Tuesday, April 30, 2013

වස බීම සහ වසදීම.

රෝහල්ගතව සිටි තම පෙම්වතියට වස දී මරාදමීමෙන් පසු තමාද සයනයිඩ් ශරීරගත කරගෙන වෛද්‍ය ශිෂ්‍යයෙක් මියගියේ දින කිහිපයකට පෙරදීය. පෙම්වතිය රෝහල්ගතකොට සිටියේද සියදිවි නසාගැනීමට නිදිපෙති පානය කිරීම හේතුවෙනි. ඇයද විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකි.

ශ්‍රී ලංකාව දිවිනසාගැනීම වලින් කප්ගැසූ රටකි. සියදිවි හානි කරගැනීම ලැයිස්තුවේ ඉහලින්ම සිටීමට පසුගිය සමයේ අපට හැකි විය. දිවිනසාගැනීම ඝාතනයක් හා සමාන ප්‍රථිපල අත්කරන්නක් බව ඉගැන්වෙන බුදු දහම අදහන්නන්, ජනගහනයෙන් බහුතරය වුවද ගුරුවරයා හෝ දෙමාපියන් තරවටු කල පමණින් දිවි හාණි කරගන්නා බාල වයස්කරුවාගේ සිට අස්වැන්න විකුණාගත නොහැකි වූ ගොවියා දක්වා සැලකිය යුතු පිරිසක් ප්‍රශ්න හමුවේ දිවි නසාගනිති. මේ අතරින් අපගේ අවධානය යොමු වන්නේ බාල වයස්කරුවන් සහ ආදර සම්බන්ධතා හේතුවෙන් දිවි හානි කරගන්නා කොටස ගැනය.

සති අන්ත පුවත්පතක සඳහන් වූ පරිදි එය 'මරාගෙන මැරුණු' ශිෂ්‍යයාගේ ප්‍රථම ප්‍රේමයයි. වයස විසි ගනන්වල පසුවන්නන් අතර 'ප්‍රථම ප්‍රේමය' අප වැනි රටවලට ආගන්තුක කරුණු නොවේ. විවාහයට පෙර සිදුවන පෙම් සබඳතා සඳහා වටපිටාවෙන් එල්ලවන බාධාවන් හමුවේ ප්‍රේම කිරීම ලාංකීය තරුණ තරුණියන්ට අභියෝගයකි. ජීවිතයේ තරුණ සමයත් සමඟ ඇතිවන අතිශයින් ස්වාභාවික ශාරීරික-මානසික වෙනස්කම් අපේ සමාජයේ බහුතරයකට මැජික්ය. මේවායේ අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ වයස විසි තිස් ගනන් වලදීත් ආදරය හෝ ලිංගික සම්බන්ධතා ගැන නොදන්නා පරපුරක් බිහිවීමයි. 'විවාහය සඳහාම ආදරය කිරීමට' බල කරන වටපිටාවක අධ්‍යාපනය පැත්තෙන් කෙතරම් ඉදිරියට ගියද වෛද්‍ය ශිෂ්‍යයා වැනි විකෘත නොදරුවන් බිහි වන්නේ එබැවිනි. මීට වසරකට පමණ පෙර ගාල්ල ප්‍රදේශයේ තරුණයෙක් සහ තරුණියක් දුම්රියට පැන දිවි හානි කරගත් අතර ඔවුන් දෙදෙනා වෛවාහක සබඳතා පැවැත්වූ සොහොයුරෙක් හා සොයුරියක්ය. එක් නිවසක ජීවත් නොවුවද ඔවුන් සම්බන්ධතාවය පටන්ගන්නා විටත් තම ඥාතීත්වය දැන සිටි අයවලුන්ය. සහෝදරිය සමඟ ප්‍රේම සම්බන්ධයක් පටන් ගැනීමට තරම් නරක තත්වයකට පත්වන්නේ මා ඉහත දැක්වූ සමාජමය ආකල්ප නිසා විය හැකිය.

