Wednesday, September 30, 2015

අන්න එහෙමයි වැඩේ සිද්ධවුනේ..... (කලගුණ නොදත් මෝඩයන්ට ලියන වග නම්)

දිග සති අන්තයේ කාන්සියෙන් සිටි මා හැන්දෑ යාමයේ පාරට පැමිණියේ වෙනසක් වෙනුවෙනි. නගරය දෙසින් ඇසුනු ඝෝෂාකාරී හඬ කුමක්දැයි වටහාගැනීමට අපොහොසත් වූ බැවින් ඒ දෙසට ගමන් කිරීම ඇරඹීමි. අභාග්‍යකි! සිදුවීම කුමක් වුවද මේ වනවිට එය අවසන් වී ඇති බැව් දැනගැනීමට හැකිවූයේ රැස්ව සිටි පිරිස විසිරී යන ආකාරය දැකීමෙනි. කිසිවක් සිතාගත නොහැකි වුවද යම් කලබලයක් සිදුවී ඇති බවත් කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් සිතාගතහැකි වූයේ දෙනෙත් පිසදමමින් පැමිණි පිරිස දුටු නිසාය. දස වසරකට පමණ පෙර විශ්ව විද්‍යාලයේ සිටියදී කඳුළු ගෑස් ප්‍රහාරයේ අත්දැකීම් ඇති බැවින් නගර මධ්‍යයට නොගොස් මාවෙත පැමිණෙමින් සිටි වයස්ගත කාන්තාවක් අසලට කිට්ටු වීමි.

"මොකද්ද ‍අම්මේ සිද්ධවුනේ....?, ඇයි කඳුළු ගෑස් ගැහුවෙ....?"

"කඳුළු ගෑස්? මොන කඳුළු ගෑස්ද? මොන කලබලයක්ද?"

"ඇ..ඇයි මේ කට්ටිය ඇස් පිහදාන්නෙ? මොකද්ද උනේ?"

"නෑ පුතේ මේ අපි ගියානෙ අර විරෝධතාවයට.... කොළඹ.... ඒකට ගිහිල්ල එන ගමං..."

"විරෝධතාවෙ? ඒ මොකද්ද අපි නොදන්න විරෝධතාවෙ...... ආ.... ඇමරිකාවෙ යෝජනාව ගැනද?"

"මොන යෝජනාවද ලමයෝ.... අපි ගියේ ජනාධිපතිතුමා පුතා යූඑන් එකට එක්ක ගියාට විරෝදෙ දක්වන්නනෙ...."

"හෑ! ඉතිං... දුන්න නේද ඔහේලට කඳුළු පනින්න?"

"උඹට පිස්සුද?"

"එහෙනං මේ මොකද කට්ටිය අඬන්නෙ? මොකද්ද වුනේ"

"අපි ගියා ජනාධිපති මන්දිරේටම දන්නවද! ඇතුලටම ගියා!"

"ඉතිං? ජනාධිපතිතුමා තාම ආවෙ නෑනේ....."

"ඒවුනාට ආර්යාව හිටියනෙ!"

ඔහේල විරොදෙ පෙන්නල එන්න ඇති නේද?"

"විරෝදෙ?" ඇය හැඬීමට පටන් ගත් අතර මේ පාත්වූ හෙනය කුමක්දැයි වටහා ගැනීමට අපොහොසත් වූ මා වික්ෂිප්ත විය.

"හරි හරි... අම්ම අඬන්නෙ නැතුව කියන්නකො..... මොකෝ ජනාධිපති ලඟට යන්න ගිහිල්ල කොච්චර ගුටින්න ඇද්ද, මැරුං කන්න ඇද්ද මෙහේ මිනිස්සු!"

"අවකැපෙන කතා කියන්න එපා දරුවෝ.... එහෙම දෙයක් උනේ නෑ.... අනේ ඒ උත්තමාවි කොච්චර හොඳයිද! අපි තමයි මෝඩයො වගේ කෑගහගෙන ගියේ.... දරුවන්ට ආදරේ දෙමව්පියො ගැන කොච්චර වැරදියටද අපි හිතුවෙ....ඉහි ඉහි ඉහි....."

යලි හැඬීමට පටන් ගත් ඇයගෙන් අපහසුවෙන් අසාගත් තොරතුරු අනුව සිදුවීම මෙසේ ගැලපීමි.

♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠

එදින රාත්‍රියේ මෛත්‍රී ජනාධිපතිවරයා සිටියේ නොනින්දෙනි. සැප පහසු සයනයේ ඒ මේ අත පෙරලෙමින් සිටි ඔහු අවසානයේ ඇඳ අසල තිබූ වතුර වීදුරුව එක හුස්මට පානය කලේය. සිරිසේන මැතිනියට ජනාධිපතිවරයාගේ වෙනස නොපෙනුනා නොවේ. එහෙත් ඕ සැමියාගේ ප්‍රශ්න වලට මැදිහත් වී ඇත්තේ අල්ප වශයෙනි. එහෙත් පසුදා යාමට නියමිතව ඇත්තේ ඉතා වැදගත් ගමනකි. එබැවින් නිහඬතාවය බිඳ දැමීමට ඇයට සිදුවිය.

"ඇයි මහත්තය මොකද්ද ප්‍රශ්නෙ? ගේනව කියන යෝජනාවද?"

"නෑ නෑ හාමිනේ.... ඒකනං මොකද්ද! රනිල් ඒක බලාගන්නැතෑ...."

"එහෙනං?"

"කැබිනට් එක ලොකුයි කියල එක එකා කියන කතා නිසාද?"

"අපේ කැබිනට් එක පුංචිවුනේ කවද්ද නෝනේ..... ඕක අපි දන්න කාලෙ ඉඳලම ඔහොමනෙ හිටං...."

"හ්ම්.... ඒකත් ඇත්ත... එහෙනං..... මරණ දඬුවම දෙන්න වෙන නිසාද? ඒක ඉතිං මං කිව්ව වගේම පාර්ලිමේන්තුවට දැම්මනෙ.... දැං ඉතිං මැරුවත් පාර්ලිමේන්තුවෙ අයටනෙ පවු සිද්ධ වෙන්නෙ නේද?"

"නෑ නෑ නෝනේ මං කල්පනා කලේ..... දැං හෙට මම ගියාම ඔයා කොහොමද මේ ළමයි තුන්දෙනා බලාගන්නෙ කියල....."

"ආ..... ඒත්....."

"බලන්න දැං රටේ සිද්ධවෙන දේවල්..... ළමයෙක් තනියම තියන්න පුළුවන්ද ආරක්ෂකයො හිටිය කියල මෙහේ උනත්.... මං අහගෙන කවුදෝ කියනව ළමයින්ට කරදර කරන්නෙ ලඟම ඉන්න අයයි කියල හිටං"

"ඒකත් ඇත්ත තමයි අපේ මහත්තය.... දැං අපි මොකද කරන්නෙ?"

"කට්ටියටම මා එක්ක යන්න නං පුළුවං.... ඒත් රටේ සල්ලි වලිං අපි එහෙම යන එක හරි නෑ නේද නෝනේ? රට්ටු මොනව කියයිද?"

"ඒකත් ඇත්ත තමයි අපේ මහත්තයා.... මං කියන්නං.... අපි මෙහෙම කරමු.... මහත්තය පුතා එක්ක යන්න.... මං දූල දෙන්නත් බලාගෙන මෙහේ ඉන්නං.... පුතා විතරක් ගියාට ලොකු පාඩුවක් නෑනෙ.... අනෙක කෙල්ලො දෙන්න වගේ ඌ එක එක දේවල් ඉල්ලන්නෙත් නෑනෙ...... කෙල්ලො එක්ක ගියොත් තමයි වියදං වැඩි!"

"අන්න හොඳයි හාමිනේ.... හරි එහෙනං.... මම තව ඩිංගක් නිදාගන්නං එහෙනං...."

♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠

"අන්නේවගේ ගුනයහපත් මිනිස්සුන්ට තමයි පුතේ මුං දොස් කියන්නෙ ඉහි ඉහි ඉහි...."

"හරි හරි.... දැං ඉතිං අඬන්න ඕන නෑ නෙව...." පපුවට ගසාගන්නට වූ ඇගේ අත අමාරුවෙන් ඉවත් කලා පමණි.

"මොනවද මේ හීනෙං කියවන්නෙ තනියම ඉඳගෙන.... කවුද ඔය අඬන්නෙ?" බිරිඳගේ හඬන් නින්ද හමාරවිය.

එහෙනං එ්ක හීනයක්!




[අදහස:නදීශා චන්ද්‍රසේන මහත්මිය]

Tuesday, September 29, 2015

මෙවර රග්බි ලෝක කුසලානය කාටද? Rugby World Cup Prediction.

පසුගිය ලිපියෙන් රග්බි ලෝක කුසලාන‍ය‍ේ මුල් දින තුනේ තරග විස්තර ඉදිරිපත් කල අතර මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ලෝක කුසලානය දිනාගැනීමට හැකියාව ඇත්තේ කාටද යන්න විමසීමක් කිරීමටය. ඒ ඒ කාණ්ඩ බෙදී යන ආකාරය අනුව ඔවුනොවුන්ගේ ශක්තිය සලකා බලමු.


