Tuesday, December 30, 2014

මගේ, අපේ සහ ඔවුන්ගේ දේශපාලනය.

රසිකොලෙ‍ාජි අඩවියේ අද පෝස්ටයෙන් කතා කර තිබුනේ මිනිසුන්ගේ දේශපාලන මතවාදයන් පිළිබඳවය. ලංකාවේ මිනිසුන්ගේ දේශපාලන මතවාදයන් (මතවාදයන්ට එහා ගිය ආත්මාර්ථයන් ගැබ්ව ඇති බැවින් මේවා 'මතවාද' ලෙස සැලකීමද සදොස් යැයි කිවහැකිය) සකස් වන ආකාර කිහිපයකි.

1.උප්පත්තියෙන්.
වයස දහඅට එලඹීමත් සමඟ ඡන්ද අයිතිය ලැබී, සාම්ප්‍රදායික ලෙස මව්පියන්ගේ දේශපාලන පක්ෂයට කතිරය ගසන්නන් මේ කුලකයට අයත්ය. තමුන් කැපුවත් අසුවල් පාට අයවලුන් යැයි කියාගන්නා බොහෝ දෙනා මෙසේ උප්පැන්න සහතිකයෙන්ම ඒ ඒ පක්ෂ වලට සහයෝගය දක්වන්නන්ය. තවත් අතකින් දීර්ඝ කාලීනව පක්ෂයක ක්‍රියාකාරී කටයුතු වලට සම්බන්ධවී තිබිම හේතුවෙන් ඔවුන් අත්පත් කරගත් වාසිදායක තත්වයන් හේතුවෙන් මෙවැන්නන්‍ සදාකාලිකව තම මුල් පක්ෂය සමඟ සිටී. පක්ෂයේ ප්‍රතිපත්ති හෝ තමන්ගේ පක්ෂය රට වෙනුවෙන් කරන සේවාවෙහි හොඳ නරක කිරා මැන බැලීමක් සිදුකිරීමට මොවුන්ට අවස්ථාවක් මෙන්ම උවමනාවක්ද නැත. මැතිවරණ කාලයන්හිදී ප්‍රතිවාදීන්‍ගේ ඔලු පැලීමට දායක වන්නන්ගෙන් බහුතරය මෙවන් අයවලුන්ය. රටක සිටින ජනගහනයෙන් සැලකියයුතු තරම් කොටසකට හිමිකම් කියන මොවුන් රටේ අනර්ථයට හේතුවන බැව් නොකියාම බැරිය.

2.ප්‍රතිපත්ති හෝ පෞද්ගලික ලාභ අපේක්ෂාව.
පළමුව සඳහන් කල කුලකයේ සමහර අයවලුන් යම් අවස්ථාවකදී සාම්ප්‍රදායික පක්ෂය ඉවත දමා අනෙක් පක්ෂයක් හා එක්වේ. මේ සඳහා විවිධ හේතු තිබිය හැකිය. විටෙක බලයේ සිටින පක්ෂයෙන් ලබන යම් ලාභ ප්‍රයෝජනයක් හේතු කොටගෙන කලගුණ සලකනු වස් පක්ෂය මාරුකිරීම මොවුන් අතින් සිදුවේ. තවත් විටෙක වෙනත් ආණුඩුවක්/පක්ෂයක් වෙනුවෙන් අවංකවම අැතිවන පැහැදීමක් හෝ කලකිරීමක් මීට හේතුවිය හැතිය. උදාහරණයක් ලෙස 'යුද්ධය අවසන් කිරීම' හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වූ එජාප, ජවිපෙ පාක්ෂිකයන් මා ඕනෑ තරම් දැක ඇත. රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ කලකිරීමෙන් එජාපය අත්හැරීම තවත් උදාහරණයනකි. මේ වර්ගයේ මිනිසුන් අතර අවංකවම යම් ප්‍රතිපත්තියක් සහිත මිනිසුන් සිටින අතර පළමු වර්ගයේ අවස්ථාවාදීන්ද සිටී.

3.නිදහස් මතධාරීන්
කිසිදු පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් තොරව යම් ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටින්නන් මෙම කුලකයට අයත් වේ. බොහෝවිට මොවුන්ට නිශ්චිත දේශපාලන මතයක් ඇති අතර ඒ ඒ අවස්ථාවන් වලදී තමන්ගේ මතවාදයන්ට ගැලපෙන පක්ෂ සමඟ කටයුතු කරයි. සාමාන්‍යයෙන් අඩු ප්‍රතිශතයක් වන මොවුන් පාවෙන ඡන්ද ලෙසද සැලකිය හැකිය. තවත් සමහර විට ලාභ අපේක්ෂාවලින් තොරව දෙවැනි කුලකයේ සිටින්නේ මෙවැන්නන්ය. උදාහරණයක් ලෙස යුද්ධය අවසන් කිරීම නිසා මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්ව සිටි පිරිස් 2009න් පසු ඇතිවූ තත්වයන් හමුවේ මේ වනවිට මෛත්‍රීපාල මහතා සමඟ එක්ව සිටිය හැකිය. සාපේක්ෂව මෙවන් මිනිසුන් රටෙහි වැඩි වීම යහපත් ප්‍රවනතාවයකි.

දේශපාලනිකව මිනිසුන් මෙලෙස වර්ග කිරීමට සිත්වූවේ පසුගිය ලිපි කිහිපයක/වෙනත් බ්ලොග් අඩවි වල අදහස් දැක්වීමේදී අපට කරන චෝදනාවකට පිළිතුරු සැපයීමේ අරමුණෙනි. නිදහසින් පසු ලංකාවේ දේශපාලනය ගමන් කරන්නේ කුමන දිශාවකටද යන්න අමුතුවෙන් පැහැදිලි කලයුතු නැත. 'එදාට වඩා අද නරක' යැයි බොහෝවිට සඳහන් වන තත්වයක් තුල කල්පනා ශක්තිය අැති මිනිසුන්ට කලයුත්තේ කුමක්දැයි කියාදීම අවශ්‍ය නැත. ටකරං කොලයට, කොන්ත්‍රාත්තුවට, රැකියාවට, වැටුපට.... අාදී වශයෙන් දේශපාලන මත දරන මිනිසුන් අතර අප සිටින්නේ ඔවුන්ට වඩා ඉදිරියෙනි. බ්ලොග් අවකාශයේ සිටින්නන් අතර අපට සමානයින් කොතෙකුත් හමුවේ. ඔවුන්ගේ දේශපාලන මතය සකස් වන්නේ 'නරකට එරෙහිව' බැවින්, දේශපාලනිකව ඔවුන්ගේ පක්ෂපාතීත්වය 'වැඩි නරකට එරෙහිව අඩු නරක' තෝරාගැනීමට සිදුවේ. මෙහිදී මුහුණ දියයුතු අනිවාර්ය සිදුවීම නම් දේශපාලන ලේබල් වලට ලක්වීමයි. ආණ්ඩුවේ සිටින්නන් 'නරක' නියෝජනය කරන විට බලය නැති විපක්ෂය 'හොඳ' න‍ියෝජනය කිරීම දේශපාලනයේ සාමාන්‍ය තත්වයකි. ඒ 'හොඳ' ම වෙනුවෙන් පෙනී සිටින නිදහස් මිනිසුන් වන අපටද විපක්ෂ ලේබල් වැදීම අනිවාර්ය තත්වයකි. වර්තමාන පාලන ක්‍රමය අනුව එක් පක්ෂයක් විසින් දීර්ඝ කාලයක් රට පාලනය කරන තත්වයකදී දීර්ඝ කාලීනව මිනිසුන් ලේබල්වීම සාමාන්‍ය තත්වයකි. සමහර විට හොඳ මිනිසුන් පක්ෂ තුලට තල්ලු වීමද මෙහිදී සිදුවිය හැකි අනර්ථයකි.

පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ලංකාවේ දේශපාලනය/දේශපාලන ක්‍රියාකාරිකයන් ගමන් කරන්නේ නම් යහපත්ය. එහෙත් මෙහි දේශපාලන ක්‍රමය සකස් වී අැත්තේම එසේ නොවන පරිද්දෙනි. සෑම ක්ෂේත්‍රයක්ම දේශපාලනයෙන් වසාගෙන ඇති අතර දේශපාලනයෙන් තොරව පෞද්ගලික වාසි ලබාගැනීම පහසු නැත. මෙවන් තත්වයන්හිදී ප්‍රතිපත්තිගරුක මිනිසුන් බිහිවීම අඩුවන අතර බිහිවන්නේ පළමු සහ දෙවැනි වර්ගවල (නො)මිනිසුන්ය.

Monday, December 29, 2014

අපි මෙහෙමයි තැපැල් ඡන්ද දාන්නේ.....

කලින් වතාවල් දෙකක ඉලෙක්ෂන් ඩියුටි ගිය හැටි ලිව්ව. ඉලෙක්ෂන් ඩියුටි සහ කරදර ජරමර අස්සේ ඉලෙක්ෂන් ඩියුටි කියන මාතෘකා වලින් දාල ඇති. ඊට අමතරව ඡන්දෙට ගිහිල්ල මුනගැහුන කෙනෙක් ගැන මෙතනත් ලිව්ව. මෙදා ඡන්දෙට මොන දීපංකරේක යන්න වෙයිද දන්නෙ නෑ. ඒ ගැන ලියන්න පුළුවන් ගිහිං ආවම. මේ ලියන්න යන්නෙ අපි දැනටමත් පාවිච්චි කරපු තැපැල් ඡන්දය ගැන.

තැපැල් ඡන්දය ගැන ඔහේල දැනටමත් දන්නව ඇති. ඒ රජයේ නිලධාරීන්ට දාන්න තියන ඡන්දයක් විදියට. ඊට අමතරව බොහෝ විට ඉස්සෙල්ලම අහන්න ලැබෙන ප්‍රතිපලයත් තැපැල් ඡන්ද ප්‍රතිපලයක්. තැපැල් ඡන්දෙ ගැන සම්පූර්ණ විස්තරේ මෙන්න.

තැපැල් ඡන්දයක් පැවැත්වීමේ අරමුණ තමයි මැතිවරණ රාජකාරී වලට සහභාගී වන රජයේ සේවකයන්ට තමන්ගෙ කැමැත්ත ප්‍රකාශ කිරීමේ අවස්ථාව සලසා දීම. සාමාන්‍යයෙන් මැතිවරණ රාජකාරි වලට යොදාගන්නෙ කෙලින්ම රාජ්‍ය නිලධාරීන් විදියට සැලකෙන අමාත්‍යාංශ දෙපාර්තමේන්තු යටතට ගැනෙන මධ්‍යම රජයට හෝ පළාත් සභා වලට අයත් උදවිය. සංස්ථා, මණ්ඩල, අර්ධ රාජ්‍ය සේවකයන් මේ වැඩ වලට යොදා ගන්නෙ නෑ. මැතිවරණය ප්‍රකාශ කලාට පසුව තැපැල් ඡන්ද සහ මැතිවරණ රාජකාරී වෙනුවෙන් ඉල්ලුම්පත් කැඳවනව. තෝරා ගන්නා අයට පුළුවන් ඩියුටි යන්න සහ තැපැල් ඡන්දෙ දාන්න. මෙතනදි තැපැල් ඡන්ද දායකයන් විදියට තෝරා ගැනෙන්නෙ ඩියුටි යන අය හෝ ඩියුටි දාන්න බලාපොරොත්තු වන අය විතරයි. හොඳ උදාහරණයක් තමයි මෙවර ඡන්ද ඩියුටි සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අනුබද්ධ සංවර්ධන නිලධාරීන් තෝරා නොගැනීම. ඒ නිසා එයාල බොහෝ දෙනෙකුගෙ තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රතික්ෂේප වුනා "මැතිවරණ රාජකාරී සඳහා යොදාගැනීමට බලාපොරොත්තුවක් නොමැත" කියන කාරණාව දක්වමින්. ඒ වගේම දැන් දිවිනැඟුම දෙපාර්තමේන්තුවට අරගෙන තියන, කලින් 'සමෘද්ධි සංවර්ධන නිලධාරීන්' නමින් ඉන්න අයත් ඡන්ද වැඩට ගත්තෙ නෑ.

තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම් කල නිලධාරීන්ගේ අයදුම්පත් සහතික කිරීම මාණ්ඩලික නිලධාරියෙකුට පැවරෙනව. ආයතන ප්‍රධානියා හෝ ප්‍රධානියා විසින් නම්කර යවන ලද නිලධාරියෙකුට මේ කාර්ය කරන්න පුළුවන්. නියමිත දිනයකට කලින් තැපැල් ඡන්ද අයදුම්පත් තමන්ගේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට භාරදෙන්න ඕන. අයදුම්පතේ විස්තර වල යම් දෝශ සහගත භාවයක් තිබුනොත් ඡන්දය ප්‍රතික්ෂේප වෙනව. කාලය තියනව නම් යලිත් අයදුම් කරන්න පුළුවන්. මෙවර මැතිවරණයේ පනස් දාහකට අධික අයදුම්පත් ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වෙලා තිබුන. එයාලට ඡන්ද මධ්‍යස්ථානයට ගිහිල්ල ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්. මේ සඳහා බොහෝවිට අවස්ථාව ලැබෙන්නෙ තමන්ගෙ නිවසට කිට්ටු මධ්‍යස්ථානයක රාජකාරී ලැබෙන 'නිලධාරිනියන්ට' පමණයි. 'නිලධාරීන්' රාජකාරී සඳහා දුර ප්‍රදේශයකට යොදවන නිසා ඔවුන්ට අවස්ථාව අහිමි වෙනව.

තැපැල් ඡන්දය සඳහා සාමාන්‍යයෙන් දින දෙකක් ලැබෙනව. ‍මෙවර 23 හා 24 දින යොදාගෙන තිබුනෙ. සමහර ප්‍රදේශ වල ආරක්ෂක අංශ වල අයට 26 දා ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාව සලසා තිබුන. මේ දිනවල ඡන්දය ප්‍රකාශ කරන්න අසමත් වන අයට තවත් දිනයකදි මැතිවරණ කාර්යාලයට ගිහිල්ල ඡන්දය දාන්න පුළුවන්. ඒක අවසන් අවස්ථාව. ඒ අවස්ථාවේදිත් ඡන්දය දාන්න බැරිවුනොත් සො‍රි තමයි.

නියමිත දිනයට ඡන්ද පත්‍රිකා අඩංගු කවර කාර්යාල වලට යැවෙනව. ලියාපදිංචි තැපෑලෙන් ලැබෙන මේ ඡන්ද එක් නිලධාරියෙකුට එක් කවරය බැගිනුයි ලැබෙන්නෙ. ලැබෙන ඡන්ද කවර ඡන්ද විමසීමේ දිනය දක්වා ආරක්ෂිත සේප්පුවක තැන්පත් කරනව. නියමිත දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කරනව. මේ අවස්ථාවට පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ නිරීක්ෂකයන් සහභාගී වෙනව. මැතිවරණ කාර්යාලයේ සිට පැමිණෙන නිලධාරියෙකුත් මෙතනට සහභාගී වෙනව. එක් එක් නිලධාරියා ඡන්ද සලකුණු කිරීමට පැමිණීමත් සමඟ ඔහුට අයත් ඡන්ද කවරය විවෘත කිරීම සිදුකරනව. ඡන්ද කවර ඉතා ආරක්ෂිතව සකස් කරන බව කියන්න ඕන. මුලින්ම කඩදාසි ලිපි කවරය විවෘත කලාම ඒ තුල අැති පොලිතීන් කවරය තුල "ඡන්ද පත්‍රිකාවත්", "ඡන්ද පත්‍රිකාව නැවත බහාලන පොලිතීන් කවරයත්", "තැපැල් කවරයත් ඡන්දය ප්‍රකාශ කිරීම හා සහතික කිරීම නිසි පරිදි සිදුවූ බවට අත්සන් කරන ලිපියත්", "ඡන්ද ලිපි කවරයට පිටතින් ඇලවියයුතු විශේෂිත ස්ටිකරයත්" අඩංගු වෙනව. අනන්‍යතාව තහවුරු කරගත් පසු සාමාන්‍ය ඡන්ද මධ්‍යස්ථානයකදි වගේම ආවරණය කල ස්ථානයක ඡන්දය සලකුණු කර නොපෙනෙන සේ නවා කවරය තුලට දැමීමට ඡන්ද දායකයාට පුළුවන්. තමන්ගේ ඡන්ද පත්‍රිකාව සීල් කරන අවස්ථාව දක්වා නිරීක්ෂණය කිරීමට ඡන්ද දායකයාට ඉඩ සැලසෙනව.

ඡන්දය අවසන් වීමෙන් පසු පළමු දිනයේ සලකුණු කල ඡන්ද පත්‍රිකා තැපැල් කාර්යාලය වෙත යැවෙනව. ඉන්පසු දෙවන දිනයේත් එසේම සිදුවනව. සලකුණු නොකර ඉතිරි වන ඡන්ද පත්‍රිකා ඡන්ද හිමියන්ගේ විස්තර පත්‍රිකාවක් සමඟ මැතිවරණ කාර්යාලයෙන් පැමිණෙන නිලධාරියා වෙත භාරදීම සිදුවනව.

තැපැල් ඡන්ද දැමීම සිදුවන්නෙ ඔහොමයි. තැපෑලට යොමුකරන ඡන්ද පත්‍රිකා මැතිවරණ කාර්යාලයේ ආරක්ෂිතව තියනව. ගණන් කරන මධ්‍යස්ථානයේදී මුලින්ම ගණන් කිරීමට යොදාගන්නෙ මේ තැපැල් ඡන්ද. තැපැල් ඡන්ද දැමීමේදී අක්‍රමිකතා සිදුවීමට දන්නා තරමින් ඉඩක් නැති බව කියන්න ඕන. තැපැල් ඡන්ද ගණන් කිරීම ටිකක් අසීරු කටයුත්තක් වෙන්නෙ ආරක්ෂිත කවර විවෘත කිරීමට තියන අපහසුව නිසා. නැත්තං පැයක් දෙකක් යද්දි ප්‍රතිපලය දෙන එක සිම්පල් වැඩක්.

මෙවර තැපැල් ඡන්දයේදි සමහර තැන්වල අවුල් කරගත් අවස්ථා තිබුන. විශේෂයෙන් මාතර අධ්‍යාපන කාර්යාලයක නිලධාරීන් පිරිසක් රස්තියාදු වූ අවස්ථාවක් අසන්නට ලැබුන. කලාප අධ්‍යාපන කාර්යාල දෙකකට එක් සහතික කිරීමේ නිලධාරායෙක් යොදා තිබූ නිසයි මෙවන් ප්‍රමාදයක් අැතිව තිබුනේ. මේවා අක්‍රමිකතා නොවන පරිපාලන ගැටළු පමණක් බව කියන්න ඕන.

ඡන්දය ප්‍රකාශ කිරීම අදට වඩා දියුණු ඉලෙක්ට්‍රොනික් ක්‍රමයක් යොදාගැනීමට අදහස් කරන කාලයක එය අත්හදා බැලීමට තැපැල් ඡන්දය යොදාගන්න පුළුවන් කියන එකත් අවසානයට කියන්න ඕන.

Friday, December 26, 2014

මේ කොයි යන්නේ..... වලටයි යන්නේ......

පසුගිය සතියේ සිදුවූ විශේෂී සිදුවීම් දෙකකි. කණගාටුදායක සිදුවීම් ලෙස සැලකිය හැකි මේ සිදුවීම් රටේ වර්තමාන තත්වය තේරුම් ගැනීමට [එසේ කල නොහැකි අය තවත් සිටින බව පෙනේ] තවත් වටයකින් ඌණපූර්ණ සපයයි.

පළමුවැන්න වඳුරඹ පොලිස් ස්ථානාධිපති කීර්තිසිංහ මහතාගේ ඉල්ලා අස්වීමයි. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැස්වීම් වේදිකාවට ගිනිතැබූ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවේ සිටියදී නියෝජ්‍ය අමාත්‍ය මුතුහෙට්ටිගම විසින් බලහත්කාරයෙන් රැගෙන යාමෙන් පසු මෙම ඉල්ලා අස්වීම සිදුවිය. ස්වාධීන පොලිස් සේවය හීනයක් වූ රටක මෙවන් සිදුවීම් දුලබ නොවන අතර මෙහි නීති සැකසී අැත්තේ කීර්තිසිංහලා යටගොස් මුතුහෙට්ටිගමලා මතුවන පරිදිය. ලස්සන සිද්ධිය එය නොවේ. ස්ථානාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පොලිස්පතිවරයා පිලිගෙන නොමැති අතර ඒ වෙනුවට සිදුව ඇත්තේ සේවය හැරගිය අයෙකු ලෙස සලකා කටයුතු කිරීමයි. නීතියේ හැටියට නොදන්වා සේවය හැරයාමට නියමිත වූ වසරක දඬුවමටද ඔහුව ලක්කල හැකි බැව් පොලිස් මාධ්‍ය ගිරවා උජාරුවෙන් පැවසුවේ එයයි.

