Wednesday, December 28, 2011

෴෴෴ක්‍රිකට් පිස්සාගේ ආයාචනය!෴෴෴

ගත්ත

ඇරියස්

ටිකට වත්,

Please!

දෙන්න

බැරිද

ආතල්

එකක්?

(ලකුණු 57ට විකට් 3ක් වූ මොහොතේදීය. පිංතූරය-The Hindu)

Tuesday, December 27, 2011

උසාවියෙන් ඇහෙන කතා

අද කියන්න යන්නෙ උසාවියෙ කතා දෛකක්. ‍දෙකම 100%ක් ඇත්ත. මට කිව්වෙ මගේ මාමණ්ඩි. දෙකම "අපේ" උසාවියෙ සීන්.

අපේ උසාවියට පත්වෙලා ආව ජජ් කෙනෙක්. එයා මාරම සැරයි. කලියෙන් නම් වැඩකරන අයගෙ වාහන උසාවිය ඇතු‍ලට ගේන්න අවසර දුන්නත් මෙයා ආවට පස්සෙ ඒකත් තහනම් කලා. ඊට පස්සෙ උසාවියට වාහනේ ගන්න පුළුවන් එතුමාටයි නීතීඥ මහත්තුරුන්ටයි විතරයි. වෙනද පුරුද්දට ත්‍රීවීල් හයර් කරගෙන උසාවිය ඇතුලටම ආව අයට දඩගැහුවෙ ත්‍රීවීල් පදවගෙන ආව අයියලටත් එක්ක.

ඔන්න දවසක් මේ විනිශ්චයකාරතුමා උසාවියට යන්න, ටවුමට ඇවිල්ල ත්‍රී විල් එකකින් උසාවිය ලගට ආව. ත්‍රීවිල් අයිය වැඩේ දන්න නියා ගේට්ටුව ලග නැවැත්තුව. ජජ් කිව්ව ඇතුලට දාන්න කියල. එතකොට ත්‍රීවීල් අයිය කියනවා,

"අපෝ බෑ...මහත්තයනං කියයි. දැං ඉන්නෙ උගෙ අම්මගෙ ජජ් කෙනෙක්. වාහනයක් දැම්මත් දඩගහනව...... මහත්තය බැහැල යන්න" කියල.

තමංගෙම නීතිය නිසා ජජ්ට ගේට්ටුව ලග බහින්න සිදුවුනත් උන්නැහේ බහින ගමන් ත්‍රීවීල් එකේ නොම්මරේ ලියාගන්න අමතක කලේ නෑ. වෙච්ච දේ කියන්න ඕන නෑනෙ. උදේ ඉදල හවස් වෙනකන් කූඩුවෙ ඉදල රුපියල් පන්දාහකුත් පූජකරන්න උනා ත්‍රීවීල් අයියට.

#########################################################
අනිත් කතාවත් ඇහෙන්නෙ ඒ උසාවියෙන්මයි.

ඒක ටිකකලකට කලිං සිද්ධවෙච්ච එකක්. එතනදීත් සිද්ධවුනේ ජජ් කෙනෙක් අළුතින් ආපුඑක. මෙයා යාපනේද කොහෙද මණුස්සයෙක්. සිංහලත් හරියටම බෑ. මණුස්සය දිහා බැලුවම ජජ් කෙනෙක් කියල හිතන්නත් බෑ. මෙතුමා දවසක් ක්වාටස් එකේ ඉන්නව සරමක් ඇදගෙන කෙසෙල් ගස් වලට සාත්තු කරමින්. මේ වෙලාවෙ අවාසනාවන්ත තැපැල් පියුං මහත්තයෙක් ආව ගේට්ටුව ලගට ලියුමක් අරගෙන. දැක්ක කෙසෙල්ගස් වලට සාත්තු කරමින් ඉන්න විනිශ්චයකාරතුමා. පියුං මහත්තය හිතුවෙ මේ ඉන්නෙ වත්තෙ වැඩකරන කෙනෙක් කියල. ඉතිං කතාකලා,

"ඒයි, මෙහාට වරෙං" කියල.
ඒත් "වැඩකාරයා" බැලුව විතරයි එන්න වගක් නෑ. ඊට පස්සෙ ආයෙත් කතාකලා,
"ඕයි, මෙහාට එනව. තමුසෙලයි නඩ්ඩට ලියුමක් තියනව අරං පලයං" කියල.

වැඩකාරය උදැල්ල පැත්තක තියල ගියා ඇතුලට. ගිහිං පොඩි වෙලාවකින් එලියට එනව ෆුල් කිට දාල!

කොදු නාරටිය දිගේ දැනිච්ච පොඩි සීතලකුත් එක්ක පියුං මහත්තයට මොලේ පෑදුනා. ඇතුලට ගිහිල්ල දොහොත්මුදුන් දීල බිම දිගාවෙලා ජජ්ට වදින ගමන් කියනව,

"අනේ නඩුකාර හාමුදුරුවනේ...මම පවුල් කාරයා....ළමයි හයදෙනෙක් ඉන්නව....මගේ රස්සාව බේරල මට සමාව දෙන්න හාමුදුරුවනේ...." බ්ලා බ්ලා බ්ලා...

කොහොමහරි නඩුකාර හාමුදුරුවන්ගෙ දීර්ඝ ලෙක්චර් එකක් අහල විතරක් වැඩේ ගොඩිං බේරගන්න පියුං මහත්තය දක්ෂ උනා.

Wednesday, December 21, 2011

ටියුෂන් ගැටළු.

මා උසස්පෙළ විභාගයට ටියුෂන් යන සමයේ සිසුන්ගේ ප්‍රධාන විනෝදාංශය වූයේ ගුරුවරුන් තම ක්ෂේත්‍රයේ ප්‍රතිවාදීන් සම්බව්ධයෙන් කරන විවේචනයන් හුවමාරුකර ඔවුන් ඇවිස්සීමත් ගුරුවරුන් කේන්ති ගැස්වීමත්ය. මෙයින් අත්වූයේ එක් ප්‍රයෝජනයකි. එනම් අසා සිටීමට අපහසු වූත් නීරස වූත් විෂය කරුණු වෙනුවට කේන්තියෙන් පුපුරණ ගුරුවරයාගේ වදන් මාලාව අසා සිටීමට හැකිවීමය. උදෑසන පන්තිය පටන්ගැනීමේදී ඉදිරියට යවන තුණ්ඩු කැබැල්ලකින් පැවසෙන්නේ අහවල් ගුරුවරයා සර් සම්බන්ධයෙන් පැවසූ දේවල්ය. කුකුල් කේන්තිකාරයන්ට එය ප්‍රමාණවත් වන අතර එතැන් සිට පැය භාගයක් පමණ කාලයක් අප ඔහුගේ "විෂය බාහිර දේශනයට" සවන් දෙන්නේ හද පිනායන සතුටිනි.

