Monday, November 12, 2012

වැලිකඩ ගැටුම සහ අපේ හිරගෙවල්.


දෙවන වරටත් ඇතිවූ වැලිකඩ ගැටුම අවසන් වූයේ ඛේදවාචකයකිනි. ඒ මරණ සංඛ්‍යාව විසිහතක්ද තුවාලකරුවන් හතලිස් ගනනක්ද ඇතුලත්වය. ඊට අමතරව ටී පනස්හය ආයුධ වලින් සන්නද්ධ දරුණු අපරාධකරුවන් කිහිපදෙනෙක්ද සමාජයට මුදාහැර ඇත. සාමාන්‍යයෙන් අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසාදැමීමේ ක්‍රමය අනුගමනය වන ශ්‍රී ලංකාවේ, සිරගෙවල්වලදී නම් කිහිප වතාවක්ම අශ්වයන් පැනගියද තත්වය යහපත් අතට පත්වී නොමැත.

මෙම ගැටුම්වලට හේතුසාධක වන කාරණා කිහිපයකි.
ඉන් පළමුවැන්න දූෂිත බන්ධනාගාර නිලධාරීන්ය. විශේෂයෙන්ම ජේලර්වරුන් සහ ගාඩ්වරුන් ලංකාවේ දූෂිතම රාජ්‍ය සේවකයන් ගොන්නට ඇතුලත් වන්නන්ය. සිරකරුවන්ගෙන් සහ ඔවුන්ගේ පවුල්වලින් නඩත්තු නොවන නිලධාරීන් සොයාගැනීම ඉතා දුෂ්කරය. සිරගෙය-සිරකරුවන් මෙම දූෂිත නිලධාරීන්ට ධන උල්පතකි. තත්පර ගනනක දුරකථන ඇමතුමක් වෙනුවෙන් සිරකරුවෙකුගෙන්/පවුලේ අයෙකුගෙන් ලබාගන්නා 'රීලෝඩ්' මුදලක සිට කුඩු පැකට්ටුවක් ඇතුලට ප්‍රවාහණයකරදීම දක්වා සියළු දේ සිදුවන්නේ දූෂිත නිලධාරීන්ගේ ඇස් වසමින් නොවේ. මීට අමතරව 'සෙල්දැමීම' නම් දඬුවම් ක්‍රමයට මුවාවී සති අන්තයේ සිරකරුවන් නිදහස් කිරීමේ ජාවාරමක්ද ඇතිබව පසුගිය කාලයේ කියැවිනි. මේවා සිරදඬුවම් වින්දෙකු හෝ එවන් අයෙකු සිටින පවුලේ අයෙකුට නම් අලුත් දේවල් නොවේ. මෙම නිලධාරීන් යහමඟට ගතහැකි නම් සිරගෙවල පවතින ආරවුල් වලින් සීයට අනූවක්ම විසඳිය හැකිය. මොවුන්ගේ ක්‍රියාකාරකම් නැවැත්වීම සඳහා නීතිරීති දැඩි කලයුතුවාක් මෙන්ම දැනට පවතින දේශපාලන හෙංචයියන්ට රැකියා දීමේ ස්ථානයක්ව පවතින බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒ තත්වයෙන් මුදවාලිය යුතුය. එමෙන්ම බන්ධනාගාර නිලධාරීන්ට නියමිත ස්ථාන මාරුවීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කලයුතුය. එමෙන්ම ඔවුන්ගේ දුක්ගැනවිලි වලටද විසඳුම් දියයුතුය. විශේෂයෙන්ම බන්ධනාගාර නිලධාරීන් සිදුකරන අවදානම් සහගත රාජකාරියට සාපේක්ෂව ඔවුන් ලබන වැටුප්-දීමනා ප්‍රමාණවත් නොවේ.

'සිරකරුවෝද මනුශ්‍යයෝය' යනුවෙන් සඳහන්කර ඇත්තේ සිරගෙවල තාප්පවලය එහෙත් ප්‍රායෝගිකව සිරකරුවන්ට ලැබෙන සැලකිලි කෙසේද? සිරගෙය යනු සැපගැනීම සඳහා හෝ විවේක ගැනීම සඳහා වෙන්වූ ස්ථානයක් නොවන බව සැබෑය. එය වැරදිකරුවන් දඬුවම් ලැබීම සඳහා සකස්වූ ස්ථානයකි. එහෙත් මෙරට සිරකරුවන් විඳින්නේ නීතියෙන් නියමවූ දඬුවම් නොවේ. දෙසීයක් තුන්සීයක් රැඳවිය හැකි සිරගෙයක් තුල අටසීයක් හෝ දහසක් වැනි ප්‍රමාණයක් රැඳවූ විට ඇතිවන තත්වය අමුතුවෙන් විග්‍රහ කලයුතු නොවේ. අනෙක් අතට මරණ දඬුවම නියමවූවන්ට එම දඬුවම හිමි නොවන අතර ඒ හේතුවෙන් මරණ දඬුවම් හිමි සිරකරුවන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩිවේ. එහෙත් ඊට සමානුපාතිකව පහසුකම් වැඩිවීමක් වීමක් නොමැත. අවසාන ප්‍රථිඵලය වන්නේ සිරකරුවන් අතර අසහනය වර්ධනය වීමයි. එවැන්නන් දාහක් දෙදාහක් සිටි ස්ථානයක් පරීක්ෂා කිරීමට නිලධාරීන් දෙතුන්සීයක් යාමේ අනුවනකම දැන්වත් වටහාගත යුතුය.

