රාජ්‍ය සේවය පිළිබද ලිපි ගනනාවක් ලිවීමට සිතේ තිබුනත් එන්න එන්නම ප්‍රමාද වූයේ රාජකාරී බහුලවීම නිසා වුවත් දුකාට පොරොන්දු වූ පරිදි කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සදහා ගතයුත්තේ කුමන ක්‍රියාමාර්ගදැයි සාකච්ඡා කිරීම මෙහි පරමාර්ථයයි.
කෙසේ වුවද දුකා සදහන් කල පරිදි අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇතිවීමට ප්‍රධාන හේතුව ප්‍රවාහන ප්‍රශ්න නොවේ. හේතු අනුපිලිවෙලින් සටහන් කලහොත් ප්‍රවාහනය යන කාරණය ඉතාමත් පහලට පැමිණෙනු ඇත.
මාගේ අත්දැකීම් අනුව අකාර්යක්ෂමතාවයට ප්‍රධාන හේතු හතරක් දැක්වියහැකිය.
01. සියලු මට්ටම් වල අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන්.
02. රාජ්‍ය සේවයට සම්බන්ධ කාර්යන්වල පවතින සංකීර්ණ ස්වභාවය.
03. මහජනතාවගේ(පාරිභෝගිකයන්ගේ)නොදැනුවත් ස්වභාවය.
04. කාර්යක්ෂමතාවය සදහා රාජ්‍ය මැදිහත්වීම ප්‍රමාණවත් නොවීම.
දැන් එක් එක් හේතු වෙනවෙනම සලකාබලමු.සියලු මට්ටම් වල අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන්.
අකාර්යක්ෂම රාජ්යසේවයේ මූලය අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන් බව අවිවාදිතය. රාජ්‍ය සේවකයන් මෙසේ වීමට හේතු ඕනෑතරම් දැක්වියහැකි වුවත් "පෙරකල පුරුදු කරගෙන පැමිණිලෙස" රාජකාරී කිරීම ඉන් පළමුවැන්නයි. අන් සියළු කාරණා ඊට පහලින් පිහිටන ඒවා බව මගේ හැගීමයි.
උදාහරණයක් වශයෙන් පාසල් අධ්‍යාපනය හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කල සැනින් රාජ්‍ය සේවයට පැමිණෙන තරුණ නිලධාරියෙකු සලකා බලමු. ඔහුට රැකියාවට පැමිණ කාර්යක්ෂමව වැඩකලහැකි වුවත් එසේ සිදුවේද? නැත. ඔහුට ඉහලින් හෝ පහලින් සිටින නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවයේ-වේගයේ තරමට ඔහුට හැඩගැසීමට සිදුවීම සාමාන්‍ය සංසිද්ධිය වේ. කාර්යාලයක් යනු සාමූහික වගකීමක් ඇති ස්ථානයක් වන අතර එක් අයෙකුට පමණක් "පවතින තත්වය" වෙනස් කිරීම ඉතා අසීරුය. මීට ප්‍රතිවිරුද්ධ පැත්ත සිදුවන පෞද්ගලික අංශය සැලකුවහොත්, එහිදී නවක නිලධාරියෙකුට දක්නට ලැබෙන්නේ කාර්යක්ෂම වෘත්තීය සගයන් පිරිසකි. එහිදී ඔහු ඊට අනුගතවීම නිරායාසයෙන් සිදුවන්නකි.
"රාජ්‍ය සේවයේ ගලායන ප්රවාහයට එරෙහිව උඩුගං බලා පිහිනීමෙන් ඉතිරි වන්නේ මහන්සිය පමණි"
මෙම අකාර්යක්ෂමතාවයට හේතු ලෙස විවිධ හේතූක් දැක්වුවද ඒවා එතරම් පිළිගතහැකි මට්ටමේ හේතු නොවේ. උදාහරණ ලෙස වැටුප් වැඩි නොවීම ආදිය ගෙනහැර දැක්වුවද එය එතරම් සාධාරණ තර්කයක් නොවන බව ඉදිරියේදී පැහැදිලි කරමි.
