Tuesday, June 30, 2015

මේ සිටින්නේ ඇත්තම මහින්ද රාජපක්ෂයි.

මේ අන්තර්ජාලයේදී අහම්බයෙන් මුනගැසුන ඡායාරූපයකි.

හිටපු ජනාධිපතිවරයා පන්සලක් තුලදී සපත්තු පැලඳ සිටින බව සඳහන් කරමින් එය පලවී තිබිනි. පන්සල් ඇතුලේදී වුව එක එක්කෙනාගේ සපත්තු පැලඳීම් හෝ ගැලවීම් ගැන අමාරුවක් අපට නැතත් ඡායාරූපය වටහා ගැනීම පැත්තෙන් වැදගත්ය. සටහන කියවීමට මත්තෙන් ඡායා රූපය මිනිත්තුවක් පමන නරඹන්න. ඔබට වැටහෙන්නේ කුමක්ද? දැන් රේඛාවෙන් පහල සිලෙක්ට් කර සටහන කියවන්න.

-------------------------*-------------------------*------------------------------
මහින්ද රාජපක්ෂ මහතා නිරන්තරයෙන් පන්සල් ඇසුරු කරන්නෙකි. සංඝයාට ගරු කරන්නෙකි. අතේ බරට පිරිත් නූල් බැඳ සිටින්නෙකි. බෝධි පූජා සඳහා සහභාගී වන්නෙකි. සංඝ්‍යා වහන්සේලාගෙන් නම්බු නාම ලැබූවෙකි. නිතර දන්ත ධාතුව-ශ්‍රී මහා බෝධිය වඳින්නෙකි. කොටින්ම මහින්ද රාජපක්ෂ යනු සිංහලබෞද්ධයන්ගේ අසහාය නායකයාය. ඒ අපට දෘශ්‍යමාන වන මහින්ද රාජපක්ෂයි.

ඡායා රූපයේ සිටින මහින්ද රාජපක්ෂ පන්සලේ සිටින්නේ සපත්තු පැලඳගෙනය. ගමේ සිරිපාලලාට සුමනාවතීලාට ආගම, ධර්මය, පන්සල පිළිබඳව ඇති ගෞරවය-භක්තිය මහින්ද මහතාට අැති බවක් පෙනෙන්නට නැත. සිරිපාලලා සුමනාවතීලා මෙන් සංඝයා පිළිබඳ ගෞරවයක් ඔහුට නැති බව වටහා ගැනීමට ඔහු හිඳගෙන සිටින (සංඝයා වහන්සේ වැඩසිටින අසුනට සම) අසුන දෙස බැලීම ප්‍රමාණවත්ය. මේ සිටින්නේ සංඝ නායකයන්ගේ කීමට පිටින් දලදා මාලිගාව වටා කාර් රේස් පැවැත්වූ පුතාගේ ජනාධිපති පියාය. දේශපාලන පලිගැනීම් නවත්වන්නැයි සංඝ නායකයන් කියද්දී ෆොන්සේකාගෙන් එලව එලවා පලිගත් හිටපු නායකයාය.

ඡායා රූපයේ පහලට ඇස් යොමු කරමු. පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර තම ස්වාමියාගේ සරම පහලට අදින්නේ සපත්තුව වැසීමටය. නැතිනම් සුලඟ නිසා දිස්විය හැකි වැල්ල වසීමටය. ස්වාමියාගේ අසූචි ජිව්හයෙන් පිස දැමීමට සූදානමින් සිටින මෙවැන්නන් ස්වාමියාගේ නිරුවත වැසීමට නිරුවත් වීමට ඕනෑම විටෙක සූදානමින්ය. ඒ වෙනුවෙන් දෙපා මුලට මස් කටුවක් විසිකිරීම ප්‍රමාණවත්ය. මේ අධිකරණය සියතට ගත්, පාර්ලිමේන්තුව මිටට ගත්, රට සෙල්ලමට ගත් වැඩවසම් මහින්ද රාජපක්ෂය.

මේ ඇත්තම මහින්ද රාජපක්ෂ යයි කීවේ එබැවිනි.


