Tuesday, August 30, 2016

හැක් කරන්නාට ප්‍රේම කරමු(?)

ජනාධිපතිවරයාගේ වෙබ් අඩවිය හැක් කිරීම සම්බන්ධව අත්අඩංගුවට පත්ව ඇත්තේ බාල වයස්කාර සිසුවෙකි. පරිගණක දැනුමැත්තන්ට අනුව ලංකාවේ වෙබ් අඩවි හැක් කිරීම මහලොකු දෙයක් නොවේ. ඇරත් වැඩ දන්න එකාට ඇමරිකාවේ ලොක්කාගේ වෙබ් අඩවිය වුවද ලොකු නැත. බස්නාහිර පළාත් සභාවේ වෙබ් අඩවිය හැක්කර ප්‍රසන්න රනතුංගගේ මුහුණ වෙනුවට "අන්තරාදායක" සලකුණ යෙදුවේද සිසුවෙකු විසිනි. කෙසේ වෙතත් හැකර්ගේ දක්ෂතාවයේ තරම සහ වෙබ් අඩවි පරිපාලකයන්ගේ තරම අනුව ඉදිරියේදී කටයුතු කිරීමට ජනාධිපතිවරයාගේ වැඩකි.

විසුළු සහගත කාරණාව එය නොවේ. සයිබරය පුරා‍ පැතිර යන හැක් කරන්නාට ප්‍රේම කිරීමේ වැලපිලිය. එකෙකුට අනුව හැකර් ඇමරිකාවේ සිටියා නම් ඔහුගේ සේවය ලබාගැනීමට බිල් ගේට්ස් කටයුතු කරනු ඇත. තවත් අයෙකුට අනුව ජනාධිපතිගේ වෙබ් අඩවියෙහි කටයුතු හැකර්ට භාරදිය යුතුය. හැකර් වීරයා කරගෙන ඇත.

මීට පෙර බාල වයස්කාරියක පොල් ගෙඩි කිහිපයක් සොරකම් කල අතර එය අධිකරණය දක්වා ගෙනයාමට පොලීසිය කටයුතු කර තිබුනි. එහිදී සමාජයේ අනුකම්පාව ඇයට හිමිවූ අතර සොරකමේ ස්වභාවයේ "සුළු" බව සහ දරිද්‍රතාවය හේතුවෙන් සොරකම් කිරීමට සිදුවූ බවත් උළුප්පා පෙන්වුවා මිස "වරද" මෙවැනි වීරත්වයට නැංවීමක් සිදු නොවීය.

පරිගණක අපරාධ/තොරතුරු සම්බන්ධව නීතිරීති මේ වනවිට ලංකාවේ නීතියට එක්කර ඇත. ඉලෙක්ට්‍රොනික් ගණුදෙනු පනත, පරිගණක අපරාධ පනත, තොරතුරු සන්නිවේදන තාක්ෂණ පනත... ආදිය මඟින් මෙවැනි අපරාධවලට දඬුවම් කිරීමට හැකිය. වෙබ් අඩවි හැක් කිරීම, ඊමේල් හෝ ෆේස්බුක් වැනි සමාජ ජාල ආදියෙහි සිටින්නන්ගේ ගිණුම් සොරකම් ආදිය නීති විරෝධී කටයුතුය. නීති විරෝධී කටයුතු සිදුකරන්නෙකුට ඊට අදාල දඬුවම් හිමිවිය යුතුය. වැරදිකරුවන්, බාල වයස්කරුවන් වනවිටද වෙනම නීතියක් ක්‍රියාත්මක කිරීමට නීතිය ක්‍රියාවේ ‍යොදවන්නන්ට ඉඩ සලසා ඇත. බස්නාහිර පළාත්සභා වෙබ් අඩවිය හැක් කල සිසුවා අත්අඩංගුවට ගැනීමට කටයුතු කලේ ඔහුගේ විභාගය අවසන් වූ පසු වීම ඊට උදාහරණයකි.

වරදකරුවන් හෝ සැකකරුවන් සම්බන්ධන්ධව ලංකාව කටයුතු කරන ආකාරය එතරම් යහපත් නැත. ආයුධ පෙන්වීමට ගොස් බෝම්බ ගැසූ බව කියමින් සැකකරුවන් මරාදැමීමට කටයුතු කල අපකීර්තිමත් ඉතිහාසයක් අපට ඇත. සුළු වරදකට බන්ධනාගාරගත වන තරුණයන් පාතාල කෙරුමන් වී එලියට එන සංස්කෘතියක් අපට ඇත. මෙය ලංකාවේ සිදුවූ පළමු හෝ අවසාන පරිගණක අපරාධය නොවේ. අප හඬනැඟිය යුත්තේ මෙම හැකර් දරුවාට වියහැකි හානියෙන් ඔහු මුදවාගැනීමත් වැරදි කරන ළමුන් ඉන් මුදාගැනීමේ ක්‍රියාදාමයේදී ඔවුන් අනාගත අපරාධකරුවන් වීම වැලැක්වීමත් විනා හැක්කරන්නන් උත්කර්ශයට නංවා ‍ධෛර්යමත් කර තව තවත් හැකර්ලා බිහිකිරීමට පාර කැපීම නොවේ.



