ටික දොහකින් ගම් පැත්තෙ ගියේ. වෙනද වගේම ලොකු මාමගෙ කඩේටත් ගොඩවුනා. වෙනද ඉන්න ගැන්සිය අදත් ඉන්නව. කතාවක් පටන් ගන්න හදනකොටම මදුරුවා පිටේ ආපු නිමලෙ අයිය කඩේ ලඟ බැස්ස.
"කොහොමද නිමලෙ කුසුමට?" ලොකුමාම ඇහැව්ව.
"මගේ ගෑනිට මොනවහරි උනොත් ඔය එෆ්එම් චැනල්කාරයො වගකියන්න ඕන" නිමලෙ කෑගහන්න පටන් ගත්ත.
"ඇයි කුසුමක්කට මොකද?" මගේ පුරස්නෙට උත්තර ලැබුනෙ නෑ. තව මොනවදෝ කියල කෑගහපු නිමලෙ හුටු හුටුවෙ නැඟල යන්න ගියා.
"මූ උදේ පාන්දරම සංස්ථා ගහල" එහෙම කිව්වෙ ධර්මෙ අයිය. සංස්ථා කිව්වෙ සීල් අරක්කු නෙවේ. ධනෙයගෙ පොට්එකේ කසිප්පු. ඉස්සර වඩියට සංස්ථා සිමෙන්ති දාන නිසයි සංස්ථා කියන්නෙ.
"දැං කුසුමට මොකද්ද වෙලා තියෙන්නෙ?" බුලත්විටක් අතේ තියාගෙන රෝල් කරන මහතුං මාමගෙන් මං ආයෙත් ඇහුව. මහතුං සද්දයක් නැතුව විට කටේ දාගෙන හපන්න පටන් ගත්ත. බුලත්විට කටේ ඇඹරිලා කෙල පාරක් ගහනකල් උන්දෑ කතා නොකරන බව දන්න නිසා මං සද්ද නැතුව හිටිය. ඔන්න ඊට පස්සෙ මහතුං මාම කතාව පටන් ගත්ත.
"උඹ දන්නවනෙ බෑනෝ ඔය කුසුම කෙල්ල රේඩියෝ පිස්සි කියල"
"මොකද මම දන්නැත්තෙ ඒකාලෙ රේඩියෙකට පෝස්කාඩ් එහෙමත් යැව්වෙ හරි හරියට"
"හ්ම්, ඊට පස්සෙ ඕකි ගෙදර ඉස්සරහ අඟුරු කෑල්ලකින් ලියාගත්ත බෝඩ් එකක් එල්ලගෙන හිටියෙ මං අහන්නෙ ශ්‍රී එෆ්එම් කියල"
"වංගියක් ඔය බෝඩ් එකක් ගලවල කුසුම මාත් එක්කත් ඔට්ටු වෙන්න ආව" අල්ලපු ගෙදර රුවන් මල්ලි කිව්ව.
"ඊට පස්සෙ ගහගෙන හිටියෙ මං අහන්නෙ හිරු කියල"
"ඔය බෝඩ් ගැහිල්ල නං හැම තැනම තියනවනේ. ලක්ෂ ගනං සල්ලි දීල ගෙවල් හදපු සල්ලිබාගෙ යහමිං තියන කොලඹ රටේ මිනිස්සුත් මං දැකල තියනව ඔය බෝඩ් එල්ලගෙන ඉන්නව. ඔයිට හොඳයි මං කන්නෙ ගූ කියල ගැහුවනං" ලොකු මාමටත් මල පැනල.
"ඉතිං කතාව කියහංකො"
"ඔන්න පහුගිය දවසක කලිසමක් ඇඳගත්ත නෝන කෙනෙක් මයික් කටකුත් අරගෙන කඩේ ලඟට ආව. මේ සුකුරුත්තම පස්සෙං ආව කැමරාකාරයො ටිකකුත්"
"ඉතිං?"
