Thursday, March 22, 2012

රණවිරුවා, මව සහ බිරිද (කෙටිම කෙටි කතාවක්)

එදින අංශයේ කිසිවෙක් නැත. රාජකාරී අතරතුරදී සේවාදායකයන්ගේ ප්‍රශ්නවලටද උත්තර දෙමින් සිටියෙමි. වයස අවුරුදු හැට පහක හෝ හැත්තෑවක පමණ මවක් පැමිණේ,
"මහත්තය... පෙන්ෂන් මහත්තය කෝ....?"
"පෙන්ෂන් මහත්තය නං අද නිවාඩුයි, ඇයි අම්මේ?"
"මහත්තයෝ මගේ පුතා...."
"හරි! ඉස්සෙල්ල වාඩිවෙන්න ඔය පුටුවෙන්, කියන්න!"
"මහත්තයෝ ......කියන්නෙ මගේ පුතා. එයාගෙ පැන්ෂන්එක මට හදාගන්න බැරිද?"
........නමින් හැදින්වූයේ මෙම මවගේ එකම පුත්‍රයාය. ඔහු ආරක්ෂක අංශයේ සේවය කරමින් සිටියදී එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයකින් මියගිය අතර ඒ වනවිට විවාහ වී සිටි ඔහුගේ විශ්‍රාම වැටුප හිමිවුනේ ඔහුගේ බිරිදටය. මියයාමට පෙර ඔහු බිරිද සහ මව සමග පදිංචිව සිටියේ එකම නිවසේය. සෙබලාගේ මරණයෙන් පසුවද බිරිද නැන්දම්මා සමග ටික කාලයක් එම නිවසේ කාලය ගතකලේය. එහෙත් දැන් මතුව ඇත්තේ අලුත් ප්‍රශ්නයකි,

"අම්මේ, මෙහෙමයිනේ...., පෙන්ෂන් එක ලැබෙන්නෙ නෝනට. අම්මට ඒක ගන්නනං බෑ!"
"නෑ මහත්තයෝ මේකයි, ඒ ලමය ආයිත් බැදල, දැං මාත් එක්ක නෙවේ ඉන්නෙත්. ඒකයි"
"හ්ම්, මෙහෙමයි ආයි බැන්දොත් පැන්ෂන් එක නැති වෙනව. පැන්ෂන් එක දෙන්නෙ බදින්නෙ නැතුව හිටියොත් විතරයි. ළමයි ඉන්නවනං එයාලට නං කොටසක් ලැබෙනව."
එහෙත් ඔවුන්ට දරුවන් නැත. රණවිරුවා මියයන විට ඔවුන් විවාහවී ඉතා කෙටි කලකි.
"බැන්ද කිව්වට මහත්තයෝ පොත්වල ලියල නෙවේ, කොහේද යන රස්තියාදු කාරයෙක් එක්ක ගිහිල්ල."

"හ්ම්"
"මට බැරිද මහත්තයෝ පුතාගෙ පඩියෙන් බාගයක්වත් ගන්න. පුතා මැරෙනකම්ම හිටියෙ මාත් එක්කනේ, මටත් වැඩක්පලක් කරගන්න බෑ‍, ඒකයි"

ඔහු මියගිය රණවිරුවෙකි. ඇය රණවිරු බිරිදකි. ලේ මස් වලින් සැදි ගැහැණියක් වුවද, ඔහුගේ මරණයෙන් පසු මියැදෙන තුරා දරුවන්ද නැති ඇය, අවිවාහකව සිටිය යුතුය. ඒ වෙනුවෙන් රුපියල් දහඅට දහසක පමණ මුදල ඇයට හිමිවේ. නීතිය කියා ඇත්තේ එසේය.
අනෙක් අතට විවාහක කාන්කාවකට -අඩුපාඩුවක් නැති පිරිමියෙක් සමග ජීවත් වන විවාහක කාන්තාවකට- අමතර දීමනාවක් රජයෙන් ගෙවීම එතරම් අවශ්‍ය දෙයක්ද? එහෙත් රණවිරුවකු නිසා වැද්දඹුවක් වූ ඇය නැවත විවාහ වූ විට කලින් කල පරිත්‍යාගයේ වටිනාකම නැතිවේද? මේ, එවැනි කාන්තාවක් නැවත විවාහ වීමේදී ඇයට ලැබෙන "මිල" අඩකින් අඩු කිරීමට ලාංකීය සමාජය තීන්දු කරන අවධියක් නොවේද?

