Friday, December 20, 2013

පළාත් පාලන අයවැය පරාජය, පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය හා රටේ ප්‍රජාතන්ත්‍රවාදය

පළාත් පාලන ආයතන වල අයවැය පරාජය කිරීමට දායක වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනතා නියෝජිතයන්ට එරෙහිව කටයුතු කරන බැව් එහි මහලේකම් කියා සිටී. මේ තීරණය ගෙන ඇත්තේ මේ වනවිටත් පළාත් පාලන ආයතන පහලවක් විස්සක් පරාජය වී ඇති වටපිටාවකය. මේ ඒ පිළිබඳ සටහනකි.

පළාත් පාලන ආයතන වල මෙම අවුල පටන්ගන්නේ වසර දෙකක තුනක සිටය. මුල් වටයේදීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බලකොටුවක් වන තංගල්ල නගර සභාව පරාජය විය. මනාප පොරය ඇතුළු නියෝජිතයන් එකිනෙකා අතර ඇති අනෙකුත් ගැටුම් අයවැය ඡන්දයේදී මතුපිටට පැමිණීම නිදහස් සංධානය පැත්තෙන් බැලූ විට වසංගතයක් වන තරමටම වර්ධනය වූයේ මේ වසරේදීය. ජාතික මට්ටමේදී හෝ පළාත් මට්ට‍මේදී සාමාන්‍යයෙන් මුදල් පණතක් පරාජය වූ විට ඉල්ලා අස්වීම සිදුවුවත් ප්‍රාදේශීය මට්ටමේදී එසේ නොවේ. මුල්වර අයවැය කෙසේ හෝ ක්‍රියාත්මක කිරීමට නගරාධිපතිවරයාට හෝ ප්‍රාදේශීය සභාපතිවරයාට හැකි වුවද දෙවන වර පරාජයත් සමඟ ධූරය අත්හැරීමට සිදුවේ.

ජාතික හෝ පළාත් මට්ටමේ ජනතා නියෝජිතයන් අතර පවතින ගැටුම් වලට වඩා ප්‍රාදේශීය මට්ටමේ මන්‍ත්‍රීවරුන් අතර පවතින නොහොඳ නෝක්කාඩු ප්‍රමාණාත්මකව වැඩිය. වඩාත් පුළුල් නොවූ පාලන ප්‍රදේශයන්හි සිටින්නන් අතර මෙවැනි ගැටළු-ගැටුම් ඇතිවීම ස්වභාවිකය. අනෙක් අතට මොවුන් පක්ෂ නායකයන්ගේ සෘජු අධීක්ෂණයන්ට ලක් නොවන්නන් වන අතර එකිනෙකා අතර පවතින ගැටුම් නිරාකරණය කිරීමට පක්ෂය මැදිහත් වීම අල්පය. සමාජ තත්වය අනුව ගත්කල වුවද පළාත් පාලන නියෝජිතයන් අන්‍ය දේශපාලන ස්ථරයෙන් වෙනස්වූ කණ්ඩායමකි. මින් බොහෝ දෙනෙකු දේශපාලනයෙන් හිස උදුම්මාගත් අඩු අධ්‍යාපනයක් සහිත තනතුරුලාභි පිරිසක් වූ ද තමන්ට නොමැකි බලයක් බලෙන් ලබාගැනීමට උත්සාහ කරන්නාවූද අතැති ආයුධයෙන් ප්‍රශ්න විසඳාගැනීමට තරම් මානසික මට්ටමක් ඇත්තාවූද සමාජ විරෝධී කළු සල්ලි හිමියන් බැව් පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් වලින් දක්නට ලැබිනි. මෙවැන්නන් දේශපාලනයට ගෙන ආ පළාත් සහ ජාතික දේශපාලන නායකයන්ට බලාපොරොත්තු විය හැක්කේ මෙවන් ප්‍රථිපල මිස අනෙකක් නොවේ. ඒ අර්ථයෙන් ගත්කල විනය ක්‍රියාමාර්ග ගැනීම එතරම් වරදක් නොවේ.

නමුත් තවත් පැත්තකින් කල්පනා කලවිට අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කල මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වූ කලී ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ලැබූ පරාජයකි. ඕනෑම ආකාරයක ඡන්දයක් යනු හෘද සාක්ෂිය අනුව පාවිච්චි කල හැකි දෙයකි. පක්ෂය කුමක් හෝ වේවා යම් ‍තීරණයක් සම්බන්ධයෙන් හොඳ හෝ නරක-කැමැත්ත හෝ අකමැත්ත තීරණය කිරීම, කණ්ඩායමක් ලෙස කලින් රැස්වී එකඟ වීම හෝ නොවීමට වඩා තනි තනිව එකඟ වීම-නොවීම වඩාත් යහපත් බව මගේ හැඟීමයි. ප්‍රජාතන්ත්‍රවාදය හොඳින් ක්‍රියාත්මක වන සෑම රටකම පාහේ දක්නට ඇත්තේ මේ ප්‍රතිපත්තිය මිස තර්ජනය කිරීමෙන් හෝ බලහත්කාරයෙන් අදාල අවස්ථාවේ අත එසවීමට සැලැස්වීම නොවේ. පසුගිය කාලයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇතිවූ තත්වය හොඳ උදාහරණයකි. අද වනවිට අව භාවිත තත්වයට පත්ව ඇතිවුවද පක්ෂය මාරු කලවිට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසිවන අයුරින් කලින් තිබූ නීතිය, හෘද සාක්ෂි පනත මඟින් වෙනස් කිරීමද මෙවැන්නකි.

‍අනෙක් අතට තුනෙන් දෙකකට අධික පාර්ලිමේන්තු බලයක් සහ ඊටත් එහා ගිය බලතල සහිත විධායක ජනාධිපතිධූරයක් සහිත එක්සත් ජනතා නිදහස් සන්ධානයට මෙම කුඩා ආයතන වල පරාජය දරාගැනීම අපහසුය. එය ක්‍රිකට් ලෝක ශූරයන් සිම්බාබ්වේ හෝ කෙන්යාවට පරාජය වීම තරම් අවමාන සහිතය. විරුද්ධව ඡන්දය පාවිච්චි කලවුන්ට යම් "තරවටු කිරීමක්" මඟින් ප්‍රශ්නය විසඳීම හොඳම ක්‍රමය යයි ඔවුන් සිතා සිටී. සාමාන්‍යයෙන් ප්‍රධාන පක්ෂ සියල්ලකම පාහේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය මෙබඳුය. එහෙත් ලොකුම විහිළුව නම් ඔවුන්ගේ කතාබහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකිරීම පිළබඳ වීමයි.

මෙම බ්ලොග් කරුවාගේ මතය අනුව නම් සිදුවිය යුත්තේ මහජන නියෝජිතයන්ට තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කල හැකි අයුරින් නීතිය සකස් වීමත් එමඟින් පැනනඟින ගැටළු වලට විසඳුම් සෙවීමත්ය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන්නේ එවැනි ක්‍රමයක් තුලින් පමණි.

සටහන අවසන් කිරීමට මත්තෙන් සඳහන් කරන පහත සිදුවීම ඈත අතීතයේ තංගල්ල නගර සභාවේ මෙවන් අවස්ථාවක කතන්දරයක්ය.
යම් තනතුරක් ලබාදීම සඳහා උත්සාහ කිරීමේදී ඡන්ද ප්‍රමාණය පිළිබඳ ගැටළුවක් පාලක පක්ෂයට ඇතිවිය. මුස්ලිම් ජාතික මන්ත්‍රීවරයෙකුගේ ඡන්දය මේ අවස්ථාවේදී තීරණාත්මක විය. ඔහුට එල්ලවූ බලපෑම් හමුවේ දෙපසට වැනෙන ප්‍රතිපත්තියක සිටි ඔහුට කල යුත්තේ කුමක්ද යන ගැටළුව මතුවිය. අවසාන තීරණාත්මක මොහොතේදී අදාල තනතුර සඳහා තමාගේම නම යෝජනා කර ඡන්දය භාවිතා කිරීමෙන් වැලකී සිටීමට ඔහු සමත් විය. (එකල පැවති නීතිය අනුව තනතුර සඳහා යෝජනා වූ තැනැත්තාට ඡන්දය භාවිතා කල නොහැක).

Thursday, December 19, 2013

80 ශ්‍රී හිනා කතා, අසූචි වලේ පණුවා සහ යකාගෙ අඩවිය

ඉස්සර, ඒ කියන්නෙ 80 දශකයේ තිබුන සඟරාවක් තමයි ශ්‍රී කියන්නෙ. වයසක බ්ලොග්කරුවන්ට නං මතක ඇති. ඉස්සර ඔය සඟරාව හැම මාසෙකම අපේ ගෙදරට ගෙනාව. කියවන්න දේවල් අඩු ඒ කාලෙ අපිට මේක සෑහෙන්න වටිනව. අවුරුදු විසි ගනනකට පස්සෙත් මේ සඟරාවෙ තිබුන සමහර දේවල් මතක තියනව. මේ ඒ සඟරාවෙ තිබුන විහිළු කතා කිහිපයක්.

බිල්ඩිම.
මේක කාටූන් එකක්. එක මනුස්සයෙක් බිල්ඩිමකට වඳිනව. තව එකෙක් ඇවිල්ල අහනව "මොකද තමුසෙ හැමදාම මේ බිල්ඩිමට නමස්කාර කරන්නෙ?" කියල. අර මෑන් කියනව "මේ බිල්ඩිමෙන් වැටිල තමයි මගේ නැන්දම්ම මළේ" කියල. මේ ජෝක් එක තේරුම්ගන්න මට සෑහෙන්න කාලයක් ගියා.

From
ඔන්න මිනිහෙක් ඉන්නව. මෑන් කඩ්ඩෙන් කතා කලාට මොකද from කියන වචනෙ නිතරම අමතක වෙනව. දවසක් එයා ටිකක් අකමැති මිනිහෙක් ගෙදරට ආපු වෙලාවෙ එයාට බනිනව "ගෙටවුට් මයි හවුස්" කියල. අර මනුස්සය යන්න යනව. පස්සෙ මෑන්ට තේරෙනව ෆ්‍රොම් එක හැලුන කියල. ආයෙත් අර මිනිහට කතා කරනව.

"අයිසෙ ඔහොම ඉන්නව...... ෆ්‍රොම් ආ..... හරිද? ෆ්‍රොම්!"

නෝක්කාඩුව.
මේකත් කාටූන් එකක්. කපල් එකක් ඉන්නව ලොකු ගහක ‍විරුද්ධ පැති වලට පිට දීගෙන. විරුද්ධ දිශාවල් බලාගෙන. තවත් ගහක බෝඩ් එකක් ගහල තියනව "මල් වත්ත" කියල. මේ අතරෙ ගහ දිගේ ඇදිල එන පොළ‍ඟෙක් කෙල්ලගෙ මූනෙ ඇතිල්ලෙනව. "දැං කිව්වෙ කතා කරන්නෙ නෑ කියල?" කෙල්ල අහනව.

ණය
කසාද බඳින වයසත් පහුවෙච්ච දූල කිහිප දෙනෙකුත් ඇතුළුව දූල දුසිමක් විතර ඉන්න මනුස්සයෙක් තමයි මිස්ට පෙරේර. ඔන්න පෙරේර මුනගැහෙන්න ඉලන්දාරියෙක් ගෙදරට එනව.

ඉලන්දාරිය: "පෙරේර මහත්තයා මම මේ ආවෙ......." ඉලන්දාරිය මොනවදෝ කියාගන්න බැරුව ඇඹරෙනව.
පෙරේර: "හා හා.... ළමයා.... මම ඔය වයස පහුකරල ගොඩක් කල්..... මම දන්නව ළමය ආවෙ මොකටද කියල..... කියමු බලන්න මගේ කීවෙනි දූ ගැනද ඔය ළමය කියන්නෙ?"
ඉලන්දාරිය: "නෑ පෙරේර මහත්තය මම ආවෙ ණයට රුපියල් සීයක් ඉල්ලගන්න"
පෙරේර: "අයිසෙ තමුසෙ කවුද ඕයි මගෙන් සල්ලි ඉල්ලන්න එන්නෙ. මම තමුසෙගෙ කවුද? තමුසෙට කොහොමද ඕයි මම රුපියල් සීයක් දෙන්නෙ? මම තමුසෙගෙ නම වත් දන්නෙ නැති එකේ"

පස්සෙ දෙන ගාන
ඔන්න මිස්ට සිල්ව යනව මිස්ට පෙරේර ලඟට.

සිල්ව: මිස්ට පෙරේර, මම ආවෙ ලොකු උදව්වක් ඉල්ලගන්න.

පෙරේර: මොකද්ද මිස්ට සිල්ව?

සිල්ව: පෙරේර දන්නව නේ අපේ දූ ලබන සතියෙ බඳිනවනෙ. මම මනමාලයගෙ පැත්තෙ අයට පොරොන්දු උනා දූට දෑවැද්දට රුපියල් පනස් දාහක් දෙන්න. ඉතිං මං ගාව දැනට තියෙන්නෙ විසිපන්දාහයි. මට රුපියල් විසිපන්දාහක් ණයට ගන්න ඕනවෙලා තියනවා....

පෙරේර: සිල්වා... මම මේ ඔයාට හිතවත් කම නිසා මෙහෙම කියන්නෙ.... ඔන්න ඔය විසි පන්දාහ දෙන්න මගුල දවසට. අනිත් විසිපන්දාහ පස්සෙ දෙනව කියන්න....

සිල්ව : මේකයි පෙරේර, මගේ ලඟ දැනට තියෙන්නෙ ඔය පස්සෙ දෙන විසිපන්දාහ තමයි. මට ඕන මුලින් දෙන විසිපන්දාහ!


අසූචිවලේ පණුවා.

මේක සමාන්තර විශ්වයක 2013 ශ්‍රී සඟරාවක ‍තිබුන කතාවක්.

ඔන්න ගුන්ථනරකය වගේ අසූචි වලක පණුවෙක් හිටිය. අසූචි කකා ඉන්න පණුවො අතරෙ මූත් එක පණුවෙක් විතරයි. ඔන්න දවසක් උදේ මේ පණුව අසූචි වලේ ඉඳගෙන මේ වගේ ටෝකක් ඉෂූ කරනව.

"මට මේ ගඳගහන අසූචි වලේ ඉඳල ඇතිවෙලා..... මෙතෙන්ට ආපු දවසෙ ඉඳල මම කලේ අසූචි කන එක විතරයි..... මම සාම්ප්‍රදායික පණුවෙක් නෙවේ..... මම මීට පස්සෙ අසුචි කන්නෙ නෑ.... මම උඩුගං බලා යන්න තීරණය කලා!"

අසූචි වල මොහොතකට නිහඬතාවයෙන් පිරුන. කන්න ගත්ත අසූචි, පණුවන්ගෙ කටවල් වලම හිරවුනා.

"හරි! දැං තමුසෙ මොකද්ද කරන්න යන්නෙ? මෙතනින් එලියට යනවද? ගිහිල්ල තමුසෙගෙ නමින් තියන මල් පිපුනු විලකට යනවද?" අනිත් පණු සගයන් ඇහුව.

"නෑ නෑ.... මම යනව එහා පැත්තෙ තියන අනිත් අසූචි වලට" පණුව කිව්ව.
---------------------------------------------------------------------------------
යකා
මේක හිනා කතාවක් නොවේ. බ්ලොග් අවකාශයේ "යකා" නමින් කමෙන්ට් දාන කෙනෙක් ඔහේල දැකල ඇති සමහර විට. විශේෂයෙන්ම අජිත් පැරකුම්ගෙ W3 අඩවියට යකා දාන කමෙන්ට් දැකල ඇති ඒ පැත්තෙ යන කෙනෙක් නං. අනෙක මූ ටිකක් ආර්ශනික යකෙක්, " නීතිය කියන්නෙ දුප්පතුන් හා දුප්පතුන් අතර ආරාවුල් විසදීමටත් ධනවතුන්ට දුප්පතුන්ගෙන් සිදුවන හිරිහැර වැළැක්වීමටත් තිබෙන යාන්ත්‍රණයයි" වගේ අර්ථ දැක්වීම් දැනටමත් කරල තියන යකෙක්. කොහොම උනත් මේ නූතන යුගයේ යකා, ජාලගත අඩවියෙනුත් කෑල්ලක් වෙන් කරගන්න සමත් වෙලා තියනව.

මෙන්න යකාගෙ අඩවිය. ගොඩවැදිල යකාට "යක් ධෛර්ය" දෙන්න.
ආ....යකාත් මං වගේ රාජ්‍ය සේවකයෙක්!

Friday, December 13, 2013

ඉස්සෝ, දිය බල්ලෝ, වාරි සංස්කෘතිය සහ වාරිමාර්ග

හැන්දෑ වෙලාවෙ ඇලෙන් වතුර ටිකක් නාගෙන පාලම උඩ වාඩිවුනා. ඇලේ වතුර මට්ටමත් සෑහෙන්න අඩුවෙලා. පාලමට එහා පැත්තෙ ඇල ඇතුලෙ තියන ටැංකි වලේ ගෙම්බන්ගෙ සද්දෙ විතරයි නිශ්ශබ්දතාවය බිඳින්නෙ. වතුර පාර අඩුවුනත් ඇල එක සීරුවට ගලාගෙන යනව. අවුරුදු විස්සක් විතර අතීතයට මගේ හිත දුවනව. ගිනි මද්දහනෙ ඇලේ නාන කැහැටු කොල්ලො තුන් දෙනෙක්. පාලම උඩ ඉඳල ඇලට පනිනව. ආයෙත් ගොඩට එනව. ආයෙත් පනිනව. ඒ කාලෙ ඇල ගලාගෙන ගියේ ඇලට ඕන විදියට. අවුරුද්දකට කිහිප සැරයක් එන ගංවතුර මූදට යවන්න ඇලට තනියම බෑ. පාලමටත් උඩින් දන මත්තක්, නැත්තං ඊටත් උඩට වතුර ගලාගෙන යන්නෙ කිලෝමීටරයක් විතර දිග වේල්ලත් ඒ මට්ටමටම වතුරෙන් වහගෙන. අඩි දහයක් විතර පළල ඇලේ, පාලම ඊටත් වඩා අඩුයි. වේගයෙන් ගලායන වතුරපාර නිසා පාලමට යටි පැත්තෙන් ඇල දෙපැත්ත කැඩිල දහ ගුණයකින් විතර ඇල පළල් වෙලා. වතුර පාරෙ සැරට කොල්ලො තුන් දෙනෙකුගෙ උස තරම් ගැඹුරට ඇල හෑරිලා. දියකෙලියෙ ඉන්න එකෙක් අලුත් යෝජනාවක් ගෙනාව. පාලම උඩ ඉඳල ඇලට පැනල පතුලට ගිහිල්ල ඇල පතුලෙ තියන මඩ-මැටි ගොඩට ගේන්න. ඔන්න වැඩේ පටන් ගත්ත. එක එක්කෙනා පිලිවෙලින් ඇලට පනිනව. පුළුවන් තරම් මඩ ගෙනල්ල පාලම අයිනෙ ගොඩවල් තුනක් හදනව. එකාට එකෙක් නොපරදින කොල්ලන්ගෙ උත්සාහයෙන් ඉන මට්ටමට උස වෙහෙර වහන්සේලා තුනක් හැදෙනව.

"දැං යමුද? අම්මල හොයයි නැත්තං" එකෙක් කියනව. "එතකොට මේ වෙහෙර?" අන්තිමට සිද්ධ වෙන්නෙ වෙහෙර වහන්සේලා සමතලා කරල මඩ ටික ඔක්කෝම පාලම පුරා විසිරීම. ඉඳහිට බයිසිකලයකින් යන කෙනෙක් මඩ ගොඩේ ගියත් කොල්ලන්ගෙ වැඩ ගැන හිනාවීමට වැඩි දෙයක් කලේ නෑ.

මේ ඇලට කියන්නෙ "ඉරිගේසං ඇල" කියල. මෙතන 'ස'යන්න ශබ්ධ වෙන්නෙ 'සමනලයා' සයන්න මිසක් 'සර්' සයන්න නෙවේ. ඉරිගේෂන් එකෙන් හදපු නිසා වෙන්න ඕන ඒ නම වැටුනෙ. මගේ හිත තවත් අවුරුදු පහක් හයක් අතීතයට යනව.

"රාජ් අයියේ..... ධර්මෙ අයියල දිය බල්ලෙක් අල්ලන්න හදන්නෙ" ඒ එහා ගෙදර හිටිය, මට වැඩිය අවුරුදු දෙකක් විතර බාල බුද්ධි මාම. ඔන්න අපි යනව පාලම ලඟට. ගංවතුරට පළල් වෙලා තියන ඇලේ දෙපැත්තෙ පන් ගස් වැවිල. ඒ වතුර අඩුකාලයක්. ඇලේ පහල පන් මණ්ඩියේ ඉන්න ධර්මෙ අයිය අතේ දිග රිටක්. දිය කඩිත්තෙ ඉන්න දිය බල්ලව අවුස්සන්න ධර්මෙ අයිය රිටෙන් අනිනව. ප්‍රහාරයෙන් බේරෙන්න එහෙට මෙහෙට පනින අසරණය වෙලාවකට රිටේ කෙලවර හපල අල්ලනව. ප්‍රතිපලය වෙන්නෙ අසරණ සතා තවත් නේදනාවට පත්වීම. ඒ කාලෙ ධර්මෙ අයිය වීරය වෙලා දිය බල්ල දුෂ්ඨය විදියට පෙනුනෙ වයසෙ වැරැද්ද නිසා වෙන්න ඇති.