මා ටියුෂන් සදහා පැමිණියේ තංගල්ලට වන අතර ගුරුවරුන් අතරින් ශුද්ධ ගණිතය ඉගැන්වූ ගුරුවරුන් අතර පැවතියේ මහත් තරගයකි. ව්‍යවහාරික ගණිතය ඉගැන්වූයේ ජනක අබේවර්ධන සර් වූ අතර ඔහුට අභියෝගයක් වියහැකි අයෙකු නොවූ බැවින් එම විෂය සදහා මෙවැන්නක් පැනනැගුනේ නැත. අනෙක් විෂය වූයේ භෞතික විද්‍යාව වූ අතර රසායන විද්‍යාව ඉගැන්වූ ගුරුවරුන් කලහකාරී නොවූ "ඇවිස්සීමට නොහැකි" අයවලුන් විය.

මෙසේ උග්‍ර තත්වයට පත්වූ ගැටළු දෙකක් අදත් මගේ මතකයේ ඇත.

එකක් නම් ශුද්ධ ගණිතය ඉගැන්වූ විජය විදානපතිරණසර්ට "x tanx" යන්න අනුකලනය කරනමෙන් ජයන්ත සෝමසිරි සර් කරන ලද අභියෝගයයි. විජය සර් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු නොවූ අතර ඔහු එන්.ඩී.ටී. පාළඨමාලාව හැදෑරුවකු විය. (එයද සම්පූර්ණ කර නොමැත). විශ්ව විද්‍යාලයේ නොගියකු හට ශුද්ධ ගණිතය ඉගැන්වීමට බැරිබව ඔප්පුකිරීමට අභියෝගයක් ලෙස මෙම ගැටළුව ඉදිරිපත් කෙරිණි. මේ සමයේ ‍මෙම ගුරුවරුන් දෙදෙනාගේම (සහ අපගේ) කාලයෙන් විශාල ප්‍රතිශතයක් අදාල ගැටළුව සම්බන්ධ විවාදයට නාස්තිවිය. කෙසේ වෙතත් විශ්ව විද්‍යාල සමයේද මෙම ගැටළුව විසදීමට මාහට නොහැකිවිය. දැන් මෙම කාරණා අමතක වී ඇතිවාට සැක නැත්තේ අභියෝග කල ගුරුවරයා ජීවතුන් අතරද නොමැති බැවිනි.

දෙවන ගැටළුව මීටත් වඩා දුරදිග ගොස් ප්‍රදේශයේ සියළුම ගුරුවරුන් දෙපිළකට බෙදී වාදකිරීම දක්වා ඇදුනු සිද්ධියකි. ගැටළුව ඉදිරිපත් කලේ භෞතික විද්‍යාව ඉගැන්වූ සත්‍යානන්ද විජේසේකරසර් වූ අතර මුලින්ම ඊට අභියෝග කලේ එම විෂයම ඉගැන්වූ රුවන්පතිරණ සර්ය.

ගැටළුව මෙසේය,

රූපයේ දක්වා ඇති ආකාරයට වායුව පිරවූ බෝලයක් ජල භාජනයක පතුලට ගැටගසා ඇත්තේ එම පද්ධතිය තරාදියත් මත ඇතිවිටය. තරාදියේ පාඨාංකය මෙවිට යම් අගයක ඇත. යම් ක්‍රමයකින් සම්බන්ධක නූල කපාදැමූ විට තරාදියේ පාඨාංකය වෙනස්වේද නොවේද යන කරුණ සම්බන්දයෙනි ගැටළුව ඇතිවූයේ. සෑම අවස්ථාවකදීම තරාදිය මත ඇති බාහිර බලය නියත නිසා රුවන් පතිරණ සර්ගේ අදහස වුයේ පාඨාංකය වෙනස් නොවේය යන්න වූ අතර අනෙක් පාර්ශවයට සත්‍යානන්ද, ජනක, ජයන්ත සෝමසිරි යන ගුරුවරුන් එක්විය.

සෛද්ධාන්තික කරුණු අවසානයේ ප්‍රායෝගිකවද තම මතය ඔප්පු කිරීමට රුවන්පතිරණ සර් පෙරමුණ ගත් අතර යට සිට උඩට වෙනුවට උඩ සිට යටට (ප්‍රායෝගික පහසුව සලකා) බෝලයක් ගිල්වා තම මතය ඔප්පු කලේය. ඔහු මෙහිදී රබර් බෝලයක් තුලට යන්තම් බරක් එක්කර බෝලය ගිල්වූ අතර අනෙක් පාර්ශවය නියෝජනය කල එම ආයතනයේම ඉගැන්වීම කරගෙන ගිය ජනක සර් වැඩි බරක් බෝලය තුලට දමා පරීක්ෂණය සිදුකර තරාදියේ පාඨාංකය වෙනස්වන අයුරු ඔප්පු කලේය. ප්‍රතිඵලයක් නොමැතිව අවසන්වූ මෙම ගැටළුව, අවසානයේ අයතනයේ පාලකයාට (ඔහුද පාසල් ගුරුවරයෙකි) සිදුවූයේ මේ විවාදය නතරකරන ලෙස ගුරුවරුන් දෙදෙනාගෙන්ම ඉල්ලා සිටීමටය.

Monday, December 19, 2011

Sunday, December 18, 2011

පිවිසුම් 10000ක් සමග සයිබරයේ නොසිතූ මානයක් කරා......

හරි අද වංසෙ කබල්ගාන්න යන්නෙ. මොකද කියනවනං අමාරුවෙන් පටංගත්ත ‍මගේ නවාතැන 10000 වාරයක් පිටු පෙරලිලා කියල සටහන්වෙලා තියනව. ඇත්තටම කිව්වොත් මේක පටන් ගන්නකොට මගේ ටාගට් එක උනේ පෝස්ට් 50ක් හෝ හිට්ස් 10000ක ප්‍රමාණයකින් නවත්තන්න. ඒත් ලිව්වට වැඩිය ලියන්න හිතේ තියෙද්දි නවත්තන්නත් බෑනෙ. :D

බොහෝ දෙනෙක් වගේ මාත් බ්ලොග් කියවන්න පටන්ගත්තෙ අහම්බෙන් සිංහල බ්ලොග් කියවනයට ගොඩවැදිල. ඊටත් කාලෙකට පස්සෙ බ්ලොග් එක පටන් අරගෙන මාරයගෙයි රංගගෙයි තල්ලුවෙන් තමයි ගොඩ ආවෙ. ලාංකීය සිංඩියට එන්ටර් උනාට පස්සෙ දිගටම ලියන්න ගත්ත. දැන් ඒ ගාන 64ක් වෙලා. ඒත් ඒකාලෙ මම ආසාවෙන් හැමදාම ගොඩවැදුන සිංහල බ්ලොග් කියවනයට බ්ලොග්එක දාගන්න ට්‍රයි කලත් බැරිවුනා.

