධූර කාලයේදීම ඔහුට විරුද්ධව හඩනැගූ එකම පුද්ගලයා අයිවන් මහතාය.

එදා එන්සත් ජාතික පක්ෂය විසින් සරත් එන් සිල්වා මහතාට දෝෂාභියෝගයක් ඉදිරිපත් කලද ආණ්ඩුව විසින් එය පරාජය කරනු ලැබීමත් දැන් ඔහු එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන විට ආණ්ඩුව ඔහුව දංගෙඩියට යැවීමට සැරසීමත් දෛවයේ සරදමක් නොවේද? අපේ පැරැන්නන් "කලකදි වහලු කලකදි රස වෙනවාලූ" කියා කීවේ මෙයටය.

වැදගත්- සරත් එන් සිල්වා ලබාදුන් ඕනෑම නඩු තීන්දුවක් පරීක්ෂා කිරීම හෝ ඔහුගේ අතීතය හාරා ඇවිස්සීම නීතියට එකගය. එමෙන්ම අනෙකුත් සියල්ලන්ම සම්බන්ධයෙන්ද නීතිය එසේ වියයුතුය.

සනත් ජයසූරිය සහ ශ්‍රී ලංකා ක්‍රිකට්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයෙන් පසුව සියලු තරගාවලි පරාජයට පත්විය. විශේෂයෙන්ම එක්දින අනුශූරයන් මෙසේ එක්දින තරගවලින් පරාජය වීම විමතියට කරුණක් වන අතර ලෝක කුසලාන අවසන් තරගයට ක්‍රීඩා කල කණ්ඩායමෙන් අඩුවී ඇත්තේ මුරලිදරන් පමණි. ක්‍රීඩාවට රිංගාගත් දේශපාලනය මෙන්ම දිල්ෂාන්ගේ නායකත්වයද ඉවත් නොකලහොත් තත්වය මීටත් වඩා භයානක වීමට ඉඩ ඇත.

අනෙක් කරුණ මේ දිනවල මැදපෙරදිග සංචාරය සදහා සනත් ජයසූරිය විස්තර විචාරකයෙකු වශයෙන් සහභාගී වීම සම්බන්ධයෙනි. ඔබ ඔහුගේ විචාරයට සවන් දුන්නාද? ශ්‍රි ලාංකික විචාරකයන් අතරින් වඩාත්ම චෝදනා එල්ල වූ (දුර්වල දැණුම හා භාෂා හැසිරවීම සම්බන්ධයෙන්) රංජිත් ප්‍රනාන්දු මහතා ජයසූරියට වඩා කෙතරම් ඉදිරියෙන් සිටිනවාද! "බැරි වැඩ නොකරන් අබරෝ".

කතා කලයුතු අනෙක් කාරණාව වන්නේ සනත් ජයසූරියට මෙසේ අවශ්‍ය පරිදි පෞද්ගලික රූපවාහිණී නාලිකා සමග ගණුදෙණු කලහැකිද යන්නයි. මක්නිසාද යත් ඔහු ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන බැවිනි. එහෙත් ඔහුගේ වාසනාවට ඔහු සිටින්නේ ආණ්ඩු පක්ෂයේය.(එසේ නොවූයේ නම් ඔහු තවත් නුවන් හෙට්ටිආරච්චි කෙනෙකු වීමට ඉඩ තිබුනි). ඒ නිසා තව කාලයකට භයවීමේ අවශ්‍යතාවයක් නැත.

Monday, November 14, 2011

මෙච්චර දුර මෝටර් සයිකල් වල ගිහිං තියනවද?

මෝටර් බයිසිකල් ගැන පෝස්ට් එකක් දාන්න හිතේ තිබුනා ගොඩක් කාලෙක ඉදලා. ඒත් එන්න එන්නම වැඩේ පරක්කු උනා. දේවගේ මේ පෝස්ට් එක කියෙව්වම හිතුනා ඒක ඉක්මන් කරන්න. අනිත් එක දිනපතාම මෝටසයිකලෙං රවුං ගහන එකානෙ මං. ඒ නිසා ඒක මගේ ඇගේ කෑල්ලක් වගේ වෙලා ඉවරයි. සමහර වෙලාවට නෝන කියනවා "ඔයා මටත් වඩා මෝටසයිකලේට ආදරෙයි" කියල.