-------------------------*-------------------------*------------------------------

[මහින්ද රාජපක්ෂට වඩා මහින්ද රාජපක්ෂ වීමට දඟලන සජිත් ප්‍රේමදාස වැනි පුස්සන්ටද මෙය මේ ආකාරයෙන්ම අදාලය]

-------------------------*-------------------------*------------------------------

බ්ලොග් දෙකක්:
01.ලිවීම නවතා සිටි දමිත් කේතක බ්ලොග් ලියන ලකුණු පෙනේ. නොදන්න මඟුල් කථා කිරීමට/දැනගැනීමට‍ ඔහුගේ බ්ලොග් අඩවියට ගොඩවිය හැකිය.

02.හෙට එච්චර කලුවර නැතැයි කියා "හැන්දෑවේ" ලිවිල්ල නැවැත්වූ මාලන් සමරවික්‍රම හා රැඩිකල් බ්ලොග්කරුවකු වන ජේමිස් බණ්ඩාගේ සටහන් තවමත් කියවා නැතිනම්, "(අ)සම්මත සටහන් | හෙට එච්චර කළුවර නොවන්නට!" වෙතින්.

Monday, June 29, 2015

අනුර කුමාරගේ භීතිය....

ජේවීපී නායක අනුර කුමාර දිසානායක හිටියේ නින්දේ නොවේ. පැය කිහිපයක් තිස්සේ නිඳාගැනීමට වෙහෙසුන ඔහු එයින්ම වෙහෙසට පත්විය. විශ්ව විද්‍යාල සමයේ සිට විප්ලවීය ජවිපෙ දේශපාලනයට යොමුවූ කාලයන්ද, තැපැල් නයින්ටියේ ගිය කාලයන්ද, සෝමවංශ මහතාගෙන් නායකත්වය භාරගැනීමද, වාහනය අනතුරට පත්වීම ආදී මනස් සිතුවම් පෙනෙන්නට විය. අනෙක් පස පිහිටි දරුවන්ගේ කාමරයේ දල්වා ඇති විදුලි බුබුලෙහි මඳ ආලෝකයෙන් ටීපෝව මත තිබූ වතුර වීදුරුව ගත් ඔහු ඉන් අඩක් පානය කලේය. සැමිය‍ාගේ වෙනස දිසානායක මහත්මිය දුටුවාය.

"ඇයි, නිඳාගන්නෙ නැද්ද? බලන්න දැං කොච්චර වෙලාද?" නිහඬව සිටි සැමියා කුමක් හෝ ප්‍රශ්නයක බැව් වටහා ගැනීමට බිරිඳ සමත් විය.

"ඔයා මේ ටිකේ මහන්සි වුනා වැඩියි.... හරියට නිඳාගත්තෙත් නෑ....මොකද ප්‍රශ්නයක්ද?"

"හ්ම්..." ඇය මඳක් කල්පනා කලාය.

"විස්ස නේද? විස්ස ආවොත් අපිට අවාසිද? හැබැයි ඉතිං ලංකාවෙන්ම ඡන්ද වැටෙන නිසා ප්‍රශ්නයක් නෑ කියල සුනිල් කිව්ව නේද?"

"නෑ නෑ විස්ස නං ප්‍රශ්නයක් නෑ.... අනෙක ඕව කෙරෙයිද කවුද දන්නෙ!"

"එහෙනං.... සිරි අයියා ගිය එකද?"

"හ්ම්.....ඒකත් එකක් තමයි....."

"ඒකෙන් මොකුත් වෙන එකක් නෑ අනේ.... එයා ගිහිල්ල මොනව කරන්නද?"

"ඒත් නෝනා....."

"ඒත් නෙවේ අනේ.... එයා ගියා කියල ඡන්දෙ අඩුවෙන්නෙ නෑ..... බලන්න විමල්ලා ගිහිල්ලත් පස්සෙ කාලෙක ආයෙත් ඡන්ද වැටුනෙ!"

"නෑ නෑ මම කිව්වෙ ඒකම නෙවේ..... සිරි අයියත් ගියේ පන්සල් යන්න ඕන කියල....."

"අනේ ඒ මනුස්සය ගැන ඔච්චර වදවෙන්නෙ ඇයි? අවසාන කාලෙ පිනක් දහමක් කරගන්න හිතිල වෙන්නැති!" එවර ජවිපෙ නායකයා දුන්නක් මෙන් ඉහලට එසවිනි. ඔහුගේ වෙනස දුටු දිසානායක මහත්මියද බියපත් වූවාය.

"ඇයි? ඔයාට මොකද වුනේ එහෙම කිව්වම?"

