Thursday, May 31, 2012

වැරදි තැනින් ඇල්ලීම.

සර්පයාගේ ඇල්ලිය යුත්තේ බෙල්ලෙන් බව අපේ පැරණි කියමනක් ඇත. එසේ නොවුවහොත් ඇතිවන ප්‍රථිඵලය ගැන අමුතුවෙන් කතා කිරීම අනවශ්‍යය. ලංකාවේ ප්‍රශ්නද විසදීම සිටින වගකිවයුත්තන්ද භාවිතා කරන්නේ බෙල්ලෙන් ඇල්ලීම නොව එහෙන් මෙහෙන් ඇල්ලීමේ ක්‍රමවේදයයි. මෙය ලිවීමට සිදුවූයේ හේතු දෙකක් නිසාය. එකක් නම් පසුගිය දිනක මා නැරඹූ රූපවාහිනී සාකච්ඡාවක්ය. අනෙක මා කියවූ බ්ලොග් සටහනක්ය.

රූපවාහිණී සාකච්ඡාවට සහභාගී වූ ස්වාමීන් වහන්සේ බුදු දහම ගැනත් එහි පිරිහීම ගැනත් එය රැකගැනීමට ක්‍රියාකල යුතු ආකාරය ගැනත් දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දැක්වීය. ඊට අමතරව පන්සල් යාම, දෙමාපියන්ට සැලකීම-නොසැලකීම, සමාජයේ පවතින යම් යම් විෂම දෑ ආදිය ගෙනහැර දැක්වීය. එහෙත් උන්වහන්සේ කතා නොකලේ ගෞතම බුදුන්ගේ ප්‍රතිපත්ති, රැකීමේ අවශ්‍යතාවය ගැන පමණි. මගේ ප්‍රශ්නය බුදු දහමේ "මූලික හරය" අමතක කරදැමූ පසුබිමක ඉහත දැක්වූ උප-කාරණා ‍ඉෂ්ඨ වීම සිදුවිය හැකිද යන්නයි. එහෙත් ඒ පිලිබද කතාකිරීම අමතක කරදමමින් සිටී.

දැන් තවත් කාරණයක් සලකා බලමු. රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවය ඇතැයිද වංචා දූෂණ ඇතැයිද චෝදනා කරන්නන් බොහෝය. විශේෂයෙන්ම වැඩ බැරි දේශපාළුවන් තම නොහැකියාව රාජ්‍ය සේවකයන් පිටින් යැවීමට කැසකවනු දැකිය හැකිය. ඔවුන්ට අනුව නම් ප්‍රශ්නය ඇත්තේ රජයේ සේවකයන් තුලය. මෙයින් අදහස් වන්නේ රාජ්‍ය සේවකයන් යහපත්ය යන්න හෝ ඉහත කී දුර්වලකම් ඔවුන් තුල නැතැයි යන්න නොවේ. ප්‍රශ්නය අල්ලාගෙන ඇත්තේ වැරදි තැනකින් බවය. මේ වනවිට රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම පාහේ ජඩ දේශපාලනයට නතුව ඇත. දාහත් වසරක එජාප පාලනයකින් පසු චන්ද්‍රිකා මැතිණියගේ සමයේ යම් ධනාත්මක හැරවුමකට රාජ්‍ය සේවය යොමුවන ලකුණු දුටුවත්, ස්වාධීන කොම්ෂන් ආදිය අහෝසිකර දමමින් දැන් ගමන් කරන්නේ වඩාත් අයහපත් වූ දිශාවකට බව සිතාගැනීම අපහසු නොවේ. මේ වසර තුල රැකියා විරහිත උපාධිධාරීන්ට පත්වීම් ලබාදුන් ක්‍රමවේදයෙන්ම එය තහවුරු වේ.

මෙවැනි විකාර රූපී දෑ ශ්‍රී ලංකාවේ අන්‍යතාවය වන තරමටම සමාජය තුලට විහිදී ඇත. පසුගිය ජනාධිපතිවරණය අවසානයේ සිදුවූ සරත් ෆොන්සේකා මහතාගේ අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය සලකා බලමු. සමාජයේ බොහෝ දෙනා ඔහු අත්අඩංගුවේ තබා ගැනීමට විරුද්ධ වුවත්, "එයා දේශපාලනයට එන්න ඉක්මන් උනා වැඩියි", "ජෙප්පොයි යූ.ඇන්.පී කාරයොයයි එයා අමාරුවේ දැම්ම" වැනි ප්‍රකාශයන් සිදුකලේ ප්‍රශ්නයේ මූලික බීජය වන "ශ්‍රී ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය කඩවීම" අමතක කර දමමිනි.

මෙවැනි උදාහරණ කොතෙකුත් දැක්විය හැකිය. ප්‍රශ්නය ඇත්තේ කොතැනදැයි නිවැරදිව හදුනාගන්නා දිනෙක ඒවාට විසදුම් නිරායාසයෙන් මෙන් ලැබෙනු ඇත.

සටහන අවසන් කිරීමට මත්තෙන් ඔබවෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කරනු කැමැත්තෙමි. ප්‍රශ්නය හදුනාගෙන විසදුමක් ඉදිරිපත් කරන්න.(කැමති අයට) ;-)

සහනාධාර බෙදීම සදහා වන එක්තරා රජයේ කාර්යාලයක් අගනුවර පිහිටුවා ඇත. රටේ නොයෙකුත් ප්‍රදේශ වල වෙසෙන දිළිදු ජනතාව විශාල පිරිසක් විවිධ කාර්යන් සදහා කාර්යාලයට පැමිණේ. ගොඩනැගිල්ල තුලදී ඔවුන්ට නිසි මගපෙන්වීමක් කිරීමට කිසිවෙකුත් පත්කර නැත. බීමට ජලය ටිකක් හෝ ශාරීරික අවශයතා ඉටුකරගනු වස් වැසිකිලි පද්ධතියක් නැත. මේවැනි ස්ථානයක අනිවාර්යෙන්ම සිදුවිය හැකි පරිදි අල්ලස් ලබාගැනීම් වැනි අක්‍රමිකතා ඕනෑ තරම් ඇත.
ප්‍රශ්නය/ප්‍රශ්න මොනවාද? විසඳුම කුමක්ද?
(මෙය එක්තරා වර්ෂයක රජයේ උසස් සේවාවක් සදහා බදවාගැනීමේ විභාගයකට ඇතුලත් වූවකින් කොටසකි. ලිපියට ඇති අදාලතාවය නිසා එක්කරන ලදී. ලොකුම විහිවව නම් මෙවන් ප්‍රශ්න වලට පිලිතුරු සපයා රාජ්‍ය සේවයට පැමිණෙන්නන් හට ඉන්පසු උපදෙස් ලබා දෙන්නේ අට වසර හෝ පාස් නැති අමනයන් වීමය).





Monday, May 28, 2012

එන්න! මතකය අවුස්සන්න.

මේ ලගදි යාළුවෙක් මුනගැහුන පිටකොටුවෙදි. මේ යාලුව ඉස්සෙල්ලම දැක්කෙ මම 5 පන්තියෙදි. කොහේදෝ ඉස්කෝලෙක ඉදල ආව මේ යාළුව මම ඉගනගත් මුල් ඉස්කෝලෙ අවුරුද්දක් මාත් එක්ක එක පන්තියෙ ඉගනගත්ත. ඊට පස්සෙ අපි දෙන්නම නගරෙ ඉස්කෝලෙට ගියා. එතනදි අපි දෙන්න පන්ති දෙකකට වැටුන. ඊට පස්සෙ සාපෙ ලියල යාළුව අධ්‍යාපනය අත්හැරිය. ඊට පස්සෙ එයා දැක්කෙම නෑ. ඒ කියන්නෙ අපි දෙන්න අන්තිමට මුනගැහුනෙ හරියටම 1996 අවුරුද්දෙ අග.

යාලුව දැන් පිටකොටුවෙ ඉන්නෙ. බජාර් එකේ කකුලක්. මම දැක්කත් එයාට බැරිවුනා හදුනාගන්න. ඒවගේම මම, ඇත්තටම මමද කියල ඌට සැකයකුත් තිබුන.(මම ඒකාලෙට සාපේක්ෂව සෑහෙන වෙනස් ඒකයි. කොටින්ම අවුරුදු 6කට කලින් හිටිය විශ්ව විද්‍යාලෙ යාලුවන්ට උනත් එකසැරේටම මාව අදුරගන්න බෑ. ඒක වෙනම කතාවක්. පස්සෙ කියන්නම්).
හරි ආයෙත් කතාවට. මම යාළුවට මාව හදුන්වා දුන්න. ඊට පස්සෙයි ඌට මම මතක් උනේ. එයාගෙ තුන්රෝද රථයට වෙලා අපි දෙන්න පැයක් විතර කතා කලා. එතනදි මම කිව්ව දේවල් වලින් ඌ කොච්චර පුදුම උනාද කියල වචනයෙන් විසිතර කරන්න බෑ. පොඩි ඉස්කෝලෙදි අපි කෑම කෑවෙ එකට. මම කිව්ව,
"අපි ඉස්කෝලෙදි කෑම කෑවෙ එකට, උඹ ඒකාලෙ මාර කැමතියි සෝයා මීට් කන්න, සන්ෆ්ලවර්ලගෙ සිංදු අහන්නත් කැමතියි, අපේ ඉස්කෝලෙට එන්න කලින් උඹ ඉස්කෝල 4ක ගියා...."

