Tuesday, January 31, 2012

අන්න ගෑණු! (මෙන්න තවත් ජැක් කතන්දර)

හරියටම දවස් හතරක් මාව හැක් කිරීමට නෝන සමත් වුනා. ඒ නිසා පෝස්ට් කියවන්නත් කොමෙන්ටු දාන්නත් බැරිවුනා. දැනටත් පට්ටම බිසි වෙලා තියෙන්නෙ. ආව එකේ පුංචි කතාවක් දෙකක් කියල යන්නම්. මේ කතා දෙකම ඇත්තම කේස්. එකක් කිවුවෙ බන්ධනාගාරෙක වැඩකරන අයිය කෙනෙක්. අනිත්එක කිව්වෙ ගමේ අයිය කෙනෙක්.

බන්ධනාගාරෙ අයිය කියපු කතාවෙ හැටියට, එයා අළුතින් ඇතුලට ආපු එකෙක්ගෙන් විස්තර අහල තියනව. ඒ හිරකාරයගෙ කතාව තමයි මේ. මේ පුද්ගලය මරු වැඩක් කරනවලු.

කතරගම කාලෙට නොයෙක් ප්‍රදේශවලින් වන්දනා නඩ එනවනේ පෙරහැර බලන්න. ඒ ඇවිල්ල කට්ටිය එක්ක විශ්‍රාම ශාලාවල නිදාගන්නව. කතානායකය කරන්නෙ අන්න ඒවගේ වෙලාවල් වලදී කවුරුහරි ගෑණු කෙනෙක් කිට්ටුව නිදාගන්න එක. සමහර වෙලාවල් වලදී වැඩේ සාර්තක වෙනවලු. ඒත් අන්තිමේදී කෙහෙල් ගහකට කොටලයි ඇතුලට ආවෙ. මේ කියන දවසෙත් බුවා විශ්‍රාම ශාලාවකට ගිහිල්ල ගෑණු පරාණයක් තෝරගෙන ලයිට් ඕෆ් කලාම අර විදියට වැඩේට සෙට් වෙලා. ගෑණුකෙනත් වැඩේට කැමතියි වගේ තේරිලා. "සුදූ" වගේ වචන පාවිච්චි කරමින් ඉදල එකපාරටම බුවා ගෑණිගෙන් ප්‍රශ්නයක් අහල,

"ඔයාගෙ නම මොකක්ද?"

අන්න බුවාට වැරදුන තැන! මෙච්චර වෙලා ගෑණි හිතාගෙන ඉදල තියෙන්නෙ තමංගෙ මිණිහ අහවල් වැඩේට ඇවිල්ල කියල! වැඩේ ගැස්සුනාම ගෑණි කෑගහන්න පටන් අරගෙන. වෙච්ච දේ කියන්න ඕන නෑනේ, තමංගෙ ශරීර කූඩුව අහල පහල ඉන්න එවුන්ගෙ අතේ පයේ හිරි ඇරගන්න පූජාකරල විතරක් නෙවේ පොලිස් කූඩුවෙත් ලැගල දැන් ඇතුලෙත් ඉන්න වෙලා.

දෙවැනි කතාවත් මේ ජාතියෙම සීන් එකක්. තැන විතරයි වෙනස. ඒක කිවුවෙ ගමේ අයිය කෙනෙක්. සෝමෙ අයිය කියමු එයාට. එයා ගිහිල්ල තියනව යාළුවෙකුට ඇප දෙන්න උසාවියට. යාළුව කරපු වැරැද්ද බස් එකේදි ගෑණු කෙනෙකුට ජැක් එකක් ගැසීම. ඇප දීල එන ගමන් තමයි සෝමෙ අයිය මට මුනගැහුනේ. වෙච්ච කතාබහ මේකයි.

මම: සෝමෙ අයියේ කොහේද ගියේ?
සෝමෙ අයිය: මට උනේ මාර වැඩක්නේ රාජ් මල්ලී.
මම: ඇයි?

සෝමෙ අයිය: .......ගෙ ජැක් සීන්එකට ඇප දෙන්න කතාකලේ මට බං. නොයාත් බෑ. යන්නත් ලැජ්ජයි. මොනව කරන්නද මම ගියා. වැඩේත් කරල අඩියකුත් ගහල එන්නෙ. මේ $@^^& පුතා ඒත් පාඩමක් ඉගනගෙන නෑ බං!

මම:ඇයි නඩුකාර නෝනටත් ජැකක් ගහන්න හැදුවද? :D

සෝමෙ අයිය: එහෙම උනානං මට අරූ ඇතෑරල දාල එන්න තිබුන බං. අපි දෙන්න උසාවියෙ ඉදල ආව ....වයින් එක ලගට. මම කිව්ව ගනිං බාගයක් කියල. අරගෙන එතන තියාගෙනම බීල නැග්ග බස් එකට එන්න. මේ......පුතා ඒකෙත් ජැකක් ගැහුවනේ බං. මටත් එක්ක ලැජ්ජයි.

මම: :D

සෝමෙ අයිය: ඔවු බං. අපි නැගපු බස් එකේ වැඩිය සෙනග හිටියෙත් නෑ. හය හත්දෙනෙක් තමයි හිටගෙන හිටියෙ. මූ ඉස්සරහටම ගිහිල්ල එකියෙකුට ජැක ගැහුවනේ.

මම: ඉතිං, වැදුනද සෙරෙප්පු පාර?

සෝමෙ අයිය: නෑ බං ඒ ගෑණිටත් ලැජ්ජාවක් නෑ අගේට හිටිය දීගෙන. අන්තිමට මූ බැහැල එනගමං මට කියනව "අන්න සෝමේ ගෑණු" කියල. මොනව කරන්නද මමත් හිටි‍ය මූ අදුරන්නැති ගානට.

Monday, January 23, 2012

කාලය පැය දෙකකින් ඉදිරියට ගෙනයන ක්‍රමය!

මේ දවස්වල බ්ලොග් අවකාශයේ කතාවෙන්නේ බරසාර මාතෘකා.

ලිංගිකත්වය ගතටද සිතටද......., පෞද්ගලික විශ්ව විද්‍යාල හොදද නරකද....., ලිංගික කුහකත්වය......, ජොනී අංකල්ගෙ කූඩ කේස්එක ඉවරවුනා විතරයි තර්ටීන් ප්ලස්-මයිනස් අරව මේව..... ඒ විතරද ඔපීසියෙ වැඩ. අවුරුද්දට අලුතෙන් ෆයිල් හදන්න තියනව. ඒ අස්සෙ අපේ එවුන් දකුණු අප්‍රිකාවෙ ක්‍රිකට් ගහනව. මේව්ව කියවල මගේ ඔළුව අවුල්වෙලා. පිස්සු හැදෙයිද දන්නෙ නෑ. ඊට කලිං පෝස්ටුවක් දාන්නත් ඕන. දවස් දෙකතුනකින් මේ පැත්තෙ ආවෙත් නෑ.

හරි අද කියන්නෙ හොස්ටල් එකේ ඉන්න කාලෙ "කාලය පැය දෙකකින් ඉස්සරහට ගත්ත" හැටි.

