ටික කලකට පෙර, මා නැරඹූ ටෙලිනාට්‍ය අතර දෙරණ රූපවාහිණියේ "මලී" නම් ටෙලිනාට්‍යද විය. කාර්ය බහුලත්වය රූපවාහිනීය දුරස්කල අතර ඉන්පසු බොහෝ කාලයක් යනතෙක් උක්ත නාට්‍ය නැරඹීමට නොහැකි විය. පසුගිය දිනක අන්තර්ජාලය ඔස්සේ දෙරණ අඩවියට ගොස් මඟහැරුණු තැන සිට නාට්‍ය නැරඹීමට පටන්ගතිමි. පිටිසර ගම්මානයක වෙදගෙදරක් මුල්කර ගනිමින් යම්කිසි යතාර්ථවාදී ස්වභාවයකින්ද විකිණියහැකි "ගැමි කමකින්ද" යුක්ත වූ මෙම නාට්‍ය මේ වනවිට මුල් අරමුණින් අපගමනයට ලක්වී ඇත. සාමාන්‍යයෙන් ලංකාවේද කලාතුරකින් දක්නට ලැබෙන දක්ෂ දේශීය වෛද්‍යවරයෙකුගේ චරිතය නිරූපනය කරන "ඩිංගිරි" වෙදහාමිනේගේ (දුලීකා මාරපන) චරිතය මේ වනවිට වෙනස්වී ඇති ආකාරය අපූරුය. එය, සාමාන්‍යයෙන් අසාමාන්‍ය දක්ෂතාවයක් ඇති වෙදහාමිනේගේ සිට ඕනෑම දෙයක් කලහැකි, කිසිවෙකුටත් පරාජය කල නොහැකි "සුපිරි වීරයා" මට්ටමට එසවීමට අධ්‍යක්ෂක වරයා තීරණය කර ඇත. දැන් ඩිංගිරි වෙදහාමිනේට කල නොහැක්කක් නොමැත. ප්‍රේක්ෂක අදහස් තීරුව අනුව සුපිරි වීරවරියට ඔවුන් මනාපය. මෙය නාට්‍ය විචාරයක් නොවන නිසා ඒ ගැන කතාව දැනට නවත්වමි.
සුපිරි වීරයා! සමාජයේ බොහෝ දෙනෙකු කැමති සංකල්පයකි. නින්දෙන් පිබිදෙන රාවනා රජතුමා ගැන විශ්වාස කරන සුළු පිරිසක් හෝ අද සමාජයේත් සිටින බව සති අන්ත පුවත්පත් අපට කියාපායි. මෙය ලෝක ඉතිහාසය පුරාම දක්නට ඇති සංසිද්ධියකි. සුපිරි වීරයා සමඟ බැඳී ඇති අනෙක් පාර්ශවය නම් "පුටු ආරක්ෂකයන්ය". රණ ශූරයන්ගේ පුරාවෘත්ත අනුව අවසාන මොහොතේ ශූරයා පැමිනෙන තෙක් ඔහුට අයිති අසුන රැකගැනීම මොවුන්ගේ කාර්යයි. එහෙත් මොවුන් කිසිවිටෙකත් සුපිරි වීරයාට අභියෝගයක් නොවන්නේ තමන්ට නොහැකිය හෝ තමන් නුසුදුසු යැයි ඇති හීනමානය නිසා විය හැකිය. එය හරියටම අපේ ඉතිහාසයේ කැප්පෙටිපොල, මඩුගල්ලේ වැනි නායකයින් රජවීම සඳහා නොව (රජෙකු නැතිවිට පවා) සුදුස්සෙකු රජකරවීම සඳහා සටන්කිරීම වැනිය. විප්ලවයට පසු ප්‍රති විප්ලවයක්ද සිදුකිරීමට රුසියානුවන්ට සිදුවූයේ මෙම හැඟීම පරාජය කිරීම සඳහාය.
දකුණු ආසියානු දේශපාලනයේ සුපිරි වීරයන් බිහිවීමටද වීරයන් බලුවීමටද වැඩි කල් නොයයි. බණ්ඩාරනායක මහතා ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂය දක්වා ඇවිදගොස් හිඳගනිද්දීම ඔහු සුපිරි වීරයා බවට පත්වී හමාරය. ස්වාමියාගේ මරණයෙන් පසු වීරවරිය වූ සිරිමා බණ්ඩාරනායක මැතිනිය 77දී බලුවිය. 77 සිට සුපිරි වීරයෙකු නොමැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුටුව, හෙක්ටර් කොබ්බෑකඩුව, අනුර බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ.... වැන්නන් රැකගත්තේ "සපෝටර්ගේ" චරිතයට පන පොවමිනි. 94දී සුපිරි වීරවරිය වූ චන්ද්‍රිකා මැතිනියගේ පැමිණීමෙන් එම නාටකය අවසන්විය.
දැන් මඳකට එජාපය දෙසට හැරෙමු. 1994 වනවිට සිටි වීරයා සහ වෙන්ට සිටින වීරයන් සියල්ල ඝාතනයවී අරාජික තත්වයක තිබූ එජාපයට උරදීමට සිටියේ රනිල් වික්‍රමසිංහ පමණි. 94 ජනාධිපතිවරණයේදී ශ්‍රීමා දිසානායකට සිහසුන ලබාදී ඇය සුපිරි වීරවරිය කිරීමට ගත් උත්සාහය 17 කැරැල්ල මෙන් වූයේ චන්ද්‍රිකා මැතිනිය ඒ වනවිටත් සමාජය තුල තම ස්ථානය තහවුරු කරගෙන තිබූ නිසාවෙනි. ඉන්පසු රනිල් වික්‍රමසිංහ මහතාට, විටෙක වීරයාගේද විටෙක සපෝටර්ගේද චරිතයට පනපෙවීමට අවස්තාව ලැබුනත් ඔහු සාර්ථක නොවීය, නැතහොත් සිහසුන ලඟටම පැමිණ පසුබැස්සේය.
මේ වනවිට සුපිරි වීරයාදැයි සපෝටර් කෙනෙකුදැයි නිශ්චිතව හඳුනාගත නොහැකි සජිත් ප්‍රේමදාස සහ රනිල් අතර ඇති සටන තීරණාත්මකය. රනිල්, වඩා සුදුසු සුපිරි වීරයා නොව සපෝටර්ගේ ස්ථානයට බව ඉතිහාසය ඔප්පු කර අවසන්ය. වෙනත් විදියකින් කිවහොත් ඔහුට වීරයා වීමට ඇති සම්භාවිතාව ඉතා අඩුය. මන්ද ඕනෑවට වඩා මහන්සි වී ඇති සටන්කරුවකුට සිහසුන අසලම සිදුවන "අන්තිම සටනේදී" ජය ගැනීම අසීරු බැවිනි. අනෙක් අතට දුෂ්ටයාද ඉතා බලවත් බැවින් සටන ලෙහෙසි නැත. සජිත් ප්‍රේමදාසගේ භූමිකාව වැදගත් වන්නේ මෙතැනදීය. ඔහු "සුපිරි වීරයා" වන්නේද නැතහොත් "සපෝටර්" කෙනෙකු වන්නේද යන්න විචල්‍යන් රාශියක් ඇති සමීකරණයක ගමන්මඟ වැනිය. එය අනාගතය විසින් තීරණය කරනු ඇත.