"ඒක තමයි නෝන මටත් බය....."

"ඒ කිව්වෙ? මොකද්ද අනේ කියන්නකො කියන දේයක් හරියට"

"බලන්න සිරි අයියට ‍වුන දේ.... බලන්න වාසුදේවට වෙච්ච දේ.....බලන්න කාලෝ ෆෝනසේකට වෙච්ච දේ..... මේ ඔක්කොම වමේ නායකයො, පතාක යෝධයො...."

"ඉතිං.....?"

"ඉතිං කියන්නෙ, වයසට යද්දි මටත් මෙහෙම වෙයිද කියල කවුද දන්නෙ? ජීවිත කාලෙම රැකගත්ත ගවුරවේ මැරෙන්න කලින් නැතිවෙනව කියන්නෙ කොච්චර භයානක දෙයක්ද කියල ඔයාට තේරෙන්නෙ නැද්ද?"

Friday, June 26, 2015

මහ මැතිවරණයට අමුඩ ගැසීම

අප සිටින්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් ආසන්නයේය. විසිවැනි සංශෝධනය සම්මත වීම හෝ නොවීම ගැන කිසිවක් අනුමාන කල නොහැකි වුවත් දැන් ඇත්තේ මහ මැතිවරණයක් නොපවත්වා සිටිය නොහැකි තත්වයක්ය. මෙවර මැතිවරණ ප්‍රතිපලය ගැන අනාවැකි කීමට කල් වැඩි වුවත් ස්ථිර ලෙස කිවහැක්ක වන්නේ අතිශයින් උනුසුම් මැතිවරණයක් අප ඉදිරියේ ඇති බවය. දශකයකට වැඩි කාලයක් තිස්සේ පරාජිතයන්ව සිටි එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ජයග්‍රහනය කරවීමත් සමඟ ජයග්‍රාහී තත්වයකට පත්වීම හා සුළුතර මන්ත්‍රී සංඛ්‍යාව අතැතිව ආණ්ඩුව පිහිටුවීම මඟින් ශක්තිමත් තත්වයකට පත්ව ඇත. මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයේ නායකත්වයට පත්වීමත් මැතිවරණයට ඉදිරිපත් වීමේ මහින්ද රාජපක්ෂ මහතාගේ අපේක්ෂාවත් නිසා අනෙක් පාර්ශවයන්ද ශක්තිමත්ය. එබැවින් මහ මැතිවරණය ජනාධිපතිවරණයටත් වඩා තියුණු මුහුණුවරක් ගැනීම අපේක්ෂා කල හැකිය.

දහ නව වැනි සංශෝධනය බලාත්මක කිරීම හා විසිවැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ලැබෙන හැකියාව හෝ නොහැකියාව මත මැතිවරණයේ තත්වය වෙනස් විය හැකි වුවද මේ මැතිවරණයේදී ද මෙතෙක් පැවති මැතිවරණයන්ගෙන් විශාල අපගමනයක් බලාපොරොත්තු විය නොහැකිය. ඒ අනුව මෙය පොරොන්දු දේශපාලනය මූලික කරගත් සාමාන්‍ය මැතිවරණයකි.

මැතිවරණය පවත්වන්නේ කුමන ආකාරයෙන් වුවද පුරවැසියන් ලෙස අපට වඩා වැදගත් වන්නේ මැතිවරණයෙන් පසු පත්වන ආණ්ඩුවේ ක්‍රියා කලාපයයි. ජනතා නියෝජිතයන් ලෙස කවුරුන් පත්වුවත් පොරොන්දු වලින් ලිස්සා යාම ආගන්තුක අත්දැකීමක් නොවන නමුත් මැතිවරණය වෙනුවෙන් රටේ ජනතාවට පැවරී අැති කාර්යභාරය විශාලය. මේ පිළිබඳව කල්පනා කිරීමේදී අතීත මැතිවරණ ආශ්‍රිතව කලහැකි අධ්‍යයනයන් දැන් පවතින තත්වය හමුවේ කුමක් කල යුතුදැයි තේරුම්ගැනීමට වැදගත්ය.

