Tuesday, May 17, 2016

වසන්තයා VI, මහතුං මාමගෙ නව්‍ය ආර්තික මෙව්ව එක හෙවත් කඩේ උගසට තියල ගෑනුන්ට.......!

හංදියෙ කඩේ ලඟ සුපුරුදු සෙට්එක බරපතළ සාකච්ඡාවක්. මහතුං මාමයි, ධර්මෙ අයියයි, රුවන් මල්ලියි, කඩේ ලොකු මාමයි, එයාගෙ බෑනයි. කට්ටිය‍ කතා වෙන්නෙ මොකක් ගැනද මංද.....

"රටේ ආර්තිකෙත් දුවන්නෙ රිම්මෙකෙං.... ඉතිං අපි ගැන කවර කතාද" ලොකු මාම කිව්ව.

"රටේ ආර්තිකේ ගැන රට කරන අය බලාගනී.... ඔයා කඩේ බලාගත්තනං මෙහෙම වෙන්නෑනෙ...." ලොකුනැන්ද තේඑක ගහන ගමං හරස් කැපුව.

"මොකක් ගැනද උඹල මේ කතා කරන්නෙ?" බැරිම තැන මම ඇහුව. ඒකට උත්තර දුන්නෙ ධර්මෙ අයිය.

"මේකනෙ මල්ලී, ලොකුමාමා එක එකාලට ණය දීල දැං කඩේ හබක් වෙන්න යන්නෙ... බලපං ඇතුලට එබිල... දොර ලෑලි ටිකයි ශෝකේස් එකයි විතරයි.... මදිපාඩුවට නැන්ද ඉන්නව... හහ් හහ් හහ්.... එච්චරයි ඉතුරු"

"ඕකට කියන්නෙ ණයදීම කියල නෙවේ බං.... වැරදි ආර්තික කළමනාකරණය" රුවන් මල්ලි මැද්දට පැන්න.

"ණය විතරක් දීල නං මදැයි.... මේ මිනිහ එක එකීලගෙ මායංවලටත් බඩු දීල පුතේ..... ණය දුන්න නං ණය පොතේ තියෙන්න එපැයි!" නැන්ද ආවේස වෙලා වගේ කියවනව.

"හැබැයි මම නං දන්නව කඩේ ගොඩදාන විදිය...." නිස්සද්ද වෙලා හිටිය මහතුං මාම කිව්ව.

"හරි මොකද්ද උඹ කියන්නෙ?" ධර්මෙ අයිය ඇහුව.

"කරන්න තියෙන්නෙ මෙච්චරයි.... තව බඩු ටිකක් ගේනව.... සල්ලි නැත්තං මේ ශෝකේස් එක, නැත්තං කඩේ හරි උගස් තියල බඩු ටිකක් ගන්නව....."

"ඊට පස්සෙ?"

"කඩේ ලොකු අයිය කරල බෑ.... බෑනට දුන්න නං හරි...."

"ඒ මොකෑ?"

"මාත් දන්නෙ නෑ හරියටම.... හැබැයි වැඩේ හරියනව මං කියන කරමෙට කලාම.... මේක අලුත් විදියක්...."

"හරි කියපංකො...."

"ඔන්න කඩේ බඩු ටික ටික විකිනෙනකොට සල්ලි එනවනෙ.... ඊට පස්සෙ ගාමිනියගෙ පවුලටයි කොරටුවෙ මැගිලින් නැන්දටයි කීය කීය හරි දීල"

"මොකක්? ගෑනුන්ට දුන්න ටික මදිද තව දෙන්න කියන්නෙ?" නැන්ද ආයෙත් මැද්ද‍ට පැන්න.

"නෑ නෑ බං.... ඉස්සෙල්ල කියනෙක අහගනිංකො.... මේක කෙමක් වගේ වැඩක්...."

"හෑ! මොකක්?"

"ඔවවොව් බං.... අර දෙන්නට සල්ලි දීල කියනව මෙහෙම කිය කිය ගම වටේ යන්න කියල.... ඒ ගෑනු දෙන්න ඇර ඒ වැඩේට හොඳ කෙනෙක් මේ ගමේ නෑ නෙව..."

"හරි මොකද්ද කියන්නෙ?"