මෙවන් පරම්පරාවක් ඇතිවීමට බලපාන කරුණු අතර අනෙක් ප්‍රධාන කරුණ වන්නේ පාසල් තුලින් ඇතිවන බලපෑමයි. සාමාන්‍යයෙන් ලංකාවේ පාසල් තුල, ප්‍රේම කිරීම, බරපතල ගණයේ අපරාධයකි. මත්ද්‍රව්‍ය භාවිතය පවා ඇත්තේ 'පාසල් දන්ඩ නීති සංග්‍රහයේ' ඊට පහලිනි. අප පාසල් ගිය සමයේ පෙම් සබඳතා ඇතිකර ගැනීමේ වරදට, තවත් පාසලකට ඇතුළු විය නොහැකි පරිදි, පාසලෙන් ඉවත් කල පෙම්වතුන් සිටි බැව් මතකය. එකල ගුරුවරුන් 'නීති විරෝධී පෙම් හසුන්' අත්අඩංගුවට ගත්තේ මහත් උජාරුවෙනි. තමන්ද එවන් වයසක් පසුකර‍ විත් සිටින්නන් බැව් කිසිවෙකුටත් මතකයේ නොතිබුනේය. ලෝකයේ සෑම ජන කොට්ඨාසයක මෙන්ම ලාංකිකයන්ද ගැටවර වයසට එලඹෙන්නේ නියමිත කාලයේදීම ය. එහෙත් ඔවුන්ට ලිංගික අධ්‍යාපනය පවා ලබාගැනීමට සිදුව ඇත්තේ අවිධිමත් ආකාරයටය. සමහර පාසල් වල ප්‍රජනනය පිලිබඳ පාඩම් ඉගැන්වීම ප්‍රතික්ෂේප කරන ගුරුවරුන් සිටි බව බ්ලොග් ලිපියක පවා දුටුවෙමි. විවෘත ලිංගික සබඳතා අනුමත නොකලද 'ආදරය කිරීම' පිලිබඳව පුළුල්ව සිතාබැලීමට දෙමාපියන්ට සහ ගුරුවරුන්ට ඉගැන්විය යුතුය.

මේ වනවිට ලාංකීය අධ්‍යාපන ක්‍රමය සකස් වී ඇත්තේ අපූරු ආකාරයකටය. එනම්, එකල මෙන් නොව පළමු වසරේ සිට පාසල් අධ්‍යාපනයට අමතරව පෞද්ගලික උපකාරක පන්තිවලට යාම විලාසිතාවක් බවට පත්ව තිබීමයි. මෙසේ දෙවරක් එකම අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් සිටින රට ලංකාව පමණක් විය හැකිය. කුමන හෝ අයුරකින් අධ්‍යාපනය ලබාගැනීම පිලිබඳව ගැටළුවක් නැතත් අද ඇති තරගකාරීත්වය හමුවේ වන්දි ගෙවීමට සිදු වන්නේ දරුවන්ටය. උදෑසන 7.30 සිට සවස 1.30 දක්වා වැනි අධ්‍යාපනය ලැබීමේ කාලයක් නියම කර ඇත්තේ අධ්‍යාපනය ලබන දරුවාගේ පැත්තෙන් සිතා බලා ඔහුට/ඇයට විවේකයක් ලබාදීමේ අරමුණින්ය. එහෙත් ද්විත්ව අධ්‍යාපනය ලැබීම නිසා යන්ත්‍ර වැනි තත්වයට පත්වන ගැටවරයන් වැඩිහිටියන් බවට පත්වන විට ඇතිවන අවුල් ලිහාගැනීම අසීරුය.

සාමාන්‍යයෙන් සත්වයන් අතුරින් දීර්ඝතම ළමා කාලයක් ඇති සත්වයා මිනිසාය. අවුරුදු දහ අටක් පමණ වන තෙක් නීතියෙන්ම එම තත්වය තහවුරු කර ඇති අතර උසස් අධ්‍යාපනය ලබන කාලයද සැලකුව හොත් එය තවත් අවුරුදු ගනනාවක් දක්වා ඇදී යයි. වයස හැට ගනනක් වනවිට අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගාබාධ වලට ලක්වී ජීවිතය අවසන්වීම(හෝ සිටියත් නොසිටියා මෙන්) සුලභ වී ඇති සමයක වයස විසි ගනනක් ළමා කාලය වෙනුවෙන් කැප කිරීම නවතා දැමිය යුතුය. සාමාන්‍ය උපාධියක් ලබාගත හැකි වයස අවුරුදු විස්සක් පමණ වනසේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කල හැකි නම් එය හොඳ මට්ටමකි. එවිට ආදරය අහිමි වූ විට පවා ඝාතනයන්ට පෙළඹෙන, ඇවිදින යන්ත්‍ර බිහිවීම වලක්වා ගතහැකි වනු ඇත.

48 comments:

  1. ස්භාවධර්මයා අභිබවා යෑම නොකල හැක්ක කි. මේය මගේ ඉන්ඩක්ටිව් නිගමනයකි..එම නිසා ස්භාවධර්මයේ නියමය පරිදි නැට්ටට කිරි එරෙන කාලය පැමිනෙද්දි ඒ අවශ්‍යතාවයන් හසුරුවා ගැනීමට, ඒ ගැන ඉගෙන ගැනීමට ලමයාට අවස්ථාවක් තිබිය යුතුය. එහෙත් එය සමාජයට හානි දායක් නොවන ලෙස වන්නක් විය යුතුය. අද දවසේ ලාංකීය ලිංගික අධ්‍යාපනය මෙන්ම තරුණ ලිංගික අවශ්‍යතා නිසි කාලයේදී විදීමද සංස්කෘතිය හා ස්භාවිකත්වය අතර ගැ‍ටුමකි. එම ගැ‍ටුමේදී මෙවන් විකෘතීන් බිහිවීම අප සමාජයේ එවන් ගැ‍ටුම් කලමණාකරනයේ ඇති නොමේරු ස්භාවය පෙන්නුම් කරයි

    ReplyDelete
    Replies
    1. අඩුත් නැතිව වැඩිත් නැතිව සියල්ල තියනව.