ගියවර(ගිය වසරේ) සිදුවූ කැරැල්ලට දින කිහිපයකට පෙර සන්ධ්‍යා කාලයේ මා සිරගෙදර සේවය කරන මිත්‍රයෙකු සමඟ බන්ධනාගාරය ආසන්න ක්‍රීඩා පිටියක සිටියෙමි. කැරැල්ල සිදුවූ එක් වාට්ටුවක් එම ස්ථානයට දර්ශනය වන අතර සිරිත් පරිදි ඒතුල විදුලිපහන් නිවා දැමිණි. ටික වේලාවකින්, විවිධ වර්ණයෙන් යුත් ආලෝක ධාරා වාට්ටුව තුලින් නිවෙමින් දැල්වෙමින් තිබෙනු දුටු මා ඒ පිළිබඳව මිතුරාගෙන් විමසුවෙමි.

"ආ..... ඔතන හැමදාම ඔයවගේ තමයි. ලයිට් නිව්වට පස්සෙ තමයි මුං වැඩ පටන් ගන්නෙ. දැං කවුරුවත් බලන්න යන්නෙත් නෑනේ. ඇතුලෙ මේ වෙලාවට නැති දෙයක් නෑ. කම්බි කෑලි වලින් හීටර් හදාගෙන වතුර උණුකරනව, ආප්ප රොටී හදනව, ෆෝන් චාජ් කරනව,..... ඕව කරද්දි තමයි ඔය එලි පේන්නෙ. ඕව නවත්තන්න ලේසියෙන් බෑ"

සමහරුන්ට සිරගෙදර නවාතැන්පලක් මෙන්ම ස්වකීය පවුල නඩත්තු වන ජීවනෝපාය මාර්ගයද වන්නේ එසේය. එහෙත් මේවා නැවැත්වීමට තරම් ශක්තියක් සිරගෙදර සේවකයන්ට නොමැත.

කතා කලයුතු අනෙක් පැත්ත වන්නේ ලංකාවේ සිරගෙවල පවතින තාක්ෂණික ක්‍රමවේදයන්ගේ අඩුපාඩුය. සමහර දිනක මා කාර්යාලයට යන බසයේ සිරකරුවන් ප්‍රවාහනය කරනු දැකිය හැකිය. මාංචු දැමූ සැකකරුවන් පොදු ප්‍රවාහන සේවයේ ගෙනයාම කොතරම් සදාචාරාත්මකද යන්න සිතා බැලිය යුතුය. සිරකරුවන්ට/සමාජයට විශාලම හාණිය සිදුකරන, ශරීරය තුල සඟවාගෙන බන්ධනාගාර තුලට එන ජංගම දුරකථන සහ මත්ද්‍රව්‍ය නැවැත්වීමට තවමත් පවතින්නේ "ඇඟිල්ල ගැසීමේ" ක්‍රමවේදයයි. අඩුම තරමින් බන්ධනාගාරය ආවරණය වන කැමරා පද්ධතියක්වත් නොමැත.

මෙම අඩුපාඩු නිවැරදි නොකර සිරගෙදර තුල විනය පවත්වාගැනීම උගහටය. දෙවරක් ඇතිවූ ඛේදවාචකය තෙවැනිවරටත් ඇති නොවීමට වගබලාගත යුතුය. එමෙන්ම පැනගිය සිරකරුවන් ඝාතනය කිරීමෙන් පළිගැනීම සම්පූර්ණ කිරීමකටද අවතීර්ණ නොවිය යුතුය.

78 comments:

  1. යකඩ මල්ලට ගුල්ලෝ ගහලා තියෙනව නම් වී මලු ගැන හොයලා වැඩක් නෑ අයියේ...

    ReplyDelete
  2. මගේ යාලුවෙකුත් සැකකරුවෙක් ලෙස මාස 4 ක් මහර බෝඩිමේ තැපලා එළියට ආවා... ඌ ඇවිත් කියපු විස්තර අනුව... ඇතුලේ ඉතාම පහසු මිළට ගන්න පුලුවන් දේ තමයි කුඩු... 80% පමණ හිරකාරයො සහ කාරියො කුඩු ගහනවලු, කුඩු ප්‍ර‍වාහණය කරන්නෙ බන්ධනාගාර නිලධාරීන්ම තමයි... ඇතුලට ෆෝන් ගෙනත් දෙන්නෙත් ඒ අයලු... ඒ අය ගෙනත් දීපුව ඒ අයම ආයෙත් අල්ලලා උන්ගෙන් සල්ලි අරන් ආයෙමත් විකුණනවලු.... ඌ ඇතුලෙ ඉදන් මට ඇමතුම් දීපු දවසුත් තිබ්බා... සමහර බන්ධනාගාර නිලධාරීන් එක දවසට රු 5000/- හොයනවලු...ඒ පඩියට අමතරව මේ වගේ ජරාව කෑමෙන්... ලංකාවෙ බන්ධනාගාර පද්ධතිය හරියට හදන්න නම් මා සිතන්නෙ මේවායේ පාලනය හමුදාව යටතට පත් කල යුතු බව... ඇතුලෙ ඉන්න දූෂිත නිලධාරීන් සිටින තුරාවට මේවා හදනවා බොරු...බන්ධනාගාර නිලධාරීන්ට හමුදාවට තරම් මේවා කාර්යක්ෂමව පාලනය කරන්න බෑ.

