Saturday, December 24, 2016

ආගංගොඩ? කොහේද යකෝ ඒ?

ආගංගොඩ තියෙන්නෙ කොහේද?
“ආගංගොඩ” ඇවිල්ලා ලංකාවෙ A කියන දිස්තිරික්කෙ B කියන ප්‍රාදේසීය ලේකං කොට්ටාසෙ C කියන ගිරාම සේවක වසමට අයිති ගමක්. ඔහෙලට ඕනම නං ඉතිං ඔය A, B, C කියන එව්වට ගැලපෙන නමක් දෙකක් කාරිය දාගත්තෑකි. හැබැයි මක්කටෙයි කරදර වෙන්නෙ, ඔය වාගෙම ගං අටෝ රාසියක් මේ පුංචි රටේ තියෙනකොට?

ඇයි මේකට ආගංගොඩ කියන්නෙ?
මේ ගමට “ආගංගොඩ” කියන නම හැදුනෙ කොහොමද කියලා කවුරුත් දැනගෙන හිටියෙ නෑ. කොටින්ම මේ ලියන, ලියන මහත්තයා වන, මට වත් උත්තර දෙන්න ඇහැකි පුරස්නයක් නෙවෙයි ඒක.
හැබැයි මේ ගමට “ආගංගොඩ” නම නං අපූරුවට ගැලපුනා කියමුකො. ආගම්-ගොඩාක් තියෙන ගමකට වෙන මක්කා කියන්ටයැ?

කවුද ආගංගොඩ ඉන්නෙ?
එක්කෙනෙක් තමයි සිරිසේන මහත්තය. ඒ කියන්නෙ ගමේ ග්‍රාමසේවක මහත්තය. හැබැයි එයා රස්සාවෙන් අස්වුනා. ගමේ යූ ඇම් පී කාරයින්ගෙන් කරදර නිසා.

ඊට පස්සෙ?
ඊට පස්සෙ සිරිසේන මහත්තය පොතක් ලියන්න පටන් ගත්ත.

තව කවුද ගමේ ඉන්නෙ?
සමන්තභද්‍ර රහතන් වහන්සේ, එතකොට...

ඇහ්? සමන්තභද්‍ර රහතන් වහන්සේ?
නැතුව නැතුව. මෙන්න බලන්න....
"සමන්තබද්‍ර මහ බෝසතානන් වහන්සේ අරහත් භාවය ලබා ගත්තෙ කොළඹ හිල්ටන් හෝටලයෙදි. අර එක තට්ටුවක් අඩු හෝටලේ කියන්නෙ. ඔව්, ඒකෙදි තමයි."
"ඒ එක්කම පින්වතුනි ඔය ඇත්තන් සිහියේ තබා ගත යුතුයි සමන්තබද්‍ර වහන්සේද අරහත් භාවය ලබා ගන්නේ ඉතාම දුෂ්කර ක්‍රියා කලාපයකින් පසුව බව. කොටින්ම ඔය සම්පූර්ණ කාලය මුලුල්ලේම තන්හා රතී රාගා මර දෙවඟනන් තිදෙනාම සමන්තබද්‍ර වහන්සේගේ සයනය මත උන් වහන්සේගෙ වෑයම අඩපණ කරන මෙහෙයුමක යෙදී සිටියා පින්වතුනි. සමන්තබද්‍ර වහන්සේ අරහත් භාවය ලබා ගන්නේ ඒ මර දුවරුන් සමඟ කළ මාර පරාජයෙන් පසුවයි"

තව?
තව ඉන්නව බ්‍රදර් බර්නාඩ්, මුස්ලිං කෙල්ලයි දෙමළ කොල්ලයි හෙළ බොදු යුක්තිය සංවිධානෙ....

ටහිකෙන ගමක්නෙ යකෝ මේක! කොහේද මේ ගම තියෙන්නෙ?
තියෙන්නෙ ආගංගොඩයගෙ ඔලුවෙ! ඔලුවෙ තියන දේ බ්ලොග් එකට එනව.

එහෙනං ඉතිං පිලිවෙලකට කියවන්න බැරියැ!
එහෙමත් බෑ ඉතිං.... ඒ යකා ටයිං ෆ්‍රේම් මාරු කරනව කිසි කිසි ගාල.... මතකනෙ අර සමනල විප්ලවේ.... පිස්සු හදාගන්නෙ නැතිව කියවන්න එහෙනං.... මෙන්න තැන!

Thursday, December 15, 2016

ආගමික සංකේත සහ ආගමික පොලිසි!

"නැව් සුක්කානමක" හැඩය ගත් සලකුණක් සහිත සපත්තු විකිණූ වෙළඳසැලක් වැටළූ චීවරධාරීන් කිහිපදෙනෙකු උක්ත සලකුණ බුදු දහමෙහි කියැවෙන ධර්මචක්‍රය බව පවසමින් පිස්සු කෙලින වීඩියෝවක් අන්තර්ජාලයේ වෛරල් වෙමින් පවතී. සියල්ල අතහැර පැවිදි වුවද සියල්ල බදාගන්නා පැවිද්දන් ගැන කතාකිරීම අනවශ්‍යය. ඔවුන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමකි. එසේ නොවුනහොත් පසුගිය රජය සමයේ මෙන් චීවරධාරීන්ගේ පිස්සුව උත්සන්න වීමට ඉඩ ඇති අතර ඒ හේතුවෙන් පාලකයන්ට මෙන්ම රටටද බොහේ දේ අහිමි විය හැකිය.