      Delete
  2. මේකේ වරද දරුවන්ගේ නෙමෙයි රාජ්. කාළකන්නි දෙමව්පියන්ගේ. දරුවන්ට දෙන්නේ පොත පතේ දැණුම විතරයි. දහම් පාසල් කියන්නෙත් යහපත් දේ හෝ හොඳ නරක කියා දෙන තැනක් නොව, විභාගයක් සඳහා තරඟයක් තියෙන තැනක්. විලාසිතාවක්. උසස් පෙල දක්වාම දරුවට කිසි නිදහසක් නෑ. දෙමව්පියනුත් ඉස්කෝලේ යනවා. දහම් පාසල ගාවත් එහෙමයි. කිසිම නිදහසක් නොළබන දරුවෝ, එක පාරට සමාජයට අත හැරියම ඉගිල්ලෙන්න දන්නෙ නෑ. තටු තිබුනට වැඩක් නෑ. පිස්සු කෙලිනවා, දිවි නසා ගන්නවා, මිනී මරණවා. මොකෝ ඒවා වීර ක්‍රියා බවට පත් කරලා තියෙන්නේ සෝමා එදිරිසිංහයි, ජේෂ්ඨ ජඩ මාද්දිය වේදීනුයි. උන් ඉතින් ඒවා කරලා වීරයෝ වෙනවා. නිදහසේ හැදුනු දරුවන් අතින් මේ වගේ දේ වෙන්නේ නෑ. අපේ පරම්පරාවේ මේ වගේ දෑ අහලවත් නැත්තේ ඒකයි. සිරකාරයකුගේ මානසිකත්වය කියවන්න. හිරේ උන්න අය ලියපු පොත පත බලන්න ඕන. අද දරුවෝ නියම හිරකාරයෝ. උන් දෙමව්පියන් එක්ක, ගුරුවරුන් එක්ක මෙන්ම සමාජය එක්කත් තරහයි. මෙහි මූලික වගකීම දෙමව්පියන්ගේ. වෙන කාටවත් දොස් කියලා වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. දෙමවුපියන් තමයි මූලික වැරැද්ද කරන්නෙ. ඊලඟට ගුරුවරුන්.

      Delete
  3. රාජ්,
    ඉතාමත් කාලීන ලිපියකි. මේවා මෙහෙම වන බව අප තේරුම් ගත්තේ බොහොම කලින්. නමුත් පිලියම් යොදන්න තියා හිතන්නවත් බැහැ. එනම්,
    1. ලිංගික අධ්‍යාපනය මේ රටට තාම මැජික්. ගිහියො විතරක් නෙමෙයි පැවිද්දොත් ඒකට විරුද්දයි.
    2. උපදේශනය වගේ සේවාවන් මේ රටේ තාමත් නැති වීම. පිලිගත් උපදේශකයින් නැති වීම.
    3. අධ්‍යාපනයේ දියාරු බව නිසා රොබෝවන් වැනි දරුවන් ඇතිවීම.

    මේ වගේ තවත් බොහොමයක් කරුණු කාරණා නිසා අපේ සමාජයේ මේවැනි තත්ත්වයන් වැඩි වනවා මිසක අඩු වීමට ඉඩක් ඇති වෙන්නෙ නැහැ. අඩු කරන්න ඕනෙ කමකුත් තියන බවක් පෙන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. ආදරය කිරීම සාමාන්‍ය දෙයක් කියල හිතන්න පුළුවන් කමක් නැතිවීමයි මූලික හේතුව. වගකීම අපිට තන් තනිවත් පැවරෙනව.

      Delete
  4. මාත් විසි ගණන් වල ඉන්න එකෙක්.මටත් දිවිනහගන්න වෙයිද දන්නේ නැහැ ප්‍රේමය නිසා(තාම නම් ඕකක් නැහැ).එහෙම වුනොත් මල ගෙදර එන්න!

    ReplyDelete
    Replies
    1. උඹල අඩුගානෙ බ්ලොග් ලියල-කියවල හරි යමක් ඉගනගන්නවනේ. එහෙමත් නැති පිරිසක් ඉන්නව.