සාමාන්‍යයෙන් යටත් නිලධාරියෙකු හට රාජකාරි කරගෙන යාමට අවශ්‍ය පසුබිම සැකසීම ඉහල නිලධාරියෙකුගේ කාර්යභාරයයි. ඔහුට එය සිදුකල නොහැකි නම් කලයුත්තේ වහාම තනතුරෙන් ඉල්ලා අස්වීමයි. ඒ අනුව සැබැවින්ම මෙහිදී ඉල්ලා අස්විය යුත්තේ පොලිස්පතිවරයා මිස අනෙකෙකු නොවේ. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මෙවර ඔහු බලය ඉල්ලන්නේ "යුද්ධය අවසන් කර, සංවර්ධනය කර අැති රටේ" නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමයි. මේ අනුව රටේ නීතිය බිඳවැටී ඇතැයි යන්න ඔහු පිලිගෙන තිබේ. එසේ නම් අපට ඇසීමට සිදුවන්නේ නීතිය බිඳවැටීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්නයි.



ගිය සතියේ සිදුවූ දෙවැනි සිදුවීම මෛත්‍රී-රනිල් අත්සන් කලා යයි කියන ගිවිසුමක් සම්බන්ධවය. ගිවිසුම ව්‍යාජ එකකැයිද ඊට එරෙහිව නීතිය ඉදිරියට යාමට සූදානම් යයිද විත්ති පාර්ශවය ප්‍රකාශ කර සිටියද කුමන්ත්‍රණයක්ම ඉල්ලා සිටින විමල් වීරවංශලාට, ගුණදාස අමරසේකරලාට, වසන්ත බණ්ඩාරලාට එය ප්‍රමාණවත් වූයේ නැත. ඔවුන් ඉල්ලන්නේම ගිවිසුමකි. අවසානයේ සිරිකොත ඉදිරියට පැමිණි විමල්ගේ හෙන්චයියන් එහි සිටියවුන් සමඟ ගැටිනි. මෙවන් අවස්ථ‍ාවක් මතුවූ කල පාලනය කල නොහැකි නොදැමුනු එක් අයෙකු සිටීම ගින්න ඇවිලීමට ප්‍රමාණවත්ය. අනෙක් අතට ආණ්ඩුව පැත්තෙන්, ගැටුම් වැලැක්වීමේ අරමුණෙන් උද්ඝෝෂණ පාලනය කරන්නේ තමන්ට අවාසිදායක නම් පමණි. මුස්ලිම් අන්තවාදීන් සිටින දර්ගා නගරය මැදින් අන්තවාදී සිංහලයන් ගමන් කිරීම පාලනය නොකිරීම මෙවන් අවස්ථාවකට එක් උදාහරණයකි. ගිවිසුමක් තිබුනේ නම් විත්තිය පැත්තෙන් එසේ නොවේ යයි කියන්නේ නම් කලයුත්තේ සිරිකොතට ගල් ගැසීම නොව ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා රටට හෙලි කිරීමයි. සත්‍ය ලෙසම පරීක්ෂණයක් කරන්නේ නම් එවැන්නකට ශ්‍රී ලංකා පොලීසිය තරම් දක්ෂයන් වෙන කොතැනකවත් නැත. එහෙත් සිදුවන්නේ එය නොවේ.

මෙම සිදුවීම අරභයා මා දකින වඩාත් අයහපත් තත්වය එය නොවේ. යුද්ධය අවසන් වී වසර පහක් ඉක්ම ගියද ආණ්ඩුව පැත්තෙන් වපුරන ජාතිවාදය තවමත් නිමවී නැත. ඔවුන්ට අනුව දෙමළ පක්ෂ සමඟ ගණුදෙනු කරන්නන් සියල්ලම කොටියන්ය. ගණුදෙනු කල හැක්කේ බහුතර දෙමළුන් වෙතින් ප්‍රතික්ෂේපිත කරුණා පිල්ලෙයාන් හා ඩග්ලස් දේවානන්ද සමඟ පමණි. සිරගතව සිටියයුතු කේ.පී.ද අවුලක් නැත. මොවුන් මේ සිදුකරන්නේ ඉතිහාසයේ කිහිප වරක් සිදුකල වැරදිය. මේ වනවිට දෙමළ ජනයා ශ්‍රී ලංකාවේ වැසියන් නොවන තැනට පත්කර හමාරය. කොටි ලේබල් ගසා ඔවුන් කොටින්ටම පවරා ඇත. පාලකයන් සිතා සිටින්නේ සිංහල ජනතාවගේ ඡන්ද මතින් තම තාවකාලික දේශපාලන පැවැත්ම තහවුරු කරගැනීමය. එය කොතරම් කාලයකට වලංගු දැයි අනාගතය විසින් තීරණය කරනු ඇත.

[වරෙන්තු ලබා සිටි නිශාන්ත මුතුහෙට්ටිගම කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොලේ ප්‍රභූ පර්යන්තය ඔස්සේ රටින් පිටවී ඇති බැව් ආරංචිය]



Saturday, December 20, 2014

ඇමෙරිකාවට ගිය එස්කිමෝවරු සහ අපේ නායකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන.

අතීතයේ දිනෙක එස්කිමෝවරයෙකුට ඇමෙරිකාවට යාමට හැකිවිය. ඉන් පෙර කිසිවෙකු ඇමෙරිකාවේ සංචාරය කර තිබුනේ නැත. සංචාරයෙන් පසු මව් රටට පැමිණි සංචාරකයා ඇමෙරිකාවේ අැති යාන වාහන වල ගමන් කල අයුරු, නොමිදුන ගංගා වල මාළු බෑ අයුරු, ආදී නානාප්‍රකාර විස්තර මිතුරන් හා පැවසීය. එහෙත් කිසිවෙකු ඔහුගේ කතා පිලිගත්තේ නැත. යාන වාහන හෝ නොමිදුන ගංගාවල් ඔවුන්ට සුරංගනා කතාවන් පමණක් විය. අවසානයේ සංචාරකයාට සිදුවූයේ ටොම් පචයා වැනි නම් වලින් පිදුම් ලැබීමටය. ඉන් ටික කලකට පසු යලි ඇමෙරිකාවට යන වෙනත් එස්කිමෝවරයෙකු දකින්නේ කලින් 'ටොම් පචයා' කියූ සියල්ල සත්‍ය බවයි. එහෙත් කපටියෙකු වූ ඔහු තෝරාගන්නේ සත්‍ය ප්‍රකාශ කර පචවීම නොව එස්කිමෝවරුන්ට සමීප බොරු තොගයක් කියා ඔවුන් රැවටීමයි.

අපට මේ කතාව සිහිවන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන විවිධ පුද්ගලයන් කරන විචාර දුටු විටය. මෛත්‍රීගේ පමණක් නොව විපක්ෂය පැත්තෙන් පැමිණෙන සියලු ප්‍රතිපත්ති ප්‍රකාශනයන් 'සුරංගනා කතා' ලෙස සැලකීමට බොහෝදෙනා පුරුදුව සිටිති. එක පැත්තකින් එහි වරදක් ඇත්තේද නැත. විපක්ෂයේ සිටියදී ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන වලින්, බලය ලැබුන පසු සීයට පහක්වත් ඉටු නොකරන තත්වයකදී මේවා හැඳින්වීමට 'සුරංගන‍ා කතා' යන්න යොදා ගැනීම ගැටළුවක් නැත.

මේ ක්‍රියාවලියේ නරකම පැත්ත එය නොවේ. බොහොමයක් ආණ්ඩු/විපක්ෂ කණ්ඩායම් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන වලින් අඩුම තරමින් සීයට හැත්තෑ පහක්වත් කල හැකි සරළ දේවල්ය. රාජ්‍ය සේවකයන්ට රුපියල් දහ දාහක වැටුප් වැඩිවීමක් දියහැකි යයි ඔවුන්වත් විශ්වාස කරන්නේ නැත. රටේ සිදුවන මහා පරිමාණ දූෂණ වංචා ප්‍රමාණය සීයට පනහක් හෝ පාලනය කලහැකි නම් මේවා මහලොකු දේවල් නොවේ. සිදුව ඇත්තේ එස්කිමෝවරයාගේ කතාවේ අැබැද්දියයි.

මෛත්‍රීපාල මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයද සුපුරුදු ලෙස ඉදිරිපත් කල ආකර්ශනීය එකක් බැව් කිවයුතුය. මහින්ද මහතාද එන සතියේ තම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇත. එයද ලස්සන පොරොන්දු ගොඩකින් පුරවා දෙනු නිසැකය. මෛත්‍රීපාල මහතා මෙතරම් විස්තරාත්මක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් නොකලේ නම් මා පෞද්ගලිකව කැමතිය. මෛත්‍රීපාල මහතා ජයග්‍රහණය කලහොත් ඔහුගෙන් ම‍ා බලාපොරොත්තු වන්නේ විධායක ක්‍රමය අහෝසි කිරීම හෝ යම් පාලනයකට නතු කිරීම හා රටේ නීතිය සහ පාලනය යම් සුබවාදී දිශාවකට යොමු කිරීමත් පමණක්ය.
මෛත්‍රී මහතාණනි ලොකු දේවල් අවශ්‍ය නැත. දැනට මේ ඩිංග ඇතිය!

Thursday, December 18, 2014

බර්ත්ඩේ ක‍ාඩ්, අරක්කු, සිගරට් සමඟ පොදුජන මෙව්ව එක. (වැඩිහිටියන්ට වඩාත් සුදුසුය)

මම ටවුම පැත්තට ආවෙ පොඩි වැඩක් කරන්න හිතාගෙන. ඒ එද්දි මිත්‍රයෙක් මුනගැහුන. ආගිය කතා වලින් පස්සෙ මගේ කාරණාව ඔහුට කිව්ව.

"මගේ බර්ත්ඩේ එක අනිද්දනෙ.... මම ආවෙ මට බර්ත්ඩේ කාඩ් එකක් අරගෙන තැපෑලට දාල යන්න.... අනිද්දට ලැබෙන්න"

"හහ් හහ් හහ් හහ්........" උෟට හිනාව නතර කරගන්න බෑ.

"කොහේද මචං හොඳ කාඩ් තියෙන්නෙ?" මම ඇහුව. ඒකා ආයෙ හිනාවෙනව.

"වරෙංකො යන්න" මම මෑන්ගෙ අතින් ඇදගෙන කාඩ් එකක් ගන්න යනව.... දැං නං උගේ මූන වෙනස්.

"ඈ! උඹ සිරාවටමද කිව්වෙ මේ කාඩ් කතාව?"

"නැතුව නැතුව" ඌ මගේ දිහා බැලුවෙ හරියට අමුතු සතෙක් දිහා බලන්න වගේ.

"උඹේ බර්ත්ඩේ එකට උඹම කාඩ් අරගෙන උඹටම පේන්න එවාගන්න උඹට පිස්සුද?" අන්තිමට යාළුව ඇහුව.

**************************************************************

එදා හවස කට්ටිය සෙට්වුනා. අපි පස්දෙනෙක්ද කොහෙද හිටිය. එක එකා තියන විදියට සල්ලි දාල සූදානං උනේ බෝතලයක් දෙකක් අනුමත වෙන්න. සල්ලි එකතු කරගෙන අවසානයේ උදේ යාළුවයි මමයි මගේ මොටෝ බයිසිකලෙන් අල්ලපු ටවුමට ආව බෝතල් ගන්න. ඒ අතරෙ මම පොඩි යෝජනාවක් කලා.

"එකහමාරක් ගන්නත් සල්ලි මදිනෙ බං.... අපි එකකුයි කාලකුයි ගමු.... අරගෙන මෙහේ කොහේ හරි ඉඳගෙන කාල ගහලම යං...."

"ඒ මොකෝ?"

"ඇයි බං නැත්තං එකකින් මොකක් කරන්නද පස් දෙනෙක්.... අපි කාලක් ගහල බෝතලේට සෙට්වුනානං අපිට මදැයි!"

"යකෝ කැරි වැඩ කරන්නෙපා.... ඇති වුනත් මදිවුනත් පුළුවන් තරමක් අරගෙන යමං.... මොකද්ද උඹට අද වෙලා තියෙන්නෙ?"

"ඇයි බං අපි කඩෙත් අැවිල්ල....."

"යකෝ කඩේ ආව කියල එහෙම කරන්න හොඳද? මට නං උඹ ගැන ලැජ්ජයි බං"

"හරි හරි එහෙනං එකයි කාලක් අරං වරෙං... මම එහා පැත්තෙං සෝඩ එකක් ගේන්නං...."

**************************************************************

ඔන්න කට්ටිය සෙට්වුනා. පළමු වීදුරුව ගත්තට පස්සෙයි කට්ටියට මතක් උනේ!

"කෝ සිගරට්?" "සිගරැට් එකක් නැද්ද බං?" "ඒයි කඩේට ගිහිල්ල සිගරට් දෙක තුනක් ගෙනෙල්ල බං...."

මේ වෙලාවෙ මම නැඟිටල සාක්කුවට අත දැම්ම.

"මොකද කියන්නෙ? කාටද සිගරට් ඕන? ඔන්න බලපල්ල මම නැතිවුනානං උඹලට අද සිගරට් නෑ!" මම කිව්ව. ඒත් මගේ යාළුවට මගේ කතාව ඇල්ලුවෙ නෑ.

"උඹනෙ කඩේට ගියේ..... සිගරට් ගන්න එක උඹේ වැඩක් තමයි.... සල්ලි තිබුනෙත් උඹේ අතේනෙ.... ඉතිං අපි අමුතුවෙං උඹට පිංදෙන්න ඕන කියල උඹ හිතනවද?"

**************************************************************

බෝතලේ බීල තවත් කොටයකුත් ගෙනල්ල බීල ඉවර වෙද්දි හොඳ ගනං.... ඒ ගමන කට්ටිය දේශපාලනේ කතා කරන්න ගත්ත. මම අර මාත් එක්ක උදේ ඉඳල හිටපු යාළුවගෙන් ප්‍රශ්නයක් ඇහැව්ව.

"උඹ කාටද ඡන්දෙ දෙන්නෙ?"

"මහින්ද මහත්තයට!"

"ඇයි?"

"මහින්ද මහත්තය යුද්දෙ අවසන් කලා.... බඩුමිල අඩුකලා.... පාරවල් හැදුව.... රස්සා දුන්න.... බයික් දුන්න...."

**************************************************************

"උඹට තනියම යන්න පුළුවන්ද? නැත්තං බයික් එක දාල පලයං..." මම එන්න හදනකොට යාළුව කිව්ව.

"අවුලක් නෑ යන්න පුළුවන්...."

මම පාරට එද්දි මෑන් ගේට්ටුව ලඟට ඇවිල්ල 'නරක යාළුව' යන හැටි බලාගෙන හිටිය. කොමිස් ගහගෙන හදපු පාර දිගේ එන මට එතුමාගෙ උපන්දිනේට සුබපතල ගහපු කටවුට් එකකුත්, බයික් දුන්නට ස්තුති කරල ගහපු පෝස්ටරයකුත් පේනව.

ඇයි යකෝ මුං අපිට විතරක් පිස්සු කියන්නෙ? හොරු කියන්නෙ? නිකං දෙන්න පුළුවන් පින් ටිකක්වත් ‍නොදෙන්නෙ?

Wednesday, December 10, 2014

නෝටි මර්වින් සහ චෝයි සෝමරත්න

මර්වින් සිල්වා මෛත්‍රී පිලට පැමිණේය යන්න මේ මොහොත වනවිටද කටකතාවකි නැතිනම් ගොසිප් එකකි. මේ කාලයේ ගොසිප් බොහොමයක් යම් කාලයක් දක්වා පමණක් ගොසිප් වන අතර ඉන්පසු හැබෑව බවට පත්වේ. පනිනවා යයි කියූ සෑම එකෙකුම පනින බැව් ගොසිප් වලින් තහවුරු කල හෙයින් මර්වින්ද තමා පිළිබඳ ආරංචිය ගොසිප් එකකින් එහා ගෙනයාමට හොඳටම ඉඩ ඇත.

කෙසේ වුවත් මර්වින් සිල්වාගේ පැනීම අනෙකුත් පැනීම් වලට වැඩි කතාබහට ලක්වේ. බොහෝ දෙනෙකු සිටින්නේ මර්වින් සිල්වා, සරණ ගුණවර්ධන, රත්තරං, දුමින්ද සිල්වා, මහින්දානන්ද වැනි මැති ඇමතිවරුන් මෛත්‍රීගේ සන්ධානයට පැමැණියහොත් ඔවුන් ප්‍රතික්ෂේප කලයුතුය යන මතයේය. "මර්වින් සිල්වා මෛත්‍රී පිළට එන්නේ නම් ඔහු භාර ගැනීමට විරෝධය දැක්විය යුතුය. නිල වශයෙන් ඔහුගේ පැමිණීම භාර නොගත යුතුය. මේ සදහා මතයක් ගොඩ නැංවීම වැදගත්ය. එකම නරක පුදගගයා මර්වින් නොවුනද පසුගිය කාලයේ සිදුවූ රාජ්‍ය තන්ත්‍රෙය් පරිහානිය ඔහුගෙන් සංකේතමත් වේ. ඒ නිසා ඔහුගේ පැමිණීමට විරුද්ධ වීම සංකේතාත්මක වශයෙන් වැදගත්ය" මේ w3 ලංකා අඩවියෙන් උපුටාගත් නිර්මාල් රංජිත් දේවසිරිගේ ප්‍රකාශයකි.

සෝමරත්න දිසානායක මහින්ද රාජපක්ෂ රජයෙන් වරප්‍රසාද ලබමින් සිට ඊයේ දිනයේ මෛත්‍රී සන්ධානය වෙත පැමිණියෙකි. ඔහු කලාව තුල රඟදැක්වූ භූමිකාව මර්වින්ලා රත්තරංලා මහින්දානන්දලා දේශපාලනයේ රඟදැක්වූ භූමිකාවට සමානය. ‍එහෙත් සෝමරත්න බාලසූරියගේ පැමිණීම ගැන නොමැති අවුලක් මර්වින්ගේ පැමිණීම පිළිබඳ මෛත්‍රී පාක්ෂිකයන් තුල ඇති බැව් ෆේස්බුක්-බ්ලොග් සංවාද තුලින් පෙනේ.

මේ වනවිට ජනාධිපතිවරණ සටන මහින්ද සහ මෛත්‍රී අතර පවතින ජනතා නියෝජිතයන් බිලීබෑමක් බවට පත්ව ඇත. මෙය වැඩකට ඇති දෙයක් නොවුවද පවතින උණුසුම් තත්වය හමුවේ එකෙක් හෝ බිලීබාගැනීම මානසිකව ජයග්‍රහණයකි. මහින්ද පාර්ශවයට යන්නන් ගැන බොහෝවිට සිතිය හැක්කේ මුදල් හෝ වරදාන අපේක්ෂාවෙන් ඔවුන්ගේ පිල් මාරුව සිදුවන බවය. විපක්ෂයට යන්නන් ගමන් කරන්නේ යම් අවදානමක් දරමින් බැවින් කිසිවෙකුගේ හෝ පැමිණීම වැලැක්විය යුතු නොවේය යන්න මගේ මතයයි. එය හුදෙක් මහින්දගේ ඔඩොක්කුවෙන් මෛත්‍රීගේ ඔඩොක්කුවට පැනීමක් ලෙස නොදැකිය යුතුය. මන්ද යත් මහින්ද සෘජුවම 'කළු' නියෝජනය කරන විට, මෛත්‍රී වටා මර්වින්ලාට අමතරව යම් නිර් දේශපාලනික 'සුදු' පිරිසක් සිටින බැවිනි.

මර්වින්ලා සෝමරත්නලා රාජිතලා සියල්ලෝම අඩු වැඩි වශයෙන් නරක ඇත්තවුන්ය. මහින්ද පාලනය අවුරුදු දොලහක් පවත්වාගෙන යාමට සෘජු දායකත්වය සැපයූවන්ය. එහිදී තනි තනි වශයෙන් පුද්ගල ප්‍රතිරූප පිළිබඳ කතා කිරීම නිෂ්ඵලය. ඔවුන් පිළිබඳව දැකිය යුත්තේ යහපත් අරමුණ වෙනුවෙන් පැමිණෙන හොඳ හෝ නරක මිනිසුන් ලෙසිනි. ඔවුන්ගේ හැසිරීම පාලනයට නතුකර ගැනීම නොකල හැක්කක් නොවේ. මර්වින්ලාගේ පැමිණීම ප්‍රතික්ෂේප නොකල යුත්තේ එබැවිනි. මර්වින්ලාගේත් සෝමරත්නලා-රාජිතලාගේත් වෙනස එකෙකු හොරෙන් කුණුමස් කනවිට අනෙකා බෙල්ලේ එල්ලාගෙන කුණුමස් කෑම වැන්නක් පමණි.

