Wednesday, February 26, 2014

වාරණය සහ තෝරාගැනීම

පසුගිය සතියේ ජනමාධ්‍ය සහ බ්ලොග් අවකාශයේ පුවත් අතුරින් මගේ අවධානයට ලක්වූ කරුණු තුනක් විය. පළමුවැන්න ෆේස්බුක් ගිණුමට බැරවූ (පළමු)තරුණියගේ දිවි නසාගැනීමත් ඒ පිළිබඳ සමාජ කතිකාවන්ය. දෙවැන්න දුම්වැටි පැකට්ටුවේ රූපමය අවවාද ඇතුලත් කලයුතු යයි පාර්ලිමේන්තුවේ සම්මත කිරීමයි. තෙවැන්න ඊනියා ගව ඝාතනයට එරෙහිව සිංහල රාවය අන්තවාදීන් සිදුකල විරෝධතාවය අතර ඇතිවූ කලහයයි. මේ සිදුවීම් සියල්ලම එකිනෙක බැඳුනු සිදුවීම් නොවුවද, සිද්ධීන් වල ඇතුලාන්තය විස්තර කිරීමට එක් පොදු විෂයක් යොදාගතහැකිය.

ලෝකයේ කුමන හෝ සමාජ කණ්ඩායමක් වේවා ආරම්භයේ සිට මේ දක්වා පැමිණ ඇත්තේ ඒ ඒ කාලයන්හි සිදුවන පරිවර්තනයන්ට යටත් වෙමිනි. පරිවර්තනයන් දරාගත නොහැකි වූවන් විනාශවීම හෝ ඔවුන්ගේ බලපෑමේ දිශාවට සමාජය අපගමනය සිදුවීම අනිවාර්ය අංගයකි. අද ඇතිවී තිබෙන තත්වයටද මේ න්‍යාය වලංගුය.

1. ෆේස්බුක් සහ දිවි නසාගැනීම්.
ෆේස්බුක් වේවා ජංගම දුරකතන වේවා පරිගණක යන්ත්‍ර වේවා මේ සියල්ලක්ම නූතනත්වයේ නිර්මාණයන්ය. මෙකී නිර්මාණයන් නිසා ලෝකය ඉතා කුඩා තැනක් බවට පත්වී ඇත. අංශක එකසීය අසූවකින් වෙනස් වන, ලෝකයේ එහා පැත්තේ සිදුවන දෙයක් වුවද මොහොතකින් දැනගැනීමට තරම් දියුණු වී ඇත. දියුණු වී ඇත්තේ තාක්ෂණය පමණක් නොවේ. භෞතික දියුණුව සමඟ අත්වැලි බැඳගත් ප්‍රතිපත්තීමය කරුණු කාරණා වලින්ද ලෝකය පොහොසත්ය. උදාහරණයක් ලෙස 88-89 කාලයේ මෙරට සිදුවූ මානව හිමිකම් කඩවීම් වලට වඩා සමහර විට ඊට වඩා ප්‍රමාණයෙන් කුඩා නමුත් දැන් සිදුවන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රතිචාර වලින් සිතාගත හැකිය.

2. දුම්වැටි සහ ගැසට් පත්‍රය.
දුම්වැටි පැකට්ටුවේ රූපමය අවවාද අසූවක් පමණ යෙදීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ සම්මත විය. (විධායක ජනාධිපති ධූරයේ වාර දෙකේ සීමාව ඉවත් කිරීමත් ස්වාධීන කොමිෂන් සභා අහෝසි කිරීමත් යන ව්‍යවස්ථාමය කරුණු සංශෝධනය කිරීම පවා මීට වඩා පහසු වීම විශාලතම සරදමයි). මීට කලින් සම්මත කරගත් චිත්‍රපට ටෙලිනාට්‍ය ආදී නිර්මාණයන්හි විකාශන අවස්ථාවේ මෙවන් අවවාද තිරයට දැමීම හෝ එවන් දර්ශන ඉවත් කිරීමද මීට සමානය.

3. සිංහල රාවය විසින් සිදුකල උද්ඝෝෂණයේ අරමුණ (ඔවුන් කියන ආකාරයට) රට තුල ගව ඝාතනය වැලැක්වීමයි. තහනමටයි. ඊට හේතු ලෙස යම් යම් මතවාද ඉදිරිපත් කරයි. විරෝධීන්ට පහර දෙයි... එ් පිළිබඳ අමුතුවෙන් කතා කිරීම අනවශ්‍යය.

