Thursday, September 25, 2014

ලියුම් හතරක කතාවක්!

වෙනත් අායතන වල ගණුදෙනු වෙන ලියුම් කියවීම එච්චර හොඳ දෙයක් නොවුනත් අහම්බෙන් ලැබුනු ලියුම් පිටපත් ටිකක් පාඨකයන් එක්ක බෙදාගන්න හිතුන.

✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉
ස්කන්ධ දිව්‍ය පුත්‍ර,
තවුතිසා 8 වන කොටස
දිව්‍ය ලෝකය.
2014.09.21

අතිගරු ශක්‍ර දිව්‍ය රාජෝත්තම,
තවුතිසා 1 කොටස
දිව්‍ය ලෝකය

නවාතැන් දීර්ඝ කිරීම

ම‍ාගේ බල ප්‍රදේශය වන කතරගම, තවදුරත් අසුර පාලනයට යටත් වූ බැවින්, මාගේ සහ වල්ලීගේ ආරක්ෂාව පිනිස, ඉදිරි වසර පහ සඳහාත් දිව්‍ය ලෝක අටවැනි කොටසේ වාසය කිරීමේ කාලය දීර්ඝ කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

මීට යටහත්,
ස්කන්ධ දිව්‍ය පුත්‍රයා.
[අත්සන]
✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉

ශක්‍ර දිව්‍ය රාජෝත්තම,
තවුතිසා පළමු කොටස,
දිව්‍ය ලෝකය.
2014.09.23

සුමන සමන් දිව්‍ය පුත්‍ර,
සමනොල අඩවිය,
ශ්‍රී ලංකාද්වීපය.

ස්ථානීය පරීක්ෂාව-කතරගම

කතරගම ස්කන්ධ දිව්‍ය පුත්‍රයාගේ 2014.09.20 දිනැති ලිපිය(ඇමුණුම) අනුව, කතරගම බල ප්‍රදේශයේ වාසය කිරීම ඔහුගේ ආක්ෂාවට තර්ජනයක් බැව් දන්වා ඇති බැවින් ඒ පිළිබඳව කඩිනමින් පරීක්ෂා කර බලා මවෙත වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් දන්වමි.

2.මේ වෙනුවෙන් වන ගමන් වියදම් නොපමාව ඉදිරිපත් කලයුතු බව වැඩිදුරටත් දන්වමි.

ශක්‍ර දිව්‍ය රාජෝත්තම
[අත්සන]

✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉

සුමන සමන් දිව්‍ය පුත්‍ර,
සමනොල අඩවිය,
ශ්‍රී ලංකාද්වීපය.
2014.09.28

අතිගරු ශක්‍ර දිව්‍ය රාජෝත්තම,
තවුතිසා 1 කොටස
දිව්‍ය ලෝකය

ස්ථානීය පරීක්ෂාව-කතරගම

උක්ත කරුණ සම්බන්ධයෙන් ඔබේ 2014.09.23 දිනැති ලිපිය හා බැ‍ඳේ.
අදාල ප්‍රදේශය පරීක්ෂා කරනු ලදුව එය දේව වාසයට කිසිසේත්ම නොසුදුසු බැව් ප්‍රකාශ කරමි. පිටු එකසිය පහක වාර්තාව මේ සමඟ එවන බව කාරුණිකව දන්වමි.

සුමන සමන් දිව්‍ය පුත්‍ර.
[අත්සන]
✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉

ශක්‍ර දිව්‍ය රාජෝත්තම,
තවුතිසා පළමු කොටස,
දිව්‍ය ලෝකය.
2014.09.29

ස්කන්ධ දිව්‍ය පුත්‍ර,
තවුතිසා 8 වන කොටස,
දිව්‍ය ලෝකය.

නවාතැන් දීර්ඝ කිරීම

උක්ත කරුණ සම්බන්ධයෙන් ඔබේ 2014.09.21 දිනැති ලිපිය හා බැ‍ඳේ.
දිව්‍ය ලෝකයේ අටවැනි කොටසේ වසර පහක් වාසය කිරීමට අනුමැතිය ලබා දෙමි. ඔබේ ආරක්ෂාව පිනිස, කිසිවෙකුගේ හෝ අවශ්‍යතාවයක් වෙනුවෙන් කතරගම ප්‍රදේශයට නොයන ලෙසත්, පඬුරු-පාක්කුඩම්, පූජා වට්ටි ආදිය භාර නොගන්නා ලෙසත් වැඩිදුරටත් දන්වමි.

ශක්‍ර දිව්‍ය රාජෝත්තම
[අත්සන]

Tuesday, September 23, 2014

ඌවේදී ඌවවුන ෆොන්සේකා!

උෟව මැතිවරණයෙන් වඩාත්ම ඌවවුනේ ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයටය. බස්නාහිරදී දකුණේදී මෙන්ම වයඹදී ඔවුන් සිටියේ තෙවැනි ස්ථානයේය. නමුත් උෟවේදී ප්‍රපයේ ඡන්ද සංඛ්‍යාව විටෙක ජානිපෙ ඡන්ද සංඛ්‍යාවටත් වඩා පහලට බැස තිබුනි. අප කලින්ද සඳහන් කල පරිදි ෆොන්සේකා මහතාට තිබූ අභියෝගය තමාගේ ජනප්‍රියත්වය අඩුවීමට පෙර පක්ෂය ශක්තිමත් කරගැනීමත් විශ්වාසදායක පුද්ගලයින් ජනතා නියෝජිතයන් බවට පත්කිරීමත්ය. නමුත් මේ වනවිට සිදුව ඇත්තේ පක්ෂ නායකයාගේ ජනප්‍රියතාවය හීන වීමත් සමඟ පක්ෂයද ජනතාවගෙන් විසි වීමය.

කෙසේ වුවත් තම පිරිහීම වටහාගැනීමට අපොහොසත් ෆොන්සේකා මහතා මේ වනවිට සිදුකරන්නේ අවලාද නැඟීමයි. ඡන්ද රාජකාරි කල රාජ්‍ය සේවකයන් තේරීම රජයෙන් සිදුකරන බව ප්‍රකාශ කල ඔහු වක්‍රව කියා සිටියේ තම පක්ෂයේ පසුබෑමට එය හේතුවක් වූ බවයි. ජනාධිපතිවරණයේදී 'කොම්පියුටර් ජිල්මාට්' මත පරාජය වසාගතහැකි වූයේ එවකට තිබූ තත්වයත්, ෆොන්සේකාගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය ඡන්දය පැවති දිනයේම මතුවීමත්, මැතිවරණ කොමසාරිස් වරයාගේ ආතති කතා ආදී කරුණු ගණනාවක් තිබීම හේතුවෙනි. නමුත් මෙවර ෆොන්සේකා මහත‍ා තෝරාගෙන ඇත්තේ කවුරුත් දන්නා පරණ තුරුම්පුවකි. මෙය ඔහුගේ දේශපාලන පරිනතභාවය පෙන්වන ස්ථානයකි.

