Thursday, December 8, 2011

කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇතිකිරීමට නම්.

රාජ්‍ය සේවය පිළිබද ලිපි ගනනාවක් ලිවීමට සිතේ තිබුනත් එන්න එන්නම ප්‍රමාද වූයේ රාජකාරී බහුලවීම නිසා වුවත් දුකාට පොරොන්දු වූ පරිදි කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සදහා ගතයුත්තේ කුමන ක්‍රියාමාර්ගදැයි සාකච්ඡා කිරීම මෙහි පරමාර්ථයයි.

කෙසේ වුවද දුකා සදහන් කල පරිදි අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇතිවීමට ප්‍රධාන හේතුව ප්‍රවාහන ප්‍රශ්න නොවේ. හේතු අනුපිලිවෙලින් සටහන් කලහොත් ප්‍රවාහනය යන කාරණය ඉතාමත් පහලට පැමිණෙනු ඇත.

මාගේ අත්දැකීම් අනුව අකාර්යක්ෂමතාවයට ප්‍රධාන හේතු හතරක් දැක්වියහැකිය.

01. සියලු මට්ටම් වල අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන්.

02. රාජ්‍ය සේවයට සම්බන්ධ කාර්යන්වල පවතින සංකීර්ණ ස්වභාවය.

03. මහජනතාවගේ(පාරිභෝගිකයන්ගේ)නොදැනුවත් ස්වභාවය.

04. කාර්යක්ෂමතාවය සදහා රාජ්‍ය මැදිහත්වීම ප්‍රමාණවත් නොවීම.

දැන් එක් එක් හේතු වෙනවෙනම සලකාබලමු.

සියලු මට්ටම් වල අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන්.

අකාර්යක්ෂම රාජ්‍යසේවයේ මූලය අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන් බව අවිවාදිතය. රාජ්‍ය සේවකයන් මෙසේ වීමට හේතු ඕනෑතරම් දැක්වියහැකි වුවත් "පෙරකල පුරුදු කරගෙන පැමිණිලෙස" රාජකාරී කිරීම ඉන් පළමුවැන්නයි. අන් සියළු කාරණා ඊට පහලින් පිහිටන ඒවා බව මගේ හැගීමයි.

උදාහරණයක් වශයෙන් පාසල් අධ්‍යාපනය හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කල සැනින් රාජ්‍ය සේවයට පැමිණෙන තරුණ නිලධාරියෙකු සලකා බලමු. ඔහුට රැකියාවට පැමිණ කාර්යක්ෂමව වැඩකලහැකි වුවත් එසේ සිදුවේද? නැත. ඔහුට ඉහලින් හෝ පහලින් සිටින නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවයේ-වේගයේ තරමට ඔහුට හැඩගැසීමට සිදුවීම සාමාන්‍ය සංසිද්ධිය වේ. කාර්යාලයක් යනු සාමූහික වගකීමක් ඇති ස්ථානයක් වන අතර එක් අයෙකුට පමණක් "පවතින තත්වය" වෙනස් කිරීම ඉතා අසීරුය. මීට ප්‍රතිවිරුද්ධ පැත්ත සිදුවන පෞද්ගලික අංශය සැලකුවහොත්, එහිදී නවක නිලධාරියෙකුට දක්නට ලැබෙන්නේ කාර්යක්ෂම වෘත්තීය සගයන් පිරිසකි. එහිදී ඔහු ඊට අනුගතවීම නිරායාසයෙන් සිදුවන්නකි.

"රාජ්‍ය සේවයේ ගලායන ප්‍රවාහයට එරෙහිව උඩුගං බලා පිහිනීමෙන් ඉතිරි වන්නේ මහන්සිය පමණි"

මෙම අකාර්යක්ෂමතාවයට හේතු ලෙස විවිධ හේතූක් දැක්වුවද ඒවා එතරම් පිළිගතහැකි මට්ටමේ හේතු නොවේ. උදාහරණ ලෙස වැටුප් වැඩි නොවීම ආදිය ගෙනහැර දැක්වුවද එය එතරම් සාධාරණ තර්කයක් නොවන බව ඉදිරියේදී පැහැදිලි කරමි.

මෙහි දෙවැන්න නම් රාජ්‍ය සේවයට සම්බන්ධ කාර්යන්වල පවතින සංකීර්ණ ස්වභාවයයි. වඩාත් පැහැදිලි කලහොත් රාජ්‍ය හා පෞද්ගලික අංශයන් මගින් ඉටුකරන කාර්යන් සංකීර්ණත්වය අනුව පෙළගස්වන්නේ නම් වඩා වගකීම් සහිත කාර්යන් ඇත්තේ රාජ්‍ය අංශයේය. මේ සමග බැදී ඇති අණපනත් නීති රෙගුලාසි වලට යටත්ව අදාල සේවය ඉටුකරදීමේදී සේවකයන් හා පාරිභොගිකයන් යන දෙපක්ෂයම අපහසුතාවයට පත්වීම නොවැලැක්වියහැකි සංසිද්ධියකි. පසුගිය සමයේ ගංවතුර පැමිණ ජනතාව අපහසුතාවයට පත්වීම ඔබට මතක ඇතැයි සිතමි. ඒ අවස්ථාවේදී ජනතාව අමතමින් ජනාධිපතිතුමා පැවසුවේ "ජනතාව අපහසුතාවයට පත්ව ඇති මේ අවස්ථාවේ ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි සංග්‍රහය ආදියේ කුමක් තිබනද ඒ ගැන නොසිතා අපහසුතාවයට පත්වූ ජනතාවට පිහිටවන්න" යනුවෙනි. එහෙත් අවස්ථාව කුමක් වුවද නීතිරීති වලට පිටින් කටයුතු කිරීම විගණන විමසුම් වලට පිළිතුරු සැපයීමේ සිට රැකියාවෙන් එළියට යාමට සිදුවීම දක්වා වන දඩුවමට ලක්වීමට හේතුවක් බව දන්නෝ රාජ්‍ය සේවකයෝය.

