Pages

Saturday, August 13, 2011

ආණ්ඩුවේ කාර්යාලයකින් වැඩක් කරගන්න බැරිද?

රජයේ ආයතන ගැන ඔයාලා හිතන්නේ මොනවද? මේ ප්‍රශ්නෙ මම ඇහුවොත් ඔයාලා කියයි මෙහෙම.
අපෝ ආණ්ඩුවේ ඔෆීස්ද...කතා කරන්න එපා කියලා වැඩක් නෑ...
ඔන්න මම ගියා ...ඔෆීස් එකට .... වැඩේ කරගන්න. එතන ඉන්න මහත්තයා තේ බොන්න ගිහිල්ලා. පැය භාගයකට විතර පස්සෙ එයා ආවා. ඊට පස්සෙ මට කිවුවා වැඩේ කරන්න ....සහතිකේ ඕන කියලා. මම ආයි ආවා.....
මේවගේ කතා ගොඩයි. රජයේ කාර්යාලයක සේවය කරන කෙනෙක් විදියට මේවා ගැන මට හොද අත්දැකීම් තියනවා. ආණ්ඩුවෙ කාර්යාලයකට වැඩක් කරගන්න එන අමාරුයි කියන හැගීම ගොඩාක් අය ගාව තියනවා. හැබැයි ඉතින් මේකට වැරැද්දක් කියන්නත් බෑ. මොකද ගොඩක් කාර්යාල වල තියන අකාර්යක්ෂම භාවය ඉහල අගයක් ගන්නවා. මේකට ගොඩක් හේතු සා‍‍‍‍‍‍‍‍‍‍‍ධක තිබුනත් ඒවායේ මූලය වෙන්නෙ මේවා රජය විසින් පාලනය කරන ආයතන වීම. ආයතනය ලාභ ලබන එකක්ද නැත්ද යන කාරණාව මේකට බලපෑමක් කරන්නෙ නෑ.
පෞද්ගලික අංශය යටතේ පාලනය වන කාර්යාලයක් අරගත්තොතින් ඒවායේ එක කෙලවරක ඒකෙ අයිතිකරුවන් සිටිනවා. ඉහල සිට පහලට නියෝග ගලා ඒම නියමිත පරිදි සිදුවෙනවා. මොකද මේවා ලාභ ලබාගැනීමේ අරමුනින් පිහිටුවා ඇති ආයතන නිසා සේවා දායකයා උපරිම අයුරින් සතුටු කිරීම කල යුතුයි. එසේ නොවුවහොත් ඔවුන්ගේ අරමුණ වන ලාභය නැතිවීයාම තුල ව්‍යාපාරය (මේවා ව්‍යාපාරනේ) බිදවැටෙනවා.
එතකොට රජයේ කාර්යාල වලට එහෙම නොවෙන්නෙ ඇයි?
හේතුව ඒවා රජයේ(ජනතා) මුදලින් නඩත්තු වන ආයතන වීම. මේවා කොතරම් පාඩු ලැබුවත් නොවැසී පවතින්නේ ඒකයි.
පෞද්ගලික අංශයේ ආයතනයක පහලම මට්ටමේ සිටින නිලධාරියාගේ සිට එහි කළමනාකරුවන් දක්වා සෑම කෙනෙක්ම එහි අයිතිකරුවන්ට වගකිව යුතුයි. එතකොට රාජ්‍ය අංශය වගකියන්න ඔන කාටද? ඒ තමයි ජනතාව. ආන්න එතන තමයි ප්‍රශ්නය තියෙන්නෙ. මේ ආයතන ජනතාව වෙනුවෙන් රජයටයි වගකියන්නෙ. ඒත් බදුගෙවන ජනතාව වෙනුවෙන්, මේ දෙගොල්ලන්ගෙම අතින් මේ කාර්ය සිද්ධ වෙන්නෙ නෑ. මෙතනදී මට පේන විදියට නම් වැරැද්දෙ වැඩිකොටස සිද්ධ වෙන්නෙ රජය පැත්තෙන් තමයි. මොකද තීරණ ගන්න ඉන්න තැන්වල‍ට තමන්ගෙ ඉත්තො දාගෙන කිසිම ස්වාධීනත්වයක් නැති තැන් බවට රාජ්‍ය ආයතන පත්කරගත්තම ඒවායේ මේවගේ තත්වයන් ඇතිවීම වලක්වන්න සක්කරයටවත් බෑ.ඒ ගැන වැඩිපුර කතා කිරීම දේශපාලන කාරණයක් නිසා ඒක වෙන දවසකට කල්දාමු.
අකාර්යක්ෂමතාවයට බලපාන තවත් හේතුවක්. තමයි රාජ්‍ය අංශය තුල තියෙන්නෙ (පෞද්ගලික අංශයට සාපේක්ෂව) ඉතා බැරෑරුම් මට්ටමේ කාර්යයන් වීම.
