Wednesday, September 21, 2016

අඬුව තියෙද්දී අත පුච්චා ගැනීම හෙවත් බයියන්ගේ දිව්‍යලෝක සංචාරය.


මධුවිතක් එහෙම අරගෙන දවල්ටත් කාල දිව්‍යාංගනාවන් හතර පස් දෙනෙක් එකතු කරගෙන පොඩි ඇලර්ට් එකක් දාන්න හැදුව විතරයි ශක්‍රය‍ට රිසෙප්ශන් එකෙන් කෝල් එකක්.

"සර්, ලංකාවෙ හාදයො කිහිප දෙනෙක් ඇවිල්ල ඉන්නව ඔබතුමා හම්බවෙන්න...." එහා පැත්තෙන් ඇහුන.

"මොකද්ද කාරණාව? ආයෙත් කලිං එක්කෙනා ඉල්ලනවද?"

"ඒ වගේ තමයි,... සර්ම කතාකරල බලන්නකො......[හරි හරි ලොක්ක අවසර දුන්න, තමුසෙල යනවකො ඇතුලට]"

"අවසර දෙන්නත් කලිං මූ එවන හැටි!" ශක්‍රයට කියවුනා.

"සෑර් අපි එන්නං ඇතුලට?" දිව්‍යාංගනාවො, එහෙමෙහෙ වෙච්ච ඇඳුං ආයිත්තං හදාගන්නත් කලිං ආපු සෙට්එක කාමරේට කඩා වැදුන.

"හරි, තමුන්ලා මොකටද ආවෙ?" ශක්‍රය කෙලිංම කාරණේට බැස්ස.

"සෑර්, අපිට ඕන ඒකාධිපතියෙක්!" ආපු එකෙක් කිව්ව.

"ඒ මොකටද?" උඹලට ඉන්න එවුන් මදිද?

"නෑ සර්, රජෙක් වගේ පාලකයෙක් අපට ඕන"

"ඒ මොකටද?"

"දැං බලන්න අපේ රටේ...., නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ, රජෙක් වගේ ඒකාධිපතියෙක් හිටිය නං අපට කෙලිම්ම ගිහිල්ල පැමිණිලි කරන්න පුළුවන්නෙ"

"තව?"

"අපේ ළමේකුට රස්සාවක් ගන්න ඕනවුනා.... සාධාරණේට වැඩ සිද්ධවෙනවද? නෑනෙ!"

"ආණ්ඩුවෙ කාර්යාලෙකින් වැඩක් කරගන්න බෑ, ඒකාධිපතියෙක් තමයි අපට ඕන"

"හොරකම්, වංචා, දූෂණ සිද්ධවෙනව, රජකාලෙ නං එහෙම වුනේ නෑ"

"ඉතිං...?"

"මනුස්සයෙකුට සාධාරණය ඉෂ්ට කරගන්න පුළුවන්ද?"

"සාධාරණව ඡන්දයක් තියන්නෙ නෑ!"

"ඕව තමයි ඉතිං..... ඇයි ඔබතුමා මේ අසාධාරණ දැක දැක නිස්සද්දව ඉන්නෙ?"

"මෝඩයිනේ..... උඹල දන්නෙ නැතුවට ඒකාධිපතියෙකු ඇවිල්ල කරන්න ඕන දේවල් කරන්න දැනුත් පුළුවන්"

"ඒ කොහොමද?"

"උඹලගෙ නඩු සාධාරණව අහන්න තමයි අධිකරණ කොමිසම දුන්නෙ, සාධාරණව නීතිය ක්‍රියාත්මක කරන්න තමයි පොලිස් කොමිසමක් තියෙන්නෙ, රාජ්‍ය සේවා කොමිසම තියෙන්නෙ උඹලගෙ රාජකාරිවලට මැදිහත් වෙන්න, සාධාරණ ඡන්දයක් තියන්න තමයි මැතිවරණ කොමිෂන්එක තියෙන්නෙ, හරියට හොරු අල්ලන්න තමයි අල්ලස් දූෂණ කොමිසම තියෙන්නෙ....... මේවගේ තියන කොමිෂන් සභා ටික ශක්තිමත් කරන්න කියල උඹලගෙ පාලකයන්ට කියපල්ල.... උඹල දැං කරන්නෙ මිනිහෙක් පාරෙ කුණු දාල ගියත් ඒක නවත්තන්න ඒකාධිපතියෙක් හොයන එකනෙ...."

මිනිස්සු ටික යන්න ගියා. හැබැයි මොනව කරයිද දන්නෙ නෑ.

**********************************************************

කටු සටහන්
බලපං දැං කොළඹ හැටි? අහවල් මහත්තය ඉන්න කාලෙ පිරිසිදුවට තිබුනනෙ...
එක එකා කියන විදියට නැවෙන්නෙ නැති කෙලිං මිනිහෙක් හිටිය නං හරි...
බලපං.... අහවල් මහත්තය එක කෝල් එකයි දුන්නෙ වැඩේ කෙරුන..
වැඩේ හරිගියේ නෑ, අරුං ලොක්කට පගාව දීල, මුන්ට හෙන ගහනව....
රට හදන්න නං අහවල් මහත්තය එන්නෝන... නැත්තං මුං හදන්න බෑ...


