‍

Thursday, January 29, 2015

අපේ ක්‍රිකට් වලට මොකද වෙලා තියෙන්නේ...... [Road to World Cup I]

නවසීලන්තය එක්ක තිබුන තරගාවලිය මේ වෙද්දි පරාජය වෙලා ඉවරයි. මේ සටහන ලියන මොහොත වෙද්දි තවත් එක තරගයයි ඉතිරි. ඒකවත් දිනාගන්න පුළුවන් නම් ගෞරවය ටිකක්වත් රැකගන්න පුළුවන්. එක තරගයක් වැස්සට හේදී නොයන්න පරාජය තවත් දරුණු වෙන්න හොඳටම ඉඩකඩ තිබුන. දුවද්දී දවාගැනීම් හතරක් නිසා යන්තම් එක තරගයක් බේරගන්න සමත් වුනා. දැන් බොහෝ දෙනෙකුට තියන ප්‍රශ්න දෙක තමයි ඇයි මෙහෙම උනේ කියන එකත් ලෝක කුසලානයේදි මොනව වෙයිද කියන එකත්.

2014 කියන්නෙ අපේ ක්‍රිකට් වලට හොඳ අවුරුද්දක්. 96ට පස්සෙ ලෝක කුසලානයක් ජයග්‍රහණය කරන්න සමත්වුන එකම අවුරුද්ද. ඒ වගේම එංගලන්තයට එරෙහිව ටෙස්ට්, එක්දින වගේම 20-20 තරගාවලි ජයගත්තෙ එංගලන්තයෙදි. මට හිතෙන හැටියට වැටීම ආරම්භ වුනේ හදිසියේ පැමිණි ඉන්දියානු සංචාරය නිසා. කොදෙව්වන්ගේ තරගාවලිය අවලංගු වීමෙන් පස්සෙ ඉන්දියා‍ව පැත්තෙන් කල ඉල්ලීමකට අපේ ක්‍රිකට් පාලකයන් එකඟ වීමත් එක්ක අනවශ්‍ය තරගාවලියකට මුහුණ දෙන්න අපිට සිදුවුනා. ශාරීරික යෝග්‍යතා පුහුණුවක් අතරමැද යන්න සිදුවුන මේ සංචාරය 5-0 විදියට පරාජය වීමත් එක්ක කණ්ඩායමේ වැටීම පටන් ගත්ත කිව්වොත් හරි. ඉන්දියානු සංචාරයේදි අසාර්ථක වුන පන්දු යවන්නන්ගේ විශ්වාසය අඩුවීම දැන් තියන අවුලට මූලික හේතුව කියලයි මට හිතෙන්නෙ.

ලංකා කණ්ඩායමේ අවුල ආකාර දෙකකින් විග්‍රහ කරන්න පුළුවන්. පළමුවැනි කාරණාව තමයි කෙටි කාලීනව සිදුවුන කඩා වැටීම. ඉන්දියානු සංචාරයෙන් පස්සෙ පන්දු යවන්නන් සෑහෙන මට්ටමකින් විශ්වාසය පළුදු කරගත්ත. මේකෙ ප්‍රතිපලයක් විදියට පිතිකරුවන්ට එල්ල වන පීඩනය වැඩිවුනා. සියල්ල අවුල් වෙද්දි පන්දු රැකීමත් අවුල් වුනා. මේක විශම චක්‍රයක්. ක්‍රිකට් කියන්නෙ මානසික ශක්තිය එක්ක කරන ක්‍රීඩාවක්. මට මතකයි වරක් ඕස්ට්‍රේලියානු නායකයෙක් කියල තිබුන (පොන්ටින් හෝ ස්ටීව් වෝ) ඔවුන්ගේ නොනවතින ජයග්‍රහණ වලට හේතුව "පරාජය වීමට තියන දැඩි අකමැත්ත" කියල. මම කියපු කාරණාව සනාථ කරන්න පුළුවන් හොඳම උදාහරණය තමයි කලින් ජයග්‍රාහීව අවසන් කල සංචාර වල ක්‍රීඩකයන්ම දැනටත් කණ්ඩායමේ සිටීම. ජයග්‍රාහී මානසිකත්වය ගිලිහී යාමයි අවුල.