Friday, August 26, 2016

බුර්කිනි ගැලවීම!


සංවාදය සඳහාමයි!
[සයිබර් වරිගෙ උණ්ඩියාගේ සටහනකි!]

ප්‍රංශය විරෝධය දක්වන්නේ කුමකටදැයි බොහෝ දෙනෙකුට හරි අවබෝධයක් නොමැති බව පෙනෙයි.ප්‍රංශය දක්වන විරෝධය ඊනියා බුර්කිනියට හෝ කාන්තාවන්ගේ වස්ත්‍ර පාලනයට ලඝු කළ යුතු නැත. ප්‍රංශය විරෝධය පාන්නේ ආගමික වශයෙන් නිර්-ධ්‍රැවීකරණය කරන ලද සමාජයක ඉස්ලාමයේ නාමයෙන් වර්ධනය කරමින් පවතින ආගමික ධ්‍රැවයටය. ආගමික වශයෙන් නිරාරෝපිත වූ ( නිෂ්ක්‍රීය වූ ) සංස්කෘතියක් පවතින නිදහස් රටක කෙරෙමින් පවතින ඉස්ලාම් ආගමට බැඳුණු මුස්ලිම් සංස්කෘතික ආරෝපණයටය.

ප්‍රංශය මේ මොහොතේ ආර්ථික, දේශපාලනික සහ සාමාජීය වශයෙන් ඓහික නැඹුරුවක, ලිබරල් ස්ථාවරයක පවතී. නමුත් යුරෝපයේ බොහෝ රටවල සිදුවෙමින් පවතින්නා සේම එරට තුළද ප්‍රධාන නගර වල මේ මොහොතේ මුස්ලිම් සමාජයේ "ඒකලනවාදයක්" (Isolationism of Islamic Community) සහ "සංරක්ෂණවාදයක්" (Conservatism of Islamic Principles) පදනම කරගත් "ඉස්ලාමික කළාප" බිහිවීම සිදුවේ. මෙය කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයකි.
ඉස්ලාමය අදහන පිරිස් විසින් විශාල නාගරික තුළ තමන්ගේ සමාජය ජීවත් වන ප්‍රදේශ ඊනියා කළාප වශයෙන් තමන්ට වෙන් කරගැනීමත්, අනතුරුව ඒ තුළ ඉස්ලාමික සංස්කෘතික අනන්‍යතාවය අධිපතිවාදී ලෙස ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමත්, එයට අභියෝගයක් වන අයට යම් යම් වාචික හෝ කායික ප්‍රහාර එල්ල කිරීමත් යුරෝපයේ මේ වකවානුව තුළ දසතින් වාර්ථාවන පැහැදිලි සත්‍යයක් බවට පත්ව ඇත.

ප්‍රංශය විරෝධය ඵල කරන්නේ මෙසේ ගොඩ නැගෙමින් පවතින "වෙනම ආගමික අනන්‍යතාවයටය". මක්නිසාද මේ ආගමික අනන්‍යතාවයේ සිට නොබෝදා ප්‍රංශයට ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ ආගමික ත්‍රස්තවාදයට ඇත්තේ කෙස් ගසක දුරක් බව ප්‍රංශුවන් දන්නා නිසාය.

යම් පිරිසක් යම් ප්‍රදේශයකට සංක්‍රමණය වීමෙන් පසුව එහි වෙසෙන ජනතාව සමග මුසුවී පොදු එකඟතාවයකට ඒම ප්‍රතික්ෂේප කරන්නේ නම් එතන ක්‍රියාත්මක වන්නේ ආක්‍රමණික අරමුණු විනා අන් කිසිවක් නොවේ. නමුත් එයට විරෝධය පෑම කළ යුත්තේ නූතනවාදී විද්‍යාත්මක පදනමක සිටගෙන විනා තවත් එක් ආගමික අන්තවාදයක් අස්සට රිංගා ගෙන නොවේ.

Thursday, August 25, 2016

වැලන්ටයින් ජ්‍යෝතිශඥයා

අත බල‍ා සාත්තර කීම ගැන රසිකලොජිස්ට්ගේ ලිපිය සහ එහි ප්‍රතිචාරවලින් ජ්‍යෝතිශඥයෙකු ගැන මතකයක් අලුත් විය.
ඔහුගේ නම කුමක්දැයි දන්නේ නැතත් ගමේ ව්‍යවහාරයෙන් ඔහු ඩිංගි මහත්තයාය. අපට ඩිංගිමාමාය. මාගේ පියාගේ දීර්ඝකාලීන මිතුරෙකි. පවුලේ හිතවතෙකි. වයස දහයේදී පමණ, බ්ලොග්කරුවා හා හාපුරා කියා මධුවිතක් තොලගෑවේ ඩිංගිමාමාගේ නිවසේදීය. මොකක්දෝ කාර්යයක් අවසානයේ ඩිංගිමාමාත් පියාත් රහමෙර පානය කරද්දී, ඩිංගි මාමාගේ පුත්‍රයාත් සමඟ එකතුව අනවසරයෙන් වීදුරු දෙකක් පුරවාගෙන ඉන් බාගයක් පානය කලා මතකය.

