Saturday, March 30, 2013
මේව දැකල පන පලයං ලබන පෙරේදා......!
හිරුනිකා පේමචන්දර පොඩි නෝනා
උසාවියට ඇඳගෙන ආ හැටි හරි නෑ
නඩු බලාපු හාමුදුරුවො කිව් පුවත අසා
කියවෙනවා මේවගෙ කයි පද අපට
එනසිය ගානක් අමනයො එකතු වෙලා
නීතියෙ ලොකු නෝන දූසනෙ කෙරුව රටේ
සිනිඳු සේල අස්සේ ඇති නාරිලතා
දැක්කට ක්ෂණික මෝචනෙ හොඳ නෑ අයියෝ!
මේකත් බලන්ට වටිනව,
හිරුණිකාගේ උසාවි ඇඳුම
-අරුණි ෂපිරෝ.
Thursday, March 28, 2013
ක්‍රිකට් වාර්තා සහ ක්‍රිකට් කතා.
බංගලිදේශයයි ලංකාවයි අතරෙ පළවෙනි එක්දින තරගය අතරෙ 'විචාරකයන්ගෙ' කතා අහල තමයි මේක ලියන්න හිතුනෙ. මේ ඒ තරගයේදි පිහිටවූ 'වාර්තා'!
1.ඇන්ජලෝ මැතිව්ස් ස්ථිර නායකය වෙලා මෙහෙයවපු පළමුවෙනි එක්දින තරගය තමයි මේක.
2.එයා කාසියේ වාසියත් දිනුව නෙව. ඒ කියන්නෙ පළමුවෙනි තරගයේදිම කාසියේ වාසිය දිනුව නායකය මැතිව්ස්? ඒක වෙන්න පුළුවන්ද? එතකොට ලෝකයේම පලවෙනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනුව කෙනාට නේද ඒක අයිති වෙන්න ඕන? වොරි වෙන්න එපා, සූරියවැවේදි කාසියේ වාසිය දිනුව නායකයා මැතිව්ස්. ඒක කඩන්න බෑ මං හිතන්නෙ. එහෙමත් කෙනෙක් ඉන්නව නං අන්තිම තුරුම්පුව ගහනව. 3349 වෙනි එක්දින තරගයේදි කාසියේ වාසිය දිනුව නායකය මැතිව්ස්. ඒකනං කඩන්න බෑ පුතෝ සක්කරයටවත්!
3.ආරම්භක පිතිකරුව වෙච්ච තමීම් ඉක්බාල් ශතකයක් ගැහුව. ලංකාවට ලංකාවෙදි ශතකයක් ගහපු පළවෙනි බංගලිය එයා. ඒක වාර්තාවක්. එච්චරද? නෑ! එයා අවුට් වෙලා තියෙන්නෙ දුවද්දි. ඒ කියන්නෙ ලංකාවට එරෙහිව ශතකයක් ගහල දුවද්දි දැවීගිය පළවෙනි බංගලියත් ඌ තමයි.
4.ලංකාව බැට් කරන්න යද්දි පවර්කට් එකක් උනා. ඒ නිසා සෑහෙන වෙලාවක් නවත්තන්නත් උනා. ඒකත් වාර්තාවක්.
5.සූරියවැවේදි එලවල ගිහිල්ල ගහපු වැඩිම ලකුණු ගනන තමයි මේක. ඒක ප්‍රධාන රෙකෝඩ් එක වෙනකොට අතුරු රෙකෝඩ් තමයි, සූරියවැවේදි බංගලිදේශයට එරෙහිව හඹාගොස් ජයග්‍රහනය කල වැඩිම ලකුණු සහිත තරගය, සූරියවැවේදි ලංකාව හඹාගොස් ජයගත් වැඩිම ලකුණු සහිත තරගය.
තව රෙකෝඩ් දෙන්න පුළුවන් ඕන තරම්.
ක්‍රිකට් ගැන කියනකොට මම ආසම කෑල්ල තමයි විශේඥ විස්තර විචාරය. ක්‍රිකට්වල ලේසිම කොටස තමයි ඒක මං හිතන්නෙ. ඔන්න ප්‍රධාන නිවේදකය අහනව මෙහෙම,
"අපි දැක්ක විසි එක්වෙනි පන්දුවාරයේදි මොහොමඩ් අෂ්රාෆුල් දුන්න උඩපන්දුව කඩුළු රකින්නා අතින් ගිලිහී යනව, ඒ වෙනකොට ඔහු ලබා සිටියේ ගකුණු හතක් පමණයි, ඉන් පසු ඔහු දිගට හරහට පහර දුන්න, මේක නේද ශ්‍රී ලංකා කන්ඩායමේ පසුබෑමට හේතුවුනේ" ඉතිං අපිට කියන්න තියෙන්නෙ "ඔව්" කියල විතරයි. විශේඥ විස්තර විචාරකයෙක් වෙනඑක මගෙත් හීනයක්.