මගේ බ්ලොග් එකේ පිවිසුම් 10000ක් සටහන් වෙච්ච වෙලාවෙ මතක් කරන්න ඕන නම් ගොඩාක් තියනව. එයින් උඩින්ම ඉන්නෙ මුල් කාලෙ මගේ පෝස්ට් වලට කමෙන්ට් කරල ලියන්න ශක්තියක් ලබා දුන්න නලිනි චන්දිමා. අනිත් අය තමයි බ්ලොග් වලට තල්ලුව දුන්න මාරයා සහ මගේ ලෝකය ලියන රංග. ඊට පස්සෙ කතන්දර(ලාංකීය ඇරුනම ඊලගට බ්ලොග් එකට ආපු අය ඇවිල්ල තියෙන්නෙ කතන්දරගෙ ප්‍රමෝට් එකෙන්. එහෙම බැලුවම මට ඒක සිංඩියක් වගේ), දුකා, ලකී, පංසල් හන්දියෙ කල්හාර, මාව සිංඩියට දා ගත්ත මාතලන්, බුවා, වෙදගෙදර මහවෙදනා, අහම්බෙන් මුණගැහුනු RAJ, මධුරංග, සබිත්, දිනේෂ්, සදරු, ඔබා අයිය, වර්ණා, ලොකුපුතා, නරකය, මියුරු, වින්චැට් කිරිල්ලී, ඔබ නොදුටු ලොවක්, පොඩි කුමාරිහාමි, විසිතුරු, සෑම්, දිල්, වෙනී, පිස්සා පලාමල්ල,...ආදී මෙකි නොකී සියල්ලන්මත්, ඒ වගේම විශේෂයෙන් ලාංකීය සිතුවිලි (කරන්නෙ කවුද දන්නෙ නෑ), අඹගහයට, මාතලන්ගෙ සිංඩිය ආදී සිංඩිකේටර් ඇඩ්මින්ලාටත්,

බොහොම ස්තුතියි!

මේ අයගෙ තියන විශේෂත්වය තමයි මම දන්න කියන කිසිම කෙනෙක් මේ අතර නෑ. අඩුගානෙ ෆෝන් එකෙන් (එකවරක්) කතාකරල තියෙන්නෙත් පන්සල් හංදියෙ කල්හාර විතරයි. ඒ වගේම මගේ එක යාළුවෙක් ඇරෙන්න කිසිම කෙනෙක් මට බ්ලොග් එකක් තියනව කියලත් දන්නෙ නෑ. අන්න ඒකයි මේ 10000 මට වටින්නෙ.

අද විශේෂ මොකුත් කියන්නෙ නෑ. මම ලියපු පෝස්ට් අතරින් මම කැමතිම පෝස්ටුව ඕනනං මෙතනින් බලල යන්න.

Friday, December 16, 2011

෴෴෴෴෴෴෴෴෴෴෴Virginity෴෴෴෴෴෴෴෴෴෴෴

උඹෙ අම්මට

හෙට උදේට

පෙන්නන්නට

බැරි උනාට.....

හුග කලකට

ඉස්සරියෙන්

මටත් හොරෙන්

උඹයි මගෙන්

උදුරගත්තෙ (?)

හැදිච්චකම!

Thursday, December 15, 2011

කූඩ (ජොනී අංකල්ගේ කූඩ නොවේ)

අද කියන්න යන්නේද කූඩ පිළිබදවය. එහෙත් ඇමතිතුමාගේ කූඩ ගැන නොවේ. මේ වනවිට ඒ ගැන කතාකල ප්‍රමාණය ප්‍රමාණවත්ය. මා කීමට යන කූඩ ගැනකතාකිරීමට හොදම මේ කාලයයි. සමහර විට බ්ලොග් ලියන මුළු කාලයේම මීට වඩා හොද අවස්ථාවක් නොලැබීමට පුළුවන.

"කූඩ" කිව් විට මගේ මතකයට එන්නේ තාත්තා විසින් සාදනු ලැබූ අපේ ගෙදර ඇති විවිධ ප්‍රමාණවල වේවැල් කූඩය. 90% පමණ කෘෂිකර්මාන්තයෙන් දිවි සරිකරගන්නා අපේ ගමේ කූඩවලට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. මූලිකවම කූඩ ප්‍රයෝජනයට ගන්නේ කුඹුරු ගෙවිතැනේදීය. කුඹුරක් වැපිරීමට පෙර ඉසින "මඩපෝර" නමින් ගොවියන් හදුන්වනු ලබන පොහොර මිශ්‍රණය කුඹුරට ඉසීමේ සිට අස්වනු නෙලා වී මැණීමේ කාර්ය දක්වා භාවිතාවන එකම උපකරණය කූඩයයි.

කූඩ සාදාගැනීම විවිධ ප්‍රදේශ වලදී විවිධ අමුද්‍රව්‍ය භාවිතා වේ. ඒ අතරින් වේ වැල් ප්‍රමුඛ වන අතර බට ගස් හා සමහර වැල් වර්ග භාවිතා කරන ප්‍රදේශ ඇත. කූඩ සාදාගන්නේ මෙසේය.

මුලින්ම වේවැල් කෑපීම සිදුකරයි. මෙය වේවැල් තැලීම යනුවෙන් හදුන්වයි. මේ සදහා තෝරාගන්නා වැල් වර්ගය අප ප්‍රදේශයේ හදුන්වන්නේ "වේරෑන" යනුවෙනි. වේරෑන යනු අධික කටු සහිත වැල් වර්ගයකි. (මේවායේ රතු පැහැති ගෙඩි සෑදෙන අතර ඒවා කුඩාකල කෑමට ගත්තෙමු). කූඩා සදහා තෝරාගනු ලබන්නේ මීටර හතරක් හෝ වඩා දිග වේරෑන වැල්ය. මුලින්ම, කපාගන්නා ලද මෙවැනි වේරෑන වැල්වල කටු ඉවත්කරගනී. ඉන්පසු එය මදක් පවනේ වේලා දෙකට-හතරට ආදී වශයෙන් පැලීම සිදුකරයි. එක් කෙලවරක් පිහියකින් කපා එතැන්සිට දෙපසම සම ප්‍රමාණයක් සිටිනසේ පැලීමට දෑත් පුරුදුකර තිබියයුතුය.

මෙසේ කුඩා කරගන්නා ලද වේවැල් කොටස්වල තියුණු දාර පිහියක් ආධාරයෙන් ඉවත්කරගනී. මෙය වේවැල් මැදීම ලෙස හදුන්වයි. ඉන්පසු ජලය මුළුමනින්ම ඉවත්වනසේ අව්වේ තබා වේලාගනී.

මෙසේ සකස්කරගත් වේවැල් කූඩ විවීමට සුදුසුය. කූඩය සාදාගන්නේ මෙසේය.

මුලින්ම මීටර දෙකක් පමණ දිග වේවැල් අටක් ගෙන ඒවා හතර බැගින් කතිරයක ආකාරයට තබාගනී(1රූපය).

ඉන්පසු එම ‍වැල් ගරාදි හැඩයට සකස් කරමින්ද වෘතාකාර වනසේද එකක් උඩින් හා යටින් ඇතුළුවනසේද දිගු වැලකින් වෙලීම සිදුකරයි.(2රූපය)

මෙය තරමක් දුරට සිදුකර ඉන්පසු විහිදුවන ලද වැල් ඉහලට ඔසවමින් වක්‍ර ස්වභාවය ඇතිකරගන්නා අතර අවසානයේ අගලක පමණ මහත වැලක් පිටත දාරයට එක්කර සවිමත් කරගනී.