"කියන්නෙ මෙහෙමයි.... ලොකු මහත්තය කඩේ බංකොලොත් කරලය.... කඩේ ශෝකේස් එකත් සින්න වෙන්නය යන්නෙ... ටවුමෙං ගත්ත බඩුවල ණය තාම බේරුවෙ නැතිය.... කොහොම නමුත් මේ කිසි ප්‍රශ්නයක් නිසා ගමේ මිනිස්සුන්ට කිසි අවුලක් වෙන්න දෙන්නෙ නැතිය.... වෙනද වගේම අඩුවට පිරිසිදුව පිලිවෙලට බඩු ටික දෙනවය.... වගේ ටිකක් කිව්වම ඇති"

"oඈ? එතකොට කොහොමද බං කඩේ දියුණු වෙන්නෙ?" ධර්මෙ ඇහුව.

"උඹල මාව මරංකන්න හදන්නෙපා දැං.... මේක හරියන වැඩක් නිසයි කියල දුන්නෙ.... මේවගේ ලඩවලට වැඩිය ලොකු ලොකු තැං පාලනේ කරන කට්ටියත් කරන කරමෙයක් ඕක" ඒ කතාවට කට ඇරිච්ච පාර ලොකු මාමගෙ කටේ තිබුන සුරුට්ටු කොටෙත් බිම වැටුන.

Tuesday, May 10, 2016

වසන්තයා V, නවකවධය සහ හොරාගෙන් පේන ඇසීම.

මේ දවස්වල කතාවෙන කේස් එකක් තමයි රැග් එක. රැග් එකට විපක්ෂ වගේම පක්ෂ අදහස් තියන අයත් ඉන්නව. ඊයෙ කැළණිය විශ්වවිද්‍යාලෙ උපකුලපතිතුමා කියනව රැග්එක දෙන අය ගැන පැමිණිලි කරන්නය එයාල පියවර ගන්නංය කියල. හැබැයි මට හිතෙන හැටියට රැග් එකට විතරක් නෙවේ, මෙවැනි බොහෝ ‍විශමාචාර ක්‍රියා මඬින්න තියන ප්‍රාථමික ක්‍රමයක් තමයි පැමිණිලි කිරීම කියන්නෙ. ඇයි එහෙම කියන්නෙ?

මේ වගේ විශාල පිරිසකට එරෙහිව කෙනෙක් යම් පැමිණිල්ලක් කරල ඊට පස්සෙ විශ්ව විද්‍යාලය ඇතුලෙ යහතින් ඉන්න පුළුවන්ද? ඊට පස්සෙ ඔහුට හෝ ඇයට (සමහර විට සුළු පිරිසක් වෙන්නත් පුළුවන්) මුහුණ දෙන්න සිදුවන්නෙ රැගට වැඩිය නරක තත්වයකට වෙන්න පුළුවන්. ඒ නිසා පැමිණිලි ලබාගෙන රැග නැවැත්වීම කියන්නෙ ඉතාම දුර්වල විසඳුමක්. ඉස්කෝලෙ යන කාලෙ පන්තියක කවුරුහරි වැරැද්දක් කරල ගුරුවරයෙක්/විදුහල්පති ඇවිල්ල පන්තියටම ගැහුවත් පාවා නොදෙන සංස්කෘතියක් අපට තියෙන්නෙ. ඒ නිසා තමයි මේ ක්‍රමය දුර්වලයි කිව්වෙ.

මේ කියන අවුල මෙතන විතරක් තියන දෙයක් නෙවේ. රජයේ බොහෝ ආයතනවල තියන අවුලක්. සාමාන්‍යයෙන් කෙනෙකුට විරුද්ධව පැමිණිල්ලක් කරන්න ක්‍රම කිහිපයක් තියනව. කෙලින්ම පැමිණිලි කිරීම, ලිපියක් මඟින් දැන්වීම, නිර්ණාමික පෙත්සමක්‍ යොමුකිරීම ඉන් කිහිපයක්. මෙතනදි නිර්ණාමිකව පැමිණිලි කිරීමට වැඩිය අනිත් ක්‍රම ප්‍රබලයි කියල අමුතුවෙන් කියන්න ඕන නෑ. කෙලින්ම අදාල පාර්හව ගෙනල්ල පැමිණිල්ල විභාග කරන්න පුළුවන්. නිර්ණාමික පැමිණිලිවලදි සාක්ෂි හොයන්න ගියාම වැඩේ අවුල්. හැබැයි වැඩේ තියෙන්නෙ නම්ගම් සහිත පැමිණිලිවලදි අදාල පාර්ශවයන් හෙලිවීම නිසා සිදුවිය හැකි විවිධ මට්ටම්වල තර්ජනයන්ට මුහුණදීමට පැමිණිලිකරුවන්ට සිදුවීම.