සාමාන්‍යයෙන් ලංකාවේ ඡන්දය ආරම්භ වන්නේ හැමදාමත් ආණ්ඩුවට වාසිදායක පසුබිමකය. ජනාධිපතිවරණයක් බොහෝ විට ජනාධිපතිවරයා/අගමැතිවරයා සමඟ තරගයකි. පළාත් සභා/පළාත් පාලන මැතිවරණ පවතින්නේ ආණ්ඩුවක් යටතේය. මහ මැතිවරණ පවතින්නේ කුමන හෝ පක්ෂයක ජනාධිපතිවරයා යටතේය. කෙසේ වුවත් ඡන්දය පැවැත්වීම සහ ගණන් කිරීමේ අවස්ථාවන් සැලකූ විට එය අපක්ෂපාතීව සිදුවන බැව්, වසර කිහිපයක් මැතිවරණ රාජකාරි කල අයෙකු ලෙස මේ බ්ලොග් කරුවාට කිව හැකිය. ඊට හේතුව රාජ්‍ය සේවකයන් අපක්ෂපාතී හොඳ මිනිසුන් වීම නිසා නොව වංචා දූෂණ අවම වන ආකාරයේ ක්‍රම වේදයක් සකස් කර තිබූම හේතුවෙනි. ඕනෑ‍ම දේශපාලන සංවිධානයක් පිටියට පැමිණිය යුත්තේ මේ තත්වය දැන, ඊට සූදානමින්ය. පරාජය වූවාට පසු කොහේවත් ඇති හේතුවකට බඅන අඬගැසීම අපට සිහිවන්නේ නටන්න බැරි මිනිහා පොලවේ ඇද සෙවීමේ කතාවයි.

වැඩිදුරටත් සඳහන් කලහොත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මේ වනවිට ඇත්තේ අනතුරුදායක අඩියකය. ජනප්‍රියත්වය සීග්‍රයෙන් පහලට වැටෙමින් පවතින ඔහුගේ සහ පක්ෂයේ සදාකාලික නින්ද නැවැත්වීම අතිශයින් අපහසුය. මෙහි ප්‍රතිපලයක් ලෙස පළාත් සභා කිහිපයක සිටින ජනතා නියෝජිතයන් ප්‍රධාන පක්ෂ වැලඳගැනීම හෝ විමල් වීරවංශගේ ජානිපෙ පන්නයට ෆොන්සේකා, පක්ෂයත් නියෝජිතයන් සමඟ එජාපය වැලඳගැනීම නුදුරේදී සිදුවිය හැක්කකි. එතෙක් කට පරෙස්සම් කරගැනීම වැදගත් බැව් ෆොන්සේකා මහතා වටහාගත යුතුය.

Monday, September 22, 2014

ඌවේදී ඌව වීම!

ඌව ඡන්දය අවසන්ය. මාධ්‍ය වාර්තා කරන විදියට හැමෝම ජයග්‍රහනය කර ඇත. යමක් ගැන විග්‍රහ කිරීමට ඕනෑම අයෙකුට ඇති අයිතිය අනුව මේ මගේ කෙටි විග්‍රහයයි.

1. දැක්විය හැකි පැහැදිලිම විග්‍රහය නම් අප කලින්ද සඳහන් කල පරිදි, පොදුවේ, ජනතාව යනු අමු මැට්ටන් පිරිසක් බවයි (විශේෂයෙන්ම මොනරාගලට මෙය අදාලය). ඔවුන්ගේ රැවටීමේ නිමාවක් නැත. මැට්ටන් යයි කියන්නේ සන්ධානය ජයග්‍රහනය කරවීම‍ටත් වඩා කයිවාරුකාරයෙකු පමණක් වූ හිටපු මහඇමතිවරයා පළමු තැනට පත්කිරීම හේතුවෙනි.

2. එජාපය යම් ජයග්‍රහනයක් ලබ‍ා ඇත. විශේෂයෙන්ම බදුල්ලෙන් හරීන් වැන්නකු ඉදිරිපත් කිරීම තුලින් මෙතෙක් ලබා තිබූ තිස් ගනන්වල ප්‍රතිශතය හතලිහක් දක්වා වර්ධනය වීම ඔවුන්ගේ පැත්තෙන් ජයග්‍රහනයකි. ආණ්ඩුවේ සිටින නොම්මර එකේ තක්කඩියන් දෙදෙනෙකු වන ඩිලාන් පෙරේරා සහ නිමල් සිරිපාලගේ ආසන ජයගැනීම තවත් ජයකි.

3. ජවිපෙ, යම් ඡන්ද ප්‍රමාණයක්ද එක් ආසනයක්ද වැඩිකරගැනීම ඔවුන්ගේ ජයග්‍රහනයකි. [ජවිපෙ, "හිතුව හැටියට මදි" කියන්නන්‍ට කිව යුත්තේ, ජවිපෙ යනු ඡන්ද පරිමාව ඉක්මවා සංවිධාන හැකියාව පෙන්වන පක්ෂයක් බවත් මෙය සෑම ඡන්දයකදීම අත්විඳි තත්වයක් මිස අලුත් තත්වයක් නොවන බවත්ය]

4. අප කලින් බලාපොරොත්තු වූ පරිදිම ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පැදුරට වැටී ඇත. එජාප ඡන්ද වැඩිවන වි‍ට ප්‍රප ඡන්ද අඩුවීම කියාපාන්නේ දකුණේදී-බස්නාහිරදී (හා ඊට පෙර) ප්‍රපට ලැබුන ඡන්ද වැඩි ප්‍රමාණය එජා පාක්ෂික ඡන්ද බවයි.

5. සන්ධානය පැත්තෙන් බැලූ විට පළාතෙන් ආසන හයක් අඩුවී ඇත. පැහැදිලි ජයග්‍රහනයක් ලබා ඇත්තේ මොනරාගලදී පමණි. කෙසේ වුවද ඔවුන් පරාජය වූවා යයි කීමට නොහැකිය. ඊට හේතුවක් ඇත.

6. අප යම් මට්ටමකට පරාජය වී ඇත. අප යයි සඳහන් කලේ ආණ්ඩුවේ ගමන පිළිබඳ විරෝධයක් ඇති, ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් ගෙදර යැවිය යුතු යයි කල්පනා කරන පිරිස්ය. අපේ බලාපොරොත්තුව වූයේ W3 අජිත් පැරකුම් ජයසිංහ දැක්වුවාක් වැනි ප්‍රතිපලයක් ඌවේ ජනතාව ලබාදෙනු ඇතැයි කියාය. එහෙත් එය සිදුවී නැත. ආසන හයක් අඩුවී වුවත් පහසුවෙන් පළාත් සභාව පිහිටුවීමට සන්ධානය සමත් වී ඇති අතර වැඩිමනක් වශයෙන් ඔවුන්ගේ මහ ඇමති අපේක්ෂකයා මනාප වලින් ඉහලට පැමිණීමටද සමත්වී ඇත. ආසන ප්‍රමාණයක් අඩුවීම කිසිසේත්ම ආණ්ඩුව පැත්තෙන් බලාපොරොත්තු නොවූ දෙයක් නොවේ. ආණ්ඩුවේ යම් පිරිහීමක් තිබූ බව මැතිවරණයට පෙර පැහැදිලිව පෙනෙන්නට තිබුනි. ජනාධිපතිවරයා ඇතුළු සන්ධාන ආණ්ඩුවම ඌවේ පදිංචි වන්නේ එබැවිනි.

එහෙත් දකුණු-බස්නාහිර පළාත් සභා ඡන්ද ප්‍රතිපලයට සාපේක්ෂව මෙය අපට සතුටු වියහැකි ප්‍රතිපලයක් නොවේ. යම් වෙනසක්, නැඟිටීමක් සිදුවීමට නම් පළාත් සභාව පිහිටුවීම අවුල් වන මට්ටමේ ප්‍රතිපලයක් ලැබිය යුතුව තිබුනි. වෙනත් විදියකින් කිවහොත් දකුණේ-බස්නාහිර ඡන්ද අඩුවීමත් සමඟ 'රැල්ල' ඇතිවීමට නම් W3හි සඳහන් කල ප්‍රතිපලය වැන්නක් අත්‍යාවශ්‍යව තිබුනි. සන්ධානය ජයලැබූ බව කියන්නේත් අප පරාජය වූ බව කියන්නේත් එය එලෙස සිදු නොවූ බැවිනි.

Friday, September 19, 2014

පහේ පන්තියෙ අවුල!