වේවැල් ආශ්‍රිත විවිධ කර්මාන්ත ඇති අතර වේවැල් සදහා ගූගල් සෙවීමේදී ප්‍රථිඵල වැඩි ප්‍රමාණයක් ලැබුනේ "වේවැල් පහරදීම්" වැනි පුවත්ය.

Tuesday, December 13, 2011

කූඩ ජොනී පිස්සු කෙලී. ගොවින් වෙළදුන් පාරිභෝගිකයන් අමාරුවේ.

අද දිනයේ වෙනත් මාතෘකාවක් ගැන ලිවීමට සිතා සිට්යත් ඊයේ දිනයේ සහ මීට ටික වේලාවකට පෙර දුටු දර්ශන කිහිපය නිසා මෙය ලිවීම කල්දැමිය නොහැක.

ඔව්! ප්ලාස්ටික් කූඩ! මේ වනවිට රට උණුසුම් කරමින් සිටී. මෙය සටහන් කරන මොහොත වනවිටද කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ බටු, වම්බටු, පතෝල, මෑකරල් ආදී විවිධ එලවළු- ගොවීන්ගේ දහදිය මහන්සියෙන් වගාකර පොළට ගෙනවිත් ඇති එලවළු- රැගෙන යන්නේ මීගොඩ හෝ දඹුල්ල බලා යන එළවළු වෙළදුන් නොව ප්‍රාදේශීය සභාවේ කුණු ට්‍රැක්ටරයයි. ඊයේ දිනයේදී ද මා ජීවත් වන ප්‍රදේශයේ ඇති එළවළු වෙලදපලෙන් එළවළු මිලදීගන්නා ලද්දේ එදිනෙදා, එහිම එළවළු විකුණන සුළු වෙළදුන් පමණක් වූ අතර තොග වෙළදුක් නොපැමිණීමෙන් අතිරික්තයන් ප්‍රාදේශිය සභාවේ කුණු ට්‍රැක්ටර වලට පැටවිණි.

එළවළු ගෙනයාමේදී ප්ලාස්ටික් කූඩ භාවිතය අනිවාර්ය කිරීමත් සමගම මෙම තත්වය ඇතිවිණි. වෙනදා මෙන් සාමාන්‍ය අයුරින් ගෝණිතුල බහා වෙළදුන් රැගෙනගිය එලවළු ලොරි පිටින්ම අත්අඩංගුවට ගත් අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත්කල බව ප්‍රවෘත්ති විකාශයේදී කියැවිනි. අර්බුදයේ මූලිකයා වන "කූඩ ජොනී" යයි වෙළදුන් පෝස්ටර් වලින් හැදින්වූ වෙළද ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මාධ්‍ය අමතමින් ප්‍රකාශ කලේ තම වැඩපිළිවෙල හකුලාගැනීම කිසිසේත්ම සිදු නොකරන බවයි.

එහෙත් මෙය ප්‍රායෝගික වැඩපිළිවෙලක්ද? නැත. මෙය ශ්‍රී ලංකාව වැනි රටක එක්වරම ක්‍රියාත්මක කිරීමෙන් අර්බුධ ගනනාවක් ඇතිවිය හැකි ප්‍රශ්යකි. ඒ මොනවාද?

ඇමතිවරයා පවසන ආකාරයට ප්‍රවාහනයේදී සිදුවන සියයට 5ත් 20ත් අතර වන හාණිය වලක්වා එමගින් පාරිභෝගිකයාට දැරියයුතු ගාස්තුව අඩුකිරීම මෙහි පරමාර්ථයයි. එහෙත් මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් එළවළු මිල අඩුකිරීම කලහැකිදැයි බලමු.

එළවළු මිල සදහා බලපාන කරුණු සාමාන්‍යයෙන්(කෙටියෙන්) මේවාය;
01. එලවළු නිෂ්පාදනයේදී ගොවියා දරණ පිරිවැය.
02. අස්වනු නෙළීමේ ගාස්තු.
03. වෙළදපලට ගෙනයෑමේ වාහන ගාස්තු.
04. පොළ බදු.
05. තරාදි බදු.
06. එළවළු මිලදීගත් තොග වෙලෙන්දාගේ ප්‍රවාහන ගාස්තු සහ ඔහුගේ කොමිස් මුදල.
07. ප්‍රවාහන හාණිය නිසා අපතේයන එළවළු සදහා දැරීමට සිදුවන මුදල.(මෙය තොග වෙලෙන්දා හෝ අවසානයේ සිටින සිල්ලර වෙලෙන්දා දරාගනී)

කූඩ භාවිතයේදී අවසාන එළවළු මිල සදහා ඉහත සදහන් සාධක වල අංක 03 සහ 07 සැලකියයුතු වෙනසක් සිදුවේ. එනම් කූඩ මිලදීගැනීම සදහා සහ වෙළදපලට ගෙනයෑම සදහා ගොවියාට දෙවරක් වැඩි මිලක් දැරීමට සිදුවේ. කූඩයක මිල රුපියල් එක්දහස් පන්සීයක් යයි සැලකුවහොත් ගෝනි 5ක් අස්වනු ඇති ගොවියාට කූඩ 10ක් මිලට ගැනීමට සිදුවේ.(ගෝනි 1ක්=කූඩ 2ක් පමණ වේ). ඊට අමතරව නිවසේ සිට වෙළදපොලට ගෙනයාම සදහා අමතර වාහන ගාස්තුවක් දැරීමට සිදුවේ.

අනෙක් පැත්තෙන් වෙලෙන්දාට දැරීමට සිදුවන අමතර වියදම් බලමු.

සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 6000ක් ගෙනයාහැකි යයි නිර්දේශිත වාහනයක(වාහනය නිෂ්පාදකයාගෙන්) කිලෝග්‍රෑම් 10000ක පමණ ප්‍රමාණයක් දැනට ගෙනයනු ලබන අතර කූඩ මගින් ගෙනගියහොත් මෙම ප්‍රමාණය හරි අඩක් අඩුවේ. අවසානයේ තොග වෙලෙන්දාට සිදුවන්නේ තම වාහන කුලිය දෙගුණයක් ගෙවීමටය. අනෙක් අතට ඔහුටද කූඩ මිලදීගැනීමට සිදුවන අතර ආපසු පැමිණෙන හිස් වාහනයේද කිසිවක් ගෙනඒමට නොහැකි වන්නේ කූඩ තොගය රැගෙන ආයුතු නිසාය.

මෙම කාරණා පැරණි ක්‍රමයේ හාණිය සමග සංසංදනය කලහොත් නව ක්‍රමයෙන් එළවළු මිල වැඩිවීමක් මිස අඩුවිමක් බලාපොරොත්තු විය නොහැක.