ඒ වගේම "යම් පිරිසකට පමණක් බලපාන" සහ "පොදු කාරණාවලට" අදාලව යම් පැමිණිල්ලක් කිරීමට අපේ සමාජයේ තියෙන්නෙ දුර්වල පෙළඹවීමක්. උදාහරණයක් ලෙස විශ්වවිද්‍යාල රැග් කිරීම ගත්තොත්, ඊට විරුද්ධ නොවී තමන්ගෙ වැඩේ කරගෙන ගෙදර යාමට‍යි බොහෝ දෙනෙක් කැමති.

පැමිණිල්ලකදි පැමිණිලිකරුවන්ගේ ආරක්ෂාව සෑහෙන්න වැදගත්. නමුත් අපේ ආයතනවල කටයුතු යෙදිල තියෙන්නෙ මීට වෙනස්ව. උදාහරණයක් විදියට P කියල ‍කෙනෙක් X කියන කාර්යාලයට විරුද්ධව පැමිණිල්ලක් කරනව X යටත්වන/පාලනය වන A කියන අමාත්‍යාංශයට. එතනදි A අමාත්‍යාංශයේ කාර්යභාරය තමයි පැමිණිල්ලේ කියල තියන අවුලක් ඇත්තටම සිදුවෙලා තියනවද කියල සොයා බැලිම. නමුත් සමහර අවස්ථාවල සිදුවෙන්නෙ A අමාත්‍යාංශය, X කාර්යාලයෙන් නිදහසට කරුණු විමසන්නෙ අර මනුස්සය ලියපු ලිපියෙ පිටපතකුත් පෙන්නල! අම්මගෙන් නෙවේ, හොරාගෙන්ම පේන අහනව කියන්නෙ මේකට.
*****************************************
සුජීව කොකාවලගෙ Shart කතා බ්ලොග් අඩවියේ තියන මේ කෙටිකතාව තාම කියෙව්වෙ නැත්තං මෙන්න වෙලාව.

Friday, May 6, 2016

වසන්තයා IV හාහා එකක් මචං......

ගුවන් තොටුපලේ සහ වරායේ සේවය කරන මගේ මිත්‍රයෙක් ඉන්නව. (ඔහුගේ තනතුරු නාමය හරියටම මතක නෑ, ක්ලියරින් ඔෆිසර් හරි ඒ වගේ මොකක් හරි නමක්) අපි දෙන්නා දවසක් ඔහුගේ වාහනයේ යද්දි කෝල් එකක් එනව එයාට.

"හා හා එකක්ද? හරි හරි මං බලන්නං... නම එවපං"

කෝල් එක ඇහුවම මට හොල්මං.... මම යාළුවගෙන් ඇහුව "මොකද්ද හාහා එකක් කියන්නෙ?" කියල. එයා කියන විදියට කවුරුහරි කෙනෙක් එනව රට යන්න. එයාගෙ වැඩ ටික ඔක්කොම හරි. නමුත් හිතට මදිනෙ. මදිපාඩුවට දන්න කියන කෙනෙක් හොයාගෙන ගිහිල්ල එයාගෙ ඊනියා සහයෝගයත් ලබාගන්නව. තමන්ගෙ හිතවතා ඩියුටි ඕෆ් නම් මේ වැඩේ පවරනව යාළුවෙකුට. වැඩරාජකාරි එක්ක යාළුවන්ට කරදර කරන්නත් බෑනෙ. "ඔන්න මගේ අහවලා එනව... එයාගෙ විස්තර බලල පොඩ්ඩක් හිත හදල යවපං" කියන ඩියුටිය තමයි මේ "හා හා එකක්" කියල කියන්නෙ. මේ වගේ හාහා ඩියුටි සෑහෙන ප්‍රමාණයක් දවසකට ලැබෙනව.

