Tuesday, August 26, 2014

ෆේස්බුක්මිනීමැරීම් ඇතුලාන්තය!

ෆේස්බුක් නිසා තවත් මිනීමැරුමක් සිදුවෙලා. ‍වර්චුවල් ෆේස්බුක් පෙම්වතා හැබෑ ලෝකෙදි දූෂකයෙක්-පීඩකයෙක් වීමේ වරදට වන්දි ගෙවන්න සිදුවුනේ ඔහුගේ පියාට. දූෂණයට ලක්වීමට අමතරව තමුන්ගෙ තාත්තට හිරේ ලගින්න සිදුවීම තරුණියගෙ පැත්තට සිදුවූ අලාභය. සාමාන්‍ය ලෝකයේ සිදුවන අපරාධ(රැවටීම්) සහ සයිබර් අපරාධ(රැවටීම්) සිදුවීම් සන්සන්දනය කලාම මට නං හිතෙන්නෙ සාමාන්‍ය ‍මිනිස්සු රවට්ටනවට වැඩිය පරිගණක සාක්ෂරතාවය ඇතැයි කියන උදවිය රැවටීම පහසුයි කියල. අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබාගනිද්දි අන්තර්ජාල අපරාධ සහ ඒ සම්බන්ධ නීති පත්‍රිකාවක් ලබාදිය යුතු තැනට අපි පත්වෙලා ඉන්නව.

මේ ලඟදි පත්තරේකට අදහස් දක්වන කවුදෝ 'විද්වතෙක්' කියනව මෙහෙම කතවෙක්.
"අන්තර්ජාලයෙන් ලෝකය පුංචි වෙද්දි අපි හිතුවෙ ලෝකය මීට වැඩිය ලස්සන තැනක් වේවි කියල. නමුත් අද අන්තර්ජාලයෙන් ජාතිවාදය ආගම්වාදය පැතිරෙනව. හොඳ පැත්තට නෙවෙයි ගමන් කරන්නෙ නරක පැත්ත‍ට...."

පොදුවේ ගත්තම විද්වතාට විස්තර කරගන්න බැරිවුන අන්තර් ජාලයෙන් 'නරක' පැතිරීම, විග්‍රහ කරන්න පුළුවන් මෙහෙම.

අන්තර්ජාලය හා ඒ සම්බන්ධ අනෙකුත් උපාංගයන් ඒ කියන්නෙ පරිගණක, ස්මාර්ට් ෆෝන්, ජාල සබඳතා සහ ඊට සම්බන්ධ දෑ, දියුණු වීමේ වේගය ඉතා ඉහලයි. ඒ වේගය මිනිස්සු යහපත් පැත්තට පරිණාමය වීමේ වේගයටත් වැඩිය වැඩියි. මේ වගේ වෙනස් වේගයන් සහිත අයිතම දෙකක් එකිනෙක සම්පාත වීමෙදි, ගැටීමෙදි අර කියපු විදියේ අවුල් ඇතිවීම අනිවාර්යයි. ලෝකයේ අන්තර් ජාලය භාවිතා කරන පිරිස, ඒකෙ දියුණුවට කටයුතු කරන පිරිස එක්ක සංසන්දනය කලාම අති විශාල ප්‍රමාණයක්. සුළුතරයේ සොයාගැනීම් ක්ෂණිකව හැමෝම අතරෙ බෙදිල ගියාට බහුතරයේ තියන දෝශ ලෙහෙසියෙන් නිවාරණය නොවීම තුල ඇතිවන අවුල තමයි හොඳ දේ වෙනුවෙන් නිර්මාණය වූ දෑ නරකට යොදාගැනීම. ස්කන්ධය ශක්තිය බවට පත්වන හැටි අයින්ස්ටයින් කියල දුන්නම න්‍යෂ්ඨික බලාගාර හැදෙන්නෙ, පරමාණු බෝම්බය මිනිස්සුන්ගෙ ඔලුගෙඩි උඩට හෙලීමට පස්සෙ වීම එක උදාහරණයක් විතරයි.