චීවරධාරීන් කුමක් කලද ආගමික සංකේත සම්බන්ධයෙන් රටකට නීති රීති අවශ්‍යය. කුමක්ද මේ ආගමික සංකේත?
ආගමික සංකේත යනු ඕනෑම ආගමක ශාස්තෘන් විසින් දේශනා කල දෑ සහ ආගම්වලට අනන්‍ය වූ දේවල් ආදියයි. ඒවා සියල්ල ඒ ඒ ආගම්වලට සහ ආගමිකයන්ට අයත් බුද්ධිමය දේපල ලෙස සැලකිය හැකි අතර ඒවා යොදාගැනීම හෝ පාවිච්චිය සම්බන්ධව සීමා තිබිය හැකිය. උදාහරණයක් ලෙස ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී ආගමික නායකයෙකුගේ නම යොදාගත නොහැකි යැයි නීතියක් තිබේ. බුද්ධා වයින් ස්ටෝර්ස් හෝ මුහම්මද් නබි මස් වෙළඳසල හෝ ජීසස් බේකරිය වැනි ව්‍යාපාර ලංකාවේ ලියාපදිංචි කල නොහැකිය. බුදු පිළිම හා ඡායාරූප, බුදුදහමේ සඳහන් සංඝ්‍යාගේ පිළිම සහ ඡායාරූප ආදියද ව්‍යාපාරික හෝ වෙනත් අරමුණු වෙනුවෙන් යොදාගැනීම නොකල යුතුය. මේවා සම්බන්ධ නීති රීති ඒ ඒ රටවලට ගැලපෙන ලෙස යොදාගෙන තිබේ. උදාහරණයක් ලෙස ඉස්ලාම් නීතිය ක්‍රියාත්මක වන මැදපෙරදිග රටවල කුරාණයට අපහාස සිදුවන ආකාරයේ ක්‍රියාවන්ට ලැබෙන දඬුවම් බරපතලය.


◄මෙවන් රෝද සහිත කරත්තයක් අදින ගොණුන් පවුකාරයන්ය!

කෙසේ වුවත් එක් එක් ආගම්වල පවතින නීති රීති ඒ ඒ ආගම්වල දර්ශනය සමඟ බැදී පවතී. ඉස්ලාමයේ පවතින නීති රීති දැඩි වන අතර කතෝලිකයන් තම ආගමික සංකේත සම්බන්ධයෙන් එතරම් දැඩි පිලිවෙතක් අනුගමනය නොකරයි. උදාහරණයක් ලෙස ‍ජේසුස් වහන්සේගේ හෝ කුරුසිය වැනි රුව සහිත ඇඳුම් පැළඳුම් කතෝලිකයන් පාවිච්චි කරන අතර දෙවියන් වහන්සේ ඡායාරූපයට නැඟිම පවා ඉස්ලාමයට අනුව නොකල යුත්තකි. අනෙක් ප්‍රධාන ආගම් දෙකට සාපේක්ෂව ආගමික සංකේත විශාල ප්‍රමාණයක් ඇති බෞද්ධයන් ඒවා සම්බන්ධයෙන් දක්වන්නේ ගෞරවය මුසුවූ ප්‍රතිචාරයකි. බුදුන් වහන්සේ හෝ රහතන් වහන්සේලා නියෝජනය වෙනුවෙන් කිසිවකු පෙනී නොසිටින අතර නාට්‍යමය අවස්ථාවක වුවද යොදාගන්නේ සංකේත පමණකි. ඒ ගැන ප්‍රශ්නයක්ද නැත.


මේ කොකිස් කෑවොත් පවුද?►


මතභේදයට තුඩුදෙන කරුණ වන්නේ ආගමික සංකේත නිසි පරිදි අර්ථදක්වා ගැනීමයි. අවුල් ඇතිවන්නේ එසේ නොවූ විටය. මගේ විශ්වාසය අනුව ආගමික සංකේත ලෙස සැලකිය හැක්කේ කෙලින්ම ශාස්තෘටත්, එවැනි අනෙකුත් පුද්ගලයන්ටත්, අදාල ශාස්තෘ හෝ ආගම විසින් හඳුන්වා දුන් යම් යම් දෑ වෙතොත් ඒවාය. ඒ අනුව ආගමික නායකයන්ගේ රූප-පිළිම ආදියත්, ඔවුන්ගේ දේශනා පාඨ-ගාථා-යාඥාපාඨ ආදිය මීට අයත්ය. එමෙන්ම ආගමිකයන්ගේ නිෂ්පාදන වන ශ්‍රී මහා බෝධිය, දළදා මාලිගාව, මක්කම වැනි ස්ථානවල අයිතියද ඔවුන් සතුය. එහෙත් මිනිසා විසින් නිපදවන ලද හෝ ස්වභාවයේ පවතින දේවල්වල අයිතිය ආගමිකයන්ට නොමැත. උදාහරණයක් ලෙස බුදුන් වහන්සේ එක් අවසථාවක යම් ධර්ම කරුණක් [මෙය බ්ලොග්කරුට අමතකය] විස්තර කිරීමට යොදාගත්තේ එකල පහසුවෙන් පෙන්විය හැකි උදාහරණයක් වන කරත්ත රෝදයක්ය.කරත්ත රෝදය 'ධර්මචක්‍රය' ලෙස බෞද්ධයන් හැඳින්වූ පමණින් එය වෙනස් වන්නේ නැත. තවත් උදාහරණයක් ලෙස කුරුසිය, කතෝලිකයන්ගේ සංකේතයක් වන අතර කුරුසිය කතෝලිකයන්ට පූජනීය වීමටත් ප්‍රථම මිනිසුන් යොදාගත් උපකරණයකි. ඉස්ලාමයේ ඇති අඩ සඳ හා තාරකා සලකුණ සම්බන්ධ තත්වයද එසේමය. සරළව කිවහොත් ඔවුන්ගේ දේවල් ඔවුන්ටය. අනෙක් දේවල් ඕන කෙනෙකුට විවෘතය.