මම දැං පාවිච්චි කරන බයික් එක ගත්තෙ 2007 අවුරුද්දෙ. ඒ කාලෙ මම රස්සාව කලේ කොලඹ. බයික් එක ගන්නකොට ෆ්‍රී ලැබෙන(මුහුණු ආවරණය නැති) හෙල්මට් එකයි වැස්සට තෙමෙන ජැකට් එකයි දාගෙන කොලඹ ඉදල අවුරුදු නිවාඩුවට ගෙදර ආවෙ කිලෝමීටර දෙසීයක දුරක් ගෙවාගෙන ලයිසනුත් නැතිව. ඒ ගමනට පැය හයක් ගත උනේ එච්චර වේගයෙන් යනඑක බයික් එකට හොද නැති උන නිසා. කොහොම උනත් ගෙදර ඇවිල්ල වරුවක් ගතවෙනකනුත් මගේ ඇස්වල කදුළු එන්න ගත්තෙ සතුටට නං නෙවේ. මුහුණු ආවරණයක් නැතුව පැය හයක් එද්දී ඇස්වල ගියපු දූවිලි නිසා.

ඊට පස්සෙ හැමදාම ගෙදර යන්න එන්න පුරුදු උනේ බයික් එකෙන් තමයි. ගෙදර ගිහිං කොලඹ එන ටිකටම කිලෝමීටර හාරසීයක්!බයික් එකෙන් එන්න එපා කියල හැමදාම අම්මල කිව්වත් මම නෙවෙයි තුට්ටුවකට ගනං ගත්තෙ. පස්සෙ කාලෙකදී මම පුරුදු උනා කොළඹ එනකොට ගෙදරට කියන්නෙ නැතිව එන්න. මොකද මම එනකං අම්ම බලං ඉන්නෙ පපුවෙ බිත්තර තම්බන්න පුළුවන් ගානට නිසා. මම තරං දීර්ඝ බයික් සංචාර කරපු කෙනෙක් ලංකාවෙ ඉන්නවද දන්නෙ නෑ.

ඉස්සෙල්ලම බයික් එක අරගෙන නවගමුවෙ දේවාලෙට ගිහිං පඩුරක් එහෙම බැදල ඉන්න කියල ඉස්සර මම වැඩකල ඔෆිස් එකේ වැඩිහිටි මිස් කෙනෙක් කිව්වත් මම නෙවේ තුට්ටුවකට ගනං ගත්තෙ. කොහොමහරි 2008 අවුරුද්දෙ ගෙදර ගිහිං එනකොට හා හාපුරා කියල පලවෙනි ඇක්සිඩන්ට් එක උනා. ඊට පස්සෙ කස්ටිය කිව්වෙ බයික් එක විකුණන්න කියල. මම ඒවා එක කණකින් අහල අනෙක් කණෙන් පිටකලා. අදටත් මේ බයික් එක තමයි මගේ ලග තියෙන්නෙ. කවදහරි වැඩක් ගන්න බැරිවෙලා දිරල යනකංම මේක විකුණන්න නං මගේ අදහසක් නෑ.

අන්තිමට කියන්න යන්නෙ මම ගිය දීර්ඝම බයික් ගමන ගැන. මේක සිද්ධ උනේ මීට මාස දෙකකට විතර කලිං.මට ආරංචියක් ආවා කලිං වැඩකල ඔෆීස් එකේ යාළුවෙකුගෙ මරණයක්. ආරංචිය ලැබුනෙ ටිකක් හවස් වෙලා. එදාම යනවද පස්සෙ දවසෙ යනවද කියල වැනි වැනී ඉදපු මම හවස 5.00ට තිරණය කලා යනව කියල. 5.00ට බයික් එකේ ගෙදරින් පිටත්වුනු මම හෝමාගමට (කි.මී.200)රෑ 9.00ට ආව. මළගෙදර පැය කීපයක් ඉදල හරියටම රෑ 1.00ට එන්න පිටත්වෙච්ච මම ගෙදර ආවෙ උදේ 5.00ට.

බයික් පාවිච්චි කරන අය බ්ලොග් අවකාශයේ ඕන තරං ඇති. ඒත් පැය දොලහක් ඇතුලත කිලෝමීටර හාරසීය ගනනක් ගියපු කෙනෙක් ඉන්නවනං කියන්න බලන්න.

ප.ලි.- මෝටර් සයිකල් කරුවන්ගේ ප්‍රධානම සතුරා වන්නේ බල්ලාය.
ප.ප.ලි.- සතුරන් අතරට හරකා සහ පොලීසියද ඇතුලත් විය යුතුය.

Sunday, November 13, 2011

මග නැගුම.

ලොක්කට පිං සිද්ධවෙන්න
මාර්ග ටික තිතට තිබේ...
ඒත් කොහොම පි‍ඹල යම්ද
බාප්පලා බඹෙන් බඹේ.

