Monday, March 31, 2014

මේ අවසානයේ ආරම්භයද? (මැතිවරණ ප්‍රතිපල විග්‍රහය)

දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණය අවසන්ය. ඒ, දෙපාර්ශවයටම හිමිවූ ජයග්‍රහණයන් මෙන්ම පරාජයන්ද සහිතවය. මේ ඒ පිලිබඳ සටහනකි.

ආණ්ඩුව හෙවත් මහින්ද රාජපක්ෂ
මහින්ද රාජපක්ෂ දකුණු පළාත්සභා මැතිවරණය ප්‍රකාශ කර සිදු කලේ මුට්ටිය දැමීමකි. අතීතයේ මුට්ටි දැමූයේ ගෙවල් බිඳි සොරුන්ය. එවිට අඩු තරමින් ඔලුව බේරාගත හැකිය. මෙවර ඡන්දයෙන් මුට්ටිය කුඩු නොවුනද මුට්ටියට පහරක් වැදී ඇත. ජනාධිපතිවරයාට පාඩම් ඉගෙන ගැනීමට අවශ්‍ය නම් මේ ඒ අවස්ථාවයි. අප බලාපොරොත්තු වූ පරිදිම මෙවර සන්ධානයේ ඡන්ද ප්‍රතිශතය යම් මට්ටමකින් අඩුවී ඇත. සන්ධාන පාක්ෂිකයන් බොහෝ දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සිදුකලා යයි උපකල්පනය කලහොත් සමස්ථ ප්‍රකාශිත ප්‍රතිශතයේ අඩු, බහුතරය එජාප පාක්ෂිකයන් වීම විය හැක්කකි. මන්ද යත් ජවිපෙ පාක්ෂිකයන් බහුතරය සාමාන්‍යයෙන් ඡන්දය ප්‍රකාශ කරන බැවිනි. උක්ත උපකල්පනය නිවැරදි වුවහොත් වඩා තීරණාත්මක ජාතික මැතිවරණයකදී ඇතිවන තත්වය ආණ්ඩුවට හිතසුව පිණිස වන්නේ නැත. දෙදහස් දහසය තෙක් ජනාධිපතිවරණයට කල්ගැනීම ඒ අනුව සිදුවිය හැක්කකි.

කෙසේ වුවත් ආණ්ඩුවට එල්ලවූ පළමු ප්‍රහාරයෙන් පාඩම් ඉගනගැනීමට මහින්ද රාජපක්ෂ තවමත් ප්‍රමාද නැත. යුද්ධයෙන් පසුව සෑම මැතිවරණයකදීම පාහේ අලෙවි කල යුධ ජයග්‍රහණය සහ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ භීතිකාව මේ මැතිවරණයේදී ජනතාව නොසලකාහැර ඇත. ජිනීවා පරාජය වන්නට ඔන්න මෙන්න තිබියදී (එම පරාජය කලින්ම දැනසිටි තත්වයක් තුල) වුවද එය වැඩිපුර වාදනය කල තැටියක් නිසාදෝ ඡන්ද දායකයින්ට ප්‍රිය වී ඇති බවක් නොපෙනේ. පොදුවේ ගත්කල මෙම මැතිවරණ පසුබැස්ම තුලින් ජීවන වියදම දූෂණය නීතිය සාමය වැනි අංශ කෙරෙහි වු බලාපොරොත්තුවක සේයාවක් දක්නට ලැබීම ජනතා ජයග්‍රහණයකි. තවදුරටත් තම පැවැත්ම ආරක්ෂා කරගැනීමට නම් සුපුරුදු බයිලා වෙනුවට වෙනත් ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදුවීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කලයුත්තකි.

එජාපය
මෙවර එජාප ඡන්ද ප්‍රමාණය තරමක ඉහල අගයක් ගත්තද ඔවුන්ගේ දිගුකාලීන පසුබෑම එලෙසමය. දුර්වල ජනඅප්‍රිය නායකත්වයක් (නායකත්ව මණ්ඩලයක්) යටතේ සිදුවියයුතු ලෙසින්ම එය සිදුවී ඇත. විශේෂයෙන් එජාප පාක්ෂිකයන් බහුතරය වෙසෙන කොළඹදී තම ඡන්ද දායකයන් ඡන්දපොල වෙත ගෙන ඒමට ඔවුන් අසමත් වී ඇත. මගේ මතය අනුව නම් එජාපයට වැඩිවූ ඡන්ද ප්‍රතිශතයට හේතුව ජනතාවගේ දැඩි ආණ්ඩු විරෝධය නිසා මිස අනෙකක් නොවේ. රනිල් මහතාගේ සදාකාලික නායකත්වය යටතේ මීට වඩා වැඩි යමක් බලාපොරෝතු විය නොහැක.