(බයියා, පුළුල් අර්ථයෙනි. මහින්දගේ අය නොවේ)

Friday, September 9, 2016

සතුටුදායක-කණගාටුදායක නඩු තීන්දුව!

මහාධිකරණ තීන්දුවට අනුව දුමින්ද සිල්වා එල්ලන්න නියමිතය. දුමින්ද විතරක් නොවේ, ඔහු සමඟ තවත් හතරකට මරණ දඬුවම නියම කර ඇත. දුමින්ද නිසා හතර දෙනෙකු මියගිය අතර තවත් හතර දෙනෙකුට මරණය හිමිවී ඇතැයි කීම වඩාත් නිවැරදිය.

පුද්ගලයා කවුරුන් වුවද කෙනෙකු මැරීම කණගාටුදායකය. මරන්නට නියමවී ඇති අය, තවත් ඝාතන සිදුකල අයවලුන් වීමෙන් ඔවුන්ට දඬුවම් ලැබීම සතුටුදායකය. ‍තීන්දුව, බෙදුනු තීන්දුවක් ලෙස ලැබීම කණගාටුදායකය. ඒකමතික තීන්දුවක් ලැබුනේ නම් සතුටුදායකය. ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති ගැන කියවෙන සමහර කතන්දර කණගාටුදායකය. එහෙත් බෙදුනු තීන්දුවක් දීමට තරම් ස්වාධීනත්වයක් විනිසුරු මඬුල්ලට තිබීම සතුටුදායකය.

තීන්දුව ප්‍රකාශ කල දිනයේ දුමින්දගේ නාට්‍ය පිටපත කණගාටුදායකය. මිනිසුන් මැරීමට තීන්දුව ලැබීම සතුටුදායක නොවන බවට හිරුණිකාගේ තේරුම්ගැනීම සතුටුදායකය. උසාවියෙන් පිටත අයුතු ජන රාශීන් පෙළගස්වා නඩු තීන්දුවට බලපෑම් කිරීම කණගාටුදායකය. තී්න්දුවට එරෙහිව කලහැකි නීත්‍යානුකූල ඉදිරි ක්‍රියාමාර්ගය වන අභියාචනා කිරීමට කටයුතු කරන බව පවසනු ඇසීම සතුටුදායකය.

නඩු තීන්දුව හමුවේ මාධ්‍යන්වල හැසිරීම කණගාටුදායකය. තීන්දුව කුමක්ද, දඬුවම් ලැබුනේ කාටද යන කාරණාවලට මූලිකත්වය ලැබුනේ නම් සතුටුදායකය. "බෙදුනු තීන්දුවක්" ලැබුනු බව උලුප්පා පෙන්වීම කණගාටුදායකය. එවැනි විකෘති කිරීම් වෙනුවෙන් යම් ගෙවීමක් මාධ්‍යවේදීන්ට ලැබුනේ නම් ඔවුන්ට සතුටුදායකය. තවත් සමහර මාධ්‍ය, ප්‍රතිවාදී මාධ්‍යකරුවාගේ සහෝදරයාගේ මරණ දඬුවමෙන් චූන් වීම කණගාටුදායකය. පෞද්ගලික මාධ්‍යට සාපේක්ෂව ආණ්ඩුවේ මාධ්‍යවල වාර්තාකරණය සතුටුදායකය.

නීතිය වල්වැදුන යුගයේ නඩුවේ තත්වය මතක් කිරීමත් කණගාටුදායකය. පමා වී හෝ බලපෑම්වලින් තොරව නීතිය ක්‍රියාත්මක වී යැයි සිතන්නට හැකි නම් සතුටුදායකය. එහෙත් නීතියට ඉහලින් සිටින පිරිසගේ ඩීල් ගැන මතක්වීම ඉතාමත් කණගාටුදායකය. එබැවින් නඩු තීන්දුව අභියාචනාධිකරණයේදී නැවත පරීක්ෂාවට ලක්වන තෙක් උෂාර් නොවී සිටීම අපේ පැත්තෙන් සතුටුදායකය.

පැටීගේ බ්ලොග් අඩවියෙන් අතුරු කතාවක්

Wednesday, September 7, 2016

දරුවනි මමයි නුවර අනගාරික ඇතා!

පසුගිය දිනෙක ෆේස්බුක් සටහනක් තබන අප මිත්‍ර චමීර ජීවන්ත දෙද්දුවගේ විසින් අලුත් වචනයක් නිර්මාණය කර තිබුනි. ඒ "බෞදිය" යන්නයි. කුමක්ද මේ බෞදිය? ආගමික වශයෙන් දැඩි අන්තවාදයක් පවතින, ආගමේ නාමයෙන් සිය දහස් ගනන් මිනිසුන්ගේ ගෙල සිඳ දමන, කසපහර දෙන, අත්-පා සිඳ දමන "සෞදිය" (හෙවත් සෞදි අරාබිය) යන්නෙහි ශ්‍රී ලාංකීය අනුවර්තනයයි. අපූරුය. අප රටෙහි දැන් දැන් සිදුවන්නේ බෞදිය අර්ථගැන්වෙන සිදුවීම්ය. එහි නවතම කූටප්‍රාප්තිය දළදා කරඬුව ගෙනයන හස්තියාගේ ලිංගික චර්යාවන් පාලනය කිරීමට ඇත් හිමිකරුවන් කටයුතු කිරීමයි.

