Thursday, March 19, 2015

සමුගැනීම!

වර්ල්ඩ් කප් එකේ අපේ අන්තිම මැච්එක හිතේ අමාරුවෙං බල බල හිටියෙ. අප්‍රිකන් කාරයන්ට තව ලකුණු හතලිස් ගානයි ගන්න තියෙන්නෙ. මොකුත් ප්‍රාතිහාර්යක් වෙන පාටකුත් නෑ. ඊට පස්සෙ ඉතිං අවුරුදු හතරකට ඔක්කෝම ඉවරයි.

***********************************************************************

සෙනඟ මැද්දෙ මාත් කකුල් පාගගෙන ඉදිරියට ඇදුන. යන්තං මූන බලාගන්න පුළුවං උනොත් ඇති.

"පැරදුනාට පස්සෙ තවත් ඉන්නෙ නැතුව ගෞරවාන්විතව ගෙදර ආපු එක කොච්චර දෙයක්ද" එහා පැත්තෙ හිටිය එකා කියනව ඇහුන. මම තවත් ඉස්සරහට ගියා. කොහොමහරි ලඟටම යන්න ඕන. ඔව්! ඉදිරියටම, ඉදිරියටම......

"තාම චොපර් එකෙන් බැස්සෙත් නෑ....." ඉස්සරහ හිටිය කෙනෙක් කියනව ඇහුන.

"ඔන්න එනව" රැස්කකා හිටිය කට්ටියගෙ සද්දෙ වැඩිවුනා..... චොපර් එකෙන් බැහැපු එයා ප්‍රතාපවත් විදියට ඉස්සරහට එන්න ගත්ත. රැස්වෙලා හිටිය පිරිස අමතා කතා කරන්න එයාට උවමනාව තියන බවක් පේන්න තිබුන. නමුත් ගෙදර ස්ටේජ් කොයින්ද?

"ඔය ජනේලෙට නඟින්න කට්ටියට පේනව එතකොට....." කවුදෝ කෙනෙක් කියනව ඇහුන..... ඔන්න ඒ ගමන ජනේලෙට නැග්ග.... කවුදෝ කෙනෙක් මෙගාපෝන් එකක් දුන්න.... එයා කතාව පටන් ගත්ත.

"ආදරණීය අම්මේ තාත්තේ, නැන්දේ මාමේ, අයියේ අක්කේ, නංගී මල්ලී,..... අපි පැරදුනේ නෑ, පැරැද්දුව.... අපියි දිනුවෙ...." කට්ටිය ඝෝශා කරන්න පටන් ගත්ත.

"මරල හරි ගන්න තිබුනෙ....." අන්තයටම ගියපු එක්කෙනෙක් කිව්ව.

"අපි පැරදුනේ නෑ හාමුදුරුවනේ..... එයාල දිනුවෙ තනියම නෙවේ.... ඉම්රාන් තහීර් කියන්නෙ කවුද? එයා අප්‍රිකන් කාරයෙක්ද? නෑ! සුද්දෙක්ද? නෑ! එයා මුස්ලිම් කෙනෙක්.... එයා අපේ විකට් ගත්තෙ නැත්තං ගහයි අපිට!"

සංගක්කාරගෙ කතාව අතරෙ ගෑනු පිරිමි සෑහෙන්න අඬන්න ගත්ත....

"අපි පස්සෙ දවසක එමු නිවීහැනහිල්ලෙ සංග බලන්න..." එක්කෙනෙක් යන ගමං කිව්ව.

"අන්න හරි.... බස් එකක් අරගෙන එමු"

නෝන කෙනෙක් මගේ ලඟිං යද්දි උල් සපත්තුවක කකුල පෑගුනා.

"ඌ........හ්"

"දවල්ට‍ත් මැච්, රෑටත් මැච්, මැච්, මැච්, මැච්!...... ඒ මදිවට හීනෙනුත් බයවෙලා කෑගහනව....."
නෝනගෙ කතාවට මට ඇහැරුනා. ඇති යංතං.... ඒ කියන්නෙ ඒක හීනයක්. සංගක්කාර කියන්නෙ හොඳ වැදගත් මහත්මයෙක්. එයා ඔයවගේ පීචං වැඩ කරන එකක් නෑ......