    වැලිකඩ සිරගෙය පිහිටා තිබෙන ස්ථානය ගැලපෙන්නෙ නෑ... ප්‍ර‍ධාන මාර්ගයක් ඉදිරියෙන් තියෙන්නෙ... යම් හදිසි සිදුවීමක් ඇති වුනොත් එයින් වෙන්න පුලුවන් හානිය ඉතාමත් වැඩියි සිවිල් ජනතාව විශාල වශයෙන් අවට සිටින නිසා... සිර ගෙයකට උචිත වෙන්නෙ හුදෙකලා ස්ථානයක්...

    මෙම සිදුවීම වාර්තාකිරීමට ගිය ඡායාරූප මාධ්‍යවේදී මගේ සහෝදරයාද වෙඩි නොකා 99 දිවි බේරාගත් බවද කියන්න කැමතියි...

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒත් බන්ධනාගාර නිලධාරීන් ඉන්නෙ ඒ ඩියුටියටනේ. සාමාන්‍යයෙන් හමුදාවට හිරගෙවල් භාර දෙන්නෙ නෑ. මගේ නං අදහස මේක හමුදාවට නොදී ඇතුලතින්ම සකස් කලයුතු දෙයක්.

      Delete
    2. ඒක කවදාවත් වෙන්නෙ නෑ රාජ්... හමුදාවේ තරම් විනයක් බන්ධනාගාර නිලධාරීන් තුල ඇති කරන්න බෑ...

      Delete
  3. ඔව් රාජ්. මෙම ක්‍රමය තුල හැමදේම දේශපාලනීකරණයට මුදලට ලක්වෙලා තියෙන්නේ. ඔබ කිව්ව වගේ බන්ධනාගාර නිලධාරිනුත් පොලිස් නිරධාරින් වගේම දැඩි පීඩනයකින් රාජකාරි කරන අය. හිර ගෙදර කැරලි ඇති වීමට හේතු ගැන පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි. සමහර විට සුළු සිද්ධියක් මත පදනම් වෙන්න පුළුවන්. හැබැයි මේ වගේ දේවල් නවත්වන්ට කරුණා කාරණා නොයොදන්නේ නම් විශාල විනාශයක් අත ළග බව කියන්න ඕන.

    ReplyDelete
    Replies
    1. දේශපාලනය තමයි මේ ප්‍රශ්නවල මුදුන් මුල. ඒක නං කවදා නැතිකරයිද දන්නෙ නෑ.

      Delete
  4. ඔතන වෙන දේවල් මට මෙහෙම ලියන්න බහ පොස්ට් එකක්ම දාන්න වෙනවා
    ඔයා කියල තියෙන හැම දෙයක්ම ඇත්ත රාජ් අයියේ

    ReplyDelete
    Replies
    1. හරි. පෝස්ටුවක්ම දාපංකෝ. මේක තමයි වෙලාව.

      Delete
    2. ඔන්න දැම්මා http://chithula.blogspot.com/

      Delete
  5. මමත් හිතන්නේ හිරගෙවල් වල පාලනය තරමක් දුරට හරි හමුදාව (100% නම් නෙමෙයි) යොදාගන්නවානම් හොඳයි කියලා.

    එකපාරක් කළුතර හිරගෙදර සෙට් එකක් පනින්න ගිය වෙලේ එතන රෑ ඩියුටි ඉඳල තිබ්බේ 4 දෙනයි (පත්තරේ තිබ්බ විදිහට). ඒකෙනුත් හිරකාරයෝ 4 ක්ද කොහෙද වෙඩි කෑවා. අන්තිමට වෙඩි තිබ්බේ ඇයි කියලා වෙඩි තිබ්බ එකාට විරුද්ධව පරීක්ෂණ කළා. (අන්තිමට මොනා උනාද කියලනම් දන්නේ නැහැ) ඒත් ඉතිං ඕන මෝඩයෙක්ට තේරෙන්න ඕන හිරකාරයෝ ගොඩක් (ව්ශේෂයෙන්ම කොටි හිර කරුවන්) පැනලා යන්න හදද්දී 4 දෙනෙක් වෙඩි නොතිය මොනා කරන්නද කියලා.

    මේවා මුල ඉඳලම හැදෙන්න ඕන අයියේ. මේ සිස්ටම් එකට; නොකළ වැරැද්දකට හරි හොඳ මිනිහෙක් හිරේ ගියොත් ඌ එලියට එන්නේ හිටියට වඩා ගොඩක් දරුණු අපරාධ කාරයෙක් වෙලා.