මේ තත්වය අඩු වැඩි වශයෙන් ලෝකය පුරාම තියන දෙයක්. ඒ වගේම මෑත අනාගතයේදි නවතීවි කියල බලාපොරොත්තු වෙන්න බැරි දෙයක්. ගල් යුගයේ මානවය හොයාගත්ත "පිහිය" සයිබර් යුගයේදිත් අනෙකාට අනින්න භාවිතා කරන තත්වයකදි, මේ යුගයේ සොයාගැනීම් තවත් යුග ගනනාවක් යනකල් අවභාවිත වීම වලක්වන්න බැරිවේවි. අපිට තනිවම කරන්න පුළුවන් එක දෙයයි, ඒ දැනුවත්ව සිටීම පමණයි.

Monday, August 11, 2014

පොදු අපේක්ෂකයා FAQ

ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා කියන්නෙ කවුද?

සරළව කිව්වොත් පොදු අපේක්ෂකයා කියන්නෙ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන එකමුතුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන තැනැත්තා.

ඇයි පොදු අපේක්ෂකයෙක්?

ලෝකයේ ඇති දේශපාලන තරග අතරින් වඩාත්ම අසාධාරණ තරගයක් තමයි ලංකාවෙ ජනාධිපතිවරණය. එතනදි බලයේ සිටින ජනාධිපතිවරයා කවුරු උනත් එයාට වැඩි වාසියක් අත්වෙනව. ඒක වලක්වන්න බෑ. ඒ බලයට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්නෙ පොදු අපේක්ෂකයෙකුටම පමණයි. අන්න ඒකයි පොදු අපේක්ෂකයා වැදගත් වෙන්නෙ.

වර්තමාන තත්වය ගැන කතා කලොත්?

වර්තමාන ජනාධිපතිවරයා පරාජය කල යුතුයිනෙ. ඒක ගැන විවාදයක් නෑ මං හිතන්නෙ. නමුත් ජනාධිපතිවරයා සමඟ තරග කරන්න මුළු විපක්ෂයම එකතු වෙන්න වෙනව. මොකද මහින්ද රාජපක්ෂ මහත්තය එච්චරට ශක්තිමත්. ජනාධිපති ධූ‍රයේ වගේම ආණ්ඩු බලය තමා අතේ තිබියදී ඔහු පරාජය කිරීම ලෙහෙසි නැහැ. නමුත් කල යුතුයි.

කොහොමද ඒ වැඩේ කරන්නෙ? කවුද තෝරාගන්නෙ?

කරුණු කිහිපයක් සලකා බැලියයුතුයි. පළමුවෙන්ම සතුරාගේ දුර්වලතා හඳුනාගත යුතුයි. දෙවනුව විපක්ෂයේ ශක්තිය ගැන නිගමනයකට පැමිණිය යුතුයි. ඒ වගේම විශ්වාසදායක අයෙකු ඉදිරිපත් කලයුතුයි. නැත්නම් ඉඟුරුදීල මිරිස් ගත්ත වගේ වෙනව.

තවත් පැහැදිලි කලොත්........

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඡන්ද පදනම වෙන්නෙ සිංහල ඡන්ද, සිංහල ඡන්ද වලින් බහුතරයක් ලබාගන්න ඔහුට අපහසු නෑ. දූෂණය සහ ජීවන වියදම වැනි කාරණා තමයි ඔහුට එරෙහිව යොදාගන්න තියෙන්නෙ. නමුත් සංවර්ධන ව්‍යාපෘති, යුද්ධය අවසන් කිරීම වගේ කාරණා ඉස්මතු කරල මුලින් කියපු දුර්වලතා යටට දාන්න ඔහුටත් ඔහු වටා ඉන්න කථිකයන්ටත් අපහසු වෙන එකක් නෑ. අනෙක් අතට විපක්ෂයට හැකියාව තියනව සුළු ජාතික ඡන්ද ලබාගැනීමට. විශේෂයෙන් අද තියන ප්‍රශ්නත් එක්ක බැලුවම දෙමළ ජනතාවගේ සහ මුස්ලිම් ජනතාවගේ ඡන්ද දිනාගැනීම අපහසු නෑ. ඒ සමඟම යූඑන්පී-ජවිපෙ එකමුතුවකින් ජනාධිපතිවරයාට අභියෝගයක් එල්ල කල හැකියි.