ඔන්න ඔයවගේ දේවල් කියල ඌ මවිත කරන්න මම සමත්වුනා. (උගේ කතාවත් වෙනම පෝස්ටුවක දාන්න වටින එකක්. ඒකත් ඉදිරියෙදි).

හරි දැන් තමයි කතාවට එන්ටර් වෙන්නෙ. මේ යාළුවට කිව්ව දේවල් එක්ක මට මතක් උනේ මංතුමාට කොච්චර මෙමරියක් තියනවද කියන එක. ඇත්තටම සුපිරි මෙමරියක් තියනව. හැබැයි අධ්‍යාපන කටයුතු වලදි, ඉගෙනගත් දේවල් සම්බන්ධයෙන් නෙවේ. සිදුවීම් සම්බන්ධයෙන්. බොරුනං මෙන්න සාක්කි!

මම උපන්නෙ 1980 දෙසැම්බර්. අපේ අම්මගෙ තාත්ත, ඒ කියන්නෙ මගේ සීය මියගියේ 1984 අවුරුද්දෙ මැද. දිනේ හරියටම මතක නෑ. සීය මැරුණෙ දියවැඩියාව නිසා. ඊට කලින් අම්මයි මමයි ගියා සීය බලන්න මාතර ඉස්පිරිතාලෙට. ඒ වෙනකොට සීය හිටියෙ එක කකුලක් කපල. ඒත් මට ඒක මතක නෑ. හැබැයි ලෙඩ ඇදේ ඉදගෙන සීය දීපු මාරි පැකට්එකට වග කියපු හැටි නං හොදට මතකයි. ඒ වගේම සීය මොන වගේ කෙනෙක්ද කියලත් මතක නෑ. ඒ වෙනකොට මගේ වයස අනිවාර්යෙන්ම අවුරුදු තුන හමාරක් විතර වෙන්න ඇති කියල තර්කාණුකූලව හිතන්න පුවවන්. ඔන්න ඕක තමයි මගේ මතකයේ තියන පැරණිම සිද්ධිය. ඊට ටික කාලෙකට පස්සෙ සිදුවෙච්ච සීයගෙ මරණයත් හොදට මතක තිබුන. ලගදි දවසක ඒක තහවුරු කරගන්න මට ඕන උනා. මම අම්මගෙන් ඇහුව, සීයගෙ මරණෙ තිබුනෙ පහල ගෙදර නේද? සීයගෙ මිනීපෙට්ටිය තිබුනෙ අහවල් තැන නේද? ඔළුව තිබුනෙ අහවල් පැත්තට නේද? කියල. ඒ සියල්ලම හරි කියල අම්ම කිව්ව. කොහොමද මෙමරිය!

දැන් තමයි කස්ටියට අභියෝගෙ. මතක ඇතිනෙ මම බයික්එකේ ගිය රෙකෝඩ්එක? ඒ වගේ කාටද මේ රෙකෝඩ් එක කඩන්න පුළුවන්? අවුරුදු තුනහමාර හෝ ඊට අඩු වයසකදි වෙච්ච සිද්ධියක් මතක කෙනෙක් ඉන්නවද? ඒ වගේම ඔහේලට මතක තියන මුල්ම සිද්ධිය මොකක්ද? පහලිං කොටන්න. හැබැයි "මම තාත්තගෙ අහවල් එකේ ඉදල අම්මගෙ ඇගට පීනල ගිය හැටිත් මතකයි" වගේ බොරු කියන්නත් ඔට්ටු නෑ.


Thursday, May 24, 2012

කරිවිල බාලමහත්තයගෙ තවා ගැනිල්ල.

අපේ ඔපීසියට සම්බන්ධ ග්‍රාම සේවක රාලහාමිල සතියට දවසක් කාර්යාලයට එනව. ඒ ආවම එයාලගෙන් හොද හොද කතන්දර අහන්න ලැබෙනව. මීට කලිනුත් ඒ වගේ කතා කීපයක්ම කියල ඇති.

ඔන්න මේ රාලහාමි දවසක් හම්බන්තොට ගිහිං ගෙදර එන්න බස්එකට නැග්ගලු. පිටිපස්සෙ දොරෙන් බස්එකට ගොඩවෙලා ඉස්සරහටම ගිහින් පූජ්‍ය පක්ෂයට වෙන්කල සීට් එකේ ඉදගත්තලු. අනිත් පැත්තෙන් හාමුදුරු කෙනෙකුත් ඉන්නවලු. රාලහාමි ඊට පස්සෙ කතාව කිවුවෙ මෙහෙමයි.

"මහත්තයෝ මම ඉතිං මැරිච්ච මිනිහෙක් එක්ක උනත් කතාකරන මනුස්සයනෙ. හම්බන්තොට ඉදල එනකල් කතාකරන්න හිතාගෙන හාමුදුරුවන්ගෙ මූන බැලුව. බලනකොට මට පුරුදු මූනක්නෙ මේ. බලනකොට මගේ වසමෙ හිටිය කරිවිල බාලමහත්තයනෙ මේ! හාමුදුරුවනේ කියන්නත් මොකද්ද වගේ, ඒත් මං ඇහුව මොකද හදිස්සියෙ මහණඋනේ, සසර කලකිරුනද? කියල. ඔව් සසර කලකිරුන කිවුව. ඊට පස්සෙ මං ඇහුව දැං කොහේද යන්නෙ කියල. ඒ ගමන මූ කියනවා, මූ කියන්නත් හොද නෑ මහත්තයෝ..... හාමුදුරු කෙනෙක්නේ,.... මම භාවනා කරන්න ගියා, ඒත් කොන්දෙ අමාරුවක් ආව. ඒකට බේත් ගත්ත. දවස් තුනක් තවන්න කියල තැවිල්ලක් දුන්න. දැං ගෙදර ගිහිල්ල දවස් තුනක් ඉදල තවාගෙන එනව"

"ඒ ගමන මම ඇහුව ගෙදර ගිහිං හාමිනේ දැක්කම සිවුර ගලවන්න හිතෙයිද දන්නෑ කියල. හාමුදුරුවො කියනව නෑ නෑ රාලහාමි එහෙම වෙන්නෙ නෑ. මගේ හිත හයියයි කියල. මේ මනුස්සයට අවුරුදු හැත්තෑවකටත් කිට්ටුයි. ගෑනි නං අවුරුදු 15කට විතර බාලයි. එදා අපි කතා කර කර ආව. මම ගෙදර ලගින් බැස්ස හාමුදුරුවොත් ගියා"

"ඊට පස්සෙ දවසක මම ගියා පොලට. කරිවිල ගොඩක් ලග මෙන්න දැකල පුරුදු මූනක් තියනව. බලනකොට බාලමහත්තයනෙ! මං ඇහුව මොකෝ බාල මහත්තයෝ සිවුරු ඇරියද කියල, බාල මහත්තය කියනව අනේ රාලහාමි කෑ ගහන්න එපා, එදා කොන්ද තවාගන්න ගෙදර ගියානෙ, නෝන කිව්ව ඉන්න කියල, ඊට පස්සෙ පන්සලට ගියේ නෑ කියල"

ඊලග කතාව කිවුවෙ තවත් රාලහාමි කෙනෙක්. මේක අසූ ගනන්වල වෙච්ච සිද්ධියක්.
ඒ කාලෙ ගංවතුරක් ඇවිල්ලද කොහෙද මිනිස්සුන්ට බෙදන්න දිස්ත්‍රික් කාර්යාලෙන් දීල තියනව පිගන් වගයක්. ඒක බෙදා දීමේ කටයුතු භාරව ඉදල තියෙන්නෙ කාර්යාලයේ වැඩකල එක් නිලධාරියෙක්. පිගන් ගෙනල්ල එයා භාරයේ තිබිල එයා ඒව බෙදන්න ගෙනගොස් තිබුන. ඔහොම කාලයක් ගියාට පස්සෙ අර නිලධාරියගෙ ගෙදර මොකක්දෝ උත්සවයක් තිබිල තියනව.(මට මතක විදියට නිලධාරියගෙ දුවගෙ "පාටියද" කොහෙද). ඒකට දිස්ත්‍රික් කාර්යාලෙ බොසා එහෙමත් ඇවිල්ල. මේ කස්ටිය කෑම කන්න ගියාමයි දැක්කෙ, කෑම මේසයෙ තිබුන පිගන් අර බෙදන්න දුන්න ඒව.(ඒ පිගන්වල තිබුන රටා විශේෂයක් නිසා ඕන වෙලාවක හදුනාගන්න පුළුවන්ලු).