උදාහරණයක් විදියට වාහනයකට මාර්ගයේ ධාවනයට ඕනකරන අවශ්‍යතා ටික ගනිමු. මේකෙදි පෞද්ගලික හා රාජ්‍ය කියන අංශ දෙකම දායක වෙනවා.(ලයිසන් එක ආණ්ඩුවෙන් හා රක්ෂණය සහ දුම් සහතිකය පෞද්ගලික අංශයෙන්). හැබැයි රක්ෂණය සහ දුම් සහතිකය ගැනීම කියන කාරණා දෙක ඉතාම සරළ කාරණාවන්. වාහනේ තත්වය හොදනම් දුම් සහතිකයත් සල්ලි තියනවනං ඕන විදියකට රක්ෂණේ කරගැනීමේදීත් රස්තියාදු වීමට අවශ්‍ය වෙන්නෙ නෑ. ඒත් ලයිසන් එක දීමේදී සලකාබැලිය යුතු කරුණු ගොඩාක් තියනවා. කලින් අවුරුද්දේ මුදල් ගෙවලා තියනවාද, ලීසින් කල එකක් නම් ලීසින් වාරික ගෙවලා තියනවාද, ලියාපදිංචි සහතිකය හොද එකක්ද හොර එකක්ද .. මේ ආදී වශයෙන් කරුණු විශාල වශයෙන් සලකා බැලීමක් සිදුකරන්න ඕන. මෙහිදී යම් ප්‍රමාණයකට රස්තියාදුව සිදුවෙනවා.
අනෙක් වැදගත්ම කරුණ තමයි රාජ්‍ය අංශයේ ඇති ඒකාධිකාරී ස්වභාවය. ඒකාධිකාරීය ඇති තැන අල්ලස දූෂණය නාස්තිය ආදී සියල්ලම තියනවනේ. පෙර උදාහරණයම ගත්තොත්, රක්ෂණය සහතිකය ලබාගැනීමට සමාගම් කොතෙකුත් ඇතත් බලපත්‍රය ගත හැක්කේ අදාල කාර්යාලයෙන් විතරයි. අනිත් එක පෞද්ගලික අංශය තුල අල්ලස් නැත්තේ ඒකාධිකාරී ස්වභාවය නොමැති වීම නිසා. (ඒකාධිකාරයක් ඇති අල්ලස් ගන්නා ආයතනයක් ගැන මම දන්නවා)
අන්තිම කාරණේ තමයි සේවා දායකයාගේ ඇති නොදැනුවත්කම.
ඒ කියන්නෙ කාර්යාලයකට ගිහිල්ලා යම් වැඩක් කරගන්න අවම අවශ්‍යතා ටික දැනගෙන ඉන්න ඕන. එහෙම නැතිවුනොත් වෙන්නෙ සේවකයන්ට බැන බැන ආයිත් ගෙදර එන්න තමයි. දැන් තියනවා ඕනෑම රාජ්‍ය ආයතනයක දුරකතන අංකෙ ගන්න විදියක්. 1919ට කෝල් එකක් දීලා එතනින් ගන්න තියන උපදෙස් ටිකත් අරගෙනම වැඩේ‍‍ට බැස්සොත් තමයි ලේසි.
අන්තිමටම කියන්න තවත් දෙයක් තියනවා. කවුරු කොහොම කිවුවත් රාජ්‍ය සේවය මීට අවුරුදු දහයකට කලින් තත්වයත් එක්ක බැලුවම අල්ලස දූෂණය සහ අකාර්යක්ෂමතාවය සැලකියයුතු කරම් අඩුවෙලා තියනවා කියන එක. ආසන්න වශයෙන් 2020-2025 විතර වෙනකොට රාජ්‍ය අංශය සම්පූර්ණටයන්ම තොරතුරු තාක්ෂණයත් එක්ක සම්බන්ධ වේවි. එතකොට කාර්යක්ෂමතාවය ප්‍රමාණවත් සීමාවකට එලඹිලා තියේවි.
අයි.ටී. සහ අපේ රාජ්‍ය සේවය ගැන ඊලග පෝස්ට් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
මොනව හරි කියන්න තියනව නං කොමෙන්ටුවක් දාලම යන්න.
ප.ලි.-මගේ බ්ලොග් එකේ හිට්ස් ගනන 2000 වුනා. වෙනම පෝස්ට් එකක් ඒගැන දාන්නෙ නෑ. ආපු හැමෝටම ස්තුතියි.