මූලික ප්‍රශ්නය
ඉහත විස්තර කල ගැටළු තුන මෙන්ම සමාජීය ගැටළු බොහොමයකට ඇත්තේ එක් මූලික සාධකයකි-ගැටළුවකි. එනම් කාලානුරූපව සිදුවන වෙනස්කම් වලට මුහුණදීමේදී සමාජයක් ලෙස අප දක්වන දුර්වලතාවයයි. යාවත්කාලින නොවිමයි. තාක්ෂණයේ දියුණුව හිණිපෙත්තට නඟිමින් සිටියදීත් මානසික වශයෙන් අප උත්සාහ කරන්නේ ගල් යුගයේ භාවිතා කල ශිල්පක්‍රම තවමත් පවත්වා ගැනීමටය.

මා සිතන ආකාරයට පාසල් ළමයින් සම්බන්ධයෙන් අප කටයුතු කරන ආකාරය සම්පූර්ණයෙන්ම කණපිට පෙරලිය යුතුය. උදාහරණයක් ලෙස පාසල් ළමයෙකු ජංගම දුරකතනයක් පාවිච්චි කිරීමේ වැරැද්ද කුමක්ද? සංකීර්ණ දින කාලසටහනක් අනුව හැසිරීම සිදුකලයුතු දරුවෙකුහට ජංගම දුරකතන භාවිතය තහනම් කිරීම තරම් විහිළුවක් තවත් නැත. පාසල් ළමුන් සම්බන්ධයෙන් දැනට අනුගමනය කරන දඬුවම් කිරෟමේ ක්‍රමවේදයද එසේමය. බොහෝ රටවල ශාරීරික දඬුවම් දීම ඉවත් කර ඇති කලෙක ලංකාවේ තව දුරටත් එය පවත්වාගැනීමට උත්සාහ කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක යෙදෙන විදුහල්පතිවරුන් පිරිසක් ඊයේ දුටුවෙමි.

දුම්වැටි හෝ ශරීරයට හානිදායක දෑ සම්බන්ධයෙන්ද අනුගමනය කලයුත්ත එයයි. දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේන් සිදුවන හානිය සම්බන්ධව නොදන්නා පිරිසක් අතීතයේ සිටින්නට ඇත. නමුත් මේ වනවිට අතේ ඇති දුම්වැටියේ-මත්පැන් වීදුරුවේ ඇති හානිදායක බව නොදන්නා කෙනෙකු ඇතැයි සිතිය නොහැක. ඔවුන් සඳහා රූපවාහිනියේ කොටුදැමීම හෝ දුම්වැටි කවරයේ රූප දැමීම කිසිසේත්ම ඵලදායී ක්‍රියාවක් නොවේ. අනෙක් කරුණුද මේ අයුරින් විස්තර කලහැකිය.

මේ සියවස අයත් වන්නේ වාරණයට නොව විවෘතභාවයටය, තෝරා දීමට නොව තෝරා ගැනීමටය, තමාට ඇවැසිවන්නේ කුමක්දැයි තෝරා ගැනීමට තරම් බුද්ධියක් ඇත්වුන්ටය.

Wednesday, February 19, 2014

සමාන්තර විශ්වයේ ඉල ඇදෙන පොලිටිකල් ජෝක්ස්!

මේ කතා සැට් එක සමාන්තර විශ්වයක වෙච්ච සීන් එකක් නිසා එච්චර සිරා ගන්න එපා. කියවල හිනාවෙන්න විතරයි.

ආයතන සංග්‍රහය

ලොකු බොස් ගෝලයෙක් එක්ක කතාබහක්.

ගෝලය : සෑර්, අන්න සෑර්ගෙ මල්ලිසෑර් ගොම්මංපිලයගෙ වේදිකාවට නැගල ආයතන සංග්‍රහය උල්ලංඝනය කරනව කියල ඌඇම්පී කාරයො කෑගහනව.

ලොකු බොස් : ඔන්න ඔය පුංචි වගන්තිය අයිං කරල දානව.... අර ඊඇස්ඇන් එකට කතරගම දේවාලෙට කලා වගේ.....

හේතුව

මංජුල සහ රවීෂ කියල බුකිවාසියො දෙන්නෙක් කතා බහක.

මංජුල : උඹ මොකද ජේයීපී එකට ඡන්දෙ දෙන්නෙ නැත්තෙ?

