Wednesday, September 28, 2011

අල්ලස් හා අපේ රාජ්‍ය සේවය

පසුගිය දිනෙක මාහට මුහුණපෑමට සිදුවූ සිද්ධියක් මාතෘකාවේ ආරම්භයට යොදාගනිමි. එදින මා සිටියේ අප කාර්යාලයේ වාහන බලපත්‍ර නිකුත්කරන ස්ථානයේය. ආදායම් බලපත්‍රයක් ගැනීමට පැමිණි තරුණයෙකු අත අදාල සියළු ලියකියවිලි නොතිබුනු අතර ඔහුගේ කාර්ය ඉටුකල නොහැකි බව දැන්වීමට මා හට සිදුවිය. ඔහුගේ ක්ෂණික පිළිතුර (යෝජනාව) වූයේ "මහත්තයා, කරගන්න විදියක් ඇත්තෙම නැද්ද?" යන්නයි.
අල්ලස යනු කිසියම් ආයතනයකින් යම් සේවාවක් ලබාගැනීම සදහා ලබාදෙන ඕනෑම දෙයක් වන අතර මේවා මුදල්, භාණ්ඩ, සේවා, ආදී ඕනෑම දෙයක් වන අතර අල්ලස් වශයෙන් පැවැත්වෙන සාද සහ ලිංගික අල්ලස්ද වියහැකිය. මේවා ලබාදෙන්නවුන් බලාපොරොත්තු වන්නේ යම් සේවාවක් කඩිනමින් ලබාගැනීම, අන් අය ඉක්මවා ප්‍රමුඛතාවය ලබාගැනීම හෝ නීති විරෝධීව අදාල සේවාව ලබාගැනීමේ අපේක්ෂාවයි. ශ්‍රී ලංකාවේ පවතින සිවිල් නීති අනුව කුමන ආකාරයක හෝ අල්ලස් ලබාගැනීම මෙන්ම ලබාදීමද දඩුවම් ලැබියහැකි වැරදි වේ. රාජ්‍ය සේවය පැත්තෙන් ගත්විට අල්ලස් ලබාගැනීම යනු රැකියාවෙන් පහකරනු ලැබිම හා සිවිල් නීතිය යටතේ දඩුවම් ලැබීම යන දෙකටම යටත්ය.
ලංකාවේ ආර්ථියය සම්බන්ධ ඉතා වැදගත් ස්ථානයක සේවය කරන නිළධාරි‍යකු වන මගේ මිත්‍රයෙක් වරක් මට පැවසුවේ "....ජොබ් එකේ අයට....පාස් කරගන්න ඕන ගානක් දෙන්න ලෑස්ති කට්ටිය ඉන්නවා.... , ලංකාවෙ ඕනම නිළියකගෙ නමක් කියල ඉල්ලුවොත් උන් ගෙනල්ල දෙන්න එයාලට පුළුවන්.." යන්නයි. මෙහි අතිශ්‍යෝක්තියක් තිබියහැකි වුවත් සම්පූර්ණයෙන්ම බැහැරකිරීමටද නොහැකිය.
මීලගට සලකා බැලිය යුත්තේ අල්ලස් ලබාගැනීමට හේතුවන කාරණායි.
මා හදුනාගෙන ඇති ආකාරයට මීට හේතු වශයෙන් බොහෝ දෙනා දක්වන රාජ්‍ය සේවයේ පවතින (ජීවන බරට සරිලන)වැටුප් නොලැබීම නොවේ. මූලිකම හේතුව වන්නේ "අවස්ථාව"යි.
කුමක්ද මේ "අවස්ථාව"?
ශ්‍රී ලංකාවේ අල්ලස ගැන ප්‍රධාන වශයෙන් චොදනා එල්ල වන අංශයන් වන්නේ පොලීසිය, මෝටර් රථ ප්‍රවාහන සදපාර්තමේන්තුව, රේගුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන කාර්යාල හා පාසල් වැනි ආයතන වේ. මේ සියළුම ආයතන සම්බන්ධයෙන් මහා පොදු සාධකයක් ඇත. එනම් අල්ලස් දීමට පොළඹවන සුළු හේතු එකක් හෝ කිහිපයක් මෙම ආයතන වල පැවතීමයි. උදාහරණයක් වශයෙන් රථවාහන අංශයේ සේවය කරන පොලිස් නිළධාරියෙකු සැලකුවහොත් ඔහුට මාර්ග නීති කඩකරන රියදුරන් හසුකර ගැනීමේ අවස්ථා ඕනෑතරම් පවතී. මෙහිදී වැරැද්ද සිදුකරන පාර්ශවයේ කල්පනාව "කීයක් හෝ රාලහාමිට දී", අධිකරණයට යාම හෝ වඩා වැඩි දඩයකින් ගැලවීමයි. මෙහිදී "හෘද සාක්ෂිය සමග කරන සටනේදී" පරාජයට පත්වන "රාලහාමිලා" බොහෝය