17 comments:

  1. මටත් හිතෙනවා තව ටික කාලයකින් රාජ්‍ය අංශයේ අල්ලස් ගන්න එක වගේ අඩු වෙයි කියලා..මොකද තොරතුරු තාක්‍ෂණය එක්ක එක්කාසු උනාම ඒ වගේ දේවල් වලට වැට බදින්න පුළුවන්.
    තව දෙයක් ඔය ආණ්ඩුවේ කන්තෝරුවල උඩ ඉන්න උසස් නිලධාරීන්ට වඩා ගෑස් තියෙන්නේ පහල ඉන්න නිලධාරීන්ගේ..

    ReplyDelete
  2. ඒක කොතනත් එහෙමයි.හැබැයි වැරැද්ද, පොඩි අයගෙ වැරදි බල බල ලොක්කො ‍නිදාගත්ත වගේ ඉන්න එක.

    ReplyDelete
  3. රටේ වැඩක් කරගැනීම අපහසු තැන්වල,ඒකට තියන ප්‍රධානම හේතුව තමයි කිසිම වැඩකට අයිතිකාරයෙක් නොසිටීම.මේක රටේ ඉහලම තැන ඉඳන් පහලම තැනටම විහිදුන පිළිලයක්.ඒත් බොහොම කලාතුරකින් වැඩක් කරගන්න පුලුවන් ආණ්ඩුවේ කාර්‍යාලත් හම්බවෙනවා.

    ReplyDelete
  4. sithuwilimandiya
    රජයේ සේවයේට අලුතෙන් ආපු අය ගොඩාක් දුරට කාර්යක්ෂමයි.ඒත් බලය තියෙන්නෙ අකාර්යක්ෂම උදවිය අතේ.ඒක නැතිවෙයිද එහෙම නැත්තම් පරණ අයගෙ තාලෙටම අලුත් අයත් හැදේද කියන්න බෑ.

    ReplyDelete
  5. කොහොම කිවත් රාජ්්‍ය ආයතන පුද්ගලික කියන හැගිමෙන් වැඩ කරන ජනතාව ගැන හිතලා වැඩ කරන සේවක පිරිසක් විදිහට හිතන්න ගත්ත දවසට රටේ ජනතාවට සහනයක් ලැබෙයි. පුද්ගලික අංශයේ වගේම රාජ්ය අංශයට පුද්ගලික කරනයට ලක් නොකර ඒ වැඩ කරන පිරිසට දිරි ගැන්විමක් ලබා දෙනවා නම් අනිවා මේකට සාර්ථක විසදුමක් විදිහට ඒක හදුන්වන්න පුලුවන්

    ReplyDelete
  6. @දේවා ගේ අඩවිය
    අන්න මම පෝස්ට් එක ටයිප් කරනකොට කවුරුහරි ඇදලාගනී කියලා හිතපු දෙයක් මේ කොමෙන්ටුවෙ තියනවා.හැබැයි මම හිතුවෙ ඕකෙ අනිත් පැත්ත කවුරුහරි දකීවි කියලා. පුද්ගලීකරණය කලා කියලා ප්‍රශ්නෙ විසදෙන්නෙ නෑ.

    ReplyDelete
  7. ඒකනේ ගොඩක් කට්ටිය රාජ්‍ය ආයතන වලට පන ගන්න බලන්නේ. කොටින්ම අයිස් ගගහා ඉන්න පුලුවන් නේ.