රවීෂ : මාක්ස් ලෙනින්වාදී න්‍යායික පදනමක් සහිත ජවිපෙ ජාතිකවාදී සහ වෙනත් දේශපාලන න්‍යායන් අවශෝෂණය කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වී තිබෙන ව්‍යාකූල තත්ත්වය තුළ ජවිපෙ න්‍යායික පදනම ස්ථාන ගත වන්නේ කුමන ආස්ථානයකද යන්න පිළිබඳ ඇති අවිනිශ්චිතතාවය නිසා බං!

මංජුල : ඇහ්! මොකක්?

රවීෂ : ඔව් බං, අනෙක විජේවීරයන් විසින් ට්‍රොට්ස්කිවාදී දෘෂ්ඨිකත්වයක්ද සහිතව මාක්ස් ලෙනින්වාදීව නිර්මාණය කරන ලද න්‍යායන් කාලානුරූපීව විකාශනය නොවීම. යම් විකාශනයක් සිදු වූවා නම් එය ඉල්ලුම් සැපයුම් න්‍යාය මත පදනම්ව සිදු වූවක් මිස විද්‍යාත්මකව සිදු වූවක් නොවීමත් එක හේතුවක්..... ඒ වගේම බෝල්ෂෙවික් හැඩයේ සාම්ප්‍රදායික කොමියුනිස්ට් ලක්ෂණ පෙන්නුම් කරන ජවිපෙ ගෝලීය ධනවාදය සමග දක්වන ප්‍රතිරෝධයන් සමග නවීන ප්‍රවණතා කළමණාකරණය පිළිබඳ ඇති අවිනිශ්චිත බව වගේම........... ඒයි උඹ ඕෆ්ලයින්ද????

xxx හඬ

මේක කාර්යාලෙක සීන් එකක්,

නෝන : ඒයි අර කාමරේ ඇතුලෙ මොකක් හරි සීන් එකක් වෙනව!

මහත්තය : ඇයි මොකද?

නෝන : අ..අ..අ... ගාල සද්දයක් ඇහෙනව විටින් විට!

මහත්තය : ආ.... ඔය ඡන්ද අපේක්ෂකයන්ගෙ නං කියවනව ඒකයි.

ඇඟට සෙල්ලම

මේක ටික කලකට ඉස්සෙල්ල වෙච්ච දෙයක්. ලොකු බොස් පුත්‍ර රත්නයක් එක්ක චැට් එකක.

පුත්‍ර රත්නය : තාත්තේ.... මාත් සෙල්ලං කරන්න ඕන.... ඇ‍ඟේ ෆිට්නස් තියාගන්න එපැයි....

ලොකු බොස් : ඉතිං?

පුත්‍ර රත්නය : පීඑස්ඩී එකේ කොල්ලො ‍ටිකක් ඕන සෙල්ලං ටීම් එකක් හදාගන්න......

ලොකු බොස් : ඕකට මගේ කොල්ලො මක්කටෙයි.... උඹ කෙලිංම නැෂනල් ටීම් එකට සෙල්ලං කරපං.... ඇඟටත් හොඳයිනේ..... කැප්ටන්සියත් ගනිං ඕන්නං.....මල්ලිල දෙන්නත් එක්කං පලයං..... හැබැයි රන්ඩු කරගන්නව නෙවේ මල්ලිල එක්ක....

රෙෆරන්ස්

Wednesday, February 12, 2014

ගාමිනී අයියගෙ කතා.

ගාමිනී අයිය කියන්නෙ අපේ සහෝදර කාර්යාලයක, ["සහෝදර කාර්යාලය" හරි නේද? සහෝදර කාර්යාලය කිව්වෙ ආරක්ෂක අමාත්‍යංශයවත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයවත් නෙවේ. කිට්ටුව තියන තවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්. සාමාන්‍යයෙන් ඔය සහෝදර කතාව ආවෙ මාධ්‍ය ජාල වලින්. මාධ්‍ය ආයතන ගනනාවක් අයිති සමාගම් ඊට අයත් අනෙක් ආයතන වලට කියන්නෙ ඔහොමයි. උදාහරණයකට සිරස ටීවී එකේ කෙනෙක් ඔන්න මෙහෙම කියනව... අපේ සහෝදර නාලිකාවක් වන ශක්ති ටීවී...... ආං ඒ වගේ.] වැඩකරන අපේ බුවෙක්. හරි ආතල් බුවා! මෑන්ව මට සෙට් උනේ භාණ්ඩ සමීක්ෂණයට ඒ දිහාවෙ ගිය වෙලේ. මමත් මගේ කාර්යාල සගයත් තමයි භාණ්ඩ සමීක්ෂණය කලේ.

