Monday, March 16, 2015

සීලවතී නැන්දා, සැන්ටි අයියා, සිමියොන් මාමා සහ යහපාලනය.

"මහින්ද මහත්තය යවල මෛත්‍රී පත්කලාට වැඩක් නෑ බං!" ඒ මගේ මිතුරෙකුගේ කතාවකි. ඊ‍ට හේතු විමසූ මාහට ඔහුගෙන් ලැබුන පිලිතුර මෙවැන්නකි.

"හොරු අල්ලනව කිව්වට හොරු ඇල්ලුවෙත් නෑ, මහා ලොකුවට බඩුමිල අඩුකලෙත් නෑ, සංවර්ධන වැඩත් නෑ, ඔක්කෝටම වැඩිය ඇඟට දැනෙන මොකුත් වුනේ නෑනෙ! මහින්ද මහත්තය හිටිය නං මොනව හරි කරනවනෙ!"

සීලවතී නැන්දා, මා කුඩා කාලයේ ගමේ විසූ කාන්තාවකි. දරුවන් දෙදෙනෙකුගේ මවක් වූ ඇගේ සැමියා මියගියේ දරුවන් කුඩාවියේදීය. ඇයට වඩා තරමක වයසින් අඩු සැන්ටි අයියා ඇගේ නිවසේ බින්න බැස්සේ සැමියාගේ මරණයෙන් වසර කිහිපයකට පසුවය. තරමක මරුමුස් පුද්ගලයෙකු වන ඔහු රැකියාවෙන් කුලීවැඩ කරන්නෙකි. කුඹුරු කපා පාගන කාලයට කුඹුරු වැඩද, මඩ වැඩ කාලයට කාගේ හෝ කුඹුරක කුලියට නියරවල් බැඳීමද හැරුනු විට ගොඩ ගොවිතැන් කරන්නෙකුගේ ගොවිපලක උදළුගෑම වැනි කාර්යකින් උපයාගන්නා මුදලින් වැඩි කොටස වැයකර කසිප්පු බීම ඔහුගේ අනිවාර්ය අංගයක් විය. එවැනි දින, ගණනින් බොහෝ වූයෙන්, සීලවතී නැන්දා සමඟ ඔහුගේ සුපුරුදු රණ්ඩු සරුවල්ද ගමට නුපුරුදු දේවල් නොවීය. මාසයකට දෙකකට වරක් රණ්ඩුව උපරිම තත්වයට ඇදී ගියවිට කුස්සියේ හැලිවලං පොලවේ ගැසීම සහ සීලවතී නැන්දාට ලැබෙන ගුටිබැට, ප්‍රතිකාර ලබාගැනීමට සිදුවීමට තරම් දුරදිග යාම දැක්විය හැකිය. සමහර සිදුවීම් අවසන් වන්නේ පොලීසියෙනි. අවුරුදු කිහිපයක ඇවෑමෙන් සැන්ටි අයියා නිවසින් එලවා දැමීමට සීලවතී නැන්දාට හැකිවිය.

සැන්ටි අයියාගෙන් පසු සීලවතී නැන්දාගේ ගෙදර බින්න බැස්සේ සිමියොන් මාමාය. සැන්ටිට හාත්පසින්ම වෙනස් පුද්ගලයෙකු වූ සිමියොන් මාමා වෘත්තියෙන් පමණක් සමානයෙකු විය. ඔවුන්ගේ ජීවිතය තවත් අවුරුද්දක් දෙකක් පමණ ඔහේ ගලාගිය අතර පෙර මෙන් රණ්ඩු සරුවල් කිසිවක් දක්නට නොලැබිනි. මේ අතර කාලයේදී සීලවතී නැන්දා යලි සැන්ටි අයියා සමඟ ඇයිහොඳයි කම් පවත්වන බව ආරංචි වූ අතර සිමියොන් මාමා දිනක ඇය අත්හැර ගොස් තිබිනි. වියයුතුම පරිද්දෙන් සීලවතී නැන්දා යලි සැන්ටි අයියා‍ට අයිති විය. සැන්ටි අයියා හදිසි මරණයකට ලක්වන තෙක් ඔවුන්ගේ ජීවිත පෙර පරිදිම විය.

