Tuesday, June 18, 2013

පරණ කතාවක් සහ අලුත් කතාවක්!

මගේ බ්ලොග් එකේ වැඩියෙන්ම තියෙන්නෙ දේශපාලන, කතන්දර සහ රාජ්‍ය සේවය ගැන ලියවිච්ච. අද කියන්න යන්නෙ මේ තුනම සම්බන්ධ කතන්දරයක්. මේ කතන්දරේ මතක් උනේ අද උදේම ටීවී එකේ පත්තර කියවන වැඩසටහනක් බලද්දි.

මම කොළඹ වැඩකරන කාලෙ අපේ ඔපීසියෙ හිටිය මිස් කෙනෙක්. මෙයාගෙ තනතුර “පරිගණක දත්ත ක්‍රියාකරු”. මේ තනතුර ගැනත් යමක් කියන්න තියනව. චන්ද්‍රිකා නෝන රට කරවන කාලෙ රිචඩ් පතිරණ උන්නැහේ තමයි මේක ඇතිකලේ. එහෙම නැත්තං එයාගෙ අමාත්‍යංශය යටතේ ඇතිකල තනතුරක්. හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම මෙයින් එක නිලධාරියෙක් දුන්න. නමේ හැටියට මෙයාලගෙ රාජකාරිය අමුතුවෙන් කියන්න ඕන නෑනේ. වැඩේ කියන්නෙ ලංකාවටම ඕන කරන පරිගණක දත්ත සටහන්කරුවන් ගත්තෙ ගාල්ල දිස්ත්‍රික්කෙන්. එහෙම නොවුන උදවිය හිටියෙ ‍බොහොම ටික දෙනයි. කස්ටිය කෙලින්ම ඇමතිතුමාගෙ ලිස්ට් එකෙන් ආවෙ. එක දිස්ත්‍රික්කයක මිනිස්සු මේ විදියට ලංකාව පුරාම යෙදවීමේ අමනෝඥ තීරණයේ ප්‍රතිපලේ තමයි ටික කාලයක් යද්දි කවුරුත් ගාල්ලට එන්න ට්‍රයිකිරීම. මේක රාජ්‍ය සේවයේ අතිශයින්ම ස්වාභාවික කේස් එකක්. රස්සාව දෙනකොට ලංකාවෙ ඕන තැනක ඉන්නව කිව්වට කලක් යද්දි පරස්තාවක් එහෙම කරගත්තම ගමට එන්න එපැයි. මේ සීන් එකේ අවසාන ප්‍රතිපලේ විදියට අද වෙනකොට මේ තනතුරේ උදවිය කරන්නෙ ලිපිකරු තනතුරේ වැඩ. ලිපිකරුවන් එක්ක සුහද මාරුවීම් කරගන්න පුළුවන් වෙන්නෙ එහෙම උනොත් විතරයිනේ.

මම වැඩකල කාර්යාලෙ හිටිය නෝනත් කාලයක් තිස්සේ ගමට යන්න ට්‍රයි කරනව. ඒත් වැඩේ හරියන්නෙම නෑ. මොකද එයා වෙනුවට අපේ කාර්යාලෙට එන්න කෙනෙක් ගාල්ලෙන් හිටියෙ නෑ. (කවුරුත් ගාල්ලෙනේ). අද කාලෙ උද්ගත වෙන හැම ප්‍රශ්නයක්ම ජනාධිපතිතුමා මැදිහත් වෙලා විසඳනව වගේ අන්තිමට මෙයා ජනාධිපතිට ලිව්ව තමුන්ගෙ දුක් ගැනවිල්ල. සුපුරුදු විදියට ජනාධිපති කාර්යාලෙට ගිය ලිවුං කඩදාසියෙ පිටපතක් අමාත්‍යංශෙට එනව “සුදුසු ක්‍රියාමාර්ග ගන්න” කියන උපදෙස් දීල. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවයේ වැඩ ඔහොම තමයි. රජයේ ආයතන ගැන විශ්වාසයක් නැතිව, කවුරුහරි කෙනෙක් ඇමති කෙනෙකුට හරි ජනාධිපතිට හරි තමුන්ගෙ අවශ්‍යතාවය කිව්වත් අන්තිමට වෙන්නෙ අදාල කාර්යාලයටම ඒ ලිපිය ලැබීම.