සිද්ධිය මේකයි. අපේ රූම් එකේ යාළුවෙක් හිටිය. බුරා. මෙයා ඒකාලෙ සතියට දවසක් මොකද්දෝ ක්ලාස් එකකට යනව. මතක විදියට චාටඩ් වලට. කිරුලපන අයිඒඑස් එකට තමයි ගියේ. මාතර එලියකන්ද හොස්ටල් එකේ ඉදල උදේ පාන්දරම එලාම්එකට නැගිටල ලැහැස්ති වෙලා කොලඹ යන බස් එකක තමයි යන්නෙ. මේ කියන දවසෙත් බුරා සුපුරුදු විදියට ෆෝන්එකේ එලාම්එක තියල නිදාගත්ත උදේට කොළඹ යන්න හිතාගෙන. ඒත් රාත්‍රී කාලෙ සිද්ධවුනා වෙනදට සිද්ධ නොවෙන දෙයක්. ඒ තමයි එකපාරටම වෙලාව පැය දෙකකින් ඉස්සරහට ගමන්කිරීම. ඒක කලෙත් අපේ කස්ටියම තමයි. ඉස්සෙල්ලම බුරා ලග තිබුන ෆෝන්එක අරගෙන ඒකෙ වෙලාව පැය දෙකක් ඉස්සරහට දැම්ම. උගේ අත්ඔරලෝසුවට උනෙත් ඒටිකමයි. රූම්එකේ පේන්න තිබුන ඔරලෝසු වලත් ඒ විදියටම වෙලාව වෙනස්කලා. අපේ මිත්‍රය මේ කිසිදෙයක් දන්නෙ නැතුව පැය දෙකකට කලින් වැදුන එලාම්එකට අවදිවෙලා ඉක්මනට ලකලැහැස්ති වෙලා කොළඹ යන්න පිටත් වුනා. හොස්ටල් එකේ ඉදල එලියකන්ද හංදියට පයින් ඇවිල්ල එතන ඉදල ඒසී බස්එකක මාතරට ගියා. දිගටම ඒසී බස්එකේ යන්න සල්ලි නැතිනිසා මාතර ඉදල නෝමල් එකක කොළඹ ගිහිල්ල ක්ලාස් එකට ගියා. එතකොටත් වෙලාව උදේ හයයි. ඊට පස්සෙ සිද්ධවෙච්ච දේ බුරාගෙ වචනයෙන් කිව්වොත් මෙහෙමයි,

මචං මම ක්ලාස්එකට ගියා. නිකං අමුතුයි වගේ. ඉරපායලත් නෑ. චුට්ටක් වාඩිවෙලා හිටිය ඒත් කවුරුවත්ම නෑ. මම ඒ ගමන සිකුරිටි අයියගෙන් ඇහුව අද ක්ලාස් තියනවද කියල. එයා කිව්ව තියනවද කියල. මම තව චුට්ටක් හිටිය. ආයිත් ඇහුව ඇයි දන්නෙ නෑ තාම කවුරුවත් නැත්තෙ කියල. මෙන්න මූ කියනව මල්ලි, තාම වෙලාව හයයි කාලනේ, අට විතර වෙනවනේ කට්ටිය එනකොට..... ඒ වෙලාවෙ තමයි මට වැඩේ තේරුනේ..... අම්මප උඹල එකෙක් මට ඒවෙලාවෙ අහුඋනානනං @$%^& ...........

හැබැයි සීන්එක හොස්ටල්එක පුරා පැතිරෙන්න පටන් ගත්තම මූ කිව්වෙ මේවගේ කතාවක්,

උඹල එහෙම කරපුඑක හොදයි බං....... නැත්තං මම වෙනදට යන බස්එක එදා කැඩිල තිබුන ...... වෙලාවට උඹල එහෙම දෙයක් කලේ....

ගිහිං එන්නං.

Wednesday, January 18, 2012

තොරතුරු තාක්ෂණය සහ අනාගත රාජ්‍යසේවය

ආණ්ඩුව මෙවර උසස්පෙළ විභාගයේ ප්‍රථිපල නිකුත් කිරීම අනාගැනීමත් සමග එකිනෙකා විවිධ දිශාවන්ට ඇගිලි දිගුකිරීමට පටන්ගති. මේ අතර කියැවුනු කතාවක් වූයේ එය "කොම්පියුටර් අවුලක්" බවය. එහි සත්‍යතාවයක් තිබියහැකි වුවත් අවුල ඇත්තේ කොම්පියුටරයේ නොව ඒ ඉදිරියේ හිද සිටින්නන්ගේ බවට සැක නැත.

මීට වසර දහයකට පමණ ඉහතදී රජයේ සේවයට එක්කරන ලද පෙන්ටියම් I හා II වර්ගයේ පරිගණක යන්ත්‍ර, අද වනවිට යම් දියුණුවක් ලබාඇති (රාජ්‍ය අංශයේ) තොරතුරු තාක්ෂණය පිළිබද කියවීමේ ආරම්භකයාය. එකල මෙම පරිගණක යන්ත්‍ර "දේවත්වයෙන්" පුදලැබූ හැටි මගේ සේවා මිත්‍රයෝ යුතුව දැනුදු සිහිපත් කරන්නේ හාස්‍යයෙනි. මුල් කාලයේ මේවාට අධි ආරක්ෂාවක් යොදාතිබූ අතර ඒවා බොහෝවිට කාර්යාලයක මාණ්ඩලික නිලධාරියෙකු යටතේ පැවතින. පරිගණකය තැබීම සදහා අනිවාර්යෙන් වායු සමීකරණය කරන ලද කාමරයක් යොදාගතයුතු යයිද, නිසි පුහුණුව නොලැබූවකු පරිගණක යන්ත්‍ර පාවිච්චි කිරීම ඒවා "කැඩීමට" හේතුවේ යයිද විශ්වාසයන් විය. තාක්ෂණයේ දියුණුවත් සමග කාර්යාල වෙත ලැබුන පරිගණක සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවූ අතර අද වනවිට නැතිවම බැරි උපාංගයක් බවටද පත්වී හමාරය.

පරිගණක තාක්ෂණයේ භාවිතය මූලික අදියර තුනකින් පමණ සිදුවේ.

මින් පළමුවැන්න එක් එක් සේවාව සදහා වෙන් වෙන් වශයෙන් මෘදුකාංග භාවිතා කරමින් අදාළ සේවාවන් කාර්යක්ෂම කිරීමයි.

යම් යම් විශේෂ වූ රාජ්‍ය ආයතන හැරුණුවිට මෙලෙස මුලින්ම පැමිණි පරිගණක වැඩසටහන් වූයේ මාසික වැටුප් ගෙවීම සදහා සකස්කල Dos පාදක කරගත් GPS (Government Payroll System) සහ මුදල්පොත වෙනුවෙන් සකස්කල Cigas නම් වැඩසටහන්ය.(දැනටත් මෙම වැඩසටහන් Dos පාදක කරගෙන පවතී).

Government Payroll System මෘදුකාංගය.

රාජ්‍ය අංශයේ වැටුප් ‍සැකසීම සදහා දැනටත් භාවිතා කරන මෙම මෘදුකාංගය එහි විශාල සංස්කරණ ගණනක් පසුකර සිටී. සංකීර්ණ ස්වරූපයක් ගන්නා රාජ්‍ය අංශයේ වැටුප් සකස් කිරීම මෙමගින් ඉතා පහසුවෙන් කලහැකි අතර Cigas වැඩසටහන සමග එක් කිරීමෙන් ලබාගන්නා ගොණුවක් මගින්, චෙක්පත් ලිවීමකින් පවා තොරව විවිධ බැංකුවල ඇති රාජ්‍ය සේවකයන්ගේ ගිණුම් වලට මුදල් බැරකිරීම කල හැකිය. මෙම වැඩසටහන පැමිණීමට පෙර යම් කාර්යාලයක වැටුප් සකස් කිරීමට සිටින නිලධාරියෙකුහට ඒ සදහා මාසයක කාලයක් වැයකලයුතු වූ අතර දැන් නිලධාරීන් 100 පමණ වැටුප් සකස් කිරීම එක් දිනකින් කලහැකිය.