අකාර්යක්ෂමතාවයට බලපාන අනෙක් කාරණාව වන්නේ සේවයක් අපේක්ෂාවෙන් පැමිණෙන ජනතාවගේ නොදැනුවත්කමයි. මෙය එතරම් කතාබහට ලක් නොවුවද සෘජුවම මහජනතාව සමග කෙරෙන රාජකාරී හා සම්බන්ධවී ඇති මා හට මේ සම්බන්ධ අත්දැකීම් ඕනෑවට වඩා ඇත. සේවාවන් ලබාගැනීම සම්බන්ධයෙන් මෙ වනවිට යම් යම් උපදෙස් ලබාගැනීමට විධික්‍රම සලසා තිබුනද සේවාදායකයන් ඒවායෙන් ප්‍රයෝජනයක් ලබාගන්නා බවක් නොපෙනේ. උදාහරණයක් වශයෙන් 1919 ඇමතීමෙන් රාජ්‍ය සේවාවන් පිළිබදව හා රාජ්‍ය ආයතනවල දුරකථන අංක ලබාගත හැකි වුවද එයින් ප්‍රයෝජන ගන්නේ කීයෙන් කීදෙනෙක්දැයි වැටහෙන්නේ ඔවුන් කිසිදු දැනුවත් වීමක් නොලබා කාර්යාල වලට පැමිණීමෙනි. අවසානයේ සිදුවන්නේ සේවයක් අපේක්ෂාවෙන් පැමිණෙන්නා රස්තියාදු වී සමස්ථ රාජ්‍ය සේවය පිළිබදව අයහපත් හැගීමක් ඇතිකරගැනීම පමනි.

අවසාන කරුණ වශයෙන් දක්වතත් කාර්යක්ෂමතාවය සදහා රාජ්‍ය මැදිහත්වීම ප්‍රමාණවත් නොවීම යන කාරණාවද සැලකියයුතු මට්ටමින් දීර්ඝව සාකච්ඡා කලහැකි මාතෘකාවකි. විශේෂයෙන්ම දක්ෂ තරුණ කොටස් රාජ්‍ය සේවයෙන් ඈත්වීමට රාජ්‍ය සේවක වැටුප් ප්‍රශ්නය විසදීම රජයේ වගකීම වේ. එසේ නොවුවහොත් විශේෂයෙන්ම පිරිමි අයවලුන් අවම වීම තුල රාජ්‍ය සේවය මීට වඩා පිරිහීමකට ලක්වීමට අනාගතයේ ඉඩ ඇත. රාජ්‍ය මැදිහත්වීම ලබාදියයුතු අනෙක් අංශය වන්නේ නව තාක්ෂණය හදුන්වාදීම තුලින් කාර්යක්ෂමතාවය ඇතිකිරීමයි. විශේෂයෙන් තොරතුරු තාක්ෂණය සම්බන්ධ කරගන්නා අංශයන් ඇත්තේ අල්ප වශයෙනි.

එක් එක් අමාත්‍යංශයන් යටතේ ඇති රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාවයන් අතර ඇත්තේද විෂම ස්වභාවයකි. උදාහරණයක් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආදියේ ඇති කාර්යක්ෂමතාවයෙන් අඩක්වත් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති අධ්‍යාපන හා පළාත් අධ්‍යාපන කාර්යාල වල නොමැත. අප කාර්යාලවල ඇති පරිගණක යන්ත්‍ර ඇගිලි සලකුණු කිරීමේ යන්ත්‍ර ආදිය කිසිවක් බොහෝ කාර්යාලවල නොමැති අතර සේවකයන්ට ලබාදෙන පුහුණු වැඩසටහන් ආදියද නොගිණියහැකි තරම් අවම තත්වයේ පවතී.

ලිපිය දිර්ඝ වනබැවින් අකාර්යක්ෂමතාවය ඇතිවන ආකාර පිළිබදව විස්තර කිරීම නවතා කාර්යක්ෂමතාවය වැඩිකිරීමට ගතහැකි ක්‍රියාමාර්ග සලකා බලමු.

මා ඉහත සදහන් කල 02, 03, 04 යන අකාර්යක්ෂමතාවයන්ට හේතුසාධක වලට පිළියම් ලෙස කලහැකි දේ, ඒ තුලම ඇති බැවින් විස්තර නොකරමි.

අංක 01 වන ප්‍රධාන කරුණ වන අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන් පිලිබද ප්‍රශ්නයට විසදුම් ලෙස මා යෝජනා කරන්නේ මෙවැන්නකි.