මේක දැක්ක බොසා ඇහුවලු
"මිස්ටර්....., මේ අපි අර බෙදපු පිගන් නේද? මේව කොහෙන්ද?" කියල.
ඊට පස්සෙ නිලධාරිය කිව්වලු
"සර්... පිගන් ටික එකම විදියට තියෙනකොට ලස්සන නිසා මම ඒව බෙදූ අයගෙන් ඉල්ලගෙන ආව" කියල. කොහොමද මහත්තයගෙ ටිකිරි මොලේ?



Tuesday, May 22, 2012

ඊයෙ රෑ!

නින්ද, ෆොන්සේකා මහතා අසලටවත් නො ආවේය. විටින් විට මතුවන කැස්සද විවිධ තැන් වලින් මතුවන ශරීරයේ වේදනාවන්ද නින්දට බාධා කරයි. ඔහු සයනයෙන් මදක් නැගිට අතේ දුරින් වූ වතුර වීදුරුව එක හුස්මට ගිලදැම්මේය. අනෝමා මහත්මියටද තම සැමියාගේ වෙනස අවබෝධවී තිබිනි. යුද්ධය අවසන් වීමට ආසන්න කාල වලදී පවා මෙවැනි හැසිරීමක් තම සැමියාගෙන් දුටුවේ නැත. ඔහු නිදාගත් කෙටි කාලය තුල සුවසේ නිදාගත්තෙකි.

"ඇයි මහත්තය නින්ද යන්නෙ නැද්ද?"
"මට භය හිතෙනව අනෝමා"

ඇයට පුදුමය. උණ්ඩවලට මෝටාර් වලට ඔහු බියවූයේ නැත. බෝම්බ වලටත් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්ටත් ඔහු බියවූයේ නැත. බලයේ සිටින ජනාධිපතිවරයාට විරුද්ධව තරග කිරීමටත් බිය නොවූ ඔහුට නිදහස් වූ පසු ඇති තර්ජනය කුමක්ද?

"ඇයි මහත්තය එහෙම කතියන්නෙ?, ඔය නඩුටික දැන් ප්‍රශ්නයක් වෙන එකක් නෑ."
"ඒගැන නෙවෙයි නෝන මම කල්පනා කලේ"
"එහෙනං... අවුරුදු හතක් ඡන්දෙ ඉල්ලන්න බැරි නිසාද?"
"ම්හු. ඒකනං ඉස්සරහට විසදෙයි"
"මං මේ කල්පනා කලේ හවස අපි වටකරගෙන හිටපු එවුන් ගැන. ඒවගේ කන්ඩායමක් එක්ක දේශපාලනේ කරනවට වැඩිය හොදයි ඇතුලෙම හිටියනං"


★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★


කාර්යාලය නිමවී නිවසට පැමිණි මා නගරයට පැමිණියේ විශේෂ යමක් සදහා නොවේ. මිතුරන් හමුවෙමින් කාලය ගතකරන අතර මාර්ගයේ එක් පසෙකින් විශාල ශබ්ධයක් ඇසෙන්නට විය. එන්න එන්නම ඝෝෂාව වැඩිවූ අතර බෝඩ් උස්සාගත් විශාල පිරිසක් සටන් පාඨ කියමින් ඉදිරියට එන්නට විය. පිරිස කොතෙක් විශාල වීද යත් එහි කෙලවරක් දැකිය නොහැකි විය. බෝඩ් ලෑල්ලක් අතින් ගත් අයෙකු වෙත ගිය මා ඔහුගෙන් ප්‍රශ්න කලෙමි.

"අපි යනව මහ බැංකුවට"
මා අන්දමන්ද විය. මෙතරම් විශාල සෙනගක් මහ බැංකුවට යන්නේ කුමකටද?
ඔවුන් අතැති පුවරුවල සටහන්ව තිබුනේ,
අපේ ඉතිරි සල්ලි දියවු! යනුවෙනි.
තවත් කෙනෙකු ලගට කිට්ටු කලෙමි,
"මොකටද ඔය බෝඩ් උස්සගෙන මහ බැංකුවට යන්නෙ"
"ඇයි ඔහේ යන්නෙ නැද්ද?, අපි යනව ඉතුරු සල්ලි ගන්න."
මා තවත් ව්‍යාකූල තත්වයට පත්වුනෙමි. ඉතුරු සල්ලි?
මේ අතර ඔවුන්ගේ සටන් පාඨ වලට අවධානයයොමුකර සිදුවන දේ තේරුම් ගැනීමට උත්සාහ කලෙමි,
"අපේ සල්ලි අපට දියව්"
"ඉතුරු සල්ලි අපට දියව්"
"අපේ සල්ලි කෑවෙ කවුද"
බලා සිටියාට පලක් නැත. රැස්වීමෙහි යන අයෙකුගේ අතින් අල්ලා මාවෙත ඇදගත්තෙමි.
"මට කියනවද මොකක්ද මේකෙ තේරුම? ඇයි ඔහේල ඉතුරු සල්ලි ඉල්ල ඉල්ල මහ බැංකුවට යන්නෙ? මොන සල්ලිද"
"ඉලන්දාරියා රස්සාවක් කරන්නෙ නැද්ද"
"මොකද නැත්තෙ! මම අහවල් තැන රස්සාවට යන්නෙ"
"අවුරුද්දක පඩිය කීයද?"
"ලක්ෂ එකයි අනූවයි"
"ම්.... එහෙනං ඔහේටත් එක්ලක්ෂ හැත්ත අටදාහක් විතර ගන්න පුළුවන්"
"මොකක්! ඒ කොහොමද?"
"ඇයි දන්නෙ නැද්ද? අපේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් දෙදාස් නවසීය තිස් හයයි කියල කබරාල් මහත්තය කිව්වෙ. ඒ කියන්නෙ රුපියල් වලින් තුන්ලක්ෂ හැට අටදාහක් විතර එක්කෙනෙකුට අයිතියි. ඔයාට ලැබෙන ගාන අඩුකලත් තව එන්න තියනවනේ එකයි හැත්ත ගානක්!"
මට කාරණාව වැටහෙන්නේ දැන්ය. දැන්ම ගියොත් මගේ බැලන්ස්එක ලබාගත හැකි වනු ඇත. මා හට පෝලිමට එකතුවී යාමට හැකිවූයේ අඩි කිහිපයක් පමණි. උල් හැඩයේ අඩිය සහිත පාවහන් යුගලයක් පැලද සිටි නෝනා කෙනෙකුගේ පයට මගේ නිරුවත් පිටි පතුල හසුවිය. එය කට තදකරගෙන වේදනාව පාලනය කලහැකි මොහොතක් නොවීය.
"උහ්.... බුදු අම්මෝ......."
"මොකද බං කෑගහන්නෙ? රෑ තිස්සෙ නිදිමරාගෙන මැච් බලනව! ඒ මදිවට හීනෙං බයවෙලා කෑ ගහනව!"
ඒ මෑනියන්ගේ හඩයි. එසේ නම් මා දැක ඇත්තේ සිහිනයක්ය. පාදයට හාණියක් නැත. තාක්ෂණික විවේකය අවසානයේ තරගයද නැවත ඇරඹී ඇත.


Monday, May 21, 2012

මා දුටු අයි.පී.එල්.

තරග හැත්තෑ දෙකක් අවසානයේ අයි පී එල් මූලික වටය නිමාවට පත්වූයේ දිල්ලි ඩෙයාඩෙවිල්ස්, කොල්කටා නයිට් රයිඩර්ස්, මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංස් යන කණ්ඩායම් අවසන් වටයට සුදුසුකම් ලබමිනි. මේ මා තරගාවලිය තුල කල නිරීක්ෂනයන්ය.

කෝලි ගැහුවොත් ෆයිනල් නෑ!
ඕස්ට්‍රේලියා තුන්කොන් තරගාවලිය සහ ආසියා කුසලාන තරගාවලියේදී මතුව ආ මෙය අයිපීඑල් තරගාවලියේදී නැවතත් තහවුරු විය. :D
කොදෙව්වෝ.
එක් එක් රට වලින් පැමිණි ක්‍රීඩකයන් අතුරින් වඩාත් සාර්ථක වූයේ කොදෙව්වන්ය. ක්‍රිස් ගේල්, ඩ්වේන් බ්‍රාවෝ, ඩ්වේන් ස්මිත්, කිරන් පොලාර්ඩ්, සුනිල් නරායින් ආදීන් විශිෂ්ඨ දක්ෂතා පෙන්වීය. එහෙත් ඔවුන් බහුතරයක් කොදෙව් ජාතික කණ්ඩායමේ ස්ථාන හිමිවී නැත්තේ ක්‍රිකට් පාලක මණ්ඩලය සමග ඇති නොහොද නෝක්කාඩු නිසාය.
ප්‍රහාරක වේගය සහ එල්ල කල හයේ පහර ගනන සැලකුවහොත් 20-20 ක්‍රීඩාව සදහා වඩාත් උචිත කොදෙව්වන්ය.

