Tuesday, October 30, 2012

ආ....... මේ ඕක පොඩි කෑල්ලක්!

කතන්දර අසන්නන්ගේ පහන් සංවේගය වෙනුවෙන් අදත් කියන්නට යන්නේ කතන්දර කිහිපයක්.

මේක මම දන්නකියන කාර්යාලයක සිද්ධියක්. ඔන්න දවසක් කාර්යාල පරීක්ෂණයකට කොළඹින් නෝනල මත්වරු සෙට් එකක් බැස්ස. මේ උදවිය බලන්නෙ ඵලදායීතාවය. කාර්යාලවල පාවිච්චි වෙන බඩුභාණ්ඩ එහෙමත් මේකට ඇතුලත්. (මට මතකයි එකසැරයක් පරීක්ෂණයකින් හොයාගෙන තිබුන රජයේ කාර්යාල වලට නිකුත්වෙන අල්පෙනෙති කටු වලින් සීයට හැත්ත ගනනක් අපතේ යනව කියල.) ඉතිං ‍පරීක්ෂක නෝන මහත්තුරුන්ට පොඩි සංග්‍රහයක් කරන්නත් කාර්යාලයේ උදවිය අමතක කලේ නෑ. මොකද එයාල සතුටු උනොත්නෙ ලකුණු ලැබෙන්නෙ. මේ සංග්‍රහයට කේක් එහෙමත් ගෙනාව. එක නෝන කෙනෙක් කේක් කපල පොඩි ප්ලේට් එකකට දැම්මත් එයාට එච්චර සැටිස් නෑ වගේලු. මොකද ඒ ප්ලේට් එක ටිකක් පරණ තත්වයේ එකක් නිසා. කොහොමත‍් කාර්යාලවල තියන පිඟන් වීදුරු කෝප්ප එච්චර හොඳ තත්වයක නෑ. ඉතිං මේ නෝන කලේ පිඟානට A4 කොල දෙකක් දාල ඒක උඩට කේක් දාපු එකයි. අන්තිමට වඳින්න ගිය දේවාලෙ ඔළුවට කඩා වැටුන වගේ පරීක්ෂක මහත්තයේ ඇහුවලු 'මේ කාර්යාලෙ කේක් දාන්නත් ගන්නෙ A4 ද?' කියල!


දෙවනි කතාවත් පරීක්ෂණ කේස් එකක් තමයි. කාර්යාලවල තියනව භාණ්ඩ සමීක්ෂණ කියල ජාතියක්. වැඩේ සිද්ධ වෙන්නෙ මෙහෙමයි. කාර්යාල වල තියන බඩු භාණ්ඩ, ඒ කියන්නෙ කල් පවතින බඩු-මේස පුටු කබඩ් වගේ දේවල්-අවුරුද්දකට සැරයක් පරීක්ෂා කරනව. ඒ කියන්නෙ පොත්පත් වල තියන බඩු ඇත්තටම තියනවද කියල බලනව. මේකට එන්නෙ වෙනත් කාර්යාලයක නිලධාරීන් කිහිප දෙනෙක්. ඒ වගේම අපිටත් චාන්ස් එක ලැබෙනව වෙන කාර්යාල වලට ගිහිල්ල මේ පරීක්ෂණය කරන්න.
මේ කතාවෙදි කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයක් තමයි පරීක්ෂණයට ලක්වුනේ. එතන තියනව පරීක්ෂණාගාර එහෙමත්. මේ පරීක්ෂණාගාර ඇතුලෙ තියනව පොඩි පොඩි නමුත් වටින උපකරණ. මේව භාරව ඉන්න නිලධාරිය ඒව භාරගන්නකොටත් පොඩි පොඩි 'අඩුවීම්' තිබුනලු. දැන් පරීක්ෂණය වෙන්නෙ මෙහෙමයි,

පරීක්ෂක මහත්තය: කෝ මේ උපකරණෙ?
නිලධාරිය : මේ තියෙන්නෙ!
පරීක්ෂක මහත්තය: කෝ මේ උපකරණෙ?
නිලධාරිය : මේ තියෙන්නෙ!
පරීක්ෂක මහත්තය: කෝ මේ උපකරණෙ?
නිලධාරිය : මේ තියෙන්නෙ!
පරීක්ෂක මහත්තය: කෝ මේ උපකරණෙ?
නිලධාරිය : මේ තියෙන්නෙ!

..........................
..........................

පරීක්ෂක මහත්තය: කෝ මේ උපකරණෙ?
නිලධාරිය : මේ තියෙන්නෙ!
පරීක්ෂක මහත්තය: ඕක ඉස්සෙල්ලත් පෙන්නුවනේ?
නිලධාරිය : නෑ ඒ මේක නෙවේ!

ඔන්න ආයෙත් බලනව,
පරීක්ෂක මහත්තය: කෝ මේ උපකරණෙ?
නිලධාරිය : ආ...... ඒක මේ පොඩි කෑල්ලක්.
පරීක්ෂක මහත්තය: එතකොට මේක?
නිලධාරිය : ආ...... ඕකත් මේ පොඩි කෑල්ලක් මං හිතන්නෙ බි‍ඳෙන්න ඇති.

පරීක්ෂණය ඉවර වෙලා පරීක්ෂක මහත්තය ගියාලු ආයතනයේ බොස් ගාවට.

බොස් : වැඩේ හරිද? සාර්තකද?
පරීක්ෂක මහත්තය: අනේ මං දන්නෙ නෑ සර්, අර හාදයගෙන් ඇහුවම හැම එකටම කියන්නෙ 'ඕක මේ පොඩි කෑල්ලක්' කියල. සමහර බඩු මට දෙපාර දෙපාර පෙන්නුව!

මම ඔය නිලධාරියා කියල දැම්මෙ වෙන කවුරුත් නෙවේ, අපේ කතා සාගරේ වෙච්ච රවි අයිය!


Thursday, October 25, 2012

බඩ අල්ලං හිනාවෙන්න චූටි කතා.

කතරගම දෙයියෝ

ටික කලකට ඉස්සර නෝනලගෙ ගෙදර පහන් පැල් හදනව. මම නෝන එක්ක කතාව,

මම : ඇයි පහන්පැල් හදන්නෙ?

නෝන : ඔයා දන්නෙ නැද්ද, මේ කාලෙට තමයි කතරගම දෙයියො දෙව්න්දරට යන්නෙ.

මම : ඉතිං?

නෝන : දෙවියන්ට පාර බලාගන්න තමයි හැමෝම කතරගම ඉඳල දෙව්න්දරට යනකල් පහන් පැල් බඳින්නෙ.

මම : දැන් මහවෙල පාරෙ ගෙවල් වලත් මේ විදියට පහන් පත්තු කරනව නේද? (නෝනගෙ ගෙවල් තියෙන්නෙ බෙලිඅත්ත පාරෙ)

නෝන : ඔව්!

මම : එතකොට දෙයියො දෙව්න්දර යන්නෙ මහවෙල පාරෙන්ද බෙලිඅත්ත පාරෙන්ද?

නෝන : $@$&%*&%@(^+

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

ආයෙත් බඳින්න ආවොත්........

ඔපීසියෙ උදවියට ට්‍රේනින් එකක්. මමයි තව මිස් කෙනෙකුයි විතරයි බ්‍රාන්ච් එකේ. එහාපැත්තෙ කාමරේ ඉන්න රෙජිස්ට්‍රාර් නෝනත් ට්‍රේනින් එකේ. උප්පැන්න-විවාහ-මරණ සහතික ගන්න එන උදවියගෙ ඇප්ලිකේෂන් අපි බාරගන්නව. රෙජිස්ට්‍රාර් නෝන ආවම දෙන්න බලාගෙන. ඔන්න එකසැරේටම ජෝඩුවක් ආව බඳින්න. සහතිකයක් ගැනිල්ල වගේ නෙවේනෙ බැඳිල්ල. තව ටික වෙලාවකින් ජීවිත කාලෙටම හිරේ විලංගුවෙ වැටෙන්න යන අසරණය දැක්කම මට තවත් දුකයි! එහෙව් එකේ පරක්කු කරන්න හොඳ නෑනේ. මම ගත්ත රෙජිස්ට්‍රාර් නෝනට කෝල් එකක්. ම්හු! නෝ ආන්සර්. ඊට පස්සෙ රැස්වීම් ශාලාවටම ගිහිල්ල දේශනයත් මැද නෝන ඇදගෙන ආව. ඇවිල්ල වැඩේ කරවල දුන්න. යන ගමන් මනමාලය මටත් කියල ගියේ. මේ ඒ කතාබහ,

මනමාලයා : මහත්තය අපි යන්නං. බොහොම ස්තුතියි උදව්වට.