ඒ වගේම අපේ ක්‍රිකට් වල දිගු කාලීන අවුලකුත් තියන බව කියන්න ඕන. පිතිකරුවෙක් විදියට ස්ථාවර සහ සාර්ථක අයෙක් විදියට අන්තිමට ආවෙ ඇන්ජලෝ මැතිව්ස් විතරයි. එතනින් පස්සෙ කණ්ඩායමට පැමිණි කිසිවෙක් ස්ථාවර වුනේ නෑ. යම් යම් අවස්ථාවල සාර්ථක වන තිරිමාන්න සහ චන්දිමාල් තාමත් මහේල-සංගා-දිල්ශාන් වගේ ජ්‍යේෂ්ඨයන්ගේ අඩුව පුරවන්න සමත් වෙලා නෑ. පන්දු යවන්නන්ගේ පැත්තෙන් බැලුවත් තත්වය ඕක තමයි. එක කාලයක වාස්-මුරලි, තවත් කාලයක මුරලි-මාලිංග, ඊටත් පස්සෙ මාලිංග-කුලසේකර වගේ පන්දු යවන්නන් දෙදෙනෙක් වත් සාර්ථක මට්ටමක හිටිය. හොඳ පන්දු යවන්නන් දෙදෙනෙක් සිටින කණ්ඩායමකට තවත් සාමාන්‍ය මට්ටමේ පන්දු යවන්නන් දෙතුන් දෙනෙක් සිටීම ජයග්‍රහණ වලට ප්‍රමාණවත්. නමුත් මේ වනවිට ඉන්න පන්දු යවන්නන් සාර්ථක මට්ටමක නෑ. කණ්ඩායමක් අවුල් වෙද්දි ඒක පිටට පෙන්වන කැඩපත තමයි පන්දු රැකීම. ධෛර්ය අඩුවුන ගමන් පන්දු රැකීමත් පහලට වැටෙනව. මේ වනවිට ඒකත් වෙලා තියෙන්නෙ. ඒ නිසා මේ අවුල් දෙකට කඩිනම් විසඳුම් අවශ්‍යයි.

පළමුවැන්න තමයි තාවකාලික පසුබෑම නිරාකරණය කරගැනීම. මොකක් හෝ ක්‍රමයක් පාවිච්චි කරල දිනන්න ඕන ගානට ඔලු ටික සුද්ධ කරගන්න වෙනව. ඒක සාර්ථකව කරන්න පුළුවන් නම් ලෝක කුසලානය ගැන හිතන්න වත් පුළුවන්. එහෙම නොවුනොත් නං බෑ. දෙවනුව හොඳ පිතිකරුවන් සහ පන්දු යවන්නන් ටිකක් හොයාගන්න වෙනව. විශේෂයෙන්ම පැයට කිලෝමීටර එකසිය හතලිස් ගනන්වලින් පන්දු යවන එක්කෙනෙක් දෙන්නෙක් නැතිව වේගවත් තණතීරු වල අභියෝග ජයගන්න බෑ. මගේ අදහස අනුව ප්‍රමාණාත්මකව වැඩි පිරිසකට අවස්ථාව දිය යුතුයි. අන්තර් සමාජ මට්ටමේදි දක්ෂතා අතින් ඉහලින්ම සිටින ක්‍රීඩකයන්ට පමණක් නෙවේ, මැද මට්ටමේ ක්‍රීඩකයවනුත් අත්හදා බැලීම් වලට යොදාගත යුතුයි. පන්දු යවන්නෙක් විදියට කණ්ඩායමට ආපු තිලාන් සමරවීර හොඳ ටෙස්ට් පිතිකරුවෙක් වුනා වගේ, බාග තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වෙච්ච ඇන්ජලෝ මැතිව්ස් හොඳ පිතිකරුවෙක් වුනා වගේ සැඟවුනු දක්ෂතා තියන උදවිය ඉන්න පුළුවන්. ඒ අය හඳුනාගැනීමට තරම් අවස්ථා කිහිපයක් ලබාදිය යුතුයි.

ලෝක කුසලානය සහ අපේ බලාපොරොත්තු ගැන ඊලඟ ලිපි වලින් කතා කරමු.

Tuesday, January 27, 2015

අපි මහරජ ගැමුණු බැලුව හැටි

අපිත් ගියා මහරජ ගැමුණු බලන්න. බැලුව! බැලුව කිව්වට........