රාජ්‍ය සේවය තුල වැඩ ඒකක ක්‍රමයක් ඇතිකිරීම හෙවත් උපයන ප්‍රමාණයට ගෙවීම.

මෙහිදී එක් එක් නිලධාරියාගේ වර්තමාන රාජකාරී ලැයිස්තුව තෝරාගෙන එහි ඇති එක් එක් විෂයන්ට අදාලව වටිනාකමක් ලබාදෙයි. උදාහරණයක් වශයෙන් මාගේ රාජකාරී ලයිස්තුව සැලකුවහොත් එහි ඇති ප්‍රධාන විෂයයන් වනුයේ "මාසික බැංකු සැසදුම පිලියෙල කිරීම", "අත්තිකාරම් ගිණුම", "යන්ත්‍රෝපකරණ අළුත්වැඩියාව" ... යනාදියයි. මෙහිදී රාජකාරියේ වැයකල යුතු ශක්ති ප්‍රමාණය අනුව ඊට අදාල වටිනාකම මෙසේ ලබාදිය හැකිය.

මාසික බැංකු සැසදුම පිලියෙල කිරීම = 1

අත්තිකාරම් ගිණුම = 4

යන්ත්‍රෝපකරණ අළුත්වැඩියාව = 1

මෙවිට මා කරන කාර්ය ප්‍රමාණය ඒකක 6කි. මෙසේ යම් කාර්යාලයකට අයත් සියලුම රාජකාරී එහි නිලධාරීන් අතර සමසේ බෙදාදිය යුතු අතර නිලධාරියෙකු විශ්‍රාම ලබන විට ඔහුගේ ඒකක ප්‍රමාණය කැමැත්තෙන් භාරගන්නා අයවළුන්ට ඒකකයකට හිමි යම් මුදලක් ලබාදියයුතුය. මේ ක්‍රමය අනුගමනය කිරීමෙන් වසර කිහිපයකදී රාජ්‍ය සේවකයන් ප්‍රමාණය සෑහෙන ප්‍රතිශතයකින් අඩුකරගතහැකි අතර කාර්යක්ෂමතාවය වැඩිවීම මෙන්ම සේවක වැටුප්ද වැඩිවීම සිදුවේ. (මෙම ක්‍රමය තුලින් 20% පමන ප්‍රතිශතයකින් රාජ්‍ය සේවකයන් අඩුකලහැකි බවද මේ ක්‍රමයට රාජ්‍ය සේවකයන් කැමතිවන බවටද සෑහෙන විශ්වාසයක් මා තුල ඇත)

2001 වර්ෂයේ පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව රාජ්‍ය සේවක බදවාගැනීම තාවකාලික නවතාදැමුවද ඒ සමග සිදුවූ විශ්‍රාම වැටුප් කප්පාදුව හා කාර්යක්ෂමතාවය සදහා වෙනමම වැඩපිලිවෙලක් ඉදිරිපත් නොකිරීම නිසා එය අසාර්ථක විය(සේවක අප්‍රසාදයටද ලක්විය).

සාර්ථක සහ ඵලදායී රාජ්‍ය සේවයක් ක්‍රියාත්මක වේ නම් මා ඉහත සදහන් කල ප්‍රතිශතයකින් සේවකයන් අඩුවීම අනිවාර්ය ප්‍රතිපලයක් වන අතර එය "ආණ්ඩු පවත්වාගෙන යාම සදහා රාජ්‍ය සේවයේ රැකියා ලබාදීම" යන කාරණය සමග ඝට්ටනය වීම අනිවාර්ය වේ. එබැවින් මෙය ප්‍රතිපත්තියක් ලෙස සකස් කලයුතු අතර ආණ්ඩු මාරුවුවද නොවෙනස් වියයුතුය.

24 comments:

  1. මෙය නම් ඉතා හොඳින් කියවා බැලිය යුතු ලිපියකි.

    ReplyDelete
  2. මෙහෙමයි ඔය රාජ්‍ය ආයතන අධික ලේස දේශපාලණීකරනය විමද..මිට එක් හෙතුවක්...මෙතෙන්දි කරුනු කිහිපයක් ගෙනහැර දක්වන්නට පුලුවන්..දෙශපාලනය තුලින් ආයතන වලට එන සමහරක් පුද්ගලයින්....දෙශපාලණික හයිය පෙන්වා වැඩ නොකර තමන්ගේ පොකැට් එක තරකරගනී...විරුද්ධ දේශපාලන මත දරන්නන්..පවතින රජයෙන් තමන්ට සහනයක් නැතැයි කියා රාජකාරිය..පැහැර හරි....
    මේ දෙපැත්තේන මිදි රාජකාරිය හරියට කරන්ඩ යැමේ....ඇමතිතුමන්ලාගේ අනිසි බලපැම් තුලින් පරිපාලනය අකාර්යක්ෂම වේ...මේතුලින් පද්දතියම බිඳ වැටේ...

    නිලධාරිවාදය....තවත් හේතුවකි....බලය විමද්‍ය ගත නොවිම...

    ReplyDelete
  3. Podi Kumarihami
    කියවල බලන්නකෝ....