මේ සීන්එක මතක්වුනේ ඊයෙ නෝන එයාගෙ ස්ටාෆ් එකේ කෙනෙකුට ගත්ත කෝල් එකක් මතක්වෙලා. නෝනගෙ යාළුවෙකුගෙ කවුදෝ කෙනෙක් ඔපරේෂන් එකකට මුහුණදෙන්න සූදානමින් ඉඳල තියනව. ඒ ලෙඩා ගැන පොඩ්ඩක් බලන්න කියල එවලේ ඩියුටි ඉන්න කෙනෙකුට කතාකරල කියනව මම අහගෙන.

"හා හා එකක්ද?" මම ඇහුව.

"මොකද්ද හා හා එකක් කියන්නෙ?" නෝනලා ඩැඩේ කලාට වචනෙ පාවිච්චි කරන පාටක් පේන්න නෑ වගේ.

කලාතුරකින් මටත් මේ වගේ හාහා ඩියුටි සෙට්වෙනව.

"මචං.... මම ඉන්නෙ උඹලගෙ ලයිසන් කවුන්ටරේ ලඟ.... වාහනේ ලයිසන් කරගන්න ආව.... පොඩ්ඩක් බලපං...."

එහෙම කිව්වම අපට තියෙන්නෙ ලඟට ගිහිල්ල ලියකියවිලි පරීක්ෂා කරල "ඔක්කොම හරි මචං.... ලයිසන්එක ගන්න පුළුවන්" කියල පිටට තට්ටුවක් දාල එන්න. පොලිසිය, ඉස්පිරිතාල වගේ තැන්වල මේක තදට යනව.

මේක මහලොකු සීන් එකක් නොවුනට හාහා එක ඇතුලෙ ති‍ය‍ෙන්නෙ ආයතනගත අවුලක් වගේම සමාජීය අවුලක්. එක පැත්තකින් ආයතනයකට ගිහිල්ල සේවාව ලබාගන්න සේවාදායකයා සතු ධෛර්ය අඩුකම පිළිබඳ අවුලක්. අනිත් පැත්තට, දන්නා හඳුණන කෙනෙක් නැතුව රාජකාරියක් කරගන්න බෑ කියන මට්ටමට ආයතනයක් පත්වීම පිළිබඳ අවුලක්.

Thursday, May 5, 2016

විවේකයට බුකි සටහනක්......


මේකත් අර ඔබට එළදෙනුන් දෙදෙනෙකු සිටීනම්....... වගේ කේස් එකක්.
ලිව්වෙ අපේ බුකිමිත්‍ර සයිබර් වරිගෙ උණ්ඩියා.