මට මතකයි එක සැරයක් මේ වගේ කේස් එකක් උනා. මම වැඩකල කාර්යාලයට නිර්නාමික පෙත්සමක් ආව. කවුදෝ ගැන පැමිණිලි කරල. පැමිණිලිකාරයට අපි ගැන විශ්වාසයක් නැති නිසා අපේ ප්‍රධාන කාර්යාලය වෙච්ච කච්චේරියටත් ලියුමෙ කොපියක් යැව්ව. හැබැයි කච්චේරිය ගැන මෙයාට විශ්වාසයක් තිබිල තියනව. මොකද ඒකට යවපු ලිපියේ තමුන්ගෙ අනන්‍යතාවය සඳහන් කරල තිබුන නිසා. අපිට “නිරිණාමික” පෙත්සම ලැබිල දවස් දෙකතුනකින් “නාමික” පෙත්සමේ කොපියකුත් එනව කච්චේරියෙන්. මේ ක්‍රියාදාමය පෙත්සම්කාරය දැනගෙන හිටිය නං කවදාවත් තමුන්ගෙ නම සඳහන් කරන එකක් නෑ. ඔන්න ඔහොමයි වැඩ.

ආයෙත් කතාවට ආවොත්, අර නෝනගෙ දුක්ගැනවිල්ල අපේ අමාත්‍යංශයට ගියා. කතාව එතනින් ඉවර උනේ නෑ. මෙන්න බොලේ ඊට පස්සෙ අමාත්‍යංශයෙන් කියනව තමුන්ගෙ අවසර නැතුව ජනාධිපතිට ලිවුං ඇරියට නිදහසට කරුණු කියන්න කියල! මම රස්සාවට ගිය අලුත මේ කේස්එක උනේ. මේ ගැන හොයල බැලුවම වැඩේ ඇත්ත. සාමාන්‍ය වැසියෙකුට ජනාධිපතිට තමන්ගෙ දුක්ගැනවිල්ල කියන්න පුළුවන් උනාට රජයේ සේවකයන්ට බෑ. එයාල ජනාධිපතිට-ඇමතිවරයෙකුට හෝ වෙනත් අමාත්‍යංශයකට, එහෙම නැත්තං තානාපති කාර්යාලයකට හෝ විදේශයකට ලිපියක් යවනව නම් තමුන්ගෙ ආයතන ප්‍රධානියා හරහා යන්න ඕන. උදාහරණයක් විදියට මට ජනාධිපතිට යමක් කියන්න ඕන නම් අපේ ආයතන ප්‍රධානියා(ප්‍රා.ලේ), දෙපාර්තමේන්තු ප්‍රධානියා(දි.ලේ), අමාත්‍යංශ ලේකම් කියන තුන්දෙනාම හරහා තමයි වැඩේ කරන්න වෙන්නෙ.

අන්තිමේදි අර නෝන අමාත්‍යංශෙට කිව්වද කොහේද “ආයෙත් ඒ වගේ වැඩක් කරන්නෙ නෑ” කියල. ඒ කේස් එක එතනින් ඉවර උනා.

මේ කේස් එක මතක් උනේ ලංකාවේ ප්‍රශ්න ගැන කතා කරන්න අද දෙමළ සන්ධානෙ මන්ත්‍රීවරු ඉන්දියාවෙ අගමැතිතුමා මුනගැහෙන්න නියමිතයි කියන නිව්ස් එක ඇහුවම. රජයේ සේවයේදි අර විදියට වැඩ සිදුවුනාට මහජන නියෝජිතයන්ට පුළුවන් ආණ්ඩුවේ සම්බන්ධයක් නැතිව උනත් විදේශ නියෝජිතයන් මුනගැහෙන්න-ප්‍රශ්න කතා කරන්න. එයාලට කොහේ ගියත් බෙදාගන්න තියෙන්නෙ වෙන හැන්දක්නේ.