ඩිංගිමාමා මාක්ස්වාදියෙකි. 71 කැරැල්ලට සම්බන්ධ වී සිර දඬුවම් ලබා පැමිණියෙකි. අසූ අට අසූ නවය කාලයේ එහෙමකට දේශපාලනයක් නොකලද ජවිපෙට හිතවත්ව කටයුතු කලේය. මගේ මතකයේ හැටියට පෙරටුගාමීන් ජවිපෙන් ඉවත්වන තෙක් ඔහු ජවිපෙ සමඟ සිටියේය. ඩිංගිමාමාද බොහෝ මාක්ස්වාදීන් මෙන්ම ආගම වෙනුවට මාක්ස්වාදය ආදේශ කරගෙන සිටි අයෙකි.

"තන්හාව ඇතිවෙන්නේ පුද්ගලික දේපල නිසා, දැං බලන්න මේ පාර තියනවනෙ, මේ පාර ගැන අපට තන්හාවක් තියනවද? නෑනෙ! අපට පාර ගැන තන්හාවක් නැත්තෙ ඒක පොදු දේපලක් නිසා. ඉතිං හැම දෙයක්ම පොදු දේපල නං, තන්හාව නැතිවෙනව ඉබේම. ඕකට භාවනා කරන්න ඕන නෑ, මාක්ස් කිව්ව දේ කලා නං එච්චරයි"

ඒ මට හොඳහැටි මතක ඇති ඔහුගේ කතාවකි. ඒ අසූ ගනන්වල අගභාගය හෝ අනූව දශකයේ මුල් කාලයයි. ඔහු පිළිබඳ යමක් සිතාගැනීමට පාඨකයාට හැකිය.

ඉන්පසු ඩිංගිමාමා ජ්‍යෝතිෂය ඉගනීමට පටන්ගත් අතර ජීවිතයේ අවසන් භාගය ගෙවමින් සිටි මාගේ පියාගේ මාමාකෙනෙකු ඔහුගේ ගුරුවරයා විය. ඔහු දක්ෂ ජ්‍යෝතිෂඥයෙකු බව මගේ පියා පවසා ඇත. මා ඉපදුනු දින ඉස්පිරිතාලයේ සිට ටවුමට පැමිණි පියාගෙන්, මා ඉපදුනු වේලාව අසා "දරුවගෙ ඔලුවෙ කෙස් නැහැ නේද?" යයි ඇසූ බව පියා කීවේය. ඇත්තය, මා උපන් තට්ටයෙකි. (මෙය බොහෝ බිළිඳුන්ට අදාලවන බව වෙනම කාරණයකි. මගේ පුතාද උපදින විට තට්ටයෙකි). ඩිංගි මාමා ජ්‍යෝතිෂය උගැන්නේ ඔහුගෙනි.

ඩිංගි මාමා ජ්‍යෝතිෂය ඉගනගන්නා සමයේ අප නිවසට පැමිණ, පියානන් සමඟ කරන කතාබහ හුරුපුරුදු දේශපාලනය නොව ජ්‍යෝතිෂයයි. නිවැරදිව කිවහොත් ගුරුවරයා පෑ හපන්කම්ය. වරක් දරුවෙකුගේ කේන්දරය පරීක්ෂා කල බවත් ඔහුට අපලයක් තිබූ බවත් රහසින් මෙන් කීවේය. හේතුව සොයාගෙන යාමේදී දරුවන්ගේ මාපියන් ලිංගිකව එක්වී තිබුනේ අඳුරු පාළු නිවසක් තුල බව ඩිංගි මාමා කියනු ඇසුනේය. තවත් කතාවකට අනුව මොකක්දෝ ක්‍රමයකට (තත්කාල කේන්දරය?) බැලූ විට පුද්ගලයෙකුගේ ඇ‍ඟේ ඇති රෝම කූප සංඛ්‍යාව පවා කිවහැකි බවත්, එම ශාස්ත්‍රය දන්නා දකුණු පළාතේ සිටිනා එකම ජ්‍යෝතිෂඥයා ඔහුගේ ගුරුවරයා බවත් කීවේය.

ඩිංගි මාමාගේ ජ්‍යෝතිෂ පන්තියට නැවතීමට තිත තැබුනේ ඔහුගේ ගුරුවරයා වූ මාගේ ඥාති සීයාගේ අභාවයත් සමඟය. කෙසේ වුවත් ඔහු ඒ වනවිට සැලකිය යුතු දුරක් ය‍ාමට සමත්ව තිබුනි. පසු කාලයේ කේන්දර-පොරොන්දම් බැලීම් වැනි කටයුතු කරගෙන සාමාන්‍ය ජ්‍යෝතිෂඥයෙක් ලෙස කටයුතු කලේය.