මෙම සිදුවීම, විවිධ පාර්ශවයන් විසින් විවිධ අයුරින් විග්‍රහ කිරීමට කටයුතු කරමින් සිටිති.
පිරිසකට අනුව, පෙරහර යනු සංස්කෘතික කටයුත්තකි. ඇතාට සිදුවන සිංසාව සංස්කෘතියේ නාමයෙන් ඉවසා සිටිය යුතුය. පෙරහැර නම් සංස්කෘතික උත්සවය ශ්‍රී ලංකාවට යම් යම් වාසි සලසන්නකි. (උදාහරණ ලෙස සංචාරක ව්‍යාපාරය) එහි සත්‍යතාවයක් තිබේ. තවත් පිරිසකට අනුව ඇතාට සිදුවන හිංසාවන් නැවැත්විය යුත්තේ මස් පිණිස සිදුවන සත්ව ඝාතන නැවැත්වීමෙන් පසුවය. හිංසාවට වඩා ඝාතනය නරකය. එබැවින් හිංසාව නැවැත්වීමට සියල්ලන්ම නිර්මාංශික වියයුතුය. එයත් නරක නැත.

තවත් කොට්ඨාසයකට අනුව ඇතාට සිදුවන හිංසාවක් නැත. ඇතා ස්ව කැමැත්තෙන් පෙරහැරට සහභාගී වන අතර, මහා ලොකු පින් කන්දරාවක් රිටර්න් එක ලෙස ඌට ලැබේ. ඒ පිනෙන් මතු භවයේ මිනිස් ආත්මයක් ලබාගත හැකිය. මොවුන්ට අනුව මරක්කලයන් හරක් මරද්දී ඇතාට සිදුවන සාපේක්ෂව ‍කුඩා හිරිහැරය, බෞද්ධ විරෝධීන්ගේ වෙනම ගේමකි. බුදුදහමට කෙලවීම ඔවුන්ගේ අරමුණයි.

අපට බෞද්ධයන්ගේ හෝ වෙනත් ඕනෑම පාර්ශවයකගේ අදහස් සම්බන්ධව ඉවසිය හැකිය. ඒ, ඔවුන්ගේ කියුම් කෙරුම් අපට අදාල නොවන තාක් කල්ය. ඕනෑම අයෙකුගේ ක්‍රියාවකින් අපට බලපෑම් සිදුවන්නට පටන් ගත්විට ඒ පිළිබඳව කතාකිරීමට සිදුවේ. ඇතාගේ ලිංගික චර්යාව සම්බන්ධයෙන්ද එසේය. ඇතා වර්ගයා බෝ කලත් නැතත් අපට ගැටළුවක් නැත. පෙරහැරේ යන ඇතුන්ට සිදුවන හිරිහැරයන්ද ගනන් නොගෙන සිටිය හැකිය. නමුත් ප්‍රශ්නය වන්නේ මේවා අන්තවාදය දෙසට ගමන් කිරීමයි.

සමහර ආගම් ස්වභාවයෙන්ම අන්තවාදි වන අතර ඒ හේතුවෙන් අන්‍යාගමිකයන්ට සිදුවන හිරිහැර සඳහා උදාහරණ අවශ්‍ය නම් මැදපෙරදිග කලාපයෙන් සොයාගත හැකිය. නමුත් බුදුදහම එසේ නොවේ. ඉතාම නිදහස් දර්ශනයක් සහිත බුදුදහමෙහි කොතැනකවත් අන්තවාදයට ඉඩක් නොවේ. අවිහිංසාවාදය ‍බුද්ධ දර්ශනයේ එක් ප්‍රධාන බල කණුවකි. අවුල ඇත්තේ අවිහිංසාව පදනම් කරගත් බුදුදහම දෙසූ බුදුන් වෙනුවෙන් තිරිසන් සතුන් වධයට භාජනය වීමයි. බුදුන් වෙනුවෙන් සතෙකු හිංසාවට පත්කිරීමෙන් නොනැවතී, ලිංගික කාර්යයන් බලහත්කාරයෙන් නවතා 'දැං ඌ සිල් අරං' යැයි කියන්නෙකුගේ මානසිකත්වය කෙබඳු විය හැකිද? තවත් කාලයකින් දියවඩන නිලමේ තනතුර සඳහා නපුන්සකයෙකු තෝරාගැනීමට යෝජනා විය හැකිය. එවිට සදාකාලික අනගාරිකයෙකු දන්ත ධාතුවට සේවය කල හැකිය... මෙය, පෝයදා බාර් වැසීම, රූපවාහිණී චිත්‍රපටි නැවැත්වීම (ඒකත් හරි ආතල්ය. පෝය දිනවල ඇක්ෂන් ශෝ නැතිය. ගහ මරාගැනීම් නරක නිසාය. එහෙත් බුද්ධාගමට සම්බන්ධ නම් කොතෙක් මැරුවත් කමක් නැත), ඉරිදා ටියුෂන් තහනම, ආදියේ දිගුවකි. එබැවින් අපට කීමට ඇත්තේ මෙයයි. "උඹලා උඹලාගේ සිස්ටම් එක ඇතුලේ ඕන මගුලක් කරගත්තාට අපට කමක් නැත. හැබැයි අපේ අාතල් කඩන්න එපාය. අපේ ආතල් කඩන විට අපටද ආතල් කැඩීමට සිදුවේය!"