Thursday, June 13, 2013

සේවාදායක තෘප්තිය, හොඳ වර්ගයේ තල කැරලි සහ කිතුල් පැණි

කාලෙකින් කතන්දරයක් කියන්න බැරිවුන නිසා මෙන්න ඒකට අවස්තාව.
ඔන්න ලඟදි දවසක අපේ කාර්යාලෙට ආව උසස් නිලධාරීන් වීමට පුහුණු වෙන තරග විභාගයකින් පාස්වුන කස්ටියක්. සාමාන්‍යයෙන් මේ වගේ උදවිය කාලෙන් කාලෙට එනව පුහුණුවට. මේගොල්ලට තියන පුහුණුවෙ එක අංගයක් තමයි සේවා දායකයන් ගැන හෙවිල්ලෙන් ඉඳීම. ඒ කියන්නෙ ආයතනයේ එක එක අංශ වලට තමුන්ගෙ වැඩ කරගන්න එන ජනතාවගෙ තෘප්තිය-මේකට කියන්නෙ සේවාලාභී තෘප්තිය කියල, එහෙම නැතුව එක එක ගොඩ වෙදකං වලින් ගන්න තෘප්තිය නෙවේ- ගැන පොඩ්ඩක් විමසිල්ලෙන් සිටීම.
ඔන්න දවසක් මේ නෝන-මහත්වරු සෙට් එක ෆෝම් කොල ටිකකුත් අරගෙන ගියා අපේ ඉඩම් අංශයට. මේ කිව්ව ෆෝම් එක එක්තරා විදියක ප්‍රශ්න පත්තරයක්. ප්‍රශ්න හතලිහක් පනහක් තිබුන. ඉතිං ඉඩම් අංශයට ආපු කස්ටමර්ලට මේ ප්‍රශ්නපත්තර බෙදල කිව්ව යන්න කලින් මේක පුරවල දෙන්න කියල.
සාමාන්‍යයෙන් අපේ කාර්යාලෙ තියන පලාත වගේ දුෂ්කර පලාත්වල කාර්යාල වලට එන බොහොමයක් මිනිස්සුන්ට ෆෝම් එකක් පුරවගන්නවත් තේරුමක් නෑ. අනිත් කාරණය තමයි මේ වැඩ කරගන්න එන්නෙ දැනුවත්භාවයෙන් අඩු උදවිය. ඒකටත් හේතුවක් තියනව. උදාහරණයක් විදියට රස්සාවක් කරන කෙනෙකුට තමුන්ගෙ උප්පැන්න සහතිකයක් ගන්න ඕනවුනා කියල හිතමු. ඉතිං එයා නිවාඩු දාල ඒ වැඩේට එන්නෙ නෑ. තමුන්ගෙ අම්ම හරි තාත්ත හරි තමයි එවන්නෙ. මේ කේස්එක නිසා තත්වය දරුණු වෙන හැටි තේරෙනවනේ. මේ වගේ දේට එන මනුස්සයො තමන්ගෙ අයදුම්පත්‍රය පුරවාගන්නෙ කාර්යාලෙම කාටහරි කියල, නැත්තං ඒ වැඩේටම ආපු කෙනෙක් ලවා.
ආයෙත් කතාවට ආවොත්, ඉඩම් අංශෙට ආපු වයසක මනුස්සයට ලැබුනනේ මේ වගේ ප්‍රශ්න කොලයක්. එයා ඒක අරගෙන ආව මගේ ලඟට.

