"ඔය තිස්ස පාර දිගට තියන, දැන් පර්චස් ගනනට කඩල විකුණන ඉඩම් ඒකාලෙ නිකංම අයිති කරගන්න තිබුන, ගෙයක් හදාගෙන පදිංචි වෙන්න කෙනෙක් හිටියෙ නෑ!" තාත්ත කියනව. "ඉතිං තාත්තල ඇයි ඒ ඉඩමක් දෙකක් අල්ලගත්තෙ නැත්තෙ? අපරාදෙනෙ දැං තිබුනනං කීයක් වටිනවද" මම අහනව. "ඒ කාලෙ අපි බැලුවෙ හොඳට හේන් කරන්න පුළුවන්, සරුසාර පස් තියන පොලවක්. ඉතිං අපි පාරෙන් ඇතුලට ආව". "අපරාදෙ තාත්තේ,.... හේන් කෙටුව කියල මොනවද ලැබුනෙ?"තාත්ත නිස්සද්දයි. මම ගෙදරින් එලියට බැහැල වෙල්යාය ලඟට ආව. හේන් කෙටුවෙ අපරාදෙ කියල තාත්තට කිව්වෙ අපරාදෙ!
මගේ හිත අවුරුදු ගනනාවක් ඈතට දුවනව. ඒකාලෙ තාත්ත හේන් කරනව කියන්නෙ මගෙත් හොඳම කාලෙ. ඔන්න ජූලි මාසෙ විතර කැති පොරව ආදිය කම්මලට ගෙනියල මුවහත් කරගෙන එනව. සමහර වෙලාවට මේ වැඩේ කරගන්න තාත්තටත් පුළුවන්. ඒක කරන්නෙ පොල්කටු අඟුරු වල ආයුධ දාල රත්කරල හෙමින් නිවෙන්න හැරල පීරෙන් මුවහත් තියනව. නැත්තං තලල කියල ඇද ඇරලත් ගන්නව. එහෙම හදාගත්ත ආයුදේ ආයෙත් සැරයක් රත් කරල එකසැරේටම වතුර එකක ඔබනව. ඒකට කියන්නෙ "පන තියනව" කියල. මම මේ කාර්යටත් දායක වෙන්නෙ බොහෝම සතුටින්. මෙතනදි මටත් පැවරුන කාර්යක් තියනව. මයිනහමක් නැති තාත්තගෙ කම්මලේ මයිනහම වෙන්නෙ සිමෙන්ති බෑග් එකක කට දෙපැත්තට ලී පටි දෙකක් සවිකරල, විරුද්ධ පැත්තෙ මුල්ලකින් සිදුරක් හදල ඒකට යකඩ බටයක් බැඳල හදාගත්ත උපකරණයක්. බෑග් එක ඇතුලට වාතය එන විදියට ඒක දිගහරිනව. ඊට පස්සෙ ලී පටි දෙක එකට තද කරල හොඳින් කට වහල බෑග් එක පහලට තද කරනව. එතකොට ඇතුලෙ හිරවෙච්ච වායුව බටය දිගේ අඟුරු වලට ගිහිල්ල ඒක රත් වෙනව. මේ වැඩේ සෑම වෙලාවකම හරියන්නෙ නෑ. වෘත්තීය කම්මල්කාරයෙක් නොවුන තාත්තගෙ වැඩ අවසානයේ නවතින්නෙ ගමේ කම්මලට වැඩ වැඩිකිරීමෙන්.
කොහොම කොහොම හරි හදාගත්ත ආයුධ අරගෙන ඊලඟට කරන්නෙ හේන කැපීම. මේකට තාත්තල කිව්වෙ "වල් කෙටීම", නැත්තං "වල් කැපීම" කියල. ඒ කියන්නෙ මනුස්සයෙක් වගේ දෙගුණයක් විතර උසට වැවී තියන විවිධාකාර ගස් වර්ගත් ඒවායේ එතී තියන වැල් ජාතිත් එක්ක ඔට්ටු වෙනව කියන්නෙ ලේසි පාසු කටයුත්තක් නෙවේ. හෑම ගහකම වැලකම මුල හොයාගෙන මුලින්ම කපල දාල ඒ කපපු ගහ නැත්තං වැල පොලවට තද වෙන්න පාගන්න ඕන. නැත්නම් ගිනි තියන්න අමාරුයි. වැවිල තියන ගස් වැල් බහුතරයක් කටු සහිත ගස්වැල්. ඒ නිසා වැඩේ තවත් අමාරුයි. කොහොම උනත් මේ වැඩේට ඕනකරන පාවහන් දෙකක් නං තාත්ත හදාගන්නව. ඒකට කියන්නෙ "වානහං" කියල. හොඳට වියලුනු හරක් හමකින් කපාගත්ත කොටසක් දෙකට නවාගෙන රබර් සෙරෙප්පු දෙකක පටි තියන ආකාරයට රෙදි නූලක් දාගන්නව. වල් කපන්න යන්නෙ මේව දාගෙන තමයි. ඕන කටු ජාතියකට ඔරොත්තු දෙනව වගේම කැපීගිය ගස්වල ඉතිරි වුන තියුණු මුල් වලිනුත් දෙපා ආරක්ෂා වෙන්නෙ මේ වානහං දෙකෙන් තමයි.