ඉන්ටවල් එකෙන් පස්සෙ පහේ පන්තියට ආපු මිස් දැක්කෙ පන්තියෙ ගාලගෝට්ටියක්. කොල්ලො කෙල්ලො ටික මොනවදෝ වල්පල් කියවනව. මිස් අාවද කියලවත් ගානක් නෑ. කේන්ති ගන්නෙ නැති මිස් හෙමීට කිට්ටුවෙලා බැලුව. මොනවදෝ බර වචන වගයකුත් හුවමාරු වෙනව.

"උඹලට හොඳක් කලාමත් හොඳ නෑ කියන්නෙ ඕකයි" පන්තියෙ විසේකාරය වෙච්ච චමෝද් කියනව. අනිත් අය මොනවද කියනව ඇහෙන්නෙ නෑ.

"අපි නොදන්න මෙයාගෙ හොඳ!" එහෙම කියන්නෙ කවීෂ.

"හිහ් හිහ් හිහ්.... තාත්ත ගෙදර ආපු නිසාලු!" තාරුකා හිනාවෙනව.

"ඇයි වෙනදත් තාත්ත ආවෙ? එතකොට මොකුත් නෑනෙ!" තව ළමයෙක් කියනව. කවුරුත් චමෝද් දිහා බලාගෙන ඉන්නෙ.

"මොනවා කිව්වත් අන්තිමට අපි අහුවෙනව...." පන්තියෙ කෙලවරේම තනියම වාඩිවෙලා හිටිය මහිල් හෙමිහිට කියනව මිස්ට ඇහුන. තවත් බලන් ඉන්න බැරි තැන ඇය පන්තියට ඇතුළුවුනා.

"පුතාල මොනව ගැනද මේ කතා කරන්නෙ?"

"ටීච මේව කැත වැඩ!" චමෝද් දිහා බලාගෙන කවීෂ උත්තර දුන්න. කොහොම උනත් චමෝද්ගෙ මොකක් හරි මැර වැඩක් වෙන්න ඇති. පන්තියෙ ඉන්න දඟය, ඉගනගන්නත් එච්චර උනන්දුවක් නෑ, සල්ලි තියන පවුලක ළමයෙක් නෙව, මිස් තමන්ටම කියාගත්ත.

"මේ ළමයින්ට හරියට යමක් කියන්න බැරි හැටි..... කියන්න මොකද උනේ කියල"

"මෙයාට අපිව මතක් වෙන්නෙ වාසියට විතරයි ටීච"

"මොනවද දරුවෝ මේ කියන්නෙ.....? කා ගැනද ඔය කියන්නෙ?"

"චමෝද් ගැන ටීච, එයා දැං අපිට කැන්ටිමෙං කෑම අරං දෙනවනෙ"

"ඉතං පුතේ ඒක කොච්චර හොඳ දෙයක්ද? මොකද්ද ඒකෙ තියන වැරැද්ද?"

"නෑ ටීච, තාත්ත දුන්න සල්ලි වලින් මම මෙයාලට ටොපි අරං දුන්න විතරයිනෙ!"

"ළමයිනේ, අනිත් අයත් එක්ක බෙදාහදාගෙන කෑම හොඳ පුරුද්දක්! චමෝද් හොඳ වැඩක් කරල තියෙන්නෙ, මොකද්ද ප්‍රශ්නෙ?"

"ටීච මෙයා මේව කරන්නෙ අපිට ආදරේට නෙවේ.... "

"එහෙනං...?"

"මේකනෙ වාර විභාගෙ කිට්ටුයි, මෙයා පාඩං කරලත් නෑ, මෙයා හදන්නෙ ටොපි දීල අපි රවට්ටගෙන විභාගෙට උදව් ගන්න...."

"අන්න ඒකයි ටීච මාත් කියන්නෙ.... වෙනදට තනියම කන මෙයාට අපි ගැන අනුකම්පා හිතුනෙ විභාගෙ කිට්ටු උනාම තමයි"

"හරි හරි.... ඕක ඔච්චර"

"නෑ නෑ ටිච.... මෙයා මේ අපි ගැන හිතල ටොපි අරන් දෙන්න මොකෝ ලෝක වෙළඳපොලේ නෑ මේ කැන්ටිමේ ටොපි මිල අඩුවුනාද? නෑනේ.... ටොපිය රුපියලට තියෙද්දිවත් අපිට දුන්නැති එකේ දැං!"

"අනිත් එක ටීච මේක මේ වාර විභාගෙ විතරක් ගැන හිතල කරපු වැඩක් නෙවේ.... ඉස්සරහට ශිෂ්‍යත්වෙත් එනවනේ..... අන්න ඒකයි මේ"

"අනේ මංදන්නෑ මේ ළමයි නං....."

Thursday, September 18, 2014

අසංවේදී මෘගයා!

වෙලාව රෑ හත නැත්තං අට විතර ඇති. කාර්යාලයේ අපි ටික දෙනෙක් හිටියෙ මළගෙදරක. මැරිල තිබුනෙ කාර්යා‍ල සගයෙකුගෙ අවුරුදු දොලහක විතර දරුවෙක්. මරණයට හේතුව පිළිකාවක්. බොහොම කණගාටුදායක අවස්ථාවක් බව ඇත්ත, නමුත් කාලයක් තිස්සෙ තමුන්ගෙ දරුව ගැන වේදනාවෙන් හිටිය අපේ මිත්‍රයගෙ හිත වේදනාවටම පදම් වෙලා තිබුන. කාර්යාලයේ පිරිස ටික ටික වැඩිවීමත් එක්ක මළගෙදරක තිබියයුතු සාමාන්‍ය තත්වයත් ඉක්මවා ගියා. ගමේ පිරිස එහෙ මෙහෙ දුව පැන ඇවිදිමින් සංග්‍රහ කරන අතරෙ අපේ උදවිය කකුල් උඩ තියාගෙන ආගිය කතාවල. වෙලාවකට උස්ව ඇහෙන හිනා හඬ, ඒ වගේ මළ ගෙදරකට උචිතයි කියන්න කොහෙත්ම බෑ. ඒ අතරෙ තවත් සගයෙකුගෙ පැමිණීමක් බලාපොරොත්තුවෙන්,

"ඔන්න පොල් මහත්තය එනවලු!"

"ඌ නං ගහල ඇත්තෙ හොඳට"

"මොකද කියන්නෙ කියමුද බෝතලයක් අරගෙන එන්න කියල"

"කියපං....කියපං.....කියපං....කියපං....."

"සල්ලි දියල්ල එහෙනං......"

"සල්ලි.... සල්ලි..... සල්ලි.....සල්ලි...."

කවුරුත් හිටියෙ බොන පැත්තෙ මිසක් සල්ලි දෙන පැත්තෙ නොවුන නිසා ඒ වැඩේ හරිගියේ නෑ. ඔන්න මේ අතරෙ පොල් මහත්තය ආව.

පොල් මහත්තය කියන්නෙ ඇඟෙන් බොහොම පොඩි මිනිහෙක්. එයත් එක්ක ආව තවත් යෝධයෙක් වගේ කෙනෙක්. දෙන්න තරමකට අනුමත වෙලා හිටියෙ.

"මේ ඉන්නෙ අල්ලපු ප්‍රාන්ත ඔෆීස් එකේ පොල් මහත්තය....."

කවුරුත් පොඩි වෙලාවකට නිශ්ශබ්ද වුනා, අනෙක් පොල් මහත්තයගෙ ස්වරූපයට! අඩි හයකට වැඩිය උස, ඊට සරිලන මහත, මුහුණෙ තිබුන මරුමුස් පෙනුම,... මේ ඔක්කෝටමත් වැඩිය මත්පැන් නිසා ගොරක ගෙඩියක් වගේ රතුවුන තියුණු ඇස්දෙක,... ඔහුට මෘග පෙනුමක් ගෙනාවෙ.