දිය බල්ලෝ විතරක් නෙවේ. අපි පොඩි කාලෙ මේ ඇලේ ඉස්සො එහෙමත් සෑහෙන්න හිටිය. වේවැල් කූඩයක් අරගෙන ඇල මැද්දෙන් වතුරෙ ඔබල ඒක ඇල කණ්ඩිය දක්වා ඇදගෙන ගිහිල්ල උස්සල බලද්දි ඇල කණ්ඩිය අයිනෙ ඉන්න ඉස්සො කූඩෙට එකතු වෙනව. ලොකු ඉස්සො මල්ලට දාගෙන පොඩිඑවුන් ආයෙත් වතුරට දානව. පැය භාගයක් මහන්සි වෙද්දි පවුලේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සම්පූර්ණයි. ඇල 'සංවර්ධනය' කරන්න කලින් තිබුනෙ වාරි පද්ධතියක්. ඇල දෙපැත්තෙ සරුවට වැවිල තිබුන තුන්හිරි පන් ගමේම උදවියගෙ පැදුරු අවශ්‍යතාවය සම්පූර්ණ කලා. ඇලේ විතරක් නෙවේ, කුඹුරුවල පවා තිබුන වලවල් වල පන් තිබුන. අක්කර දහසකට කිට්ටුව තිබුන ගමේ කුඹුරු යාය දැන් තරම් ක්‍රමවත් ගතියක් ඒ කාලෙ තිබුනෙ නෑ. අධික ලෙස වතුර එකතුවීම නිසා එක කන්නයක් විතරක් වගාකල සමහර කුඹුරු කාලෙකට පන් වලින් වැහිල යනව. මේ වගේ පන් යායවල් අනවසරයෙන් ගැලවීම නැවැත්වීමට උපක්‍රමයක් පාවිච්චි කලා. ඒකට කිව්වෙ 'බෝල බැඳීම' කියල. කුඹුරේ සිටුවල තියන මිනිහෙක් තරම් උස රිටක පොල් හනස්සක් බැඳීම තමයි බෝල බැඳීම කියන්නෙ. බෝල බැඳපු තැනකින් පන් ගලවන්න (ගලවනව කිව්වට මේකට කිව්වෙ පන් උගුලනව කියල) කවුරුත් ගියේ නෑ. නමුත් ලැජ්ජා බය නැති ගෑනු එක්කෙනෙක් දෙන්නෙක් ඉඳහිට පන්වල ඉඳුල් නොකලාමත් නෙවේ.

පන් උගුලන දවසට නං හැමෝම එනව. ඒ තමයි කුඹුර සීසාන දවස. එදාට කැමති විදියට පන් උගුලන්න පුළුවන්. ඒකටත් කොන්දේසියක් තිබුන. ඒ තමයි උගුලන පන් වලින් අඩක් කුඹුර අයිතිකාරයට දීම. පන් උගුලන්න පුළුවන් හැමෝටම පන් වියන්න නං බෑ. ඒකට දක්ෂ ආච්චිලත් අපේ ගමේ හිටිය. දක්ෂ පැදුරු වියන්නියකට පැදුරු තුනකට පන් දුන්නොත් පැදුරක් වියවගන්නත් පුළුවන්කම තිබුන. 'කොමිස්' බෙදුනෙ ඒ විදියට. පන් පැදුරු වියපු අන්තිම පරම්පරාව වෙච්ච අපේ අම්මලත් ඒ තරම් ශාස්ත්‍රය දැනගෙන හිටියෙ නෑ.

උගුල්ලපු පන් මිටියකට බැඳල ගෙදර ගෙනියල අග තියන කොල කපල අලු ද්‍රාවනයක් ඉසගත්තට පස්සෙ වේලාගන්නව. වේලගත්ත පන් ගස් කොටස් තුනකට ඉරාගෙන පදම් කරගෙනයි පැදුරු විවීම ආරම්භ කරන්නෙ. සාමාන්‍යයෙන් ස්වාභාවික පන් පැදුර කහ පැහැයට හුරුයි. නමුත් රටා දැමීමට ගන්නා පන්, රතු හෝ කොල පැහැති කුකුල් සායම් නම් සායම් වර්ගයක ගිල්වාගැනීමෙන් තමයි වරණ ගන්නවන්නෙ.

රටා සහිත පන් පැදුරු විවීමට කාන්තාවන් පාවිච්චි කල තාක්ෂණයම තමයි අද කාලෙ ඩොට් මෙට්‍රික් ප්‍රින්ටර් වල භාවිතා වෙන්නෙ. ඒ කාලෙ අපි හැමෝම නිදාගත්තෙ මේ පන් පැදුරු වල. අලුත් පැදුරක නිදාගැනීම ටිකක් විතර අපහසු වුනත් අලුත් පැදුරක් ලබාගන්න තියන ආසාව නිසා අවස්ථාව අත්හලේ නෑ. පැදුරෙ නිඳාගෙන නැඟිට්ටට පස්සෙ පැදුරෙ රටා ඇ‍‍ඟේ ඇ‍ඳෙනව. පාවිච්චි නොකරන වෙලාවට පැදුර ඉහ කෙලවරේ ඉඳල හීනියට එතීමෙන් පසු මුල්ලකින් තියල තියනව. ආයෙත් නිදාගන්න ඕනවුනාම අකුලපු පැදුර බිම එලීම අසීරු කටයුත්තක්. පැදුරෙ ඉඳල නැති මිනිහෙක් ගම ගෙදරකට ඇවිල්ල නිදාගන්න දුන්න පැදුර එලි වෙනකල් දිගහරිමින් හිටිය කියල කතාවකුත් තියනව. මේ වෙනකොට නං අපේ ගමේ පැදුරු නෑ මං හිතන්නෙ.

පන් විතරක් නෙවේ පන් වලවල් වල හිටිය ආ‍ඳො ලූලොත් පන් වලවල් එක්කම නැතිවෙලා ගියා. දැන් ඒ වෙනුවට තියෙන්නෙ එක යාය‍ට තියන කුඹුරු විතරයි. ඉස්සො දිය බල්ලො හිටිය, පන් වැවුන ඇල වෙනුවට එක සීරුවට වතුර බහින ඇල ඉතිරි වෙලා. වාරි සංස්කෘතිය වාරිමාර්ග බවට පත්වෙලා. කොල්ලො තුන්දෙනා මඩ ඇද්ද වල, ඇලේ කොන්ක්‍රීට් ටැංකි වල බවට පත්වෙලා. දියුණුව කියන්නෙ මේකට වෙන්නැති.

අඳුර එන්න එන්නම වැඩි වෙනව. මඩ ඇද්ද කොල්ලත් යාළුවො එක්ක ටැංකි වලේ අතුරුදහන් වෙනව. හරියටම දිය බල්ලො හිටිය තැන, වතුරේ යට බියර් කෑන් කිහිපයක් සෙලවෙමින් තියනව.

Wednesday, December 11, 2013

නත්තල් සීයා සමඟ කතාබහක්!

මේ දවස්වල රෙදි සාප්පුවකට ගියොත් දකින්න තියන දෙයක් තමයි ඉස්සරහ ඉන්න නත්තල් පප්ප. මට හිතුන නත්තල් පප්ප කෙනෙක් එක්ක කතා කරන්න. ඔන්න අල්ලගත්ත එක්කෙනෙක්. මේ එයා එක්ක කතාබහ.

මම: කොහොමද නත්තල සරුද?

පප්ප: නත්තල් සීය දෙන විදියට තමයි.

මම: නත්තල් සීයට දෙන නත්තල් සීය කවුද?

පප්ප: ‍මේ ෂොප් එකේ මුදලාලි තමයි ඉතිං.

මම: කොහොමද ගෙවීම් එහෙම?

පප්ප: උදේ නවයට විතර පටන් ගන්න කෑගැහිල්ලයි නැටිල්ලයි හය හත වෙනකල් කලාම එක්දාස් පන්සීයක් විතර දෙනව. බිස්නස් සරු උනොත් තවත් යමක් කමක් ලැබෙන්න පුළුවන්.

මම: අවුරුදු කීයක් තිස්සෙ පප්පට අඳිනවද?

පප්ප: අවුරුදු හතරක් විතර ඇති.

මම: බබාල හොඳට හුරතල් කරනව නේ?

පප්ප: හ්ම්! ලස්සන අය....

මම: ලස්සන අය? පොඩි එවුන් ලස්සන කැත විදියට බෙදන්න හොඳද මිනිහෝ......?

පප්ප: නෑ නෑ බොස් මම කිව්වෙ බබාල නෙවේ බබාලගෙ අම්මල ගැන.

මම: කියන්නකො නත්තල් පප්ප වෙන්න හිතුන ඇයි කියල.

පප්ප: ඉස්කෝලෙ කාලෙ නාට්ටියකින් තමයි. මම නත්තල් පප්පට ඇඳල හිටිය.

මම: නාට්ටිය හොඳට ගියාද? නත්තල් පප්පට ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳට ලැබුනද?

පප්ප: නෑ. රඟපාන්න ලැබුනෙ නෑ.

මම: ඇයි?

පප්ප: මේකනේ,... නත්තල් පප්පට හිටිය එකා එන්න පරක්කු උන නිසා මට ඒක ඇන්දුව. මම ඇඳල ඉවර වෙනකොට ඌ ආව. ඉතිං ආයෙ ගලවල ඌට ඇන්දුව.

Tuesday, December 3, 2013

සිංඩි කතා

මේ යන විදියට ගියොත් අනාගතයේ මේ වගේ සිදුවීම් ඇතිවෙන්න පුළුවන්.
-----------------------------------------------------------------------------
පාසල නිමවී නිවසට පැමිණි පුත්‍රයා සිටින්නේ වෙනදා නොමැති මුහුණකිනි. කෑමට හෝ උනන්දුවක් ඔහුගේ නොමැත. බිරිඳත් කැටුව මා ඔහු වෙත ගියෙමි.

"ඇයි පුතා මොකද අද......?"

"පුතාට අසනීපයක්ද?" මව හිස අතගා විමසුවත් ඔහුගෙන් පිළිතුරක් නැත.

"එකත් එකටම ටීච පාරක් ගහන්න ඇති,.... මොකක් හරි දඟ වැඩක් කරල, මං හරිනෙ"

"නැත්තං ළමයෙක් එක්ක රණ්ඩු අල්ලන්න ඇති!"

"මං කා එක්කවත් ගහගත්තෙ නෑ තාත්තේ....." අවසානයේ ඔහු කටහඬ අවදි කලේය.

"එහෙනං මොකද?"

"පහසුකං ගාස්තු ගෙවන්න දුන්න රුපියල් පනහ නැති කරගත්තද?"

"උදේ බත් එක රස නැති උනාද?"

"තාත්ත නිසා අද මම යාළුවො ඉස්සරහ ලැජ්ජවුනා"

"oඈ!.... මං නිසා....?"

"ඔයා කවද්ද ඉතිං ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් කලේ"

"$$@&^$&^%....... හරි පුතා කියන්න මොකද උනේ කියල"

"යාළුවො එයාලගෙ තාත්තල ගැන කියද්දි තාත්තට බ්ලොග් එකක් තියනව කියල මම කිව්ව"

"ඉතිං? තාත්තට බ්ලොග් එකක් තියනවනේ"

"එයාල මට හිනාවුනා......"

"ඒ මොකද?"

"එයාල හැමෝගෙම තාත්තලට සින්ඩි තියනව! බ්ලොග් එකක් විතරක් තිබුනට එයාල ගනංගන්නෙවත් නෑ!"


ප/ලි- නිකං රසය සඳහා ලියූවක් පමණයි.

-----------------------------------------------------------------------------
සින්ඩියක් කියන්නෙ බ්ලොග් රැසක් එකතු කරන තැනක්. තේරුම්ගන්න ඕන කාරණාව තමයි බ්ලොග් නිසා සින්ඩියත් සින්ඩිය නිසා බ්ලොග් අඩවිත් යන දෙපැත්තටම ජනප්‍රියතාවය ඇතිවෙන බව. මගේ අදහස අනුව නං සින්ඩියකට ඇතුළු වෙන්න ෆෝම් පුරවන්න ඕනවුන කාලෙ ගියා. ඉල්ලීමක් ඇතිව හෝ නැතිව බ්ලොග් අඩවි ඇතුළු කරගැනීම සින්ඩි පාලකවරුන්ගේ වගකීම.
පහුගිය කාලෙ මම දැකපු සින්ඩි අතරින් වඩාත්ම සාර්ථක වුනේ මාතලන්ගෙ සින්ඩිය. පොඩි හඳුන්වාදීමකුත් එක්ක බ්ලොග් ලිපි දැමීමත් නවකයන්ට අතහිත දීමත් අතින් පෙරමුණේ හිටියෙ ඒ සින්ඩිය. මුල් කා‍ලයේ Traffic Sources හි පහලින් සිටියත් මේවන විට මගේ බ්ලොග් අඩවියේ ඉහලට පැමිණ ඇති ආකාරය මෙන්න මේ පින්තූරයෙන් බලාගන්න පුළුවන්.


සාර්ථක අනෙක් අඩවිය ලාංකීය සිතුවිලි. සිංහල බ්ලොග් කියවනය මේ වනවිට අලුත් බ්ලොග් ඇතුලත් කරගන්නා බවක් පේන්න නෑ. යලට මහට වගේ වැටෙන මාලන් සමරවික්‍රමගෙ කෙටි ලිපියක් එක්ක අඹගහයටත් අවුලක් නැතිව යනව.

කැම්පස් සින්ඩිය.
කැම්පස් යන/ගිය උදවියට සින්ඩියක් ඕනමයි කියල කවුරුහරි කියනව නං අපේ මොකෝ. ඒත් වර්ග කිරීම් වලට තියන අකමැත්ත නිසා මේකට මගේ එහෙමකට කැමැත්තක් නෑ. මොකද කියනව නං "කැම්පස් ගිය" සහ "නොගිය" කියන බෙදීම සමාජය/වෘත්තිය ඇතුලෙ මං දැකල තියන නිසා.

මෙන්න කැම්පස් සින්ඩිය

Thursday, November 28, 2013

වීරයාගේ අවසානය!

අපි හිටියෙ සැනකෙලි භූමියක් වගේ තැනක. නැටුම්ද ගැයුම්ද වැයුම්ද කෑමද බීමද ඔක්කොම එතන තිබුන. මොන පැත්තකට යනවද කියල හිත හිත ඉන්න වෙලාවෙදි නෝන අත දික්කලා,

"අන්න වෙන්දේසියක්!"

අපි ඒ පැත්තට යන්න පිටත්වුනා. පුදුමයක්! ඒක මිනිස්සු වෙන්දේසියක්. මං අහල තිබුන විදියට නං දාහත්වෙනි සියවසෙන් මෙහා තිබිල නෑ මනුස්ස වෙන්දේසි. අපි තවත් කි‍ට්ටුවුනා,

"වෙන්න බෑ! බොරුවක්ද කොහේද" මම කිව්ව.

"ඔයා බලන්නකෝ"

ටික ටික ඉස්සරහ‍ට යද්දි සෑහෙන්න පැහැදිලි දර්ශනයක්.

"අන්න බලන්න ......මහත්තයත් ඉන්නව. මිනිස්සු ගන්න වෙන්දේසියට ඇවිල්ල"

හැබෑවකි. ........ මහත්තයත් ඇවිල්ල. සරම කැහැපට ගහගෙන පොතකුත් අතේ තියාගෙන සාටකෙන් දාඩිය පිහදදා මිනිස්සු ගන්නව. මගෙ අම්මේ එයා අරගෙන තියන මිනිස්සු ගොඩ! ගත්ත මිනිස්සු දම්වැල් වලින් බැඳල පොල් පටවපු වගේ කූඩුවක අඩුක් කරල තිබුන. අනෙක් අයට නං මිනිස්සු ගන්න ලැබිලම නැති පාටයි.

"හප්පේ.... උපාධි තොප්පිකාරයොත් ඉන්නවනෙ!"

"ඔව්, අර දැලිපිහිකරයොත් ඉන්නෙ"

"ඒක තමයි හැම ජාතියකම මිනිස්සු කූඩුව ඇතුලෙ ඉන්නව"

"අන්න මානි වෙන්දේසි කරන්න යන්නෙ!"

නෝනගෙ සද්දෙට මම ස්ටේජ් එක දිහා බැලුව......

"හැඩරුව නං ඒ වගේ තමයි...... ඒත් මානි වෙන්න බෑ" මම කිව්ව.

"මොකද නැත්තෙ! අර තියෙන්නෙ රැවුලත්.... එයා තමයි..... ආ.... අන්න නම කිව්ව...... මම කිව්ව හරිනෙ"

...........සුන්දර නිහතමානීද මැල්......... යකඩ කටින් නම කියවුනා....

"වෙන්දේසියෙ දැම්මට එයා විකිණෙන්නෙ නෑ හරිද" මම කිව්ව.

"ඔයාගෙ වීරය නේද?..... එයාගෙ ස්ටයිල් එකට ඔයා බ්ලොග් පෝස්ට් ගනනාවක් ලිව්ව නේද?....... ඔන්න බලන්න ...... මහත්තය එයා ගන්නෙ නැද්ද කියල!" නෝන හිනාවෙනව.

"නෑ නෑ ඔයා මොනව කිව්වත් එයා විකිණෙන්නෙ නෑ....." කියල කට ගන්න උනේ නෑ. .....මහත්තය එයාව ගත්ත. ගෝලයෙක් ඇවිත් මානිගෙ අත්දෙකට දම්වැල් දාන්න හදන්නෙ. එයාගෙ අතේ තිබුන පෑන බිම වැටුන..... ඒක ගන්න පහත්වෙන්න හැදුවත් ......මහත්තයගෙ ගෝලයගෙන් ඉඩක් ලැබුනෙ නෑ..... මේක වෙන්න දෙන්න බෑ! අතේ හිටිය දරුව නෝන අතට දීල මම වේදිකාව ලඟට දුවන්න හැදුව.....

"එයා ගෙනියන්න දෙන්න බෑ.......$%&%*()*_)%## අතහැරපල්ල මගේ වීරය! ...... එයාව උඹලට අයිති නෑ......" කාගෙදෝ අතකින් මගේ ගමන නැවතුනා.....

"&^%*&( මට යන්න දීපං..... යන්න දීපං...."

"මොකද අනේ කෑගහන්නෙ! බලන්න දරුවත් අවදිවුනා..... මොකෝ හීනයක් දැක්කද?....... මං හැමදාම කියනවනේ බුදුන් වැඳල නිදාගන්න කියල"

-------------------------------------------------------------------------------

"ඔයා ඊයෙ රෑ හීනෙං බයවුනේ මොකද?" උදේම නෝන ඇහුව.

"ම්.....මේ...... මම සිංහයෙක් එක්ක දඩයමේ ගියා"

"ඉතිං? සිංහය ඔයා කන්න හැදුව නේද?"

"කන්න හැදුව නං මොකද! සිංහය එක පාරටම මීයෙක් උනානෙ!"

"හී..හී...හී.... ඔයාටත් පේන හීන..."

------------------------------------------------------------------------------

ඒක දැක්ක වෙලේ ඇතිවුනේ ඇත්තටම කම්පනයක්

ඊට පස්සෙ බූන්දියට රසික සූරියආරච්චි ලිව්ව මෙන්න මේක මතක් උනා.

"ඉස්සර සිටි සමහර පතාක යෝධයන් අද කුරුමිට්ටන් වී ඇති අතර, එදා අයුක්තියට එරෙහිව සිහනද පැතුරූ සිංහ රාජයන් ද අද හුරතල් බලූ පැටවුන් වී ලද පරිදි කටු බුදිමින් දැහැමෙන් සෙමෙන් කල් යවති"

ඉතිං ආයුබෝවන් මානි!

Tuesday, November 26, 2013

කැප්පෙටිපොල, කැප් ෂොට්, වීරත්වය සහ මෝඩකම!

විශ්ව විද්‍යාල සමයේ අපගේ ප්‍රියතම ක්‍රීඩාව වූයේ කැරම්ය. උදෑසනින් පටන් ගන්නා ක්‍රීඩාව නවතින්නේ මධ්‍යම රාත්‍රියද පසුකරය. ක්‍රීඩාවේ නීති සකස්වී තිබුනේ තරග වාරයක් පරාජය වන්නන්ට අසුන් අහිමි වීමත් ජයග්‍රාහකයන් දිගටම ක්‍රීඩාවේ රැඳී සිටීමටත් හැකිවන පරිද්දෙනි. පරාජයට පත්වන්නන්ට යලිත් ඉඳගැනීම සඳහා සෑහෙන වේලාවක් බලා සිටියයුතු විය. මෙම නීතිය නිසා ක්‍රීඩා කිරීම සිදුවූයේ සීරුවටය. වෘත්තීය මට්ටමින්ය.

මේ අතර වෙනස් ක්‍රීඩකයෙකුද අප අතර විය. මගේ කාමර සගයකු වූ "සුලා" ක්‍රීඩා කලේ පරාජය වීමේ අවදානම තුට්ටුවකට නොසලකමින්ය. ප්‍රතිවාදීන්ගේ ඉත්තන් අවසන් වීමට ඔන්න මෙන්න කියා තිබියදීත් ඔවුන් වැලැක්වීම වෙනුවට තමන්ගේ ඉත්තන්ට පහර දෙමින් ඔහු ඔහුගේම ක්‍රීඩාවක යෙදී සිටියේය. අවසාන ජයග්‍රහනය ගැන නොව තාවකාලික ජයග්‍රහනයන් අපේක්ෂාවෙන් එඩිතරව සිදුකරන ඔහුගේ ක්‍රීඩා ක්‍රමයට [පහරට] මා නමක් දුනිමි. "කැප්පෙටිපොල ෂොට්එක"! "කැප් ෂොට් එක" ලෙසින් පසුව එය කෙටිවිය.

මොනරවිල කැප්පෙටිපොල යනු අපේ අතීත වීරයෙකි. එතුමාගේ සමරුව අදට යෙදී තිබේ. කැරැල්ල පිළිබඳව හෝ කැප්පෙටිපොල වීරයා පිළිබඳ අමුතුවෙන් විස්තර කිරීම අවශ්‍ය නොවේ. නමුත් කතාකල යුතු පැත්තක්ද වේ.