ක්‍රීඩකයාතරගපන්දු100ට ලකුණු6 පහර
ක්‍රිස් ගේල් 15 160.74 59
ඩ්වේන් බ්‍රාවෝ16128.15 16
ඩ්වේන් ස්මිත්6156.57 5
කිරන් පොලාර්ඩ්13145.71 13
ඇන්ඩ්‍රි රසල්3206.66 3
කෙවින් කූපර්6190.00 3

මහළු අශ්වයෝ.
20-20 යනු තරුණයන්ගේ ක්‍රීඩාවකි. ටෙස්ට් හෝ එක්දින තරග වලදී සාර්ථක වුවත් වයසින් වැඩි ක්‍රීඩකයන් 20-20 සදහා යෝග්‍ය නොවේ. සචින් තෙන්ඩුල්කාර්, සව්රව් ගංගුලි, ඇඩම් ගිල්ක්‍රිස්ට්, හර්ෂල් ගිබ්ස්, ජැක් කලිස්, රාහුල් ඩ්‍රාවිඩ් වැනි වයසින් වැඩි ක්‍රීඩකයන් සෙමෙන් පන්දුවට පහරදීම හේතුවෙන් ඔවුන්ගේ කන්ඩායම් අසීරුවට පත්වූ අවස්ථා බොහෝය.
මොවුන්ගේ පන්දුවට පහර දීමේ වේගය සලකා බලන්න.
ක්‍රීඩකයාතරගපන්දු100ට ලකුණු
සචින් තෙන්ඩුල්කාර්12 115.07
සව්රව් ගංගුලි1598.89
ඇඩම් ගිල්ක්‍රිස්ට්7120.27
හර්ෂල් ගිබ්ස්392.04
ජැක් කලිස්15102.64
රාහුල් ඩ්‍රාවිඩ්16112.13

එබැවින් අතීත දස්කම් සලකා බැලීම පසෙකලා 20-20 ක්‍රීඩාවෙන් මහල්ලන් ඉවත් කල යුතුය.


ක්‍රිස් ගේල් සහ ලසිත් මාලිංග
තරගාවලියේ වඩාත් කතාබහට ලක්වූ ක්‍රීඩකයා ක්‍රිස් ගේල්ය. වැඩිම ලකුණු, වැඩිම හයේ පහර සංඛ්‍යාව, දිගම හයේ පහර ආදී පිතිකරණයට හිමි සියළුම වාර්තා ඇත්තේ ඔහු සතුවය. එහෙත් තම ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇත්තේ කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය සමග ඇතිවූ ගැටුමේ ප්‍රථිඵලයක් ලෙසය. එම අර්බුධය මේ වනවිට වසරකටත් අධික කාලයක සිට පවතතින අතර කොදෙව්වන් දිගින් දිගටම පරාජය වද්දී ක්‍රිස් ගේල්ට සිදුව ඇත්තේ ප්‍රාන්ත ක්‍රිකට් වලින් සෑහීමකට පත්වීමටය.
ලසිත් මාලිංග සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ඇත්තේද මෙවැනිම අවුලකි. එය යහපත් අයුරින් නොවිසදුනහොත් කොදෙව්වන්ට ක්‍රිස් ගේල් මෙන් ලංකාවට මාලිංග අහිමිවනු ඇත.

අපේ ක්‍රීඩකයන්ගේ අයි.පී.එල්. දක්ෂතා සහ 20-20 ලෝක කුසලානය.
20-20 ලෝක කුසලානයට ඇත්තේ තවත් මාස කිහිපයකි. අයි.පී.එල්. තරගාවලිය ලෝක කුසලානයට මත්තෙන් (ප්‍රධාන වශයෙන් ඉන්දියාවටත්) ලැබුනු හොද පෙරහුරුවකි. එහෙත් අපේ ක්‍රීඩකයන් ක්‍රීඩා කල ආකාරය එතරම් සතුටුදායක නැත. පන්දු යැවීමෙන් ලසිත් මාලිංග පෙන්නුම්කල දක්ෂතා හැරුණුකොට අනෙක් ක්‍රීඩකයන් තම කණ්ඩායම් වල ජයග්‍රහණය වෙනුවෙන් එතරම් දායකත්වයක් සැපයූවේ නැත. අපේ ප්‍රධානම පිතිකරුවන් තිදෙනාගේ දක්ෂතා මෙසේය.

ක්‍රීඩකයාතරග ලකුණුවැඩිම ල.සාමාන්‍යප්‍ර.වේගය
මහේල ජයවර්ධන 14 240 56*24.00105.72
ටී.එම්. දිල්ශාන්10285 7635.62109.18
කුමාර් සංගක්කාර12200 8218.18108.69

ඉදිරි පකිස්ථාන් සංචාරයේදී නැවත දස්කම් අතරට පිවිසීමට අපොහොසත් වුවහොත් ලෝක කුසලාන බලාපොරොත්තු අත්හැරියාට කමක් නැත.



Friday, May 18, 2012

නිධන් හෑරූ දේශය.

එකමත් එක රටක් තිබුනේය. පෙර කල ධනයෙන් බලයෙන් සශ්‍රීකත්වයෙන් ආඩ්‍යව තිබූ ඒ දේශයට කිසිවකින් අඩුවක් නොවිනි. එකල ඔවුන් කෘෂිකර්මාන්තය නිසා ස්වයං පෝෂිත වූ අතර රැස්කල ධනයෙන් වෙහෙර විහාරද කලා නිර්මාණද වැව්අමුණුද ආදී වශයෙන් නොයෙකුත් දෑ කරවීය. එහෙත් එතනින්ද නොනැවතිනි. ඔවුන් ගල් පර්වත සිදුරුකොට ඒ තුල මාලිගාවන්ද විහාරද නිවාසද ඉදිකලහ. කාගෙන් හෝ ඉගෙනගත් ශිල්ප ක්‍රම භාවිතා කොට අහස උසට පිළිම නෙළූහ. ‍‍‍‍එහෙත් ඔවුන්ගේ ධනයේ නිමක් නොවූහ.

ඉන්පසු ඔවුන් කතිකා කලේ තම අතිරික්ත ධනයට කුමක් කරම්දැයි යන්නය. ඒවා තම මී මුණුබුරන්ගේ යහපත සදහා-අනාගතයේ ඇතිවිය හැකි ව්‍යසනයකින් පසු ප්‍රයෝජනයට ගැනීම සදහා- නිධන්කර තැබීමට ඔවුන් තීරණය කලේය. තම අතිරික්ත වූ ධනය රන් මැණික් මුතු ආදී විනාශ නොවන වස්තූන් වලට පරිවර්තනය කොව ඒවා ගල්තලා තුලද වැව් අමුණු තුලද වෙහෙර විහාර තුලද... වශයෙන් සෑම ස්ථානයකම නිධන්ගත කරනු ලැබීය.

පසු කාලයේදී විදෙස් ආක්‍රමණවලින් රාජධානිය බිදවැටුනු අතර නිදන් වලින් කොටසක් ආක්‍රමණිකයන් ගෙනයනු ලැබීය. ආක්‍රමණිකයන් රට හැර ගියද වැසියන්ට උදාවූයේ නරක කලදසාවකි. අලුතෙන් රටේ පාලනය අතට ගත් පාලකයන් රට දියුණු කිරීම වෙනුවට තම භාණ්ඩාගාර පමණක් පුරවා ගැනීමෙහි නියුක්ත විය. කෙසේ වුවද නිධන් පිළිබදව දැනුමක් කාලයක් යනතෙක් ඔවුන්වෙත නොවීය. සියල්ලන්ටම එය අමතක වූවා සේය. මේ අතර රටේ කැරළි කෝලහල ඇතිවූ අතර එයින් සිදුවූයේ රට තවත් ව්‍යාකූල තත්වයකට පත්වීම පමණි.

මේ අතර එක් පාලකයෙකුගේ සමයේදී මෙම වස්තුව පිලිබද අවධානය යොමුවූ අතර ඔහු විසින් මේවා එක්රැස් කිරීමට පටන් ගත්තේය. තම බලය පාවිච්චි කරමින් රටවැස්සන්ට හොරෙන්-එසේත් නොමැතිනම් බලහත්කාරයෙන්- රන් මුතු මැණික් එක්රැස් කලේය. ඉන්පසු සිදුවූයේ නොසිතූවකි. පාලකයාට පහලින් සිටියවුන්ද නිධන් වස්තුව අත්කරගැනීමට කටයුතු කල අතර පසුව සාමාන්‍ය ජනයාද මීට පෙලඹිනි. වෙහෙර-විහාර, වැව්-අමුණු, ගල්තලා ආදී ස්ථාන පමණක් නොව සෑම තැනකින්ම පාහේ නිධන්කල ධනය හමුවිය. කර්මාන්ත ශාලා කෘෂි කාර්මික ස්ථාන ආදී සියළු තැන්වල රක්ෂාකල මිනිසුන් තම රාජකාරී අතපසු කරමින් නිධන් කල ධනය සෙවීමට යුහුසුළු විය. බලවතුන්ට විශාල ධනස්කන්ධයන්ද දුප්පතුන්ට යන්තම් සෑහීමට පතිවිය හැකි අයුරින්ද ආදී ලෙස තම තමන්ගේ බලයේ ප්‍රමාණයට සියල්ලන්ටම නිධන් ලැබිනි.