Friday, November 11, 2011

විහිළු කතා. (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි)

ඇගිල්ලක තියන තුවාලයක් නිසා මේ දවස් ටිකේම පෝස්ට් දාන්නවත් කියවන බ්ලොග්වලට කොමෙන්ටු දාන්නවත් බැරිවුනා. වැඩිය දිග පෝස්ට් එකක් ටයිප් කරන්නත් අමාරු එකේ ‍පුංචිපහේ කතා දෙකක් දාන්නයි යන්නෙ. දෙකම දහඅට ප්ලස් නිසා පොඩි ලමයි අයින්වෙනව හොදයි. මේ කතා අහල තියනවද දන්නෙ නෑ. හැබැයි බ්ලොග් එකක නං මම දැකල නෑ.

පළවැනි එක බැටළුවො අයිත්කාරයෙක් ගැන. මෙයාට ඕන උනා බැටළුවන් රංචුව ගැබ්ගන්වන්න. ඉතිං මෑන් ගියා පශුවෛද්‍යවරයෙක් ලගට. කතාව අහල වෛද්‍යවරයා කිව්ව "හරි මට පුළුවන් වැඩේ කරන්න. සාර්ථක උනොත් බැටළුවො වැතිරිලා ඉන්නව බලාගන්න ඔයාටම පුළුවන්" කියල.

මෙතනදි බැටවවො අයිති මහත්මයා බරපතළ වැරදි වැටහීමක් ඇතිකරගත්ත, බැටළුවන්ව ගැබ්ගන්වන්නෙ දොස්තර මහත්තය අහවල් එක කරල තමයි කියල. ඉතිං මිණිහ කල්පනා කලා "ඕක මටත් කරන්න පුළුවන්නේ" කියල. එහෙම හිතපු මහත්තය ගෙදර ගිහිල්ල බැටළුවො රංචුව ලොරියට දාගෙන කැළේට ගියා. ගිහිල්ල උන්ට අහවල් කාරිය කලා. ඊට පස්සෙ දවසෙ බැලුව බැටළුවො වැතිරිලාද කියලා.

ම්හු! ඔක්කොම හිටිය වගේම ඉන්නවා. එදත් කැළේට ගෙනිච්චා. වැඩේ කලා. ගෙදර ආවා. ඇගටත් ටිකක් අමාරුයි. පහුවදා බැලුව, ඒත් ප්‍රතිඵලයක් නෑ.

තුන්වැනි දවසෙත් ලොරියට දාගෙන කැලේට ගිහිල්ල එකාට දෙපාර ගානෙ කලා. කරල ගෙදර ඇවිල්ල වැතිරුනේ මහත්තය.ඇයි හත්දෙයියනේ සුළුපටු රාජකාරියක්ද කලේ. උදේ වෙනකොට මෑන්ට නැගිටින්නත් බෑ. ඒගමන නෝනට කතාකරල කියනවා "බලන්න බැටළුවො ටික වැතිරිලාද ඉන්නෙ කියල" කියල.

ඒගමන නෝන බලල ඇවිත් කියනවා, "වැතිරිලා නං නෑ, අන්න උං ලොරියට නැගල ගේ දිහා බලාගෙන ඉන්නවා. ඔයා එනකං වෙන්නැති" කියල.

දෙවැනි කතාවත් දොස්තර කෙනෙක් ගැනම තමයි.

එක මණුස්සයෙක් බඩේ අමාරුවකට බෙහෙතක් ගන්න ගියා දොස්තර කෙනෙක් ලගට. ලෙඩා බලල දොස්තර කියනවා "මේකට වස්තියක් කරන්න ඕන. ඒක දාන්න වෙන්නෙ පස්ස පැත්තෙන්. ටිකක් රිදෙයි, ඒත් ඉවසගෙන ඉන්න බලන්න" කියල. මෑනුත් හා කියල ඉස්සරහට නැමිල ඉන්නකොට දොස්තර අදාල කාර්ය කලා. ඊට පස්සෙ කිවුව තවත් එකක් අතට දීල "මේක ගෙදර ගිහිල්ල තව පැය දෙකකින් විතර දාන්න, එතකොට හොදවෙයි" කියල.

මෑන් ගෙදර ගිහින් පැය දෙකකින් නෝනට කතා කරල කිවුව බෙහෙත දාන්න කියලා. නෝන මිණිහගෙ උර හිසට අතක් තියාගෙන බෙහෙත දැම්ම. එක පාරටම මිණිහ බණින්න ගත්ත

"........බල්ල" කියල. නෝන අහනවා "ඇයි ඔයා මට ඔය විදියට බණින්නෙ? මම කරපු වැරැද්ද මොකද්ද?" කියල. ඊට පස්සෙ මිණිහ මෙහෙම කියනවා,

"නෑ මම බැන්නෙ ඔයාට නෙවෙයි, අර දොස්තරයා මට ඕක දැම්මෙ උගේ අත්දෙකම මගේ උරහිස් වලට තියාගෙන"

Friday, November 4, 2011

මම O/L ඉංග්‍රිසි ලිව්ව හැටි.