මා මුලින්ම සදහන් කල මගේ අත්දැකීම සලකා බැලුවද එහිදීද මාහට ලැබෙන්නේ අල්ලස් ලබාගැනීමේ අවස්ථාවයි. වැටුප් ප්‍රමාණවත් නොවීම යන කාරණය ප්‍රධාන කාරණාවක් නොවන අතර එය එසේ යයි සලකන්නේ නම් අඩු වැටුප් ලබන රාජ්‍ය සේවකයන් පමණක් අල්ලස් ලබාගැනීමට පෙලඹෙන්නවුන් වියයුතු වුවත් එය එසේ නොවන බව අපි දනිමු.
යම් සේවාවක් කඩිනමින් ලබාගැනීම, අන් අය ඉක්මවා ප්‍රමුඛතාවය ලබාගැනීම හෝ නීති විරෝධීව අදාල සේවාව ලබාගැනීම යන කාරනා මුල්කොටගෙන අල්ලස් දීමට වැඩිපුර පෙළඹෙන ආයතන වල ස්වභාවයේ පහත සදහන් ලක්ෂණ ඇත.
ශ්‍රී ලංකාවටම එක් කාර්යාලයක් හෝ කාර්යාල කිහිපයක් පැවතීමේ හේතුව(උදා.මෝ.ප්‍ර.දෙ.,රේගුව..) මෙම ආයතන වල කාර්යක්ෂමතාවය කොතරම් වැඩිකලද කාර්යබහුලත්වය හේතුවෙන් ප්‍රමාදවීම් ඇතිවීම වැලැක්වීම ඉතා දුෂ්කරය. මෙම ආයතන වෙනුවට විකල්ප ස්ථාන නොමැත. ජනප්‍රිය පාසල් ආදිය ගත්විට ඒවායේ ඇති තත්වයද මෙසේ වේ.
අල්ලස් ලබාගැනීම් ඇතිවීමට බලපාන අනෙක් මූලික හේතුවක් වනුයේ පුද්ගලික අංශයට සාපේක්ෂව රාජ්‍ය අංශයේ පවතින අධිකාරී ස්වභාවයයි. උදාහරණයක් වශයෙන් වාහනයක ආදායම් බලපත්‍රය ගැනීම යන කාර්ය සැලකුවහොත් එය ලබාගත හැක්කේ එකම ස්ථානයකදී පමණක් වුවත් වාහනය රක්ෂණය කරගැනීම සදහා පෞද්ගලික රක්ෂණ සමාගම් ඕනෑතරම් ඇත.
අනෙකුත් හේතු ගත්විට ලබන වැටුප් ප්‍රමාණවත් නොවීම, සේවකයන්ගේ පවතින ආකල්ප, යහපාලනය ඇතිකරවීමට අදාලව ඔවුන් දැනුවත් නොකිරීම ආදිය ගතහැකිය.
උදාහරණයක් ලෙස තමා රාජ්‍ය සේවයේ යෙදී වැටුප් ලබාගන්නේ බදුගෙවන ජනතා මුදලින් බව අමතක කරන රාජ්‍ය සේවකයන් එමටය.
අල්ලස නැතිකිරීම සදහා ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද?
මූලික වශයෙන්ම අල්ලස් දීම නැවැත්විය යුතු අතර ඒ සම්බන්ධ නීති රීති අකුරට ක්‍රියාත්මක කරවිය යුතුය. ඒ සදහා වන දඩුවම් වැඩිකල යුතුය.රාජ්‍ය අංශයේ සේවකයන්ගේ අල්ලස් ගැනීම් පිළිබද පැමිණිලි කිරීමට යාන්ත්‍රණයක් ඇතිකලයුතු අතර චෝදනාවකට ලක්වී එය ඔප්පු වන නිළධාරියකුට ලබාදෙන දඩුවම හුදෙක් ස්ථාන මාරුවකට සීමා නොවිය යුතුය.(යටත් සේවකයකු සම්බන්ධව එම ආයතනයේ ප්‍රධානියාට කරන පැමිණිල්ලක් පුද්ගලික අංශයට සාපේක්ෂව රාජ්‍ය අංශයේදී විභාග නොකෙරේ).
අවසාන වශයෙන් මෙම ලිපිය කියවූ ඔබට දියහැකි පණිවුඩය වන්නේ
"කිසිදා අල්ලස් දීමට නොපෙළඹෙන්න. අල්ලස් වශයෙන් ඔබ කරන වියදම හෝ පරිත්‍යාගය ඔබට සුළු දෙයක් වියහැකි වුවත් එය රාජ්‍ය සේවයට ඇතිකරන අයහපත් බලපෑම සුළුපටු නොවේ. සමහර විට එය ඔබේ දරුවා වැඩිහිටියෙක් බවට පත්වූ පසු ඇතිවන සමාජයට පවා බලපෑම් කලහැකිය"