"අපි මරණෙ බලල එන්නං...."

පොල් මහත්වරු දෙන්න ගෙදරට යනවත් එක්කම ආයෙත් කතාබහ පටන් ගත්ත. මාතෘකාව අලුත් පොල් මහත්තය.

"බලපල්ලකො හැටි! මූ බීල ගෙදර යද්දි ගෑනි වෙව්ලනව ඇති බං"

"හහ් හහ් හහ්......"

"මොනව කියනවද, මෙන්න මෙහෙම රවල බැලුව නං චූ යනව"

"හහ් හහ් හහ්......"

"මූ යද්දි ගෑනි ඇත්තෙ ඇඳ යට බං...."

"හහ් හහ් හහ්......"

හැබෑම මෘගයෙක්! අවසාන නිගමනය ඒකයි....අසංවේදී මෘගයෙක්..... ඒ එක්කම ඇතුලට ගිය සගයා ආවෙ මෘගයාත් එක්ක.

"මගේ දරුවත් මේ වගේමයි!" මෘගයා කිව්ව. නමුත් කට්ටියට සැකයි,

"මේ වගේ කිව්...වෙ.... අපේ පොල් මහත්තය වගේ කියලද?"

"හහ් හහ් හහ්....."

එතන පරිසරය හිතට ඇල්ලුවෙ නැති නිසා ඔවුන් දෙන්න ටිකක් ඈතට යන්න ලැහැස්ති වුනා.

"රාජ් මල්ලි, යමුද පාර පැත්තට...."

පාරට ගිය අය දුම් බොන්න පටන් ගත්ත..... ඒ අතරෙ මෘගයා කටහඬ අවදි කලා.....

"මොන වැරැද්දකටද මං දන්නෙ නෑ මේ වගේ ලෙඩවල් දරුවන්ට හැදෙන්නෙ" ඔහුගෙ කටහ‍ෙඬේ තිබුනෙ බිඳුන ශෝකී ස්වභාවයක්.

"මගේ පුතත් මේ වයසෙමයි.... තාමත් නිදාගන්නෙ මගේ ඇඟ උඩට කකුලක් දාගෙන....." ඔහු ඇස් පොඩි කලා.... ඒ ඇස්වලින් කඳුළු ගැලුව.... මෘග පෙනුමක් තිබුන ඒ දැවැන්ත මිනිහ ඇතුලෙ හිටිය සංවේදී තාත්ත මට පේන්න ගත්ත.... ඔහුගේ මෘදු කටහඬ පරයාගෙන ඇහුනෙ, වැටෙන් එහා පැත්තෙ හිටිය සංවේදී මහත්වරුන්ගෙ හිනාහඬ.

Monday, September 15, 2014

අල්ලස! (සාහිත්‍ය මාසයේ කෙටිකතාව)

පිලිගැන්වීම: බෝතල් ඇනෝ මිත්‍රයාට,....

2013.05.12 ප.ව.6.30

"තව ක‍ාලක් ගහමු බං"

"අරි.... ඒනං කාලක් ගාමු මාත්තය"

"ඒ... මල්ලී.... අපිට තව කාලක් ගේන්න.... ‍ඔම්ලට් එකක්වත් ගමු නේද බං.... මල්ලි ඔම්ල‍ට් එකකුත් ගේන්න"

"හෙහ් හෙහ් හෙහ්.... කෝමද ආතල්එක ආ......"

"අපිට කෙලින්න හිතුව මදි මහත්තය...."

"අරූග පුක් මූන මැවිල පේනව බං.... ගත්තයිං ගත්තෙ නෑ එහෙම ආතල් එකක් බං......හුහ්! අපිට කෙලින්න.....*&%*&පුතා!"

"ඔන්න ගනිං.... මේකත් ඉවර කරල යං යන්න"


2013.05.07

"නුවන් මහත්තය?"

"ඇයි ආන?"

"හදිසි වැඩක්ද? යමුද පොඩ්ඩක් කැන්ටිම පැත්තට....."

"මොකද්ද කේස් එක?"

"අර දැං ආපු බුවා මොකද කිව්වෙ? මෑන් ඇවිල්ල මට ටෝකක් දුන්න.... මොකද්ද එයාගෙ කේස් එක?"

"අම්මට සිරි උඹේ ලඟටත් ආවද? බුවාට පාඩුවක් වෙන්නයි යන්නෙ.... හරියට ෆයිල් එක හැදුවොත් අටක් දහයක් ගෙවන්න වෙනව.... උඹට මොකද කිව්වෙ?"

"නුවන් මහත්තයට කෙලිම්ම ටෝක දෙන්න බැරි නිසයි මට කිව්වෙ.... මෑන් කැමතියි වගේ පහහක් හැටක් දීල ගාන ටිකක් අඩුකරගන්න..... ඕනනං එකක් විතර ගන්නත් පුළුවං.... නම්බරෙත් දුන්න මට"

"ම්....... මටත් හිතුන ඕක..... නමුත් මට නං බුවාව ඇල්ලුවෙ නෑ එච්චර....."

"ආයෙ මෙනවද නුවන් මහත්තය..... අපේ ගාන කවර් වෙනව නං මොකද්ද ඊට වැඩිය......"

"උඹ නං කියයි! මම එපැයි කරන්න.... හරි කෝල් එකක් දිල බලපං...."


2013.05.08

"මචං වැඩේ කරගන්න පුළුවන්... අඩුම ගානෙ පනහක්වත් දෙන්න වෙයි.... "

"ඕක හරියන්නෙ නෑ බං.... උඹ දන්නවනෙ ආරියට උන වැඩේ... අන්තිමට මොකද්ද උනේ..... ටැක්ස් මහත්තයට එකක් දීල අන්තිමට මුළු ගානමත් ගෙවන්න උනානෙ"

"එහෙමද! ඇමතිතුමා අල්ලගෙන වැඩේ ෂේප් කරගන්න බැරිවෙයිද බං?"

"අනේ උගෙන් වැඩක් නෑ.... මාත් ගියා ඔයවගේ කේස් එකකට.... කෝල් එකක් දෙන්නං කිව්ව විතරයි.... මොකුත් උනේ නෑනෙ බං.... අනෙක ඔය ඔපිස් එකේ #*^#*ල ඇමතිය කිව්වත් කරන්නෙ නෑ උන්ට ගාන දෙන්නෙ නැත්තං"

"මොකද්ද බං කරන්නෙ? මේ වෙලාවෙ සල්ලිත් නෑ බං එච්චර"

"ඔය බුවා අල්ලල දෙමුද බං අල්ලස් එකට! ටිකක් කාලයක් ඒක හරි ඇදිල යයිනෙ?"

"ම්.........."


2013.05.12 පෙ.ව.8.45

"හරි සර්.... සල්ලි ටික හරි! අංක ටික ලිව්ව.... අරයට දෙන්නද?"

"කෝ අර පැමිණිලි කරපු මනුස්සය.... ආ ඔය එන්නෙ....."

"එහෙනං ඔයා යන්න..... මෙන්න සල්ලි ටික මතකයිනෙ කියපු විදියට වැඩේ කරන්න...... සල්ලි ටික එයාගෙ අතටම දෙන්න..... පියන්ට දෙන්න එපා.... තනියම කාමරේට යන්න..... අපි ඒ එක්කම ඇවිල්ල මිනිහ අල්ලගන්නං......"

"හරි සර්! මම කිව්ව විදියටම කරන්නං".

"බලනව අයිසෙ මුංගෙ වැඩ! උගෙත් රස්සාව අදින් ඉවරයි.... මොනව කරන්නද!"


