Friday, December 20, 2013

පළාත් පාලන අයවැය පරාජය, පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය හා රටේ ප්‍රජාතන්ත්‍රවාදය

පළාත් පාලන ආයතන වල අයවැය පරාජය කිරීමට දායක වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනතා නියෝජිතයන්ට එරෙහිව කටයුතු කරන බැව් එහි මහලේකම් කියා සිටී. මේ තීරණය ගෙන ඇත්තේ මේ වනවිටත් පළාත් පාලන ආයතන පහලවක් විස්සක් පරාජය වී ඇති වටපිටාවකය. මේ ඒ පිළිබඳ සටහනකි.

පළාත් පාලන ආයතන වල මෙම අවුල පටන්ගන්නේ වසර දෙකක තුනක සිටය. මුල් වටයේදීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බලකොටුවක් වන තංගල්ල නගර සභාව පරාජය විය. මනාප පොරය ඇතුළු නියෝජිතයන් එකිනෙකා අතර ඇති අනෙකුත් ගැටුම් අයවැය ඡන්දයේදී මතුපිටට පැමිණීම නිදහස් සංධානය පැත්තෙන් බැලූ විට වසංගතයක් වන තරමටම වර්ධනය වූයේ මේ වසරේදීය. ජාතික මට්ටමේදී හෝ පළාත් මට්ට‍මේදී සාමාන්‍යයෙන් මුදල් පණතක් පරාජය වූ විට ඉල්ලා අස්වීම සිදුවුවත් ප්‍රාදේශීය මට්ටමේදී එසේ නොවේ. මුල්වර අයවැය කෙසේ හෝ ක්‍රියාත්මක කිරීමට නගරාධිපතිවරයාට හෝ ප්‍රාදේශීය සභාපතිවරයාට හැකි වුවද දෙවන වර පරාජයත් සමඟ ධූරය අත්හැරීමට සිදුවේ.

ජාතික හෝ පළාත් මට්ටමේ ජනතා නියෝජිතයන් අතර පවතින ගැටුම් වලට වඩා ප්‍රාදේශීය මට්ටමේ මන්‍ත්‍රීවරුන් අතර පවතින නොහොඳ නෝක්කාඩු ප්‍රමාණාත්මකව වැඩිය. වඩාත් පුළුල් නොවූ පාලන ප්‍රදේශයන්හි සිටින්නන් අතර මෙවැනි ගැටළු-ගැටුම් ඇතිවීම ස්වභාවිකය. අනෙක් අතට මොවුන් පක්ෂ නායකයන්ගේ සෘජු අධීක්ෂණයන්ට ලක් නොවන්නන් වන අතර එකිනෙකා අතර පවතින ගැටුම් නිරාකරණය කිරීමට පක්ෂය මැදිහත් වීම අල්පය. සමාජ තත්වය අනුව ගත්කල වුවද පළාත් පාලන නියෝජිතයන් අන්‍ය දේශපාලන ස්ථරයෙන් වෙනස්වූ කණ්ඩායමකි. මින් බොහෝ දෙනෙකු දේශපාලනයෙන් හිස උදුම්මාගත් අඩු අධ්‍යාපනයක් සහිත තනතුරුලාභි පිරිසක් වූ ද තමන්ට නොමැකි බලයක් බලෙන් ලබාගැනීමට උත්සාහ කරන්නාවූද අතැති ආයුධයෙන් ප්‍රශ්න විසඳාගැනීමට තරම් මානසික මට්ටමක් ඇත්තාවූද සමාජ විරෝධී කළු සල්ලි හිමියන් බැව් පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් වලින් දක්නට ලැබිනි. මෙවැන්නන් දේශපාලනයට ගෙන ආ පළාත් සහ ජාතික දේශපාලන නායකයන්ට බලාපොරොත්තු විය හැක්කේ මෙවන් ප්‍රථිපල මිස අනෙකක් නොවේ. ඒ අර්ථයෙන් ගත්කල විනය ක්‍රියාමාර්ග ගැනීම එතරම් වරදක් නොවේ.