Cigas මෘදුකාංගය.

GPS මෘදුකාංගය සමග පැමිණි අනෙක් මෘදුකාංගය වූ මෙයින් සිදුකරන්නේ "මුදල් පොත" සම්බන්ධ කටයුතුය. එනම් ලැබීම් ගෙවීම් සටහන් කිරීමත්(පරිගණකගත කිරීම) චෙක්පත් මුද්‍රණය කිරීමත් අවශ්‍ය අනෙකුත් සාරාංශ ආදිය සකස් කිරීමත්ය.

මීට අමතරව ඇති අනෙක් ප්‍රධාන මෘදුකාංගය නම් වාහන ආදායම් බලපත්‍ර ලාබාදීමේදී භාවිතා කරනු ලබන "Vehicle" නම් මෘදුකාංගයි. මෙය පැමිණීමත් සමග ආදායම් බලපත්‍රයක් ලබාගැනීමට, පෙර පැවති පැයක පමණ වූ ප්‍රමාදය විනාඩි දෙකක් පමණ වනතෙක් අඩුවිය.

මේ වනවිට තනි තනි වශයෙන් දියුණු වෙමින් පවතින මෘදුකාංග භාවිතයේ ඊලග පියවර (දෙවන අවධිය) ජාලගත කරන ලද දත්ත පද්ධතීන්ය. මෙම පියවර සම්පූර්ණ වූ පසු ඉතා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බලාපොරොත්තු වියහැකිය. මේ වනවිටත් මේ යුගය ඇරඹී ඇති අතර උදාහරණයක් ලෙස, උප්පැන්න-විවාහ-මරණ සහතික ලබාගැනීම, කොළඹ දිස්ත්‍රික්කය තුල ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් කල හැකිය.

මීට අමතරව ප්‍රාදේශීය කාර්යාල වෙත මුදල් ප්‍රේෂණය කිරීමේ කටයුතු ප්‍රධාන කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි ඔස්සේ සිදුකිරීම මෑතකදී ආරම්භ කරන ලදී.

උදා - හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන www.dctuhambantota.lk අඩවිය තුලින් එම දිස්ත්‍රික්කයේ ඇති සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සදහා ප්‍රතිපාදන සහ මුදල් ලබාදීම සිදුකරන අතර මේ නිසා පෙර පැවති ලිපි හුවමාරුව නවතා ඇත.

තොරතුරු තාක්ෂණයේ තෙවන අදියර වන්නේ (පෞද්ගලික අංශයද ඇතුළුව) වෙනස් කාර්යන් ඉටුකිරීමට කැපවූ එක් එක් ආයතන ඒකාබද්ධ කිරීම තුලින් ලිපි හුවමාරුව අවම කර කාර්යක්ෂමතාවයෙන් ඉහල සේවාවක් සැපයීමයි.

උදාහරණයක් ලෙස ජාතික හැදුනුම්පතක් ලබාගැනීමේදී අවශ්‍ය වන උප්පැන්න සහතිකය සේවාදායකයාගෙන් ලබාගැනීම සිදු නොකරන අතර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් අදාල තහවුරු කිරීම ලබාගනී.

කෙසේ වුවද මෙම තෙවැනි අවස්ථාවට පිවිසීමට, දැනට රාජ්‍ය සේවය සමත් වී නොමැති අතර සංවර්ධනය වෙමින් පවතින බොහොමයක් රටවල්ද පූර්ණ වශයෙන් තෙවැනි අවධිය පසුකර නොමැත.

ලංකා රාජ්‍ය ජාලය(LGN)

රාජ්‍ය සේවය හා පරිගණක තාක්ෂණය ගැන කතාකිරීමේදී අමතක කල නොහැකි මාතෘකාවක් වන්නේ Lanka Government Nework හෙවත් ලංකා රාජ්‍ය ජාලයයි. කොරියානු රජයේ ණය ආධාර පදනමින් හදුන්වාදුන් වැඩසටහනක් වන මේ මගින් 2007 වසරේ සිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ ඇති සියළුම කාර්යාල සදහා අන්තර්ජාල සම්බන්ධතාවය සහිත පරිගණක ලබාදීම සිදුවිය.

තෙවැනි අවධිය කරා ලංවීමේදී ඇති බාධා.
මේ සදහා ඇති මූලිකම බාධා දෙකකි.

ඉන් පළමුවැන්න නම් මේ සදහා දැරීමට සිදුවන මූලික පිරිවැය අධික වීමයි. දැනට ලේඛණගත තත්වයේ ඇති දත්ත කෙටි කාලයක් තුලදී පරිගණක ගත කිරීම සදහා මෙන්ම අවශ්‍ය උපාංග මිලදීගැනීම සදහා විශාල මුදලක් අවශ්‍ය වේ.

දෙවැන්න මේ කාර්ය සාර්ථක කරගැනීම සදහා අවශ්‍ය කරන දැනුමැති රාජ්‍ය සේවකයන්ගේ හිගයයි. පරිගණක යන්ත්‍ර කොතෙක් තිබුනද, පැරණි ක්‍රමයට යතුරු ලියනයෙන් ලිපි සකස්කරන නිළධාරීන් දැනුදු රාජ්‍ය සේවයේ කොතෙකුත් ඇත. ඔවුන්ට නිසි පුහුණුව ලබාදී වැඩපිළිවෙළට දායක කරගතයුතුය. එසේ නොවුනහොත් මෙම කර්තව්‍ය සාර්ථක කරගැනීමට තවත් බොහෝ කලයක් බලාසිටීමට සිදුවනු ඇත.

Saturday, January 14, 2012

විශ්ව විද්‍යාලයේ සිදුකල ටවල්, ටොයිලට්-බකට්, ටූත්පේස් උද්ඝෝෂණය.

මේ දිනවල රූපවාහිණී ප්‍රවෘත්ති විකාශයෙන් සැලකියයුතු කාල පරාසයක් අල්ලාගෙන ඇත්තේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, කථිකාචාර්යවරුන්-උපකුලපතිවරුන් සහ ගණනක් නොදන්නා සංඛාවක් සිටින අධ්‍යාපන ඇමතිවරුන්ය-නියෝජ්‍ය ඇමතිවරුන්ය. ශිෂ්‍ය වර්ජන වල නිමක් නොමැති අතර පොලිස් පහරදීම්වල සිට පංති තහනම් කිරීම් දක්වා ප්‍රවෘත්තිද නිමක් නැත. අප විශ්ව විද්‍යාල සමයේදී අයත් වූයේ ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායමකට බැවින්දෝ සාමාන්‍ය මට්ටමේ වර්ජන මිස මහා පරිමාණ උද්ඝෝෂණ වලට සහභාගී විමට අවස්ථාවක් නොලැබුනේය. මේ අතරින් එක් අපූරු සහ සාර්ථක උද්ඝෝෂණයක් දැනුදු මතකයේ ඇත. මේ එහි කතාන්දරයයි.