මෑත කාලයේ දිනෙක අප නිවසේ අලුත්වැඩියා කටයුත්තකට එක්වූ ඩිංගි මාමා මට මුණගැසුනේ සෑහෙන කාලයකිිනි. කලකට ඉහත මා ගෙනැවිත් තිබූ අතිවිශේෂ කාලේ කුප්පිය දිවා විවේකයේදී ඔහුට දුන් අතර ජ්‍යෝතිෂය කටයුතු ගැන විමසීමටද අමතක නොකලෙමි. ජ්‍යෝතිෂඥයෙකු ලෙස ඔහුගේ පිළිතුර "සාමාන්‍ය" එකක් නොවීය.

"මේව ඉතිං මිනිස්සුන්ගෙ ඔලුවල තියන දේවල්නෙ. ඔය මොනව හරි හිත හැදෙන්න කියල යවනව. යාළුවෙච්ච කෙල්ලො කොල්ලො එනව පොරොන්දම් බලන්න, අපි මොකටද අහිංසකයන්ගෙ කුරුළු කූඩු කඩන්නෙ, හොඳටම පොරොන්දම් ගැලපෙනව කියනව එයාලට, මේව බඩ වඩාගන්න තියන දේවල්නෙ"

Thursday, August 18, 2016

රාජගෙ විස්තරේ.....[සයිබර් වරිගෙ උණ්ඩියා]

"පොලිස් ආරක්ෂක රිය පෙරටු කරගෙන නැදුන්ගමුවේ රාජා හස්ථියා මහනුවර බලා පාගමනින් ගියේය.....අතර මගදී රාජා ඇතා එන මග සිටි දඩාවතේ යන බල්ලෙකු පොලිස් පා පහරින් කාණුවට විසිවී ගියේය.....ඌ දෙස වරක් වත් නොබැලූ නැදුන්ගමුවේ රාජා සිය ගමනේ යෙදෙනු දුටු වල් බල්ලා රිදුම් දෙන බඳ ප්‍රදේශය ලෙව කා ගනිමින්

"....දිනුවාම උඹ උඩින් යන බව අපි දැනගෙන හිටියා රාජා.....ආයෙ වරකො "වන රාජ" තෝරන දවසට හොඬවැල් නළලට අරගෙන අපි ඉන්න තැන්වලට.....තොට සළකඤ්ඤං ඊළඟ සැරේ....අම්මපා මම මී හරකට දෙන්නෙ ඊළඟ පාර.....උඹ ඔය පල්ලමකට වැටියං යන ගමන් " යැයි මුමුණන්නට විය......
කළින් වතාවේ මී හරකා දිනවා කරගත් හරිය දඩාවතේ යන බැල්ලියක පැමිණ උගේ කණට මුව තියා කොඳුරා ගිය පසු
"ඌත් එකයි, මූත් එකයි... ඇයි අරූ?.....අර උළමා.....ඌත් එකයි.....දෙන්න එකෙක් නෑ ගෑණියේ.... " කියමින් යළිත් තැලුම ලෙවකන්නට විය....

කඩුගන්නාව ප්‍රදේශයට රාජා හස්ථියා පැමිණෙන විට "සර්, සර්" කියන සද්දයක් ඇසී ඌ හැරී බලද්දී පෙනුනේ පෙත්සමක් තුඩඟින් ගත් කවුඩෙකු වේගයෙන් පියාඹා පස්සෙන් එන ආකාරයයි.....පෙත්සම රාජා හස්ථියාගේ පාමුල දැමූ කවුඩා, හස්ථියාට හිස නමා ආචාර කරමින් හොට තාර පාරේ උලා ගත්තේය....අනතුරුව පොලිස් රාළහාමිලා ඌව එතනම දොදොල් කරන්නට පෙර "සර්....පිළිමතලව්වෙ ගස් කපනවා.....අපිට ලගින්න තැනක් නෑ....බෙට්ටක් දාන්න තැනක් නෑ....මොනව හරි කරන්න සර්..." කියාගෙන යළි අහසට නැගුණේය....අහසේ ඌ එනතුරු බලාගෙන සිටි කවුඩු රැළේ ඉදිරියෙන් සිටි නාහෙට නාහන තරුණ කවුඩෙකු "වැඩක් නෑ තාත්තේ.....තාත්තලා නිකන් චාටර් වෙනවා විතරයි.....ඕකුන්ට අපේ දුක තේරෙන්නෙ නෑ.....ඕකුන්ට වඳින්න යන තාත්තලා නිසයි මේ සමාජය ගොඩගන්න බැරි" යැයි එතන සිටි සැමට ඇසෙන සේ කෑ ගැසුවේය.... ( මෙම සිද්ධියෙන් දින කීපයකට පසුව එම තරුණ කවුඩාගේ පොඩි පට්ටම් වී ගිය සිරුර ගසක් යට තිබී හමු වූ අතර, ඌ පියාඹන්නට ගොස් ගසක වැදී මළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කීවේය......තැන් තැන් වල කුටු කුටු ගානු හැර අනෙක් සතුන්ද මේ "අමුතු අහුඹුව" ප්‍රතික්ෂේප කරන බවක් නොපෙනිනි..... )

මග දිගට සිටි රිලව් සහ හැළි වඳුරන් රාජා ඇතාගේ හොඬවැලට සිය පැටව් දික් කිරීමේ අප්‍රසන්න උත්සාහය මෙන්ම, පැටවු රැගෙන උගේ බඩ යටින් රිංගන්නට දරන අමන වෑයම වළක්වන්නට රාළහාමිලාට ඉමහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය......"යකුනේ .. ඕකා ඔය හොඬවැල පාවිච්චි කරලම තමයි සත්තුන්ව උස්සලා පොලේ ගහන්නෙ......තොපි එහෙව් හොඬවැලට පැටව් දික් කරගෙන ඉන්නවද?" කියා ඇසූ මහළු බකමූණෙකුට හොඳවයින් කුණු හරුප ග්ලොසරියක්ම අසා ගැනීමට සිදුවිය.....

