Monday, July 30, 2012

වහලේ යටලීයේ එල්ලී මියගිය ම‍ගේ මලේ.....


"තපස්ගේ කොලම" ලියන තපස් සහෝදරයා‍ගේ, "වළාකුළකින් මුවාකළ හිරු හෙවත්....විජය කුමාරතුංග නම් වූ ගායකයා" යන ලිපියට මා දැමූ කොමෙන්ටුවකට, ඔහු ලබාදුන් සබැඳියක් ඔස්සේ ගොස් අපූරු ගීත කිහිපයක් රසවිඳීමට හැකිවිය. එය විජය කුමාරතුංගගේ කැසට්පටයක ගීත 12කි. කැසට් පටය පිළිබඳව උක්ත ලිපියේ සඳහන්වන අතර මගේ අවධානය යොමුවන්නේ එහි එක් ගීතයකටයි.


මෙන්න එම ගීතය.

වහලේ යටලීයේ එල්ලී මියගිය ම‍ගේ මලේ
මළේ කිමද නුඹ දනිම් මලේ.....

ගෙපැල උගස්කර ලැබූ ශිල්පයට අවමන් ගැරහුම් කරන නිසා
දැනහැඳුනුම්කම් නොමැති කිසිමතැන සිනා පොදක් හෝ නුදුටු නිසා
දම්සක් පැවතුම් සුතුර පුරද්දී නොදහම සිහසුන දරන නිසා
එල්ලී මළබව දනිමි මලේ නුඹ මරනින් මතු ලොව හොඳය සිතා

බොජුන් සදන්නට මාපිය දෙපලට අතමිට සම්පත් සිඳුනු නිසා
සිරසට වහලක් දෙපයට පොලවක් සිතකට නිවනක් නොලද නිසා
මිනියට අන්දා දෙනෙහි තබන්නට පමණක් ඇඟළුම් තිබුන නිසා
එල්ලී මළබව දනිමි මලේ නුඹ මරනින් මතු ලොව හොඳය සිතා

වහලේ යටලීයේ එල්ලී මියගිය ම‍ගේ මලේ
මළේ කිමද නුඹ දනිම් මලේ.....


තම ප්‍රශ්න හමුවේ පීඩනයට පත් තරුණයෙකුගේ දිවි නසාගැනීමක් ගැන කියවෙන මෙම ගීතය පිළිබඳව අමුතුවෙන් අටුවා ටීකා ටිප්පණි ලිවීම අනවශ්‍යය.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කල මගේ ගම්වැසි සහෝදරයෙකු පසුගිය දිනක මට හමුවිය. තවමත් රැකියා විරහිත තත්වයේ සිටි ඔහුගෙන් මා විමසූයේ මේ දිනවල උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ ඔහුට අවස්තාවක් නොලැබිනිද යනවගයි. "යන්න තිබුන අයියේ, මම කා_ _න් එකේ රෙජිස්ටර් වෙලා හිටියෙ නෑනේ......" යන්න ඔහුගේ පිළිතුර විය. මට එක්වරම සිහිවූයේ තපස්ගේ ලිපිය සහ මේ ගීතයයි. විජය කුමාරතුංග මහතා මේ ගීය ගැයූ අසූව දශකයේ තිබූ ප්‍රශ්න වර්තමානය වනවිටද විසඳී නැත.

මේ ගීතය මෙම සබැඳියේ අටවැනි ගීතයයි.

65 comments:

  1. බාගෙන බලමුකෝ... මං අකමැති වුනොත් මගේ මෙගාබයිට් ටික ආපහු ඕනේ හොඳේ...

    ReplyDelete
    Replies
    1. බාන්න කලිං අහල බලපං.