මගේ මතකය නිවැරදි නම් එවකට අප සිටියේ දෙවන වසරේය. නැවතී සිටියේ මාතර එළියකන්ද නේවාසිකාගාරයේය. "විශ්වයේ ඇති නිදහස්ම ස්ථානය" යැයි අන්වර්ථ නාම ලැබූ මෙහි, උද්ඝෝෂණයකට මගපෑදු හේතුව වූයේ "ජල" ප්‍රශ්නයකි. බීමට ගැනීමේ පටන් ශරීරකෘත්‍යයේ අවසානය පියවර දක්වා නේවාසිකාගාරයේ ජල අවශ්‍යතාවය සපුරාගැනුනේ එහි එක් පසෙකින් ඇති ලිද මගිනි. මෙයට සවිකල මෝටරයක් මගින් ඉහල ඇති විශාල ටැංකියකට එකතුවූ ජලය නල පද්ධතිය ඔස්සේ විවිධ ස්ථානවලට බෙදාහැරිණි. වතුර මෝටරය විටින්විට අක්‍රිය වීමත් ලිද ඉතා අපිරිසිදු තත්වයට පත්වීමත් පිළිබද විශ්වවිද්‍යාල පාලකයන්ට කොතෙකුත් දැනුම්දීම් කලද නිසි පියවර නොගැනිණි.

දිනක් උදෑසන නේවාසිකාගාරයේ සිටි සියළුම ශිෂ්‍යයින් එක්රැස්වී ප්‍රශ්නයට විසදුමක් ලෙස උද්ඝෝෂණ මාවත තෝරාගැනිණි. උදෑසන රැස්වූ ශිෂ්‍යයින් තම රාත්‍රී ඇදුම පිටින්ම, සබන් තුවා දත්බුරුසු සහ වැසිකිළි බාල්දි ආදිය රැගෙන කිලෝමීටර දෙකක් පමණ දුරින් පිහිටි රුහුණ විශ්ව විද්‍යාලය කරා පයින්ම ගමන් ආරම්භ කලේය. වෙනදාට දැක පුරුදු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් "අමුතු ඇදුමින් සැරසී" යන අයුරු ගම් වැසියන් මෙන්ම බස්රථ රියදුරන්ද බලා සිටියේ හාස්‍යජනක මුහුණු වලින් යුතුවය. පෙර සැලසුම් කල පරිදිම අප පෙරවරු අට පමණ වනවිට විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව කරා පැමිණ, ගේට්ටුවෙන් ඇතුල් පැත්තට වන්නට බිම හිදගත්තේ උදය කාලයේ රැකියාවට පැමිණෙන කාර්ය මණ්ඩලයට බාධා වන අයුරිණි. සමහරුන් සිටියේ බිම වැතිරීය. සේවය සදහා පැමිණි විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයේ පිරිස ගේට්ටුව අසලට පැමිණියද, ගේට්ටුව අවහිර වනසේ එකට එක යාවී සිටි ශිෂ්‍යයන් පාගාදමමින් මිස ඇතුළුවීමට නොහැකිවිය. උද්ඝෝෂණයේ සාර්ථකත්වය රැදී තිබුනේද සේවක මණ්ඩලයට රාජකාරිය සදහා යාමට නොහැකි වුවහොත් පමණි. ඉතා සුළු පිරිසක් කෙසේ හෝ රාජකාරියට යම්හයි සිතා කම්බි වැටවල් අතරින් රිංගා ගියද බහුතරයක් සේවකයක්ගේ මතය වූයේ මෙය ශිෂ්‍යයන්ගේ සාධාරණ උද්ඝෝෂණයක් බැවින් බලහත්කාරයෙන් සේවයට යාමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. මේ අතර රැගෙන ආ දත්බෙහෙත් බුරුසු වලට දමාගත් අප එම ස්ථානයේ සිටම දත්මැදීමට පටන්ගත් අතර සමහර ශිෂ්‍යයන් ඒ ස්ථානවල මුත්‍රාකිරීමටද ලැහැස්ති විය.:D. විශ්වවිද්‍යාල භූමියේ පිහිටි කාන්තා නේවාසිකාගාරයේ සිටි සහෝදරියන්ද අපේ සහයට උද්ඝෝෂණයට පැමිණ බිම හිදගත් පසු ඒ හරහා ගමන් කිරීම උගහට විය.

ටික වේලාවකට පසුව පැමිණි පාලකයන් සමග ඇතිකරගත් වාග් සංග්‍රාම වලින් අනතුරුව, ප්‍රශ්නයට එදිනම විසදුම් ලබා ගැනීමට අප සමත් වූවත් සහෝදර ශිෂ්‍යන් දෙදෙනෙකුහට පන්ති තහනමක් පැනවීමට තරම් පාලකයන් සැහැසි විය.

Wednesday, January 11, 2012

ගෙදරයන ගමන්....

අප විවෘත ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක වීමට පසුව ඉපදුන අයවලුන් වුවත් කුඩාකාලයේ තිබූ වෙළද ක්‍රමය මෙකල මෙන් සංකීර්ණ එකක් නොවීය. එකල අපගේ පාරිභෝගික ද්‍රව්‍ය වර්ග ප්‍රමාණාණය අඩු අගයක් විය. එකල අපේ මවුපියන් අවශ්‍ය කරන දෑ මිලදී ගැනීමට පැමිණියේ සතියකට වරක් හෝ දෙවරක් පැවැත්වුන පොළටය. එහිදීය සතියකට අවශ්‍ය ද්‍රව්‍ය මිලදීගන්නා ලද්දේ. මීට අමතරව විවිධ අවශ්‍යතා සදහා සිල්ලර වෙළදසල් තිබූනි. බොහෝවිට සෑමකෙනෙක්ම කුමන හෝ නිෂ්පාදනයක් සිදුකල අතර, එකල තිබුනේ නිෂ්පාදනයේ මූල්‍ය වටිනාකමට අනුව ඒවා එකිනෙකා අතර හුවමාරුවීමේ ක්‍රමයකි. මෙය ප්‍රාථමික යුගයේ පැවති භාණ්ඩ හුවමාරු ක්‍රමයෙන් වෙනස් වූයේ සුළු වශයෙනි. කරනු ලැබූ නිෂ්පාදන "නිමි" තත්වයේ පැවති අතර අද මෙන් ශක්තිමත් "මැද අවස්ථාවන්" එකල නොතිබුනි.

උදාහරණයක් ලෙස ගොවීන් එළවළු වගාකල අතර ඉදල්, කූඩ, වට්ටි වැනි දෑ නිපදවූ කුඩා කර්මාන්ත හිමියන් එක් තැනකදී හමුවී වටිනාකම අනුව තම නිෂ්පාදන හුවමාරු කරගැණිනි.

විවෘත ආර්ථිකයේ වර්ධනයත්(?) සමග මෙම කුඩා කර්මාන්ත බොහොමයක් වැසීගිය අතර ඒ වෙනුවෙන් තාක්ෂණය මුසුවූ මහාපරිමාණ කර්මාන්ත ඇරඹිණි. එදා නිවසේදී සාදා කඩපොලට හෝ අලවිසැල් වලට ලබාදුන් මෙම ද්‍රව්‍ය අද වනවිට ප්‍රදේශයකට සීමාවූ තරමක් විශාල එක් කර්මාන්ත ආයතනයක් සතුව පවතී.