මම : ඔයාලටත් සුභ අනාගතයක්!........මේ..... නැකතක් තිබුනෙ නැද්ද?

මනමාලයා : නෑ,.... රෙජිස්ටර් කලා විතරයි.

මම : හා:...... මේවගේ දෙයක් පරක්කු වෙනඑක හොඳ නෑනේ. ඒකයි මම උදව් කලේ..... මීට පස්සෙ බඳින්න ඕනවුනොත් ඉස්සෙල්ල කෝල් එකක් දීල එන්න. කලින් දවසෙ උනත් කමක් නෑ. එතකොට පරක්කුවක් නෑනේ.oහෑ!........ මොකද්ද මම කිව්වෙ? ආයෙත් බඳින්න! ... මම කිව්වෙ දන්නකියන වෙන කව්රුහරි බඳින්න එනවනං!

මනමාලයා : හා!

යන්තං ගුටි නොකා බේරුනා!

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

එංගලන්තෙ නයි........

රවි අයියගෙ අයිය කෙනෙකුයි නංගි බැඳපු මස්සිනයි ඉන්නෙ එංගලන්තෙ. නංගිටත් එංගලන්තෙට යන්න වීසා ගන්න තිබුන ඉන්ටවීව් එකකින් ෆේල්වුනා. මස්සිනා එංගලන්තෙ උසාවියක කේස්එක ඇද්ද. මාස හයකින් විතර නඩුවෙන් දිනල නංගිට එංගලන්තෙට යන්න පුළුවන් උනා. රවි අයිය ඔය කතාව කිව්වට පස්සෙ අපේ කතාව මෙහෙමයි,

මම : ලංකාවෙ ඔහොම නඩුවක් දැම්මනං ඒක දිනල වීසා ලැබෙන කාලෙ වෙද්දි රට යවන්න වෙන්නෙ නංගිගෙ ළමයින්ගෙත් ළමයි නේද රවි අයියේ.

රවි අයිය : අඩෝ මස්සිනා රට ඉන්නකොට ළමයි කොයින්ද $@%තෝ!

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

නංගි රට යද්දි රවි අයියගෙ අම්මත් රට ගියා. මාස 6ක් විතර හිටිය මට මතක විදියට. දවසක් අපි එංගලන්තෙ ගැන කතාව,

රවි අයිය : එංගලන්තෙ නියමයිලු මල්ලී.

මම : oහා....

රවි අයිය : ඊයෙ පෙරේද අයිය නයෙක් මැරුවලු, මෙන්න සයිස් පී අකුර.

මම : පී අකුර

රවි අයිය : එංගලන්තෙ නයිංගෙ පයන්න කොයින්ද බං. පී අකුරලු තියෙන්නෙ.

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

ගිය වෙසක් පෝයට ඔපීසියෙ තිබුන සීල ව්‍යාපාරෙ වෙලාවෙ මාත් සිල් ගත්ත! උදේ 8.30ට සිල් ගත්ත මම 10.30 විතර වෙනකල්ම වාඩිවෙලා හිටිය. ඊට පස්සෙ නං ඉන්න බෑ කොහොමටවත්. කොන්ද රිදෙනව, කකුල් රිදෙනව..... ඒ ගමන උතුරු සළුව ගලවල දානෙ බෙදන කස්ටියට සෙට්වුනා. ඔපීසියෙ එවුන් කිව්වෙ මම ගත්තෙ ෂෝට්ලීව් සීලයක් කියල . ඒ උනත් වැඩේ ඉවරවෙලා ගෙදර ගියාම අම්ම කිව්වෙ මෙහෙමයි,

මම : අම්මේ අද මාත් සිල් ගත්ත.

අම්ම : හා.....! කොච්චර වෙලා සිල් ගත්තද?

මම : පැය දෙකක් විතර.

අම්ම : අපොයි ඒ හොඳටම ඇති!

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

Wednesday, October 24, 2012

සෑම් අයියගෙ ඉතිරි කතා.

පොරොන්දු වෙච්ච විදියටම සෑම් අයියගෙ ඉතිරි කතා ටික අරගෙන ආව. මේ සිද්ධිය වෙලා තියෙන්නෙ සෑම් ඇඹ්ලිපිටියෙ වැඩකරන කාලෙ. ඒ ආරක්ෂකයෙක් නැත්තං සිකියුරිටි කෙනෙක් විදියට. සෑම් ඇඟපත තියන හාදය. කොන්ඩෙත් කොටට කපල ඉන්න නිසා ටිකක් විතර පොලිස් ලුක් එකක් තියනව. දවසක් බස්එකේ කොන්දොස්තර මල්ලි සෑම් දිහා බලල අහල තියනව පොලිසියෙද කියල. සෑමත් එකසැරේම කිව්වලු තමුන් එස්අයි කෙනෙක් කියල. සාමාන්‍යයෙන් පොලිසියෙ උදවිය බස්එකේ ගියාට සල්ලි ගන්නෙ නෑනේ. එදා වගේම ඊට පස්සෙත් සෑම් යන්නෙ ඒ බස්එකේ. ටික කලක් මේ විදියට නොමිලේ බස්එකේ යනකොට කොන්දොස්තර මල්ලි දැනගෙන තියනව සෑම් පොලිසියෙ නොවන බව.
ඔන්න සුපුරුදු විදියට එක දවසක් සෑම් බස්එකේ නැඟල තමුන්ගෙ පාඩුවෙ යනවලු. ටික දුරක් ගිහිල්ල බස්එක නැවැත්තුවලු. කොන්දොස්තර මල්ලි සෑම් ලඟට ඇවිල්ල ඇහුවලු 'මහත්තය පොලිසියෙද?' කියල. සෑම් ඔව් කිව්ව. ඊට පස්සෙ කොන්දොස්තර මල්ලියි තවත් යාළුවො කිහිපදෙනෙකුයි සෑම්ව බිමට ඇදල දාල හොඳටම සංග්‍රහ කරල. අන්තිමට යන ගමන කිව්වලු, "දැං ‍උඹේ පොලිසියට කියපං" කියලත්. ඒත් සෑම් ඕවට සැලෙන මනුස්සයෙක් නෙවේ. ඇ‍ඟේපතේ තිබුන වැලි එහෙම පිහිදාගෙන වැඩට ගියාලු.

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

සෑම් උපහැරණ හදන්න සූරය කියල මම කිව්වනේ. මේක ඒවගේ සිද්ධියක්.
ලඟදි දවසක ඔපීසියෙ කෙනෙකුගෙ වෙඩිමක් තිබුන. සෑම් හැර අනිත් පියන්ල සෙට්එක ඒකට ගියා. ගියා විතරක් නෙවේ, ගල් අරක්කු බෝතලයකුත් ගල්කලා. ඒකත් අරගෙන ඔපීසියට ආවත් ඒ වෙද්දිත් අමුවෙන් හිටිය සෑම්ට සලකන්න අනිත් උදවියට ඕනකමක් තිබුනෙ නෑ. ඒ සෑම්ගෙ ගතිගුණ නිසා. මේ නිසා සෑම් හිටියෙ බොහොම දුකෙන්. සල්ලි නැතුව බොන්න තිබුන චාන්ස් එකනේ මිස්වුනේ. අපි මේ සිද්ධිය ගැන සෑම්ව බයිට්කලා. සෑම්ට නොදී බීපු යාළුවන්ගෙ කෑදරකම සෑම් හැඳින්නුවෙ මෙහෙමයි.

"මහත්තයෝ ඔය නන්දෙයි ලීලෙයි චමින්දයි ඉන්නව නේද, අරක්කු මූඩියක් මෙන්න මෙහෙම බිමින් තියල ඊට මෙහා පැත්තෙන් මලයක් තිව්වොත් මුං තුන්දෙනා අර මලේට අහුවෙනව" (මලය=මන්ද)

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

සෑම් කියන්නෙ ඉඩම් වලට තන්හාව තියන මනුස්සය. කාටහරි පොලියට සල්ලි දෙනව නං ඉඩමෙ ඔප්පුව ඇප තියාගෙන තමයි දෙන්නෙ. ඒ වගේම ලාභෙට ඉඩමක් ගන්න ලැබුනොත් ඒ ගැනත් උනන්දුයි. ලඟදි දවසක ඉඩමක් ගන්න ගිහිල්ල සෑම් නූලෙන් බේරුනා. සෑම්ගෙම වචනයෙන් මෙන්න කතාව.