මේ සිද්ධි දාමය සම්බන්ධයෙන් සීලවතී පැවසුවා යයි කී, පසු කලෙක වැඩිහිටියෙක් කියූ කතාවට, අවධානය යොමුකරනු වටී.

"ගැහුව බැන්න උනත් සැන්ටිය හොඳ එකා.... එයා ඉන්නකොට ඉතිං මොනවහරි කරනව.... ටිකක් බොන එකයි මට ගහන එකයි තමයි ඉතිං වැරැද්දකට තිබුනෙ.... ඒත් ඉතිං ඌ ගැහුවෙ බැන්නෙ මටනෙ!"

කතාව එපමණය. මුලින් කී මිත්‍රයා සහ සීලවතී නැන්දාගේ සමානතාවය දැන් ඔබට නොපෙනීමට හේතුවක් නැත.
ජනවාරි අටවැනිදා පැවැත්වූ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමඟ වෙනස් වූවේ ජනාධිපති ධූරය පමණක් නොවේ. පාර්ලිමේන්තුව වෙනස් නොවුවද ආණ්ඩුව වෙනස් විය. මා මුලින් දැක්වූයේ නව ආණ්ඩුවට සාමාන්‍ය සමාජයෙන් එල්ලවන චෝදනාවකි.

පාලනය පිළිබඳ අපේ අත්දැකීම් අනුව, රටක් පාලනය යනු එක්තරා ආකාරයක සන්දර්ශනයකි. සංවර්ධිත රටක මෙන් ආණ්ඩුව ගන්නා ප්‍රතිපත්තිමය තීන්දු වලින් පමණක් සෑහීමකට පත්වීමට අපට නොහැකිය. කොතෙකුත් කොමිස් ගැසුවද කමක් නැත. බලා සැනසෙන්නට යෝධ සංවර්ධන ව්‍යාපෘති ඇවැසිය. ජනතා මුදල් කොතෙකුත් වැයකලද කම් නැත, ඇස පිනවන සන්දර්ශන ඇවැසිය. පහේ ශිෂ්‍යත්වය පාස්වන පොඩි එවුන් ජනාධිපති මන්දිරයට ගෙන්වා තෑගි දීම ඇවැසිය. කෝටි ගණන් වැය කරමින් පවුල් පිටින් ගුවන් යානා වලින් පිටරටවල සවාරි යාම ඇවැසිය. තව කෙලකෝටියක් නාස්තිකාර සන්දර්ශන ඇවැසිය. නායකයා රට පාලනය කරනවා යයි දැනෙන්නේ එවිටය.

ලංකාවේ ජීවත් වන බහුතරය සීලවතීලාය. ඔවුන්ට රජගෙදර බිල් අඩු කිරීම ඇඟට දැනෙන දෙයක් නොවේ. පවුල් පිටින් රට සවාරි යාම ඇඟට දැනෙන්නේ නැත. කොමිස් ගැසීමේ අරමුණෙන් අටවාගත් සංවර්ධන ව්‍යාපෘති නැවැත්වීම ඇඟට දැනෙන්නේ නැත. ව්‍යවස්ථාව වෙනස් කිරීම ඇඟට දැනෙන්නේ නැත. එබැවින් පාලනය පිළිබඳ ඔවුන්ගේ උකටලී වීම අරුමයක් නොවේ.

වැදගත්: මේ වත්මන් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව පිළිබඳ මගේ අදහස නොවේ. ජනවාරි අට වැනිදායින් පසු, මේ පාලනය යටතේ සිදුවී ඇති ජඩකම් බොහෝය. ඒ පිළිබඳ වෙනම කතාකල යුතුය.

21 comments:

  1. ///ලංකාවේ ජීවත් වන බහුතරය සීලවතීලාය./// සහතිකෙම්ම.. මෙහෙම ගියොත් ආපහු සැන්ටි අයියලා ගෙදර බින්න බහිනවා.. සිමියොං මාමා මේක ගැන පොඩ්ඩක් හිතුවොත් හොඳයි..