ෆොන්සේකා
ඡන්ද (ආසන) ප්‍රමාණය පැත්තෙන් සැලකූ විට විශාලතම ජයග්‍රහණය ලබා ඇත්තේ සරත් ෆොන්සේකා මහතාය. ආණ්ඩුවේ දැඩි බාධා කිරීම් මධ්‍යයේ මන්ත්‍රී ආසන 12ක් ජයග්‍රහණය කිරීම සුළුපටු නොවේ. නමුත් මා පෙර දිනෙක කී ලෙසින්ම අභියෝගය එතනින් අවසන් නොවේ.

ජවිපෙ.
ප්‍ර.ප. හැරුනු විට විශාලතම සහ වැදගත්ම ජයග්‍රහනය ලබා ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණයි. පළාත් දෙකෙන් මන්ත්‍රීධූර 11ක් දිනාගැනීමට හැකි වීම පිටුපස ඇති හේතුසාධක සෑම පක්ෂයකටම පාහේ වැදගත්ය. ඉන් පළමුවැන්න නම් නායකත්වයේ වෙනසක් තුලින් මෙවැනි රටවල සිදුකල හැකි වෙනස කොපමණද යන්නයි. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ "සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය" ගැන කතා කරන දේශපාලන ඔස්තාර්ලාට ජවිපෙ ප්‍රතිපලය ලබාදී ඇත්තේ හොඳ පණිවුඩයකි. කණ්ඩායමක් වශයෙන්, ප්‍රජාතන්ත්‍රවාදී යයි කිවහැකි ක්‍රමයක් තුලින් තීරණ ගන්නා දේශපාලන කණ්ඩායමක් වන ජවිපෙ, නායකත්වයේ වෙනස් වීමක් යන්න බැලූ බැල්මට මහලොකු දෙයක් නොවේ. නායකත්වයේ වෙනසක් වුවද තීරණ ගනු ලැබුවේ එකම කණ්ඩායමකි. නමුත් "නායකත්වය" යන්නට ද ලංකාවේ ඡන්දයේදී යම් බරක් ඇත. ප්‍රතිපත්ති වෙනසක් නොවුවද සෝමවංශ අමරසිංහ වෙනුවට අනුර කුමාර දිසානායක ආදේශයෙන් ඔවුන් ලැබූ ජයග්‍රහණයේ රහස එයයි. අනෙක් අතට කීමෙහි බිනීමෙහි කවදත් දක්ෂයන් වන ජේවීපී කාරයන්ගේ මැතිවරණ මෙහෙයවීම ඉතාමත් ක්‍රමාණුකූල විය. කොලඹ මුඩුක්කු කැඩීම-ඔවුන්ගෙන් කෙනෙකුගේ පැහැරගැනීම- රතුපස්වල-හංවැල්ල වැනි "සැබෑ ජනතා නැගිටීම්" අවස්ථාවන් වලදී ඔවුන් සමඟ සිටීම තවත් හේතුවකි. සමාජවාදී න්‍යායන් වලින් තරමක් බැහැරවී (සුළු ධනේෂ්වර පක්ෂයක් ලෙස) මධ්‍යම පාන්තිකයන් දිනාගැනීමට මෙවර ජවිපෙ සමත් වී ඇත.

ඉතිහාසය
මේ මැතිවරණය මා දැක ඇති මැතිවරණ ඉතිහාසයේ විශේෂ එකකි. සාමාන්‍යයෙන් යම් ආණ්ඩුවක් දීර්ඝ කාලයක් බලයේ සිටින විට පරාජය කිරීම පහසු නැත. කෙසේ වුවත් පරාජය වන අවස්ථ‍ාව පැමිණි විට එසේ නොවන්නේද නැත. පක්ෂ වශයෙන් ගත්කල පවතින ආණ්ඩුව සුළු ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමත් පොදු විපක්ෂයේ ගොඩ වැඩි වීමත් එහි ලක්ෂණයකි. අනූ තුනේ දකුණු පළාත් සභා මැතිවරණයේ සිදුවූයේද මෙයයි. මෙවර ලැබී ඇත්තේද ඊට යම් තරමක් සමාන ප්‍රතිපලයකි. එම ප්‍රතිපලය තමන්ට වාසිදායක ආකාරයේ හැරවුමකට දෙපාර්ශවයටම තවමත් අවකාශ ඇත. මෙවර විපක්ෂය වෙනුවෙන් ඡන්දපොලට පැමිණියවුන් විශේෂිතය. ඔවුන් ජයග්‍රාහකයන් නොවුවද ජයග්‍රහණයේ ආරම්භකයන් ලෙස ඉතිහාසගත වීමට ඉඩ ඇත.

මැතිවරණ ප්‍රතිපල විග්‍රයන්: මාතලන්, සෑම්, w3Lanka අජිත්, අමිල චතුරංග,රැඩිකල් සටහන් යකා

Saturday, March 29, 2014

දකුණෙ ඔහේලටයි බස්නාහිර ඔයාලටයි......



