Wednesday, July 16, 2014

තංගල්ලෙන් ලංකාව දැකීම!

පසුගිය දිනෙක වෙරළ සංරක්ෂණ අධිකාරිය විසින් තංගල්ල මැඬිල්ල ප්‍රදේශයේ මුහුදට ආසන්නව ඉදිකර තිබූ, හෝටල් කිහිපයකට අයත් 'තාවකාලික අවන්හල්' [හෝටල් භාෂාවෙන් (Restaurants)]කිහිපයක් ඉවත් කෙරිනි. මෙම ඉවත් කිරීමේ සිද්ධිය හා බැඳුනු කතාන්දරය 'ලංකාව' යනුවෙන් අනන්‍ය වූ භූමියේ වත්මන් තත්වය තේරුම් ගැනීමට නිර්මානය කල කැඩපතක් වැනිය.

මුහුදු වෙරළට ආසන්නව දැවයෙන් ඉදිකර තිබූ (මීටර 40 සීමාව තුල) මෙම තාවකාලික අවන්හල් වෙරළ සංරක්ෂණ හෝ වෙනත් නීතියකින් ආවරණය වන්නක් නොවේ. වෙනත් විදියකින් කිවහොත් නීත්‍යානුකූල නොවන ඉදිකිරීම්ය. කෙසේ වෙතත් සුනාමි අනතුරු පිළිබඳ විශේෂ බියක් නොමැති මෙවැනි වකවානුවක ඉදිකල මෙම අවන්හල් හෝටල් හිමියන්ට අමතර ලාභයක් උපයාදුනි. මේවායේ නීත්‍යානුකූල භාවය ගැන ප්‍රශ්න කිරීමට කිසිවෙකු සිටියේ නැත.

ප්‍රශ්නය මතුවන්නේ හෝටල් හිමිකරුවෙකු විසින් වෙරළ සංරක්ෂණ අධිකාරියෙහි නිලධාරියෙකුට "බැනවැදීමේ" සිද්ධියකට පසුව විගසින් සිදුවන 'ආක්‍රමණයයි'. නීත්‍යානුකූල භාවය පිළිබඳ ප්‍රශ්නය පෙරට දමමින්, පොලීසියේ පමණක් නොව හමුදාවේද සහභාගීත්වයෙන් ඉදිකිරීම් ඩෝසර් කර දමන්නේ හෝටල් හිමිකරුවන්ට තම බඩු බාහිරාදිය පවා ඉවත් කරගැනීමට අවස්ථාවක් නොදෙමිනි. රජය විසින් සිදුකරන අනවසර ඉවත් කිරීමක් ආක්‍රමණයක් වන්නේ එසේය. සිද්ධියෙන් බියපත්වූ විදේශිකයන් හෝටල් අත්හැරගිය බවද සත්‍යකි. කොහොමටත් සුද්දන්ට බියවීමට මැඬිල්ලට වඩා තැනක් ලංකාවේ වෙත්ද? සිද්ධියෙන් දින කිහිපයක් ගතවූ විට අහවල් බේබි කෙනෙකුගේ අවසරය ඇතිව නැවත ඉදිකිරීම් සිදුකිරීමට හෝටල් හිමියන් පියවර ගනිමින් සිටියි. කතාව එපමණය.

දේශපාලකයන් නොව රාජ්‍ය සේවකයන් පවා විටෙක ක්‍රියාකරන්නේ දේශපාලනඥයන්ටත් අන්ත විදියටය. ඔවුන්ට නීතිය මතක් වීමට තමන්ටම රිදෙනතුරු සිටිය යුතුය. රාජ්‍ය සේවකයන් සතුව පවතින 'ක්‍රියාත්මක කිරීමේ නීති' හොඳට මෙන්ම නරකටද යොදාගත හැකි ආයුධ වැනිය. නීතිය ක්‍රියාත්මක කිරීමේ සාධාරණ ක්‍රමවේදය ගැන තැකීමක් ඇත්තේම නැත. එසේ අවශ්‍යතාවය තිබුනද දේශපාලනය ඊට ඉහලින් ඇති අවස්ථාවක කරන්න දෙයක්ද නැත.
එක් පැත්තකින් සංචාරක ව්‍යාපාරය සම්බන්ධ නිශ්චිත නීතිරීති පද්ධතියක් නැත. එසේ නැත්නම් තිබෙන නීති ක්‍රියාත්මක වන්නේ නැත. අනෙක් පැත්තෙන් සංචාරකයන් ලක්ෂ විස්සක් පැමිණෙනතුරු බලා සිටින්නවුන් සිදුකරන්නේ සුද්දන් පැමිණි පසු ඔවුන්ට මරබිය ඇතිකිරීමයි. ලංකාව කියන්නේ මේකටය.