නමුත් තවත් පැත්තකින් කල්පනා කලවිට අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කල මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වූ කලී ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ලැබූ පරාජයකි. ඕනෑම ආකාරයක ඡන්දයක් යනු හෘද සාක්ෂිය අනුව පාවිච්චි කල හැකි දෙයකි. පක්ෂය කුමක් හෝ වේවා යම් ‍තීරණයක් සම්බන්ධයෙන් හොඳ හෝ නරක-කැමැත්ත හෝ අකමැත්ත තීරණය කිරීම, කණ්ඩායමක් ලෙස කලින් රැස්වී එකඟ වීම හෝ නොවීමට වඩා තනි තනිව එකඟ වීම-නොවීම වඩාත් යහපත් බව මගේ හැඟීමයි. ප්‍රජාතන්ත්‍රවාදය හොඳින් ක්‍රියාත්මක වන සෑම රටකම පාහේ දක්නට ඇත්තේ මේ ප්‍රතිපත්තිය මිස තර්ජනය කිරීමෙන් හෝ බලහත්කාරයෙන් අදාල අවස්ථාවේ අත එසවීමට සැලැස්වීම නොවේ. පසුගිය කාලයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇතිවූ තත්වය හොඳ උදාහරණයකි. අද වනවිට අව භාවිත තත්වයට පත්ව ඇතිවුවද පක්ෂය මාරු කලවිට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසිවන අයුරින් කලින් තිබූ නීතිය, හෘද සාක්ෂි පනත මඟින් වෙනස් කිරීමද මෙවැන්නකි.

‍අනෙක් අතට තුනෙන් දෙකකට අධික පාර්ලිමේන්තු බලයක් සහ ඊටත් එහා ගිය බලතල සහිත විධායක ජනාධිපතිධූරයක් සහිත එක්සත් ජනතා නිදහස් සන්ධානයට මෙම කුඩා ආයතන වල පරාජය දරාගැනීම අපහසුය. එය ක්‍රිකට් ලෝක ශූරයන් සිම්බාබ්වේ හෝ කෙන්යාවට පරාජය වීම තරම් අවමාන සහිතය. විරුද්ධව ඡන්දය පාවිච්චි කලවුන්ට යම් "තරවටු කිරීමක්" මඟින් ප්‍රශ්නය විසඳීම හොඳම ක්‍රමය යයි ඔවුන් සිතා සිටී. සාමාන්‍යයෙන් ප්‍රධාන පක්ෂ සියල්ලකම පාහේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය මෙබඳුය. එහෙත් ලොකුම විහිළුව නම් ඔවුන්ගේ කතාබහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකිරීම පිළබඳ වීමයි.

මෙම බ්ලොග් කරුවාගේ මතය අනුව නම් සිදුවිය යුත්තේ මහජන නියෝජිතයන්ට තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කල හැකි අයුරින් නීතිය සකස් වීමත් එමඟින් පැනනඟින ගැටළු වලට විසඳුම් සෙවීමත්ය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන්නේ එවැනි ක්‍රමයක් තුලින් පමණි.

සටහන අවසන් කිරීමට මත්තෙන් සඳහන් කරන පහත සිදුවීම ඈත අතීතයේ තංගල්ල නගර සභාවේ මෙවන් අවස්ථාවක කතන්දරයක්ය.
යම් තනතුරක් ලබාදීම සඳහා උත්සාහ කිරීමේදී ඡන්ද ප්‍රමාණය පිළිබඳ ගැටළුවක් පාලක පක්ෂයට ඇතිවිය. මුස්ලිම් ජාතික මන්ත්‍රීවරයෙකුගේ ඡන්දය මේ අවස්ථාවේදී තීරණාත්මක විය. ඔහුට එල්ලවූ බලපෑම් හමුවේ දෙපසට වැනෙන ප්‍රතිපත්තියක සිටි ඔහුට කල යුත්තේ කුමක්ද යන ගැටළුව මතුවිය. අවසාන තීරණාත්මක මොහොතේදී අදාල තනතුර සඳහා තමාගේම නම යෝජනා කර ඡන්දය භාවිතා කිරීමෙන් වැලකී සිටීමට ඔහු සමත් විය. (එකල පැවති නීතිය අනුව තනතුර සඳහා යෝජනා වූ තැනැත්තාට ඡන්දය භාවිතා කල නොහැක).

Thursday, December 19, 2013

80 ශ්‍රී හිනා කතා, අසූචි වලේ පණුවා සහ යකාගෙ අඩවිය

ඉස්සර, ඒ කියන්නෙ 80 දශකයේ තිබුන සඟරාවක් තමයි ශ්‍රී කියන්නෙ. වයසක බ්ලොග්කරුවන්ට නං මතක ඇති. ඉස්සර ඔය සඟරාව හැම මාසෙකම අපේ ගෙදරට ගෙනාව. කියවන්න දේවල් අඩු ඒ කාලෙ අපිට මේක සෑහෙන්න වටිනව. අවුරුදු විසි ගනනකට පස්සෙත් මේ සඟරාවෙ තිබුන සමහර දේවල් මතක තියනව. මේ ඒ සඟරාවෙ තිබුන විහිළු කතා කිහිපයක්.