ආගමික සංකේත සම්බන්ධයෙන් මා ඉහත සඳහන් කල ආකාරයේ නීති රීති පද්ධතියක් රටේ පොදු නීතියට අවශ්‍යය. එවිට ඕනෑම අවස්ථාවක් සම්බන්ධයෙන් නීතිය අනුව කටයුතු කල හැකි අතර නීතිය අතට ගැනීමට කිසිවකුට ඉඩ ලැබෙන්නේ නැත. ආගමික සංකේත තිබුනාට ආගමික පොලිසි අවශ්‍ය නැත. ආගමික හෝ නිර් ආගමික ඕනෑම අයෙකු ආගමික සංකේත අවභාවිතා නොකල යුතු අතර එකිනෙකා සම්බන්ධයෙන් ඇති ගෞරවයේ තරමට සමානුපාතිකව ජනවර්ග අතර සමඟියද පවතිනු ඇත.

Wednesday, December 14, 2016

මාධ්‍යකරුගේ උදාර අපේක්ෂාව....

දහවල් සිදුවූ සිදුවීම හේතුවෙන් රොෂාන් ගුණසේකර සිටියේ කැළඹීමෙනි. මධ්‍යම රාත්‍රිය වන තෙක් ඇ‍ඳේ ඒ මේ අත පෙර‍ලුනද නින්ද අහලකවත් නැත. ආහාර ගැනීමට රුචියක් නොවූයෙන් රාත්‍රී ආහාරය වර්ජනය කිරීමේ ප්‍රතිපලද ශරීරයට දැනේ. කරන්න‍ට දෙයක් නැත. සිදුවූ දේ ආපසු ඇද්දවිය නොහැකිය.

අනෙක්පස සිටි බිරිඳටද සැමියාගේ කනස්සල්ල නොතේරුනා නොවේ. අවසානයේ ඇය නිහඬතාවය බිඳ දැම්මාය.

"දැං ඉතිං මොනව කල්පනා කරන්නද.... වෙච්ච දේ වුනා... ඒත් ඔයාට තිබුනෙ යන්න කියද්දි ඉක්මනට මාරුවෙන්න.... ඔයිං ගියා ඇති....ගහන්නැතුව වෙඩි තිව්ව නං එහෙම?"

"ඒ වුනාට හාමිනේ නිව්ස්එක ගන්නම වෙනවනෙ.... ඒකයි ගියේ නැත්තෙ"

"හරි හරි.... කීයක් හරි ලැබෙන එක ඇත්ත... ඒත් ඉතිං ඔක්කොටම කලින් ජීවත් වෙන්නෙපැයි"

"නෑ නෑ.... ලැබෙන ගාන නිසා නෙවේ නෝනේ මම ඒක කවර් කරන්න හැදුවෙ..."

"එහෙනං... ඔයාට හිරු එකට ස්ථිරව යන්න ලැබෙයි කියල හිතුවද?"

"නෑ නෑ.... මේ..."

"එහෙනං? පත්තරේට යන්න නේ?...."

"නෑ නෝනේ පත්තරේට යන්නත් නෙවේ.... මිනිස්සු ගොඩක් බලාපොරොත්තු තියාගෙන පත්කරපු ජනාධිපතිතුමා....."

"ජනාධිපති! ජනාධිපතිගෙ වැඩ එයා බලාගනී...."

"මේ වෙලාවෙ අපි හැම දෙයක්ම හරියට වාර්තා කරන්නෝන.... මොකද..."

"ඇයි? ඔයාට සම්මානයක් ලැබෙයි කියලද? ලැබෙයි ලැබෙයි මේං කියල...."

"නෑ නෑ...."

"හරි ඉතිං කියන්නකො ඔච්චර උවමනාවෙන් ඉස්සරහට පැන්නෙ මොකද කියල"

"නෑ නෝනෙ මේකනේ....වරායෙ සේවකයන්ගෙ පොඩි කේස් එකකට, නේවි එකේ ලොක්ක ලොකු බෝට්ටු දෙකකින් ඇවිල්ල කේස්එක සෙට්ල් කරල ගියා කියන නිව්ස් එක අපි හරියට කවර් කලේ නැත්තං අපේ ජනාධිපතිතුමා කොහොමද එහෙම දෙයක් රටේ සිද්ධවුනා කියල දැනගන්නෙ....?"

Sunday, December 11, 2016

ගෝරිල්ල‍ාගේ කනේපාර සහ වරායේ අවුල.

ඊයේ රාත්‍රියේ රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹීමේදී දුටුවේ අපූරු දසුනකි. අපූරු කීවාට එය අපුල දනවන දසුනකි. වරාය සේවකයන්ගේ අත්අඩංගුවට පත්ව තිබූ හම්බන්තොට වරායේ නැව් දෙකක් නිදහස් කරගැනීමට පැමිණි නාවික හමුදාව අතර කොට කලිසමකින් සහ ටීෂර්ටයකින් සැරසී සිටි 'ගෝරිල්ලකු' මාධ්‍යවේදියෙකුට අසභ්‍ය වචනයෙන් බැන පහර දුන් ආකාරයයි. පසුව දැනගත් පරිදි මේ අන් කිසිවකු නොව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවී විජේගුණරත්නය!