ගාමිනී ටිකක් ලෝබ පහේ මනුස්සය. ඒ ව‍ගේම ලෝකය. ලෝකෝත්තර බුවාල කියල කියන්නෙ. අන්න ඒ ජාතියෙ. [මේක මේ බුදු හාමුදුරුවන්‍ගේ ජාතියෙ ලෝකෝත්තර කියල වරදවා වටහාගන්න එපා]. ගාමිනී අයිය ත්‍රීකුණාමලේ ‍පැත්තෙ නාවුක හමුදා කඳවුරක කම්කරු රස්සාවක් කරල විභාගය පාස් වෙලා අපේ සේවයට ආපු බුවෙක්. මෑන් එහේ විස්තර කිව්වෙ මෙහෙමයි.

"රාජ්, මං හිටියෙ ට්‍රින්කො නේවි කෑම්ප් එකේ, කම්කරු!.... එහේ ඉන්න එවුන් මෙහේ වගේ එම්ඒ පාස් වෙන්නෙ නෑ බං....(එම්ඒ=මැනේජ්මන්ට් ඇසිස්ටන්ට්=ලිපිකරු). ක්ලාස් එකක්වත් නෑ යන්න... බොහොම අමාරුවෙන් මහන්සි වෙලා පාඩං කරල ගොඩදාගත්ත.... අපි පාඩං කරනවට එහේ ඉන්න එවුන් කැමතිත් නෑ බං"

"ඒ මොකෝ?"

"ඉරිසියාවනේ බං...., උඹලට කියන්න..... මම පාඩං කරන්න පොතක් අතට ගන්නකොටම අපේ ෆෝමන් කාරය කතා කරනව. ඌ දෙමල! අපි උඩට යනවට තරහයි...., ඔන්න දවසක් මම පාඩං කරන්න ගත්ත.... මෙන්න මූ කතා කරනව... මං ගියා.... මූ කියනව ගාමිනී! අර ඉස්ටෝරු කාමරේ සුද්ද කරපං කියල,.....වැඩකට නෙවේ.... ඕව සුද්ද කරල පිරිමහන්න බෑ.... නමුත් මගේ වැඩේ අරවන්න එපාය.... ඔන්න මම සුද්ද කරන්න පටං ගත්ත. කරුවල කාමරයක්. ටික වෙලාවක් යද්දි සුද්ද කරල ඉවර වෙන්න ආව.... මෙන්න මූත් ආව ඇතුලට.... ඒ එක්කම වතුර බාල්දි දෙකක් අතින් ගත්ත සුදු කොට කලිසම ඇඳගත්ත නේවි එකේ ට්‍රේනින් වෙන එකෙක් දොරෙන් ඔලුව දැම්ම විතරයි අපේ ෆෝමන් කාරය රැවටිලා ගැහුව දඩාස් ගාල සැලියුට් එකක්.... නමුත් වැඩේ තේරෙනකොට පරක්කු වැඩියි.... කොල්ලත් වතුර බාල්දි දෙක බිමින් තියල ගැහුව ෆෝමන්‍ට සැලියුට් එකක්.... ෆෝමන් ඇහුව මොකද කියල....අරූ කියනව "තුමනී මම පුහුණුවන නැවි අහවලා පාර වැරදී පැමිණියෙමි" කියල! උංගෙ කතාව එහෙමනේ.... ෆෝමන්ට හෙන අවුල් මං ඉස්සරහ අරූට සැලියුට් ගැහුව කියල... ඌ මට කියනව ගාමිනී මම සැලියුට් කල කතාව උඹ කා එක්කවත් කියන්න එපා කියල... දවසකින් දෙකකින් ෆෝමන් යද්දි එක එකා කියනව "තුමනී මම පුහුණුවන නැවි අහවලා පාර වැරදී පැමිණියෙමි" කියල. අරූ මට බැන්න හොඳටෝම"

ගාමිනී එක දවසක් බැංකු පොත් දෙකක් සාක්කුවෙ දාගෙන ඉන්නකොට මම ඒ ගැන පොඩි විහිළුවක් කලා. ඒ ගමන උගේ යාළුව ගාමිනීගේ ජාතිකේ දිගෑරිය.