"මහත්තයෝ ලඟදි දවසක එකෙක් මට ඇවිල්ල කිව්ව අක්කර පහක පොල් ඉඩමක් ලක්ෂ දහයකට දෙනව කියල. මමත් වැඩේට කැමතිවුනා. ඔය ගානට පොල් ඉඩමක් ගන්න ලැබෙන්නෙ නෑනේ. මම හැදුවෙ බැංකුවෙනුත් කීයක් හරි අරගෙන ඉඩම ගන්න. ඉඩම තියනව කිව්වෙ ජූලම්පිටියෙ. මම සෙනසුරාද දවසක ගියා අරූ එක්ක ඉඩම බලන්න. වැරැද්දක් ඇත්තෙත් නෑ. මම ඌට පොරොන්දුවුනා මම ඉඩම ගන්නව කියල. ලෝන්එකත් දාන්න ලෑස්තිවෙලා මට ආයිත් හිතුන මෙතන මොකක්හරි අවුලක් තියනව කියල. මම ගිය සතියෙ තනියම ගියා ඉඩම බලන්න. වටේ පිටේ ඉන්න මිනිස්සු එක්කත් කතා කලාම තමයි වැඩේ තේරුනේ. ඒ ඉඩමට අල්ලපු ඉඩමෙ ඉන්නෙ ජූලම්පිටියෙ අමරෙ! ඌ වත්තට පැනල පොල් කඩනවලු, වැටවල් කඩනවලු, සීන් ගොඩයි. ඌ ඇතුලෙ ඉඳල ආව දවසට මට වෙඩිකන්න වෙන්නෙ. මම වැඩේ ඇතෑරිය එකෙන්ම. මට වෙඩිකන්න බෑනෙ මහත්තයෝ"

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

Monday, October 22, 2012

සෑම් අයියගෙ කතන්දර.

පහුගිය ටිකේම දේශපාලන පෝස්ට් ලියවන නිසා කතන්දරයක් ලියන්න බැරිවුනා. අනෙක කතන්දර උල්පත වෙච්ච රවි අයියත් ඔපීසියෙ නෑ. මෙන්න මේ වෙලාවට තමයි සෑම් අයිය මගේ පිහිටට ආවෙ. සෑම් කියන්නෙ අපේ ඔපීසියෙ වැඩකරන පියන්-එහෙම නැත්තං කාර්යාල කාර්ය සහයක මහත්තයෙක්. මීට කාලෙකට ඉස්සෙල්ල ලිව්ව වැඩිහිටියන්ට පමණයි කතාවක් වෙච්ච 'ටෝච්පාර' සෑම් අයියගෙ කතාවක්.

සෑම් කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අතිපණ්ඩිත මනුස්සයෙක්. එයා එක්ක කතාකරල දිනන්න කාටවත් බෑ. හැබැයි මොනව හරි උදව්වක් කිව්වොත් කරනව. සෑම්ගෙ මූලිකම වැරැද්ද තමයි අධික ලෝභකම. උදාහරණයක් විදියට අපේ බ්‍රාන්ච් එකේ අයට ඕනවුනා කියල හිතමු කෑමෙන් පස්සෙ අයිසික්‍රීම් කන්න. ඉතිං කස්ටිය කලෙක්ෂන් එකක් දාල සෑම් අයියට තමයි කියන්නෙ අයිස්ක්‍රීම් ගේන්න කියල. ඒ ගෙනාවම එයාටත් එකක් ලැබෙනව. ඒත් මෑන් තමුන්ගෙ එක ගේන්නෙවත් කන්නෙවත් නෑ. ඒ සල්ලි ටික ගන්නව. කොහොමද ලෝභකමේ තරම! මේ නිසා ඔපීසියෙ අනිත් පියන්ලගෙන් සෑම්ට සෑහෙන කැපිලි තියනව. සෑම් අයිය එක්තරා කාලයක් වැඩ තහනම් වෙලා හිටිය. ඊට පස්සෙ ඇරියස් එකත් එක්ක ජොබ්එක ලැබුන. ඒ ලැබුන සල්ලි ගමේ මිනිස්සුන්ට පොලියට දුන්න. දැන් ඒ ව්‍යාපාරයත් නැගල යනව.

සෑම් අයිය කියන්නෙ අතිපණ්ඩිතයෙක් කියල කිව්වනේ. එයාගෙ ලඟ තියනව අමුතු අමුතු උපහැරන. සමහරවිට ඒව කිසිම ගැලපීමක් නැති වෙලාවලුත් තියනව. එයාගෙ වැඩ තහනම අවසානයේ දිස්ත්‍රික් ලේකම්තුමා කතාකරල ජොබ්එක නැවත දෙන්න.
"තමුන් කලේ වැරැද්දක් උනත් නැතත් දැං ආයෙත් ජොබ්එක දෙන්න තීරණය කරල තියනව. හොඳින් රාජකාරී කරගෙන යන්න මීට පස්සෙ" කියල දිස්ත්‍රික් ලේකම්තුමා කිව්වම සෑම් කිව්වලු,

"ඔව්සර්, මං වැරැද්දක් කලේ නෑනේ. අනෙක මං දැනගෙන හිටිය ගහේ පිත්ත වැටෙන්නෙ ගහ මුලටම තමයි කියල"

ආන්න ඒවගේ කතන්දර තමයි සෑම්ගෙ තියෙන්නෙ.

තවත් සෙනසුරාද දවසක ඔපීසියට ඇවිල්ල අපි එක්ක කතාව. සෑම් කියනව,
"මහත්තයෝ මම හිඟාකාල හරි හවසට කීයක්හරි හොයාගෙන ගෙදර එනකොට මම කැමතියි මගේ ගෑනි ගිනි කිකිළි වගේ ඉන්නවනං"
අපි බිපෙසි.

මේ තවත් කතාවක්.
සෑම්ට තියනව කුඹුරක්. වතුර ගන්න වැවේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් නිසා ඊලඟ කන්නයට වතුර ලැබෙන්නෙ නෑ කියන රාවයකුත් තිබුන. මේ අතරෙ කුඹුර කිට්ටුව ගෙදරක හිටිය මනුස්සයෙක් කුඹුරෙ මංඇට වපුරල. (වතුර නැති නිසා සෑම් අයිය කුඹුර වගාකරන එකක් නෑ කියල හිතල). ඔන්න සෑම් සිද්ධිය විස්තර කලේ මෙහෙමයි.

"මහත්තයෝ තිලකරත්න මම නැති අතරෙ අපේ ගෙදර ඇවිල්ල ගෑනිට කියල තියනව කුඹුරෙ මුං ගැහුව කියල. මම ගියා උගේ ගෙදරට, ගියාම මූ කියනව, සෑම් අයියේ මේසැරේ කුඹුර කරන්නෙ නැතිනිසා මම මුං ගැහුව කමක් නෑනේ කියල. මම කිව්ව කමක් නෑ, හැබැයි කුඹුර දුන්නනං වී කිලෝ හයසිය පනහක් ගන්නවනේ. ඒ නිසා මට මුංඇට කිලෝ හයසිය පනහක් ඕන කියල"

"ඉතිං සෑම් අයියේ අක්කරේක මුං හොඳට හැදුනත් කිලෝ හාරසීයකට වඩා බෑනේ" මම ඇහුව.

"නෑ රාජ් මහත්තයෝ වී ද මුංද තලද කියල මට අදාල නෑ. රත්තරං වගා කලත් මං කියන්නෙ මට කිලෝ හයසිය පනහක් ඕන කියල!"

"ඉතිං මෑන් මොකද කියන්නෙ?"

"දැං ඇඬිල ඉන්නවලු!"
ඕන්න සෑම්ගෙ වැඩ.
සෑම්ගෙ තවත් කතා ඊලඟ පෝස්ටුවෙන්.


Friday, October 19, 2012

අනේ අනිච්චං!

දත්බුරුසුවක් ගන්න ඕනවෙලා අද උදේම මම ගියා හංදියෙ කඩේට. කස්ටිය කතාව මාත් පොඩ්ඩක් එන්ටර් උනා.