කැප්පෙටිපොල අධිකාරම්තුමා මුලින්ම පැමිණියේ වෙල්ලස්ස කැරැල්ල මර්ධනය පිනිසය. ඒ ඉංග්‍රීසීන්ගේ පාර්ශවය වෙනුවෙනි. එහෙත් ඔහුතුල වූ ජාත්‍යාලය, තමා ප්‍රතිපක්ෂයට එකතු කිරීම දක්වා දුරදිග ගියේය. ඒ නිකන්ම නිකන් නොව, "නිකන්ම" හිස් අතිනි! ඒ වනවිට සුදු හේවාපන්නය සතුව තිබූ අවිආයුධ තමුන් සතු කරගැනීමේ හැකියාව, කණ්ඩායමේ නායකයා වූ ඔහු හට යම් තරමකට හෝ තිබෙන්නට ඇත. එසේත් නොමැතිනම් උපක්‍රමශීලී වෙමින් සුදු හේවායන් සමූලඝාතනය කිරීමේ හැකියාව තිබෙන්නට ඇත. නමුත් ඔහුගේ තෝරාගැනීම වූයේ "තොපේ ආයුධ වලින් තොපටම පහරදීම අපට තරම් නොවේ" යන මූලධර්මයයි. මෙහි අවසාන ප්‍රතිපලය වූයේ කැරැල්ල පරාජයට පත්වීමයි. සමහර විටෙක පරාජයට හේතුව මේ කරුණ පමණක් නොවුවද මෙය තීරණාත්මක සාධකයක් වියහැකිය.

එක් පැත්තකින් මෙම ක්‍රියාකලාපය එවකට ලාංකිකයා සතුව තිබූ ප්‍රතිපත්තිගරුක භාවය පෙන්වන කදිම නිදර්ශනයකි. සාමාන්‍යයෙන් යුද්ධයේදීත් ප්‍රේමයේදීත් නීතිරීති වලංගු නොවන බැව් කියවුනද එය අතික්‍රමණය කරමින් යුද්ධ කිරීමේදී වුවද කලයුතු නොකලයුතු දෑ පිළිබඳ ලෝක සම්මුතීන් මේ වනවිට ඇති කරගෙන තිබේ. එම වත්මන් සම්මුතීන් සමඟ සැසඳීමේදී වුවද මෙම ක්‍රියාව උසස් තත්වයේ පවතී. ලොව පුරාම පාහේ සුදු ජාතිකයින් අතිශය ම්ලේච්ඡ ලෙස ක්‍රියාකල එක්දහස් අටසිය ගනන් වකවානුවේදී, ඔවුන්ගේ දෘෂ්ඨියෙන් නොදියුණු ගෝත්‍රිකයන් වූ රටක වැසියෙකුගේ ක්‍රියා කලාපය ඔවුන්ව මවිත කලා වියහැකිය. පෘතුගීසීන් කොළඹට පැමිණ ගෙරිහමක් එලාගැනීමේ ඉඩකඩ ඉල්ලා පසුව එය තීරුවලට කපා කොළඹ කොටුව සීමාව සලකුණු කලා යයි කියවෙන සිද්ධියද එවැන්නකි.

කෙසේ වුවත් කතා කලයුතු අනෙක් කරුණ නම් කැප්පෙටිපොල අධිකාරම්තුමාගේ ක්‍රියාවේ අවසාන ප්‍රතිඵයල අපේ රටේ ඇසින් බැලීමයි. වඩාත් වැදගත් වන්නේ තම අරමුණ කරා යාම මිස ඉන් මෙපිට ඇති ගෞරවයක් දිනාගැනීම නොවේ. ඒ අර්ථයෙන් ගත්කල මෙය එක්තරා ආකාරයකින් එය අනුවණකමකි. කෙසේ වුවද වීරත්වය සහ මෝඩකම වෙන්වන්නේ අපැහැදිලි රේඛාවකින් බව මගේ අදහසයි.

Thursday, November 21, 2013

මෙන්න අද අයවැයේ ඇතුල් පැත්ත.....! Budget fun Today!

අද අයවැය. ලොක්ක පාර්ලිමේන්තුවට ඇවිල්ල කියවල යයි. මේ අයවැය හැදෙන හැටි.

අයවැය කියල සාමාන්‍යයෙන් කිව්වට මේකට කියන්නෙ "විසර්ජන පනත" කියල. නොවැම්බර් මාසෙ අයවැය කියවන්න ඒක හැදෙන්න පටන් ගන්නෙ ජුනි ජූලි මාසවල ඉඳල. අයවැයක් කියල කියන්නෙ ඉදිරි මුදල් වර්ෂයේදි දරන්න සිදුවෙන ආදායම් වියදම් තීරණය කිරීමේ ක්‍රියාවලියක්. ඒක හැදෙන්නෙ කොටස් හතරකට

1. ආදායම් පිලිබඳ ඇස්තමේන්තුව- රජය අපේක්ෂිත ආදායම් මොනවද කියල බැලීමයි මේකෙන් සිදුවෙන්නෙ. වියදම් කරන්න මුදල් හොයාගන්න විදිය මෙතනින් පෙන්වනව.

2. වියදම් පිලිබඳ ඇස්තමේන්තුව- මේකෙන් කියන්නෙ වියදම් මොනවාද යන්න.

3. අත්තිකාරම් ගිණුම් ඇස්තමේන්තුව- අත්තිකාරම් කියල කියන්නෙ ණයක් වගේ දෙයක්. ඔය උකස් මධ්‍යස්ථානවලත් කියන්නෙ පවුමට මෙච්චර අත්තිකාරමක් දෙනව කියල. පසුව පියවීමේ අදහසින් දෙන මුදල් තමයි අත්තිකාරම් කියන්නෙ. මේ ගැන තමයි මේ කොටස.

4. රාජ්‍ය සේවක වැටුප් ඇතුලත් සවිස්තරාත්මක කාර්ය මණ්ඩල උපලේඛණය-රජයේ සේවකයන් වෙනුවෙන් දරන්න සිදුවෙන වියදම තමයි මේ කෙතාටසින් කියන්නෙ. මේ අවුරුද්දෙ වැටුපට වැටුප් වර්ධකය එකතු කරල එක එක්කෙනා වෙනුවෙන් ඊලඟ අවුරුද්දෙ ගෙවියයුතු වැටුප්, ඒ වගේම සියළු දීමනා ගණනය කරලයි ගන්නෙ.

සාමාන්‍යයෙන් සෑම රාජ්‍ය ආයතනයක්ම අවුරුද්ද මැද හරියෙදි, ඉදිරි අවුරුද්ද සඳහා තමුන්ට ඕනකරන වියදම් හදන්න ඕන. බොහොමයක් රාජ්‍ය ආයතන වල ආදායම් නෑ නෙව. තියෙන්නෙ වියදම් විතරයි. මේ වියදම් ඇස්තමේන්තුව හදල තමුන්ගෙ අමාත්‍යංශ ලේකම්ට යවන්න ඕන. මේ කාරණා වලදි අමාත්‍යංශ ලේකම් හඳුන්වන්නෙ "ප්‍රධාන ගනන්දීමේ නිලධාරිය" කියල. (කෙටියෙන් ප්‍රගනි).

⌖ ඊලඟ පියවර තමයි ප්‍රගනි ඒක භාණ්ඩාගාරයට යැවීම.

⌖ ඊට පස්සෙ භාණ්ඩාගාරය ප්‍රගනි ලා එක්ක කතා කරල කපල කොටල අවසාන තීරණයට එළඹෙනව.

⌖ ඊටත් පස්සෙ එක එක අමාත්‍යංශ-දෙපාර්තමේන්තු වල ආදායම් සහ වියදම් එකතු කරල එක තැනකට ගන්නව. ඒකට කියන්නෙ "විසර්ජන පණත් කෙටුම්පත" කියල

⌖ ඊලඟ පියවර වෙන්නෙ විසර්ජන පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනුමත කරගෙන මුද්‍රණය කිරීම.(ඕනම මුදල් පණතක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිවයි පාර්ලිමේන්තුවට දාන්න ඕන)

⌖ ඊට පස්සෙ තමයි ලොක්ක (නැත්තං වෙන කවුරුහරි) ඇවිල්ල පාර්ලිමේන්තුවෙ කියවන්නෙ. ඒකට කියන්නෙ පළමුවර කියවීම කියල.

⌖ ඊට සති දෙකකට විතර පස්සෙ එක එක අමාත්‍යාංශ වල ආදායම් වියදම් ගැන වාද විවාද කරල ඒවා අනුමත කරගන්නව. මේකට කියන්නෙ "කාරක සභා අවස්ථාව" කියල. මෙතනදි ඕන නම් පණත සංශෝධනය කරන්නත් පුළුවන්.

⌖ අන්තිම අවස්ථාව වෙද්දි රජයේ මුළු ආදායමත් මුළු වියදමත් කියන්න පුළුවන්. හිඟය පියවන්න තියන සැලසුම් ඉදිරිපත් කරනව.

⌖ ඉන්පස්සෙ පාර්ලිමේන්තුවෙ සම්මත කරගන්නව. කෙටුම්පතේ මුල් පිටපත කථානායකතුමා අත්සන් කරල මුදල් ඇමතිතුමාට භාර දෙනව. (කථානායකතුමා අත්සන් කලාට පස්සෙ ඒක "විසර්ජන සම්මත නීතිය" බවට පත් වෙනව).

⌖ මුදල් ඇමතිතුමාට පුළුවන් භාණ්ඩාගාරයට දැනුම් දෙන්න ඒ ඒ කටයුතු සඳහා ඒතාබද්ධ අරමුදලෙන් මුදල් නිදහස් කරන්න කියල.

අයවැය ගැන කෙටියෙන් ඔච්චරයි!

Wednesday, November 20, 2013

ඔකමාන පොල්කමදෝන.......! (ඉඩි අමින්ගේ ලංකා සංචාරය) (+21, වැඩිහිටියන් සඳහා ම පමණයි!)

අරූගෙ අඩවියෙදි දමිත් කරපු පොඩි ඉඟියකට මාත් වහෙන් ඔරෝ දීපු උත්තරයක් නිසා අරූ කල ඉල්ලීමකට මේ කතාව දාන්න හිතුව. සමහරු දන්නවත් ඇති! තනිකර අසභ්‍ය රූප මැවීම නිසා ළමයින්ගේ පැමිණීම අනවශ්‍යයි.

අරූ කියල තියනව නොබැඳී සමුළුව තිබුන කාලය ගැන සහ ඒ ගැන තවත් හොඳ විස්තර ටිකක්. අපේ කතානායකය වෙන්නෙ මේ සමුළුවට ආපු උගන්ඩාවේ නායකය වුන ඉඩි අමින් මහත්තය. ඉඩි අමින් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නෙව. තමුන්ට ඕනකරන විදියට උගන්ඩාවෙ හැම වැඩක්ම කලේ එයා. මෑන් මිනීමසුත් කෑව කියනවනෙ. උසස් පෙල කරන කාලෙ අපේ සර් කෙනෙක් කියපු විදියට, කවුදෝ කෙනෙක් අමින්ගෙ ෆ්‍රිජ්එක ඇරල බලනකොට උඩින්ම තියනවලු ඇමති කෙනෙකුගෙ ඔලුවක්. ඇත්තද බොරුද මං දන්නෙ නෑ.

නොබැඳි සමුළුවට කලින් අපේ නායකයෙක් නිල සංචාරයකට උගන්ඩාවට ගියාලු. ඉඩිඅමින් එයාට හොඳට සැලකුවලු!..........


සැලකුව කිව්වෙ?


ඔව් ඔව්..... හොඳ ඉස්තිරියාවන් පවා ලැබුනලු කන්සැප දෙන්න. මේ නිසා අමින් ලංකාවට ආවට පස්සෙ එයාටත් හොඳට සලකන්න ඕන කියල අපේ නායකයො හිතල තියනව. කොච්චර උනත් කලගුණ සැලකීම අපේ ලේ වල ම තියන දෙයක් නොවැ. ඔන්න එතකොට ඇතිවුන ප්‍රශ්නෙ තමයි මේ වැඩේට හොඳ කාන්තාවක් සොයාගැනීම. ඒ කියන්නෙ නිකංම නිකං සීලිම දිහා බලාගෙන ඉන්න ගෑනියෙක්ව ඉඩි අමින්ට දෙන්න බෑ නෙව. ඔන්න ඉන්ටර්වීව් ගනනාවකට පස්සෙ මරදාන පැත්තෙ බඩු ස්පොට් එකක අක්ක කෙනෙක් කඩුලු ඔක්කෝම පැනගෙන තරගය දිනුවලු. එයා තමයි ඉඩි අමින් ලඟට යවන්නෙ.

ඔන්න එදා රාත්තිරිය උදා උනාලු. (එදා රෑ තමයි රෑ!) කලින් උපදෙස් දීල තිබුන විදියට මරදානෙ අක්ක වැඩ පටන්ගත්තලු. එයාට උපදෙස් ලැබිල තිබුනෙ අලුත්ම අලුත් ආරක සැක්ස්(මාතලන්ගෙ වර්ඩ් එකක්) ඇක්ස්පීරියන්ස් එකක් අමින්ට දෙන්න. මේ අතරෙ කාමරේ දොර ලඟ ආරක්ෂකයන් කිහිප දෙනෙකුත් දාල හිටියලු. මොකද දෙයියනේ මේ ඉන්නෙ රටක නායකයෙක්නෙ.

ඔන්න ටික වෙලාවකින් කාමරේ ඇතුලෙන් ටිකක් අවුල් සහගත සද්දයක් ආරක්ෂකයන්ට ඇහෙන්න ගත්තලු. සද්දය ටික ටික විලාපයක් දක්වා වර්ධනය වෙද්දි ආරක්ෂකයන් දොර කඩාගෙන කාමරේට ඇතුල් උනාලු. අමින් කෑගහනවලු හරකෙක් වගේ,.....

ඔකමා..........න...... පොල්කමදෝ......න! ඔකමා..........න...... පොල්කමදෝ......න!.....

කාමරයට ආව ආරක්ෂකයන් දැක්කෙ මොකද්ද?

අමින්ගෙ "සෙට් එකේ" මැද තියන අහවල් එක සම්පූර්ණයෙන්ම මරදානෙ අක්කගෙ කට ඇතුලෙ, ඒ මදිවට මේ ගෑනි බෝල දෙක අල්ලල දෙපැත්තට ඇදලලු කන් දෙකේ ගෑවෙන සයිස් එකට! මොන යකාටද මේක ඉවසන්න පුළුවන්! ආරක්ෂකයන් බොහොම අමාරුවෙන් අමින්ව බේරාගෙන මරදානෙ අක්කව අත්අඩංගුවට ගත්තලු. අමින්ව ෂේප් කරල රටට යවල ගෑනිට විරුද්ධව විනය(තකා) පරීක්ෂණය පටන්ගත්තලු. විනය පරීක්ෂණයේදී ගෑනිගෙන් අහල තියනව රාජ්‍ය නායකයෙකුට මෙහෙම දෙයක් කරන්න හේතුව.

"සෑර්ලමනෙ කිව්වෙ අලුත් ටෙක්නික් එකකින් කලු බොස්ට සැපදෙන්න කියල,..... ඉතිං මං ඉයර්ෆෝන් ඉස්ටැයිල් එක කලා!"

Sunday, November 17, 2013

අමාරුව [පෝදා කතා]

යාළුවෙකුගෙ මළගෙදරකට ආපු පැරණි පාසල් මිත්‍රයො හතරදෙනෙක් සෙට්වුනා. එක්කෙනෙක් රජයේ සේවකයෙක්, තවත් කෙනෙක් පෞද්ගලික අංශයේ, තවත් කෙනෙක් තමුන්ගේම ව්‍යාපාරයක් කරන කෙනෙක්. අනෙකා බර යන්ත්‍ර රියදුරෙක්. මේ එයාලගෙ කතාබහේ කොටස් කිහිපයක්.

"පඩි ලැබෙනඑක ඇත්ත මචං.... ඒත් බලපං හෙට නිවාඩුව ගත්තෙ කොච්චර අමාරුවෙන්ද.... වැඩ කරනව වැඩ කරනව ඉවරයක් නෑ... ජීවිතයකුත් නෑ බං....උඹලට නං මොකද ,... ආණ්ඩුවෙනේ,... ඕන වෙලාවක නිවාඩු ගන්න පුළුවන්.... ආතල් එකේ ඉන්නඑකනේ... බලපං අපේ අම්ම ඉන්නෙ අසනීප ගානෙ... හදිස්සියකට මට එන්න විදියක් නෑ......"

"නිවාඩු තියන එක ඇත්ත. ඒත් බලපං අපිට ලැබෙන්නෙ කීයද? සතියක් යද්දි පඩිය ඉවරයි. ඊට පස්සෙ ණයට. ගෙයක් හදාගන්න වාහනයක් ගන්න හීනෙංවත් හිතනංන බෑ බං.....මේ මගුල අල්ලල දාල බිස්නස් එකක්වත් කලානං හරි!"

"ඒක කියන තරං ලේසි නෑ බං.... අපිට ඕන විදියට වැඩකරන්න පුළුවන් උනාට මේව කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑනේ.... සති ගනං බිස්නස් නැති කාල තියනව... කොච්චර උනත් ඔලුවට නිදහසක් නෑ මචං.... බොරුනං කරල බලපල්ලකො..... අනෙක උඹලට පැන්ෂන් එකක් හරි තියනව අන්තිමට. අපිට ඒකත් නෑ.... අනාගතේ මොනව වේවිද කියල කවුද දන්නෙ....."

"සල්ලි නං ලැබෙනව බං. ඒත් ඉතිං වියදම ඊට වැඩියි.... දවස් දෙකතුනක් වැඩ නොකලොත් සල්ලි නෑ.... පැන්ෂනුත් නෑ..... වැඩ වැඩි දවසට හවසට සනීපත් නෑ...."

◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙

මේ ගිණුම් අංශෙක ලිපිකරුවන් කට්ටියක් විටින් විට අංශ ප්‍රධානියා ලඟට ගිහින් කියන දුක් ගැනවිලි.

"සර්, මට වැඩ වැඩියි සර්,.... අහවලා ඉන්න කාලෙ ඉන්වෙන්ට්‍රිය දාල තිබුනෙ එයාට..... එයා වෙනුවට ආපු අහවලීට ඒක දුන්න නං හරිනේ......."

"සර්, මගේ අත්තිකාරම් ගිණුම් ටික අහවලාට දෙන්න බැරිද? මගේ වැඩටික කලින් කරපු අහවලා මෙච්චර වැඩ කලේ නෑනේ....."

"සර්, සරප් රාජකාරිය මට අමාරුයි.... ඒක අහවලාට දෙමුද? මට තියන වැඩ ටික දවසෙම කලත් ඉවර කරන්න බෑ සර්....."

"සර්............................................ "


◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙

මේක හෙන පැරණි කේස් එකක්. කොටින්ම බුදු හාමුදුරුවන්ගෙ කාලෙත් මේ "තමුන්ගෙ වැඩේ අමාරුව" තිබිල තියනව. හාමුදුරුවරු කට්ටියක් දවසක් වාද විවාද කරනව බුදුහාමුදුරුවන්ට ඇහුනලු. තමුන් සංවර කරගත් කොටස තමයි සංවර කරගන්න අමාරු කියල හැම කෙනාම කියනවලු.
සියළුම දොරටු සංවර කරගැනීම ලේසි නෑ. ඒත් කරන්න ඕන කියල බුදු හාමුදුරුවො දේශනා කලාලු.

Saturday, November 16, 2013

නානසාරට චැනල් 4ට ගැහුව අය මෙන්න.......! (who fuck c4 & G.sara)

පහුගිය දවස්වල ටීවී බලන්න පත්තර කියවන්න රේඩියෝ අහන්න උනේ නෑ. ඉතිං මම කොහොමද "ඇත්ත" දැනගන්නෙ. ඔහේලවත් මට උත්තර දෙන්න.

චැනල් හතරෙ අයියල ලංකාවට ආව. එන්න වීස දුන්නෙ අපි. ඊට පස්සෙ එයාල උතුරට යන්න යද්දි මගදි ගහල එලෙව්වලු. ඇත්තටම,

⓵ චැනල් හ‍තරෙ අයියල ආවෙ අපිට කෙලින්නද?
⓶ එතකොට අපිට කෙලින්න එන එවුන්ට වීස දුන්නෙ අපිම නේද?
⓷ වීස නොදී "වීස දෙන්නෙ නෑ! ඇයි අවුල්ද?" කියල ඇහුවනං අවුල්ද?
⓸ වීස දුන්නනං උතුරට යන්න නොදී ගැහැව්වෙ ඇයි?
⓹ ප්‍රහාරයේ රටට අවාසිද?
⓺ නැත්තං ප්‍රහාරය මහින්ද ලොක්කට වාසිද?
⓻ මහින්ද ලොක්කට වාසි වීම රටට වාසියක් නෙවේද?
⓼ ආණ්ඩුවෙන් ගැහුව නං ඇයි එන්න දුන්නෙ?
⓽ ආණ්ඩුවෙ පාර්ශවයක් ගැහුව නං එයාල ආණ්ඩුවට කීකරු නැද්ද?

සීරෝ වෙනි ප්‍රශ්නෙ හෙවත් බලවත්ම පුරස්නෙ,.... ගැහුවෙ කවුද ␦

⓵- ගැහීම කලේ ආන්ඩුවෙන්ද, නැත්තං ආණ්ඩුවෙ ඉන්න "නැහැදිච්ච" "අතලොස්සක්ද"?
⓶- එහෙමත් නැත්තං ආණ්ඩුවෙන්(/නැහැදිච්ච එවුන්) ගැහුව වගේ පේන්න වෙනත් අදිසි හස්තයකින් එල්ලවූ ප්‍රහාරයක්ද?
⓷- ඒත් නැත්තං ආණ්ඩුවෙන්(/නැහැදිච්ච එවුන්) ගැහුව වගේ පේන්න වෙනත් අදිසි හස්තයකින් එල්ලවූ ප්‍රහාරයක් කියල පේන්න ආණ්ඩුවෙන්ම(/නැහැදිච්ච එවුන්)ම ගැහුවද?
⓸- නැත්තං ආණ්ඩුවෙන්/නැහැදිච්ච එවුන් ගැහුව වගේ පේන්න වෙනත් අදිසි හස්තයකින් එල්ලවූ ප්‍රහාරයක් කියල පේන්න ආණ්ඩුවෙන්ම(/නැහැදිච්ච එවුන්)ම ගැහුව වගේ පේන්න අදිසි හස්තයකින් ගැහුවද?