පේරාදෙණිය ප්‍රදේශයට පැමිණි රාජා හස්ථියා පෙරහැරට යමින් සිටි තවත් අලි ඇතුන් සහ අවට ප්‍රදේශයේ ලැග සිටි ගව මහීෂාදීන් අමතා කථාවක් පැවැත්වූයේය..... "මේ පේරාදෙණියට ඒ නම වැටිලා තියෙන්නෙ පළවෙනි බුවා නෙක නෙක බාහු රජතුමාගේ කාලෙ.....ඒ කාලෙ මෙතන පේර ගෙඩියක් දෙණිය මැද්දෙ රෝල් වෙවී තිබිලා තියෙනවා.....ඒ නිසයි මෙතන පේරා + දෙණිය කියල නම වැටුනෙ.....අපි ඔස්ට්‍රේලියාවෙ පේර වවන්න සාකච්ඡා කරගෙන යනවා ..." යැයි ඇතුගේ මුවෙන් පිටවන විට, එම කථාව අසාගෙන ගසක් මත සිටි දඬු ලේන්නු දෙන්නෙක්ගෙන් එකෙක් අනෙකා දෙසට හැරී " ඒ බං......මූ පට්ට සිරා මොළයක් කියලා නේද උඹ කිව්වෙ....?.....මොනවද බං මේ කියන කථා.....? " යි ඇසුවේය.....ඒ කරන කථාවේ ඇති මහා ගැඹුර වටහා ගන්නට එම දඬු ලේනාගේ මොළය ප්‍රමාණවත් නොවන බව අනෙක් දඬු ලේනා විස්තර කර දෙනු ඇසිණි......

ගැටඹේ දේවාල භූමියේදි කළින් වතාවක් නසරාණි වැඩක් කර මාට්ටු වී, කුජීත වී සිටි ගස් ගෝනෙක් උක් දඬු කෑල්ලක් ගෙනත් දුන් විට, එය සොඬින් ගත් නැදුන්ගමුවේ රාජා හස්ථියා, එම ගෝනා දෙස බලා එක ඇසකින් ඉඟි මරා, හොඬවැලෙන් "තම්බ්ස් අප්" එකක් දැම්මේය.....එම ගෝනාගේ සියළු වස්දොස් සමග උපන් දා සිට කළ පව් සියල්ල එම මොහොතේම දූරිං භූත වූ අතර, ඌ කළ මජරි වැඩ හෙළිදරව් කරමින් සිටි උන්ගේ වස්ත්‍රාභරණ ජල වාෂ්ප බිඳිති බවට පත්ව උඩු සුළඟට මුසුවිය......මේ අතර තමාට සහ තම රංචුවට අතීසාරය වැළඳී ඇති බව කියාගෙන මග දිගට බඩ එළිය හලමින් දුවගෙන ආ මීමින්නෙකුට එම ඛේදවාචකය පුවතක් වී පසුවදා පත්‍රයේ ඵලවනතුරු ඉවසා සිටින ලෙස හස්ථියාගේ උපදේශකයෙකුගෙන් උපදෙස් ලැබිණි.....

ලස්සනට සරසන ලද නැදුන්ගමුවේ හස්ථියා පාවඩ පිට පෙරහැරේ වඩිද්දී ඌට සාදුකාර දුන් සහ නොදුන් අනෙක් සියළු සතුන් උගේ පස්සෙන් වැටී යන දර්ශණය බලා සිටි මහළු බකමූණා නුවර වැවට ඉහළින් ඈත අහසට පියාඹා නොපෙනී ගියේය.....
-සයිබර් වරිගෙ උණ්ඩියා"

Thursday, August 4, 2016

රසිකලාට පාද යාත්‍රා යන්න ලේසි ඇයි?