ඔහේලගෙයි ඔයාලගෙයි ඡන්දෙ අදයි!
ඔයාල අපි තමයි ඉතිහා‍සයෙ රජවරු දනගැස්සුවෙ,
ඒකාධිපති පාලන අවසන් කලේ,
මේ පාරත් පුළුවන්,
ඔහේලයි ඔයාලයි කැමති නං විතරක්!
කොහොම උනත්,
ඔයාලගෙ ඔහේලගෙ පාට වෙනස් කරන්න අපිට බැරිවෙයි!
කමක් නෑ මනාපෙ දෙන්න!
මීට කලින් ඔහේල ඔයාල,
දීපු මනාප ගැන කියන්න ලැජ්ජ හිතුන වෙලාවල් තිබුන නේද?
ලැජ්ජා වෙන්න නං ආයෙත් දෙන්න එපා!
අඩුගානෙ අපි දුන්නෙ අහවලාට කියල කියන්න පුළුවන් එකෙකුට දෙන්න.
ඒත් මදැයි මේ යන විදියට......

Thursday, March 27, 2014

මහ රෑ පැමිණි අමුත්තා

දඩබඩාස්.....!

එකපාරටම ඇහිච්ච සද්දෙන් මම ගැස්සිලා ඇහැරුනා. මොකද්ද ඒ සද්දෙ? ජනේලෙන් එහා පැත්තෙ, එලියෙ සද්දයක් වෙන්න ඕන. නැත්තං සීලිමට නැගපු කලවැද්දෙක් වෙන්න ඕන. නිදි විකාරෙන් වගේ මට කල්පනාවුනා.
ආයෙත් සද්දයක් ඇහුන ලඟින්ම වගේ. මොකද්දෝ දෙයක් බිමින් තියන සද්දයක්. හීනයක්වත් පේනවද? මම මගේ අත කෙනිත්තුව. නෑ! මේ ඉන්නෙ මමමයි.
මොන මගුලක්ද? නෝනයි දරුවයි හිටිය නං බය වෙන්නත් පුළුවන්. මම ඔලුව උස්සල බලල මොකුත් පේන්න නැති තැන නිදාගත්ත. යන්තං විනාඩියක් යන්න ඇති. මොකද්දෝ හුරුපුරුදු මියුසික් එකක් ලඟින්ම වගේ ඇහෙන්න ගත්ත.
මොන %$$ද! හොල්මනක්වත්ද? නෝනත් නැති එකේ එනව නං එන්න තියෙන්නෙ මෝහිනී විතරයි. මේ වෙලාවට නං මෝහිනී උනත් කමක් නෑ කියල හිතනකොටම මට හිනාවක් ආව.
හපොයි! නෝන දැනගත්තොත් සුං! කල්පනාව බිඳගෙනම සද්දයක් ආව.

"මල්ලී......."

ගැඹුරු පිරිමි කටහඬක්! වටපිට බැලුවත් මොකෙක්වත් පේන්න නෑ. දැං නං බඩු ෂුවර්..... ආයෙ දෙකක් නෑ.... එක්කෝ මහසෝන නැත්තං ඔඩ්ඩි මස්සිනා.....

මගේ ඇඟ හීතල වේගෙන යනව මට දැනුන. හොල්මන් නෑ කියල බ්ලොග් වල කමෙන්ටු කොටාපුව මට මතක් උනා.... සමහර විට කවුරු නමුත් හොල්මනකට මල පැනල හොයාගෙන ආවද මංද! කොහොම උනත් පුරුෂ ධෛර්ය ඕන වෙන්නෙ මේ වෙලාවටයි. තප්පර ගනනාවක් ඇතුලත ගිගාබයිට් ගානක දේවල් ඔලුවෙ මැවිල නැතිවෙලා ගියා. ඒත් එක්කම අමුත්ත ආයෙත් කතා කලා.

"මල්ලී....."

"ඇයි අයියේ....?"

"මල්ලී මට පොඩි උදව්වක් කරන්න මල්ලී....." ගැඹුරු කටහඬක්. ඒ කටහ‍ෙඬේ තිබුන අමුතුම ලස්සනක්. මොකද්දෝ හුරුපුරුදු ගතියකුත් ගෑවිලා තිබුන.... ඇඳඋඩ වාඩිවෙලා කලුවරට හුරු වෙලා තිබුන ඇස් කරකැව්වත් කිසිම කෙනෙක් පේන් හිටියෙ නෑ. අන්තිමට මගේ සීමාව ඉක්මවා ගියා. කොහොම උනත් මේ සෙල්ලම දැං හොඳටම ඇති.

"කවුද ඕයි තමුසෙ!"

"මල්ලී මල්ලිට මාව අඳුරන්න බැරිද?"

"අඳුරන්න තමුසෙ පේන්න එනවකො!"

"මම මෙතන ඉන්නෙ මල්ලී..... මල්ලිට මාව පේන එකක් නෑ..... මට උදව්වක් ඕන වෙලයි ආවෙ"

"හරි! මොකද්ද ඕන උදව්ව? ඔහේ කවුද?"