    Raj
    උඹ කියන කතාව මතක් උනා මට පෝස්ට් එක ලියාගෙන යනකොට. ඒත් මෙතනදි ඔය කාරණාව අප්‍රධානයි කියල මට හිතෙන්නෙ. දේශපාලන ඇගිලිගැහීම් අපේ කාර්යාලෙටත් තියනවා. ඒත් ඒක කාර්යක්ෂමතාවයට බලපාන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ. මොකද දේශපාලකයො අපි ලගට එන්නෙ නීතියට පිටින් යම් යම් දේවල් කරගන්න. ඒ කියන්නෙ යම් කාර්යක් කරනකොට තියන පියවරවල් ගනන අඩුවෙන් ඒ වැ‍ඩේ කරගන්න. ඒක කාර්යක්ෂමතාවයට බලපෑමක් ඇතිවෙන්නෙ නෑ. හැබැයි නිලධාරීවාදයෙ නං සෑහෙන බලපෑමක් තියනව. ඒක වෙනම එකක්නේ.

    ReplyDelete
  4. හැම චන්දෙකටම පස්සෙ, ගොට්ට අල්ලපු කට්ටිය කෝච්චියට, බස් එකට, සමුපකාරේට, ඉස්පිරිතාලෙට ආදී මෙකී, නොකී, හැම රාජ්‍ය අංශෙටම තල්ලු කිරීම.

    ReplyDelete
  5. මම පොඩි එක් කිරීමක් කරන්නම්,
    1. සියළුම රාජ්‍ය ආයථනවල ක්‍රියාකාරීත්වය පරිගනක ගතකර, පුරවැසියාට හැකි හැම විටම කාර්‍යාලකරා ඒමෙන් වලකින ලෙස සැකසීම.
    2. දරුවන්ගේ අධ්‍යාපනයට රාජ්‍ය පාලනය එහි වැදගත්කම, පුරවැසියා වෙනුවෙන් සේවය කිරීමේ ඇති වටිනාකම, නිසි ලෙස රාජ්ය සේවකයෙක් වන්නේ කෙසේද වැනි කරුණු සම්බන්ධ පාසැල් සමයේම අධ්‍යාපනය ලබා දීම.
    3. රාජ්‍ය සේවයේ රැකියා සුදුස්සාටම ලැබෙන සේ රැකියා ලබා දීම විධිමත් කිරීම.
    4. පුද්ගලික අංශයද රාජ්‍ය අංශය තර්ම්ම වැදගත් බව පිලිගෙන රාජ්‍ය සහ පුද්ගලික යන දෙයන්ශයටම සේවකයන් සම සේ සැලකීම. සහ සම වරප්‍රසාධ ලැබීමට දෙයන්ශයේම ඇති අයිතිය රජයක් ලෙසම පිළිගැනීම.
    මේ කරුණුත් ඔබගේ කරුනු වලට එකතු වුනොත් මම හිතන්නේ වඩාත් කාර්යක්ෂම සේවයක් පුරවැසියාට ලබා දීම.

    ReplyDelete
  6. Observer
    ඒ ගැන නං කියල වැඩක් නෑ.මට මතකයි පහුගිය කාලෙ කිව්ව ලංගමේ බස් එකකට තාක්ෂණික පැත්තෙ සේවකයන් 6ක් ඉන්නව කියල.

    ReplyDelete
  7. වෙද ගෙදර මහ වෙදනා
    1. ඉදිරි ලිපියකින් ඒ ගැන ලියමි.
    2. හොද අදහසක් මට මතක් උනේ නෑ. මම කල්පනා කලේ කඩිනම් විසදුම්.
    3. අත්‍යවශ්‍යයෙන්ම කලයුත්තක් උවත් තව අවුරුදු සීයකටවත් ඉටුවේදැයි කිව නොහැක.
    4. පුද්ගලික අංශයේ සේවකයන්ට ලැබියයුතු වරප්‍රසාද දැනට ප්‍රමාණවත් නොවන බව මගේ හැගීමයි. විශේෂයෙන්ම අපේ පුද්ගලික අංශයේ රැකියාවල සුරක්ෂිත භාවයක් හෝ සේවකයන්ගේ අයිතිවාසිකම් පිලිබද සැලකිල්ල අවමයි. විශේෂයෙන් සමහරු රාජ්‍ය අංශයේම රැකියාවන් සොයා යන්නේ මේ හේතුව නිසාය.

    ReplyDelete
  8. මේක ගැන ලොකු සංවාදයක් ගොඩ නඟන්න ඕන . . එත් මට මේ දවස් ටිකේ ඊට සම්බන්ධ වෙන්න අපහසුයි . . කරගෙන යන්න මම නිවාඩු පාඩුවේ එන්නම් . .

    ReplyDelete
  9. දුකා
    හොදා හොදා..

