Friday, August 28, 2015

පුතාලගෙ හොරා පොලිස් සහ මාමලගෙ හොරා පොලිස්

නිවාඩුවක් ගත්ත වෙලේ දවල්වෙලා නැඟිටල රැවුල එහෙම කපල කණ්නාඩිය ලඟට ආව. පුතා වටේ පිටේ ඉන්න යාළුවො ටිකත් එකතු කරගෙන හොරා පොලිස් සෙල්ලම කරනව ජනේලෙන් පේනව. ඔන්න හොරෙක් අල්ලගෙන පොලීසියෙ පොඩි මහත්වරු දෙන්නෙක් හොරාව ගහේ බැන්ද? ඊට ටික වෙලාවකට පස්සෙ රාලහාමි කෙනෙක් තව හොරෙක් අල්ලගෙන හොඳටම ගහ ගහ ගෙනාව. ටික වෙලාවක් යද්දි හොරා සිහි නැතුව වගේ බිම වැටුන. ඔන්න එකපාරටම හොරුයි පොලිසියයි ඇවිල්ල අර ගහපු පොලිස් රාලහාමිව අල්ලල ගහක බැන්ද? හුටා! යකෝ අපේ කාලෙට වැඩිය දැන් හොරාපොලිස් කෙලිය දියුණු වෙච්ච තරං.....

"ඒයි.... පොඩ්ඩක් එන්න වැඩක් බලන්න......"

"ඇයි මොකද්ද?"

"බලන්නකො පුතාලගෙ හොරා පොලිස් සෙල්ලම!"

"ඔව්...... ළමයි සමහර දවසට ඔය සෙල්ලම කරනව මාත් බලාගෙන....."

"සෙල්ලම් කිරිල්ල ගැන නෙවේ.....බලන්නකො මේ සෙල්ලම දියුණු වෙච්ච හැටි..... අර ගහේ බැඳල ඉන්නෙ හොරෙක්.... අනිත් ගහේ බැඳල ඉන්නෙ පොලිසියෙ රාලහාමි කෙනෙක්.... අර රෙදි පටියකින් කාර් එල්ලගෙන ඉන්නෙ එයාගෙ තුවක්කුව!"

"රාලහාමි ගහේ බැඳල තියෙන්නෙ ඇයි?"

"ඒක තමයි මම කතා කලේ..... ඔය රාලහාමි හොරෙකුට වැඩිපුර ගහල හොරා වැටුන..... පොලිසියට උනත් එහෙම ගහන්න බෑනෙ.... ඒකයි අල්ලල ගහේ බැන්දෙ.... දැං එයාටත් නඩු! හෙහ් හෙහ් හෙහ්...."

"මේ ළමයිගෙ වැඩ නං......."

"එහෙම තමයි නෝනේ..... කාලෙ හැටියට ඒවත් දියුණු වෙලා......"

"ඔන්න තව එක්කෙනෙක් අල්ලගෙන ආව...."

"ඔන්න තවත් එක්කෙනෙක් ආව...... අද නං ගමේම පැටව් ටික ඇවිල්ල වගේ....."

"ඔන්න තවත් එක්කෙනෙකුට ගහනව...... අන්න හොරා වැටුන....... අන්න බලන්න මං කිව්වෙ.... ඔන්න දැං රාලහාමිව ගහේ බැන්ද... දැක්ක නේ?"

"දැං නං හොරු ඉවරයි වගේ නේ.....?"

"හ්ම්"

"අර මඩුවෙ තියන පුටු ටික අදින්නෙ මොකටද?"

"ඕක හැමදාම කරනව..... උසාවිය හදන්නයි ඔය පුටු ගන්නෙ.... බලන්නකො නඩු අහන හැටි...."

අපේ පුතා ලොකු පුටුවෙ තියල කට්ටිය ඔන්න නඩු අහන්න පටන් ගත්ත එක පැත්තක පොලිසිය අනිත් පැත්තෙ හොරු. එක පාරටම මොකද්දෝ අර්බුදයක් හැදිල වගේ කට්ටිය දෙපැත්තට බෙදිල වාද කරගන්න පටන් ගත්ත.

"මොකද්ද මේ වෙන්නෙ?"

"මෙච්චර වෙලා අපූරුවට සෙල්ලං කල ළමයි... ගිහිල්ල බලමු..... නැත්තං රණ්ඩුව පටන් ගනීවි"

"පුතාලා ඇයි මේ රණ්ඩු වෙන්නෙ? මෙච්චර වෙලා අගේට සෙල්ලං කරල?"

"තාත්තේ මේ කට්ටිය අලුතතෙන් නීති දාල...."

"ඇයි අලුත් මොකද්ද?"

"වෙනදට ගහේ බැන්ද හොරුයි පොලිසියයි දෙගොල්ලම නඩු අහල මඩුවට දානව.... ඊට පස්සෙ සෙල්ලම ඉවරයි...."

"ඉතිං දැං මොකද්ද ප්‍රශ්නෙ?"

"මේ චමෝද් කියනව පොලිසියෙ දෙන්නට නඩු අහන්න එපාලු! ඒ වෙනුවට හොරු දෙන්නෙක් නිදහස් කරන්නංලු..... දැං මාමලා සෙල්ලම කෙරෙන්නෙත් එහෙමලු!"

Tuesday, August 25, 2015

සාමකාමී මැතිවරණයේ ඡන්ද රාජකාරි කලහැටි!

මෙදා ඡන්දෙ සාමකාමියි. වෙන කවරදාටත් වැඩිය සාමකාමියි. ඒ වගේ සාමකාමී වටපිටාවක ඡන්ද රාජකාරී කරන්න ලැබෙනව කියන්නෙත් ‍ලොකු දෙයක්. රාජකාරිය ඉෂ්ට කිරීමේදී අවුරුදු දහයක විතර මගේ සේවා කාලය තුල ඔය කටු කන බල්ලෙක් එහෙම ඇවිත් පොඩි පොඩි අරියාදු කලා හැරෙන්න ලොකු ලොකු ප්‍රචන්ඩ ක්‍රියාවලට මුහුණ දෙන්න නොලැබුන බවත් කියන්න ඕන.

ඒ වගේම ගියවර තිබුන ඡන්ද මධ්‍යස්ථාන ලඟ රතිඥ්ඥා දැල්වීම්, මනාපය සලකුණු කල කුඩා කඩදාසි විසිරවීම වගේ දේවලුත් තිබුනෙ නෑ. නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසියට බලය දීල තිබුන නිසා ඡන්ද මධ්‍යස්ථානය අවට පෝස්ටර් කටවු‍ට් ආදිය තිබුනෙත් නෑ. ජනාධිපතිවරණයේදි නං ඡන්ද විමසීමේ දිනයට කලින් දවසෙ ඡන්ද මධ්‍යස්ථාන අවට ශුද්ධ කරන්න වෙනම පිරිසක් යොදවල තිබුන.

මගේ ඡන්ද මධ්‍යස්ථානය තිබුනෙ ගෙදර ඉඳල කිලෝමීටර තිහක් හතලිහක් විතර දුරින්. කලින්දා හවස දෙක විතර වෙද්දි අදාල තැනට ලඟාවුනා. ඊට පස්සෙ ඉතිං නෝනල ටිකක් අල්ලගෙන සම්පූර්ණ කරන්න පුළුවන් ආකෘතිපත්‍ර ආදිය සම්පූර්ණ කරල SPO මහත්තයට පොඩි සප් එකක් දුන්න. ඊට පස්සෙ රාලහාමි නෝනගෙ වතුර බැරල් එකෙන් ඇඟපත එහෙම හෝදගෙන රැය ගෙවාගන්න විදිය ගැන කල්පනා කලා. මෙදා ඡන්ද මධ්‍යස්ථානයට දාපු නිලධාරී මණ්ඩලය නං අන්තිමයි. කාන්තාවන්ම එකොලහක් හිටිය. පිරිමින්ට හිටියෙ මමයි SPO මහත්තයයි තව දෙන්නෙකුයි විතරයි. ඒ මදිවට ග්‍රාම නිලධාරී තනතුරේ හිටියෙත් නෝන කෙනෙක්. SPO මහත්තය රහමෙර පාවිච්චියක් නැහැ. එයා ගෝලය විදියට අරගෙන ඇවිල්ල හිටියෙත් ඥාති පුත්‍රයෙක්. මාම ඉන්න තැන බොන්න බෑ කියල බුවාත් මඟහැරිය. පොලිසියෙ රාලහාමිලාටත් උපදෙස් ලැබිච්ච විදියට එයාලත් අමුවෙන් ඉන්න තීරණය කරල. අන්තිමට මමයි අනිත් ඉස්කෝලෙ මහත්වරු දෙන්නයි හීනියට අනුමත වෙලා නිදාගත්ත.