“මහත්තය මේක පුරවල දෙන්නකෝ...... මගේ ඇස් පේන්නෙත් නෑ” මම බැලූකොට මේක අපේ හරි වැරදි හොයන්න ගහපු ප්‍රශ්න පත්තරයක් නෙව. මම එයාට ඒක පැහැදිලි කලා.

“ම්..... මේක තියෙන්නෙ ඔහේල මේ කාර්යාලෙට ඇවිල්ල වැඩක් කරගත්තම හරි වැඩේ කෙරුනෙ නැත්තං ඒ ගැන ඔහේගෙ හිතේ තියන දේවල් කියන්න. ඒක මම පුරවල හරියන්නෙ නෑනේ”

“ඒ උනාට මහත්තය මට තේරෙන්නෙ නෑ ඕව. අඩුගානෙ මට කියන්න මේක පුරවන හැටි”

ඔන්න මම කියවන්න පටන් ගත්ත.
“මෙම කාර්යාලයේ උපකරණ භාවිතය ගැන ඔබේ අදහස කුමක්ද? ඒ, ඉතා අසතුටුදාටකයි බී අසතුටුදායකයි සී තරමක් හොඳයි ඩී හොඳයි ඊ ඉතා හොඳයි.............”

මංතුමා කල්පනා කලා මේ ප්‍රශ්නෙ ගැන, “හෑ! කාර්යාලෙ තියන උපකරණ ගැන මේ මනුස්සය දන්නෙ කොහොමද? මුන්ට පිස්සු!”
මේ වැඩේ හරියන එකක් නෙවේ. මම ඊට පස්සෙ ඇහුව මොකටද ආවෙ? අපු වැඩේ කෙරුනද? ඒකට දවස් කීයක් ආවද කියල.
බැලින්නං මොකද්දෝ ලේසිපාසු නැති ඉඩම් කේස් එකකට මෙයා ඇවිල්ල තියෙන්නෙ. දවස් දහයක් විතර ඇවිල්ලත් තියනව. ඒ වගේම තව දවස් ගානක් එන්නත් තියනව කේස් එකේ බරපතලකමට. අන්තිමට මම ප්‍රශ්න පත්තරේ ආපිට දීපු කෙනාටම දෙන්න කිව්ව. මේ වගේ දෙයක් කරද්දි ටිකක් දැනුම තේරුම ඇති කෙනෙකුට දෙන්න ඕන. නැත්තං වැඩේ මුළුමනින්ම අසාර්ථකයි.

*************************************************************************

මේ තවත් කතාවක්. ඔන්න සේවාදායකයන්ගේ තෘප්තිය පිලිබඳ පුහුණුවකට ගියා කාර්යාලෙක එක්තරා නිලධාරිණියක්. මේ පුහුණුවෙදි උගන්නන්නෙ මිනිස්සුන්ට යහපත් ආකාරයට සලකන්නෙ කොහොමද කියන කාරණාව. සේවා දායකයා කරන්න බැරි දෙයක් කරල දෙන්න කියල ඉල්ලීමක් කලත් කාරුණිකව ඉල්ලීම ප්‍රථික්ෂේප කරන්නෙ කොහොමද වගේ කාරණා තමයි ඉගනගත්තෙ.
ඔන්න සතියක විතර ට්‍රේනින්එක අවසානයේ අර නෝන වැඩට ආව. එයා හිතාගෙන ආවෙ තමුන් ඉගනගත්ත දේවල් ප්‍රායෝගිකව අත්හදා බලන්න. ඔන්න එනව සේවා දායකයෙක්, නෝන ටක් ගාල එයා පිලිඅරගෙන වාඩිවෙන්න කියල බලෙන්ම ඉස්සරහ තිබුන පුටුවෙ වාඩිකලා. සේවා දායකය මොනවදෝ කියන්න හැදුවත් නෝනගෙ කාරුණික වචන ඔහුගේ චචන අභිබවාගියා. නෝනගෙ දිග වාක්‍ය කිහිපයකට පස්සෙ සේවා දායකයට පුළුවන් උනා තමුන්ගෙ කටටත් අවස්තාව ගන්න.