      Delete
  2. අහලා බලන්නම්...:)

    ReplyDelete
  3. මෙගා බයිට් අපරාදේ උනත් කමක් නෑ බාගෙන බලනවා.
    මගේ නෙමේ නේ බයිට් !!! :)

    ReplyDelete
  4. මමත් කලින් අහල නෑ.. අහන්නම ඔනේ

    ReplyDelete
  5. කලින් අහලනම් නැහැ..ලස්සනයි

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ස්තූතියි රාජ් සහෝදරයා. :-)
    "වේදනා" කැසට් පටයේ ගීත සියල්ල ලියවෙන්නේ සුනිල් ආරියරත්න අතින්...ජේ.ආර්.යුගයේ වූ සමාජ අසාධාරණයට එරෙහිව හඬ නැඟීමට සුනිල්/විජය/කපුගේ එක්ව දැරූ තැතක්.[අද සමහරු කියන විදිහට සත්‍යය විකුණාගෙන කෑමට දැරූ උත්සාහයක් :-) ]

    ReplyDelete
    Replies
    1. සිංදු ටිකේ පදමාලාවන් ටික නියමයි. හැම එකකින්ම කතාකරන්නෙ සමාජ අසාධාරණයට එරෙහිව. ඒත් ප්‍රශ්න නං ඒකාලෙටත් වඩා වැඩියි. "කැලෙන් ඇහිඳලා" කියන සිංදුවෙන් කියවෙන "ගිරව්"ම අද කොච්චර ඉන්නවද.

      Delete
  8. හ්ම්ම් යථාර්ථය කුරිරුයි.

    ReplyDelete
  9. තව කාලෙකට ඕක වලංගු වෙයි..

    ReplyDelete
  10. මන් හිතන්නෙ අපි කත කල යුත්තේ ගීතයෙයේ අන්තර්ගතය ගන මිසක් පුඩ්ගලයන් පිලිබද නෙමෙයි ,,කපුගෙ ගැන කොහොම වෙතත් විජයට වගේම සුනිල්ටත් තම තමන්ගේ පෞද්ගලික අරමුනු ((පොදු සමජයට යහපතක් නොවෙන අරමුනු) තිබුනා කියන එක රහසක් නොවෙයි .

    ReplyDelete
    Replies
    1. හ්ම්. දේශපාලනය කොහොම උනත් විජය කියන ගායකයාට මම කැමතියි.(නළුවටත් වඩා)

      Delete
  11. කැම්පස් එකේන් එලියට ආවම..විභාග කරනවට වඩා පිඩනයක් තියෙනව රැකියාවක් සෙවිමෙදි.. මොකද විශ්ව විද්‍යලයෙන් බැහැරවන්නන්ට රැකියා ලබාගැනිමේ පැහැදිලි යාන්ත්‍රනයක් තවම හරි හැටි ක්‍රියාත්මක නොවන නිසා. නමුත් අපිත් උත්සහගත යුතුයි ටිකක් හරි උන් දෙන්නැත්නම් රැකියාවක් අපිම නිර්මානය කරගැනිමේ ක්‍රමවෙදයකට යන්නත් උදාහරණයක් විදිහට පාසැල් සිසුන්ට පන්ති පැවැත්විම වගේ දෙයක්

    ReplyDelete
  12. අදමයි ඇහුවේ ..අමිහිරි ඇත්ත කථාවක්......

    ReplyDelete
  13. මෙ ගැටලුව කවදාවත් ලෙහෙන ගැටලුවක් නෙමෙයි ඊයෙත් අදත් හෙටත් එහෙමයි
    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
  14. කවදා විසඳේද මේ අවනඩු ?

    ReplyDelete
  15. මං කෝමැයි බං සිංදු අහන්නෙ......???

    විජයගේ මරණයෙන් රටට අහිමි වුනේ නළුවෙක්වත් දේශපාලකයෙක්වත් නෙවෙයි, ගායකයෙක්වයි.....
    ලස්සන හඩක් නොවුනත් දැනෙන හඩක් ඔහුට තිබුණා....

    ReplyDelete
    Replies
    1. වෙරි සොරි මචෝ. ඒත් උඹට මේ පදටික දැක්කම මතක් වේවි.