බිල්ඩිම.
මේක කාටූන් එකක්. එක මනුස්සයෙක් බිල්ඩිමකට වඳිනව. තව එකෙක් ඇවිල්ල අහනව "මොකද තමුසෙ හැමදාම මේ බිල්ඩිමට නමස්කාර කරන්නෙ?" කියල. අර මෑන් කියනව "මේ බිල්ඩිමෙන් වැටිල තමයි මගේ නැන්දම්ම මළේ" කියල. මේ ජෝක් එක තේරුම්ගන්න මට සෑහෙන්න කාලයක් ගියා.

From
ඔන්න මිනිහෙක් ඉන්නව. මෑන් කඩ්ඩෙන් කතා කලාට මොකද from කියන වචනෙ නිතරම අමතක වෙනව. දවසක් එයා ටිකක් අකමැති මිනිහෙක් ගෙදරට ආපු වෙලාවෙ එයාට බනිනව "ගෙටවුට් මයි හවුස්" කියල. අර මනුස්සය යන්න යනව. පස්සෙ මෑන්ට තේරෙනව ෆ්‍රොම් එක හැලුන කියල. ආයෙත් අර මිනිහට කතා කරනව.

"අයිසෙ ඔහොම ඉන්නව...... ෆ්‍රොම් ආ..... හරිද? ෆ්‍රොම්!"

නෝක්කාඩුව.
මේකත් කාටූන් එකක්. කපල් එකක් ඉන්නව ලොකු ගහක ‍විරුද්ධ පැති වලට පිට දීගෙන. විරුද්ධ දිශාවල් බලාගෙන. තවත් ගහක බෝඩ් එකක් ගහල තියනව "මල් වත්ත" කියල. මේ අතරෙ ගහ දිගේ ඇදිල එන පොළ‍ඟෙක් කෙල්ලගෙ මූනෙ ඇතිල්ලෙනව. "දැං කිව්වෙ කතා කරන්නෙ නෑ කියල?" කෙල්ල අහනව.

ණය
කසාද බඳින වයසත් පහුවෙච්ච දූල කිහිප දෙනෙකුත් ඇතුළුව දූල දුසිමක් විතර ඉන්න මනුස්සයෙක් තමයි මිස්ට පෙරේර. ඔන්න පෙරේර මුනගැහෙන්න ඉලන්දාරියෙක් ගෙදරට එනව.

ඉලන්දාරිය: "පෙරේර මහත්තයා මම මේ ආවෙ......." ඉලන්දාරිය මොනවදෝ කියාගන්න බැරුව ඇඹරෙනව.
පෙරේර: "හා හා.... ළමයා.... මම ඔය වයස පහුකරල ගොඩක් කල්..... මම දන්නව ළමය ආවෙ මොකටද කියල..... කියමු බලන්න මගේ කීවෙනි දූ ගැනද ඔය ළමය කියන්නෙ?"
ඉලන්දාරිය: "නෑ පෙරේර මහත්තය මම ආවෙ ණයට රුපියල් සීයක් ඉල්ලගන්න"
පෙරේර: "අයිසෙ තමුසෙ කවුද ඕයි මගෙන් සල්ලි ඉල්ලන්න එන්නෙ. මම තමුසෙගෙ කවුද? තමුසෙට කොහොමද ඕයි මම රුපියල් සීයක් දෙන්නෙ? මම තමුසෙගෙ නම වත් දන්නෙ නැති එකේ"

පස්සෙ දෙන ගාන
ඔන්න මිස්ට සිල්ව යනව මිස්ට පෙරේර ලඟට.

සිල්ව: මිස්ට පෙරේර, මම ආවෙ ලොකු උදව්වක් ඉල්ලගන්න.

පෙරේර: මොකද්ද මිස්ට සිල්ව?

සිල්ව: පෙරේර දන්නව නේ අපේ දූ ලබන සතියෙ බඳිනවනෙ. මම මනමාලයගෙ පැත්තෙ අයට පොරොන්දු උනා දූට දෑවැද්දට රුපියල් පනස් දාහක් දෙන්න. ඉතිං මං ගාව දැනට තියෙන්නෙ විසිපන්දාහයි. මට රුපියල් විසිපන්දාහක් ණයට ගන්න ඕනවෙලා තියනවා....

පෙරේර: සිල්වා... මම මේ ඔයාට හිතවත් කම නිසා මෙහෙම කියන්නෙ.... ඔන්න ඔය විසි පන්දාහ දෙන්න මගුල දවසට. අනිත් විසිපන්දාහ පස්සෙ දෙනව කියන්න....