හම්බන්තොට වරාය ගැන අමුතුවෙන් කතා කිරීමට අවශ්‍ය නැත. චීනයෙන් ලබාගත් බිලියන එක්දස් පන්සීයකට අාසන්න ණය මුදල්වලින් වරාය සෑදුවද පැමිණි නැවක් නොවූ අතර වරායේ තිබුනා යැයි කියූ ගල, දයාසිරි ජයසේකරගේ බඩපිනුමට පින් සිදුවන්නට කුඩුවී ගිය බව පෙනුනි. රාජපක්ෂ යුගයේදී වරාය ක්‍රමයෙන් ලාභ ලබන තත්වයට පත්වෙමින් තිබූ බව හිටපු ජනාධිපතිවරයා පැවසුවද ඇත්තටම සිදුවූයේ කොළඹ වරායට පැමිණෙන නැව්වලින් කොටසක් බලහත්කාරයෙන් හම්බන්තොටට තල්ලු කර යැවීමයි. එමඟින් උත්සාහ කලේ හම්බන්තොට වරාය ආදායම් උපදවන ස්ථානයක් බව පෙන්වීමයි. ආණ්ඩු මාරුවත් සමඟ මේ තත්වය වෙනස් වූ අතර හම්බන්තොට වරාය ලැබුවා යැයි කියන ලාභයද නැතිවිය. වරාය අධිකාරිය, ලංකාවේ පාඩු ලබන ආයතනයක් නොවුවද කොළඹ වරායෙන් ලබන ලාභය හම්බන්තොට පාඩු පියවීමට වැය කිරීමට සිදුවිය. හම්බන්තොට වරාය චීන සමාගමට ලබාදීමට සිදුවන්නේ මෙවන් පසුබිමකය.

වරායේ තත්වය එසේ වනවිය එහි සේවකයන්ගේ තත්වය තවත් අයහපත් විය. වසර ගණනාවක් තිස්සේ රජ කුමරුවන්ට‍ බැල මෙහෙවර කල තරුණ තරුණියන් වරායේ සේවයට ගත්තේ ඔවුන්ගේ 'වරාය රස්සා' සිහිනය සැබෑ කරන බව පවසමිනි. එහෙත් සොච්චම් වැටුපක් හා කිසිදු දීමනාවක් රහිතව වසර ගණනාවක් සේවය කලද 'වරාය රස්සා' සිහිනය සැබෑ නොවූ අතර ආණ්ඩු පෙරලියෙන් පසුද කොම්පැනි සේවකයන් ලෙස රැකියා සුරක්ෂිතතාවයක් නොමැතිව සේවය කිරීමට ඔවුන්ට සිදුවිය. වරායේ කොටස් චීන සමාගමට විකිණීමේදී රැකියා සුරක්‍ෂිතභාවය ගැන යම් සහතිකයක් ලබා දුන්නද සේවකයන්ගේ අපේක්‍ෂාව වූයේ තවම දිනාගත නොහැකිව තිබූ වරාය අධිකාර‍ියේ රැකියාවයි.

දින කිහිපයකදී අවුල දුරදිග ගිය අතර මුහුදට පැනගත් සේවකයන් නැව් මාර්ගය අවහිර කිරීමත්, පෙරේදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ‍වරායේ තෙල් සංචිත ගැන කියමින් රජයට අනතුරු හැඟවීමට ඔවුන් කටයුතු කිරීමත් හේතුවෙන් වරාය තමන් අතට ගැනීම හැර විකල්පයක් රජයට නොමැති විය. නාවික හමුදාව සිද්ධියට මැදිහත් වන්නේ එලෙසය.

සේවකයන් ඉවත් කර වරායේ පාලනය තමන් අතට ගැනීමේ කාර්යයේදී නාවික හමුදාවේ මැදිහත් වීම, රතුපස්වලදී පිරිසිදු ජලය ඉල්ලූ ජනතාව මර්ධනය කිරීමේදී හෝ කටුනායක ඇඟළුම් කම්හල් සේවකයන් බලහත්කාරී විශ්‍රාම වැටුපට විරුද්ධ වීමේදී හෝ හලාවත ධීවර විරෝධතාවයට ඉවක් බවක් නොමැතිව වෙඩි තැබූ හමුදාවේ කාර්යභාරයට වඩා ප්‍රශංසනීයය. වෘත්තීය අරගල පාලනය කිරීමේදී වෛරී සහගතව කටයුතු නොකිරීම ආරක්ෂක අංශ විසින් ප්‍රගුණ කලයුතු නිපුනතාවයකි. මක්නිසාද යත් උද්ඝෝෂකයන් සමඟ පෞද්ගලික අමනාපයක් ආරක්ෂක අංශ සතුව තිබිය නොහැකි බැවිනි. ඒ අර්ථයෙන් නාවික සෙබලුන්ගේ හැසිරීම මෙවන් අවස්ථාවක පොලිසියේ හැසිරීමට වඩා සතුටුදායකය. එහෙත් කිරි කලයට ගොම දැමීමක් වූයේ නාවික හමුදාපතිවරයාගේ අනවශ්‍ය මැදිහත් වීමයි. වරාය තුල වෘත්තීය අරගලයක් කරමින් සිටි නිරායුධ පුරවැසියන් සීයක් දෙසීයක් පාලනය කිරීම සඳහා නාවික හමුදාපතිවරයා මැදිහත් වීම මැස්සෙකුට වෙඩි තැබීමට කාලතුවක්කුවක් පාවිච්චි කිරීමකි. නිල ඇඳුමක් හෝ නොමැතිව පැමිණි නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදීන්ට අසභ්‍ය වචනයෙන් බැනවදිමින් පහරදීම නාවික හමුදාපති තනතුරෙහි තත්වය කෙලෙසීමකි. නීතිය ක්‍රියාත්මක වන රටක නම් මේ වනවිට ඔහු සිටිය යුත්තේ නිල ඇඳුම් රහිතවය.