පහුගිය දවසක රසික ලියල තිබුන එයා පාද යාත්‍රාවක් ගිය හැටි. කිලෝමීටර හයහමාරක් පැයකින් ගියා කියලයි කියන්නෙ. මමත් එක සැරයක් පාද යාත්‍රාවක් පටන් ගත්ත ඇඟේ බර කිලෝ දෙක තුනක් අඩු කරගන්න. මගේ බර දැනට කිලෝ හැත්තෑ හතරයි. උස සෙන්ටිමීටර එකසිය හැත්තෑ දෙකක්ද කොහෙද. ඒක දැනගත්තෙ ලඟදි අල්ලපු ඔෆීස් එකේ තිබුන චෙකප් එකකට ගිහිල්ල. ලේ, මුත්‍රා ආදිය චෙක් කරල අවසානයේ ඔක්කොම අරගෙන යනව දොස්තර නෝන ලඟට. එයා තමයි කිව්වෙ කිලෝ දෙකතුනක් අඩුකරගන්න කියල. ඊට අමතරව දීපු උපදෙස් ටික තමයි, (කවදාවත් නොකෙරෙන) මතෙන් සහ දුමෙන් වැලකීම, තෙල් කෑම අඩුකිරීම, ව්‍යායාම කිරීම,... ආදිය. තෙලෙන් බැදපු කෑම, කෘතීම රසකාරක යෙදූ බීම ආදිය ගැන විශේෂයෙන්ම කිව්ව. ලස්සනම කතාව ඊට පස්සෙ කිව්වෙ අල්ලපු ඔෆිස් එකේ, අපේ පැමිණීම අත්සන් ගත්ත නිලධාරිනිය.

"අපි උදේ නං රෝල්ස්, මයිලෝ එහෙම දුන්න මහත්තය,.... දැං නං ඉවරයි"

හරිි, ආයෙත් කතාවට. මම ඔය ඇවිදින්න පටන්ගත්ත කාලෙ (ඒ කියන්නෙ ඔය කිව්ව චෙකප් එකට සතියකට විතර කලින්. එන්ජිම අවුලක් නැති නිසා බර අඩුකරගැනීමේ ආසාවත් නැතුව ගියා ඒකෙන්) වැඩට ගිහිල්ල එන ගමන් ගෙදරට කිලෝමීටර එකහමාරක් විතර මෙහා හන්දියෙ බැහැල පයින් එන්න ගත්ත. ඒකට තවත් හේතුවක් වුනේ ටවුමෙ බස් නැවතුමේ බස්එක නවත්වගෙන ඉන්න කාලය ටිකක් වැඩිවීම. පයින් යාම සහ බසයෙන් යාම අතර වෙනස විනාඩි පහක් වෙයි ඕනනං.

හැබැයි මගේ පාද යාත්‍රාව එක දවසෙන් නැවතුනා වාහන තදබදය නිසා. ඇවිදීම නිදහසේ කරන්න නං නොනැවතී එක දිගට යන්න ඕන. ඒකට මේ රසිකලාගෙ වගේ වාහන අඩු පාරක් ඕන. වාහනවලට අයින් වෙවී මොන ජොගින්ද! ලඟදි අපේ කාර්යාලෙ නෝන කෙනෙකුගෙ අසල්වැසියෙක් ව්‍යායාම කරන්න ගිහිල්ල මැරුන කියල කිව්ව. එයා උදේ පහට විතර බයිසිකලක් පැදගෙන යද්දි පස්සෙන් ආපු වාහනයක හැපිල මැරිල!


ඊයෙ රුවන් ජයතුංග බ්ලොග් එකේ දාල තිබුන රිය අනතුරු ගැන. ලංකාවෙ රිය අනතුරු වැඩි බවත් ලංකාවෙ රියදුරන් විනයක් නැති පිරිසක් බවත් බොහෝ දෙනෙක් කියනව. ඒක ඇත්ත වෙන්න පුළුවන්. නමුත් මම අධ්‍යයනය කරල තියන විදියට නං රිය අනතුරුවලට හේතුව රියදුරන්ගේ වැරැද්ද විතරක්ම නෙවේ. ලංකාවේ මාර්ග පද්ධතියේ තියන අවුලක්. පහුගිය කාලෙ හිටු කියල පාරවල් හැදුන, කාපට් කලා, කොන්ක්‍රීට් කලා. නමුත් පාරවල්වල මතුපිට ඇතිවුන දියුණුව පුළුල් කිරීම පැත්තෙන් ඇතිවුනේ නෑ. තිබුන පාරවල් හොඳට හැදුව. දැං පිඹගෙන යන්න පුළුවන්. නමුත් වැඩිවුන වාහනවලට සාපේක්ෂව පාරේ පළල එහෙමකට වැඩිවුනේ නෑ. ඉතිං අනිවාර්ය ප්‍රතිපලය තමයි රිය අනතුරු. මේවගේ අසහනකාරී පාරවල්වල යන ත්‍රීරෝද රථ, මෝටර් සයිකල් ආදිය අස්සෙන් ගහගෙන නොගියොත් පුදුමයි. අනිත් අවුල තමයි මාර්ග සංවර්ධනයට සාපේක්ෂව පොදු ප්‍රවාහනය දියුණු නොවීම. ඒකෙත් අවසාන ප්‍රතිපලය පෞද්ගලික වාහන වැඩිවීම.

අන්නේකයි ලංකාවෙ පාද යාත්‍රා ඕස්ට්‍රේලියාවෙ වගේ ලේසි නැත්තෙ.

ප/ලි: පාද යාත්‍රාවල යද්දි ගුටි කන්න වෙන්නෙත් ලංකාවෙදි.


ප/ප/ලි : රසික මහතා පමණක් නොව "සා රස" මහතාද ඕස්ට්‍රේලියාවේ ගොස් ඇති බව දන්වන ලදී.