Tuesday, December 9, 2014

සෙල්ලං ඉස්කෝලෙ

"ඒයි..... මෙහාට එන්නකො පොඩ්ඩක්" විවේකී සන්ධ්‍යාවේ පුවත්පත කියවමින් සිටි මාගේ දැහැන බිඳී ගියේ බිරිඳගේ හඬිනි. මා නිහඬව කාර්ය කරගෙන ගියෙමි. එක්කෝ දර කොටයක් පැලීමට වියයුතුය. නැතිනම් පොල් ගෙඩියක් ලෙලි ගැසීමට විය හැකිය. එසේත් නැතිනම් අඩුම තරමින් කඩේ යාමක් අත ලඟ බව ඉවෙන් මෙන් දැනෙන්නට විය.

"එන්නකො අනේ වැඩක් පෙන්නන්න" ඕ දෙවන වතාවටද කතා කලාය. එකත් එකටම රූපවාහිනියේ යන මල ඉලව්වක් පෙන්වීමට වියයුතුය. කෙසේ වුවත් ඇයට අවනත නොවී සිටිය නොහැකිය. මෙතෙක් නොලැබුන, හැන්දෑවට ලැබෙන තේ කෝප්පය නොලැබීම ස්ථිර විය හැකිය.

"ඇයි?"

"බලන්නකො අර පුතාල කරන වැඩේ" එවර මගේද කුහුල අවදි විය. ඔහු මොකක් හෝ පැහිච්චකමක් කරනවා වියයුතුය.

"එන්න මේ පැත්තට" මා ඇය පිටුපසින් වැටුනෙමි. ගෙදර පිටුපස ඇති මඩුවේ පුතා ඔහුගේ යහළුවන් සමඟ කුමක් හෝ සෙල්ලමකි. ඔවුන් දෙපැත්තට බෙදී ඇත්තේ පන්ති කාමරයක අයුරිනි. මට ඇතිවූයේ මහත් සතුටකි.

"ආ..... පුතාල සෙල්ලං ඉස්කෝලයක් දාල නේද?"

"ඔව් ඔව්.... ඒ වගේ තමයි.... පන්තියක්......ද පන්ති දෙකක් නේද? මේ වයසට.... සෙල්ලමට උනත් ඉස්කෝලයක් දාන එක කොච්චර හොඳද!"

"හ්ම්.... අර ඉන්නෙ ටීචර්ල දෙන්නත්.... අපේ එක්කෙනත් ටීච කෙනෙක් උනා එහෙනං...."

"හැබැයි කෑගැහිල්ල නං වැඩියි වගේ...."

"කමක් නෑ ඉතිං ළමයිනේ...."

"ඒකනෙ, බලන්න ඉස්කෝලෙ වත් යන්‍නැති ළමයි වෙලා ලස්සනට පන්ති‍ හදාගෙන ඉන්න හැටි" ඇයගේ කතාව අවසන් කිරීමට නොලැබුනු අතර එක්වරම පන්තිය ගාලගෝට්ටියක් විය. ඒ සමඟම කිහිප දෙනෙකු නැඟිට අත් දිගු කරමින් මොනවාදෝ කියන්නට විය. අවුරුදු තුනේ හතරේ ළමුන්ගේ පාවිච්චියට සැර වැඩි වචන කිහිපයක්ද ඒ අතර විය. ගැටුමක් ආසන්න බැවින් මා තවත් ටිකක් ආසන්නයට පැමිණියෙමි. එහෙත් ගැටුමක් ඇති නොවූ අතර ගාලගෝට්ටිය පමණක් ඉතිරි විය.

"පුතාල සෙල්ලං ඉස්කෝලෙ දාපු එක නං හොඳයි... ඒත් රණ්ඩු වෙන්නෙ නැතිව සෙල්ලං කලා නං තමයි හොඳ!"

"නෑ අංකල් මේ...."

"ටීචර් උනාම දැනගන්න එපාය ළමයි ටික සමඟියෙන් තියාගන්න" බිරිඳ පුත්‍රයාගේ හිස අතගාමින් පවසයි.

"නෑ අම්මේ මේ ඉත්තෝලෙ...."

"හරි හරි.... ඉස්කෝලෙත් ඔහොම තමයි ඒත් ඉතිං ඔච්චරම සද්ද කරන්න ඕනද?"

"අයියෝ ඇන්ති.... මේක ඉත්තෝලයක් නෙවේ...." අල්ලපු ගෙදර චමෝද්ගේ හඬින් අපි මවිතයට පත්වීමු.

"එතකොට මේ ඉස්කෝලයක් නෙවේද?..... මේ පන්ති කාමර නෙවේද?....."

"නෑ නෑ අංකල්.... අපි මේ සෙල්ලමත ජනාදිපතිවලනෙ කලා...."

"ඈ! මොකද්ද කිව්වෙ? කොහොමද ඒ සෙල්ලම කරන්නෙ?"

"මේමයි තාත්තෙ.... ඔන්න මම තමයි මයිත්තී.... මෙයා මයින්ද.... මේ දෙන්න මගේ පැත්තත ආව.... අල දෙන්න ඒ පැත්තත ගියා.... එතකොත මේ පැත්තෙ කත්තිය කෑගානව හොලා හොලා කියල... අල පැත්තෙ කත්තිය කෑගානව එන්දීඕ තල්ලි අලං කියල.... එහෙම තමයි මේ තෙල්ලම කලන්නෙ"

"හා ඇති ඇති ඔය සෙල්ලං කලා.... යන්න කටිටියම ගෙවල් වල.... පුතත් යං දැං ඇඟ හෝදන්න වෙලාව හරි....."

"එහෙනං ඔයාල හෙත එන්න.... අනිත් කත්තිය හෙත මාලුවෙමු"

"දැක්ක නේ ඔයා රෑ තිස්සෙම විවාද බලනව..... ඒව දැකල පුතත් නරක් වෙලා....."

Monday, December 8, 2014

ඉර දෙයියන්ට!











ඔහෙත් හරි බඩුව
ලොක්කන්ටමයි
පෙන්නන්නෙ
හැමවෙලේ ඔලුව!
වරු දෙකයි එන්නෙ
යන්තං බලන්න අපිව.

යුරෝපෙ ඔලුව
ටිකක් මිදුනාවෙ!
එහේ කාටවත්
පාඩුවක් නෑනෙ
ඔහේ නැති වෙලේ
බලන්න එපාය
මෙහේ ඇති ර‍ඟේ!

පෝස්ටර් ගහනවා
කොඩිවැල් අදිනවා
ප්‍රාඩෝ එනවා
වෙඩිතියල යනවා,
සුදුවෑන් එනවා
උස්සගෙන යනවා.

හරියටම මාසයක්
බැරිද මෙහෙ එන්න
රෑ දවල් එක දිගට?
අපිට නං ඕනෙ නෑ
මේ මාසෙ රෑ වෙන්න!

Friday, December 5, 2014

මෛත්‍රී අවුල {Break down coz MY 3}

මේ යන විදියට ගියොත් නුදුරු අනාගතයේ සිදුවිය හැකි පොඩි සිදුවීම් ටිකක් තමයි මේ.

1.එදින පෝදා ශීල සමාදාන වැඩසටහනට සහභාගී වූ උපාසක උපාසිකාවන් අශ්ඨාංග ශීලය සමාදන් වීමෙන් පසු භාවනා වැඩසටහන සඳහා එරමිණිය ගොතාගෙන සිටී. භාවනා වැඩසටහනට ස්වාමීන් වහන්සේ වඩිති.

"පින්වත්නි අපි පළමුවෙන්ම මෙත් භාවනාව වඩමු" සිල් ඇත්තන් අතර කසු කුසුවකි.

"අවසරයි, ඒ මොන භාවනාවක්ද අපේ හාමුදුරු‍වනේ?" උපාසක මහතෙකු අසයි.

"මෙත් භාවනාව කියන්නෙ මෛත්‍රී භාවනාවට උපාසක මහත්තය!"

"ඒත් අපේ හාමුදුරුවනේ මෙච්චර කල් අපි"

"උපාසක මහත්තය! අපි මක්කටෙයි වෙන බාසාවකිං කතා කරන්නෙ.... මිම්පස්සෙ මෙත් භාවනාව කියල පාවිච්චි කරමු, කොහොම කිව්වත් මොකෝ බාවනාව කෙරෙනව නං!"
------------------------------------------------------------------------
2.ඉංග්‍රීසි උගන්වන ගුරුතුමියගේ එදින පාඩම වූයේ pronouns ය.

"ළමයි අයි කියන්නෙ මම, මී කියන්නෙ මට, මයින් කියන්නෙ"

"අැයි ටීච මයි කියනෙක අමතක වුනාද?"

"නෑ නෑ ඒක ඕන නෑ. මේ ටික ඉගනගන්නවකො, මේ ළමයි නං හරි පණ්ඩිතයි!"
------------------------------------------------------------------------
3.රාත්‍රී දෙකට පමණ පන්සල් පුස්තකාලයේ බණ පොත් පීරමින් සිටින්නේ සාමනේර නමකි.... උන් වහන්සේ අසල ටිපෙක්ස් කිහිපයකි....හාන්සි පුටුවක දිගාවී සිටින ගුරු හාමුදුරුවන් නින්දත් නොනින්දත් අතරය.

"ලොකු හාමුදුරුවනේ දැං නං හරි වගේ ඔන්න...."

"ඔක්කොම හරිද?"

"හරි! ඔන්න අන්තිම පොතෙත් මෛත්‍රී මකල මෙත් කියල ලිව්ව!"
------------------------------------------------------------------------
4.දුරකතන සමා‍ගමේ ප්‍රධානියාගේ මුහුණේ ඇත්තේ තෘප්තිමත් පෙනුමකි. ඔහු කාටදෝ දුරකතන ඇමතුමක් ගනී....

"ඔන්න සර් අපේ තිබුන මයි ත්‍රී පැකේජ් ඔක්කොම මයි ටූ කලා.... පාඩුවක් තමයි.... ඒත් ඉතිං....සර් කිව්වම නොකර පුළුවනෑ"
------------------------------------------------------------------------
5.ජනාධිපතිතුමා සයනයේ ඒ මේ අත පෙරලෙමින් සිටී. නින්ද අහලකටවත් පැමිණෙන බවක් නොපෙනේ. අවසානයේ එතුමා මේසය මත තිබූ වතුර ජෝගුව එක හුස්මට හිස් කලේය. එවර ජනපති ආර්යාවද පිබිදුනාය.

"ඇයි හරිනෙ ඔක්කොම! ආයෙ මොකට බය වෙන්නද?"

"නෑ හාමිනේ මේ.... මං කල්පනා කලේ...."

"ඇයි වයර් කපන කට්ටිය ඔය යසට වැඩේ කරන්නෙ!"

"නෑ ඒක නං හරි ඒත්...."

"ඉතිං? ග්‍රව්න්ඩ් ටිකත් ඔක්කොම බුක් කරල නේද?"

"ඒක නං හැබෑව! මල්ලිල ඒව කරයි නෙව...."

"සුමනදාස ඡන්දෙ දාන නැකතත් ගෙනත් දුන්න නේද?"

"ඔව්වොව්.... හැබැයි"

"එහෙනං.....?"

"නෑ හාමිනේ මේ මෛත්‍රී....'

"මෛත්‍රී කෑලි ඔක්කොම රටෙන් අයිංකලා කිව්ව නේද?"

"ඔව්වොව් නෑ නෑ මේ..... තව එකක් තියනව හාමිනේ"

"ඒ මොකද්ද?"

"ඇයි ඊලඟට බුදු වෙන්න ඉන්නෙත් මෛත්‍රී බුදුහාමුදුරුවොනෙ..... මං මේ කල්පනා කලේ ඒක අයිං කරන්නෙ කොහොමද කියල"


MY3 to මෙත් converter

Thursday, December 4, 2014

සකල දේශ වාසී බේබද්දනි, දුම් බොන්නනි වරෙව්!

[පිලිගැන්වීම හිතවත් Pra Jayට]
පසුගිය දිනෙක කාර්යාලයට අනුබද්ධ ආයතනයක සේවය කරන්නියක් පැමිණ කුමක්දෝ කොඩියක් මවෙත දී සුළු මුදලක් ඉල්ලා සිටියාය. කොඩිය බැලූවිට එය මත්පැන් හෝ දුම්වැටි විරෝධී දිනයකට අදාලව මුද්‍රණය කර විකුණනු ලබන්නකි.(මේ දෙකෙන් කුමක්දැයි නිවැරදිව මතක නැත). එක්වරම ඇයට මුදල් නොදුන් මා ඇය සංවාදයට පටලවා ගතිමි.

"අපි මේව නොගත්තට මොකද අපි බොන අරක්කු සිගරට් වලින් අල්ලන බද්ද මදෑ!" මම කීවෙමි.

"ඔයාල තමයි මේව ගන්න ඕන.... දන්නවද, අරක්කු සිගරට් බීල ලෙඩවෙන අය වෙනුවෙන් ආණ්ඩුවට යන වියදම වැඩියි බදු ආදායමට වැඩිය!"

"අම්මප! ඔයා දන්නවද ඒක හරියටම? කවුද ඕක කිව්වෙ? කොහෙන්ද ඔයා සංඛ්‍යාලේඛණ ගත්තෙ?" මා විමසුවේ ඊට දින කිහිපයකට පෙර අන්තර්ජාලයේ දුටු සංඛ්‍යා ලේඛණ කිහිපයක් හේතුවෙනි. නිශ්චිත පිළිතුරක් දීමට ඇය අසමත් වූ අතර ඇයගේ ප්‍රකාශය කියන්නන් වාලේ කියන ප්‍රකාශයකට වැඩි යමක් නොවීය.

මා දුටු සංඛ්‍යා ලේඛණ දත්ත වලට අනුව, 2011 වර්ෂයේ මත්පැන් හා දුම්වැටි වෙනුවෙන් රජය එකතු කල 'බදු' ආදායම පිලිවෙලින් රුපියල් බිලියන 44ක් හා 33කි. මේ සෘජු බදු අාදායම් පමණක් වන අතර දඩ මුදල් ආදිය මීට අයත් නොවේ. අදාල වර්ෂයේ සෞඛ්‍ය වියදම රුපියල් බිලියන අනූවකි! ඒ අනුව 2011 වර්ෂයේ සෞඛ්‍ය වියදම් වලින් 85.5%ක් ම ලබාගෙන ඇත්තේ මත්පැන් හා දුම්වැටි මඟිනි. දඩ ආදිය එකතු වූ විට මෙම අගය සීයට සීය හෝ එයද ඉක්මවා යා හැකිය. සරළව කිවහොත් රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් වන වියදම් දරන්නේ මත්පැන් හා දුම්වැටි පරිභෝජනය කරන්නන්ය. ප්‍රශ්නය එය නොවේ.

රජයේ ආදායම් පියවා ගැනීමට භාවිතා කරන කෝකටත් තෛලය මත්පැන් හා දුම්වැටිය. සාමාන්‍යයෙන් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වෙනුවෙන් යම් ඉහල බද්දක් අය කිරීම අසාධාරණ නොවුවද මේවාට අයකරන බද්ද සීයට පන්සීය ඉක්මවයි. අනෙක් පැත්තෙන් (විශේෂයෙන්ම මත්පැන්) මේවාට පාලන මිලක් නැත. බෝතලයේ සඳහන් මිලට වැඩියෙන් අයකරන මත්පැන්හල් පරීක්ෂා කරන බවක් පෙනෙන්නට නැත. මිල වැඩිකිරීම සිදුවන්නේ හිතුමතේටය. මත්පැන් හෝ දුම්වැටි යනු තහණම් දෑ නොවේ. අනෙකුත් සෑම භාණ්ඩයකටම ලැබියයුතු සැලකිල්ල මේවාටද ලැබිය යුතුය. මෙය හරියට සිරගත කරන වැරදිකරුවන්ට මානව හිමිකම් ලබා නොදීම වැනිය.

මේ මාතෘකාව මේ කාලයට විශේෂයෙන් අදාල වන්නෙ පොදු අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බැවිනි. හිටපු සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් අමාත්‍යධූරයේ සිටින කල ඔහු ගෙනා යෝජනාවක් වූයේ මත්පැන්-දුම්වැටි හේතුවෙන් ඇතිවන රෝගාබාධයන්ට රජයේ රෝහ‍ලකින් ප්‍රතිකාර ගත්විට ඊට මුදල් අයකල යුතු බවයි. එක් පැත්තකින් සෞඛ්‍ය වියදම් මුළුමනින්ම පාහේ දරන්නේ මත්පැන්-දුම්වැටි පාවිච්චි කරනවුන්ය. අනෙක් පැත්තෙන් එක් වැරැද්දකට ලැබියයුත්තේ එක් දඬුවමක් පමණක් නිසා, රජයට ගෙවන අධික බද්ද ප්‍රමා‍ණවත්ය. එබැවින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරසේන මහතාට කීමට ඇත්තේ මෙයයි,

"මත්පැන්-දුම්වැටි පාවිච්චි කරන්නෝද මනුෂ්‍යයෝය. අපේ ඡන්දය අපගේ අයිතිවාසිකම් සුරකින්නන් හටය!"

Tuesday, December 2, 2014

විඥානයේ අවිඥානය හෙවත් හිස වසාගන්නා විට පුක එලියට පැනීම!

කොච්චර යටපත් කලත් ඇත්ත කියන දේ කවදා හරි එලියට එනව කියල අපි අහල තියනව. මේකෙ විශේෂ අවස්ථාවක් තමයි බොරු කරන්නන් තුලින්ම ඇත්ත හෙලිවීම. මේ ගැන කියවෙන කියමන් එමටයි. කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ කියල කියන්නෙත් මේකට. පහුගිය දවස් වල ආණ්ඩුවෙ මැතිවරණ ව්‍යාපාරය ඇතුලෙ මේ සිද්ධිය දැක්ක. ප්‍රධානම සිද්ධිය තමයි ජනාධිපතිතුමගෙ ෆයිල් කතාව. පුරාජේරුවක් හැටියට, ඒ කියන්නෙ 'උඹ [මෛත්‍රී] මට මොකෙක්ද' වගේ අදහසකින්, මේ ෆයිල් කතාව කිව්වත් එතුමා හිතන්න නැතිව ඇති මේකෙන් තමුන්ගෙ පැත්තට ඇඟිලි හතරක් දික්වෙනව කියල. සරළව කිව්වොත් 'හොරු ගැන හෙලි නොකර සිටීමේ අවුල' කවුරුවත් ප්‍රශ්න නොකරයි කියල ජනාධිපතිතුමා හිතන්න ඇති. අන්තිමට සිද්ධවුනේ විරුද්ධ කාරයන්ට පට්ට ගහන්න පුළුවන් මාතෘකාවක් ලැබීම. මේ ඒ වගේ අවිඥානකව එලියට පනින අප්සට් කතා ටිකක්.

1.මේක නිල් බලකායෙ ඇඩ් එක ගැන. [බුකියෙ තිබුනෙ] ඔන්න නිල් බලකායෙ ඉලන්දාරියෙක් කඩේට එනව. ඇවිල්ල සිගරට් එකක් ගන්නව. එතකොට දකිනව එතන බඩගින්නෙ ඉන්න මනුස්සයෙක්. ඒ ගමන සිගරට් එක රිටන් කරල අර මනුස්සයට කන්න දෙන සීන් එකක් මේ අැඩ් එකේ තියෙන්නෙ. එක පැත්තකින් නිල් බලකායෙ ඉන්නෙ සිගරට් බොන උදවිය. ඒක අවුලක් නෑ කියමුකො. අනිත් පැත්තෙන් ඈස්චර්යට ගියාට කඩවල් ලඟ කන්න නැතිව ලතවෙන මිනිස්සු. තවත් පැත්තකින් සිගරට් එකක සල්ලි වලින් වේලක් කන්න පුළුවන් තරමට සිගරට් මිල ඉහල ගිහිල්ල.

2.මේක තිබුනෙ රාවය පත්තරේ පුංචිහේව මහත්තයගෙ කොලමෙ. ඔන්න රාජපක්ෂ නම බොරුවට විකුණල එකෙක් අත්අඩංගුවට අරගෙන උසාවි දාල. මේක අද දකින්න ලැබෙන දුලබ නොවන සිදුවීමක්. නීති විරෝධීව කෙනෙකුගෙ නම විකිණීම දඬුවම් ලැබියයුතු වැරැද්දක් බව හැබෑව. නමුත් අවුල තියෙන්නෙ ඇත්තටම රාජපක්ෂ නම පාවිච්චි කරල නමේ අයිතිකරුවන් දැනුවත්ව යම් යම් කටයුතු සිදුවීම. මේක නිකං අර යම්කිසි ජනප්‍රිය භාණ්ඩයකට ඩුප්ලිකේට් එකක් එනව වගේ. දැනට තියන ජනප්‍රිය දේකට ඩුප්ලිකේට් එනව මිසක් මහපොලවෙ නැති දේකට ඩුප්ලිකේට් එනව අපි දැකල නෑ. මේවගේ සමාජ විරෝධී ඩුප්ලිකේට්, සිස්ටම් එකෙන් අයින් වෙන්නෙ ඒකෙ ඔරිජිනල් එක අයින් වෙච්ච දවසට තමයි. ඒකෙත් හැටි!

