Wednesday, April 2, 2014

කරදර ජරමර අස්සේ ඉලෙක්ෂන් ඩියුටි.

ඡන්දෙ ඉවරයි! ප්‍රතිපල දුන්න, වාද කලා, විචාර කලා,.... මේ ඡන්ද ඩියුටි ගැන.
‍මෙදා සැරේ ඡන්ද ඩියුටි වැටුනෙ ටිකක් දුර පැත්තකට. ගිය අවුරුද්දෙද කොහෙද අපිට මැතිවරණ කාර්යාලයේ තිබුන පොඩි වැඩමුළුවක්. මේකෙදි අවධාරණය කල දෙයක් තමයි පිරිමින් රෑට ගෙදර යාම ප්‍රශ්නයක් කියන එක. ඒ නිසා මෙදා පාර හැමෝටම දුර බැහැර ස්ථානයක තමයි ඩියුටි ඇවිල්ල තිබුනෙ. මට තිබුනෙ හම්බන්තොට නගරයට කිට්ටු තැනක පොඩි ඉස්කෝලෙක. ඔන්න දවල් එකට විතර ගෙදරින් පිටත් වෙලා දෙක දෙකහමාර විතර වෙද්දි ඉස්කෝලෙ හොයාගත්ත. ඒ වෙනකොට අපේ එස්පීඕ මහත්තය ඇවිල්ල බැනියම පිටින් වැඩ. තව කාන්තා පිරිමි පරාණ දෙකතුනකුත් හිටිය. මාත් මගේ පත්වීමේ ලියුම දීල අත්සන් කරල පොඩි පොඩි වැඩවල‍ට උදව් උනා.

ඡන්ද ඩියුටි වල තියන අමාරුම වැඩේ තමයි විස්සක් තිහක් විතර තියන දත්ත පිරවිල්ල. සමහර දත්ත එවලේම පුරවන්න පුළුවන් උනත් සමහර දත්ත ඡන්දය ඉවර වෙලා තමයි පුරවන්න ඕන. මේ හැම එකක්ම පොදු ‍ ෆෝමැට් එකක දාල තියනව විතරක් නෙවේ ඒ ඒ කඩදාසි වලට නියමිත ලියුම්කවරත් තියනව. ඒ විතරකුත් නෙවේ ඡන්ද පෙට්ටිය භාරදෙන වෙලාවට ඒ කවර අනු පිලිවෙලට හදන්නත් ඕන. අටෝරාසියක් වෙන මේ විස්තර අන්තිමට කුණු කූඩෙට තමයි යන්නෙ. නමුත් ඡන්ද පෙත්සමක් වගේ ඉදිරිපත් උනොත් නං මේව ඕන වෙනව. ඒ නිසා හරියට තියෙන්නත් ඕන. මුලින්ම කස්ටිය එක්ක ලියුම් කවර ටික ලියනව. ඊට පස්සෙ පුරවන්න පුළුවන් හැම දෙයක්ම සම්පූර්ණ කරනව සෙස්ස පස්සට තියල.

ඔය වැඩ ටික ඉවර කරල නෝනලට ගෙදර යන්න කියල ඔන්න අපි පොඩ්ඩක් කතාබහ කරන්න පටන් ගත්ත.

"මහත්තය කොහේද?" මම ඇහුව.

"අහවල් ඉස්කෝලෙ" හපෝයි......මූ ගුරෙක්.

"එතකොට මහත්තය?"

"මම අහවල් ඉස්කෝලෙ"

"අහවල් ඉස්කෝලෙ"

"ඉස්කෝලෙ"

..........

..........

බැලින්නං ඔක්කෝම ගුරුවරු. බැලූ බැල්මට කනබොන ගතියක් පේන්නත් නෑ. අන්තිමට මම එලියට බැස්ස. මෙන්න ඉන්නව පොලිස් රාලහාමිල දෙන්න. ඒ දෙන්න නං ටිකක් විතර හොඳයි වගේ. මම බයික් එකේ ස්ටෑන්ඩ් එක ගහල ඒක උඩට වෙලා හිටිය. ෆෝන් එක අරගෙන බැලුව මැචි එකේ විස්තර. කොදෙව්වොයි ඕස්ට්‍රේලියාවයි මාරාන්තික ගේමක. බෝල දොලහට ලකුණු තිස් එකක් ගන්න ඕන. අම්මට සිරි සැමි ගහනව ස්ටාර්ක්ට අමර ගැහිල්ලක්. කොදෙව්වො මැච් එක දිනන්න ඔන්න මෙන්න කියල තියෙක්දි පිටට තට්ටුවක් ආව.

"සර්...." මම බැලුව.... ගුරුවරයෙක් ඇවිල්ල තියෙන්නෙ. එයාල එක එක්කෙනාට කියන්නෙ සර් කියල. මටත් සර් කියනව, මාත් සර් කියන්න ඕන. නමුත් මේ සර් කෑල්ල මට පුරුදු නෑ...

"සර් මොකුත් කරනවද..... නැත්තං....." අම්මට සිරි! එල බුවෙක්නේ. මාත් ඇඟිල්ලෙං අනිනකං නෙව හිටියෙ.

"මමයි අහවල් සරුයි අහවල් සරුයි අහවල් සරුයි අහවල් සරුයි ඉන්නව..... එස්පීඕ මහත්තය නං බෑ කිව්ව.... අපිට කරන්න කියලත් කිව්ව.... රාලහාමිල දෙන්නත් ඕකේ"

ඔන්න ඔහොමයි වැඩේට සෙට් උනේ.
බීම ගැනත් කියන්න ඕන. මම අර මුලින් කිව්ව වැඩමුළුවෙදි අපේ යෝජනා ගත්ත. එකෙක් කල යෝජනාවක් තමයි ඡන්දයට පෙර දා රෑ සිදුකරන බීම නැවැත්විය යුතුයි කියන එක. ඒ ගමන ඒසී මහත්තය අනිත් අයගෙ අදහස් විමසුව. ඔය අතරෙ එකෙක් නැඟිට්ට.

"සර්, දවසක් නිදිමරාගෙන දවස් දෙකක් මහන්සිවෙලා අපි ඩියුටි එන්නෙ ඔය රුපියල් හාරපන්දාහ බලාගෙන නෙවේ.... පොඩි විනෝදයකටත් එක්ක.... ඡන්දෙට කලින් දවසෙ බීම තහනම් කරනව නං අපි ඩියුටි එන්නෙ නෑ සර්!"

කොහොමද ප්‍රතිවිරෝධය! නමුත් ඒසී මහත්තය යෝජනාවට එකඟ උනේ නෑ!

"නෑ නෑ අපි බලන්නෙ ඡන්දය සාර්ථකව කරන්නෙ කොහොමද කියල විතරයි.... ඉතිං අපි කල්පනා කරන්නෙ නෑ ඔයාලගෙ විනෝදය නැති කරන්න.... ඡන්දයට බාධාවක් නොවෙන විදියට කලාට කමක් නෑ.....අනෙක හැමෝම වගේ ඔය වැඩේ කරනවනෙ"

ඔන්න ඔහොමයි තහනම් වෙන්න ගිය බීම බේරගත්තෙ.
ඔන්න ඊට පස්සෙ වෑන් එකේ මල්ලිත් එක්ක අන්තිමට අට දෙනෙක් ඉන්නව. ඒ පැත්ත හරි! නමුත් තව අවුලක් තිබුන. නාන්න තැනක් නෑ. ඉස්කෝලෙ බාත්රූම් එකක් නෑ. ග්‍රාම සේවකය ටැප් එක ලගට වතුර මලක් දාලත් නෑ. ඒ ගමන එක්කෙනෙක් යාළුවෙකුට කතා කරල නාන්න තැනක් සෙට් කරගත්ත. මේ අතරෙ කෑම ගේන කොලුව ආව.