මෙදා ඡන්ද පත්‍රිකාව අඩියක් විතර දිගයි. හුඟ දෙනෙකුට එකවරම සලකුණ බලාගැනීමත් අමාරුයි. සමහර වෙලාවට (වයසක අය එහෙම ආවම) සෑහෙන්න තදබදයක් ඇතිවෙනව. ඡන්ද පත්‍රිකාව මෙච්චර ලොකු වෙන්නෙ ඇයි?
හේතුව වැඩි පක්ෂ/ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් මැතිවරණයට ඉදිරිපත් වීම. ඒකටත් හේතු තියනව.

♠ තමන්ගෙ ඡන්දපොල නියෝජිතයන් ඡන්ද මධ්‍යස්ථාන වලට පත් කිරීම.
♠ ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට නියෝජිතයන් පත්කිරීම.
♠ පක්ෂයක ලැයිස්තුවක් ප්‍රතික්ෂේප වූ අවස්ථාවක වෙනම ලැයිස්තුවකට ඡන්දයට ඉදිරිපත් වීමේ හැකියාව ලබාගැනීම.
♠ ඡන්දය ඉල්ලීම තුලින් යම් යම් වරප්‍රසාද ලබාගැනීම. (ගුවන් විදුලි සංවාද ආදිය-දැනට එතරම් ක්‍රියාත්මක නොවේ)

මේවායේ අවසාන ප්‍රතිපලය තමයි ඡන්ද පත්‍රිකාවේ දිග වැඩිවීම. දිග වැඩිවුනා කියන්නෙ වියදමත් වැඩියි. ගණන් කිරීමට ගතවන කාලයත් වැඩියි.
මේකට විසඳුම විදියට මගේ යෝජනාව නම් මේ අනවශ්‍ය ස්වාධීන කණුඩායම්-පක්ෂ ඉදිරිපත් වීම වැලැක්වීමට පියවර ගැනීම.

♣ ගණන් කිරීමේ මධ්‍යස්ථාන-ඡන්ද මධ්‍යස්ථාන ආදිය සඳහා පක්ෂයකට ඉදිරිපත් කල හැකි නියෝජිතයන් ප්‍රමාණය වැඩි කිරීම.
♣ ඡන්ද ලැයිස්තුවක් ප්‍රතික්ෂේප වූ විට (අදාල කාලය තුලදී) යලි ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදීම.
♣ ඇප මුදල් ප්‍රමාණය ඉහල දැමීම. මෙමඟින් නිකරුනේ ඉදිරිපත් වන ලැයිස්තු අවම කිරිම හා යම් ප්‍රතිශතයක් ලබාගත් විට ඇප මුදල් ලබාදීම. (යම් ලැයිස්තුවකට ලැබෙන ඡන්ද ප්‍රමාණය අපේක්ෂකයන්ගේ සංඛ්‍යාවටත් අඩු නම් ඡන්දයට ඉදිරිපත් වීමේ තේරුමක් තිබේද?)

මේවගේ යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කිරීමෙන් ඡන්ද පත්‍රිකාවේ දිග අඩුකරගන්න පුළුවන්. එහෙම වුනාම අවලංගු වන ඡන්ද ප්‍රමාණයත් අඩු කරගන්න පුළුවන්.

සුළු සුළු ආබාධිත අයගේ ඡන්දය සලකුණු කරන්නත් අපි උපකාර කලා. අත වෙව්ලන වයසක උදවිය එහෙම ඡන්දය සලකුණු කරන්න කියල ඉල්ලනව. එයාලගෙ ඡන්දය ලකුණු කරල දුන්නට පස්සෙ එයාල ඒක ඡන්ද පෙට්ටියට දාන්න ඕන. එතනදිත් පොඩි පොඩි ගැටළු ඇති නොවුනාම නෙවේ.
ඔන්න සමහර වයසක ආච්චිලා සීයලා එනව ඡන්දෙ ලකුණු කරල දෙන්න කියාගෙන. කාටද දෙන්න ඕන කියල ඇහැව්වම අතේ ගුලි කරගෙන ඉන්න කොලයක් දෙනව. ඡන්ද මධ්‍යස්ථානයට එවැනි දේවල් ගේන්න අයිතියක් නැති නිසා අපිට ඒව බලන්නත් බෑ. ඒ අයට අංක මතක තියාගන්නත් බෑ!
තවත් සමහරු කෙලින්ම කියනව අහවලාට ඡන්දෙ දෙන්න කියල. "නාමල් මහත්තයට දෙන්න" "සජිත්ට දෙන්න" "නිරූපමාට දෙන්න"....
මෙහෙම කිව්වට අපි දන්නෙ නෑ නෙව මේ උදවිය මොන පක්ෂෙද කියල. ඇත්තටම දැනගත්තත් ඒ වගේ ඉල්ලීම් වලට එකඟ වෙන්න බෑ. අපේ කාර්ය වෙන්නෙ "එයාල කියන පක්ෂයට හෝ සලකුණට හා මනාප අංකයට/අංක වලට එයාලගෙ කැමැත්ත සලකුණු කිරීම" පමණයි. මනාප අංක කියාගන්නම බැරි අයගෙන් පක්ෂය අහගෙන මනාප නැතිව සලකුණු කල අවස්ථාත් තිබුන. ඒ වගේම සිහි මඳ ගතිය ඇති කෙනෙක් සහ මන්ද මානසික අයෙකුටත් ඡන්දය සලකුණු කලා.

හැබැයි මම හිතන විදියට "ඡන්ද අයිතිය හිමිවිය යුත්තේ අඩුම තරමින් තමන්ගේ කැමැත්ත කාටද කියල කියන්න පුළුවන් අයට" පමණයි. ඒ හැකියාව නැති අයට ඡන්ද බලය දීම කියන්නෙ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නං නෙවේ.

Wednesday, August 19, 2015

පශ්චාත් චන්ද කතා

ඡන්දෙ ඉවරයි. යූඇන්පී රජයක් එන්න නියමිතයි. මේ ඡන්දෙ ගැන ‍පොඩි පොඩි දේවල් ටිකක්.

සන්ධානයේ පරාජය.
බලාපොරෙත්තු වුන විදියටම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එජනිස පැහැදිලි පරාජයක් අත්කරගෙන තියනව. ඒ පරාජය ජනාධිපතිවරණ පරාජයටත් වැඩිය විශාලයි. එජනිසය ජනාධිපතිවරණයේ ගත්ත ඡන්ද වලින් මිලියනයක් විතර අඩුකරගෙන තියනව. එයාල බලාපොරොත්තු වුන විදියට ලක්ෂ පනස් අට එසේම තිබියදී ලක්ෂ හැට දෙක කෑලි කෑලි වලට කැඩිල ගියේ නෑ. සරළව කිව්වොත් ඡන්දයේ තීරණාත්මක කොටස් දෙක වුනේ "ඡන්ද පොලට නොගිය එජනිසයට කැමති පිරිස" සහ "(බලය ඇති පැත්තට හැරෙන) සන්ධානයෙන් එජාපයට මාරුවුන කොටස".
ලංකාව පුරා ඡන්ද වැට‍ුන ආකාරය බැලුවම ජනාධිපතිවරණයට වැඩිය එජාපය ඉදිරියට ඇවිල්ල තියනව. උතුරු සහ නැගෙනහිරට සීම‍ා නොවී තමුන්ගේ බලය පතුරවාලීමට එයාලට‍ හැකිවුනා.(මේ නිසා සිතියම් පාට කරන අයට කරන්න දෙයකුත් නැතිවුනා). මහින්ද මහත්තය ඡන්දෙට ඉදිරිපත් වුන කුරුනෑගල පවා එජාපය පැරදුනේ බෝනස් ආසනයෛන් විතරයි.