Monday, July 14, 2014

සපාකෑම පිළිබඳ රංජියාගේ සම්භාව්‍ය විවරණය

නිවාඩු දවසෙ උදේ පාන්දර ලොකු මාමගෙ කඩේට ගියා. වෙනද වගේම සුපුරුදු සෙට්එක බංකු උඩ. කට්ටිය තාම කතා වෙන්නෙ දයාසිරිය හරීන්ගෙ උරහිස කාපු එක. ලොකුමාමට කියල ප්ලේන්ටියකුත් හදාගත්ත මාත් බංකුවට එන්ටර් උනා.

"ඕං බලපං පුතේ කාලෙකට ඉස්සර නංගියි මල්ලියි වගේ හිටිය එවුන් දැං නයි පොලොංගු වගේ කාගන්නව, තන්හාව තන්හාව බං!" ඒ, සිල්මිදිල එන ගමං බංකුවෙ ඉඳගත්ත ඒබරං සීය.

"මහින්ද මහත්තය නං හිතනව ඇති තමුං හොඳ බල්ලෙක් හදාගත්ත කියල, බුරන්න විතරක් නෙවේ ඔය හපන්නත් පටං අරං තියෙන්නෙ!....හහ් හහ් හහ්....." මහතුං මාමගෙ හිනාව දෝංකාර දුන්න.

"මහින්ද මහත්තය කොච්චර නං බල්ලො හැදුවද, ඔය පැන පැන බුරන්නෙ රට සේරම!" ධර්මෙ අයිය කිව්ව.

"මේ නිව්ස් එක මයික් ටයිසන් දැක්ක නං බොහොම තන්තොස වෙයි.... " එහෙම කිව්වෙ රුවන් මල්ලි.

"ඇයි අපායෙ ඉන්න ඉඩියමින් දැක්ක නං කියයි උගේ මල්ලි කෙනෙක් කියල!"

"දෙරණට නං හොඳ ප්‍රසිද්ධිය" එහෙම කිව්වෙ ලොකුමාම.

"උඹල දන්නවද ඔය කේස්එක අහපු ගමං අපේ රනිල් ලොක්ක කිව්ව කතාව?" මෙච්චර වෙලා නිස්සද්දව හිටිය රංජිය ඇහැව්ව.

"අනේ උන්නැහේ මොනව කියන්නද! ගෙදරිං ගිය බල්ල ගෙදර බල්ලව හැපුව කියයි" රුවන් මල්ලි කිව්ව.

"නෑ නෑ බොල එහෙම එකක් නෙවේ මම කිව්වෙ"

"එහෙනං?"

අතේ තිබුන සුරුට්ටු කොටේ වීසි කරල දුං පාරක් යවපු රංජිය, තමුංගෙ උත්තරෙන් කඩේ ලඟ සබාවත් විසිරෙව්ව.

"අනේ දයා මං ඒ කාලෙ කොච්චර නං කිව්වද මාවත් හපන්න කියල.... හිටිය නං ඔය එක එක්කෙනා හපන්න ඕන නෑනේ,....."

Thursday, July 10, 2014

අපිටත් ඉ හැඳුනුම්පතක්......

ඉ රාජය‍ට යන ගමනට උවමනා කරන අනිවාර්ය අංගයක් තමයි ඉ හැඳුනුම්පත. ඔන්න අපේ රටේ වැසියන්ටත් ඉ ජාතික හැඳුනුම්පතක් නිකුත් කරන්න යනව. ඒ කියන්නෙ දැන් තියන හැඳුනුම්පත අවලංගු කරල මේ අලුත් එක දෙන්නයි සූදානම් වෙන්නෙ. පහුගිය කාලෙ ආරක්ෂක අමාත්‍යාංශයෙන් මිනිස්සුන්ගෙ ඇඟිලි සලකුණු ගන්නව කියලත් හා හෝවක් ගියා මතක ඇතිනෙ. අන්න ඒත් මේ වැඩේට තමයි. ඕකට ආරක්ෂක අමාත්‍යාංශෙ ගෑවුනේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව(පුලිදෙ) ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තියන එකක් නිසා. මට මතකයි දවසක් මොකද්ද ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකට ඇහැව්ව පුලිදෙ අයිතිවෙන අමාත්‍යාංශය මොකද්ද කියල. මමත් දැනගත්තෙ ඒකෙන්. හැබැයි දැං නං පුලිදෙ ලිපි ශීර්ෂයේ උඩින්ම තියෙන්නෙ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය කියල. මේ නාගරික සංවර්ධන කෑල්ල නං ඉතිං එච්චර ගැලපෙන්නෙ නෑ වගේ නේද? හරියට මීකිරියි වම්බටු මෝජුයි වගේ. අපිට මොකටද ඒව!