මෙහි දෙවැන්න නම් රාජ්‍ය සේවයට සම්බන්ධ කාර්යන්වල පවතින සංකීර්ණ ස්වභාවයයි. වඩාත් පැහැදිලි කලහොත් රාජ්‍ය හා පෞද්ගලික අංශයන් මගින් ඉටුකරන කාර්යන් සංකීර්ණත්වය අනුව පෙළගස්වන්නේ නම් වඩා වගකීම් සහිත කාර්යන් ඇත්තේ රාජ්‍ය අංශයේය. මේ සමග බැදී ඇති අණපනත් නීති රෙගුලාසි වලට යටත්ව අදාල සේවය ඉටුකරදීමේදී සේවකයන් හා පාරිභොගිකයන් යන දෙපක්ෂයම අපහසුතාවයට පත්වීම නොවැලැක්වියහැකි සංසිද්ධියකි. පසුගිය සමයේ ගංවතුර පැමිණ ජනතාව අපහසුතාවයට පත්වීම ඔබට මතක ඇතැයි සිතමි. ඒ අවස්ථාවේදී ජනතාව අමතමින් ජනාධිපතිතුමා පැවසුවේ "ජනතාව අපහසුතාවයට පත්ව ඇති මේ අවස්ථාවේ ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි සංග්‍රහය ආදියේ කුමක් තිබනද ඒ ගැන නොසිතා අපහසුතාවයට පත්වූ ජනතාවට පිහිටවන්න" යනුවෙනි. එහෙත් අවස්ථාව කුමක් වුවද නීතිරීති වලට පිටින් කටයුතු කිරීම විගණන විමසුම් වලට පිළිතුරු සැපයීමේ සිට රැකියාවෙන් එළියට යාමට සිදුවීම දක්වා වන දඩුවමට ලක්වීමට හේතුවක් බව දන්නෝ රාජ්‍ය සේවකයෝය.
අකාර්යක්ෂමතාවයට බලපාන අනෙක් කාරණාව වන්නේ සේවයක් අපේක්ෂාවෙන් පැමිණෙන ජනතාවගේ නොදැනුවත්කමයි. මෙය එතරම් කතාබහට ලක් නොවුවද සෘජුවම මහජනතාව සමග කෙරෙන රාජකාරී හා සම්බන්ධවී ඇති මා හට මේ සම්බන්ධ අත්දැකීම් ඕනෑවට වඩා ඇත. සේවාවන් ලබාගැනීම සම්බන්ධයෙන් මෙ වනවිට යම් යම් උපදෙස් ලබාගැනීමට විධික්රම සලසා තිබුනද සේවාදායකයන් ඒවායෙන් ප්‍රයෝජනයක් ලබාගන්නා බවක් නොපෙනේ. උදාහරණයක් වශයෙන් 1919 ඇමතීමෙන් රාජ්‍ය සේවාවන් පිළිබදව හා රාජ්‍ය ආයතනවල දුරකථන අංක ලබාගත හැකි වුවද එයින් ප්‍රයෝජන ගන්නේ කීයෙන් කීදෙනෙක්දැයි වැටහෙන්නේ ඔවුන් කිසිදු දැනුවත් වීමක් නොලබා කාර්යාල වලට පැමිණීමෙනි. අවසානයේ සිදුවන්නේ සේවයක් අපේක්ෂාවෙන් පැමිණෙන්නා රස්තියාදු වී සමස්ථ රාජ්‍ය සේවය පිළිබදව අයහපත් හැගීමක් ඇතිකරගැනීම පමනි.
අවසාන කරුණ වශයෙන් දක්වතත් කාර්යක්ෂමතාවය සදහා රාජ්‍ය මැදිහත්වීම ප්‍රමාණවත් නොවීම යන කාරණාවද සැලකියයුතු මට්ටමින් දීර්ඝව සාකච්ඡා කලහැකි මාතෘකාවකි. විශේෂයෙන්ම දක්ෂ තරුණ කොටස් රාජ්‍ය සේවයෙන් ඈත්වීමට රාජ්‍ය සේවක වැටුප් ප්රශ්නය විසදීම රජයේ වගකීම වේ. එසේ නොවුවහොත් විශේෂයෙන්ම පිරිමි අයවලුන් අවම වීම තුල රාජ්‍ය සේවය මීට වඩා පිරිහීමකට ලක්වීමට අනාගතයේ ඉඩ ඇත. රාජ්‍ය මැදිහත්වීම ලබාදියයුතු අනෙක් අංශය වන්නේ නව තාක්ෂණය හදුන්වාදීම තුලින් කාර්යක්ෂමතාවය ඇතිකිරීමයි. විශේෂයෙන් තොරතුරු තාක්ෂණය සම්බන්ධ කරගන්නා අංශයන් ඇත්තේ අල්ප වශයෙනි.
එක් එක් අමාත්‍යංශයන් යටතේ ඇති රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාවයන් අතර ඇත්තේද විෂම ස්වභාවයකි. උදාහරණයක් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආදියේ ඇති කාර්යක්ෂමතාවයෙන් අඩක්වත් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති අධ්‍යාපන හා පළාත් අධ්‍යාපන කාර්යාල වල නොමැත. අප කාර්යාලවල ඇති පරිගණක යන්ත්‍ර ඇගිලි සලකුණු කිරීමේ යන්ත්‍ර ආදිය කිසිවක් බොහෝ කාර්යාලවල නොමැති අතර සේවකයන්ට ලබාදෙන පුහුණු වැඩසටහන් ආදියද නොගිණියහැකි තරම් අවම තත්වයේ පවතී.