Monday, March 16, 2015

සීලවතී නැන්දා, සැන්ටි අයියා, සිමියොන් මාමා සහ යහපාලනය.

"මහින්ද මහත්තය යවල මෛත්‍රී පත්කලාට වැඩක් නෑ බං!" ඒ මගේ මිතුරෙකුගේ කතාවකි. ඊ‍ට හේතු විමසූ මාහට ඔහුගෙන් ලැබුන පිලිතුර මෙවැන්නකි.

"හොරු අල්ලනව කිව්වට හොරු ඇල්ලුවෙත් නෑ, මහා ලොකුවට බඩුමිල අඩුකලෙත් නෑ, සංවර්ධන වැඩත් නෑ, ඔක්කෝටම වැඩිය ඇඟට දැනෙන මොකුත් වුනේ නෑනෙ! මහින්ද මහත්තය හිටිය නං මොනව හරි කරනවනෙ!"

සීලවතී නැන්දා, මා කුඩා කාලයේ ගමේ විසූ කාන්තාවකි. දරුවන් දෙදෙනෙකුගේ මවක් වූ ඇගේ සැමියා මියගියේ දරුවන් කුඩාවියේදීය. ඇයට වඩා තරමක වයසින් අඩු සැන්ටි අයියා ඇගේ නිවසේ බින්න බැස්සේ සැමියාගේ මරණයෙන් වසර කිහිපයකට පසුවය. තරමක මරුමුස් පුද්ගලයෙකු වන ඔහු රැකියාවෙන් කුලීවැඩ කරන්නෙකි. කුඹුරු කපා පාගන කාලයට කුඹුරු වැඩද, මඩ වැඩ කාලයට කාගේ හෝ කුඹුරක කුලියට නියරවල් බැඳීමද හැරුනු විට ගොඩ ගොවිතැන් කරන්නෙකුගේ ගොවිපලක උදළුගෑම වැනි කාර්යකින් උපයාගන්නා මුදලින් වැඩි කොටස වැයකර කසිප්පු බීම ඔහුගේ අනිවාර්ය අංගයක් විය. එවැනි දින, ගණනින් බොහෝ වූයෙන්, සීලවතී නැන්දා සමඟ ඔහුගේ සුපුරුදු රණ්ඩු සරුවල්ද ගමට නුපුරුදු දේවල් නොවීය. මාසයකට දෙකකට වරක් රණ්ඩුව උපරිම තත්වයට ඇදී ගියවිට කුස්සියේ හැලිවලං පොලවේ ගැසීම සහ සීලවතී නැන්දාට ලැබෙන ගුටිබැට, ප්‍රතිකාර ලබාගැනීමට සිදුවීමට තරම් දුරදිග යාම දැක්විය හැකිය. සමහර සිදුවීම් අවසන් වන්නේ පොලීසියෙනි. අවුරුදු කිහිපයක ඇවෑමෙන් සැන්ටි අයියා නිවසින් එලවා දැමීමට සීලවතී නැන්දාට හැකිවිය.

සැන්ටි අයියාගෙන් පසු සීලවතී නැන්දාගේ ගෙදර බින්න බැස්සේ සිමියොන් මාමාය. සැන්ටිට හාත්පසින්ම වෙනස් පුද්ගලයෙකු වූ සිමියොන් මාමා වෘත්තියෙන් පමණක් සමානයෙකු විය. ඔවුන්ගේ ජීවිතය තවත් අවුරුද්දක් දෙකක් පමණ ඔහේ ගලාගිය අතර පෙර මෙන් රණ්ඩු සරුවල් කිසිවක් දක්නට නොලැබිනි. මේ අතර කාලයේදී සීලවතී නැන්දා යලි සැන්ටි අයියා සමඟ ඇයිහොඳයි කම් පවත්වන බව ආරංචි වූ අතර සිමියොන් මාමා දිනක ඇය අත්හැර ගොස් තිබිනි. වියයුතුම පරිද්දෙන් සීලවතී නැන්දා යලි සැන්ටි අයියා‍ට අයිති විය. සැන්ටි අයියා හදිසි මරණයකට ලක්වන තෙක් ඔවුන්ගේ ජීවිත පෙර පරිදිම විය.