දැන් ප්‍රශ්නය අපේක්ෂකයා කවුද?

වැදගත්ම ප්‍රශ්නය තමයි අපේක්ෂකයා. මුලින් කිව්ව විදියට ඔහු විපක්ෂයේ සහයෝගය ලබාගන්න පුළුවන් අයෙකු වියයුතුයි. විශේෂයෙන් දෙමළ-මුස්ලිම් ඡන්ද බහුතරය ලබාගතහැකි අයෙක් වියයුතුයි. වැදගත් කාරණයක් තියනව. සුළු ජාතික ඡන්ද ලබාගන්නා ගමන්ම සිංහල ඡන්ද දායකයාට එකඟ වියහැකි අයෙකුද වියයුතුයි. මේක අතුරේ යාම වගේ වැඩක්.

තවත් පැහැදිලි කලොත්.....,

උදාහරණයක් විදියට පොදු අපේක්ෂකයා වියයුතුයි කියල කතාබහක් ඇතිවුන නිර්මාල් රංජිත් දේවසිරි මහත්තය ගනිමු. ඔහුගේ තියන අදහස් අනුව ඔහුට පුළුවන් පහසුවෙන්ම දෙමළ සහ මුස්ලිම් ඡන්ද දිනාගන්න. නමුත් ආණ්ඩුව පැත්තෙන් ඒ කරුණම ඔහුට විරුද්ධව යොදාගෙන තවත් සිංහල ඡන්ද ටිකක් වැඩිපුර දිනාගන්න මහින්ද මහතාට පුළුවන්. අන්න ඒ වගේ අලුතෙන් ඇතිවියහැකි තත්වයන් බලල පොදු අපේක්ෂකයා තෝරාගත යුතුයි.

හරි. දැන් කෙලින්ම යෝජිත නම් ගැන කතා කරමු.

මේ වනවිට යෝජනා වී ඇති නම් තමයි, සෝභිත හාමුදුරුවෝ, චන්ද්‍රිකා මැතිනිය, ශිරානි බණ්ඩාරනායක නෝන. මේ උදවියගෙ වාසි අවාසි තියනව. උදාහරණයක් විදියට චන්ද්‍රිකා මැතිනිය එක්ක විධායකය අහෝසි කරන්න කතා කිරීමේ තේරුමක් නෑ. දෙවතාවක් ධූරයේ ඉඳලත් ඒක නොකරපු කෙනෙක්. අනිත් අතට සාම්ප්‍රදායික ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ප්‍රමාණයක් දිනාගන්න පුළුවන් වෙන්න ඉඩ තියනව. දෙමළ සහ මුස්ලිම් නියෝජිතයන් එකතු කර ගැනීම ගැන තියෙන්නෙ 50-50 තත්වයක්.
ශිරානි බණ්ඩාරනායක මැතිනියට තියෙන්නෙ වර්තමාන ජනාධිපති එක්ක ප්‍රශ්නයක්. එයත් චන්ද්‍රිකාගෙන් මහලොකු වෙනසක් නෑ.
සෝභිත හාමුදුරුවො ගැන සිංහල සමාජයට මහලොකු අවුලක් නෑ. දෙමළ සහ මුස්ලිම් ඡන්ද එකතු කරගන්නත් පුළුවන්. පැහැදිලිවම සටනක් දෙන්න පුළුවන්.


එතකොට රනිල්?

පොදුවේ ගත්තම පොදු අපේක්ෂකය මේ වගේ කෙනෙක් වියයුතුයි.