"රාජ් මල්ලී.... මූ මෙහෙම හිටියට හොඳ සල්ලිකරාය... මූ ට්‍රින්කො ඉන්න කාලෙ තමයි සුනාමි ආවෙ... ඒ ගමන ‍බෝට්ටුවක් තිබිල සුනාමියට ගියා කියල මූ කවුදෝ ‍බෙදපු බෝට්ටුවක් අරගෙන.... ඒකෙන් මාසෙකට ගානක් එනව.... එහේ හිටිය කාලෙ හදපු ගෙදර දැන් කුලියට දීල තියෙන්නෙ....එතනිං රුපියල් දහදාහක් එනව මාසෙකට..... මෙහේ ගෑනිට දෑවැද්දට ලැබුන කුඹුරු අක්කර දෙකහමාරක් තියනව ඒක වගා කරනව.....ඉතිං සල්ලි තමයි.... දවසක් අපි ඉන්න අතරෙ කර කර ගාල සද්දයක් ඇහෙන්න පටං ගත්ත.... බලද්දි ගාමිනීගෙ සාක්කුවෙ තියන පොත අප්ඩේට් වෙනව!"

ඔන්න කෑමට ගිය වෙලේ ගාමිනී ආයෙත් කතාවක් පටන් ගත්ත.

"රාජ් මල්ලි, අපි ට්‍රින්කො ඉන්න කාලෙ එහේ කැන්ටිමෙන් තමයි කෑවෙ... කෑම එකක් තිස් පහයි.... එයින් දෙකක්වත් ඕන බඩ පිරෙන්න නං.... අපේ එකෙක් හිටිය හැරී කියල. මගේ ගජය.... නමුත් කුකුල් කේන්ති කාරය.... කවුරුත් ඌ ආශ්‍රය කරන්නෙ නෑ තරහ යනව කියල. මම විතරයි ආශ්‍රය කලේ...ඌ ගෙදරින් ගෙනල්ලයි කෑවෙ... ඔය අතරෙ ශාන්ත කියල කොල්ලෙකුත් අලුතෙන් ආව... ඌ හැමදාම බැන බැන කෑවෙ කෑම මදි කියල.... ඔන්න දවසක් හැරිය කිව්ව ශාන්තට මම උඹට ඇතිවෙන්න කෑම එකක් ගේන්නං හැබැයි රුපියල් හැත්ත පහක් ඕන කියල.... අරූ වැඩේට කැමති උනා... හැරියත් ලොකු කෑම එකක් ගෙනල්ල දීල හැත්ත පහක් ගන්නව....පිඟන් දෙකකට කෑම බෙදල තවත් පිඟානකින් වහල රෙද්දකින් බැඳල තමයි උගේ නෝන කෑම දුන්නෙ.... රෝස පාට රෙදි කෑල්ලෙන් බැඳපු පිඟාන ශාන්තටෙ..... නිල් පාට රෙදි කෑල්ලෙන් බැඳපු පිඟාන ඌට.....ඔන්න ‍ඔහොමයි වැඩේ.....දවස් දෙකක් විතර ඔය වැඩේ බලං හිටිය අපේ එකෙක් දවසක් මට කිව්ව බිත්තරයක් තම්බගෙන එන්න කියල... මම බිත්තරයක් ගෙනාව.... මූ කෑම දෙක තියල තියන තැනින් ඒක අරගෙන රෝසපාට රෙද්ද බැඳපු කෑම පිඟාන ලිහල ඒකට බිත්තරේ දැම්ම....ඔන්න දැං දවල් කෑම වෙලාවත් ආව.... ශාන්තය කෑම එක ලිහද්දි අපි බිත්තර ගැන කිව්ව.... ඒ ගමන හැරියත් උගේ පිඟාන ඇරිය.....දැං ඌට මාර අවුල.... උගේ එකේ බිත්තරේ නෑනේ.... අපි කියන්න ගත්ත ඔන්න බලපං උඹේ ගෑනි උඹට නොදී ශාන්තයට බිත්තරේ දීල.... සුදු කොල්ල නිසා වෙන්න ඇති කියල.... මූට තදවුනා කෑම පිඟාන බිත්තියෙ ගහල කාමරේට ගියා.... දැං නං අපිටත් බයයි.... මූ ගෑනි මැරුවොත්.... ඒ ගමන අපි ෆෝමන් ලගට ගිහිල්ල විස්තරේ කිව්ව....ඌ හොඳටම බැනල අරූ ගෙන්නල විස්තරේ කිව්ව.... අරූ දවස් දෙකක් විතර යනකල් අපි එක්ක තරහ වෙලා හිටිය"

ඔන්න ඔහොමයි ගාමිනීගෙ කතා. ගාමිනී ට්‍රින්කො මෑන් උනාට බැඳල ඉන්නෙ මෙහෙන්. නෝනට දෑවැද්දට ලැබුන ඉඩමක ගෙයක් හදාගෙන ඉන්නෙ. මේ අතරෙ නැන්දම්මයි බෑනයි වලි පටන් ගත්තලු. ඒක ෂේප් උන හැටිත් කිව්ව.