      Delete
  5. අපේ කාලේ නම් ඔහොම ඒවා තිබුනේ නෑ.දැන් කාලේ එවුන්ට තමා මගුල් විසේ කියල කියන වැඩිහිටියෝන්ට කියන්න තියෙන්නේ එයාලගේ කාලේ ලිංගික හැඟීම් ඇති වෙන මුල් අවධියේදීම විවාහ කරලා දුන්න.
    දැන් කාලේ එහෙම කරන්න බෑ නේ.ඉගෙන ගෙන රස්සාවක් හොයාගෙන විවාහ වෙනකොට අඩු තරමේ අවුරුදු 28 ක් වත් වෙනවා.එහෙම අයට කියන්නේ කොහොමද අනේ උඹල බඳිනකල් මොනවත් නොකර හිටපියව් කියල...??
    ලිංගික නිදහස අඩු වෙන්න අඩු වෙන්න මේවගේ සිද්ධි වෙනවා වැඩියි.

    ReplyDelete
    Replies
    1. දැන් අපි පටන්ගන්නෙම "ආදරය කලොත් අධ්‍යාපනය ඉවරයි" වගේ තැනකින්. අන්න ඒක නං වෙනස්විය යුතුමයි. ලිංගික නිදහස කෙසේ වෙතත් ඒ නිදහස යෞවනයාට තිබියයුතුයි.

      Delete
  6. ප්‍රේම කලාම පොලිසියෙන් අල්ලං යන සමාජයක උඹලා මොනවද බං බලාපොරොත්තු වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. හැබෑට උඹත් ගුරුතුමෙක් නේද? හොඳ අත්දැකීම් ඇති. කමෙන්ටුව මදි.:-)

      Delete
    2. වැඩි අහක නොවේ ගාලු කො‍ටුව උඩ නිස්කලංකේ අත අල්ලන් කතාකරකර හිටියත් ඇති...මිනීමරල වගේ පොලෝසියෙන් අල්ලන් යන්නෙ.

      Delete
    3. වියා = හරියට හරි..

      Delete
    4. ඩුඩ් , වරදක් බව නොදැන සිටීම නිදහසට කාරණාවක් නෙවේ . අහල නැත්ද සින්දුව , "ආදරය සුන්දර වරදකි ...

      Delete
    5. මම දැන් උගන්නන රටේ නම් පාසල් පෙම් සබඳතා වලට බාධාවක් නෑ. එක් අතකින් අනුමත කරනවා කියලා කියන්නත් පුලුවන්.

      නමුත් මම ලංකාවේ උගන්නපු කාලෙත්, මම ඕක ඉගෙනුමට බාධාවක් කරගන්න එපා කියන අවවාදය හැර කිසිම පෙම් සබඳ කමකට අකුල් හෙලලා නැති බවත් කියන්න කැමතියි.