3.අජිත් පැරකුම්ගෙ බ්ලොග් එකේ අද තියනව ඔය උඩ තියන පින්තූරෙ. ඒක අද දිණමිනේ මුල් පිටුව. ඒකෙ කියන විදියට ජනාධිපතිතුමා කිව්වලු "ඩොලර් වලට පවුම් වලට විකිණෙන ඇමති මණ්ඩලයක් මා ලඟ නෑ" කියල. නමුත් අපි දැන් දන්නව ඡන්දෙ ප්‍රකාශ කලාට පස්සෙ මෛත්‍රී පිලට මාරුවුන මැති ඇමතිගොල්ලක් ඉන්නව කියල [සහ ඉදිරියෙදිත් ඉන්න පුළුවන් කියල]. ඒ කියන්නෙ ජනාධිපතිතුමා මේ කරල තියෙන්නෙ ඉවත්වූ අයට [සහ එනව කියන අයට, ඊයෙත් එක්කෙනෙක් ආව] පොඩි චරිත සහතිකයක් දීම. ඒ කියන්නෙ මේ පිල් මාරු කල අය එහෙම කලේ හැබෑවටම අවුලක් තිබුන නිසා. කට බොරු කිව්වත් දිව බොරු නොකියයි කියන්නෙ ඕකට.

4.ඊයෙ ෆේස්බුක් එකේ ඉන්‍නකොට අපේ සාතන් ස්ටේටස් එකක් දාල තිබුන මෙහෙම, '12ක් ගේන්න 4ක් පන්නමුද?' කියල. මෙතන දොලහ කියන්නෙ මෛත්‍රීගෙ පවුලෙ සහෝදරයො ගණන. හතර කිව්වෙ ජනාධිපතිතුමාගෙ සමාගමේ සහෝදරයන් ගණන. මිනිහෙක් උපදිනකොට තමුන්ගෙ සහෝදරයන් ගණන තීරණය කරන්න තරම් බලයක් සර්වබලධාරී දෙවියන් වහන්සෙ දීල නෑ. ඒ අනුව එක එක්කෙනාට අඩු වැඩි වශයෙන් සහෝදරයන් ඉන්න පුළුවන්. නමුත් ඔය ඉහලින් කියෙව්ව අනිත් කතාවල වගේම මෙතනදිත් මේ කත‍ාව කියන්නාගෙන් අවිඥානකව එලියට පනින්නෙ 'සහෝදරයන් කණ්ඩායමක්' සමාජයට කරපු බලපෑම කොච්චරද කියල. 'හතරක් ඉඳල මෙහෙම නං දොලහක් හිටියොත් කොහොමද' වගේ ප්‍රකාශයක් කරන්න සිද්ධවෙන තැනට වැටීමෙන් පැහැදිලි වෙන්නෙ 'හතරෙ' තත්වෙ තමයි.


[2014.12.01]

Thursday, November 27, 2014

බොරුවට බෙරිහන්දීම සහ ඇත්තට කොටිය කෑම!

"සීයේ කතාවක් කියන්නකෝ"

හැමදාමත් වාගේ තම ඇට්ටර මුනුබුරාගේ ඉල්ලීමට එකඟ වනු හැර කලහැකි යමක් සීයාට නැත.

"ම්......හරි ඉබ්බගෙයි හාවගෙයි කතාව කියන්නංකො අද....."

"මොකද්ද සීයේ ඕක කොචිචර නං කිව්වද! මට අහලම එපා වෙලා.... අනෙක මෙදා ඉබ්බෙක් නෙවේනෙ අැවිල්ල තියෙන්නෙ තරගෙට..... දැං ඉබ්බ රේස් එක‍ට ආපු ගමං හාව මොකද්ද කරන්නෙ කියල සීය දන්නවද?"

"ඒ මොකද්ද ඒ හරුපෙ? කියපං බලන්න"

"අයියෝ සීය ඕකවත් දන්නෙ දැද්ද, තරගෙට ආපු ගමං හාව අර හංගල තියන පයිල්ලෙක අදිනව..."

"අනේ මංදන්නෑ උඹේ කුනුහබ්බ! එහෙනං නරියයි මිදිවැලයි කතාව?"

"අපෝ..... ඒකත් කොච්චර කිව්වද? හරි, නරියට මිදි කන්න බැරිවුනාම නරිය මොකද්ද කරන්නෙ කියල සීය දන්නවද?"

"නරිය මිදි තිත්තයි කියල යනවනෙ?"

"හූ හූ..... ඒ ඉස්සර නරි! දැං නරිය කරන්නෙ මිදි කන්න ඕනුනාම වෙන නරියෙකුට කියනව උඹට මට වැඩිය උඩ පනින්න පුළුවන් ඒ නිසා උඹ උඩ පැනපං පැනල මිදිටික මට කඩල දියං කියල"

"උඹත් එක්ක බෑ කියන්නෙ ඕකනෙ.... උඹේ අපබ්‍රසං මට තේරෙන්නෙ නෑ බං... හරි! මං උඹට කියන්නං කොටිය කාපු කත‍ාව!"

"හෑ! ඒ මොකද්ද සීයේ.... අර හැමදාම ඡන්දෙ කාලෙට එන කොටිය ගැනද කියන්නෙ?"

"පන්ඩිතකං නැතුව ඕං අහගනිංකො!"

"හරි කියහංකො"

"ඔන්න ඉස්සර කාලෙ කොහේදෝ රටක හිටිය බැටළුවො බලාගන්න කොල්ලෙක්.... මූ හෙන ඇට්ටරය හරියට උඹ වගේමයි, මූ හැමදාම බැටළුවො ටිකත් අරගෙන කැලේට යනව"

"එතකොට උෟ ඉස්කෝලෙ යන්නෙ නැද්ද? ටියුෂන් යන්නෙ නැද්ද? මේව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය වන වැඩ සීයේ.... කියන්න ඕන දහනමෙයයි විසි නමෙයට වහාම!"

"ඒ කාලෙ ඔය විකාර නෑ බං... ඔන්න කොල්ලට කම්මැලි හිතුනම මූ කෑ ගහනව කොටිය ආවෝ කොටිය ආවෝ කියල"

"ඉතිං?"

"ගමේ මිනිස්සු කඩු පොලු අරගෙන එනව කොටිය පතබාන්න හිතාගෙන, මොන! කොටියෙක් නෑ නෙව..... "

"අම්මප මූ නං අර ආඩම්බරකාර තාත්තගෙ පරම්පරාවෙද කොහෙද හැමදාම කොටිය එනව කියන්නෙ එයාලනෙ"

"හා හා කට කට දැං උඹ උස්සං ගියාම මට උඹත් නෑ"

"හරි කතාව කියහංකො"

"ඔන්න ඔය විදියට දවස් ගානක් මූ ගමේ මිනිස්සු රැවැට්ටුව! මේ අතරෙ දවසක් මූ බැටළුවො එක්ක ඉන්නකොට ඇත්තටම කොටිය ආව!"

"නෑ!"

"නෑ නෙවේ ඔව්.... කොටිය දැක්ක ගමං කොලුවට තරු පෙනුන.... ඒ ගමන ඌ කෑගහන්න ගත්ත කොටිය කෑවෝ කොටිය කෑවෝ කියල"

"එ් ගමන නං කොටියට වැඩේ වරදින්න අැති නේද?"

"නෑ බං.... කොලුව බොරුවට කෑ ගහනව කියල හිතපු ගමේ එවුන් ආවෙ නෑ එකෙක්වත්..... අන්තිමට කොටිය ඇවිල්ල කොලුවව කෑව. බොරුකලාම කාට කාටත් වෙන වැඩේ තමයි ඔය!"

"ඒකත් හරියට මෛත්‍රීපාල මහත්තයට වෙච්ච වැඩේ වගේ නේද සීයේ?"

"ඒ මොකද්ද මයිත්තිරි මහත්තයට උනේ?"

"ඇයි සීයේ හැම එකාම ඡන්දෙට කලිං රතු මාමලට කියනව විදායකේ අහෝසි කරනව කියල.... රතු මාමල ඉස්ටේජ් නැගල ගිරිය කඩාගෙන කෑගහනව එයාල දිනවන්න...."

"ඉතිං?"

"කලිං වතාවෙං පාඩං ඉගනගත්ත රතු මාමල මෙදා සැරේ සපෝට් එකට ඉස්ටේජ් නගින්නෙ නැහැල්ලුනෙ! අන්තිමට මෛත්‍රී මාමට උනේ අර කොල්ලට වෙච්ච දේ නෙව"

"හහ් හහ් හහ්..."

Monday, November 24, 2014

මෛත්‍රීපාල මහින්ද සහ රටේ අනාගතය

පසුගිය සතිය ලාංකීය දේශපාලනයේ සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය. බලාපොරොත්තු වූ ලෙසින්ම ජනාධිපතිවරයා විසින් තම ධූර කාලය ඉකුත් වීමට තවත් වසර දෙකක් තිබියදී යලි ජනමතය උරගාබැලීමේ අවස්ථාවකට යාමට තීරණය කලේය. මැතිවරණ දෙපාර්තමේන්තුවේ අමුඩ ගැසීමට පටන් ගත්තේ ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමටත් පෙරය. ඒ අනුව මෙය මැනවින් තිර නාටකය රචනා කල නාට්‍යයකි. ලංකාවේ අධිකරණ තීන්දු පවා තිර පිටපත් අනුව ක්‍රියාත්මක වන කල මෙය අරුමයක් නොවේ. මේ ජනාධිපතිවරණය හා ඒ ආශ්‍රිත සිදුවීම් පිළිබඳ මගේ විශ්ලේශනයන් හා නිරීක්ෂණයන්ය.

මැතිවරණ කොමසාරිස් පොලිසිය හා රාජ්‍ය අංශය.
මැතිවරණය ප්‍රකාශ කිරීම දක්වා කාලයේදී මැතිවරණ කොමසාරිස්වරයා සිටියේ බේසමෙන් යටිකය වසාගෙනය. බේසම ඉවත් කල පසු තත්වය ගැන තිබුනේ අනුමානයන්ය. ඔහු සිටින්නේ නිරුවතින් බැව් ප්‍රකාශ කලවුන් සිටියද ඇත්තටම මැකෝ සිටින්නේ නිරුවතින් බව පෙනී ගියේ අමනදාසගේ නැකතට අනුව දිනය ප්‍රකාශයට පත්කිරීමෙනි. එක අතකට එය හොඳය, හැමදාම බේසමෙන් වසාගෙන සිටිනවාට වඩා නිරුවත එක්වරක් එලිවූ විට අනෙක් පාර්ශවයන්ට සැකකිරීමේ අවස්ථාව අත්හැර දැමිය හැකිය.
පොලීසිය සහ රාජ්‍ය අංශයම අඩු වැඩි වශයෙන් සිටින්නේ මැකෝගේම තත්වයෙනි. කැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් නිරුවත් වීමට ඔවුන්ට සිදුවීම නොවැලැක්විය හැක්කකි.

මෛත්‍රීපාලගේ හා ආණ්ඩුවේ නියෝජිතයන්ගේ දේශපාලන කරනම්
වඩාත්ම ආන්දෝලනාත්මක සිද්ධිය වූයේ මෙයයි. පොදු අපේක්ෂකයා කවුදැයි පරීක්ෂාවෙන් සිටියවුන්ට පවා ඔහුගේ ආගමනය අවසන් මොහොත දක්වා අනුමාන කල නොහැකි විය. මෛත්‍රීපාල ඇතුලු පිරිස මෙවැන්නක් කිරීමට හේතුව කුමක්ද?
මෛත්‍රීපාල සිරිසේන යනු සුපිරිසිදු චරිතයක් නොවේ. ශ්‍රීලනිප මහලේකම් වූ ඔහුට මෑත කාලයේ එල්ලවූ බරපතලම චෝදනාව වූයේ සිය සහෝදරයාගේ සහල් ඒකාධිකාරිය පිළිබඳ චෝදනාවයි. ඒ හැර ලාංකීය දේශපාලකයන්ගේ 'සාමාන්‍ය වැරදි' ඔහු තුලද තිබෙන්නට ඇත. කෙසේ වෙතත් මෛත්‍රීපාල සහ අනෙකුත් නියෝජිතයන් ආණ්ඩුවෙන් ඉවත්වීම පිටුපස ඇත්තේ මහින්ද රාජපක්ෂ පාලනයේ පවතින ඒකාධිපති ස්වරූපයයි. පිරිස එකතුවී කල හොරකම් වුවද තනිවම වාසි බෙදාගැනීමට විරුද්ධ වීමේ යථාර්ථයයි.
අනෙක් අතට පසුගිය සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි ප්‍රභලයන්ට, එනම් සාම්ප්‍රදායික ශ්‍රීලාංකා කාරයන්ට එල්ලවූ අභියෝගයයි. මහින්ද මහතා බලයට පත්වීමෙන් පසු ක්‍රමයෙන් පැරැන්නන් ඉවතට තල්ලුවී ගිය අතර මහින්දවාදීන් හිස ඔසවනු ලැබීය. මෙය සත්‍යක් බැව් තහවුරු කරන්නක් වන්නේ මෛත්‍රී කමඟ පැමිණි මැති අැමතිවරුන් බහුතරයකට, ඔවුන්ගේ දිස්ත්‍රික්කයේදී මහින්දවාදීන්ගේ කෙණෙහිලිකම් සලකා බැලීමෙනි. උදාහරණයක් ලෙස දුමින්ද දිසානායක පරයමින් එස්එම් සහෝදරයන් සහෝදරයන් පසුගිය කාලයේ පෙරට පැමැණි අතර ජනාධිපතිවරයාගේ ආශීර්වාදය හිමිවූයේ එස්එම් සහෝදරයන්ටය. මෙවැනි සිද්ධීන් රාශියක් ඇති අතර 'අමනාපයන්ට' හේතු වන්නේ මෙවන් 'බාල' සිද්ධීන් මිස ජනතාවගේ පැත්තෙන් සිදුවියයුතු යමක් නිසා නොවන බැව් කිවයුතුය.

ඡන්ද පොරොන්දු
ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂක කතිකාව කරලියට ගෙන ආවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජනතා ව්‍යාපාරයයි. පෙර පැවති ජනාධිපතිවරණ වලට සාපේක්ෂව මෙය යම් ප්‍රගතිශීලී සහ ධනාත්මක තත්වයකි. විශේෂයෙන්ම දහ අටවන සංශෝධනයේ අහිතකර ප්‍රතිපල වටහාගැනීමට සමත්, නිර්දේශපාලනික බුද්ධිමත් පිරිසක් කරලියට පැමිණීම ඉදිරිගාමී පියවරකි. ආර්ථික ප්‍රශ්න කොකෙතුත් තිබුනද පොදු අපේක්ෂකයාගේ මූලික පොරොන්දුව ලෙස විධායකය අහෝසි කර දාහත්වන සංශෝධනයේ තිබූ බලතල යලි ලබාදීමට කටයුතු කිරීම කරලියට පැමිණෙන්නේ එලෙසිනි.

ඡන්ද ප්‍රතිපලය
මේ වනවිට ඡන්ද සටන ගල උඩ සටනකි. එජාපය පොදු අපේක්ෂකයාට සහයෝග පලකර ඇති අතර හෙළ උරුමය හා සරත් ෆොන්සේකා ඔවුන් සමඟ එක් වෙියයි සිතිය හැකිය. දෙමළ ජාතික සන්ධානයේ තීන්දුව මෛත්‍රීපාල මහතාගේ ජයග්‍රහණය සඳහා වැදගත්ය. දෙමළ සන්ධානයේ එකඟතාවය ලබාගතහොත් ලක්ෂ දෙකක පමණ ඡන්ද වාසියක් ලබාගත හැකිය.
ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිටද පසුවන්නේ දෙගිඩියාවෙනි. ඒ කෙලින්ම සහයෝගය දෙන්නේද නැතහොත් උපක්‍රමික වශයෙන් සහයෝගය ලබා දෙන්නේද යන තීරණ දෙකට මැදි වෙමිනි. මගේ අදහස අනුව ජවිපෙ වක්‍ර සහයෝගය එතරම් වැදගත්කමක් නොමැත. ජවිපෙ පාක්ෂිකයන් මහින්දට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම සාමාන්‍යයෙන් සිදුවිය හැක්කක් වුවද, ජනතාවට කතා කලහැකි අංක එකේ කථිකයන් රැසක් සිටින එම පක්ෂය මෛත්‍රීපාල මහතාට සෘජු සහයෝගය ලබාදීම ඊට වඩා වැදගත්ය. එහෙත් ඉතිහාසය පුරාම රැවටීමට ලක්වූ ජවිපෙ වරක් දෙවරක් නොව සිය දහස් වරක් තම තීන්දුව ගැන සිතා බලනු ඇත.

සමාජ වගකීම
පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කලහොත් ඇතිවිය හැකි තත්වය සිතා බැලීම මේ අවස්ථාවේ පක්ෂ දේශපාලනය ලෙයට බද්ධ නොවූ අප වැනි කොටස් වලට වැදගත්ය. පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කලහොත්, ඔහු සමඟ එක්වන අන්ත දූෂිත ජනතා නියෝජිතයන් සහ මා ඉහතින් සඳහන් කල නිර් දේශපාලනික පිරිස් අතර සීතල යුද්ධයෙන් දූෂිතයන් පරාජය කිරීම හෝ අපේ පැත්තෙන් 'ලබාගත හැකි අවම ප්‍රතිසංස්කරණ' දිනා ගැනීමට හැකි නම්, පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීම සාධනීය තත්වයක් ලෙස සැලකිය හැකිය.

මේ පිළිබඳ ෆේස්බුක් මිතුරන් තැබූ සටහන්:
සිතුමිණි රත්නමලල
සුජීව කොකාවල

Thursday, November 20, 2014

ලාංකීය දේශපාලනයේ පාදඩ ප්‍රවනතා

ලාංකීය දේශපාලනය ගමන් කරමින් සිටින දිශාව අමුතුවෙන් විස්තර කලයුතු නොවේ. නිදහස ලැබූ දා පටන් මේ දක්වා එහි පරිවර්තනය සිදුව ඇත්තේ සිදුවිය යුතු ආකාරයට නොව සිදු නොවිය යුතු ආකා‍රයෙනි. කාලයත් සමඟ එතකුවූ ප්‍රවනතා කිහිපයකි මේ.

රාජ්‍ය සේවය
රාජ්‍ය සේවය එක් කලෙක යම් ස්වාධීනත්වයක් සහිතව තිබුනේ යයි කියනු අප අසා ඇත. එක්දහස් නවසිය හැත්තෑ දෙක පමණ වනවිට එහි තිබූ ස්වාධීනත්වයට යම් ආකාරයක බලපෑම් එල්ලවිය. 70-77 ආණ්ඩුව බිඳවැටීමත් සමඟ තත්වය තවත් දරුණු වූයේ යයි සඳහන් කල හැකිය. මැතිවරණ ජයග්‍රහණයෙන් පසු "පොලීසියට සතියක් නිවාඩු දෙන්නේය" වැනි ප්‍රකාශ රාජ්‍ය නායකයා විසින්ම සිදුකිරීම මීට හොඳ උදාහරණයකි. ඉන්පසු කාලයේ රාජ්‍ය අංශයේ රැකියා ලබාදීම සිදුවූයේ 'ජොබ් කාඩ්' නම් ක්‍රමයකටය. ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට යම් රැකියා ප්‍රමාණයක් හිමිවූ අතර ඔහුගේ අනුමැතිය යටතේ රැකියා ලබාදීම සිදුවිය. එජාප ආණ්ඩු කාලය අවසන් වීමත් සමඟම ජොබ් කාඩ් ක්‍රමයද අවසන් විය. ඉන්පසු පැවති චන්ද්‍රිකා මැතිණියගේ කාලයේ යම් සාධාරණ යැයි කිවහැකි ආකාරයේ බඳවා ගැනීම් ක්‍රමවේදයක් රාජ්‍ය සේවයට එකතුවිය.