"නැන්දම්ම මුලදි මාත් එක්ක මාර වලි.... මොනව කලත් වැරදියි... ඔහොම ටික දවසක් ඉන්නකොට නෝනගෙ නංගිට එකෙක් සෙට් වෙලා බැන්ද.... ඌ මට හපං.... දැං නැන්දම්ම ඌ එක්ක වලි.... මට දැං දෙයියන්ට වගේ සලකනව"

"ඒකත් සෙට්කලේ මූ තමයි..... මූ ප්ලෑන් කරල ගහපු ගේමක් ඒක" යාළුව කියනව.

"මං වැඩි කාලයක් හිටියෙ දෙමළු එක්කනේ ඒකයි මේ අනල බත් කන්නෙ" ගාමිනියගෙ ඇනිල්ල නං අප්පිරියාවෙ බෑ. බත් කාල ඉවර වෙද්දි බත් අහුරක් විතර මේසය උඩ! වෙන වැරැද්දක් නං කියන්න නෑ මෑන්ගෙ. ඉඳපු දවස් තුන හතරෙ අතීතය වර්තමානය ගැන කතා කල ගාමිනි තමුන්ගෙ අනාගතය ගැනත් කියන්න අමතක කලේ නෑ.

"මම පනස් පහ වුන ගමන්ම පෙන්ෂන් යනව. ගිහිල්ල යනව ට්‍රින්කො වලට.... ට්‍රින්කො වල මාලු බිස්නස් එකට සෙට් වෙනව.... බිස්නස් කිව්වට මහලොකු දෙයක් නෑ.... බෝට්ටු වලින් මාලු අරගෙන පිටින් එන එවුන්ට විකුණනව අපිත් රුපියලක් දෙකක් තියාගෙන... ගමේ අපිට තමයි මාලු දෙන්නෙ.... දවසකට දාහක් දෙදාහක් හොයාගන්න පුළුවන්"

එකසැරේටම බැලුවම ටිකක් අවුල් වගේ පෙනුනත් ගාමිනී වගේ උදවිය නැති උනොත් මේ ලෝකෙ හරිම නීරස තැනක් වේවි.

Monday, February 10, 2014

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ෆොන්සේකාගේ අභියෝගය. (Road to PC-3)

ලංකාව පුරා විසිරී සිටින දේශපාලන පක්ෂ සැලකූ විට, ප්‍රධාන පක්ෂ දෙක හැර සැලකිය යුතු තරමේ ඡන්ද පදනමක් ඇති අනෙක් කණ්ඩායම වන්නේ සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයටයි. ෆොන්සේකා (අවශ්‍ය නම් ජයන්ත කැටගොඩත්) හැර ජාතික මට්ටමේ නායකයන් කිසිවෙකුත් නැති වුවද පසුගිය මැතිවරණයේදී පහසුවෙන්ම ජවිපෙ අභිබවා යාමට ඔවුන්ට‍ හැකි විය. ඊට හේතු කිහිපයකි.

වාර්ගික/මාක්ස්වාදී කණ්ඩායම් හැරුනු විට‍ රට තුල ස්ථිර ඡන්ද පදනමක් ඇත්තේ ප්‍රධාන පක්ෂ දෙකටත් ජවිපෙට සුළු ප්‍රමාණයකුත් වශයෙනි. එක් පැත්තකින් පසුගිය කාලයේ දැඩි ලෙස සෝදාපාළුවට ලක්වූ එජාපයේ පාක්ෂිකයන්ට තම සාම්ප්‍රදායික සතුරා වූ ජවිපෙ හැර විකල්පයක් තිබුනේ නැත. අනෙක් අතට පසුගිය සටහනෙදී අදහස් දක්වා තිබූ විචාරක මහතා කියූ අයුරින් ලාංකීයයන්ගේ සිත්වල ඇති ජවිපෙ බිල්ලා ඉවත් නොවූ තත්වයක් තුල ආණ්ඩු විරෝධීන්ට යන එන මඟක් නොවීය. ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වර්ධනයට මෙම රික්තක අවකාශය කදිම තෝතැන්නක් විය. අනෙක් අතට පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුට ඡන්දය ලබාදුන්, දැනට නායකත්වය හේතුවෙන් පක්ෂය ගැන කලකිරී ඇති එජාප පාක්ෂිකයන්ට ගැටළුවකින් තොරව ලංවිය හැකි එකම පක්ෂය එයයි. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුනිවැනි බලවේගය වන්නේ එසේය.