15 comments:

  1. සමාවෙන්න දොරේ. මේක ඉන්ටර්නැශනල් ගෙම් එකක් මේක නොමැති රටක් කිව්වොත් මම ඔහේට අල්ලසක් දෙනවා. කවදාcඅත් නවත්තන්න බැරි දෙයක්. විශේෂයෙන් අපේ රට වගේ හිඟන්නෝ ඉන්න රටවල.

    ReplyDelete
  2. ඕනිම නිලියෙක් නම් බැරුව ඇති එත් දැන් ඉන්න ගොඩක් නිලියන්ය කියන අයගේ ෆුල් ටයිම් ජොබ් එක ඕකනේ , පාට් ටයිම් නේ රඟපාන්නේ

    ReplyDelete
  3. මාතලන් අයියත් එක්ක එකගය..අල්ලස නැති රටක් "මේ ලෝකය" තුල තිබේද

    ReplyDelete
  4. @මාතලන් & ChammA
    හරි මම දෙන්නගෙන්ම මේ ප්‍රශනෙ අහනවා.
    දන්නවද ඉන්දියාවෙ අල්ලස් ගැනීමේ තත්වය මොකක්ද කියලා?
    ඉන්දියාවෙ වැඩක් කරගන්න යන මනුස්සයෙක් එක්ක රාජ්‍ය සේවකයො හෙට්ටු කරලා "ගානකට" කැමති වෙන්නෙ ප්‍රසිද්ධියෙ. මෙහේ ඒවගේ තත්වයක් නෑ වගේම ‍මීට වඩා ගව් ගනනක් ඉදිරියෙන් ඉන්න රටවල් තියනවා(මං කියන්නෙ හොද පැත්තෙන්). ඒ නිසා මේ දේවල් ශූන්‍ය කරන්න බැරි වුනත් ඒ ආසන්නයටම ගේන්න පුළුවන්. ඒකට උවමනා වෙන්නෙ "ඕනකම" විතරයි.

    @buwa
    සහතික ඇත්ත.

    ReplyDelete
  5. කොහොම හරි උඹේ චේතනාව ඉටුවේවා. ඔය කස්ටම් ඔෆිසර්ලගේ නිලි අල්ලස ලෝකෙම දන්නවා හංගල ලියන්න දෙයක් නෑ. ඉස්කෝලෙට ළමයි දාන කොටත්. හමුදාවේ මිය ගිය සෙබලුන්ගේ පඩිය ලබාගන්නත්. හිරගෙදරත්, දික්කසාද නඩුවලදිත් ලිංගික අල්ලස නැගලම යනවා. මේවා ප්‍රසිද්ධ රහස්.

    ReplyDelete
  6. අල්ලස් නැතුව වැඩක් කර ගන්න පුලුවන් රටවල් තියේ ද ?