2013.05.12. පෙ.ව. 9.45

"සර්.... එහෙනං මගේ වැඩේ හරිනෙ! තුනකට විතර බස්සල හදන්න සර්..... මෙතන අසූවක් තියනව".........................

"අපි පොලිසියෙන්..... තමාව අත්අඩංගුවට ගන්නව මේ නිලධාරියාට බලපෑම් කරල අල්ලස් දීමට තැත්කිරීම සම්බන්ධව..... යමු අපිත් එක්ක"

"මම...මම.... මේ..... මෙන්න මේ සර්ල එක්ක ආවෙ....."

"රාලහාමි අපි අල්ලස් එකෙන්.... අපි ආවෙ අල්ලස් ගැනීම සම්බන්ධව මේ නිලධාරියාව අත්අඩංගුවට ගන්න..... මේ පුද්ගලයගෙ පැමිණිල්ලට අනුව"

"ඩිරෙක්ටර් අපිට පැමිණිලි කලා මේ මහත්තයට මෙයා බලපෑම් කරනව කියල, එයාගෙ ටැක්ස් එක අඩුවෙන් හදන්න කියල, අද උදෙත් කෝල් කරල තියනව....."

"හරි කට්ටියම යමු ඩිරෙක්ටර් ලඟට"


2013.05.12 ප.ව. 4.45

"මොකද්ද නුවන් මහත්තය මේ උනේ.....?"

"හෙහ්... හෙහ්... හෙහ්.... ඊට කලිං ෂොට් එක දාගනිංකො.... චියර්ස්!"

"මට මුල ඉඳලම මේ වැඩේ ඇල්ලුවෙ නෑ බං.... මම එදා හවස කරුණාරත්න මහත්තයට කෝල් එකක් දුන්න...."

"කවුද අර රිටය උන කරුණාරත්න සර්ද?"

"ඔව් ඔව්.... එයා කිව්ව ඔය මෑන් මීට කලිනුත් අපිට පෙස්සං වගයක් ගහල මොකද්ද සීන් එකක් උනාලු! අපේ ඩිරෙක්ට සර් එන්නත් කලිං සිද්ධියක් ඒක....."

"ඉතිං.....?

"ඉතිං මම වැඩේ අල්ලල දැම්ම..... පස්සෙ මට හිතුන මූ අපිට ගේමක් දෙන්නනං හිතං ඉන්නෙ ඌටත් පොඩි රිටන් එකක් ‍දීල බලන්න කියල....."

"හා.....?"

"මම ඊයෙ රෑ බොසාට කෝල් එකක් දුන්න.... දීල කිව්ව අරූ ටැක්ස් එක අඩුකරන්න කියල තග දානව කියල....."

"අම්මට සිරි!"

"මම කිව්ව ඌ ඒක කිව්වෙ අදය කියල..... නැත්තං බොසා අහයි කලින් කිව්වෙ නැත්තෙ ඇයි කියල.... මම කිව්ව වැඩිය ගනං ගත්තෙ නැතත් සර්ට කියන්න ඕන කියලයි කිව්වෙ කියල"

"ඉතිං සර් මොකද කිව්වෙ?"

"සර් ඕඅයිසී සහත්තයට කියල තමයි අර පොලිසියෙන් එව්වෙ..... අල්ලස් එකට කියල වෙලාව නැති නිසා තමයි පොලිසියට කිව්වෙ..... ඒක තමයි මටත් ඕනවුනේ..... මොකද අල්ලස් එකට ගියානං දෙගොල්ල එතනදි සෙට් වෙන්න තිබුනනෙ... හහ් හහ් හහ්...."

"දැනුයි තේරෙන්නෙ වැඩේ.... නුවන් මහත්තය මට අරූට කෝල් ගන්න එපයි කිව්වෙ ඒකද?"

"ඔව් ඔව්.... මම කිව්වෙ ඌම කෝල් එකක් දෙනකං හිටපං කියල..... ‍මෝඩය ගිල්ල ලනුව"

"දැං ඉස්සරහට මොකක් වෙයිද නුවන් මහත්තය......"

"මොනව වෙන්නද බං.... අරූ දවසක් දෙකක් ඇතුලෙ තියං ඉඳල එලියට දාමයි නෙව!


2014.05.12. ප.ව.7.10

"මල්ලි අපේ බිල ගේන්න....."

"නුවන් මාත්තය මෙන්න මේකත් දාන්න...."

"ඕන නෑ.... උඹ ඕක තියාගනිං.... මේ......න් මේ දෙදාහ කොහෙන්ද කියල උඹ දන්නවද?........"

"‍කවුද දුන්නෙ?"

"අරූ මේසෙ උඩට සල්ලි දැම්මනෙ.... ඒ එක්කම පොලිෂිය ඌව ඇල්ලුවනෙ..... ඒ එක්කම අල්ලස් බුවාලත් පැන්නනෙව....."

"ඉත්තිං?"

"ඔය අස්සෙ මම උඩම තිබුන දෙදාඑ කොලේ බිමට දැම්ම බං..... කවුරුවත් දැක්කෙ නෑ ඒක..... අරුංට සල්ලි ගනින්න උනෙත් නෑ ඩිරෙක්ට ලඟට ගියානෙ..... ෆෑන් එකට හුලඟ ගිහිල්ල බිමට වැටිල තිබුන අයිතිකාරයෙක් නැති දෙදාඑ කොලයක්!හහ් හහ් හහ්..."

"අම්මප නුවන් මහත්තය නං....."

Thursday, September 11, 2014

පොත් කියවීම, මගේ පොත් දහය සහ සාහිත්‍ය (මාසයේ) කතා.

මේ සැරේ සාහිත්‍ය මාසෙ නැගල යන දේ තමයි තමුන්ගෙ ජීවිතයට බලපෑම් කල පොත් දහය නම් කිරීම. ෆේස්බුක් වලින් පටන් ගත්ත මේක බ්ලොග් වලටත් ඇවිල්ල. ෆේස්බුක් වල තිබුන කාවෙක් සහ මීයෙක් අතර කතාබහක්. ඒ දෙන්න කතා වෙනව මේ මාසෙවත් මිනිස්සුන්ට කන්න දෙමු කියල. මොකෝ අවුරුද්දෙම කන්නෙ එයාල නිසා. ඒකත් හොඳ විහිළුව.

කෙ‍නෙකු හොඳ කියවන්නෙක් බවට පත්වීමට, නැත්තං පොත් ගුල්ලෙක් වීමට, බලපාන සාධකයක් කියල මම හිතනව කුඩා කාලයේ සිට පොත් ආශ්‍රයට ඉඩ ලැබීම. මම පොත් කියවීමට වැටුනෙ අහම්බෙන්. ඒකත් අපූරු සිද්ධියක්. අපි ඉස්සර හිටිය තාත්තගෙ මහගෙදර තිබුන සොල්දරයක්. මේ සොල්දරයෙ සෑහෙන්න ප්‍රමාණයක් තිබුන අවුරුදු හයක හතක කොල්ලෙකුට ආසා හිතෙන දේවල්. මොනර පිහාටු, පොත්, සඟරා, දාම් ඇදීමට සකස් කල මෝර ඇට,.... වගේ අටෝරාසියක්. ආ.... කතියන්න අමතක උනා. යකඩ රෝද විශාල ප්‍රමාණයකුත් මේ සොල්දරේ උඩ තිබුන. නමුත් එක අවුලක් තිබුන. සොල්දරයට නඟින්න තරප්පු පේලියක් තියා ඉනිමඟක්වත් තිබුනෙ නෑ. පොඩි එකෙක් වෙච්ච මම ඉඳහිට කෝටුවකින් ඇනල මොනර පිලක්, මෝර ඇටයක් වට්ටගත්ත මිසක් වෙන දෙයක් ලබාගත්තෙ නෑ. කොහොම උනත් කොල්ල ලොකුවෙද්දි සොල්දරේට නඟින්න ක්‍රමයක් හොයාගත්ත. ලඟ තිබුන ජනේලයට නැඟල එතනින් ඒ ආසන්නයේ තිබුන අල්මාරියකට ගොඩවෙලා සොල්දරේ ජයගත්ත.