අවසාන වශයෙන් කිවයුත්තේ හම්බන්තොට වරාය සේවකයන්ගේ ගැටළුව විසඳීමට ආණ්ඩුවේ මැදිහත් වීම මීට වඩා ඇවැසි බවය. මේ සේවකයන් රැකියාවට පැමිණියේ කෙසේද, රැකියාවට කලින් සිටියේ කා සමඟද යන ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරු කුමක් වුවද ඔවුන් මේ රටේ තරුණ තරුණියන්ය. අවුරුදු පහක් හයක් සේවය කල ඔවුන්ට වර්තමානයේ ඇති රැකියා සුරක්‍ෂිතභාවය හෝ ලැබෙන ආකාරයේ විසඳුමක් ලබා දීමට ආණ්ඩුවට හැකි නම් එය දේශපාලන වශයෙන්ද පාඩුවක් සිදුවන දෙයක් නොවේ.

Saturday, December 10, 2016

බත් පිඟාන, බඩ සහ අපේ බඩජාරි කෑම.

පසුගිය දිනෙක කාර්යාලයට පැමිණ දේශනයක් ලබාදුන් කවුදෝ ගොඩවෙදෙකුගේ අදහස් බොහෝ කාර්යාල ‍නිලධාරීන්ගේ සිත්ගත් බව පෙනී ගියේය. අප ඕනෑ තරම් දැක ඇති සාම්ප්‍රදායික හණමිටි අදහස් රැසක් ඔහුගේ දේශනාවේ අන්තර්ගත වූ බව ඊට සවන් දුන් අයගේ කතා අනුව පැහැදිලි විය. ඩෙනිම් ඇඳීම නරකය, සාම්ප්‍රදායික 'අපේ ආහාර' හැර අන් සියල්ල වසය ආදී අදහස් එහෙන් මෙහෙන් අසන්නට ලැබුනි. කෙසේ වුවත් කෑම සම්බන්ධයෙන් ලාංකිකයාගේ අවධානය යොමුවිය යුතු කරුණු කිහිපයකි.

වර්තමානය වනවිට ලාංකිකයන් බොහේ දෙනෙකු බෝ නොවන රෝගවලින් පීඩා විඳින බව නොරහසකි. දියවැඩියාව, රුධිරයේ කොලෙස්ටරෝල් හා ඊටම සම්බන්ධ අධි රුධිර පීඩනය, හෘදයාබාධ ආදිය ඒ අතරින් ප්‍රමුඛය. රටේ ජනගහනයෙන් බහුතරයක් කෘෂිකාර්මික, ධීවර කටයුතු වැනි වෘත්තීන්වල යෙදුනු අතීතයේ මෙන් නොව මේ වනවිට වැඩි පිරිසක් යෙදෙන්නේ සුදු කරපටි රැකියාවලය. කාර්මීකරණය ආරම්භ වූ රටවල මෙන් ව්‍යායාම ආදිය සඳහා වෙනම කාලයක් වැය නොකල අප රට වැසියන්ගේ ව්‍යායාම අවශ්‍යතාවය සපිරුනේ ඉහත කී වෘත්තීන් තුලින්මය. එහෙත් මේ වනවිට කය නොවෙහෙසා රැකියාවන්වල යෙදෙන්නන් ව්‍යායාම වෙනුවෙන් දක්වන උනන්දුව අල්පය.

මීට අමතරව බෝ නොවන රෝග අපේ බත් පිඟාන සමඟ ඇත්තේ කිට්ටු සම්බන්ධයකි. ලාංකීය ආහාර රටාව සකස් වී ඇත්තේ විශාල බත් පිඟානකට බෙදාගන්නා, බත් ප්‍රමාණයෙන් පහෙන් එකක පමණ එළවලු එලවලු කිහිපයක් හා මස්-මාළු වැනි දෙයකිනි. එළවලු වෙනුවෙන් අල වර්ගයක් එකතුවීමට ඇති ඉඩකඩ විශාල වන අතර එහි ප්‍රතිපලය පිශ්ඨය අධික ප්‍රමාණයක් හා අනෙකුත් පෝෂක ඌණ ලෙස ශරීරගත වීමත්ය. මෙහි ප්‍රතිපලය ලෙස උදරය නෙරා ඒමේ පටන් (කොහොමටත් අසියාතිකයන්ගේ ශරීරයේ මේදය තැන්පත් වීම සිදුවන්නේ උදරය ආශ්‍රිතවය) ඉහත සඳහන් කල රෝගයන්ට ගොදුරු වීමේ අවදානම ඉතා ඉහලය.

මේ අවුලට යෝජනා වන විසඳුම් දේශපාලනිකය. ආහාර සම්බන්ධ පොදු එකඟතාවයක් හෝ ප්‍රතිපත්තියක් නොමැති බැවින් ඕනෑම අයෙකුට ඕනෑම හිතලුවක් දේශනා කිරීමට බාධාවක් නැත. ඕනෑ නම් විද්‍යත් සහ මුද්‍රිත මාධ්‍යන්ද මේ සඳහා උපයෝගී කරගත හැකිය. උදාහරණයක් ලෙස පොල්තෙල් ආහාරවලට යෙදීම හොඳද නරකද යන්න පිළිබඳව රටේ පොදු එකඟතාවයක් නොමැත. ජාතිකවාදී කඳවුරේ පෝෂණ වේදීන්ට අනුව පරම්පරා ගනනක් තිස්සේ භාවිතා කල බැවින් පොල්තෙල්වල කිසිදු අවුලක් නොමැති අතර ඔවුන් එදා සහ අද ජීවන විලාසිතාවේ වෙනස්වීම අමතක කර ඇත. තවත් සමහරුන්ට පොල්තෙල්වල කොලෙස්ටරෝල් බහුලය. මේ ගැන පෙර ලිපියක කතාකල බැවින් යලිත් කතා කිරීම අනවශ්‍යය.