"මල්ලි මාව දන්නව මල්ලී.... මල්ලිගෙ කොම්පියුටරෙත් මං ඉන්නව"

"හෑ! මගේ කොම්පියුටරේ ඉන්න සිංහල කතා කරන පිරිමි කෙනෙක්???????"

"ඔව් මල්ලී! ගිගාබයිට් ගානක මගේ සින්දු තියනව මල්ලි ගාව... මේ ලඟදිත් මගේ එම්පීත්‍රී වගයක් ඩවුන්ලෝඩ් කලා...."

"දෙයියනේ! මේ ජෝති අයියද?"

"ඔව් මල්ලි..... මම තමයි ජෝතිපාල"

මට ඇ‍ෙඳෙන් නැඟිටුනා.... කාවවත් පේන්න හිටියෙ නැතත් මොකක්දෝ බෑග් එකක් ඇඳ ලඟ තියල තිබුන.

"අයියට ඕන උදව්ව මොකද්ද? ඕන දෙයක් කියන්න කරල දෙන්නං....." දෙයියනේ මේ කොහොම හිටිය මනුස්සයෙක්ද!

"මල්ලී.... අර වත්ත පහල තියන මල්ලිගෙ සීයගෙ සොහොන තියනව නේද?"

"ඔව් ඉතිං...."

"දැං ඒකෙ කවුරුත් නෑ... මට ටික කාලයක් එතන ඉන්න දෙන්න...."

"ඇයි අයිය හිටියෙ බොරැල්ල කනත්තෙ නේද? එතන ඉඳල මේ ගරාවැටිච්ච සොහොන ඉල්ලන්නෙ ඇයි?"

"මල්ලි ලඟදි ටීවී බැලුවෙ නැද්ද.....? අර කැලනියෙ පිස්සු ආචාරිය මගේ සොහොන ලඟ උගේ සොහොන හැදුව මල්ලී..... කවදා නමුත් ඌ ආවට පස්සෙ මට නිදහසේ ඉන්න ලැබෙන්නෙ නෑ මල්ලී...... ඒකයි ඊට කලින් මම ආවෙ මල්ලී"

ඊට පස්සෙ වෙච්ච දේවල් වත් සීයගේ සොහොන කොහේද කියලවත් මගෙන් අහන්න එපා.

Friday, March 21, 2014

අනාවැකි, ජෝක්, ඔට්ටු සමඟ ක්‍රිකට් කතා.

ඔන්න ආයෙත් හුඟ දෙනෙකුට ක්‍රිකට් උන හැදිල. ආසියාවෙ ශූරයො වෙන්න කිට්ටුව මාත් මැච් බලන්න පටන් ගත්ත. මේ ක්‍රිකට් ගැන.

WC T20 කාටද?

පහුගිය දවසක බ්ලොග් එක මතක් වෙච්ච අපේ බුවා වර්ල්ඩ් කප් එක ගැන දාල තිබුන. බුවාගෙ ෆේවරිට් ටීම් එක දකුණු අප්‍රිකාව. මගේ නං ටිකක් වෙනස්. පහුගිය දවස්වල තිබුන තරග දිහා බැලුවම මගේ ලිස්ට් එකේ ඉන්නව ටීම් තුනක්. ඕස්ට්‍රේලියාව, ලංකාව සහ කොදෙව්!

බුවාගෙ ලිස්ට් එකේ උඩම ඉන්න දකුණු අප්‍රිකාව එයාලගෙ රටේදි 2-0කට පරද්දපු ඕස්ට්‍රේලියාව මේ වෙනකොට ඉන්න තත්වය බොහෝම හොඳයි. විශේෂයෙන්ම ඩේවිඩ් වෝනර්, ෂේන් වොට්සන් වගේ ප්‍රහාරකයන් ලකුණු අතර ඉඳීම සෑහෙන්න වාසියක්. පන්දු යවන්නනුත් ඒ වගේම හොඳයි. ඔක්කෝටමත් වැඩිය ඕස්ට්‍රේලියාව මේ වෙනකොට පිට පිට තරගාවලි කිහිපයක් ජය ලබල ඉඳීම අනෙක් හේතුව. ජයග්‍රහනය කියන දේ පුරුද්දක් උනාට පස්සෙ එ් වගේ ටීම් එකක් පරද්දන්නත් එවැනිම කණ්ඩායමක් ඕන වෙනව. පරදින්න ගත්තමත් එහෙම තමයි.