    ReplyDelete
  10. උඹ කියන කරුණුත් සමග එකඟයි.
    රජයේ සේවකයෙක් විදියට වසර පහළොවක් විතර ගොඩක් තැන්වල වැඩ කරල ලබපු අවබෝධයෙන් මටත් කියන්න තියෙන්නෙ ඔය ටික තමයි.
    ඒත් මේක කාර්යක්ෂම කරන්නනම් කරන්න ඕනි පළවෙනි දේ තමයි රාජ්‍ය සේවය දේශපාලනීකරණය වෙලා තියෙන තත්වයෙන් ගොඩ ගැනීමයි. ඒක තමයි මේක අකාර්යක්ෂම වෙන්න හේතුව. හැම තැනකම දේශපාලන පත්වීම්. ඒ පත්වීම් ලබා ගෙන එන උදවිය වැඩ කරන්න කැමැති අය නෙවෙයි වැඩි හරියක්. තමන්ගෙ දේශපාලන බලය පෙන්වගෙන බොරු කර කර දේශපාලකයො වගේම බොරු වැඩකාරයෝ පිරිසක් මේ.
    ඉතින් එයාල කරන්නෙ තමන්ගෙ දේශපාලන නායකයටන්ට,පක්ෂයට අවශ්‍ය දේවල් වැරැදි ක්‍රමවේද හරහා ඉටුකරන්න දඟලන එකයි. මේක රාජ්‍ය ආයතන වල පිළිලයක් වගේ. උන් හැම රාජ්‍ය ආයතනයක්ම ගඳ ගස්සනව.
    අනෙක තමයි මේ රටේ දේශපාලකයන්ට ලැබිල තියෙන අසීමිත සිවිල් බලය. ඒ සිවිල් බලය හරහා ඔවුන් නිලධාරීන්ට වැරැදි පරිපාලන, කළමනාකරණ තීරණ ගන්න බල කරනව. ඉතින් අර අනෙක් රාජ් කියල තියෙන විදියට ඒක කාර්යක්ෂමතාවයට අදාල වෙන්නෙ නෑ. මොකද මිනිස්සු කියන්නෙ යන්ත්‍ර නෙවෙයි. ශරීර අස්සෙ හිතක් පපුවක් හෘද සාක්ෂියක් තියෙනව. ඉතින් පුද්ගලික අත්දැකීමෙන්ම මම දන්නව එහෙම තුට්ටු දෙකේ වැඩ කරන්න වුණාම ඇතිවෙන කළකිරීම, එපාවීම මොකුත් නොකර මග හැරැල පැනල යන්න හිතෙන මානසික තත්වයක් ඇති කරනව.
    අනෙක් එක තමයි ඔබ කිව් ලෙසම අනවශ්‍ය විදියට කාන්තා පාර්ශ්වය අධික වීම. ඒකට මම හේතු දැක්වීමට වඩා ඔබටම ඉදිරි ලිපියකින් හොඳන් පැහැදිලි කල හැකි බව මට තේරෙනව.
    ඊළඟ කරුණ තමයි අවශ්‍ය ප්‍රමාණයට වඩා රාජ්‍ය සේවකයින් බහුල වීම. ඒ තුළ මහ අවුල් ජාලයක් ඇති වෙලා තියෙනව. උදාහරණයකට කියනවනම් පහුගිය කාලෙ උපාධිධාරීන් 46000 කට පත්වීම් ලබා දුන්නත් ඒ සඳහා නිශ්චිත සේවා අවශ්‍යතාවයක් ගොඩක් ආයතන වල තිබුණෙ නෑ. ඒ වනවිටත් ලිපිකරුවන් විසින් ඉටු කරමින් සිටි කාර්යයන්ම තමයි අද වෙද්දි මේ අයත් කරන්නෙ. මොකද සුද්ද ඇති කරපු කාර්යාල පද්ධතියෙ අත්‍යාවශ්‍ය තනතුරු තමයි ස්ථාපිත කරල තිබුණෙ. කලාතුරකින් තමයි ඊට අමතරව යම් තනතුරක් ඇති කිරීමේ අවශ්‍යතාව පැන නැගුණෙ ඒ ඒ ආයතනයේ කාර්ය භාරය අනුව. ඉතින් නව රැකියා අවස්ථා ඇතිවන නිශ්පාදන ආයතන හෝ ව්‍යාපෘතීන් ඇති කිරීම වෙනුවට රජය කරන්නෙ පවතින රාජ්‍ය ආයතන වලට විවිධ නම් වලින් යුත් තනතුරු ඇති කරමින් කරන්න නිශ්චිත කාර්ය භාරයක් නැතත් පත්වීම් ලබා දීමයි. ඉතින් දැන් කට්ටිය වැඩි නිසා ඉස්සර තරම්වත් වැඩක් හරියට කෙරෙන්නෙ නැති වෙලා.
    ඊළඟ කාරණේ තමයි රාජ්‍ය අංශයේ මාණ්ඩලික ශ්‍රේණීන් වලට විවෘත තරඟ විභාග වලින් බඳවා ගන්නා නිලධාරීන්ට අත්දැකීම් එකතු වෙන පරිදි නිසි පුහුණු වැඩසටහනක් නොමැති කමයි. අත්දැකීමෙන් පහළ රාජ්‍ය සේවකයින් දන්නව ඒ අය එක්ක පවතින නීති, රෙගුලාසි යටතේ වුණත් වැඩ කිරීමට ඇති අපහසුතාවය. හේතුව ඔවුන්ට ඒ දේවල් ගැන ගැඹුරු දැනීමක් නැති කමයි. තීරණ ගැනීමේ බලය පැවැරෙනන්නන්ට විෂය ගැන ඉහළම අවබෝධයක් තිබිය යුතුයි. ඒත් ගොඩක් වෙලාවට මාස හයක පුහුණුවක් ලෙස පැවැත්වෙන බයිල දේශණ ටිකකට සවන් දීම හැරුණු කොට නිසි ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමේ හැකියාව ඔවුන්ට ලැබෙන්නෙ නෑ. ඉතින් එවැනි නිලධාරීන්ව කෙළින්ම දේශපාලන ඉත්තන්ට අවශ්‍ය විදියට හසුරුවන්න හැකි වෙන්නෙ ඒ අත්දැකීම් රහිත බව සහ නොදැනුවත්බව නිසයි.
    ඔබ කිව්වට විශ්වාස කරන එකක් නෑ මා පුද්ගලික අත්දැකීමෙන්ම දන්නව රජයේ සේවයේ මූලික දේවල් වන නිවාඩු,වැටුප් තබා හරියට ලිපියක් වත් කෙටුම්පත් කරගන්න බැරි දෙපාර්තමේන්තු ප්‍රධානීන්, උප ප්‍රධානීන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වරුන්. ඔවුන්ගේ මේ අත්‍යාවශ්‍යම දේවල් ගැන දැනීමක් නෑ. ඔවුන් තනතුරේ බලය පාවිච්චි කරන්න හදනව මිසක් ඒ නොදන්නා දේවල් ඉගෙන ගන්න උත්සාහ කරන්නෙත් නෑ. මේ අය ගොඩක් උගත් උදවිය තමයි. එයාල දක්ෂ වෙන්නත් ඇති විශ්ව විද්‍යාලයේ හෝ ඊට පස්සෙ ඉගෙන ගත්ත විෂයන් වලට. ඒත් රාජ්‍ය අංශයට ඒ විෂයන් වලට දක්වන දක්ෂතාවය වැඩක් වෙන්නෙ නෑ. ඉතින් මේ දේවල් වලට මීට වඩා විශාල ගැඹුරක් ඇතිව බඳවාගැනීම් කරන්න ඕනි. ප්‍රධාන දේ තමයි ප්‍රායෝගික අත්දැකීම් සහිත වසර කිහිපයක පුහුණුවක් තිබිය යුතුයි. ඒ පුහුණුව නිකම්ම බාහිරව නිරීක්ෂණය කිරීමක් නොවී කෙළින්ම රාජකාරී ඉටුකිරීමෙන්ම සිද්ධ වෙන්න ඕනි.