"පවු. කොච්චර උනත් යුද්ධෙ නැතිකරන්න මුල්වෙච්ච නායකයනෙ" සරත් අයිය කියනව.

ආ........ ෆොන්සේක ගැන වෙන්නෝන කතාව.

"නෑ නෑ වටේ හිටිය එවුන් කෑව. ඒකයි ඔච්චර ඉක්මනට යන්නවුනේ" ඒ කියන්නෙ සෝමෙ මාම.

"කවුද වටේ හිටිය කිව්වෙ ජේවීපී කාරයොද?" මං ඇහුව.

"ජේවීපී කාරයො මුලදි සප්එකට හිටිය තමයි, පස්සෙ විරුද්ධවුනානෙ?"

"රැස්වීමට නාවට එයාල එච්චර විරුද්ධ නෑනේ" මම කිව්ව.

"කවුරු ගැනද පුතේ උඹ කතා කරන්නෙ?" සෝමෙ මාම ඇහුව.

"වෙන කවුද! ෆොන්සේක මහත්තය ගැනනේ"

"හැක් හැක් හැක්......." කඩේ මුදලාලි මගේ මූන බලල හිනාවෙන්න ගත්ත.

"සහෝදරයන්ට පුත්තුන්ට ඕනවට වැඩිය සලකන්න ගිහිං තමයි ඔය වින්නැහිය උනේ" මේ අතරෙ එහෙම කිවුවෙ ත්‍රීවීල් එකේ චූටි මල්ලි.

"කවුද බං සහෝදරයන්ට සැලකුවෙ. බෑනගෙ කොමිපැනියෙ හුටපටයක් තිබුන තමයි. ඒක මහලොකු දෙයක්යැ?"

"හෙහ් හෙහ් හෙහ් .......මූට වයර් මාරුවෙලාද කොහෙද?" ඒ අතරෙ සෝමෙ මාම කියනව.

"අපරාදෙ! විධායක ක්‍රමේට තිබුන බාධාවත් අයිංකරගත්තෙ" මුදලාලි කියනව.

"ෆොන්සේක මහත්තයත් පරද්දගෙන ආවම මම නං හිතුවෙ අවුරුදු විසිපහක් තිහක් පුටුවෙ ඉඳී කියල"

"නාමල් බේබිටනං පව්. ඒ කොලුව ඉතිං පටංගත්ත විතරයිනෙ"

"ගෝටාබය මහත්තය නං ඇමරිකාවටම යයි නේද?"

"බැසිල් මහත්තයත් යයි"

"අපිටත් කෙලවෙයි වගේ අයියේ" මෙච්චර වෙලා කට වහගෙන හිටිය රුවන් මල්ලි කිව්ව. ඌ අලුතෙන් රාජ්‍ය සේවයට ආපු අභ්‍යාසලාභියෙක්. මගෙත් ඉවසීම පැන්න,

"උඹල කවුරු ගැනද මේ කතා වෙන්නෙ? මොකද්ද වෙලා තියෙන්නෙ?"

"ඇයි බං ඇහුනෙ නැද්ද ඊයෙ රනිල් මහත්තයගෙ කතාව. උන්නැහේ කිව්වෙ නොවැම්බර් අට වෙනකල් විතරයි ආන්ඩුවට චාන්ස්එක දෙන්නෙ කියල! උන්නැහේ තිස්ස මහත්තයත් එක්ක එකතුවෙලා ගානට ගේම දෙයි. මහින්ද මහත්තයට අකුලගන්නයි වෙන්නෙ. උන්නැහේට දැනටම උන හැදිලැති!"

Thursday, October 18, 2012

විශ්වාසය බිඳීම

පවුලක වේවා යම් කණ්ඩායමක් අතර වේවා ආයතනයක වේවා විශ්වාසය බිඳීයාම බරපතල ප්‍රතිවිපාක ඇතිකරන්නකි. ව්‍යාපාරික හෝ වෙනත් ආයතනික මට්ටමින් ගත්කල විශ්වාසය බිඳීයාම බරපතල ප්‍රතිවිපාක ඇතිකරන්නකි‍. ලාභ ඉපැයීම අරමුණු කරගෙන පිහිටවූ පෞද්ගලික ආයතනයක් සැලකූ විට එය එම ආයතනයේ පරමාර්ථ වලට කෙලින්ම බලපෑම් ඇති කරයි. මෙම බිඳීයාම ජනතා මුදලින් නඩත්තු වන රාජ්‍ය ආයතනයක් සම්බන්ධයෙන් ගත්කල අතිශයින්ම භයානකය. රජයේ ආයතන වූකලී විශ්වාසනීයත්වය උපරිම මට්ටමින් තිබියයුතු එමෙන්ම අනෙක් අතට සේවා දායකයන්ගෙන් එවැනිම විශ්වාසයක් බලාපොරොත්තුවන ඒකකයන්ය. උදාහරණයක් ලෙස ඔබ ඔබේ විදුලි බිල්පත හෝ ජල බිල්පත ගෙවීමට අදාල ආයතනයට ඉදිරිපත් කල චෙක්පතක් අගරුවීම සැපයුම විසන්ධිකිරීම මෙන්ම සදාකාලයටම ඔබේ චෙක්පත් භාර නොගැනීමට හේතුවක් වියහැකිය.

තත්වය මෙසේ වුවද පසුගිය කාලයේ ඇතිවූ යම් යම් සිදුවීම් දෙස බැලීමේදී රාජ්‍ය ආයතනවල මේ අංශයේ පිරිහීම හොඳින් දක්නට ලැබෙන කරුණකි. මේ සටහන ඒ පිළිබඳවය.

විභාග දෙපාර්තමේන්තුව.
මෙම ආයතනය පිලිබඳව අමුතුවෙන් විස්තර කිරීම අනවශ්‍යය. මීට වසර කිහිපයකට පෙර යම් මට්ටමක කීර්තියක් රඳවාගෙන තිබූ විභාග දෙපාර්තමේන්තුව වසර කිහිපයක් ඇතුලත දැඩි පිරිහීමකට ලක්විය. ප්‍රශ්න පත්‍රයක සෝදුපත් බැලීමෙහි සිට රහස්‍යභාවය රැකීම දක්වා වන සියළු අංශයන්ගේ විශ්වාසනීයත්වය බිඳවැටිනි. අපකීර්තිමත් කොමසාරිස්වරයා ඉවත්වී ගියද තත්වය යහපත් අතට ගමන්කිරීමක් නෙපෙනේ.
කොරියානු භාෂා විභාගය.
සෑම වසරකට වරක් බැගින් පැවැත්වුවද මහත් ආන්දෝලනයක් ඇතිකරමින් අවසන් වන කොරියනු භාෂා විභාගය, දෙපාර්තමේන්තුවේ සැබෑ ප්‍රශ්නයේ කැඩපතක් වැනිය. මෙහි මූලිකම ප්‍රශ්නය නිසි කළමනාකරණයක් ඇතිකර ගැනීමට ඇති අපොහොසත් භාවයයි. එසේ නොවූයේ නම් විභාග අවසරපත්‍රය ලබාගැනීමට එකිනෙකා මරාගන්නා පෝලිම්වල සිටීමට අවශ්‍යවන්නේ නැත. සාමාන්‍යයෙන් ඕනෑම විභාගයක අවසරපත්‍රය නිවසට හෝ පාසල වැනි අයදුම්කරුවාට පහසු ස්ථානයකට ලැබීමට සැලැස්වුවද මෙවර මෙම විභාගයේදී අනුගමනය කර ඇත්තේ අපූරු උපක්‍රමයකි. දුරකථන සිම්පතකට එවන පණිවුඩයකින් දැනුම්දීම නිවැරදිව සිදුකරන බව දෙපාර්තමේන්තුව පැවසුවත් බොහෝ පිරිසකට සාධාරණය ඉටුකිරීමට ඔවුන් සමත්වී නැත. මාධ්‍ය වලින් දැනගත් ආකාරයට විශාල පිරිසකට විභාගයට මුහුණදීමට නොහැකිවී ඇත.