      Delete
    2. මමත් විජයගේ රගපෑම් වලට වඩා ඔහුගේ ගීත වලට ආසයි... ගීතයේ අර්ථය හදවතට දැනෙන ගැඹුරු කටහඩක්...

      Delete
    3. අයියෝ සුමිත් ඔයාගෙං මමත් සමාව ඉල්ලනවා ඊයෙ දාපු සින්ංදු දෙකට. අම්මා කෙනෙකුගෙ සතුටට දාපු දෙකක් කියල විතරක් හිතාගන්න. එච්චර රහ නැහැ එව්වා

      Delete
  16. ප්‍රතිපත්තියක් නැති නීතියේ රීතියක් නැති රටක හැමදා රෝල්වෙන තිත්ත ඇත්ත..

    ReplyDelete
  17. //සිරසට වහලක් දෙපයට පොලවක් සිතකට නිවනක් නොලද නිසා//
    ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙ නිවාස වැඩපිලිවෙලට දාල තිබුන පාඨය වෙච්ච "හිසට වහලක් හිතට නිවනක්" කියන කෑල්ල ගත්තෙ මේකෙන් වෙන්නත් පුළුවන්.

    ReplyDelete
  18. බාලා අහලා බලන්න ඕනෙ. ස්තුතියි රාජ්.
    henryblogwalker the Dude

    ReplyDelete
  19. කියන්න දෙයක් හිතන්න අමාරුයි...

    ReplyDelete
  20. හ්ම්ම්ම්...ඇහැව්ව සින්දුව මම විජය කුමාරතුංගගෙ සින්දු වලින් ආසම ''කවිකාරියේ සින්දු කියනා ලදේ''..

    ReplyDelete
    Replies
    1. ඒක කියන්නෙ කීර්ති පැස්කුවල් නෙමෙයිද ?

      Delete
    2. කීර්ති පැස්කුවල්

      Delete
    3. හෆොයි..මෙච්චර දවසක් හිතන් උන්නෙ ඒක කියන්නෙ විජය කියල......

      Delete
  21. අනුවේදනීය කථාවක් කියවෙන පද පෙළක්... මම මේ ගීතය කලින් අහලම නෑ... ඔත්තුවට ස්තූතියි රාජ්...

    ReplyDelete
  22. මේ වගේ අවනඩු කාට කියන්නද ?

    ReplyDelete
  23. මම කලින් අහල නෑ මේ සිංදුව. විජයගෙ, නන්දා මාලිනියගෙ සමහර ගීතවල තියෙන ඇඟ හිරිවැටෙන සටන්කාරී ගතියට මමනම් කැමතියි.

    ReplyDelete
  24. මේ පද පෙලි දැක්කමයි බං..

    තව තියෙනවා නන්දා මාලනි මහත්මියගේ තහනම් කරපු ‘පවන‘ ඇල්බම් එකේ සිරා සිංදු ටිකක්..

    ජය !

    ReplyDelete
    Replies
    1. යදමින් බැඳ විලංගු ලෘ
      මගේ පුතා රැගෙන යන්න
      ඉඳිකටු ඇන ඇගිලි තලා
      දෙතිස් වදය පමුණුවන්න

      අලුත් ලොවක් ගැන සිතීම
      දඩුවම් දෙන වරද නම්
      කුමට එරට අධිකරණය
      නීතිය සහ විනිසුරන්....

      (පවනෙ සිංදුවක්)

      Delete
    2. හ්ම්. අහල තියනව.

      Delete
    3. එළියකන්ද කේ පොයින්ට් පොතේ තියෙනවා වදකයො සිරකරැවන්ව එළියට අරන් සින්දු කියන්න කියපු බවක්.. වැරදිලාවත් නන්දා මාලනියගෙ/කපුගේ ගෙ ගීතයක් ගැයුවොත්...උස ගසකට නග්ගලා බිමට පැන්නුවලු... ඒ තරමට මේ ගායක ප්‍ර‍ජාවටත් අලුගෝසුවො වෛර කරලා..