ලාංකික පිරිමියා මුහුණ දෙන සහ කරන්නට සිදුවන ජීවිත දේශපාලනය
පුංචිම කාළෙ -
"සුභසාධනවාදය"
- " කන්න මයෙ සත්තලං පැංතො...කන්න පුතේ....කෝ කට අරින්න....ආ කියලා....ඔන්න කූවෙක් එනවා චූති පුතා ළඟට....මේ කටත් කන්න පුතූ"....
ටිකක් ලොකු වෙනකොට -
"ජාතිවාදය"
- " අම්මෙ මේ මල්ලි මගේ බැට් එක අරන් දෙන්නෙ නෑ....මෙහෙ දීපන් ඕක....කඩනව උඹේ දත්..." " අයියට දුන්න නම් මටත් එකක් අරන් ඕන...."
තව ටිකක් කල් ගියාම -
"සමාජවාදය / කොමියුනිස්ට් වාදය"
- "ඒයි මේ බලහන් හු*තො...මෙන්න මූ තනියෙන් බත් එකක් කනවා....අඩෝ කැ* වැඩ කරන්න එපා ප*යා....එකට ඉඳලා ෂේප් එකේ ඇවිත් තෝ තනියෙන් බත් එක කන්න....ඒයි වරෙල්ලා බත් එකක් තියෙනවා, සෙට් වෙමු....වරෙන් කමු මේකෙන්....මූ මෙතන තනියෙන් කන්න"
තව ටිකක් කල් ගියාම -
"ප්‍රජාතන්ත්‍රවාදය"
- "පුතේ....අපි මේ උඹට හොඳින් කියන්නෙ....උඹ ඔය කෙල්ලව මේ ගෙදරට ගේනවට මමවත්, උඹගෙ තාත්තවත්, උඹලගෙ අක්කල දෙන්නවත් කීයටවත් කැමති නෑ....අපි උඹට ඕකිව කරගහන්න ඉඩ තියන්නෙ නෑ....අන්න ඒක මතක තියාගනින්"
තව ටිකක් කල් ගියාම -
"ෆැසිස්ට් වාදය"
- "තමුසෙට කන්න ඕන නම් අද හවසට එනකොට මේ තුණ්ඩුවෙ තියෙන බඩු ටික අරන් එනවා.....මෙතන යාලුවො එක්ක ජවුසන් නටලා කට ගොන්නක් බීගෙන එන්නෙ නැතුව.....මේ මාසෙ පඩි ගත්තුවා කෝ....?"
තව ටිකක් කල් ගියාම -
"රාජාණ්ඩුව"
- " දුවේ මම මේ අන්තිම වතාවට කියන්නෙ....උඹ ආයෙ එහෙම ඕකා එක්ක රවුම් ගහලා අහු වුනොත් මම උඹගෙ හතර හන්දි කඩනවා......උඹ තාම දන්නෙ නෑ මේ අප්පාගේ හැටි....මම නොකිව්වයි කියන්න එපා උඹ ආපහු ඕකාගෙ සයිකලේ රවුම් ගහලා අහුවෙලා..."
අන්තිමට -
"හරිත චින්තනය / ධර්ම රාජ්‍යය / ජාතික චින්තනය"
- " මං ඉතින් දැන් මේ පැළයක් වවාගෙන, සතෙකුට කන්න ඩිංගක් දීගෙන ඔහේ ඉන්නව ඉතින්......දැන් ඉතින් රැස් කොරා කියලා ගෙනියන්ටයැ....අපි ඉතින් තව කී දොහද?....ඒක නෙමේ ... මතකද ඒ දවස් වල....."



විශේෂ සටහන: වැට්බදු ඉහලයාම නිසා "ලාංකීය සිතුවිලි" සින්ඩියේ අධිපති, හිතවත් වැප් නිසාන්ත තරුණ මහතා පත්වූ දැඩි අපහසුතාවය පිළිබඳ අපගේ බලවත් කණගාටුව!!!

Monday, May 2, 2016

වසන්තයා III, මැයි දිනේ, තාත්තගෙ නිවාඩුව සහ බබාගෙ ලියුම.

2016.05.02 දා
තංගල්ලේදීය

සමන් මලින් පවන් සැලේ!ගහන ගහන පොල් ආපිට වැදීයන්!

ආදරනීය
හිතවත්
ගවුරවනීය ජනාදිපති මයිත්තීපාල මාමා වෙතටයි.

ඉතිං ‍මයිත්තී මාමේ ඔබගේ දුකසැප කෙසේද? අපි නං ඔබතුමන්ලාගේ උදව්වෙන් අපේ වියදමිං ජීවත් වෙමි. හැබැටම දැං පොලොන්නරුව කොලඹ පැත්තට වහිනවාද? මේ පැත්තට‍ නං පෑවුම තදය. අපේ බාප්පා නං කියන්නේ මේවගේ අම්මට උකන පෑවුමක් අම්ම මුත්ත කාලේවත් නැති බවය. ඒ මදිවට නිදාගන්න ගියාම එයා ඉරටත් බනින්නේ මේ උත්ත වහලෙ හයිකලේ මොන උත්තිගෙපුතාද කියලාය. කොහොම උනත් මාමේ ඒ කතා ඇතිය. තකහනියෙම්ම ලියමනක් ලියන්න හිතුවේ මැයි දිනේ ගැනය. ඔබතුමාගේ මැයි දිනේට ආපු සෙනග කන්දරාව අපි දැක්කෝය. මයිත්තිරි මාමාද ටීවී එකෙන් දැක්කෙමු. මේ ඒ කතන්දර ගැනත් නෙවේ. අපේ තාත්තා ගැනය. අපේ තාත්තා නං මැයි දිනේට හිටියේ ගෙදරට වෙලාය. කොහොමත් එයාට රෙද්දක් ඇඳගෙන මැයි දිනේට යන්න බැරිවෙන තැනට වැඩකල ගොඩක් කට්ටිය ගැන බබාටත් යංතං තේරෙනවාය. මේ කතා කරන්නේ මැයි දිනේට ලැබෙන නිවාඩුව මෙදාපාර නැතිවීම ගැනය.