දැනට විසිරුවාහැර ඇති දකුණ සහ බස්නාහිර පළාත්සභා වලදීද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන කිහිපයක් ලබාගන්නා ලකුණු පෙනෙන්නට ඇත. විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික් ප්‍ර.ප. කණ්ඩායම් නායක දේවක වීරසිංහට එදිරිව ඔහුගේ සහෝදරයා (මධුලාල් වීරසිංහ) එ.ජ.නි. සන්ධානයෙන් තරග බිමට දැමීමට තරම් "හිතට දැනීම" ඔවුන් ලැබූ ජයග්‍රහනයකි. (මේ පිටුපස ඇත්තේ කවුදැයි හම්බන්තොට ජනතාව දනී). කෙසේ වෙතත් ෆොන්සේකා මහතා ඉදිරියේ ඇත්තේ දැවැන්ත අභියෝගයකි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සෑම දේශපාලන පක්ෂයකටම අනන්‍ය වූ යම් යම් ලක්ෂණ පවතී. එජාපය ධනවාදීන්ගේ පක්ෂය ලෙසත් ජවිපෙ සමාජවාදීන්ගේ පක්ෂය ලෙසත් ශ්‍රීලනිපය (සන්ධානය) මැද මාවතේ යන්නන් ලෙසත් (මේ වනවිට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නොමැති අතර ශ්‍රීලනිප-එජාප පරතරයද ශූන්‍ය වී ඇත), හෙළ උරුමය/දෙමළ ජාතික සන්ධානය/කඳුරට දෙමළ පක්ෂ/මුස්ලිම් කොන්ග්‍රසය ජාති(ක)වාදී කණ්ඩායම් ලෙසත් වර්ගකල හැකිය. නමුත් ෆොන්සේකා මහතාගේ ප්‍ර.පක්ෂයේ දැකිය හැකි එවන් විශේෂී වූ ලක්ෂණයක් නොමැති අතර ඔවුන්ගේ ඡන්ද දායකයන් ඉහත සඳහන් කල හේතූන් නිසා පක්ෂයට ඡන්දය පාවිච්චි කරන්නවුන්ය. මැතිවරණ වේදිකාවේ කතා අනුව ප්‍ර.පක්ෂය මූලිකවම දූෂණයට එරෙහිව ඡන්දය ඉල්ලන්නන්ය. මේ හේතුව නිසා අනුමාන කල හැකි කරුණ නම් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නැගීමට "සරත් ෆොන්සේකා" සාධකය බලපාන බවයි. යම් දිනෙක ෆොන්සේකා මහතා ජනප්‍රියත්වයෙන් අඩු වුවහොත් ප්‍ර.පක්ෂයේ ඡන්ද පදනම දෙදරා යාම වැලැක්විය නොහැකි වනු ඇත. කෙසේ වුවද මේ වනවිට ෆොන්සේකා මහතා හමුවේ ඇති අනෙක් අභියෝගය තම නියෝජිතයින්ය.

ජවිපෙ වැනි දැඩි ලෙස මොල සේදුවන් පවා පක්ෂ මාරු කරන තත්වයක් තුලදී ෆොන්සේකා සමඟ හිඳින දේවක වීරසිංහ වැන්නන්ගෙන් (දේවක වීරසිංහ යනු හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පා.ම. ජිනදාස වීරසිංහගේ පුත්‍රයාය) සාම්ප්‍රදායික ශ්‍රීලනිප හෝ එපාප නියෝජිතයන්ගෙන් වෙනස් හැසිරීමක් බලාපොරොත්තු විය නොහැකිය. අනෙක් අතට ෆොන්සේකා මහතා මූලිකව අවධාරණය කරන දූෂණ විරෝධී ව්‍යාපාරයට කුමන අන්දමේ දායකත්වයක් ඔවුන්ට දැක්විය හැකිදැයි සැක සහිතය. සරළවම කිවහොත් මොවුන් දැනට ප්‍රධාන පක්ෂ තුල සිටින්නන්ට සියයට සියයක් සමාන අයවලුන්ය. විකල්ප බලවේගයක් ගොඩනැඟීමට බලාපොරොත්තු වන්නෙකු ලංකර නොගතයුතු අයවලුන්ය.