    ReplyDelete
  8. රාජ් : මම කිවේත් පුද්ගලික කරනය කරන්න කියලා නෙමේ.... එත් පුද්ගලික අංශයේ අය ඉහලට යන්න නම් වැඩ පෙන්නනම වෙනවා.... ඉතින් හැමෝම වැඩ පෙන්න පුලුවන් ක්‍රමවේදයක් රාජ්ය අංශයටත් ඇතුල් කලොත් ඔය අයිස් ගහන තත්වේ නිකන්ම නැති වෙලා යනවා කියලා මට නම් හිතෙනවා....

    ReplyDelete
  9. @මධුරංග
    නෑ ඒක නෙවෙයි කාරනේ රැකියාවේ සුරක්ෂිත භාවය හා පෙන්ෂන් එක තමයි ඒකට හේතුව.(මම ඉන්නෙත් ඒකයි)

    ReplyDelete
  10. කතා කරලා වැඩක් නෑ රාජ්‍ය ආයතන ගැන..
    තොරතුරු තාක්ෂණය සම්බන්ධ වුනත් සමහර දේවල් නම් මඟ අරින්න බැරි වෙයි..

    ReplyDelete
  11. චතුර....
    මොනවගේ දේවල් ගැනද කියන්නෙ?

    ReplyDelete
  12. හොඳ ලිපියක් රාජ්...

    මමත් බොහෝමයක් වෙලාවට රජයේ ආයතන වලින් වැඩ කටයුතු කරගන්න යනවා..අර ඔයා කිව්ව විදයට අපේ නොදැනුවත් කමත් හුගක් වෙලාවට බලපානවා. සමහර තැන්වලට ගිහින් මම බොහෝම පහසුවෙන් වැඩ කරගෙන එනවා..ඒ මම එතන වැඩ කෙරෙන්න ඕන විදියත්..ඊට අවශ්‍ය කටයුතුත් හරියට දන්න හින්දා..ඒ වගේම නොදන්න තැනකට ගියාම මටත් ප්‍රමාද වීම් වෙනවා..ඒත් දෙවෙනි වතාවේ මං එතනට යන්නේ දැනුවත්ව...

    සෑහෙන කාලයකින් මටනං ප්‍රමාද වීම් වලට මුහුණ පාන්ට උනේ නැහැ..ඒකට හේතුව නොදන්න තැනකට යන්න කලින් උනත් දන්න කෙනෙක්ගෙන් උපදෙස් ගැනීම.

    ඒ වගේම මම දකින අවුලක් තමයි රජයේ ආයතනවල පිළි ගැනීමේ නිලධාරී සහ විමසීම් කවුන්ටර්වලට හරි හමන් අය නැති එක..බොහෝ විට එතනට දාන්නේ තාවකාලික අය..එහෙම නැත්තං වෙනත් කාර්යයකට නියම වෙච්ච කෙනෙක්..සමහර වෙලාවට එතන කවුරුවත් නැහැ..හිටියත් ඉන්න කෙනාට වඩා අපි දන්නවා ඒකේ වැඩ කෙරෙන විදිය. ඔන්න ඔය අවුලට විසඳුමක් දෙනවනං හොදයි..මොකද මම යන සමහර තැන්වල ඉන්නවා හරි කැපවීමෙන් සේවය කරන අය..ඒ ‍වගේම කාගේ හරි ප්‍රශෟනයකට උත්තරයක් දෙනකොට..ඒ ගැටළුවම තියෙන තව අය ඉන්නවයි කියලා හිතෙනවනං ඒ හැම දෙනාටම ඇහෙන විදියට අර දැනුවත් කිරීම කරන එක.. ඒ වගේ කාර්යක්ෂම සහ ඔළුවක් තියෙන නිලධාරින් ඉන්න තැන්වලදී අනිත් අයත් හරි ඉක්මන්...

    ඒත් එහෙම පුද්ගලයින්ගේ හැකියාව මත පමනක් නොවී..අනිවාර්ය ක්‍රියා පටිපාටිය නිසි දැක්මකින් සකස් කිරීම හා..ඒ පිළිබඳ පසු විපරමකින් සිටීම හරහා හුගක් දේවල් හොඳින් කෙරෙවි..