ලිපිය දිර්ඝ වනබැවින් අකාර්යක්ෂමතාවය ඇතිවන ආකාර පිළිබදව විස්තර කිරීම නවතා කාර්යක්ෂමතාවය වැඩිකිරීමට ගතහැකි ක්‍රියාමාර්ග සලකා බලමු.
මා ඉහත සදහන් කල 02, 03, 04 යන අකාර්යක්ෂමතාවයන්ට හේතුසාධක වලට පිළියම් ලෙස කලහැකි දේ, ඒ තුලම ඇති බැවින් විස්තර නොකරමි.
අංක 01 වන ප්‍රධාන කරුණ වන අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන් පිලිබද ප්‍රශ්නයට විසදුම් ලෙස මා යෝජනා කරන්නේ මෙවැන්නකි.
රාජ්‍ය සේවය තුල වැඩ ඒකක ක්‍රමයක් ඇතිකිරීම හෙවත් උපයන ප්‍රමාණයට ගෙවීම.
මෙහිදී එක් එක් නිලධාරියාගේ වර්තමාන රාජකාරී ලැයිස්තුව තෝරාගෙන එහි ඇති එක් එක් විෂයන්ට අදාලව වටිනාකමක් ලබාදෙයි. උදාහරණයක් වශයෙන් මාගේ රාජකාරී ලයිස්තුව සැලකුවහොත් එහි ඇති ප්‍රධාන විෂයයන් වනුයේ "මාසික බැංකු සැසදුම පිලියෙල කිරීම", "අත්තිකාරම් ගිණුම", "යන්ත්‍රෝපකරණ අළුත්වැඩියාව" ... යනාදියයි. මෙහිදී රාජකාරියේ වැයකල යුතු ශක්ති ප්‍රමාණය අනුව ඊට අදාල වටිනාකම මෙසේ ලබාදිය හැකිය.
මාසික බැංකු සැසදුම පිලියෙල කිරීම = 1
අත්තිකාරම් ගිණුම = 4
යන්ත්‍රෝපකරණ අළුත්වැඩියාව = 1
මෙවිට මා කරන කාර්ය ප්‍රමාණය ඒකක 6කි. මෙසේ යම් කාර්යාලයකට අයත් සියලුම රාජකාරී එහි නිලධාරීන් අතර සමසේ බෙදාදිය යුතු අතර නිලධාරියෙකු විශ්‍රාම ලබන විට ඔහුගේ ඒකක ප්‍රමාණය කැමැත්තෙන් භාරගන්නා අයවළුන්ට ඒකකයකට හිමි යම් මුදලක් ලබාදියයුතුය. මේ ක්‍රමය අනුගමනය කිරීමෙන් වසර කිහිපයකදී රාජ්‍ය සේවකයන් ප්‍රමාණය සෑහෙන ප්‍රතිශතයකින් අඩුකරගතහැකි අතර කාර්යක්ෂමතාවය වැඩිවීම මෙන්ම සේවක වැටුප්ද වැඩිවීම සිදුවේ. (මෙම ක්‍රමය තුලින් 20% පමන ප්‍රතිශතයකින් රාජ්‍ය සේවකයන් අඩුකලහැකි බවද මේ ක්‍රමයට රාජ්‍ය සේවකයන් කැමතිවන බවටද සෑහෙන විශ්වාසයක් මා තුල ඇත)
2001 වර්ෂයේ පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව රාජ්‍ය සේවක බදවාගැනීම තාවකාලික නවතාදැමුවද ඒ සමග සිදුවූ විශ්‍රාම වැටුප් කප්පාදුව හා කාර්යක්ෂමතාවය සදහා වෙනමම වැඩපිලිවෙලක් ඉදිරිපත් නොකිරීම නිසා එය අසාර්ථක විය(සේවක අප්‍රසාදයටද ලක්විය).
සාර්ථක සහ ඵලදායී රාජ්‍ය සේවයක් ක්‍රියාත්මක වේ නම් මා ඉහත සදහන් කල ප්‍රතිශතයකින් සේවකයන් අඩුවීම අනිවාර්ය ප්‍රතිපලයක් වන අතර එය "ආණ්ඩු පවත්වාගෙන යාම සදහා රාජ්‍ය සේවයේ රැකියා ලබාදීම" යන කාරණය සමග ඝට්ටනය වීම අනිවාර්ය වේ. එබැවින් මෙය ප්‍රතිපත්තියක් ලෙස සකස් කලයුතු අතර ආණ්ඩු මාරුවුවද නොවෙනස් වියයුතුය.