"දවල් කෑම නං හරිනෑ පුතා... ටිකක් හොඳට කෑම එක ගේන්න"

අවුලක් තිබුන. අපි හිටිය ගම්මානයෙ අති බහුතරය මුස්ලිම්. එයාලගෙ කෙනෙකුට තමයි කෑම ඕඩරේ දීල තිබුනෙ. ඒ කෑම අපිට හරියන්නෙ නෑ වගේ. කමක් නෑ රෑට හරි හොඳට දේවි කියල හිතුව. හතහමාර විතර වෙද්දි ගල් දෙකක් ගෙනල්ල ඒක අනුමත කරමින් හිටියෙ. ඒ අතරෙ කතා කෙලවරක් නෑ. හම්බන්තොට පොලිසියක හිටිය එක රාලහාමි කෙනෙක් අලි කතාවක් පටන් ගත්ත.
මීට ටික කාලෙකට ඉස්සර මටත් මතකයි නර්ස් නෝන කෙනෙකුට අලිය ගහල වෙච්ච කලබලේ. ඒ කතාව හරියටම කිව්වෙ රාලහාමි. රාලහාමි නිකං මෝඩයෙක් වගේ... මනුස්සයෙක් මැරුන එක පවා කියන්නෙ හිනා වෙවී.

"මහත්තයෝ මේ හරියෙත් අලි හිටිය අවුරුදු දෙක තුනකට කලිං.... ඔය නර්ස්ට අලිය ගැහුවට පස්සෙ හෙන කලබලේ... මිනිස්සු උද්ගෝසනේ කරන්න ගත්ත.... ඒ ගමන අලි එලවන්න අපි සෙට්වුනා.... පොලීසියෙ හතරයි ආමි තුනයි..... අලි එලවිල්ල හරක් එලවිල්ල වගේ නෙවේ.... අලිය ලේසියෙං යන්නෙත් නෑ.... ඔන්න අපි එක පැත්තකිං වෙඩි තියාගෙන එනකොට අලිය දුවන්න ගත්ත ආමි එකෙන් හිටිය පැත්තට.... උඩට වෙඩි තිව්වත් අලිය හැරුනෙ නෑ..... ඒ ගමන අලුත ආමි එකට බැඳුන කොල්ලෙක් ඉන්න පැත්තට මූ දුවන්න ගත්ත... අරූ දුවද්දි ඇලකට වැටුන.... පොඩි ඇලක්.... අලිය එතනින් යද්දි මූ බේරිලා තියෙන්නෙ නූලෙං.... අලියගෙ කකුලක් ඇ‍ෙඟේ හැපිල මූ වීසිවෙලා.... අලිය ගහයි කියන බයට මූ ටී පනස් හයේ මැගසින් එක ඉවර වෙනකල් ගැහුව.....හහ් හහ් හහ්....."

"ඉතිං?"

"අලිය එතනමයි..... හහ් හහ් හහ්....." උගේ හිනාව හරි කැතයි. නමුත් මොනව කරන්නද!

"හැබැයි අර නර්ස්ට ගහපු අලිය නෙවේ වෙන එකෙක් මැරුවෙ..... මට මතකයි තාත්තයි පුතයි ඇලක් ලඟ වැලිගොඩදාන වෙලාවෙත් ඔය අලිය ගැහුව. තාත්ත දිව්ව අවුරුදු පාලහක් විතර වෙන පුතා අල්ලල පෑගුව..... ඔලුව නිකං කොමඩු ගෙඩිය වගේ පොඩිවෙලා තිබුනෙ.... හහ් හහ් හහ්....." ඌ ඒකටත් හිනා වෙනව.

මටත් මතකයි ඔය අලියව. ඌ මනුස්සයන්ගෙ ඔලුව කටින් විකනව කියලත් ආරංදියක් තිබුන... හේතුව වෙන්න ඇත්තෙ හැම කෙනෙකුගෙම ඔලුව පෑගීම වෙන්න ඕන. ඒක ගැනත් කතාවක් තියනව. ඉස්සර දවසක හේනක හිටිය පඹයෙකුගෙ ඔලුවට තියපු මුට්ටියෙ මී වදයක් තිබුනලු. අලිය දවසක් මිනිහ කියල හිතල මුට්ටිය කාල. මීපැනි රසයට වහවැටිච්ච අලිය ඊට පස්සෙ මිනිස්සුන්ගෙ ඔලුව කන්න පටන් ගත්තලු.

කතාබහත් බෝතල් දෙකත් ඉවර කරපු අපි රෑ කෑමට ගියා. කෑම එක ඇරියමයි කට්ටියට තරු පෙනුනෙ!
අල කෑලි දෙකයි, මාලු කෑල්ලයි, පපඩමයි, බැදපු මිරිස් කරල් දෙකයි. ඕං රෙසිපිය! ඒ මදිවාට හොද්දක් නෑ. ටිකක් බිල හිටිය නිසා මම නං කෑව පොලිසියෙ රාලහාමි් කෙනෙකුත් කෑව. අනිත් අයට නං කන්නම බැරිවුනා. දුක තමයි. ඒ වෙලාවෙ ග්‍රාම සේවකය ආව නං ඌව කනව.

කෑමෙන් පස්සෙ මම ගියා පැදුරයි කොට්ටෙයි අරගෙන අපි සෙට්වෙච්ච පුස්තකාල කාමරයට. ඒකෙ තිබුන ලොකු මේසය උඩට පැදුර දාගෙන මම නිදාගත්ත. ඔලුවට ඉහලින් ෆෑන් එකකුත් තිබුන නිසා මදුරු කරදරයකුත් නෑ. හරියටම දෙක වෙනකල් නින්ද ගියා. දෙකට ඇස් ඇරුන. ඒ ගමන "ඇඳෙන්" බහින්න ගියා එලියට යන්න. නමුත් කකුල පහලට දැම්ම විතරයි එකෙක් පෑගුනා... අලිය පාගන ගානට පෑගුනේ නැති නිසා ඒ ගමන අනිත් පැත්තෙන් බහින්න හිතුව... මොන ඒ පැත්තෙත් එකෙක් නිදි! ඒ ගමන සාක්කුවෙ තිබුන ගිනි පෙට්ටිය අරගෙන පත්තු කලා. බැලින්නං මගේ දෙපැත්තෙ බාලාංශ මේස සෙට් ක‍රගෙන දෙන්නෙක් නිදි. ඒ දෙන්න තමයි මට‍ පෑගුනේ. උන් දෙන්න නිදාගන්ද්දිත් කියල තියනව මම නැඟිට්ට්‍ොත් ඇතිවන තත්වය. නමුත් මම නැඟිටියි කියල හිතල නෑ. ඒ ගමන කස්ටිය කරුවලේ කතා කර කර හිටිය පැය දෙකක් විතර. මෙහෙම ඉන්නකොට ඡන්ද පෙට්ටිය තිබුන ශාලාවෙ ඉඳල දෙන්නෙක් ආව අපි ඉන්න කාමරේට.

"පොඩ්ඩක් ලයිට් එක දානවද!" මම ලයිට් එක දැම්ම.