මගේ ලිස්ට් එකේ ඉන්න අනිත් ටීම් එක තමයි කොදෙව්වො. කොදෙව්වන්ගෙ තියන විශේෂත්වය තමයි විස්සයි විස්ස තරග වලට ඔවුන්ගෙ තියන ගැලපීම. මේක අහම්බයක්. දුර්වල තත්වයක හිටිය කොදෙව් කණ්ඩායම විස්සයි විස්ස ලෝක ශූරයන් වීමට හේතුව තමයි මේ ගැලපීම. හරියට දුර දිවීමට කෙන්යාව, නැත්තං කෙටි දුර දිවීමට කළු ජාතිකයන්ගේ තියන දක්ෂතාවය වගේ එකක් තමයි පන්දුවාර විස්සක කෙටි තරග කොදෙව්වන්ට ගැලපීම. එක් පිතිකරුවෙකුගේ දක්ෂතාවයෙන් තරගයක් දිනන්න පුළුවන් ක්‍රීඩාවක් වෙච්ච 20යි 20 තරග වලට කදිමට ගැලපෙන පිතිකරුවන් හතරපස් දෙනෙක්ම කොදෙව්වන්ට ඉන්නව. දඟ පන්දු යවන්නන් දෙදෙනාත් මේ වෙනකොට ඉන්නෙ හොඳම රිද්මයක.

අපේ කට්ටිය
ලංකාව ගැනත් තියෙන්නෙ සෑහෙන්න ලොකු බලාපොරොත්තුවක්. මාස දෙකක් විතර බංගලිදේශෙ වාසය කරපු නිසාත් ජයග්‍රාහී රිද්මයක ඉන්න නිසාත් තත්වය එච්චර නරක නෑ. නමුත් ආසියානු කුසලානය දිනල ලංකාවට ආවට පස්සෙ සිදුවෙච්ච දේවල් නිසා ටීම් එකේ ඔලු හැඩගැහිල තියෙන්නෙ මොන විදියටද කියල කියන්න බෑ. මගේ අදහස නං කුසලානය අරගෙන ලංකාවට පැමිණෙන්න අවශ්‍යතාවයක් තිබුනෙ නෑ. එහේම ඉඳල ලෝක කුසලානයටත් සහභාගී උනානං හොඳයි. අන්තිමට මහින්දානන්ද වගේ මීහරකෙකුගෙ දෝශාරෝපනයට ලක්වෙලා ලෝක කුසලානයකට යන්න සිදුවීම රටේ අවාසනාවක්. කොහොමත් එක දිනුමකට පස්සෙ ඒ දිනුමේ "පිට අයිතිකාරයන්" නිසා අපේ රටට අහිමි වෙන "ඊලඟ දිනුම්" සංඛ්‍යාව අනන්තයි අප්‍රමානයි.

විනිශ්චය
මගේ හැඟීමේ හැටියට ලෝක කුසලානයක් වගේ වැදගත් හැම තරගාවලියකටම විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීමේ අවස්ථාව දෙන්න ඕන. ඒ වගේම තාක්ෂණය පැත්තෙන් "සාධාරණය ඉටුකරන්න" තියන හෑම අවස්ථාවත්ම ගන්න ඕන. මොකද අපි එන්නෙ සාධාරණ තරගයක් බලන්න මිසක් අම්පයර්ලගෙ උජාරුව බලන්න නෙවේ. විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීමේ ක්‍රමයේ බරපතල වැරැද්දක් මම දැක්ක. කඩුල්ල මුවා කිරීමේ වරද අභියෝගයට ලක් කලාම ඒ තීන්දුව දෙන්න යොදාගන්න එක සාධකයක් තමයි පිටියේ විනිසුරුගේ තීරණය උනේ මොකක්ද කියන එක. ඒක තනිකරම විකාරයක්. ලෝක මට්ටමේ විහිළුවක්. හරියට පහල උසාවියක දුන්න තීන්දුවක් ඉහල උසාවියකින් අභියෝගයට ලක් කලාම පහලින් දුන්න තීරණය මත පදනම්ව තීන්දු දීම වගේ. මේක සාමාන්‍යයෙන් මූලික නීති (ස්වභාවික නීති) මූලධර්මයන්ට පටහැනියි. නමුත් කවුරුවත් ‍මේ ගැන කතා කරනව දැකල නෑ.

ඔට්ටු ඇල්ලීම සහ සතුටින් සිටීමේ මග
මේක බුකිකරුවන්ගෙ ඔට්ටු ගැන නෙවේ. අපේ පොඩි පොඩි ඔට්ටු අල්ලන්නන් ඉන්නවනේ. අන්න එයාල ගැන. ගියපාර එක්දින ලෝක කුසලානය දවසෙ අපේ බුදු ෆිට් රාලහාමි කෙනෙක් වෙච්ච "රාලහාමි මල්ලි" ඔට්ටුවක් ඇල්ලුව. ගාන දාහයි. (ගල් බෝගලේට ගාන). ඔට්ටුව ඇල්ලුවෙත් එසේ මෙසේ පොරක් එක්ක නෙවේ අපේ සෑම් අයිය එක්ක. සෑම් අයිය කිව්වෙ ලංකාව දිනනව කියල. මල්ලි කිව්වෙ පරදිනව කියල. අන්තිමට සෑම් දාහක් පරාදයි. ඒක එච්චර වැදගත් කාරණයක් නොවුනත් ඔට්ටුව අල්ලන්නෙ මොන පැත්තටද කියල මල්ලි තීරණය කරපු විදිය වැදගත්.