    ඇත්තෙන්ම මේව බොක්කෙන්ම කතා කළොත් තමා නියෝජනය කරන පාර්ශ්වය ගැන කියවෙද්දි කාට වුණත් හිත රිදෙයි. ඒත් ඇත්ත තත්වය ඕකයි.
    ඉතින් අදට ඇති.

    නිමන්ත.

    ReplyDelete
  11. මා නම් ලොකු දේවල් දන්නේ නැහැ. කෙටියෙන් කිවහොත් රජයේ සේවකයන්ට නය නොවී මාසයක් ගෙවීමට හැකි තරමේ වැටුපක් ලැබිය යුතුය.විශේෂයෙන් පොලිස් නිලදාරීන් ගතහොත් ඔව්නට ලැබෙන්නේ සාපේක්ෂකව අඩු වැටුපකි.එසේම රැකියාවේ විවේකයද සාපේක්ෂව අඩුය. විශේෂ රාජකාරී සඳහා දුර ප්‍රදේශ වලට ගිය විට තම වියදමින් ආහාර පාන ලබාගතයුතුය.එසේම හොඳ සේවාවක් ලබාගැනීමට නම් සියලු සේවකයන්ට යහපත් කාර්යක්ෂම ප්‍රවාහන පහසුකම් ලැබිය යුතුය.යහපත් රාජ්‍ය සේවකයෙකු බිහිවන්නේ තෘප්තිමත් මිනිසෙකුගෙන් මිස කලකිරුණු අහේනි කාරයෙකුගෙන් නොවේ.ජරාව කන පොලිස් නිලදරියෙකුගේ ජීවිතය පිටුපස බොහෝවිට දුක්බර කතාවක් තිබීමට හැකිය.ඔහුගේ මුහුණේ ඇති ලැජ්ජා සහගත පෙනුම ඔබ සමහරවිට දැක ඇත.

    ReplyDelete
  12. නිමන්ත.
    ඔබේ දීර්ඝ අදහස් දැක්වීම මට ශක්තියකි. සදහන් කරුණු අතර වන කාන්තා සේවකයන් අධිකවීම මේ වනවිටද යම් ප්‍රශ්නකාරී මට්ටමකට පත්ව ඇත. උදාහරණයක් ලෙස මාගේ දිස්ත්‍රික්කයේ පිරිමි නිලධාරීන් නිවසෙන් බොහෝ දුර ස්ථානවල සේවය කරන්නේ සෑම කාර්යාලයකටම ඔවුන් බෙදා බැලන්ස් කිරීමට සිදුව ඇති බැවිනි.
    උපාධිධාරී වැඩසටහන සම්බන්ධයෙන්ද තත්වය මෙයම වේ. එම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ රැකියා අපේක්ෂිතයන්ගේ අවශ්‍යතා සලකා මිස කාර්යාලීය අවශ්‍යතා සලකා බලා නොවේ. අන්තිම ප්‍රථිපලය රජයට බරක් වන සේවක පිරිසක් ඇතිවීම පමණි.
    අන්තිම වශයෙන් සදහන් කල යුත්තේ සියළු වර්ගයේ තනතුරු වලට බදවාගන්නා තරග විභාගවල විනිවිද භාවයක් නැත යන්නයි.