ඉස්සෙල්ලම කියන්න තියෙන්නෙ ඊයෙ දවසෙ දාපු එකත් එක්ක බ්ලොග් පෝස්ට් පනහක් සම්පූර්ණ වුනා. මාස හතක කාලයකදී ලියපු ප්‍රමාණය ගැන හොදටම සතුටු වෙන්න පුළුවන්. එකඅතකින් බැලුවම බ්ලොග් ලිවිල්ල හරියටම වේදිකා නාට්‍යක රගපානව වගේ. අපි දාන පෝස්ට් වලට ප්‍රථිචාර ලබාගන්න පුළුවන් සුළු වේලාවකදී. පත්තරේකට, සගරාවකට හෝ වෙනත් විද්‍යුත් මාධ්‍යයකට දක්වන අදහසකට ඒ වාසිය ලැබෙන්නෙ නෑනෙ.

හරි දැන් කියන්න යන්නෙ මම ඕලෙවෙල් ඉංග්‍රීසි ලියපුහැටි.

ඒ කාලෙ අපේ ඉස්කෝලෙ ඉංග්‍රීසි ඉගැන්නිල්ලට වගේම ඉගනගැනීමටත් තිබුනෙ කුඩම්මගෙ සැළකිලි. මට මතකයි මම හත වසරෙ හරි අට වසරෙ හරි ඉන්නකොට මුළු අවුරුද්දක් පුරාවටම ඉංග්‍රීසි උගන්නන්න ගුරුවරයෙක් හිටියෙ නෑ. හිටියත් අපිට උනන්දුවකුත් තිබුනෙ නෑ. අන්තිමට කොහොම කොහොමහරි ඕලෙවෙලුත් ආව. ඉංග්‍රීසි දවසෙ අපිට තිබුනු ලොකුම ප්‍රශ්නය තමයි ඒ පැය තුන කොහොමද ගෙවාගන්නෙ කියනඑක:D

ඔන්න විභාගෙ පටන් ගත්තා. කස්ටියම ශීර්ෂ පහත් කරගෙන හිටිය වැඩිම උනොත් විනාඩි විස්සක් විතර. මොකද හිස්තැන් පුරවන්න, ඩරි ගහන්න තියන ප්‍රශ්න ටික ඉවර කරල. ඊට පස්සෙ එකා එකා වටපිට බලනවා මොකද කරන්නෙ කියල වගේ. මමත් එහෙම තමයි. මම මෙහෙම ඉන්නකොට මට අමුත්තක් දැනෙන්න ගත්ත. මට ඉස්සරහ ඉන්න එකා රචනාව ලියාගෙන යනවා එකසිය ගානට. මම කල්පනාකරල බැලුව මොකක්ද මේ සිද්ධ වෙන්නෙ? ප්‍රාතිහාරයක්ද? මොකද මට ඉස්සරහ ඉන්න එකා හැමදාම පන්තියෙ අන්තිම හරියෙ ඉන්න එකෙක් වීම නිසා.

එහෙ මෙහෙ යන පරීක්ෂකයන් නැති වෙලාවක් බලල මම කකුලෙන් තට්ටුවක් දැම්ම මුගේ පුටුවට. ඊට පස්සෙ මම ඇහුව

"උඹ මොනවද ඔය ලියන්නෙ? කොලයක්වත් ගෙනාවද බලං ලියන්න?" කියල.
එකපාරටම මූ කියපි
"නෑ බං මම මේ සිංහලෙන් ලියන්නෙ" කියලා......:D(ඒ කියන්නෙ සිංග්ලිශ් වලින්)

මාත් කල්පනා කලා කොහොමත් ෆේල් වෙනඑකේ කාලය හරි ගෙවාදාන්න පුළුවන් ඒ ක්‍රමේට ලිව්වොත්. අනිත්එක අරූට වඩා හොදට සිංහලෙන් රචනා ලියන එකානෙ මං.

මාත් ඊට පස්සෙ හැම ප්‍රශ්නෙකටම උත්තර සිංග්ලිශ් වලින් ලිව්වා. ඔය අතරෙ ශාලාධිපතිතුමා ඇවිල්ලා එකෙකුගෙ ප්‍රශ්නපත්‍රයක් අරගෙන. ඌ රචනාව ලියල තියෙන්නෙ වැරදි තැනක. ඊට පස්සෙ මගේ ලගට ආවා. ඇවිල්ල ගත්ත මගේ පේපර්එක. අරගෙන රචනාව තිබුනු තැන කාටත් පේන්න උස්සල කියනවා.