Monday, September 5, 2016

ඒ සැමරූවේ පොලීසියේ එකසිය පනස්වැනි සංවත්සරයයි.


"හිරු පමණි සාක්කි" බ්ලොග්කරු, මාධ්‍යවේදී රුවන් නෙලූට පහර දීමෙන් පොලීසිය තම අභිමානවත් එකසිය පනස්වන සංවත්සරය සමරා තිබුනි. ප්‍රහාරයට විරෝධය දක්වමින්ම ඒ සම්බන්ධ ෆේස්බුක් සටහන් කිහිපයක් ඉදිරිපත් කරමි.

**************************************************
"ගෙදර ඉඳපු සාමාජිකයෙක් ගේ ළඟ කඩේට ගිය වෙලාවෙ 'කුඩු කාරයෙක්' කියලා මහපාරෙ උගෙ සරම ගලවලා චෙක් කරලා. ඒ කොල්ලාව ගෙදරට ඇදන් ඇවිත් කුඩු හෝ ගංජා තියෙන තැන් පෙන්නන්න කියලා ඌට ගැහුවා. මං ඒකට විරුද්ධ වුණා. පොලිසියට යමු කිව්වා. මට විරුද්ධව චෝදනාවකුත් නැතිව තියෙද්දි අතින් හරි ගංජා දාලා හිරේ යවනවා කිව්ව. පිස්තෝලයක් පෙන්නුවා. මං ඇහුවා වෙඩි තියන්නද අපට කියලා. ජීප් එකට ගෙනිච්චා. මං ෆෝන් එක ගනිද්දි ඒක උදුරාගෙන මට ගැහුවා. ගහන්න අයිතියක් පොලිසියට නැති බවත් මං මාධ්‍යවේදියෙක් බවත් කිව්වාම හොඳට ම රත් වුණු සිවිල් ඇඳුමෙන් හිටපු අං තට්ටුව විතරක් අඩු පොලිස් කාරයෙක්ද කියලත් හිතන්න බැරි එකෙක් 'අම්මට හු** මීඩියා' කියලා දිගට හරහට ගැහුවා. පොලිසියට ගෙනිහින් මොකුත් උනෙ නැති ගාණට මාව කුඩුවට දැම්මා. එතකොටත් අපෙ ලෝයර් එතෙන්ට ඇවිත් හිටියා. පොඩි වෙලාවකින් මං එළියට ආවා. ඔහොමයි උනෙ. තොල පොඩ්ඩක් පැළිලා, දිව හැපිලා, මූණයි ඔළුවයි එහෙන් මෙහෙන් තැළිලා. ලොකු අමාරුවක් ඇඟට නැහැ. ගුටි කන්න වුණාම වැඩියෙන් දැනෙන්නෙ හිතේ අමාරුව. අපට මෙහෙම නම් මොනුත්ම කරකියාගන්න බැරි මිනිස්සුන්ට මුං මොනවා කරනවා ඇත්ද ?"
-රුවන් නෙලූ

මම ලංකා නිව්ස් වෙබ් වෙබ් අඩවියෙහි මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරමි. දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයෙහි ක්‍රියාකාරිකයෙක්මි. යම් ප්‍රමාණයකට නීතිය ගැනද දනිමි. මට ඊයේ මුහුණ දීමට සිදු වූ සිදුවීම කිසිවක් කර කියාගත නොහැකි මිනිසෙකුට සිදු වී නම් අද ඔහු සිරගෙදරය. ලංකාවේ පොලීසිය නීතිය ආරක්ෂා කරන්නෙ මෙලෙසය. ඒ මදිවාට මට පහර දුන් පුද්ගලයා පොලිස් ජීප් රිය තුළදී ම පිස්තෝලය වනමින් මට තර්ජනය කළේ 'මං පළවෙනියට ම මිනිහෙක් මැරුවේ 11 වසරෙදි' කියාය. පොලිසියේ සියල්ලන්ම මිනී මරුවන්දැයි සොයා බැලීම භාර වන්නේ කවර ආයතනයකටද ?
පිස්තෝලයක් පෙන්වමින් පහරදීමට එකම හේතුව වූයේ 'එහෙම කොහොමද මිනිස්සුන්ව අරන් යන්නේ?' යි මා ඇසූ ප්‍රශ්නයයි. පොලීසියෙන් ප්‍රශ්නයක්වත් ඇසීමට නොහැකි වන තරමට පොලිසිය ඔළුවට ගෙන ඇත්තේ කාගෙ උෂ්නයදැයි මා දන්නේ නැත. කෙසේ වෙතත් ඒ අවනීතියේ උෂ්නයයි.
-රුවන් නෙලූ