      Delete
  7. හැබෑටම රාජ් දැන් කාලේ පාසල් ප්‍රේමයට ඔය තරම් තහංචි තියන බව අදයි දන්නේ. ඇත්තටම මම උසස් පෙළ හදාරපු කාලේ හෙම නැහැ. මම පාසල් යන කාලේ ප්‍රේමයක් පටන්ගත්තා. මම එතකොට උසස් පෙළ සිසුවෙක්. මගේ පන්තිභාර ගුරුතුමිය ගුරු විවේකාගාරය වෙත මාව කැඳවා (ඒ වෙලාව ඇයම හොයාගන්න ඇති. එහි සිටියේ තවත් එක ගුරුවරියක් පමණයි) මට විතරක් ඇහෙන්න කිව්වේ, 'අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දෙන්න. අනික් දේවල් මතු බලාපොරොත්තුවක් මට්ටමෙන් තබාගන්න' කියලයි. අයගේ අවවාදය මම අකුරටම පිළිපැද්දා. ඒ ගුරු මෑණිවරු, ගුරු පියවරු හරි පරිපූර්ණයි. සමාජය ගැන ඔවුන් තුල තිබුන දැනුම පුදුමාකාරයි. ඔවුන්ගේ කැපවීම දැන් වගේ විදුහල්පතිගේ බලයට යටත් වූවක් නොවේ. මට මතකයි අපි වරක් අපේ පන්තියම ගියා පන්ති සගයකුගේ පියාගේ අවමංගල්‍යයට. එදා අර ගුරුතුමිය තමයි අප සමග ගියේ. කඳු පාරක පයින් යන්න ඕනෙ. මම සහ මගේ පාසල් පෙම්වතිය පිරිසේ පසුපසටම ගොස් කතාකරමින් යන්න පටන්ගත්තා. ගුරුතුමිය නෙවෙයි ඇහැක් ඇරලා බැලුවේ. හැබැයි මට දිවුරා කියන්න පුළුවන් කතාකිරීම විනා කිසිදු ස්පර්ශයක්වත් සිදු නොවුණු බව. එය මධ්‍ය මහා විද්‍යාලයක්. ඒ කාලයේ පාසල් ප්‍රේමය ජයගෙන විවාහවූ ඒ පාසලේ අය හතර පස් දෙනෙක් වර්තමාන ගුරු මණ්ඩලයේත් ඉන්නවා. මගේ දියණියන් දෙදෙනාට මම දී තිබෙන උපදෙස වන්නේ, 'අම්මයි මායි යාළුවෙලා බැන්දේ. ඉතිං ඔයාලට ප්‍රේ‍මවන්තයෙක් ලැබුනොත්, ඉස්සරවෙලාම අම්මටයි මටයි කියන්න. අපි උදවු කරන්නම් කලයුතු ඉදිරි පියවර ගැන' කියලා. ඒ වගේම ඒ දරුවන් දෙදෙනා ලද අධ්‍යාපනයට පින්සිද්ධවෙන්න, විචාර බුද්ධිය පිහිටලා තිබීම සතුටක්. හැබැයි අද ප්‍රේමය උවමනාවට වඩා ලිංගිකත්වයට බරවීම නම් අතිශයින් කනගාටුදායකයි. ඉතිහාසය, භාෂාව, සාහිත්‍යය, පාසලෙන් ඉවත්වීම නිසා අපිස් ජීවිත වලට දරුවන් යොමුවීමත්, මෝඩ පෙට්ටියේ පෙන්නන විකාර පරමාදර්ශී චරිත බවට පත්වීමත් වර්තමානය ව්‍යසනය කෙරෙහි බලපාන ප්‍රධාන හේතු ලෙස දක්වන්න පුළුවන්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔබේ ගුරුතුමිය හොඳ කෙනෙක්. කරුමෙට ඒ වගේ උදවිය අඩුයි. මේ කමෙන්ටුව ඇතුලෙ ප්‍රශ්නෙට විසඳුම් කොටසක් තියනව. බොහොම ස්තුතියි. (ඉගනගැනීම සහ ආදරය කිරීම දෙකක් බව ඔප්පු කරන්න හොඳ සාධකයක් මේක)

      Delete
  8. කරුණු දෙකක්.

    1. ප්‍රජාවක ජනගගණය ඝණත්වය වැඩි වෙනකොට පරාායත්ත සාධකවලින් එය පාලනය වෙන බව මා කුඩා කාලයේ ඉගෙන ගත්තා. මේ ඒවැනි කේස් එකක් විය යුතුයි.

    2. සිය දිවි හානි කරගන්නා අය ගැන තවත් සරල මතයක් නම් - මේ ස්වාභාවික වරණයේ ම ක්‍රියාවක් බවයි. එය නිවරදි නම් ආනගතයේ සිය දිවි හානි කර ගැනීම් කෙමෙන් අඩුවිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. 1.එහෙම නං කාලෙකට මේක නවතින එකක් නෑ.
      2.1ත් එක්ක මේක විසංවාදියි. (ඝනත්වය වැඩිවෙමින් පවතින නිසා)

      Delete
  9. වැදගත් සටහනක් රාජ් අයියේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මලයෝ

      Delete
  10. මාතලන් සහ විචාරක මහතා එක් කර තිබෙන කරුනුත් ඉතා වටිනවා. මගේ විශ්වාසය නම් මෙය අපේ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද. තමාගේ දරුවාගේ සැඟවුණු දක්ෂතා දැක ඒ ඔස්සේ යාමට දෙමාපියන් උදව් දිය යුතුයි. එහෙත් අද බොහෝ දෙනා බැරි බව දැන දැනත් තම දරුවන්ව දොස්තර වරුන් ඉංජිනේරුවන් කරන්න උත්සාහ කරනවා. මගේ විශ්වාසය නම් උසස් පෙලින් පසුව සියලු දෙනා රැකියාවල් සඳහා යොමු කර යුතුයි. ඉන් පසුව ආර්ථිකය හොඳ වූ පසු කුමක් හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් අර්ධ කාලීන ලෙස ලබා ගත යුතුයි. එය වෘත්තීය පුහුණුවක් වන්නත් පුළුවන්. රැකියාවක් කර අධ්‍යාපනයක් ලබන විට ප්‍රායෝගික තත්ත්ව තේරුම් ගෙන තිබීම නිසා අධ්‍යාපනය පහසු කරවනවා. මේ රැකියා වටෝටෝරු කාර්යාලීය රැකියාම විය යුතු නෑ. ඔබ පිළිගන්නවද මා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අතර කුඩා රැකියාවක් කල බව? ඒ මගින් මගේ උසස් පෙලට අවශ්‍ය පොත්පත් මෙන්ම ඇඳුම් සම්පාදනය කර ගන්න හැකි වුණා.