    ReplyDelete
  13. Anonymous December 8, 2011 1:10 AM
    සාධාරණ වැටුපක් ලැබියයුතුය යන්න අවිවාදිතය. කෙසේ වුවද සේවක අතිරික්තය ඊට බාධාවකි.
    //යහපත් රාජ්‍ය සේවකයෙකු බිහිවන්නේ තෘප්තිමත් මිනිසෙකුගෙන් මිස කලකිරුණු අහේනි කාරයෙකුගෙන් නොවේ.//
    100% සත්‍යය. සාර්ථකත්වයට යන මාවත එලිපෙහෙලි කරගතයුතුය.

    ReplyDelete
  14. දැන් ගොඩක් රාජ්‍ය අංශයට යන්නේ කප්පමටනේ, මොකුත්ම දන්නේ නැති හරක් සමහර තැන වල ඉන්නේ, නැත්තන් දේශපාලකයින්ගේ හෙන්චයියෝ.. උන ඉතින් කරන්නේ පින් පඩි ගන්න එක තමයි.

    ReplyDelete
  15. ලිපියේ කරුණු ගැන විවාදයක් නෑ.... මම හිතන්නෙ උඹ මුලින්ම කියල තියෙන පැරණි ක්‍රම අළුත් කරන්න පුළුවන්නම් සැලකිය යුතු කාර්යක්ෂමතාවයක් ලබාගන්න පුළුවන්. නමුත් ඒක කරන්න අමාරුයි. මොකද වෙනස්වීම කියන එක තරම් රාජ්‍ය සේවකයො බය දෙයක් තවත් නැති නිසා. මේ ගැන අත්දැකීම් සෑහෙන්න තියෙනව මට. නිසි පිලිවෙලක් (සිස්ටම් එකක්) නැතිකම සහ තියෙන එක යල් පැනපු එකක් වීම වගේම ඒ තියෙන එක ගැනත් නිසි දැණුමක් නැති වීම රාජ්‍ය සේවකයන්ගෙ තියෙන අඩුපාඩු. අනිත් කාරණය තමයි තමන් අම්බානක් දන්නව කියල හිතාගෙන ඉන්න එක. ඒක හින්දා ඒ අයට කවදාවත් ඉගෙනගන්න වෙන්නෙ නෑ...

    ReplyDelete
  16. රාජ්‍ය ආයතනවලට වැඩි පුරම රිංගන්නෙ ඇමතිලාට ගොට්ට අල්ලන අය..එහෙමත් නැත්තම් ආණ්ඩුවට කඩේ යන අය.. කම්මැලි කමට රැකියාව කරන නිසා කාර්යක්ෂමතාවයක් ගැන ඒ අය හිතන්නෙ නෑ...වැටුප් ගැන කියන්න මට නම් හිතෙන්නෙ නෑ..ඒත් අවුරුද්දකට සැරයක් එන බජට් එකකින් කීයක් හරි වැඩි වෙන්නෙත් රාජ්‍ය ආයතන වලට විතරයි... අනික ඔය වගේ ආයතනවල තරුණ ශ්‍රමිකයින් හරි හිඟයි...

    ReplyDelete
  17. චන්දේ ඉල්ලුවනං හරි..කොහොමහරි පාර්ලිමේන්තුවට පැනලා මේ ටික කරන්න..මොකද දැං ඉන්න උං මේවා කරන්නේ නෑ....

    ReplyDelete
  18. සුපර්බ්.. මේවා තමයි බොග් වලින් වෙන්න ඕන කාරිය. උඹ ඒකේ ඇතුලෙම ඉන්න නිසා උඹට තියෙන අවබෝධය වැඩියි. අපි ඉතින් පිටින් ඉඳලනේ අදහස් දක්වන්නේ. මම මේ ළඟදි උප්පැන්නේ කොපියක් ගන්න ගියා කොළඹ කච්චේරියට විනාඩි 10 ‍යි. සේවය විශිෂ්ඨයි. සුහදශීලී මනුස්සයෙක් වැඩේ කරන්නේ. ඇත්තටම අගය කරන්න ඕන. ඒ වගේ සේවකයෝ ඇගයිමට ලක් කරන්න ඕන. රාජ්‍ය සේවය හොඳ තත්වෙකට ගේන්න නම් මොළ සුද්ද කරන්නම වෙනවා..

    ReplyDelete
  19. hare :-)
    //නමුත් ඒක කරන්න අමාරුයි. මොකද වෙනස්වීම කියන එක තරම් රාජ්‍ය සේවකයො බය දෙයක් තවත් නැති නිසා. //
    මෙන්න මේ ටිකට උත්තරේ මගේ වැඩපිළිවෙලේ තියෙන්නෙ මෙතන,
    //නිලධාරියෙකු විශ්‍රාම ලබන විට ඔහුගේ ඒකක ප්‍රමාණය කැමැත්තෙන් භාරගන්නා අයවළුන්ට ඒකකයකට හිමි යම් මුදලක් ලබාදියයුතුය.//
    මේ දීමනාව ගන්න කවුරුවත් අකමැතිවෙයි කියල මම හිතන්නෙ නෑ.