"ලංකාව දිනන්නනෙ අපිට ඕන... මම අල්ලනව ලංකාව පරදිනව කියල... ලංකාව පැරදුනොත් මට සල්ලි එනව... ලංකාව දිනුවොත් සල්ලි පැරදුනත් දිනුංනේ....." අන්න ඒකයි දිනුවත් පැරදුනත් සතුටින් ඉන්න පුළුවන් ඔට්ටු ඇල්ලීම. සෑම් කලේ මේකෙ අනිත් පැත්ත. දිනුවත් පරාදයි පැරදුනත් පරාදයි.
ඉස්සර ඔට්ටු ගැන කතාකරන්න පටන්ගත්ත කාලෙ ජෝක් එකක් තමයි මේ.

"අද මැච්එක නේ?"
"කවුද දිනන්නෙ?"
"ලංකාව දිනන්නෙ?"
"අල්ලමුද ඔට්ටුවක්?"
"හා.... අසූ ගනං වල මියන්ඩාඩ්ල ඉම්රාන් ඛාන්ල උඹලගෙ ගෙවල් පැත්තෙ ඇවිල්ල වගේ"

Monday, March 10, 2014

බේගල්ලාලංකාරය

බේගල් පෝස්ටු ගනනාවක් කියවද්දි හිතාගෙන හිටිය ලියමනක් තමයි මේ ලියන්නෙ. හැම කෙනෙකුටම වගේ මටත් මුනගැහිල තියන ‍බේගල් කාරයන් අනන්තයි අප්‍රමානයි. නමුත් ඒ හැම බොරුවක්ම රසවත් නෑ. දවසක් බොරු ගැන කතා කරපු අපේ බාප්ප කෙනෙක් කියනව මෙහෙම,

"දැං ඉන්න එවුන් බොරු කියන්න දන්නෙ නෑ, දැං බලපං ඔය උපාලි මාම ඇත්ත කියල දෙයක් කියනවද කියල? හැබැයි උගේ බොරු වල ගන්න දෙයක් නෑ, කොහේද යන්නෙ කියල ඇහුවොත් කියන්නෙ කොළඹ යනව කියල. නමුත් යන්නෙ හන්දියට. අන්න ඒ වගේ දෙකයි පනහෙ බොරු තමයි දැං ඉන්නවුන් කියන්නෙ"

බොරු කියන්න උපන් හපනෙක් තමයි කලු මුත්ත. අවුරුදු අසූව ඉක්මවල හිටිය එයාගෙ බොරු රසවත්. ඔන්න දවසක් හන්දි‍යෙ කඩේ ලඟට පත නයෙක් ආව එහා පැත්තෙ කැලෑවෙ ඉඳල. එතන හිටිය කොල්ලො සැට්එක දිග ලී අරගෙන නයාට යන්න නොදී මිදුල මැදට දානව. පැය කාලක් විතර ට්‍රයි කරපු නයා අන්තිමට කොල්ලන්ගෙ ලී වලට අවනත වෙලා මිදුල මැද ඉන්නව පාං කියාගන්න බැරුව. බංකුව උඩ හිටිය කලු මුත්ත කියන්නෙ මෙහෙමයි,

"දැක්ක නේද මගේ මන්තරේට නයා දැපනෙ වැටුන හැටි"

කලු මුත්ත ලනු ඇඹරිල්ලට දක්ෂය. කඩෙන් ගේන ලනු වලින් කඹ අඹරන්න හොඳ හැකියාවක් එයාට තිබුන. කඹ ඇඹරීමේ දක්ෂතාවය පෙන්නන ලකුණක් තමයිි අඹරාගෙන යන කඹය ලී කෝටුවක් වගේ ශක්තිමත් ගතියකින් තිබීම. පාවිච්චියට ගන්නකල් ටිකක් ශක්තිමත් ගතියක් තියෙන්නෙ. උන්දැ කියන්නෙ ඒ ගැන,

"ඔන්න බං මම දවසක් හැන්දෑවෙ ගෙයි පඩිය උඩ වාඩිවෙලා කඹයක් අඹරනව. ටික වෙලාවක් යද්දි මට ඇහෙනව වහලෙ පොල්අතු අතරෙ කුරු කුරු ගාල මොකෙද්ද යනව වගේ. මම ටක් ගාල නැඟිටල බැලුව, බැලින්නං මගේ කඹේ අනිත් කෙලවර පොල්අතු වහලත් විදගෙන උඩට යනව"

"කලු මුත්තේ,... වහල විදගෙන ගියේ කඹේද නැත්තං මුත්තගෙ......"