ඡන්ද වැටීම
දකුණු පළාත සම්පූර්ණයෙන් ජයගන්න සන්ධානය සමත් වනවිට දකුණේ ගාල්ල සහ මාතර ආසන දෙක ජයගන්න එජාපයට හැකිවුනා. සමස්තයක් විදියට ගත්තම නාගරික ප්‍රදේශ එජාපයටත් ග්‍රාමීය ප්‍රදේශ සන්ධානයටත් කැමැත්ත පලකල ආකාරයක් පේන්න තියනව. මම ජීවත් වන හම්බන්තොට දිස්ත්‍රික්කය ගත්තම රාජපක්ෂලාගේ බලපෑමට අමතරව මේ දවස්වල පවතින වී මිල පහල යාම වගේ දේවල් එජාප පරාජයට සෑහෙන්න බලපෑම් කල බව නිසැකවම කියන්න පුළුවන්. මාතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වලටත් මේ වගේ කාරණා අදාලයි. දිගටම බලයේ ඉන්න අවශ්‍යතාවයක් තියනව නම් මේ කාරණා ගැන රනිල්ට සෑහෙන්න හිතන්න වෙනව.

ජවිපෙ.
අපි බලාපොරොත්තු වුන තරම් ආසන ප්‍රමාණයක් ගන්න ජවිපෙ අසමත් වුනා. සමහර විට මහින්ද විරෝධීන් එජාපය ශක්තිමත් කරන්න ජවිපෙ අමතක කලා වෙන්නත් පුළුවන්. නමුත් අනුර කුමාර දිසානායක ජවිපෙ නායකත්වයට පත්වීමත් එක්ක පැරණි ජවිපෙ දියවෙමින් පවතින බව පේනව. පැරණි ජවිපෙ ගම්වල ඉන්න ජවිපෙ කාඩර්වරුන් මත යැපෙන විට නව ජවිපෙ මාධ්‍ය තුලින් මධ්‍යම පාන්තික මිනිස්සුන්ට වඩාත් කිට්ටු වන බව පේන්න තියනව. (ආගමික අනුගාමිකයන් කට්ටියක් අත පක්ෂය තියනවට වැඩිය දියුණු මිනිසුන් පිරිසක් අත පක්ෂය තියනවට මම පෞද්ගලිකව කැමති බවත් කියන්න ඕන).
මම හිතන විදියට නං ජවිපෙ විපක්ෂයේ හිටිය කාලය දැන් ඇති. මෙතනින් ඉහලට යන්න නම් අලුත් ආණ්ඩුවෙ ඇමතිකම් කිහිපයක් ලබාගෙන (ඒක එච්චර අමාරු දේකුත් නෙවේ) "වැඩ පෙන්නල" ඉදිරියට යාම හෝ පැරණි වම මෙන්ම නටබුන් විම තෝරාගන්න පුළුවන්. කොහොමටත් ඡන්ද දායකයන් හැමදාම විපක්ෂෙ ඉන්න ඡන්දෙ දෙන්නෙ නෑ, කාලයත් එක්ක ප්‍රධාන පක්ෂ දෙකට අවශෝෂණය වෙනව මිසක්.

පක්ෂ දේශපාලනය සහ පුද්ගලික දේශපාලනය
මේ මැතිවරණයේ දැක්ක යහපත්ම ලක්ෂණය තමයි පුද්ගල දේශපාලනය ඉක්මවා පක්ෂ දේශපාලනය මතුවීම. යම් යම් තැන් වල ව්‍යතිරේක තිබුනත් පොදුවේ, ජයග්‍රහනය කලවුන් යම් යම් මතවාද නියෝ්ජනය කල අය. උදාහරණයක් විදියට කොළඹ දිස්ත්‍රික් එජාප කණ්ඩායම ගනිමු.

රනිල් වික‍්‍රමසිංහ – 500566
සුජීව සේනසිංහ 117049
හර්ෂ ද සිල්වා 114148
රවී කරුණානායක 111394
පාඨලි චම්පික රණවක 100444
එස්.එම් මරික්කාර් 92,526
මුජබර් රහුමාන් 83,884
එරාන් වික‍්‍රමරත්න 82,783
විජේදාස රාජපක්‍ෂ 81,758
හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර 70,584
මනෝ ගනේෂන් 69,064

මෙතන දෙපැත්තෙම ඉන්න බහුතරයක් (දූෂිතයන් හෝ හොඳ අය වෙන්න පුළුවන්) හරි හෝ වැරදි "මතවාදයක්" වෙනුවෙන් පෙනී සිටි උදවිය. මේ අතරෙ ඉන්න එරාන් වික්‍රමරත්න හර්ෂ සිල්වා වගේ අය ජාතික ලැයිස්තුවට සුදුසු අය වුනත් ඔවුන් ඡන්දයෙන්ම පාර්ලිමේන්තුවට යැවීමට ඡන්ද දායකයන් කටයුතු කිරීම යහපත් ප්‍රවනතාවයක්.

මැතිවරණය සහ මනාප ක්‍රමය.
මනාප ක්‍රමයේ අවුල නැති කරන්න විසිවැනි සංශෝධනය ගේන්න හැදුවත් නීතිය ක්‍රියාත්මක වන වටපිටාවක මනාප පොරය එතරම් උග්‍ර තත්වයකට පත්වන්නේ නැති බව ඔප්පු කරන්න පුළුවන් හොඳ උසාහරණයක් තමයි මේ මැතිවරණය. මැතිවරණ කොමසාරිස්තුමාගේ නියෝග නිසා ඡන්ද දායකයන්ට අල්ලස් දීම සිදුවුනේ ඉතාම අල්ප වශයෙන්. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට බලය ලබාදුන් විට ඔවුන් සාධාරණව ක්‍රියාත්මක වන ආකාරයත් නීතිය අතැති ජනාදිපතිවරයා එය පාවිච්චි කල ආකාරයත් ප්‍රශංසනීය බව නොකියාම බෑ.

Thursday, August 13, 2015

මෙන්න මෙදා ඡන්ද අනාවැකිය....

මහ ලොකුවට නැතත් ඡන්දෙ උණුසුම්. විවෘතයි. කොන්ද කෙලින් තියාගෙන රාජකාරී කිරිමේ බලය පොලිසියට දුන්න මෛත්‍රීටත් උපදෙස් දෙන මැකෝටත් අනේක වාරයක් ස්තුතියි. ඡන්ද ප්‍රතිපලය මොකක් වෙයිද?

ඡන්ද ප්‍රතිපලය ගැන විවිධ පුරෝකතන අන්තර්ජාලය පුරාම දකින්න පුළුවන්. තමන්ට ඕන විදියට-තමන් කැමති විදියට ලියන විශ්ලේශන අතරේ මේවගේ හොඳ විශ්ලේශනත් තියනව. සරළව කල්පනා කරල බැලුවම මට දැනෙන ප්‍රතිපලය මේක,

එජාපෙ: 102
එජනිස: 97
ටීඑන්ඒ: 15
ජවිපෙ: 11

(මගේ ගණනයට අදාල අපගමනය ±2ක් විතර දෙන්නත් කැමතියි. එ් කියන්නෙ මේ අගයන් 2කින් අඩු හෝ වැඩි වෙන්න පුළුවන්)

මෙතනදි සලකා බැලුවෙ දිස්ත්‍රික් මට්ටමෙන් ගන්න පුළුවන් ආසන ගණන් නිසා සුළු පක්ෂ අත්හැරල තියෙන්නෙ. සමහර විට ෆොන්සේකාගේ පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් එන්න ඉඩක් තියනව. 2015.08.13 වන අද වෙද්දි පේන ප්‍රතිපලය තමයි මේක. රයිට්, විස්තරේට කලින්, ජනාධිපතිවරණය වෙනුවෙන් මම කරපු විශ්ලේශනය බලල ඉන්නම වෙනව. නැත්තං තේරුමක් නෑ. එතන කියල තියන තාක්ෂණික කාරණා ඔක්කොම මේ ලිපියටත් අදාලයි. එකම වෙනසයි තියෙන්නෙ. එදා හංසයට ඡන්දෙ දුන්න මම මෙදා සීනුවට දුන්න.

ඔන්න එහෙනං රතු කණ්නාඩිය ගැලෙව්ව, දැං හරි.
මෙදා සුළු ආසන ගණනකි‍න් එජාපය ජයගන්නව. සන්ධානය ඉන්නෙ ඔවුන්ට ආසන පහක් විතර පිටිපස්සෙන්. ඒ ඇයි?