දරුවනේ!
මේ දිනවල තිරගත වන 'දරුවනේ' නම් චිත්‍රපටයේ අවුලද මෙවැනිම ප්‍රශ්නයකි. සුනිල් ටී පෙරේරා නිෂ්පාදනය කල මෙම සිනමාපටයේ වංචනික ව්‍යාජ පිටපත් නිෂ්පාදනය වී ඇති අතර සොයා බැලීමේදී අනාවරණය වූයේ එය පාසල් ළමුන්ට දර්ශනය සඳහා අවසර ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශයට ලබා දුන් පිටපත ව්‍යාජ පිටපත් මුද්‍රණය සඳහා යොදාගෙන ඇති බවයි. මෙවැනි දෑ ඇතිවීම ඉතාමත් ලජ්ජාසහගතය.

මීට ටික කලකට පෙර එක්තරා රජයේ ආයතනයක් අධිකරණය හමුවට ගියේ විගණකාධිපතිවරයා එම ආයතනයෙන් ඉල්ලා සිටි පැහැදැලි කිරීමක්-හෙළිකිරීමක් කල නොහැකි බව පවසමින්ය. එම ආයතනයේ යම් ද්‍රව්‍යක් නිෂ්පාදනය කල අතර විගණකාධිපතිවරයා ඉල්ලා සිටියේ රහසක් ලෙස පවතින එහි සංයුතිය ලබාදෙන ලෙසය. ඒ සඳහා ඔහුට බලතල ඇතත්, උක්ත ආයතන ප්‍රධානියාගේ තර්කය වූයේ අදාල සංයුතිය හෙලිවීම තුල අනුපූරක නිෂ්පාදන බිහිවියහැකි බවයි. මේ සම්බන්ධව අධිකරණය තීරණය කලේ විගණකාධිපතිවරයා වෙත අදාල හෙලිකිරීම සිදුකරන ලෙසත් එහි වගකීම විගණකාධිපතිවරයා දැරියයුතු බවත්ය.

මේ විශ්වාසය බිඳීයාම පිලිබඳ මගේ අත්දැකීමකි.
2007 වසරේදී අනතුරට ලක්වූ මගේ යතුරුපැදිය පූර්ණව රක්ෂණය කර තිබුනේ ජනශක්ති රක්ෂණ සමාගමෙන්ය. සිදුවූ හානිය රුපියල් 50000ක් පමණ වූ අතර අදාල මුදල ලබාදීම දිගින් දිගටම ප්‍රමාද කිරීම සිදුවිය. මෙවැනි දේ පිලිබඳව පැමිණිලි කිරීමට නිලධාරීන් එම ආයතනයේ සිටි අතර මා එවන් නිලධාරියෙකුටත් ඔහු පිලිබඳ තවත් ඉහල නිලධාරයෙකුටත් පැමිණිලි කලද එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් විය. මාස කිහිපයකට පසු නියමිත ප්‍රමාණයට අඩු මුදලක් ලැබුනු අතර එය හානිය පියවාගැනීමට තරම් නොවීය.
ඊට ටික කලකට පසු මා සේවය කල කාර්යාලයේ නිලධාරීන්ට ගෙවීමේ ක්‍රමයට යතුරුපැදි ලබාදීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මකවූ අතර යතුරුපැදි ගෙන්වූ සමාගම සමඟ රක්ෂණය කිරීමට පැමින තිබුනේ 'මා හිතවත්' ජනශක්ති රක්ෂණ සමාගමයි. එවකට කාර්යාලයේ වැටුප් සකස්කිරීමේ යෙදී සිටි මගේ 'කෙටි දැනුවත් කිරීමකට' පසු යතුරුපැදි ලබාගත් සියලුදෙනා රක්ෂණය සඳහා වෙනත් ආයතන සොයා ගියහ.
විශ්වාසය කඩවීමේ ඵලවිපාක එසේය. අනෙක් අතට විශ්වාසය නොමැතිවූවිට ගොඩනැගෙන්නේ අරාජිකත්වයයි.

Tuesday, October 16, 2012

අන්තවාදයට එරෙහිව..........


Malala Yousafzai බ්ලොග්කාරියට ඉක්මන් සුවය පතමු!

සියළු ආකාරයේ අන්තවාදයට එරෙහිවෙමු!

අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය පිලිගනිමු!



Sunday, October 14, 2012

Sunday special ජනප්‍රිය නිලියන්ට ආදර්ශ ප්‍රශ්නෝත්තර.


ආදර්ශ ප්‍රශ්න උත්තර ඉස්සෙල්ලම ලංකාවට බෙදුවෙ සතර පත්තරේ චන්ද්‍රසෝම පෙරේර මට මතක විදියට. උන්නැහේ ඒකෙන් හොඳ ගානක් හම්බකරගත්ත‍‍. මංතුමා කරන්න යන්නෙත් ආං ඒවගේ වැඩක්. හැබැයි සල්ලි කීයක්වත් අයකරන්නෙ නැතුව නොමිලේම දෙනව. හැබැයි මේ ප්‍රශ්නෝත්තර සංග්‍රහය වැදගත් වෙන්නෙ නිලියන්ට විතරයි. මාධ්‍යවේදීන්ගෙ ප්‍රශ්න වලට මේ විදියට උත්තර දුන්නම හරි.

ඔබගැන කියල ඇහුවොත් : "බොහොම සරළව මහපොලවෙ පයගහල ජීවත්වෙන කෙනෙක්" කියන්න එකෙන්ම.

ක්ෂේත්‍රයට ආව හැටි : කවුද අනේ ඉස්කෝලෙ යනකාලෙ නාට්‍යක රඟපාල නැත්තෙ? කියන්න "පාසල් වේදිකාවෙන්" කියල.

කන්න කැමති කෑම : කැමති මොනව උනත් කමක් නෑ. කියන්න ඕන මෙන්න මේව, "බතුයි කරවල හොදියි - කොස් මැල්ලුම්, පොලොස්...... "වගේ දේවල්. ආ..... බතල මඥ්ඥොක්කත් නැගල යනව.

බොන්න කැමතිම බීම : "වතුර" කියන්න එකෙන්ම.

පාවිච්චි කරන සබන්, සුවඳ විලවුන්, ආලේපන,...: වැඩිය කවුරුත් අහල නැති බ්‍රෑන්ඩ් වලින් කියන්න. මුලින් කියන්න මෙහෙම, "මම කෘතීම දේවල් වලට එච්චර කැමති නෑ....."

රඟපෑමේ හැකියාව : ඒකට කියන්න තියෙන්නෙ මෙහෙමයි, "මං හිතන්නෙ මේක උපතින්ම ගෙන ආව එකක් වෙන්නැති‍‍."

ඔබ වැඩියම කැමති පුංචි තිරයටද රිදී තිරයටද වේදිකාවටද? : "වේදිකාවට. වේදිකාව පූජනීයයි." ජනප්‍රිය උනාට පස්සෙ වේදිකාවල බඩගාන්නෙ කවුද? ඒත් කියන්න ඕන එහෙමයි.

ඔබේ හොඳම රඟපෑම : "මට හිතෙන්නෙ කිසිම අධ්‍යක්ෂකවරයෙකුට මගේ හොඳම රගපෑම ගන්න බැරිවුනා කියල." හැබැයි ලඟදි රඟපාපු නාට්‍යක් හරි චිත්‍රපටියක් හරි දැනට ප්‍රදර්ශනයට නියමිතව තියනව නම් කියන්න ඕන මෙහෙමයි.
"ලඟදි ෂූටින් අවසන් කරපු කාමරස චිත්‍රපටියෙ අධ්‍යක්ෂක කාමසේන මහත්තය තමයි මට හමුවුන හොඳම අධ්‍යක්ෂකතුමා. මගෙන් ගොඩක් දේවල් ගන්න ඔහු සමත්වුනා".

සැමියාගෙන් ලැබෙන සහයෝගය : හෙට ඩිවෝස්වෙන්න බලං හිටියත් කමක් නෑ. කියන්න ඕන මෙහෙමයි, "ඇත්තටම මහත්තයගෙ සහයෝගෙ නැතිවුනානම් මගේ රඟපෑම් නැවතිලා ගොඩක් කල්"

විවාහය ජනප්‍රියත්වයට බාධාවක් නෙවෙයිද? : මේ ප්‍රශ්නෙට ඉස්සර නං නිලියො දුන්න හරි ලස්සන උත්තරයක්."හොඳම නිලිය විදියට ඔස්කාර් සම්මානය ගන්නවට වඩා මගේ පවුල් ජීවිතේ මට වටිනව". ඒත් දැං නළු නිලියො කවුද කියල මිනිස්සු දන්නවනෙ. ඒ නිසා ඒ උත්තරේ දෙන්න බෑ.