ගොවීන්ගෙන් මුදල් අයකර ලබාදුන් ගොවි විශාම වැටුප නොවැම්බර් සිට නවත්වා ඇති අතර ඒ පිළිබදව කිසිදු පියවරක් ගැනීමට මේ දක්වා කටයුතු කර නොමැති තත්වයකදී, මෙවැනි අමනෝඥ තීරණ මගින් සිදුවන්නේ සියළුදෙනා අපහසුතාවයට පතිවීම පමණි.

Thursday, December 8, 2011

කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇතිකිරීමට නම්.

රාජ්‍ය සේවය පිළිබද ලිපි ගනනාවක් ලිවීමට සිතේ තිබුනත් එන්න එන්නම ප්‍රමාද වූයේ රාජකාරී බහුලවීම නිසා වුවත් දුකාට පොරොන්දු වූ පරිදි කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සදහා ගතයුත්තේ කුමන ක්‍රියාමාර්ගදැයි සාකච්ඡා කිරීම මෙහි පරමාර්ථයයි.

කෙසේ වුවද දුකා සදහන් කල පරිදි අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇතිවීමට ප්‍රධාන හේතුව ප්‍රවාහන ප්‍රශ්න නොවේ. හේතු අනුපිලිවෙලින් සටහන් කලහොත් ප්‍රවාහනය යන කාරණය ඉතාමත් පහලට පැමිණෙනු ඇත.

මාගේ අත්දැකීම් අනුව අකාර්යක්ෂමතාවයට ප්‍රධාන හේතු හතරක් දැක්වියහැකිය.

01. සියලු මට්ටම් වල අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන්.

02. රාජ්‍ය සේවයට සම්බන්ධ කාර්යන්වල පවතින සංකීර්ණ ස්වභාවය.

03. මහජනතාවගේ(පාරිභෝගිකයන්ගේ)නොදැනුවත් ස්වභාවය.

04. කාර්යක්ෂමතාවය සදහා රාජ්‍ය මැදිහත්වීම ප්‍රමාණවත් නොවීම.

දැන් එක් එක් හේතු වෙනවෙනම සලකාබලමු.

සියලු මට්ටම් වල අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන්.

අකාර්යක්ෂම රාජ්‍යසේවයේ මූලය අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන් බව අවිවාදිතය. රාජ්‍ය සේවකයන් මෙසේ වීමට හේතු ඕනෑතරම් දැක්වියහැකි වුවත් "පෙරකල පුරුදු කරගෙන පැමිණිලෙස" රාජකාරී කිරීම ඉන් පළමුවැන්නයි. අන් සියළු කාරණා ඊට පහලින් පිහිටන ඒවා බව මගේ හැගීමයි.

උදාහරණයක් වශයෙන් පාසල් අධ්‍යාපනය හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කල සැනින් රාජ්‍ය සේවයට පැමිණෙන තරුණ නිලධාරියෙකු සලකා බලමු. ඔහුට රැකියාවට පැමිණ කාර්යක්ෂමව වැඩකලහැකි වුවත් එසේ සිදුවේද? නැත. ඔහුට ඉහලින් හෝ පහලින් සිටින නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවයේ-වේගයේ තරමට ඔහුට හැඩගැසීමට සිදුවීම සාමාන්‍ය සංසිද්ධිය වේ. කාර්යාලයක් යනු සාමූහික වගකීමක් ඇති ස්ථානයක් වන අතර එක් අයෙකුට පමණක් "පවතින තත්වය" වෙනස් කිරීම ඉතා අසීරුය. මීට ප්‍රතිවිරුද්ධ පැත්ත සිදුවන පෞද්ගලික අංශය සැලකුවහොත්, එහිදී නවක නිලධාරියෙකුට දක්නට ලැබෙන්නේ කාර්යක්ෂම වෘත්තීය සගයන් පිරිසකි. එහිදී ඔහු ඊට අනුගතවීම නිරායාසයෙන් සිදුවන්නකි.

"රාජ්‍ය සේවයේ ගලායන ප්‍රවාහයට එරෙහිව උඩුගං බලා පිහිනීමෙන් ඉතිරි වන්නේ මහන්සිය පමණි"

මෙම අකාර්යක්ෂමතාවයට හේතු ලෙස විවිධ හේතූක් දැක්වුවද ඒවා එතරම් පිළිගතහැකි මට්ටමේ හේතු නොවේ. උදාහරණ ලෙස වැටුප් වැඩි නොවීම ආදිය ගෙනහැර දැක්වුවද එය එතරම් සාධාරණ තර්කයක් නොවන බව ඉදිරියේදී පැහැදිලි කරමි.

මෙහි දෙවැන්න නම් රාජ්‍ය සේවයට සම්බන්ධ කාර්යන්වල පවතින සංකීර්ණ ස්වභාවයයි. වඩාත් පැහැදිලි කලහොත් රාජ්‍ය හා පෞද්ගලික අංශයන් මගින් ඉටුකරන කාර්යන් සංකීර්ණත්වය අනුව පෙළගස්වන්නේ නම් වඩා වගකීම් සහිත කාර්යන් ඇත්තේ රාජ්‍ය අංශයේය. මේ සමග බැදී ඇති අණපනත් නීති රෙගුලාසි වලට යටත්ව අදාල සේවය ඉටුකරදීමේදී සේවකයන් හා පාරිභොගිකයන් යන දෙපක්ෂයම අපහසුතාවයට පත්වීම නොවැලැක්වියහැකි සංසිද්ධියකි. පසුගිය සමයේ ගංවතුර පැමිණ ජනතාව අපහසුතාවයට පත්වීම ඔබට මතක ඇතැයි සිතමි. ඒ අවස්ථාවේදී ජනතාව අමතමින් ජනාධිපතිතුමා පැවසුවේ "ජනතාව අපහසුතාවයට පත්ව ඇති මේ අවස්ථාවේ ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි සංග්‍රහය ආදියේ කුමක් තිබනද ඒ ගැන නොසිතා අපහසුතාවයට පත්වූ ජනතාවට පිහිටවන්න" යනුවෙනි. එහෙත් අවස්ථාව කුමක් වුවද නීතිරීති වලට පිටින් කටයුතු කිරීම විගණන විමසුම් වලට පිළිතුරු සැපයීමේ සිට රැකියාවෙන් එළියට යාමට සිදුවීම දක්වා වන දඩුවමට ලක්වීමට හේතුවක් බව දන්නෝ රාජ්‍ය සේවකයෝය.