"මේ අව්අස්සෙ තමයි පාම්බාගෙයක් ගන්න කුසුම කෙල්ල කඩේට ආවෙ. කුසුම අරකිට පනාව දැම්ම විතරයි ඒකි කතාවට අල්ලගත්ත. මේ වෙලාවෙ තමයි මම දැක්කෙ ඒකි අතේ දාහෙ කොල දහ පහලවකුත් තියනව"
"හැබෑට"
"හ්ම්. ඊට පස්සෙ ඒකි කුසුමගෙන් නම ගම අහල කියන්න කිව්ව අහන රේඩියෝ චැනල් එක මොකද්ද කියල"
"ඉතිං?"
"මම දැක්ක කුසුමගෙ තොල කට වේලිලා ඒකි වෙව්ලනව. මේකි කිව්ව හිරු එෆ්එම් කියල"
"ඉතිං, කුසුමට සල්ලිටික ලැබුනද?"
"සල්ලි? මොන හුල්ලියක්ද, ඇවිල්ල තිබුනෙ සිරසෙන්. මීට පස්සෙ සිරස අහන්න කියල අරුං යන්න හැදුව විතරයි පපුව අල්ලගත්ත කුසුම මේං මෙතනිං වාඩිවුනා. මං හිතුවෙ පපුව පැලුන කියල"
"ඊට පස්සෙ?"
"වතුර ටිකක් පොවල ගත්තත් හරිගියේ නෑ. ඒ ගමන අපි ඉස්පිරිතාලෙට ගෙනිච්ච. හාට් ඇටෑක් එකක්ලු. දොස්තර මහකත්තය බලල කිව්වෙ"
"ඉතිං එෆ්එම කාරයො?"
"ඒ අවුඅස්සෙ කැමරා ටිකත් උස්සගෙන උං පැනල ගිහිල්ල."
"අම්මපල්ල රුපියල් දෙතුංදාහක් හරි දුන්නනං මොකෑ වෙන්නෙ. මොකක් හරි අහනවට"
"ඔය එෆ්එම් කියන බඩකඩුත්තු නං සල්ලි දුන්නත් අහන්න වටින්නෙ නෑ බං"
Friday, September 6, 2013
මගේ ගෑනිට මොනවහරි උනොත් ඔය එෆ්එම් චැනල්කාරයො වගකියන්න ඕන....!
Wednesday, September 4, 2013
පොලිටිකල් ජෝක්ස්! (political jokes)
අද දාන්න යන්නෙ පොලිටිකල් ජෝක් ටිකක්.
ඔහේල අහල ඇතිනේ අර "ඔබට කිරි දෙනුන් දෙදෙනෙකු සිටී නම් ......." එක එක ආර්ථික ක්‍රම වලින් එළදෙනුන්ගෙන් ගන්න වැඩ ගැන ප්‍රසිද්ධ කතාව. ඒකෙ අලුත් වර්ෂන් මේ
ඔබට කිරි දෙනුන් දෙදෙනෙකු සිටී නම් ....
දේශප්‍රේමීන්,
අධිරාජ්‍යවාදීන්ගෙන් උන් ආරක්ෂා කරගත යුතුය.
නූතන සිංහලබෞද්ධයා
එළදෙන යනු ඔබේ කිරි අම්මාය. එබැවින් කිසිවෙකු ගවමස් නොකෑ යුතුය.
එළකිරි ධනවාදය
දෙනුන් දහස් ගනනක් සිටින බහුජාතික සමාගමකට ඔබට එළදෙනුන් දෙදෙනා විකිණිය හැකිය. ඉස්පසු කිරි දෙවීම, ගොම එකතුකිරීම.... වැනි කාර්යන් සඳහා සමාගමේ රැකියාවක් ලබාගත හැකිය.
☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺
මී මැස්සා සහ කුරුල්ලා
මේකත් ඔහේල දන්න කතාවක්. ඔන්න වතුරේ ගහගෙන යන මීමැස්සෙක් දැක්ක කුරුල්ලෙක් ගහකින් කොලයක් කඩල වතුරට දානව. කොලේට ගොඩවුන මී මැස්සගෙ තටු වේලුනාම ඌ උදව්ව මතක තියාගෙන පියාඹල යනව. දවසක් නරක කොල්ලෙක් කැටපෝලයකින් කුරුල්ලට විදින්න හදනව දකින මී මැස්ස කොල්ලට දෂ්ට කරල කුරුල්ලව බේරගන්නව. ඊට පස්සෙ උන් දෙන්න සතුටින් ඉන්නව.
උගන්ඩාව එක්ක, ස්වාසිලන්තය එක්ක, බෙලරුස් එක්ක ලංකාව(ජනාධිපතිතුමා) සම්බන්ධකම් පවත්වනව කියල විවේචනය කරන අයට මතක් කරන්න තියෙන්නෙ ඔය කතාව.
පනස්වෙනි ද කොහේද නිදහස් සැමරුමට චාල්ස් කුමාරය ලංකාවට ආපු වෙලාවෙ පොඩි කේස් එකක් උනා මතක ඇතිනේ. එකැස් ජනාධිපතිතුමියයි, රෝද පුටුවෙ ඉන්න අගමැතිතුමියයි, "කකුල් තුනෙන්" ඉන්න ආරක්ෂක ඇමතිතුමයි, ටික වෙලාවක් යද්දි පොලිස්පතිතුමා ඩෝං ගාල කලන්නෙ දාල වැටුන හැටියි දැක්ක චාල්ස් ඇහුව කියන්නෙ උඹලගෙ රටේ නීරෝගී මනුස්සයො ඇත්තෙම නැද්ද කියල. ඒව නං ඉතිං ශාරීරික කේස් කියල හරි අත පිහිදගන්න බැරිය.
මෙදා මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ නෝන ආවම තිබුන තත්වෙ හිතල බලන්න.
☻ ජනාධිපතිතුමා මේ වගේම රටක් වෙච්ච බෙලරුසියාවෙ සංචාරෙක.
☻ කට්ටියක් පිල්ලෙට විරුද්ධව උද්ඝෝෂනේ
☻ මර්වින් ඇමතිතුමා (උන්නැහේ කැබිනට් නේද?) පිල්ලෙ නෝනට බඳින්න(-සෙක්ස් වලට) කතා කරනව.
අනේ ඒ මනුස්සය මොනව හිතන්න ඇතිද අපි ගැන.
මේ පෝස්ටුව ලියන්න හිතං ඉන්න වෙලාවෙ ඊයෙ නිව්ස් බැලුව. මර්වින් ඇමතිතුමාගෙ යෝජනාව ගැන සීරියස් ටෝක් එකක් දෙනව අපේ ඔටුන්න හිමි නාමල් කුමාර මහත්තය. මතක විදියට එතුමා කිව්වෙ "හාමුදුරුවනේ මර්වින් ඇමතිතුමා කලේ ප්‍රජාතන්ත්‍රවාදී යෝජනාවක්. ඒකෙ තියන වැරැද්ද මොකද්ද?...." වගේ අදහසක්. ඒ කතාව ඇහුවම මට හිතුනෙ තාත්තගෙ නමේ පිහිටෙන් පාර්ලිමේන්තු ඇවිල්ල ගොං කතා කියනව කියල අපි සජිත් ප්‍රේමදාස මහත්තයට බනින එක කොච්චර වැරදිද කියල.
☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺
මම හොයාගත්ත සමාන තේරුම් දෙන වාක්‍ය දෙකක් මෙන්න;
"ලොක්ක මට කැමතියි=ලොක්කගෙ කේන්දරකාරය කියනව මම දිනනව කියල"
Monday, September 2, 2013
සති අන්ත සෞඛ්‍ය කතා.