ඔන්න නෝනගෙ යෝජනාවක් අනුව තුන් දෙනා එක්ක ගියා තංගල්ලෙ හෝල් එකට. පන්ති ගිය කාලෙ පන්ති කට් කරල කැඩිච්ච පුටු වල වාඩිවෙලා හූ කිය කිය චිත්‍රපටි බලල අවුරුදු පහලවක් විතර වුනා, ඉන් පස්සෙ හෝල් එක පැත්ත පලාතෙ ගියේ නෑ. ඔන්න බයික්කෙක එහෙම පාක් එකට දාල රුපියල් තුන්සීයක් දීල බැල්කනි ටිකට් දෙකක් අරගෙන උඩට ගියා. විනාඩි දහයකින් විතර ඔන්න චිත්‍රපටිය පටංගත්ත. හෝල් එකේ බැල්කනියට හිටියෙ අපි දෙන්නයි පොඩි එවුන් දෙතුන් දෙනෙක් එක්ක ආපු තවත් ජෝඩුවකුයි විතරයි. බැල්කනියෙ ආදායම හය හත්සීයක් ඇති. අපරාදෙ කියන්න බෑ ‍හෝල් එක නං අලුත්වැඩියා කරල තරමක් හොඳ තත්වයෙන් තිබුන. අපි පන්ති ගිය කාලෙ වගේ නෑ. දකුණු පැත්තෙ පුටුවල අපි තුන්දෙනා, වම් පැත්තෙ අනෙක් පවුල චිත්‍රපටිය බලනව.

අපේ පොඩි මෑන් චිත්‍රපටියක් බලන පළවෙනි වතාව මේක. මිනිහගෙ ප්‍රතිචාරය ගැන සෑහෙන්න සැකයෙන් අපි දෙන්න හිටියෙ. ඒකට හේතුවක් තිබුන. අපේ ගාමිණී අයිය දවසක් කිව්ව එයා චිත්‍රපටියක් බලපු කතාවක්. ඔන්න ගාමිනී අයියයි ප්‍රනීත් අයියයි පවුල් පිටින් ඇවිල්ල මොකද්දෝ පිචර් එකක් බලන්න. ගාමිනී අයියගෙ පොඩි එකා ඒ වෙද්දි අපේ පුතාගෙ වගේ වයසෙ. ඔන්න ලයිට් නිවල ලොකු සද්දෙකුත් එක්ක වැඩේ පටන්ගත්ත විතරයි පොඩි එකා අඬන්න ගත්තලු බෑඟිරි ගහල. නලවගන්න හැදුවත් ඒකත් හරිගිහිල්ල නෑ. ඒ ගමන පොඩි එකත් අරගෙන හෝල් එකේ බාර් එකට ගිහිල්ල ප්‍රනීත් එක්ක චිත්‍රපටිය ඉවර වෙනකල් අනුමත වෙලා.

හැබැයි අපේ මෑන්ගෙන් ඒ වගේ අවුලක් මතුවුනේ නෑ. කරුවලට ඇස් හුරුවෙනකල් මගේ ලඟ වාඩිවෙලා ඉඳල ඔන්න පුටුවෙන් බැස්ස. බැහැල පුටු පේලි අතරෙ එහෙ මෙහේ දුවනව. ඒ මදිවට බැල්කනියෙ තාප්ප කෑල්ලට නගින්න හදනව ගැලරිය පැත්තට පනින්න. ඒ ගමන මම ගියා ඉස්සරහම පුටු පේලියට. මේ හාදය බැරි වෙලාවත් තාප්පෙට නැග්ගොත්, ගැලරිය තියෙන්නෙ අඩි දහ පහලවක් පහල නෙව. ඒ ගමන පහලට එබිල බැලුව, මැස්සෙක් නෑ පහල. බයික් නවත්තපු තැන නං බයික් පහක් හයක් තිබුන මතකයි. ඒ කියන්නෙ බොක්ස් පහ හයක් යන්න අැති. අපිට චිත්‍රපටි පෙන්නන්න බොක්ස් එකක් ඇතුලෙ දුක් විඳින නංගිල මල්ලිලාට පින් සිදු වේවා! බොක්ස් ගැන අපූරු නිසඳැසක් ඒ කාලෙ පොඩි මෑන් ලියල තිබුන.

කට්ටි පනින
නංගිලාගෙ
පෙට්ටි කඩන
පෙට්ටි!