.....................................................

ඕයි මේක ඉවර වෙන්නෙ නෑ නොවැ! මෙන්න සමීකරණෙ. කවුරුහරි කෙනෙක් මේක විසඳුව නං ප්‍රහාරකය හොයාගත්තෑකි!

හොයාගෙන මටත් කියන්න!

ප්‍රහාරකයා     =f(x,y)
ආණ්ඩුවෙන්    =x
අදිසි හස්තයෙන් =y


f(x,y)={((((((((((x)y)x)y)x)y)x)y.........x)y)....}

⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈

නානසාර සාදුත් ඔන්න ගුටි කාල කියල මේ දැන් දැනගත්ත. මේකෙන් "සෑම කොට්ටෝරුවාටම දිනෙක කෙසෙල් ගසක් හමුවේ" කියන නිව්ටන් නියමය තවත් වතාවක් පෲෆ් කලෑකි!
සිරිකොතේදිලු ගහල තියෙන්නෙ.
ආ....... එහෙනං රනිල් මංගල සෙට් එක වෙන්නැති. මොකෝ ලඟදි (මාතරදි) ප්‍රැක්ටිස් කලත් එක්ක.

ම්හු!

මේං මෙතන තියන විදියට ගහල තියෙන්නෙ සිරිතොතේ හිටිය ආණ්ඩුවෙ පාර්ශවයක්ලු.
දෙයියනේ එතකොට මේකටත් දාන්න වෙන්නෙ අර සූත්තරේම නේද?

Wednesday, November 13, 2013

රා.සේ. කතා දෙකතුනක්.

කලින් ලිපියේ සංවාදකයන්ට බොහොම ස්තුතියි! බ්ලොග් පෝස්ට් එකක් ලිවීමේ සතුට ලැබෙන්නෙ ඒවගේ සංවාදයක් තිබුනොත් තමයි. අද පොඩි කතන්දර දෙක තුනක් දාන්නයි යන්නෙ. මේ කතා අහන්න ලැබුනෙ අපිට උගන්නන සර් කෙනෙකුගෙන්. රාජ්‍ය සේවයට සම්බන්ධ කතන්දර.

පඬුරු බැඳීම සහ සංකේත ප්‍රතිපාදන.

ප්‍රතිපාදන කියන්නෙ අයවැයෙන් හෝ වෙනත් විදියකින් වියදම් සඳහා වෙන් කරන මුදල්. සාමාන්‍යෙයන් ඊලඟ අවුරුද්දට ප්‍රතිපාදන වෙන් කරන්නෙ මේ අවුරුද්දෙ කියවන අයවැයෙන් කියල දන්නව නේ. ප්‍රතිපාදන ගැන ඊට වඩා විස්තර කලොත් ඔහෙල මෙතනින් යන නිසා ඒ ඇති. මේ ප්‍රතිපාදන අතරෙ එකක් තියනව සංකේත ප්‍රතිපාදන කියල. උදාහරණයක් විදියට කලින් මුදල් වෙන් කරගෙන නැති යම් ව්‍යාපෘතියකට මුදල් වෙන් කරගන්න ඕනවුනා කියල හිතමු. වෙනත් කාර්යක් වෙනුවෙන් වෙන්කල මුදලක ඉතිරියකින් වැඩේ ගොඩදාගන්න පුළුවන්. නමුත් නීතිරීති වල හැටියට ඒකට අනුමැතිය ගන්න වෙනව. අන්න ඒ වෙලාවෙදි පාවිච්චි කරන සංකේතයක් තියනව

සං1000

ඔන්න ඔය විදියට තමයි මේක ලියල යවන්නෙ. මෙතන 1000 කියන්නෙ රුපියල් දහසක මුදල කියන එකයි. අපි ඉල්ලන ගනන ඒක නොවුත් දාන්නෙ 1000ක්. ඒකෙන් අදහස් වෙන්නෙ “මුදල“ කියන එක විතරයි. අපේ සර් කියන විදියට මේක හරියටම දෙවියන්ට පඬුරු බැඳීමට සමානයි. මිනිස්සු දෙවියන් ලඟට ගිහිල්ල පොඩි කාසියක් බැඳල භාරයක් වෙනව. කාසියෙන් සංකේතවත් කරන්නෙ මුදල. වැඩේ හරිගිය පසු නියමිත ගාස්තුව ගෙවන බවට දැන් වෙන පොරොන්දුව තමයි පඬුර! අපූරුයි නේද?

ඇඟිල්ලෙ අපලෙ

අනිත් කතාව ඇඟිලි මැෂිම ගැන. ඇඟිලි ගැහිල්ල ගැන කලිනුත් ලිපියක් ලිව්ව. මේ මැෂිම ආපු කාලෙ එක්තරා ආයතනයක සේවය කල වාස්තු විද්‍යාඥයෙක් ඇඟිලි සලකුණු යන්ත්‍රය මත ඇඟිල්ල තැබීම ප්‍රතික්ෂේප කලාලු! හේතුව විදියට එයා දක්වල තිබුනෙ ඒක එයාගෙ සෞඛ්‍යට හොඳ නෑ කියන එක. මේ ගැන සඳහන් වුන මොකක්දෝ වෙබ් අඩවියකුත් උපුටා දක්වල එයා ආයතන ප්‍රධානියගෙන් ඉල්ලුවලු ඇඟිලි සලකුණු යන්ත්‍රයේ ඇඟිල්ල තැබීම සෞඛ්‍යට අහිතකර නොවන බවට සහතිකයක්. ආයතනයේ ප්‍රධානියාට එවැනි සහතිකයක් දෙන්න බැරි නිසා වාස්තු විද්‍යාඥය පොතේ අත්සන් කිරීම විතරයි කරල තියෙන්නෙ.

කොහොම උනත් මේ ක්‍රියාව ගැන රාජ්‍ය සේවා කොමිෂන් සභාව එයාට විරුද්ධව විනය තීරණයක් අරගෙන තියනව. ඊට පස්සෙ එයා කරල තියෙන්නෙ කොමිෂන් සභාවේ තීරණයට විරුද්ධව පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියට පැමිණිලි කිරීම. එතනදි තීරණය ලැබිල තියනව රා.සේ.කොමිෂන් සභාවේ තීරනය බල රහිත කරල. තීන්දුවෙන් කියල තියෙන්නෙ රාජ්‍ය සේවකයෙක් පළමුව හිතන්න ඕන තමුන්ගෙ සෞඛ්‍ය ගැන කියලයි.

පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරිය විසින් මේ වගේ ආන්දෝලනාත්මක තීන්දු කිහිපයක්ම දීල තියනව. මේ පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරිය තියන විශේෂත්වය තමයි රාජ්‍ය සේවකයන් වෙනුවෙන් දෙන තීන්දු අභියෝගයට ලක් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයටවත් නොහැකි වීම. කොහොම උනත් මේකෙ සාමාජිකයන්ගේ ධූර කාලය වසර තුනක් පමණයි. ධූර කාලය අවසන් වීමත් එක්ක අලුත් පිරිසක් පත් නොකිරීම නිසා මේ වනවිට අක්‍රිය තත්වයේ තියෙන්නෙ. අපරාදෙ!

අංකෙට බෙහෙත් දීම

අනිත් කතාව මහියංගනේද කොහෙද ඉස්පිරිතාලෙ වෙච්ච දෙයක්. එක්තරා කාලයක ඒකෙ බෙහෙත් දෙන්න ෆාමසිස්ට්ල එක් අයෙකුවත් ඉඳල නෑ. නමුත් බෙහෙත් තිබිල තියනව. දොස්තර ඇතුළු කනිෂ්ඨ කාර්ය මණ්ඩලයක් විතරයි ඉඳල තියෙන්නෙ. මේ හේතුව නිසා දොස්තරල මාරුවෙලා ගියාලු. මේ අතරෙ ඉස්පිරිතාලෙට අලුතෙන් ආපු දොස්තර මහත්තයෙක් අපූරු ක්‍රමවේදයක් හදල තියනව. එයා එක් එක් බෙහෙත් වර්ගය වෙන වෙනම ගබඩා කරල ඒවාට නියමිත අංකයක් දීල. තමුන්ගෙ ලඟට ලෙඩා ආවට පස්සෙ බෙහෙත් තුන්ඩුවෙ ලියන්නෙ අදාල අංකයෙන් බෙහෙත් පෙති/කරල් ප්‍රමාණයක් නිකුත් කරන්න කියල. අංකය අනුව බෙහෙත් ප්‍රමාණය නිකුත් කරන්නෙ කණිෂ්ඨ සේවකයෙක්.


①×10
②×15            මෙන්න මෙහෙමයි තුන්ඩුව.
④×5

කොහොම උනත් දොස්තර මහත්තයත් වරක් පරීක්ෂා කරලලු ලෙඩාට දුන්නෙ. ඖෂධවේදීන් නොමැතිව සාර්ථකව බෙහෙත් නිකුත් කල මේ ඉස්පිරිතාලෙ පසු කාලයක හොඳම ඉස්පිරිතාලයක් විදියට සම්මානත් දිනාගත්තලු.

Friday, November 8, 2013

රට යන ගෑනු අපිට තියාගන්න බැරිද?

මේක ලියන්න තරම් දිග මාතෘකාවකුත් නෙවේ. රයිගමහන්දියෙ මතුවුන කතිකාවක් එක්ක ලියන්න හිතාගෙන ඉන්නකොට අද අමිලත් මේ ගැන ලියල තිබුන.

රට යන ගෑනු!

අපේ කාන්තාවන් මැදපෙරදිග යන්නෙ ආසාවට නෙවේ. කිරිබොන දරුව අවුරුදු දෙකකට අම්මට තාත්තට දාල, නැත්තං අලුත බැන්ද මිනිහ අමතක කරල මැදපෙරදිගට යන්නෙ කීයක් හරි හොයාගෙන ගෙයක් දොරක් හදාගන්න නැත්තං දරුවන්ට උගන්නන්න. අන්තිමට මේ ජීවිත නවතින තැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මගේ ප්‍රශ්නෙ ලංකාව ඇතුලෙ හවුස්මේඩ් ජොබ් නැද්ද කියන කාරණාව.

මේ අදහස මගේ ඔලුවට ආවෙ ගෙදර වැඩට ගෑනු මනුස්සයෙක්ව හොයද්දි ලැබුන අත්දැකීම් නිසා. මමයි මගේ නෝනයි දෙන්නම රජයේ සේවකයො. මම දකුණෙ, නෝන අග නගරෙ කිට්ටුව රැකියා කරන්නෙ. එයා ගෙදර එන්නෙ මාසෙට දෙපාරක් විතර. අම්ම තාත්ත ඉන්න නිසා පොඩිඑකා බලාගන්න වැඩේ ටිකක් ෂේප් උනත් ඔක්කොම වැඩ එයාලට කරන්න බෑ. ඔන්න අපි ගෑනු මනුස්සයො කිහිප දෙනෙක් බැලුව. එයාලගෙ ගනං අපිට ඔරොත්තු දුන්නෙම නෑ. අන්තිමට පොඩි ගානක් දීල කෙනෙක් හොයාගත්ත දවල් කෑම උයන රාජකාරියට විතරක්. එයා ආව කෑම ඉව්ව කෑව තමුන්ගෙ මහත්තයටත් කෑම එකක් බැඳගත්ත ගියා. ගණුදෙනුව අහවරයි. සාමාන්‍යෙයන් උදේ ඇවිල්ල හවස පහ විතර වෙනකල් වැඩ කරන කෙනෙකුට රුපියල් දොලොස් දාහක් හෝ ඊට වැඩියෙන් දෙන්න වෙනව.

මට මතකයි වැඩකාර ගෑනු [එහෙම කිව්වට අවුලක් නෑ මං හිතන්නෙ] ගැන කියවෙන ටෙලිනාට්‍යක් එකසැරයක් මොකද්දෝ චැනල් එකක ගියා. ඒ මනුස්සයගෙ කොන්දේසි වලට එකඟ වෙන ගෙදර නෝන වැඩකාරිට උදේ තේ එක දෙනව. දවල්ටත් මොනවදෝ හීතල බීමක් දෙන්න ඕන. එයාට ළමයි බලාගන්නත් බෑ. දවල් කෑමට පස්සෙ පැය කීයකද විවේකයකුත් ඕන. අන්තිමට වැඩකාරි වෙලා තියෙන්නෙ ගෙදර නෝන! සාමාන්‍යෙයන් ඕක තමයි වැඩකාර ගෑනු ගැන ඇත්ත යථාර්තය.

හරි. අපි දැන් බලමු මැදපෙරදිගට යන අපේ කාන්තාවන්ගෙ තත්වෙ. මම අහල තියන විදියට වැඩ පටන් ගන්නෙ උදේ හතරට විතර. එතන ඉඳල නන්ස්ටොප් මැදියම් රැය වෙනකල් වැඩ. අමතරව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලිංගික වහලාගේ රාජකාරියත් පැවරෙන්න පුළුවන්. රැකියා අයිතිවාසිකම්ද අරවද මේවද ඉල්ලීම් මොකුත් නෑ. [ඉල්ලුවොත් ඇන ගහල හෝ පෙට්ටියෙන්නේ එවන්නෙ]. මාසය පුරාම වැඩ. කෑම බීම ටික නං ලැබෙනව. අවසානයේ රුපියල් තිස්දාහක් විතර හොයාගෙන ලංකාවට එවනව.

මම අහන්නෙ රට ගිහිල්ල කරන මේ හොයන ගාන අපේ රටේ ඉඳගෙන හොයන්න බැරිද? රට ඉඳගෙන කරන වැඩ ප්‍රමාණය ගත්තොත් ලංකාවෙ ගෙවල් දෙකක වැඩ කලා නම් වැඩේ හරි. කරන්න තියෙන්නෙ එකලඟ ගෙවල් දෙකක් හෝ තුනක් හෝ ඥාතීන් වන ගෙවල් දෙකතුනක් සෙට් කරගැනීම විතරයි. මෙන්න වාසි සංසන්දනය.

මැදපෙරදිග ලංකාවෙ
වැඩ කාලය පෙ.ව.4.00-ප.ව.11.00 වැඩ කාලය පෙ.ව.5.00-ප.ව.8.00
වැටුප රු.30000 වැටුප රු.30000(10000*3 හෝ 15000*2)
ලිංගික(වහල්) සේවය ඇත ලිංගික(වහල්) සේවය නැත
ඇණ ශරීරගතවීමේ අවදානම ඇත ඇණ ශරීරගතවීමේ අවදානම නැත
අඩුම තරමින් අවුරුදු දෙකක් ඥාතීන්ගෙන් ඈත්වීමට සිදුවේ එසේ නොවේ
ජීවිත අවදානම ඇත ජීවිත අවදානම නැත
මූලික වියදම් ඇත මූලික වියදමක් නැත
.............. ..............

මේ වෙනකොට ලංකාවෙ බහුතරයක් පවුල්වල සැමියා බිරිඳ දෙන්නම රැකියා කරන උදවිය. මේ මාකට් එක තේරුම් ගත්ත නං හරි! හැමෝම රට යන්න ඕන නෑ.

Wednesday, November 6, 2013

විවෘත ආර්ථිකයෙන් බැටකෑම සහ ලත් තැනම ලොප් වූ මගේ කුඩා කර්මාන්තය!

ආර්ථිකය විවෘත උනාම ප්‍රාග්ධනය ඔහේ ගලාගෙන යනව. දේශ සීමා නෑ. ඉස්සර අපි උපදින්න කලින් සිරිමා මැතිනිගෙ කාලෙ තිබුනෙ සංවෘත ආර්ථකයක්. ජේආර් උන්නැහේ ආපු ගමන් ආර්ථික සීමාවන් ඔක්කොම වගේ අයින්කරල දැම්ම. මේකෙන් හොඳ දේවල් වගේම නරක දේත් සිදුවුනා. එකක් තමයි යම් දියුණුවක් ලබමින් තිබුන අපේ පොඩි පොඩි කර්මාන්ත වලට යන එන මං නැතිවවීම. හැබැයි සමහර කර්මාන්ත වලට යම් යම් ආධාර උපකාරත් ලැබුන. දැනට උනත් කුඩා කර්මාන්ත අමාත්‍යාංශය වගේ දේවල් තියෙන්නෙ අන්න ඒකට. මම දන්න මෑන් කෙනෙක් ඉන්නව එයා එක්තරා නිෂ්පාදනයක් දේශීයව නිපදවල රජයේ ආයතන වලට දානව. දේශීය දේ නිසා ටිකක් වැඩි මිලට උනත් අදාල රජයේ ආයතනය අර නිෂ්පාදනය මිලට ගන්නව. (යම් නීතියක් යටතේ). පස්සෙ කාලෙක මෑන් අපූරු උපක්‍රමයක් පාවිච්චි කලා. අර නිෂ්පාදනය ආනයනය කරල දේශීය විදියට රජයේ ආයතනයට දානව. ඔන්න අපේ දේවල් වලට යන කල!

විවෘත ආර්ථිකයේ බලපෑම මට දැනෙන්න ගත්තෙ මම නවය වසරෙ වගේ ඉන්න කාලෙ. ඒ කාලෙ මම පටන් ගත්ත අතට පොඩි ගානක් හොයාගන්න පුළුවන් කියල හිතෙන විදියෙ කුඩා කර්මාන්තයක්. ඒ තමයි ඉදල් හැදිල්ල. ඔව් ඔව් මිදුල අතුගාන ඉදල් තමයි. ඔන්න මම ඉස්සෙල්ලම පොල් අතු වලින් ඉරටු ටිකක් සුද්ද කරගත්ත ඉදල් කිහිපයකට ඇති වෙන්න. ඊට පස්සෙ පොඩි සැමන් ටින් කිහිපයකුත් හොයාගත්ත. කූඩ හදන්න තාත්ත කපල සුද්ධ කරගත් වේවැල් ඕන තරම් ගෙදර තිබුන. ඉදලට ඕන කරන මිට හොයාගැනීම තමයි ටිකක් අමාරු! ඒකට හේන තිබුන පැත්තෙ ගිහිල්ල කැලේ රිංගල කපාගත්ත හොඳ "කටුපිල" ලී කිහිපයක්. දැන් තියන ඉදල් වගේ නෙවේ සාම්ප්‍රදායික ඉදල් කර්මාන්තයට ගන්න මිටට එක විදියක කොලිටියක් තියන ලීයක් අත්‍යවශ්‍යයි.

හරි දැන් ඔක්කෝම හරි. ඔන්න ඉස්සෙල්ල වේවැල් වලින් එක රටාවකට වලල්ලක් හදාගන්නව. ඉරටු ටික සැමන් ටින් එක ඇතුලට දානව. තදවීමේදී සැමන් ටින් එක පුපුරායාම වලක්වන්න ඒක වලල්ල ඇතුලට දානව. ඊට පස්සෙ කලින් හදාගත්ත මිට සැමන් ටින් එකේ පතුලේ ඇති සිදුර තුලින් යවනව. දැන් ඉරටු සහ ඉදලේ මිට සවිවෙලා ඉවරයි. දැන් මේක අර පැරණි යුගවලදි පාවිච්චි වෙච්ච ඉදලක් වගේ. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඉරටු ටික ඉදලේ හැඩයට විහිදුවීම. ඒක තමයි මේ කර්මාන්තයේ වැදගත්ම කොටස. ටින් එක ඇතුලෙන් චුට්ටක් පහලට ගමන් කර ඇති මිට අග ඇති සිදුරකින් අඟල් හතරක් විතර දිග තිරස් කෝටු කැබැල්ලක් යොදල වරකට ඉරටු කිහිපය බැගින් විහිදුවා වේවැල් වලින් එක්තරා රටාවක් ගොතනව. මේක හැමෝටම කරන්න බෑ. අපේ තාත්තගෙන් ඉගනගත්ත මේ සාත්තරේ තාත්තටත් වැඩිය හොඳට මට පිහිටල තිබුන. මම හදල නිමකල ඉදල අන්තිම ලස්සනයි. ඒ වගේම ශක්තිමත්.

[මේ තියෙන්නෙ අර ආක්‍රමනශීලී ඉදල]

ඉදල් කිහිපයක් හදපු මට වෙළඳපොලකුත් තිබුන. ඒ අපේ ගෙදරම තිබුන පොඩි සිල්ලර කඩේ. එකකට රුපියල් හැත්තෑවක මිලක් තමයි තීරණය කලේ. එකක් දෙකක් විකිණුනත් පොඩි අවුලක් තිබුන. මේ කලෙ තමයි ඉරටු ටිකකට බෙලෙක් පතුරක් තියල බාල මිටක් ගහල කර්මාන්තයක මට්ටමට ආපු (ඇත්තම කිව්වොත් ඒකත් කුඩා කර්මාන්තයක්ම තමයි) ඉදල් ජාතිය වෙළඳපොලට ආවෙ. එයින් එකක මිල රුලියල් හතලිහක් නැත්තං පනහක් විතර. ඉතිං දුප්පත් මිනිස්සු ඉන්න ප්‍රදේශයක් වෙච්ච මෙහේ, මගේ සාම්ප්‍රදායික ඉදල ගන්න කවුරුත් හිටියෙ නෑ. ඉදල අතගාල බලල හොඳයි කියල මිල අහල යනව විතරයි. වෙච්ච මහන්සියෙ තරමට මීට වඩා මිල අඩු කරන්නත් බෑ. අනෙක හරියට දවසක් යනව මේ වැඩේට. (දවසක් මහන්සි වෙලා රුපියල් හැත්තෑවක් ලැබුනනං ඒ මට ඇති හොඳටම! ඒ කාලෙ).

අන්තිමට වෙළඳපොල ජයගන්න බැරිවුන මගේ ඉදල් කර්මාන්තෙ ඉදල් තුන හතරකින් අවසන් උනා.