අනෙක් පාර්ශවය සැලකූ විට, ඇය වයස්ගත මවකි. තම එකම පුත්‍රයා ජීවත්ව සිටියේ නම්, ඔවුන් මරණය තෙක් ඇය රැකබලා ගනු ඇත. එහෙත් දැන් ඔහු රට වෙනුවෙන් දිවිපුදා ඇත. ලේලිය වෙනත් දීගෙක ගොසිනි. දැන් ඇය බඩගින්නේ සිටිය යුතුය.

නීතිරීති තිබූ පමණින්ම යුක්තිය ඉටුවන්නේ නැත.

පසුවදන: මෙය කාලයකට පෙර සිදුවූ සත්‍ය සිද්ධියක් වූ අතර මේ වනවිට අදාල නීතිය සංශෝධනය වී ඇත. ආරක්ෂක අංශයන්හි සේවය කර මියයන නිලධාරීන්ගේ වැන්දඹුවන් නැවත විවාහ වුවහොත් විශ්‍රාම වැටුපෙන් අඩක් හිමිවේ.

30 comments:

  1. ඒ නිලධාරින් විවාහ වෙලා හිටියෙ නැත්නම් දෙමාපියන්ට පැන්ෂන් එක ලැබෙනව නේද.

    ReplyDelete
  2. මට මතක හැටියට ඔය වැන්දඹු බිරිදක් ආයෙම බැන්දම විශ්‍රම වැටුප අහිමි වෙන නීතිය ගෙනාවේ චන්ද්‍රිකා නෝනා ඉන්න කාලෙ.. පස්සේ ඒක වෙනස් උනා.. ඇත්තටම එහෙම උන එක හොදයි.. ඒත් මේ කතාවේ විදිහට අසරණ වෙන දෙමවුපියන්ට මොකද වෙන්නේ??

    ReplyDelete
  3. මේ කියල තියෙන සිද්දියෙදි නම් මම හිතන්නෙ ඒ රණවිරුවගෙ අම්මට පෙන්ෂන් එක ලැබෙන්න ඕන...

    ReplyDelete
  4. අපේ පැත්තෙත් ඉන්නවා ඔහොම ගෑනු කෙනෙක්. එයාටත් ළමයි නෑ. ඒත් ආයෙම බදින්නේ නැතුව වෙන කෙනෙක් එක්ක ඉන්නවා. එයා නම් ගන්න සල්ලි වලින් හරියට සෝබන කරනවා. ඒ පිරිමි කෙනාගේ අම්මට තාත්තට හරියට කන්න බොන්නවත් නෑ.
    මම නම් හිතන්නේ එ‍හෙම වුනහම ‍අම්මටයි බිරිදටයි දෙන්නටම සමානව මේ සල්ලි දෙන්න ඕන කියලයි.

    ReplyDelete
  5. දැන් සෙබලුන්ටග් වැන්දඹු බිරිදට හට Rs.3,000,000.00 ක් සහ නිළධාරින් හට Rs.5,000,000.00 ක වන්දි මුදලක් ලබා ගෙන නැවත විවාහ විය හැකි අතර විශ්‍රාම වැටුප ලබා දිමක් සිදු නොකරයි.

    ReplyDelete
  6. ඒක තමයි මාත් කට ඇරගෙන කියෙව්වෙ. ඔය නීතිය සංශෝධනය කලා කියලා තමයි මටත් දැනගන්න ලැබුනේ.

    ඔවු ඔය යෝජනාවත් හරිම කාලෝචිතයි
    henryblogwalker the Dude

    ReplyDelete
  7. මට දුක හිතෙන්නේ අර අම්මා ගැන. කාන්තාවක් නැවත විවාහ වෙනවා කියන්නේ එයා බලාගන්ට කෙනෙක් ඉන්නවා කියන එකනේ. එහෙම කෙනෙකුට වැන්දඹු මුදල් අයත් විය යුතු නෑනේද? එහෙම නම් තමන්ගේ වැටුප මරණයෙන් පසු බිරිඳ නැවත විවාහ වූවොත් මෙවැනි මවකට ලියා දීමක් පුතෙකුට කල නොහැකිද?