"අයියෝ.... මෙතනින් තමයි වයර් එක ඇදල තියෙන්නෙ" ආපු එකා ඔලුවෙ අත ගහගත්ත. වෙලා තියෙන්නෙ මේකයි.
අපි හිටියෙ පුස්තකාල කාමරේක.... ඒකෙ ලයිට් එකට වයර් එකක් ඇදල තමයි ප්‍රධාන ශාලාවට විදුලිය සපයල තිබුනෙ. අපි නිදාගන්න ලැහැස්ති වෙලා ලයිට් ඕෆ් කරද්දි අර ශාලාවෙත් ලයිට් නෑ නෙව. එයාල පාන්දර දෙකේ ඉඳල ට්‍රයි කරල තියනව ලයිට් හදාගන්න. අන්තිමට පරංගියා කෝට්ටෙ ගියා වගේ ඇදල තිබුන වයර් එක අතගාගෙන එද්දියි අපේ කාමරෙන් වයර් එක ආපු බව දන්නෙ. ඊට පස්සෙ නං නින්ද ආවෙම නෑ. කට්ටිය එක්ක තතාකරමින් ඉඳල උදේ හතර විතර වෙද්දි ඇඳ පැලඳගෙන සූදානම් වෙන්න හිතුව. රාලහාමිට පින් සිදුවෙන්න හෝල් එකටත් අපි නිඳාගත්ත පුස්තකාල කාමරයටත් විතරයි ලයිට් තිබුනෙ. වතුර ගන්න තිබුනෙ ටැංකියකින්. ටැංකිය ලඟ ඉඳල මීටර පනහකට වැඩිය දුරක් තියනව වැසිකිලියට. ඔන්න ඒකට ගිය එකෙක් රාලහාමිගෙ අම්ම මතක් කරමින් එනව....

"අරූගේ අම්මට *&^&^( ටොයිලට් එකේ වතුර නෑ! හිටපිය ඕකට කරන්න හොඳ වැඩක්......"

අන්තිමට වැසිකිලි බාල්දි දෙක ටැප් එක ලඟට ගෙනල්ල වතුර ඇදගෙනයි වැඩේ කරගන්න උනේ. ඔන්න උදේ හය වෙනකොට කට්ටියම ලැහැස්තියි. ඒ එක්කම කෑම භාරව හිටිය ගෑනු මනුස්සය බෙඩ් ටී එක අරගෙන ආව. ටී එකක් බොන්න බලාගෙන එයා ලඟට ගිය උදවිය හෙමින් සැරේ එනව තේ නොබී. බැලින්නං ටී ගෙනාපු භාජනය හෝදපු නැති පොදු වැසිකිලියක් වගේ. ඒක දැක්කම වමනෙ එනව. කවුරුවත් බිව්වෙ නෑ. අන්තිමට කට්ටිය එස්පීඕ මහත්තය ලඟට ගියා.

"එස්පීඕ මහත්තය මේ වැඩේ හරියන්නෙ නෑ.... අපි පිටින් ගෙනත් කෑම කමු. ටවුමට වැඩි දුරක් නෑනේ" කලින් දවල් කෑම සවුත්තු වෙද්දිම ඔය යෝජනාව කලින් කලත් එස්පීඕ මහත්තය එච්චර කැමැත්තක් දැක්වුවෙ නෑ.

"රාලහාමි එයාගෙ වැඩේ කරයිනේ. අනෙක කෑම ඕඩරේ භාරදුන්න ගෙදර සූදානං කරලත් ඇතිනේ" කියලයි කිව්වෙ. නමුත් මේ වෙලාවෙ නං එසේ නොකර ඉන්න බැරිවුනා.

ඔන්න අන්තිමට ඡන්දෙ පටන් ගත්ත. අවුලක් නැතිව වැඩේ සිදුවුනා. පොඩි පොඩි අවුල් නැතුවමත් නෙවේ. මූලික ප්‍රශ්නයක් තමයි හැඳුණුම්පත් අපැහැදිලි වීම නිසා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව නැතිවීම. මෙදා ඡන්දයට වලංගු වන හැඳුනුම්පත් වර්ග හතක් තිබුන. ඡන්දය දාන්නම හදල දීපු තාවකාලික හැඳුනුම්පත් වර්ගයකුත් තිබුන. නමුත් ජාතික හැඳුනුම්පත අපැහැදිලි වීම නිසා දෙතුන් දෙනෙකුට ඡන්දය දාන්න දුන්නෙ නෑ. අපේ මිනිස්සු හැඳුනුම්පත් හැදිල්ලට තියෙන්නෙ සෑහෙන්න මැලි කමක්. නමුත් මේවගේ අවස්ථාවකින් පස්සෙ නං හැදෙයි කියල හිතෙනව.

තවත් අවුලක් තමයි රට ගිය උදවිය ඡන්දෙ දාන්න පැමිණීම. මෙතනදි අපේ එස්පීඕ මහත්තය අතිනුත් වරදක් උනා. පෙබරවාරි අග දක්වා රට ඉන්න අයගෙ ලිස්ට් එකක් අපිට ලැබිල තියනව. නමුත් ඊට පස්සෙ ලංකාවට එන්න ඉඩ තියනව නෙව. මෙන්න මෙහෙම ආපු අයට ඡන්දය දාන්න දෙන්න බෑ කියල එස්පීඕ මහත්තය කිව්ව. නමුත් ඇත්තටම සිද්ධවෙන්න ඕන ලිස්ට් එකේ තිබුනත් දැනට අනන්‍යතාවය තහවුරු කරගන්න පුළුවන් නම් ඡන්දය දැමීමේ අවස්ථාව ලබා දෙන්න. අන්තිමට ඉහලට කතා කරල ඒ උදවියට ඡන්දය ප්‍රකාශ කරන්න ඉඩදුන්න.

අපේ මධ්‍යස්ථානයේ සීයට හැත්තෑ දෙකක් විතර ඡන්දය දැම්ම. මුස්ලිම් උදවිය 95%ක් විතර හිටිය නිසා සන්ධානයේත් එජාපයේත් මුස්ලිම් අපේක්ෂකයට තමයි දාන්න ඇත්තෙ. අපිත් දහ දෙනෙකුට විතර ඡන්දය දාන්න උදව් උනා. ඔය උදව් වීම සම්බන්ධයෙනුත් නීතියක් තියනව. ශාරීරිකව දුබල කෙනෙක් ආවොත් ඡන්දය ලකුණු කරන්න එයාට උදව් වෙන්න අපිට පුළුවන්. කාර්ය මණ්ඩලයේ දෙන්නෙක් එකතු වෙලා ඒ කාර්ය කරන්න පුළුවන්. එක වෙලාවක අපූරු සිද්ධියක් උනා.

ඔන්න තාත්ත කෙනෙකුයි පුතෙකුයි ඡන්දෙ දාන්න ආව. තාත්ත ඇවිදගෙන ආවෙත් බොහොම අමාරුවෙන්. පුතාට වාරු වෙලා තමයි ආවෙ. දෙන්න ඡන්ද පත්‍රිකාව අරගෙන එක අරගෙන ලකුණු කරන තැනට ආව. පුතා ඡන්දය දානකල් තාත්ත අල්ලගෙන හිටියෙ අපේ එක්කෙනෙක්. ඊට පස්සෙ තාත්තගෙ වාරය. අපි දෙන්නෙත් තාත්ත අල්ලගෙන ලකුණු කරන තැනට එද්දි ඡන්දය ලකුණු කරන්න කියල තාත්තයි පුතයි දෙන්නම ඉල්ලුව. ඡන්දය දාන්න ඕන කාටද කියල අපි තාත්තගෙන් අහනකොට පුතා පැනල කිව්ව බුලත් කොලේ අහවල් අංකෙ කියල. නමුත් අපි පුතාට යන්න කියල තාත්තගෙන් අහනකොට එයා කියනව අලියට ගහන්න කියල. අන්තිමට අලියට ගහපු ඡන්දය පෙට්ටියට වැටුන. තමන්ගේම කැමැත්ත, ඡන්දය කියන්නෙ ඒකයි.