ඉන්පසු තත්වය තව තවත් උග්‍ර අතට පත්විය. පැරණි ගොඩනැගිලි පුරාවිද්‍යා කෞතුකාගර ආදී ස්ථානද බිදිමින් ඔවුන් නිධන් රැස් කලහ. අවසානයේ රටේ සෑම බිම් අගලක්ම නිදන් සෙවීම සදහා පෙරලා තිබිණි. වඩාත් නිවැරදිව කිවහොත් වනසාදමා තිබිනි. ලබාගත් නිධන් වස්තූන් විකුණා දමමින් කමින් බොමින් කාලය ගතකල අතර කිසිදු කර්මාන්තයක් කිරීමේ අවශ්‍යතාවයක් ඔවුන්ට නොවීය.

කාලයාගේ ඇවෑමෙන් ධනය ක්ෂයවී යන්නට විය. පලමුවෙන්ම සුළු වශයෙන් රැස්කලවුන්ගේ සිට ඉහලට එකිනෙකාගේ වස්තුව අවසන් විය. එහෙත් ඒ වනවිට ඔවුන් සිටියේ කිසිදු කර්මාන්තයක් කරගැනීමට අත් පා වෙහෙසීමටවත් නොහැකිව තත්වයකය. ඔවුන්ගේ සියළු හැකියාවන් මොටවී තිබුනි. නිසැකයෙන්ම ඉදිරියේදී එලඹෙන්නේ ඉතා අසීරු කාලයක්ය. පොලව යට පිහිටි ධනය ගොඩට ගත් ඔවුන් තමන් තුල තිබූ නිර්මාණාත්මක හැකියාවන්, ශක්තීන් ආදී වූ නිධන් වලදමා තිබිනි.

පසුවදන:

01.මෙය ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය අලලා ලියන ලද දේශපාලන කතන්දරයක් නොවේ.
02.මකා දැමීමට හිත හදාගැනීමට නොහැකි වූ නිසා පලකරන ලදී.


Thursday, May 17, 2012

ගුණපාල මාමා ගවුචෝ සහ රයිටර්ස් බ්ලොක්.

මේ දවස්වල පුදුම කම්මැලිකමක් තියෙන්නෙ. පෝස්ටුවක් දාන්න හිතෙන්නෙත් නෑ. හරියට රයිටර්ස් බ්ලොක් වගේ. ඒ වගේම තියන තවත් ලොකු අවුලක් තමයි කලින් ඩ්‍රාෆ් කරන කිසිම පෝස්ට් එකක් පබ්ලිෂ් නොවීම. ඒ කියන්නෙ ක්ෂණිකව ලියල ඉවර කරන ලිපියක් මිසක් වැඩිපුර හිතල ටයිප් කරල සේව් කරල තියාගත්ත එකක්වත්, පබ්ලිෂ් කරන්න යද්දි හිතට මදි වගේ හිතෙන්නෙ. අමාරුවෙන් ටයිප් කරන නිසා දවස් දෙක තුනක් තියාගෙන හිටියත් ඊට පස්සෙ මකල දානව. මම අහන්නෙ හැබෑටම ඔහේලට මේ ලෙඩේ නැද්ද?

පොඩි කතාවක් දෙකක් කියන්නං.
මේකෙ කතා නායකය ගුණපාල මාම. ගුණපාල මාම කියන්නෙ රවි අයියගෙ අසල්වැසිය. මම රවි අයියලගෙ ගෙදර ගියාම ගුණපාල මාමත් අනිවාර්යෙන්ම සෙට් වෙනව. සම්මත භෞතික තත්වයට ආවට පස්සෙ ගුණපාල මාමට පොඩි අවුලක් තියනව. ඒ තමයි කරාටි ෂෝ පෙන්වීම. ගුණපාල මාම 71 කැරැල්ල කාලෙ ඉදල තද ජේ.වී.පී. කාරය. ඔය පන්ති පහට එහෙම සම්බන්ධ වෙලා කරාටි එහෙම ඉගෙනගෙන තියනව. සූර් වුනාට පස්සෙ හැමදාම කාටහරි පොලිස් ගැටේ ගලවන හැටි කියල දෙන්න ඕන. (දන්නවනෙ පොලිසි ගැටේගැන. පිටිපස්සෙසන් ඇවිල්ල අත්දෙකට යටින් අතදාල බෙල්ල පිටිපස්සෙන් අල්ල ගන්නෙ)

ඉතින් ගුණපාල මාම කියනව කාටහරි එයාට පොලිස්ගැටේ දාන්න කියල. ඊට පස්සෙ කරන්නෙ ‍"කවුරුහරි පිටිපස්සෙන් ඇවිල්ල මේ විදියට අල්ලගත්තොත් කරන්න තියෙන්නෙ මෙච්චරයි" කියල ඉස්සරහට නැවිල අල්ලගෙන ඉන්න කෙනාගෙ කකුලකින් ඉස්සරහට අදිනඑකයි. එතකොට අල්ලගෙන හිටිය කෙනාගෙ කොන්ද බිම ඇනෙනවා. ඒත් ඇත්තටම කොන්ද බිම ඇනෙන්න කලින් අපි එයාව අත්හරිනව.

ඊට අමතරව කික් කරන හැටි කියල දෙනව. ඒ වෙලාවට අපේ ආරක්ෂාව සලසගන්න ටිකක් ඈතින් ඉන්න ඕන. මොකද ඔලුවට උඩින් කකුල කරකවනව කියල කිව්වට ඇත්තටම ඉස්සෙන්නෙ බෙල්ලටත් පහලට. :)

එක දවසක් රවි අයිය අදුරන මල්ලි කෙනෙක් අපිත් එක්ක සෙට්වුනා. සුපුරුදු විදියටම මල්ලිට කරාටි උගන්වන්න ගුණපාල මාම සෙට්වුනා. ගුණපාල මාමගෙග හැටි නොදන්න මල්ලි පොලිස්ගැටේ දැම්ම. සුපුරුදු විදියට ගුණපාල මාමත් එකපාරටම ක්‍රියාත්මක උනා. එයා ගැන දන්නෙ නැති මල්ලි කොන්ද බිම ඇනගත්ත. ගුණපාල මාමා එතනිනුත් නැවතුනේ නෑ. "වැටුනට පස්සෙ සතුරා මෙල්ල කරන්න ඕන මෙන්න මෙහෙමයි" කියල විළුඹෙන් ඇන්න ඇලපතට. අන්තිමට මල්ලිට සිහි නැතිවුනා. අපේ ලේ වතුරවුනා. හදිස්සියෙ මූ මැරුනොත් එහෙම! කොහොමහරි වතුර ටිකක් මූනට ඉහලයි කොලුවට පන ගත්තෙ. කරාටි ෂෝ එතනින් ඉවරයි.

අනිත් කතාව මේකයි. ලගදි කොරියාවෙ රැකියාව කරල යාලුවෙක් ආව. එයාගෙ තාත්තට තියනව කුඹුරක්. වී වපුරන්න කලින් දවසෙ තාත්ත කොල්ලට කිව්ව ගවුචෝ මලු තුනක් ගේන්න කියල. ගවුචෝ කියන්නෙ බිත්තර වී වලට කලවම් කරන කුඩු ජාතියක්. ටිකක් මිල වැඩි පලිබෝධ නාශකයක්.
අපේ යාළුව ත්‍රීවීල් එකක් හයර් කරගෙන ටවුමට ගිහිල්ල ත්‍රීවිල් එක කඩේ අයිනටම පාක් කරවල ඉල්ලුව ගවුචෝ මලු තුනක්. මුදලාලි ඇතුලට ගිහින් ගෙනල්ල දුන්න මලු තුන. මලුවල සයිස් එක දැක්කමයි යාලුවට තරු පෙනුනෙ. පැකට් තුනේම බර කිලෝවටත් අඩුයි.


Sunday, May 13, 2012

දයාබර මිතුර.....


දයාබර මිතුර,
කිසිදා අප හමු නොවුවත්,
නිමක් දකින්න බැරිවුන,
මේ සංසාර සාගරේ,
ගොඩාක් කලකට ඉස්සර,
මතකද?
අපි හොද මිත්‍රයෝ!
ඉස්සරහටත්,
එහෙමමයි.
දවසක එන්නම්,
හමුවෙන්න ලෙංගතුකමින්.
දිනයක් වෙලාවක් තැනක් කියන්න බෑ,
සත්තයි!
එනවමයි.

Friday, May 11, 2012

රුක් දෙවියගෙ දත් ගැලවිල්ල.