පහුගිය දවස්වල පකිස්තාන් කණ්ඩායමට එකතුවුනා අලුත් වේග පන්දු යවන්නෙක්. නම මොහොමඩ් ඉර්ෆාන්. මෙතෙක් ඉතිහාසයේ බිහිවූ උසම පන්දු යවන්නා තමයි ඔහු. උස අඩි හතයි අඟල් එකයි. පන්දු යවනකොට බලන්න ලස්සනයි. දකුණු අප්‍රිකාවට එරෙහිව පවත්වපු හතරවෙනි එක්දින තරගයේදි මොහොමඩ් ඉර්ෆාන් එක්ක ආරම්භක පන්දු යවන්න ආවෙ ජුනයිඩ් ඛාන්. එයාගෙ උස අඩි හයයි අඟල් එකයි. අන්න ඒවගේව නං නියම වාර්තා. තරගාවලිය අවසානයේ හොඳම පන්දු යවන්නා උනෙත් මොහොමඩ් ඉර්ෆාන්.
Wednesday, March 27, 2013
කතා තුනක කතාවක්.
පහුගිය දවසක අපේ පැත්තෙ වෙච්ච සිද්ධියක් නිසා සති දෙකතුනක් පැරණි කතා දෙකතුනක් මතක් උනා.
එක
“ශීල නැන්ද” කියන්නෙ අපේ පැත්තෙ ඉන්න වයස හැටක විතර කෙනෙක්. [ශීල ඇන්ටි නෙවේ හරිය]. ඉඩකඩම් වතුපිටි මොකුත් නැති මෙයා ජීවත්වුනේ ගේ ඉස්සරහ දාගත්ත කඩකෑල්ලෙන් ලැබුන කීයක්හරි මුදලකටත් වඩා, මාසෙකට සීයට දහයෙ පොලියට සල්ලි දීමෙන්. කසාද බැඳපු මනුස්සයගෙනුත් පවුලට එච්චර සහයෝගයක් තිබුනෙ නෑ. ශීල නැන්දට හිටිය ටිකක් ඇහැට කණට පේන දෝනියැන්ද කෙනෙක්. තාම බැඳලත් නෑ. පහුගිය දවසක ශීල නැන්දගෙන් පොලියට සල්ලි අරගෙන ගෙවන්න ටිකක් හොර වෙච්ච ප්‍රියන්ත කියන හාදය කඩේට ආව. ටිකක් අමාරුකාරයෙක් වෙච්ච මේ හාදය ආවෙත් ටිකක් විතර සූර්පිට. දුවත් ඉඳපු මේ වෙලාවෙ ශීල නැන්ද ප්‍රියන්තයට ලෙඩේ ඇද්ද. මෑනුත් කටගහගෙන ගියා. අන්තිමට සිද්ධවුනේ වලිය ශේප් කරන්න මැද්දට පැන්න හේමසිරි අංකල්ටත් [මෙයා මාම නෙවේ!] දෙකක් නෙළල දාල කඩේ තිබුන ටොපි බෝතල් දෙකකුත් පොලවේ ගහල ප්‍රියන්තය ගිය එකයි.
ඊට පස්සෙ තමයි කේස්එක පටන් ගත්තෙ. අංකල්ගෙ කීම අහන්නෙත් නැතුව ශීල නැන්ද දැම්ම පොලීසියෙ පැමිණිල්ලක්. අංකල්ට ගහල ටොපි බෝතල් පොලවෙ ගැහුවට විතරක් නෙවේ, බීමතින් කඩේට ඇවිල්ල දුවගෙ හිරිඔතප් තියන තැනකිනුත් ඇල්ලුව කියල! අනේ ප්‍රියන්තයට වෙච්ච දේ ශෝක ජනකයි. අල්ලන්න ලොකු අත්තක් නැති ඌ, පොලිසියෙන් අල්ලගෙන ගිහිල්ල නොසෑහෙන්න ගැහුව. කේස් එක ගෙනියන්න ශීල නැන්ද අකමැතිවුන නිසා පස්සෙ අත්හැරිය. කොහොම උනත් චන්ඩිකමට නොසෑහෙන තරමට ගුටිකන්න උනා.