85 comments:

  1. අර ජන්ද දාන්න උදව් වුණ 18 දෙනාගේම ජන්ද අලියාටද වැ‍ටුනේ?  :D

    ReplyDelete
    Replies
    1. නෑ නෑ වැඩි පිරිස බුලතට

      Delete
  2. මාත් හරි ආසයි චන්දෙ දාන්න එන අයගෙ ඇඟිල්ලෙ තීන්ත ගාන ලැබෙනව නම්. ඔය වාගෙ දුෂ්කරක්‍රියා ඉලෙක්ෂන් ඩියුටි වලදි තියෙන බව කව්ද දන්නේ. ඒත් පිරිමි අයට නම එහෙම ඉන්නකොට හරි ජොලි ඇති නේද....

    ReplyDelete
    Replies
    1. ඔයාට එහෙම ඉන්න හම්බ උනොත් මටත් කියන්න... හොර ඡන්දයක දාන්න හරි එන්නම්.... :)

      Delete
    2. නැතුව නැතුව. ගෑල්ලමයින්ගෙ ඇඟිලි පාටකිරිල්ල හරි සෝයි වැඩක් වැරදුනා රාජකාරියක්. මේ බලන්න

      Delete
    3. ඇගිලි පාට කිරීමේ රස කතාවක් තියෙනවා.
      කීර්තිමත් රාජ්ය නිලදාරියෙක් මැතිවරන රාජකාරි විස්තර කරකොට කකා වගෙ හැම ලබ්බටම ප්‍රොබ්ලම් දාන එකෙක් පොරව අල කරන්න හදනවලු.
      ඉතින් ඇගිලි පාට කිරීමේ විස්තර කරනකොට මූ අත ඉස්සුවලු.
      "සර් කවුරුහරි වමතෙ සුලැගිල්ල නැති කෙනෙක් ආවොත්?"
      "ඒ අතේ වෙන ඇගිල්ලක ගාන්න පුතා" කිව්වලු
      "සර් කවුරුහරි වමතෙ ඇගිලි නැති කෙනෙක් ආවොත්?"
      "එහෙමනම් දකුනු අතේ සුලැගිල්ලෙ ගාන්න"
      "එතකොට දකුනු අතේ සුලැගිල්ල නැති කෙනෙක් ආවොත්"
      "ඕක තේරෙන්නෙ නැද්ද වෙන ඇගිල්ලක ගානවා"
      මූත් අරින්නෙම නෑලු
      "අත් දෙකේම ඇගිලි නැති කෙනෙක් ආවොත්"
      පුෂ්පය විකසිත වුනු අර නිලධාරියා
      "ගාපිය ඒකගෙ සරම උස්සල ...කේ"
      මට මතක නැත්තෙ පුයන්නද පයන්නද කියලා

      Delete
    4. මම නං එහෙම ඇඟිලි පහේම ලස්සනට පාට ගානවා

      Delete
    5. මෙදා ඇඟිලි පාට කරන්න දුන්න පෑනක් පාට වෙන්නෙ නෑ. ඉතිං තව එකක් ඉල්ලුව, මම අරක අරගෙන පොඩ්ඩක් ඇඟිල්ලෙ ගාගත්ත. මොන! කිසි පාටක් නෑ. පැයක් විතර වෙද්දි මෙන්න පාට වෙනව.

      අකලංක,
      මම හිතන්නෙ පයන්න වෙන්නැති.

      Delete
  3. ඔය පෑලියගොඩ නගර සභාවේ සභාපති නිහාල් අයියා ඉන්නවා නේද.. පොර ඉස්සර යූ ඇන් පී. මර්වින් සිල්වා තමයි එයාව සිරි ලන්කා නිදහස් පක්ෂයේ සුන්නත් කලේ. පොර යූ ඇන් පී එකෙන් ඉල්ලන කාලේ වාහන එවනවා ගෙවල් වලට ඡන්දෙ දාන්න යන්න. එක ගෙයක් තියෙනවා ඒ කාළේ ඉඳන් සිරි ලංකා. අපි මූට කිව්වා ඒ ගෙදටර වාහන යවන්න එපා සත පහක වැඩක් නෑ කියලා. මූ කිව්වා නෑ ඒ අම්මා මට කිව්වා මේ සැරේ අලියටයි දෙන්නේ කියලා. මූ අපි කියන් එක පිලිගත්තේම නෑ. අර ආච්චි මුළු පවුලත් එක්කම ගිහින්, ඡන්ද පොලේ මහත්තයට් මූව රපෝර්තු කරලා, අපිට අලියට ගහන්න බල කරනවා, අපි හොඳ සිරි ලංකා කාරයෝ කියලා. දැන් නම් ඌ වාහන එවන්නේ නෑ.. ඌ නම් පට්ට වාහනේක යනවා.. පව් නේ බං... අමාරුවෙන් හරි හම්බ කර ගත්ත දේවල්නේ.. අපිත් ඉතින් ටටා කියලා නිකන් ඉන්නවා..

    උඹ කියන කතාව සහතික ඇත්ත. සමහර දව්සට ගල් සුවඳ හොඳට දැනෙනවා.. ඔයිට වඩා දේවලුත් සමහර විට වෙනවා ඇති නේද බන්..

    මිනිස්සු මැරෙන් කොට හිනා වෙනවා කිව්වම පුදුමයි නේ බන්.. බළලෙක් මලත් හනේ හපොයි කිව්ව රටක.

    ReplyDelete
    Replies
    1. බලපෑම් කිරීම නීති විරෝධියි. අම්මට තාත්තට උනත් බෑ

      Delete
  4. අපොයි බං ඡන්ද ඩියුටි කරපු කතා නං සිය ගාණක් ඇති,කොයි කාලෙක ඉඳන්ද ඡන්ද පොළේ රාලහාමිගෙ හැටියට තමයි සැළකිල්ල,මම අන්තිමට එස් පී ඕ හැටියට වැඩ කරපු චන්දෙ කැස්බෑවේ ඉස්කෝලෙක ඡන්ද පොළවල් දෙකයි,ග්‍රාමසේවක රෑ රිට්ස් බ්‍රැන්ඩියි ප්‍රයිඩ් රයිසුයි ගෙනත් ඔක්කොටොම සැලකුව උගේ ගානෙ,හොඳට බීල මහා රාත්තිරියෙ ඉස්කෝලෙ ඩෙස්ක් එකක් උඩට නැගල කතා පවත්තනව හෙට රෑ අපේ ආණ්ඩුවක් යටතේයි බොන්නෙ කියල අපි නියම සොමියක් ගත්ත බං.ඇයි උඹ ගනින්න ගියෙ නැද්ද අපොයි බං ජීවිතේ කලකිරෙනවා .

    ReplyDelete
    Replies
    1. එහෙම රාලහාමිලත් ඉන්නව. මූ ගල් ආ‍ෙඳෙක්. ගනින එක එච්චර ආතල් නෑ.