    ReplyDelete
    Replies
    1. සිසිටම් එකම වෙනස්වෙන්න ඕන කියන ටිකට එකඟයි. හැබැයි හමුදාවට මේවායේ පාලනය භාරදියයුතුයි කියල මම නං කියන්නෙ නෑ. ඇත්ත! සමහර දවසට මම දැකල තියනව හමුදාව ට්‍රැෆික් රාජකාරිවල ඉන්නව. ඔවුන් රාලහාමිලට වඩා හොඳට වැඩෙත් කරනව. ඕන තැනකදි ඔය වැඩේ ඔය විදියට තමයි සිදුවෙන්නෙ. ඒකට හේතුව හමුදාවෙ තියන විනය. ඒ වගේම කෙටි කලක රාජකාරියේදී වංචා දූෂණ සිදුකරනවත් අඩුයි. එහෙම බැලුවොත් හැම තැනකටම හමුදාව යොදවන්න බෑ. කලයුත්තේ සෑම තැනකම තත්වය හමුදාවේ තරමට දියුණු කිරීමයි. ඒක කරන්න බැරි දෙයක් නෙවේ. මොකද හමුදාවට වගේම අනෙක් තැන්වල ඉන්නෙත් රටේ ඉන්න සාමාන්‍ය මිනිස්සු.

      Delete
    2. හමුදාව යොදන්න කියන්නෙ ඔවුන් සතු නවීනතම පුහුණුව හා උපක්‍ර‍ම නිසයි... ඉහළ පෙළේ මංකොල්ලකරුවන් හා මිනීමරුවන් පාලනය කරන්න නම් බොහොම සන්නද්ධ, කායශක්තියෙන් ඉහළ බලකායක් ඉන්න ඕනෙ... අපේ බන්ධනාගාර නිලධාරීන් දිහා බලපුවාම මට නම් සෑහීමකට පත් වෙන්න බෑ... ඒ අයට ඉලක්කයට වෙඩිල්ලක් වත් තියා ගන්න පුලුවන්ද කියලා හිතෙනවා...

      Delete
    3. අපේ බන්ධනාගාර නිලධාරීන් දිහා බලපුවාම මට නම් සෑහීමකට පත් වෙන්න බෑ... ඒ අයට ඉලක්කයට වෙඩිල්ලක් වත් තියා ගන්න පුලුවන්ද කියලා හිතෙනවා...

      අන්න එතන තමයි තියන වැරැද්ද. සුදුස්සන් සුදුසු තැන්වලට නොදැම්මම ඇතිවන ගැටළුව ඒක තමයි. හැබැයි විසඳුම හමුදාව ආදේශය නෙවේ.

      Delete
  6. ප්‍රවෘත්ති වලට මේ සිදුවීම දැක්කා. මේ සම්බන්ඳයෙන්, ලෝකේ පුරා ප්‍රදර්ශනය කරන්නේ, ප්‍රකාශ වෙන්නේ වෙනත්ම අදහස් වෙන්ට බැරිද?

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්. මේ සිද්ධියෙන් පස්සෙ ප්‍රකාශ නිකුත්කල පොලිස් ලොක්කෙක්, තමුන්ගෙ විස්තර කිරීමේදි, මියගිය උදවියගේ තියන භයානකකම ඇඟවෙන විදියටයි ඒක කලේ. ඒ කියන්නෙ "මේගොල්ල භයානක අපරාධකරුවන්, ඒ නිසා මැරුනට කමක් නෑ" ජාතියේ නිවේදනයක්. පරිපාලනයේ දුර්වලතාවයන් ඒ විදියට වහගන්න බෑ. කොතරම් භයානක පුද්ගලයන් උනත් මේ සිරකරුවන් මියයාම කියන්නේ අපකීර්තිමත් සිදුවීමක්.

      Delete
    2. ඔව් අද පත්තරවලත තිබ්බෙ මේ විදිහේ භයානක අපරාධකාරයො මියගිහින් කියලා.. ඒක බල බල සමහර මිනිස්සු සන්තෝස වෙනවත් දැක්කා.. දැන් ඒකත් තමුන්ගෙ වාසියට යොදාගන්නයි පාලකයො හදන්නෙ..

      Delete
    3. ඔව්. සාධාරණීකරණය කරන්න හදනව බරපතල අපරාධකරුවන් කියල.

      Delete
  7. මේව ගැන කොච්චර ලිව්වත් බීරි අලින්ට වීණා වයනව වගේ තමයි. හිරගෙවල්වල පහසුකම් වැඩිකරන්නෙ මොටද රාජ්, එයාලට අවශ්‍ය අයට පහසුකම් සලසන හැටි ඒගොල්ල දන්නව, අනිත් උන් කොහොම හිටියහම මොකද? අනෙක නිලධාරීන් හැටියට දමාගතිපු හෙන්චයියො සැපට ජීවත් වෙන්නෙ කොහොමද හිරකාරයොන්ට ඔය ඕන නැති පහසුකම් දෙන්න ගියාම. මට පේන්නෙ නම් මේ රට ගොඩදාන්න දියසේන කුමාරයටත් බැරිවෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. එක්කෝ මිනිස්සු මැරෙන, මේවගේ සෝදිසි නවත්තන්න ඕන. එතකොට නිලධාරීන් තමුන්ට ඕන විදියටත් හිරකාරයො එයාලට ඕන විදියටත් ඉඳීවි. නැත්තං හරියට හදන්න ඕන. ඔය දෙකේ අතරමැදි අවස්තා ඕන නෑ.