මේ සිද්ධි දාමය සම්බන්ධයෙන් සීලවතී පැවසුවා යයි කී, පසු කලෙක වැඩිහිටියෙක් කියූ කතාවට, අවධානය යොමුකරනු වටී.

"ගැහුව බැන්න උනත් සැන්ටිය හොඳ එකා.... එයා ඉන්නකොට ඉතිං මොනවහරි කරනව.... ටිකක් බොන එකයි මට ගහන එකයි තමයි ඉතිං වැරැද්දකට තිබුනෙ.... ඒත් ඉතිං ඌ ගැහුවෙ බැන්නෙ මටනෙ!"

කතාව එපමණය. මුලින් කී මිත්‍රයා සහ සීලවතී නැන්දාගේ සමානතාවය දැන් ඔබට නොපෙනීමට හේතුවක් නැත.
ජනවාරි අටවැනිදා පැවැත්වූ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමඟ වෙනස් වූවේ ජනාධිපති ධූරය පමණක් නොවේ. පාර්ලිමේන්තුව වෙනස් නොවුවද ආණ්ඩුව වෙනස් විය. මා මුලින් දැක්වූයේ නව ආණ්ඩුවට සාමාන්‍ය සමාජයෙන් එල්ලවන චෝදනාවකි.

පාලනය පිළිබඳ අපේ අත්දැකීම් අනුව, රටක් පාලනය යනු එක්තරා ආකාරයක සන්දර්ශනයකි. සංවර්ධිත රටක මෙන් ආණ්ඩුව ගන්නා ප්‍රතිපත්තිමය තීන්දු වලින් පමණක් සෑහීමකට පත්වීමට අපට නොහැකිය. කොතෙකුත් කොමිස් ගැසුවද කමක් නැත. බලා සැනසෙන්නට යෝධ සංවර්ධන ව්‍යාපෘති ඇවැසිය. ජනතා මුදල් කොතෙකුත් වැයකලද කම් නැත, ඇස පිනවන සන්දර්ශන ඇවැසිය. පහේ ශිෂ්‍යත්වය පාස්වන පොඩි එවුන් ජනාධිපති මන්දිරයට ගෙන්වා තෑගි දීම ඇවැසිය. කෝටි ගණන් වැය කරමින් පවුල් පිටින් ගුවන් යානා වලින් පිටරටවල සවාරි යාම ඇවැසිය. තව කෙලකෝටියක් නාස්තිකාර සන්දර්ශන ඇවැසිය. නායකයා රට පාලනය කරනවා යයි දැනෙන්නේ එවිටය.

ලංකාවේ ජීවත් වන බහුතරය සීලවතීලාය. ඔවුන්ට රජගෙදර බිල් අඩු කිරීම ඇඟට දැනෙන දෙයක් නොවේ. පවුල් පිටින් රට සවාරි යාම ඇඟට දැනෙන්නේ නැත. කොමිස් ගැසීමේ අරමුණෙන් අටවාගත් සංවර්ධන ව්‍යාපෘති නැවැත්වීම ඇඟට දැනෙන්නේ නැත. ව්‍යවස්ථාව වෙනස් කිරීම ඇඟට දැනෙන්නේ නැත. එබැවින් පාලනය පිළිබඳ ඔවුන්ගේ උකටලී වීම අරුමයක් නොවේ.

වැදගත්: මේ වත්මන් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව පිළිබඳ මගේ අදහස නොවේ. ජනවාරි අට වැනිදායින් පසු, මේ පාලනය යටතේ සිදුවී ඇති ජඩකම් බොහෝය. ඒ පිළිබඳ වෙනම කතාකල යුතුය.

Wednesday, March 11, 2015

ප්‍රමාදය!

රත්කලෙමි,
ඇතුල් කලෙමි,
එලියට ගතිමි,
නොසිතුවෙමි,
ප්‍රමාද බැව්,
එලියට ගන්නට!