ප්‍රවීනයන්ට ගරු කිරීම : තමුන් ටිකක් විතර අලුත් නං කියන්නෙ "හුඟ දෙනෙක් ප්‍රවීනයන්ට ගරු කරන්නෙ නෑ. ඒත් ම නං එයාලගෙන් ගොඩක් දේවල් ඉගනගන්නව". ටිකක් ප්‍රවීන නම් කියන්නෙ මෙහෙමයි, "ඒකාලෙ නං අපි ප්‍රවීනයන්ට කොච්චර ගරු කලාද. දැන් නවකයන් හිතන්නෙ එයාල ඔක්කොම දන්නව කියල". ඊට අමතරව ප්‍රවීනයන්ට අක්ක අයිය කියන්න. මාලනී අක්ක, රවින්ද්‍ර අයිය,.... වගේ.

රසිකයන් ගැන : මිනිහෙක් කතාකලාට මූන නොබැලුවත් කමක් නෑ "ඇත්තටම ප්‍රේක්ෂකයන් මට කරදරයක් නෙවේ. එයාල නිසයි මම අද මෙතැන ඉන්නෙ" වගේ ටෝකක් දෙන්න.

කටකතා ගැන : "පල ඇති රුකටනේ අනේ ගල් වදිනනෙ. මම ඕවට සැලෙන්නෙ නෑ".

දේශපාලනයට එන්න බලාපොරෙත්තුවක් තියනවද : දැනට එහෙම අදහසක් නැත්නං "අපොයි නෑ" කියන්න. දැනට දේශපාලනය කරනව නං කියන්න තියෙන්නෙ "දේශපාලනයට එන්න අදහසක් තිබුනෙ නෑ. ඒත් ජනාධිපතිතුමා ඉල්ලීමක් කල නිසා ආව. ක්ෂේත්‍රය වෙනුවෙන් යම් දෙයක් කරන්න"


ඕං ඔහොමයි මාධ්‍යකාරයන්ගෙ "කොරවෙන" ප්‍රශ්න වලට උත්තර දීල ලකුණු ටිකකුත් දාගන්නෙ.

Wednesday, October 10, 2012

අසූචිවංශගේ පහරදීම් විග්‍රහය.

අධිකරණ කොමිසමේ ලේකම්තුමාට පහරදීම පිළිබඳව අපූරු විග්‍රහයක්, විජාතික නිදහස් පෙරමුණේ නායක ගරු අසූචිවංශ මැතිතුමා විසින් කර ඇති බැව් දැනගත් අප එතුමාගේ ජංගම දුරකතන වලින් එකකට ඇමතුමක් ලබාගතිමි.

"හෙලෝ අසූචිවංශ ඇමතිතුමනි, මේ කතා කරන්නෙ රාජ්ගෙ නවාතැනෙන්, මංජුල තිලකරත්න මහත්තයට එල්ලවුනු ප්‍රහාරය ගැන ඔබ දරන මතය කුමක්ද කියල කියන්න පුළුවන්ද?"

"සහෝදරයා..... ආ.... නෑ..... සහෝදරය කිව්වඑක දාන්න එපා මල්ලී....... ආ....... පහරදීම ගැන නේ ඇහුවෙ?"

"ඔව් ඔව් ඇමතිතුමා"

"මේක රජය අපහසුතාවයට පත්කිරීමේ කුමන්ත්‍රණයක්"

"ඇයි ඔබතුමා එහෙම කියන්නෙ?"

"බලන්න එතුමා ගිහිල්ල තියෙන්නෙ දුවගෙ ක්‍රීඩා තරගයක් බලන්න. ඉතිං ක්‍රීඩාගාරෙ ඉන්නෙ නැතුව පාරට ආවෙ ඇයි?"

"ඇයි?"

"අන්න ඒකයි කුමන්ත්‍රණේ. එයා එලියට ගිහිල්ල වාහනේට වෙලා හිටියෙ ගුටිකන්න"

"ඒ කියන්නෙ එයාම ප්ලෑන් කරල ගස්සගත්ත?"

"නැතුව! ටී ටුවෙන්ටි බලන්න ලෝකෙම ජනමාධ්‍යවේදීන් ඇවිල්ල ඉන්න වෙලාවක ආණ්ඩුව ඔයවගේ දෙයක් කරයිද කවදාවත්? නෑනේ!"

"ආන්ඩුවෙන් මේවගේ දෙයක් කරන එකක් නෑ කියල හිතයි කියල ආන්ඩුවෙන්ම කලා වෙන්න බැරිද?"

"නෑ නෑ........ මගේ ළමයින්ගෙ ක්‍රීඩා උස්සව වලට ගියාමත් මම ඉන්නෙ ඒව බල බල..... එයා වාහනේට වෙලා ඉන්න ඕන නෑනේ...... දැක්කනේ අර ජනාධිපතිතුමා ටී ටුවෙන්ටි ෆයිනල්එක අගේට බැලුවෙ! මොකෝ එතුමා වාහනේට වෙලා හිටියද නෑනේ...... මුංට ඒවත් උගන්නන්න වෙලා මල්ලී!"

මධ්‍යස්ථව කල්පනා කරල බැලුවොත් කතාව ඇත්ත නේද? ක්‍රීඩා තරගයක් බලන්න ඕන විදිය පවා උගන්නන්න ආණ්ඩුවට සිද්ධවෙච්ච රටක් නේද මේක?

කවුද මේවට වගකියන්න ඕන?


පිංතූරෙ ඉස්සුවෙ සූස්තිගෙන්.

ප.ලි.- යූ ටියුබ් ලින්ක් එකක් දාන්න හිටියෙ. අද උදේ බලනකොට ලංකා රාජ්‍ය ජාලෙ යූටියුබ්-ෆේස්බුක් තහනං කරල.

Monday, October 8, 2012

නීතිය වල්වැදීම.


අද නීතිය ගැන කතාකිරීමට සිදුවන්නේ කරුණු දෙකක් නිසාය‍‍. එකක් අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට එල්ලවූ මැර ප්‍රහාරයයි. අනෙක බ්ලොග්කරුවා දන්නාකියන සිද්ධියක්ය.

නීතියේ ආ‍‍ධිපත්‍යයට තර්ජන එල්ල වූයේ අද ඊයේ සිට නොවේ. නීතිය පිහිටවනු ලැබූ දින සිට එය පවතී. උසාවි වලට- විනිසුරුවන්ට පහරදීම්, බියගැන්වීම්, තර්ජනය කිරීම් ආදිය අතීතයේ සිටම තිබූ දේවල්ය. මේ වනවිට එය උග්‍ර තත්වයට පත්ව ඇත‍. ඇමතිවරුන් විනිසුරුවන්ට තර්ජනය කරති, අධිකරණ සේවා කොමිසටම බලපෑම් ඇතිබව ප්‍රකාශවී මාසයක් ගතවන විට එහි ලේකම්ට මැර ප්‍රහාරයක් එල්ලවී ඇත‍. අනෙක් අතට අධිකරණය සහ පාර්ගිමේන්තුව අතරද ගැටුම්ය.දිවිනැගුම පණත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක වරයාට දැනුම් නොදී පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලබාදීම මීට හේතුවයි.

ලංකාවේ නීතියේ පවතින මූලික අඩුපාඩු කිහිපයකි‍.

යල්පැනගිය යාවත්කාලීන නොවූ නීති.
ඉංග්‍රීසීන්ගෙන් ලංකාවට ලැබුනු නීතියේ යාවත්කාලීය නොවූ තැන් බොහෝ ඇතිබව කියවේ. සමහර වගන්ති නිදහසටත් පෙර තිබූ ඒවාමය. උදාහරණ ලෙස රුපියල් 5-10 වැනි දඩවලට යටත්වන වැරදි අදත් ඇත‍.

නිතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයේ ‍ඇති දෝශ.
නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින මූලිකම ආයතනය වන පොලිසිය, අධිකරණය තරමටම ස්වාධීන භාවයකින් කටයුතු කිරීම අවශ්‍යය. එහෙත් සෑම කාලයකදීම පාලකයන්ගේ සුරතලෙකු බවට පොලිසිය පත්කරගෙන ඇති නිසා සාධාරණ නීතිය ක්‍රියාත්මක කිරීමක් අපේක්ෂා කල නොහැකිය.