දෙක.
දෙවනි සිද්ධිය උනේ ටික කාලෙකට කලින්. මේ වගේ දේවල් හැම තැනම සිද්ධ වෙනව. සිංහල අවුරුද්දක් දවසක ගමේ හිටිය පියල් අයිය වලියක් දාගත්ත මද්දු මාමත් එක්ක. මෙතනදිත් දුර්වලය තමයි මද්දු මාම. මෑන් පියල් අයියට වැඩිය වයසයි. හැබැයි සල්ලි භාගෙ තියන මනුස්සය. ඒ මදිවට පොලීසියෙ මහත්තුරු එක්කත් සැට් වෙනව මාසෙකට විතර සැරයක්. සැට් වෙනව කියන්නෙ ඉතිං මද්දු මාම ගානෙ පොලිසිය බොනව. හරි දැං කතාව. කේස් එක හරියට මතක නැතත් මද්දුමාම පියල් අයියගෙන් පාරක් දෙකක් කෑව. වැදගත් විදියට ජීවත් උන මද්දු මාමගෙ ඇඟපතේ අමාරුවට වඩා වැඩිවුනේ හිතේ අමාරුව. මෑන් කෙලින්ම පොලිසියෙ පැමිණිල්ලක් දැම්ම, ‘පහරදීම සහ කරේ තිබුන පවුම් කීයක්ද වටින රන් දම්වැල කඩාගැනීම’ යටතේ. පියල්ට අත්උනෙත් ප්‍රි යන්තගෙ ඉරණමම තමයි.
තුන
පාසිකුඩා වැල්ලෙදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයගෙ පුතා නියෝජ්‍ය පොලිස්පති කෙනෙකුගෙ පුතෙකුට නෙළනව. යන යකා කොරහත් බිඳගෙන යන්නැහේ ගුටිකෑව පොලිස් පුතා කරන්නෙ 'අඩෝ මම අනාගත අගමැතිතුමාගෙ පුතා' කියල ඇමති පුතා තමුන්ට ගැහුව කියල කියන එකයි. ඉතිං ඇමතිතුමා පත්වෙච්ච අභාග්‍යසම්පන්න තත්වෙ පහුගිය දවස්වල අපි දැක්ක නෙව. අන්තිමට තමන්ට මරණ තර්ජන-කුමන්ත්‍රණ තියනව කියලත් බොරු කියන්න උනා උන්නැහේට.[කුමන්ත්‍රණයක් තිබුනනං ඒකෙ මූලිකය තමුන්ගෙ පුතා කියල තේරුම්ගන්න තරම් විචාර බුද්ධියක් එතුමාට තිබුනෙ නෑ නොවැ!] මේකෙ තියෙන්නෙත් උඩ කිව්ව කතා දෙකේ වගේම සිද්ධියක් තමයි.
මේ ලෝකෙ සියළුම දේවල් හැදිල තියෙන්නෙ හයිය ඇති එකාගෙ ආරක්ෂාවටයි කියල හිතුවට ඒක වැරදියි. තිත්තයටත් වාරයක් එනවමයි. පළමු කතාවෙදි ඇඟේ හයිය තිබුන ප්‍රියන්තයට පළදුන්න වගේම දෙවනි කතාවෙදි පියල්ට ඒක සිදුවුනා. තුන්වෙනි කතාවෙදි මෛත්‍රීපාල මහත්තයගෙ 'අගමැති හීනෙං' කෑල්ලක් කඩාගන්න පොලිස්පුතා සමත්වුනා.
ප.ලි. කාටහරි කියන්න පුළුවන්ද පෝස්ට් එකට පිංතූරයක් දානකොට ඒක 'වමට', 'දකුණට', 'මැදට' ගන්න විදිය? ඉස්සෙල්ල නං පින්තූරය අප්ලෝඩ් කරද්දි ඔප්ෂන් එකක් තිබුන මේකට. දැං නෑ!
ප.ප.ලි. වැඩේ හරි :-)
Friday, March 22, 2013
ජිනීවා (පරා)ජය මට පේනහැටි!
මේසැරෙත් පරාදයි නේද?