    ReplyDelete
  2. එතකොට ඔය ගමේ සැන්ටි අයියයි සිමියොන් මාමයි ඇරෙන්න වෙන කව්රුත් පිරිමි හිටියේ නැතෙයි සිලවතිට කැමති

    ReplyDelete
    Replies
    1. සිමියොන් මාමාගේ කඩේ මැනේජර් රනා කොලුවා තමා .. ඌ නම් ටිකක් එක විදියක්.. ගෑනු දිහා බලන්නෙත් නෑ

      Delete
  3. කිව්වට විශ්වාස කරන්න මේ වගේම පෝස්ට් එකක් ලියන්න ගත්තා විතරයි. ඔබ නොකියූ කෑල්ලක් තියෙනවා. ඒ තමයි සීලවතී ප්‍රයෝජනයට ගන්නා හැවොම යන්නේ ඇගේ මෝඩ කමට හිනාවෙලා. "මෝඩ ගෑනී ඕකිට ඔහොම වෙලා මදි " කියලා.. අනිත් එක සිමියොන් මාමා ගෙදර ලැගලා ඉන්න දොහේ උගේ අත් උදව්වට හුන් සකලබුජන් , සීලවතීගේ වත්තේ කෙහෙල් කැනත් කපන් මාරු උනා

    ReplyDelete
  4. සීලවතී නැන්දා තමා සීලවතී නැන්දා...:P

    ReplyDelete
  5. එයා ඉන්නකොට ඉතිං (ඇඟට දැනෙන්න) මොනවහරි කරනව....
    නියම උපමා කතාවක්.

    ReplyDelete
  6. රාජ්, ඔය සීන් එක ඇත්තටම පරන ජන කතාවක්.

    මෙන්න ඒකෙ වර්ෂන් දෙකක්, එකක් මගෙන්,

    පරණ සිංහල ජනකතාවක් තීනව වංගෙඩි වාහෙ කියල.

    ඔන්න එක ගමක ගෑණු කෙනෙක්ගෙ මිනිහ බොහොම උස්සහ වන්ත අහින්සක එකෙක්ලු. හැබැයි මේ අම්මන්ඩිගෙ අහල පහල ගෙදර ඉන්න ගෑණුන්ගෙ මිනිස්සු නිතර බීල හවහට මේ ගෑණුන්ට තඩි බාන මරුමුස් ඩයල්. උන් එහෙම ගහනකොට ගෑණුත් විලාප දීල ගම දෙක කරන සිද්ධිත් බොහොම සුලභයි.

    දැන් අර අපේ අහින්සකයගෙ ඇන්ටිට මෙහෙම අල්ලගෙන තඩි බාන්න මිනිහෙක් නැති එක ගැන හෙන සාංකාවලු. පස්සෙ දවසක් මුන්ඩැත් කල්පනා කොරල කොරල මේකට වැඩක් සෙට් කරගත්තලු.

    මෙන්න එදා ඇහෙනවලු අර උන්දැගෙ ගේ දිහාවෙන්,

    අනේ මාව බේර ගනියෝ.. මේ වංගෙඩි වාහේ මාව මරන්න හදනෝ...." කියල.

    පස්සෙ මේ සද්දෙ අලුත් නිසා ගමේ එකාල ගෙහුන් බලත්දි අර හාමිනේ ගෙදර ලී වංගෙඩිය වහලෙ ලන්නකින් ගැට ගහල, ඒක පද්දල ඇවිත් ඇඟේ වදිනකොට මොර දෙනවලු "මේ වංගෙඩි වාහෙ මාව මරනෝ" කියල.

    තමන්ට ගුටි අනින්න, සද්දෙ දාන්න ඕන මිනිහෙක් බැරි නං වංගෙඩියක් හිටියත් මේ අපේ උන් බහුතරයක සැපැයි, සාධාරන කන්න හොයල විතරක් දෙන මිනිහෙක් ඉන්නවට වඩා.