      Delete
  25. කාලෙකට විසඳන්න බැරි ප්‍රශ්නයක් තවම ඔඩු දුවනවා.ඒත් රාජ් කිවුවා වගේ මොනවා හරි තමන්ගේ හැකියාවෙන් කරන්න වෙනවා.

    සින්දුවනම් කලින් අහලා නැහැ.

    ReplyDelete
  26. සිංදුව අහාලා තිබුනේ නෑ.. අහන ගමන් තමයි ලියන්නේ...

    රැකියා දෙන සාර්ථක යාන්ත්‍රණයක් හදපු රටක් ගැන තාම අහලා නෑ. ඒත් රැකියාවක් හොයාගන්න දේශපාලකයෝ පස්සේ යන සහ රජයේ රැකියා දිහා බලාගෙන ඉන්න අය වැඩියෙන්ම ඉන්නේ අපේ රටේ වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. සාර්ථක යාන්ත්‍රණයක් කෙසේ වෙතත් සාධාරණ යාන්ත්‍රණයක් හදන්න බැරිකමක් නෑනේ.

      Delete
    2. තියන යාන්ත්‍රණය හරියට වැඩකරන්න සුදුසු පරිසරයක් තමයි ඕන...

      Delete
  27. විජය කුමාරතුංගයන්ගේ මේ සින්දුව මම මේ ඇහුවමයි..

    ReplyDelete
  28. සිංදු වලට ස්තූතියි රාජ්. ගොඩක් කාලෙකට පස්සෙ අහන්න ලැබෙන්නෙ. මාත් කැමතියි විජයට. එයාගෙ උපන්දිනේ දවසේ එයා වෙනුවෙන් දාපු බර්ත් ඩේ පාටියක දී එයා ආපු අය වෙනුවෙන් සිංදුවක් කියපු හැටි මතක් වෙනවා.

    සියල්ලන්ට ම රැකියා දෙන සාර්ථක යාන්ත්‍රණය තමයි නිදහස් වෙළඳපොල. ඒක ආයේ කවුරුත් හදන්න ඕන දෙයක් නෙමෙයි. කවුරුවත් ඇඟිලි ගැහැව්වෙ නැත්නම් නියමෙට වැඩ කරන එකක් බව නැවත නැවතත් ඔප්පු කරන ලද්දක්. වැඩේ ඒකට ඇඟිලි ගහමින් නිදහස් වෙළඳපොල වැඩ කරන්නෙ නැහැයි කීමනේ.

    ReplyDelete
    Replies
    1. නිදහස් වෙළඳපොල නං කවදා මෙහේ ඇතිවෙයිද?

      Delete
    2. රාජ්,

      නිදහස් වෙළඳපොලක් ලංකාවේ තියෙනවා. ඒක තියන නිසා තමයි තාම පණ අදිමින් හරි රටක් ඉතුරු වෙලා තියෙන්නෙ. ඒත් ඒක දකින්න ලංකාවේ බහුතරයට දුෂ්කර වූ නිසා තමයි මිනිස්සු ඉස්සර වෙන පැත්තක දැන් කා---න් පැත්තෙ යන්න හුරුවෙලා තියෙන්නෙත්.

      ලංකාවේ ඉන්නවා ඇඳුම් මහන නංගියෙක්. අනගි බඩුවක් හා අනගි සේවාවක් ලංකාවේ හදලා ලංකාවේ විකුණලා ගෙයක්, පිටරට සංචාරයට යන්න වගේ තමන් කැමති දේවල් කරන්නට ආර්ථික නිදහස දැනටමත් ලබා ඇති කෙනෙක්. ලංකාවේ ඉන්නවා electrician කෙනෙක්. අනගි සේවාවක් සපයලා දැන් ගෙවල් දෙකක් හදලා තියෙන්නෙ. මගේ තාත්තා ලංකාවේ නිදහස් වෙළඳපොලේ තමන් විසින් ලියූ පොත්පත් විකුණා, තවත් අයට රැකියාවන් ද සපයා තමන්ගේ ජීවිකාව සොයා ගත්තේ 1975 සිට 2000 දක්වා.