හ්ම්. නූලෙං ගියා.
නූලෙන්? අච්චර ගානකිං පැරදිල?
මෙහෙමයිනේ,.... අපිට විරුද්ධව තිබුනෙ ඡන්ද විසිපහයි. අපිට තිබුන දහතුනක්. අටක් නියුට්‍රල්. ඒ කියන්නෙ තව දෙකක් එහෙමෙහෙ උනානං අපිටත් කියන්න තිබුන තිස්ස අත්තනායක මහත්තය මැතිවරණයකට පස්සෙ කියන්න වගේ ඇමරිකාව පරාදයි කියල.
හරි දැං එහෙම උනේ නෑනේ? දැං මොකද කියන්නෙ?
දැං ඉතිං කියන්න තියෙන්නෙ ටිල්වින් සහෝදරය කියන්න වගේ අපිට ලැබුනෙ පිරිසිදු ඡන්ද ටිකක් කියල තමයි.
හරි. දැං කතාකරමු අපිට පක්ෂව සහ විරුද්ධව හිටිය කට්ටිය ගැනත් නියුට්‍රල් කට්ටිය ගැනත්.
කියන්න තරම් දෙයක් නෑ. විරුද්ධ උදවිය අපි එක්ක එහෙමකට තරහක් නෑ වගේම අපිට පක්ෂ උදවියගෙත් අමුතු සුජාතභාවයක් දකින්න ඕන නෑ. උදාහරණයක් විදියට මුස්ලිම් රටවල් වලට පුළුවන්ද අපේ මානව හිමිකම් ගැන විරුද්ධ වෙන්න?
ඉන්දියාව?
ඒ ගොල්ලට වෙලා තියෙන්නෙ අල්ලපුගෙදර කේස් නිසා තමන්ගෙ පවුල කඩාගන්නෙ නැතිව ඉන්නඑකයි.
ඉස්සරහට මොනව වේවිද? ලංකාවට ප්‍රශ්නයක් වෙයිද?
බම්බුව තමයි! මොකුත් වෙන්නෙ නෑ. ඔය යන විදියටම යයි. අපිට තමයි කෙලවුනේ.
ඒ කිව්වෙ? මොකුත් බලපෑමක් නැත්තං අපිට කෙලවෙනව කියන්නෙ?
මෙහෙමයිනේ....... අපි පොඩිකාලෙ තාත්ත අපිට ගහනව. එතකොට තාත්තත් ටිකක් තරහින් තමයි ඉන්නෙ. අපිත් තාත්තට හිතෙන් බනිනව. තාත්ත එක්ක තරහත් එනව. ඒත් තාත්තගෙන් ගුටිකෑම නිසා වාසියක් මිසක් අවාසියක් වෙන්නෙ නෑ අනාගතේ ගැන හිතුවම.
ඉතිං?
මේකත් ඒ වගේ කේස් එකක් තමයි. ආණ්ඩුවට තමයි වාසිය.
ඒ කියන්නෙ?
ඔහේට තේරෙන්නෙ නැද්ද දැං ජනාධිපතිතුමාට පුළුවන් විමල් සහොඇමතිතුමාගෙ කටේ යතුර කරකවන්න. එතකොට හෙළරුවන් සෙට්එකයි, අමරසේකර දොස්තර මහත්තයයි-නලින් සර් ඇතුළු සෙට් එකයි කොහොමටත් ඔටෝ ෆෝම් වෙනවනේ. ඉතිං අධිරාජ්‍යවාදීන් පතුරු ගහන්න තව අවුරුද්දක වරමක් මේ ලැබිල තියෙන්නෙ.
අනේ දෙයියනේ අපි ගැන බලාගන්නෙ කවුද!
Friday, March 8, 2013
යන්තර මන්තර හිනා කතා!
ලාංකිකයො කියන්නෙ යන්ත්‍ර-මන්ත්‍ර බලි තොවිල්ද කෙම් ද ජෝතිෂේද අරවද මේවද පාවිච්චි කරන ජාතියක්නේ. ඔය ඔක්කොම කරන්නෙ වැරදුනාම තමයි. ඒ ගැන පර්යේෂණ රිපෝට් එකක් එලියට දාන්න නෙවේ මේ හදන්නෙ, දන්න කියන සීන් දෙකතුනක් කියන්න.