ප.ලි-
1.මේ ඉදල හදාගන්න හැටි පිංතූර එක්ක වෙනමම ලිපියක් විදියට දානව ඉදිරියේදි.
2.රයිටර්ස් බ්ලොක් එක නැතිකරගන්න පුළුවන් හොඳම විදිය තමයි වැඩිය සීරියස් නොවන පොඩි සයිස් පෝස්ටුවක් දැම්ල්ල.
3.වර්ෂාවසානය එළඹීමත් එක්ක බ්ලොග් ලියන්න කියවන්න කමෙන්ටු කොටන්න තියන ඉඩකඩ ටික ටික අඩු වෙනව.
4.කෙන්ජිගෙ අලුත් බ්ලොගේ

Thursday, October 31, 2013

හේන් ගොවිතැන සහ මගේ මතක.

"ඔය තිස්ස පාර දිගට තියන, දැන් පර්චස් ගනනට කඩල විකුණන ඉඩම් ඒකාලෙ නිකංම අයිති කරගන්න තිබුන, ගෙයක් හදාගෙන පදිංචි වෙන්න කෙනෙක් හිටියෙ නෑ!" තාත්ත කියනව. "ඉතිං තාත්තල ඇයි ඒ ඉඩමක් දෙකක් අල්ලගත්තෙ නැත්තෙ? අපරාදෙනෙ දැං තිබුනනං කීයක් වටිනවද" මම අහනව. "ඒ කාලෙ අපි බැලුවෙ හොඳට හේන් කරන්න පුළුවන්, සරුසාර පස් තියන පොලවක්. ඉතිං අපි පාරෙන් ඇතුලට ආව". "අපරාදෙ තාත්තේ,.... හේන් කෙටුව කියල මොනවද ලැබුනෙ?"තාත්ත නිස්සද්දයි. මම ගෙදරින් එලියට බැහැල වෙල්යාය ලඟට ආව. හේන් කෙටුවෙ අපරාදෙ කියල තාත්තට කිව්වෙ අපරාදෙ!

මගේ හිත අවුරුදු ගනනාවක් ඈතට දුවනව. ඒකාලෙ තාත්ත හේන් කරනව කියන්නෙ මගෙත් හොඳම කාලෙ. ඔන්න ජූලි මාසෙ විතර කැති පොරව ආදිය කම්මලට ගෙනියල මුවහත් කරගෙන එනව. සමහර වෙලාවට මේ වැඩේ කරගන්න තාත්තටත් පුළුවන්. ඒක කරන්නෙ පොල්කටු අඟුරු වල ආයුධ දාල රත්කරල හෙමින් ‍නිවෙන්න හැරල පීරෙන් මුවහත් තියනව. නැත්තං තලල කියල ඇද ඇරලත් ගන්නව. එහෙම හදාගත්ත ආයුදේ ආයෙත් සැරයක් රත් කරල එකසැරේටම වතුර එකක ඔබනව. ඒකට කියන්නෙ "පන තියනව" කියල. මම මේ කාර්යටත් දායක වෙන්නෙ බොහෝම සතුටින්. මෙතනදි මටත් පැවරුන කාර්යක් තියනව. මයිනහමක් නැති තාත්තගෙ කම්මලේ මයිනහම වෙන්නෙ සිමෙන්ති බෑග් එකක කට දෙපැත්තට ලී පටි දෙකක් සවිකරල, විරුද්ධ පැත්තෙ මුල්ලකින් සිදුරක් හදල ඒකට යකඩ බටයක් බැඳල හදාගත්ත උපකරණයක්. බෑග් එක ඇතුලට වාතය එන විදියට ඒක දිගහරිනව. ඊට පස්සෙ ලී පටි දෙක එකට තද කරල හොඳින් කට වහල බෑග් එක පහලට තද කරනව. එතකොට ඇතුලෙ හිරවෙච්ච වායුව බටය දිගේ අඟුරු වලට ගිහිල්ල ඒක රත් වෙනව. මේ වැඩේ සෑම වෙලාවකම හරියන්නෙ නෑ. වෘත්තීය කම්මල්කාරයෙක් නොවුන තාත්තගෙ වැඩ අවසානයේ නවතින්නෙ ගමේ කම්මලට වැඩ වැඩිකිරීමෙන්.

කොහොම කොහොම හරි හදාගත්ත ආයුධ අරගෙන ඊලඟට කරන්නෙ හේන කැපීම. මේකට තාත්තල කිව්වෙ "වල් කෙටීම", නැත්තං "වල් කැපීම" කියල. ඒ කියන්නෙ මනුස්සයෙක් වගේ දෙගුණයක් විතර උසට වැවී තියන විවිධාකාර ගස් වර්ගත් ඒවායේ එතී තියන වැල් ජාතිත් එක්ක ඔට්ටු වෙනව කියන්නෙ ලේසි පාසු කටයුත්තක් නෙවේ. හෑම ගහකම වැලකම මුල හොයාගෙන මුලින්ම කපල දාල ඒ කපපු ගහ නැත්තං වැල පොලවට තද වෙන්න පාගන්න ඕන. නැත්නම් ගිනි තියන්න අමාරුයි. වැවිල තියන ගස් වැල් බහුතරයක් කටු සහිත ගස්වැල්. ඒ නිසා වැඩේ තවත් අමාරුයි. කොහොම උනත් මේ වැඩේට ඕනකරන පාවහන් දෙකක් නං තාත්ත හදාගන්නව. ඒකට කියන්නෙ "වානහං" කියල. හොඳට වියලුනු හරක් හමකින් කපාගත්ත කොටසක් දෙකට නවාගෙන රබර් සෙරෙප්පු දෙකක පටි තියන ආකාරයට රෙදි නූලක් දාගන්නව. වල් කපන්න යන්නෙ මේව දාගෙන තමයි. ඕන කටු ජාතියකට ඔරොත්තු දෙනව වගේම කැපීගිය ගස්වල ඉතිරි වුන තියුණු මුල් වලිනුත් දෙපා ආරක්ෂා වෙන්නෙ මේ වානහං දෙකෙන් තමයි.

වල් කෙටිල්ල සම්පූර්ණයෙන් ඉවරවුනාට පස්සෙ සතියක් විතර වියලීමට ඉඩහැරල පුච්චන්න පටන් ගන්නව. කුඹුරෙන් ගේන ගෝනි පහකක හයක පිදුරු දාල, හුලඟ හමන අත බලල, ගිනි තියන්න සුදුසු තැන් කිහිපයක් හදනව. මේකට කිව්වෙ "මැල මූන" කියල. මූනට ගිනි තැබුවට පස්සෙ හුලඟ හොඳ උනොත් හොඳට පිච්චෙනව. හොඳට පිච්චීම සුභ ලකුණක් විදියට තමයි තාත්තල සැලකුවෙ. සීයට අසූවක් අනූවක් එකසැරෙන් පිච්චෙනව නං හොඳයි. නැත්තං එහෙන් මෙහෙන් පිච්චිලා ඉතිරිවුන ගස් වැල් ගොඩවල් ගහල ආයෙත් පුච්චන්න ඕන. මේක නං හරිම කරදර වැඩක්. හේන් පුච්චන්න තෝරාගන්නෙ අගෝස්තු මාසය. අගෝස්තු පෑවුම සැරයි වගේම ඉරත් සැරයි. වැඩේ ලේසියි. ඒත් සමහර කාල වලට අගෝස්තු වලත් අකල් වැහි වහිනව. එතකොට කකුලෙ තියන, හරක් හමෙන් හදපු වානහං ලිස්සන්න ගන්නව, ගඳගහනව. මේ අකල් වැස්සට කියන්නෙ "වාහහං කුණුවෙන වැස්ස" කියල.

හේන පුච්චල ඉවරවුනාම අම්මට තමයි වැඩ තියෙන්නෙ. බාගෙට පිච්චිලා කලුවෙලා ගිය දර එකතුකිරීම ගෑනුන්ගෙ වැඩක්. මේ දර තමයි අවුරුද්ද පුරාම ගෙදර ලිපේ පිච්චෙන්නෙ. සමහර වෙලාවට කැලේ හැංගිලා ඉන්න මී මින්නෙක් හාවෙක් වගේ සතුන් ගින්නට අහුවෙලා පිච්චෙනව. එයින් දඩමස් වේලකුත් ලැබෙනව.

සම්පූර්ණයෙන්ම ශුද්ධ කරගත් හේන වැපිරීම තමයි ඊලඟ කාර්ය. මේක කරන්නෙ වැස්ස පටන් ගන්න සතියකට විතර කලින්. මුට්ටියකට අරගෙන එන කුරහං, තන,... වගේ ධාන්‍ය වර්ග නිරුවත් පොලවට ඉසිනව. ඊට පස්සෙ උදැල්ලෙන් පස බුරුල් කරමින් ඉස්සරහට යනව. මේ වැඩ කෙරුනෙ කිහිපදෙනෙකුගෙ එකතුවෙන්. එක්කෙනෙකුට අඩි දහයක් විතර පළල වපසරියක් ඇතිව වේගයෙන් උදළුගාමින් ඉස්සරහට යනව බලන්න ලස්සනයි. මේ වැඩේ ඉවර වෙද්දි වර්ෂාව පටන් අරගෙන. වැස්සට පෙඟුන පොලවෙ තියන ඇට පැලවෙන්න ගන්නව. සතියක් විතර යද්දි කොල පාටින් රෙද්දක් වැනුව වගේ. මේ අතරෙ අමුත්තො පිරිසකුත් ඉන්නව. කැලේ තිබිල පිච්චෙද්දි බිමට වැටුන කරවිල ඇට තුඹ ඇට ආයෙත් පැල වෙලා.

එච්චර අවශ්‍යතාවයක් නැතත් මගේ ඉල්ලීමට තාත්ත හේනෙ පැලක් හදනව. හේනක් තියනව නං පැලක් තියෙන්නම එපැයි. මට ඒ කාලෙ හිතුනෙ එහෙමයි. පැලේ ඉඳි පීලි මැස්ස උඩ ඉන්නව තරම් සනීපයක් සුවපහසු යහනාවක වත් තියනවද කියල සැකයි. ගෙදරදි අම්ම පෙරැත්ත කරලත් කන්නෙ නැති කෑම පැලේදි නං මෙහෙ කරනකොට ඉවරයි...........

ඒ වගේ කාලයක් ආයෙ නං එන්නෙ නෑ. හේන් කරන්න සුදුසු තරමට අවුරුදු ගානක් නොඉඳුල් පොලවක් දැං මෙහේ හොයාගන්න බෑ. එහෙම තිබුනත් කුරහන් සුද්ද කරල ගන්න තරං හැකියාවක් තියන ගෑනුත් නෑ නොවැ. ඔක්කෝමත් හරි තලප ටිකක් පිට්ටු ටිකක් කන එකෙක් හොයාගන්නත් බෑ! ඔක්කෝම මතක විතරයි.

Saturday, October 19, 2013

ලාංකීය බුද්ධි හීනයන්ට අයිරාංගනී සේරසිංහගෙන්.........

සාමාන්‍යයෙන් යම්කිසි කරුණක් සාධනය කිරීම සඳහා ක්‍රමවේදයක් ඇත. මේ වනවිටද සත්‍ය යයි සහතික කරගෙන ඇති යම් යම් ප්‍රත්‍යක්ෂ උපයෝගී කරගනිමින් එය සිදුකරනු ලබයි. මෙම ක්‍රමවේදයන් බොහෝවිට නිවැරදිවම භාවිතා වන්නේ විද්‍යාවේදීය ගණිතයේදීය. සාමාන්‍ය ව්‍යවහාරයේද මෙවන් සාධනයන් දක්නට ඇත. ඒවා නිවැරදි මෙන්ම නිවැරදි නොවන අවස්ථාද ඇත. උදාහරණයක් ලෙස වීජ ගණිතයේ දෙපස ඇති සමාන අවයවයන් ඉවත් කිරීමේ ක්‍රමවේදය යොදාගනිමින් අඩක් ඇරුනු දොර සමානයි අඩක් වැසුනු දොර නම් ඇරුන සමානයි වැසුනා යන්න පෙන්වීම වැනි දෑ ගත හැකිය. බොහෝ විට දේශපාලන කාරණාවල ඕනෑකමට සිදුකරන මෙවැනි සාධනයන් දක්නට ලැබේ.

Rear gate බ්ලොග් රචක චාමි සෑම් වරක් ෆේස්බුක්හි පලකල කතාවකි මේ.

වතාවක් එක්තරා හාමුදුරුනමක් සමග කතාකරමින් සිටින විට උන් වහන්සේ තමුන්ගේ දායකයෙකුට වී ඇති විපතක් ගැන කීහ. එනම් එක්තරා දායක මහතෙකුට දේව වරමක් ලැබී ඇති බවත්, ඔහු උන්හිටි ගමන් ආවේශ වන බවත්, මෙය විවිධ ශාන්තිකර්ම මගින් සුවකර ගැනීම සඳහා උන්වහන්සේද බෙහෝ කරදර වන බවත්ය.

මා ඒ අවස්ථාවේදී උන් වහන්සේට කිව්වේ මෙයට එතරම් කරදර විය යුතු නැති අතර මා දන්නා එක්තරා මනෝ වෛද්‍යවරයෙකු නිකමට හමුවී බලමු කියාය. මදක් කල්පනා කල උන්වහන්සේගේ ප්‍රතිචාරය මෙවැන්නක් විය.

"ම්ම්ම්..... ලෝකයේ පහළ වුනු ශ්‍රේෂ්ඨම මනෝ විද්‍යාඥයා බුදුහාමුදුරුවොනේ..... ඊට වඩා කෙනෙක් ඉන්නවැයි? අපි බලමුකෝ....."

ඉන් අනතුරුව මාසයක් හමාරක් යනතුරු උන්වහන්සේ මා හා කතාබහට එතරම් නොආ අතර උක්ත දායකයා මේ වනවිට ඉතා සාර්ථක ලෙස දේවාලයක් පවත්වාගනිමින් දිය මස්, ගොඩමස්, කුකුල්බිලි සහිත ශාන්තිකර්ම සිදුකරයි.

මෙහි ඇති අවුල නම් අවිද්‍යාව පැතිරවීම සඳහා එක්තරා ආකාරයක මනෝ විද්‍යාඥයෙක් ලෙස සැලකිය හැකි බුදුන් වහන්සේ යොදාගැනීමයි. "බුදුන් වහන්සේ මනෝ විද්‍යාඥයෙකි" යන්න භාවිත වන්නේ "බොරුව" "සත්‍ය" බවට පෙරලීමේ අතරමැදි අවස්තාවක භාවිතය සඳහා පමණි.

මේ තවත් කතාවකි.
නුදුරු දිනෙක කාර්යාලයට පැමිණි තැනැත්තෙකුගේ බලාපොරොත්තු කඩවූයේ නීතිමය ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් ඔහු බලාපොරොත්තු වූ කාර්ය ඉටුකිරීමට නොහැකි වීමයි. කෝපයට පත් ඔහුගේ ක්ෂණික ප්‍රතිචාරය වූයේ,

"මුං ඇමතිතුමාට සලකන්නෙ නෑ!" යන්නයි. එහෙත් ඔහු ඇමතිතුමා නොවූ අතර සම්බන්ධය වූයේ ඇමතිතුමාගේ සේවකයෙකුගේ ඥාතියෙකු වීම පමණි.

සාමාන්‍යයෙන් මෙය තරමක සාර්ථක බොරුකීමේ කලාවකි. මේ සිද්ධාන්තයන්ට හසුවන බුද්ධි හීනයන් ඕනෑ තරම් සමාජයෙන් සොයාගත හැකිය.

එවන් බුද්ධි හීනයන් වෙනුවෙන් නිර්මාණය කල දැන්වීමක් පසුගිය දිනෙක රූපවාහිනී නාලිකාවකින් දුටුවෙමි. ඉදිරිපත් කරන්නිය නම් දැනට ජේෂ්ඨතම රංගන ශිල්පිනිය වන අයිරාංගනී සේරසිංහය. දැන්වීම පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව හෙවත් "චෝගම්" නිසා ලංකාවට අත්වන සුගතිය ගැන පාරම්බාන්නකි. (උක්ත කාරණාව සම්බන්ධයෙන් මෙවන් දැන්වීම් රාශියක් ඇත) අයිරාංගනී මහත්මියගේ පෲෆ් කිරීම මෙසේය,


"කෙනෙක් අම්මට පස්සෙ ගෞරව කරන්න ඕන මාතෘ භූමියට"

.........................................(තවත් මොනවදෝ හෑල්ලක්)

පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ලංකාවේ පැවැත්වීම නිසා............."


අඩු තරමින් මව සහ මාතෘ භූමිය අතර ඇති සම්බන්ධය සත්‍යයයි උපකල්පනය කලවිට අවසානයේ ලැබෙන ප්‍රථිපලය කුමක්ද?

මොවුන් අපට කියන්නේ "අම්මා සමානයි චෝගම්" යන්න නොවේද?

Monday, October 14, 2013

රත්තරන කැපීම සහ ඒකාධිපති ආතල්.

ඊයෙ පෙරේද දවසක ලොකුමාමගෙ කඩේට ගියේ මොකද්දෝ ගන්න. ගෑනි එක්ක තරහ වෙලා අහවල් එක කපාගත්ත එකා ගැනයි කතාව.

"ගෑනි එක්ක තරහ උනානං ඌට කරන්න තිබුනෙ වෙන ගෑනියෙක් ගේන්න, කපාගන්න නෙවේ බොල දෙයියො දුන්නෙ. ඕකට රත්තරං කියන්නෙ නිකංයැ" ලොකුමාම කියනව.

"මිනිස්සු කනමදය වගේ බීල එනකොට රත්තරං උනත් ගෑනුන්ට එපාවෙනව නෙව!" ලොකුමාමගෙ මායියත් කතාවට ඇන්ටර් උනා.

"ඒ හාදය ගල් කපල ජීවත් වෙන දුප්පත් මිනිහ වෙච්චි, ඇ‍ඟේ අමාරුවට ඩිංගිත්තක් බිව්ව කියල රණ්ඩු කරන්න ඕනද?" ධර්මෙ අයිය දෙපැත්තටම කැපුව.

"වැරදිලාවත් ඔය ඔපරේෂන් එක අවුල් උනානං මිනිහට ගොඩ යන්නත් තිබුන" රත්තගෙ අමුතු කතාවට කවුරුත් ඌ දිහා බැලුව.

"ඒ කොහොමද බං? මොනව උනත් වැඩක් තියනවද ජුන්ඩ නැතුව?"

"එහෙම උනානං ඌ එක්සත් ජාතික පක්ෂෙ ඉහල තනතුරකට යන්න තිබුන, අඩු ගානෙ කෘත්‍යාධිකාරී මණ්ඩලේටවත්........"

"ඒ කිව්වෙ?"

"ඇයි බං සජිත් මහත්තය කියන විදියට යූඇන්පී එකේ උඩිංම ඉන්න බුවාල නපුංසකයො කියන්නෙ.....ඒකයි"

"උඹේ කතාවත් ඇත්ත බං" ලොකු මාම කිව්ව.


----------------------------------------------------------------------------


මේක මේ අනාගතේ සිද්ධවෙන කතාබහක්. හරියටම කියනව නං මේ නොවැම්බරේ.
ඔන්න පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ආවරනය කරන්න විවිධ රටවලින් ආපු මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් හැන්දෑජාමෙක සෙට්වුනා. ඒ වෙලාවෙ මේගොල්ල තම තමන්ගෙ රටවල ඒකාදිපතියන් ගැන පම්පෝරි ගහන්න ගත්ත. මේ රටවල් වල උදවියට ආඩම්බරෙන් කියන්න තියෙන්නෙත් එච්චරයි නෙව. ඔන්න ඉස්සෙල්ලම ම්ලොම්බා කියන උගන්ඩා ජාතික මාධ්‍යවේදිය කියනව තමුන්ගෙ රට ගැන,

"අපේ ඉඩි අමින් ගැන දන්නව ඇතිනේ..... එයා බලහත්කාරෙන් රට අල්ලගෙන අවුරුදු නවයක් පාලනය කලා......"

එයාට ඉවර කරන්න උනේ නෑ අලාම් කියන පකිස්තාන්කාරය ඒකාධිපති ආතල්එක පටන් ගත්ත,

"අපේ රටේ හිටිය සියා උල් හක් එක දිගට අවුරුදු දහයක් බලය අල්ලගෙන හිටිය. හදිස්සියෙ මැරුනෙ නැත්තං මෑන් තාම ඉන්නව"

මේ වගේ කතන්දරවල ලංකාවෙ එකා පැරදිලා තියනව කියල ඔහේල අහල තියනවද? නෑනේ! ඔන්න ලංකාවෙන් සෙට්වෙච්ච නලින් දිල්රුක්ෂ කියන මාධ්‍යවේදිය දුන්න ඇ‍ඬෙන්න,

"අයියෝ ඕව මොනවද,..... අපේ රටේ විතර ඒකාධිපතියො කොහේවත් නෑ..... පාලකය අමතක කරන්න...... බලන්න අපේ විපක්ෂ නායකතුමා, එතුමා එක දිගට අවුරුදු විස්සක් තිස්සෙ පක්ෂෙ බලේ අල්ලගෙන ඉන්නව. පාක්ෂිකයො කොච්චර කෑගැහුවත් යන්නෙ නෑ.....තව අවුරුදු ගානකට යවන්නත් බෑ!"

ඊට පස්සෙ කස්ටියගෙ ඒකාධිපති කතා නැවතුනාලු!