A කාණ්ඩය B කාණ්ඩයCකාණ්ඩය Dකාණ්ඩය
ඕස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාවනවසීලන්තය අයර්ලන්තය
වේල්සය ස්කොට්ලන්තයආර්ජන්ටිනාව ප්‍රංශය
එංගලන්තය සමෝආටොංගා ඉතාලිය
ෆීජි ජපානයනැමීබියාව කැනඩාව
උරුගුවේ ඇ.එ.ජනපදයජෝර්ජියාව රුමේනියාව

A කාණ්ඩය
උරුගුවේ කණ්ඩායම පහසුවෙන් ඉවත් කල හැකිය. ෆීජි පිලද මේ වනවිට දුර්වල ස්ථානයක සිටින නිසා ඔවුන්ද ඉවත් කරමු. එවිට ඉතිරි වන්නේ ඕස්ට්‍රේලියාව එංගලන්තය හා වේල්සයයි. ඔවුන් අතුරින් සුපිරි අටදෙනාගේ වටයට යාමට හැකිවන්නේ කණ්ඩායම් දෙකකට පමණක් නිසා එක් කණ්ඩායමක් ඉවත්විය යුතුය. ඒ කාණ්ඩයේ ප්‍රබලතමයන් ලෙස ඕස්ට්‍රේලියාව අනෙක් කණ්ඩායම් දෙකට වඩා මඳක් ඉදිරියෙන් සිටින බව උපකල්පනය කලහැකිය. යුරෝපයේ පැවැත්වෙන ප්‍රමුඛතම තරගාවලිය වන six Nations තරගාවලියේදී එංගලන්තය දෙවන ස්ථානයටත් වේල්සය තෙවන ස්ථානයටත් පත්වූයේ සම තරග ජයග්‍රහණ සමඟිනි. කෙසේ වුවද එහිදී එංගලන්තය හා වේල්සය අතර තර‍ගයෙන් ජයග්‍රහණය අත්වූයේ එංගලන්තයටයි. කණ්ඩායම් විස්ස අතරින් බරින් වැඩිම ක්‍රීඩකයන්ට හිමි වාර්තාව (pack weight) වේල්සය සතු වන අතර අඩුම වයස් මධ්‍යනය හිමි වන්නේ එංගලන්තයටයි.

B කාණ්ඩය
තරගාවලිය ආරම්භයේදී පහසුවෙන් තම කාණ්ඩයේ පෙරමුණට පැමිණෙතැයි අපේක්ෂා කල දකුණු අප්‍රිකාව, ජපානය හමුවේ ලද පරාජයත් සමඟ, සුපිරි අටදෙනාගේ වටයට යාමට ස්ථාන දෙකක් වෙනුවෙන් කණ්ඩායම් හතරක තරගයක් බලාපොරොත්තු වියහැකි උණුසුම වැඩිම කාණ්ඩය බී කාණ්ඩයයි. ඇමෙරිකා එක්සත් ජනපදය පමණක් පහසුවෙන් ඉවත් කල හැකි වුවත් අනෙක් කණ්ඩායම් හතර ගැන අවසාන මොහොත දක්වාම අනාවැකි පැවසීම අපහසු වනු ඇත.

C කාණ්ඩය
ලෝක ශූර නවසීලන්තය පළමු ස්ථානය දිනාගනු ඇතැයි සිතීම අපහසු නොවන අතර දෙවැනි කණ්ඩායම ආර්ජන්ටිනාව වීමට වැඩි ඉඩකඩක් ඇත. ඒ අනුව නැමීබියාව ටොංගා සහ ජෝර්ජියාව ඉවත් කල හැකිය.

D කාණ්ඩය
කැනඩාව සහ රුමේනියාව පහසුවෙන් ඉවත් කල හැකි අතර ඉතාලිය ගැනද වැඩි විශ්වාසයක් තැබිය නොහැකි බැවින් ප්‍රංශය සහ අයර්ලන්තය සුපිරි වටය සඳහා සුදුසුකම් ලබනු අැත. මෙවර යුරෝපීය ශූරයන් (six Nations) වන අයර්ලන්තය පළමු ස්ථානයට පැමිණීටම වැඩි සම්භාවිතාවක් ඇත.

ඉහත විස්තර අනුව දත්තයන් පෙලගැස්වූ විට පහත සඳහන් නිගමන වලට එළඹිය හැකිය.