      නැහැයි බැහැයි නොකියා, පිටතක ඉන්නා කුමන්ත්‍රණකරුවන්ට ඇඟිලි දික් කරමින් නොසිට, කවදා ඇති වේදැයි පෙරුම් පුරමින් නොසිට, දැනට තියන සම්පත් හා අවස්ථා වලින් තමන් විසින් උත්සාහයක් කරන්නට පටන් ගත් දාට යි වහල් බවින් මිදෙන්නෙ.

      Delete
    3. 1975-2002 දක්වා යැයි නිවැරදි විය යුතුයි!!!

      Delete
  29. විජය නැක්සලයිට් කුමන්ත්‍රණය යන ඊනියා චෝදනාවට සිරගත කලාම ඔහුගේ අත්දැකීම් “දඟගෙයි දඬුවම්“ ගීතයෙන් ඉදිරිපත් කලා වගේම සමාජ ප්‍රශ්න පිළිබඳ ගීතමය ඉදිරිපත්කිරීමකට යොමුකලා..එහෙම පීඩිත පන්තියේ ජන නියෝජනයට හඬ මුසුව එකතු කරපු මිනිසා පොල්හේන්ගොඩ නිවස ඉදිරිපිට ජ.වි.පෙ නරුමයන් වෙඩිපිට වෙඩි තබා මරා දමද්දි ඒ සිදුවීම ගැන ගී නොලිවුණත් මහාචාර්ය සරත් අමුණුගම ලියූ “සමනලයාට වෙඩිතැබීම“ කවි පෙල පමණක් අදටත් ශේෂය

    ReplyDelete
    Replies
    1. “සමනලයාට වෙඩිතැබීම“ කියවල නෑ.
      මර්වින් උන්නැහේ කියන්නෙ එයත් විජය එක්ක නැක්සලයිට් චෝදනාවට ඇතුලෙ හිටිය කියල. :)

      Delete
    2. ඒක ඇත්ත. විජය එක්ක ඔසී, දී.මු, ෆීලික්ස් සහ මර්වින් නැක්සලයිට් කතන්දරේදී අත් අඩංගුවට ගත්තා.

      Delete
  30. ඇත්ත කතාව ඒත් රස්සා නැත්නම් කොහෙන් හරි හොයා ගන්න අපි පුරුදු වෙන්න එපැයි නේද? ඒත් හැම ඩිග්‍රියටම එහෙම හොයා ගන්න පුලුවන්ද කියලා නම් දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හැමෝටම රස්සා නොදුන්නට කමක් නෑ. දෙන ටික හරි හරියට දුන්නනම් තමයි හොඳ.

      Delete
  31. කරන ඕනම දෙයක් හරියට කළා නම් බය වෙන්න දෙයක් නැනේද? company කාරයොවත් වෙන කවුරුවත් අදක්ෂ තමන් ළඟ රස්සාවලට ගන්නෙ නැහැනේ.එයාලා හොයන්නේ තමන්ගේ ව්‍යාපරයට තව තව සල්ලි උපයලා දෙන්න පුළුවන් දක්ෂයෝ.රජයේ රැකියාවලට නම් මේ කතාව වලංගු නැහැ.

    ReplyDelete
  32. මගේ පියා මිලදී ගත් මේ කැසට්පටය, වාහනයේ වින්ඩ්ස්ක්‍රීන් එක යට තැබීම නිසා උණුවී ගිය බව දන්වන්නේ කණගාටුවෙනි. දඟගෙයි දඬුවම් ගීතය පමණක් මේ කැසට් එකෙන් තරමක් ජනතාව අතරට පැමිණියා. එවකට ජේ ආර් රජය විසින් මේ කැසට් එක තහනම් කලා.