සන්ධානය අවුරුදු ගණනක් තිස්සේ ජයග්‍රාහී තත්වයකයි හිටියෙ. ඔවුන් පැරදුනේ විපක්ෂයේ සාමූහික එකතුවක් වුන ජනාධිපතිවරණයේදි විතරයි. ඒකත් ලක්ෂ 62+:57+ වගේ ලඟ අනුපාතයකින්. විපක්ෂය(මෛත්‍රී) ගත්ත ලක්ෂ හැට දෙකකුත් ගණනින් දෙමළ සන්ධානය සහ ජවිපෙ කොටස විතරක් ඉවත් කලත් යූඇන්පිය පරාදයි. ඒ නැතත් සිංහල ප්‍රදේශ වල බහුතරය ජයග්‍රහණය කරල තිබුනෙ මහින්ද. එහෙනං වෙනස් වෙන්නෙ කොහොමද?

මේකෙ හුඟ දෙනෙක් කල්පනා නොකරන පැත්තක් තියනව. විශ්ලේශනය කරන්නන් කිසිම කෙනෙකුට අල්ලන්න බැරිවුන පැත්තකින් තමයි එජාපය ජය ගන්නෙ. මේ ගැන අන්තර්ජාලයේ දැක්ක එකම පැහැදිලි කිරීම දැක්කෙ දමිත් කේතකගෙන් විතරයි. උපුටා ගැනීම මෙතැන් සිට.

"මේකෙන් රනිල් දිනනවා….

ඒ ඇයි?…

මහින්දට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සහමුලින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාර දුන්නත් මේක ගොඩදාන්න බෑ….

ප්‍රංශයේ රජ කළ 8 වැනි ලුවී රජු ( එංගලන්තයේ බැරන්වරුන්ගේ යුද්ධය පැවති සමයේ ) එංගලන්තය ආක්‍රමණය කළා….බැරන් වරු ඔවුනොවුන් මරා ගැනීම නවත්තලා තාවකාළික සම්මුතියකට ඇවිත් ඉතාම දුර්වල ඒකාබද්ධ ප්‍රතිරෝධයක් ඉදිරිපත් කළා….ඩෝවර් වලදී ප්‍රංශ කාරයන් මේ ප්‍රතිරෝධය සුනු විසුණු කරා…එයින් පසුව 8 වැනි ලුවී මෙහෙම කිව්වා….

“A Country at War with itself, with so deep as wounds, with such little time to heal”

ඔන්න ඕකයි මාලන් අන්කල් මහින්ද කඳවුරේ සීන් එක….තුවාල සුවපත් කරගන්න කල් මදි….වෙච්ච තුවාල ඔඩු දුවලා වැඩියි…කාවවත් විශ්වාස කරන්න බැරි තරම් අවුලෙන් අවුලට පත් වුනු බලවේගයක්….එහෙම බලවේගයක සංවිධාන ශක්තිය කොච්චර පිම්බිලා තිබුනත් ඇතුළෙන් කුණු වෙලා තියෙන්නෙ…Paranoia එක ලොකු එකෙන්ම බලන්න පුලුවන් මේ පාර මහින්දගෙ කැම්පේන් එකේ….මේ ඉන්න එකා ෂුවර් නෑ….පිටතින් වගේම අභ්‍යන්තරයෙනුත් දරුණු සතුරන් සිටින කැම්පේන් එකක්….බොහෝ විට එජාපයට කරන්න දෙයක් ඉතිරිවෙන එකක් නෑ….කැම්පේන් එක යනකොට සන්ධාන පිළම විවිධ ගේම් සිය ගණනක් වින්දිතයා බවට පත්වෙයි….

එජාපයත් පේන තරම් ශක්තිමත් නෑ…!…මෛත්‍රී දිනවපු සටන ඇත්තම කිව්වොත් ඔවුන්ටත් තරමක විමතියක් දනවන ජයක්…!…අවුරුදු ගාණක් තිස්සේ විපක්ෂයේ හිඳිමින් ඔවුන් වැටුණු වැටිල්ලෙන් 100% රිකවර් වෙලා නෑ….ඒ උනත් ඔවුන්ට මේ මොහොතේ නොබෙදුණු මතයක් සහිත තනි පක්ෂයක් තියෙනවා…ඇයි ඒ?…

එක නායකයයි
ඒ නායකයාට එරෙහිව නැගී හිටපු අය එහෙම නැගී හිටියේ කෙහෙල්මල් පක්ෂයක් ගැන තියෙන ආදරයෙන් වත්, ජනතා සේවයක් සලසන්න ඕන නිසාවත් නෙමෙයි….තමන්ගේ කෑම වේල එන්න එන්නම පරක්කු වෙන නිසා…විපක්ෂයේ පුටු රත් කලාට, පාතරාසය බිස්නස් කාරයන්ගෙන්, ඩීල් කාරයන්ගෙන් නොලැබෙන නිසා….ගස් ටික ආණ්ඩුවෙ එවුන් කපනවා….බාර් පර්මිට් ටික ආණ්ඩුවෙ එවුන් විකුණ ගන්නවා…මේවා දැක දැක තව කොච්චර කළක් බඩ ගින්නෙ ඉන්නද?… ඉතින් “අපි පරදින්නේ මූ නිසයි” කියලා සියළු පවු රනිල් පිට දාලා රනිල්ට එරෙහිව නැගී සිටියා….

දැන් එහෙම නෑ…දැන් බත් පත පේනවා….!…දැනටමත් මේ දවස් ටිකට අහුරු දෙක තුනක් කාලා රහත් දන්නවා…!…දැන් මොකටද නිකන් ප්‍රතිපත්ති වෙනුවෙන් රනිල් එලවන්න ගිහින් අතට බෙදලා ඈතින් ගේන බත් එක අහිමි කරගෙන නැගිටලා යන්නෙ….දැන් ඒ ප්‍රශ්ණ ඔක්කොම ඉවරයි…

දෙවනියාගේ ඉඳලා ගම් මට්ටමේ පාක්ෂිකයා දක්වා 1994 ඉඳලා වැටි, වැටි උහුලගෙන හිටපු දුක් කන්දරාවට හරියන්න එක්ක සැප සැලසෙන බවට බලාපොරොත්තුවක් දැන් තියෙනවා…ඒක නිසා එජාපයේ,

මේ මොහොතේ ඉහළ සිට පහළටම ඇත්තේ එක හඬයි….එක අරමුණයි….එක අණයි…!…. ( “දැන් අපිට උණු උණු බත් ලැබෙන දවස ළඟයි” මානසිකත්වය නිසා රනිල්ට මෙතෙක් දවස් තිබුණු නායකත්ව අර්බුදය දැන් නෑ…)

බලය හැරෙන්නෙ ප්‍රාග්ධනය තියෙන පැත්තට >>> ප්‍රාග්ධනය හැරෙන්නෙ ලාභය තියෙන පැත්තට >> ලාභය හැරෙන්නෙ වාසිය තියෙන පැත්තට >> වාසිය හැරෙන්නෙ බලය තියෙන පැත්තට

මේ චක්‍රය හැමදාම ක්‍රියාත්මකයි….

මහින්ද හිටපු කාලේ එජාපය දුක් වින්දේ මේ චක්‍රය නිසා….මෙරට ප්‍රාග්ධන ආයෝජනයේ සහ ලාභ ජනනයේ “ශුද්ධ – අශුද්ධ” සියල්ලෝම හිටියෙ මහින්ද ළඟ….ඒ අසීමිත බලය නිසා….එජාපය දුකෙන් දුකට පත් වුනා මේ චක්‍රය නිසා…..

දැන් ඒකම තියෙන්නෙ එජාපය අතේ….සන්ධාන පාර්ශවයට දැන් මේ චක්‍රය නිසා දුක් විඳින්න වාරය…අර එදා මහින්ද ළඟ හිටපු ශුද්ධ – අශුද්ධ බලවේග ටික අද රනිල්ගේ පළිඟු බෝලයේ ප්‍රාදුර්භූත වෙනවා….