මට ඊයේ මුහුණ දීමට සිදු වූ සිදුවීම කිසිවක් කර කියාගත නොහැකි මිනිසෙකුට සිදු වී නම් අද ඔහු සිරගෙදරය. ලංකාවේ පොලීසිය නීතිය ආරක්ෂා කරන්නෙ මෙලෙසය. ඒ මදිවාට මට පහර දුන් පුද්ගලයා පොලිස් ජීප් රිය තුළදී ම පිස්තෝලය වනමින් මට තර්ජනය කළේ ‘මං පළවෙනියට ම මිනිහෙක් මැරුවේ 11 වසරෙදි’ කියාය. පොලිසියේ සියල්ලන්ම මිනී මරුවන්දැයි සොයා බැලීම භාර වන්නේ කවර ආයතනයකටද ?
පිස්තෝලයක් පෙන්වමින් පහරදීමට එකම හේතුව වූයේ ‘එහෙම කොහොමද මිනිස්සුන්ව අරන් යන්නේ?‘ යි මා ඇසූ ප්‍රශ්නයයි. පොලීසියෙන් ප්‍රශ්නයක්වත් ඇසීමට නොහැකි වන තරමට පොලිසිය ඔළුවට ගෙන ඇත්තේ කාගෙ උෂ්නයදැයි මා දන්නේ නැත. කෙසේ වෙතත් ඒ අවනීතියේ උෂ්නයයි.
-Ruwan Nelu

මචන්ස්ලා Ruwan Nelu ට පොලිස් කාරයන් කිහිප දෙනෙක් විසින් එල්ල කරන ලද මැර ප්‍රහරයට එරෙහි වමු. හෙලා දකිමු. නමුත් සටන නිවැරිදි දැක්මකින් නිවැරිදි මාර්ගයේ යා යුතුයි.
නැත්නම් මෙච්චර කල් කරපු ලංකා ඉතිහාසයේ කරපු ගොං අරගල වලින් එහාට මේකත් යන්නෙ නෑ.
පොලීසියේ සේවයට බඳවාගෙන සිටින නමුත් එයට නුසුදුසු යුනිෆෝම් පවර් අතට ගත් නුසුදුසු ගංකබර ගොරක චන්ඩිණ්ට එරෙහිව අපි ක්‍රියාත්මක විය යුතුයි.
නමුත් මොනම විදියකින්වත් මෙය පොලීසිය නම් සංකේත ආයතනයට විරුද්ධ සටනක් බවට හරවන්න ඒ වගේම ගං කබර උද්ගෝශකයින්ට ඉඩ නොතැබිය යුතුයි.
හැම මුසල්මානුවෙක්ම ත්‍රස්තවාදීයෙක් නොවනවා සේම හැම පොළිස් කාරයෙක්ම මෙවැනි ගංකබරයන් නොවේ .
ලංකාවේ පොලිසියේ බහුතරය මෙසේ විය හැක නමුත් බ්‍රේව් පොලිස් කාරයන්ද ඇත.
නීතියේ රීතිය වෙනුවෙන් පෙනී සිටිමු. පොලිසිය නම් සංකේත ආයතනය මීට වඩා ශිශ්ඨ ආයතනයක් කරා තත්වය උසස් කිරීමක් ඉල්ලමු. මොනම හේතුවක් නිසාවත් ෆක් ද පොලීස් කියන වල්බූරු සටන් පාඨය කරා නොයෑමට නූතන සටන් වගබලා ගත යුතුය.
පොලිසියට බඳවා ගැනීමේදී උසස් පෙල සමත් වීම ,,මනෝ විද්‍යාත්මක පරීක්ෂණයකින් සමත් වීම etc .වැනි දේ මේ සඳහා මගේ යෝජනායි.
-උදිත