"අනේ උඹෙ......." අතුරු ප්‍රශ්න අහපු ධර්මෙ අයියට කලු මුත්තගෙන් ලැබෙන්නෙ ඒ වගේ ප්‍රතිචාරයක්.

අපි කොල්ල කාලෙ....කියල මුත්ත පටන් ගන්න නොස්ටැල්ජික් කතන්දර ඉවරයක් නෑ.

"අපි තිස් අටේ හේන් කොටාපු කාලෙ දැං වගේ නෙවේ..., වගාවල් බේරගන්න බෑ කුළු හරක්.... ඔන්න දවසක් හවස කුලා ඇවිල්ල හේන කනව මං පැලේ ඉඳං බලාගෙන.... මගේ අතේ මොකුත් නෑ....අහල පහල ආයුදේකුත් නෑ....ඒ ගමන මුට්ටියෙ තිබුන රෑ හදපු තලප ගුලිය තිබුන.... ඒක ගල් ගෙඩිය වගේ හයිවෙලා තිබුනෙ.... මං ගත්ත තලප ගුලිය අතට.... කුලා කිට්ටුවට සද්ද නැතුව ගියා..... බඹ හතරක් විතර ලං වෙද්දි කුලා මගේ මූන බැලුව..... ඔලුව පහත් කරා.... ඒ එක්කම මං තලප ගුලියෙන් ගැහැව්ව අං දෙක අතරට.... කිව්වට විස්සාස කරපල්ල කුලා එතනම මැරිල වැටුන.... දැං ඉන්න එවුවො වගේ නෙවේ අපි තරුණ කාලෙ......"

"ඉතිං කලු මුත්තේ කුලාට මොකද්ද කලේ?"

"හිටපංකො කියනකං..... මම කතා කලා සියදෝරිස්ටයි ඩේවිඩ්ටයි ඊට එහා පැත්තෙ හේනෙ හිටිය පොඩ්ඩටයි.... ඉරිඟු තම්බන හැලියට මස් ගාතයක් කපල දාල රා කලයකුත් ගෙනල්ල වැඩේ පටන් ගත්ත... පැය දෙකක් විතර යද්දි ගාතෙ ඉවරයි..... ඒ ගමන තවත් ගාතයක් ඉව්ව... ඒකත් කෑව.... රා බිබී සීපද කිය කිය හතර සැරයක් කනකොට කුලාගෙ කඳ කෑල්ල විතරයි ඉතුරු..... ඒ ගමන ඒකත් කපල උයල කාල තමයි උදේ ගෙදර ගියේ ඕං...."

කලු මුත්තගෙ හේන් කතා වල ඉවරයක් නෑ.

"එක සැරයක් අපි ඉරිඟු හේනක් වැව්ව.... ඉරිඟු කඩල ගෙදර ගේන්න කරත්තෙත් බැඳගෙන ගියේ.... ඉරිඟු කරත්ත දෙකක් විතර කඩල ඉවර වෙද්දි යකෙක් කන්න බඩගිනියි.... ඒ ගමන පැලේ තියන මුට්ටියට ඉරිඟු තැම්බුව... අපි ඉරිඟු කනව ගොනා ඉරිඟු පොතු කනව.... කරුවල වෙච්ච නිසා එදා පැලේ ඉඳල උදේ යන්න තීරණය කලා..... බැලින්නං උදේ වෙද්දි හතරදෙනා එක්ක ඉරිඟු කරත්තයක් කාල! ඉරිඟු ලෙලි කාපු ගොනත් මත්වෙලා ඉන්නව!"

කලු මුත්තලා ගැන අයිටී නිශාන්ත කිව්ව කතාව නං හරියට හරි!
මේ වගේ කතා අපි පොඩි සන්දියේ මල ගෙවල්, පින්කම් ගෙවල් වලට ගියහම අපිව ලං කරන් මේ වගේ කතා කියා දෙමින් සුරංගනා ලොවකට අප රැගෙන ගිය ඒ සුන්දර මිනිසුන් කෙදිනකවත් අපේ දරුවන්ට නැවත මුණ ගැසීමට වාසනාව නොමැති වීම ගැන ශෝක වෙනවා හැර අපට කල හැකි දෙයක් නැත. සරලව ජීවත් වෙමින් නිතරම සතුටින් සිනහවෙන් සිටි ඒ මිනිසුන් වෙනුවෙනි.

Thursday, March 6, 2014

ගම්මන්පිල ගෝඨා සහ ආයතන සංග්‍රහය (Road to PC-4)

අධික වැඩ රාජකාරී නිසා ටික දොහකින් බ්ලොග් ලියන්න කියවන්න එන්න ලැබුනෙ නෑ. ඡන්දෙ නිසා මංතුමාට තමයි වැඩ වැඩිවුනේ. මොකද මගේ ඩියුටි ලිස්ට් එකේ තිබුන එක කොටසක් තමයි මැතිවරණ රාජකාරි කියන එක. නමුත් මැතිවරණ රාජකාරි කරන්න නං මැතිවරණයක් එන්න එපැයි! ඔන්න දැං ඒකට චාන්ස් එක ඇවිල්ල. මැතිවරණ රාජකාරි ගැන වෙනම ලියන්න පුළුවන්. ඡන්දෙට ඩියුටි ගිය හැටි නං කලින් වතාවකත් කිව්ව.