සිල්ව : මේකයි පෙරේර, මගේ ලඟ දැනට තියෙන්නෙ ඔය පස්සෙ දෙන විසිපන්දාහ තමයි. මට ඕන මුලින් දෙන විසිපන්දාහ!


අසූචිවලේ පණුවා.

මේක සමාන්තර විශ්වයක 2013 ශ්‍රී සඟරාවක ‍තිබුන කතාවක්.

ඔන්න ගුන්ථනරකය වගේ අසූචි වලක පණුවෙක් හිටිය. අසූචි කකා ඉන්න පණුවො අතරෙ මූත් එක පණුවෙක් විතරයි. ඔන්න දවසක් උදේ මේ පණුව අසූචි වලේ ඉඳගෙන මේ වගේ ටෝකක් ඉෂූ කරනව.

"මට මේ ගඳගහන අසූචි වලේ ඉඳල ඇතිවෙලා..... මෙතෙන්ට ආපු දවසෙ ඉඳල මම කලේ අසූචි කන එක විතරයි..... මම සාම්ප්‍රදායික පණුවෙක් නෙවේ..... මම මීට පස්සෙ අසුචි කන්නෙ නෑ.... මම උඩුගං බලා යන්න තීරණය කලා!"

අසූචි වල මොහොතකට නිහඬතාවයෙන් පිරුන. කන්න ගත්ත අසූචි, පණුවන්ගෙ කටවල් වලම හිරවුනා.

"හරි! දැං තමුසෙ මොකද්ද කරන්න යන්නෙ? මෙතනින් එලියට යනවද? ගිහිල්ල තමුසෙගෙ නමින් තියන මල් පිපුනු විලකට යනවද?" අනිත් පණු සගයන් ඇහුව.

"නෑ නෑ.... මම යනව එහා පැත්තෙ තියන අනිත් අසූචි වලට" පණුව කිව්ව.
---------------------------------------------------------------------------------
යකා
මේක හිනා කතාවක් නොවේ. බ්ලොග් අවකාශයේ "යකා" නමින් කමෙන්ට් දාන කෙනෙක් ඔහේල දැකල ඇති සමහර විට. විශේෂයෙන්ම අජිත් පැරකුම්ගෙ W3 අඩවියට යකා දාන කමෙන්ට් දැකල ඇති ඒ පැත්තෙ යන කෙනෙක් නං. අනෙක මූ ටිකක් ආර්ශනික යකෙක්, " නීතිය කියන්නෙ දුප්පතුන් හා දුප්පතුන් අතර ආරාවුල් විසදීමටත් ධනවතුන්ට දුප්පතුන්ගෙන් සිදුවන හිරිහැර වැළැක්වීමටත් තිබෙන යාන්ත්‍රණයයි" වගේ අර්ථ දැක්වීම් දැනටමත් කරල තියන යකෙක්. කොහොම උනත් මේ නූතන යුගයේ යකා, ජාලගත අඩවියෙනුත් කෑල්ලක් වෙන් කරගන්න සමත් වෙලා තියනව.

මෙන්න යකාගෙ අඩවිය. ගොඩවැදිල යකාට "යක් ධෛර්ය" දෙන්න.
ආ....යකාත් මං වගේ රාජ්‍ය සේවකයෙක්!

