Pages
▼
Thursday, July 28, 2011
ඒකාබද්ධ අරමුදල - අපේ රටේ සල්ලි ලාච්චුව...
මේක ටිකක් නීරස මාතෘකාවක් වෙන්න ඉඩ තියනවා. ටිකක් කිවුවට ගොඩක්ම. හිනාවෙන්න බලාගෙන නවාතැනට ආවනං වහාම බැක් කොරලා වෙන අතක් බලාගන්න.
එන්ටර් වෙන්නෙ මෙහෙමයි. ඉස්සර අපේ තාත්තලා අම්මලා මොකක් හෝ තමන්ගෙ වුර්තිය කොරලා කීයක් හරි හොයාගත්තම ඔය සල්ලි ටික දාන්නෙ ගෙදර තියන මේසයක හරි අල්මාරියක හරි ලාච්චුවකනෙ. මොකෝ ඉස්සර බැංකු කාඩ්, ක්‍රෙඩිට් කාඩ් එහෙම තිබුන එකක්යැ. ඊට පස්සෙ වියදමට සල්ලි ඕන වුනාම කරන්නෙ අර ලාච්චුව ඇරලා සල්ලි අරගෙන වියදම් කරන එක නොවැ.
ඔයාලා දන්නවද මේවගේ, අපේ(?)ආණ්ඩුව අපේ(තමන්ගෙ) සල්ලි කොහේද දාන්නෙ, කොහොමද වියදම් කරන්නෙ කියලා?(මේ හදන්නෙ අම්බානකට ආන්ඩුවට බනින්න නෙවේ). ඔය කාරනාව කොහොමද සිද්ධ වෙන්නෙ කියලා කියන්න.
මේ විස්තර තියෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ. දන්න අය ආයෙත් මතක් කරගන්න. නොදන්න අය බලන්න. අපේ රටට අයිති සල්ලි එක එක තැන්වල තියනවානේ. ඒ කියන්නෙ මහා භාණ්ඩාගාරය, ආණ්ඩුවෙ කන්තෝරු වල බැංකු ගිණුම්වල, පිටරට ඉන්න අපේ නියෝජිතයො ගාව ... ආදී නොයෙක් විදියට. ඔය සල්ලි කොහේ තිබුනත් ඕවා අයිති වෙන්නෙ "ඒකාබද්ධ අරමුදල" කියන පොදු ගිණුමට. ඒ කියන්නෙ ආණ්ඩුවෙ 'සල්ලි ලාච්චුව'තමයි ඒකාබද්ධ අරමුදල. ඒකාබද්ධ අරමුදල හැදිලා තියෙන්නෙ මෙන්න මේ පහල කියන විදියට තමයි;
01.මහා භාණ්ඩාගාරෙ තියන සල්ලි.(අපේ රටේ තියන වැඩිහරියක් තියෙන්නෙ ඕකෙ තමයි);
02.ආන්ඩුව එක එක අමාත්‍යාංශ දෙපාර්තමේන්තු වලට වෙන්කරලා ඒත් ඒවා වියදම් නොවී ඒ ඒ ආයතනවල බැංකු ගිණුම්වල තියන සල්ලි;
03.ආණ්ඩුව වෙනුවෙන් සල්ලි(බදු) එකතු කරන ආයතන වල(උදා.දේශීය ආදයම් දෙපාර්තමේන්තුව)බැංකු ගිණුම්වල තියන සල්ලි;
04.ආණ්ඩුව වෙනුවෙන් විදේශිය නියෝජිතයන් ලග තියන සල්ලි;
05.ආණ්ඩුව කරන ආයෝජන වල සල්ලි.
ඕන්න ඔය කියන කොටස් එකතු වෙලා තමයි අපේ ඒකාබද්ධ අරමුදල හැදිලා තියෙන්නෙ. හරි දැන් බලමු ඔය කියන අපේ සල්ලි වියදම් කරන්න පුළුවන් කොහොමද කියලා. මේ සල්ලි අයිති වෙන්නෙ රටේ ජනතාව වෙච්චි අපිටනෙ..:D.
ඉතින් අපි වෙනුවෙන් මේ පිළිබද තිරණ ගන්න බලය තියෙන්නෙ අපිම පත්කරපු පාර්ලිමේන්තුවට.
ඒකාබද්ධ අරමුදලෙන් සල්ලි වියදම් කරන්න ක්‍රම වර්ග දෙකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියනවා.
පළවෙනි එක "සැපයුම් සේවා",
දෙවැනි "විශේෂ නීති සේවා".