      Delete
  8. හරියටම හරි රාජ්. උඹ හැම පැත්තක්ම කවර් කරලා තියනවා. හමුදාවට බන්ධනාගාර පාලනය දිය යුතු නැහැ කියන මතයේ මාත් ඉන්නවා. හමුදා සෙබලුන් සාපේක්ෂව විනයානුකූලයි කියලා රටේ හැම කටයුත්තකටම ඔවුන් යොදවන්න ගියාම, එක අතිකින් වෙන්නේ හමුදාවේ ඒ විනය පිරිහෙනවා, ඒ වගේම රට හමුදාකරණය වීමක් වෙනවා. හිර ගෙදරක් කියලා කියන්නේ ගොඩාක් කන්ට්‍රෝල්ඩ් තැනක්, ඒ වගේ තැනකට, කැමරා පද්ධති, නව ආරක්ෂක තාක්ෂණික උපාංග යෙදීම එච්චර අපහසු වෙන්න බැහැ. හිර ගෙදර ඇතුලේ ඕන හැම අවැඩක්ම සිද්ධවෙන්න වාතාවරණය සකස් කරලා මේ විදිහට සර්ච් කරන්න ගියහම, අනිවාර්යෙන් ගැටුමක් ඇතිවෙනවා.

    මේකෙ ඉන්න දරුණු අපරාධකාරයෝ, මහජන මුදලින් ඔවුන් නඩත්තු කරනවට වඩා මෙහෙම හරි මරලාදාන එක හොඳයි කියල කීප දෙනෙක්ගෙන්ම මට ඇහුණා. අපි පෙනී හිටින්නේ නීතියේ ආධිපත්‍යට ගරුකරන, වැරදිකරුවන්ට සුදුසු දඬුවම් ලැබෙන සමාජයක් වෙනුවෙන් නම්, නීතියට පිටින් ගිහින් අපිට එතැනට එන්න බැහැ. නීතියට ගරු කිරීම, නීතිය පිළිපැදීම තුලින්මයි අපි ඒ තත්වෙට එන්න උත්සහ කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඔව්. ලෝකය ගමන්කරන්න ඕන සියවම දෙනාගේ අයිතිවාසිකම් රැකෙන පැත්තට. සිරකරුවන් සම්බන්ධයෙන් උනත් ඒ තත්වයේ වෙනසක් නෑ. ඒ වගේම නීතියට පිටින් සිදුකරන ඝාතන කෙසේවත් අනුමත කරන්න බෑ. ඒවගේ සමාජයක් කවදාවත් යහපත් අතට ගමන්කරන්නේ නෑ. මට කියන්න බැරිවුන ටික උඹ හරියටම කියල තියනව.

      Delete
    2. මෑත ඉතිහාසෙ අවස්ථා දෙකකදි මිලිටරියෙ රස බලපු දකුණෙ මිනිස්සු හැම දේටම හමුදාව යොදවන්න ඕන කියන මානසිකත්වයෙම සිටීම එක අතකට මහ විකාරයක් කියල මටත් හිතෙනව. සිවිල් පරිපාලන කටයුතු කිසිම දේකට හමුදාව යොදවන එකට මම නම් පොඩ්ඩක්වත් කැමති නැහැ. සිවිල් පුද්ගලයින් දැරිය යුතු තනතුරු රාශියකටම හමුදා නිලධාරීන් අනුයුක්ත කිරීමේ අනතුර බොහෝ දෙනෙක් තවමත් වටහාගෙන නැහැ.

      අනෙක් අතට හමුදාව ලවා කම්කරු වැඩ කරවන එකත් සම්පූර්ණයෙන්ම වැරදියි. රටකට හමුදාවක් සිටින්නෙ නගර සභා කම්කරුවන් කළයුතු වැඩ කරන්න නෙවි. යුද්ධයෙන් පසු හමුදාව නිකන් ඉඳන් පඩි ගන්නව කියල අදහසක් පාලකයොන්ට තිබෙනව නම් ඔවුන් එයට වෙනත් විකල්පයක් සොයාගත යුතුයි.

      Delete
  9. කොහොමහරි අයවැය කිට්ටු කරල ගේම දුන්නා එහෙනන්. මිනිස්සුන්ට දැන් අයවැයටත් වඩා මේක තමා නිවුස් එක. :)

    ReplyDelete
    Replies
    1. ඒක නං හරි. මිනිස්සු කට ඇරගෙන බලං හිටිය හිරගෙදර වෙඩි තියාගැනිල්ල. (මාත් එහෙම තමයි)

      Delete
  10. ඔබේ සටහන පුරාවටම වැදගත් මෙන්ම යථාර්තය මතු වන තැන් කිහිපයක්ම තිබේ.ලිපිය වැදගත්.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  11. හමුදාවත් පොලිසියත් වෙනස් වෙන්න හේතුවක් තිබෙනවා. ඒ හමුදාව රටේ සතුරන් සමග සටන් කරද්දී පොලිසිය රටේ ජනතාව රකින කාර්යය කරන නිසයි. හමුදාව ඔය වැඩ දෙකටම කර ගහන්න ගියාම වෙන්නේ රටේ සතුරන් බවට ජනතාව පත්වීමයි.