    ලංකාවෙ අපි එහෙමයි.


    අනෙක් වර්ෂන් එක මාගල් රවී මයාගෙන් ,

    ඔය කතාව මම අහල තියෙන්නෙ ඔයිට චුට්ටක් විතර වෙනස් විදිහට. ඒකෙ මිනිහ දිනපතා ගෑණිට අල්ලගෙන තඩිබානව. ගෑණිත් මරලතෝනි තියනව. " බුදු අම්මෝ මෙන්න මේ යස්සය මාව මරනෝ..බේර ගනියෝ " කියල..මිනිහ මරුමුසා හින්ද ගමේ කවුරුවත් බලන්නෙ වත් නෑ. ඔන්න ඔහොම ඉඳල මේ මනුස්සය මලාය කියමුකො. මිනිය අස් කරල එහෙම දවස් දෙක තුනක් ගෙවිල ගියා සද්ද බද්දයක් නැතුව. ඊලඟ දවසෙ ඇහෙන්ට ගත්ත අර බබලතාගෙ මර ලතෝනිය. " බුදු අම්මෝ මෙන්න මේ යස්සය මාව මරනෝ..බේර ගනියෝ "

    යකෝ අර යකාගෙ අවතාරෙවත් ඇවිල්ල් මේකිට තඩිබානවවත්දෝ කියල ගමේ එවුන් හෙමීට කිට්ටු කරල හොස්ස පොවල බැලින්නං මොකද වෙලා තියෙන්නෙ? ගෑණි වංගෙඩිය කඹේකින් බාල්කෙ එල්ලල ඒක පද්දල එන පාරට පිට අල්ලල ඊට පස්සෙ මර හඬ තියනව.

    අපේ මිනිස්සු ගෑණු බහුතරයක් අන්න එහෙමයි.මරාගෙ ගෝලයො වැඩියම යකා නටපු දකුණෙ තමයි උන්දැට ඡන්ද වැඩිම. මට හිතෙන්නෙ බං අපි වැඩි දෙනෙක් තාම කැමති රජකෙනෙක් යටතෙ දෙකට නැමිල යටහත් පහත් කමට ඔලුව නමාගෙන ඉන්න වැඩවසම් පාලනයකට..ගහන්ට ගහන්ට අපි කැමතියි...ගහන්ට ගහන්ට අපි කැමතියි....දෑත බදල කෙලින එකාටම තමයි අපි වඳින්නෙ.ඌටම තමයි අපේ මනාපෙ...සුද්දොන්ටත් පිස්සුනෙ මේ කෙහෙල්මල් ප්‍රජාතන්ත්‍රවාදයක් බලෙං අපේ කරපිට පටවල යන්ට ගියේ. ඉන්දියාවට නිදහස දෙනවත් එක්කම සුද්ද ලංකාවෙත් නිදහස ඉල්ලල අරගල ඇතිවෙයි කියල බයවෙලා නිදහස දුන්නට, එහෙම නොකර දිගටම යටත් විජිතයක් විදිහට තියාගත්තනං මට බුදු ෂුවර් විසි එක්වන සත වරුසෙ ලෝකෙ තියන එකම යටත් විජිතය වෙන්නෙ අපේ මේ අමුතු ඇටේ..හෙහ්,හෙහ්,

    ReplyDelete
  7. සීලවතී... සීලවතී...
    ලිප ගිනි මොලවා ගන්නට හෝ
    බෙහෙතක් අඹරා ගන්ට නොවේ
    වස්තරයක් මහ ගන්නට හෝ
    රාගිනි අවුලා ගන්ට නොවේ
    තරුණ මැදිවියේ පාළු මකන්නට
    යාළු ළඳක් වී වරෙන් මගේ ගෙට
    සීලවතී... සීලවතී...