මේකෙ S වලින් පෙන්වන්නෙ සිංහල ඡන්ද. 75%ක් විතර වන සිංහල ඡන්ද අමතක කරල මේ ගමන යන්න කොහෙත්ම බෑ. ඒ වගේම T අකුරෙන් දෙමළත් M වලින් මුස්ලිම් ඡන්දත් පෙන්වා තියනව. C කියන්නෙ විපක්ෂයේ-විශේෂයෙන්ම ප්‍රධාන සිංහල පක්ෂ දෙක වන යූඑන්පී හා ජවිපෙ- එකඟතාවය. ඒකත් අනිවාර්ය අවශ්‍යතාවයක්. එතකොට පැහැදිලි වෙනව පොදු අපේක්ෂකයා සිටියයුත්තේ රතු පැහැයෙන් දක්වා ඇති සියල්ල ඡේදනය වන කුලකයේ බව. ඔහු/ඇය එම කොටස තුල සිටිනා 'හොඳ' කෙනෙකු වියයුතුයි.
රනිල් මහතා මේකට ආදේශ වන්නේම කොල පැහැයෙන් දක්වා ඇති කොටසට. වඩාත් පැහැදිලි කලහොත් ඔහු සිටින්නේ S කුලකයේත් අන්තයක. ඔහු ‍අපේක්ෂකයා වනවිට ජවිපෙ එකතු කරගැනීමේ අවස්ථාව ඇහිරී යනව. ජනාධිපතිවරණයකදී ජවිපෙ සාධකය අමතක කල නොහැකියි.


විධායක ක්‍රමය අහෝසි කිරීමේ අරමුණින්, පොදු අපේක්ෂකයා ඉදිරිපත් වීම ගැන කතිකාවක් ඇතිව තිබෙනවා. ඒ ගැන.....,

විධායක ක්‍රමය අහෝසි කල යුතුයි කියන එක රටේ බහුතර මතය. අඩුම තරමින් ලංකාවේ විධායක ක්‍රමයේ ඇති ඒකාධිපති බලතල කප්පාදු කලයුතුයි කියන තැන තමයි බහුතර ඡන්ද දායකයා ඉන්නෙ. මහින්ද රාජපක්ෂගෙන් හෝ රනිල් වික්‍රමසිංහගෙන් එවැන්නක් බලාපොරෙත්තු වෙන්න බෑ. නමුත් නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු ගැන යම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.

නමුත් බොහෝදෙනාගේ තර්කය තමයි විධායක ජනාධිපතිධූරයට පත්වන්නා එය අත් නොහරිනවාය කියන කාරණාව. ‍එයට උදාහරණ විදියට චන්ද්‍රිකා සහ මහින්ද දක්වන්නත් පුළුවන්, මේ තත්වය ගැන කතා කලොත්,

නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් වැදගත් වන්නෙ මේ වගේ අවස්ථාවක තමයි. මොකද පක්ෂයක කෙනෙකුට වැඩිය විශ්වාස කරන්න පුළුවන් සාමාන්‍ය අයෙක්. අනිත් අතට යමෙක් ඡන්දය ඉල්ලන්නෙම ජනාධිපතිධූරය අහෝසි කරන්න නම් එයාට බලපෑම වැඩියි පක්ෂයකින් පත්වන අයෙකුට වැඩිය. ඒ වගේම ඒවගේ කෙනෙකුට එරෙහිව පොරොන්දුව ඉටු කරවගන්න ජනතාව පෙලගැස්වීමත් පහසුයි.

නමුත් ජනාධිපති වෙලා ඉනිමඟට පයින් නොගහයි කියල දෙන්න පුළුවන් සහතිකය මොකද්ද? මේක මෙතෙක් කවුරුත් නොකල දෙයක්?

කරන්න දෙයක් නෑ. විශ්වාසය තැබීම පමණයි කල හැක්කේ. "මෙතෙක් නොකලා......" කියන තර්කය වැඩක් ඇති එකක් නෙවේ. "අලුතෙන් සිදුවුන ඕනෑම දෙයක් සලකල, ඊට පෙර අවස්ථාවට ඒ නියමය ආදේශ කලාම බොරුවෙන පුහු තර්කයක් ඒක. ඔය නියමය අනුව නං තාමත් ප්‍රභාකරන් අපි එක්ක යුද්ධ කරනව.