    මේ කතාව කිව්වෙ ඔය හමුදාවට හිරගෙවල් බාරදෙන්න කියන උදවියට. :)

    "There's a reason you separate military and the police. One fights the enemies of the state, the other serves and protects the people. When the military becomes both, then the enemies of the state tend to become the people."
    ~ William Adama/ Battlestar Galactica

    ReplyDelete
    Replies
    1. /හමුදාව ඔය වැඩ දෙකටම කර ගහන්න ගියාම වෙන්නේ රටේ සතුරන් බවට ජනතාව පත්වීමයි/

      හරියට හරි!

      Delete
  12. සිර කියපු කතාවෙත් යම් සත්‍යයක් තියෙනවා. වෙන්න යන්නෙත් ඒක වගේ. ඉතා වටිනා ළිපියක් මචං හිතුනොත් මමත් මේ ගැන ලියනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ලියපිය. අපිත් මේ කාලෙකින් කබරයා දැම්මේ නෑ කියල හිත හිත හිටියේ.. හික්..

      Delete
    2. සිරා කිව්වට වැඩිය මේ කෝරලේ මහත්තයගෙ ලිපියෙ විසිතර තියනව බලපං. http://chithula.blogspot.com

      ඌ ඇතුලෙ ඉඳල ආව එකෙක්.
      මම උදේ හිතුවෙ උඹ මේ වෙනකොටත් මේගැන ලියල ඇති කියල. ලියපං අවුලක් නෑ. ලිපි වැඩිවුන තරමටයි හොඳ.

      Delete
    3. බොහෝම වටිනා ළිපියක්.. පත්තර වල ගියත් අද පත්තර බලන පිරිස අඩුයි. ඔය ජේලර් සෙල්ලම නම් වහාම නවත්වන්න ඕන. නැත්නම් හිර ගෙදරිකින් වන යුතුකම ඉටුවෙන්නෙ නෑනේ..

      Delete
    4. හ්ම්. කෝරලයත් හොද සූස්ති අල්ලල තියෙනවා වගේ.

      Delete
  13. යම් තැනක හරියට වැඩේ කෙරෙන්නේ නැත්නං හමුදාව දාල හරි ඒ දේ කළ එක නරකම නෑ නේද.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. හමුදාව යොදවන්න ගියොත් ඕකෙ සීමාවක් දකින්න බෑනේ. හැම තැනටම හමුදාව යොදවනවද? නැත්තං හැම තැනක්ම කළමනාකරණය කරනවද?

      Delete
  14. හිරගෙවල් රටේ ප්‍රධාන නගර වලින් ඉවත් කල යුතුමයි කියන මතයේ මා සිටිනවා ....

    ReplyDelete
    Replies
    1. ඒ තවත් අවශ්‍යතාවයක්. ඇත්තටම හිරගෙවල් තියන ස්ථාන බැලුවම ඒව වෙනත් අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන් යොදාගන්න පුළුවන් තමයි.

      Delete
  15. නීතිය රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම රකින ‍රැකෙන දවසක හිරගෙදර ඒ වගෙ වේවි. ඒ කවදාද ?

    ReplyDelete
  16. කොරලේ මහත්තයගේ දහා ගිහින් මෙහෙම එකක් කියෝලා ආවා විතරයි....හ්ම්....මේ කියන දේවල් ක්‍රියාවට නංවන්න පූළුවන් කෙනෙක් ඉන්නවනම්.........?

    ReplyDelete
  17. හිර ගෙවල් කියන්නේ මිහිපිට අපාය කියනවනේ

    ReplyDelete
  18. "සමහර දිනක මා කාර්යාලයට යන බසයේ සිරකරුවන් ප්‍රවාහනය කරනු දැකිය හැකිය."
    අහ්..... මන් ඔය ඇහුවමයි පොදු ප්‍රවාහන සේවයක හිරකාරයෝ ගෙනියනව කියල.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත. මම කිහිප වතාවක් දැකල තියනව.

      Delete
    2. අපිව නඩු වලට අරගෙන ආවෙත් බස්එකේ තමයි.....
      එක්කෙනෙක් දෙන්නෙක් නම් ඉන්නෙ ඒකට බන්ධනාගාර වාහන පාවිච්චි කරන්නෙ නෑ.

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. වැදගත් ලිපියක් රාජ්. හැම තැනකම තියන අනවශ්‍ය දේශපාලන අතපෙවීම් හුඟක් ප්‍රශ්න ඇති කරන්න මුල් වෙනව කියලයි මට හිතෙන්නේ. බලවතාට නීතිය එක විදිහක්, බලය නැති එකාට තව විදිහක්. මේක නැති වෙනකල් මේ ප්‍රශ්න මෙහෙමම තියෙයි.

    ReplyDelete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. සල්ලි සල්ලි සල්ලි. සල්ලි තියනවනම් කරන්න බැරි දෙයක් නෑ. හිරගෙදරට විතරක් නෙවෙයි ඕනෑම තැනකට අදාල පරම සත්‍ය මේකයි.
    මේවා ගැන කතා කරන වෙලාවත් අපරාදේ.මේ වගේ පෝස්ට්ස් , විනෝදාන්සෙට වගේ කියවල හිත පොඩ්ඩක්
    සනසගන්න නම් වටිනවා.