    රැකලා මරණ සිංහ රාජයෙක් නොවේ මම
    ඇනලා මරණ කුළුමී ගෝනකු නොවේ මම
    විදලා මරණ මනමේ රජෙකුත් නොවේ මම
    රවලා යන්න මා වෙතින් වෙච්ච දෝෂ කීම...

    හිරුටා එපිට සූර්ය දිව්‍ය ලෝකෙන් එපිට
    සඳටා එපිට තාරකා වළල්ලෙන් එපිට
    නුබටා එපිට ඈත සක්වලෙන් බෝ එපිට
    ඊටත් බොහෝ එපිටය මගෙ ආදරේ බොට...


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : මිල්රෝයි ධර්මරත්න
    ගායනය : ටී. එම්. ජයරත්න

    ReplyDelete
  8. සංදර්ශනේ ලස්සන නං මල් වෙඩි ගත්තේ ඩොලර් වලින්ද රුපියා වලින්ද කියල සීලවතිලට වැඩක් නෑ බං.. ඒකයි තවම තත්වේ..

    ReplyDelete
  9. ගැහුවත් බැන්නත් සීලවතීගෙ යටි හිතේ සැන්ටින් අයියට කැමැත්තක් නැතුවම නෙවෙයි. සිමියොන් මාම පතෝල වගේ. සිමියොන් මාම මුකුත් නොකලොත් නං සැන්ටින් අයිය හොරාට ගෙට රිංගන එක නවත්තන්න බෑ. එක්කො එනකොටම පොල්ලෙන් ගහල එලෝගන්න ඕන. රින්ගුවොත් නං සීලවතී සිමියොන් මාම පන්නන්නත් ඉඩ තියනවා. පීතර අයිය සීලවතීගෙ ඕනෑ එපාකම් බලන්නෙ නෑ නෙ, හිතවත්කම නිසාවට කන්න බොන්න ගෙනත් දෙනවා ගේදොර හදාගන්න උදව් කරනවා මිසක. සීලවතීට එව්වයින් වැඩක් නෑ. අඹු සැමි සම්බන්ධතාවේ මිසක. රුවිතන් අයිය නං අඹුසැමි සම්බන්ධතාවේ නියමෙට කොරන්නන්, ගෙදොරත් හදල දීල අඩුපාඩු නැතුව කන්නත් ගෙනත් දෙන්නං කියල වැට ගාව ඉඳන් කෑගැහුවට සීලවතී වැටෙන් මෙහාට ගන්නෙ නෑ උන්දැව. කයිවාරු ගැහුවට අරක කොරන්නන් මේක කොරන්නන් කියල කොරල ඇති එකක් නැති නිසා රුවිතන්ව සීලවතීට ෂුවර් නෑ. අනික කාලෙකට ඉස්සර රුවිතන් සීලවතීගේ ගෙදෙට්ට රෑ ගල් වලින් ගහපුවා තාමත් සීලවතීට මතකයි...

    ReplyDelete
  10. අනියම් සම්බන්ද තාවයකින් , සුන්දර ප්‍රේමකතාවක් කොහොමවත් බලාපොරොත්තු වෙන්න බෑ.

    ReplyDelete
  11. සැන්ටින් ගෙ රැවුල ගැන සඳහනක් නෑ නේද?

    ReplyDelete
  12. සැන්ටියා දැනටමත් ඔය බෝධි පූජා තිය තියා ඇප්රෝච් එක දාන්නේ. ඔය සීලවතීලා කට්ටියක් සැන්ටියා ඕනේ කියලා රැස්වීම් තියන්නේ. අනේ මන්දා. සිමියොන් මාමා ඔහොම හිටියොත් සැන්ටියා දවසක සිමියොන් මාමට අරිනවා මහ දවාලේ.

    ReplyDelete
  13. රාජ් එක්ක මාත් එකඟයි. සංදර්ශන වැඩ නං 2001-2004 රනිල් ආණ්ඩුවෙත් තිබ්බෙ නෑ. ඕක පටං ගත්තෙ මයෙ හිතේ ප්‍රේමදාස, ආණ්ඩුවෙන් ආණ්ඩුවට සංදර්ශන වැඩි උනා මිස මේ වගේ අඩු වුනේ නෑ. ඒ වුණාට අපිට ඕනෙ අපිව ගොණාට අන්දන එකෙක් නෙවෙයි. වැඩක් කරන එකෙක්. (අර කිව්වා වගේ ජඩකම් නං එමට තමා...)