"මෙන්න මේවගේ තමයි ලියන්න ඕන" කියල.:D
අන්තිමේදී විභාගෙ ඉවරඋනාට පස්සෙ අනිත් එවුන් හිතුවෙ මට D තමයි කියල අර ලියපු ලිවිල්ලට.

Thursday, November 3, 2011

නමක් දෙන්න බැරි කතාවක්........

"මේක තමයි තැන"

ඒ, මා පිටුපසින් හිදුවගත් මෝටර් සයිකලයෙන් අදාල ස්ථානයට ලගාවූ මගේ යහළුවාගේ හඩය. විවෘත වූ ද්වාරයෙන් හිස යොමු කලෙමි. එය තරමක් විශාල සෘජුකෝණාශ්‍රාකාර කාමරයක් විය. කාමරයකටත් වඩා ශාලාවක් යනුවෙන් එය හැදින්වීම නිවැරදිය. එක් පසකින් පමණක් පියන් තුන හතරකින් යුත් ජනෙලයක් හැරදමා තිබුනි. ශාලාව මධ්‍යයේ විදුලිපංකාවක් පැවති අතර යන්තමින් පැවති අදුර මැකීමට මෙන් ශාලාවේ දෙපස විදුලි බුබුළු දල්වා තිබිණි.

"වරෙංකො යන්න" මිතුරා ඉස්සර විය.
"මචං....කවුද මේ... යාළුවෙක්ද?" ඔහු තරුණයෙකි.
"ඔව්. මගේ යාළුවෙක් එක්ක ආවා"
ඔහුගෙන් ඉවත්වී යාළුවා පසුපස යමි.

අප දෙදෙනා තවත් කණ්ඩායමක් පසුකරමින් ගමන්කලේ මගේ මිත්‍රයාගේ මිත්‍රයා සිටි දෙසටය.

"හා... මොකද පරක්කු?"
"පොඩ්ඩක් පරක්කු උනා මචං මූ එනකං හිටියා" ඉන්පසු සුපුරුදු හදුනාගැනීම්ය.
"බීපං සිගරට් එකක්" ඔහු මාදෙසට සිගරට් පැකට්ටුව යොමුකරයි. ඉන් එකක් ගෙන දෙතොලේ රදවා ගතිමි.
"ඉදා මට පරක්කු වෙනවා" නාදුනන මිත්‍රයා මගේ මිතුරාට යමක් දෙමින් පිටව යයි.
ඒ තුල කඩදාසි ගුලි දෙකකි. ඉන් එකක් ඇගිල්ලක් තරම් විශාල වූ අතර අනෙක කුඩා විය.
"උඹටත් නිකං වේලි වේලි ඉන්න බෑනෙ ඒකයි මේක ගෙන්නගත්තෙ"
මා ඔහු දුන් පැකට්ටුව දිගහරින අතර ඔහු පසුම්බියෙන් ඊයම් කඩදාසියක්ද මේසය මත තිබූ පත්තර පිටුවකින් කොටසක්ද කඩාගෙන එයින් යමක් සාදමින් සිටී.
මේ අතර මගේ අතැගිලි කඩිනමින් ක්‍රියා කරමින් මාහට ඇවැසිදේ නිපදවන්නට වීමි.
"මචං කවදාවත් ඩස්ට් එකට සෙට්වෙන්න හොද නෑ නවත්තගන්න බැරිනං"

ඊයම් පත්‍රය මතට දැමූ ඉතා කුඩා ගුලියක් වමතට ගනිමින් ඔහු පවසයි. මා මාගේ අතේ ඇති වැඩ අවසන් කලදෙය මුවට තබා දල්වාගතිමි. මේ අතර මාගේ මිත්‍රයා ඊයම් පත්‍රයට යටින් දැල්වූ ගිණිකූරක් අල්ලා මුවෙහි රදවාගත් පත්තරපිටු බටය ඊට ලංකරමින් සිටී. ක්‍රමයෙන් ඊයම් පත්‍රය මත ඇති කුඩා ද්‍රව්‍යය දුම් පිටකරමින් ඒ මේ අත ගමන් කිරීමට පටන්ගැනීමත් සමග ඊට අනුරූපී ලෙස දකුණතෙහි ඇති ගිණිකූරද මුවෙහි රදවාගත් බටයද ඒ දෙසට මෙහෙයවන්නේ යාන්ත්‍රිකව මෙනි. තත්පර කිහිපයක ඇවෑමෙන් කාර්ය අවසන්වූ අතර ඒ ක්ෂණයකින්ම ගිණිකූර ගෙන සිගරැට්ටුවක් දල්වාගති.