Friday, December 13, 2013

ඉස්සෝ, දිය බල්ලෝ, වාරි සංස්කෘතිය සහ වාරිමාර්ග

හැන්දෑ වෙලාවෙ ඇලෙන් වතුර ටිකක් නාගෙන පාලම උඩ වාඩිවුනා. ඇලේ වතුර මට්ටමත් සෑහෙන්න අඩුවෙලා. පාලමට එහා පැත්තෙ ඇල ඇතුලෙ තියන ටැංකි වලේ ගෙම්බන්ගෙ සද්දෙ විතරයි නිශ්ශබ්දතාවය බිඳින්නෙ. වතුර පාර අඩුවුනත් ඇල එක සීරුවට ගලාගෙන යනව. අවුරුදු විස්සක් විතර අතීතයට මගේ හිත දුවනව. ගිනි මද්දහනෙ ඇලේ නාන කැහැටු කොල්ලො තුන් දෙනෙක්. පාලම උඩ ඉඳල ඇලට පනිනව. ආයෙත් ගොඩට එනව. ආයෙත් පනිනව. ඒ කාලෙ ඇල ගලාගෙන ගියේ ඇලට ඕන විදියට. අවුරුද්දකට කිහිප සැරයක් එන ගංවතුර මූදට යවන්න ඇලට තනියම බෑ. පාලමටත් උඩින් දන මත්තක්, නැත්තං ඊටත් උඩට වතුර ගලාගෙන යන්නෙ කිලෝමීටරයක් විතර දිග වේල්ලත් ඒ මට්ටමටම වතුරෙන් වහගෙන. අඩි දහයක් විතර පළල ඇලේ, පාලම ඊටත් වඩා අඩුයි. වේගයෙන් ගලායන වතුරපාර නිසා පාලමට යටි පැත්තෙන් ඇල දෙපැත්ත කැඩිල දහ ගුණයකින් විතර ඇල පළල් වෙලා. වතුර පාරෙ සැරට කොල්ලො තුන් දෙනෙකුගෙ උස තරම් ගැඹුරට ඇල හෑරිලා. දියකෙලියෙ ඉන්න එකෙක් අලුත් යෝජනාවක් ගෙනාව. පාලම උඩ ඉඳල ඇලට පැනල පතුලට ගිහිල්ල ඇල පතුලෙ තියන මඩ-මැටි ගොඩට ගේන්න. ඔන්න වැඩේ පටන් ගත්ත. එක එක්කෙනා පිලිවෙලින් ඇලට පනිනව. පුළුවන් තරම් මඩ ගෙනල්ල පාලම අයිනෙ ගොඩවල් තුනක් හදනව. එකාට එකෙක් නොපරදින කොල්ලන්ගෙ උත්සාහයෙන් ඉන මට්ටමට උස වෙහෙර වහන්සේලා තුනක් හැදෙනව.

"දැං යමුද? අම්මල හොයයි නැත්තං" එකෙක් කියනව. "එතකොට මේ වෙහෙර?" අන්තිමට සිද්ධ වෙන්නෙ වෙහෙර වහන්සේලා සමතලා කරල මඩ ටික ඔක්කෝම පාලම පුරා විසිරීම. ඉඳහිට බයිසිකලයකින් යන කෙනෙක් මඩ ගොඩේ ගියත් කොල්ලන්ගෙ වැඩ ගැන හිනාවීමට වැඩි දෙයක් කලේ නෑ.

මේ ඇලට කියන්නෙ "ඉරිගේසං ඇල" කියල. මෙතන 'ස'යන්න ශබ්ධ වෙන්නෙ 'සමනලයා' සයන්න මිසක් 'සර්' සයන්න නෙවේ. ඉරිගේෂන් එකෙන් හදපු නිසා වෙන්න ඕන ඒ නම වැටුනෙ. මගේ හිත තවත් අවුරුදු පහක් හයක් අතීතයට යනව.

"රාජ් අයියේ..... ධර්මෙ අයියල දිය බල්ලෙක් අල්ලන්න හදන්නෙ" ඒ එහා ගෙදර හිටිය, මට වැඩිය අවුරුදු දෙකක් විතර බාල බුද්ධි මාම. ඔන්න අපි යනව පාලම ලඟට. ගංවතුරට පළල් වෙලා තියන ඇලේ දෙපැත්තෙ පන් ගස් වැවිල. ඒ වතුර අඩුකාලයක්. ඇලේ පහල පන් මණ්ඩියේ ඉන්න ධර්මෙ අයිය අතේ දිග රිටක්. දිය කඩිත්තෙ ඉන්න දිය බල්ලව අවුස්සන්න ධර්මෙ අයිය රිටෙන් අනිනව. ප්‍රහාරයෙන් බේරෙන්න එහෙට මෙහෙට පනින අසරණය වෙලාවකට රිටේ කෙලවර හපල අල්ලනව. ප්‍රතිපලය වෙන්නෙ අසරණ සතා තවත් නේදනාවට පත්වීම. ඒ කාලෙ ධර්මෙ අයිය වීරය වෙලා දිය බල්ල දුෂ්ඨය විදියට පෙනුනෙ වයසෙ වැරැද්ද නිසා වෙන්න ඇති.

