
පහුගිය දවසක අපේ පැත්තෙ වෙච්ච සිද්ධියක් නිසා සති දෙකතුනක් පැරණි කතා දෙකතුනක් මතක් උනා.
එක
“ශීල නැන්ද” කියන්නෙ අපේ පැත්තෙ ඉන්න වයස හැටක විතර කෙනෙක්. [ශීල ඇන්ටි නෙවේ හරිය]. ඉඩකඩම් වතුපිටි මොකුත් නැති මෙයා ජීවත්වුනේ ගේ ඉස්සරහ දාගත්ත කඩකෑල්ලෙන් ලැබුන කීයක්හරි මුදලකටත් වඩා, මාසෙකට සීයට දහයෙ පොලියට සල්ලි දීමෙන්. කසාද බැඳපු මනුස්සයගෙනුත් පවුලට එච්චර සහයෝගයක් තිබුනෙ නෑ. ශීල නැන්දට හිටිය ටිකක් ඇහැට කණට පේන දෝනියැන්ද කෙනෙක්. තාම බැඳලත් නෑ. පහුගිය දවසක ශීල නැන්දගෙන් පොලියට සල්ලි අරගෙන ගෙවන්න ටිකක් හොර වෙච්ච ප්‍රියන්ත කියන හාදය කඩේට ආව. ටිකක් අමාරුකාරයෙක් වෙච්ච මේ හාදය ආවෙත් ටිකක් විතර සූර්පිට. දුවත් ඉඳපු මේ වෙලාවෙ ශීල නැන්ද ප්‍රියන්තයට ලෙඩේ ඇද්ද. මෑනුත් කටගහගෙන ගියා. අන්තිමට සිද්ධවුනේ වලිය ශේප් කරන්න මැද්දට පැන්න හේමසිරි අංකල්ටත් [මෙයා මාම නෙවේ!] දෙකක් නෙළල දාල කඩේ තිබුන ටොපි බෝතල් දෙකකුත් පොලවේ ගහල ප්‍රියන්තය ගිය එකයි.
ඊට පස්සෙ තමයි කේස්එක පටන් ගත්තෙ. අංකල්ගෙ කීම අහන්නෙත් නැතුව ශීල නැන්ද දැම්ම පොලීසියෙ පැමිණිල්ලක්. අංකල්ට ගහල ටොපි බෝතල් පොලවෙ ගැහුවට විතරක් නෙවේ, බීමතින් කඩේට ඇවිල්ල දුවගෙ හිරිඔතප් තියන තැනකිනුත් ඇල්ලුව කියල! අනේ ප්‍රියන්තයට වෙච්ච දේ ශෝක ජනකයි. අල්ලන්න ලොකු අත්තක් නැති ඌ, පොලිසියෙන් අල්ලගෙන ගිහිල්ල නොසෑහෙන්න ගැහුව. කේස් එක ගෙනියන්න ශීල නැන්ද අකමැතිවුන නිසා පස්සෙ අත්හැරිය. කොහොම උනත් චන්ඩිකමට නොසෑහෙන තරමට ගුටිකන්න උනා.
දෙක.
දෙවනි සිද්ධිය උනේ ටික කාලෙකට කලින්. මේ වගේ දේවල් හැම තැනම සිද්ධ වෙනව. සිංහල අවුරුද්දක් දවසක ගමේ හිටිය පියල් අයිය වලියක් දාගත්ත මද්දු මාමත් එක්ක. මෙතනදිත් දුර්වලය තමයි මද්දු මාම. මෑන් පියල් අයියට වැඩිය වයසයි. හැබැයි සල්ලි භාගෙ තියන මනුස්සය. ඒ මදිවට පොලීසියෙ මහත්තුරු එක්කත් සැට් වෙනව මාසෙකට විතර සැරයක්. සැට් වෙනව කියන්නෙ ඉතිං මද්දු මාම ගානෙ පොලිසිය බොනව. හරි දැං කතාව. කේස් එක හරියට මතක නැතත් මද්දුමාම පියල් අයියගෙන් පාරක් දෙකක් කෑව. වැදගත් විදියට ජීවත් උන මද්දු මාමගෙ ඇඟපතේ අමාරුවට වඩා වැඩිවුනේ හිතේ අමාරුව. මෑන් කෙලින්ම පොලිසියෙ පැමිණිල්ලක් දැම්ම, ‘පහරදීම සහ කරේ තිබුන පවුම් කීයක්ද වටින රන් දම්වැල කඩාගැනීම’ යටතේ. පියල්ට අත්උනෙත් ප්‍රි යන්තගෙ ඉරණමම තමයි.
තුන
පාසිකුඩා වැල්ලෙදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයගෙ පුතා නියෝජ්‍ය පොලිස්පති කෙනෙකුගෙ පුතෙකුට නෙළනව. යන යකා කොරහත් බිඳගෙන යන්නැහේ ගුටිකෑව පොලිස් පුතා කරන්නෙ 'අඩෝ මම අනාගත අගමැතිතුමාගෙ පුතා' කියල ඇමති පුතා තමුන්ට ගැහුව කියල කියන එකයි. ඉතිං ඇමතිතුමා පත්වෙච්ච අභාග්‍යසම්පන්න තත්වෙ පහුගිය දවස්වල අපි දැක්ක නෙව. අන්තිමට තමන්ට මරණ තර්ජන-කුමන්ත්‍රණ තියනව කියලත් බොරු කියන්න උනා උන්නැහේට.[කුමන්ත්‍රණයක් තිබුනනං ඒකෙ මූලිකය තමුන්ගෙ පුතා කියල තේරුම්ගන්න තරම් විචාර බුද්ධියක් එතුමාට තිබුනෙ නෑ නොවැ!] මේකෙ තියෙන්නෙත් උඩ කිව්ව කතා දෙකේ වගේම සිද්ධියක් තමයි.
මේ ලෝකෙ සියළුම දේවල් හැදිල තියෙන්නෙ හයිය ඇති එකාගෙ ආරක්ෂාවටයි කියල හිතුවට ඒක වැරදියි. තිත්තයටත් වාරයක් එනවමයි. පළමු කතාවෙදි ඇඟේ හයිය තිබුන ප්‍රියන්තයට පළදුන්න වගේම දෙවනි කතාවෙදි පියල්ට ඒක සිදුවුනා. තුන්වෙනි කතාවෙදි මෛත්‍රීපාල මහත්තයගෙ 'අගමැති හීනෙං' කෑල්ලක් කඩාගන්න පොලිස්පුතා සමත්වුනා.
ප.ලි. කාටහරි කියන්න පුළුවන්ද පෝස්ට් එකට පිංතූරයක් දානකොට ඒක 'වමට', 'දකුණට', 'මැදට' ගන්න විදිය? ඉස්සෙල්ල නං පින්තූරය අප්ලෝඩ් කරද්දි ඔප්ෂන් එකක් තිබුන මේකට. දැං නෑ!
ප.ප.ලි. වැඩේ හරි :-)