ශාලාවේ විවිධ තැන්වල මේස පුටු මත නැගුනු විවිධාකාර තරුණයින් ඔවුන්ගේ ලෝකවල ආශ්වාදය විදිමින් සිටී. ඉදහිට නිහඩතාවය බිදී ගියේ පිටතින් පැමිණියෙකුගේ හඩකිනි.

"උඹට ඕක නවත්තන්න පුළුවන්ද" ඒ මගේ ප්‍රශ්නයයි.
"පුළුවන්, ඒත් හැමෝටම බෑ. ඒකයි මම උඹට කිවුවෙ කවදාවත් මේකට පුරුදුවෙන්න එපා කියල"
"මොකක්ද ඕකෙයි මේකෙයි තියන වෙනස"
"දැං උඹ සිගරැට් බොනවනේ, ජොයින්ට් එකත් ගහනවනේ ඔයදෙකේ ආතල්එකේ වෙනස උඹ දන්නවනේ. ඒවගේ තමයි මේකත්. එහෙම විස්තර කරන්න බෑ"
"ඇයි උඹ ඩස්ට්එක ගහන්න ගත්තෙ"
ඔහු මදක් කල්පනා කරයි,

"මට ඕන උනා ඒක කොහොමද කියල බලන්න, එච්චරයි. උඹ දන්නවනේ අපි කොච්චර ජොයින්ට් ගැහැව්වත් මම තනියම ගහන්නෙ නෑ කියලා. ඒකට මට පාලනයක් තියනව. මේකත් මම දහදොලොස් වතාවක් කරල නවත්තනවා" ඔහු කියයි.

"උඹට පුළුවන්නං කියපං කුඩු ගහපු එකෙක් අදුරගන්නෙ කොහොමද කියල"
මම කල්පනා කරමි...."නිදිමත ගතියෙන් වගේ ඉන්නවා"

"නෑ, ඒක ජොයින්ට් වලත් තියනවනේ, ඒක නෙවෙයි කුඩු ගහල ඉන්නකොට නහය කසන්න ගන්නවා.හරියට දෙදරණ බස් එකක හිටගෙන යනකොට නහයඅග කසන්න ගන්නෙ , අන්න ඒවගේ."

"හරි එහෙනං කියපං අළුවලින් කොහොමද අදුරගන්නෙ ඒක සිගරට් අළුද ජොයින්ට් අළුද කියල"

"ඒක නං මම දන්නවා, සිගරට් අළු හුලගට යන්න බලනව.ගුලියක් වගේ රෝල්වෙනවා. ජොයින්ට් අළු වැටුනතැන තියනවා.හරියට ගොමගොඩක් වගේ"

"හරියට හරි, අපේ ළමයෙක් කවදහරි අමුතු විදියට ඉන්නවනං අපට පුළුවන් ඌ ගහල ඉන්නෙ ජොයින්ට්ද අරක්කුද කුඩුද කියල කියන්න"

"ඒ ළමයි හිටියොත්නෙ, මේ ගහන ගැහිල්ලට ළමයි හදාගන්න පුළුවන්වේවිද කවුද දන්නෙ?" .

"අන්න අර ඩයල්එක දිහා බලපන්" සුදු පැහැති ටී ෂර්ට් එකක් හා කළුපැහැත් ඩෙනිම් කලිසමකින් සැරසුනු අවුල්වගිය හිසකෙසින් යුත් තරුණයෙකු ඇසින් පෙන්වමින් ඔහු සෙමෙන් කියයි.

"මේකෙන් වෙන හාණිය පෙන්නන්න පුළුවන් ලෝගෝ එකක් තමයි ඕක"
"ඇයි, කවුද ඒ.."

"මචං ඕකා ...... ලග හිටියෙ සෙකට්‍රි වගේ, ඌට කෝල් එකක් ආවම ෆෝන් එක දෙන්න වගේ වැඩ තමයි මූ කලේ. අපි දෙන්නම එක දවසෙ ඉස්සෙල්ලම ඩස්ට් එක ගැහුවෙ. මම සතියකට වගේ සැරයක් ගහනකොට මූ ඩේලි ගැහුව, දැන් ජොබ්එක කරන්නෙත් නෑ. මුලදී හොදම බඩු අරගෙන ගැහැවුවෙ අනිත් එවුන්ටත් දීල, දැං මූ යන්නෙ අමාරුවෙන්. තව ටිකක් කල් ගියාම මූ වැල්වල වනල තියන රෙදි හොරකං කරන ගානට එන්නත් පුළුවන්. පේනව නේද මේකෙ හාණිය" කුඩුගැහීමේ ආදීනව කියාදෙමින් මිතුරා දිගටම දොඩමළුය,