දිය බල්ලෝ විතරක් නෙවේ. අපි පොඩි කාලෙ මේ ඇලේ ඉස්සො එහෙමත් සෑහෙන්න හිටිය. වේවැල් කූඩයක් අරගෙන ඇල මැද්දෙන් වතුරෙ ඔබල ඒක ඇල කණ්ඩිය දක්වා ඇදගෙන ගිහිල්ල උස්සල බලද්දි ඇල කණ්ඩිය අයිනෙ ඉන්න ඉස්සො කූඩෙට එකතු වෙනව. ලොකු ඉස්සො මල්ලට දාගෙන පොඩිඑවුන් ආයෙත් වතුරට දානව. පැය භාගයක් මහන්සි වෙද්දි පවුලේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සම්පූර්ණයි. ඇල 'සංවර්ධනය' කරන්න කලින් තිබුනෙ වාරි පද්ධතියක්. ඇල දෙපැත්තෙ සරුවට වැවිල තිබුන තුන්හිරි පන් ගමේම උදවියගෙ පැදුරු අවශ්‍යතාවය සම්පූර්ණ කලා. ඇලේ විතරක් නෙවේ, කුඹුරුවල පවා තිබුන වලවල් වල පන් තිබුන. අක්කර දහසකට කිට්ටුව තිබුන ගමේ කුඹුරු යාය දැන් තරම් ක්‍රමවත් ගතියක් ඒ කාලෙ තිබුනෙ නෑ. අධික ලෙස වතුර එකතුවීම නිසා එක කන්නයක් විතරක් වගාකල සමහර කුඹුරු කාලෙකට පන් වලින් වැහිල යනව. මේ වගේ පන් යායවල් අනවසරයෙන් ගැලවීම නැවැත්වීමට උපක්‍රමයක් පාවිච්චි කලා. ඒකට කිව්වෙ 'බෝල බැඳීම' කියල. කුඹුරේ සිටුවල තියන මිනිහෙක් තරම් උස රිටක පොල් හනස්සක් බැඳීම තමයි බෝල බැඳීම කියන්නෙ. බෝල බැඳපු තැනකින් පන් ගලවන්න (ගලවනව කිව්වට මේකට කිව්වෙ පන් උගුලනව කියල) කවුරුත් ගියේ නෑ. නමුත් ලැජ්ජා බය නැති ගෑනු එක්කෙනෙක් දෙන්නෙක් ඉඳහිට පන්වල ඉඳුල් නොකලාමත් නෙවේ.

පන් උගුලන දවසට නං හැමෝම එනව. ඒ තමයි කුඹුර සීසාන දවස. එදාට කැමති විදියට පන් උගුලන්න පුළුවන්. ඒකටත් කොන්දේසියක් තිබුන. ඒ තමයි උගුලන පන් වලින් අඩක් කුඹුර අයිතිකාරයට දීම. පන් උගුලන්න පුළුවන් හැමෝටම පන් වියන්න නං බෑ. ඒකට දක්ෂ ආච්චිලත් අපේ ගමේ හිටිය. දක්ෂ පැදුරු වියන්නියකට පැදුරු තුනකට පන් දුන්නොත් පැදුරක් වියවගන්නත් පුළුවන්කම තිබුන. 'කොමිස්' බෙදුනෙ ඒ විදියට. පන් පැදුරු වියපු අන්තිම පරම්පරාව වෙච්ච අපේ අම්මලත් ඒ තරම් ශාස්ත්‍රය දැනගෙන හිටියෙ නෑ.

උගුල්ලපු පන් මිටියකට බැඳල ගෙදර ගෙනියල අග තියන කොල කපල අලු ද්‍රාවනයක් ඉසගත්තට පස්සෙ වේලාගන්නව. වේලගත්ත පන් ගස් කොටස් තුනකට ඉරාගෙන පදම් කරගෙනයි පැදුරු විවීම ආරම්භ කරන්නෙ. සාමාන්‍යයෙන් ස්වාභාවික පන් පැදුර කහ පැහැයට හුරුයි. නමුත් රටා දැමීමට ගන්නා පන්, රතු හෝ කොල පැහැති කුකුල් සායම් නම් සායම් වර්ගයක ගිල්වාගැනීමෙන් තමයි වරණ ගන්නවන්නෙ.

රටා සහිත පන් පැදුරු විවීමට කාන්තාවන් පාවිච්චි කල තාක්ෂණයම තමයි අද කාලෙ ඩොට් මෙට්‍රික් ප්‍රින්ටර් වල භාවිතා වෙන්නෙ. ඒ කාලෙ අපි හැමෝම නිදාගත්තෙ මේ පන් පැදුරු වල. අලුත් පැදුරක නිදාගැනීම ටිකක් විතර අපහසු වුනත් අලුත් පැදුරක් ලබාගන්න තියන ආසාව නිසා අවස්ථාව අත්හලේ නෑ. පැදුරෙ නිඳාගෙන නැඟිට්ටට පස්සෙ පැදුරෙ රටා ඇ‍‍ඟේ ඇ‍ඳෙනව. පාවිච්චි නොකරන වෙලාවට පැදුර ඉහ කෙලවරේ ඉඳල හීනියට එතීමෙන් පසු මුල්ලකින් තියල තියනව. ආයෙත් නිදාගන්න ඕනවුනාම අකුලපු පැදුර බිම එලීම අසීරු කටයුත්තක්. පැදුරෙ ඉඳල නැති මිනිහෙක් ගම ගෙදරකට ඇවිල්ල නිදාගන්න දුන්න පැදුර එලි වෙනකල් දිගහරිමින් හිටිය කියල කතාවකුත් තියනව. මේ වෙනකොට නං අපේ ගමේ පැදුරු නෑ මං හිතන්නෙ.