මේ කතන්දර කිහිපයම සිදුවූයේ අනුයාත සති අන්තවලය.
එක
මව්පියන් සමඟ විදේශ රටක ජීවත් වන අවුරුදු දෙකක් වයසැති දරුවෙකු ලංකාවට පැමිණියේය. යම් යම් රෝගී තත්වයන් සහමුලින්ම තුරන් කර ඇති බැවින් සමහර රටවල ප්‍රතිජීවක එන්නත් ලබා දෙන්නේ අඩුවෙනි. එබැවින් ලංකාවට පැමිණි පසු දරුවාට එන්නත් කිහිපයක් ලබාදිය යුතු යයි දෙමාපියන් තීරණය කරන ලදී. සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක ලියාපදිංචි වීම තරමක කරදරකාරී ක්‍රියාවක් බැවින් හා වැයවන මුදල් ප්‍රමාණය පිලිබඳ එතරම් තැකීමක් නොවූ බැවින් පෞද්ගලික රෝහලකින් එන්නත් ලබාගැනීමට ඔවුන් තීරණය කලේය. නිවස ආසන්නයේ ඇති පෞද්ගලික රෝහලකින් විමසූ විට ප්‍රධාන එන්නත සඳහා රුපියල් අට දහසක් වැයවන බව ඔවුන් ප්‍රකාශ කල අතර ආසන්න වෙනත් දිස්ත්‍රික්කයක රෝහලකින් අදාල එන්නත සහ තවත් මුඛ එන්නතක් ලබා ගත්තේ රුපියල් තුන් දහස් ගනනකටය.
දෙක
උක්ත එන්නත තම දරුවාට ලබාදීමට බ්ලොග්කරුවා පැමිණියේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයටය. සියයකට අධික දරුවන් පිරිසක් විවිධ වයස් කාණ්ඩයන් යටතේ ඒන්නත් ලබාගැනීම සඳහා පැමිණ සිටියහ. දොස්තර මහතාත් පවුල් සෞඛ්‍ය නිලධාරිණියන්ද ඉතාමත් කාරුණිකව සහ කඩිසරව තම කාර්යය ඉටුකරන ලදී. එන්නත් ලබාගැනීම පැය දෙකක් වැනි කාලයකදී සිදුකල අතර අමතරව යෝගට් එකක්ද ලබාදුන් බව කිවයුතුය.
තුන
පළමු කතාවේ සඳහන් කල දරුවා [පිට පිට දින දෙකක්ම] ඇදවැටීම නිසා යටිතොල ප්‍රදේශයේ තරමක පැලීමක් ඇතිවිය. රුධිර වහනයද තරමක් සිදුවූ බැවින් පෞද්ගලික රෝහලක් වෙත ගෙනයාමට සිදුවිය.
"මේකට මැහුම් දාන්න ඕන.... හිරිවැටෙන්න බේතක් දෙන්නං"
බෙහෙත් විදීම සඳහා සිරිංජය අතට ගත්තා පමණි. ළමයා බිම පෙරළෙමින් හඬන්නට විය. හිරිවට්ටා කිසිවක් කලනොහැකි බැව් අවබෝධ කරගත් වෛද්‍යවරිය ඉන්පසු කලේ වෙනත් යෝජනාවකි.
"මේක සිහිනැති කරල කරන්න වෙන්නෙ. ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙට යන්න"
එයට දරුවාගේ මව අකමැතිය.
"මහන්නෙ නැතුව බැරිද?"
"බෑ බෑ මේක පැසවල *&%^**+_(+_(+_(+*&*^&*%^........"
ඉන්පසු රජයේ රෝහලට පැමිණි අතර රෝගීන් ඇතුල් කරගන්නා වෛද්‍යවරයාගෙන්ද විමසුවේ සැත්කම් කිරීම අත්‍යවශද යන කාරණයයි.