"උඹ දන්නවද සිගරට් වලයි බියර්වලයි හාණියෙ වෙනස?" හේ තවත් මාතෘකාවකට මුලපුරයි.
"ඒ කියන්නෙ"

"ඉස්සෙල්ලම බියර්එකක් බොන එකා ඊලගට බොන්නෙ අරක්කු. ඌට යන්න පුළුවන් උපරිම දුර තමයි අරක්කු. ඒත් සිගරට් එක බොන එකා ඊට පස්සෙ ජොයින්ට් ගහනව, ඊට පස්සෙ ඈෂ් ගහනව, ඊට පස්සෙ කුඩුයි කොකේනුයි ගහනව.අරක්කු ඩේලි ගහන එකෙකුට බාගයක් ගානෙ ගැහුවත් රුපියල් පන්සීයකින් හයසීයකින් ෂේප් වෙන්න පුළුවන්. ඒත් ඩේලි කුඩු ගහන්න සෙට් උනොත් දවසකට රුපියල් එක්දාස් පන්සීයක්වත් යනව අඩුම ගානෙ.ලග තියන සල්ලි ඉවරඋනාම ගෙදරින් සල්ලි දෙන්නෙ නැතිවුනාම අම්ම තාත්ත හරි විකුණල කුඩු ගහන්නමයි හිතෙන්නෙ."

"හොරකම් කරන්නෙත් ඒකනෙ"
"හ්ම්. මුං හොරකං කරන්නෙත් අමුතු විදියකට. උඹ දන්නවද?"
"නෑ. කොහොමද?"

"මෙහෙමයි සික්එක ගහල ඉන්නකොට මොකක් හරි උස්සන්න පුළුවන් දෙයක් දැක්ක කියල හිතපංකො. මුං ඊට පස්සෙ යන්නෙ ඒක විකුණගන්න පුළුවන් කියල හිතෙන ඩයල් එකක් ලගට. ගිහිල්ල ඌට ටෝක දෙනවා, ...... බඩුවක් තියනවා ගන්නවද ගන්නවනං කීයටද කියල. ගාන කතා කරගත්තට පස්සෙ තමයි භාන්ඩෙ උස්සන්නෙ"

"මරුනෙ"

"ඔව් ඒවගේ ඩයල් තමයි ඉන්නෙ. එක කුඩ්ඩෙක් කරපු වැඩක් කියන්නං. ඌ දැකල තියනව එලවළු කඩේක පොල්ගෙඩි වගයක් තියනවා. මූ මොකද කලේ ඊට අල්ලපු තේ කඩේ මුදලාලිගෙන් අහනව පොල් ගෙඩි ටිකක් තියනව කීය ගානෙ ගන්න පුළුවන්ද කියල. ගාන කතා කරගෙන මූ එලවළු කඩේට ගිහිල්ල කියනව, මම එහා පැත්තෙ තේ කඩේ වැඩ කරන්නෙ, මුදලාලි කිව්වා මේ පොල්ටික ගේන්න කියල. එලවළු කඩේ මුදලාලිත් විශ්වාසෙට සල්ලි නොගෙන පොල්ටික දෙනවා. අන්තිමට මූ සල්ලි ටිකත් අරගෙන පොල් තිබුන බෑග් එකත් එලවළු කඩේට දීලයි මාරුවෙන්නෙ. බලපං දෙන ගේම්"

"ඒකත් හොදයි තමයි"

"හුගක් විට මෙතෙන්ට ඉස්සෙල්ලම එන එවුන් එන්නෙ සෙට් එකකුත් එක්ක. ඊට පස්සෙ ටික ටික තන්යම ගහන්න පටන් ගන්නවා. ජොයින්ට් එකක් ගහනකොට බෙදාගෙන ගැහුවට ඩස්ට් එක ගහන්නෙ තනියම. මොකද තමන්ගෙ වියදම තමංම හොයාගන්න ඕන නිසා"

"අර අතන ඉන්නඑකා බලපන්" මිතුරා යලිත් ඉගි කරයි

"ඌ ඔය බලං ඉන්නෙ සල්ලි නැතුව. ෂොට් එකක් කාගෙන් හරි ලැබෙනකං. ඔයවගේ එවුන් ඉන්නව මේවගේ තැන්වල. අනිත් එවුන්ට කෙලගහන්න සොපින් බෑග්එක පවා මුං අල්ලනවා"

"මෙතෙන්ට බඩු එන්නෙ කොහොමද"