Tuesday, August 5, 2014

බිත්තර කොස් ඇට සහ කොස් ඇට මීයෝ.

පසුගිය දිනෙක වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා ලියූ පුවත්පත් ලිපියක් අන්තර්ජාලයේද සංසරණය විය. ලිපියෙන් විස්තර වූයේ මාංශ/නිර්මාංශ ආහාර පිළිබඳවය. වෛද්‍යවරයාගේ ලිපිය අනුව මිනිසා සර්වභක්ෂකයෙකු වන අතර ඔහුගේ ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමුඛ පෝෂක ලබාගැනීමට මාංශ ආහාර ලබාගැනීම අත්‍යවශ්‍යය. තවද ළමා කාලයේ මොලයේ වර්ධනයට ප්‍රෝටීන් ඇතුළු පෝෂක වල අවශ්‍යතාවයද මෙම පෝෂක නොමැතිවීමෙන් ඇතිවිය හැකි අනිසි බලපෑම්ද විද්‍යාත්මකව විග්‍රහ කර තිබිනි. මෙවැනිම ලිපියක් උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින්ද මීට මාස කිහිපයකට පෙර පුවත්පතකට ලියා තිබිනි. විශේෂයෙන්ම නිර්මාංශිකයන් අධික ඉන්දියාවේ, නිර්මාංශ ආහාර වේල තුල අඩංගු ද්‍රව්‍ය ඔවුන්ගේ පෝෂණ උෟණතාවය මඟහරවන ආකාරය හේතු සහිතව දක්වා තිබුනි.

කෙසේ වුවත් ටීඑන්එල් රූපවාහිනියේ නිර්මාංශ ප්‍රවර්ධන වැඩසටහනකදී වෛද්‍යවරයෙකු විසින් ආරියසේන යූ ගමගේ මහතාගේ අදහස විවේචනයට ලක් කලේ කිසිදු විද්‍යාත්මක හේතු දැක්වීමකින් තොරවය. ඔහුට අනුව බිත්තරයක පෝෂණ ගුණය සමාන ගුණයක් කොස් ඇට දෙකක ඇත. වෙනත් ආකාරයකට කියන්නේ නම් (සත්ව) බිත්තරයක් අනුභව කිරීම වෙනුවට (ශාකමය) කොස් ඇට දෙකක් අනුභව කිරී‍ම කලහැකිය. ඊට පසු සති අන්ත රාවය පුවත්පතේ ආරියසේන යූ ගමගේ මහතාගේ පිළිතුරු ලිපිය පලකර තිබුනි. බිත්තරයක පවතින ගුණයත් කොස් ඇටයක පවතින ගුණයත් විද්‍යාත්මකව පැහැදිලි කර තිබූ අතර රූපවාහිනී ගොඩවෙදාගේ තර්ක පුස්සක් බවට පත්කොට තිබුනි.

මේ සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ස්වභාවයයි. එක් අයෙකු ඇත්ත කියන විට හිතුමතේ ගල් පැලෙන බොරු කීමට සූදානම් වූවන් සිය ගණනක් සිටිති. විශේෂයෙන්ම රූපවාහිනිය වැනි මාධ්‍යක් තුලින් කියන දෑ හිස් මුදුනින් පිලිගැනීමට සූදානම් ජනතාවක් මෙහි සිටිති. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියේ අසත්‍ය පැවසීම නීතියෙන් තහනම්ය. එහෙත් මෙම නිර්මාංශිකයන්ට මෙන්ම ජ්‍යෝතිෂය වැනි මිත්‍යාව පතුරන්නන්ටද එය බාධාවක් නොවේ.