කතාකල යුතු ප්‍රධාන මාතෘකාව වන්නේ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකිරීම වෙනුවෙන් බත් පිඟාන යාවත්කාලීන විය යුත්තේ කෙසේද කියාය. මේ වෙනුවෙන් සමබර ආහාර වේලක් ලබාගත යුතු අතර අධික ලෙස කුස පුරවන බත් කෑම අඩුකර එළවලු සහ මස් මාලු ආදිය වැඩි කල යුතුය. එසේ නම් කුඩා බත් ප්‍රමාණයකට එළවලු සහ මස් මාලු ආදිය වැඩිපුර ගෙන ආහාර ගැනීමට ඔබ සූදානම්ද? එය මේ ‍බ්ලොග්කරුවා දින කිහිපයක් අත්හදා බැලීමෙන් අනතුරුව අසාර්ථක වූ ව්‍යායාමයකි.


☜අඩු බත සහ වැඩි එලවලු.[හිතවතෙකුගේ බත් පිඟානක්]



උක්ත ක්‍රමය අසාර්ථක වීමට අපේ ඉහුම් පිහුම් කිරීමේ ක්‍රමය මූලික හේතුවයි. අපේ ඉවීම සකස් වී ඇත්තේ ග්‍රෑම් දෙසීයක පමණ එලවලු ගෙන තේ හැඳි කිහිපයක් කුළුබඩුත්, මිරිස්, ගම්මිරිස් ආදියත් ඊට අමතරව රම්පෙ-කරපිංචා වැනි රසකාරකත් යොදා පොල් කිරි ටිකක්ද එක්කර යහමින් තම්බා සකස් කරගන්නා ව්‍යංජනවලිනි. මස් හෝ මාලු ඉවීම සම්බන්ධයෙන්ද ඇත්තේ එවැනිම තත්වයකි. මෙලෙස උයාගන්නා ව්‍යංජන සහ මස් මාලු ආදිය ගිලදැමීම සඳහා හාල් සේරුවක බත් ඇවැසි වීම පුදුමයක් නොවේ. අප ආහාරයට ගන්නේ මස්, මාලු හෝ එළවලු නොව කුළුබඩුය. මෙසේ ආහාරයට ගන්නා මිරිස් සහ කුළුබඩු අම්ල පිත්ත රෝගයටද හේතුව බව සිතිය හැකිය.

එබැවින් දැන් සිදුකල යුත්තේ කෑම පිඟානෙහි බත් අඩුකිරීමත් එළවලු හා මස් මාංශ වැඩිකරීමත් ආහාර පිසීමේ රටාව වෙනස් කිරීමත්ය. අධික කුළුබඩු රසට පුරුදු වී ඇති ලාංකිකයන්ගේ දිව කෙසේ හෝ ආහාරයවල ස්වභාවික රසයට කැමති කරවාගත යුතුය. එසේ නොවී ලොකු බත් පිඟාන මෙන්ම ලොකු බඩගෙඩියද, මැදිවියටත් පෙර පැමිණ ජීවිතය අවසානය දක්වා එකට සිටින රෝග කිහිපයද අඩු කිරීම අපහසු විය හැකිය.

Wednesday, December 7, 2016

වේලාව නැවීම.

පසුගිය දිනවල, රජයේ කාර්යාල වේලාව නම්‍යශීලී කිරීමේ අදහසක් ගැන ආණ්ඩුව පැත්තෙන් අදහසක් ගෙනා බව මතකය. ඒ ගැන ලිවීමට සිටින විට රසිකලොජිස්ට් බ්ලොග් අඩවියේ රසිකගේ කාර්යාල වේලාව සංශෝධනය වීම පිළිබඳවද සටහනක් තබා තිබුනි. කෙසේ වෙතත් රජයේ කාර්යාල වේලාව නම්‍යශීලී කිරීම පිළිබඳව ජනතාවගේ පැත්තෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙන බවක් පෙනෙන්නට නැත. ඒ පිළිබඳව ඇති අවබෝධයද අවම මට්ටමක පවතින බව පෙනෙන්නට ඇත

ආයතන සංග්‍රහයේ XXVIII පරිච්ඡේදය අනුව රජයේ නිලධාරීන්ගේ සාමාන්‍ය කාර්යාල වේලාව පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා වන අතර කණිෂ්ඨ කාර්ය මණ්ඩය නිලධාරීන් උදෑසන සහ සවස් කාලයෙන් තවත් පැය භාගය බැගින් සේවය කලයුතුය. මීට අමතරව සහනයක් ලෙස පැය භාගයක ආවරන කාලයක්ද ලබාදී ඇත. එනම් උදෑසන 8.30 සහ 9.00 අතර කාලය තුල සේවයට පැමිණෙන නිලධාරීන්ට සවස 4.15 සිට 4.45 දක්වා කාලය තුල පසුව ප්‍රමාද වූ කාලය ආවරණය කල හැකිය. මීටත් අමතරව ගර්භනී කාන්තාවන් සඳහා පැය භාගයක් ප්‍රමාදව සේවයට පැමිණීමටත් පැය භාගයකට කලින් පිටවීමටත් හැකියාව ඇති අතර දරු ප්‍රසූතියෙන් පසු අඩ වැටුප් හෝ වැටුප් රහිත නිවාඩු ලබා නොගන්නේ නම් පැයකට පෙර කාර්යාලයෙන් පිටත් වීමටද(කිරි පැය) හැකියාව ඇත.