වැඩේ සිද්ධ වෙන්නෙ මෙහෙමයි. මේ එන සැප්තැම්බර් වල වගේ පටන් ගන්නව මිනිස්සුන්ගෙ විස්තර ගැනිල්ල. එතනදි සිද්ධ වෙන්නෙ එක ග්‍රාම නිලධාරී වසමකින් පවුල් 15ක් විතර එක තැනකට ගෙන්නල එයාලගෙ විස්තර ගැනීම. 15 කණ්ඩායම් අනුව තමයි ග්‍රාම නිලධාරීන් පුලිදෙට යවන්න ඕන. මේකත් හෙන කේස් එකක් මේකද 15න් එකක් හරි වැරදුනොත් ඔක්කොම කැන්සල් වෙනව. හරියට අර ඡන්දෙට නාමයෝජනා භාරදෙනව වගේ වැඩක්. ඇඟිලි දහයෙම සලකුණු ගන්නව. ආරංචි විදියට බාර්කෝඩ් එකක් එක්ක එන කිරි කිරි අයිඩෙන්ටිටියක් ලැබෙන්නෙ. මේ ඇඟිලි සලකුණු ගන්න ගෙනාපු තීන්ත පෑඩ් ගැන තමයි මේ නිව්ස් එක.

මේක වැඩසටහන ලඟදි වේගවත් උනාට මම රස්සාවට ආපු මුල් කාලෙ ඉඳලයි මේකට මූලික කටයුතු ආරම්භ කරල තිබුනෙ. හැම ප්‍රාලේ කාර්යාලයකම ඒසී කරපු කාමරයක් එහෙම හදලයි තිබුනෙ. ඒ ඒසී නං සමහර තැන්වල මේ වෙද්දි වැඩ කරන්නෙත් නෑ. කොහොම උනත් අලුත් සංවර්ධන නිලධාරීන් දෙන්නෙකුත් මේ වැඩේට යොදවල තියනව.

මේක බොහොම බරපතල වැඩක්. මොකද එකම කාලයකදි දැනට තියන පුලිදෙ හැඳුනුම්පත කැන්සල් කරල අලුත් එකක් දෙනව කියන්නෙ හැම මනුස්සයෙකුගෙම දත්ත කොතනකවත් ගබඩා වෙලා නැති, ලංකාවෙ වගේ රටකට සෑහෙන අභියෝගයක්. දැනට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන ලයිසන් එකත් මේ වගේ කේස් එකක්. එතනදි එයාල වැඩේ සැහැල්ලු කරගත්ත. අලුතෙන් නිකුත් කරන හෑම ලයිසන් එකක්ම නව ක්‍රමය යටතේ ලබාදෙනව. ඊට පස්සෙ නැතිවෙන පරණ වෙන ලයිසන් එහෙමත් අලුත් ක්‍රමයට දෙනව. ටික කාලයක් යද්දි වැඩේ හරි.
නමුත් මෙතනදි එහෙම බෑ. දැන් තියන සියළු පුලිදෙ හැඳුනුම්පත් වෙනුවටයි අලුත් එක එන්නෙ. හැඳුනුම්පත් ලබාගැනීමේ අවම වයසත් 15 දක්වා පහලට ගෙනල්ල. ඒ වගේම පින්තූර ගන්න තියන ස්ටූඩියෝත් ලියාපදිංචි කරනව. ඒවායෙන්ම තමයි ගන්න ඕන. ඉස්සර වගේ එක කනක් පේන්න පින්තූර ගන්නෙ නෑ. (ඔය එක කණක් පේන්න පින්තූර ගැනිල්ලත් නිකංම සිද්ධ වෙච්ච දෙයකුලුනෙ! එහෙම නීතියක් කොහේවත් නැතිලු! සිරිතක් විදියටයි ගත්ත කියන්නෙ) කෙලින්ම මූනත්තහඩුව තමයි ගන්නෙ. බුර්කා වගේ ඇඳුම් අඳින නෝනලටත් මූන පෙන්නන්න වෙනව.