ඒ කාලෙ මගේ යාළුවෙක් තමයි ජනක කියන්නෙ. ඒ කාලෙ කිව්වෙ මම 7-8 වසරෙ ඉන්න කාලෙ. ඔන්න ජනකට හැදුන ටිකක් උහුලගන්න අමාරු දත් කැක්කුමක්. ඔය වයසෙදි ඉතිං දතක් ගලවල දාන එකත් අපරාදයක්නේ. උංගෙ අම්ම ඌ එක්කරගෙන ගියා වයසක ගෑණු පරාණයක් ලඟට. මන්තර බලෙන් දතේ අමාරුව හොඳ කරගන්න. සීනි කිලෝවක් තේකොල පැකට් එකක් එහෙම අරගෙන ගියේ. ආගිය කතා වලින් පස්සෙ ගේ ඇතුලට ගිය මන්තරකාර ආච්චි වතුර වීදුරුවකට මතුරමින් එලියට ආව. තවත් ටිකක් වෙලා මතුරල වතුරඑක බොන්න කිව්ව. ලොකු වතුර වීදුරුවෙන් බාගයක් විතර බිව්වම වීදුරුව පතුලේ මොකද්දෝ යමක් තියනව උගෙ අම්ම දැක්කලු. අතට අරගෙන බැලුවම ආච්චිගෙ බොරු දත් දෙකක්ලු!
වරු තුනක් එන්න කිව්වත් මැතිරිල්ල එතනින් නැවතුනා. අපේ තාත්තත් ඔය යන්ත්‍ර මන්ත්‍ර වැඩ දැනගෙන හිටිය ඒ කාලෙ. තාත්තට කියල තමයි ඉතිරි වරු දෙක ගොඩදාගත්තෙ.
☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻
මන්තර ගැන කිව්ව වගේ කෙම් කතාවක් මේ.
දැකල ඇති නේද ගෙදරට බල්ලො බලල්ලු කලවැද්දො වගේ සතුන් එනවට ගෙදර ඉස්සරහ නිල් වතුර බෝතල් දෙකක් තියන සීන්එක. සාමාන්‍යයෙන් ගේට්ටු කණු දෙක ලඟ තමයි මේක තියන්නෙ. ඒකෙන් අදහස් වෙන්නෙ ඒ මැද්දෙන් අදාල සතාට එන්න බෑ කියන එකයි.
මගේ යාළුවෙක් වෙච්ච ලකීගෙ තාත්ත එයාලගෙ ගෙදර ඉස්සරහ තියල තියනව නිල් වතුර බෝතලයක්. සාමාන්‍යයෙන් වතුර බෝතල් දෙකක් තිවුවත් ලකීගෙ තාත්ත එකයි තියල තියෙන්නෙ. අපි කට්ටියක් ලකීගෙ ගෙදර සෙට්වෙච්ච දවසක මේ ගැන වාදයක් ඇතිවුනා.
"ඕක තේරුමක් නෑ අංකල්, එක බෝතලයක් තිව්වට බල්ලො නවත්තන්න බෑ. දෙකක් තියෙන්න ඕන" එකෙක් කියපු කතාවට මං විරුද්ධ උනා.
"නෑ එකක් තියනඑක තමයි හරි"
"ඒ කොහොමද?"
"මෙහෙමයිනෙ, බෝතල දෙකක් තියනව කියන්නෙ ඒ අතරින් එන සත්තුන්ට කරන බාධාවක්නේ. ඒ නිසා උං ගේට්ටු වෙන් එන්නෙ නැති එක ඇත්ත. ඒත් උන්ට මේ වැටෙන් රිංගන්න බැරිකමක් නෑනේ"
"ඉතිං"
"බෝතල් දෙක අතර දුර ශූන්‍ය කරා ලඟා කලාම ඒකෙන් අදහස් වෙන්නෙ මුළු ඉඩම වටේටම ආරක්ෂාව තියනව කියල තමයි"(මේක තේරෙන්නෙ ගනංකාරයන්ට) මේ කතාව අහපු තාත්ත,
"හරි දැං ඔය කතාවම බල්ලො දන්නවද"
☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻
අපි කෙම් ක්‍රම ගැන කතාවෙච්ච දවසක රවි අයිය කියල දුන්න අපූරු කෙම් ක්‍රමයක්.
"මල්ලී කෙමක් තියනව ළමයි හම්බවෙන්නෙ නැති ගෑණුන්ට ළමයි ලැබෙන්න"
"ඒ මොකද්ද?" අපි ඇහුව.