Tuesday, August 2, 2016

ජාතිකවාදී ප්‍රවනතාව [රිටිගල ජයසේන]

අද මෙහෙ නිවාඩු නිසා ලැබුන අවසරයෙන් මගේ "දේශපාලන ඥාතියෙක්" වෙනත් තැනෙක සංවාදයකදි දාලා තිබුන කමෙන්ට් එකක් ඇසුරින් මේ පෝස්ට් එක හැදුවෙ. දීර්ඝ ලෙස කමෙන්ට් කරන්න බලාපොරොත්තුවක් නෑ.

මේක අන්තර්ජාලයෙ ඇති තරම් පට්ට ගසන ලද පරන මාතෘකාවක්. නමුත් මේ මාතෘකාව මුල් කරගෙන මම ප්‍රශ්න කරන්නෙ අද ලෝකය පුරාම රැල්ලක් වගේ නැගගෙන එන "ජාතිකවාදී ප්‍රවනතාව". තමුන්ට මොකක් හෝ දෙයක් නැති වෙලා තියෙනවාය හා ජාතිකවාදයට ආපසු ගමන් කිරීමෙන් ඒ නැතිවූ දේවල් නැවත ලබා ගන්න පුලුවන් කියල ලෝකෙ පුරාම ඉන්න ජාතිකවාදී දේශපාලකයන් සාමාන්‍ය මිනිස්සු අතරෙ මතයක් ගොඩ නගාගෙන යනවා. ඇමරිකවෙ "මේක් ඇමරිකා ග්‍රෙට් අගේන්" කැම්පේන් එක උදාහරණයක්. මේ කැම්පේන් එක නිසා උඩට මතුවෙන මිනිස්සුන්ගෙ හා ජනප්‍රිය වන මතවාද වල කොලිටිය බොහොම ප්‍රශ්නකාරියි. තුන්වන ලෝකයේ දුප්පත් රටවල් වල සිද්දවෙන ජාතියේ වැඩ තමයි මේ දවස් වල ඇමරිකාවෙ ජනාධිපති ඡන්දෙදි වෙන්නෙ. පාලනය කර නොහැකි තරමට වෙන ජනගහන පිපිරීම හා ඒ නිසා ඇතිවෙන සම්පත් අර්බුදය මේ ජාතිකවාදයන් හී නැවත නැගීම පිටිපස තියෙනවා කියල මම පෞද්ගලිකව හිතනවා. ඒ ගැන නොයෙකුත් මත තියෙන්නෙ පුලුවන්. එහෙම සරල තනි කාරනාවකට ලඝු කිරීම වැරද්දක් වෙන්න පුලුවන්.

පහත කමෙන්ටුව, ලංකාවෙ සිංහල හා දෙමල ජාතිකවාදයන් ගැන.
සිංහල ජාතිකවාදී කඳවුරේ අය දෙමල ප්‍රශ්නය සම්බන්දව මාතෘකාවක් උඩට ආ ගමන් නැවත නැවත පෙන්වා දෙන්නෙ දෙමලාගෙ වෙනම රාජ්‍යය ඉල්ලීමෙ ඇති අසාධාරනත්වය, එහි අප්‍රායෝගික බව, අප්‍රායොගික අසාධාරන ඉල්ලීමක් සාධාරනීකරනය කිරීමට ඔවුන් කරන අයහපත් දේශපාලනය වගේ කරුනු. ඕවා ගැන ඇත්තටම මට නම් විවාදයක් නෑ. බොහෝ දුරට එකඟයි. හැබැයි මම ඒවාට එකඟ වෙන්න් සිංහල-බෞද්ධ ජාතිකවාදී පදනමක ඉඳල නෙමෙයි. එතකොට අර දේවල් තර්කයෙන් නිශ්ප්‍රහා කලා කියල එතැනින් ප්‍රශ්නය ඉවර වෙන්නෙ නෑ. තව සංවාදයක් ඉතිරියි. "දෙමලාට දෙමල වීම නිසා ඇති ප්‍රශ්නය මොකක්ද?" කියල ජාතිකවාදි කඳවුරෙන් ඇහෙන ප්‍රශ්නයක් තියෙනවානෙ බොහොම ප්‍රසිද්ධ. ඒ ගොල්ලො අහන්නෙ දෙමලාට දෙමල වීම නිසා තියෙන දුක් ගැනවිලි (grievances) මොනවාද කියන එක. දෙමලාට දෙමල වීම නිසා අපේක්ෂා (aspirations) තිබීම ඔවුන්ට අනුව ගනන් ගතයුතු දෙයක් නෙමෙයි. ජනවර්ගයකට ඒ ජනවර්ගයෙ සංස්කෘතියට බද්ධ අමුතු අපේක්ෂාවන් තිබීම කියන එක මට නම් ගනන් ගතයුතු දෙයක් නෙමෙයි. ඒ මම ජාතිකවාදියෙක් නොවන නිසා. නමුත් ජාතිකවාදින් එහෙම කියන්නෙ කොහොමද?