චන්ද්‍රිකා මැතිණියගේ පාලන කාලය අවසන් වනවිට නැඟී ආ ප්‍රවනතාව වූයේ උපාධිධාරින්ට රැකියා ලබාදීමේ වැඩසටහනයි. එතෙක් මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක නොවූ අතර එමඟින් හතලිස් දහසකට‍ අධික සංඛ්‍යාවකට රාජ්‍ය අංශයේ රැකියා ලබාදීම සිදුවිය. එක් ආකාරයකින් මෙය එතරම් හොඳ ප්‍රවනතාවක් යයි කිව නොහැක්කේ, යම් නිෂ්පාදන ක්‍රියාවලියක ප්‍රතිපලයකින් තොරව රැකියා ලබාදීම තුලින් සමාජයට එහි බර දැරීමට සිදුවීමයි. අනෙක් අතට රනිල් වික්‍රමසිංහ මහතාගේ දෑ අවුරුදු පාලන සමයේ රාජ්‍ය අංශයට බඳවා ගැනීම් සීමා කිරීම තුලින් මතුවූ අසහනකාරී තත්වයෙන් පාඩම් ඉගනගත් පාලකයන් මෙවැනි තීරණ ගැනීම් සඳහා පෙළඹවීය. මෑතකදී රාජ්‍ය සේවයට බඳවාගැනීම් මෙහි දිගුවකි. මෙම ක්‍රමය නුදුරේදී නම් වෙනස්වන බවක් පෙනෙන්නට නැත. රාජ්‍ය අංශයේ රැකියාවක් ලබාදීම යනු ඕනෑම රජයකට ලෙහෙසියෙන් ලබාදිය හැකි වාසිදායක අල්ලසකි.

අප කතා කලේ රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය පිළිබඳවය. එක් පැත්තකින් දේශපාලන සබඳකම් වලින් රාජ්‍ය සේවයට පැමිණියවුන්ය. අනෙක් පැත්තෙන් [18 වන සංශෝධනය හා තවත් අනපනත් මඟින්]සෘජුවම රාජ්‍ය අංශයේ බලතල දේශපාලන අධිකාරිය අතට ගැනින. මේ වනවිට පොලීසිය, අධිකරණය වැනි ආයතන පවා දේශපාලනීකරණය වීම මෑතදී ඇතිවූවකි.

පක්ෂ මාරුකිරීම
පක්ෂ මාරුකිරීම අතීතයේ සිට පැවත එන්නක් වුවද මෑත කාලීනව එය දක්නට ලැබෙන්නේ අන්ත දූෂිත ආකාරයේ හැඩයකිනි. ආණ්ඩු මාරුවක් හෝ ඊට ආසන්න පෙර-පසු කාලයේදී මහජන නියෝජිතයන් වාසි පැත්තට පනින්නේ කිසිදු පැකිලීමකින් තොරවය. නූතන, මෙම දූෂිත ක්‍රමයේ ආරම්භය ලෙස සැලකිය හැක්කේ 2001 වසරේ පොදු පෙරමුණු ආණ්ඩුවේ සිට එජාපයට පැනීමේ සිද්ධියෙනි. පෙර පැවති ක්‍රමයේදී පිල් මාරුකරන්නන්ගේ මන්ත්‍රී අසුන අහෝසි වුවද ඊට එරෙහි නීති ගෙන ආ බැවින් මේ වනවිට පිල් මාරු කිරීම අතිශය පහසු කටයුත්තකි. පිල් මාරුකරන්නන් හේතුවෙන් අසාධාරණයට ලක්වන්නේ ඡන්ද දායකයන්ය. ඉදිරියේ රජයක් වෙනස්වන අවස්ථාවකදි පවා අභියෝගය වන්නේ පක්ෂ මාරුකරන දූෂිතයන් පාලක පක්ෂයට එකතුවීම වැලැක්වීමයි.

පවුල්වාදය
පවුල්වාදය අතීතයේ සිට පැවත එන්නක් වුවද වඩාත් අශික්කිත ආකාරයෙන් පාලන තත්ත්‍රයට පිවිසියේ මෑත අතීතයේදීය. අතීතයේ මෙන් නොව මේ වනවිට පළාත් සභා සහ පළාත් පාලන ආයතන තුලට රිංගා එහි සාරය උරා බොන්නේ ජාතික දේශපාලනඥයන්ගේම ලඟ ඥාතීන් බැව් මෑත ඉතිහාසයේ මැතිවරණ සාක්ෂි දරයි.

ඡන්ද දායකයාට අල්ලස්
ඉතාම මෑත කාලයේ නැගී ආ ප්‍රවනතාවයක් වන ඡන්ද අල්ලස් ලබාදීමේ ආරම්භය ලෙස සැලකිය හැක්කේ පසුගිය පළාත් සභා කිහිපයක මැතිවරණ කාලයන් කිහිපයකි. එහි උච්ඡස්ථානය ලෙස සැලකිය හැක්කේ අවසන් වරට පැවැත්වූ ඌව මැතිවරණයයි. කෙලින්ම රාජ්‍ය අනුග්‍රහය යටතේ මහජන මුදලින් අල්ලස් ලබාදීම පාලනය කිරීමට අධිකරණයට පවා නොහැකි විය. මැතිවරණ සමයේ ඡන්ද දායකයාට අල්ලස් ලබාදීම නීති විරෝධී කටයුත්තක් වුවද මේ වනවිට මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් පාලක පක්ෂය ආරම්භ කල මෙම පාදඩ ක්‍රමය ඉදිරි කා‍ලයේ තීරණාත්මක ලෙස බලපෑම් කල හැකිය. මේ වනවිට ජනාධිපතිවරණය ඉලක්ක කරමින් දැනටමත් අල්ලස් ලබාදීම ආරම්භ වී ඇත.

ඉහතින් සඳහන් කර ඇත්තේ මේ වනවිට දේශපාලනය තුල පැනනැඟී වර්ධනය වෙමින් පවත්නා අයහපත් ප්‍රවනතාවයන් කිහිපයක් පමණි. ක්‍රමයෙන් අඳුර දෙසට ගමන් කරන අපේ දේශපාලන ක්‍රමයේ යහපත් ප්‍රවනතා මතු නොවීම රටේ අභාග්‍යකි.

Monday, November 17, 2014

හීනියට හිනාවෙන්න රාජ්ගෙන් චූටි කතා මෙන්න

පහු පහු වෙනකොට කොහුකොහු වෙනව කියල කතාවක් තියනව. ඒ වගේම ලොකුවට ප්ලෑන් කරන වැඩ වලින් වැඩි ප්‍රතිශතයක් හරියන්නෙත් නෑ. ක්ෂණිකව ගහන ගේම් තමයි හරියන්නෙ. මට නං මේක බ්ලොග් ලිවිල්ලටත් අදාලයි. ලියන්න ඕන කියල කාලයක් හිතාගෙන ඉන්න කිසි දෙයක් ලියාගන්න බෑ. එවලෙට එන අදහස් ලියලයි මේ බ්ලොග් එක පිරිල තියෙන්නෙ. පළවෙනි කතාව යාළුවන්ගෙ ට්‍රිප් යෑම.

ඔන්න කට්ටිය සෙට්වෙන ගමන් එකෙක් කියනව මෙහෙම,

"අඩේ යමල්ලකො බං කොහේහරි, කාලෙකිං කොහේවත් ගියෙත් නෑනේ,..."

කාලෙකිං ගියේ නෑ කිව්වට මළගෙවල් වල විතරයි ගිහිල්ල තියෙන්නෙ. ඒකත් නොයා බැරි නිසා. ඔන්න ඊට පස්සෙ අදහසට පොහොර වැටෙන්නෙ මෙහෙමයි,

"හරි ඊලඟ මාසෙ 23 වෙනිද නිවාඩුයිනෙ, අපි යං එදාට.... නිවාඩු දවස් තුනක්ම තියනවනෙ බං.... මොකද කියන්නෙ"

"හරි මම නං එනව"

"මාත් එනව"

"මාත්"

"එහෙනං හරිනෙ! මගේ වාහනේට තෙල් ටිකක් ගහං යං....."

ඔන්න 23-14 වගේ දිනේ එද්දි එකෙක්,

"අඩේ බං මට නං ෂුවර් නෑ වගේ... උපරිම ට්‍රයි කරන්නං.... උඹල හරි පලයල්ල බැරිවුනොත්!"

23-7 වගේ වෙද්දි එයා මෙහෙමයි,

"මචං.... නෝනටත් නිවාඩු ගන්න බෑ බං.... බලමු!" තව එකෙක් කියන්නෙ,

"මටත් පොඩි පොඩි අවුල් ‍ටිකක් තියනව....."

"මොකද්ද බං උඹල..."

23-4 වගේ වෙද්දි,

".....යන්නෙත් නෑ, ....යන්නෙත් නෑ ......ටත් ෂුවර් නැතිලු මොකද කරන්නෙ?"

23 වෙද්දි ගියපු ගමනක් නෑ

********************************************************************

ඔන්න යාළුවො කට්ටියක් සෙට් වෙලා ඉවර වෙන මොහොත. හේතුව තමයි තමුන්ගෙ සගයෙක් ඈත පළාතකට මාරු වෙලා යනව. (නුවර කියමු)

"මචං.... උඹ ගියාට අපි කාටවත් උඹ අමතක වෙන්නෙ නෑ බං....."

"අනිවා"

"අපි එන්නං උඹ බලන්න...."

ඔන්න සිද්ධියෙන් කාලයක් ගතවුනාම.....,

"මචං අපි නුවර ආව බං...."

"ඉතිං මේ පැත්තෙ වරෙං... දැං කොහේද ඉන්නෙ?"

"අනේ නෑ බං.... අපි ඇවිල්ල ගියා.... කට්ටියක් එක්ක ආවෙ.... උඹට කරදර කරන්නත් බෑනෙ....."

"&^$&^$(*%(%"

"හරි බං අපි දවසක එන්නංකෝ...."

ඔහොම කිව්වත් සෙට් වීමක් නං නෑ.... ඔන්න මේ අතරෙ නුවර පැත්තෙ බුවෙක් අහම්බෙන් සෙට් වෙනව මේ ගමේ එකෙකුට, ආගිය කතා වලට පස්සෙ,

".....මම නුවර ඉන්නෙ බං...."

"නෑ නුවර කොහේද?"

"නුවර ......ඉන්නෙ!"

"අම්මට සිරි.... එහේ ඉන්නවනෙ මගෙත් බොක්කක්.....ඒ පැත්තෙ ආපු වෙලාවක උඹලෑ පැත්තෙත් එන්නංකෝ........"

********************************************************************

ඔන්න දූෂිත රජෙක් පලවාහරින්න කස්ටිය සෙට් වෙනව....

"අපි රජා එක්ක තරගෙට දාමු කට්ටියටම එකඟ වෙන්න පුළුවන් පොදු අපේක්ෂකයෙක්!"

"අන්න වැඩේ.... කාගෙත් සහයෝගෙ තිබුනොත් නං රජා දිනනව බොරු!"

"නැතුව නැතුව.... මේ පිරිහිලා ඉන්න රජා එලවන එක මොකද්ද"

මාසෙකට විතර පස්සෙ,

"කෝ බං තාම බැරිවුනානෙ කවුරු දාන්නද කියල තීරණය කරගන්න"

"මේක ලේසි නෑ බං...."

"අරුං එක්ක ෂුවර් නෑ බං...."

තවත් සතියක් විතර ගියතැන,

"මේක නං කෙරෙන වැඩක් නෙවේ වගේ....."

තවත් සතියක් විතර යද්දි,

"කෝ අර එනව කිව්ව එක්කෙනා තාම නැද්ද?"

"මොන මගුලක්ද... රජා මෙදත් ගේම ගහයි වගේ"

තවත් සතියක් යද්දි,

"ඒ බං.... පොදු අපේක්ෂකයට මාව ගන්න බැරිවෙයිද? හෙහ් හෙහ් හෙහ්...."

"පොදු අපේක්ෂක කමට සංගක්කාර දාමුද? හහ් හහ් හහ්....."

"මං නං කියන්නෙ ජිනා අක්කව පොදු අපේක්ෂකය කරමු කියල... හිහ් හිහ් හිහ්....."

********************************************************************

අාදර්ශය: 1. අඩුවෙන් කතා කර වැඩියෙන් ක්‍රියාත්මක වන්න.
2. වතුරට පනින මිනිහට වැඩිය හීතල දැනෙන්නෙ හෙමින් වතුරට බහින මිනිහට.

Friday, November 14, 2014

හොරාට සවන්දුන් දුරකතන සංවාද කිහිපයක්! [කතාවක ඇතුල්පැත්ත]

මට ලැබුන දුරකතන සංවාද වලට සවන් දෙන්න පුළුවන් ගැජට්ටුවක්. අනුන්ගෙ සංවාද ඇහීම හොඳ නැතත් ඒ දේ කලා. එක එක සංවාද අස්සෙ තිබුන සංවාද කිහිපයක් එකිනෙක සම්බන්ධයි වගේ හිතුන නිසා ඒක දාන්න හිතුව. අනුංගෙ ලියුං බලල මේකෙත් දාපු එකේ ඔන්නොහෙ දානව.

1. ට්‍රීං ට්‍රීං.........ට්‍රීං ට්‍රීං........ට්‍රීං ට්‍රීං........

"හෙලෝ.....ආ මචං...."

"අපි නං හොඳිං....කොහොමද මචං උඹලට?...."

"පුක ඉරාගෙන ගේමට ලෑස්ති වෙනව බං මේ දවස්වල...."

"හහ් හහ් හහ්.... මට ආරංචියි....මට ආරංචියි.... [ඒයි සිං.... කවුද අර ගේට්ටුව ගාව කානුවෙ රෙන එකා....? මුන්ට රෙන්නත් මෙතෙන්ට එන්න ඕනද?]"

"ඇයි මචං.... උඹලගෙ කක්කුස්සි ප්‍රශ්නෙ විසඳිලා නෑ නේද? ඔහොම හිටපංකො මම ඊලඟ පාර ආවම උඹලට"

"නෑ නෑ ඒකෙ අවුලක් නෑ මම කතා කලේ වෙන කේස් එකකට"

"මොකද්ද?"

"අපේ කොල්ලන්ට ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්න ඕනලු!"

"ඕකටද තෙපර බෑවේ? ඉතිං එවන්න මෙහේ! අපේ කොල්ලොත් එක්ක සෙල්ලං කරන්නෙ නැතෑ!"

"නෑ නෑ ඔහේගෙ කොල්ලො ටික මෙහේ එවන්න.... අතටත් කීයක් හරි දෙන්නං....."

"හරි හරි ඕක මොකද්ද?"

"එහෙනං තියන්නං....නමස්තේ"

"නමස්‍ෙතේ"

2. ට්‍රීං ට්‍රීං.........ට්‍රීං ට්‍රීං........ට්‍රීං ට්‍රීං........

"සර් ඇයි මේ හදිස්සියෙ.... නින්ද යන්නෙ නැද්ද?.... එවන්නද...."

"නෑ නෑ ඕයි.... අන්න මෝඩි කතාකරල කිව්ව කොල්ලො ටික එහෙට එවන්න කියල"

"යර්ස් සර්.... නෝ ප්‍රොබ්ලම්....මේ මේ...."

[දඩාස්]

3. ට්‍රීං ට්‍රීං.........ට්‍රීං ට්‍රීං........ට්‍රීං ට්‍රීං........

"හෙලෝ....."

"අන්න ලොක්ක කියනව කොල්ලො ටික ඉන්දියාවට යවන්න කියල!"

"ඇයි? දඹදිව වත් පෙන්නන්නද?"

"නෑ නෑ බං.... වන්ඩේ සීරීස් එකකට"

"මේ හදිස්සියෙ? මේක කොහොමද කොල්ලන්ට කියන්නෙ? අ‍නික උං ප්‍රැක්ටිස් කරලත් නෑ හරියට....."

"ඕයි මේව උඩිං එන ඕඩර්! තමුසෙ කොල්ලො ටික යවනවකො! සෙල්ලං ටික උං පෙන්නයි"

"ඕකේ සර්"

4. ට්‍රීං ට්‍රීං.........ට්‍රීං ට්‍රීං........ට්‍රීං ට්‍රීං........

"ඇන්ජි..... අපිට ඉන්දියාවට යන්න වෙලා කොල්ලෝ..... ඕඩීඅයිස් පහක් දීල"

"^%$*%*% මේ වෙලාවෙ?"

"මේක උඩිං ආපු ඕඩර් එකක් බං....."

"ඇයි යකෝ අපිත් දරුපවුල් කාරයො!"

"මට තේරෙනව බං.... කොහොම හරි ගහමු!"

"[%$$*&^ තමයි ගහන්න වෙන්නෙ]"

5. ට්‍රීං ට්‍රීං.........ට්‍රීං ට්‍රීං........ට්‍රීං ට්‍රීං........

"අැයි බං මේ මහරෑ?"

"මාර අවුලක් අයියේ.... ඉන්දියාවෙ යන්න වෙලා.....පහක්"

"මොන &^&^$&ද බං? එහෙම කියන කියන වෙලාවට සෙල්ලං කරන්න අපි ඇන්ලීන් බොනව කියලද මුං හිතං ඉන්නෙ? මට නං බෑ මම සික් ලීව් දානව"

"අනේ අයියේ එහෙම කරන්න එපා බං.....මාත් අමාරුවෙ"

"ඔහොම හිටපං බලන්න"

6.ට්‍රීං ට්‍රීං.........ට්‍රීං ට්‍රීං........ට්‍රීං ට්‍රීං........

"මචං...?"

"මේ.......මාර කේස් එකක්....ඉන්දියාවට යන්න වෙලා ඕඩිඅයි පහකට!"

"මොන %$$$$ද! මේ හදිස්සියෙ?"

"ඔව් බං &*%(^()^()^&^%$පුතාලා ඔක්කෝටම හා කියල, දැං මටත් කිව්වෙ!"

"හරි! එහෙනං අපි දෙමු හොඳ ගේමක්! ඕකුං හැඳිගෑවිලා යන්න...."

"එහෙම කොහොමද බං..... මේ හදිස්සියෙ......"

"ඔහොම හිටපංකො කියන්න.... අපි පහම උන්ට දෙමු!"

"ඉතිං.....?"

"මේකෙං පුල් අවුලක් හැදෙනව!"

"ඒ කොහොමද බං....."

"දෝනිය ඊයෙ කතා කලා.... ඌ ලෙඩිං.... දැං කෝලිය තමයි කැපා වෙන්නෙ.... මේ පහම උන්ට දුන්නොත් කෝලියගෙං ආයෙ ඕක ගන්න බැරි වෙනව.... වර්ල්ඩ් කප් ගහන්න බෑ දෝනිය නැතුව!"

"එච්චරද?"

"නෑ නෑ.... මුන්ට ගහන්න දෙන්න ඕන තුන්සීය පැනල.... අවුට් කරන්න හොඳ නෑ..... හොඳට බෝල් කරන්න ඕනත් නෑ.... උන්ට ප්‍රැක්ටිස් දෙන්නෙ මොකටද අපි?"

"ඒකත් හරි.....හැබැයි...."

"ඔහොම ඉඳිංකො.... මුල් තුන දින්න ගමං මුං ටීම් එක වෙනස් කරනව..... ඔන්න අපි හිතමු ඔපනින් එන රහනෙයි ධාවනුයි හොඳට‍ ගැහුවත් හතරෙදි වගේ රෝහිත් එන්න ඉඩ තියනව.... ඌටත් ගහන්න දෙනව හොඳට...."

"ඉතිං....?"

"ඉතිං වර්ල්ඩ් කප් එකට ටීම් එක තෝරන්න ගිහිල්ල මුන්ටික අනාගන්නව.... ටීම් එකට විස්සක් වත් දාල තමයි වලි බේරන්න වෙන්නෙ.... හහ් හහ් හා......"

"වැඩේ නං හොඳයි තමයි.... එහෙනං දෙමු ගේම කට්ටියට වර්ල්ඩ් කප් තෝරන්න ගියාම ඇ‍ඬෙන්නම....."

Tuesday, November 11, 2014

ඔබේ තීරණයෙන් ලියැවෙන ඔබේ අනාගතය!

ඔන්න බිසි වෙච්ච ටික දවසකට පස්සෙ ආයෙත් බ්ලොග්එක පැත්තෙ..... ඒ එනකොට,....

"ඈත ධූලීන් වැසී ගිය මිහිඳු රජ යැ. මෑත ශාන්ත වූ සෝභිත හිමි යැ. ඇත කෝපයෙන් රත් වැ ගිය යවට වැනි ඇස් ඇති මිහිඳු රජ යැ. මෑත කරුණායෙන් තෙත් වැ ගිය නිල්මහනෙල්පෙති පරයන ඇස් ඇති රතන හිමි යැ. ඈත එබුඑබූ පයින් මහපොළොව පළාපියන්නාක් සේ දිවන ඇත් මිහිඳු රජ යැ,....... "

හෝව් හෝව්! දන්නවනෙ මොකද්ද කේස් එක කියල. දැන් තියන තත්තෙ හැටියට වෙන්න පුළුවන් කතන්දරේ මේකයි. [විශේෂ ස්තුතිය:අනාගතයට යන අයුරු කියාදුන් හෙන්රි බ්ලොග්වෝකර්ට]

*********************************************************************
1.
එක පැත්තකින් මහින්ද බොස් ඉන්නව. ඒකෙ ආයෙ දෙකක් නෑ නෙව! එතකොට අනිත් පැත්තෙන් කවුද?