    ReplyDelete
  7. ගොඩක් රටවල ඔය දේ සිද්ද වෙනවා... අපේ රටේ තත්වේ උනත් ඔහොම තමයි.. මේ දේ සම්පුර්ණයෙන්ම නැති කරන්න පුළුවන් වේවි කියලා මං හිතන්නේ නෑ...

    ReplyDelete
  8. අල්ලස් ගන්නෙ ප්‍රධාන වශයෙන්ම ඒ සඳහා අවස්ථාව ඇති නිසාය කියන ඔබේ අදහසට සම්පූර්ණයෙන්ම එකඟයි. එකම රැකියාවෙ වුණත් අල්ලස් නොගන්න අයත් ගන්න අයත් දෙගොල්ලම ඉන්නවා.
    පිරිසක් අල්ලස් දී තමන්ගෙ වැඩ කරගැනීමට සූදානම්ව ඉන්නවා විතරක් නෙවෙයි, ඒක ලොකු වීරකමක් හැටියටත් දකිනවා- උදාහරණයක් විදිහට, "මංනම් තාම එක දඩයක් කාලා නැහැ, ගොඩින් බේර ගන්නවා" කියන පඬි ටෝක් එක දෙන අය කොච්චර ඉන්නවද? අල්ලස් දෙන අය නිසාම එහෙම නොදෙන අයට මේ තැන්වලින් රාජකාරි කරවාගැනීමට යාමේදී හුඟක් අපහසුකම්වලට මුහුණ දීමට සිදුවෙනවා. මොකද, ජරාව කෑමට පුරුදු වෙලා තියෙන සේවකයින්, එහෙම දෙනකම් මිනිස්සුන්ව රස්තියාදු කරවීමට පුරුදුව සිටින නිසා.

    සම්පූර්ණයෙන් වළක්වන්නට බැරි වුණත්, සාපේක්ෂව හොඳ මට්ටමකටවත් ගෙන ආ යුතු ප්‍රශ්නයක් මේක. මිනිස්සුන්ගෙ ආකල්පවල වෙනසක් අවශ්‍යයි මූලික වශයෙන්ම මට හිතෙන හැටියට. එහෙම නැතිව නීති මගින් විතරක්නම් පවතින වෙනසක් සිදු කරන්නට බැහැ. මොකද, නීතියක් දැම්මහම, ඒකට අහු නොවී කරන ක්‍රම සොයා ගැනීමට අපේ මිනිස්සු දක්ෂ නිසා.

    ReplyDelete
  9. ඇත්තටම මේවා නවත්වන්නම බැරිද???
    මෙහෙම ඒවා නැති රටවල් තියනවානම් අනිවා ඒහෙම වෙන්න හේතු මොනවද කියලා බලන එක තමා ගොඩාක් වැදගත්

    ReplyDelete
  10. ඇත්තටම රාජ් ලංකාවේ සමහර ආයතන වලට ගියාම ඒවායේ උදවිය හැසිරෙන විදිහට හිතෙනවා අල්ලසක් දීලා හරි මේ වැඩේ පට ගාලා කරගන්න පුලුවන්නම් හොඳයි කියලා ..

    අල්ලස් නැතුව වැඩක් කර ගන්න පුලුවන් රටවල් තියේ ද ? මටත් ඒක හිතට ආඅපු ප්‍රශ්නයක්

    ReplyDelete
  11. අල්ලස , දැන් යම්තාක් දුරකට අඩු වෙලා තියෙනව.ඒ රාජ්‍ය සේවයේ මැද පෙළ පිතිකරුවන් අතර.

    නමුත් මුල් පෙලේ සහ අවසන් පෙලේ පිතිකරුවන් මෙය නතරකරලාමයි කියන්න බැහැ වගේ.

    අල්ලස උනත් බුලත් විටක ඉදන් , ඔය කියන නිළි මට්ටම දක්වා විවිධයි. අල්ලස නවත්තන්න බැරිබහුතරයක් අල්ලස් දෙන්න කැමැත්තෙන් ඉන්න නිසා කියලයි මගේ අදහස.