(ඉහත සටහන ගිය සතියේ තැබූ අතර මේ සතිය වනවිට තීරණාත්මක තරග කිහිපයක් අවසන් වී අැත. ඒ අනුව එංගලන්තය පරාජය කරමින් වේල්සය ජයගත් අතර ජපානය පරාජය කල ස්කොට්ලන්තය දෙවන ස්ථානය දිනාගන්නා ලකුණු ඇත ඒ අනුව ඉදිරියට.....)


1.A1-[ඕස්ට්‍රේලියාව] හා A2-[වේල්සය]

2.B1 [දකුණු අප්‍රිකාව] හා B2-[ස්කොට්ලන්තය]

3.C1-[නවසීලන්තය] හා C2-[ආර්ජන්ටිනාව]

4.D1-[අයර්ලන්තය] හා D2-[ප්‍රංශය]

සුපිරි අටදෙනාගේ වටයේදී පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට තරග වදින්නේ "අනු පිලිවෙලින්" මේ ආකාරයටය.

B1 හා A2 - අර්ධ අවසන් පූර්ව තරගය 1

C1 හා D2 - අර්ධ අවසන් පූර්ව තරගය 2

D1 හා C2 - අර්ධ අවසන් පූර්ව තරගය 3

A1 හා B2 - අර්ධ අවසන් පූර්ව තරගය 4

වියහැකි වැඩිම සම්භාවිතාවයන් සැලකූ විය ප්‍රතිපල මෙසේය.

B1 හා A2 -දකුණු අප්‍රිකාව වේල්සය ජය: නිශ්චිත නොවේ.

C1 හා D2 -නවසීලන්තය හා ප්‍රංශය ජය: නවසීලන්තය.

D1 හා C2 -අයර්ලන්තය හා ආර්ජන්ටිනාව: නිශ්චිත නොවේ.

A1 හා B2 -ඕස්ට්‍රේලියාව හා ස්කොට්ලන්තය: ජය ඕස්ට්‍රේලියාව.

ඒ අනුව අවසන් පූර්ව තරග (1vs2), (3vs4) ජයග්‍රහණ ---නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව.

අනාවැකිය 01(වැඩි ප්‍රතිශත අනාවැකිය 60%)-අවසන් තරගයේ ඕස්ට්‍රේලියාව පරාජය කරමින් නවසීලන්තය තෙවැනි වරටත් ශූරයන් වනු අැත.

අනාවැකිය 02(සුළු ප්‍රතිශත අනාවැකිය20%)-දකුණු අප්‍රිකාව පරාජය කල වේල්සය, නවසීලන්තය හෝ ප්‍රංශය පරාජය කරමින් අවසන් තරගයට පැමිණ එහිදී ඕස්ට්‍රේලියාව පරාජය කර ශූරයන් වනු ඇත.

Wednesday, September 23, 2015

Crouch, Touch, Set............!

සිව් වසරකට වරක් පැවැත්වෙන රග්බි ලෝක කුසලානය මෙවර එංගලන්තයේදී ආරම්භ වූයේ පසුගිය දාහත් වැනිදාය. [මීට වසර හතරකට පෙර පසුගිය ලෝක කුසලානය වෙනුවෙන් මෙම අඩවියේ ලියූ සටහන්]. ගියවර ලෝක කුසලානයට තරග කල රුසියාවට මෙවර සුදුසුකම් ලැබාගැනීමට නොහැකි වූ අතර ඔවුන්ගේ ස්ථානය අත්කරගැනීමට උරුගුවේ සමත්විය. සෙසු සියළුම රටවල් ගියවර තරග කල අතර ඔවුන් කාණ්ඩ ගත වී ඇත්තේ මෙසේය.


A කාණ්ඩය B කාණ්ඩයCකාණ්ඩය Dකාණ්ඩය
ඕස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාවනවසීලන්තය අයර්ලන්තය
වේල්සය ස්කොට්ලන්තයආර්ජන්ටිනාව ප්‍රංශය
එංගලන්තය සමෝආටොංගා ඉතාලිය
ෆීජි ජපානයනැමීබියාව කැනඩාව
උරුගුවේ ඇ.එ.ජනපදයජෝර්ජියාව රුමේනියාව