මෙදා ඡන්දෙ පටන් ගනිද්දිම එලියට ආපු මාතෘකාවක් තමයි ගෝඨා බොස් ගම්මන්පිල උන්නැහේගෙ ස්ටේජ් එකට නැගපු සීන්එක. පිරිසිදු විදියට රුපියල් සීයක් එකතු කරල පෝස්ටර් කටවුට් නැතිව මැතිවරණය පටන් ගත්ත ගම්මන්පිල උන්නැහේ කිරි කලේට ගොම දාගත්ත වගේ දෙයක් තමයි කරගත්තෙ. මේක ඡන්දය අවසානය දක්වාම විපක්ෂයට පතුරු ගහන්න පුළුවන් මාතෘකාවක්. කොහොම උනත් මේ කේස් එකෙන් පස්සෙ මට හිතුන ආයතන සංග්‍රහය බලන්න. ඒකෙ තියන විදියට අධිකරණ නිලධාරියෙකුට, සන්නද්ධ සේවාවල-පොලීසියෙ-සාම නිලධාරීන්ට(ග්‍රාම නිලධාරීන්), බන්ධනාගාර නිලධාරීන්ට, රජයේ සේවයේ නියුතු මාණ්ඩලික හා අධීක්ෂණ නිලධාරීන්ට සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දේශපාලන අයිතිවාසිකම් නෑ.

මෙතනදි දේශපාලන අයිතිවාසිකම් කියල හඳුන්වන්නෙ ඡන්දෙ ඉල්ලීම, ඉල්ලන කෙනෙකුට කුමන හෝ විදියකින් සපෝට් කිරීම වගේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. (ඡන්දය ප්‍රකාශ කිරීමට විතරයි අවස්තථාව තියෙන්නෙ). ඒක කඩ කිරීමට ලැබෙන දඬුවම තමයි සේවයෙන් පහකිරීම. ඒකත් ආයතන සංග්‍රහයෙ තියනව.

නමුත් මගේ අදහස නං ටිකක් විතර වෙනස්. ගෝඨාභය රාජපක්ෂ කියන්නෙ ලංකාවෙ ජනාධිපතිගෙ මල්ලි කියල නොදන්න කෙනෙක් මේ රටේ නෙවේ ලෝකෙම නැතුවැති. මොන තනතුර දැරුවත් එයා දේශපාලන පත්වීමක් ලබපු නිලධාරියෙක්. එහෙම කෙනෙක් කාටහරි සපෝට් කරන්න දේශපාලන වේදිකාවට නැග්ග කියල අමුතු වෙනසක් නං වෙන්නෙ නෑ. ඒකෙ මහලොකු වැරැද්දක් තියනව කියලත් කියන්න බෑ. නමුත්,..........

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කියන්නෙ රජයේ මාණ්ඩලික තනතුරක් දරන නිලධාරියෙක්. එතකොට හමුදාපති කියන්නෙ....? එයත් දේශපාලන අයිතිවාසිකම් නැති කෙනෙක්...... එතකොට සරත් ෆොන්සේක ජොබ් එකේ ඉඳගෙන දේශපාලනය කලා කියල චෝදනා කරල හිරේ දැම්මෙ........? ඒක එහෙම වෙලා මේක මෙහෙම වෙන්නෙ කොහොමද.....? ටිකක් කැතයි වගේ තේරෙනව නේද.....?

මම දකින විදියට මේ කැත, මේ තියන ව්‍යවස්ථාවෙන්ම එන කැතක්. මොකද කියනව නං අමාත්‍යංශ ලේකම්වරු පත් කිරීමේ බලය තියෙන්නෙ ජනාධිපතිට. එයා දේශපාලන පුරවැසියෙක්. එයා පත්කරන කෙනා දේශපාලන පුරවැසියෙක් වෙන්න හොඳටම ඉඩකඩ තියනව. අන්තිමට එයාල ස්ටේජ් නැග්ගම ආයතන සංග්‍රහයෙ වගන්ති කැඩෙනව. එක්කෝ අමාත්‍යංශ ලේකම්ල පත්කිරීමේ බලය ජනාධිපතිගෙන් ඉවත් කරන්න ඕන. එහෙමත් නැත්තං ආයතන සංග්‍රහයේ මේ වගන්ති ඉවත් කරන්න ඕන.


ප.ලි. මේ අවුරුද්දෙ මේ වෙද්දි කියෙව්ව කැමතිම ලිපියක් තමයි මේක