මම රාලහාමිල සෙට් වෙච්ච වෙලාවක මේ ගැන කතාකලා.

"මහත්තයෝ මේක නං අපේ පනයන වැඩක්..... මෙච්චර වැඩක් එකපාර කරන්නෙ කොහොමද? ටික ටික දුන්නනං හරිනෙ" ඒ එක රාලහාමි කෙනෙක්.

"මේක සෑහෙන්න වියදං යන වැඩක්.... දැං බලන්න ගෙදර ඉන්නව නං හතර දෙනෙක්. උප්පැන්න හතරක් ඕන. මහ දෙන්නගෙ කසාද සහතිකේ ඕන. ඔය සහතික හයේම අංක දින දන්නව කියල හිතුවත් එතෙන්ට රුපියල් හයසීයයි. පින්තූර වලට කීයක්ද? මුද්දර ගාස්තු.... මිනිස්සුන්ට ණයවෙලා තමයි මේ උලව්ව ගන්න වෙන්නෙ" ඒ තව රාලහාමි කෙනෙක්.

"හැබැයි ඇඟේ ගෑවෙන්න බැරි නෝනලාගෙ අත් අල්ලන්න නං පුළුවන්" ඒ මගෝඩි රාලහාමි කෙනෙක්.

මේ ඇඟිලි සලකුණු ගැනීමත් කලාවකට කරන්න ඕන දෙයක්. පුලිදෙ එකේ මහත්වරු රාලහාමිලා ගැන යස අපූරුවට තේරුම් අරගෙන තියනව. ඇඟිලි සලකුණු ගන්නකොටත් නීතියක් දාල තියනව. මෙහෙම,

ඔන්න යම් කාන්තාවකගෙ වම් අතේ සලකුණු ගන්නකොට එයා ඉන්න ඕන රාලහාමිට දකුණු පැත්තෙන්. එතකොට දකුණු අතේ?
දකුණු අතේ ඇඟිලි සලකුණු ගන්ද්දි කාන්තාව (මේක කාන්තා පිරිමි දෙගොල්ලටම අදාලයි) රාලහාමිගෙ වම් පැත්තට යන්න ඕන. නැත්තං දකුණු පැත්තෙ ඉඳගෙන දකුණු අත අල්ලනකොට නැත්තං වමේ ඉඳං වමත අල්ලනකොට දොඩම්, දෙළුම්, තැඹිලි, වැටකොළු ආදී එකී මෙකී නොකී දේවල් ති‍යාගන්න වෙන්නෙ රාලහාමිගෙ කරේ ☻ .ඒ වගේම කාන්තාවකගේ ඇඟිලි සලකුණු ගනිද්දි තවත් කාන්තාවකගේ සහය ලබාගන්න ඕන කියලත් තියන කතාවක් ඇහුන. කොහොම උනත් මේක අහගෙන ඉඳපු මම නං කිව්වෙ මේ සීන් එක නිසා ලංකාවෙ රාලහාමිලා දෙතුන් සීයකගෙ වත් රස්සාවල් නැති වෙයි කියල.


පින්තූරය: "ඉ හැඳුනුම්පත" Google search results වෙතිනි.

Thursday, July 3, 2014

එහෙන් මෙහෙන් ඇහෙන කතා......

.මේ දවස්වල ටීටී එකේ යන ඇඩ් එකක් තමයි ආර්ථික සංගණනය ගැන කියවෙන ඇඩ් එක. සංගණනයට එන නිලධාරීන්ට සත්‍ය තොරතුරු ලබාදෙන්න කියලයි එතනදි මිනිස්සුන්ගෙන් ඉල්ලන්නෙ. ඕක දකිනකොට මට මතක් උනේ 2001 තිබුන ජන සංගණනය. උසස් පෙල කරල ගෙදර ඉඳපු මාත් මේකට සහභාගි වුනා සංගණන නිලධාරියෙක් හැටියට. සංගණන වල තියන මූලික අවුලක් තමයි මිනිස්සු ඇත්ත තොරතුරු ලබා නොදීම. උදාහරණයක් විදියට තමුන්ගෙ මාසික ආදායම හෙලි කලොත් සමෘද්ධි මුද්දරය කැපෙන්න පුළුවන් කියල හිතනව වගේ සීන් තිබුන. මිනිස්සු එහෙම හිතන එකේ වැරැද්දකුත් නෑ. මොකද මේව කොතනින් නවතීවිද කියල ඒ මිනිස්සු දන්නවයැ.