    ReplyDelete
  8. වැන්දඹුවට විශ්‍රාමයෙන් බාගයක් ගියාම ඉතුරු බාගෙ රණ විරුවාගෙ මවට හෝ පියාට ලැබෙනවාද??

    ReplyDelete
  9. නීතිය කොහොම වුනත් අනේ අර වයසක අම්ම නම් පව්..අර ගෑනු කෙනා බලාගන්න දැන් කෙනෙක් ඉන්නවනෙ.. :(

    ReplyDelete
  10. මමනම් කියන්නෙ ඒ වගේ කෙනෙක් නැවත විවාහ වුනොත් (ළමයි නැත්නම් ) සම්පූර්ණ වැටුපම දෙමව්පියන්ට හිමිවෙන්න ඕන. ළමයි ඉන්නවානම් වැටුපෙන් භාගයක් ලැබෙන්න ඕන.
    වඩාත් දුර්වල වියපත් දෙමව්පියන් මිස අලුත් ජීවිතයක් ලැබුණ රණවිරු බිරිඳ නෙවෙයි.

    ReplyDelete
  11. හරි නම් සිද්ධ වෙන්න ඕනේ ආදායමක් නැති සෑම වයසක මනුස්සයෙකුටම රජයෙන් දීමනාවක් ලබා දෙන එක. අපේ දුප්පත් රටේ ඒක හීනයක් විතරයි.

    ReplyDelete
  12. අභියාචනයක් කරලා වන්දි මුද‍ලෙන් දෙමවිපියන්ටත් යමි කොටසක් ලබා ගැනිමට හැකියාව තියෙනවා.

    ReplyDelete
  13. ඇත්තටම සංවේදී සිදුවීමක්. මේ රටේ නෙවෙයි බොහොමයක් රටවල නීතිරීති හා රෙගුලාසි හැදිලා තියෙන්නේ මානුෂිකමය කරුණු සලකලා බලලා නෙවෙයි.ඒවා නීතියක් විය යුතුයි යන පදනමට විතරයි

    ReplyDelete
  14. විරැවව වදපු අම්මට වටිනා කමක් ලබා දීලා තියෙනවද?

    ReplyDelete
  15. හ්ම්ම් සංවේදී

    ReplyDelete
  16. සංවේදී සිදුවිමාක්‌.මම මම දන්න කිහිප දෙනෙක් ඉන්නවා විවාහ නොවී එකට ජිවත් වෙන.රණවිරුවාගේ මව ඒ බිරිඳට වැඩිය කැපකිරීමක් කරලා තියෙනවා.එහෙම එකේ මවට මොනවහරි සහනයක් ලැබෙන්න ඕනේ නේ.

    ReplyDelete
  17. ඔය වගේ ප්‍රශ්න නිසා රණවිරුවන්ගේ දෙමව්පියන් ඉල්ලීමක් කළා ඔය ගැන කියලා. ඊට පස්සෙ තමයි මට මතක විදියට ඔය නීතිය සංශෝධනය වුණේ නේද අයියේ!

    ReplyDelete
  18. මට මේකට උත්තර නෑ බං. දෙන්න තියන උත්තර මානුෂික නෑ,

    ReplyDelete
  19. බිරිද නැවත විවාහ වුනෝතින් පැන්ෂන් එකෙන් අඩක් ඇයටද අනික් අඩ දෙමාපියන්ටද හිමි වෙන එක නම් හොදයි එතකොට කාටවත් අසාධාරණයක් වෙන්නේ නෑ.