කාළෙකට පසුව පරණ යූ.එන්.පී එක ඉන්නවා…යූ.එන්.පී නායකයෙක් ඉන්නවා…බලාපොරොත්තුවක් තියෙනවා උණුසුම්…!..යූ.එන්.පී කාරයො ඡන්දෙ දාන්න මේ වතාවෙ බුරුතු පිටින් යනවා….එතකොට මෙතෙක් කල් දුර්මුඛ මානසිකත්වය නිසා යටපත් වෙලා තිබුණු යූ.එන්.පී එකේ සැබෑ ඡන්ද පදනමේ ශක්තියෙ මුළු බරම හෝ ඊට ආසන්නව රනිල්ට ලැබෙනවා….
මෙලොව පාවෙන ඡන්ද කියා කිසිවක් නැත…..පාවෙන ඡන්ද වනාහි, පෞද්ගලික අරමුණු උදෙසා උපදින්නට කයක් ලැබෙන තුරු අහසේ සැරිසරන අන්තරා භවයන් පමණයි….මේ අන්තරා භවයන් තම තමන්ගේ පෞද්ගලික අරමුණු ( බිස්නස් කිරීම, බිස්නස් වලට ලයිෂන් ගැනීම, ළමයි ඉස්කෝලෙ දැමීම, රස්සාවල් ගැනීම, ගෙවල් දොරවල් හදන්න ආධාර ගැනීම, ස්වයං රැකියා ආධාර ගැනීම, අරක, මේක…) වෙනුවෙන් බොහෝ විට උපදින්නෙ ඒ මොහොතේ තියෙන ශක්තිමත්ම බලවේගයේ කුසේ….මේ පාර උන්ගෙන් බහුතරය උපදින්නේ අලි කුසේ….යුද්ධ සියල්ල අවසන් වෙලා තියෙන නිසා මහින්ද පාර්ශවයට ජාතිකත්වය, ජාතික ආරක්ෂාව වැනි කිසිවක් සාර්ථකව මාකට් කරන්න ලැබෙන්නෙ නෑ….මේ පාර ඡන්දයේ එකම තීරක සාධකය තමයි ආර්ථික සහ සාමාජීය අවශ්‍යතාවයන් හා ඒ වටා ගොඩනැගෙන සටන් පාඨ…..ඒවායින් නම් මිනිස්සුන්ගේ වැඩිම ලකුණු වැටෙන්නෙ එජාපයට…..ඒ නිසා පාවෙන ඡන්ද රැල්ල එජාපයට යනවා….මහින්දට ඒක කඩාගන්න ලැබෙන්නෙත් නෑ….
මේ රටේ සෙසු ජන පාර්ශව වල ඡන්ද බරෙන් 90% රනිල් ප්‍රමුඛ එජාපයට ලැබෙනවා…ඒවාත් ආර්ථික සහ සාමාජීය අවශ්‍යතා වෙනුවෙන්….ඒවා කඩාගන්න මහින්දට ලැබෙන්නෙ නෑ….

මහින්දට වාසි ගෙන දෙන සටන් පාඨ සියල්ල දැන් තියෙන්නෙ ඉතිහාසයේ …

මහින්ද වාදීන් ඒ සටන් පාඨ අකළට පර කර ගත්තා හැම තැනම පාවිච්චි කරන්න ගිහින්….ඔවුන් රනිල් ආවොත් පස්සෙන්දටම රට බෙදෙනවා කියලා Dark Fantasy එකක් නිර්මාණය කරලා දුන්නා රටේ ජනතාවට….ජනතාව රනිල් සමග මාස කිහිපයක් ජීවත් වෙලා රියැලිටිය ඒ තරමට භයානක නෑ කියන එක අත්දැක්කා…දැන් ආයෙ ඒ සටන් පාඨ වලට ගැම්මක් නෑ…..
මහින්දට ප්‍රබල “පෞද්ගලික” ආර්ථික සංරචක නෑ මාකට් කරගන්න….මිනිස්සුන්ට සාර්වසර ආර්ථික සංරචක මෙතැනින් ඉදිරියට මාකට් වෙන්නෙ නෑ….මිනිස්සු අවුරුදු තිහක් තිස්සේ විවිධ ආණ්ඩු “යුද්දෙ ඉවරකරලා දෙනකල් / රට හදලා දෙනකල් / සංවර්ධනය ගේන කල් පටි තද කර ගනිල්ලා” කියන උපදේශනය පිළිපැද්දා….දැන් ඒක පිළිපදින්න මිනිස්සුන්ට ඕන නෑ….ඒ නිසා රට හෝ සංවර්ධනය පෙන්නා ඡන්ද ගැනීමට තිබිය යුතු පාරිසරික අවශ්‍යතා දැන් අහෝසියි…!

මේකෙදි රනිල්ගෙ අතට සියළුම භූ දේශපාලනික සහ සාමාජීය වාසි ටික ලැබිලා තියෙන්නෙ….මේකෙදි අම්බ දැවැන්ත බුලක් කෙළියෙ නැත්තන් වැඩේ ගොඩදාන්න රනිල් ලොක්කට පුළුවන්….

තුන්වෙනි ලෝකයේ රටවල දේශපාලනය ඇකඩමික මාවත් වල හැසිරෙන්නෙ නෑ… ( උදා: තාක්ෂණය, ආර්ථික ප්‍රතිපත්ති, සෞඛ්‍ය, අධ්‍යාපනය )…. මේ දේශපාලනය ලොවෙත් ආසයි ඉතාම පෞද්ගලික තැන්වල උණුහුමට තුරුල් වෙන්න….මේකෙදි ආසි කොළ ටික එනකොට එනවා පැක් එක පිටින්ම….යනකොටත් ඒ වගේම තමයි…යනවා හිටු කියලා….

ඒක තමයි තෝම අතේ තියෙන නම් අනන කොට පරිස්සම් වෙන්න ඕන කියන්නෙ..!…පැක් එකයි පොට් එකයි තමන්ගෙ නෙමෙයි නම් “තෝම” ගියොත් බඩුම තමා….!…මහින්ද නාමල් වෙනුවෙන් කොළ පනස් දෙකම දීලා “මහණ” උනා…දැන් ඉතින් “තෝම” තියෙන්නෙ රනිල් අතේ…!…


ඔන්න ඔය විදියටයි දමිත්ගෙ පැහැදිලි කිරීම. දමිත් අකුරු වලින් පෙන්නන දේ පොලවේ ඉන්න අපිට පේනව. ඡන්දයක් ප්‍රකාශ කල ගමන් අපේක්ෂකයන්ගේ හැසිරීම සාමාන්‍යයෙන් මෙහෙමයි.
ඇතිවෙන්න කන්න බොන්න දෙනව, මිනිස්සු සංවිධානය කරගෙන වැඩේ ගොඩදාගන්න බලනව, ආධාර බෙදනව,..... මේ අතරින් ජහමනතාව රවටාගන්න පුළුවන් ක්‍රමයක් තමයි ලඟ බලාපොරොත්තු දීම. "ඡන්දෙන් පස්සෙ සතියක් විතර අැතුලත අහවල් තැන ජොබ් එක ගන්න පුළුවන්.... අන්න ඇප්ලිකේෂන් එක (ශාඛා සමිතියෙ) සභාපතිගෙ ලඟ" වගේ සීන් එන්නෙ මේ කාලෙට තමයි. මේ පැත්තෙ ගත්තොත් මහින්ද මහත්තයගෙ දර්පන ප්‍රතිබිම්බය වෙච්ච සජිත් උන්නැහේ එහෙම මේකෙන් හොඳට වැඩ ගන්න බව පේන්න තියනව. නිවාස අධිකාරියේ ණය අයදුම්පත් එහෙමත් සංසරණය වන ආකාරය දකින්න පුළුවන්.(මේ ගැන මැතිවරණ කාර්යාලයෙන් වාරණයකුත් ආව).

මේ ජාතියෙ මිනිස්සු සහ දමිත් කියල තියන ටිකක් ඉහල ලෙවෙල් එකේ මිනිස්සු නිසා තමයි එජාපය දිනන්නෙ. හංසයාගෙන් ජවිපෙට-ටීඑන්ඒ එකට කැඩෙන ඡන්ද ටික බැලන්ස් කරන්න මේ කිව්ව ඡන්ද දායකයන්ට පුළුවන්.