    ReplyDelete
    Replies
    1. ඉතිං කෙනෙක් මෙලෙස ජීවන බරට උර දීමට හුරු වූ විට, බාල බොළඳ චරිත නොවී වගකීමක් ඇති චරිත බවට පත් වෙනවා. නැතිනම් ඔහේ නිකං කාලය ගෙවා දමන විට හෝ නැවතත් විභාග තරගය ඔස්සේ දුවන විට සමාජ දැනුම වර්ධනය වන්නේ නෑ.

      Delete
    2. අධ්‍යාපනය ලබන අතරේ උපාධියක් සඳහා ඉගනගැනීමට මාත් කැමතියි. දැං තියෙන්නෙ එක ප්‍රශ්නයකටවත් උත්තර නැති අධ්‍යාපන ක්‍රමයක්.

      Delete
  11. මම නම් හිතන්නෙ සමාජ ශීලි බව සහ ලින්ගික දනුම කියන්නෙ දෙකක්. ඒ දෙක පටල ගන්න හොද නෑ නේද? මෙතන තියෙන ප්‍රස්නෙ මට නම් හිටෙන්නෙ ලින්ගික අධාපයනට වඩා සමාජය පිලිබන්ද දෑනුම නෑතිකම කියල මට හිටෙන්නෙ.

    මේ මනුස්සය(පවු ඉතීන් ) පොඩි කලෙ ඉන්ඩලම පොතේම ඉන්දල සමාජය ගෙන මෙලෝ දෑනුමක් නතුව හෑදිච්ච එකෙක් ද කොහෙඩ.

    මෙකට හෙටුව ලින්ගික අධාපයන මදි කම කියල නිගමනය කරන්න කලින් එක ගනත් හිතුවොත් හොදඊ නේද !!!

    ReplyDelete
    Replies
    1. දෙකක් තමයි. ලිංගිකත්වය ගැන කමෙන්ටු වලින් මතුවුන අදහස් තරමටම මම ලිපියේ අදහස් දැක්වූයේ නැත්තෙ ඒකයි.

      Delete
  12. මේක තනිකරම අධ්‍යාපන තරගයේ වැරැද්ද තමයි. ළමයෙකුට දරාගන්න බැරි තරමට මොළය වෙහෙසවෙනකොට ඇතිවන ආතතිය නිසා කිසිම දෙයක් හිතන්නෙ බලන්නෙ නැතිව ප්‍රතික්‍රියා කරන්න ගන්නව.

    ReplyDelete
  13. 70,80 දශකවල ඉගෙනගත්තු අයගෙ චරිතාපදාන අත්දැකීම් ගැන කියවනකොට වෙනස තේරුම්ගන්න පුලුවන්.
    එකම දේ තමයි සරල වීම.
    එතකොට ගොඩක් ප්‍රශ්න අඩුයි.

    ReplyDelete
    Replies
    1. ඉස්සර තරටමට සරළබව ලඟා කරගන්න පුළුවන් කියල මම හිතන්නෙ නෑ. ඒත් විසඳුම් තියනව.

      Delete
  14. Good discussion goes here, my idea, i believe when parliament has good knowledgeable politicians they know how to lead country forward, by the way in sri lankan parliament is the place to all thugs not for educated people. first have to change these culture

    ReplyDelete
    Replies
    1. පාර්ලිමේන්තුවට වගේම අපිටත් මේවායේ කොටසක් පැවරෙනව. තමන්ගෙ දරුවන් සම්බන්ධව ක්‍රියාත්මක වීමේදී. ස්තුතියි සංවාදයට එක්වුනාට‍

      Delete
  15. වර්තමාන සමාජයේ තිබෙනේ දැඩි ආත්මාර්ථකාමී බව,මේකට එක හේතුවක් තමන්ට උවමනා දෙය නොලබුනාම ඒක විනාශ කරන්න හදන්නෙ ඒකයි.

    අනික දෙමාපියන් සහ දරුවන් අතර ඇති දුරස්තරභාවය.එකට එක ගෙදරක හිටියට සමීප බවක් ඇති වෙන්නෙ නැ. දරුවන්ට උවමනා දේ ලබා දුන්න කියලම සමීප බවක් ඇති වෙන්නේ නැ. මේකට ප්‍රධාන හේතුව දරුවන්ගේ ආත්මාර්ථ කාමිත්වය ඒගොල්ල තමන්ට ඕනෑ වචනය විතරයි එලියට දමන්නෙ. අනික් ඒවා ඔක්කොම ගිල ගෙන ඉන්නවා. මගේ වසර 3ක් දුව කැම්පස් එකේ හිටියා. දිනපතාම ගෙදර ඉඳල ගියේ.(අතරින් පතර බස් එකේ වැඩි හරියක් කාර් එකේ) ඒ උනාට දෙවෙනි වසරේ ඉඳල කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටිය කියල අපි දැන ගත්තෙ අවුරුදු 3ක් ගියාට පස්සෙයි.
    ( තමන්ට තමනුත් නොමැති කල ධනය කොයින්ද? දරුවන් කොයින්ද?)