    ReplyDelete
  20. සමහර නීති තියෙනවා මිනිස්සුන්ව ආරක්ෂා කරන. නමුත් ඒව හැම සිද්ධියකදිම වලංගු නෑ. මේ කියල තියෙන කතාවම ඇති උදාහරණෙකට. නීති රීති අවස්ාව අනුව කස්ටමයිස් කරන එකත් ප්‍රායෝගික නෑ. නමුත් පුළුවන් මට්ටමකින් එහෙම කරන්න පුළුවන්කමක් තිබුණ නම් දැනට තියෙන සීමා ඇතුලෙ වුණත් නැති මිනිහෙක්ට පිහිටක් වෙයි ඒක!

    ReplyDelete
    Replies
    1. හරියට ම හරි. මේ තියෙන්නේ මට කියන්න ඕනේ වුනු ටික තමා..!

      Delete
  21. සෑමාගේ හිතේ වරදක්ද මන්දා.. මට මතක් වුනා මෙහෙම කතාවක්..

    ඔහු රට වෙනුවෙන් නොමැරී බේරුන අයෙකි. ඔහුට එදිරිව බෝම්බ ඇටවූ අයෙක් සමාජ ගතව සතුටින් සැපෙන් සිටින්නේය. රජ්‍යය තන්ත්‍රයටද ඔහු හවුල්ය. රට වෙනුවෙන් නොමැරී බේරුන රණවිරුවා අද නිවසේ නැත. ඔහු වැරදිකරුවන් සිර කර කුඩා කුටියකය.

    දැන් රාජ්ගෙන් උපුටා ගත් කොටස
    "නීතිරීති තිබූ පමණින්ම යුක්තිය ඉටුවන්නේ නැත."

    ReplyDelete
  22. නීතියද? මනුස්සකමද?

    ReplyDelete
  23. ආයෙත් බැන්දොත් ගෑණිට පැන්ෂන් එක දෙන්නෙ අල හාරන්නයෑ... අම්මට දෙන්නෙ නැතිව..
    ගෑනිට නැතිවිච්චි එකා වෙනුවට අළුත් එකෙක් හම්බුණානෙ... අම්මට අළුත් පුතෙක් හම්බවෙයිද...
    ගෑණි බඳින එක ගැනනම් කිසිම අවුලක් නෑ...
    අර මැරිච්චි එකාගෙ පඩියෙන් වෙන එකෙක් නඩත්තු කරන එක හරිද..

    ReplyDelete
  24. //නීතිරීති තිබූ පමණින්ම යුක්තිය ඉටුවන්නේ නැත.//
    සහතික ඇත්ත...

    ReplyDelete
  25. මේ වගේ වෙලාවට රණවිරු විශ්‍රාම වැටුප ලැබිය යුත්තේ රණවිරු මවටයි.මේ වගේ අසරණ රණවිරු අම්මලා තාත්තලා එමට ඉන්නවා.මම ජනාධිපති වුනොත් දෙවෙනියට වෙනස් කරන්නේ මේ නීතීය(මුලිනම වෙනස් කරන වෙනත් එකක් තියෙනවා.)

    ReplyDelete
  26. අනේ මන්දා නීතිය මොනවා උනත් අසරණ අම්මා.....

    ReplyDelete
  27. මේ කතාවේ හැටියට නම් අම්ම තමා ඒ මුදලේ හිමිකාරයා... අම්ම ඉන්නෙත් තනියම නම්, ලේලිත් ආයේ බැඳලා නම් එයාට සල්ලි දෙන්න ඕන කමක් නෑ... එයා ඒ පවුල එක්ක සම්බන්ධයක් නෑනේ..

    ReplyDelete
  28. මට හිතෙන විදියට නං මේ සිද්ධියෙදී ඒ අම්මට ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නෙ ...

    ReplyDelete
  29. බිරිඳ නැවත විවාහ උනොත් එයාට ඒ මුදල දිය යුතු නැහැ....ලමයි ඉන්නවා නම් එයාලට හෝ රණවිරුවාගේ දෙමාපියන් ට ඒක අයිති විය යුතුයි....
    මුදල් ලබා ගැනීම සඳහා විවාහ නොවී වෙනත් පිරිමියෙක් සමග එකට ජීවත් වන අයට උනත් ඒ මුදල දීම නවතා දැමිය යුතුයි.....මගෙ අදහස නම් ඒකයි....

    ReplyDelete