රත්කලෙමි,
ඇතුල් කලෙමි,
එලියට ගතිමි,
නොසිතුවෙමි,
ප්‍රමාද බැව්,
එලියට ගන්නට!
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Tuesday, March 10, 2015

සොසේජස් මාමගෙ ඩ්‍රෙසින් රූම් සංචාරය සහ අබ්ලික් වුන ගෙදර වැඩ......

සොසේජස් මාම මැච් එක පටන් ගන්නකල් සොසේජස් බේසමත් අරගෙන කස්ටියගෙ ඩ්‍රෙසින් රූම් පැත්තෙ කරක් ගැහුව. එයා ඉස්සෙල්ලම ගියේ ඕස්ට්‍රේලියානු ටීම් එකේ කාමරේ ලඟට. කාමරේ දොර වහල තිබුන. ඇතුලෙන් සද්දෙට කතා කරන සද්දෙ ඇහෙනව. දොරට තට්ටු කරන්නත් හදල කොයිකටත් කියල යතුරු හිලෙන් බැලුව.

‍මිචෙල් ජොන්සනුයි මිචෙල් ස්ටාකුයි දෙන්න හුඹහෙන් ඇදල ගත්ත තලගොයි දෙන්න වගේ.....

"මේක නං කරන්න බෑ සර්....." ජොන්සන් පුහුණුකාරයට කිව්ව.

"බෑ කියල බෑ.... කොහොම හරි කප්එක ගන්නත් එපැයි! අපේ රටටත් ආපු එකේ මේ සැරෙත් බැරිනං බෑ ඉතිං" පුහුණු කාරය කිව්ව.

"යංතං එකක් ගහගත්ත.... මැක්සිට පිංසිද්ධ වෙන්න..... දැක්ක නේ අරුං මාරයො වගේ ගහපු හැටි! අරූ කකුල අවුල් කරගත්තෙ නැත්නං හොම්බෙං තමයි යන්න වෙන්නෙ......" එහෙම කිව්වෙ ස්ටාක්. සොසේජස් මාමට කාරණාව හරියට පැහැදිලි නෑ.

ඒ ගමන එයා ගියා නවසිලන්ත කාමරේට. එතනත් ඇතුලෙ කලබලයක් වගේ....

"කලිං සැරේ ගැහුවට මෙදා නං ලේසි නෑ වගේ.... මට නං බෑ ප්‍රැක්ටිස් යන්න.... ඕන දෙයක් වෙන්න කියල පුළුවං විදියකට ගහනව මංනං" එහෙම කිව්වෙ බ්‍රෙන්ඩන් මැකලම්.

"එහෙම ගහන්න බෑ පුතා.... ප්‍රැක්ටිස් නැතුව ගහන්නෙ කොහොමද?"

"ප්‍රැක්ටිස්? මොන %$^&&*$#ද? කාට කියලද දැං හෝම්වර්ක් කරන්නෙ?" එහෙම ඇහුවෙ ටිම් සවුති. එයාගෙ ප්‍රශ්නෙට පුහුණු කාරයටත් උත්තර නෑ..... එයා ඔහේ බලාගත්ත අත බලාගෙන හිටිය.

ඊලඟට එයා ගියේ ඉන්දියාවෙ කාමරේ පැත්තට. යතුරු හිලෙං එබිල බලද්දි සුරේෂ් රයින රොටී හදන්න පිටි අනනව. කෝලියි රහානෙයි උඩ පැත්ත හරවපු අයන් දෙකක තියල රොටී පුච්චනව. දෝනි ටවල් එකක් දාගෙන ඕනවට එපාවට රොටියක් හපනව.

"ස්කොට්ලන්ත කාරයො දිනුවොත් නං අපි ඉවරයි සර්...." රොටී කෑල්ලක් කටේ දාගත්ත දෝනි පුහුණුකාරයට කිව්ව.

"ඒක නං හැබෑව... අඩු ගානෙ සෙමියවත් ගහන්න බැරි වෙනව එහෙම උනොත්....." පුහුණුකාරය කිව්ව.