ඉස්සෙල්ලා බලමු දෙවැනි එක,
මේ විශේෂ නීති සේවා කියන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ හරි පාර්ලිමේන්තුවෙ සම්මත කරපු නීතියකින් හරි වියදම් කරන්න බලය දීපු වියදමි. ඒ කියන්නෙ මේ වියදම් දරන්න ආයෙත් පාර්ලිමේන්තුවෙ අනුමැතිය ඕන නෑ. මොකද එක සැරයක් අවසරේ දීලා තියනවානෙ. මේකෙන් දරන වියදම් මෙන්න මේවගේ විශේෂ ඒවා;
01.ජනාධිපතිතුමාගෙ වැටුප,
02.විගණකාධිපතිගෙ වැටුප,
03.මැතිවරණ කොමසාරිස්ගෙ වැටුප,
04.පාර්මේන්තු මහලේකම් හා එම කාර්ය මණ්ඩලයේ වැටුප්,
05.ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිශ්චයකාර වරුන්ගේ වැටුප්.
ඊට අමතරව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් වල රජයේ දායකත්වය, රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලේ රජයේ දායකත්වය හා ඒකෙ වැඩකරන අයගේ වැටුප්, මධ්‍යකාලීන හා දිගුකාලීන ණය වල පොලී,..ඔයවගේ තව කීපයක් තමයි. ආයෙත් කියන්නෙ ඕවට පාර්ලිමේන්තුවේ අවසරේ ඕන නෑ.
ඊට පස්සෙ පළවෙනි එක තමයි සැපයුම් සේවා. මේ විදියට සල්ලි ගන්න පුළුවන් පාර්ලිමේන්තුවට තමයි. හැබැයි අවස්තා දෙකකදී ජනාධිපතිටත් ගන්න පුළුවන්. ඒ අවස්ථා දෙක තමයි මේ පහලින් තියෙන්නෙ.
01.ඊලග අවුරුද්දෙ අයවැය සම්මත කරන්න කලියෙං මොකක් හෝ හේතුවකට ජනාධිපති පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් අලුත් ආණ්ඩුවක කැබිනට් මණ්ඩලේ පත්වෙලා සාමාන්‍ය මට්ටමට එනකන් රටේ වියදම් දරන්න ඒකාබද්ධ අරමුදලෙන් සල්ලි දෙන්න ජනාධිපතිට පුළුවන්. හැබැයි අලුත් ආණ්ඩුව පත්වෙලා මාස තුනක් ගෙවෙනකන් දරන්න ඕන වියදම විතරයි. ඊට එහා බෑ.
02.දෙවැනි අවස්ථාව තමයි ජනාධිපති පාර්ලිමේන්තුව විසිරුවා හැරි වෙලාවක කලිං හිටි ආණ්ඩුව මැතිවරණය පවත්වන්න සල්ලි වෙන්කරලා තිබුනෙ නැත්නම්, මැතිවරණ කොමසාරිස්ගෙන් අහලා මැතිවරණයට යන වියදම ඒකාබද්ධ අරමුදලෙන් අරං දෙන්න ජනාධිපතිට පුළුවන්.
ඕං ඔය අවස්තා දෙකේදී විතරයි ජනාධිපතිට අවස්තාව තියෙන්නෙ ඒකාබද්ධ අරමුදලෙන් සල්ලි ගන්න.
අන්තිම එක තමයි සැපයුම් සේවා වලින් පාර්ලිමේන්තුවට තියන බලතල විස්තර කරන එක. මේකෙදි ලොක්කා වෙන්නෙ මුදල් ඇමතිතුමා තමයි. ඒත් අපේ රටේ නං කාලයක් තිස්සෙ මුදල් ඇමතිකම තියං ඉන්නෙ ජනාධිපතිවරුම තමයි. ඒක හරියට හැන්ද තමං අතේම තියාගෙන ඉන්නව වගේ තමයි.
මුදල් ඇමතිතුමා අයවැය ඉදිරිපත් කරලා කෂ්ටිය කෑකෝ ගහලා වැඩි චන්දෙං ඒක සම්මත කරගන්නවනේ.
ඔය අයවැය හැදිල්ල ගැන කියනව නං හැම ආණ්ඩුවෙ කන්තෝරුවක්ම ඕකට දායක වෙනවා.
උදාහරණයක් විදියට මම වැඩකරන කාර්යාලෙ නිලධාරීන්ට පඩි, ඕ.ටී.,තව එක එක දීමනා වලට ලබන අවුරුද්දෙ කොච්චර සල්ලි ඕන වෙනවද කියලා අපි ගනං හිලවු හදලා ඒක අපේ ඇමතිතුමා හරහා මුදල් අමාත්‍යාංශෙට යවනවා. ඔය විදියට හැම තැනකින්ම එන ගනං එක්කාසු කරලා තමයි ආණ්ඩුවෙ කාර්යාල වලට සල්ලි වෙං වෙන්නෙ.
ඒ වගේම ආදායම් එකතු කරන කන්තෝරු වලිනුත් ගන්නවා ලබන අවුරුද්දෙදි කොච්චර ආදායමක් එකතු කරලා දෙන්න පුලුවන්ද කියන කාරනේ. මොකද විදං කරන්න කොහෙන්හරි ලැබෙන්නත් එපැයි. කොච්චර කලත් ආදායමට වඩා අපේ රටේ වියදම වැඩි නිසා හිගේ පියවන්න ණයට පිටරටින් සල්ලි ගන්නම වෙනවා.