සැමට සමානව නීතිය ක්‍රියාත්මක නොවීම
ස්වාධීනත්වයක් නොමැති නීති ක්ෂේත්‍රයක් තුලදී "නීතියට ඉහලින් සිටින්නන්" අනිවාර්ය අංගයකි. මෙහිම අනෙක් පැත්ත වනුයේ පලිගැනීම සඳහා නීතිය යොදාගැනීමේ හැකියාවයි. වරක් වික්ටර් අයිවන් ජාත්‍යන්තර අධිකරණයට ගොස් ලංකාවට එරෙහිව තීන්දුවක් ලබාගත්තේ මේ කාරණාව වෙනුවෙන්ය.

ක්ෂේත්‍රයේ පවතින අකාර්යක්ෂමතාවය
සාමාන්‍ය ජනතාවට වඩාත්ම බලපාන කාරණාව නම් යුක්තිය ප්‍රමාදය නිසා ඇතිවන අපහසුතාවයයි. මෙය නීති ක්ෂේත්‍රයේ අද පවතින බරපතළම අර්බුධයයි. සාමාන්‍යයෙන් ඉතා සුළු කරුණු කාරනා සහිත ප්‍රශ්නයක් විසඳාගැනීමට නීතිය ඉදිරියට ගියහොත් යුක්තිය ඉටුකරගැනීම සඳහා වසර කිහිපයක්වත් ගතවේ. ඉඩකඩම් සම්බන්ධ ප්‍රශ්න විසඳීම සඳහා ගතවන කාලය අතිමහත්ය. සමහර විට පරම්පරා ගනනක් වුවද විය හැකිය. "ඉඩම් නඩු දිනන මිනිහා අඟුරුය, පරදින මිනිහා අළුය" යන දෙමළ කියමන සෑදී ඇත්තේ මෙම අකාර්යක්ෂමතාවය නිසාය.

පසුගිය දිනක වයස අවුරුදු 60ක් පමණ වන මගේ අසල්වැසියෙකු අතුරුදහන් විය‍. වසර පහකට පමණ පෙර සිය භාර්යාව මියගොස් සිටි ඔහු ජීවත් වූයේ තනියමය. පසුව සොයා බැලීසේදී අනාවරණය වූයේ මීට වසර ගනනාවකට පෙර, බිරිඳ ජීවත්ව සිටියදී ඔහුට එරෙහිව කරනලද පැමිණිල්ලක් හේතුවෙන් මොහු අත්අඩංගුවට පත්වී ඇති බවය. ලංකාවේ නීතිය එසේය.
මීට ටික කලකට පෙර අධිකරණවල ගොඩගැසී ඇති ගැටළු කඩිනමින් විසඳීමට යෝජනාවක් ගෙන ආ අතර, "නීතිය රැකගැනීමට" ඕනෑම අවස්ථාවක වීදිබසින-වැඩ වරන ගරුකටයුතු නීතීඥවරුන්ගේ විරෝධය නිසා එය හකුලා ගැනීමට සිදුවිය.

මෙසේ නීතියේ ඇති අඩුපාඩු හේතුවෙන් මතුවන්නෙ බරපතල සමාජ ප්‍රශ්නයන්ය. මෙහි ඇති භයානකම තත්වය වන්නේ නීතිය පිලිබඳ විශ්වාසය බිඳවැටීමයි. එය මේ වනවිට සිදුවෙමින් පවතී. තම සතුරාට එරෙහිව නීතිය ඉදිරියට ගොස් පාරට බැසීමට වඩා කීයක් හෝ වියදම් කර සතුරා ඉවත් කිරීමට පුරුදු වූ අයවලුන්ගේ ප්‍රමාණය එන්න එන්නම වැඩිවේ.

මෙම ගැටළුවලට විසඳුම් දියයුත්තේ පවතින රජයයි. එහෙත් ඔවුන් ඒ සඳහා උනන්දුවක් දක්වනු නොපෙනේ. ඒ වෙනුවට අපූරු ක්‍රියාමාර්ගයක් අනුගමනය කරයි. එනම් ආර්ථික අර්බුධ වලින් ගොඩඑනු වස් නීතිය උපයෝගී කරගැනීමයි. වැරදිකරුවන් සඳහා අයකරන දඩ මුදල් වැඩි කිරීමෙන් ප්‍රශ්න විස‍ඳේ යයි සිතන ආණ්ඩුව මට්ටු වනවිට ප්‍රශ්නය බොහෝ ඔඩුදුවා තිබිය හැකිය. මල්වඩම්-මිනීපෙට්ටි රැගෙන එන්නන් සිතිය යුත්තේ එයයි.

Friday, October 5, 2012

අනාගතයෙන් පැමින,.........


කොහේදෝ ඇවිදිමින් සිටි මා එක්වරම ඇදවැටුනේ අඳුරු ගුහාවකටය. ඇතුලත තිබූයේ ඝනකම් අඳුර ම පමණක් වූ අතර ක්ෂණයකින් ඒ තුලින් ඇදී යන්නට විය. ශරීරයේ පාලනය ගිලිහී ගිය අතර තත්පර කිහිපයකින් ආලෝක වර්ෂ ගනනක් දුරක් යයි සිතියහැකි තරම් ගමන්කලේය. අවසානයේ එක්වරම අඳුර තුලින් එලියට විසිවූ අතර විනාඩි කිහිපයක සිහි එලවාගැනීමක ඇවෑමෙන් යලිත් මට මා හමුවීය. එහෙත්,.......

*****************************************************************************

මාර්ගය දෙපස තැනින් තැන දල්වා තිබූ විදුලිපහන් ඒ සන්ධ්‍යාව බව කියාපෑවේය. එහෙත් මා සිටියේ මධ්‍යහ්නයේ බව සිහිවිය. යම් දෙයක් සිදුවී ඇතිබැව් තේරුම්ගත් මා මාර්ගයේ ගමන්කරමින් සිටියෙකු නවතාගතිමි.

"මල්ලී, අද දිනේ කවද්ද?"

"විස්ස"

"දහවෙනි මාසෙ නේ?"

"දෙවනි මාසෙ!" කතාව එපමනකින් නැවැත්වීමි. සළුවෙලා වගේ ඉන්නෙ! යන ගමන් ඔහු මුමුනණු ඇසිනි. මගේ කාල වේලාව බරපතල අර්බුධයකට පත්වී ඇති බැව් සිතාගැනීම අපහසු නොවීය. ඈතින් තවත් තරුණයන් දෙදෙනෙකු එමින් සිටි අතර මට ගණදෙවි නුවණ පහලවිය. සාක්කුවට අතදමා ජංගම දුරකතනය අතටගත් මා එය තරුණයන්ට දිගු කලෙමි.

"මල්ලී මගේ ෆෝන්එකේ වෙලාව වෙනස්වෙලා හදල දෙන්න"

අයියෝ මේක විසිකරල දාල හොඳ ෆෝන්එකක් ගන්න අයියා" වේලාව සකස්කර නැවත මා අතට දුරකතනය දෙමින් ඔවුන් පිටත්වී ගියේය. ඔවුන් දෙස යටැසින් බැලූ මා වෙව්ලන ඇඟිලි තුඩින් දිනය පිරික්සීමි!..........

2028! මට කෑගැසිනි.
"ඇයි අයියා ප්‍රශ්නයක්ද?" තරුණයන් දෙදෙනා මා දෙස බැලුවේය.

"නෑ මල්ලී හරි හරි!"

එසේ නම් මා අවුරුදු දහසයක් අනාගතයට පැමිණ ඇත. එහෙත් වටපිටාවේ එතරම් වෙනසක් සිදුවී නැත. එක්වරම විදුලි කණුවක එල්ලා තිබූ බැනරයක් මාගේ අවධානයට යොමුවිය.

අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඉක්මන් සුව පතමු!

මෙය වියහැකි දෙයක්ද! මුළු කතාවම කිවහැකි අයෙකු දැන් සොයාගත යුතුය.

*****************************************************************************

"අච්චර බලයක් තිබුන මහින්ද මහත්තය පැරදුනේ කවද්ද?" ඇසිය යුතුම ප්‍රශ්නය මා මිතුරාට යොමු කලෙමි.

"ඒක සිද්ධවුනේ දෙදාස් දාහසයේ. ඒත් පටන් ගත්තෙ දෙදාස් දොලහෙ වෙච්ච සිද්ධියකින්."