      Delete
    2. @Helapa kade
      මමත් දෙපාරක්ම කැස්බෑවේ ඉස්කොලෙක රාජකාරිවලට ගියා. එතන ඡන්ද පොළවල් දෙකක්. වැඩේ කියන්නෙ ඒ දෙක ග්‍රාමසේවක කොට්ඨාශ දෙකක. අපි හිටපු එකේ ග්‍රාමයා ටිකක් වයසක අමු බේබදු පොරක්. අනිත් එකේ හිටපු එකා හොඳ ඇක්ටිව් කොල්ලෙක්. ඉතින් එකේ හිටපු උන්ට ඒ ග්‍රාමසේවක ලෙසටම සලකද්දි අපේ ග්‍රාමයා කලේ අපි ගෙනිහින් තිබ්බ බෝතල් වලට වගකීවෙ නැතෑ අන්තිමට මෑන් ඩවුන්.

      Delete
    3. සැප දුක දෙකම ග්‍රානි අතේ තමයි තියෙන්නෙ.

      Delete
  5. ජන්ද වැඩ කරනා එකත් ලේසි නෑනේ. මට හිනාම ගියේ රාජ් බහිනකොට නිදා හිටපු කෙනෙක් පෑගුණු කතාවට. හරි දුෂ්කර වැඩක්නේ. ඉතින් හොඳ නවතින තැන් ඉල්ලලා සටන් කරන්ටකෝ...:D

    පිටරට උදවියට (ලංකාවේ පුරවැසිබාවය තියෙන ) තැපෑලෙන් ජන්ද දැම්ම හැකිද?

    ReplyDelete
    Replies
    1. නවතින තැන් කොහොම දෙන්නද? කීයකට දෙන්නද?
      තැපෑලෙන් චන්දෙ දාන්න නං බෑ.

      Delete
  6. මේ වතාවේ ඡන්ද වැඩට පෝලින් බූත් වලට දාලා තිබුනෙ වැඩි හරියක් ටීචර්ලා. මොකද පහුගිය දොහේ ගණං කරන්න දාලා ඒ අය බුලක් කෙලල තිබුනා. මේ පාර ගුරුවරු අයින් කරල අනිත් අයයි කවුන්ටින් වලට දාලා තිබුනේ..

    හැබෑට බං අර රාළහාමියා කන්න එපායැ.. එස්පීඕ කාරය ප්‍රින්සිපොල් කෙනෙක්ද බං..

    ඒක නෙමෙයි උඹ මක්කටෙයි ගිනි පෙට්ටි සාක්කුවේ දාං නිදාගන්නේ.. මම දැං ලයිටර් එකවත් සාක්කුවේ දාගන්නෑ. දවසක් බස් එකේදි කකුල හිරි වැටීගෙන ගියා. සීතල උනා. බලන කොට ලයිටරය ප්‍රෙස් වෙලා ගෑස් ලික් වෙලා.. හැක්..

    ReplyDelete
    Replies
    1. එහෙනං ඒක තමයි අපිට ගුරුවරු දාල හිටියෙ. එස්පීඕ නං අපේ එක්කෙනෙක්. ලයිටර් පාවිච්චියක් නෑ මාත්. ගිනිකූර පෙට්ටියෙ වැදිල ගිනිගන්න තියන අවස්ථාව සෑහෙන්න අඩු නෙව.

      Delete
  7. අලියා ඕළුව කන්නෙ මි පැණි හොයන්නද . අර පොලොස් කොට්ටොරුවා මොකෙක්ද මන්දා ...

    හරි සුන්දරයි නේ පොඩි කට්ටක් කැවට මේ වගේ අවස්ථා ..

    ReplyDelete
    Replies
    1. ඔව්. නරක නෑ. ලැබෙන කස්ටියෙ හැටියට තමයි.

      Delete
  8. අපේ තාත්තත් විශ්‍රාම ගන්ට කලියෙන් හැමදාම ඡන්ද වැඩ දවසක් ඒයාට වැඩ වැටුනේ බදුල්ලේ අපේ ගෙදර මොටර් බයිසිකලයක් තිබ්බා ඔක මට අගුනයි නමුත් අම්මවත් මොකක් හරි වැඩකට බස්සවලා මම බයිසිකලේ ටවුමට ගියා කෙලපි තාප්පෙට කියන්නේ හැපුන නේව ත්‍රිවිල් එකක තාත්ත ගෙදර එනකොට මාත් ඉන්නව අර තටුකපපු මයිනා වගේ හික්ස්...හැබැයි ඇත්තටම අර ඡන්දේ දාපු සීන් එකේදි තාත්තා කිව්ව විදිහට උඹල වැඩේ කලානම් මගේ ප්‍රනාමය අපි මොන පක්ෂයට කැමති උනත් රාජකාරිය හරියට කිරිම වැදගත් ..!!!

    ReplyDelete
    Replies
    1. ඔව්. අපි කිහිප දෙනෙක්ම විපක්ෂ අදහස් දැරුවත් ඩියුටිය නං හරියටම කලා

      Delete
  9. වර්ක්ෂොප් එකේදි සද්දෙ වහල ඉඳල පස්සෙ හීනියට හොරෙන් බොන්නෙ නැතුව රෑට බොන්න තහනම් නම් ඩියුටි එන්නෙ නෑ එතනදිම ප්‍රසිද්දියෙ කොකු ඇදපු බුවා නම් මොක නැතත් පට්ට කෙලින් ඩයල් එකක්.

    ඔහොම ග්‍රාමසේවකලට ලෙඩක් අදින්න විදියක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඌ නං නියම ඩයල් එකක්. බ්ලොග් එකකුත් ලියනව :-)

      අදින්න පුළුවන් එකම කේස් එක තමයි අහවල් සේවාව සැපයුවේද කියල අහන ප්‍රශ්න වලට "නැත" කියල දාන එක

      Delete
    2. "රාජ්ගෙ නවාතැන" කියල බ්ලොග් එකක් ද :P

      Delete
  10. රට ඉඳලා ආපු උන්ට පාස් පෝර්ට් අරන් එන්න කිව්වනම් ඉවරයි.

    හෙන කට්ටක්නෙ චන්ද කෙරුවාවත්.. එහෙම යවනවනම් රජයෙන් ඒ නිළධාරින්ගේ නැවතීම් පහසුකම් ගැන එහෙම බලන්න එපෑයෑ.. ඩෙස්ක් බංකු උඩ නිදියන්න දීලා හරියන්නෑනෙ.. එතකොට කාන්තා නිළධාරීන්ගේ තත්ත්වය කොහොමද ?

    ReplyDelete
    Replies
    1. ආ ඒ ගොල්ලන්ටද ? එගොල්ලන්ට මහත්තයාගේ ඩියුටියත් කරලා උදේ 6.00ට විතර එන්න පුළුවන්.
      රාජ් ඉස්සර නම් කෑම එකට ගෙවිය යුතු ගානයි . කෑම එකේ ප්‍රමිතියයි දෙනම එස් පි ඕ ට දෙන ලයුමේ ලියලා තිබුනා. ග්‍රාම නිලධාරි මගින් මුදල් ගෙවිය යුතුයි කියා. තියෙන වැසිකිළිය පිරිසිිදු කරවනවාට ත් ග්‍රාම නිලධාරන්ට සල්ලි ගෙව්වා. ගොඩක් උන්කලෙ බොරු ලියුම් දාල ඒකත් මඬි ගහසු එක. ප්‍රා ලේ කාර්යාලයක ඉන්නවානම් රා්ජ් ඒ ගැන ද්නනවා ඇතිනේ.