යෝජිත සංශෝධනය අනුව පෙරවරු දහය පමණ වන තෙක් කාර්යාලයට පැමිණිය හැකි අතර එතැන් සිට දිනකට නියමිත පැය ගණන සේවය කිරීමෙන් පසුව පිටවිය හැකිය. මේ නිසා කාර්යාල නිලධාරීන් මෙන්ම අනෙකුත් පුරවැසියන්ගේද යම් යම් අපහසුතා මඟහැරේ. උදාහරණයක් ලෙස නාගරික ප්‍රදේශවල පවතින රථවාහන තදබදය හා පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින තදබදය යම් මට්ටමකින් අඩු වේ යයි සිතිය හැකිය. එමෙන්ම ප්‍රමාද වී කාර්යාලයට යාමට හැකිවීම හේතුවෙන් උදෑසන කාලයේ පවතින අධික විදුලි ඉල්ලුම අඩුවිය හැකිය. යම් ආයතනයක සේවා කාලය පුළුල් වූ විට සේවා දායකයන්ට එහි වාසිය හිමිවේ.

කෙසේ වුවත් මෙවැන්නක් සිදුකල යුත්තේ යම් යම් සීමාවන්ට යටත්වය. රසිකලොජිස්ට්ගේ ලිපිය අනුව වේලාව වෙනස් වුවද සතියට නියමිත පැය ගණනක් ඇතිවාක් වැනි කොන්දේසි තිබිය යුතුය. විශේෂයෙන්ම බාහිර සේවාදායකයන් සමඟ සෘජුව සම්බන්ධ වන නිලධාරීන් සඳහා මෙම වේලාවන් ක්‍රියාත්මක කල නොහැකි අතර අභ්‍යන්තර රාජකාරි කටයුතු පමණක් පැවරී ඇති සේවකයන් සඳහා මෙවැන්නක් ක්‍රියාත්මක කලහැකිය.

Monday, December 5, 2016

කුමාර්, ජවිපෙ සහ වාම දේශපාලනය.

කුමාර් ගුණරත්නම් නිදහස් විය. වැඩි සද්ද බද්ද නැත. ඔහුගේ මව පැමිණ පුතු වැලඳගැනීමේ දසුන සංවේදීය. කොහොමටත් හිරේ ගිය පුතුන් නිදහස් වීම මවුවරුන්ට සතුටකි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයාට පසුගිය වසර කිහිපය තුල සිදුවූ අලකලංචි අනන්ත අප්‍රමාණය. ජවිපෙන් කුට්ටියක් කඩාගෙන අලුතෙන් පක්ෂය පිහිටුවීමත් ඒ හා සමාන්තරව ඔහු හා දිමුතු ආටිගල පැහැරගැනීමත් ඉන් අනතුරුව ඕස්ට්‍රේලියාව බලා යාමත් යලි මව්රටට පැමිණ වීසා නොමැතිව රැඳී සිටීම හේතුවෙන් අත්අඩංගුවට පත්වීමත් ඒ අතර ප්‍රධානය. කුමාර් මහතාට සිදුවූ මේ ඇබැද්දි රටේ දේශපාලනය පැත්තෙන් සහ ඔවුන්ගේම වාමාංශික දේශපාලනය අධ්‍යයනය කිරීමට හොඳ කේස් ස්ටඩියක්ය.

කුමාර් ජවිපෙට සම්බන්ධව සිටියේ තිරය පිටුපස හැංගුනු චරිතයක් ලෙසය. ඇතැමෙකුට අනුව කලක් ජවිපෙ නිල නොලත් නායකයාගේ භූමිකාවද ඔහු විසින් රඟදැක්වූ බව කියවේ. අනූව දශකයේ මැද භාගය වනවිට රටේ පැවති තත්වය අනුව දේශපාලන හැංගිමුත්තන් සෙල්ලම් කිරීමේ අවශ්‍යතාවයක් නොවීය. එහෙත් කුමාර් සිටියේ තිරය පිටුපසය. සැඟවුනු න‍ායකයෙකු සිටීම පක්ෂයට මාර මෙව්ව එකක් තිබුන නිසා විය හැකිය. හැංගිමුත්තන් සෙල්ලමට බොහෝ දෙනෙක් මනාපය.

ඉන්පසුව ආරම්භ වූයේ හතුරු මිතුරු සෙල්ලමයි. කුමාර් තවත් පිරිසක් සමඟ ජවිපෙන් ගැලවී ගිය අතර වාමාංශිකයන්ට ආවේනික වෛරය එතැනින් ආරම්භ විය. වාමාංශිකයන්ගේ සෙල්ලමට සම්බන්ධ වූ ආණ්ඩුවද කුමාර් සහ දිමුතු පැහැරගෙන පුවත් මවමින් උපරිම ලෙස ආතල් ගත් අතර කුමාර් යනුවෙන් අයෙකු නොදන්නා බව කියමින් ජවිපෙ පශ්චාත්භාගය පොලවේ ගසාගත්තේය. ඔවුන් පැහැරගැනීමට ජවිපෙන්ද උදව් ලැබුනු බව පසුව කියවුනි.