මැයි දිනේ ඉරිදාට යෙදි තිබුන නිසා අපේ තාත්තලාට නිවාඩුවක් නැතිවූවේය. තාත්තා එහෙමකට නිවාඩුවක් ගන්නේ නැති නිසා දවසෙ නිවාඩුව ගැන එච්චර හිතුවේ නැති වුනාට මැයි දින ටික ඊයේ ටීවී එකෙන් බලපු වෙලේ පටං හොයා බැලුවේ අද නිවාඩුදැයි කියලාය. ඔයාට නිවාඩු තියනෙකේ ඕන්නං හෙට නිවාඩුවක් ගන්න බැරියැයි අම්මා කිව්වාය. ඒත් තාත්තා කතාබහක් නැතුව පෝන් එක අරං අමාත්‍යාංසෙ වෙබ්එක පැත්තෙත් ගියේ නිවාඩුව ඇද්දැයි බැලීමට‍ය. අන්තිමට ඉවසීම ඉක්මවාගිය අම්මාගේ පුරස්න වලට උත්තර දීමේදී අහිංසක තාත්තාගේ ඉල්ලීම් බබාටත් ඇසුනෝය. මේ තියෙන්නේ තාත්තා අම්මාට කිව් කතා ටිකය. බබාට ඒ හැටි නොතේරුනාට මයිත්තී මාමාට තේරුං යෑමට ඉඩ ඇති බැවින් ලියා එවමි.

තාත්තා ඔපිස් යාමට බය වී ඇත්තේ අහන්න වෙන කයි කතන්දර ගැන හිතලාය. තාත්තා මයිත්රී මාමලාගේ යහපාලන ආන්ඩුවට කඩේ ගිය හැටි ඩිංගිත්තක් වත් මතක තියනව යයි සිතමි. තාත්තා කියන හැටියට ගාල්ලේ රැස්වීමේ සංවිදාන කටයුතු සජින් වාස් අංකල්ය. මයිත්තී මාමලා බලේට එන්න තලපු මුවහමක්ද මොකද්ද වන සජින් අංකල් මාමලාගේ රැලියේ සංවිදාන කටයුතු කිරීම ගැන යාළුවන් තාත්තාගෙන් අසාවි යයි සාදාරන බයක් තාත්තාට ඇති බව පෙනේ. මං නං කිව්වේ තාත්තා එක එකාගේ කතා ගනංගන්න එපා කියාය. ඒත් තාත්තා මට සැරවුනේ උඹ දන්න ඉටිගෙඩියක් නෑ කියලාය.

හම්බන්තොට නගරාදිපතිතුමා සෙල්ලං පිස්තෝලයත් ඉනේ ගහගෙන හැටට හැටේ මැයි පෙලපාලියට යන හැටි තාත්තයි මායි දැක්කේ ඊයේ දවල් පොලේ යද්දීය. තාත්තා කීවේ එයා මයින්ද මාත්තයගේ මැයි රැලියට යන බවයි. ඒත් ඒ එක්කම ආපු වාහනේ බැඳගත්ත ඉස්පීකරෙන් කියවුනේ එයත් යන්නේ ගාල්ලේ රැස්වීමට බවයි. තාත්තාගේ කනස්සල්ලට එ් කේස් එකත් එකක් බව කියනවා ඇහුනේය. අපේ අම්මා නං කිව්වේ එයාලට හොඳ නං අපට මොකද කියලාය. කොහොම උනත් තාත්තාගේ කනස්සල්ලට ඒකත් එක හේතුවක් බව පෙනේ.