----------------------------------------------------------

යාවත්කාලීන කිරීමයි! 2016.09.06 පස්වරු 1.05

රුවන් නෙලූ ජනමාධ්‍ය වෘත්තිය පාදඩකරණය කිරීම.
පසු ගිය දින කීපයේ සමාජ මාධ්‍ය ජාල කැළඹූ පුවතක් වූයේ ජනමාධ්‍යෙවේදියෙකැයි කියා ගන්නා රුවන් නෙලූට හේතු විරහිතව පොලීසියෙන් පහර දී රිමාණ්ඩ් කිරීමට තැත් කළ බවය.
ඔහුම මේ බව මුහුණු පොතේ සටහන් කර තිබූ අතර “පොලීසිය මාධ්‍යෙව්දීන්ට පහර දෙමින් 150 සමරයි“ යනුවෙන් ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක්ම මේ පුවත පල කර තිබිණි.
මේ පුවත හේතුවෙන් කරුණු දෙකක් සිදු විය. ඉන් එකක් වන්නේ ජනමාධ්‍ය සහ පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය වෙනුවෙන් සටන් කරන්නන් කලබලයට පත් වී පොලීසියට සිය දැඩි විරෝධය පල කරමින් පොලීසියෙන් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් මේ පිළිබඳ පරීක්ෂණයක් ඉල්ලා සිටීමය.දෙවන කරුණ වූයේ ජනමාධ්‍යෙව්දියෙකුට පහර දී ඇත්තේ මන්ද යන කාරණය සම්බන්ධයෙන් පොලීසියේ සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ දැඩි අවධානය යොමු වීමය.
ජනමාධ්‍යෙව්දියෙක් වන තමන්ට පොලීසිය හේතු විරහිතව පහර දී අත්අඩංගුවට ගැනීමට තැත් කළා කියා සමාජ මාධ්‍ය පුරා පතුරා ජන සමාජය කළඹා රජය සහ පොලිස් දෙපාර්තමේන්තුව අපකීර්තියට පත් කළ රුවන් නෙලූ දැන් කියන්නේ තමන් පොලීසියට විරුද්ධව පැමිණිලි නොකරන බවත්, ඉදිරි නීතිමය කටයුතු අනවශ්‍ය බවත් තමන් පොලීසිය සමග ඩීල් එකක් දමා ගත් බවත්ය. ඩීල් දමා ගත්තා නම් රටට බොරු නොකියා නිකම් සිටිය යුතුය. අනෙක් අතට ඩීල් දමන්නේ තමන්ගේ කිසියම් වරදක් තිබෙන නිසාය.
ගංජා සමග පොලීසියට මාට්ටු වූවකු කළ යුත්තේ දේශපාලන පලි ගැනීමකට පොලීසිය තමන්ව අත්අඩංගුවට ගෙන පහර දුන් බවට බොරු කියමින්, ජනමාධ්‍ය වෘත්තිය පාදඩකරණය කිරීම නොව තමන් කළ වරද පිලි ගැනීමය. රුවන් නෙලූ කළ යුත්තේ බොරු කියමින් සමාජය කලඹා ජනමාධ්‍යෙව්දීන්, රජය සහ පොලීසියද, රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි මහජනයාද අපහසුතාවයට පත් කිරීම සහ නොමග යැවීම නොව නඩු නොදමා කනට දෙකක් ගසා තමන්ව ගෙදර එවීම ගැන පොලීසියට ස්තුති කිරීමය. (ගංජා හොඳද නරකද යන්න වෙනම මාතෘකාවකි)
මෙවැනි පාදඩ වැඩ කිරීමෙන් සිදු වන්නේ සැබෑ පහර දීමකට ලක් වන ජනමාධ්‍යෙව්දියෙක් වෙනුවෙන් පවා හඩක් නැගීමට සමාජය ඉදිරිපත් නොවීමය.
මට රුවන් නෙලූට කීමට ඇත්තේ නොදන්න ජානමාධ්‍ය වෘත්තිය පාදඩ වැඩ වලට යොදා ගනිමින් මෙවැනි කැත වැඩ නොකර දන්න වෙන කර්මාන්තයක් කරගෙන මලකුත් ගසාගෙන පාඩුවේ ඉන්න ලෙසය.
හරි නම් බොරු තොරතුරු සමාජගත කර සමාජය කැළඹීම, පොලීසිය සහ, රජය අපකීර්තියට පත් කිරීමට එරෙහිව රුවන් නෙලූව අත් අඩංගුවට ගෙන නඩු පැවරිය යුතුය.
බොරුකාරයෙක් වෙනුවෙන් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහ පොලිස්පතිවරයාගේ වටිනා කාලය කාලය කෑම වෙනුවෙන් මම එම දෙදෙනාටම සමාවක් ණයය.

-Shyaman Hemakody


Friday, September 2, 2016

මිත්‍රකම් අවසන් කිරීමයි!


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සිංහල බ්ලොග් අවකාශයේ "රාජ්ගෙ නවාතැන" ලියන රාජ් වන මා විසින්, මාගේ මිත්‍රයෙකු ලෙස සැලකූ "මාතලන්" බ්ලොග් අඩවියෙහි "Maathalan - Priyantha Hewage" සමඟ පැවති සියළු මිතුරුකම් අවසන් කල බව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයටත් සිංහල බ්ලොග් අවකාශයටත් මෙයින් දැනුම් දෙමි!

මේ සම්බන්ධයෙන් පසුගිය සටහනට දැමූ කමෙන්ටු කිහිපයක් විස්තරාත්මක පැහැදිලි කිරීම සඳහා පහතින් යොදාගන්නා බවත් දැනුම් දෙමි.
***********************************************************
Maathalan - Priyantha HewageSeptember 2, 2016 at 9:19 AM
@ රාජ්

ඔබට චෝදනා කරන්නේ ඇයි කියා ඔබ මගෙන් විමසා සිටිනවා. ඒ කොමෙන්ට් එක අමු තිත්ත කුණුහබ්බ කොමෙන්ට් ඩිලිට් කිරීමේදි ඩිලීට් වී තිබෙනවා..

මට ඔබෙන් අහන්න තියෙන්නේ එක දෙයයි. ඔබ ඊයේ හැන්දෑවේ මේ අඩවියේ කරපු මෙහෙයුම දකින්න ඇති නේ... ඒ ඇර මට කීමට කිසිත් නැත. ඔබ ඇනෝ කොමෙන්ට් වලට ඉඩ දෙන්න යැයි කියන්නේ ඇයි කියා ඊයේ හවස මා වටහා ගත්තෙමි. බොහෝම ස්තූතියි.