සොල්දරේට නැග්ග රාජ්ගෙ හැඟීම හරියටම, කොල්ලකාරයෙක් නිධානයක් හොයල, පෙට්ටියක් ගොඩට අරගෙන ඒක අමාරුවෙන් විවෘත කලාම ඒ තුල තියන මුතු මැනික් ආදී වස්තුව දැක්ක වෙලාවක වගේ කිව්වොත් හරි. සොල්දරේ තිබුන දේවල් අතරින් අන්තිමට අවධානයට ලක්වුනේ පොත්පත් සඟරා තොගය. නිදහස් අධ්‍යාපනය නොතිබුන අපේ තාත්තලගෙ කාලෙ ගෙදර හිටිය දරුවන් නව දෙනෙකුගෙ පොත් තමයි ඒ තිබුනෙ. සිංහලද බුද්ධාගමද ඉතිහාසයද නැති මගුලක් නෑ. ඒ අතරෙ තිබුන සමාජවාදී සෝවියට් දේශයේ අනුග්‍රහයෙන් ලැබුන පොත්පත් සඟරා සෑහෙන ප්‍රමාණයක්. මේ අතරෙ තිබුන සමහර මාක්ස්වාදී ‍ප්‍රකාශන 88-89 කාලෙ තාත්ත පරණ කක්කුස්සි වලකට දැම්ම කියලත් මතකයි. ඒව කවදාවත් මම අත නොතියූ පොත්.

අනෙක් පොත් කියෙව්ව එක එක වයස් කාලවල. ඒ කාලෙ මගේ හිතට අල්ලල ගියේ ඉතිහාසය සම්බන්ධ පොත්. පොත් කියවීම කොච්චර ප්‍රයෝජනවත්ද කියනව නම් එකොලොස් වැන්නට වෙනකල් සමාජ අධ්‍යයනය හා ඉතිහාසය කියන විෂයට තිබුන ලකුණු ගනන 95න් උඩ!

‍1.මුලින්ම කියවූ නවකතාව වන ගම්පෙරලිය තිබුනෙත් සොල්දරේ උඩ. කාවුන් මීයන් කාල කොටස් වශයෙන් තිබුනත් පොත කියවන්න පුළුවන් මට්ටමට එකලස් කරගන්න හැකියාව තිබුන. පොත් කියවීමේ ආරම්භය තමයි ඒ. ගම්පෙරලිය ගැන කියන්න දෙයක් නැතත් ගම්පෙරලියේ මම කැමත්තෙන්ම කියවූ කොටස තමයි අර කට්ටිය කරත්ත වලින් කන්දෙ දේවාලෙටද කොහෙද ගිය ගමන. අවුරුදු හයකදි හතකදි ගම්පෙරලිය කියෙව්වට පස්සෙ සාපෙල සාහිත්‍ය ගුරුවරයා "ගම්පෙරලියෙන් කියවෙන්නෙ පැරණි වැඩවසම් සමාජ ක්‍රමයේ බිඳවැටිල වෙළඳ ...." කියද්දි යකෝ ඇත්ත නේද කියල හිතුන. පොඩිකාලෙ කාටද ඕව තේරෙන්නෙ.

2.ජීවිතයට බලපෑම් කල දෙවනි පොත් සෙට් එක තමයි ෂර්ලොක් හෝම්ස් පොත් ටික. ෂර්ලොක් හෝම්ස් පොත් කියන්නෙ මට අනුව නිකංම නිකං රහස් පරීක්ෂන ටිකක් විතරක් නෙවේ. මේ පොත්වල තියන නිරීක්ෂණ සහ නිගමන සාමාන්‍ය ජීවිතයට සෑහෙන්න පාඩම් කියල දෙනව. නිරීක්ෂණ සහ නිගමන කියන්නෙ මගේ කැමතිම විනෝදාංශයක්. උදාහරණයක් කියන්නං.
ඔන්න මම කාර්යාලයේ ඉඳල ගෙදරට යන මාර්ගය වැටිල තියෙන්නෙ මෙහෙමයි. X කියන තැන කාර්යාලය තියනව. එතනින් බස් එකට නැග්ගම බස් එකේ සීට් ගනනට වගේ සෙනඟ ඉන්නව. X' කියන තැනදි තවත් කාර්යාලයක විශාල පිරිසක් බස් එකට ගොඩවෙනව. ඒ වෙද්දි සීට් එකක් ලැබුනෙ නැත්නම් දිගටම හිටගෙනයි යන්න වෙන්නෙ. ඔන්න මම බස් එකට නැඟල හිතනව කවුද ලඟින්ම බහින්නෙ කියල. වාඩිවෙලා ඉන්න මිනිස්සු නිරීක්ෂණය කලාම අපූරු නිගමන වලට එන්න පුළුවන්.

♣ ඉස්කෝලෙ ළමයි ඉන්නව නම් එයාල බොහෝ විට ලඟ බහින උදවිය වෙන්න ඕන. මොකද තවත් ටිකක් යද්දි ප්‍රධාන ඉස්කෝලයක් තියන නිසා.
♣ සෙරෙප්පු නැතිව, එච්චර හොඳට හැඳපැලඳ නොසිටින කෙනෙක් කාර්යාලය තියන X ටවුමට එන ලඟ පදිංචිකාරයෙක් වෙන්න පුළුවන්.
♣ අතේ බෑග්/කොට්ට/උණු වතුර බෝතල් තියන කෙනෙක් නං අනිවාර්යෙන් යන්නෙ මගේ ගමනාන්ත නගරයේ තියන ඉස්පිරිතාලෙට. හවස 5ට ‍ලෙඩෙක් බලන්න.

ඔයවගේ නිරීක්ෂණ මත සීට් එකක් ලඟට ගියාම මීටර පන්සීයක් යද්දි සීට් එක ලැබීමේ සම්භවිතාව සීයට අනූ ගනනින් පහලට එන්නෙ නෑ. ඔන්න ඔහොමයි ෂර්ලොක් හෝම්ස් ජීවිතයට එන්නෙ.

3.සිංහයගෙ පෝස්ටුවෙ දාල තිබුන ශුද්ධ ගණිත පොතත් එක්ක අපි කියවපු ව්‍යවහාරික ගණිත පොත තමයි ලිස්ට් එකේ තුනට තියෙන්නෙ. ඔය පොත් දෙක ඒ කාලෙ මැත්ස්කාරයන් අතරෙ මාර ජනප්‍රියයි. මම කියන පොතේ රචකයවත් නමවත් හරියට දන්නෙ නැතත් ගණිතයේ තිබුන ප්‍රායෝගික යෙදීම් අද පවා වැඩක් කරද්දි ඔලුවට එන්න ගත්තෙ ඔය පොත නිසා. ඒකෙ තිබුන රුවල් නැව් පැදවීම වගේ දේවල් ගැන පවා. නම දන්න කෙනෙක් කියත්වා!