    ReplyDelete
  14. සැන්ටින් කියන්නේ මහා අවස්ථාවාදියෙක්,බල ලෝභී මිනිහෙක්නේ.
    ඇත්ත රාජ් කියන දේ.අපේ මිනිස්සු කැමති මහා සංදර්ශනවලට.මේ යහපාලන ආණ්ඩුවේ කොයි තරම් වැරදි අඩුපාඩු තිබ්බත් මහින්දගේ "යම පාලනේට"වඩා හොඳයි.
    මේ ආණ්ඩුවේ මේ තියෙන වැරදි දැම්මම හදා ගන්න එක රටට හොඳයි.

    ReplyDelete
  15. //....................................නායකයා රට පාලනය කරනවා යයි දැනෙන්නේ එවිටය.//
    ඔය රාජ් කිව්ව ඒවට අමතරව මේ රට අල්ලගෙන රජුව විදුලිපුටුවේ ඉන්දවා අපේ ආගම ජාතිය සඟිස්කෘතිය සබ්යත්වය බෞමික අකන්ඩතාවය හැදියාව ලැජ්ජාව කන්යාබාවය විනාසකරන්න උදේ දවල් රෑ තිස්සෙ කුමණ්ත්‍රනය කරන ඇමරිකන්කාරයාගේ සිටඇස්කිමෝකාරයා දක්වා (චීන්නු හැර ) හැම පිටරැටියාටම බෝක්කුවක් විවුර්ත කිරීමේ සිට රාජනාමය සහිත මොකක් හරි එකක් විවුර්ත කිරීම ආදී සියලු සැනකෙලිවල ස්ටේජ් එකේ ඉඳන් සින්හලෙන් බැන්නෙ නැත්නම් පාලනයෙ ගතියක් නෑ

    ReplyDelete
  16. සීලවති නැන්දා මෙන් ගොනුන් සමඟ මේ රට ගොඅඩ නැගිය නොහැකිය.

    මේ ආන්ඩුව කිසිත් නොකරනවා යැයි කියන්නේ හොරකම හා දූෂණය අනුමත කරනා ගොන් හරකුන් පමණි.

    ReplyDelete
  17. මම දැක්කා අර හෙන්රියාත් නියම කතාවක් ලියලා තියනවා. කෙල්ලගේ අවධානය ගන්න, ඌ (ඌ නම් කියන්නේ ඌ නෙමේය කියලා) යාලුවන්ට කිව්වලු ඌ බස් එකට නගිනකොට හූ කියන්න කියලා. තව මගේ යාලුවෙක් කිව්වා, පොර රෑට ගොරවනවා, නිදාගන්න බෑ කියලා නාහෙන් අඬන ගෑනි, ඌ ගෙදර හිටියේ නැති එකම එක දවසක මහ රෑ කෝල් කරනවලු නින්ද යන්නේ නෑ කියලා... පොඩි ළමයි ගැන උණත් බලපංකෝ... හැමදාම හොඳට කීකරුව කියන දේ අහලා ඉන්න ළමයෙකුට වඩා, නාහෙට නාහන එකෙක් එකම එක හොඳ වැඩක් කලොත් ඌට තියන තැන. ඔය නළුවෝ නිළියෝ උනත් කාලෙන් කාලෙට කට කතා හදාගන්නවා උවමනාවෙන්ම. නැත්නම් මිනිසුන්ට උන්ව අමතක වෙලා යනවා.

    ReplyDelete
  18. අනේ මන්ද සීලවතී නැන්දත්.

    ReplyDelete
  19. අපේ හුඟක් අය බලන්නේ ඉතින් පිට ඔපයනේ.. මෙතනත් අන්න ඒකම තමයි..

    ReplyDelete