මධුවිතක් එහෙම අරගෙන දවල්ටත් කාල දිව්‍යාංගනාවන් හතර පස් දෙනෙක් එකතු කරගෙන පොඩි ඇලර්ට් එකක් දාන්න හැදුව විතරයි ශක්‍රයට රිසෙප්ශන් එකෙන් කෝල් එකක්.
"සර්, ලංකාවෙ හාදයො කිහිප දෙනෙක් ඇවිල්ල ඉන්නව ඔබතුමා හම්බවෙන්න...." එහා පැත්තෙන් ඇහුන.
"මොකද්ද කාරණාව? ආයෙත් කලිං එක්කෙනා ඉල්ලනවද?"
"ඒ වගේ තමයි,... සර්ම කතාකරල බලන්නකො......[හරි හරි ලොක්ක අවසර දුන්න, තමුසෙල යනවකො ඇතුලට]"
"අවසර දෙන්නත් කලිං මූ එවන හැටි!" ශක්‍රයට කියවුනා.
"සෑර් අපි එන්නං ඇතුලට?" දිව්‍යාංගනාවො, එහෙමෙහෙ වෙච්ච ඇඳුං ආයිත්තං හදාගන්නත් කලිං ආපු සෙට්එක කාමරේට කඩා වැදුන.
"හරි, තමුන්ලා මොකටද ආවෙ?" ශක්‍රය කෙලිංම කාරණේට බැස්ස.
"සෑර්, අපිට ඕන ඒකාධිපතියෙක්!" ආපු එකෙක් කිව්ව.
"ඒ මොකටද?" උඹලට ඉන්න එවුන් මදිද?
"නෑ සර්, රජෙක් වගේ පාලකයෙක් අපට ඕන"
"ඒ මොකටද?"
"දැං බලන්න අපේ රටේ...., නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ, රජෙක් වගේ ඒකාධිපතියෙක් හිටිය නං අපට කෙලිම්ම ගිහිල්ල පැමිණිලි කරන්න පුළුවන්නෙ"
"තව?"
"අපේ ළමේකුට රස්සාවක් ගන්න ඕනවුනා.... සාධාරණේට වැඩ සිද්ධවෙනවද? නෑනෙ!"
"ආණ්ඩුවෙ කාර්යාලෙකින් වැඩක් කරගන්න බෑ, ඒකාධිපතියෙක් තමයි අපට ඕන"
"හොරකම්, වංචා, දූෂණ සිද්ධවෙනව, රජකාලෙ නං එහෙම වුනේ නෑ"
"ඉතිං...?"
"මනුස්සයෙකුට සාධාරණය ඉෂ්ට කරගන්න පුළුවන්ද?"
"සාධාරණව ඡන්දයක් තියන්නෙ නෑ!"
"ඕව තමයි ඉතිං..... ඇයි ඔබතුමා මේ අසාධාරණ දැක දැක නිස්සද්දව ඉන්නෙ?"
"මෝඩයිනේ..... උඹල දන්නෙ නැතුවට ඒකාධිපතියෙකු ඇවිල්ල කරන්න ඕන දේවල් කරන්න දැනුත් පුළුවන්"
"ඒ කොහොමද?"
"උඹලගෙ නඩු සාධාරණව අහන්න තමයි අධිකරණ කොමිසම දුන්නෙ, සාධාරණව නීතිය ක්‍රියාත්මක කරන්න තමයි පොලිස් කොමිසමක් තියෙන්නෙ, රාජ්‍ය සේවා කොමිසම තියෙන්නෙ උඹලගෙ රාජකාරිවලට මැදිහත් වෙන්න, සාධාරණ ඡන්දයක් තියන්න තමයි මැතිවරණ කොමිෂන්එක තියෙන්නෙ, හරියට හොරු අල්ලන්න තමයි අල්ලස් දූෂණ කොමිසම තියෙන්නෙ....... මේවගේ තියන කොමිෂන් සභා ටික ශක්තිමත් කරන්න කියල උඹලගෙ පාලකයන්ට කියපල්ල.... උඹල දැං කරන්නෙ මිනිහෙක් පාරෙ කුණු දාල ගියත් ඒක නවත්තන්න ඒකාධිපතියෙක් හොයන එකනෙ...."
මිනිස්සු ටික යන්න ගියා. හැබැයි මොනව කරයිද දන්නෙ නෑ.
**********************************************************
කටු සටහන්
බලපං දැං කොළඹ හැටි? අහවල් මහත්තය ඉන්න කාලෙ පිරිසිදුවට තිබුනනෙ...
එක එකා කියන විදියට නැවෙන්නෙ නැති කෙලිං මිනිහෙක් හිටිය නං හරි...
බලපං.... අහවල් මහත්තය එක කෝල් එකයි දුන්නෙ වැඩේ කෙරුන..
වැඩේ හරිගියේ නෑ, අරුං ලොක්කට පගාව දීල, මුන්ට හෙන ගහනව....
රට හදන්න නං අහවල් මහත්තය එන්නෝන... නැත්තං මුං හදන්න බෑ...
(බයියා, පුළුල් අර්ථයෙනි. මහින්දගේ අය නොවේ)