    දිල්
    තරුණ අය හිගකම ප්‍රශ්නයක් තමයි. ඒත් එන තරුණ අයට වෙනදේ තමයි මම මුලින් කිවුවෙ. තවත් කාරණයක් තියනව. ඔය ලිපිකරු විභාගෙ ලියන්න පුළුවන් සුළු සේවයේ අවුරුදු ගනනක් හිටියම. දැන් ලිපිකරු සේවයට එනව බාගෙට බාගයක් ඒ අය. එයාලගෙ කාර්යක්ෂමතාවයේත් ගැටළු තියනව. මොකද හොදට තෙම්පරාදු වෙලා එන අයනේ.

    ඔබ නොදු‍ටු ලොවක්
    නෑ බං. මම එතෙන්ට ගියාමත් වෙන්නෙ අලුතෙන් වැඩට ආපු මණුස්සයෙකුට වෙනදේ තමයි. අනිත්වුන්ගෙ ගානට වැටෙයිද දන්නෑ.

    මාතලන්
    මම කොළඹ ඉන්න කාලෙ ඔය උප්පැන්න වැඩසටහන ආවෙ. ඒක නිසා රස්තියාදුව ගොඩක් අඩුවෙලා තියනවා. ඔය ක්‍රමය අනිත් පළාත්වල ක්‍රියාත්මක නොවීම කනගාටුවට කරුණක්. හිටපු කොළඹ දිසාපති ඒ.ජේ. සිල්වෙස්ටර් මහත්තය බයනැතුව වැඩේට අතගැහු නිසා තමයි ඔය ව්‍යාපෘතිය කොළඹට ආවෙ.

    ReplyDelete
  20. කොයිතරම් මහන්සිවෙලා සේවය කරනවා නිකරුනේ කාලය කාලා දානේ නෑ. මිනිස්සුන්ව රස්තියාදු කරවන්නේ නෑ කියලා වැඩට ආවත් ටික කාලයක් යනකොට ඒකාත් අර ගොඩටම වැටෙනවා. ඔපිස් එකේ තනියෙන් ම උඩුගම් බලා පීනන්න බෑනේ.

    මම ලඟදි දැක්කා 57න් බලෙන් විශ්‍රාම යවන්න එපා කියලා කෑ ගහනවා. එතකොට කොහොමද විශ්ව විද්‍යාල වලින් එලියට එන අයට රස්සා ලැබෙන්නේ ?

    ReplyDelete
  21. කතාව ඇත්ත බැව් හැගුනේ තැනින් තැන කියවූ නිසාය. කතාව දිගය. කරැණු සියල්ල වැදගත් බැවි හැගේ.

    සෑමාගේ අදහස- කොතරම් කාර්්‍යය ශූර දක්ෂ අයෙකු වුවද රාජ්‍යය සේවයට ගිය කල ඔහු මන්ද ගාමී වීමට කරැණ සොයා බැලිය යුත්තේමය. හුදෙක් සියල්ලම මන්ද ගාමීව කටයුතු කරන විට කාර්්‍යය ශූර පුද්ගලයා පවා එම ආරට හැ‍ඩ ගැසේ. ඒ උඩුගම් බලා පිහිනීම නිෂ්ඵල නිසා විය යුතුය.

    තමන්ගේ කාර්්‍යයට අමතර කිසිදු කාර්්‍යයක් නොකිරීම තවත් හේතුවක් ලෙස දකිමි.

    විසදුම- නිවැරදිව වැඩ නොකලොත් තමාව රැකියාවෙන් ඉවත් කරයි යැයි හැගීම නැති දේශපාලන බලයෙන් රජයේ රැකියා ලබන අයවලුන් ඉවත් කල යුතුමය.

    රාජ් මහත්තයා ඔබට ජය.. !

    ReplyDelete
  22. මධුරංග
    හොදින් වැඩ කරන්න පුළුවන් කෙනෙක් නං 57න් පස්සෙ තියාගත්තත් කමක් නෑ. වැඩ නොකරන අය නං එලවන්න ඕන.

    sAm (සෑම්)
    //තමන්ගේ කාර්්‍යයට අමතර කිසිදු කාර්්‍යයක් නොකිරීම තවත් හේතුවක් ලෙස දකිමි//
    සෑම් හරි. මේකත් ප්‍රශ්නයක් තමයි. නිවාඩුවක් ගන්න කොට "ඇක්ටින්" අත්සන් කලාට කවුරුවත් අනෙකා වෙනුවට වැඩ කරන්නෙ නෑ. සෑම්ටත් ජය!

    ReplyDelete
  23. මම අදයි මේ පැත්තට ආවේ. අදයි දන්නේ රාජ් ලා දෙන්නයි කියලා.

    ReplyDelete
  24. මගේ හිතේ තාක්ෂණික නෙමේ පරිපාලන පැත්තේ වෙන්න ඕනේ

    ReplyDelete