මීට සමගාමීව වර්ධනය වන අනෙක් ක්ෂේත්‍රය විශාල පරිමාණ වෙළදසල් ක්‍රමයයි. මුල් කාලයේ ගමේ-නගරයේ තේ කඩය වෙනුවට KFC මැක්ඩොනල්ඩ්ස් වැනි ලෝක ව්‍යාප්ත සුපිරි කෑමකඩ ඇති අතර එලවළු සහ සිල්ලර බඩු විකුණනු ලැබූ වෙළදසල් ආක්‍රමණය කරමින් පෞද්ගලික අංශයේ, කාර්ගීල්ස්, කීල්ස් වැනි "ෆුඩ් සිටි" ද රාජය අංශයේ කෝප් සහ මිණි කෝප් සිට් වැනි මහ පරිමාණ වෙළදසල්ද පැමිණ ඇත. එක් අයෙකු හෝ සමාගමක් මගින් පාලනය වන මෙම ව්‍යාපාර ප්‍රධාන නගරවලින් ආරම්භවී ක්‍රමයෙන් කුඩා නගර දක්වාද ව්‍යාප්ත වී ඇත. වියහැකිව තිබෙන පරිදි මෙහි අනිවාර්ය ප්‍රථිඵලය ලෙස සුළු පරිමාණ වෙළදසල්වල අභාවය මේ වනවිට ආරම්භ වී ඇත. එය හරියටම මහාපරිමාණ කර්මාන්ත ආරම්භයත් සමග කුඩා කර්මාන්ත පරිහාණියට පත්වූවා වැනිය.

විවිධ නාම යටතේ පවතින මෙම ෆුඩ්සිටි වර්ග මෙතරම් ජනප්‍රිය වීමට හේතුව කුමක්ද? මා ඒ පිළිබදව සහ ෆුඩ්සිටි පැමිණීමත් සමග සුළු ව්‍යාපාරිකයන්ට ඉන් සිදුවන බලපෑම සොයා බැලුවෙමි. මගේ හිතවත් වෙළදුන් සහ පාරිභෝගිකයන් දැක්වූ අදහස්ය මේ,

නගරයට පැමිණි මිණි කෝප් වෙළදසැල පිළිබදව කාර්යාලයේ බොහෝ දෙනෙකු කතාවේ. ඔවුන්ට අනුව කුඩා කඩවල ආදායම සැලකියයුතු ලෙස අඩුවියයුතුය.

"මට නං එච්චර බලපෑමක් නෑ. මම තොග දෙන ගනනට චුට්ටක් වැඩි ගනං වලට තමයි සිල්ලරට දෙන්නෙත්. දැං බලන්න මම සන්ලයිට් කැටයක් තොග දෙන්නෙ රුපියල් දෙකකට කිට්ටු අඩු ගනනකට. එක කැටයක් ගන්න කෙනෙකුට උනත් රුපියලක් විතර අඩුවෙන් දෙන්නෙ. කොප් එක ආව කියල මට නං අමුතු පාඩුවක් නෑ"

ඒ අදහස දැක්වූයේ නගරයෙන් තරමක් ඈත පිහිටි කුඩා කඩවලට තොගබඩු විකුණන ව්‍යාපාරයක් හිමි අයෙකි. ඒ අනුව ඔහුට මෙයින් බලපෑමක් නැත.

"මේකයි, සතොසේ ලාබෙට ගන්න තියෙන්නෙ සීනි හාල් වගේ කීපයක් විතරයි. අපේ ඒව ටිකක් මිල වැඩිවුනාට අනිත් ඒව සතොසෙ දෙනවට වඩා අඩුයි. සතොසෙ කරන්නෙ අනිත් බඩු වලින් අල්ලනව. ඒත් මිණිස්සුන්ට ඒක තේරෙන්නෙ නෑ. එයාල ඒකට යනව. ලස්සනට තියන නිසා වෙන්නැති. අපිට ටිකක් පාඩුයි. සමහරවිට කාලයක් යද්දි හරියයි."

ඒ තවත් ව්‍යාපාරිකයෙකි.

ව්‍යාපාරිකයන්ට බොහෝ දෙනෙකුට අනුව මෙයින් සාමාන්‍ය හෝ බලපෑමක් ඇත.

මේ පිළිබද කාර්යාලයේ සහ හිතවත් අයගේ අදහස් විමසීමේදී ඔවුන් ලබාදුන්නේ මෙවැනි පිළිතුරුය,

"මම නං යන්නෙ මම කලිං බඩු ගත්ත කඩවල් වලටමයි. ලොකු-ලොකු තැන් වලට සල්ලි දෙන්නෙ නෑ මමනං. කඩවල් දාගෙන ඉන්නෙත් අපිවගේ මිණිස්සු. ෆුඩ්සිටි වලට මම නං සල්ලි දෙන්නෙ නෑ"

ඔහු සිටින්නේ රැඩිකල් ස්ථාවරයකය.

තවත් මගේ මිත්‍රයෙක් දක්වන්නේ ඊට ප්‍රතිවාරුද්ධ අදහසක්ය,

"මල්ලී මම නං දැං යන්නෙ අපේ ගෙදර ලග තියන ෆුඩ් සිටි එකට. එළවළු එහෙම එතන ගන්න පුළුවන් ග්‍රෑම් 50 - 100 ඉදල. ෆ්‍රෙෂ් බඩු තියෙන්නෙත්. තැලිල පොඩිවෙලා නෑ. මම නං කරන්නෙ දවසකට විතර එලවළු ගන්න එක. ගෙදර ෆ්‍රජ්එකේ එළවව ගොඩ ගහගන්න ඕනත් නෑ, හොද බඩු වලින් ගන්නත් පුළුවන් අපිට ඕන විදියට ඕනදෙයක් තෝරගන්න පුළුවන්නේ. ටිකක් රෑ වෙනකනුත් තියනව"

තවත් අයෙකු දැක්වූයේ අපූරු අදහසක්ය,

"මහත්තය, මම නං ෆුඩ්සිටියට යන්නෙ මගේ ලග තියන සල්ලි වලට බඩු තෝරල ගන්න පුළුවන් තැන එතන නිසා. අපි ලිසිට් එක ලියාගෙන කඩේකට ගිහිල්ල සල්ලි මදිවුනොත් ලිස්ට් එකේ තියන බඩු ආයිත් අඩුකරන්න වෙනව. ඒකත් හරි නෑනෙ අපි සල්ලි නැති අය උනත්. එතන ඉදගෙන චාටර් වෙන්න ඔනෙත් නෑනෙ ෆුඩ්ස්ටියට ගියාම. ඕනම කරන බඩුවෙ ඉදල ගන්නව. ඒ අතරෙ හිතෙන් ගාන හදාගන්නව. මාස්පඩිකාරයන්ට හොද එතන තමයි."

කෙනෙක් වෙළදසැලකට ගොස් මිලදීගැනීමක් කරන විට පවා ආත්ම ‍අභිමානය කෙළෙසී යන්නේ එලෙසිනි.

ආර්ථික ක්‍රමයේ විකාශනයත් සමග ඇතිවන මෙවැනි බලපෑම් වැලැක්වීම කලනොහැකිය. ෆුඩ්සිටියට හෝ ගමේ කඩයට යෑමට පෙර මේ ගැනත් සිතන්න.