මීට ටික කලකට පෙර පොල්තෙල් වල කොලෙස්ටරෝල් අඩංගු බවත් හෘද රෝගීන්ට පොල්තෙල් යෙදූ ආහාර සුදුසු නොවන බවත් කියැවිනි. මේ බටහිර විද්‍යාත්මක මතයයි. එහෙත් ඉන් පසු තවත් පිරිසක් ප්‍රකාශ කලේ පොල්තෙල් හානිදායක නොවන බවය. විදේශයන්හි සිට පැමිණෙන විවිධ වර්ගවල එලවළු තෙල් විකුණාගැනීමේ අරමුණින් (බහුජාතික කුමන්ත්‍රණයක්) පොල්තෙල් වල ගුණ අගුණ කල බැව් ඔවුන්ගේ මතය විය. චිරාත් කාලයක් ලාංකිකයන් පාවිච්චි කල පොල්තෙල් වලින් කොලෙස්ටර්රෝල් සම්බන්ධ රෝග ඇති නොවූ බව ඔවුන්ගේ තර්කය විය. තර්කයක් ලෙස ගත්විට මෙය සාවද්‍යය, මක්නිසාද යත් ප්‍රතිලපය ලබාගත යුත්තේ අතීතයේ ලාංකිකයාගේ ජීවන රටාව සහ වත්මන් ලාංකිකයාගේ ජීවන රටාවද අධ්‍යයනයට ඇතුළු කිරීමෙන්ය. මෙහි ප්‍රතිපලය නම්, සාමාන්‍ය මිනිසෙකු සලකා බැලූ විට තමාට පොල්තෙල් හොඳද නරකද යන්න නිශ්චය කරගත නොහැකි තරම් ව්‍යාකූල කර තිබීම අභාග්‍යකි.

කෙසේ වුවද ආහාර වැනි දෑ සම්බන්ධයෙන් යම් නීතිරීති පද්ධතියක් මෙරටට අැවැසිය. වර්තමානයේ පවතින කුමන හෝ ක්‍රමවේදයක් තුලින්(දේශීය හෝ බටහිර) යම් සිරුරකට හිතකර ආහාර මොනවාද අහිතකර ආහාර මොනවාද යන්න නිශ්චිතව දැනගැනීමේ ක්‍රමයක් තිබිය යුතුය. එක එක මූලධර්මවාදීන්ගේ චින්තනය ආහාරයට එක්කිරීම වැලැක්විය යුතුය. කෙටියෙන් කිවහොත් ආහාර පිළිබඳ සංගායනාවක් කල යුතුය. නිර්මාංශ ප්‍රවර්ධකයන් නිර්මාංශයේ වැදගත්කම දැක්විය යුත්තේ සත්ව අවිහිංසාව පදනම් කරගෙන මිස බේගල් ඇදබෑමෙන් නොවිය යුතුය. එසේ වූ විට පොල් බූරුවන්ගේ කතන්දර නිසා අනාගත පරපුර කොස්ඇට මීයන් වීම වලකිනු ඇත.

ප.ලි: සරුංගලේ බ්ලොග් අඩවියේ අද දින පලකර අැති "දෙයියන්ගේ කැඳ" ලිපියට පාදක වන්නේද මෙවැන්නකි

Monday, August 4, 2014

රණරාල සමඟ අපේ විභාගය සහ ගලැස්ගෝ වන්දනාව.[Glasgow 2014]

මේ බ්ලොග්කරුවා පාසලේ අටවැනි වසර සිටින විට තවත් සිසුන් කිහිප දෙනෙකු සමඟ සාහිත්‍ය තරගාවලියක් සඳහා යාමට තෝරා ගැනුනි. අපේ කාර්යය වූයේ ලිඛිත පරීක්ෂණයකට පිළිතුරු සැපයීමයි. අදාල විභාගයට මාසයකට හෝ දෙකකට පෙර දිනෙක සිංහල-සාහිත්‍ය ගුරුවරයා විසින් පාසල නියෝජනය කරන සිසුන් තෝරාගනු ලැබීය. විභාගයේදී පිළිතුරු සැපයීමට සිදුවන්නේ කුමන වර්ගයේ ප්‍රශ්නවලට දැයි විමසූ මට සාහිත්‍ය ගුරුතුමා දුන් පිළිතුර අදටත් මතකය.