"දෙදාස් දොලහේ? මම අන්තිමට හිටියෙ දෙදාස් දොලහෙනේ. මට මතක නෑනේ විශේෂ සිද්ධියක්"

"ඔහේ උතුරුමැද පළාත්සභාව වෙලාවෙ හිටියෙ නැද්ද?"

"මොකද නැත්තෙ! බර්ටිගෙයි එස්එම්ගෙයි නාඩගම මට මතකයි"

"හරි ඊට පස්සෙනෙ හොඳ සීන්එක උනේ. උතුරුමැද සභාපතිකම විපක්ෂෙන් පත්කලානෙ"

"ඒ කොහොමද? යූඇන්පී කාරයන්ට එච්චර බලයක් තිබුනෙ නෑනේ"

"නෑ නෑ උනේ මේකයි. සංධානෙන් යෝජනා කරපු අපේක්ෂකයට විරුද්ධව යූඇන්පී කාරයො, සංධානෙම‍ වෙන කෙනෙක් ගෙනාව. එයාගෙ නම සභාවෙදි ඉස්තීර උනා"

"ඉතිං?"

"උතුරුමැද විපක්ෂ නායකය කිව්‍ව එයාල ආණ්ඩුවෙ පලවෙනි යෝජනාවම පැරැද්දුව කියල, ආණ්ඩුව හෙල්ලුව කියල. එකම පක්ෂෙන් මිනිස්සු දෙන්නෙක් ගෙනාවම ඒ පක්ෂෙ උදවිය හොල්මන් වෙනවනේ, කාට දෙන්නද කියල. අනිත් අතට විපක්ෂෙ මන්ත්‍රීවරු ඡන්දෙ දෙන්නෙ තමුන් යෝජනාකල මිනිහටනේ. ඉතිං එයා දිනන එක අහන්න දෙයක්ද"

"ඊට පස්සෙ?"

"ඔය ප්ලෑන ගහල තියෙන්නෙ රනිල් මහත්තයලු. ඊට පස්සෙ අනිත් හැම පළාත්සභාවකම ඕක උනා. ආණ්ඩුව පැරදුනා."

"එතකොට?"

"ඊට පස්සෙ මහ මැතිවරණ ජනාධිපතිවරණ වලදිත් උනේ ඒක. සංදානෙ කට්ටිය කා කොටාගන්න අතරෙ මහින්ද මහත්තය කොරවෙලා ගියා. උන්නැහේ අන්තිමට ගෙදර ගියා. රනිල් ජනාධිපති උනා. බලන්න එතුමාගෙ මොලේ තමයි මොලේ"

*****************************************************************************

යූඇන්පී කාරයො කෑගහපු තරමට ඇත්තටම මම හිතුවෙ මේවගේ අනා(ග)ත ප්ලෑනක් තියනව කියල.

ටියුබ් ලයිට්ද?

Wednesday, October 3, 2012

මිත්‍රයෙකුගේ සමුගැනීම.

මගේ නවාතැනට යන එන උදවියට රවි අයිය කව්ද කියල කියන්න ඕන නෑනේ. මේ අඩවියෙ වැඩිම කතාන්දර ගනනකට ප්‍රධාන චරිතය උනේ මෑන් තමා. කතන්දර වලින් මිදිල මේ හදන්නෙ රවි අයිය ගැන කියන්න.

සමාජයේදී අපිට මුනගැහෙන මිනිස්සු අතරින් රවි අයිය කියන්නෙ විශේෂ සහ අමතක නොවන පුද්ගලයෙක්. සාමාන්‍යයෙන් බොහෝ දේවල් එච්චර ගනන් නොගන්න මෙයා කිසිම දෙයක් පාලනයක් ඇතුව කරන කෙනෙක් නෙවේ. ඒවායේ හොඳ-නරක දෙකම එයාට ලැබෙනව. සාමාන්‍යයෙන් රවි අයිය ඉන්න තැන කිසිම කම්මැලිකමක් නෑ. මොනවහරි කියනව. ගමේ තියන මළගෙවල් මගුල්ගෙවල් දාන-පිරිත්-බන ගෙවල් එකක්වත් රවි අයියගෙන් මිස් වෙන්නෙ නෑ. සමහර වෙලාවට දවස් දෙකක් තුනක් නිවාඩු ගන්නව. හේතුව ඇහුවම මළගෙයක්! ගෙදර මිනිස්සුන්ටත් නැති උවමනාවක් තමයි ඒ වැඩවලදි රවි අයියට තියෙන්නෙ.

රවි අයිය ජේවීපී කාරය කියල මම කලින් කියල තියනවනේ. ඔන්න දවසක් එයා නාමල් රාජපක්ෂ මැතිතුමාගෙ අනුග්‍රහයෙන් පවත්වපු තොරණක් බලන්න ගියා. තොරණෙ කවි කියන මනුස්සයට රුපියල් 100ක් දීපු රවි අයිය මෙහෙම කියනව,

"අයියේ සෝමවංශ අමරසිංහ අයියට දීර්ඝායුෂ පතා කවියක් කියන්න"

කවි කියන මනුස්සයට සෝමවංශ කවුද කියල තේරුනේ නෑ. එයා කවිය කිව්ව. ඊට පස්සෙ ආයෙත් රුපියල් 100ක් දීල කියනව

"අයියේ ජනතා විමුක්ති පෙරමුණට සෙත්පතල කවියක් කියන්න" ඕන්න එතකොටයි කවියට වැඩේ තේරුනේ.

"අනේ මල්ලී ඒකනං කරන්න බෑ........ දන්නවනේ මොකද කියල!"

"හරි! එහෙනං ටිල්වින් අයියට සුබපතල කවියක් කියන්න" යන්තං ඒ වැඩේ නං කෙරුනා.

මේ පෝස්ටුව ලියන්න හේතුවුනේ රවි අයිය ඔපීසියෙන් ගියා කියන්න. මොනව කලත් රවි අයිය කියන්නෙ සුපිරි මීටරයක්. ඔය ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි වගේ අපේ තියන බරපතළ පොත් එයාට කටපාඩම්. ඒ නිසාම ලඟදි ලියපු විභාගයකින් පාස්වෙලා පරිපාලන නිලධාරියෙක් විදියට අපේ ඔපීසියෙන් වෙන ඔපීසියකට ගියා. එයාට සුභපතන්නත් ජීවත්ව සිටියදීම කරන අගය කිරීමක් වශයෙනුත් තමයි මේ පෝස්ටුව ලිව්වෙ. රවි අයියට තිබුන සති දෙකක පුහුණුවක් කොළඹ. දවසක් දවල් 12ට 1ට විතර මම කතා කලා. අපේ සංවාදයේ කොටසක් මෙහෙමයි.

රවි අයිය : කෑම කාල පොඩ්ඩක් පාරට ආව බං දුමක් දාන්න. බුලත්විට කන්නත් බෑනේ.

මම : ☻

......................................................
......................................................

රවි අයිය : මේ මල්ලී, දැං ටිකකට කලිං ස්කූටියකින් ආපු කෑල්ලක් මගෙන් මොකක්ද තැනකට යන්නෙ කොහොමද කියල ඇහුව බං. ඉංග්‍රීසියෙන් ඇහුවෙ, මටත් තේරුනේ නෑ, මම ඉස්සරහ තියන බිල්ඩිමකට අත දික්කරල පෙන්නුව. ඔන්න දැන් ඒකි එනව මම පොඩ්ඩක් කවර් වෙලා ඉන්නං.

ප.ලි.- යාළුවෙකුගෙ බ්ලොග්එකක් තියනව. නම ප්‍රභා සෙවනැලි. කවි බ්ලොගයක්. ලඟදි පටන් ගත්තෙ. සින්ඩි ගැන මේ ගෑල්ලමය දන්නෙ නෑ. පොඩ්ඩක් ගිහිල්ල සප් එකක් දෙන්න. මාතලන් වගේ සින්ඩි අධිපතියන්ට පුළුවන් සිංඩියට දාගන්න.

පව්කාරයා කියන්නෙ මගේ හිතට අල්ලල ගිය තවත් බ්ලොගයක්. ඒකත් බලන්න කැමති උදවිය.

ප.ප.ලි.- ඔපීසියෙ තියන ඩියුටිත් එක්ක එච්චර බ්ලොග් කියවන්න වෙන්නෙ නෑ. සොරි වේවා.