“නෝන මම ආවෙ..... හොඳ තළ කැරලි තියනව ගන්නවද?...... හොඳ කිතුල්පැණිත් තියනව,.....කලවං නෑ,....... කාල බලල ගන්න පුළුවන් නෝන.........”

බැලින්නං මේ හාදය බඩු විකුණන කෙනෙක්! මේවගේ උදවිය අපේ කාර්යාල වලට එනව ඕන තරම්. අපරාදෙ නෝනගෙ කාරුණික වදන් ටික!

Monday, June 10, 2013

දිවිය ලෝකෙත් ප්‍රශ්න!

සදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයන් බඹලොව බලා සැපත් වූයේ මහා බ්‍රහ්මයා සමඟ සුහද පිළිසඳරකටය. ඒ දෙව්ලොව සහ බඹලොව ඇති මිත්‍රත්වයේ නාමයෙනි. එහෙත් වැඩි වේලාවක් පිලිසඳරේ යෙදීමට නොහැකි විය.

“ශක්‍ර ඔබ දැන් යායුතුයි. විසඳීමට ප්‍රශ්නයක් ඔබේ දිව්‍ය ලෝකයේ ඇත”

“නැත මිතුර! සියළු ප්‍රශ්න විසඳා අවසන්ය. පාණ්ඩුකම්බලාසනය පාවිච්චියද අත්හල පසු ප්‍රශ්න ඇත්තේම නැති ගානය”

“එසේ නොවේ, මෙය අලුත් ප්‍රශ්නයකි. නුවණැතිව කටයුතු කල මැන!”

ශක්‍ර තෙමේ කල්පනා කරමින් රථයට ගොඩවිය. අලුත් ප්‍රශ්නයක්, අලුත් ප්‍රශ්නයක්.

“විගහට යං මාතලී......ලෑල්ලට පාගල යං......”

ඔහු දෙව්ලොවට පැමිණෙන විට අමුතු යමක් සිදුවී ඇති බැව් පෙනිනි.තැන තැන රැස්වූ දිව්‍ය පුත්‍රයන් පිලිසදරෙහි යෙදී සිටි අතර දිව්‍යාංගනාවන්ද වෙනදා තුබූ සුළු සුළු අමනාපකම් අමතක කරමින් කතාබහේ යෙදී සිටියෝය. එහෙත් ඔවුන් පැලඳි මල් මාලා මැලවී ඇති සෙයකි. වෙනදා ඇති මඳ සුලඟද තරමක් චන්ඩ වී ඇති සෙයකි. දෙව්ලොව එක් අන්තයක පිහිටි කල්ප වෘක්ෂය යට එකම අවුල් ජාලයකි.

“මොකද කලබලේ!....” රථයෙන් බසිමින් ශක්‍ර විමසීය.

“ඔබ වහන්සෙට ආරංචිද?” එක් දිව්‍ය පුත්‍රයෙක් වහා ලඟට පැමිණ ශක්‍රයා අතැති පැස අතට ගෙන ඔහුගේ සුරත නිදහස් කලේය.

“මට බ්‍රහ්ම කිව්ව ප්‍රශ්නයක් කියල, ඒකයි මම ආවෙ”

“සුරා පානය කල රුක් දෙවියන් රාශියක් අනවසරයෙන් දිව්‍ය ලෝකයට පැමිණියා ස්වාමීනි. ඔවුන්.....”

“ඇයි මොකද කලේ? කාගේ අවසර ඇතිවද ඔවුන් දිව්‍ය ලෝකයට පැමිණියේ? මනුලොව වෘක්ෂ තුල වාසය කරන ඔවුන්ට දෙව්ලොවට පැමිනීමට අවසර ඇත්තේ කල්පයකට වරක් බැව් අමතක වීද ”

“අතීතයේ අසුරයන් පැමිණි මඟ දිගේ ඔවුන් පැමිණ තිබෙන්නේ”

“ඊට පසු?”