Monday, October 7, 2013

මල්ලී, මගේ ගෑණි ඊයෙ රෑ පැනල ගිහිල්ල,.... (රවි අයියගෙ කතා)

පහුගිය දවසක අපේ TO මහත්තයෙකුගෙ මාමණ්ඩි මළා!. මේ ටීඕ මහත්තය ‍අපේ රවි අයියගෙත් බුදු පිට් එකක්. ඔන්න අපි දෙන්නත් රෑ ජාමෙ මළ ගෙදර ගියා. හැන්දෑවෙ හතට විතර පිටත්වෙලා අතර මඟදි ටිකක් අනුමත වෙලා රෑ නවය විතර වෙනකොට මළගෙදරට ලඟාවෙන්න පුළුවන් උනා. අපේ ප්‍රනීත් කියන්නෙ ටීඕ මහත්තයගෙ දකුණු අත වගේ බුවා. ඉතිං ඔපීසියෙන් එන උදවිය 'බලාගැනීමේ' වගකීම එයා ස්වේච්ඡාවෙන්ම භාර අරගෙන තිබුන. කවුදෝ රට ඉඳල එන බුවෙකුට මිනිය පෙන්නන්න ඕනකම නිසා මලගෙදර දවස් පහක්ම තියාගන්න තීරණය වෙලා තිබුන. අපේ කතාබහ අතරෙ රවි අයියගෙ කතා මේ.

"ඕන්න වයිල්ලයිෆ් එකේ ඉන්න මගේ යාළුවෙක් උංගෙ වාහනේම ඌරෙක් අරගෙන ආව. ඌට සල්ලි හදිසියක් වෙලා මට කිව්ව ඌර විකුණල දෙන්න කියල. ඌරගෙන් ටිකක් මාත් කපාගෙන දුන්න වෙන එකෙකුට. ඌ ඒක විකුණල තිබුන. දවස් දෙකකට විතර පස්සෙ අපේ බාල මාමා මට කතා කරල කියනව බෑනෝ බෝතලයක් ගෙනෙං මංගාව නියම බයිට් එකක් තියනව කියල. කාටවත් කියන්න එපා කියලත් කිව්ව. බොහෝම රහසිගත වැඩක් විදියටයි කිව්වෙ. මං බාගෙකුත් අරගෙන ගියා. බාල මාම ඌරුමස් කෑලි දෙකතුනක් තියාගෙන ඉන්නව. මං විකුණපු ඌරගෙ මස්!"

මේක විශ්වාස කරන්නත් අමාරු කතාවක්. රවි අයිය දවසක් මාතර ගිහිල්ල. කවුදෝ යාලුවෙක් එක්ක රෑ වෙනකල් අනුමත වෙලා.
"රෑ දහයට විතර අමාරුවෙන් කතරගම බස් එකක් අල්ලගත්ත. ඔන්න දික්වැල්ල කිට්ටුවට එනකොට හිතුන සිගරට් එකක් බොන්නම ඕන කියල. බස් එකේ බොන්න බෑනේ. ඒ ගමන ඉස්සරහට ගිහිල්ල කොන්දට ටෝකක් දුන්න.......මල්ලී, මගේ ගෑණි ඊයෙ රෑ පැනල ගිහිල්ල,.... ඒකි හොයන්න ගියා,..... අල්ලගන්න බැරිවුනා,..... ඉතිං මම ටිකක් බිව්ව.... දැං මට සිගරට් එකක් බොන්න ඕන......විස්වාස කරපං මම සිගරට් එක බොනකල් විනාඩ් තුනක් විතර බස්එක නවත්තං හිටිය කිව්වම! උන්ට එච්චර දුකයි බං"

ඔන්න අපිට සලකන්න ටීඕ මහත්තයට ඕන වෙලා. තවත් යාලුවො කට්ටියක් ඉන්න තැනකට අපිව ප්ලග් කරන්නයි ලෑස්තිය. ඒත් ඒ වැඩේ අපිට ඇල්ලුවෙ නෑ. කොහොම ‍අපේ ප්‍රනීත් අයිය නං ඒ උදවිය අඳුනනව. එයා මෙහෙම යෝජනාවක් කලා.

"එතන ඉන්නෙ අහවල්ලු බං. රවී උඹ දන්නව,....හරි, මම යන්නං ඉස්සෙල්ල. ගිහිල්ල ෂොට්එකක් දාගෙන කියන්නං අතන රවී මහත්තයත් වේලි වේලි ඉන්නව කියල. උඹ ඇවිල්ල කියපං අතන රාජ් මහත්තයත් වේලි වේලි ඉන්නව කියල.....හරිනේ!"

ඒ වැඩේ අපිට ඇල්ලුවෙ නැති නිසා අපේ ටීඕ මහත්තය සීල් බෝතලයක් ගෙනල්ල දුන්න. මෑන්ට පාං කියාගන්න බෑ යාළුවන්ට සලකල. අනෙක දවස් පහක වැඩක්නේ. මේ වෙද්දි මළගෙදර බැනර් කියවමින් ඉන්න අපි සොහොනට ඇතුළුවෙන තොරණට ගහන්න හොඳ වැකියක් යෝජනා කරමින් ඉන්නව. ප්‍රශ්නෙ තමයි ඒකෙ ලියන්නෙ මොකද්ද කියන එක. ටීඕ මහත්තයට වෙච්ච අලාබෙත් සලකල බලල ගහන්න ඕන වාක්‍ය මොකද්ද කියල කිව්වෙ ප්‍රනීත්.

"පියානනි, මියගියේ ඔබ නොවේ අපයි!"

ප්‍රනීත් වැඩට ආවෙ දවස් පහකට විතර පස්සෙ. ඒ මළ‍ගෙදරට අපේ කාර්යාලෙ කස්ටියත් කිව්වෙ ප්‍රනීත්ගෙ මළගෙදර කියල. මම එයාගෙන් ඒ ගැන ඇහුව.

"අන්තිම දවස් වෙද්දි එන එවුන් මට තමයි කියල යන්නෙ. ගාමිනී එක්ක වැඩිය කතාවක් නෑ. උං හිතං ඉන්නෙ මම ගෙදර එකා කියල!"

------------------------------------------------------------------------------------

ඔත්තුවක්: අහල ඇතිනේ හෙන්රි කල්දේර මහත්තයගෙ මේ සින්දුව,

මිදුලේ සුදු වැලි තලයේ
මිරි වැඩි සඟළක සළකුණු
දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ...........

අන්න ඒ ගීත රචකයා, ඒ කියන්නෙ ප්‍රේමරත්න පලිහවඩන මහත්මය, බ්ලොග් එකක් පටන් අරගෙන. වෙන විදියකට කිව්වොත් එයා තමයි බස්සිගෙ නවාතැන ලියන බස්සිගෙ තාත්ත. බ්ලොග් එක තමයි මිදුල. ගිහින් බලන්න.

Thursday, October 3, 2013

දෙයියන්දර හාමුදුරුවන්ගෙ පොල් මාරුව සහ එජාපයෙන් නූතන අප්පුහාමිලාට...........

දෙයියන්දර හාමුදුරුවෝ ම'පියානන් කුඩාකල අපේ ගමේ විහාරයේ මෙන්ම ඊට අයත් දුරබැහැර ප්‍රදේශයක පිහිටි විහාරයකද විහාරාධිපති ධූරය දැරූ හිමියන්ය. වැඩි කාලයක් අපේ පන්සලේද මාසයකට වරක් දෙකක් අනෙක් පන්සලේද වාසය කිරීම මුන්වහන්සේගේ සිරිත වී තිබුනි. කුඹුරු සහ පොල් ඉඩම් විශාල ප්‍රමාණයක් ගමේ පන්සලට අයත්ව තිබූ අතර අනෙක් පන්සල එතරම් දියුණු තත්වයක නොතිබුනි. පන්සල් දෙක අතර වූ ගව් ගනනක දුරකතර ගෙවායාමට ප්‍රවාහන පහසුකම් නොතිබූ ඒ යුගයේ ගමන සිදුවූයේ පයින්ය. පන්සලේ සිටි ආවතේවකරුවා වූ අප්පුහාමිගේ කර මත ඇති කත්ලීයේ පොල් වල්ලක් දෙකක්ද පටවාගන්නා හාමුදුරුවෝ මල්ලක දමාගත් ලොකු බුලත් පුවක් ආදියත් සමඟ උදෑසනින් චාරිකාව අරඹනසේක. ටික දුරක් ගමන් කරන විට වියයුතුම පරිදි බර ගෙනයන අප්පුහාමිට දැනෙන්නේ දැඩි විඩාවකි, අපහසුවකි. එවිට හාමුදුරුවන් අනුගමනය කරන්නේ අපූරු උපක්‍රමයකි. එනම් කත්ලී දෙපැත්තෙහි ඇති පොල්ගෙඩි මාරුකර නැවත සකසා අප්පුහාමිට බුලත්විටක්ද සැපීමට දී නැවත ගමන ආරම්භ කිරීමයි. හාමුදුරුවන් වදාරන පරිදි එවිට බර අඩුවන අතර එය අප්පුහාමි විසින්ද තහවුරු කරයි. අප්පුහාමිලාට මානසික අල්ලස් දෙන්නේ එසේය.

එක්දහස් නවසිය පනස් ගනන්වල නූගත් අප්පුහාමි කෙනෙකු අරභයා අනුගමනය කල මේ උපක්‍රමය නූතන සමාජයේ අප්පුහාමිලා රැවටිය හැකි යයි සිතන පොල් බූරුවන් පිරිසක් අද සිටී. ඒ අනෙකුන් නොව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ලඟම ගෝල බාලයන්ය. මැතිවරණ පරාජයකට පසු පක්ෂයේ කුමක් හෝ කුඩා වෙනසක් සිදුකර ඡන්ද දායකයන් රැවටිය හැකි යයි ඔවුන් සිතා සිටී. පසුගියදා පැවති පළාත් සභා මැතිවරණය පරාජයතත් සමඟ ඔහු ලැබූ විසි හත්වන පරාජය බැව් කොහේදෝ ලියැවී තිබුනා මතකය. රනිල් තවදුරටත් එජාපයේ නායකත්වයේ රැඳී සිටියයුතුද යන්න දැනටම පට්ටගසා ඇති මාතෘකාවකි. බ්ලොග් අවකාශයේදී නම් රනිල්ට යම් පිලිගැනීමක් ඇත. ‍මේ කරුණු විමර්ශනය සිදුවන්නේ ඒ ඒ සංවාදවලදී මතුවූ කරුණු කාරණා පිළිබඳවය.

රනිල් වික්‍රමසිංහ බොරු සෝබනකාරයෙක් නොවේ. මහින්ද රාජපක්ෂ මෙන් ඔහු දරුවන් නලවන්නේ නැත. නෙළුම් කොලයේ කෙසෙල් කොලයේ එහෙමකට බත් කන්නේ නැත. කුඹුරු වලට බැස හරකුන් සමඟ මඩ ගාගෙන සී සාන්නේ නැත. මිනිසුන්ගේ බුරිවලට ඇඟිල්ලෙන් අනින්නේ නැත. කිතිකවන්නේ නැත..... මේ ආදී ලෙස ඕනෑතරම් කරුණු දැක්විය හැකිය. අනෙක් අතට ඔහු ධනවාදී ක්‍රමය පිලිගන්නා එසේම ඒ බැව් ප්‍රකාශ කරන නායකයෙකි. මහින්ද රාජපක්ෂ මෙන් නොව තමා ධනවාදී මොඩලයේ බැව් ප්‍රකාශ කිරීමට නොපැකිලේ. දේශප්‍රේමයක් ඇත්තේම නැත. මෙවන් යහපත් කරුණු රැසකින් රනිල් මහතා ආවරණය කල හැකිය.

එහෙත්,

ප්‍රශ්නය ඇත්තේ ඔහු මැතිවරණ ජයග්‍රහණය කිරීමට දක්වන දුර්වලතාවයයි. දෙදහස් එක වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයත් ඉන්පසු පැවති පළාත්සභා මැතිවරණයත් හැරුනු විට ඔහුගේ නායකත්වය යටතේ ජයගත් එකදු මැතිවරණයක්වත් නොමැත. අනෙක් අතට බ්ලොග් අවකාශයේ සමහර දේශපාලන ලියුම්කරුවන් උළුප්පා පෙන්වන මහත්මා ගතිය පරාජය සම්බන්ධයෙන් නම් ඔහු තුල නැත. අවුරුදු විස්සක පමණ කාලයක් තිස්සේ පරාජය වන ඔහු, පරාජයෙන් පසු තනතුරු අත්හැර දමන බටහිර දේශපාලන නායකයන්ට සමාන කිරීම විහිළුවකි. රනිල් වික්‍රමසිංහගේ නායකත්වය ප්‍රතික්ෂේප කර ගැටුම් ඇතිකර ගැනීම හේතුවෙන් මේ වනවිටත් ආණ්ඩුව වෙත සංක්‍රමණය වූ ජනතා නියෝජිතයන් සංඛ්‍යාව ගැන සිතාබැලීමෙන් ඔහුගේ තරම තේරුම්ගත හැකිය.

රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් නායකත්වයේ සිටියයුතු යයි ප්‍රකාශ කරන්නන්ගේ ප්‍රධාන තර්කය වන්නේ මහින්ද රාජකත්ෂ ජනාධිපතිවරයාට ඇති හොඳම විකල්පය ඔහු බවයි. එහි සත්‍යතාවයක් ඇත. න්‍යායාත්මකව ගත්කල මහින්ද චින්තනයට (එසේ යමක් තිබේනම්) විකල්පයක් විය හැක්කේ රනිල් වික්‍රමසිංහගේ වැඩ පිලිවෙල පමණි. පසුගිය දිනෙක වික්‍රමබාහු කරුණාරත්න මහතා ප්‍රකාශ කල පරිදි සජිත් ප්‍රේමදාස වැන්නන් ජනාධිපතිතුමාට විකල්පයක් නොවේ. එහෙත් මේ සියල්ල මහපොලව මත සිටුවීමට නම් රනිල් මහතා බලයට පත්විය යුතුය. එය විය නොහැක්කක් බව මේ වනවිට තහවුරු වී තිබේ. එසේ නම් කලයුත්ත වන්නේ අලුත් නායකත්වයක් සොයා ගැනීමයි. ඒ සජිත් ප්‍රේමදාස හෝ කරු ජයසූරිය හෝ වෙනත් කෙනෙකු විය හැකිය. ඔහුද අසාර්ථක නම් තවෙකෙකු සොයාගත යුතුය. දේශපාලනය යනු පරිවර්ථනය වෙමින් සාර්ථක වියයුතු ක්ෂේත්‍රයකි.

දිනෙන් දින විශාල වන වෘක්ෂයක් බඳු වූ මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම මේ වනවිට ඕනෑම අයෙකුට අභියෝගයකි. පාර්ලිමේන්තුවේ මෙන්ම ව්‍යවස්ථාවෙන්ද ඔහුට ලැබෙන්නේ අනුබලයකි ශක්තියකි. කොතෙකුත් මැතිවරණ පරාජය වුවද තම ඒකාධිපති පක්ෂ ව්‍යවස්ථාවෙහි පිහිටෙන් බලය අල්ලාගෙන සිටින රනිල් වික්‍රමසිංහද මහින්ද රාජපක්ෂට දෙවැනි වන්නේ නැත. ඔහුට අභියෝග කිරීම ලෙහෙසි නැත. තම සම ලිංගික සගයන් පිරිවරාගෙන මියයනතෙක් පක්ෂ නායකත්වයේ රැඳී සිටියහොත් එය පුදුමයට කාරණාවක් නොවේ.

Tuesday, October 1, 2013

සංවේගයෙන් දැනුම්දීමයි!

හත් අවුරුද්දක්
ලෙඩට දුකට
බඩේ අමාරුවට
උන හෙම්බිරිසාවට
කොන්දෙ අමාරුවට
ඉසේ අමාරුවට
...අමාරුවට
ලඟම හිටිය
එකම නෑය
අද උදේම
ප්ලෑන් කරල
මරා දාල!

අඩි වැඩිවුනාම
අඩි ඕන උනාම
බඩු වැඩිවුනාම
බඩු ... ඕනවුනාම
නිදහසට හිටියෙත්
උඹ විතරයි නෙව!

සමහර දාකට
පරක්කු වෙලා
බැනුං ඇහැව්වත්
කොච්චර බැන්නත්
උඹ නැති පාඩුව
කොහොම මකන්නද?


පරීක්ෂණ නෑ
සහතික නෑ
භූමදාන නෑ
ආදාහන නෑ
මල්වඩම් නෑ
ස්තුති කතා නෑ
ගුණ ගායනා නෑ
මතක බණත් නෑ

අවසන් කටයුතු
කියල දෙයක් නෑ
අඩුම ගානෙ
බොඩියත් නෑ!
නිකංම නිකං
මළගෙයක් විතරයි!

Monday, September 30, 2013

ඡන්ද දායකයාගේ පාපොච්චාරණය.........(අවසානයේ ඔවුන් පැමිණිය් මා වෙතය!-by Matin Nimal)

එදා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රෙජීමය...
පලමුව මිලදීගත්තේ විපක්ෂ මන්ත්‍රීවරුන්ය...
මම නිහඬව සිටියෙමි..
මන්ද මට මන්ත්‍රීකමක් නොමැති නිසාය...

ඉන්පසු ඔවුන් පැවිද්දන්-පූජකයන් මිලදීගත්හ...
මා කුමක් කියම්ද..
මා පැවිද්දෙකු හෝ පූජකයෙකු නොවූයෙමි...

ඊලඟට ඔවුන් මිලදීගත්තේ කලාකරුවන්ය..
මා බලා සිටියෙමි..
මා කලාකරුවෙකු යැ..

ඉන්පසු ඔවුන් වෘත්තීය සමිති නියෝජිතයන් මිලදීගත්හ..
කුමට බිය වම්ද...
මා වෘත්තීය සමිති නියෝජිතයෙකු නොවූ කල..

ඔවුන් මාධ්‍යවේදීන්ද නිදහස් මතධාරීන්ද උගතුන්ද බුද්ධිමතුන්ද මිලදීගත්හ....
මා ඔවුනතර නොවිනි...

ඔවුන් අවසානයේදී...
පැමිනියේ මා වෙතය...
ඔවුන්ගේ ලංසුවට එකඟවනු හැර විකල්පයක් මා හට නොවිනි!

-මාටින් නිමලෙ(2013)

Wednesday, September 25, 2013

ලේස්බියන් සිංදු, ගණිත සිංදු සමඟ මගේ අප්සට් ගී විචාර අංක දෙක.

සමහර සිංදුවල තියන ගණිතමය කොටස් නං මරු! මම දන්න තරමින් මේවගේ සිංදු තුනක් තියනව.
එකක් තමයි නිහාල් නෙල්සන්ගෙ "කිරි අම්ම". ඒකෙ තියෙන්නෙ නිකංම වීජ ගණිතය,

කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගව මස් කියලා....
බලනු තුන්සිය හැට පහ වැඩිකර තිස් පහ යොදලා.....
ගනන දොලොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා....
ඔබට තේරුනාද ඔබ කල පව් දුරදිග නොබලා....


සිංදුවක් විදියට වගේම ගණිතමය විදියටත් අන්තිම අසාර්ථක සිංදුවක් මේක. මොකද අවුරුදු තිස් පහක් හරක් මස් කෑමේ පාපය වැඩි කරල පෙන්නන්නද කොහේද ඒක තුන්සිය හැට පහෙන් වැඩි කරන්න කියනව. පුදුමයි මේක ලිව්ව හාදයට ආයෙත් තුනෙන් වැඩි කරන්න නොහිතුන එක. මොකද වේල් තුනම කනව කියල හිතුවොත්. අනිත් එක තමයි අධික අවුරුදු අත්හැරීම නිසා කොහොමත් මේ ගාන වැරදියි.

ඊට වඩා වැඩි ගැඹුරක් සහිත සිංදුවක් තමයි දයාරත්න රනතුංගගෙ "සමකෝණී ත්‍රිකෝණයකි" කියන සිංදුව. ඒක ජ්‍යාමිතිය සම්බන්ධ එකක්. මෙන්න සිංදුව.

සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන
ඔබ එකමුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා
නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා

සමච්ඡේදනය කරලා දෙන්නට බෑ පෙම බෙදලා
අපි තුම්මුල්ලටම වෙලා ඉමු මුහුණට මුහුණ බලා

ඔබමගෙ ආදරය පතයි ඇය මගෙ ආදරය පතයි
දෙන්නාටම මාත් හිතයි ත්‍රිකෝණයේ පාද සමයි


ඉතාම පරීක්ෂාකාරීව ගණිතමය විදියට බැලුවොත් මෙතන තියනව ලේස්බියන් කේස් එකකුත්. ජ්‍යාමිතියට වැඩිය කැපිල පේන්නෙ ඒක. මේ බලන්න,
ඔන්න බුවෙක් ඉන්නව. කෙල්ලො දෙන්නෙකුත් ඉන්නව. බුවා කෙල්ලො දෙන්නටම බොක්කෙන් ලව්! තුන්දෙනා ඉන්න විදිය මුල් කොටසින් කියනව. සාමාන්‍යයෙන් නං මේවගේ කේස් එකකදි ත්‍රිකෝනයක් හැදෙන්න බෑ කියල යන්තං ගණිතය ඉගනගත්ත පොල් බූරුවෙකුට උනත් තේරෙන්න ඕන. මොකද මේවගේ එකක අන්තිම ප්‍රතිපලය වෙන්නෙ සරළ රේඛාවක මැද්දෙන් බුවාත් බුවාගෙ දෙපැත්තෙන් සෘණ ආරෝපිත බුවීල දෙන්නත් සෙට් වීම කියල ඔහේලට තේරෙනවනේ. අනෙක ත්‍රිකෝණයක් හැදුන කියමුකො. ඒක සම ද්විපාද එකක් වෙන්න ඕන. මොකද බුවීලට බුවාගෙ කැමැත්ත සමානයි. ත්‍රිකෝනෙ සම කෝණ [නැත්තං සම පාද] වෙනව කියන්නෙ බුවාට තියන කැමැත්තට සමාන කැමැත්තක් බුවීල අතරත් තියනව කියන එකයි. කොහොමද වැඩේ! ඒ කියන්නෙ මෙතන ඉන්න බුවීල සමරුචියන්.