ආයේ කිසි දිනෙක් හමු නොවෙමු.. ඔබ වැනි දෙබිඩ්ඩන් හා සමාගමය මා ප්‍රිය නොකරමි.


රාජ්September 2, 2016 at 10:52 AM
මේ පෝස්ට් එක දැම්මෙ ඊයේ. ඊයේ හවස හතරට ඕෆ් වෙනකල්ම ඇනෝලා පැමිණියේ නෑ. ගෙදර ගිහින් පැයකට දෙකකට පස්සෙ තමයි ආයෙ ජාලෙට ආවෙ. ඒ එද්දි මගේ අඩවියේ ඇනෝලාත් උඹත් කුනුහබ්බ කියල තිබුන. ඒ සියල්ල මකා දැම්ම අදාල නොවන නිසා. උඹේ අඩවියේදිත් උඹ මට අපහාස කරල තිබුන කිසිදු හේතුවක් නැතිව. මම ඇනෝ මෙන්ට් වහන්න හෝ මොඩරේට් කරන්න අකමැති බව කලින්ම කියල ඇති. මම සාමාන්‍යයෙන් කරන්්නෙ දැක්ක ගමන් මකා දැමීම.
ඇත්තටම ඇනෝලා මගේ බ්ලොග් එකේ කුනුහබ්බ කියන්න පටන් ගත්තෙ මේ ලිපියෙ නෙවේ කලින් ලිපියෙ. උඹ දැක්කද මම දන්නෙ නෑ කමෙන්ට් විස්සක් විතර ඩිලීට් කලා පෙරේදා රෑත්. එහෙම තියෙද්දි උඹ මට පොන්නය කියනව නං මට කරන්න දෙයක් නෑ. මම අද උදේ උඹේ අඩවියේ දාපු කිසිදු චෝදනාවක් නැති කමෙන්ටුවත් තාම ඇපෲ කරල නෑ. හැබැයි ඊට පස්සෙත් කමෙන්ට් ඇවිල්ල තියනව. විවේචනවලට බය පොන්නයා කවුදැයි කියල දැනගන්න ඕන නං කන්නාඩිය ඉස්සරහට ගිහිල්ල බලපං.

මේ ගැන දෙවැනි කමෙන්ටුව යටින් දානව.


රාජ්September 2, 2016 at 11:07 AM
රසිකට අපහාස කරන්න කලින් උඹත් එක්ක තිබුන චැට් එකේදි මම ඇහුව උඹෙන් "මොකද්ද රසික ඇනෝ දාන බවට තියන පිලිගත හැකි සාක්ෂිය" කියල. උඹ දුන්න උත්තරේ වුනේ "මම ඔප්පු කරන්නං" කියන එක. ඊට පස්සෙ උඹ කියනව "දැං රසික දාපු ස්ටේටස් එක ඩිලීට් කරල තියෙන්නෙ ඇයිද" කියල. මම උඹට පෙන්නුව මතක ඇති එවලේම අදාල බුකි ස්ටේටස්එක ඩිලීට් කරල නැති බව. ඊට අමතරව උඹට කිව්ව ඉවසපං කියල. එතනින් වැඩේ ක්ලොස්. උඹ චැලේන්ජ් එක භාරගත්තට ඔප්පු කලේ නෑ. ඉතිරිය කවුරුත් දන්නව.

උඹ සහ රසිකලොජි කියන්නෙ මම බ්ලොග්වලින් දැනගත්ත දෙන්නෙක් විතරයි. රසික මම දැකල හෝ කතාකරල නෑ. උඹ එක්ක සෙට්වුන හැටි උඹ දන්නවනෙ. මට කාගෙවත් පැත්තක් ගන්න ඕනවුනේ නෑ එතනදි. හැබැයි කෙනෙකුට විරුද්ධව චෝදනාවක් කරනව නං ඒක සාක්ෂි සහිතව කරන්න ඕන. එතනදි සිදුවුනේ එහෙම දෙයක් නෙවේ. රසික මහත්මයෙක් වගේ හැසිරෙද්දි උඹ උඹේ ලෙවෙල් එක නියමෙට පෙන්නුව. ඒ මදිවාට කොහේවත් නැති ඉකොනොමැට්ටා අල්ලගෙන එයාටත් මඩ ගැහුව. ඉකොනොට මඩ ගහන්න උඹ යොදාගත්ත දියාරු තර්කයෙන් උඹේ ගැලවෙන්න ඉතිරි වෙලා තිබුන රෙදිත් ගැලවුනා.