අයවැය ගැන එච්චරයි.
අයවැය සම්මත වෙලා ඉවරවුනත් නිකං භාණ්ඩාගාරෙන් සල්ලි දෙන්නෙ නෑ. ඒකට මුදල් ඇමතිතුමා ලියුං කරදහියක් දෙන්ට ඕන. ඒකට කියන්නෙ "වොරන්ට් බලපත්‍රය" කියලා. වොරන්ට් බලපත්‍ර වර්ග 7ක් තියනවා. ඒවා යොදාගන්නෙ ඒ ඒ අවස්තාවෙ මුදල් සම්මත වුනේ මොන විදියටද කියන කාරනේ උඩ.
උදාහරණයක් විදිහට අයවැයෙන් සාමාන්‍ය විදියට සම්මත වෙච්ච ගෙවීමකට සල්ලි ගන්න භාණ්ඩාගාරයට දෙන්න ඕන කරන්නෙ "සාමාන්‍ය වොරන්ට් බලපත්‍රය". මොකක් හරි හේතුවකට ගෙවීම නතර කරලා තිබිලා ආයෙත් ගෙවන්න පාර්ලිමේන්තුව තීරණය කරපු ගෙවීමකට ඉදිරිපත් කරන්නෙ "අධියාඡනා වොරන්ට් බලපත්‍රය.
දැං ටිකක් හරි තේරෙන්න ඇතිනෙ අපේ රටේ "සල්ලි ලාච්චුව" ගැන.
අන්තිමට කියන්න තියෙන්නෙ මේ විදියට ඒකාබද්ධ අරමුදලෙන් දෙන සල්ලි වියදම් වෙලා තියෙන්නෙ කොහොමද කියලා රටේ බදු ගෙවන ජනතාවට වග උත්තර බදින එකනෙ. මොකද මේවායෙ අයිතිකාරයො අපි නිසා. ඒගැන හොයලා බලන්න තමයි විගණකාධිපති ඉන්නෙ. එයා පාර්ලිමේන්තුවට කියන්න ඕන වියදං කරද්දි හොරකං කරලද, නීතියට එකගව ගණුදෙණු සිද්ධවෙලාද කියන එක.
අද තමයි දිගම පෝස්ට් එක කෙටුවෙ. සද්ද නැතුව යන්නැතුව පහලින් මොනවා හරි කියලම යන්නකො.
ගොඩක් හරවත් ලිපියක් මචං.. ගොඩක් ස්තූතියි... ඉගනගත්ත දේ අලුත් වුනා..
ReplyDeleteමම මේ ලිපිය හැම තැනම ශෙයා කලා...
ජය වේවා.....!!
රාජ්‍ය සේවකයන් ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාග වලට ගොඩක් වැදගත් ලිපියක්.... ලබන සෙනසුරාදාත් තියෙනව ද කොහෙද විභාගයක්... ස්තූථියි මේ ලිපියට.....
ReplyDeleteමම නම් මේ කිසිම දෙයක් මීට කලින් දැනගෙන ඉදලා නෑ.
ReplyDeleteමට නම් මේ දේවල් ගොඩක්ම අලුත්.
ඒ නිස ලිපියට ගොඩක්ම ස්තුතියි !!!!
හුගක් වටින ලිපියක් සහෝදරයා...
ReplyDelete@සෝරෝ
ReplyDeleteගොඩාක් ස්තුතියි බැලුවට ශෙයා කලාට.
@සොඳුරු සිත
ඔව් කාර්යක්ෂමතා කඩඉම්, උසස් කිරීමේ විභාග වලට මේවා එනවා තමයි.ඒ නිසා තමයි මාත් හොයලා බැලුවේ. සෙනසුරාදා අපේ දෙවැනි පන්තියට උසස් කිරීමේ විභාගෙ තියනවා. මමත් ලියනවා.
@මධුරංග
මේ දේවල් දැම්මෙ දැනුම අලුත් කරගන්න. මම කැමති දෙයක් තමයි අදාල නැති විෂය ක්ෂේත්‍ර ඉගෙනගැනීම. ඒවගේ තවත් අය ඇති කියලා හිතලයි ලිපිය ලිවුවෙ.
@මාරයාගේ හෝරාව
බොහොම ස්තුතියි මාරයියේ මේපැත්තෙ ආවට.
හුගක්ම වටින ලිපියක්, ස්තූතියි අපිත් එක්ක මේ තොරතුරු බෙදාගත්තට
ReplyDeleteහෙට හොඳට විභාගෙ ලියල සමත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....
ReplyDeleteසෑහෙන වටින පෝස්ට් එකක් ......
ReplyDeleteනොදන්න දේවල් ගොඩක් දැන් ගත්තා .....
වැඩි විස්තර සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 සිට 153 දක්වා වගන්ති බලන්න
ReplyDeletegreat task.
ReplyDeletewow ela ela . thank you very much good post
ReplyDeleteස්තූතියි අයියා මහන්සි වෙලා ලිව්වට. ගොඩක් දේ දැනගත්තා!
ReplyDelete