අකාර්යක්ෂමතාවයට බලපාන අනෙක් කාරණාව වන්නේ සේවයක් අපේක්ෂාවෙන් පැමිණෙන ජනතාවගේ නොදැනුවත්කමයි. මෙය එතරම් කතාබහට ලක් නොවුවද සෘජුවම මහජනතාව සමග කෙරෙන රාජකාරී හා සම්බන්ධවී ඇති මා හට මේ සම්බන්ධ අත්දැකීම් ඕනෑවට වඩා ඇත. සේවාවන් ලබාගැනීම සම්බන්ධයෙන් මෙ වනවිට යම් යම් උපදෙස් ලබාගැනීමට විධික්‍රම සලසා තිබුනද සේවාදායකයන් ඒවායෙන් ප්‍රයෝජනයක් ලබාගන්නා බවක් නොපෙනේ. උදාහරණයක් වශයෙන් 1919 ඇමතීමෙන් රාජ්‍ය සේවාවන් පිළිබදව හා රාජ්‍ය ආයතනවල දුරකථන අංක ලබාගත හැකි වුවද එයින් ප්‍රයෝජන ගන්නේ කීයෙන් කීදෙනෙක්දැයි වැටහෙන්නේ ඔවුන් කිසිදු දැනුවත් වීමක් නොලබා කාර්යාල වලට පැමිණීමෙනි. අවසානයේ සිදුවන්නේ සේවයක් අපේක්ෂාවෙන් පැමිණෙන්නා රස්තියාදු වී සමස්ථ රාජ්‍ය සේවය පිළිබදව අයහපත් හැගීමක් ඇතිකරගැනීම පමනි.

අවසාන කරුණ වශයෙන් දක්වතත් කාර්යක්ෂමතාවය සදහා රාජ්‍ය මැදිහත්වීම ප්‍රමාණවත් නොවීම යන කාරණාවද සැලකියයුතු මට්ටමින් දීර්ඝව සාකච්ඡා කලහැකි මාතෘකාවකි. විශේෂයෙන්ම දක්ෂ තරුණ කොටස් රාජ්‍ය සේවයෙන් ඈත්වීමට රාජ්‍ය සේවක වැටුප් ප්‍රශ්නය විසදීම රජයේ වගකීම වේ. එසේ නොවුවහොත් විශේෂයෙන්ම පිරිමි අයවලුන් අවම වීම තුල රාජ්‍ය සේවය මීට වඩා පිරිහීමකට ලක්වීමට අනාගතයේ ඉඩ ඇත. රාජ්‍ය මැදිහත්වීම ලබාදියයුතු අනෙක් අංශය වන්නේ නව තාක්ෂණය හදුන්වාදීම තුලින් කාර්යක්ෂමතාවය ඇතිකිරීමයි. විශේෂයෙන් තොරතුරු තාක්ෂණය සම්බන්ධ කරගන්නා අංශයන් ඇත්තේ අල්ප වශයෙනි.

එක් එක් අමාත්‍යංශයන් යටතේ ඇති රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාවයන් අතර ඇත්තේද විෂම ස්වභාවයකි. උදාහරණයක් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආදියේ ඇති කාර්යක්ෂමතාවයෙන් අඩක්වත් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති අධ්‍යාපන හා පළාත් අධ්‍යාපන කාර්යාල වල නොමැත. අප කාර්යාලවල ඇති පරිගණක යන්ත්‍ර ඇගිලි සලකුණු කිරීමේ යන්ත්‍ර ආදිය කිසිවක් බොහෝ කාර්යාලවල නොමැති අතර සේවකයන්ට ලබාදෙන පුහුණු වැඩසටහන් ආදියද නොගිණියහැකි තරම් අවම තත්වයේ පවතී.

ලිපිය දිර්ඝ වනබැවින් අකාර්යක්ෂමතාවය ඇතිවන ආකාර පිළිබදව විස්තර කිරීම නවතා කාර්යක්ෂමතාවය වැඩිකිරීමට ගතහැකි ක්‍රියාමාර්ග සලකා බලමු.

මා ඉහත සදහන් කල 02, 03, 04 යන අකාර්යක්ෂමතාවයන්ට හේතුසාධක වලට පිළියම් ලෙස කලහැකි දේ, ඒ තුලම ඇති බැවින් විස්තර නොකරමි.

අංක 01 වන ප්‍රධාන කරුණ වන අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන් පිලිබද ප්‍රශ්නයට විසදුම් ලෙස මා යෝජනා කරන්නේ මෙවැන්නකි.

රාජ්‍ය සේවය තුල වැඩ ඒකක ක්‍රමයක් ඇතිකිරීම හෙවත් උපයන ප්‍රමාණයට ගෙවීම.

මෙහිදී එක් එක් නිලධාරියාගේ වර්තමාන රාජකාරී ලැයිස්තුව තෝරාගෙන එහි ඇති එක් එක් විෂයන්ට අදාලව වටිනාකමක් ලබාදෙයි. උදාහරණයක් වශයෙන් මාගේ රාජකාරී ලයිස්තුව සැලකුවහොත් එහි ඇති ප්‍රධාන විෂයයන් වනුයේ "මාසික බැංකු සැසදුම පිලියෙල කිරීම", "අත්තිකාරම් ගිණුම", "යන්ත්‍රෝපකරණ අළුත්වැඩියාව" ... යනාදියයි. මෙහිදී රාජකාරියේ වැයකල යුතු ශක්ති ප්‍රමාණය අනුව ඊට අදාල වටිනාකම මෙසේ ලබාදිය හැකිය.

මාසික බැංකු සැසදුම පිලියෙල කිරීම = 1

අත්තිකාරම් ගිණුම = 4

යන්ත්‍රෝපකරණ අළුත්වැඩියාව = 1

මෙවිට මා කරන කාර්ය ප්‍රමාණය ඒකක 6කි. මෙසේ යම් කාර්යාලයකට අයත් සියලුම රාජකාරී එහි නිලධාරීන් අතර සමසේ බෙදාදිය යුතු අතර නිලධාරියෙකු විශ්‍රාම ලබන විට ඔහුගේ ඒකක ප්‍රමාණය කැමැත්තෙන් භාරගන්නා අයවළුන්ට ඒකකයකට හිමි යම් මුදලක් ලබාදියයුතුය. මේ ක්‍රමය අනුගමනය කිරීමෙන් වසර කිහිපයකදී රාජ්‍ය සේවකයන් ප්‍රමාණය සෑහෙන ප්‍රතිශතයකින් අඩුකරගතහැකි අතර කාර්යක්ෂමතාවය වැඩිවීම මෙන්ම සේවක වැටුප්ද වැඩිවීම සිදුවේ. (මෙම ක්‍රමය තුලින් 20% පමන ප්‍රතිශතයකින් රාජ්‍ය සේවකයන් අඩුකලහැකි බවද මේ ක්‍රමයට රාජ්‍ය සේවකයන් කැමතිවන බවටද සෑහෙන විශ්වාසයක් මා තුල ඇත)

2001 වර්ෂයේ පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව රාජ්‍ය සේවක බදවාගැනීම තාවකාලික නවතාදැමුවද ඒ සමග සිදුවූ විශ්‍රාම වැටුප් කප්පාදුව හා කාර්යක්ෂමතාවය සදහා වෙනමම වැඩපිලිවෙලක් ඉදිරිපත් නොකිරීම නිසා එය අසාර්ථක විය(සේවක අප්‍රසාදයටද ලක්විය).