      Delete
    2. සෙන්නා & ඇනෝ
      කාන්තා නිලධාරීන් කිහිප දෙනෙක් එස්පීඕ තනතුරු වලට පත්කරල තිබුනලු. එතනදි එයාලට පොඩි චාන්ස් ටිකක් දීල තියනව.
      මහත්තය රජයේ සේවයේ ඉන්නව නං එයාටත් අදාල ස්ථානයේ ඩියුටි දීම, ආරක්ෂිතව නවතින්න පුළුවන් තැනක් දීම, කාන්තා පොලිස් නිලධාරිණියක් දීම වගේ දේවල්...

      කෑම එකට අදත් ගෙවන්න ඕන. මේ වාරෙ දවල්-රෑ කෑම එකකට 150ක් උදේ කෑමට 100ක් තේ වලට 10ක් ටී එකක් 30ක් වගේ ගනං දීල තිබුන. අපි මුදල් ගෙවල ගන්නයි තියෙන්නෙ. නමුත් මෙතන තියන අවුල 150 අරගෙනත් අරවගේ සවුත්තු කෑම දීම. උදේට දුන්නෙ ඉඳිදාප්ප 10ක් පරිප්පු සහ මාලු. කැම්පස් වල කැන්ටින් වල කෑම ඊට හොඳයි.

      රාලහාමි සපයන හෑම දේකටම ගෙවනව. උදාහරණයක් විදියට නිදාගන්න පහසුකම් දෙනවට, වැසිකිළි පිරිසිදු කරනවට, වයර් ඇදල ලයිට් දෙනවට, අතුගාල පිරිසිදු කරවනවට.... ආදී වශයෙන්. අපිට ඒ දේවල් ලැබුනෙ නැති නිසා රාලහාමිට ඒ දීමනා ගන්න බැරිවෙන්න දුන්න

      බොරු ලියුම් ගහන්න පුළුවන්. නමුත් එස්පීඔිගෙ අනුමැතිය ඕනනෙ. එයා තරහ කරගත්තොත් අවුල්

      Delete
    3. රුහුණේ ජිම් එකේ අලි සයිස් දෙකක් තියෙන අක්ක බෙදන රු20 කෑම එක එයිට රස ඇති නේද බං

      Delete
    4. හුටු අක්ක නේද? ඒ ක‍ාලෙ නං 12-15 යි දැං නං විස්සකටත් වැඩි ඇති.

      Delete
    5. ඒකත් අරන් මදි පාඩුවට රෝල් දෙකකුත් අරන් (කුණු රහ යන්න) ජිම් එක එහා පැත්තේ මඩවල දිහා බලාගෙන කොක්කත් එක්ක කන‍කොට මොන ආතල්ද නේ ? (ප්‍රශ්‍ේන අපේ එතන ....න්නත් හදන එක)

      Delete
    6. ඔහේ යමක් කමක් දන්නව එහෙනං

      Delete
    7. නැවතීම් පහසුකම් මොනවද සෙන්නා ඉස්කෝලෙ බිම හරි ඩෙස්ක් දෙකක් උඩ හරි තමා

      Delete
  11. බලන් ගියාම ඡන්ද දියුටිත් හරි ජොලි වැඩක්නේ ..කොහෙද ඉතින් අපිට යන්න හම්බවෙන්නේ නෑනේ ඕවට

    ReplyDelete
    Replies
    1. ඔය පේන තරමට ජොලි නෑ බං ඉවාන්, ගිහිල්ල ඩෙස්ක් උඩ බුදියල මදුරුවො කවාගෙන කට්ට කාලම බලන්න ඕනෑ,ඡන්ද පොළේ රාජකාරි ඉවරවෙච්ච ගමන් ගනින්න දාල තියෙනව නං පෙට්ටි බාරදීල ගනින්න ඕනෑ.හරියකට කෑමක් බීමක් දෙන්නෙ එහෙමත් තැනක කෑම අංශෙ උන් එළිවෙනකොට රාජකාරිය ඉවරකරල ගෙදර යනවා දෙතුන් සැරයක් ගනින්න වුනොත් ඇල්වතුර විතරයි.ඔය ටිකයි තව දාහක් ජාති කීයහැකි ඡන්දෙ ගැන.

      Delete
    2. හැල‍පෙ,
      ‍ජොලිය කියන්නෙ "පහසුකම්" ම ‍නෙ‍වේ. ‍මේක උඹට අමුතු‍වෙන් විස්තර කරන්න ඕන ‍දෙයක් ‍නෙ‍වේ. අන්තිමට මිහිරි මතකයන් ‍ගොඩක් ඉතිරි ‍වෙනව

      Delete
  12. ඡන්ද වැඩත් හෙන කට්ට නේ? ඒත් හැබැයි කියල තියෙන විදියටනම් මේක කට්ටක් තමයි. හැබැයි දිවුල් කට්ටක්ද කොහෙද. උලා කන්න උලා කන්න රහයිනෙ ඒකත්.

    ReplyDelete
    Replies
    1. කට්ටක් උනත් ආතල් කට්ටක්

      Delete
  13. හැහ් හැහ්
    චන්ද රාජකාරි වලට යනකොට මමනං බෑග් එකේ එකක් දාගෙන යනවා. හෑන්දෑ වෙන්න කලින් ඔය පුරවන්න පුළුවන් ෆෝම්ටික කට්ටියත් එක්ක පුරවලා එහෙම හත විතර වෙනකොට අනිත් අයගගේ සම්මාදනුත් එක්ක වැඩේ පටන්ගන්නවා...
    වැඩේට හොදම ඩයල් තමයි පොලිස් රාලහාමිලා. බඩු මදි නං මවල හරි ගෙනත් දෙනවා..
    කොච්චර ගෙව්වත් කෑමනං සවුත්තුම තමයි හොද කෑම එකක් හම්බුනොත් එහෙමත් තැනකින් තමයි.. (මට හිතෙන්නේ චන්දෙදි හම්බුවෙන ගානට වැඩිය වියදං වෙනවද කොහෙද)
    හිටුකෝ ලබන අවුරුද්දේ හම්බන්තොටට මාරුවක් හදං එන්න..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. පුළුවන් ඡන්ද පෙට්ටි කරගහගෙන යන්න උන් තමයි වැඩියෙන් ඕන කරන්නනේ . එස්. පි.ඕ යන එකෙක්ගේන අහලා බලන්න.

      Delete
    2. විදානෙත් රාසේද?

      Delete
    3. රාසේ රාසේ...

      Delete
  14. අපිට බැයිද බං ඔය ඩියුටියට යන්න..හොරාට හරි කමක් නැහැ..

    ReplyDelete
    Replies
    1. පුළුවන් ඡන්ද පෙට්ටි කරගහගෙන යන්න උන් තමයි වැඩියෙන් ඕන කරන්නනේ . එස්. පි.ඕ යන එකෙක් ගෙන් අහලා බලන්න

      Delete
    2. ඇනෝ කිව්ව විදියට ගෝලයට යන්න පුළුවන්. 1200ක්ද කොහෙද ගෙවනව.

      Delete
    3. ඇයි බං ආප්ප වත් කාල තුන් වේල ඉන්න බැරි සංයුක්ත දිමනාව ගෙඩි පිටින් දෙන රු350

      Delete
    4. ඊළඟ ඡන්දෙදි මං උඹව එක්කං යන්නං කොල්ලො,නාඩා ඉඳින්.