එක්දහස් නවසීය හැත්තෑ හතේ මැතිවරණ සමයේ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම වූයේ රට තුල වූ භාණ්ඩ හිඟයට විසඳුමයි. සමඟි පෙරමුණු ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කල සංවෘත ආර්ථික ප්‍රතිපත්ති නිසා හෙම්බත්ව සිටි ජනතා ඉල්ලීම ඉටුකිරීමට ජේආර් ජයවර්ධන මහතා ක්‍රියා කලේය. ඉන්පසු අනූ හතර මැතිවරණයේදී මූලික වූයේ සාමයයි. චන්ද්‍රිකා මැතිණිය බලයට පැමිණි විගස උතුරේදී එල්ටීටීඊය සමඟ යහපත් සම්බන්ධතාවයක් ගොඩනඟාගැනීමට උත්සාහ දැරූ අතර දකුණේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පැමිණියේය. (උතුරේදී චන්ද්‍රිකා මැතිනිය අසාර්ථක වීම වෙනම කාරණාවකි). චන්ද්‍රිකා මැතිනියගේ පාලන කාලය අවසන් වනවිට කරලියට පැමිණියේ සාමය සහ ආර්ථිකය වැනි කාරණාවන්ය. පාර්ලිමේන්තු මැතිවරණයෙන් බලය දිනාගැනීමට සමත් වූ රනිල් වික්‍රමසිංහ මහතාද සාම ගිවිසුම හා ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මඟින් ජනතා ඉල්ලීම් ඉටුකිරීමට උත්සාහ කලේය. එහි අවසාන ප්‍රතිපලය වූයේ රනිලුත් රනිල්ගේ සාමයත් දෙකම කුණු කූඩයට යැවීමට ජනතාව කටයුතු කිරීමෙනි. රනිල් වික්‍රමසිංහ මහතාව පරාජය කරමින් බලයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කිරීමත් සමඟ එතෙක් ජනතාව බලාපොරොත්තු වූ සාමය උදාවිය.

දශක තුනකට ආසන්න කාලයක් පැවති ප්‍රධාන ඉල්ලීම වූ යුද්ධය අවසන් වීමත් සමඟ එතෙක් යටගොස් තිබූ අපේක්ෂාවන් මතුපිටට පැමිණෙන්නට විය. සංවර්ධනය, දූෂණ නතරකිරීම, ව්‍යවස්ථාවේ අඩුලුහුඬුකම් ආදිය ගැන අවධානය වර්ධනය වූ අතර එහි කූටප්‍රාප්තිය වූයේ යුධ වීරයා වූ මහින්ද මහතා පරාජය වී මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වයට පත්වීමයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය අනෙක් නායකයන්ගේ ජයග්‍රහණ වලට වඩා සුවිශේෂීය. පක්ෂයකින් නායකයකු පත්වන සාම්ප්‍රදායික ක්‍රමයෙන් බාහිරව පොදු අපේක්ෂකයෙකු ලෙස රටේ නායකයා පත්වීම සිදුවන්නේ ප්‍රථම වතාවටය. වැදගත්ම කරුණ වන්නේ පක්ෂ දේශපාලනයට බාහිර පුද්ගලයන් වූ මාදුළුවාවේ සෝභිත හිමි, ආචාර්ය නිර්මාල් රංජිත් වැන්නවුන්ගේ‍ මූලිකත්වයෙන් පිහිටවූ සිවිල් සංවිධානවල ජවය ශක්තිමත් නායකයකු පරාජය කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබීමයි. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාස කිහිපයක පාලන කාලය තුල ව්‍යවස්ථා සංශෝධනය, වංචා විමර්ශනය වැනි කාරණා ඉටුකිරීමට උත්සාහ දැරීම ආදියෙන් පෙනෙන්නේ පාලන බලය ලබාගන්නා අයවලුන් ජනතා ඉල්ලීම් වලට යම් හෝ ආකාරයක අනුකූලතාවයක් දැක්වීමට සිදුවන බවයි.

පාර්ලිමේන්තු මැතිවරණයක් ආසන්න මේ මොහොතේ ජනතා ක්‍රියාකාරීත්වය වැදගත් වන්නේ එබැවිනි. ජනාධිපතිවරණයෙන් පසු නිද්‍රාවට වැටී සිටින නිර් දේශපාලනික කොටස් යලි අවදිවිය යුතුය. ඇනහිට ඇති ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කරවීමට බලපෑම් කලයුතුය. රටට වැදගත් යෝජනා සකස් කර දේශපාලන පක්ෂ වලටත්, පක්ෂ නායකයන්ටත්, ඡන්ද අපේක්ෂකයන්ටත් ඉදිරිපත් කල යුතුය. කුඩුකාරයන්, එතනෝල් මුදලාලිලා, හොරුන් එලවා දමා වඩා යහපත් ජනතා නියෝජිතයන් පත්කිරීමට ඡන්ද දායකයන් කටයුතු කල යුතුය.

මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම්.
-අජිත් පැරකුම්(W3Lanka)

Thursday, June 11, 2015

දහනවය, විස්ස සහ අශ්වයාට පෙර ඉස්තාලය වැසීම.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තවමත් පවතින්නේ වැට උඩය. මේ අතරේ අගමැතිට එරෙහි දෝශාභියෝගයද ඇත්තේ අලු යට ගිණි තත්වයේය. යෝජනා දෙකෙන් කවරක් ඉස්සර වේදැයි කිව නොහැකිය. කෙසේ වෙතත් විසිවැනි සංශෝධනය කරලියට පැමිණි ආකාරය එතරම් යහපත් නැත. මුලින් ආසන දෙසීය පනස් පහක් වන ආකාරයේ මැතිවරණ ක්‍රමයක් ගැන පක්ෂ සමඟ සාකච්ඡා කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන විට එය දෙසීය විසි පහට අඩුව තිබුනි. ආසන ගණන අඩුවීම බැලූ බැල්මට යහපත් සේ පෙනුනද එකඟතාවය බිඳගැනීම ගැන සිතූවිට මැවෙන චිත්‍රය යහපත් නැත. ජවිපෙ, හෙළ උරුමය, මුස්ලිම් පක්ෂ මෙන්ම කඳුකරයේ දෙමළ පක්ෂද මේ ක්‍රමයට එකඟ බවක් පෙනෙන්නේ නැත. ශ්‍රීලනිපයේ මහින්ද පිලේ කණ්ඩායම ගැනද කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි නිසා මැතිවරණ ක්‍රමය පිළිබඳව වූ මෙම සංශෝධනය ඇත්තේ අවිනිශ්චිත තත්වයකය. වත්මන් තත්වය අපට සිහි ගන්වන්නේ 2000 වසරේදී චන්ද්‍රිකා මැතිණිය ඉදිරිපත් කල පැකේජයයි.

ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ‍හඳුන්වාදුන් සමානුපාතික ඡන්ද ක්‍රමය, ඉන් පෙර පැවති සෘජු ආසන ක්‍රමය හා සැසඳීමේදී වඩාත් නවීන යයි කිව හැකි ඡන්ද ක්‍රමයකි. සෑම ජන වර්ගයකට මෙන්ම විවිධ දේශපාලන කණ්ඩායම් වලට අයත්වන ඡන්ද දායකයන් හට තම නියෝජිතයන් පත්කිරීමට සාධාරණ අවස්ථාවක් ලබාගත හැකි ක්‍රමයකි. සරළ බහුතරය ලබාගන්නා අය ජනතා නියෝජිතයා සේ පත්වන විට ඉතිරි සියල්ලන්ටම නියෝජනයක් නැතිවීමේ බහුබූත ක්‍රමය නැතිවූයේ සමානුපාතික ක්‍රමය මඟිනි.

සමානුපාතික ක්‍රමයට එරෙහිව සමාජ මතයක් ගොඩනැඟීමට මූලිකවම හේතු වූයේ මනාප ක්‍රමය සමඟ මතුවූ පාදඩ දේශපාලන සංස්කෘතිය නිසාය. ප්‍රධාන ‍දේශපාලන පක්ෂ දෙක විසින් මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම හොරෙකු ඡන්දයට ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදුන් අතර ඊට සමානුපාතිකව රටේ නීතිය අන්තයටම පිරිහිනි. කුඩ්ඩන් කසිප්පු කාරයන් ජනතා නියෝජිතයින් වූ විට මීට වැඩි යමක් බලාපොරොත්තු වීම විහිළුවකි. කෙසේ වෙතත් ඔක්කොම කුණු බේරුවල බොක්කට යයි කියන්නාක් මෙන් මේ සියළු දුර්විපාකයන් වලට ඇඟිල්ල දිගු වූයේ සමානුපාතික ඡන්ද ක්‍රමයටය.