“ටික දෙනෙකු කල්ප වෘක්ෂය අසලට ගොස් එයින් මනුශ්‍ය ලෝකයට ඇවැසි යම් යම් දේවල් ලබාගත්තා. කිහිප දෙනෙකු දිව්‍යාංගනාවන්ටද කරදර කර තිබෙනවා ස්වාමීනි” දිව්‍යාංගනාවක් පැවසුවාය.

“මොනවා?”

“එසේය ස්වාමීනි මල් නෙලමින් සිටි දිව්‍යාංගනාවන් කිහිප දෙනෙකුගේ අඟපසඟ වලින්ද අල්ලා තිබෙනව” ශක්‍රයාගේ අග මෙහෙසි දිව්‍යාංගනාව පැවසුවේ ඔහුගේ කනට ලං වෙමිනි.

“කල්ප වෘක්ෂයේ අතු කඩා දමා වනසා ඔබේ අමතර රථයටද හාණිකර ඔවුන් ගොස් තිබෙන්නේ”

“කල්ප වෘක්ෂයෙන් කංසා වගයකුත් ලබාගෙන තිබෙනවා ස්වාමීනි!”

“මහා විනාශයක් නොවෙද මොවුන් කර ඇත්තේ. කෙසේද මෙවන් බලයක් මොවුන්ට ලැබ්නේ?”

“ස්වාමීනි, ඔවුන් මනුලොවේ ආධාර උපකාර නිසයි මෙසේ හැසිරෙන්නේ” එවර කටහඬ අවදි කලේ රුක් දෙවිවරුන් සමඟ සම්බන්ධකම් ඇති මාතලීය.

“ඒ කියන්නෙ මාතලී?”

“මනුශ්‍ය ලෝකයේ, සිරි ලංකාවේ ප්‍රාදේශීය දේශපාලකයන් සමඟ ඔවුන් සම්බන්ධ වී ඇතිලු!”

“මො මොනවා...

“මාතලී...... පැන් කෙන්ඩිය ගේනෙන්න...... එතුමා විසඥ වූ හැඩයි”

Monday, May 27, 2013

අපේ හාමුදුරුවරු සහ බෞද්ධයෝ!

“ඉන්ද්‍රසාර ගිණි සහ ස්වර්ණවාහිනී!” යන හිසින් මෙම අඩවියේ මා පලකල ලිපියට ලැබුන ප්‍රතිචාර කිහිපයකි මේ,
“උඹ ඇතැම් පොස්ට් වල ගරු කල යුතු පුද්ගලයින්ට හන්දියේ වල බැහැල ඉන්න සෙට් එකේ එකෙක්ව ආමන්ත්‍රණය කරන විදියට ආමන්ත්‍රණය කරන්නේ උඹ ඒ හැම කෙනෙකුටම වඩා ශේෂ්ඨ වගේ හිතෙන නිසාද නැත්නම් ඒ උඹේ හැටි ද?.

“ඔබ මෙහි ඉන්ද්‍රසාර යනුවෙන් අමතන්නේ ඔබගේ මවගේ සොර සැමියාට නොවන බව මාගේ වැටහීමයි”

උක්ත සිද්ධිය අලලා කතන්දරකාරයා පලකල ලිපියට‍ දැමූ ප්‍රතිචාරයකි මේ,

“අතුරු ලියේ රතන" උඹෙ තාත්තට කතාකරන විදියට ලියන්නේ එහෙනන් උඹ තනිකර පරයන්ට කඹුරන කතෝලිකයෙක් නේද? දැන්නෙ දන්නෙ”

ඉහත ප්‍රථිචාර තුනටම වඩා විශේෂ මේ ප්‍රතිචාරයපලවී තිබුනේ w3lankaඅඩවියේ තිබූ ලිපියටයි.