අනිත් පැත්තෙන් එන්නෙ රනිල්ද නැත්තං පොදු අපේක්ෂකයෙක්ද? පොදු අපේක්ෂකයෙක් මොකටද? ඇයි රනිල්ට බැරිද? රනිල්ට පුළුවන් නම් කෙලින්ම දෙකට යන්න.
පොදු අපේක්ෂකයා ඕනනං තුනට යන්න


2.
ඔන්න රනිල් ඉල්ලනව. රනිල්ට ජවිපෙ සහයක් නෑ කොහොමටවත්. රතන සාදු ඉන්නෙත් "මහින්ද වෙනුවට රනිල් නං එපා" ස්ථාවරයේ. දෙමළ සන්ධානයත් ලොකු ෂුවර් එකක් නෑ. හකීම්-තොණ්ඩමන් දැනටමත් මහින්ද එක්ක. අවසාන ප්‍රතිපලය තමයි රනිල් පරදිනව, සුළු ගානකිං හරි රනිල් පරදිනව.


3.
කවුද පොදු අපේක්ෂකය? එයා නිර්පාක්ෂිකයෙක්ද නැත්තං කරුද? චන්ද්‍රිකාද? පොදු අපේක්ෂකය කරු නං හතරට යන්න. චන්ද්‍රිකා නං පහට යන්න. නිර්පාක්ෂිකයෙක් නං හයට යන්න.


4.
කරුට පුළුවන්ද ජවිපෙ එකතු කරගන්න. යූඇන්පී කාරයෙකුට ජෙප්පො කැමති වෙයිද? කරුට අනිත් අය කැමති වෙයි නං හතට යන්න. නැත්තං අටට යන්න.


5.
චන්ද්‍රිකාට ජවිපෙ කැමති වෙන්න නං එයා ආයෙ මැරිල උපදින්න වෙයි. අනෙක් අයගෙ සහයෝගයත් ෂුවර් නෑ. ඒ ඔක්කෝටමත් වැඩිය මිනිස්සු මහින්දට කැමති වීමේ සම්භාවිතාව වැඩියි මං හිතන්නෙ. අවසාන ප්‍රතිපලය චන්ද්‍රිකා කියන පුස්කෑ පාන් කෑල්ල මේසෙ උඩින් කුණු බක්කියට වැටීම.


6.
නිර්පාක්ෂිකයෙකුගෙ වාසිය තමයි සියළු පක්ෂ එක්කර ගැනීමේ හැකියාව ඉහල වීම. උදාහරණයක් විදියට සෝභිත සාදුට තියනව ඒ හැකියාව. රනිල් සජිත් වගේ බුවාලගෙ කකුලෙන් ඇදිලි නැතිවුනොත් ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්. සෝභිත සාදු දිනනව නං නවයට යන්න. නැත්තං දහයට යන්න.


7.
මෙතනදි කරූට පුළුවන් සෑහෙන ගේමක් දෙන්න. හෙළ උරුමයට, දෙමළ සන්ධානයට උනත් අවුලක් නැති වෙයි. ජවිපෙත් මහින්දට තියන අකමැත්ත නිසා එකඟ වුනොත් ගොඩ. 50-50 සටනක් අනිවාර්යයි.


8.
මෙතනදි රනිල් ඉල්ලුව වගේම තමයි. සිංහල බෞද්ධ ඡන්ද ටිකක් වැඩිවෙයි. නමුත් පරාදයි. මේ පරාජය කරුගෙ දේශපාලන ජීවිතයට සෑහෙන්න නරකයි.


9.
දිනුවට පස්සෙ පොරොන්දු ඉෂ්ඨ කරල විධායකය අහෝසි කරයිද? එහෙම නැත්තං යූඇන්පියත් එක්ක සෙට් වෙලා අපිට අරීවිද? ඔය දෙකම දැනගන්න නං අනාගතේට යන්න වෙනව.


10.
වියහැකි අයහපත්ම තත්වය තමයි මේක. එදාට ඇතිවන තත්වය අනුමාන කිරීම ඉතාම පහසුයි. කොටින්ම තවත් අවුරුදු හතරකින් තමයි අපායට ඉන්ටවල් එකක් එන්නෙ!

Thursday, October 30, 2014

ඛේදවාචකයට පසු....

ව්‍යසනය සිදුවී අවසන්ය. මියගියවුන් වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම හැර අන් යමක් ඉතිරිව නැත. දැන් වෙහෙස වන්නේ විනාශයට වගකිවයුත්තා සෙවීමටය. බොහෝ පාර්ශවයන්ගේ ඇඟිල්ල දිගු වන්නේ රජය පැත්තටය. ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයට අනුව ප්‍රදේශයේ අවදානම පිළිබඳව අනතුරු හැඟවීම කර අැත්තේ 2005 පමණ ඈත කාලයේදීය. දශකයකට පමණ පෙර විනාශය හඳුනාගෙන තිබියදීත් ජීවිත සිය ගනනක් නැතිවීම පිළිබඳව වගකිව යුත්තේ කවුද?

නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ඉඩම් අත්පත් කරගැනීමේ විවාදයකදී ජවිපෙ නායක අනුර දිසානායක සඳහන් කල පරිදි ලංකාවේදී, ඉඩමක්-නිවසක් යනු හුදු දේපලක් පමණක්ම නොවේ. ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් යැපෙන්නේ කෘෂි ආර්ථිකය මූලික කරගෙනය. එනම් තමා අවට ඇති "භූමිය" මුල්කරගෙනය. එවන් තත්වයකදී "ඉඩමක්" යන්න අර්ථ ගැන්වෙන්නේ ඉඩම, නිවස, පවුල, රැකියාව.... ආදී සියල්ලයි. එබැවින් ජීවත් වන භූමියෙන් ඉවත්වන්න යයි යමෙකුට කීම යනු ඔහු හා බැඳී පවතින සියල්ල විතැන් කිරීමකි. අනතුරු හඟවන්නන්, චෝදනා කරන්නන්, ඇඟිල්ල දික් කරන්නන් ‍ආදී සියල්ලන්ම තේරුම්ගත යුතු තත්වය එයයි. ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ පර්යේෂණ වලට අනුව නායයාමේ අවදානම ඇති ප්‍රදේශ හැත්තෑ ගනනක් දිවයින තුල හඳුනාගෙන ඇත. ‍ගම්පහ දිස්ත්‍රික්කයේ අතිශයින් නාගරීකරණය වී ඇති ප්‍රදේශ වලද අවදානම් කලාප ඇති බැව් කියවේ.

විනාශයට පෙර රජයේ පාර්ශවයෙන් කලයුතු මැදිහත් වීමද සිදුකර නැත. සාමාන්‍යයෙන් මෙය බලාපොරොත්තු වියහැකි තත්වයකි. පාලන ක්‍රමයේ සංකීර්ණභාවය මෙයට මූලික හේතුවකි. අනතුරු හැඟවීම එක් පාර්ශවයකින් සිදුකරන විට අනෙක් පාර්ශව අනතුර වලක්වා ගැනීමට කටයුතු කර ඇති බවක් පෙනෙන්නේ නැත. මෙය ඉදිරියේදීත් වෙනස් වේයයි සිතිය නොහැක. සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉඩම් අහිමි කලවුන්ට පවා සාධාරණය ඉෂ්ඨ නොවන තත්වයකදී මෙවන් මිනිසුන් සිටින්නේ කොතැනද යන්න සිතාගැනීම අපහසු නැත. අප අසා ඇති ආකාරයට බොහොමයක් සංවර්ධිත රටවල ඇති එකට ගොනුවූ නිවාස ක්‍රම මෙරටට ගැලපෙන්නේ නැත. අනෙක් අතට කුමන හෝ ස්වභාවික අවදානමක් ඇති ප්‍රදේශ අති විශාල සංඛ්‍යාවකි. එම පෙදෙස් වලින් මිනිසුන් ඉවත් කිරීමද ලෙහෙසි නැත. එබැවින් ඉහත ප්‍රශ්න සියල්ල ආවරණය වන පරිදි පොදු වැඩපිලිවෙලක අවශ්‍යතාවය ඇත.

ඛේදවාචකයේ තවත් අත්දැකීමක්.

Thursday, October 16, 2014

හොඳ ගෙඩි වලට විදින පළතුරු මැස්සෝ.........

පලතුරු මැස්සො විදින්නෙ සාමාන්‍යයෙන් එලවළු පළතුරු වලට. අර කතාවක් තියෙන්නෙ හොඳ ගෙඩි පණුවන්‍ට කියලත්. ඒ පණුවො ගෙඩිය කෑම පටන්ගන්නෙත් පළතුරු මැස්ස ගෙඩියට විදල ඒකෙ බිත්තර දැම්මම. පහුගිය දවසක ඔෆිස් එකේ ගාමිණී අයියයි මායි පොඩ්ඩක් අනුමත වෙන්න ගත්ත. ඒ වෙලාවෙ මම දැක්ක ගාමිණී අයියගෙ අතේ මැණික් කටුවට පොඩ්ඩක් උඩින් තිබුන පොඩි ගෙඩියත්. සෙන්ටිමීටර භාගයක් විතර විශ්කම්භයක් තිබුන ලා රත් හැහැය ගත්ත ගෙඩියක් චුට්ටක් උඩට ඉස්සිලා තිබුන. මට ඇතිවුනා පොඩි සැකයක්.

"මේ මොකද්ද බං?" ගෙඩිය පෙන්නල මම ඇහුව.

"මොකද්ද දන්නෑ බං..... මාසයක් විතරැති ඇවිල්ල"

"අඩෝ පළතුරු මැස්ස විදලද දන්නෑ..... පොඩ්ඩක් පෙන්නපං....." මම අවවාදයක් දුන්නෙ මීට කලින් දැකල තිබුන දෙයක් නිසා. සතියකට පස්සෙ මෑන් ආව.

"හරිනෙ බං! පළතුරු මැස්ස තමයි.... හම්බන්තොටට එන්න කිව්ව!"

ඔන්න ඕකයි සීන් එක. මේ පැත්තෙ පැතිරිලා යන රෝගයක් තමයි පළතුරු මැස්සො විදීම. මේක ටිකක් විතර බරපතල කේස් එකක්.

පළතුරු මැස්ස දැන් මිනිස්සුන්ට විදින්න පටන් අරගෙන. කොහොම උනත් එක එක නම් වලින් මේ ලෙඩේ හඳුන්වනව. සමහර පැතිවල වැලි මැක්ක කියලත් කියනව. මොකා උනත් මූ විද්දට පස්සෙ මාසයක් දෙකක් අැතුලත මම කිව්ව විදියෙ රෝග ලක්ෂණ පහල වෙනව. මුලදි වේදනාවක් නැති ගෙඩියක් තමයි එන්නෙ. නමුත් කාලයක් ගතවුනොත් නං ටිකක් අමාරුයි. කාලය ගත වෙද්දි තුවාලයක් හැදිල ඒක ලොකු වෙනව. ඒ තුවාලයේ තියන ලක්ෂණය තමයි ඇතුලෙන් තුවාලයක් විදියට තිබුනත් පිටතින් එච්චර ‍පේන්නෙ නැතිවීම. ප්‍රතිකාර නොකර හිටියොත් පණුවො හැදෙනව කියලයි කියන්නෙ.

රෝගයට කරන ප්‍රතිකාරයත් ටිකක් වෙිදනාකාරියි. මූලිකවම ප්‍රතිකාර ක්‍රම දෙකක් තියනව දැනට. එකක් තමයි තුවාලය වටේට බෙහෙත් විදීම. අර ඉස්සර බල්ලො කෑවම බුරිය වටේට විදිනව වගේ. අනිත් ක්‍රමය තමයි ගෑස් වලින් පිලිස්සීම. මාස තුනක් හතරක් තිස්සේ විටින් විට මේ ප්‍රතිකාර කරන්න වෙනව.

මෙන්න මේ තියෙන්නෙ බෙහෙත් විදීමේ ක්‍රමයෙන් දැනට සුව වෙමින් පවතින ගෙඩියක්.


මේ තියෙන්නෙ පිලිස්සීමේ ක්‍රමයෙන් සම්පූර්ණයෙන්ම සුවවූ ගෙඩියක්.


පළතුරු ගස් වැඩිපුර තියන පැතිවල මේ හානිය ටිකක් වැඩියි කියල කියනව. විශේෂයෙන්ම අඹ ගස් තියන ගෙවල් වල උදවිය ප්‍රවේශම් වෙන්න කියල දොස්තරවරු කියනව. මුහුණකට වගේ මැස්ස විද්දොත් කාලයක් යනතුරු කැළලක් පේන්න පුළුවන් කියලත් කියන්න ඕන. සතෙක් මනුස්සයෙකුගෙ ඇඟේ බිත්තර දාන කතා අපි අහල තිබුනෙ හොලිවුඩ් චිත්‍රපටි වලින් විතරයි. මේ කලියුග කාලෙ දැන් ඒක ඇත්තටම සිදුවෙනව.



(විශේෂ ස්තුතිය: පින්තූර ගන්න ඉඩ දුන්න අපේ කාර්යාලයේ නෝනල දෙන්නට)

Monday, October 13, 2014

මලාලා යුසුෆ්සායි සහ මහින්ද රාජපක්ෂ!

මෙවර නොබෙල් සාම ත්‍යාගය(සම) මලාලා යුසුෆ්සායි වෙත පිරිනැමිනි. දෙදහස් දොලහ වසරේදී මලාලාට වෙඩි තැබීමට පසුව මෙම අඩවියේදී ඇයට ඉක්මන් සුව ප්‍රාර්ථනා කල පිරිස අතර සිටි ඊමේල් කවිකාරිය විසින්, දිනෙක ඇය නොබෙල් ත්‍යාගය දිනාගන්නා බවට කල අනාවැකියක්ද සටහන් කර තිබුනි. බ්ලොග් අඩවියක් මඟින් අධ්‍යාපන අයිතිය ඉල්ලූ ඇයට ‍එල්ලවූ අන්තවාදී ප්‍රහාරයෙන් හරියටම වසර දෙකකට පසු නොබෙල් සාම ත්‍යාගය දිනාගැනීම බ්ලොග්කරුවන් ලෙස අපටද ආඩම්බර වියහැකි කාරණාවකි. එමෙන්ම නොබෙල් ත්‍යාගයක් දිනූ පළමු බ්ලොග්කාරිය ලෙස ඉතිහාසගත වන ඇයට සුභපැතීමට මෙය අවස්ථාවක් කරගනිමු!

නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමේ අරමුණ සාමය උදාකිරීම වුවද මෑත කාලයේ සාම ත්‍යාග පිරිනැමීම් දැඩි විවාදාත්මක විය. බලයට පත්වී ඉතාම කෙටි කලකදී බරක් ඔබාමා වෙත සාම ත්‍යාගය පිරිනැමීම එක් උදාහරණයකි. ඒ මේ පිළිබඳ කතා කිරීම අනවශ්‍ය යයි සිතමි. නොබෙල් සාම ත්‍යාගයක් ශ්‍රී ලංකාවට හිමිවීමට තිබූ අවස්තාවක් මඟහැරී ගියා යැයි කිවහොත්?


මගේ අදහස නම් එය එසේ වූ බවයි. ඒ අනෙකෙකුට නොව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටයි. ලෝකයේ කෲරතම ත්‍රස්තවාදී සංවිධානය ලෙස සැලකූ එල්ටීටීඊය යුධමය ලෙස පරාජය කර මුලිනුපුටා දමා තිස් අවුරුද්දක් තිස්සේ පැවති යුද්ධය අවසන් කර කෝටි දෙකකට අධික ජන සමාජයකට සාමය උදා කිරීම නොබෙල් සාම ත්‍යාගයෙන් පිදීමට සුදුසු වන කටයුත්තක් නොවන්නේද? මගේ අදහස නම් එය එසේ වන බවයි. යුද්ධය අවසන් කිරීම යන කාර්යය සැලකූ විට මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යභාරය ඔබාමා, මලාලා, අල් ගෝර් සහ තවත් ජයග්‍රාහකයන් බොහෝ දෙනෙකුගේ කාර්යභාරයට වඩා ඉහලය. ඔහුගේ කාර්යය සාම ත්‍යාගය පිරිනැමීමේ අර්ථයෙන් උසස්ය.

ඉතිහාසය පුරාම, ලැබිය යුතුව තිබූ ජයග්‍රහනයන් බොහොමයක් නූලෙන් මිස් කරගන්නා ජාතියක් වන අප මෙහිදීද නොකල යුත්තක් සිදුකර තිබුනි. අතිශය අපහසුවෙන් ලබාගත් යුධ ජයග්‍රහණයෙන් පසු සිදුකල යුතුව තිබුන අත්‍යාවශ්‍ය සහ පහසුවෙන් සිදුකල හැකිව තිබූ ප්‍රතිසංස්කරනයන් රාශියක් හිතාමතාම මඟහැරිනි. එහි ප්‍රතිපලය ලෙස යුද්ධය අවසන් වුවද වාර්ගික අසමඟිය අවසන් නොවුනි. නොබෙල් ත්‍යාගය නූලෙන් මිස්වුනා යයි කිව හැක්කේ එබැවිනි.

Thursday, October 9, 2014

සරත් සහ සහෝදරයෝ, ෆොන්සේකා, රනිල් සහ අරාජිකත්වයේ අභියෝගය.

ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරයාට තෙවැනි වරටත් ඉදිරිපත් වීමට නොහැකි යයි සරත් එන් සිල්වා මහතාගේ තර්කය මේ දිනවල කතාබහට ලක්වන්නකි. තර්කය ඉදිරිපත් කරන සරත් එන් සිල්වා යනු හිටපු අගවිනිසුරු වීම තර්කය තවත් තීව්‍ර කරන්නකි. මූලිකවම ඔහු, තමා ඉදිරිපත් කරන තර්කයට පදනම් කරගන්නේ "ඕනෑම නීතියක් ඉදිරියට බලපැවැත්වෙන බවත් අතීතයට බලපෑමක් සිදුවීමට නම් එය විශේෂයෙන් ව්‍යවස්ථා සංශෝධනයට ඇතුලත් කලයුතුය" යන්නය. දහ අටවැනි සංශෝධනය ඉදිරිපත් කරන මොහොත වනවිටත් ජනාධිපතිවරයා නැවත පත්වීමට ඉල්ලීම සඳහා නුසුදුස්සෙක්ව සිටි අතර, උක්ත සංශෝධනයේදී ඔහු නැවත පත්කිරීමේ විධිිධානයක් විශේෂයෙන් ඇතුලත් කර නොමැති බැවින් ඔහු නුසුදුස්සෙක් බව හිටපු අගවිනිසුරු වරයාගේ තර්කයයි.

මීට ප්‍රතිවිරුද්ධ පාර්ශවයෙන් ශක්තිමත් තර්කයක් ඉදිරිපත් වූයේ අධිනීතීඥ ගෝමීන් දයාසිරි වෙතිනි. ඔහුගේ තර්කය පදනම් වන්නේ කරුණු දෙකක් මතය.
1. නීතියක් බලපැවැත්වෙන්නේ අවස්ථාව මතය. ඒ අනුව ජනාධිපතිවරයා තෙවැනි වතාවට තෝරා පත් කරගැනීමට නියමිත අවස්ථාවේදී (එනම් මේ සටහන ලියන මොහොතේ සිට ජනාධිපතිවරයාගේ ධූර කාලය නිල වශයෙන් අවසන් වන 2016 අදාල දිනය දක්වා ඕනෑම වේලාවක) මුලින් තිබූ බාධකය(දෙවතාවක් පත්වීම) ඉවත්ව ඇති නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකිය.

මෙම තර්කයේ වලංගු භාවය පෙන්වීමට අතීත පූර්වාදර්ශයක්ද ගෝමීන් දයාසිරි මහතා ඉදිරිපත් කරයි. එනම් කාන්තාවන්ට ඡන්ද බලය නොතිබූ සමයේ, ඡන්දය ප්‍රකාශ කිරීමට නොසුදුසුව සිටි සියළු කාන්තාවන්ට, පනතක් මඟින් ඡන්ද බලය හිමිවිය. එහෙත් ඒ වනවිට වයස සම්පූර්ණ කල කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සඳහා අතීතයට බලපවත්වන විශේෂ විධිවිදානයක් අවශ්‍ය නොවීම ඔහු දක්වයි.