පන් විතරක් නෙවේ පන් වලවල් වල හිටිය ආ‍ඳො ලූලොත් පන් වලවල් එක්කම නැතිවෙලා ගියා. දැන් ඒ වෙනුවට තියෙන්නෙ එක යාය‍ට තියන කුඹුරු විතරයි. ඉස්සො දිය බල්ලො හිටිය, පන් වැවුන ඇල වෙනුවට එක සීරුවට වතුර බහින ඇල ඉතිරි වෙලා. වාරි සංස්කෘතිය වාරිමාර්ග බවට පත්වෙලා. කොල්ලො තුන්දෙනා මඩ ඇද්ද වල, ඇලේ කොන්ක්‍රීට් ටැංකි වල බවට පත්වෙලා. දියුණුව කියන්නෙ මේකට වෙන්නැති.

අඳුර එන්න එන්නම වැඩි වෙනව. මඩ ඇද්ද කොල්ලත් යාළුවො එක්ක ටැංකි වලේ අතුරුදහන් වෙනව. හරියටම දිය බල්ලො හිටිය තැන, වතුරේ යට බියර් කෑන් කිහිපයක් සෙලවෙමින් තියනව.

Wednesday, December 11, 2013

නත්තල් සීයා සමඟ කතාබහක්!

මේ දවස්වල රෙදි සාප්පුවකට ගියොත් දකින්න තියන දෙයක් තමයි ඉස්සරහ ඉන්න නත්තල් පප්ප. මට හිතුන නත්තල් පප්ප කෙනෙක් එක්ක කතා කරන්න. ඔන්න අල්ලගත්ත එක්කෙනෙක්. මේ එයා එක්ක කතාබහ.

මම: කොහොමද නත්තල සරුද?

පප්ප: නත්තල් සීය දෙන විදියට තමයි.

මම: නත්තල් සීයට දෙන නත්තල් සීය කවුද?

පප්ප: ‍මේ ෂොප් එකේ මුදලාලි තමයි ඉතිං.

මම: කොහොමද ගෙවීම් එහෙම?

පප්ප: උදේ නවයට විතර පටන් ගන්න කෑගැහිල්ලයි නැටිල්ලයි හය හත වෙනකල් කලාම එක්දාස් පන්සීයක් විතර දෙනව. බිස්නස් සරු උනොත් තවත් යමක් කමක් ලැබෙන්න පුළුවන්.

මම: අවුරුදු කීයක් තිස්සෙ පප්පට අඳිනවද?

පප්ප: අවුරුදු හතරක් විතර ඇති.

මම: බබාල හොඳට හුරතල් කරනව නේ?

පප්ප: හ්ම්! ලස්සන අය....

මම: ලස්සන අය? පොඩි එවුන් ලස්සන කැත විදියට බෙදන්න හොඳද මිනිහෝ......?

පප්ප: නෑ නෑ බොස් මම කිව්වෙ බබාල නෙවේ බබාලගෙ අම්මල ගැන.

මම: කියන්නකො නත්තල් පප්ප වෙන්න හිතුන ඇයි කියල.

පප්ප: ඉස්කෝලෙ කාලෙ නාට්ටියකින් තමයි. මම නත්තල් පප්පට ඇඳල හිටිය.

මම: නාට්ටිය හොඳට ගියාද? නත්තල් පප්පට ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳට ලැබුනද?

පප්ප: නෑ. රඟපාන්න ලැබුනෙ නෑ.

මම: ඇයි?

පප්ප: මේකනේ,... නත්තල් පප්පට හිටිය එකා එන්න පරක්කු උන නිසා මට ඒක ඇන්දුව. මම ඇඳල ඉවර වෙනකොට ඌ ආව. ඉතිං ආයෙ ගලවල ඌට ඇන්දුව.

Tuesday, December 3, 2013

සිංඩි කතා

මේ යන විදියට ගියොත් අනාගතයේ මේ වගේ සිදුවීම් ඇතිවෙන්න පුළුවන්.
-----------------------------------------------------------------------------
පාසල නිමවී නිවසට පැමිණි පුත්‍රයා සිටින්නේ වෙනදා නොමැති මුහුණකිනි. කෑමට හෝ උනන්දුවක් ඔහුගේ නොමැත. බිරිඳත් කැටුව මා ඔහු වෙත ගියෙමි.