“අදහස නම් හොඳයි ඒත් භික්ෂුන් වහන්සේ නමකට නමින් ඇමතීමට තරම් උද්දච්ච කමක් ඔබට ආවේ කොහොමද? කහ පටියක් බෙල්ලේ ගැට ගහ ගෙන හිටපු නුවර උගයේ ගනින්නාන්න්සේලා පවා සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා ගුණයෙන් උසස් බව ඔබ ඉගෙන ගත ආනන්ද විද්‍යාලයේදී උගත්තේ නැද්ද?”

මෙම අදහස් වලින් කියවෙන්නේ කුමක්ද? ශ්‍රී ලාංකීය බොදු බහුතරයක් තවමත් බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පමණක් නොව උන්වහන්සේගේ ගෝලයන් යයි කියාගත් වත්මන් සංඝ පරපුර වදාරන ‘ධර්මය’ කුමක් වුවත්, කිසිදු තර්කයකින් තොරව පිලිගැනීමට සූදානම් බවය. මොවුන් කරන්නේ කාලාම සූත්‍ර දේශනාවෙන් බුදුන් වහන්සේ දෙසූ, යමක් තර්ක කර සිතින් විග්‍රහකොට පිලිගැනීම අමතක කර දමමින් චීවරය දරන්නාවූ ඕනෑම අයෙකු කියන්නක් දොහොත් මුදුන් දී පිලිගැනීම නොවේද?
වසල සූත්‍රයේදී බුදුන් වහන්සේ දේශනා කරන ලද්දේ යමෙකු වසලයෙක් වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් යනුයි. කහ පටියක් ගෙලෙහි එල්ලාගත් පමණින් ඔහුගේ සිල්වත්කම පිලිබඳව තීරණය කිරීම කොතරම් අනුවනකමක්ද! එය බුදු දහමට ඇති නොගැලපීම ඔවුන්ට නොපෙනේද? මෙවැනි ‘බෞද්ධයන්ට’ අනුකම්පා කිරීමත් නුවණ පහලවේවායි පැතීමත් හැර අන් යමක් කල නොහැක.
වැදගත් කාරණාවට බහින්නේ දැන්ය.

ඉහත ප්‍රතිචාර වලින් කියවෙන්නේ බහුතරයක් බෞද්ධයන් බුදු දහම සම්බන්ධ‍වත් සංඝ්‍යා වහන්සේලා සම්බන්ධවත් ඇති ගෞරවනීය බවයි. “අපි වඳින්නෙ සිව්රට” යනුවෙන් පවසන බෞද්ධයන් මට ඕනෑ තරම් මුනගැසී ඇත. චීවරය දැරීමට නුසුදුස්සන් හට පවා දොහොත් මුදුන් දී වැඳීමත් ගෞරවනීය අයුරින් ඇමතීමටත් බෞද්ධයන් නොපැකිලේ. එය ඔවුන්ගේ වරදක් නොවේ. චිරාත් කාලයක් ලාංකීය සංස්කෘතියට බද්ධ වී ඇති දහමටත් එහි අනෙකුත් අංග වලටත් ඇති ගෞරවය තර්කයෙන් ඉක්මවා යාමට ඇති අකමැත්තයි.
ප්‍රශ්නය ඇත්තේ එතන නොවේ. බෞද්ධයන්ගේ මෙම ගරු සැලකිලි වලට ලක්වීමට තරම් සුදුසු තත්වයක බොහෝ භික්ෂූන් නොමැති වීමයි. බුදු දහමේ හැටියට බොරුවක් කීම පවා පාපයකි. පාපයට මුල් වන්නේ චේතනාවයි. නැති සිල්වත් බවක් පෙන්වමින් තමාට අයත් නොවන ගෞරවයක් ගිහියන්ගෙන් ලබාගැනීම ඊටත් වඩා පාපයකි. මක්නිසාද යත් මොවුන් ක්‍රීඩා කරන්නේ අහිංසක මිනිසුන්ගේ චෛතසිකයන් සමඟ වීමය.