සාර්ථක සහ ඵලදායී රාජ්‍ය සේවයක් ක්‍රියාත්මක වේ නම් මා ඉහත සදහන් කල ප්‍රතිශතයකින් සේවකයන් අඩුවීම අනිවාර්ය ප්‍රතිපලයක් වන අතර එය "ආණ්ඩු පවත්වාගෙන යාම සදහා රාජ්‍ය සේවයේ රැකියා ලබාදීම" යන කාරණය සමග ඝට්ටනය වීම අනිවාර්ය වේ. එබැවින් මෙය ප්‍රතිපත්තියක් ලෙස සකස් කලයුතු අතර ආණ්ඩු මාරුවුවද නොවෙනස් වියයුතුය.

Monday, December 5, 2011

ප්‍රවාහන ඇමතිතුමාට චෝදනාවක් සහ යෝජනාවක්.

පසුගිය දින කිහිපයේදී වැඩිපුරම කාලය ගතකලේ කාර්යාලයේ හෝ නිවසේ නොව පාරේය. පැහැදිලිවම කිවහොත් පෞද්ගලික බස්රථ තුලය. බසයේ යාමට වැඩි කැමැත්තක් නැතත් අධික වර්ෂාව නිසා යතුරු පැදියේ ගමනටද බාධා ඇතිවේ. දුරගමන් සේවා බස් රථ වලින් කොළඹ සිට නිවසටත් නිවසේ සිට කොළඹටත් කිහිප විටක් ගමන් කිරීමේදී ලැබූ අත්දැකීම් මෙසේ සටහන් කරමි.

ඩීසල් මිල කීයකින් හෝ වැඩිවූ විට බස් ගාස්තු ඉහල දැමීමට කැසකවන පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඇතුළු නඩය කුමක් සදහන් කලද ප්‍රවාහන සේවය පෞද්ගලික අංශයට විවෘත කලදා පටන් මේ දක්වා එහි ගුණාත්මක භාවයේ කිසිදු වෙනසක් සිදුවී නොමැත. අර්ධසුඛෝපභෝගී යයි කියා සාමාන්‍ය බස් ගාස්තුව මෙන් එකහමාරක් පමණ ගාස්තු වැඩිකල බස් රථවල ඇති තිර රෙදිත් ඒවාට සවිකර තිබූ කැසට් යන්ත්‍ර වෙනුවට අලුතින් සවිකර ඇති විවිධ වර්ගවල ගීත ධාවකයන් හැරුණු විට ඇගට දැනෙන වෙනසක් සිදුවී නොමැත. ආසන දෙකක් අතර ඇති පරතරය කොතරම් අඩුකර ඇත්දැයි කිවහොත් අඩි පහමාරකට වඩා උස අයෙකු වාඩිවුවහොත් කකුල් තබාගැනීමට සිදුවන්නේ එලියේය. බස්රථය තුල දුම්පානය තහනම් වන්නේ මගීන්ට පමණි. රියදුරු, කොන්දොස්තර සහ පාපුවරුවේ යන අමතර සහයකයින්ට දුම්පානය කිරීමට කිසිදු තහණමක් නැත. මා මේ පිළිබදව එක් රියදුරෙකුගෙන් ප්‍රශ්න කලවිට ඔහුගේ පිළිතුර වූයේ "රෑට යනකොට නිදිමත වෙනවා අයියා" යන්නයි. දුම්පානය නොකර රිය පැදවීමට අපහසු උදවියට පොදු ප්‍රවාහනයේදී පැදවීමේ බලපත්‍ර නොදිය යුතුය. මක්නිසාද ඔවුන්ගේ නිදිමත වෙනුවෙන් මගීන්ට ලෙඩවීමට නොහැකි බැවිනි.

දුරගමන්සේවා බස්වල අනෙක් ප්‍රධාන ගැටළුව ආහාරපාන ලබාගන්නා ස්ථානයන් පිළිබදවය. කොළඹ සිට මාතර, තංගල්ල සහ කතරගම බලා ගමන්කරන බස්රථ නවත්වන ස්ථාන කිහිපයක් පිහිටා ඇත්තේ අම්බලන්ගොඩ ඉදුරුව යන ප්‍රදේශයන්හිය. මේවායේ බස්රථ නැවැත්වීමට ඇති එකම සුදුසුකම වන්නේ රියදුරුට හා කොන්දොස්තරට යහමින් සලකන ස්ථානයන් වීම පමණි.(මේ පිලිබදව මාරයාගේ හෝරාවේ බස්පළුවන්ගේ කතා වලින්ද විස්තර කර තිබු බව මතකය) නොමිලේ ලැබෙන කෑමබීම වලට අමතරව(කෑම ටිකක් දීමෙහි වරදක් නැත) දුම්වැටි පමණක් නොව ගංජාවලින්ද සංතර්පනය කර අවසානයේ අතට කීයක් හෝ මුදලක්ද දීමට මගීන් ඉස්තරම් අයුරින් සූරාකෑම කලයුතුය. කෑමට බිමට ඇති සියළුම ආහාර අයිතමයන්ගේ මිල "රවුම් කර" ඇත්තේ එබැවින් වියයුතුය. බොහෝ කෑම වර්ග රුපියල් හතලිහකට වඩා වැඩි අතර තේ එකක් සදහා රුපියල් පහලවක් හෝ විස්සක් අයකරයි. අවසානයේ බලහත්කාරයෙන් "ඇගේ ගසන" ටොපි, චුවිංගම් වැනිදෑද රැගෙන ඒමට අසරණ මගියාට සිදුවේ. මෙම ස්ථානවල ඇති අනෙකුත් පහසුකම් ගැනද කථා කිරීමට දෙයක් නැත. කාන්තාවකට පාවිච්චිකල හැකි වැසිකිළියක් හෝ නොමැති අතර පිරිමි පාර්ශවයට නම් ඇත්තේ මුහුදු සුලං වදිමින් වෙරළේසිට අවශ්‍යතාවය ඉටුකර ගැනීමටයි. මේවා ගැන ගැමුණු විජේරත්න තබා මේ විෂයෙන් හොදට "පදම් වී" ඇතැයි තමාම කියාගන්නා කුමාර වෙල්ගම ඇමතිවරයා හෝ සීබී රත්නායක ඇමතිවරයාවත් පාරිභෝගිකයා පිළිබද අපමණ අනුකම්පාවකින් කටයුතු කරන එම විෂය භාර ඇමතිවරයාවත් කතා නොකරයි.

මේ නිසා ජනතාවට ආදරය ඇති ඉහත ඇමතිවරුන් තිදෙනාටම මෙවැනි යෝජනාවක් කරනු කැමැත්තෙමි.

හිතවත් ඇමතිතුමන්ලා වෙත,
පුළුවන්නම් මගේ මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න.

කරන්න තියෙන්නෙ මෙච්චරයි ගාලු පාර අයිනේ අම්බලංගොඩ හරියේ තියන ආණ්ඩුවෙ ඉඩමක හදන්න ගොඩනැගිල්ලක්. එක සැරේකට බස් තුනක් හතරක් පාක් කරන්න පුළුවන් ඉඩකඩ පිටත තියන විදියටත් ඒවායේ සෙනගට ඇතුලට ඇවිල්ල තේ එකක් බොන්න කෑම එකක් කන්න පුළුවන් විදියටත්. මීට අමතරව මෙතෙන්ට ඕන අඩුම ගානෙ බේකරියක් සහ කැත නැතුව යන්න පුළුවන් වැසිකිළි පද්ධතියක්.