2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 වැනි ව්‍යවස්ථාවෙන් දැක්වෙන්නේ ජනාධිපතිවරයා වශෙයන් තෝරාපත් කර ගැනීමට නුසුදුසුකම්ය. ඒ මෙසේය,

(අ) වයස අවුරුදු තිහ (30) සම්පූර්ණ කර නොසිටීම;
(ආ) 91 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනුව්‍යවස්ථාවේ (ඈ), (ඉ), (ඊ) හෝ (උ) ඡේද යටෙත් පාර්ලිෙම්න්තු මන්තීවරයකු ලෙස තෝරා පත් කර ගැනීමට නුසුදුස්සකු වීම;
*[(ඇ) ඉවත් කරන ලදී.]
(ඈ) 38 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාවේ (ඉ) ඡේද‍යේ විධිවිධාන යටෙත් ජනාධිපති ධුරෙයන් ඉවත් කරනු ලැබ සිටීම, යන නුසුදුසුකම්වලින් කවර වූ හෝ නුසුදුසුකමකට යටත්ව සිටී නම් මිස, ජනාධිපතිවරයා වශෙයන් තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සෙක් වන්නේය.


මෙහිදී (ඇ) යටතේ කලින් තිබූ "දෙවතාවක් තොරාගැනීම" යන්න ඉවත් කර ඇති බැවින් තෙවැනි වාරය සඳහා ඉල්ලීමට බාධාවක් නැත.

මේ අනුව දෙපැත්තේ ඇති තර්කවල වලංගුභාවය බේරාගත යුත්තේ අධිකරණයට යාමෙනි, වඩාත් නිවැරදිව කිවහොත් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමෙනි. අධිකරණයේ වත්මන් තත්වය අනුව තීරණය කලින්ම නිගමනය කිරීම අපහසු නොවේ. මතුව ඇති අර්බුධය ඒ ආකාරය වුවද කතා කිරීමට සූදානම් වූ මාතෘකාව එය නොවේ.

මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණ සරත් එන් සිල්වා සමඟ රට පුරා යමින් සිටියි. ඒ උක්ත නීතිය පිළිබඳ දේශන පවත්වමිනි. නීතිය කුමක් වුවත් අවසානයේ තීන්දුව ලැබෙන්නේ කවුරුන්ට වාසිදායකවද යන්න ජවිපෙ නොදන්නවා විය නොහැකිය. එසේ නම් නීති තර්කයක් ගැන කතා කරමින් රටපුරා යාමේ ප්‍රයෝජනය කුමක්ද? මහින්ද රාජපක්ෂ මහතා තෙවැනිවර ජනාධිපතිවරණයට තරග කරන්නේ නම් ජවිපෙ තරග නොකරන කතාවක්ද එහෙන් මෙහෙන් ඇසේ. ෆොන්සේකා මහතාද සිටින්නේ මෙම මතයේය. පෙරටුගාමී සමාජවාදීන්ගේ පැත්තෙන් කුමාර් ගුණරත්නම්ද තරග කිරීමට සූදානමින් සිටින කසුකුසුවක් ඇසේ. සෝභිත හිමියන් තමන්ව පොදු අපේක්ෂකයා යැයි කියා නොකියා වැඩසිටී. රනිල්ද ජනාධිපති සිහිනයේ කිමිදී සිටියි. මේ කලයුත්ත වෙනුවට නොකලයුත්ත කරන අරාජික කාලයයි. පොදු අපේක්ෂක කතා යට ගොස් ඒ මදිවාට විධායකයද අවුලක් නැති යයි කියන තැනට ඇවිත්ය. දෙන දෙයක් කාබී මහින්ද‍ට කතිරය ගසන්නට අපටද සිතුනොත් පුදුමයක් නැත!

Tuesday, October 7, 2014

The පහරදීම්ස්

බට්ටිගෙන් නෝනිස්ට

නෝනිසර් හරිම දුකයි
වෙච්ච වැඩේ කැතම කැතයි
ඒත් ඉතිං මොක කරන්ද
ඕවයෙ හැටි ඔහොම තමයි
මටත් ගැහුවෙ ඔහොම තමයි!

අපි දෙන්නම කල ජොබ්එක
එක එකාව'තුටු කරනෙක
වැඩියෙන් වැඩ පෙන්නුවාම
උඩදානව නේ වඩාන
රස්සා දෙක එකම වගෙයි!

අන්තිමේදි ගුටි කෑවම
මට තියනව උසාවි හරි
සර්ට නං ඒකත් නෑ
තානාපති සේවේ අපේ
වේසාකමටත් පහලද?

මගෙන් සමහරක්‍ට

සජිය ගහල නෝනිස්ට
රාලහාමි බට්ටීට
අපි ගහන්නෙ කාට
එන්න එන්න
අමර එන්න
චමරි එන්න
මේ ගල් ගන්න
උදුලට ගහන්න
එන්ජීඕ‍ට රිදෙන්න
උදුලට ගහන්න

රාජපාක්ෂිකයන්‍ට ප්‍රශ්න දෙකක්

➊ බට්ටිට ගැහුවම මිනිස්සු ආණ්ඩුවට බැන්න. ඒකෙ ලොකු අවුලක් නෑ. මොකද ආණ්ඩුවට කොහොමත් බනිනව නෙව! හැබැයි ඉතිං පොලිස් කාරයට දඬුවමක් දීල බට්ටිට සාධාරණය ඉටුකලා නං ඉවරයි නෙව. නමුත් දැං ඔහේල මොකද්ද කරන්නෙ? බට්ටි වෙනුවෙන් පෙනී සිටින එවුන්ට ගහනව, කුමන්ත්‍රණ කතා කියනව, උද්ඝෝෂන කරනව, එන්ජීඕ වලට බනිනව, ප්‍රකාශ නිකුත් කරනව,...... මේව දකින ලෝකයා හිතන්නෙ ඇත්තටම මේක ආණ්ඩුවෙ අවුලක් කියල! ඇයි මේ නිකං පුකේ ටිංකිරි ගාගන්නෙ?

➋ නෝනිස්ට ගැහුව! නෝනිස් අස්වුනා! කට්ටිය කෑගැහුව...... වැඩේ හෙමින් හෙමින් අමතක වෙලා යාවි.... ඇයි මේ කියන කතා? "නෝනිස් ඔතෙන්‍ට ගත්තෙ අපි...., නෝනිස් ගැන විපක්ෂෙ කතා කරන්නෙ දැං...., නෝනිස් වටින්නෙ දැං.... " කතා කෝටියයි. ඒ කියන්නෙ තනතුරක් දුන්නම එයාට ගහන්නත් අයිතියක් තියනව කියලද කියන්නෙ?

Thursday, September 25, 2014

ලියුම් හතරක කතාවක්!

වෙනත් අායතන වල ගණුදෙනු වෙන ලියුම් කියවීම එච්චර හොඳ දෙයක් නොවුනත් අහම්බෙන් ලැබුනු ලියුම් පිටපත් ටිකක් පාඨකයන් එක්ක බෙදාගන්න හිතුන.

✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉
ස්කන්ධ දිව්‍ය පුත්‍ර,
තවුතිසා 8 වන කොටස
දිව්‍ය ලෝකය.
2014.09.21

අතිගරු ශක්‍ර දිව්‍ය රාජෝත්තම,
තවුතිසා 1 කොටස
දිව්‍ය ලෝකය

නවාතැන් දීර්ඝ කිරීම

ම‍ාගේ බල ප්‍රදේශය වන කතරගම, තවදුරත් අසුර පාලනයට යටත් වූ බැවින්, මාගේ සහ වල්ලීගේ ආරක්ෂාව පිනිස, ඉදිරි වසර පහ සඳහාත් දිව්‍ය ලෝක අටවැනි කොටසේ වාසය කිරීමේ කාලය දීර්ඝ කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

මීට යටහත්,
ස්කන්ධ දිව්‍ය පුත්‍රයා.
[අත්සන]
✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉

ශක්‍ර දිව්‍ය රාජෝත්තම,
තවුතිසා පළමු කොටස,
දිව්‍ය ලෝකය.
2014.09.23

සුමන සමන් දිව්‍ය පුත්‍ර,
සමනොල අඩවිය,
ශ්‍රී ලංකාද්වීපය.

ස්ථානීය පරීක්ෂාව-කතරගම

කතරගම ස්කන්ධ දිව්‍ය පුත්‍රයාගේ 2014.09.20 දිනැති ලිපිය(ඇමුණුම) අනුව, කතරගම බල ප්‍රදේශයේ වාසය කිරීම ඔහුගේ ආක්ෂාවට තර්ජනයක් බැව් දන්වා ඇති බැවින් ඒ පිළිබඳව කඩිනමින් පරීක්ෂා කර බලා මවෙත වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් දන්වමි.

2.මේ වෙනුවෙන් වන ගමන් වියදම් නොපමාව ඉදිරිපත් කලයුතු බව වැඩිදුරටත් දන්වමි.

ශක්‍ර දිව්‍ය රාජෝත්තම
[අත්සන]

✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉

සුමන සමන් දිව්‍ය පුත්‍ර,
සමනොල අඩවිය,
ශ්‍රී ලංකාද්වීපය.
2014.09.28

අතිගරු ශක්‍ර දිව්‍ය රාජෝත්තම,
තවුතිසා 1 කොටස
දිව්‍ය ලෝකය

ස්ථානීය පරීක්ෂාව-කතරගම

උක්ත කරුණ සම්බන්ධයෙන් ඔබේ 2014.09.23 දිනැති ලිපිය හා බැ‍ඳේ.
අදාල ප්‍රදේශය පරීක්ෂා කරනු ලදුව එය දේව වාසයට කිසිසේත්ම නොසුදුසු බැව් ප්‍රකාශ කරමි. පිටු එකසිය පහක වාර්තාව මේ සමඟ එවන බව කාරුණිකව දන්වමි.

සුමන සමන් දිව්‍ය පුත්‍ර.
[අත්සන]
✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉

ශක්‍ර දිව්‍ය රාජෝත්තම,
තවුතිසා පළමු කොටස,
දිව්‍ය ලෝකය.
2014.09.29

ස්කන්ධ දිව්‍ය පුත්‍ර,
තවුතිසා 8 වන කොටස,
දිව්‍ය ලෝකය.

නවාතැන් දීර්ඝ කිරීම

උක්ත කරුණ සම්බන්ධයෙන් ඔබේ 2014.09.21 දිනැති ලිපිය හා බැ‍ඳේ.
දිව්‍ය ලෝකයේ අටවැනි කොටසේ වසර පහක් වාසය කිරීමට අනුමැතිය ලබා දෙමි. ඔබේ ආරක්ෂාව පිනිස, කිසිවෙකුගේ හෝ අවශ්‍යතාවයක් වෙනුවෙන් කතරගම ප්‍රදේශයට නොයන ලෙසත්, පඬුරු-පාක්කුඩම්, පූජා වට්ටි ආදිය භාර නොගන්නා ලෙසත් වැඩිදුරටත් දන්වමි.

ශක්‍ර දිව්‍ය රාජෝත්තම
[අත්සන]

Tuesday, September 23, 2014

ඌවේදී ඌවවුන ෆොන්සේකා!

උෟව මැතිවරණයෙන් වඩාත්ම ඌවවුනේ ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයටය. බස්නාහිරදී දකුණේදී මෙන්ම වයඹදී ඔවුන් සිටියේ තෙවැනි ස්ථානයේය. නමුත් උෟවේදී ප්‍රපයේ ඡන්ද සංඛ්‍යාව විටෙක ජානිපෙ ඡන්ද සංඛ්‍යාවටත් වඩා පහලට බැස තිබුනි. අප කලින්ද සඳහන් කල පරිදි ෆොන්සේකා මහතාට තිබූ අභියෝගය තමාගේ ජනප්‍රියත්වය අඩුවීමට පෙර පක්ෂය ශක්තිමත් කරගැනීමත් විශ්වාසදායක පුද්ගලයින් ජනතා නියෝජිතයන් බවට පත්කිරීමත්ය. නමුත් මේ වනවිට සිදුව ඇත්තේ පක්ෂ නායකයාගේ ජනප්‍රියතාවය හීන වීමත් සමඟ පක්ෂයද ජනතාවගෙන් විසි වීමය.

කෙසේ වුවත් තම පිරිහීම වටහාගැනීමට අපොහොසත් ෆොන්සේකා මහතා මේ වනවිට සිදුකරන්නේ අවලාද නැඟීමයි. ඡන්ද රාජකාරි කල රාජ්‍ය සේවකයන් තේරීම රජයෙන් සිදුකරන බව ප්‍රකාශ කල ඔහු වක්‍රව කියා සිටියේ තම පක්ෂයේ පසුබෑමට එය හේතුවක් වූ බවයි. ජනාධිපතිවරණයේදී 'කොම්පියුටර් ජිල්මාට්' මත පරාජය වසාගතහැකි වූයේ එවකට තිබූ තත්වයත්, ෆොන්සේකාගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය ඡන්දය පැවති දිනයේම මතුවීමත්, මැතිවරණ කොමසාරිස් වරයාගේ ආතති කතා ආදී කරුණු ගණනාවක් තිබීම හේතුවෙනි. නමුත් මෙවර ෆොන්සේකා මහත‍ා තෝරාගෙන ඇත්තේ කවුරුත් දන්නා පරණ තුරුම්පුවකි. මෙය ඔහුගේ දේශපාලන පරිනතභාවය පෙන්වන ස්ථානයකි.

සාමාන්‍යයෙන් ලංකාවේ ඡන්දය ආරම්භ වන්නේ හැමදාමත් ආණ්ඩුවට වාසිදායක පසුබිමකය. ජනාධිපතිවරණයක් බොහෝ විට ජනාධිපතිවරයා/අගමැතිවරයා සමඟ තරගයකි. පළාත් සභා/පළාත් පාලන මැතිවරණ පවතින්නේ ආණ්ඩුවක් යටතේය. මහ මැතිවරණ පවතින්නේ කුමන හෝ පක්ෂයක ජනාධිපතිවරයා යටතේය. කෙසේ වුවත් ඡන්දය පැවැත්වීම සහ ගණන් කිරීමේ අවස්ථාවන් සැලකූ විට එය අපක්ෂපාතීව සිදුවන බැව්, වසර කිහිපයක් මැතිවරණ රාජකාරි කල අයෙකු ලෙස මේ බ්ලොග් කරුවාට කිව හැකිය. ඊට හේතුව රාජ්‍ය සේවකයන් අපක්ෂපාතී හොඳ මිනිසුන් වීම නිසා නොව වංචා දූෂණ අවම වන ආකාරයේ ක්‍රම වේදයක් සකස් කර තිබූම හේතුවෙනි. ඕනෑ‍ම දේශපාලන සංවිධානයක් පිටියට පැමිණිය යුත්තේ මේ තත්වය දැන, ඊට සූදානමින්ය. පරාජය වූවාට පසු කොහේවත් ඇති හේතුවකට බඅන අඬගැසීම අපට සිහිවන්නේ නටන්න බැරි මිනිහා පොලවේ ඇද සෙවීමේ කතාවයි.

වැඩිදුරටත් සඳහන් කලහොත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මේ වනවිට ඇත්තේ අනතුරුදායක අඩියකය. ජනප්‍රියත්වය සීග්‍රයෙන් පහලට වැටෙමින් පවතින ඔහුගේ සහ පක්ෂයේ සදාකාලික නින්ද නැවැත්වීම අතිශයින් අපහසුය. මෙහි ප්‍රතිපලයක් ලෙස පළාත් සභා කිහිපයක සිටින ජනතා නියෝජිතයන් ප්‍රධාන පක්ෂ වැලඳගැනීම හෝ විමල් වීරවංශගේ ජානිපෙ පන්නයට ෆොන්සේකා, පක්ෂයත් නියෝජිතයන් සමඟ එජාපය වැලඳගැනීම නුදුරේදී සිදුවිය හැක්කකි. එතෙක් කට පරෙස්සම් කරගැනීම වැදගත් බැව් ෆොන්සේකා මහතා වටහාගත යුතුය.

Monday, September 22, 2014

ඌවේදී ඌව වීම!

ඌව ඡන්දය අවසන්ය. මාධ්‍ය වාර්තා කරන විදියට හැමෝම ජයග්‍රහනය කර ඇත. යමක් ගැන විග්‍රහ කිරීමට ඕනෑම අයෙකුට ඇති අයිතිය අනුව මේ මගේ කෙටි විග්‍රහයයි.

1. දැක්විය හැකි පැහැදිලිම විග්‍රහය නම් අප කලින්ද සඳහන් කල පරිදි, පොදුවේ, ජනතාව යනු අමු මැට්ටන් පිරිසක් බවයි (විශේෂයෙන්ම මොනරාගලට මෙය අදාලය). ඔවුන්ගේ රැවටීමේ නිමාවක් නැත. මැට්ටන් යයි කියන්නේ සන්ධානය ජයග්‍රහනය කරවීම‍ටත් වඩා කයිවාරුකාරයෙකු පමණක් වූ හිටපු මහඇමතිවරයා පළමු තැනට පත්කිරීම හේතුවෙනි.

2. එජාපය යම් ජයග්‍රහනයක් ලබ‍ා ඇත. විශේෂයෙන්ම බදුල්ලෙන් හරීන් වැන්නකු ඉදිරිපත් කිරීම තුලින් මෙතෙක් ලබා තිබූ තිස් ගනන්වල ප්‍රතිශතය හතලිහක් දක්වා වර්ධනය වීම ඔවුන්ගේ පැත්තෙන් ජයග්‍රහනයකි. ආණ්ඩුවේ සිටින නොම්මර එකේ තක්කඩියන් දෙදෙනෙකු වන ඩිලාන් පෙරේරා සහ නිමල් සිරිපාලගේ ආසන ජයගැනීම තවත් ජයකි.

3. ජවිපෙ, යම් ඡන්ද ප්‍රමාණයක්ද එක් ආසනයක්ද වැඩිකරගැනීම ඔවුන්ගේ ජයග්‍රහනයකි. [ජවිපෙ, "හිතුව හැටියට මදි" කියන්නන්‍ට කිව යුත්තේ, ජවිපෙ යනු ඡන්ද පරිමාව ඉක්මවා සංවිධාන හැකියාව පෙන්වන පක්ෂයක් බවත් මෙය සෑම ඡන්දයකදීම අත්විඳි තත්වයක් මිස අලුත් තත්වයක් නොවන බවත්ය]

4. අප කලින් බලාපොරොත්තු වූ පරිදිම ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පැදුරට වැටී ඇත. එජාප ඡන්ද වැඩිවන වි‍ට ප්‍රප ඡන්ද අඩුවීම කියාපාන්නේ දකුණේදී-බස්නාහිරදී (හා ඊට පෙර) ප්‍රපට ලැබුන ඡන්ද වැඩි ප්‍රමාණය එජා පාක්ෂික ඡන්ද බවයි.

5. සන්ධානය පැත්තෙන් බැලූ විට පළාතෙන් ආසන හයක් අඩුවී ඇත. පැහැදිලි ජයග්‍රහනයක් ලබා ඇත්තේ මොනරාගලදී පමණි. කෙසේ වුවද ඔවුන් පරාජය වූවා යයි කීමට නොහැකිය. ඊට හේතුවක් ඇත.

6. අප යම් මට්ටමකට පරාජය වී ඇත. අප යයි සඳහන් කලේ ආණ්ඩුවේ ගමන පිළිබඳ විරෝධයක් ඇති, ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් ගෙදර යැවිය යුතු යයි කල්පනා කරන පිරිස්ය. අපේ බලාපොරොත්තුව වූයේ W3 අජිත් පැරකුම් ජයසිංහ දැක්වුවාක් වැනි ප්‍රතිපලයක් ඌවේ ජනතාව ලබාදෙනු ඇතැයි කියාය. එහෙත් එය සිදුවී නැත. ආසන හයක් අඩුවී වුවත් පහසුවෙන් පළාත් සභාව පිහිටුවීමට සන්ධානය සමත් වී ඇති අතර වැඩිමනක් වශයෙන් ඔවුන්ගේ මහ ඇමති අපේක්ෂකයා මනාප වලින් ඉහලට පැමිණීමටද සමත්වී ඇත. ආසන ප්‍රමාණයක් අඩුවීම කිසිසේත්ම ආණ්ඩුව පැත්තෙන් බලාපොරොත්තු නොවූ දෙයක් නොවේ. ආණ්ඩුවේ යම් පිරිහීමක් තිබූ බව මැතිවරණයට පෙර පැහැදිලිව පෙනෙන්නට තිබුනි. ජනාධිපතිවරයා ඇතුළු සන්ධාන ආණ්ඩුවම ඌවේ පදිංචි වන්නේ එබැවිනි.

එහෙත් දකුණු-බස්නාහිර පළාත් සභා ඡන්ද ප්‍රතිපලයට සාපේක්ෂව මෙය අපට සතුටු වියහැකි ප්‍රතිපලයක් නොවේ. යම් වෙනසක්, නැඟිටීමක් සිදුවීමට නම් පළාත් සභාව පිහිටුවීම අවුල් වන මට්ටමේ ප්‍රතිපලයක් ලැබිය යුතුව තිබුනි. වෙනත් විදියකින් කිවහොත් දකුණේ-බස්නාහිර ඡන්ද අඩුවීමත් සමඟ 'රැල්ල' ඇතිවීමට නම් W3හි සඳහන් කල ප්‍රතිපලය වැන්නක් අත්‍යාවශ්‍යව තිබුනි. සන්ධානය ජයලැබූ බව කියන්නේත් අප පරාජය වූ බව කියන්නේත් එය එලෙස සිදු නොවූ බැවිනි.