නව මැතිවරණ ක්‍රමය ගෙන ඒමේ තවත් අපේක්ෂාවක් ලෙස කියවෙන්නේ සියළු ප්‍රදේශ වල ජනතාවට නිශ්චිත වූ නියෝජිතයෙකු ලබාදීමයි. මනාප ක්‍රමයේදී ආසනයකට මන්ත්‍රීවරයෙකු නොමැති අතර නියෝජිතයන් දිස්ත්‍රික්කය සඳහාම පත්වන බැවින් සමහර ආසන සඳහා මන්ත්‍රීවරයෙකු නොමැතිවීමේ ඊනියා ගැටළුව පැනනඟි. පැරණි ක්‍රමයේදී ප්‍රදේශයට නියෝජිතයෙකු ලැබෙන නමුත් අතිවිශාල ඡන්ද දායකයන් සංඛ්‍යාවකට නියෝජිතයෙකු අහිමි වේ. අනෙක් අතට සමානුපාතික ක්‍රමය ක්‍රියාත්මක කල පසුද ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම තම පක්ෂ නියෝජිතයන් පත්කලේ පැරණි ආසන ක්‍රමය පදනම්වය. ඡන්ද ක්‍රමය වෙනස් වූවාට ආසන සංවිධායකයන් පත්කිරීමේ කිසිදු වෙනසක් සිදුවූයේ නැත. නව ක්‍රමයට අනුව ආසන 125ක් හෝ ඊට වැඩි ආසන ක්‍රමයක් යටතේ වුවද දෙවන ප්‍රධාන පක්ෂයට සහ සුළු පක්ෂ වලට සාධාරණය ඉටුවන්නේ නැත.

අනෙක් අතට 'ජනතාවට නියෝජිතයෙක්' යන්න සංකල්පීයව ප්‍රජාතනාන්ත්‍රික වුවද ලංකාවේ තත්වය සලකා බැලීමේදී, පත්වන ජනතා නියෝජිතයා අවශ්‍ය වන්නේ කුමකටද?
ජනප්‍රිය පාසලට ළමයා ඇතුළු කරගැනීමට විදුහල්පතිට ලියුම් ලබාදීමටය, තරග විභාග ලියා සමත්වී ලබාගත යුතු රජයේ රැකියාවන් සඳහා පස්සේ දොරෙන් රිංගීමටය, නීතියෙන් බේරීමට මන්ත්‍රීතුමා ලවා දුරකතන ඇමතුම් ලබාදීමටය, රජයෙන් බෙදන සහනාධාර සහ ද්‍රව්‍යාධාර ලබාගැනීමටය,.....මේ ආදී දහසක් දේවල් වලටය. 'තීරණ ගැනීමේ කාර්යන්' කලයුතු ජනතා නියෝජිතයන් ලවා 'බාස් වැඩ' කරගැනීමටය.
කෙලින්ම රටට බලපාන මෙවන් ව්‍යවස්ථා සංශෝධන කල යුත්තේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුවය. එසේ නොවුවහොත් අලුතෙන් මතුවිය හැකි ගටළු බොහෝය. මනාප ක්‍රමය අවුල් වූවා සේ නව ක්‍රමයද අවුලට යාම වලක්වා ගැනීමට කටයුතු කලයුතුය. ඡන්ද ක්‍රමය වෙනස් කල පමණින් සියල්ල වෙනස් වේ යයි සිතීම උගහටය.

විස්සට කලින් අනිවාර්යෙන්ම කලයුත්තක්ද ඉතිරිව ඇත. එනම් දහනව වැනි සංශෝධනය බලාත්මක කිරීමයි. විශේෂයෙන්ම ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ පදනම වන ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම එහි මූලික කාර්යයි. මේ වනවිටත් ඊට නියෝජිතයන් පත්කිරීම විවාදයට තුඩු දී ඇත. මැතිවරණ ක්‍රමයේ වෙනස්වීම කුමන අතකට පත්තු වේදැයි කිව නොහැකි මේ අවස්ථාවේ රටේ නීතිය සැමට සාධාරණ ලෙස ඇතිකිරීම අත්‍යාවශ්‍යය. අශ්වයා පැනගිය පසු ඉස්තාලය වැසීමට වඩා එය වැදගත් වනු ඇත.