"සර් කරනව නං පොඩි වැඩක් නං තියනව...." එහෙම කිව්වෙ කෝලි. අනිත් කට්ටිය එයා දිහා බැලුව.

"මොකද්ද?"

"අපේ ප්‍රයිම් මිනිස්ටට කියල මොකක් හරි ගිවිසුමක් ගහන්න බැරිද මේ සැරෙත්?"

"ම්.......... මාත් ඕක කල්පනං කලා..... දැං ඒක විතරයි ඉතිරි වෙලා තියෙන්නෙ....." පුහුණු කාරය කිව්ව. සොසේජස් මාමට හරිම පුරස්නෙ! මොකක් ගැනද මේ හැමෝම කතා කරන්නෙ? ඒ ගමන එයා ගියා ස්කොට්ලන්තෙ කාමරේ පැත්තට. එයාලට නං වැඩිය අවුලක් නෑ වගේ.....

"හරි. අපි කොහොමත් පරාදයිනෙ. ඔන්න ඕකත් ගහල දාමු. ඕව දැනගත්ත කියල ආයෙ අමුතු මහන්සියක් වෙන එකක්යැ අපි" නායකය කිව්ව. අපරාදෙ! කලිං මෙතෙන්ට ආව නං කතාව අහගන්න තිබුන. ඒ ගමන සොසේජස් මාම ගියේ දකුණු අප්‍රිකාවෙ කාමරේට. ක්‍රීඩකයන් කට්ටිය රවුමට තියාගෙන පුහුණු කාරය මැද ඉන්නව. එයා අතේ ටැබ් එකක්.

"රයිට්! මෙන්න ඩේටබේස් එක!...... මේකෙ තියනව කාගෙත් වීඩියෝස්..... ඒ ටීම් එකේ විස්සයි....ක්ලබ් ගහන කට්ටිය හත්සීයයි.... ඉස්කෝලෙ යන හොඳ එවුන් එක්දාස් පන්සීයයි.... කාගෙත් වීඩියෝ තියනව..... බලල පාඩං කරල බෝල් කරමු!" ඇලන් ඩොනල්ඩ් එහෙම කිව්ව විතරයි ඩේල් ස්ටේන් කපාදාපු ගහක් වගේ සිහි නැතුව ඇද වැටුන.... මොනේ මෝකල් ඔලුවෙ අත ගහගෙන, ව‍ැටෙන්න කලිං පුටුවක‍ට බරවුනා..... වතුර බෝතලයක් කඩපු ඩොනල්ඩ් ඩේල්ගෙ මූනට වතුර ඉස්ස..... ඒබී ඩිවිලියස් ටවල් එකකිං හුලං ගැහුව.... ඔන්න ටික වෙලාවකිං ස්ටේන්ට‍ සිහිය ආව....

"මට බෑ... මට බෑ.... මට රිටය වෙන්න ඕන...." ස්ටේන් කෑගහන් ගත්ත. ඒ ගමන සොසේජස් මාම දොරට තට්ටු කලා. ‍සොසේජස් මාම ඇරපු දොරෙන් අැතුලට පැනගත්ත.

"මොකද්ද සර්ල මෙච්චර වදවෙන අපිවත් නොදන්න ප්‍රශ්නෙ?" සොසේජස් මාම ඇහුව.

"ඇයි දන්නැද්ද? අර ශ්‍රී ලංකාවෙ #&^%$$#ල දවස ගානෙ තුවාල කරගන්නව.... ඊට පස්සෙ අලුත් එවුන් ගෙන්නගන්නව.... යකෝ අපි කාටද බෝල් කරන්නෙ කියල දන්නැතුව කොහොමද ප්‍රැක්ටිස් කරන්නෙ?.... මෙදාපාර ක්වාටර් ගහන්න වෙන්නෙ උං එක්ක....." එහෙම කියපු ස්ටේන් ආයෙත් ඇදවැටුන..... කට්ටිය වතුර ඉහින අතරෙ සොසේජස් මාම ඇරිල තිබුන දොරෙන් එලියට පැනගත්ත.