වල් කෙටිල්ල සම්පූර්ණයෙන් ඉවරවුනාට පස්සෙ සතියක් විතර වියලීමට ඉඩහැරල පුච්චන්න පටන් ගන්නව. කුඹුරෙන් ගේන ගෝනි පහකක හයක පිදුරු දාල, හුලඟ හමන අත බලල, ගිනි තියන්න සුදුසු තැන් කිහිපයක් හදනව. මේකට කිව්වෙ "මැල මූන" කියල. මූනට ගිනි තැබුවට පස්සෙ හුලඟ හොඳ උනොත් හොඳට පිච්චෙනව. හොඳට පිච්චීම සුභ ලකුණක් විදියට තමයි තාත්තල සැලකුවෙ. සීයට අසූවක් අනූවක් එකසැරෙන් පිච්චෙනව නං හොඳයි. නැත්තං එහෙන් මෙහෙන් පිච්චිලා ඉතිරිවුන ගස් වැල් ගොඩවල් ගහල ආයෙත් පුච්චන්න ඕන. මේක නං හරිම කරදර වැඩක්. හේන් පුච්චන්න තෝරාගන්නෙ අගෝස්තු මාසය. අගෝස්තු පෑවුම සැරයි වගේම ඉරත් සැරයි. වැඩේ ලේසියි. ඒත් සමහර කාල වලට අගෝස්තු වලත් අකල් වැහි වහිනව. එතකොට කකුලෙ තියන, හරක් හමෙන් හදපු වානහං ලිස්සන්න ගන්නව, ගඳගහනව. මේ අකල් වැස්සට කියන්නෙ "වාහහං කුණුවෙන වැස්ස" කියල.
හේන පුච්චල ඉවරවුනාම අම්මට තමයි වැඩ තියෙන්නෙ. බාගෙට පිච්චිලා කලුවෙලා ගිය දර එකතුකිරීම ගෑනුන්ගෙ වැඩක්. මේ දර තමයි අවුරුද්ද පුරාම ගෙදර ලිපේ පිච්චෙන්නෙ. සමහර වෙලාවට කැලේ හැංගිලා ඉන්න මී මින්නෙක් හාවෙක් වගේ සතුන් ගින්නට අහුවෙලා පිච්චෙනව. එයින් දඩමස් වේලකුත් ලැබෙනව.
සම්පූර්ණයෙන්ම ශුද්ධ කරගත් හේන වැපිරීම තමයි ඊලඟ කාර්ය. මේක කරන්නෙ වැස්ස පටන් ගන්න සතියකට විතර කලින්. මුට්ටියකට අරගෙන එන කුරහං, තන,... වගේ ධාන්‍ය වර්ග නිරුවත් පොලවට ඉසිනව. ඊට පස්සෙ උදැල්ලෙන් පස බුරුල් කරමින් ඉස්සරහට යනව. මේ වැඩ කෙරුනෙ කිහිපදෙනෙකුගෙ එකතුවෙන්. එක්කෙනෙකුට අඩි දහයක් විතර පළල වපසරියක් ඇතිව වේගයෙන් උදළුගාමින් ඉස්සරහට යනව බලන්න ලස්සනයි. මේ වැඩේ ඉවර වෙද්දි වර්ෂාව පටන් අරගෙන. වැස්සට පෙඟුන පොලවෙ තියන ඇට පැලවෙන්න ගන්නව. සතියක් විතර යද්දි කොල පාටින් රෙද්දක් වැනුව වගේ. මේ අතරෙ අමුත්තො පිරිසකුත් ඉන්නව. කැලේ තිබිල පිච්චෙද්දි බිමට වැටුන කරවිල ඇට තුඹ ඇට ආයෙත් පැල වෙලා.
එච්චර අවශ්‍යතාවයක් නැතත් මගේ ඉල්ලීමට තාත්ත හේනෙ පැලක් හදනව. හේනක් තියනව නං පැලක් තියෙන්නම එපැයි. මට ඒ කාලෙ හිතුනෙ එහෙමයි. පැලේ ඉඳි පීලි මැස්ස උඩ ඉන්නව තරම් සනීපයක් සුවපහසු යහනාවක වත් තියනවද කියල සැකයි. ගෙදරදි අම්ම පෙරැත්ත කරලත් කන්නෙ නැති කෑම පැලේදි නං මෙහෙ කරනකොට ඉවරයි...........
ඒ වගේ කාලයක් ආයෙ නං එන්නෙ නෑ. හේන් කරන්න සුදුසු තරමට අවුරුදු ගානක් නොඉඳුල් පොලවක් දැං මෙහේ හොයාගන්න බෑ. එහෙම තිබුනත් කුරහන් සුද්ද කරල ගන්න තරං හැකියාවක් තියන ගෑනුත් නෑ නොවැ. ඔක්කෝමත් හරි තලප ටිකක් පිට්ටු ටිකක් කන එකෙක් හොයාගන්නත් බෑ! ඔක්කෝම මතක විතරයි.