කෙසේ වුවත් මේ වනවිට කිසිවෙකුටත් අභියෝග කල නොහැකි මට්ටමක සිටින ආණ්ඩුවට ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අභියෝගයක් නොවේ. එහෙත් ආණ්ඩුවට කරට කර සටනක් දියහැකි මට්ටමට (පොදුවේ) විපක්ෂය ලංවූ විට එසේත් නොමැති නම් බලය රැකගැනීමට/ලබා ගැනීමට අනෙකුත් පක්ෂ නියෝජිතයන් අවශ්‍ය වන මොහොත උදාවූ විට උක්ත නියෝජිතයන්ගේ නියම ස්වභාවය අවබෝධ කරගැනීමට හැකිවනු ඇත. ඒ මොහොත එළඹෙන තෙක් ෆොන්සේකා මහතාට සුව නින්දක් ලැබිය හැකිය.

Friday, February 7, 2014

අනුර කුමාර සහ ජවිපෙ..... (Road to PC-2)

"ජේවීපී එකෙත් ඔය සෝමවංශ පන්නල දාල අලුත් කෙනෙක් ආවනං නග්ගල ගන්න තිබුන"
මේ පසුගිය කාලයේ "සාමාන්‍ය ජනයා" අතරින් වරක් නොව කිහිප වරක් අසන්නට ලැබුන අදහසකි. ශ්‍රී ලංකාව මත පවතින විශාගතම දේශපාලන ව්‍යාපාර දෙකෙන් එකක් වන ජවිපෙ, තම තීරණ ගනු ලබන්නේ දේශපාලන මණ්ඩලයක් විසිනි. ජවිපෙ තුල නායකයා යනු නාම මාත්‍රික තනතුරකි. කෙසේ වුවත් මේ වනවිට එහි නායකත්වය සෝමවංශ අමරසිංහගෙන් අනුරකුමාර දිසානායක වෙත මාරුවී ඇත.

ජවිපෙ යනු වතාවක් පුනරුත්ථාපනයටත් තවත් වරක් මර්ධනයත් ලක්වූ පක්ෂයකි. අනූ හතර වසරේ ආගමනයෙන් පසු සීග්‍රයෙන් ඡන්ද ප්‍රමාණය වර්ධනය කරගත් ජවිපෙ ඉන්පසු අවස්ථා දෙකකදී අභ්‍යන්තර බිඳවැටීමකට ලක්විය. පළමු අවස්ථාවේ විමල් වීරවංශ ඇතුළු පිරිස පක්ෂය හැරයාමත් සමඟ ඡන්ද පදනම දෙදරාගිය අතර දෙවැනි අවස්ථාවේ පෙරටුගාමීන්ගේ වෙන්වීමෙන් සැලකියයුතු තරමේ කාඩර්වරුන් පිරිසක් ඔවුන්ට අහිමි විය.

මාධ්‍ය තුලින් ජනප්‍රියවූ නායකයන් ඉදිරියට දමා "වෙනස්" ගමනකට මුල පිරීමට ජවිපෙට සිදුවී ඇත්තේ එබැවිනි. ලාල් කාන්ත බස්නාහිර මහ ඇමති අපේක්ෂකයා වීමත් අනුර කුමාර නායකයා වන්නේත් එසේය. වෙනදා අපේක්ෂකයන්ගේ මුහුණු තාප්ප මත නො ඇලවූ ඔවුන් සීනුව කුඩාවටත් ලාල් කාන්ත විශාලවත් පෝස්ටර් අලවා ඇති බැව් මාධ්‍ය සංවාදයකදී ප්‍රකාශ කලේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකි.

ජවිපෙ සාමාන්‍යයෙන් ඉල්ලුමට සැපයීමේ න්‍යාය මුල්කරගත් පක්ෂයක් නොවේ. ජනප්‍රිය තීන්දු තීරණ පසෙක තබා "ඔවුන් විශ්වාස කල" නිවැරදි දේ වෙනුවෙන් ඡන්ද සංඛ්‍යාව කැපකල සංවිධානයකි. කෙසේ වුවත් නායකත්වයට පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක ප්‍රකාශ කලේ තමන් යලි සන්ධානගත වන්නේ නැති බවය. එනම් ඔවුන්ද ජනප්‍රිය දේශපාලන මාවතට අවතීර්ණ වන බවට ඉඟියකි. ජවිපෙට දීර්ඝ කාලීන පැවැත්මක් ඇත්තේ ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් තුල මිස ජනප්‍රිය දේශපාලනයේ නොවේ. එසේ නොවුවහොත් යම් මට්ටමක් දක්වා ඉහලට පැමිණ ස්වභාවික මරණයකට පත්වීම වැලැක්විය නොහැක.