ඇනෝ ඇල්ලීම ගැන උඹ වැටිල ඉන්නෙ ලොකු මුලාවක. ඒ මුලාවේ තරම උඹ ඉගනගන්න තිබුනෙ දොස්තර රුවන්ට මඩ ගහපු වෙලාවෙ. නමුත් උඹ, පස්සෙ ඇත්ත තත්වය තේරුම්ගත්තම වත් රුවන්ගෙන් සමාව ගත්ත බවක් පෙනුනේ නෑ. කවුරුන් හෝ කියල දීල තියන අසාර්ථක ක්‍රමයකින් ඇනෝලා අල්ලන්න උත්සාහ කරපු උඹේ තත්වය දැන් පැහැදිලියි. ඒ මදිවාට උඹව අවුස්සන්න, සමාජ ව්‍යවහාරයෙන් "මෝඩයන්" කියල අපි හඳුන්වන දෙතුන් දෙනෙකුත්, උඹේ මතයට එරෙහිව එන්නන්ට කඩුව වනන වඳුරො කිහිප දෙනෙකුත් ඉන්න බවත් පේනව. අවුලක් නෑ. මම පිස්සන්ටවත් මෝඩයන්ටවත් වඳුරන්ට බය නෑ මචං.
උඹත් එක්ක තියන මිත්‍රකම් සියල්ල උඹ කියන්නත් කලින් අවසන් කල බව කියන්න ලැබීම මිත්‍රකම් අවසන් කරන්න බලාගෙන හිටිය උඹට පහසුවක් කියල අවසානයේදී කියන්න කැමතියි. යලිත් ඒ පැත්තෙ එන්නෙත් නෑ.

[ඒ නිසා දැං ඇනෝ විවෘත කරල සීමාවකින් තොරව කමෙන්ට් දාන්න ඉඩ සලසල තියනව. ඇරියස් තියන අයට ඇරියස් යවාගෙන හිත සැහැල්ලු කරගන්න පුළුවන්.]

Thursday, September 1, 2016

"සිතක සටහන්" කියවමු!


බ්ලොග්වලින් ඈත්වෙලා බුකියෙ ඉන්න කාලයේ දැකපු කෙනෙක් තමයි ලක්ෂාන් වික්‍රම කියන්නෙ. නිතර නිතර කමෙන්ට්වලින් මුණගැහුනෙ නැතත් ඉඳහිට ඔහු දක්වන අදහස්වල වැදගත්කමක් තිබුන. අවධානය යොමුවුනා. "සිතක සටහන්" කියන්නෙ ඔහුගේ බ්ලොග් අඩවිය. බ්ලොග් ලිවිල්ල පටන් ‍අරගෙන අවුරුද්දකට කිට්ටු වුනත් ටැබූ සබ්ජෙක්ට්ස්ලා බ්ලොග් අවකාශයේ රජ කරන කාලෙත් ඔහු බ්ලොග් කියවන්නෙක් බව පේනව.

ඊයේ පලකරල තියන "ටැබූ සබ්ජෙක්ට්ස්ගේ පුරාවෘත්තය The Legend of Taboosubjects" කියන ලිපියෙ පැරණි බ්ලොග් කිහිපයක් ගැන මතක් කරනව.

"පාඨකයා පෙලඹවන සිත් ගන්නා සුළු භාෂා ව්‍යවහාරයක් බ්ලොග් පෝස්‍ට් තුළ පැවතිනි. අද දක්නට ලැබෙන බොහෝ බ්ලොග් කරුවන්ට ආදර්ශයට ගත හැකි නිමාවක් එතුළ තිබිනි. එවකට තිබූ පාර්ශ්වික බ්ලොග් අඩවිවල කොමෙන්ටු හා බලන විට ටැබූ ගේ තවත් ප්‍රධානම වෙනසක් වූයේ සංවාද යි. මේ කොමෙන්ට් සංවාද ඉතා ඉහළ ප්‍රමිතියකින් යුතු වීම අද ප්‍රසිද්ධ බ්ලොග් අඩවිවලත් මා නොදකින ලක්ෂණයකි. රසිකලොජි හෝ W3 සැලකුවත් සංවාදවල ඉහළ ප්‍රමිතියක් දක්නට නැත. එමෙන්ම සමාජයීය දේශපාලනික කරුණු ගැන හුදු මතුපිට ඉක්මවා යන ප්‍රබල විශ්ලේෂණයක් (ඇතැම් අවස්ථාවල දෘෂ්ඨියාත්මක හේතූන් මත අසාර්ථක වුවද) ඉදිරිපත් කිරීමට ටැබූ ප්‍රයත්න දැරුවේය. ඒ බව එකල ක්‍රියාකාරී අනෙකුත් ප්‍රකට බ්ලොග්කරුවෙක් වන Beyond Frame හා තවමත් බ්ලොග් අවකාශයේ වැජඹෙන W3 Lanka සඳහන් කරනු මතකය. උදාහරණයකට දඩුවම් මුදලාලිගේ මිනීමැරුම ආදි සිද්ධීන් වලදී ඔහු දැරුවේ සාමාන්‍ය සමාජයේ ජනප්‍රිය මතයට බෙහෙවින් වෙනස් මතවාදයකි. එමෙන්ම නත්තල් සමයේ ක්‍රිස්තුස්වහන්සේ ගැන පෝස්ටුව හා ඒ අදාළ සංවාදද මතක් කළ යුතුය"

මේ බ්ලොග් අඩවිය ගැන සටහනක් දාන්න හිතුවෙ බ්ලොග් කියවන්නන්ට ඔත්තුවක් දෙන්න වගේම ලක්ෂාන් "නොලියා ඉන්න බැරි" අමාරුවට පත් කිරීම.

සිතක සටහන් ☞