මේ දෙමල අපේක්ෂා හීලෑ කරගෙන කලමනාකරනය කරන්නෙ කොහොමද කියන එක යුද්දෙ දිනුවාට, බෙදුම්වාදය මතවාදිව පරාජය කලාට ඉවර වෙන්නෙ නැති ප්‍රශ්නයක්. එහෙම ප්‍රශ්නයක් සාකච්ඡා වීමක් වත් වෙන්නෙ ඔනේ නැ, "දෙමලුනේ උඹල ඇදගෙන නෑවා නම් දැන් වේලෙනකන් ඔහොම හිටපියව්" වගේ අධිපති මතවාදයක් තමයි ජාතිකවාදී කඳවුරේ ප්‍රධාන පිලිතුර.

සිංහල බෞද්ධ ප්‍රජාවට 'ජාතිකවාදයක' අවශ්‍යතාවය මොන වගේ එකක්ද? ඒක එදා වේල හොයාගෙනෙ ජීවත් වෙලා ඉන්නවට වඩා එහා ගිය මානසික අවශ්‍යතාවයක්. එහෙම මානසික අවශ්‍යතාවයක් නැත්තම්; හුදෙක්ම 'පුලුවන් විදිහකට සතුටින් ජීවත් වීම' වගේ සරල අවශ්‍යතාවයක් විතරම නම් තියෙනෙ, 'බටහිර සංස්කෘතික/දැනුම් ආධිපත්‍ය' වගේ ඒවට විරුද්ධව කැරලි ගහන්න ඔනෙ නෑ. මොනව හරි හේතූන් නිසා බලවත් වෙලා තියෙන දේශපාලන සංස්කෘතික ප්‍රවාහයන්ට අනුගත වෙලා කාල ඇඳල කියල ජීවත් වෙන්නනෙ තියෙන්නෙ. එහෙම කරන්න ලෑස්ති ලොකු පිරිසක් ඉන්නවා. නමුත් ඒ වගේම ලොකු පිරිසක් ඉන්නවා තමන්ගෙ අනන්‍යතාවය ලෙස ප්‍රධාන කතිකාවෙදී එන සංකේත, හර පද්ධතීන් වෙනුවෙන් දේශපාලනයක් කරන.

ඔය කිව්වෙ සිංහල බෞද්ධ ප්‍රජාවගෙ කතාව. ඔය කතාව ඔහොමම අනෙක් ජන කන්ඩායම් වලත් තියෙනවා. ජාතිකවාදී පදනමක නොඉඳ ඔය ප්‍රශ්නය දිහා බලන මම වගේ කට්ටියට දෙපැත්තෙම තියෙන මානසික අවශ්‍යතාවයන් පේනවා. දෙපැත්තෙම තියෙන දේශපාලන ප්‍රවාහ පේනවා. සිංහල කඳවුර ඉදිරිපත් කරන ජාතිකවාදයෙ වර්තමාන මුහුනුවර තුල දෙමලාගෙ මානසික අවශ්‍යතාවයන් වත්, දෙමලාගෙ ජාතිකවාදය තුල සිංහලයාගෙ මානසික අවශ්‍යතාවයන් වත් ආමන්ත්‍රනය වෙන්නෙ නෑ. ඔය දෙකම පෑහෙනෙ නෑ.

විසඳුම විදිහට දෙමල ජාතිකවාදීන් යෝජනා කරන්නෙ අප්‍රායෝගික දික්කසාදයක් හෝ වෙන්ව විසීමක්. සිංහල ජාතිකවාදීන් යෝජනා කරන්නෙ නොකෙරෙන දීගයක්. අපි යෝජනා කරන්නෙ කෙරෙන දීගයක්. ඒකට සිංහලයාගෙ සිංහල කමත් දෙමලාගෙ දෙමල කමත් දෙකම අඩු වැඩි වශයෙන් අඩු කරගන්න වෙනවා. දෙගොල්ලොම ප්‍රවේශය වෙනස් කරගන්න වෙනවා. තනි අතින් අප්පුඩි ගහන්න බැරි නිසා මේක එක පාර්ශවයකින් විතරක් වෙලත් හරියන්නෙ නෑ. මීට සමගාමී දෙමල සමාජයේ මේ විදිහෙ කතිකාවක් තියෙනවද දන්නෙ නෑ. හැබැයි සිංහල ජාතිකවාදයෙ වර්තමාන මුහුනුවර නිසා එහෙම කතාවක් වෙන්න තියෙන ඉඩත් අඩු වෙනවා.

සිංහල ජාතිකවායේ වර්තමාන මුහුනුවරට දෙමලාට විතරක් නෙමෙයි මම වගේ 'අවජාතිකවාදි' (ජාතිකවාදී නොවන අය හැඳින්වීමට ජාතිකවාදි කඳවුර යොදාගන්න ආදරණීය වචනයක් wink emoticon ) සාමාන්‍ය සිංහල මිනිස්සුන්ටත් එකඟ වෙන්න අමාරුයි. දෙමලා ගැන කවර කතාද.

-රිටිගල ජයසේන ෆේස්බුක්හි තැබූ සටහනකි.


"සසර සැරිසරන පාදඩයා" කියන්නෙ බුකියෙ ඉන්න අපේ සංවාද සගයෙක්. ඔහුගේ බ්ලොග් අඩවියට මෙතැනින්....