4.ලිස්ට් එකේ හතරවැන්නත් හරියට නම නොදන්න සිංහල පොත. මේකත් සොල්දරේ පොතක්. මට මතක විදියට ජ්‍යේෂ්ඨ සිංහල වගේ නමක් තිබුනෙ. ගුණසේන සමාගමේ වැඩක්. එඩ්වින් රණවක මහත්තය වෙන්න ඕන ලියල තිබුනෙ. කිරිපිටි පැකට්ටුවක් තරම් ලොකු මේ පොත අයන්නෙ ඉඳල ඉහලම භාෂාව දක්වා සියල්ල අඩංගුයි. මේකෙ තිබුන එකක් තමයි රචනා ලිවීම. රචනාවක සැකැස්ම අඩංගු කරල ලියල තිබුන "ඇතා" කියන රචනාව තමයි මම කැමතිම. ඒ රචනාවෙ විදියට තමයි අදත් මගේ සමහර බ්ලොග් ලිපි ලියවෙන්නෙ. පැරණි, බ්ලොග්කරුවන්ට මේ පොත මතක ඇති.

5.අපරාධය හා දඬුවම
මුලින්ම අපරාධය හා දඬුවම කියවන්න ගතවුනේ දවස් තුනයි. පසු කාලයක තමයි 'හරියට' කියවන්න ලැබුනෙ. දොස්තයෙව්ස්කි තරම් මිනිස් සිතුවිලි විග්‍රහ කරන්න පුළුවන් රචකයෙක් මෙතෙක් දැකල නෑ.

6.කරමසෝ සහෝදරයෝ.
මේකත් දොස්තයෙව්සිකිගෙ පොතක්. පීතෲ ඝාතනයක් ගැන කියවෙන්නෙ.

7.රන් මකුණා.
එඩ්ගාර් ඇලන් පෝගෙ කෙටිකතා පරිවර්තන පොතක් (කේජී කරුනාතිලක සූරීන්) වෙච්ච මේ ආශ්‍රයෙන් තමයි දෝතයෙව්ස්කිව කියවන්න පාර කැපුනෙ.

8.ලිස්ට් එකේ අටවැන්න තමයි මීහයිල් බුල්ගාකොව්ගෙ මාස්ටර් සහ මාගරිටා. පරිවර්තනය පසන් කොඩිකාර. හොඳ සහ නරක අතර සිදුවන ඝට්ටනය පෙන්වන කෘතියක්. කියවන්න එපා නොවන ජාතියෙ පොකත්. ලැබුනොත් අනිවාර්යෙන් කියවන්න නිර්දේශ කරන පොතක්.

9.පවුල.
මේක චීන ලේඛක බා ජින් ගෙ පොතක්. පරිවර්ථකයා මතක නෑ. චීන විප්ලවයට සුළු කාලයකට පෙර විප්ලවය දැකීමක් විදියටයි මම මේක දැක්කෙ. හිත් ඇදගන්නා නමක් නොවුනත් කියවියයුතු පොතක්.

10.ආයතන සංග්‍රහය.
කතා පොත් අතරෙන්, අන්තිමට එන්නෙ මේක තමයි. රැකියාවට පැමිණීමත් එක්ක ආයතන සංග්‍රහය එක්ක ගණුදෙනු පටන් ගත්ත. රාජ්‍ය සේවයේ තියන රෙගුලාසි පමණක් අඩංගු වුවත් ආයතන සංග්‍රහය කියවීම විඩාවක් කියල හිතෙන්නෙ නෑ. ආයතන සංග්‍රහයේ තියන අවුල් ගැන එහෙමත් යම් දැනුමක් මේ වෙද්දි තියනව.

මීට අමතරව කැමති පොත් දෙකක් තමයි 'බුදුහාමුදුරුවෝ' කියන පොත. ලේඛක භික්ෂූන් වහන්සේ මතක නැතත් පොත නං හොඳට මතකයි. ඒකෙන් කියවෙන්නෙ බුදුහාමුදුරුවො කියන්නෙ මෙන්න මේ ජාතියෙ කෙනෙක් කියල උදාහරණ සහිතව පෙන්වාදීම. අනිත් පොත තමයි සයිමන් නවගත්තේගම සූරීන්ගෙ සංසාරාරන්‍ය අසබඩ.

Tuesday, September 9, 2014

කොටියාට වෙඩි තැබීම (ඉන්දියානු කතාවකි)

මේක පැරණි ඉන්දියානු කතාවක්.
ඔන්න ඉන්දියාවෙ දුෂ්කර ගම්මානයක් තිබුන. කැළෑබද ගම්මානයක් වෙච්ච එහේ බහුතරයක් ජීවත් වුනේ ගොවියන් සහ සතුන් ඇතිකරන්නන්. ඊට අමතරව ගමට ආයුධ සහ උපකරණ සාදා දුන් කම්මල් කරුවා, වලං සාදන්නා, වඩු වැඩ කරන්නා,.... ව‍‍ගේ කිහිප දෙනෙකුත් ජීවත් වුනා. එක කාලයකදි මේ ගමට පැමිණියා ව්‍යසනයක්. කැලෑවේ ජීවත් වූ කොටියෙක් ගම්වැදීමට පුරුදු වුනා. ගම් වැසියන් ඇතිකල සතුන් කෑමට පුරුදුවුන කොටියා අන්තිමට මිනීමස් කන්නෙක් බවට පත්වුනා.

කොටි උවදුරෙන් බේරෙන්න බොරු වලවල් දැමීම, විෂ සහිත කෑම දීම වගේ විවිධ ක්‍රම අත්හදා බැලුවත් සාර්ථක වුනේ නෑ. අන්තිමට ඉතිරි වුනේ "කොටියාට වෙඩිතැබීම" කියන විකල්පය විතරයි. නමුත් වැඩේට අවශ්‍ය කරන තුවක්කුවක් ගමේ තිබුනෙ නෑ. දැං වෙඩි තියන්න තුවක්කුවක් හදාගන්න ඕන.

වඩු බාස් භාරගත්ත තුවක්කුවෙ අච්චුව හදන්න, කම්මල් කාරය භාරගත්ත මැෂිම හදන්න, කරත්ත කාරය ලඟ තිබුන කඳට ඕන කරන බටය, පතලක වැඩකල මනුස්සය ලඟ තිබුන වෙඩි බෙහෙත්! ඔන්න දැන් තුවක්කුව හදන්න සියළු කටයුතු සූදානං. නමුත්........,මේ වැඩසටහනේ පොඩි අවුලක් තිබුන.

තුවක්කුව හැදුවට පස්සෙ කොටියාට වෙඩිතැබීමේ ගෞරවය ලබාගන්න මේ හැමෝටම ඕනවුනා. ඒ සඳහා ඒ හැමෝටම හොඳ හේතු සාධකත් තිබුන. වඩුව කියන විදියට තුවක්කු‍වෙ හැදිමේ අමාරුම කොටස තමයි අච්චුව.

"ඒක සියුම්ව කරන්න ඕන වැඩක්! මට ඇරෙන්න වෙන කෙනෙකුට කරන්න බෑ... මෙතනදි වැරැද්දක් උනොත් වෙඩිතියන කෙනා මියයන්න උනත් පුළුවන්...." එයා කිව්වෙ එහෙමයි.

"තුවක්කුවෙ මැෂිම හැදීම තමයි අමාරුම! ඒ නිසා මටයි වෙඩිතැබීමේ අවස්ථාව ලැබෙන්න ඕන" කම්මල් කාරය එහෙම කිව්ව.

"තුවක්කු කඳ තියෙන්නෙ මගේ ලඟ නෙව! ඒක නැතිව කොහොමද වෙඩි තියන්නෙ?" කරත්තකරු ප්‍රශ්න කලා.

"තුවක්කුව තිබිල මොකටද.... වෙඩි බෙහෙත් නැතුව? ඒ නිසා මටයි අවස්ථාව ලැබෙන්න ඕන...." වෙඩි බෙහෙත් කාරය කිව්ව.