Friday, September 19, 2014

පහේ පන්තියෙ අවුල!

ඉන්ටවල් එකෙන් පස්සෙ පහේ පන්තියට ආපු මිස් දැක්කෙ පන්තියෙ ගාලගෝට්ටියක්. කොල්ලො කෙල්ලො ටික මොනවදෝ වල්පල් කියවනව. මිස් අාවද කියලවත් ගානක් නෑ. කේන්ති ගන්නෙ නැති මිස් හෙමීට කිට්ටුවෙලා බැලුව. මොනවදෝ බර වචන වගයකුත් හුවමාරු වෙනව.

"උඹලට හොඳක් කලාමත් හොඳ නෑ කියන්නෙ ඕකයි" පන්තියෙ විසේකාරය වෙච්ච චමෝද් කියනව. අනිත් අය මොනවද කියනව ඇහෙන්නෙ නෑ.

"අපි නොදන්න මෙයාගෙ හොඳ!" එහෙම කියන්නෙ කවීෂ.

"හිහ් හිහ් හිහ්.... තාත්ත ගෙදර ආපු නිසාලු!" තාරුකා හිනාවෙනව.

"ඇයි වෙනදත් තාත්ත ආවෙ? එතකොට මොකුත් නෑනෙ!" තව ළමයෙක් කියනව. කවුරුත් චමෝද් දිහා බලාගෙන ඉන්නෙ.

"මොනවා කිව්වත් අන්තිමට අපි අහුවෙනව...." පන්තියෙ කෙලවරේම තනියම වාඩිවෙලා හිටිය මහිල් හෙමිහිට කියනව මිස්ට ඇහුන. තවත් බලන් ඉන්න බැරි තැන ඇය පන්තියට ඇතුළුවුනා.

"පුතාල මොනව ගැනද මේ කතා කරන්නෙ?"

"ටීච මේව කැත වැඩ!" චමෝද් දිහා බලාගෙන කවීෂ උත්තර දුන්න. කොහොම උනත් චමෝද්ගෙ මොකක් හරි මැර වැඩක් වෙන්න ඇති. පන්තියෙ ඉන්න දඟය, ඉගනගන්නත් එච්චර උනන්දුවක් නෑ, සල්ලි තියන පවුලක ළමයෙක් නෙව, මිස් තමන්ටම කියාගත්ත.

"මේ ළමයින්ට හරියට යමක් කියන්න බැරි හැටි..... කියන්න මොකද උනේ කියල"

"මෙයාට අපිව මතක් වෙන්නෙ වාසියට විතරයි ටීච"

"මොනවද දරුවෝ මේ කියන්නෙ.....? කා ගැනද ඔය කියන්නෙ?"

"චමෝද් ගැන ටීච, එයා දැං අපිට කැන්ටිමෙං කෑම අරං දෙනවනෙ"

"ඉතං පුතේ ඒක කොච්චර හොඳ දෙයක්ද? මොකද්ද ඒකෙ තියන වැරැද්ද?"

"නෑ ටීච, තාත්ත දුන්න සල්ලි වලින් මම මෙයාලට ටොපි අරං දුන්න විතරයිනෙ!"

"ළමයිනේ, අනිත් අයත් එක්ක බෙදාහදාගෙන කෑම හොඳ පුරුද්දක්! චමෝද් හොඳ වැඩක් කරල තියෙන්නෙ, මොකද්ද ප්‍රශ්නෙ?"

"ටීච මෙයා මේව කරන්නෙ අපිට ආදරේට නෙවේ.... "

"එහෙනං...?"

"මේකනෙ වාර විභාගෙ කිට්ටුයි, මෙයා පාඩං කරලත් නෑ, මෙයා හදන්නෙ ටොපි දීල අපි රවට්ටගෙන විභාගෙට උදව් ගන්න...."

"අන්න ඒකයි ටීච මාත් කියන්නෙ.... වෙනදට තනියම කන මෙයාට අපි ගැන අනුකම්පා හිතුනෙ විභාගෙ කිට්ටු උනාම තමයි"

"හරි හරි.... ඕක ඔච්චර"

"නෑ නෑ ටිච.... මෙයා මේ අපි ගැන හිතල ටොපි අරන් දෙන්න මොකෝ ලෝක වෙළඳපොලේ නෑ මේ කැන්ටිමේ ටොපි මිල අඩුවුනාද? නෑනේ.... ටොපිය රුපියලට තියෙද්දිවත් අපිට දුන්නැති එකේ දැං!"

"අනිත් එක ටීච මේක මේ වාර විභාගෙ විතරක් ගැන හිතල කරපු වැඩක් නෙවේ.... ඉස්සරහට ශිෂ්‍යත්වෙත් එනවනේ..... අන්න ඒකයි මේ"

"අනේ මංදන්නෑ මේ ළමයි නං....."

Thursday, September 18, 2014

අසංවේදී මෘගයා!

වෙලාව රෑ හත නැත්තං අට විතර ඇති. කාර්යාලයේ අපි ටික දෙනෙක් හිටියෙ මළගෙදරක. මැරිල තිබුනෙ කාර්යා‍ල සගයෙකුගෙ අවුරුදු දොලහක විතර දරුවෙක්. මරණයට හේතුව පිළිකාවක්. බොහොම කණගාටුදායක අවස්ථාවක් බව ඇත්ත, නමුත් කාලයක් තිස්සෙ තමුන්ගෙ දරුව ගැන වේදනාවෙන් හිටිය අපේ මිත්‍රයගෙ හිත වේදනාවටම පදම් වෙලා තිබුන. කාර්යාලයේ පිරිස ටික ටික වැඩිවීමත් එක්ක මළගෙදරක තිබියයුතු සාමාන්‍ය තත්වයත් ඉක්මවා ගියා. ගමේ පිරිස එහෙ මෙහෙ දුව පැන ඇවිදිමින් සංග්‍රහ කරන අතරෙ අපේ උදවිය කකුල් උඩ තියාගෙන ආගිය කතාවල. වෙලාවකට උස්ව ඇහෙන හිනා හඬ, ඒ වගේ මළ ගෙදරකට උචිතයි කියන්න කොහෙත්ම බෑ. ඒ අතරෙ තවත් සගයෙකුගෙ පැමිණීමක් බලාපොරොත්තුවෙන්,

"ඔන්න පොල් මහත්තය එනවලු!"

"ඌ නං ගහල ඇත්තෙ හොඳට"

"මොකද කියන්නෙ කියමුද බෝතලයක් අරගෙන එන්න කියල"

"කියපං....කියපං.....කියපං....කියපං....."

"සල්ලි දියල්ල එහෙනං......"

"සල්ලි.... සල්ලි..... සල්ලි.....සල්ලි...."

කවුරුත් හිටියෙ බොන පැත්තෙ මිසක් සල්ලි දෙන පැත්තෙ නොවුන නිසා ඒ වැඩේ හරිගියේ නෑ. ඔන්න මේ අතරෙ පොල් මහත්තය ආව.

පොල් මහත්තය කියන්නෙ ඇඟෙන් බොහොම පොඩි මිනිහෙක්. එයත් එක්ක ආව තවත් යෝධයෙක් වගේ කෙනෙක්. දෙන්න තරමකට අනුමත වෙලා හිටියෙ.

"මේ ඉන්නෙ අල්ලපු ප්‍රාන්ත ඔෆීස් එකේ පොල් මහත්තය....."

කවුරුත් පොඩි වෙලාවකට නිශ්ශබ්ද වුනා, අනෙක් පොල් මහත්තයගෙ ස්වරූපයට! අඩි හයකට වැඩිය උස, ඊට සරිලන මහත, මුහුණෙ තිබුන මරුමුස් පෙනුම,... මේ ඔක්කෝටමත් වැඩිය මත්පැන් නිසා ගොරක ගෙඩියක් වගේ රතුවුන තියුණු ඇස්දෙක,... ඔහුට මෘග පෙනුමක් ගෙනාවෙ.

"අපි මරණෙ බලල එන්නං...."

පොල් මහත්වරු දෙන්න ගෙදරට යනවත් එක්කම ආයෙත් කතාබහ පටන් ගත්ත. මාතෘකාව අලුත් පොල් මහත්තය.

"බලපල්ලකො හැටි! මූ බීල ගෙදර යද්දි ගෑනි වෙව්ලනව ඇති බං"

"හහ් හහ් හහ්......"

"මොනව කියනවද, මෙන්න මෙහෙම රවල බැලුව නං චූ යනව"

"හහ් හහ් හහ්......"

"මූ යද්දි ගෑනි ඇත්තෙ ඇඳ යට බං...."

"හහ් හහ් හහ්......"

හැබෑම මෘගයෙක්! අවසාන නිගමනය ඒකයි....අසංවේදී මෘගයෙක්..... ඒ එක්කම ඇතුලට ගිය සගයා ආවෙ මෘගයාත් එක්ක.

"මගේ දරුවත් මේ වගේමයි!" මෘගයා කිව්ව. නමුත් කට්ටියට සැකයි,

"මේ වගේ කිව්...වෙ.... අපේ පොල් මහත්තය වගේ කියලද?"

"හහ් හහ් හහ්....."

එතන පරිසරය හිතට ඇල්ලුවෙ නැති නිසා ඔවුන් දෙන්න ටිකක් ඈතට යන්න ලැහැස්ති වුනා.

"රාජ් මල්ලි, යමුද පාර පැත්තට...."

පාරට ගිය අය දුම් බොන්න පටන් ගත්ත..... ඒ අතරෙ මෘගයා කටහඬ අවදි කලා.....

"මොන වැරැද්දකටද මං දන්නෙ නෑ මේ වගේ ලෙඩවල් දරුවන්ට හැදෙන්නෙ" ඔහුගෙ කටහ‍ෙඬේ තිබුනෙ බිඳුන ශෝකී ස්වභාවයක්.

"මගේ පුතත් මේ වයසෙමයි.... තාමත් නිදාගන්නෙ මගේ ඇඟ උඩට කකුලක් දාගෙන....." ඔහු ඇස් පොඩි කලා.... ඒ ඇස්වලින් කඳුළු ගැලුව.... මෘග පෙනුමක් තිබුන ඒ දැවැන්ත මිනිහ ඇතුලෙ හිටිය සංවේදී තාත්ත මට පේන්න ගත්ත.... ඔහුගේ මෘදු කටහඬ පරයාගෙන ඇහුනෙ, වැටෙන් එහා පැත්තෙ හිටිය සංවේදී මහත්වරුන්ගෙ හිනාහඬ.

Monday, September 15, 2014

අල්ලස! (සාහිත්‍ය මාසයේ කෙටිකතාව)

පිලිගැන්වීම: බෝතල් ඇනෝ මිත්‍රයාට,....

2013.05.12 ප.ව.6.30

"තව ක‍ාලක් ගහමු බං"

"අරි.... ඒනං කාලක් ගාමු මාත්තය"

"ඒ... මල්ලී.... අපිට තව කාලක් ගේන්න.... ‍ඔම්ලට් එකක්වත් ගමු නේද බං.... මල්ලි ඔම්ල‍ට් එකකුත් ගේන්න"

"හෙහ් හෙහ් හෙහ්.... කෝමද ආතල්එක ආ......"

"අපිට කෙලින්න හිතුව මදි මහත්තය...."

"අරූග පුක් මූන මැවිල පේනව බං.... ගත්තයිං ගත්තෙ නෑ එහෙම ආතල් එකක් බං......හුහ්! අපිට කෙලින්න.....*&%*&පුතා!"

"ඔන්න ගනිං.... මේකත් ඉවර කරල යං යන්න"


2013.05.07

"නුවන් මහත්තය?"

"ඇයි ආන?"

"හදිසි වැඩක්ද? යමුද පොඩ්ඩක් කැන්ටිම පැත්තට....."

"මොකද්ද කේස් එක?"

"අර දැං ආපු බුවා මොකද කිව්වෙ? මෑන් ඇවිල්ල මට ටෝකක් දුන්න.... මොකද්ද එයාගෙ කේස් එක?"

"අම්මට සිරි උඹේ ලඟටත් ආවද? බුවාට පාඩුවක් වෙන්නයි යන්නෙ.... හරියට ෆයිල් එක හැදුවොත් අටක් දහයක් ගෙවන්න වෙනව.... උඹට මොකද කිව්වෙ?"

"නුවන් මහත්තයට කෙලිම්ම ටෝක දෙන්න බැරි නිසයි මට කිව්වෙ.... මෑන් කැමතියි වගේ පහහක් හැටක් දීල ගාන ටිකක් අඩුකරගන්න..... ඕනනං එකක් විතර ගන්නත් පුළුවං.... නම්බරෙත් දුන්න මට"

"ම්....... මටත් හිතුන ඕක..... නමුත් මට නං බුවාව ඇල්ලුවෙ නෑ එච්චර....."

"ආයෙ මෙනවද නුවන් මහත්තය..... අපේ ගාන කවර් වෙනව නං මොකද්ද ඊට වැඩිය......"

"උඹ නං කියයි! මම එපැයි කරන්න.... හරි කෝල් එකක් දිල බලපං...."


2013.05.08

"මචං වැඩේ කරගන්න පුළුවන්... අඩුම ගානෙ පනහක්වත් දෙන්න වෙයි.... "

"ඕක හරියන්නෙ නෑ බං.... උඹ දන්නවනෙ ආරියට උන වැඩේ... අන්තිමට මොකද්ද උනේ..... ටැක්ස් මහත්තයට එකක් දීල අන්තිමට මුළු ගානමත් ගෙවන්න උනානෙ"

"එහෙමද! ඇමතිතුමා අල්ලගෙන වැඩේ ෂේප් කරගන්න බැරිවෙයිද බං?"

"අනේ උගෙන් වැඩක් නෑ.... මාත් ගියා ඔයවගේ කේස් එකකට.... කෝල් එකක් දෙන්නං කිව්ව විතරයි.... මොකුත් උනේ නෑනෙ බං.... අනෙක ඔය ඔපිස් එකේ #*^#*ල ඇමතිය කිව්වත් කරන්නෙ නෑ උන්ට ගාන දෙන්නෙ නැත්තං"

"මොකද්ද බං කරන්නෙ? මේ වෙලාවෙ සල්ලිත් නෑ බං එච්චර"

"ඔය බුවා අල්ලල දෙමුද බං අල්ලස් එකට! ටිකක් කාලයක් ඒක හරි ඇදිල යයිනෙ?"

"ම්.........."


2013.05.12 පෙ.ව.8.45

"හරි සර්.... සල්ලි ටික හරි! අංක ටික ලිව්ව.... අරයට දෙන්නද?"

"කෝ අර පැමිණිලි කරපු මනුස්සය.... ආ ඔය එන්නෙ....."

"එහෙනං ඔයා යන්න..... මෙන්න සල්ලි ටික මතකයිනෙ කියපු විදියට වැඩේ කරන්න...... සල්ලි ටික එයාගෙ අතටම දෙන්න..... පියන්ට දෙන්න එපා.... තනියම කාමරේට යන්න..... අපි ඒ එක්කම ඇවිල්ල මිනිහ අල්ලගන්නං......"

"හරි සර්! මම කිව්ව විදියටම කරන්නං".

"බලනව අයිසෙ මුංගෙ වැඩ! උගෙත් රස්සාව අදින් ඉවරයි.... මොනව කරන්නද!"


2013.05.12. පෙ.ව. 9.45

"සර්.... එහෙනං මගේ වැඩේ හරිනෙ! තුනකට විතර බස්සල හදන්න සර්..... මෙතන අසූවක් තියනව".........................

"අපි පොලිසියෙන්..... තමාව අත්අඩංගුවට ගන්නව මේ නිලධාරියාට බලපෑම් කරල අල්ලස් දීමට තැත්කිරීම සම්බන්ධව..... යමු අපිත් එක්ක"

"මම...මම.... මේ..... මෙන්න මේ සර්ල එක්ක ආවෙ....."

"රාලහාමි අපි අල්ලස් එකෙන්.... අපි ආවෙ අල්ලස් ගැනීම සම්බන්ධව මේ නිලධාරියාව අත්අඩංගුවට ගන්න..... මේ පුද්ගලයගෙ පැමිණිල්ලට අනුව"

"ඩිරෙක්ටර් අපිට පැමිණිලි කලා මේ මහත්තයට මෙයා බලපෑම් කරනව කියල, එයාගෙ ටැක්ස් එක අඩුවෙන් හදන්න කියල, අද උදෙත් කෝල් කරල තියනව....."

"හරි කට්ටියම යමු ඩිරෙක්ටර් ලඟට"


2013.05.12 ප.ව. 4.45

"මොකද්ද නුවන් මහත්තය මේ උනේ.....?"

"හෙහ්... හෙහ්... හෙහ්.... ඊට කලිං ෂොට් එක දාගනිංකො.... චියර්ස්!"

"මට මුල ඉඳලම මේ වැඩේ ඇල්ලුවෙ නෑ බං.... මම එදා හවස කරුණාරත්න මහත්තයට කෝල් එකක් දුන්න...."

"කවුද අර රිටය උන කරුණාරත්න සර්ද?"

"ඔව් ඔව්.... එයා කිව්ව ඔය මෑන් මීට කලිනුත් අපිට පෙස්සං වගයක් ගහල මොකද්ද සීන් එකක් උනාලු! අපේ ඩිරෙක්ට සර් එන්නත් කලිං සිද්ධියක් ඒක....."

"ඉතිං.....?

"ඉතිං මම වැඩේ අල්ලල දැම්ම..... පස්සෙ මට හිතුන මූ අපිට ගේමක් දෙන්නනං හිතං ඉන්නෙ ඌටත් පොඩි රිටන් එකක් ‍දීල බලන්න කියල....."

"හා.....?"

"මම ඊයෙ රෑ බොසාට කෝල් එකක් දුන්න.... දීල කිව්ව අරූ ටැක්ස් එක අඩුකරන්න කියල තග දානව කියල....."

"අම්මට සිරි!"

"මම කිව්ව ඌ ඒක කිව්වෙ අදය කියල..... නැත්තං බොසා අහයි කලින් කිව්වෙ නැත්තෙ ඇයි කියල.... මම කිව්ව වැඩිය ගනං ගත්තෙ නැතත් සර්ට කියන්න ඕන කියලයි කිව්වෙ කියල"

"ඉතිං සර් මොකද කිව්වෙ?"

"සර් ඕඅයිසී සහත්තයට කියල තමයි අර පොලිසියෙන් එව්වෙ..... අල්ලස් එකට කියල වෙලාව නැති නිසා තමයි පොලිසියට කිව්වෙ..... ඒක තමයි මටත් ඕනවුනේ..... මොකද අල්ලස් එකට ගියානං දෙගොල්ල එතනදි සෙට් වෙන්න තිබුනනෙ... හහ් හහ් හහ්...."

"දැනුයි තේරෙන්නෙ වැඩේ.... නුවන් මහත්තය මට අරූට කෝල් ගන්න එපයි කිව්වෙ ඒකද?"

"ඔව් ඔව්.... මම කිව්වෙ ඌම කෝල් එකක් දෙනකං හිටපං කියල..... ‍මෝඩය ගිල්ල ලනුව"

"දැං ඉස්සරහට මොකක් වෙයිද නුවන් මහත්තය......"

"මොනව වෙන්නද බං.... අරූ දවසක් දෙකක් ඇතුලෙ තියං ඉඳල එලියට දාමයි නෙව!


2014.05.12. ප.ව.7.10

"මල්ලි අපේ බිල ගේන්න....."

"නුවන් මාත්තය මෙන්න මේකත් දාන්න...."

"ඕන නෑ.... උඹ ඕක තියාගනිං.... මේ......න් මේ දෙදාහ කොහෙන්ද කියල උඹ දන්නවද?........"

"‍කවුද දුන්නෙ?"

"අරූ මේසෙ උඩට සල්ලි දැම්මනෙ.... ඒ එක්කම පොලිෂිය ඌව ඇල්ලුවනෙ..... ඒ එක්කම අල්ලස් බුවාලත් පැන්නනෙව....."

"ඉත්තිං?"

"ඔය අස්සෙ මම උඩම තිබුන දෙදාඑ කොලේ බිමට දැම්ම බං..... කවුරුවත් දැක්කෙ නෑ ඒක..... අරුංට සල්ලි ගනින්න උනෙත් නෑ ඩිරෙක්ට ලඟට ගියානෙ..... ෆෑන් එකට හුලඟ ගිහිල්ල බිමට වැටිල තිබුන අයිතිකාරයෙක් නැති දෙදාඑ කොලයක්!හහ් හහ් හහ්..."

"අම්මප නුවන් මහත්තය නං....."