අද කියන්න යන්නෙ කතාවක්. ඒ කියන්නෙ ඔරිජිනල්ම කතාවක්. ඉස්සර, රාජ් පැටිය කාලෙ හැමදාම නිදාගන්න කලින් තාත්තගෙ කතාවක් අහන්නම ඕන. ඒ කාලෙ අපේ නගා හිටියෙත් නෑ. අක්කල දෙන්න දෙපැත්තෙ තියාගත්තම බාලය වෙච්ච මට තාත්තගෙ ඔඩොක්කුව හිමිවෙන්නෙ නිතරගයෙන්මයි. කරුමෙ කියන්නෙ අවුරුදු ගනනක් යනකන් කතන්දර වලින් අහන්න ලැබුනෙ මැද හරියක් වෙනකන් විතරයි. ඊට පස්සෙ තාත්තගෙ ඔඩොක්කුවෙම නිදි. කතාව අවසන් වෙනකන් අහන්න තරම් වයසට එනකොට කතා ඉබේම නැවතුනා. අනිත් කාරණාව නගා ඉපදුනාට පස්සෙ ඔඩොක්කුවෙ අයිතියත් එයාට මාරුවුනා. හරි! ඒ ගැන ඒ ඇති.

ඊට පස්සෙ කතන්දර ගැන කියන්න ‍වචනයක් තියනව. කතන්දර කියනව-අහනව කියන්නෙ අපේ පැරැන්නන්ගෙ නම් ජීවිතවල කොටසක්. දැන් වගේ තාක්ෂනය දියුණු තත්වයක නැති ඒ කාලෙ ගෙදර ඉස්තෝප්පුවෙ එල්ලල තියන පැට්‍රල් ලාම්පු එලියෙන් හරි චිමිනි ලාම්පුවක එලියෙන් හරි ආලෝකමත් වෙච්ච තැනක රවුමට බිම වාඩිවෙලා ඉදගෙන කතන්දර කියනඑක-අහනඑක තරම් ආශ්වාදයක් තවත් කොයින්ද. ඒකාලෙ රූපවාහිනිය කියනදේ ගැන අහල තිබුන විතරයි.(අපේ කාලෙ, ඊට ඉස්සර දන්නෙත් නෑනෙ). ඒ අහපු කතන්දර වෙනුවට අද තියෙන්නෙ ජරා මෙගා නාට්ටි බැලිල්ල විතරයි. අනිත් කාරණාව ඒ ජාතියෙ කතන්දර අද වෙනකොට අභා‍වයට ගිහිල්ල ඉවරයි. දැන් තියෙන්නෙ කියල ඉවරවුනාම (ටියුබ්ලයිට් පොරක් නෙවේ නම්) ඉල ඇදෙන්න හිනායන කතන්දර විතරයි. එයිනුත් හොදම ඒව අම්ම තාත්ත ළමයි ඉස්සරහ කියන්න පුළුවන් දේවල් නෙවෙයි කියල දන්නෝ දන්නවනෙ. අනෙක දැන් ඉන්න පුංචි එවුන්ට කතා අහන්න තරම් වෙලාවක් නෑ. අපි කතන්දර අහපුවෙලාවල උන් ඉන්නෙ එක්කෝ නයිට් ක්ලාස් එකක නැත්තං හෝම් වර්ක් ගොඩකට යටවෙලා. හරි දැන් කතාව අහන්නකෝ, අන්තිමට හිනා යන එකක්නං නෑ.

ඔන්න එකෝමත් එක රටක තිබුන දුප්පත් ගමක්. මේ ගමේ හිටිය තරමක් වයසක ගෑණු මනුස්සයෙක්. දවසක් හවස්යාමෙ මේ මනුස්සය ඉරිගු ටිකක් එහෙම බැදගෙන කාල කැලේට ගියා දර ටිකක් හොයාගන්න. කැලේ ඇවිදල ලොකු දර මිටියකුත් බැදගෙන ඉවර වෙනකොට ටිකක් විතර ඇගට මහන්සියි. ඒගමන වටපිට බලනකොට දැක්ක රූස්ස ගහක්. මේ මනුස්සය දර මිටිය පැත්තකින් තියල ගස් හෙවනෙ ගහට පිටදීල ඉන්නකොට දන්නෙම නැතුව නින්ද ගියා.

නිදාගන්න අතරෙ මෙයා අපූරු හීනයක් දැක්ක. ලස්සන රූපයක් තියන දිව්‍ය සළු ඇදගත් රුක් දෙවියෙක් ගහෙන් බැහැල මේ අම්ම ලගට ආව. ඒ වෙනකොටත් මෙයා කට ඇරගෙනයි නිදාගෙන හිටියෙ. රුක් දෙවිය සමහර විට ගිය ආත්මයක දත් දොස්තර කෙනෙක් වෙන්න ඇති, එයාගෙ අවධානය යොමුවුනේ නිදාගෙන ඉන්න කාන්තාවගෙ දත්‍සැට්එක දිහාවට. එහෙන් මෙහෙන් ගැලවිලා තිබුන දත් අතරින් හොද යයි කියන්න තරම් එක දතක්වත් කටේ තිබුනෙ නෑ. ඉතින් රුක් දෙවිය කලේ දත්ටික එකින් එක ගැලවීම. ඊට පස්සෙ මුතු ඇට පෙලක් වගේ දත් සැට් එකක් කටට සවිකලා. අදකාලෙ වගේ ඉන්ජෙක්ෂන් ගැහුවෙ නැතුවට දේව බලෙන් වේදනාවක් නැතිවෙන විදියට වැඩේ කරලා ගහට නැගල අතුරුදහන් උනා. හීනය අවසානයේ ඇහැ ඇරුන කාන්තාවට තමන්ගෙ කටට වෙච්ච අමුත්ත තේරුනා. වහාම දර මිටියත් අරගෙන ගෙදර ගිය හැටියෙම භාජනයකට වතුර එකක් පුරවගෙන දත් සැට්එක බැලුව. බලල වෙච්ච දේ තේරුම් ගත්ත.

කොහොම කොහොම හරි අල්ලපු ගෙදර ගෑණු මනුස්සයගෙ කනටත් මේ කතාව ගියා. එයාගෙත් දත්වල පොඩි අප්සැට් එකක් තිබුන නිසා මුල ඉදලම කතාව අහගත්ත. අන්තිමට එයත් තීරණයක් ගත්ත. අර මනුස්සය කලා වගේම ඉරිගු ටිකකුත් බැදගෙන කාල දර මිටියකුත් බැදගෙන ගහ ලගට ඇවිල්ල හොදට කටත් ඇගෙන හොර නින්ද පටන් ගත්ත. මේ අතරෙදි සුපුරුදු පරිදිම රුක් දෙවියත් ආව. ඇවිල්ල හෙමිහිට දත් සැටිඑක ගැලෙව්ව. දැං ගෑනිට ඉවසිල්ලක් නෑ, රුක් දෙවිය මොන විදියට දත්ටික හදයිද කියල. මේ අතරෙ පොඩි තන්හාවකුත් ඇතිවුනා අල්ලපු ගෙදර ගෑණිගෙ දත්ටික තරමටම හොද තත්වයේ දත් සැට් එකක් ලැබෙයිද කියලත්. ඉතින් මේ මනුස්සය කලේ ඇදල පැදල "අයිටත් හොදී...........න්" කියල කිවුව එක. මේ ගෑනිගෙ කතාව අහපු රුක් දෙවියො හොදටම භයවුනා. එයා කලේ වහාම ගහට නැගල අතුරුදහන් වෙන එකයි.

ගෙදර ගිහිං වතුර හට්ටියෙන් බැලුවමයි ගෑණිට තරු පෙනුනෙ තිබුන දත්ටිකත් නැතිවෙලා. වැඩි තන්හාව දුකට හේතුවේ කියන්නෙ ඕක තමයි.

අදට ඉවරයි. සදුද එන්නං. කතාව/කතන්දර ගැන දන්න දේවල් තියනව නම් කියන්න.


Wednesday, May 9, 2012

බුදුහාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවෝ සහ බෞද්ධයෝ

සාමාන්‍යයෙන් අද ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ හැසිරීම සලකා බැලූවිට, බුදු දහම පිළිපැදීමට වඩා රැකගැනීමට පෙලගැසී සිටින සංඛ්‍යාව ඉහලය. බුදු දහම රැකගැනීමට දරණ උත්සාහයේදී වඩ වඩාත් එය කඩවන බව ඔවුන් කිසිවිටෙකත් තේරුම් නොගනී. ධර්මයේ පැවැත්මට අවශ්‍ය වන යම් යම් නීති රීති පැනවීමේදී ඒ ඒ අවස්ථා වලදී මතුවූ කාරණා පදනම් කර‍ගැනීම බුදුන් වහන්සේ විශේෂත්වයකි. ඊටත් වඩා විශේෂත්වය නම් නීතියක් සම්බන්ධ යම් ප්‍රශ්නයක් මතුවූ අවස්ථාවක උන්වහන්සේ විසින් පැනවූ නීති රීති පසු වෙනස් කිරීමට තරම් නිවැරදි දැක්මෙන් යුතු වීමයි. තමන් විසින් පෙර පැනවූ නීති රීති වෙනස් කිරීමට සාමාන්‍ය පුද්ගලයෙකු මැළි වුවද බුදුන් වහන්සේ මෙහිදී ඔවුන්ගෙන් වෙනස්වේ.