ඊට අමතරව තවත් ප්‍රශ්නත් ඔවුන් අතර තිබුන. මේගොල්ල අතර ඉස්සර තිබුන පුංචි පුංචි නෝක්කාඩු නිසා තුවක්කුව අතට අරගෙන කොටිය ඉවර කලාට පස්සෙ තමුන්ට තුවක්කුව එල්ල කරයිද කියන බය එයින් එකක් විතරයි. ඒ අතරෙ දැනමුත්තෙක් කිව්ව මෙහෙම,

"උඹල හැමෝගෙම කාර්යභාරයන් එක වගේ වැදගත්...... ඒව එකක්වත් පුංචි නෑ..... හැමෝම වටිනව.... තුවක්කුව හදල හොඳ වෙඩික්කාරයෙකුට දීල හැමෝම කොටියගෙන් බේරෙමු"

නමුත් තුවක්කුවකින් වෙඩිතියන්න දක්ෂ කෙනෙක් හොය‍ාගෙන වැඩේ ඉවර කරගන්න, එයාලගෙ හිත්වල තියන ආඩම්බරකම ඉඩ දෙන්නෙ නෑ......

කතාව ඔතනින් ඉවරයි. අවසානය මොකක්ද කියන එක මාත් දන්නෙ නෑ..... ඒක ඉතිහාසය ලියන කාලෙක ලියවේවි.


පසුවදන: මාතලන්ගෙ ලිපියකට දාපු කෙන්ජිගෙ කමෙන්ටුවක් නිසා මතක් වෙච්ච කතාවක් මේක. බ්ලොග් වේලෙනව කියල මාතලන් කියන නිසා ලිව්වෙ.

Friday, September 5, 2014

කළු හාමිලා කළු අප්පුලා සහ තක්කඩි හිඟන්නෝ.....

හරි, මං උඹට කිව්වද අර එලොව ඉඳල ආපු තක්කඩියගෙ කතාව?

නෑ සීයේ? කියහංකො බලන්න එහෙනං.....

කතාවක් අහන්න සීය ලඟට ආපු මුනුබුරාගෙන් සීය ඇහුවෙ දන්න කියන කත‍ා ඔක්කොම වගේ කියල ඉවර වෙච්ච නිසා. කොහොම උනත් දැන් කතාවක් තියනව කියන්න. ඕං සීය කතාව පටංගත්ත.

"ඔන්න පුතේ ගමක හිටිය ටිකක් වයසක ජෝඩුවක්. මිනිහගෙ නම කළු අප්පු. එයාගෙ මායිය කළුහාමි"

"කළු හින්ද වෙන්න ඇති සෙට්වෙන්න ඇත්තෙ නේද සීයේ? අනෙක කළු උනාට දෙ‍ාදොල් රහයි කියල කියන්නෙ!"

"පනින්නෙ නැතුව හිටපංකො...., ඔන්න කළුඅප්පු ගෙදර නැති දවසක ගෙදරට හිඟමනේ ආව හොර තක්කඩියෙක්...."

"එහෙනං සීයේ අර ආච්චිගෙ මිස්කෝල් එකකට වෙන්ටැති නෙහ්! නැත්ත එෆ්බී එකේ රික්වෙස්ට් එකක් ඇවිල්ල වෙන්න ඕන නේද?"

"උලව් එස්බි එකක් ඒ කාලෙ තිබුනෙ නෑ බං.... මේ කෝපි කාලෙ කතාවක් බොල! අහගෙන හිටු!"

"හරි හරි කියපංකො"

"ඔන්න හිඟන්න ඇවිල්ල අර අම්මන්ඩිගෙන් පිනට යමක් ඉල්ලුව එලොව ගිහින් මෙලොව ආව කියලත් කිව්ව කතාව අස්සෙ"

"ඉතිං සීයේ?"

"එලොව ගියයි කිව්වම මේ ගොං අම්මන්ඩි ඇත්තටම හිතුව අරූ එලොව ඉඳල ආව කියල"

"ඉතිං ඊට පස්සෙ?"

"ඊට පස්සෙ ක‍ාලෙකට ඉස්සර එලොව ගිය තමුන්ගෙ දුව ගැන අහල, අරූගෙ කතා වලට රැවටිලා දුවගෙ කනකර ආභරණ ‍ටිකයි අතේමිටේ තියන සල්ලි ටිකයි අර තක්කඩියට දීල දැම්ම"

"හිහ් හිහ් හිහ්.... හරියට එෆ්බී එකේ අක්කල හැම දෙයක්ම එක දවසෙන් අයියලට දෙනව වගේ නේද සීයේ?"

"ඔව්වොව් හරි හරි උඹ පුංචි එකා පැහෙන්නෙ නැතුව හිටහංකො! ඔන්න වස්තුව අරගත්ත තක්කඩිය විජහට පැනල ගියා.... මේ අතරෙ අර යෝදිගෙ මනුස්සය ගෙදර ආව... වෙච්ච සිද්ධිය දැනගත්තම මිනිහට යකා නැග්ග, අස්සය පිටට නැග්ග උන්දැ හොරා අල්ලන්න පිටත්වුනා "

"ඒ ගමන නං හොරාට බඩ පිරෙන්න දෙන්න ඇති නේද සීයේ?"

"ඈත මිනිහෙක් අස්සය පිට එනව දැක්ක හොරා දැනගත්ත වැඩේ.... ඌ විගහට ගහකට නැගගත්ත.... කළු අප්පුව හොරා අල්ලන්න ගහට නඟින අතරෙ අරූ අත්තක් දිගේ බැහැල අස්සයත් අරං පැනල ගියා...."

"අම්මට සිරි සීයේ........ ඌ මාර බුලට් එකක් තමයි.....ඉතිං?"

"දැං ඉතිං කරපු මෝඩකම ගෑනිට කියන්නයැ..... කළු අප්පුව ගෙදර ගිහිල්ල කිව්ව දෝනියැන්දට අප්ප ගානෙ අස්සයත් දුන්න කියල!.... අනේ මෙහෙම මෝඩයො! ගේ අතගාගත්ත හොරාට අස්සයත් දීල දැම්ම!"

"නියම කතාව සීයේ... හැබැයි ඒ ජෝඩුවට මෝඩයො කියන එකට නං මං කැමති නෑ"

"හෑ! ඒ මොකෑ?"

"ඇයි සීයේ දැං ඔය ඌව පැත්තෙ වෙන්නෙත් ඔයවගේ කේස් එකක්නෙ"

"ඒ කිව්වෙ පුතේ.... කියහං බලන්න තේරෙන්න"

"දැං විපක්ෂෙ කට්ටියට ඌවෙ ඡන්දෙ කොරන්න ආණ්ඩුවෙ කට්ටිය ඉඩ දෙන්නෙ නෑනෙ සීයේ.... ගහනව කුඩු කරනව පුච්චනව.... ඔහොමයිනෙ..... අනෙක පොලීසිය ඉස්සරහනෙ ගහන්නෙ...."

"ඉතිං?"

"ඔන්න විපක්ෂෙ කට්ටිය මේ ගැන මැකෝට පැමැණිලි කලා...."

"ඉතිං?"

"ඉතිං සීයේ මැකෝ කියනව ගැහිල්ල නවත්තන්නෙත් නැත්තං පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නෙත් නැත්තං එතුමාට කරන්න තියෙන්නෙ කලබල තියන තැන්වල ඡන්දෙ අවලංගු කරන එකලු"

"ඉතිං බං ඒක අර තක්කඩියට අස්සයත් දුන්නටත් හපංනෙ! දැං ඕනනං බැරිය අවාසි තැනකට ගහල ඡන්දෙ අවලංගු කරගන්නත්....?"

"ඒකනෙ සීයේ මාත් කියන්නෙ! අර ජෝඩුව මෝඩයි කිව්වට ඊට වැඩි....."

"හා හා කට කට! ඔන්න ඕව කිවන්නෙ නැතුව අර නංගිත් එක්ක කෝම්පිට්ටු හදපං...."