ඊයේ යූඇන්පී සහ ගාල්ලේ රැලිවලට සීටීබීවලින් සෙනග ඇද්දා කියන සිද්දියක්ද තාත්තාගේ ඔපිස් යාමට අදිමදි කරන්න හේතුවක් ‍බව පෙනේ. උඹල ඒ කාලෙ කොහොමද කිව්වෙ? දැං මොකද බස්වලිං අදින්නෙ කියා යාලුවන් අහවි කියලා තාත්තා බයෙන් ඇති බව පෙනේ. අම්මා නං කිව්වේ බස්ඔලට සල්ලි ගෙවා වෙන්කරගත්ත ඒවා බවය. එහෙව් එකේ මොකටද කතන්දර අහන්නේ කියා මට නං හිතාගන්න බැරිව ඉන්න අතරේ තාත්තා කිව්වේ ආන්ඩු බලේ තියන කට්ටිය ඇත්තටම සල්ලි ගෙවල බස් ගත්තත් මිනිස්සු පිලිගන්නේ නැති කතාවක්ය.

ඒ අල්ල පනල්ලේ අලුත් පරපුරට ජනාදිපතිවරන කාලෙ බැස්ටිය දීපු කමල් ඉන්දික කියන හාදයාට ආසන සංවිදායක කමක් දුන්නා කියන එකද තාත්තාගේ ඔපිස් හොරයට හේතුවකි. අම්මා නං කියන්නේ පාරේ අතහැරපු හොඳ සැර බල්ලෙක් හදාගන්න එක ඕන කෙනෙකුගේ මතු ආරස්සාවට වැදගත් බවයි.

මැයි රැලිය දා ජාතික රූපවාහිනියයි අයිටීඑන් එකයි ආණ්ඩුවේ මැයි රැලි පෙන්නීම තාත්තාගේ ලැජ්ජාවට තවත් හේතුවක් වුන බව කිව්වේය. ඒවාට සල්ලි ගෙවා ලබාගත් රිසිට්පත් පෙන්නූ විට චෝදනා කල ඈයන්ට තරු පේන බව අම්මා කිවුවාට තාත්තාගේ හිත හැදුනේ නැත. වැඩිදුරටත් අම්මා කිව්වේ ඔය මොනව කලත් මහින්ද මහත්තයාගේ රැස්වීමේ විමල් අංකල්ටයි බැසිල් අංකල්ටයි එකට ඉන්න ඇහැක් නං ඊට වඩා මොන ‍කෙංගෙඩියක්ද කියලාය.
කොහොම උනත් හිත හදාගන්න බැරිවූ තාත්තා අද වැඩට නොගිහිං හිටිය අතර දවල් වෙද්දී ආපු මාමා කෙනෙකුගේ කෝල් එකක් ඇසූ අම්මා කිව්වේ එයාට මාමා එක්ක සැට් වීමට ගත් බොරු ලෙඩක් බවය. මොන්ටිසෝලි යන්න හිතෙන්නේ නැති දවසට දෙපාරක් සුරුස් සුරුස් ගා නහය හූරා පෙන්නන බබාගේ මෙතඩ් එක තාත්තාටත් කියාදෙන්න හිතුනත් තාත්තාගේ මූඩ්එකේ හැටියට ඒකත් කන මිරිකාගැනීමට හේතුවක් විය හැකිය. කොහොම උනත් තාත්තා මේ ඉල්ලන නිවාඩුව ලැබුනා නං හොඳ බව බබාගේ හැඟීමයි. මොකද තාත්තාට ඇති මේ පස්න ගොඩ ඔපීසිවල ඉන්නා දාස් ගානක් අංකල්ලාටත් තිබිය හැකිය. දවසක් නිවාඩු දුන්නා නං ඊලඟ දවසේ කොහොමත් තාත්තලාට අංකල්ලාට මේ කතා මතක නැති බව බබා දැනගත්තේ ප්‍රභා අංකලගේ කතාවකිනි. ඒ නිසා තාත්තා බයවෙන මේ වගේ ගොංකං වැඩ ඊලඟ සැරේ මැයි දිනේට කලිංවත් හදාගැනීම හෝ මැයි දිනේට පස්සෙන්දාට නිවාඩුදීම ගැන සලකා බලන මෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ,

සනුල බබා.