කිවයුතු අනෙක් කරුන නම් යම් යම් කාරණා සම්බන්ධයෙන් අන්තවාදී නොවී මැදහත් සිත් ඇති බවයි. අද සිටින බෞද්ධයන් පමණක් නොව මතු දක්වන්නට යෙදෙන කතාවක සදහන් කරන පරිදි (කතාව සත්‍ය නම්) සැරියුත් මහරහතන් වහන්සේට පවා මේ තත්වයෙන් මදෙනු නොහැකිවී ඇත.
(මුල් කතාව හැර)මෙම සිද්ධීන් සදහන් වූයේ ගයාන් චානුක විදානපතිරණ ගේ "සැරියුත් හාමුදුරුවෝ" නම් ග්‍රන්ථයෙනි.

පළමුවෙන්ම සදහන් කලයුත්ත භික්ෂූන්ට පැනවියයුතු නීති පහක් දේවදත්ත තෙරුන් ඉදිරිපත් කල අවස්ථාවයි.
බැලූ බැල්මට එම නීතිරීති වලින් බුදුසසුනේ දීර්ඝකාලීන පැවැත්මට යම් පිටුබලයක් ලැබේ යයි සිතියහැකි වුවද, මධ්‍යම ප්‍රතිපස්‍දාවෙන් බුදුබව ලැබූ බුදුන් වහන්සේ නිවැරදි තීරණය ගනු ලැබීය. අන්තවාදය කරා ගමන් නොකලේය.

තවත් අවස්ථාවක් වන්නේ සැරියුත් තෙරුන් යම් දන්සැලකට වැඩමකොට එහිදී දානය වැළදීමෙන් පසුව දරුණු උදරාබාධයකට ලක්වූ අවස්ථාවයි. එහිදී සැරියුත් තෙරුන්ට එම ස්ථානයෙන් පිටතට යාමට පවා නොහැකිවූ අතර දින කිහිපයක් එම ස්ථානයේ නැවතී සිටීමට සිදුවිය. දින කිහිපයකට පසුව රෝගය මදක් සමනය වූ පමණින් සැරියුත් තෙරුන් වහන්සේ යලි විහාරයට පැමිණියේ "එකම ස්ථානයක දින කිහිපයක් නතරවී සිටිමින් දන් වැලදීම නොකල යුතු යයි" බුදුන් වහන්සේ පනවා තිබූ නීතිය නිසාවෙනි. කෙසේ වුවද මෙම සිද්ධිය සැලවූ පසු උන්වහන්සේ සිදුකලේ කලින් පනවා තිබූ නීතියෙන් "රෝගී වූ භික්ෂූන්" නිදහස් කර නීතිය සංශෝධනය කිරීමය.(පාචිත්තිය පාලි-භික්ඛු වභඩ්ගය-භෝජන වර්ගය)

තම කුඩා දරුවෙකු සැරියුත් රහතන් වහන්සේ යටතේ පැවිදි කිරීමට එම තෙරුන්ට හිතවත් මාපිය යුවලකට අවශ්‍ය විය. මේ බව දැනගත් සැරියුත් තෙරුන් ප්‍රකාශ කලේ තමා දැනටමත් රාහුල තෙරනුවන් පැවිදි කරවාගෙන ඇති බැවින් එය කල නොහැකි බවයි. උන් වහන්සේ එසේ ප්‍රකාශ කලේ "එක් වැඩිහිටි භික්ෂුවක් යටතේ සාමනේර භික්ෂූන් තබාගත හැක්කේ එක් අයෙක් පමණක්" බැව් බුදුන් වහන්සේ ශික්ෂාපදයක් පණවා තිබූ නිසාවෙනි. මෙය දැනගත් පසු බුදුන් වහන්සේ ප්‍රකාශ කලේ "ප්‍රභල භික්ෂුවක් සාමනේරයන් දෙනමක් තබාගැනීම නුසුදුසු නොවන" බවයි.(මහා වග්ග පාලි- මහා ඛන්ධකය)

දිනක් රෝගාතුර වූ සැරියුත් තෙරුන් වහන්සේ විහාරයේ වැඩසිටි අතර උන්වහන්සේගේ සුවදුක් බැලීමට අග්‍ර උපස්ථායක ආනන්ද තෙරුන් පැමිණියේය. රෝගය පිළිබද විමසීමේදී සැරියුත් තෙරුන් ප්‍රකාශ කලේ ගිහිකල මෙම රෝගය සෑදුනු බවත් "ලුහුණු" ඊට ගුණදායක නමුත් බුදුන් වහන්සේ භික්ෂූන්ට ලුහුණු වැළදීම තහනම් කරමින් ශික්ෂා පදයක් පනවා තිබූ නිසා ලුහුණු වැළදීම සිදුකල නොහැකි බවත්ය. ආනන්ද තෙරුන් මෙම ප්‍රශ්නය බුදුන් වහන්සේ වෙත ගෙනඑනු ලැබූ අතර උන්වහන්සේ අදාල ශික්ෂා පදය සංශෝධනය කලේ "රෝගයකට ඖෂධයක් වශයෙන් ලුහුණු වැළදීම අකැප නොවන" ලෙස සදහන් කරමින්ය.(චුල්ලවග්ග පාලි)

දිනක් බුදුන් වහන්සේගෙන් සැරියුත් රහතන් වහන්සේ විමසන්නේ අටවිසි බුදුවරුන්ගේ ධර්මයන් නොනැසී පැවති කාලය පිලිබදව සහ ඊට හේතු පිළිබදවය. පිළිතුරු වශයෙන් බුදුන් වහන්සේ ප්‍රකාශ කලේ විපස්සී, සිඛී, වෙස්සභූ යන බුදුන් වහන්සේලාගේ ධර්මයන් කෙටි කලකදී අවසන් වූ බවත් කකුසද, කෝනාගම, කාශ්‍යප යන බුදුවරුන්ගේ ධර්මයන් නොනැසී විශාල කාලයක් පැවති බවත්ය. ඊට හේතුව වශයෙන් උන්වහන්සේ ප්‍රකාශ කලේ කකුසද, කෝනාගම, කාශ්‍යප යන බුදුන් වහන්සේලා විස්තර වශයෙන් ධර්මය දේශනා කල බවත්, මැනවින් ප්‍රාතිමෝක්ෂය දේශනා කල බවත්, විනය නීති පැනවූ බවත්ය. විපස්සී, සිඛී, වෙස්සභූ යන බුදුන් වහන්සේලා විස්තර වශයෙන් ධර්මය දේශනා නොකල බවත් නියමිත කාලයේදී විනය ශික්ෂාපද නොපැනවූ බවත් එම නිසා උන්වහන්සේලාගේ ශාසනයේ පැවිදිවූවන් ඉක්මනින්ම ධර්මය අවසන් කල බවත්ය. මෙම සංවාදයට පසුව සැරියුත් තෙරණුවන් ආරාධනා කලේ විනය ශික්ෂාපද පනවන ලෙසත් ප්‍රාතිමෝක්ෂය දේශනා කරන ලෙසත්ය. එය ප්‍රථික්ෂේප කල බුදුන් වහන්සේ වදාලේ ඒ සදහා සුදුසු අවස්ථාව තමන් දන්නා බවත් තමාගේ ශාසනයේ පිරිහීමේ ලකුණු තවමත් පෙනෙන්නට නැති බැවින් මේ අවස්ථාවේ එය අනවශ්‍ය කටයුත්තක් බවත්ය.(පාරාජික පාලි-වේරඤ්ජා කාණ්ඩය)

මේ අවස්ථා සියල්ලෙන්ම ගම්‍ය වන්නේ බුදුන් වහන්සේ යම් යම් ප්‍රශ්න දෙස බැලූ නම්‍යශීලි ස්වභාවයයි. සිංහල බෞද්ධයන් විසින් කල්පනා කලයුත්ත නම් තමා සිටින්නේ කොතැනද යන්නය. පෘත:ජන බෞද්ධයන්ට පමණක් නොව සැරියුත් මහ රහතන් වහන්සේටද මෙය හරිහැටි වැටහුනේදැයි සිතෙන්නේ මේ කතාවෙනි.

දිනක් ගිහි පිරිසක් සැරියුත් තෙරුන් වැඩසිටි විහාරයේම වාසයකල භික්ෂුවක් වෙනුවෙන් රසවත් කැවුම් වර්ගයක් ගෙනඑන ලදී. එහෙත් අදාල භික්ෂුව විහාරයේ නොසිටි බැවින් ඒවා සැරියුත් තෙරුන්ට පූජාකරන ලදී. ටික වේලාවකට පසු පිටතට ගොස් සිටි භික්ෂුව ආපසු පැමිණි අතර ගිහි පිරිස පැවසුවේ කැවුම් සියල්ල සැරියුත් තෙරුන්ට පූජාකල බවයි. කැවුම් පිලිබද තෘෂ්ණාවක් ඇතිකරගත් එම පෘත:ජන භික්ෂුව ප්‍රකාශ කලේ "රසවත් දේවල්වලට කවුරුත් කැමති" බවයි. මෙයින් ධර්ම සංවේගයට පත් සැරියුත් රහතන් වහන්සේ ජීවිත කාලය පුරාම කැවුම් නොවලදා සිටීමට තීරණය කරන ලදී.(විශ්වන්ත ජාතකය-වර්තමාන කතාව)

මෙහි සදහන් වන ආකාරයට යම්කිසි පුහුදුන් තැනැත්තෙකුගේ වචනයක් නිසා බුදුන් වහන්සේගේ දකුණත් සව් වූ සැරියුත් මහරහතුන් එවැනි තීරණයකට එළඹියේද? එසේත් නොමැතිනම් මෙහි සදහන් කතාව පසු කාලීනව එකතුවූ ප්‍රලාපයක්ද?