"බූරු ඇඳක් හදල ඒක මිදුලෙ තියල ළමයි නැති ගෑණි රෑට ඒකෙ නිදිකලාම හරි. ගේට්ටුව ඇරල තියන්නත් ඕන, රෑට සද්ද බද්ද ඇහුනට දොර අරින්න ඔට්ටුත් නෑ. ඔහොම සතියක් දෙකක් ගියාම හරි"
☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻
මේක සත්‍යම කතාවක්. සම්බන්ධ වෙන්නෙත් ලේසිපාසු පුතෙක් නෙවේ. ඔය මාතලන්ලගෙ සෑමලගෙ පැත්තෙ පුවත් මවන ආන්දෝලනාත්මක දේශපාලන චරිතයක්.(නම කියන්නෙ නෑ, මුල් ගම අපේ ප්‍රාන්තෙ). මේ තැනැත්ත ඒ කාලෙ දේශපාලනය කලේ නෑ. මේ කියන්නෙ අසූ ගනංවල මුල, එහෙම නැත්තං හැත්ත ගනං වල අග.(කතාව කිව්ව මගේ සමීපතමයට කාලය හරියට මතක නෑ). මගේ සමීපතමය කිව්ව තැනැත්තගෙ ලොරියක මේ හාදය ගිහිං තියනව ටික දවසක්. ලොරිය යන්නෙ හම්බන්තොට එක්තරා ප්‍රදේශයක ඉඳල නැගෙනහිර පැත්තට. පොල්, පොල්අතු වගේ දේවල් තමයි ගෙනියන්නෙ. ඔයවගේ දවසක කතරගමදි තේ බොන්න ලොරිය නවත්තල තියනව. ලොරියේ ඩ්‍රයිවර් ටිකක් නාහෙට නාහන හාදය. ලොරියෙ ඉඳල තියනව ගෝලයෙකුත්. (ඒ කියන්නෙ ඔක්කොම 4දෙනෙක්). මේ වෙලාවෙ ඩ්‍රයිවර් මොකක්දෝ කේස් එකකට ගෝලයට ගැහුව. ගෝලය මේ සිද්ධිය රාලහාමිල දෙන්නෙකුට කිව්ව. රාලහාමිල කලේ ඩ්‍රයිවර් කුදලගෙන ගිහිල්ල කූඩු කල එකයි. දැන් ලොරියේ අයිතිකාර මගේ ඥාතියට තමයි අවුල. කෝකටත් කියල ගියා කතරගම පොලිසියට තනියම නෙවේ අර ආන්දෝලනාත්මක හාදයත් එක්ක. යනකොට ඕ.අයි.සී මහත්තය ක්වාටර්ස් එකට ගිහිල්ල. ඒකත් ඒ කිට්ටුවමලු තිබුනෙ. ඒ ගමන දෙන්න එක්ක ක්වාටස් එකට ගිහිල්ල. ඒ වෙලාවෙදි ඕඅයිසී මහත්තය කොහේදෝ යන්න හදනව නෝනත් එක්ක. නෝන අඬනව කම්මුල අල්ලගෙන. නරියෙකුගෙ කපටිකම තිබුන කතා නායකය වැඩේට එන්ටර් උනා,
"සර්, නෝනට මොකද?"
"නෑ අයිසෙ මේ දත් කැක්කුමක්"
"සර් බයවෙන්න එපා ගේන්න වතුර වීදුරුවක්" මෙහෙම කිව්ව කතා නායකය, වතුරඑක ගේන අතරෙ එතන තිබුන පැල පොල් ගහකින් ඉරටුවක් කඩල ගත්ත. වතුරඑක ලැබුනම ඉරටුව ඒක ඇතුලට දාල කරකවල මොනවදෝ මතුරල දුන්න ඕඅයිසී මහත්තයට.
"සර්, මැඩම්ට මේක බොන්න කියන්න කොහෙවත් යන්න ඕන නෑ ඔතනම හොඳ වෙනව"
කිව්ව වගේම වතුර වීදුරුව බිවුව නෝනට දත්අමාරුව හොඳවුනා. දැං මහත්තයට පුල් හැපී,
"තමුසෙලා මොකටද ආවෙ?"
"සර් අපේ ඩ්‍රයිවර්......."
ඕඅයිසී මහත්තය දුන්න කෝල් එකකින් නිදහස්වුන ඩ්‍රයිවර් මහත්තයත් එක්ක ආයෙත් ගමන පටන්ගත්ත.