    "මහ උළු ගෙදර ජීවිතය" හෙවත් "ඇතුලේ life එක"

    http://susthiposts.blogspot.com/2012/06/life.html

    ReplyDelete
    Replies
    1. නියම පෝස්ටුව. නැද්ද තව විස්තර.

      Delete
    2. bro invite me to your blog

      Delete
  23. hm hm me kramaya wenas karanna ona. Man e gena salaka balannam.
    ;)

    Aththa raj aiye, kathandare ehema thamai, owa wenas karanna nam maha then wala indan patan ganna wei.

    ReplyDelete
  24. වැටයි නියරයිනේ වැඩියෙන්ම ගොයම් කන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං. කාට කියන්නද මේ අවනඩුව.

      Delete
  25. ඇඟිල්ල ගැසීමේ ක්‍රමවේදය කියන්නේ මොකද්ද අප්පා...ඇර කෝරලේ මහත්තයා ලියලා තියන බංකර් ක්‍රමේද?

    ReplyDelete
    Replies
    1. බංකර් පරීක්ෂා කිරීමේ ක්‍රමය.

      Delete
  26. මඩිස්සලේට හෙන ගැහුවම කිල්ලොටේ ගැන කථාකරල වැඩක් නෑ කියනවනේ.
    ඒක හින්ද මඩිස්සලේ බේර ගත්තොත් කිල්ලොටෙත් බේරෙයි.

    ReplyDelete
  27. අනේ මන්දා රාජ්.

    මෙහෙ ඉන්නකොට අපි බලන ටීවී ඩොක්‍යුමෙන්ට්‍රි සීරීස් එකක් තමයි
    Banged Up Abroad
    Locked Up Abroad
    ඔය දෙකේම කියවෙන්නෙ දැන හෝ නොදැන බොහෝ විට මත්ද්‍රව්‍ය ගෙනියලා අහුවෙලා පිටරටවල අතඩංගුවට පත්වෙලා හිරේ වැටෙන ඇත්ත සිද්ධි ගැන.

    ඔය හුඟාක් සිද්ධි වල පෙන්නන හිර ගෙවල් නම් අපේ ඒවට අන්තයි රාජ්.
    වෙන්නෙත් සමාන සිද්ධි. තත්වෙ ඛේදබ්නීයයි. නීතියක් නෑ, ජේලර්ලා දූෂිතයි.

    උඹ බලලා තියෙනවද Midnight Express?


    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔය එකක්වත් බලල නෑ බං. ලෝකයේ තියන බොහොමයක් හිරගෙවල් වල තත්වය හොඳ නෑ තමයි. එහෙමයි කියල අපිත් නරක්වෙන්න ඕන නෑ.

      Delete
  28. මේ සිද්ධිය වෙන්න සතියකට විතර කලින් පාර්ලිමන්ට් එකේ පොඩි දෙබසක් ගියා.

    සජිත් - දැන් ඔබතුමාලා මේ මරණීය දණ්ඩනයට නියම වෙලා ඉන්න හිරකරුවන් පිලිබද ගන්න ඉන්න පියවර මොකක්ද?

    ආන්ඩුවේ ඇමතියෙක්.. (නම මතක නැත) - ඔබ තුමා කියන්නේ ඔවුන්ව මරල දාන්න කියලා..ද??

    සභාවෙන් සිනා..

    දෙබස අහවරය..

    රජයෙන් හැම ගැටලුවකටම විසදුම විහිලුවක්ය..

    ReplyDelete
    Replies
    1. පාර්ලිමේන්තුවෙ ප්‍රශ්න ඇසීම කියන්නෙ තනිකර විහිළුවක් බං.

      Delete
  29. වටිනා ලිපියක් රාජ් අයියේ....කෝරලේ මහත්තයෙග් පෝස්ට් එකත් කියෙව්ව ඔන්න.............

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මලය.

      Delete
  30. ජීවිතාන්තය දක්වා මරණ දඬුවම හිමි වෙච්ච එවුන් මරල දැම්මහම මොකොද. එක පාරක් දෙපාරක් කියල අහෙන්නෙ නැත්නම් වෙඩි තියල දාන්න තිබ්බේ මේ වහල උඩ ඉන්න එවුන්ව අනිත් උන්ටත් පාඩමක් උගන්වන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම මරාගෙන මරාගෙන ගියාම හරිද? ඉස්සෙල්ල සැරයක් මේ විදියට මැරුව. දැන් දෙවනි වතාවට විසි ගනනක් මැරුව. මං අහන්නෙ ඔය 'පාඩම උගන්නන්න' කී සැරයක් මරන්න වෙයිද?

      Delete
    2. අපේ ජාතියට තියෙන ලොකුම වරද අමතම වීම. ඒ නිසා නැවත නැවත මතක් කරල දෙන්න ඕනේ. මුන් මේ හැසිරෙන්නේ හරියට මුන් කිසි වරදක් කරල නැහැ වගේනේ. කොහොමද T56 අල්ලන් ඉන්න එකා. තියන්න තිබ්බේ මුගෙ ඔළුවටම කුඩු වෙලා යන්න.

      Delete
  31. පෝස්ට එකට එකගයි....