    ReplyDelete
  16. ඉතාම වැදගත් ලිපියක්! ප්‍රශ්නය පැති කීපයකින්ම බලමින් ලීවාට ස්තුතියි!

    ReplyDelete
  17. මේක පැටළුනු නූල් බෝලයක්. කොහෙන් ගැහුවත් පැටලෙනවා.. හැම දේටම බලපාන එක දෙයක් තියෙනවා.. කාලානූරූපව සියළු අධ්‍යාපන ක්‍රමවේද යාවත්කාලීන නොවීම..

    ReplyDelete
  18. මත් හිතන්නෙ දෙමාපියන් දරුවන් අතර දුරස්තභාවය දෙමාපියන් තරුණවියට එලඹෙන දරුවන්ගේ වෙනස්වීම් පිලිබඳව දැනුවත් නොවීම සහ නූගත්කම මේ ප්‍රේමය විතරක් නොවෙයි විභාග අසමත්වීම වැනි දේ නිසා දිවිහානිකරගැනීම්වලට මූලිකයි කියල. තමන්ට ඉන්න හොඳම යාලුවෝ අම්මයි තාත්තයි කියල දරුවන්ට තේරෙන විදිහට හැසිරෙන්න දෙමාපියන්ට පුලුවන් නම් දරුවො විවෘතව ප්‍රශ්න දෙමපියන් එක්ක කතා කරනවා. අද කාලෙ දෙමාපියෝ බොහොමයක් දරුවන් අධික පීඩනයකට ලක් කරනවා විභාග සමත් වීම වෙනුවෙන්.. ඉච්ඡාභංගත්වයට පත්වෙන දරුවො දිවි නසා ගන්නවා. මමත් තරුණවියේ දරුවෙකුගෙ පියෙක්.. එයාගෙ හොඳම මිතුරො අපි දෙන්නා තමයි අපි එක්ක කතා කරන්න බැරි දෙයක් එයාට නැහැ.. "තාත්තී මේ පාර නම් විභාගෙ හරිම අමාරුයි...මොනව වෙයිද දන්නෙ නෑ. කියල එයා කීවම මං කියන්නෙ "ඉතිං මොකෝ.. මමත් සමහර විභාග අප්සෙට් කරගත්තා එවුව එහෙම තමයි.. හරි නොගියොත් ආයිත් කරමුකො.. එච්චරයිනෙ.." කියලයි.. ඉලවු විභාගෙට වඩා මට මගෙ දරුවා වටිනවා. ඒ වයසට එන දරුවන්ට දෙමාපියන් මිතුරන් වියයුතුයි කියල තමයි බුදු බණේ තියෙන්නෙ.. වැඩි හරියක්ම දිවිනසාගන්නෙ බෞද්ධ පවුල්වල තමුන් හරියට බුදු දහම නොපිලිපදින නිසයි..

    ReplyDelete
    Replies
    1. වසර කීපයකින් ගැටවර වියට පිවිසෙන දරුවන් සිටින අපිට , ඔබේ සටහන ඇස් ඇරීමකි . ස්තුතියි .ඇය සමග කතාකරනවිට මෙය හැම විට මට මතක් වේවා

      Delete
  19. සියදිවි හානිකරගැනීම නම් ආදරේ හන්දා විතරක් නෙමේ තව හේතූන් ගනනාවක් හන්දා සිද්ධවෙනවා රාජ්. යුරෝපයේ රටවල සීත කාලෙදි, තනිකම නිසා සියදිවි හානිකරගන්නා අය ඉන්නවා. කෝච්චි පරක්කු උනොත් අනිවාර්යයෙන් කවුරුහරි පැනලා.

    ලංකාවේ ඔය කියන නිදහස දෙන්ට වෙන්නේ ටිකක් හිමින්. නිදහස නැතුව කෙරෙන වැඩ බලද්දී, නිදහසක් දුන්නොත් මොනවායින් මොනවා වේවිද දන්නේ නෑ.:)

    ගෙදරදී ආදරෙන් හදන ලමයි තමන්ගේ දෙමව්පියන්ට ආදරෙන්, හොඳ පුරවැසියන් විදියට හැදෙනවා කියන මතයේ තමා මම නම් ඉන්නේ. හැබැයි අනිවාර්යෙනම් දෙමව්පියන වගේම, ගුරුවරුත් නම් මානුෂික වෙන්ට ඕනි.

    ReplyDelete
  20. ඔය ප්‍රශ්න විසදෙන්න නම් අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනෙ...