"පුළුවන් තරම් ඉක්මනිං කතරගම පාස් කරල යමං" ගමන පටන්ගනිද්දිම කතා නායකය කිව්ව. හේතුව අහපු මගේ ඥාතියට ලැබුන උත්තරේ මේකයි,
"මම දන්න මන්තරයක් නෑ, ඔය ගෑණිට තව ඩිංගකින් තිබුනට වැඩිය අමාරුවෙනව. මේවගේ බොරුවකින් විනාඩි දෙකතුනකට නවත්තන්න පුළුවන්. ආපහු කූඩු කරන්න කලිං යමං"
ඕං ඕකයි කතාව. ඇත්තම කතාවක් වෙච්ච මේ සිද්ධිය විද්‍යාත්මකව බැලුවමත් ඇත්ත වෙන්න පුළුවන්. නාඳුනන කෙනෙක් වතුර මතුරල දුන්නම ලෙඩේ අඩුයි වගේ මානසික අල්ලසක් ලැබෙන්න පුළුවන්. ලෙඩේ ඩබල් වෙලා ආයෙත් හැදෙන එකත් සිකුරුයිනෙ. කතානායකය හිතාගන්න අමාරු වෙන එකක් නෑ............ ඔව් ඔව්..... එයා තමයි.☺
Monday, March 4, 2013
හලාල්, මගේ ඇසින්
හලාල් පිලිබඳ කතාබහ මේ වනවිට යම්තාක් දුරට නතරවී ඇත. උලමා සංවිධානය විසින් හලාල් සහතිකය දීමේ වගකීම ආණ්ඩුවට පැවරීමත් ආණ්ඩුව පාර්ශවයෙන් ප්‍රථික්ෂේප කිරීමත් සිදුවිය. හලාල් විරෝධය මුලින්ම පැමිණියේ ෆේස්බුක් හරහාය. "බොදු බලසේනා" වැනි නම් ඇසෙන්නටත් පෙර හලාල් විරෝධී බැනර් අන්තර්ජාලය තුල සංසරණය ව්න අයුරු අප දුටිමි. එක් අතකට අන්තර්ජාල මාධ්‍ය ඉදිරියට පැමිණීම හොඳ ප්රවනතාවයකි. අනෙක් අතින් බොබසේ වැනි සංවිධාන බිහිවීමටද හේතු වියහැකිය.
හලාල් සම්බන්ධයෙන් ලිපියක් මේ බ්ලොග් අඩවියේ නොලියවුනද දන්නාකියන මුස්ලිම් ජාතිකයන් කිහිපදෙනෙකු සමඟ මේ පිලිබඳව කතාබහ කිරීමට මේ බ්ලොග්කරුට හැකිවිය. මේ ඒ ඇසුරින් ලියවෙන බ්ලොග්කරුගේ ඒක පුද්ගල කොමිසමේ වාර්තාවයි.
හලාල් ප්රශ්නයේ මුල්ම වගකිවයුත්තා වන්නේ "සමස්ථ ලංකා ජමියතුල් උලමා" සංවිධානයයි. අප දන්නා කාලයේ හලාල් යයි කියාගත් "මාංශමය" ආහාර කිහිපයකට සීමාවූ නිෂ්පාදන සංඛ්‍යාව තීන්ත ගාන බුරුසුවත් ඇතුළුව හාරදහසක් පමණ වනතෙක් වර්ධනය කිරීම මඟින් මූල්‍යමය වාසියක් ලබාගැනීමට කටයුතු කලේ ඔවුන්ය. මෙහි ප්රථිඵලය වූයේ තම වැයික්කියට පැමිණ සරම උස්සාගෙන කෑගසන පිටස්තර චන්ඩියාට එරෙහිව ගමේ චන්ඩින් එකතුවීම වැනි සිද්ධියකි. හලාල් විරෝධීන්ගෙන් විශාල සංඛ්‍යාවක් සැබෑ "හලාල් විරෝධීන්" නොව "හලාල් සහතික විරෝධීන්ය". මා හලාල් ගැන කතාබහ කල අප ප්‍රදේශයේ ගවමස් ව්‍යාපාරය කරන මුස්ලිම් ජාතිකයා පවසන පරිදි මුස්ලිම්වරුන් මස් සඳහා සතුන් ඝාතනය කරන්නේ හලාල් ක්රමයටය. ඔවුන්ට අමුතුවෙන් හලාල් සහතික අවශ්‍ය නොවේ.