සන්ධානය ගැන වැඩිය කතා කරන්න දෙයක් නෑ. යෝධයාගේ ඇදවැටීමට පස්සෙ බලය ඇති පැත්තට බුරුතු පිටින් මාරුවුන මිනිස්සු සහ ඡන්ද පොලට නොයන සන්ධාන පාක්ෂිකයන් ඔවුන්ව දෙවන තැනට ඇදදැමීම, වියහැකි ආසන්නම සිද්ධිය. (මෙවර ඡන්ද ප්‍රකාශිත ප්‍රතිශතය ජනාධිපතිවරණයට වඩා 3-4%ක් විතර අඩු විය හැකියි)

දෙමළ ජාතික සන්ධානයේ ගණන ලොකුවට වෙනස් වෙන්න බෑ. ජවිපෙ තමයි අනිත් සාධකය.
මම විශ්වාස කරන විදියට "ඉතිහාසයේ හොඳම ජවිපෙ" නෙවේ තාමත් ඉන්නෙ. හොඳම ටීම් එක ආසන 16ක්ද කොහෙද ගන්නකොට අද ඉන්න ජවිපෙට මම දෙන්නෙ 11 විතර ගණනක් තමයි. ප්‍රධාන පක්ෂ දෙක අතර තියන තරගය නිසා තෙවැනි බලවේගය දුර්වල වීම ස්වභාවිකයි.

පසුවදන: එජාපය පැත්තෙන් ප්‍රතිපලය මීටත් නරක උනත් ආණ්ඩුවක් පිහිටුවන්න එයාලට පුළුවන්. 18දා පාන්දර වෙද්දි අප්පච්චි දෙවැනි වතාවටත් වලදාන්න බලන් ඉන්න පුත්තු සෙට් එකකුත් සන්ධානයේ ඉන්න බව මතක තියාගන්න.

Wednesday, August 12, 2015

ස්මාට් ෆෝන් හොරා ඇල්ලූ වයිබර් දෙයියා!

අපේ ඔපීසියෙ ඩ්‍රයිවර් මහත්තයගෙ ෆෝන් එක නැතිවුනා මීට මාස හයකට විතර කලින්. මෑන්ට ඒක ලැබිල තිබුනෙ දකුණු කොරියාවෙ රස්සාවක් කරපු ඥාති පුත්‍රයෙකුගෙන්. වර්ගය සැම්සුන් ගැලැක්සි s2 එකක්. ස්මාට් ෆෝන් පාවිච්චිය නුපුරුදු ඩ්‍රයිවර් මහත්තයට කුප්පියකුත් දාල ගූගල් එකවුන්ට් එකකුත් හදල දීල සොෆ්ට්වෙයා කෑලි ටිකකුත් දාල දුන්නෙ මම. ඒ අතරින් එකක් තමයි අද ජනප්‍රිය වයිබර්.

මාස දෙකතුනකට පස්සෙ ගෙදර තිබුන ෆෝන් එක නැතිවුනා. හොරා ගේ ඇතුලටම ඇවිල්ල ෆෝන් එක උස්සල තිබුන. වෙනත් කිසිම දෙයක් අරගෙන තිබුනෙත් නෑ. හොරකමට සැකකලේ අල්ලපු ගෙදර හිටපු අවුරුදු පහලවක් විතර වයසැති කොලුවෙක්. ඉස්කෝලෙන් කට්ටි පැනපු පොරගේ චරිතය හොඳ නෑ. ඒ වගේම ෆෝන් එක කිහිප වතාවක් අතපත ගාල බලලත් තිබුන. කොලුවගෙන් ප්‍රශ්න කලත් උගේ කටින් වචනයක් ගන්න බැරිවුනා. පොලිසියෙ පැමිණිල්ලක් දැම්මත් වැඩක් උ‍නේ නෑ.

මේ අතරෙ ඩ්‍රයිවර් මහත්තයගෙ තවත් ඥාති පුතෙක් වයිබර් වලින් දැකල තියනව තමුන්ගෙ මාමා ඔන්ලයින් ඉන්න බව. ෆෝන් එක නැතිවෙච්ච කතන්දරයත් දන්න නිසා මෑන් කෝල් එකක් අරගෙන තියනව. කතා කල එකා කියල තියෙන්නෙ මීගමුව පැත්තෙ ඉන්නව කියල. ඩයලොග් නම්බරයක් තමයි තිබිල තියෙන්නෙ. ඊට පස්සෙ තමයි වැඩේ පත්තුවුනේ. ඒ දවස්වල මීගමුවෙ ඉඳල ආපු බාස්ලා සෙට් එකකුත් ඩ්‍රයිවර් මහත්තයගෙ ගෙවල් කිට්ටුව වැඩ කරල තියනව. ෆෝන් එක නැතිවුන බව කිව්වම එකෙක් කිව්වලු ලැබුනොත් ගෙනත් දෙන්නං කියලත්. මේ ගැන දැනගත්තට පස්සෙ මේකෙ තාක්ෂණික පැත්ත ගැන මම ඇහුව ‍අපේ බුකි මිත්‍ර චමීර ජීවන්තගෙන්. බැලුවම සීන් එක හරි. ෆෝන් එකට වයිබර් දැම්මම පරණ අයිතිකාරය නමින් තමයි තියෙන්නෙ. හොරාට වැරදුනේ එතන.

මේ විස්ත‍රයත් අරගත්ත අපේ ඩ්‍රයිවර් මහත්තය ආයෙත් පොලිසියට ගිහිල්ල දුරකතන අංකයත් එක්ක ආයෙ පැමිණිල්ල අලුත් කරල. උසාවි නියෝගයක් අරගෙන සැකකරුව අල්ලාගැනීම විතරක් ඉතිරිව තියෙද්දි ෆෝන් හොරා වයිබර් වලට තමුන්ගෙ පවුලේ පින්තූරයකුත් දාල. හොරා කවුද කියල මේකෙන් හරියටම තහවුරු වුනා. ඒ අර ෆෝන් එක ලැබුනොත් දෙන්නං කියපු මෑන්මයි. ඒ විස්තරයත් පොලිසියට කියල මගේ ෆෝන් එකෙන් පින්තූරයත් ගත්ත. නමුත් පොලිසියෙ රාජකාරිය අපිට උවමනා කරන වේගයෙන් සිදුවුනේ නෑ. අපරාධ අංශයේ ඕඅයිසී මහත්තයගෙ මේසෙ උඩ තිබුන අල්ලගත්ත ෆෝන් බෑග් එකක්ම එයා අපට පෙන්නුව.

පොලිසියට ගිහිල්ල එලියට එද්දි ඩ්‍රයිවර් මහත්තය අඳුරන පොලිස් රාලහාමි කෙනෙක් මුනගැහුන. එයාට විස්තරේ කිව්වම ගත්ත එවලේම කෝල් එකක්.

"උසාවි යන්නෙ නැතුව ගොඩිං බේරෙන්න ඕනනං ෆෝන් එකත් අරගෙන දැන්ම වරෙං!" රාලහාමි ගර්ජනා කලා. බයවෙච්ච හොරා පවුල පිටින්ම මීගමුවෙ ඉඳල ආව. ඊට පස්සෙ උසාවි! ඇප අරගෙන අතින් පාඩු කරගෙන ගෙදර ගියා. දැං ඉතිං නඩුව අහන දවසට මීගමුවෙ ඉඳල තංගල්ලට වරෙංකො!

බුවාගෙ විස්තරේ අනුව හොරකම කරල තියෙන්නෙ මුලින් සැකකල කොළුවම තමයි. බාස්, කොලුවට රුපියල් පන්දාහක් දීලයි අරගෙන තියෙන්නෙ. නමුත් කොලුව කියන්නෙ තමුන් කිසි දෙයක් දන්නෙ නෑ කියල. වැඩ කරපු දවස් ටිකේ හිතවත්ව ඉඳපු මිනිහ ඇයි එහෙම වැඩක් කලේ කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. මෑන් ඒ ගැන කියල තියෙන්නෙ මෙහෙමයි,

"මහත්තයගෙ ෆෝන් එක බව දැනගත්තත් මට ෆොන් එක දැක්කම ආස හිතුන මහත්තයෝ"

උසාවි නියෝගයක් ගන්න තියෙද්දි පොලිසියෙ කෙනෙක් ලවා කතා කිරීම ගැන මම නං හිටියෙ සැකයෙන්. ඒ කතාවට පස්සෙ හොරා, ෆෝන් එක විසිකරල දැම්ම නං ඇතිවන තත්වය ගැන එක සැරේටම හිතාගන්න බෑ. ෆෝන් එකේ එමි අංකයෙන් හෙවිල්ල නං සාර්ථකයි වගේම නීතියට එකඟයි. වයිබර් වලින් මේ වගේ ඔප්පු කිරීමක් කරන්න පුළුවන්ද කියන එක නීති ප්‍රශ්නයක්.