      Delete
  15. ඡන්ද ඩියුටියත් හෙන ජොලි වැඩේ වගේ නෙහ්..

    ReplyDelete
  16. මේ පාර අපේ ලොකු දුව ඇඟිලි පාට කරන්නයි චන්දෙ ගනින්නයි දෙකටම ගියා. අහිංසක නොදන්නා මිනිස්සු චන්දෙ ලකුණු කරන්ඩ ආවරණය කරලා තියන ඩෙස්ක් එකේ උඩ ලෑල්ලේ ඉඩ තියන තීරුව අස්සෙන් බිමට දැම්මලු චන්දෙ. පස්සේ ඒවා අහුලා පෙට්ටියට දැම්මලු. චන්දේ ගනින තැන ඉන්න පක්ෂ නියෝජිතයෝ නයි පොළොංගු වගේ එක එකාට පිඹිනවලු.

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක උනා. ඒ වගේ සිද්ධියක් අපිටත් උනා. එක ගෑනු මනුස්ස‍යෙක් ආවරණය ඇතුලට ගිහිල්ල මාක් කල ඡන්ද පත්‍රිකාව දැම්ම අති‍රේක ඡන්ද ‍පෙට්ටියට. පුදුමෙ කියන්‍නෙ ඒක උඩ ෆයිල් ගොඩකුත් තිබුන. ඒවත් උස්සලයි අර මනුස්සය ඡන්‍‍දෙ දැම්‍‍මෙ.

      Delete
  17. ඇයි ඒ ගමේ මිනිස්සු නැද්ද රාජ්ජ සේවේ පිට උං සේවෙට ගිහින් රෑ තිස්සේ දුක් විඳින්නේ?

    ReplyDelete
    Replies
    1. ගමේ එවුන් ගමේ ඡන්ද පොලට දැම්මොත් හෙන ලෙඩක් වෙයි නේද කකා?

      Delete
    2. නෑ ‍මේ වැ‍ඩේට නං ගමෙන් පිට අය ‍යොදාගැනීම ‍හොඳයි. ‍මොකද ගම්වල තියන ‍කෝන්තර එක්ක ‍මොනවා ‍වෙයිද දන්නෙ නෑ එ‍හෙම ක‍ලොත්

      Delete
    3. තම්බියාApril 3, 2014 at 4:56 PM

      කතන්දර මෝඩයෝ,
      ඇතිද අහගත්තා බුරුවා. ඇග හැම තැනම මොලේ වැඩි උනාම ඔය වගේ ගොන් ප්‍රශ්න අහනවා. දැන් පුළුවන් නම් කියපන් ගමේ මිනිස්සු වෙනුවට සිංහල මිනිස්සු රාජකාරියේ යෙදවීම මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් කියලා. උබ ඔය shirt එක ගලවලා බුර්කාවක් දා ගනින්. එතකොට මරු.

      Delete
  18. බුලත් සිංහලApril 2, 2014 at 7:24 PM

    ඡන්දෙත් මරු බං. පුළුවන් තරම් ට්‍රයි කරන්න ඕනෑ out station යන්න. එතකොට ඉතින් දවස් හතරක් පහක් ඉඳලා හොඳ ආතල් එකක් අරගෙන එන්න පුළුවන්නේ. ගිය සැරේ මං ගියා පොලොන්නරුවේ, උතුරු මැද පළාත් සභා ඡන්දෙට. දවස් පහක් ඩියුටි. ග්‍රාමයා මුස්ලිම් එකෙක්. එස්.පී.ඕ. බොන්නේ නැහැ. මුස්ලිම් ගමක ඡන්ද පොල තිබුණේ. පායන කාලේ වතුර පොදක් නැහැ. ඒ වුණාට නියම ආතල් එකක් ගත්තා. අපේ ඩියුටි ගිය වාහනේ රථාචාර්යතුමා නියම බඩුව. තාමත් ඌත් එක්ක contact තියාගෙන ඉන්නේ.
    ගණන් කරද්දිත් ප්‍රථිඵල නිකුත් කරද්දිත් පොඩි පොඩි මගඩි වැඩ උණා තමයි. ඒවා ඉතින් අපිට වලක්වන්න පුළුවන් දේවල් නෙවෙයිනේ. ඒ ගැන අපේ විරෝධි අදහස් තිබුණා. අපි සමහර වෙලාවට CCO එක්ක කෙලින්ම කිව්වා. ඒත් මොනවා කරන්නද උන් තමයි ප්‍රථිඵල විකෘති කරන්නේ.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි මේවා‍යේ තියන ආතල් එක. ‍කොච්චර දුෂ්කරතා වින්දත් ‍හොඳ මතකයක් ඉතිරියි. ජිල්මාට් වැඩ නං මේ වන‍තෙක් දැකල නෑ

      Delete
  19. රාජ්......පිටරටවල ඉන්න ලාංකික පුරවැසියන්ට ඡන්දේ දාන සිස්ටම් එක හදන පාටක් නැද්ද? වෙනත් රටවල අය නම් තමන්ගේ එම්බසියට ගිහින් ඡන්දේ දානවා.

    ReplyDelete
    Replies
    1. දැනට නම් නෑ. නමුත් ඒවගේ ක්‍රමයක් ති‍යෙන්න ඕන.‍

      Delete
  20. ග්‍රාමසේවකට ගෙවීමක් හම්බෙනවද මේ විදිහට කෑම බීම ලෑස්ති කරනවට ??

    ReplyDelete
    Replies
    1. ‍ගෙවීම් ලැ‍බෙනව සියල්ලටම.

      Delete
  21. පුතා ප්‍රචන්ඩ ක්‍රියාවක් කරන්න හදල වගේ ;)

    අපෙ ආච්චි මාර මීටරේ කියල උබල දන්නව නේ. වයසට ගිහිල්ලත් තනියම පෙට්ටය ලගට ගිහින් එතන ඉන්න එකෙක්ට කියනව අලියට කතිරෙ ගහන්න කියල. අපෙ අම්ම හැමදාම එයාට පස්සෙ යන්නෙ. ආච්චි පෙට්ටියට දාන්න කලින් උස්සල අම්මට පෙන්නල අහනවලු අරූ කතිරෙ ගහපු තැන හරිද කියල

    මොකා හිටියත් වෙනස් නොවන අල බැස්ස ඡන්ද ඒවා..

    ඡන්ද කොලේ අතට අරගෙනත් මම අලියාව දැක දැක ගිණි සිළුවට ගැහුව බං. වාවන්නෙ නැහැ. ඒත් අලියට හැදෙන්න ටිකක් රිද්දන්න ඕන වුනා.

    තාත්ත මැතිවරන රාජකාරි වලට ගියා ආතල් කතා කියන්නෙ නැහැනෙ අපිට :(

    ReplyDelete
    Replies
    1. අන්න නියම පාක්ෂිකාවක්. අර පිස්සු පූසට මේවගේ පාක්ෂිකයන්ව තේරුම් ගන්න බෑ. ඒකනෙ ගැලවි ගැලවි යන්නෙ.

      Delete
    2. ඒ පූසා නිසාම තමා බං මාත් හැරුනේ.. :(

      Delete
  22. මේක කතා ලෝකයක් නෙ අද. :)

    ReplyDelete
  23. ඊළඟ ආතල් කට්ට 2016 දෙනවා කියලා ලොක්කා කිව්වලු!