    ඒත් එක්කම එය ප්‍රාදේශිය ලේකම් කාර්යාල ගැනත් පුංචි සටහනක් තියන්න ඕන..අර කරූ ජයසූරිය උන්නැහේ ආණ්ඩුවේ හිටිය දවස්වල රාජ්‍ය පරිපාලන සේවය යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැනි උන්නැහේගේ විෂයට යටත්ව තිබුන තැන්වලනං හුගාක් වෙනස් කං වෙලා තිබුනා..එයින් පස්සේ ඒ තැන් වලින් සෑහෙන හොද ප්‍රගතියක් මංනං අත් වින්දා...ආන්න ඒ වගේ ටිකක් හිතලා කරලා වැඩේ කරනවනං හොදටම හොදයි...

    ReplyDelete
  13. @මාරයාගේ හෝරාව
    බොහොම ස්තුතියි මාරයියේ අදහස් දැක්වීමට ආවට.
    ඔයා කරන විදියට දැනුවත් වෙලා එතනට යන්න අපේ මිණිස්සු බහුතරයකටම ඕනකමක් නැති එක ලොකු අඩුපාඩුවක්.උදාහරණයක් විදියට දකුණු පළාතේ මෝටර් සයිකලයක් හරි ත්‍රිවිල් එකක් හරි ලයිසන් කරගන්න යන මුදල රු.275යි. දවස් තුනක ප්‍රමාදයකින් මේ ගාන 302.50 වෙනවා. මේ මුදල මාරු සල්ලි වලින් ගන්න ගියාම හෙනම ප්‍රශ්නයක්.මොකද 302.50ක් 400කින් හරි 500කින් හරි ගන්න සිද්ධ වුනාම අපි කරන්නෙ ඒක මාරු කරගෙන එන්න එයාව එලියට යවන එක.(මොකද අපි ලග නිතරම මාරු සල්ලි නැතිනිසා).ඒත් කවදාවත් මිණිස්සු ඊලග අවුරුද්දෙදි මාරුසල්ලි ගේන්නෙ නෑ.ගිය අවුරුද්දෙ දුෂ්කරතාවය අමතක වෙලා.ඔන්න ඕකයි තත්වෙ.

    ReplyDelete
  14. මුළින්ම, හිට්ස් දෙදහසේ කඩඉමට සුභ පැතුම්.
    ඒ වගේම, මේ වගේ එදිනෙදා කටයුතුවලදි කාටත් ප්‍රයෝජනවත් වෙන ලිපි පළ කිරීම ගැනත් ස්තුතියි.
    මොකක්ද අර නොම්මරේ 1919? ඒකට කතා කරලා, ඔය හැම දේකටම ඕනෙ කරන ලියකියවිලි මොනවද කියලා අහ ගන්න පුළුවන්ද?

    ReplyDelete
  15. අනේ අනේ ඒක දන්නෙ නැද්ද? එකෙන් ඕනෑම රජයේ කාර්යාලයක දු.ක. අංක ගන්න පුලුවන්. ගොඩාක් බැරිවුනත් යම් යම් විස්තරත් එතනින් ගන්න පුළුවන්.
    බොහොම ස්තුතියි මේපැත්තෙ ආවට.

    ReplyDelete
  16. රජයේ හෝ මොන ආයතනයකට අපි වැඩක් කර ගන්න ගියත් එතනට අවශ්‍ය මොනාද කියලා කෝල් එකකින් හරි හරියටම දැන ගෙන ඕන යන්න ......

    අනිත් කාරනේ තමයි රජයේ ආයතනවල ක්‍රියාත්මක වන දේශපාලනය, කවුරු හරි නිලධාරියෙක්ගෙ වැරැද්දක් පැමිණිලි කලාට වැඩක් නැහැ, ඒ පුද්ගලයාට දේශපාලන හයිය තියනවා නම් කිසි ගැටලුවක් නැහැ .........

    පෞද්ගලික ආයතනවල එහෙම නැහැ පැමිණිල්ලක් ආවොත් බඩුම තමා .......

    ReplyDelete
  17. හ්ම්.. ඔය තත්වය නැති කරගන්නෙක තමයි වැඩේ. ස්වාධීන කොමිෂන් සභාවල වටිනකම දැන් තේරෙනවනේ..

    ReplyDelete