Thursday, June 4, 2015

පොලිස් ගොන්කම්, පොලිස් නෝන්ජල්කම් සහ පොලිස් පිට කොන්ද

සිරි ලංකාවේ පොලිසිය ගැන මේ දවස්වල කතා කතා බොහොමය. යහපාලන ආණ්ඩුව කලින් ආණ්ඩුව තරම් ම පොලිසියට බලපෑම් කරන ආකාරයක් පෙනෙන්නට නැත. නමුත් සමහර දේවල් යහපාලනයට නම් එකඟ නැත.

කොටකෙතන ඝාතන සැකකරුවන් කිහිප දෙනෙකු පසුගිය සතියේ නිදහස් කල අතර ඔවුන් නිදහස් කිරීම අරභයා ගම්වාසීන්ගෙන් මතුවූ විරෝධය පාලනය කිරීමට ජල ප්‍රහාර එල්ල කිරීමට පවා සිදුවිය. සැකකරුවන් නිදහස් කිරීමට හේතුවූයේ ඩී.එන්.ඒ නොගැලපීමයි. එහෙත් ඝාතනය කල ශරීර වලින් ලබාගත් සැක කටයුතු ඩී.එන්.ඒ වලට ගැලපෙන ඩී.එන්.ඒ. වෙනත් අයෙකු සමඟ ගැලපුනද ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු නොකිරීම විශ්මයජනකය.

සිරිලිය නම් ගිණුමක් විවෘත කිරීමේදී සිදුවුනා යයි කියන ව්‍යාජ හැඳුනුම්පත් අංක පිළිබඳ සිද්ධියක් වෙනුවෙන් කට උත්තර ගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීම් ලැබ තිබූ හිටපු ජනාධිපති ආර්යාවට, පොලිසියට යාම වෙනුවට කථානායක [මස්සිනාගේ] නිල නිවසට පොලිසිය යාම තවත් විහිළුවකි. ගමේ ඉන්න සිරිපාලලා පොල් හොරකමක් කලද, පොලිසියට ගෙනගොස් ඇටකටු කුඩුකර ප්‍රශ්න කරන ශ්‍රී ලංකා පොලිසිය ජනතා මුදල් වංචා කල කම්බා හොරුන්ගේ දෙපතුලට යාම හොඳම විහිළුවයි.

දකුණු පළාත් ධීවර අමාත්‍ය ඩී.වී. උපුල්ගේ ප්‍රකාශයකින් නින්දේ සිටි පොලිසිය නිදිගැට කඩා අවදි වූ ආකාරයක් පෙනෙන්නට තිබුනි. මහින්ද රාජපක්ෂ අගමැති කර පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයේ නිලධාරීන්ට ගල් ගසා මරන බව රැස්වීමකදී ඔහු ප්‍රකාශ කලේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකට අනුව මේ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

මෙම ඇමතිවරයා සම්බන්ධ සිද්ධි දෙකක් මගේ මතකයේ ඇත. පසුගිය පළාත් සභා ඡන්දයට කලින් ඡන්දයේදී ගනන් කිරීමේ මධ්‍යස්ථානයේ ශාලාවක් අසල මෙම පුද්ගලයා කලහකාරී ලෙස හැසිරුන අයුරු දක්නට හැකි විය. මනාප ගණනයේදී සිදුවූයේ යයි කියන අක්‍රමිකතාවයක් හේතුවෙන් තමන්ට අසාධාරණයක් වූ බවත් ශාලාවේ රාජකාරී කල නිලධාරීන්ගේ ඡායාරූප ලබාගෙන 'එලියේදි ගනුදෙණු බේරාගන්නා බවත්' ඔහු ප්‍රකාශ කලේය. එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් කසාය බිව් ගොළුවන් සේ සිටියා විනා කිසිදු ක්‍රියාමාර්ගයක් ගනු නොලැබීය.

අනෙක් අවස්ථාව ලංගම බස් සේවකයෙකුට ඇමතිවරයාගේ ගෝලයෙකු පහරදුන් අවස්ථාවයි. සේලයින් ගනිමින් රෝහලේ සිටි ලංගම සේවකයා බලහත්කාරයෙන් එලියට ඇදදමා ගෝලයා බේරා ගැනීමට ඇමතිවරයා කටයුතු කරද්දී ද පොලීසිය සිටියේ නිහඬවය. තර්ජනය පොලිසියට එල්ලවී ඇති මේ අවස්ථාවේ පොලීසියේ 'පිටකොන්දේ' ශක්තිය බලාගත හැකි වනු ඇත.