පොඩ්ඩගෙ බාධා කිරීම් මැද එහෙන් මෙහෙන් චිත්‍රපටිය බලන්න පටන් ගත්ත. දුටුගැමුණු කියන්නෙ අපි අහල නැති කතාවක්යැ. ඉහේ කෙස් ගානට අහල තියනව. කියවල තියනව. දුටු ගැමුණු කතාව හොඳටම කියවන්න ලැබුනෙ ථූපවංශයෙන්. පහේ පන්තියෙදි විතර සොල්දරෙන් අහුවුන දුටුගැමුණු චිත්‍ර කතාවක හිටිය කොනෑන් වගේ චරිතයක් තමයි දුටුගැමුණ කිව්ව ගමන් මට මතක් වෙන්නෙ. අපි දන්නා කතාවක් චිත්‍රපටියකට නැඟුවම තියන අවුල තමයි මේ. එලාරට ඉන්නෙ ජැකා බව දැක්ක ගමං මට පොඩි හිනාවක් ආව. කොච්චර උනත් දුෂ්ඨය, අපේ හිතේ ඉන්න අප්‍රිය එකෙකුට සෙට්වීම චිත්‍රපටියකට කැමති වෙන්න හොඳ හේතුවක්. දුටුගැමුණු නං පන මදි කියලත් හිතෙනව. මොකෝ වීරය තමයි හොඳම බුලට් එක වෙන්න ඕන. දසමහ යෝධයො සැට් එක නං හොඳයි. උන් එක්ක තිව්වම (උද්දික ප්‍රෙමරත්න) දුටුගැමුණු පාංකෙයිය වගේ. සද්ධා තිස්සට සාරංග දිසාසේකර ගත්තම ඊටත් එහා.

අපි දන්න කතාව ඒ විදියටම ගලාගෙන ගියා පැයක් විතර. ඔන්න ඊට පස්සෙ අපේ පොඩි මෑන් දුන්න පොඩි වෝනින් එකක්.

"තාත්තේ තං" ඒ කිව්වෙ අපේ බාසාවෙන් "තාත්තේ යං" කියල. හෝල් එකේ අංකල් ඇවිල්ල දොර ඇරියමයි යන්න පුළුවන් කියල තව විනාඩි දහ පහලවක් ඇද්ද. ඊට පස්සෙ ආයෙත් "තං" කියන්න ගත්ත විනාඩි පහක් හයක් ගියතැන. ආයෙත් අර උත්තරේම දීල ශේප් වුනා. අන්තිමට තං රේ‍ට් එක විනාඩියකට එක ගානෙ වගේ ඇවිල්ල එ්ක විනාඩි බාගෙ වෙලා ඊටත් පස්සෙ නොනවත්වාම ප්‍රතිවාදනය වෙන්න ගත්ත මොහොතේ චිත්‍රපටි බැලිල්ලට තිත තියන්න වුනා. ඒ වෙද්දි කාවන්තිස්ස රජ්ජුරුවො යෝධයන්ට උපදෙස් දෙමින් හිටියෙ අයිය මලෝ වලියෙදි එක්කෙනෙකුට වත් සපෝට් කරන්න එපා කියල. ඉතිරි ටික බලන්න වෙන්නෙ තවත් කාලෙකින් ටීවී එකේ මේක පෙන්නන වෙලාවක තමයි.

මට හිතෙන හැටියට ලංකාවේ සිනමාව ගොඩගන්න ලේසි නෑ. නගර වල තත්වය කොහොමද දන්නෙ නෑ, නමුත් මෙහේ නං චිත්‍රපටි බලන්න එන්නෙ ඔයවගේ පිරිසක් තමයි. තරුණ පරම්පරාවෙ හුඟ දෙනෙක් බලන්නෙ හින්දි ඉංග්‍රීසි චිත්‍රපටි/කතා සීරීස්. ඒ කොලිටිය මෙහේ ගන්නව කියන්නෙ හීනයක් විතරයි. මට පේන්නෙ මේක ලංකාවෙ රග්බි ක්‍රීඩාව වගේ. රග්බි තාක්ෂණිකව කොච්චර දියුණු කලත් යන්න පුළුවන් සීමිත දුරක් විතරයි. ශාරීරික ශක්තිය කියන තැනදි අපි අනිවාර්යෙන් පරදිනව. වානිජ සිනමාව වෙනුවට වෙන මොකක් හරි තියනව නං හොඳයි.

කොහොම උනත් ජනාධිපතිවරණයේදී සිදුවුන බල වෙනසත් එක්ක දේශප්‍රේමී හෙජමොනිය දියවෙන ගතියක් තියන නිසා ඓතිහාසික චිත්‍රපටි නවතින්න ඉඩ තියනව.

*********************************************************************

[දින දෙකකට පසු,]

"ඒයි..... මෙන්න අර චිත්‍රපටියෙ මංගල දර්ශනේ නිව්ස් වල....."

"එතකොට අපි බලල තියෙන්නෙ මංගල දර්ශනයක්? අම්මප ඔහොම එකක් බැලුවමයි"

Thursday, January 22, 2015

THANX MY3

















ගුණේ රකින්න,
බලේ ඉල්ලන,
රුහුණේ අම්බරුවන්ගේ,
තීන්දු
අන්ඩූ කලාට
ස්තුතියි
මෛත්‍රී!