පිංතූරය: http://www.phototour.minneapolis.mn.us වෙතින්.

Friday, January 6, 2012

ජනප්‍රියම බ්ලොග්කරුවා කවුද?

ජනප්‍රියම බ්ලොග්කරුවා කවුරුන්ද යන්න "ඇනෝනිමස් ආතල්" අඩවියේ අදහස් දක්වන්නන් විටින්විට කතාබහ කෙරෙන මාතෘකාවකි. බොහෝවිට මාතෘකාව සම්බන්ධ වන්නේ මඩ ගැසීමක්ද සමගිණි.(මේ අතුරින් වැඩිපුරම ප්‍රහාරයට ලක්වන්නා මාරයාය). මේ උත්සාහය මඩගැසීම හෝ ජනප්‍රියත්වය තීන්දුකිරීම නොව ඊට ගෙනහැර දක්වන ලද නිර්ණායකයන් සාකච්ඡා කිරීමය.

ඇනෝනිමස් අඩවියේ පළවූ "බ්ලොග් අවකාශ මඩේ පිපුණු අරවින්දය - ආනන්දවර්ධන" යන ලිපියට ප්‍රතිචාර දක්වන ඇනෝනිමස්කෙනෙකු ජනප්‍රිය බ්ලොග් කරුවා තීරණය කරන්නේ මෙලෙසිනි,

Anonymous said...
සඳරුගේ ජනප්‍රියතාවය
පෝස්ට් ගණන(අද උදේට ) : 108
හිට්ස් ගණන(අද උදේට ) : 487,232
පෝස්ට් එකකට හිට්ස් : 4,511
කතන්දරගේ ජනප්‍රියතාවය
පෝස්ට් ගණන (අද උදේට ) : 543
හිට්ස් ගණන: (අද උදේට ) : 661,264
පෝස්ට් එකකට හිට්ස් : 1,217
මාරයාගේ ජනප්‍රියතාවය
පෝස්ට් ගණන (අද උදේට ) : 531
හිට්ස් ගණන: (අද උදේට ) : 241,752
පෝස්ට් එකකට හිට්ස් : 455
ඇනෝනිමසයාගේ ජනප්‍රියතාවය
පෝස්ට් ගණන (අද උදේට ) : 45
හිට්ස් ගණන: (අද උදේට ) : 45,956
පෝස්ට් එකකට හිට්ස් : 1,021

නිගමනය: පෝස්ට් එකකට ලැබෙන හිට්ස් අතින් මාරයා සිටින්නේ ජනප්‍රිය බ්ලොග්කරුවන්ට බොහෝ පිටුපසිනි. ඇනෝනිමසයා පවා ඔහුට වඩා දෙගුණයක් හිට්ස් පෝස්ට් එකකට ලබා ගනී. සඳරු මාරයා මෙන් දහගුණයක් හිට්ස් එක පෝස්ට් එකකට ලබා ගනී. මේ නිසා මාරයා ජනප්‍රිය බ්ලොග්කරුවෙක් නොවේ. කරුණාකර ඔහු "ජනප්‍රිය බ්ලොග්කරුවන්" ගොඩට දැමීමෙන් වළකින්න.

2 January 2012 19:30

මෙහිදී ප්‍රතිචාරකගේ ජනප්‍රියභාවයේ සූත්‍රය,
[ජනප්‍රියභාවය = (සම්පූර්ණ පිවිසුම් ගණන/මුළු ලිපි ගණන)]වේ.

මාරයා (චතුශ කුමාර) සිංහල බ්ලොග් අවකාශයේ සුනිල් මාධව ප්‍රේමතිලකද? යන ලිපියට ඇනෝනිමසයෙකු දක්වන ලද අදහසක් අනුව "ඇනෝනිමසයා" හා "මාරයා" සංසංදනය කරන්නේ මෙලෙසිනි.

Anonymous said...
@ඕනයෝ,
ඔක්කෝටම කලියෙන් උඹැහැට අංක ගණිතය කියල දෙන්න වෙලා නෙවැ.
මාරයාගේ සම්පූර්ණ හිට්ස් ගණන (ජූලි මාසේ 18 වැනිදා ප.ව. 2.30ට ) = 145,418
මාරයාගේ පෝස්ට් ගණන = 410
එම නිසා මාරයාගේ එක පෝස්ට් එකකට හිට්ස් සාමාන්‍යය = 355
දැන් බලමු මේ හරි හමන් සින්ඩියකවත් නැති ඇනෝනිමසා ගැන
ඇනෝනිමසාගේ සම්පූර්ණ හිට්ස් ගණන (ජූලි මාසේ 18 වැනිදා ප.ව. 2.30ට ) = 26,721
ඇනෝනිමසාගේ පෝස්ට් ගණන = 26
එම නිසා ඇනෝනිමසාගේ එක පෝස්ට් එකකට හිට්ස් සාමාන්‍යය = 1,028

මෙහිදීද ජනප්‍රියත්වයේ සූත්‍රය මා ඉහත සදහන් කල සුත්‍රයමය. අංක ගණිතය උගැන්වීමට යන ඇනෝනිමස්ට වීජ ගණිතය වැරදී ඇත.

ජනප්‍රියතාවය මැණීමේ ඒකකය වශයෙන්, ගෙනඇති සූත්‍රය බොහෝ දෝශ සහිතය. එය මෙවර උසස්පෙළ ප්‍රථිථලවල ඉසෙඩ් අගය ගණනය කලා වැනිය

එබැවින් ජනප්‍රියතාවය ගණනය කිරීමට අවශ්‍ය නම් යම් නිශ්චිත කාලයකදී ලබාගත් හිට්ස් සහ එම කාලයේ පෝස්ට් සැසදීමෙන් කලයුතුය.

උදාහරණයක් ලෙස සදරු සහ මාරයා සංසංදනය කිරීමට අවශ්‍ය නම්

2011-01-01 දින සිට 2012-01-01 දක්වා කාලය තුලදී (මෙම කාලයම අවශ්‍ය නැත) ඔවුන්ගේ "හිට්ස්/පෝස්‍ට්" මගින් තීරණය කල යුතුය. එය මුල් කී ක්‍රමයට වඩා සාර්ථකය. මක්නිසාද යත් මාරයා බ්ලොග් ලිවීම 2009 නොවැම්බරයේ ආරම්භ කරන විට සදරුගේ ආරම්භය 2010 ඔක්තෝබරයේ නිසාය. මෙහිදී සිදුවන්නේ වසරක් පාසා ඉහල යන බ්ලොග් කියවන්නන්ගේ සංඛ්‍යාවෙන් ඇතිවන බලපෑම විස්තර කිරීමට මුලින් දැක්වූ සූත්‍රය අසමත් වීමයි.

එහෙත් මෙම ක්‍රමයද 100% සාර්ථක ක්‍රමවේදයක් නොවේ. මක්නිසාද යත් මෙවැනි ක්‍රමවේදයක සාර්ථකතාවයට බලපෑම් කරන තවත් සාධක ඇති බැවිනි. සතියකට වරක් ලිපියක් එකතුකරන අඩවියක් හා දිනපතා ලිපියක් එකතුකරන අඩවියක ජනප්‍රියත්වය මැන බැලුවහොත් (හරය විශාල වීම මත) දිනපතා ලිපි එකතුකරන අඩවියේ ජනප්‍රියත්වය අඩු බව තහවුරුකරගත හැකිය.