    ReplyDelete
    Replies
    1. බලමු! මෙදාපාර එයාගෙ ආතල් කුඩුවුන නිසා කල්ගියා

      Delete
  24. මම නම් සිංහල අවුරුද්දටත් වැඩිය ආතල් එකක් ගන්නේ චන්ද දවස් වලට. බාර් වහන්නෙත් නැ නොවැ.

    ReplyDelete
  25. mamath oya kittuwa iskoleka diuty watune oya mona iskoletada wetune machan

    ReplyDelete
  26. හරසුන් බ්ලොග් පෝස්ට් අතර කාලයකට පසුව අති විශිෂ්ටයි කියා ලිවිය හැකි පෝස්ට් එකක් දුටිමි. නොවක් ස්තූතිය. අතීතයේ ඡන්ද ඩියුටි ගිය හැටි ගැන මඩවල එස්, රත්නායකගේ අපූරු කෙටි කතාවක් තියේ. එය සිහිවිය.

    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තුතියි අගය කිරීමට
      කෙටි කතාව නං කියවල නෑ.

      Delete
  27. ඉතින් බං දවල් එකට විතර ගෙදරින් පිටත් වෙලා දෙක දෙකහමාර විතර වෙද්දි ඉස්කෝලෙ හොයා ගන්න හැකින්න හැකි වුනානම් ඒක දුර පලාතක ඉස්කෝලයක් වෙන්නෙ කොහොමද? උඹට බොග දාන්නත් ගෙදර එන්න පුලුවන්නේ ඕනේනම්. :D

    ඔය ගුරුවරු එකිනෙකාට සර් කියාගන්න එක මටත් හෙන විකාරයක් බං. මම නමින් කතාකරනකොට සමහරු හිතන්නේ ඒක මදි කමක් කිරීමක් හැටියට. හැබැයි ටික දවසකින් හරියනවා. ඔය ඔෆීස් වලත් මම දැකලා තියෙනවා එකිනෙකාට ප්‍රියන්ත මහත්තයා, සරත් මහත්තයා කියලා කතාකරගන්නවා. ඉන්දියානුවොත් එහෙමයි. සමහර උන් කියන්නේ සාරු කියලා. ස්මහරු කියන්නේ සාර කියලා.

    අර විපතක් ගැන කියනකොටත් හිනාවෙන එක මෝල්ඩිවියන්ස්ලගෙත් තියෙන ගතියක්. දවසක් මම දැක්කා පොඩි ළමයෙක් අර baby carrier (සීට්) එකේ දාගෙන බයිසිකලේක ආවා අම්මා කෙනෙක්. එක පාරටම මොකක් හරි වෙලා බයිසිකලේ පෙරලුනා. අම්මත් වැ‍ටුනා ළමයත් වැ‍ටුනා. මම හිතුවා ළමයට සිහි නැතුව ඇති කියලත්. මෙන්න යකෝ අර ගෑණි දනි පනි ගාල නැගිටලා බඩ අල්ලගෙන හිනාවෙනවා. හිනා වෙලා හිනාවෙලා ඉවරවෙලා පසු සිතුවිල්ලක් හැටියට තමයි ටිකකින් අඬන්න ගත්ත ළමයව අහුලගත්තේ. මම ඔය හේතුව නිසාම අපේ අම්මා නැතුවුන ආරංචිය මුන්ට කිව්වේ නෑ. මොකද ඒකට හිනාවුනොත් මට දරාගන්න බැරි නිසා. උන් ලඟදි හොඳටම හිනාවුනේ අර ප්ලේන් එක නැති වුනා කියලා අහලා.




    ReplyDelete
    Replies
    1. නෑ බං වෙනදට දාන්නෙ ගෙදර ඉඳල කිලෝමීටර පහක හයක දුරක තියන තැනක්. මෙදා ගෙඩි පිටිං කිලෝමීටර පනහක් ඈතට දැම්ම.

      ගුරුවරු ඔහොම තමයි හෙන්රි සර්. මොනව කරන්නද!

      යකෝ ළමය වැටුනම හිනාවෙන ගෑනියෙක් ගැන ඔය ඇහුවමයි.

      Delete
    2. හා රාජ් සර්.

      Delete
    3. ඔහෙ විතරක් නෙමෙයි බං මෙහෙත් ඉන්නවා... අවුරුදු හතරක පොඩි කෙල්ලෙකුට පොඩි මෝටර් බයිසිකලයක් පදින්න පුරුදු කරනවා.. ඒකි අඩි දෙකෙන් දෙකට වැටෙනවා.. අම්ම වීඩියෝ කරන ගමන් හක හක ගාල හිනා වෙනවා... අන්තිමේ නොසෑහෙන තුවාල එක්ක අර කෙල්ල සිහි නැති වෙලා මැරුණා. අම්මවයි තාත්තවයි අවුරුදු 4 හිරේ දැම්මා.

      ඇයි ඉස්සර ටියුෂන් ගුරුවරු පෝස්ටර් ගහන්නෙත් 'පෝල් සර්', 'ලාල් සර්' කියලා... අර ළමයි සැට් එකක් දවසක් ගිහින් බලනකොට එතන ගරාජ් එකක්ලු, පන්තියක් නෙමෙයිලු... පෝස්ටරේ තිබිලා තියෙන්නේ 'සයිලන්සර්' කියලා

      Delete
    4. වීඩියෝ කිරිල්ල ගැනත් වෙනම ලිපියක් ලියන්න හිතාගෙන ඉන්නව.

      Delete
  28. මැතිවරණ රාජකාරි කියන්නෙ රජයේ සේවකයන්ට ලැබෙන සුන්දර අවස්ථාවක් කියල මාත් අහල තියෙනව. මම නම් රාජ්‍ය සේවයට අළුත්. මට මැතිවරණ රාජකාරි හාපුරා කියල දාන්න වුනේ SPO .තමන් කැමති එකක් දාන්න පුළුවන් වුනාට වෙන එකක් දාන්න හිතුනෙත් නෑ.SPO වල භයානකකම ගැන අනතුරු ඇඟවීම් හැම තැනින්ම ලැබුන.යකා ඉතින් හැම යකාගෙම බහට කන්දෙන ගොන් යකානෙ. ඉතින් නිකා හිටිය.දැන් නම් හිතෙනව අපරාදෙ කියල .ඊලඟ පාර ARO වත් යනව..ඇවිදින්නලුනෙ තියනව කියන්නෙ.හෙහෙ හෙහෙ

    ReplyDelete
    Replies
    1. එකසැරේම එස්පීඕ ගියොත් අමාරුයි. ඉස්සෙල්ල ජේපීඕ ගිහිල්ල ඉගනගත්තම ලේසියි

      Delete
  29. ජන්දේ කියන්නේ කොහොමත් ආතල් එකක්නේ.:D

    ReplyDelete
  30. රාජ්, ඔය බෝතල්, සැන්ඩි, බයිට් වලට වියදම් කිරීමේදි කොහොමද කරන්නේ, සම සමව බෙදා ගන්නවද? හෙට ලෝක විනාස වෙනවා වගේ බොන එවුනුත් සැට් වෙනව ඇති නේද?

    ReplyDelete
    Replies
    1. සමව බෙදනව. මෙදා නං කලේ මෙහෙමයි. දෙදාස් ගානක බිල එක්කෙනෙක් දුන්න. බඩුඅරගෙන පාචිච්චි කරල අන්තිමට තමන්ගෙ කොටස් අරයට ප්‍රතිපූර්ණය කලා.

      Delete