තුන්වැනි සිංදුව......... ආ ඒක මම කියන්නෙ නෑ. ඔහේලට පුළුවන් නං කියන්න. මේකත් ගණිතය සම්බන්ධ සිංදුවක්. පොඩ්ඩක් ලේසි කරන්නං සාපේක්ෂ චලිතය ගැන කියවෙන සිංදුවක්. සිංදුව මම මෙතන සුදු පාටින් දානව. කමෙන්ටුව දාල ඉවර වෙලා සිලෙක්ට් කරල බලන්න.

මං කිව්වෙ ඉස්සෙල්ල කමෙන්ටුව දාන්නෙ කියල නේද?



මිටින් මුදා හැර බැලුවෙමි සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී.....
සමුගෙන ගොස් යලි හැරුනෙමි සත්තයි නුඹ ඇවිදින් සෙවනැල්ලක් සේ.....


ඔන්න කොල්ල කියනව මුදාහැරියට කෙල්ල ඉගිලුනේ නෑ කියල.
කෙල්ල කියනව ඉගිලිලා ගියා ඒත් හැරිල බැලුවම කොල්ල ඇවිල්ලලු.
සාපේක්ෂ චලිතය ගැන මීට වඩා හොඳීන් කියවෙන සිංදුවක් තියනවද?



Monday, September 23, 2013

අනතුර!

කොටහළු පාටියකටත් යන්න ඉඳගෙන, දහයට විතර යාළුවෙක් එක්ක බයික් එකෙන් එලියට ගිය රාජ් ආයෙ ආවෙ දෙන්නෙකු‍ට බරවෙලා. උන් දෙන්නගෙ වාරුවෙන් සීට්එකේ වාඩිගත්ත විතරයි ඔන්න නෝන කෙනෙක් එනව. තව එක්කෙනෙක් එනව.....

"රාජ් මහත්තයා.... මේ මොකද්ද උනේ?"

"කලින්ම බිව්වද?"

"නෑ හලෝ.... කකුල්"

"හප්පේ....!, බයික්වල යද්දි පරිස්සමින් යන්න එපැයි"

"මම දවසකුත් කිව්ව හෙමිං යන්න කියල"

"බේත් දැම්මෙ නැද්ද?"

"මොන කකුලද?"

"කකුල් දෙකම!"

"දෙකම!"

"නැතුව ඉතිං දෙකම එක වයසෙනේ"

"හී හී හී....."

"ම්....... ළමයිනේ පරිස්සමින් වැඩකරන්න එපාය. පොඩි එකෙකුත් ඉන්න තාත්ත කෙනෙක් නේද?"

මෙයා තමයි මල්ලි නරක් කරන්නෙ!(යාළුවට)

"සිංහල වෙදකං කරන්න..... ඒක වැඩිය හොඳයි"

"මං හිතන්නෙ බීලද කොහෙද?"

"නෑ බොල! මොනව බොන්නද?"

"එහෙනං වැටුනෙ?"

"වෙන තුවාල නෑනේ"

"මොනවත් ගෑවද?"

"ඔව්"

"පද්මෙ අයිය ගෑව"

"පද්මෙ අයිය? මොනවද ගෑවෙ?"

"මොනවද ගම් ජාතියක්"

"ගම්????????????"

"‍හ්ම්...... දැං වේලිලා ඇති මං හිතන්නෙ.....කෝ බලන්න......හා නියමෙට ඇලිල තියෙන්නෙ. මං හිතුවෙ සපත්තු දෙකක් ගන්න වෙයි කියල!☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺"

"අනෙයම්මපල්ල.....මූ නං......"

Wednesday, September 18, 2013

කිහිපදෙනෙක් බ්ලොග්කරුවෝ.....

පහුගිය සති අන්තයේ ඇදීගිය යම් සංවාදාත්මක කාරණාවක් සම්බන්ධ ලිපි ගනනාවක් මේ සඳුද කියවන්න ලැබුන. මේ කාරණය ගැන කතා කරන්න මගේ කැමැත්තක් නැතත් මේ සංවාද බැලුවම එක කාරණාවක් පේන්න තිබුන. ඒ තමයි මිනිස්සු ඇතුලෙ කොච්චර පරස්පරතා තියනවද කියනඑක. එක කාරණාවක් සම්බන්ධව තියන ප්‍රතිපත්තිය තවත් කාරණාවක් සම්බන්ධයෙන් නෑ. ඇත්තේම නෑ. මම කල්පනා කලා ඒ ගැන. මුලදි මට හිතුනෙ මිනිස්සු ව්‍යාජයක ජීවත් වෙනකොට එහෙම විසංවාදයන් ඇතිවෙනව කියල. ඒත් ඒක එහෙම නෙවේ වෙන්නත් පුළුවන්. මේ කියන කතාව ඔහේලට තාම තේරෙන්න නැතුව ඇති. මෙන්න මේ උදාහරණය ගන්න.

ඔන්න ඉන්නව භෞතිකවාදියෙක්. ඇත්තටම අපිට පේන්නෙ මෑන් කරන කියන දේවල් වලින් එයා එහෙමයි කියල. දවසක් කාගෙ හෝ ක්‍රියාවක් හේතුවෙන් මෙයාගෙ හිත හොඳටම රිදෙනව. එයාට මලපනිනව. අන්න එතකොට එයා කියනව,

"තොට හෙන හතම වැදියං!" කියල. නැත්තං කියනව "මට කරපු දේට උඹට කවදාහරි පල දෙනව!" කියල. ආන්න ඒ වෙලාවට අර භෞතිකවාදියගෙ කරුමෙ ගැන තියන විශ්වාසය එලියට පනිනව. නිරුවත එලි වෙනව.

දැං තේරුනා නේ?

මේක සංකීර්ණ කේස් එකක්. මතුපිටින් බැලුවොත් හිතෙන්නෙ මේගොල්ල පරස්පරයන් සහිතව ජීවත් වෙන උදවිය කියල. ඒත් ඒක නිවැරදිම නෑ.

මිනිහ කියන්නෙත් ප්‍රෝග්‍රෑම් කරපු යන්ත්‍රයක් වගේ දෙයක් තමයි. මේක විස්තර කරන්න පුළුවන් මේ රූපෙන්.

1.ඔය රතුපාට ටිකෙන් ඉන්නෙ ලේ,මස්, ඇට ... සහ වලින් හැදිච්ච "මනස" කියන ඕඑස් එක දාල තියන මිනිහ.
2.ඊට පිටින් තියෙන්නෙ මිනිහගෙ තියන ඇත්තම අව්‍යාජ සිතුවිලි සමුදාය. කවුදෝ කියල තිබුන කන බොන වෙලාවටත්, අහවල් වැඩේ කරන වෙලාවටත්, නිදාගන්නකොටත් මිනිහගෙ තිරිසන් ලක්ෂණ තියනව කියල. ඔන්න ඔය අව්‍යාජ කොටස තමයි ඒ.
3.මතභේදයට ලක්වෙන අන්තිම කොටස තමයි පිටින් තියෙන්නෙ. මේක හැදිල තියෙන්නෙ ටිකක් විතර කැඩෙන බි‍ඳෙන සුළු-අස්ථාවර-ද්‍රව්‍ය වලින්. ඒ කියන්නෙ සමාජ සම්මතයන්, සිරිත්-විරිත්, සංස්කෘතිය.... ආදී දේවල් වලින්. මේ ලේයර් එක වඩා හොඳින් ආරක්ෂා කරගන්න මිනිස්සු තමයි ඇත්තටම අව්‍යාජ මිනිස්සු කියල කියන්නෙ. මේ ලේයර්එක ඇතුලෙ තියන සීමාවන්-බන්ධන, හැදියාව, හොඳ-නරක හෑම දෙයක්ම එක එක ප්‍රබලතා මට්ටම් වලින් තමයි සැකසිලා තියෙන්නෙ. මම උඩ කිව්ව භෞතිකවාදියගෙ උදාහරණෙ ගනිමු. එයා භෞතිකවාදියෙක් උනාට ඉතා කුඩා ප්‍රතිශතයක් තියනව අනෙක් පැත්තත්. නමුත් ඒ පැත්ත මතුවෙන්න නං සෑහෙන බලයක් ප්‍රතිවිරුද්ධව යොදන්න වෙනව. එතන උනේ ඒකයි. මේ කතන්දරේ මට මතක් උනේ මම කිව්ව බ්ලොග් පෝස්ට් කියවනකොට මට මතක් වෙච්ච ඈත අතීතයේ කියවපු කෙටි කතාවක් නිසා.

අයිසැක් අසිමොව් කියන්නෙ විද්‍යා ප්‍රබන්ධ කතා කාරයෙක් කියල සාහිත්‍ය මාසෙ කියන්න ඕන නෑනේ. රොබෝ නියම තුන ඉදිරිපත් කලෙත් එයා තමයි. මෙන්න රොබෝ නියම,

1.රොබෝ මිනිසාට අනතුරුදායක නොවියයුතු අතර මිනිසා ආරක්ෂා කල යුතුයි.
2.මිනිසාගේ විධාන පිලිපැදිය යුතුයි.
3.තමන්ගේ ආරක්ෂාව තමන් සලසාගත යුතුයි.(මේ නියම ඉහල සිට අනුපිලිවෙලට විහිදෙන්නෙ)

එක කතාවක තියන විදියට රොබෝ කෙනෙක් සූර්යා කිට්ටුවට යවන්න උත්සාහ කරනව. ඒ කියන්නෙ එයාට නියෝග ලැබෙනව දෙවැනි නියමය අනුව. ටික දුරක් යද්දි රොබෝට තේරෙනව අධික තාපය නිසා තමුන් විනාශවෙන්න පුළුවන් කියල. එතකොට තුන්වැනි නියමය අනුව එයා ආපස්සට අදිනව. මේ නියෝග දෙකේ බලය සමාන වෙන අවස්ථාවෙදි එයාට කරන්න දෙයක් නෑ. අන්තිටම රොබෝ ඉර වටේ යන්න පටන් ගන්නව (බල තුලනය නිසා). අන්තිමට රොබෝ බේරගන්න මනුස්සයෙක් ඉදිරිපත් වෙනව. එයා සූර්යා දෙසට යනකොට (විනාශ වෙන්න) පළමු නියමය අනුව ක්‍රියාත්මක වෙන රොබෝ බල තුලනයෙන් මිදිල එනව මිනිහ බේරගන්න. මොකද පළමුවැන්න වඩාත් ප්‍රබලව තියන නිසා.

ඔන්න ඔය විදියටම තමයි අපිත් හැදිල තියෙන්නෙ. අපේ පරස්පරයන් නැත්තටම නැති කරන්න බෑ. නමුත් පරස්පරයන් අඩුවෙන තරමට තමයි ලස්සන.

පලි- පිංතූරෙ පැහැදිලියි නේද?

Thursday, September 12, 2013

මෙන්න පොලිසියෙ මහත්තයෙක්.

පොලීසිය කිව්වම අපේ මතකයට එන්නෙ එච්චර හොඳ හැඟීමක් නෙවේ කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. පොලීසිය විතරක් නෙවේ කාකි සූට්, අනන්‍ය නිල ඇඳුම් ඇඳගත්ත බොහොමයක්දෙනා අපකීර්තිමත් උදවිය. කවුරුහරි මගෙන් ඇහුවොත් මම අකමැති මිනිස්සු කැටගරි කියන්න කියල මම කියන්නෙ මෙන්න මේ උදවිය.

♦ දේශපාලකයන්-නිල ඇඳුමක් නැතත් ජාතික ඇඳුම නිල ඇඳුම කරගත්ත කොට්ඨාසයක්.
♦ පොලිසිය-නිල ඇඳුමක් තියනව.
♦ භික්ෂූන්-නිල ඇඳුමක් තියනව.

මේ කොට්ඨාස තුනේම හොඳ අයට වඩා නරක අය වැඩියි කියලයි මගේ හැඟීම. ඒ නිසා පොදුවේ "නරක" ගොඩට දැම්මට අවුලක් නෑ. ඒ වගේම මේ උදවියගෙ පොදු ලක්ෂණය තමයි තමන් වැඩි වැඩියෙන් වැරදි කරන ගමන් රට හදන්න උත්සාහ කරන උදවිය වීම. හරි ඒ ගැන ඔය මදැයි. මේ කියන්න යන්නෙ පොලිසියෙ ඇත්ත මහත්තයෙකුගෙ කතාවක්

මේ සීන්එක මම දැක්කෙ සිරසෙ නිව්ස් වල. අහම්බෙන් බලපු නිසා කවුද කොහේද විස්තර මිස්වුනා. ඔන්න එක ගමක ගෑනු මිනිස්සු පාරක් වහගෙන උද්ඝෝෂණයක්. හේතුව තමයි ගමේ පාර හැදීම අවුරුදු ගානක් පරක්කු වීම. පාර හදන්න පටන් ගත්ත කොන්ත්‍රාත්කාරය පාරට ඒබීසී විතරක් දාල සෑහෙන කලක් ගිහිල්ල. ඒබීසී ගැන ඔහේල දන්නව ඇතිනේ. මම දන්න තරමින් මේක මෑතක ආපු තාක්ෂණයක්. මැවිසුරුවෙක් වෙච්ච අපේ කතන්දරකාරය මේව ගැන දන්නව ඇති. ඒබීසී කියන්නෙ කැටගල්, ගල්කුඩු, වැලි මිශ්‍රණයක් දන්න තරමින්. මේකට ‍අපේ පැතිවල කියනව "නාමල් කාපට්" එක කියලත්. නාමල් රාජපක්ෂ මහත්තයද දන්නෑ තාක්ෂණය ගෙනාවෙ. කොහොම උනත් මේ කාපට් එක පාරට දාල ඊ‍ට උඩින් වතුර දාල රෝලෙන් තලල ගත්තම මාසයක් විතර නියමෙට තියනව. හැබැයි ඊට පස්සෙ ස්ථිර කාපට් එක දාල වැඩේ අවසන් කලේ නැත්තං ටික ටික ගල් ගැලවිලා පයින්වත් යන්න බැරි තත්තෙකට පත් වෙනව. මම කියන ගමටත් උදාවෙලා තිබුනෙ මේ තත්වෙ. ඔන්න දැන් මිනිස්සු පාර වැහුව කියමුකෝ.

සාමාන්‍යයෙන් ඊලඟට සිදුවෙන්නෙ පොලිසිය-හමුදාව ඇවිල්ල මිනිස්සු විසිරුවාහැරීමනේ. මෙතනටත් ආව පොලිසිය. මම හිතන විදියට කතා නායකය ඕඅයිසී වෙන්න ඕන. එයා මිනිස්සුන්ගෙ කතාව අහල ඒක පිලි අරගෙන තමුන්ට කරන්න පුළුවන් දේ කරනව කියල මිනිස්සු විසිරුවාහැරිය. ඊට පස්සෙ මාර්ග සංවර්ධන අධිකාරියත් කොන්ත්‍රාත්කරුවත් වග උත්තරකරුවන් කරල නඩු දැම්ම. ඊටත් පස්සෙ තමයි හොඳම සිද්ධිය. ඔන්න නඩු දැම්මම කොන්ත්‍රාත්කාරය හදන්න බැරි පාර හදන්න පටන් අරගත්ත. ඒ අතරෙ මාර්ග සංවර්ධන අධිකාරිය පොලීසියට දන්වනව පාරෙ වැඩ ආරම්භ කර ඇති නිසා නඩුව අස්කරගන්න කියල. පොලිස් මහත්තයගෙ උත්තරේ තමයි මේ බ්ලොග් පෝස්ට් එක ලියෙව්වෙ.

එයා කියනව නඩුව ඉවත්කරගන්න නං බෑ, හැබැයි නඩුවට උසාවි ගියාම ඒ වෙනකොට පාරෙ වැඩවල ප්‍රගතිය උසාවියට කියන්නං කියල.
අන්න මිනිස්සු! තමුන්ට ඉහලින් නියෝග දෙන්න සහ පහලින් නියෝග ක්‍රියාත්මක කරන්න කොච්චර පොල්බූරුවන් හිටියත් මේවගේ හොඳ තීරණ ගන්න මිනිස්සුත් ඉන්නව.

Tuesday, September 10, 2013

ෆුඩ්සිටියෙ නෝනගෙ කොන්ඩම් භීතිකාව.

කතන්දරකාරයා තම බ්ලොග් අඩවියේ දැමූ ලිපියක් හා උකුස්සා ඊට දැමූ කමෙන්ටුවක් සිහිපත් කල සිදුවීමක් පසුගිය දිනෙක මා හට සිදුවිය.

එදින සුපිරි වෙළඳසැලකට ගිය මා ඒ තුල වූ ෆාමසියට ගියේ කොන්ඩම් මිලදී ගැනීමටය. අවශ්‍ය කොන්ඩම් වර්ගයෙන් පැකට් දෙකක් ඉල්ලූ පසු වෙළඳ සේවිකාව එය රැගෙන කඩදාසි බෑගයක් වෙත දැමීමට සූදානම් විය.

සාමාන්‍යයෙන් ලංකාවේ ඇත්තේ රුපියල් තිහේ සිට ඉහලට මිලදීගත හැකි, ඝන කඩදාසි ඇසුරුමක බහා ඇති කොන්ඩම් තුනක් අඩංගු පැකට්ය. පාරිභෝගිකයාට අවශ්‍ය කොන්ඩම් ප්‍රමාණය කුමක් වුවත් මිලදීගැනීමට සිදුවන්නේ මෙම තුනේ පැකට්ය. එය තරමක කරදරයක් බැවින් වඩා වැඩි කොන්ඩම් ප්‍රමාණයක් අඩංගු පැකට් නැත්ද යන්න වෙළඳ සේවිකාව වෙතින් මා විමසීමි. ඇගේ ප්‍රතිචාරය යහපත් නොවීය,

"දන්නෑ!" යන්න එක්වරම පවසා ඈ පාර්සලය මාවෙත දිගුකලාය.

මෙහිදී ඇය සිදුකල මූලික වැරදි දෙකකි.

පළමුවැන්න නම් තමන් අලෙවි කරන භාණ්ඩය පිලිබඳ දැනුවත් භාවයක් ලබා නොසිටීමය.
දෙවැන්න තම පාරිභෝගිකයා වෙනුවෙන් දැක්වියයුතු මිත්‍රශීලී ස්වභාවය ඇය වෙත නොමැති වීමයි.

හරියටම කිවහොත් කතන්දර ලිපියේ උකුස්සා සඳහන් කල පරිදි ඇගේ හැසිරීම "මා කොන්ඩම් මිලදී ගත්තේ ඇය සමග ලිංගික කාර්යය සඳහාය" යන්න සිතා සිටින අයුරිනි.

ලංකාව තුල ලිංගිකත්වයට හිමිවන ස්ථානය පිලිබඳවත් ලිංගිකත්වය සම්බන්ධයෙන් ලාංකීය ආකල්ප පිළිබඳවත් බ්ලොග් අවකාශය තුල ඕනෑ තරම් පට්ටගසා ඇති බැවින් යලි යලිත් මතු කිරීම නිරර්ථක කාර්යකි. කෙසේ වුවත්, ප්‍රාග්ධනයේ ප්‍රසාරණයත් සමඟ දශකයක් දෙකක් තුල දිවයින පුරා ව්‍යාප්ත වූ "සුපිරි වෙළඳසල්" යනු නූතනත්වයේ සංකේතයකි. ඒ තුල සිටින මෙවැනි සේවිකාවන් ඇතිකරන්නේ නූතනත්වයට නොගැලපීමකි.

කෙසේ වුවත් ඇයට තේරුම්ගත හැකියයි සිතන ආකාරයෙන් මා මේ කරුණු පැහැදිලි කලෙමි. කිසිවක් නොකියූ ඇය අසා සිටියා පමණි!

"ඔයා එහාපැත්තට ගියානං ඔයාටත් ලේසියි අපිටත් ලේසියි" අවසානයේදී මා යෝජනා කලෙමි. ෆුඩ් සිටියේ අනෙක්පස පිහිටුවා තිබුනේ එළවළු විකුණන ස්ථානයයි.

Friday, September 6, 2013

මගේ ගෑනිට මොනවහරි උනොත් ඔය එෆ්එම් චැනල්කාරයො වගකියන්න ඕන....!

ටික දොහකින් ගම් පැත්තෙ ගියේ. වෙනද වගේම ලොකු මාමගෙ කඩේටත් ගොඩවුනා. වෙනද ඉන්න ගැන්සිය අදත් ඉන්නව. කතාවක් පටන් ගන්න හදනකොටම මදුරුවා පිටේ ආපු නිමලෙ අයිය කඩේ ලඟ බැස්ස.

"කොහොමද නිමලෙ කුසුමට?" ලොකුමාම ඇහැව්ව.

"මගේ ගෑනිට මොනවහරි උනොත් ඔය එෆ්එම් චැනල්කාරයො වගකියන්න ඕන" නිමලෙ කෑගහන්න පටන් ගත්ත.

"ඇයි කුසුමක්කට මොකද?" මගේ පුරස්නෙට උත්තර ලැබුනෙ නෑ. තව මොනවදෝ කියල කෑගහපු නිමලෙ හුටු හුටුවෙ නැඟල යන්න ගියා.

"මූ උදේ පාන්දරම සංස්ථා ගහල" එහෙම කිව්වෙ ධර්මෙ අයිය. සංස්ථා කිව්වෙ සීල් අරක්කු නෙවේ. ධනෙයගෙ පොට්එකේ කසිප්පු. ඉස්සර වඩියට සංස්ථා සිමෙන්ති දාන නිසයි සංස්ථා කියන්නෙ.

"දැං කුසුමට මොකද්ද වෙලා තියෙන්නෙ?" බුලත්විටක් අතේ තියාගෙන රෝල් කරන මහතුං මාමගෙන් මං ආයෙත් ඇහුව. මහතුං සද්දයක් නැතුව විට කටේ දාගෙන හපන්න පටන් ගත්ත. බුලත්විට කටේ ඇඹරිලා කෙල පාරක් ගහනකල් උන්දෑ කතා නොකරන බව දන්න නිසා මං සද්ද නැතුව හිටිය. ඔන්න ඊට පස්සෙ මහතුං මාම කතාව පටන් ගත්ත.