    ReplyDelete
  12. මාතලන් ,මධුරංග, Dinesh
    උඹ හරියටම හිතුවා. හරියටම ලිවුවා. මම ආයෙත් කියනවා මේවා අවම කරන්න පුළුවන් කාරණා. ඇමෙරිකාව ගත්තොත් ජනාධිපතිගෙ ළමයින්ට දඩගහපු රටක්. තව ඕනතරම් රටවල් තියනවා "අවම මට්ටමේ" තියන.
    නලිනි චන්දිමා
    ඔයා වැඩිදුරටත් මතුකරන කාරණාව හරි.අල්ලසක් දීම ලොකු ගැටළුවක් නොවෙන අය ඉන්න පුළුවන්.ඒත් ඒකෙන් වෙන බලපෑමෙ මුළු ක්ෂේත්‍රයම අවුල් වෙන්න පුළුවන්.ඒකයි වඩාත්ම හානිදායක.
    දේවා ගේ අඩවිය
    අල්ලස අඩු රටවල එහෙම වෙන්න හේතුවන කාරණා අපට ගෙඩිපිටින් ආදේශකරන්න බැරිවෙයි. එහෙම උනොත් මේක තවත් අවුලෙන් අවුලට යයි. අපි අපේම ක්‍රම වලට එක්ස්පෙරිමන්ට් කරලා ක්‍රම හොයාගන්න පුළුවන්. අනෙක මේවට එලිපිට කවුරුවත්ම විරුද්ධ වෙන්නෙත් නෑනෙ.
    හිස් අහස
    ඕක සංසාර චක්කරේ වගේ තමයි.කොතනින් හරි ඕක කැඩුවෙ නැත්නං ගොඩඒමක් නෑ. අල්ලසක් දීලා පටගාලා කරගැනීමේ ඊලග ප්‍රතිථලය තමයි අල්ලස් නැතිව කිසිම දෙයක් කරගන්න බැරි තත්වෙට පත්වීම.
    සොඳුරු සිත
    ඒගැන ඔයාට අත්දැකීම් ඇති මගේ හිතේ. කියන කතාව හරියටම හරි. මුල්පෙල හා පසුපෙල තමයි වැඩි."අපේ"තත්වෙ එච්චරම නරක නැතත් "අවස්ථාව"වැඩි තැන්වල මැදපෙල අයත් හොදට බැට් කරනවා.

    ReplyDelete
  13. ඒත් ඔය අල්ලස කියන එක ඉදිරියේ අසරණ වෙලාවල් ඕන තරම් තියනවා, කොච්චර අල්ලස් දෙන්නෙ නැහැ කියලා හිතුවත්, සමහර තැන්වලදි කැමති උනත් නැතත් දෙන්න වෙනවා .....

    ReplyDelete
  14. අල්ලස යම් තරමකින් තිබීමත් අවශ්‍යයිග සමහර අධිකාරිවාදී නිළධාරී නිලධාරීන්ෙග් ක ෙණන් රිංගලා ගිහින් වැඩකරවා ගන්න පුළුවන් මැදෙ පෙෙල් පිතිකරුෙවකුට මහින්දයි කබරාල්ලුයි අත්සන කරපු ලියුමක් ෙගනැවහම

    ReplyDelete
  15. අල්ලසක් නොගන්න පුද්ගලයන්ව උනත් අඩපණ කරන්නේ ජනයා විසින්මයි නේ.. තමන්ගේ වැඩේ කොහොම හරි කරගන්න බල කරලා හරි එක කරගන්නයි මිනිස්සුන්ට ඔනේ.. හොදම උදාහරණේ මේ ලඟදි මහානාම පාසලේ විදුහල්පතිවරයාගේ ලිංගික අල්ලස..මට හිතාගන්නත් බැරි උනා මෙහේමත් වැදගත් පාසලක මුල් පුරුක මෙහෙම වෙද්දි අර සිසුන්ට මඟ පෙන්නන්නේ කවුද..නමුත් එ පුද්ගලයාට ඇගිල්ලක් දිගු කිරිමට කලින් ඉතුරු ඇගිලි හතරම තියෙන්නේ අපේ පැත්තට නේද ..එ මනුස්සයාව එතනට පත් කරන්නත් අපේ මවුවරුන් සැදි පැහැදි ඉදලා තියෙනවා..වැරැද්ද කාගේද කියලා හොයන්න බැ.. අල්ලස දෙන කෙනත් දෙන්න පෙලඹු කෙනාත් අල්ලස ගත් කෙනාත් මොවුන් සියල්ලම එක සේ වරදකරුවන්..

    ReplyDelete