"මේ නිකං සාහිත්‍ය ගැන පොඩි ප්‍රශ්න ටිකක්...... හැම ඉස්කෝලෙකින්ම ළමයි එනව..... ඔයාල දිනුවොත් සහතික එහෙමත් ලැබෙනව"

විභායය පැවැත්වූයේ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රසිද්ධ පාසලකය. යාමට ඒමට බස්රථයේ ගාස්තුව රුපියල් දොලහක් පමණ වූ බැව්ද මතකය. අදාල වේලාවට කලින් විභාගය පැවැත්වූ පාසලට ගිය අප‍ට දක්නට ලැබුනේ ඒ වනවිටත් පොත් පෙරලමින් සිටි විභාග අපේක්ෂකයන්ය. නාඳුනන ශිෂ්‍යයෙකු ලඟට ගොස් ඔහු කතාවට අල්ලාගත් පසු ඔහු කීදෙයින් මා මවිත වීමි.

"රණරාල පොතෙන් එන්නෙ.... මම ඒක පාඩං කරන්නෙ"

"කොහොමද දන්නෙ?"

"ඇයි ඉස්කෝලෙන් කිව්වෙ!"

තවදුරටත් සොයා බැලූ විට සියල්ලන්ම කියවමින් සිටින්නේ රණරාලයි. අප පත්වූයේ හොල්මන්ද පොල්කොල තත්වයටයි. අවසානයේ අපේ ගුරුවරයා පැමිණි විට ඔහුගෙන් විමසුවෙමු.

"කමක් නෑ පුතාල ලියන්නකො.... මේක ඔයාලට හොඳ අවස්ථාවක්...."

විභාග ප්‍රශ්න පත්‍රය බෙදූවිට පෙනුනේ කීවා හරි බවය. ප්‍රශ්න පත්‍රයේ ඇත්තේ රණරාල ගැනය. රණරාල පොල්කැඩූ හැටිද, සතුරන් මෙල්ලකල හැටිද, දිවි රැකගත් හැටිද ආදී නොයෙකුත් ප්‍රශ්න අසා තිබුනි. විභාගයේ ප්‍රතිපල කවදාවත් දැනගන්නට නොලැබුන අතර දැනගත්තා කියා අමුතු සෙතක්ද නැති බව අමුතුවෙන් කිවයුතු නැත. කෙසේ වුවද එක් කරුණක් විශේෂ විය. අපේ අවධානයට ලක්වූ සිසුන්ගේ සෑම පාසලකින්ම එක් අයෙකු පැමිණ තිබූ විභාගයට අපේ පාසලෙන් තිදෙනෙකු සහභාගී විය. අප සහභාගීත්වය අතින් ඉදිරියෙන් සිටියේය.

මේ කතාව මට යලි සිහිකලේ ග්ලැස්ගෝ නගරයේ පැවති මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කල අපේ කණ්ඩායමේ විශාලත්වයයි.

-------------------------------------------------------------------------------


♣ එයාගෙ වයස දහඅටයි. ඒ වගේ අයට‍ අත්දැකීම් දුන්නම, මේ සැරේ බැරිවුනත් අපිට අනාගතයේ පදක්කමක් දිනාගන්න පුළුවන්.

♣ එයාගෙ වයස විසි පහයි. කොහොම උනත් එයාට මුනගැහුනෙ ලෝක ශ්‍රේණිගත කිරීම්වල දහවෙනිය. ඒකයි දිනන්න බැරිවුනේ.

♣ එයාගෙ වයස තිස් දෙකයි. එයා වගේ අත්දැකීම් ඇති ක්‍රීඩකයෙක් යන්නම එපැයි.

♣ යකෝ එතකොට අපි දිනන්න යන්නෙ කවද්ද?