"ඔව් ඔව්. මේක මහන්න ඕන. ඩෙන්ටල් ඩොක්ටර්ට පෙන්නන්න ඕන දත් කැඩිලද බලන්න. එක්ස්රේ එකක් ගන්න ඕන තව ^%#$&%^()_)(+_.........."
ආදී වශයෙන් කරුණු කාරණා දහසකි. කෙසේ හෝ දරුවා රෝහලට ඇතුලත් කල අතර වාට්ටුව භාරව සිටියේද උක්ත වෛද්‍යවරයාය. සවස පහට පමණ ලෙඩුන් බැලීමමට පැමිණියේ දරුවාගේ සීයාය. වෛද්‍යවරයාට ඔහු හමුවිය.
"....... අංකල් ඇයි?"
"දුවගෙ දරුව................................................. මොකද කරන්නෙ?"
"එහෙනං පොඩ්ඩක් ඉන්න....[දුරකථනයෙන් යමක් කථාකර]..... සර්ජන් අද නිවාඩුයි. එයා එනව අහවල් ප්‍රයිවට් හොස්පිටල් එකට. අංකල් දැං ළමයත් එක්ක ගිහිල්ල එයාට පෙන්නන්න"
"එතකොට ටිකට්එක?
"කමක් නෑ හෙමින් සැරේ යන්න"
අහවල් පෞද්ගලික රෝහලේ සිටි ශල්‍ය වෛද්‍යවරයා දුන් ආලේපය සිව්දිනක් පමණ පාවිච්චි කල පසු දරුවා සම්පූර්නයෙන් සුවය ලැබීය.
පසුගිය දිනෙක රාවය පුවත්පතෙහි අපූරු ලිපියක් කියවීමි. ඒ දකුණු අප්‍රිකානු කළු ජාතික වෛද්‍යවරියක් වූ ටැන්ඩෙකා මසිබුකෝ [Thandeka Mazibuko] පිලිබඳවය. පියා මියගිය දුගී පවුලකට අයත් වෙමින්ද, ආදරය කරන්නන් රහිතව ජීවත් වෙමින්ද, ලාබාල වියේදම බලහත්කාරී විවාහයකට ඇතුළු වෙමින්ද ඇගේ සිහිනය වූයේ වෛද්‍යවරියක් වීමය. ඇයගේ අපේක්ෂාව වන්නේ මිත්‍යාවන්ගෙන් වෙලීගොස් රෝගයන්ට ප්‍රතිකාර නොගන්නා ප්‍රදේශයේ වැසියන්ට ප්‍රතිකාර කිරීමයි.
මා සඳහන් කල පළමු සිද්ධීන් තුන අප රටේ සෞඛ්‍ය සේවයේ තත්වය විදහාපායි. එය හොඳ නරක මිශ්‍ර වූවකි. "සැමට සම සෞඛ්‍ය අයිතිවාසිකම්" යනු අතීතයේ සිට ක්‍රමයෙන් ශිෂ්ඨත්වය කරා ගමන් කරන මානවයා සාදාගත්තකි. වෙනත් මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා තම [හෝ තම මවුපියන්ගේ/අනුග්‍රාහකයන්ගේ] හැකියාව උපයෝගී කරගත් ක්‍රමය වෙනුවට අධ්‍යාපනය සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර සියල්ලන්ටම ලබාදීම ඉතාමත් යහපත් කාර්යකි. යුද්ධ කිරීමේදී හෝ සතුරෙකු අල්ලාගත් විටකදී පවා මානව අයිතිවාසිකම් ගැන සැලකියයුතු යයි කතා කරන සමයක පසුම්බියේ මුදල් තිබූ හෝ නොතිබුනද රෝගයකට ප්‍රතිකාර ලැබියහැකි ක්‍රමයක් වේනම් එය වඩාත් මානුෂික බව කිව යුතුය. එහෙත් "සේවය" පුද්ගලානුබද්ධ වූ විට තත්වය අයහපත්ය.