මා සඳහන් කල හලාල් සහතික විරෝධීන් නොව "හලාල් ක්‍රමයට" සැබවින්ම විරුද්ධ වන්නන් ගැන බලමු. ඔවුන්ගේ තර්කය වනුයේ හලාල් කෑමට මුස්ලිමුන්ට ඇති අයිතිය සේම හලාල් නොකෑමේ අයිතිය තමුන්ට තිබියයුතු බවයි. දැන් මෙහි ඇති ප්‍රායෝගික පැත්ත බලමු. මස් පිණිස සතුන් ඇතිකරන සිංහලයන්ගෙන් බොහොමයක් සතුන් මරණ අවස්ථාවේදී ඒ සඳහා යොදාගන්නේ මුස්ලිම් ජාතිකයෙකි. (මා ජීවත් වන ප්‍රදේශයේ සත්ව ගොවිපලවල් කිහිපයක් මගේ නිරීක්ෂණයට හසුවූ අතර ඒ එකකවත් සිංහලයෙකු ඝාතනය කිරීමේ කාර්ය නොකරයි. අනෙකුත් ප්‍රදේශවල තත්වය කේසේදැයි නොදනී). මීට අමතරව දීප ව්‍යාප්ත කුකුළුමස් අලෙවියේ යෙදෙන සමාගමක අනුග්‍රහයෙන් පවත්වනු ලබන ප්‍රාදේශීය ගොවිපලකද තත්වයද මෙසේ විය. එක්තරා එබැවින් හලාල් සහතිකය තිබුනද නොතිබුනද හලාල් විරෝධීන්ට (නිර්මාංශ නොවේ නම්) වුවද කෑමට සිදුවන්නේ හලාල් බව කිවයුතුය. එය එසේ නොවීමට නම් හලාල් නොවන සේ සිංහලයෙකු අතින්ම ඝාතනය කලයුතු යයි බලපෑම් කිරීමට හලාල් විරෝධීන්ට සිදුවේ.
එසේ නම් මේ සඳහා ගතහැකි විසඳුම කුමක්ද?
මුස්ලිම්වරුන්ට හලාල් ලේබලය යටතේද සිංහලයන්ට හලාල් නොවන ලෙසද නිෂ්පාදනය කර බෙදාහැරීම ප්‍රායෝගිකව අතිශයින් දුෂ්කර කටයුත්තකි. කෙසේ වුවත් පිටරටට යැවීමේදී නම් හලාල් ලේබලය අවශ්‍යම නම් ගහගතහැකිය. මගේ අදහස අනුව නම් මේ සඳහා ඇති විසඳුම මෙයයි,
1.සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය ගෙනයන ව්‍යාපාරය සීමා කල යුතුය. (මෙහි ව්‍යාපාරය යයි කීවේ බිස්නස් එකය) අවශ්‍යම නම් මාංශමය ආහාර වන මස් වර්ග, සොසේජස් වැනි කිහිපයක් සඳහා දුන්නාට කමක් නැත
2.අනෙක් වගකීම පැවරෙන්නේ හලාල් අවශ්‍ය යයි කියන මුස්ලිම් වරුන්ටය. සියළුම භාණ්ඩ "හලාල්" යටතේ බලාපොරොත්තු නොවිය යුතුය. මෙහිදී අදහස් වන්නේ "හරාම්" දෑ භාවිතයට ගන්නා ලෙස යෝජනා කිරීම නොව සත්වමය කොටස් අඩංගු නොවන නිෂ්පාදන හලාල් යටතේ බලාපොරොත්තු නොවන ලෙසයි. වෙනත් විදියකින් කිවහොත් අන්තගාමී දැඩි ස්ථාවරයකට නොයන ලෙසයි.
3.පළමු සහ දෙවන කාරණා ඉෂ්ඨ වන්නේ නම් හලාල් ලේබලය සහිත සුළු ප්‍රමාණයක් වූ නිෂ්පාදන කෙරෙහි ඇති විරෝධය ඉවත්කරගැනීමට තරම් ඉවසීමක් සිංහල සමාජයට තිබිය යුතුය.
තමුන් සිටින තැනින් අඩියක් හෝ පිටුපසට ගැනීමට අකමැතිවීම සියල්ලන්ම ලබන පරාජයක ආරම්භය විය හැකිය.