Tuesday, August 11, 2015

කලවං පලා

හාමුදුරුවනේ අපි වෙනස්.

ඡන්දෙ ඉල්ලන කස්ටිය තම තමන්ගෙ අතීත ක්‍රියාකාරකම් ගැන විවේචන ඉදිරිපත් කරනව.

"අතීතයේ අපේ අතින් වැරදි සිදුවුනා. නමුත් අපි සහතික කරල කියනව සන්නද්ධ අරගලයකට ආයෙත් යන්නෙ නෑ" ඒ ජවිපෙ නායකයා.

"අතීතයේ අපි අතින් සිදුවූ වැරදි නිවැරදි කරගෙනයි අපි මෙවර ඡන්දෙට එන්නෙ" ඒ එජාපයේ අජිත් පී පෙරේරා.

එතකොට සන්ධානෙ කට්ටිය?

"ජනවාරි අට වෙනිදා ජනතාව කල ඒ වැරැද්ද නිවැරදි කරගනීවි යැයි අපි බලාපොරොත්තු වෙනවා" මහින්ද, සිරිපාල ඇතුළු කිහිප දෙනෙක්ම කියනව ඇහුන.

ඇද්ද දැං ඉතිං පවු සමා කරපල්ලකො!

*********************************
ආයෝජකයන්ගෙ කැමැත්ත.

ඊයෙ තුන්සිය හැටට ආපු මහින්ද මහත්තයගෙන් දිල්ක අහනව මෙහෙම,

"ඇයි අවුරුදු දෙකක් ඉතිරිව තියෙද්දි ඡන්දෙකට ගියේ?"

"ඇත්තටම අපිට ඕනවුනා අවුරුදු පහකට ආයෝජකයො ගෙන්වගන්න.... මම ඉස්සරහට අවුරුදු පහක් ඉන්නව කියල දැනගත්ත නං එයාල එනවනේ"

*********************************

උඹලට කොරන්න ගිහිල්ලයි මට යන්න වුනේ.

ඒ සාකච්ඡාවෙදිම ඩිල්ක අහනව මෙහෙම,

"ඔබතුමා වැරදිකරුවන්ව ආරක්ෂා කලා කියල කියනව....."

"ඔව්.... බලන්න සජිත් ප්‍රේමදාසගෙ අක්ක හොර සල්ලි එක්ක අහුවුනා.... එයා එක්ක අහුවෙච්ච සෙබලව රිමාන්ඩ් කරල අපි පරීක්ෂණ පැවැත්තුවෙ... අපි එහෙම කලේ නෑ.... ඒ වගේ වැරදි තමයි කලේ"

*********************************

බූරු ප්‍රශ්න.

ෆොන්සේකගෙ පක්ෂෙ අපේක්ෂකයෙකුගෙන් අයිටීඑන් නිවේදකය අහනව මෙහෙම,

"ඔබතුමන්ලා පෙන්නනව සරත් ෆොන්සේක මහත්තය ප්‍රහාරයට ලක්වුන රථය, ඇයි ඒ?"

"ඒ රථය තිබුනෙ විනාශ වෙමින්...., අපි සල්ලි දීල ඒක ගත්ත.... ඒක විශේෂ රථයක්නෙ" නියෝජිතය කිව්ව.

"ඇයි ඉතිං එ් රථය විතරක්? තවත් රථ තියනවනෙ?"

"ෆොන්සේක මහත්තයා කියන්නෙ විශේෂ කෙනෙක්"

"ඇයි ඉතිං ගෝඨාභය මහත්තයගෙ රථයටත් ප්‍රහාරයක් එල්ලවුනානෙ?"

"$ත්තෝ..... දැකල නැද්ද බණ්ඩාරනායකගෙ ඇඳුම තියනව එයාගෙ කෞතුකාගාරෙ? ඒකට හැම එකාගෙම ඇඳුම් දාන්නෙ නෑ ‍බොල! ෆොන්සේකගෙ වාහනේ අපිට වටින්නෙ ඒක ෆොන්සේකගෙ නිසා" ඒ නියෝජිතය නෙවේ, නියෝජිතය ඉන්න තැන මම හිටිය නං ලැබෙන උත්තරේ.

***********************************

කාල වරෙංකො!

ඊයෙ අනුර කුමාර එක්ක ටීඑන්එල් එකේ සාකච්ඡාවක්, අනුර කියනව මෙහෙම,

"අපේ දරුවො ඉගනත්තොත් එයාල ලඟට යන්නෙ නෑනෙ...පෝස්ටර් ගහන්න කැන්වසින් යන්න කෙනෙක් නෑ.... දැං බලන්න යූඇන්පී එකේ කැන්වසින් යන්න ආපු පාතාල සාමාජි"

"නෑ නෑ පාතාල කණ්ඩායම් ඡන්ද වැඩට ආවෙ නෑ"

" නෑ නෑ දෙගොල්ල වෙඩිතියාගත්ත නේ.... පාතාල"

"නෑ නෑ"

"හරි හරි අපි මෙහෙම කියමුකෝ.....උපාසක මහත්වරු දෙගොල්ලක් අතරෙ පොඩි ප්‍රශ්නයක් අැතිවුනා ධම්මපදයේ කාරණාවක් ගැන.... කට්ටියක් වෙඩිතිව්ව... හරිනේ"

***********************************

රවුමෙන් එලියෙ

"යූඇන්පී එකෙන් පාතාලෙ දාගෙන මැතිවරණ කරනව. ඒකෙ ප්‍රතිපල තමයි ඔය වෙඩිතැබීම"

"ඔන්න අහුවෙලා වෙඩිතියන්න ආපු වාහනේ... සන්ධාන කාර්යාලෙකින්, යූඇන්පියට මඩ ගහන්න කරපු වැඩක් මේක"

"නෑ නෑ යූඇන්පීයමයි මේක සන්ධාන කාර්යාලෙට දාල තියෙන්නෙ සන්ධානෙට අවාසි වෙන්න"

"නෑ නෑ යූඇන්පීය සන්ධානෙ කාර්යාලෙට දාල කියන්න පුළුවන් නිසා තමයි සන්ධානෙ කට්ටිය මේක එයාලගෙ කාර්යාලෙ තියං ඉන්නෙ"

"නෑ නෑ යූඇන්පීය සන්ධානෙ කාර්යාලෙට දාල කියන්න පුළුවන් නිසා තමයි සන්ධානෙ කට්ටිය මේක එයාලගෙ කාර්යාලෙ තියං......"

"හැබෑටම මේ දෙගොල්ල විතරද ඉන්නෙ? පොඩ්ඩක් රවුමෙන් එලියට ඇවිල්ලත් බලමු!"

Tuesday, August 4, 2015

දිවයින කතෘට අමතක වෙච්ච ටික....

උදේ පාන්දර පත්තර කියන දෙරණේ චතුර ළමයා දිවයින කතුවැකිය කියවනවා ඇසුනේය. දිවයින කතුවරයාට මැතිවරණ නීති ක්‍රියාත්මක වන අාකාරය ගැන පොඩි චූන් එකක් ඇතිවී ඇති ආකාරයක් පේන්න තබුනි. විස්තරය අසන්නට ලැබුනේ එහෙන් මෙහෙන් නිසා සම්පූර්ණ විස්තරය බලන්නට සිත්විය.

උපුටාගැනීම:
අවුරුදු පැමිණි බව පවසන්නේ කොහායි. ජන්දය පැමිණි බව පවසන්නේ කෝලාහලයයි. අතින් පයින්, ගලෙන් මුගුරෙන්, කිනිස්‌සෙන් කඩුවෙන්, උණ්‌ඩයෙන් බෝම්බයෙන් ක්‍රියාවට නැංවෙන කෝලාහලය අවසානයේ ඇසට ඇසක්‌ හෝ හිසට හිසක්‌ ඉල්ලන තැනට පැමිණේ. බොහෝවිට එම තත්ත්වයට මුහුණදෙන්නේ ඉස්‌මුරුත්තාවට එන තරමට 'ජන්ද උණ' වැළඳුණු උදවියයි. නමුත් ඉන් මෙහා, ජන්දයක දායකත්වය ජන්ද අයිතියට පමණක්‌ සීමා වූ අහිසංක සාමාන්‍ය ජනතාව අමු අමුවේ පීඩා විඳි ජන්ද කෝලාහලයන්ද විය. ඒ වනාහි මහ පාන්දර සිට රෑ දෙගොඩහරියාමය දක්‌වා තොරතෝංචියක්‌ නොමැතිව යකඩ කටවල්වලින් මුදාහරින මනාප අංක රාවයයි. එය ජන්ද අපේක්‍ෂකයාට ජය සක්‌හඬක්‌ වුණිද, බහුතර සත්ත්වයාට එකම කන්දොස්‌කිරියාවක්‌ විය. මනාප අංකය පමණක්‌ නම් කම් නැත 'දක්‍ෂ, අවංක, එඩිතර, කාර්යශූර, බුද්ධිමත්........' ආදී සිංහලේ අගනා වචන ලැයිස්‌තුවක්‌ ජන්ද සමයේදී මෙලෝ රහක්‌ නැතිව, කන්වලට වද දෙමින් 'හෝල් සේල්' විකිනුණි.