    ReplyDelete
  33. මමත් ඔය ගැන පෝස්ටුවක් ලියන්න හිතාගෙන ඉන්නවා, බලමුකෝ!

    ReplyDelete
  34. කොයි කාලෙටත් වලංගු වෙයි මේ වගේ සින්දු.. අඩුම තරමේ මේ ප්‍රශ්නෙ විසඳන්න ජාතික වැඩ පිලිවෙලක් පෙනෙන තෙක් මානෙක වත් නැති කොට.. මාරු වෙන ආණ්ඩුවෙන් ආණ්ඩුවට කරන යම් යම් වැඩ පිළිවෙලවල් නම් තියෙනවා.. රැකියා දෙන්න හෝ රැකියා සොයා ගන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කල යුතු අය නිහඬයි හෝ මන්දගාමී නම්..උගත් නමුත් පාලනය කර ගන්න බැරි තරමේ කල්කිරීමට ලක් වෙන අය සියදිවි හානි කරගෙන හරි විමුක්තියක් ලබා ගන්ඩ උත්සාහ කර ගනී..

    ReplyDelete
  35. රාජ් සොහොයුරා මගේ කොමෙන්ටුව උපුට තපස්ගේ කොලම තුල අද්හස් පළකර තිබෙන නිසා යමක් කිව යුතුයි. විජයගේ නිසග ගායන සහ රන්ගන ප්‍රතිභාවයන් පිළිබදව විවාදයක් .නැහැ .නමුත ඔහු එම ප්‍රතිභාවයන් ඔස්සේ නිපදවාගෙන ගොඩ නගාගත් අසීමිත ජනප්‍රියභාවය ජරා ජීර්න වූ දේශපාලනය තුල නොවෙනස් ගමනක් යෑමට යොදා ගත්තා ..හොදම උදාහරනය තමයි ඔහු චන්ද්‍රිකාව විවාහ කර ගැනීම .
    'ඔටුන්නට හිමිකම් කියන පවුලකින් කුමාරිකාවක් විවාහ කරගැනීමෙන් පසුව ශ්‍රිලනීපයේ කැපීපෙනෙන තත්වයක් හිමිකරගත් විජය සිය බිරිද හා පක්ෂයේ බලවත් පිරිසකගේ අධාර ඇතිව ඔටුන්නට හිමිකම් කිවූ තම මස්සිනාට එරෙහිව අභ්‍යන්තර කැරල්ලක් මෙහෙයවීය '
    'මේ විදිහට සටහන් වෙලා තිබෙන්නේ අයිවන්ගේ 'දේශපාලනය පවුල හා කුලය' පොත.මේ උපුටා ගැනීම ඔස්සෙ මට මතු කර පෙන්වීමට අවැසි වූයේ විජය තම ජන්ප්‍රියකම දේශපාලන ව්යාපෘතීන් වලට යොදාගත් ආකාරයයි. එම අරමුණු සැබෑ ලෙසින්ම නිර්ව්යාජ ඒවා වූවා නම් ගැටලුවක් නැහැ.නමුත් මගේ පෞද්ගලික මතය නම් ඒවා එසේ නොවූ බවයි.

    කෙසේ වෙතත් මමත් විජය කියන නළුවාටත් ගායකායටත් බොහෝසෙයින් කැමතියි ..නමුත් එම කැමැත්ත නිසා මට දැනෙන ඇතැම් දේ නොකියා සගවාගන්නටත් බැහැ ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. කියවලම බලන්නම්.

      Delete
  36. වැඩි දුර කියවීම සදහා මගේ 'ජේවීපිය විජයව මැරුවේ ඇයි' කියාන පෝස්ට් එක කියව්න්නැයි ආරාධනා කරනවා

    ReplyDelete