ජනප්‍රියත්වය මැණිමේ තවත් සාර්ථක මිණුමක් නම් එක් එක් බ්ලොග් අඩවිවල ඇති බ්ලොග් රෝල් තුලින් යම් නිශ්චිත බ්ලොග් අඩවියක් ලබාගත් පිවිසුම් ගනන මැණීමයි.

උදාහරණයක් ලෙස මාගේ බ්ලොග් අඩවියට පැමිණෙන්නන් පසුගිය මාසයේදී පැමිණියේ කුමන අඩවි හරහාදැයි දක්වමි.

http://blogs.sinhalabloggers.com/                -260
http://syndi.lankeeya.lk/                        -160
http://kathandara.blogspot.com/                  -109
http://ambagaha.blogspot.com/                     -55
http://wedagedara.blogspot.com/                   -47
http://ctkumara.blogspot.com/                     -41
http://wapnishantha.blogspot.com/2011/12/blog-post_13..-32
http://maathalangesindiya.blogspot.com/           -26
http://raj-rajmyblog.blogspot.com/                -17
http://www.lankeeya.lk/                           -15

නමුත් මෙම ක්‍රමයද යම් තරමකට දෝශ සහිතය. එහෙත් මුල්ම ක්‍රමයට වඩා සාර්ථකය. එහෙත් මෙමගින් මැණියහැකි වන්නේ බ්ලොග්රෝල් තුල ඇති අඩවි පමණි. අනෙක් අතට යම් අඩවියක පලකරන සබැදියක් නිසා මෙම අගය වෙනස් වියහැකිය. (වැප්ගේ අඩවියේ පළකල මාගේ ලිපියක සබැදියක් නිසා පිවිසුම් 32ක් ලැබී ඇති අයුරු බලන්න).

ජනප්‍රියම බ්ලොග්කරුවා කවුද යන්න අදහසක් ලබාගැනීමට මෙවැනි ක්‍රම කිහිපයක් පාවිච්චි කල යුතුය.

කෙසේ වුවද තවමත් බ්ලොග් අවකාශයේ පිවිසුම් සදහා වගකිවයුත්තන්ගෙන් බහුතරය දැනට දෙදහසක් පමණ වේයැයි සැලකෙන බ්ලොග් රචකයන්මය. කෝටි දෙකක් පමණ වන ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ ප්‍රතිශතය අවම මට්ටමක පවතින අතර ඔවුන්ගේ බහුතරය බ්ලොග් කියවන්නන් බවට පත්වුවහොත් මෙම තත්වයේ වර්ධනයක් අපේක්ෂා කල හැකිය.

ප.ලි.- මගේ නමක් දෙන්න බැරි කතාවක් කියන කෙටි කතාව පෙරේද එලකිරි.කොම් එකේ දාල තිබුන. නවාතැනේ දවසක වැඩිම හිට්ස් වාර්තා උනෙත් එදා. :D

Wednesday, January 4, 2012

ගරු කථානායකතුමණි, ලැජ්ජයි!

පසුගිය දිනක මිත්‍රයෙකුගේ නිවසට ගිය මගේ අවධානය විවිධ වර්ගවල රාමු කරන ලද ඔහුගේ ඡායාරූප එකතුව වෙත යොමුකලෙමි. එහිදී එක් ඡායාරූපයක් මගේ විශේෂ අවධානයට යොමුවිය. එය ඔහුගේ දියණියකගේ එකක් වූ අතර එයින් දැක්වුනේ ඇය පසුගිය වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වීම නිමිත්තෙන් සහතිකපත්‍රයක් ලබාගන්නා අවස්ථාවයි. සහතිකපත්‍රය ප්‍රධානය කරන්නා වූයේ අන් කිසිවෙකුත් නොව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක චමල් රාජපක්ෂ මැතිතුමාය. පරීක්ෂාවෙන් නොබැලුවත් එක්වරම එහි විශේෂත්වයක් දක්නට ලැබුණි. දැරියගේ සහතිකය ලබාගැනීමත් කථානායකතුමාගේ ප්‍රධානයත් විකෘති ස්වභාවයක් ගත් අතර ඒ පිළිබදව විමසීමේදී මිත්‍රයාගේ ප්‍රථිචාරයයි මේ,

"මචං මේකට මටත් ලැජ්ජයි බං. බලපං කෙල්ල ඉන්න විදිය. ‍හරියට හිගන්නෙක් හිගමනක් ගන්නව වගේනෙ සහතිකේ ගන්නෙ!"

"මොකද්ද වෙලා තියෙන්නෙ?" මා විමසුවෙමි.

"ශිෂ්‍යත්වෙ පාස් වෙච්ච ළමයින්ට සහතික වගයක් දුන්න පළාත් අධ්‍යාපනෙන්... ඉතිං දුව එක්ක ගියේ මගේ නෝන... සහතිකේ දීල තියෙන්නෙ ඒකෙ ලේකම් කෙනෙක්ද කොහේද... ෆොටෝ ගන්න ඇවිල්ල හිටියෙ තංගල්ලෙ දර්ශන ස්ටූඩියෝ එකෙන්... නෝන එවලෙ ඇඩ්වාන්ස් එකකුත් දීල තිබුන... සතියකට දෙකකට පස්සෙ පිතතූරෙ දෙන්නං කියල කිව්වලු... ඊට පස්සෙ මට දුවගෙන් කරදරේ ගිහිල්ල ෆොටෝ එක ගේන්න කියල... මම ගියා ස්ටූඩියෝ එකට... ගිහිල්ල රිසිට්එක දුන්නම මේ පිංතූරෙ දුන්න ...බලනකොට ඒකෙ ඉන්නෙ සහතිකේ දුන්න කියන මහත්තය නෙවේ චමල් මහත්තය. මම ඇහුව එතන ඉන්නවුන්ගෙන් සහතිකේ දුන්නෙ වෙන එක්කෙනෙක්නෙ, ඇයි චමල් මහත්තය මේකට දැම්මෙ කියල. එයාල කියනව අපිට කියපු හැටියට තමයි අපි පිංතූරෙ හැදුවෙ කියල... මම ඇහුව ඔරිජිනල්එක ගන්න බැරිද කියල...බෑ කිව්ව...මම වැඩිය ඒ ගැන කතා කලේ නෑ ... ඔතන ගිහිල්ල ගේම ඉල්ලන්න බෑනෙ... අනිත් එක උන්ට බැනල වැඩකුත් නෑ... උං කරල තියෙන්නෙ ඩියුටියනෙ... "

"ඉතිං බං මේක මීට වැඩිය හොදට හදන්න බැරිද?" මා ඇසුවෙම්.

"මේකයි වැඩේ...සහතිකේ දීපු මණුස්සය හෙන මිටි මණුස්සයෙක්ලු. චමල් මහත්තය උස නිසා දරුවගෙ අත් තව උස්සල...ඒකයි මේ අවුල...:D"

කාරණය වැටහුනේ ඉන් පසුවය.

එහෙත් මෙය කොතරම් ලජ්ජාශීලී වැඩක්ද? තමා නොසිටි අවස්ථාවක් තාක්ෂණික ප්‍රයෝග යොදා සිටි බවට ඒත්තු ගැන්වීම ඔහු තරම් පරිණත දේශපාලනඥයෙකුට තරම්වේද? ප්‍රාදේශීය දේශපාලකයෙකු මෙය සිදුකලේ නම් පුදුම වියයුතු නැත.