"උඹ දන්නවනෙ බෑනෝ ඔය කුසුම කෙල්ල රේඩියෝ පිස්සි කියල"

"මොකද මම දන්නැත්තෙ ඒකාලෙ රේඩියෙකට පෝස්කාඩ් එහෙමත් යැව්වෙ හරි හරියට"

"හ්ම්, ඊට පස්සෙ ඕකි ගෙදර ඉස්සරහ අඟුරු කෑල්ලකින් ලියාගත්ත බෝඩ් එකක් එල්ලගෙන හිටියෙ මං අහන්නෙ ශ්‍රී එෆ්එම් කියල"

"වංගියක් ඔය බෝඩ් එකක් ගලවල කුසුම මාත් එක්කත් ඔට්ටු වෙන්න ආව" අල්ලපු ගෙදර රුවන් මල්ලි කිව්ව.

"ඊට පස්සෙ ගහගෙන හිටියෙ මං අහන්නෙ හිරු කියල"

"ඔය බෝඩ් ගැහිල්ල නං හැම තැනම තියනවනේ. ලක්ෂ ගනං සල්ලි දීල ගෙවල් හදපු සල්ලිබාගෙ යහමිං තියන කොලඹ රටේ මිනිස්සුත් මං දැකල තියනව ඔය බෝඩ් එල්ලගෙන ඉන්නව. ඔයිට හොඳයි මං කන්නෙ ගූ කියල ගැහුවනං" ලොකු මාමටත් මල පැනල.

"ඉතිං කතාව කියහංකො"

"ඔන්න පහුගිය දවසක කලිසමක් ඇඳගත්ත නෝන කෙනෙක් මයික් කටකුත් අරගෙන කඩේ ලඟට ආව. මේ සුකුරුත්තම පස්සෙං ආව කැමරාකාරයො ටිකකුත්"

"ඉතිං?"

"මේ අව්අස්සෙ තමයි පාම්බාගෙයක් ගන්න කුසුම කෙල්ල කඩේට ආවෙ. කුසුම අරකිට පනාව දැම්ම විතරයි ඒකි කතාවට අල්ලගත්ත. මේ වෙලාවෙ තමයි මම දැක්කෙ ඒකි අතේ දාහෙ කොල දහ පහලවකුත් තියනව"

"හැබෑට"

"හ්ම්. ඊට පස්සෙ ඒකි කුසුමගෙන් නම ගම අහල කියන්න කිව්ව අහන රේඩියෝ චැනල් එක මොකද්ද කියල"

"ඉතිං?"

"මම දැක්ක කුසුමගෙ තොල කට වේලිලා ඒකි වෙව්ලනව. මේකි කිව්ව හිරු එෆ්එම් කියල"

"ඉතිං, කුසුමට සල්ලිටික ලැබුනද?"

"සල්ලි? මොන හුල්ලියක්ද, ඇවිල්ල තිබුනෙ සිරසෙන්. මීට පස්සෙ සිරස අහන්න කියල අරුං යන්න හැදුව විතරයි පපුව අල්ලගත්ත කුසුම මේං මෙතනිං වාඩිවුනා. මං හිතුවෙ පපුව පැලුන කියල"

"ඊට පස්සෙ?"

"වතුර ටිකක් පොවල ගත්තත් හරිගියේ නෑ. ඒ ගමන අපි ඉස්පිරිතාලෙට ගෙනිච්ච. හාට් ඇටෑක් එකක්ලු. දොස්තර මහකත්තය බලල කිව්වෙ"

"ඉතිං එෆ්එම කාරයො?"

"ඒ අවුඅස්සෙ කැමරා ටිකත් උස්සගෙන උං පැනල ගිහිල්ල."

"අම්මපල්ල රුපියල් දෙතුංදාහක් හරි දුන්නනං මොකෑ වෙන්නෙ. මොකක් හරි අහනවට"

"ඔය එෆ්එම් කියන බඩකඩුත්තු නං සල්ලි දුන්නත් අහන්න වටින්නෙ නෑ බං"

Wednesday, September 4, 2013

පොලිටිකල් ජෝක්ස්! (political jokes)

අද දාන්න යන්නෙ පොලිටිකල් ජෝක් ටිකක්.

ඔහේල අහල ඇතිනේ අර "ඔබට කිරි දෙනුන් දෙදෙනෙකු සිටී නම් ......." එක එක ආර්ථික ක්‍රම වලින් එළදෙනුන්ගෙන් ගන්න වැඩ ගැන ප්‍රසිද්ධ කතාව. ඒකෙ අලුත් වර්ෂන් මේ

ඔබට කිරි දෙනුන් දෙදෙනෙකු සිටී නම් ....

දේශප්‍රේමීන්,
අධිරාජ්‍යවාදීන්ගෙන් උන් ආරක්ෂා කරගත යුතුය.

නූතන සිංහලබෞද්ධයා
එළදෙන යනු ඔබේ කිරි අම්මාය. එබැවින් කිසිවෙකු ගවමස් නොකෑ යුතුය.

එළකිරි ධනවාදය
දෙනුන් දහස් ගනනක් සිටින බහුජාතික සමාගමකට ඔබට එළදෙනුන් දෙදෙනා විකිණිය හැකිය. ඉස්පසු කිරි දෙවීම, ගොම එකතුකිරීම.... වැනි කාර්යන් සඳහා සමාගමේ රැකියාවක් ලබාගත හැකිය.

☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺

මී මැස්සා සහ කුරුල්ලා
මේකත් ඔහේල දන්න කතාවක්. ඔන්න වතුරේ ගහගෙන යන මීමැස්සෙක් දැක්ක කුරුල්ලෙක් ගහකින් කොලයක් කඩල වතුරට දානව. කොලේට ගොඩවුන මී මැස්සගෙ තටු වේලුනාම ඌ උදව්ව මතක තියාගෙන පියාඹල යනව. දවසක් නරක කොල්ලෙක් කැටපෝලයකින් කුරුල්ලට විදින්න හදනව දකින මී මැස්ස කොල්ලට දෂ්ට කරල කුරුල්ලව බේරගන්නව. ඊට පස්සෙ උන් දෙන්න සතුටින් ඉන්නව.
උගන්ඩාව එක්ක, ස්වාසිලන්තය එක්ක, බෙලරුස් එක්ක ලංකාව(ජනාධිපතිතුමා) සම්බන්ධකම් පවත්වනව කියල විවේචනය කරන අයට මතක් කරන්න තියෙන්නෙ ඔය කතාව.


පනස්වෙනි ද කොහේද නිදහස් සැමරුමට චාල්ස් කුමාරය ලංකාවට ආපු වෙලාවෙ පොඩි කේස් එකක් උනා මතක ඇතිනේ. එකැස් ජනාධිපතිතුමියයි, රෝද පුටුවෙ ඉන්න අගමැතිතුමියයි, "කකුල් තුනෙන්" ඉන්න ආරක්ෂක ඇමතිතුමයි, ටික වෙලාවක් යද්දි පොලිස්පතිතුමා ඩෝං ගාල කලන්නෙ දාල වැටුන හැටියි දැක්ක චාල්ස් ඇහුව කියන්නෙ උඹලගෙ රටේ නීරෝගී මනුස්සයො ඇත්තෙම නැද්ද කියල. ඒව නං ඉතිං ශාරීරික කේස් කියල හරි අත පිහිදගන්න බැරිය.

මෙදා මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ නෝන ආවම තිබුන තත්වෙ හිතල බලන්න.

☻ ජනාධිපතිතුමා මේ වගේම රටක් වෙච්ච බෙලරුසියාවෙ සංචාරෙක.
☻ කට්ටියක් පිල්ලෙට විරුද්ධව උද්ඝෝෂනේ
☻ මර්වින් ඇමතිතුමා (උන්නැහේ කැබිනට් නේද?) පිල්ලෙ නෝනට බඳින්න(-සෙක්ස් වලට) කතා කරනව.

අනේ ඒ මනුස්සය මොනව හිතන්න ඇතිද අපි ගැන.

මේ පෝස්ටුව ලියන්න හිතං ඉන්න වෙලාවෙ ඊයෙ නිව්ස් බැලුව. මර්වින් ඇමතිතුමාගෙ යෝජනාව ගැන සීරියස් ටෝක් එකක් දෙනව අපේ ඔටුන්න හිමි නාමල් කුමාර මහත්තය. මතක විදියට එතුමා කිව්වෙ "හාමුදුරුවනේ මර්වින් ඇමතිතුමා කලේ ප්‍රජාතන්ත්‍රවාදී යෝජනාවක්. ඒකෙ තියන වැරැද්ද මොකද්ද?...." වගේ අදහසක්. ඒ කතාව ඇහුවම මට හිතුනෙ තාත්තගෙ නමේ පිහිටෙන් පාර්ලිමේන්තු ඇවිල්ල ගොං කතා කියනව කියල අපි සජිත් ප්‍රේමදාස මහත්තයට බනින එක කොච්චර වැරදිද කියල.

☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺

මම හොයාගත්ත සමාන තේරුම් දෙන වාක්‍ය දෙකක් මෙන්න;

"ලොක්ක මට කැමතියි=ලොක්කගෙ කේන්දරකාරය කියනව මම දිනනව කියල"

Monday, September 2, 2013

සති අන්ත සෞඛ්‍ය කතා.

මේ කතන්දර කිහිපයම සිදුවූයේ අනුයාත සති අන්තවලය.
එක
මව්පියන් සමඟ විදේශ රටක ජීවත් වන අවුරුදු දෙකක් වයසැති දරුවෙකු ලංකාවට පැමිණියේය. යම් යම් රෝගී තත්වයන් සහමුලින්ම තුරන් කර ඇති බැවින් සමහර රටවල ප්‍රතිජීවක එන්නත් ලබා දෙන්නේ අඩුවෙනි. එබැවින් ලංකාවට පැමිණි පසු දරුවාට එන්නත් කිහිපයක් ලබාදිය යුතු යයි දෙමාපියන් තීරණය කරන ලදී. සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක ලියාපදිංචි වීම තරමක කරදරකාරී ක්‍රියාවක් බැවින් හා වැයවන මුදල් ප්‍රමාණය පිලිබඳ එතරම් තැකීමක් නොවූ බැවින් පෞද්ගලික රෝහලකින් එන්නත් ලබාගැනීමට ඔවුන් තීරණය කලේය. නිවස ආසන්නයේ ඇති පෞද්ගලික රෝහලකින් විමසූ විට ප්‍රධාන එන්නත සඳහා රුපියල් අට දහසක් වැයවන බව ඔවුන් ප්‍රකාශ කල අතර ආසන්න වෙනත් දිස්ත්‍රික්කයක රෝහලකින් අදාල එන්නත සහ තවත් මුඛ එන්නතක් ලබා ගත්තේ රුපියල් තුන් දහස් ගනනකටය.


දෙක
උක්ත එන්නත තම දරුවාට ලබාදීමට බ්ලොග්කරුවා පැමිණියේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයටය. සියයකට අධික දරුවන් පිරිසක් විවිධ වයස් කාණ්ඩයන් යටතේ ඒන්නත් ලබාගැනීම සඳහා පැමිණ සිටියහ. දොස්තර මහතාත් පවුල් සෞඛ්‍ය නිලධාරිණියන්ද ඉතාමත් කාරුණිකව සහ කඩිසරව තම කාර්යය ඉටුකරන ලදී. එන්නත් ලබාගැනීම පැය දෙකක් වැනි කාලයකදී සිදුකල අතර අමතරව යෝගට් එකක්ද ලබාදුන් බව කිවයුතුය.

තුන
පළමු කතාවේ සඳහන් කල දරුවා [පිට පිට දින දෙකක්ම] ඇදවැටීම නිසා යටිතොල ප්‍රදේශයේ තරමක පැලීමක් ඇතිවිය. රුධිර වහනයද තරමක් සිදුවූ බැවින් පෞද්ගලික රෝහලක් වෙත ගෙනයාමට සිදුවිය.

"මේකට මැහුම් දාන්න ඕන.... හිරිවැටෙන්න බේතක් දෙන්නං"

බෙහෙත් විදීම සඳහා සිරිංජය අතට ගත්තා පමණි. ළමයා බිම පෙරළෙමින් හඬන්නට විය. හිරිවට්ටා කිසිවක් කලනොහැකි බැව් අවබෝධ කරගත් වෛද්‍යවරිය ඉන්පසු කලේ වෙනත් යෝජනාවකි.

"මේක සිහිනැති කරල කරන්න වෙන්නෙ. ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙට යන්න"

එයට දරුවාගේ මව අකමැතිය.

"මහන්නෙ නැතුව බැරිද?"

"බෑ බෑ මේක පැසවල *&%^**+_(+_(+_(+*&*^&*%^........"

ඉන්පසු රජයේ රෝහලට පැමිණි අතර රෝගීන් ඇතුල් කරගන්නා වෛද්‍යවරයාගෙන්ද විමසුවේ සැත්කම් කිරීම අත්‍යවශද යන කාරණයයි.

"ඔව් ඔව්. මේක මහන්න ඕන. ඩෙන්ටල් ඩොක්ටර්ට පෙන්නන්න ඕන දත් කැඩිලද බලන්න. එක්ස්රේ එකක් ගන්න ඕන තව ^%#$&%^()_)(+_.........."

ආදී වශයෙන් කරුණු කාරණා දහසකි. කෙසේ හෝ දරුවා රෝහලට ඇතුලත් කල අතර වාට්ටුව භාරව සිටියේද උක්ත වෛද්‍යවරයාය. සවස පහට පමණ ‍ලෙඩුන් බැලීම‍මට පැමිණියේ දරුවාගේ සීයාය. වෛද්‍යවරයාට ඔහු හමුවිය.

"....... අංකල් ඇයි?"

"දුවගෙ දරුව................................................. මොකද කරන්නෙ?"

"එහෙනං පොඩ්ඩක් ඉන්න....[දුරකථනයෙන් යමක් කථාකර]..... සර්ජන් අද නිවාඩුයි. එයා එනව අහවල් ප්‍රයිවට් හොස්පිටල් එකට. අංකල් දැං ළමයත් එක්ක ගිහිල්ල එයාට පෙන්නන්න"

"එතකොට ටිකට්එක?

"කමක් නෑ හෙමින් සැරේ යන්න"

අහවල් පෞද්ගලික රෝහලේ සිටි ශල්‍ය වෛද්‍යවරයා දුන් ආලේපය සිව්දිනක් පමණ පාවිච්චි කල පසු දරුවා සම්පූර්නයෙන් සුවය ලැබීය.


පසුගිය දිනෙක රාවය පුවත්පතෙහි අපූරු ලිපියක් කියවීමි. ඒ දකුණු අප්‍රිකානු කළු ජාතික වෛද්‍යවරියක් වූ ටැන්ඩෙකා මසිබුකෝ [Thandeka Mazibuko] පිලිබඳවය. පියා මියගිය දුගී පවුලකට අයත් වෙමින්ද, ආදරය කරන්නන් රහිතව ජීවත් වෙමින්ද, ලාබාල වියේදම බලහත්කාරී විවාහයකට ඇතුළු වෙමින්ද ඇගේ සිහිනය වූයේ වෛද්‍යවරියක් වීමය. ඇයගේ අපේක්ෂාව වන්නේ මිත්‍යාවන්ගෙන් වෙලීගොස් රෝගයන්ට ප්‍රතිකාර නොගන්නා ප්‍රදේශයේ වැසියන්ට ප්‍රතිකාර කිරීමයි.

මා සඳහන් කල පළමු සිද්ධීන් තුන අප රටේ සෞඛ්‍ය සේවයේ තත්වය විදහාපායි. එය හොඳ නරක මිශ්‍ර වූවකි. "සැමට සම සෞඛ්‍ය අයිතිවාසිකම්" යනු අතීතයේ සිට ක්‍රමයෙන් ශිෂ්ඨත්වය කරා ගමන් කරන මානවයා සාදාගත්තකි. වෙනත් මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා තම [හෝ තම මවුපියන්ගේ/අනුග්‍රාහකයන්ගේ] හැකියාව උපයෝගී කරගත් ක්‍රමය වෙනුවට අධ්‍යාපනය සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර සියල්ලන්ටම ලබාදීම ඉතාමත් යහපත් කාර්යකි. යුද්ධ කිරීමේදී හෝ සතුරෙකු අල්ලාගත් විටකදී පවා මානව අයිතිවාසිකම් ගැන සැලකියයුතු යයි කතා කරන සමයක පසුම්බියේ මුදල් තිබූ හෝ නොතිබුනද රෝගයකට ප්‍රතිකාර ලැබියහැකි ක්‍රමයක් වේනම් එය වඩාත් මානුෂික බව කිව යුතුය. එහෙත් "සේවය" පුද්ගලානුබද්ධ වූ විට තත්වය අයහපත්ය.

Monday, August 26, 2013

දෙමාපියන්ගෙ සෙක්ස් වලට බාධා කරන ඇම්ඩන් පැටව් (+18)

කසාද බැඳල ළමයි ඉන්න එවුන් දන්නව ඇතිනේ පොඩි එවුන් ඉන්නකොට "රොටියක් පුච්චගන්න" තියන අමාරුව. ලංකාවෙ බොහෝමයක් දරුවො ලොකුමහත් වෙනකල් ඉන්නෙ දෙමව්පියන් එක්ක එකම ඇ‍ඳේ. ඉතිං මහ එවුන්ට මොනවහරි කරගන්න ඕන උනාම හෙන අවුල. පොඩි එවුන් නින්දට යනකල් ඉන්න වෙනව නේ. සමහර එවුන් රෑ වෙනකල් නිදාගන්නෙත් නෑ. අනෙක දැං ඉන්නෙ කොලු තාත්තල සහ කෙලි ආච්චිල. මම දැක්ක මේ ගැන බ්ලොග්කරුවො කිහිප දෙනෙකුත් කියල තිබුන. අපි හැන්දෑවක අනුමත වෙන වෙලාවක අපේ ඩ්‍රයිවර් මහත්තයෙක් මේ ගැන කතා දෙකක් කිව්ව.

ඔන්න මේ කියන ඩ්‍රයිවර් මහත්තයයි එයාගෙ නෝනයි ඉඳල තියෙන්නෙ නෝනගෙ ගෙදර. හේතුව නෝනට දෙවනි දරුව ලැබීම. පොඩ්ඩ ඉපදිලා මාස කිහිපයක් ගිහිල්ලත් තිබුන. ඒත් හරි හැටි දෙන්නට අහවල් වැඩේ කරන්න ලැබිල නෑ. එයාලගෙ වැඩිමහල් දරුව කෙල්ලක්. වයස අවුරුදු හතරක් පහක් ඇතිලු. ළමයි දෙන්න එක්ක අම්ම ඉඳල තියෙන්නෙ එක කාමරේක. ඩ්‍රයිවර් වෙනම කාමරේක. ඉවසල ඉවසල බැරිම තැන දවසක් ඩ්‍රයිවර් ගිහිල්ල ළමයි නිදි ඇති කියල හිතල නෝනගෙ අතින් ඇදල තමුන්ගෙ කාමරේට එක්ක යන්නයි සූජානම. ඔන්න එකසැරේටම ලොකු කෙල්ල නැඟිටල මුගේ අත යටින් රිංගල දුවල ගිහින් තියනව ආච්චිගෙ, ඒ කියන්නෙ ඩ්‍රයිවර්ගෙ නැන්දම්මගෙ කාමරේට. නිකං නෙවේ මෙන්න මෙහෙම හඬ තලමින්,

"....ආ.......ච්.......චී....... මෙන්න තාත්ත ඇවිල්ල...... අම්ම එක්ක යන්න.... හදන.............වෝ........"

අපේ යාළුවගෙ රෙදි කලින්ම ගැලවුනා කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.

"මම පහුවදා පහට නැඟිටල නෝනට කියල ගෙදර ආව. නැන්දම්මලගෙ මූන බලන්න ඇහැක වෙච්ච දේට!"

6969696969696969696969696969696969696969696969696969696969

දෙවනි සිද්ධිය වෙලා තියෙන්නෙ උගේ යාළු ඩ්‍රයිවර් කෙනෙකුට. සීන්එක අරවගේම තමයි. ඔන්න එකසැරයක් දොරෙන් එබිල බලනකොට ලොකුදුව ඇහැරිලාලු. තව ටික වෙලාවක් ඉඳල ආයෙත් යනකොට ඒත් නිදි නෑ. තුන්වෙනි වතාවෙ දුව නිදි වගේ පෙනුන නිසා දනගාගෙන නෝන ලඟට ගියාලු. මෙන්න ඒ එක්කම පොඩි එකී නැඟිටල කියනවලු,


"අන්න අම්මේ තාත්ත මේ පැත්තට එනව හොර ගෙඩිය වගේ දනගාගෙන" කියල.

6969696969696969696969696969696969696969696969696969696969

අපේ සෑම් අයියගෙ ළමයි එකෙක්වත් සෑම් කියන දෙයක් අහන උදවිය නෙවේ. සෑම් නිතරම කියන්නෙ "මහත්තයෝ ළමයි කියන්නෙ අපි පූරුවෙ ආත්ම වල ණයකාරයො. අපි ණය අරගෙන මගහැරියට පස්සෙ උං ළමයි වෙලා උපදිනව" කියල. දවසක් සෑම් කියනව කලින්දා රෑ සිද්ධිය. මේ කතාවෙන් සෑම්ගෙ තවත් රහසක් හෙලිවුනා.

"වැඩක් නෑ මහත්තයෝ ඊයෙ රෑ දෙක විතර වෙනකල් ට්‍රයිකරා වැඩක් කරගන්න, කොහේද අපේ එවුන් එක්ක බෑ, උං පාඩං කරනව කියල නිදාගන්නෙත් නෑ, කරන පාඩමකුත් නෑ, එහෙට යනව මෙහෙට යනව අපේ කාමරේ දොර රෙද්ද ඈත් කරල බලනව,...... අන්තිමට මම නිදාගත්ත, දැං ඉතිං ඊලඟ පඩි දිනේ එනකල් ඉන්න වෙනව"

බැලින්නං සෑම්ට පර්මිෂන් ලැබෙන්නෙ පඩි දවසට විතරයි.