"මේව තියෙන්නෙ හෙනම රහසිගතව.දැං බලපං ගමක තියන කසිප්පු පොට් එක ගමේ පොඩි එකාගෙ ඉදල දන්නවා. ඒවගේම ඕන කෙනෙකුට බොන්නත් පුළුවන්. ඊලගට ජොයින්ට් විකුණන තැනක් ගත්තොත් ලේසියෙන් ගන්න බෑ දැනගත්තත්. ඩස්ට් එක ඊටත් වැඩිය අමාරුයි. ෂුවර් කස්ටෙක් දහපාරක් විතර රෙකමන්ඩ් කරාම තමයි දෙන්නෙ"

"හරි මේවා කොහෙන්ද?"
"උඹට කිවුවොත් පුදුම වේවි. උඹලයි ඔ‍ෆීස් එකට මෙහා තියන බෝගහ ලගින් පොඩි පාරක් තියනවනේද?"
"ඔව්"
"ආන්න ඒ පාරෙ තමයි තැන තියෙන්නෙ"
"නෑ..."
"මම එක දවසක් ගියා ඒකයි දන්නෙ"
"දපි යමුද?"
"හා"

අදුර ගලා එමින් පවතී. ශාලාවට පිවිසෙන්නවුන්ද වැඩිවෙම්න් පවතී. ඔවුන් සියල්ලෝම තාරුන්‍ය දියකරහැරුමට අදුරට පෙම්බදින අයයි.

Tuesday, November 1, 2011

කතරගම දේවාලයේ (අ)කටයුතු.

1948 ශ්‍රී ලංකාව නිදහස ලැබුවද සමහර අවස්ථා වලදී තවමත් රට පාලනය කරන්නේ සුද්දන්දැයි සිතෙන්නේ අපේ උදවිය ඔවුන්ට දක්වන ගැතිකමේ තරම දුටු විටය.

පෙරේදා දිනයේදී මා සහ විදේශයක සිට පැමිණි ඥාති සහෝදරයෙක්ද තවත් ඥාති පිරිසක්ද සමග කතරගම දේවාලයට ගියේ එම සහෝදරයාගේ කාර්යක් සදහාය. පස්වරු 6.30ට පමන ආරම්භ කල දේව පූජාව සදහා බැතිමතුන් පැමිණ සිටි අනුපිළිවෙලට තෝරාගන්නාලද අතර ඉන්පසු කිසිවෙකුටත් ඇතුළු වීමට ඉඩ දුන්නේ නැත. ප්‍රධාන දේවාලයේ දොරටුව ආවරණය කරමින් ඇදතිබූ ලණු මතින් පැණීමට කිසිවෙකුටත් ඉඩක් නොවූ අතර ඉන් පිටත රැදී සිටියේ ඊලග පූජා වාරය සදහා රැස්වූවන්ය. පූජාව පටන්ගෙන පැය භාගයකට පමණ පසුව පැමිණි විදේශිකයන්(සුදු ජාතිකයන් බව පැවසිය යුතුය) පිරිසකට ඇතුළු වීමට තම ශරීර කුදුගසමින් ඉඩ ලබා දුන්නේ එතෙක් ලාංකික බැතිමතුන්ට සිංහ වෙස් පෑ දේවාලයේ කපුවන්ය.

ආගමික ස්ථානවලදී පවා දාහේ දාහේ කොලවලට මුල්තැන ලැබෙන ශ්‍රී ලංකාවේ ජීවත්වන මටනම් මෙවැනි දේවල් පුදුමයක් නොවුනද අවසානයේ ඔහු ප්‍රකාශකල දේවල් තවත් වරක් සිතීමට පොළඹවනසුළු විය.

"මල්ලී, මට තේරෙන්නෙ නෑ අපේ මිණිස්සු සුදු හමට මෙච්චර ගරු කරන්නෙ ඇයි කියල. දැං බලන්න අපි මෙහෙම උනාට ඉන්දියාවෙ කෝවිලකට යන්න මේ විදියට ඉඩ දෙනවද? එක සැරයක් එහේ නිව්ස් වල ගියා අපේ ජනාධිපති තුමයි ආර්යාවයි තිරුපති කෝවිලට ගිහිල්ල ආරාධනාවකට අනුව. ඒත් එයාල දැනගෙන ඉදල නෑ ආර්යාව කතෝලික කියලා, දැනගත්තට පස්සෙ එයාල කෝවිලම සේදුව කියලයි නිව්ස් එක ගියේ.

මෙතන තියන ලොකුම වැරැද්ද ඒකත් නෙවේ මුං මෙහෙම සුද්දන්ට නැවෙනකොට එහේ ඉන්න අපි ගැනත් උං හිතන්නෙ ඒ විදියට".