"ඇයි පුතා මොකද අද......?"

"පුතාට අසනීපයක්ද?" මව හිස අතගා විමසුවත් ඔහුගෙන් පිළිතුරක් නැත.

"එකත් එකටම ටීච පාරක් ගහන්න ඇති,.... මොකක් හරි දඟ වැඩක් කරල, මං හරිනෙ"

"නැත්තං ළමයෙක් එක්ක රණ්ඩු අල්ලන්න ඇති!"

"මං කා එක්කවත් ගහගත්තෙ නෑ තාත්තේ....." අවසානයේ ඔහු කටහඬ අවදි කලේය.

"එහෙනං මොකද?"

"පහසුකං ගාස්තු ගෙවන්න දුන්න රුපියල් පනහ නැති කරගත්තද?"

"උදේ බත් එක රස නැති උනාද?"

"තාත්ත නිසා අද මම යාළුවො ඉස්සරහ ලැජ්ජවුනා"

"oඈ!.... මං නිසා....?"

"ඔයා කවද්ද ඉතිං ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් කලේ"

"$$@&^$&^%....... හරි පුතා කියන්න මොකද උනේ කියල"

"යාළුවො එයාලගෙ තාත්තල ගැන කියද්දි තාත්තට බ්ලොග් එකක් තියනව කියල මම කිව්ව"

"ඉතිං? තාත්තට බ්ලොග් එකක් තියනවනේ"

"එයාල මට හිනාවුනා......"

"ඒ මොකද?"

"එයාල හැමෝගෙම තාත්තලට සින්ඩි තියනව! බ්ලොග් එකක් විතරක් තිබුනට එයාල ගනංගන්නෙවත් නෑ!"


ප/ලි- නිකං රසය සඳහා ලියූවක් පමණයි.

-----------------------------------------------------------------------------
සින්ඩියක් කියන්නෙ බ්ලොග් රැසක් එකතු කරන තැනක්. තේරුම්ගන්න ඕන කාරණාව තමයි බ්ලොග් නිසා සින්ඩියත් සින්ඩිය නිසා බ්ලොග් අඩවිත් යන දෙපැත්තටම ජනප්‍රියතාවය ඇතිවෙන බව. මගේ අදහස අනුව නං සින්ඩියකට ඇතුළු වෙන්න ෆෝම් පුරවන්න ඕනවුන කාලෙ ගියා. ඉල්ලීමක් ඇතිව හෝ නැතිව බ්ලොග් අඩවි ඇතුළු කරගැනීම සින්ඩි පාලකවරුන්ගේ වගකීම.
පහුගිය කාලෙ මම දැකපු සින්ඩි අතරින් වඩාත්ම සාර්ථක වුනේ මාතලන්ගෙ සින්ඩිය. පොඩි හඳුන්වාදීමකුත් එක්ක බ්ලොග් ලිපි දැමීමත් නවකයන්ට අතහිත දීමත් අතින් පෙරමුණේ හිටියෙ ඒ සින්ඩිය. මුල් කා‍ලයේ Traffic Sources හි පහලින් සිටියත් මේවන විට මගේ බ්ලොග් අඩවියේ ඉහලට පැමිණ ඇති ආකාරය මෙන්න මේ පින්තූරයෙන් බලාගන්න පුළුවන්.


සාර්ථක අනෙක් අඩවිය ලාංකීය සිතුවිලි. සිංහල බ්ලොග් කියවනය මේ වනවිට අලුත් බ්ලොග් ඇතුලත් කරගන්නා බවක් පේන්න නෑ. යලට මහට වගේ වැටෙන මාලන් සමරවික්‍රමගෙ කෙටි ලිපියක් එක්ක අඹගහයටත් අවුලක් නැතිව යනව.

කැම්පස් සින්ඩිය.
කැම්පස් යන/ගිය උදවියට සින්ඩියක් ඕනමයි කියල කවුරුහරි කියනව නං අපේ මොකෝ. ඒත් වර්ග කිරීම් වලට තියන අකමැත්ත නිසා මේකට මගේ එහෙමකට කැමැත්තක් නෑ. මොකද කියනව නං "කැම්පස් ගිය" සහ "නොගිය" කියන බෙදීම සමාජය/වෘත්තිය ඇතුලෙ මං දැකල තියන නිසා.

මෙන්න කැම්පස් සින්ඩිය