හදල ඉවර උනාම විකල්ප දෙකක් තියනවා ඔබතුමාට.

එකක් තමයි සේවකයන් හත් අටදෙනෙක් මෙතෙන්ට දාල වැඩේ කරගෙනයන එක. එතකොට රස්සාවල් කීපයකුත් ඇතිවෙනවා. ආරම්භයක් වශයෙන් භාණ්ඩාගාරෙන් අත්තිකාරමක් ගන්නත් පුළුවන්නේ. (අත්තිකාරම් අරගෙන කරගෙනයන බේකරියක් අංගොඩ මාණසික රෝහලේත් තිබුන කලකට ඉස්සර). ඒ වැඩේ පාඩුයි කියල හිතනව නං දෙන්න පෞද්ගලික අංශෙට. එයාල හරියට කරගෙන යයි. මොකද අනිවාර්යෙන්ම ලාභ ලබන්න පුළුවන් තැනක්නේ.

කාට දුන්නත් මිල පාලනයක් තියෙන්න ඕන. සහන මිලට දෙන්න කියල අපි ඉල්ලන්නෙ නෑ. හැබැයි මගීන්ව ගසා කන්න ඉඩදෙන්න එපා. අනිත් කාරනාව මේ රූට් එකේ යන දුරගමන් බස් නැවැත්විය හැකි එකම ස්ථානය මෙතන පමණක්ම වෙන්න ඕන. ඒකට නීතිරීති ගේන්නත් වෙයි. ඒත් 2/3ක් තියන එකේ ඔච්චර දෙයක්වත් බැරිනං වැඩක් නෑනෙ!

Friday, December 2, 2011

ඩේලිගහනවද? පරිස්සමින්! (බෙබාලට විශේෂයි අන්අයටද තහනමක් නැත)

මේ දිනපතා මත්පැන් පානය කරන්නන්ට අසුභ ආරංචියක් ගැනය. ප්‍රථමයෙන්ම ඊට ප්‍රස්තුත වූ සිද්ධිය පවසන්නම්. මගේ යහළුවෙකු දන්නා කියන මිණිසෙකු ඔහුගේ ගමේ වෙසෙයි. ඔහු ලගදී එම ගමට පැමිණි දෙමළ ජාතිකයෙකි. වැඩපල කිරීමට දක්ෂ ඔහු පාළු ඉඩමක පිහිටි කුඩා හිස් නිවසක නැවතී සිටින අතර දින කිහිපයක් එකම ස්ථානයක වැඩ කරයිනම් ඒ ඒ නිවෙස්වල නැවතී සිටිමින් දිවි ගෙවයි. කුලී වැඩ කිරීමෙන් ලැබෙන මුදලින් කෑමක් බීමක් ගැනීම හැරුනුවිට ඔහු කරන්නේ මත්පැන් පානය කිරීමයි(මෙහි මත්පැන් යනු අරක්කු නොව කසිප්පුය).

දිනක් මධ්‍යම රාත්‍රියේ මේ පුද්ගලයා යහළුවාගේ නිවසට පැමිණෙන්නේ තමා නිවසේ සිටිනවිට අවි ආයුධ රැගත් පිරිසක් තමා මැරීමට පැමිණි බවත් ඔවුන්ට හසුවීමට කලින් පැනආ බවත්ය. මෙහි සත්‍ය අසත්‍ය තාවය සෙවීම පසෙකලා මිත්‍රයා ඔහුට නිදාගැනීමේ අවස්ථාව සලසා දුන් අතර ඉන් පසුවද, යම් ශබ්දයක් ඇසුනවිට මොහු බියපතු වූ බවත් ඔහු මා සමග පැවසීය. කෙසේ වුවද එදින ඔහු බීමතින් නොසිට ඇත. පසුදින අදාල ප්‍රදේශය පරීක්ෂාකර බැලුවද කිසිවකු පැමිණි සළකුණක් නොතිබූ බවත් මා මිතුරා ප්‍රකාශ කලේය. ඔහු එම සිද්ධිය තවත් අයෙකුට ප්‍රකාශ කලවිට එම පුද්ගලයා පැවසුවේ බීමත්ව නොසිට නින්දට යන දිනවලදී ඔහුටද එවැනිදෑ පෙනෙන බවත් මෙම සිද්ධියද එවැන්නක් වියහැකි බවත්ය.(දෙවනුව සදහන් කල තැනැත්තාද අධිකව මත්පැන් පානය කරන්නෙකි).

මේ සිද්ධියෙන් පසු මා කලේ මෙලෙස අධික ලෙස මත්පැන් පානය කරන්නන් කිහිපදෙනෙකුගෙන් මෙවැනි තත්වයක් ඇතිවිය හැකිදැයි විමසීමය.

ලැබුනු ප්‍රථිපල අනුව එය සත්‍යබව පෙනිනි. මා දටදෙනෙකුගෙන් පමන විමසීම් කල අතර ඉන් හයදෙනෙකු පමන ප්‍රකාශ කලේ සාමාන්‍ය තත්වයෙන් බැහැරව බීමතින් නොසිටින රාත්‍රී කාල වලදී ඔවුන් කුමනහෝ ආකාරයක භයවීම් වලට මුහුණදෙන බවයි. එම හයදෙනාගෙන්ද තුන්දෙනෙකු භයවී ඇත්තේ ඉහත පුද්ගලයා මුහුණදුන් ආකාරයට "යම් කෙනෙක් හෝ පිරිසක් තමාට හාණිකිරීමට පැමිණෙන" දර්ශනයන්ගෙනි.

පරීක්ෂණයට ලක්කල අටදෙනාම ඉතාමත් අධික මත්පැන් පානය කරන්නන් වූ අතර මින් සිව්දෙනෙකු කුලීවැඩ කරන්නන් වූ අතර දෙදෙනෙකු ගොවියන්ද අනෙක් දෙදෙනා සුළු ව්‍යාපාර කරගෙනයනු ලබන්නන්ද විය. තවද මොවුන් අටදෙනාම නීතිගත මත්පැන් සහ කසිප්පු යන දෙකම පාවිච්චි කරන්නන් වුවත් සාමාන්‍ය පාවිච්චිය කසිප්පුය. ප්‍රමාණයෙන් භාගය ඉක්මවා යන්නන් විය.

මීට අමතරව සාමාන්‍යයෙන් මත්පැන් පානය කරන්නන්ගෙන්ද වෙනම විමසීමක් කලත් ඔවුන්ගෙන් ඉහත ලැබුනු ප්‍රථිඵලය නොලැබුනි. ඔවුන් සාමාන්‍යයෙන් නීතිගත මත්පැන් පානය කරන්නන් වූ අතර එක්වරකට පානය කරන ප්‍රමාණය භාගයකට අඩුවිය.

අවවාදයයි! ඔබ පාවිච්චි කරන ප්‍රමාණය ඉතා ඉහල නම් මෙවැනි ප්‍රථිඵල ඇතිවියහැක.