කොහොම උනත් සංගණනය වෙලාවෙදි අපිට කියපු විදියට මේකට පොඩි නීතිමය රැකවරණයක් දෙන්න සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කටයුතු කරල තිබුන. "සංගණනය සඳහා ලබාගන්නා තොරතුරු වෙනත් කරුණක් සඳහා අදාල කරගත නොහැක" කියල නීතියක් දාල තිබුන. ඒ කියන්නෙ සංගණනයේදි කිව්වොත් සමෘද්ධිය තියන කෙනෙකුගෙ මාසික වැටුප 20000යි කියල. සමෘද්ධි කාඩ් එක කපල කියන්න බෑ "උඹේ ආදායම සංගණනය අනුව 20000නිසා සමෘද්ධිය කැපුව" කියල. කොහොම උනත් ඇත්ත දැනගන්න අමාරු තත්වයකට අපි පත්වුනා.

ඒක උනේ මෙහෙමයි. ඔන්න අපි ගෙදරකට යනව. ගිහිල්ල අහනව විස්තරේ. ඔන්න වැසිකිළියෙ වර්ගෙ අහනකොට කියන්නෙ මෙහෙමයි.
"ලැට් එකනං හදල තියෙන්නෙ පුතේ...., ඒත් ඉතිං ඕක දාන්න ඕන නෑ..... වල කක්කුසියක් කියල ලියාගන්න"
එහෙමත් නැත්තං සිමෙන්ති පොලවෙ ඉන්න ගමන් කියනව මෙහෙම.
"බිමට සිමෙන්ති දාල කියල කියන්න ඕන නෑ. ගොමමැටි ගාල කියල දාගන්න"

අන්තිමට මම මේකට වෙන විසඳුමක් හොයා ගත්ත. කටු සටහන් කොලයක එයාල කියන විස්තර දාල නියමිත පත්‍රිකාවෙ නිවැරදි විස්තරේ දානව.

වැසිකිලි කිව්වම මතක් උනේ. අපිට පුහුණුවක් දෙන්න ආපු මහත්තයෙක් කියපු කතාවක්. ඒ කාලෙ අපේ පැතිවලට ආපු එන්ජීඕ එකකින් වැසිකිළි ආධාර දුන්න. මුලින්ම දෙනව සිමෙන්ති කොට්ටයකුයි වැසිකිළි පෝච්චියයි. ‍අර උක්කුටික පෝච්චි කියල කියන්නෙ. අන්න ඒව දුන්නෙ. මේ ටික දීල කියනව වැසිකිළිය හදල පෙන්නන්න කියල. වැඩ ඉවර කරල පෙන්නන අයට තවත් ගානක් දෙනව. සාමාන්‍යයෙන් උවමනාව තියනව නං 'මහන්සිය' විතරක් වගේ තමයි වැයවෙන්නෙ. අර මහත්තය කිව්ව විදියට ආධාර ගන්න උදවියගෙන් සීයට පහක් විතර තමයි වැඩේ කරල තියෙන්නෙ. මට මතකයි සමහර තැන්වල වැසිකිළිය හදල පාවිච්චි නොකර ඉන්නව 'මහත්තුරුන්ට පෙන්නුවට පස්සෙ' පාවිච්චි කරන්න. හරි ආයෙත් මහත්තයගෙ කතාව, මහත්තය මේ ආධාර වැඩේට විරුද්ධ උනාලු. එයා කියන විදියට වැසිකිලි පාවිච්චියෙ තියන වැදගත්කම ගැන මිනිස්සු දැනුවත් කරනව මිසක් ආධාර දීම සාර්ථක නෑ. මේ ගැන එන්ජීඒ මහත්තුරුන්ට කිව්වත් වැඩක් වෙලා නෑ. අවුරුද්දකට විතර පස්සෙ ගමකට ගිය මහත්තය දැක්කලු ගෙවල්වල මේස යට ඇඳන් යට අර වැසිකිළි පෝච්චි තිබුන හැටි. ඒ ගැන ගෙහිමියන්ගෙන් ඇහුවම ලැබුනලු අපූරු උත්තරයක්.

"උන්ට පිස්සු! රුපියල් දාහකිං ඇහැක කක්කුසියක් හදන්න!...... උං ඕකෙන් හොඳ ගානක් ගරාගන්න ඇති!"

වැසිකිළි කිව්ව ගමන් මට මතක් වෙන්නෙ කාලෙකට ඉස්සර බ්ලොග් ලියපු මකබාස්ගෙ අන්තිම පෝස්ටුව. අපරාදෙ මකය දැන් ලියන්නෙ නෑ නෙව!