මීට පෙර මා රැකියාව කල හෝමාගම ප්‍රදේශයේ ආසන සංවිධායකවරයෙකු පිංතූර ලබාගැනීම සදහා අපූරු උපක්‍රමයක් පාවිච්චි කරයි. ඒ මෙසේය.

තම ප්‍රදේශයේ පැවැත්වෙන රැස්වීමකට ජනාධිපතිතුමා පැමිණියේ යයි සිතමු. මෙවිට ප්‍රදේශ‍ය නියෝජනය කරන පාර්ලිමේන්තු නියෝජිතයා බොහෝවිට අසුන් ගන්නේ ජනාධිපත්වරයාට යාබද අසුනේය. මන්ත්‍රීවරයා කථාකිරීමට නැගී සිටිනවාත් සමගම සංවිධායකවරයා එම අසුනේ ඉදගන්නා අතර ඔහු විසින්ම සූදානම් කරනලද ඡායාරූප ශිල්පියා ලවා ජනාධිපතිවරයාත් සමග කතාබහ කරමින් සිටින තමාගේ ඡායාරූපය ලබාගනී.:D

මේ සිද්ධි දෙක සැසදීමේදී ආසන සංවිධායකවරයා කතානායකතුමාට වඩා ගව් ගනනක් ඉදිරියෙන් සිටිනබව පැවසිය යුතුය.

සමහර විට මෙය කතානායකතුමාගේ අනුදැනුමින් තොරව කරන ලද්දක් දැයි කෙනෙකු තර්ක කල හැකිය. "එක දාගැනීමේ"අරමුණින් මෙවැනිදේ කරන නිලධාරීන්ද ඕනෑතරම් ඇත. එහෙත් නිශ්චිතවම ඒ ගැන කිසිවක් ප්‍රකාශකල නොහැක.

Monday, January 2, 2012

කියන කතා.

බ්ලොග් අවකාශයේ සියළුම දෙනාට සුභ නව වසරක් වේවා!

ලිපියක් දාන්න කාරණාවක් සති අන්තෙ ලැබුනත් අවුරුද්දෙ ඉස්-ඉස්සෙල්ලම කාටවත් මොකුත් කියන එක හොද නෑනෙ. ඒ නිසා එක එක්කෙනා එකඑක තැන කියපු කතා මේවගේ පෝස්ටුවකින් පටන්ගන්නව. වැඩිය හිනා යන්නෙ නැතත් කියවල බලන්න. ඇත්ත කතා.

පළවෙනි කතාව සිද්ධවුනේ මම විශ්ව විද්‍යාලෙ ඉන්න කාලෙ. ඒ දවස්වල අපි හොස්ටල් එකට වෙලා ආතල් එකක් එහෙම අරගෙන ඉන්නව මිසක් අධ්‍යාපනයට උනන්දුවක් තිබුනෙ නෑ. ඒනිසා ලෙක්චර් ගියෙත් නෑ. ලෙක්චර් නොයන නිසා කැම්පස් යන්න උනන්දුවක් තිබුනෙත් නෑ. අපි නැවතිලා හිටියෙ එලියකන්ද නේවාසිකාගාරයෙ. අපේ රූම් එකට එහා පැත්තෙ රූම්එකේ හිටිය එවුනුත් අපිවගේ. එක කාලයක උන් සෙට්එක කෑම උයාගෙන කන්න සෙට්උනා.(කැන්ටිමෙන් කන්න බැරිකමට). ඒ සෙට්එකේ හිටිය පාලිගෙයි මගෙයි තමයි මේ කතාබහ,

මම: පාලි, බලපං උඹල කරන වැඩේ, මොකද්ද ඕකෙ තේරුම. උඹල උදේ 8ට 9ට නැගිටිනව. ඊට පස්සෙ උදේට උයන්න පටන්ගන්නව. දහය විතර වෙනව උදේට කනකොට. ඊට පස්සෙ හැලිවලං හෝදල දවල්ට උයන්න පටන්ගන්නව. දවල් කනකොට දෙක තුන වෙනව. ඊට පස්සෙ සෙල්ලංකරල නාල හැන්දෑවෙ පටංගන්නව රෑට උයන්න. අට විතර වෙනකොට උයාගෙන කාල නිදාගන්නව. එහෙම බැලුවම උඹල කැම්පස් ඇවිල්ල කරල තියෙන්නෙ උයං කනඑක විතරයිනෙ.

මගේ කතාවට පාලි දුන්න උත්තරේ මට කවදාවත් අමතක වෙනඑකක් නැතිඑක ෂුවර්.

පාලි: හරි දැං බලපං උඹල ගැන. උඹලත් උදේ 9ට විතර නැගිටිනව. ඊටපස්සෙ කැන්ටිමෙන් උදේට කනව. ඊට පස්සෙ සෙල්ලංකරනව, සිගරැටි ගහනව, නානව. ඊටපස්සෙ දවල්ට කනව. ඊට පස්සෙ නිදාගන්නව. හවසට සෙල්ලං කරල කැන්ටිමෙන් රෑට කාල නිදාගන්නව. එතකොට උඹල මොකුත්ම කරල නෑනෙ. අපි උයාගෙන කාල හරි තියනව.

මට කටඋත්තර නැත.

දෙවනි කතාව අපේ ඔපීසියෙ වැඩකරන රවි අයියලයි ගෙදර ගිය වෙලාවෙ සිද්ධවෙච්ච වැඩක්. අපි ටවුමට ඇවිල්ල වලක් බහිනකොට තවත් (ටිකක් විතර වයස) ඇනෝනිමස් කෙනෙක් රවී අයියට සෙට් උනා. මේ වෙලාවෙ මෙතනින් යනවා ඇහැට කනට පේන ගැටිස්සියක්. අපි තුන්දෙනාගෙම අවධානෙ ඒ පැත්තට යොමුවුනා.

ඇනෝනිමස් : හහ්! කොහොමද .......හැටි? රවී මහත්තයෝ අපිට ඕන අහුවෙන්න ඔහොම කෑලි!

උන්නැහේ එහෙම කියල පිටවෙලා ගියා.

රවී අයිය : මල්ලී ඕක ඔහොම කිව්වට උගේ ගෑණිට වටේම ඉන්න එවුන් .........!:D

තුන්වෙනි කතාවට සම්බන්ධ වෙන්නෙ මගේ යාළුවො දෙන්නෙක් වෙච්ච හේර සහ බුරා. හේරට රක්ෂණ ආයතනයක වැඩකරන්න සෙට්වුනා. එක දවසක් බුරා හේරට කෝල් කරනව,

බුරා : මේ.... මිස්ටර් ....ද? .....ඉන්සූරන්ස් එකේ?

හේරා : ඔවු මහත්තය එයා තමයි ඇයි?

බුරා : මහත්තය මට ලයිෆ් ඉන්සූරන්ස් එකක් කරගන්න ඕන,......

හේර අදුරගත්ත කටහඩ

හේරා : ආ.... සොරි මහත්තය අපි කිරිගව රක්ෂණය නැවැත්තුවනේ.... මහත්තයට පුළුවන් නං තව මාසයක් ඉන්න. අපි තව මාසෙකින් පටන් ගන්නව පට්ටිගොනා රක්ෂණය.

ගිහිං එන්නං.