මෙතෙක් තරගාවලිය....
පළමු තරගය ලෙස සත්කාරක එංගලන්තය හා ෆීජි තරග කල අතර ලකුණු 35-11ක ජයක් එංගලන්තයට හිමිවූ අතර ‍වෙනදාට සාපේක්ෂව ෆීජි කණ්ඩාය‍මේ දක්ෂතා පහතට වැටී තිබූ අයුරු දැකගත හැකි විය. ශ්‍රේණිගතකිරීම් වල ඉහලින් සිටි ටොංගා කණ්ඩායම පරාජය කල ජෝර්ජියාව ලකුණු 17-10ක ජයක් අත්කර ගැනීමට සමත් විය. කැනඩාව හමුවේ අයර්ලන්තය ලකුණු 50-7ක පහසු ජයක් ලබාගත් අතර ප්‍රංශය 32-10 ජයක් ලබාගත්තේ ඉතාලියට එරෙහිවය. සමෝආ කණ්ඩායම ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව ලකුණු 25-16ක ජයක් ලැබූ අතර වේල්සය 54-9 ලෙස උරුගුවේ පරාජය කලේය.

තරගාවලියේ සිදුවූ විශාලතම පෙරලිය දෙවරක් ලෝක ශූරයන් වූ දකුණු අප්‍රිකාව හමුවේ ජපානය ලැබූ ජයග්‍රහණයයි. මීට පෙර ජපාන කණ්ඩායමක් දකුණු අප්‍රිකාව පරාජය කර නොතිබූ අතර මෙම ජයග්‍රහණය හේතුවෙන් බී කාණ්ඩය දැඩි තරගකාරීත්වයක් දැකගත හැකිය. පසුගිය වසර දෙකක පමණ කාලය තුලදී ජපන් රග්බි කණ්ඩායම විශාල ජයග්‍රහණ ලැබූ අතර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන විට දහතුන් වැනි ස්ථානය දක්වා පැමිණීමට ඔවුන්ට‍ හැකිවිය. 2019 වසරේ පැවැත්වෙන මීලඟ ලෝක කුසලානයේ සත්කාරකයන් වන ඔවුන් ඒ වනවිට කුසලානය දිනාගැනීමට ආසන්න තත්වයට දියුණු වී සිටිය හැකිය. ජපන් කණ්ඩායම ඉදිරියට පැමිණීම පොදුවේ ආසියාවටම වාසිදායකය. ඔවුන් ප්‍රබල තත්වයකට පැමිණ මුල් ස්ථානයක් අත්පත් කරගතහොත් තවත් ආසියාතික කණ්ඩායමකට ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ලබාගත හැකිය.

තරගාවලියේ අනෙක් උණුසුම් තරගය පැවතියේ නවසීලන්තය සහ ආර්ජන්ටිනාව අතරයි. 4 Nations තරගාවලියට සහභාගී වන එකිනෙකාට හුරුපුරුදු කණ්ඩායම් දෙකක් වන ඔවුන් අතර තරගය පැවතියේ අනූ දහසක පමණ වාර්තාගත නරඹන්නන් සංඛ්‍යවක් මැද්දේය. තරගය ආරම්භ වී සිව්වැනි මිනිත්තුවේදී ලැබුන දඬුවම් පහර සාර්ථක කරගත් ඩෑන් කාටර් නවසීලන්තය වෙනුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කලද විනාඩි කිහිපයකට පසු නායක රිචී මැකෝ විනාඩි දහයක තරග තහනමකට ලක්වූයේ නීති විරෝධී පාද යොමුකිරීමක් හේතුවෙනි. දහ හතර දෙනෙකු සමඟ අසීරු ක්‍රීඩාවක් කරමින් සිටි නවසීලන්තයට තවත් මිනිත්තු කිහිපයකට පසු ඊලඟ මරු පහර වැදුනේ වින්ග් ක්‍රීඩක කොන්රාඩ් ස්මිත් ද විනාඩි දහයක තරග තහනමකට ලක්වි කණ්ඩායමේ ක්‍රීඩකයන් සංඛ්‍යාව දහතුන දක්වා පහල යාමෙනි. මේ හේතුවෙන් පලමු අර්ධයේදී කිසිදු උත්සාහක දිනුමක් ලබා ගැනීමට ඔවුන්ට නොහැකි වූ අතර ආර්ජන්ටිනාව 13-12 ලෙස පෙරමුණේ පසුවිය.
දෙවන අර්ධයේදී සාර්ථකව තරගයට අවතීර්ණ වූ නවසීලන්තය 26-16 ලෙස ජාම බේරාගැනීමට සමත් වුවද එය මෙවර තරගාවලිය, පෙර තරගාවලි වලට සාපේක්ෂව දැඩි තරගකාරී බවක් අපේක්ෂා කල හැකි බව පෙන්වූ එක් තරගයකි.

ලෝක කුසලානයේ වැඩි වාසි කාටද? මීලඟ ලිපියෙන්.......