නමුත් දෙයියනේ කියා මෙවර මැතිවරණය කනට අමාරුවක්‌ නැත. සුවසේ අවදිවීමටද, සුවසේ නින්දටයැමටද හැකි මෙවන් ජන්ද සමයක්‌ ඉතිහාසයේ නොතිබූ තරමකි. වෙනදා ඇසෙන ශබ්ද කෝලාහලය මෙවර නැත. ප්‍රසිද්ධ රැස්‌වීමක හැරුණු විට 'ලවුඩ්ස්‌පීකර්ස්‌ ' භාවිතය සඳහා අවසර නැත. එනිසා මේ අප ගෙවමින් පවතින්නේ ජන්ද සමයක්‌ යෑයි නොසිතෙන තරමේ නිසලතාවයක්‌ අවට තිබේ. අප අත්විඳින මේ නිස්‌කලංකයේ ගෞරවය පළමුව හිමිවිය යුත්තේ මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතාටය.

මෙම පාර්ලිමේන්තු මැතිවරණයේදී මැතිරණ කොමසාරිස්‌වරයා විසින් ගෙන ආ නීති අතරින් බහුතරය ක්‍රියාත්මකභාවයට පත්කිරීමටද එතුමාට හැකිවිය. වෙනදා නීති තිබුණද ආණ්‌ඩු බලය ඇති අය මෙන්ම ආණ්‌ඩු බලය නැති අය විසින්ද හරිහරියට ඒවා උල්ලංඝනය කරන ලදී. නීතිය බොහෝ විට වචන හෝ වගන්තිවලට පමණක්‌ සීමා විය. නමුත් මෙවර නීතිය බොහෝ දුරට 'නීතිය' ලෙසින් ක්‍රියාත්මක වීමට පටන්ගෙන තිබේ.

නමුත්, ඉකුත්දා කොළඹ බ්ලුමැන්ඩල් පාරේ සිදු වූ වෙඩිතැබීමේදී එතෙක්‌ ගෞරවයට පාත්‍රවූ නීතියේ ක්‍රියාත්මකවීම තරමක්‌ අභියෝගයට ලක්‌විය. මන්ද එම වෙඩිතැබීම සිදුවන විට ජන්ද ප්‍රචාරක කටයුතුවලට යමින් සිටි හෙවත් 'කැන්වසින්' යමින් සිය ගණනක්‌ එහි සිටි බවට පසුව වාර්තා පළවන්නට විය. එහෙත් කැන්වසින් යන කණ්‌ඩායමක්‌ උපරිමය 25 කට සීමාවිය යුතු යෑයි මෙවර මැතිවරණ කොමසාරිස්‌වරයා නීතියක්‌ පනවා තිබේ. එසේ නම් ආණ්‌ඩු බලය ඇති අයට නීතිය එකවිදිහකටත්, ආණ්‌ඩුබලය නැති උදවියට නීතිය තවත් විදිහකටත් ක්‍රියාත්මකවන්නේ දැයි මෙහිදී තර්කයක්‌ මතුවීම වැළැක්‌විය නොහැකිය.

ඒ වුණත් මෙවර මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් ගෙන ආ එකී නීති හේතුවෙන් සිදුවන්නට නියමිතව තිබූ තවත් 'බ්ලුමැන්ඩල් සිද්ධි' ගණනාවක්‌ වැළකුණු බව අපගේ අදහසයි. ජන්ද ප්‍රචාරක පෙළපාලි සීමා කිරීම, අත්පත්‍රිකා බෙදාහැරීම සඳහා තහංචි පැනවීම, පෝස්‌ටර ව්‍යාපාරයට වැට බැඳීම හරහා ජන්ද උණෙන් 'අං පටලවා ගැනීමට' තිබූ අවස්‌ථා බොහොමයක්‌ වැළකුණි. නොවැළැක්‌විය හැකි සිදුවීම් කිහිපයක්‌ හැරුණුවිට මෑත ඉතිහාසයේ පළමු වරට 'කැලෑ නීතියක්‌ නොවන නීතියක්‌ ' මගින් ජන්දයේ 'ගාය' අඩුකරනු ලැබ තිබේ.

මැතිවරණ නීති හැමදාම තිබුණි. නමුත් සිදුවූයේ නීති ක්‍රියාත්මක නොවීමය. දැන් දැන් නීතියට පණ එමින් පවතී. හැමවිටම මුවග සිනහවකින් සරසාගෙන සැහැල්ලුවෙන් වචන එළියට දැමුවද මහින්ද දේශප්‍රිය මහතාගේ වචන තුළ අපූරු සෘජු බවක්‌ රැඳී තිබේ. ඉකුත් ජන්දයේදී හොර ජන්ද දැමීමට පැමිණියහොත් දනිස්‌සෙන් පහළට නොව හිසටම වෙඩි තැබීමට හැකිවන බවට දේශප්‍රිය මහතා පැවසුවේ තමන් සමග සෙල්ලමට නොඑන ලෙසින් අවශ්‍ය පණිවුඩය, ඉතාම සරලව ප්‍රකාශ කරමිනි.

මැතිවරණ නීති ක්‍රියාත්මකභාවයට පත්කිරීමේ ප්‍රතිඵලය ලෙසින් මේ වන විට පැහැදිලිවම සිදුවීම් අවම වූ ජන්දයක ස්‌වභාවයක්‌ දිස්‌වෙමින් තිබේ. එමගින් නිදහස්‌ මනසකින් සිය මහජන නියෝජිතයා තෝරාගැනීමේ අවස්‌ථාව මහජනතාවට පිරිනැමෙනු ඇත. මේ 'නිදහසේ' ගෞරවයෙන් විශේෂ කොටසක්‌ මහින්ද දේශප්‍රිය මහතාට ලැබිය යුතුය

උපුටාගැනීම අවසන්.

හැබෑවකි! මැතිවරණ නීති හොඳට තදට ක්‍රියාත්මක වෙනවාලු. ඒ ගැන මැතිවරණ කොමසාරිස්තුමාට ප්‍රශංසා කර ඇත. ඒ ගැන අපේ අවුලක්ද නැත. එහෙත් දිවයින කතෘට අමතක වී ඇති කාරණා දෙකතුනක්ද ඇති බව පෙනේ.

2015 පාර්ලිමේන්තු මැතිවරණයට කලින් 2015 ජනාධිපතිවරයා තෝරා ගත්තේද මෙවැනි ඡන්දයකිනි. ඒ මැතිවරණයේදීද සිටියේ මේ මැතිවරණ කොමසාරිස්වරයාය. ඒ මැතිවරණයේදී සිටියේද දැන් සිටින පොලිසියයි. ඒ මැතිවරණයේදීද මැතිවරණ රාජකාරී කලේ දැන් සිටින රාජ්‍ය සේවකයන්මය. ඒ මැතිවරණයේදීද තිබුනේ දැන් තිබෙන රජයේ ජනමාධ්‍යයි-පෞද්ගලික ජනමාධ්‍යයි. ඒ මැතිවරණයේදීද සිටියේ දැන් සිටින ඡන්ද දායකයන්ය. එහෙත්,

ඒ මැතිවරණයේදී තිබුනේ එජනිස ආණ්ඩුවයි. දැන් තියෙන්නේ යහපාලන ආණ්ඩුවයි. ඔක්කෝටමත් වැඩියෙන්, ඒ මැතිවරණයේදී ජනාධිපතිව සිටියේ මහින්ද රාජපක්ෂයි. දැන් ජනාධිපතිව සිටින්නේ මෛත්‍රීපාල සිරිසේනයි.