    ReplyDelete
  21. YES RAJ, API BLOG KIYAWALA ME WAGE WEDAGATH PRASNA GENA PAMANAK NOWE, JOKKU, CHOO, PADA, PUKA ADI DE GENATH DANUMA LABA GANNAWANE.

    ReplyDelete
  22. බොහොම හොඳ ලිපියක්.. දැන් ඔය ක්‍රමය වෙනස්කරන්ට අමාරුයි.. එත් ළමයින්ගේ නිදහස ලේබුනේ නැතිනම් උන් ලොකු උනහම සයිකෝ මිනිස්සු වෙලා තමයි නවතින්නේ...

    ReplyDelete
  23. සමාජ ක්‍රමයේ වැරැද්ද අයියේ. නමුත් මැරෙනවා කියන්නේ ප්‍රශ්න වලට විසඳුම නෙවෙයි.

    ReplyDelete
  24. මම නම් හිතන්නෙ සමාජයේ වෙනස්කම් අනුව ක්‍රමයෙන් ලමයින්ට ලිංගික අද්යපනය දෙන්න ඕනෙ. හැබැයි ඒක බොහොම පරිස්සමට පියවර කීපයකින් උපදේශනයත් ඇතුලුව කල යුතුයි.

    රූපවාහිනී හා අනෙකුත් මුද්‍රිත මාද්ය වගකීමකින් වැඩ කල යුතුයි. එහෙම නැතුව මේ ප්‍රස්න විසදන්න බැ.

    ReplyDelete
  25. අනේ අය්යේ ඔයාගේ ලිපිය දිගයි.. ම් ඒත් හරිම රසවත් මම හුඟක් ආසාවෙන් ඔයා ලියලා තියෙන ලිපි කියෙව්වේ. ඔයාට හොඳට රසවත්ව ලියන්න පුලුවනි.මම හරිම කැමතියි ඔයා අදහස් ගලපලා ලියලා තියෙන විදිහට. විශාල රසයක් මට දැනෙන ඒ ලිපින දේවල් කියවලා. මම පුංචි කෙල්ලෙක් තවම. මට නම් තවම ඒ හැටි අත්දැකීම් නැහැ තමයි ඒත් තියෙන ආසාවට පුංචියට හීනියට මම බ්ලොග් එකක් ලියාගෙන යනවා. නමුත් මට ඒතරම් අත්දැකීම් නැහැ.ඉතින් ඔයා වගේ හොඳ කරුණාවන්ත අය්යා කෙනෙක් මගේ ලිපි කියවලා මගේ හිත ධෛර්යමත් කරන්න මගේ බ්ලොග් අඩවියට ඇවිල්ලා මගේ බ්ලොග් එකේ මිතුරු හවුලට එකතු වෙලා මාව ධෛර්මත් කරන්න කියලා බොහෝම කාරුණිකව ආරාධනා කරනවා.. ඔයා වගේ ප්‍රවීණ, උගත්, අත්දැකීම් ඇති පළපුරුදු බ්ලොග්කරුවන්ව මේ තරම් හරි ඇසුරු කරන්න ලැබීමත් භාග්‍යයක් අය්යේ..

    ReplyDelete
  26. එක එක්කෙනා හැදෙන වැඩෙන පරිසරය,ආගම,සංස්කෘතිය,අනුව එක එක්කෙනාගේ මානසික තත්වයන් වෙනස්.කොච්චර ඉගෙන ගත්තත් මනස දකින්නේ අදුරු පැත්තක්නම් ජිවිතේ එලිය වෙන්නේ නෑ .ඒ වගේ අය තමයි තමන්වම පිහිවලින් කපාගන්නේ,වහ බොන්නේ,අසාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම්වලට පෙළබෙන්නේ .විභාගයක් පාස් වෙන්න විතරක් උගන්නන්නේ නැතුව ජිවිතේ තේරුම් ගන්න,විදවන්නේ නැතුව ජිවිතේ විදින්න පුළුවන් ,නිදහස් මනසක් ඇතිකරගන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් ,අලුත් චින්තන රටාවක් අපිට ඕන කරලා තියනවා.අපි මෙහෙම කතා කලාට වැඩක් වෙන්නේ නෑ .පුළුවන් විදිහට එක එක්කෙනාව තමන් අසරණයි ,තනිවෙලා ඉන්නේ,මට කවුරුත් නෑ කියන මානසික තත්වයෙන් මිදෙන්න උදව් කරන්න අපි උත්සහ කරන්න ඕනි.

    ReplyDelete
  27. Hey there! Someone in my Facebook group shared this site with
    us so I came to look it over. I'm definitely loving the information. I'm bookmarking
    and will be tweeting this to my followers!
    Wonderful blog and outstanding design and style.


    Also visit my web page: anxiety pills cvs

    ReplyDelete