Monday, May 7, 2012

අබිං කන්න එන්න.


මං ඔහේ ලියනවා
උඹල'විත් බලනවා
උඹලාත් ලියනවා
මං ඇවිත් බලනවා.

කොමෙන්ටුත් දානවා‍
මිතුරු හමු තියනවා
ආතලුත් ගන්නවා
පොදු වැඩත් කරනවා.

ඇනෝලා වඩිනවා
කුණුහරුප කියනවා
"කොන්ද පන නැති ඇනෝ"
කියල අපි බනිනවා.

කල්ලි ගැන කියනවා
හොද නැහැයි කියනවා
පවුලක්ය කියනවා
ඒකටත් බනිනවා.

රජයටත් බනිනවා
ලොක්කටත් බනිනවා
ගොඩා....ක්ම බැන්නොතින්
හැක් කරල දානවා.

ආගමට බනිනවා
රැක ගන්න හදනවා
ජාතිවාදියෝ සහ
ද්‍රෝහියෝ කියනවා.

වැල කෑලි තියනවා
ජොලි කතා තියනවා
ඒව පබ්ලිෂ් කලොත්
හිට් වැඩිය ලැබෙනවා.

අහම්බෙන් එන එකා
කොමෙන්ටුත් දානවා
දවස් දෙක තුනකදී
බොල ඌත් ලියනවා!

පෙරකාලෙ යක්ෂයෙක්
අරක්ගත් විල වගේ
බ්ලොග් විලට බහිනෙකා
අයෙ නම් එන්නෙ නෑ!

හිතට ආ නිසයි මේ
කියන්නේ ඇත්තටා
මේක නං අබිං මයි!
බොරු නෙවෙයි අම්මපා.



ප.ලි: ලියල ඉවර වුනා විතරයි බොලේ අහම්බෙන් වගේ දැක්ක තව එකක්. කියපුව වෙනස්වුනත් එකම සබ්ජෙක්ට් එක.



Sunday, May 6, 2012

තරගය.


A ලෙවෙල්,
O ලෙවෙල්,
Grade V,
සිම්පල්නෙ!
Game 1 මේකනෙ
1 වෙන්න බැරි උනොත්
සොරි තමයි!
නෑ දෙවනි වතාවක්,
කවදාවත් එන්නෙ.

Wednesday, May 2, 2012

රාජ්‍ය ආයතන වලට අපූරු බැංකු ගිණුම් ක්‍රමයක්.

ඒකාබද්ධ අරමුදල - අපේ රටේ සල්ලි ලාච්චුව" යන ශීර්ෂයෙන් ලියන ලද ලිපියෙන් රජය සතු මුදල් පිළිබදව සහ ඒවා වියදම් කිරීම පිලිබදව යම් සදහනක් කලේ මෙම අඩවිය ආරම්භ කල සමයේය. මා එහි සටහන් කල ආකාරයට රජය සතු යම් මුදල් ප්‍රමාණයක් සෑම රාජ්‍ය ආයතනයකම නිල බැංකු ගිණුම් තුල ඒකරාශී වී ඇත. මූලිකවම ඒ ඒ ආයතන වල වියදම් කිරීම සදහා රජයෙන් ලබාදෙන මුදල් සහ රජය වෙනුවෙන් එකතු කරන මුදල් මෙම ගිණුම්තුල රැදී ඇත. විස්තර කිරීමට යන්නේ මෙම බැංකු ගිණුම් පිලිබදවය.

2007 නොවැම්බර් මාසය වනතෙක් රාජ්‍ය ආයතන වල බැංකු ගිණුම් සකස්වී තිබුනේ සාමාන්‍ය ජංගම ගිණුමක් ආකාරයටමය. ගිණුම මෙහෙයවීම අදාල ආයතනයෙන්ම සිදුවූ අතර යම් යම් තීරණ මහා භාණ්ඩාගාරයේ එකගත්වය මත ගනු ලැබිණි.

2007 නොවැම්බර් මාසයට පසු රාජ්‍ය ආයතන වලට අනන්‍ය අපූරු බැංකු ගිණුම් ක්‍රමයක් හදුන්වාදෙනු ලැබිනි. එහිදී ගිණුමේ පාලනය සිදුකරන්නේ මහා භාණ්ඩාගාරයයි. එය සිදුකලේ මෙසේය. 2007 නොවැම්බර් වනවිට ‍රාජ්‍ය ආයතන වල තිබූ ජංගම ගිණුම් සියල්ල වසාදැමූ අතර එම ගිණුම් වලින් නිකුත්කර තිබූ මාරු නොවූ චෙක්පත් සියල්ල අවලංගු කරනු ලැබීය. ඉන්පසු රජයේ ආයතන වෙනුවෙන් ගිණුම් විවෘත කල අතර විශේෂත්වය වූයේ එම සියළුම ගිණුම් භාණ්ඩාගාරයේ පිහිටුවන ලද ප්‍රධාන ගිණුමක උප ගිණුම් ලෙස විවෘත කිරීමයි.

මෙම වැඩපිලිවෙල තුලින් රජය විශේෂ වාසි කිහිපයක් බලාපොරොත්තු විය. එනම්,

# සෑම විටකම පාහේ ආයතන තුල ඇති ගිණුම්වල පවතින විශාල මුදල් ශේෂය ප්‍රයෝජනයට ගැනීම.
# රජය වෙනුවෙන් එක්රැස් කරන (බදු) මුදල් ක්ෂණිකව රැස්කරගැනීම.
# සෑම ආයතනයකම ගිණුම් පිළිබදව භාණ්ඩාගාරයට අධීක්ෂණය කිරීමට හැකි වීම.

මෙහි මූලිකම අරමුණ වූයේ මුදල් ශේෂය ප්‍රයෝජනයට ගැනීමයි. උදාහරණයක් මගින් මෙය පැහැදිලි කරගනිමු.
"A,B හා C යනු රාජ්‍ය ආයතන තුනක් යැයි සිතමු. සිකුරාදා දිනක කාර්යාල වසා දමනු ලබන අවස්ථාවේ ඒවායේ නිල බැංකු ගිණුම් තුල පිලිවෙලින් රුපියල් 50,000ක්, 100,000ක් හා 1,000,000ක බැගින් ශේෂයක් ඇතැයි සිතමු. පෙර පැවති ගිණුම් ක්‍රමය අනුව දින දෙකක නිඩාඩුවෙන් පසු සදුදා දින කාර්යාල විවෘත කරන තෙක් අදාල ආයතනයන්හි බැංකු ගිණුම් තුල 1,150,000ක මුදලක් (කිසිදු වැඩකට නොගෙන) ඇත. එම මුදල් රජය විසින් යම් යම් ආයතන වලින් ණය පදනම යටතේ ලබාගත් මුදල්ය. ඊට අදාල පොලී මුදල් දිනපතා (නිවාඩු දිනයන් වුවත්) අදාල පාර්ශව සදහා ගෙවිය යුතුය. නව ක්‍රමය යටතේදී මෙම ආයතනයන්හි ගිණුම් තුල ඇති අදාල මුදල, සිකුරාදා සවස් වනවිට භාණ්ඩාගාරය මගින් අත්පත් කරගන්නා අතර එම මුදල් වෙනත් අවශයතා සදහා යෙදවිය හැකිය. නැවතත් සදුදා උදෑසන අදාල මුදල් නැවතත් ඔවුන්ගේ ගිණුම් තුලට බැරකිරීම සිදුකරයි. අනෙක් අතට ඒ ඒ ආයතන සදහා අවශ්‍ය මුදල පමණක් දීම මෙහිදී සිදුකල හැකිය"

රජය වෙනුවෙන් එකතුකරන ආදායම්ද (බදු ආදිය මගින්) මේ අයුරින්ම ක්ෂණිකව රජයට ලබාගැනීම සිදුවේ. ජාලගත බැංකු පද්ධතියක් ඇති බැවින් මෙහිදී කිසිදු ප්‍රශ්නයකින් තොරව මෙම කටයුත්ත සාර්ථකව සිදුවේ.

මෙම ක්‍රමය රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පයස් ප‍්‍රනාන්දු මහතා විසින් හදුන්වාදෙනු ලැබූ අතර උග්‍ර මුදල් අර්බුදයකින් පෙලෙන රජයට මෙය මහත් අස්වැසිල්ලකි. සාමාන්‍යයෙන් වසරකට මිලියන 50කට වැඩි මුදලක් මෙමගින් ඉතිරි කරගත හැකි යයි කියවේ.