    මම මැගසින් බන්ධනාගාරයෙත් - බන්ධනාගාර රෝහලෙත් ඉදලා තියෙනවා. බන්ධනාගාර රෝහලේ තියෙන එකම වෙනස නිදගන්න ඇදන් තියෙනවා සර්වෝදයෙන් දීපු මෙට්‍රස් එක්ක.
    ඒ හින්දා තදයො හිරෙට නියම වුනාම කෙලින්ම දාන්නෙ බන්ධනාගාර රෝහලට. ඒ වගෙම එතන ඕන තරම් කුඩු තියෙනවා.රූකාන්තගෙ පළමු විවාහයේ බිරිදගේ මල්ලි අපිත් එක්ක හිටියා. (රූකාන්තගෙ ගෙදර බඩු පොඩිකරපු සිද්ධියකටයි මිනිහා ඇතුළට ඇවිත් තිබුණේ)ඇතුළට එනකොට මිනිහා කුඩ්ඩෙක් නෙවෙයි. ඒත් ඇතුලෙදි නොම්මර එකේ කුඩු කාරයෙක් වුනා.

    හිරගෙදරදි කවුරුවත් හැදෙන්නෙ නෑ.එහෙම පරිසරයක් එතන නෑ.

    ReplyDelete
    Replies
    1. නැහැ එහෙම නෑ. එතැන දේ දැක්කම ආයේ එතනට යන්න නොවෙන විදියට හිතල වැඩ කරන අය ඕන තරම් ඉන්නවා. ඒ වගේ දුකක් විදින්න අපි මිනිස්සු වෙන්ට ඕන නෑ..

      Delete
  32. රාජ් නියමෙට අදහස් ලියල තියෙනවා, ඇත්තටම මෙතන තනිකර බන්ධනාගාර නිලධාරින්ගේ වරදින් සිදුවුවක්, නමුත් මමත් කැමතිම නැහැ හමුදාව බන්ධනාගාර සේවයට යොදනවට (මොකද මගේ පියාත් හමුදාවේ සිටි නිලධාරියෙක්- හමුදාව කියන්නේ මොකක්ද කියලා මමනම් හොඳට දන්නවා) හමුදාව බන්ධනාගාර ආරක්ෂාවට යෙදෙව්වොත් හමුදාවම අපකිර්තියට ලක්වෙනව, මොකද 1990/91 වකවානුවේ හමුදාවේ සේවය කරන්නෙ රජයේ කුලියට මිනිමරන පුද්ගලයන් කියලා හමුදාව අවමානයට ලක්කලා, එ කාලයේ පාසැලෙදි මමත් අපහසුතාවයට පත්වුනා, දැන්නම් රණ විරුවන් කියල ගෞරව කරනව,සිවිල් කටයුතුවලට ඒ ඒ දෙපාර්තුමෙන්තු වල නිලධාරින්ට අවශ්‍ය දැනුම සහ පුහුනුව ලබාදි ඔවුන්ට සාධාරන වැ‍ටුපක් ලබාදුන්නානම් ඔය ප්‍රශ්නය 99%ක් විස‍ඳෙනව, නැතිනම් රටම මිලිටරි කරනය වෙනව, අනික තමයි එදා සිද්දියෙදි මරාදමනු ලැබු සිරකරුවන් ගැන මාධ්‍යට ප්‍රකාශයක් කල යුත්තේ බන්ධනාගාර ප්‍රකාශක මිසක පොලිස් ප්‍රකාශක නොවෙයි, ඔහුට අයිතියක් නැහැ බන්ධනාගාර සිරකරුවන් ගැන ප්‍රකාශ නිකුත් කිරිමට, එහෙනම් ඇයි බන්ධනාගාර ප්‍රකාශක කෙනෙක් පත්කරල ඔහුට ජනතා මුදලින් වැ‍ටුප් ලබා දෙන්නේ

    ReplyDelete
  33. කියෙවුවා රාජ්...
    ජනතාවට ඇහුම් කන්දෙන ජනතාවගේ පොදු අදහස් ක්‍රියාවට නැංවෙන හෝ ජනතාවට ඇහුම්කන් දෙන රටක් අපට නැති නිසා මොකුත් කියන්න යන්නේ නෑ මම.!

    ReplyDelete
  34. මේ ක්‍රමය ජේලර් ගේ ඉඳල පටන් ගන්න ඕනේ. සිරකරුවෝ සුද්ද කරනවට වඩා ඒ ක්‍රමේ පහසුයි. සිර කාරයොත් ඉබේම සුද්ද වෙනවා.

    ReplyDelete
  35. කාලීන වශයෙන් වැදගත් ලිපියක්. ඇමරිකාවේ අල්ක්ට්‍රාස් දිවයින වගේ තැනක මේවා පිහිටුවාම. ඔය ජංගම දුරකථන සහ කුඩු ප්‍රවාහනය නවත්වන්න පුළුවන්. බන්දනාගාර නිලධාරීන්ව පරීක්ෂා කරන එකත් වැදගත්. ඉස්සර කන්කසන්තුරේ සිර කඳවුරක් තිබුනාලු නේද ?

    ReplyDelete
  36. ඔතන මහ එකාගේ ඉඳන් පොඩි එකා දක්වා වැරදි. මෙතන ජේලර්ලගෙ වැරදි තියෙනවා. නමුත් මොනවා කලත් රාජ්‍ය සේවයේ වැරදි ගොඩයි

    ReplyDelete