කෙසේ වුවත් වසරකට පසුව කුමාර් ගුණරත්නම් අර්ධ වශයෙන් නිදහස ලබා ඇති අතර එය පූර්ණත්වයට පත්වීමට නම් ඔහුගේ පුරවැසිභ‍ාවය සම්බන්ධ අවුල විසඳාගත යුතුය. ලංකාවේ රැඳී සිටිමින් දේශපාලනය කටයුතුවලට සම්බන්ධ වීමට ඔහුට අවශ්‍ය නම් අපරාධකරුවකු නොවන ඔහුට ඒ අවස්ථාව ලබාදීම 'යහපාලන රජයේ' වගකීමයි. මැවිසුරුවරයෙකු ලෙස සුවපහසු ජීවිතයක් ගතකිරීමට හැකිව තිබියදී ඔහුගේ තේරීම දේශපාලනය විය. එසේ හෙයින් කුමාර් ගුණරත්නම් නෙලාගත්තේ ඔවුන් විසින්ම වැපිරූ අස්වැන්න වන අතර ඔහු යලිත් බසින්නේ ඒ වගා භූමියටමය!

Thursday, December 1, 2016

හින්නා, හින්නෝ සහ දකුණේ බස ගැන හින්නිකිතර කතාවක්

පසුගිය දිනයක ෆේස්බුකියෙහි පළාත් සිවිල් යුද්ධයක් ඇතිවූ අතර ඊට මූලික වූයේ දකුණේ භාෂාවයි. රටේ මිනිසුන් සමාජ ජාල මාධ්‍ය මඟින් එක් කිරීමට ප්‍රථමව පැවති සීමිත, මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යන්, භාෂාවේ ප්‍රාදේශීය ව්‍යවහාරයන් ගොඩනැඟීම වැලැක්වීමට සමත් වූයේ නැත. කඳුරට, නැගෙනහිර-පානම්පත්තුව, උතුරුමැද සහ විශේෂයෙන් දකුණෙහි භාෂාවන්ගේ විවිධත්වය හඳුනාගත හැකිය. මිනිසුන්ගේ නිරන්තර ගණුදෙනු සිදුකරන අගනගරය පිහිටි ප්‍රදේශයන්හි භාෂාව මිශ්‍ර සහ 'පොෂ්' ස්වභාවයක් ගනී.

දකුණේ භාෂාව ගැන කතා කිරීමේදී 'හින්නා' අමතක කල නොහැකිය. කොළඹදී 'කූඹි' ලෙස හඳුන්වන සත්වයාගේ දකුණු ලක නාමය හින්නාය. අනෙක් ප්‍රදේශවල හින්නාගේ නම ඇසීමත් හිනාවට කරුණකි. කෙසේ වුවත් හින්නා ගැන බ්ලොග්කරුගේ පියා උපහාසයෙන් පැවසුවේ මෙවැනි අදහසකි.
"කොළඹ මිනිස්සු හැම එකාටම කියන්නෙ කූඹි කියලනෙ!"
එය ඇත්තකි. ඒ ප්‍රමාණයේ සියලු සත්වයන් කොළඹදී කූඹි කැටගිරියේය. අපේ 'හින්නා', 'කූඹි' මෙන් කැටගරියක සිටින සත්වයන් කාණ්ඩයක් නොවේ. එක් සතෙකි. කුඩාකල අප කුඩාම ප්‍රමාණය හැඳීන්වීමට යොදාගෙන සිටි සත්වයා හින්නාය. කෙසේ වුවත් හින්නාටත් වඩා කුඩා සතෙකුද වේ. ඒ 'තෙල් හින්නා'ය. විශ කලාවේ ඇති චක්කරයක(දශ්ඨයකදී) හින්නා, තෙල් හින්නා ආදී සියලු සත්වයෝ ඇතුලත්ය. චක්කරය මෙසේය.

තෙල් හින්නො හත හින්නො එකයි,
හින්නො හත ඔලුබක්කො එකයි,
ඔලුබක්කො හත දිමි එකයි,
දිමි හත කඩි එකයි,
කඩි හත කුඹුක් කඩි එකයි.

මෙහි තෙල් හින්න‍ා යනු හින්නාට වඩා කුඩා සත්වයා වන අතර ඔලුබක්කා යනු හිස විශාල හින්නන් අතර ම සිටින විශේෂයකි. [ඈන්‍ට්ස් චිත්‍රපටයේ කම්කරු සහ සිකුරිටි කූඹින් මතක ඇතැයි සිතමි]. කුඹුක් කඩියා යනු කෙට්ටු ශරීරයක් සහිත තරමක් විශ කඩියාය. හින්නා මෙන් දෙතුන් ගුණයක් වේගයෙන් ගමන් කරන සත්වයා 'කොඩයා'ය. සමහර පළාත්වල 'කොඩව්' ලෙස බහු වචනයෙන් හඳුන්වන්නේ මේ සත්වයාය.
මෙවැනිම චක්කරයක් මැසි වර්ගයේ සතුන් සම්බන්ධවද තිබේ. ඒ,

මදුරු හත මැසි එකයි,
මැසි හත මීමැසි එකයි,
මීමැසි හත කලාඳුරු එකයි,
කලාඳුරු හත බඹර එකයි,
බඹර හත දෙබර එකයි,
දෙබර හත පොලොං එකයි,
පොලොං හත නයි එකයි,
නයි හත අසත්පුරුෂ එකයි. යනුවෙනි. බ්ලොග්කරුවා කුඩාකාලයේ මේ චක්කරය පියාගෙන් අසාගත් අවසානයේ නැඟූ පැනය වූයේ මේ සා විශාල විශක් සහිත අසත්පුරුෂයා යනු කවුරුන්ද කියාය. ඊට පිළිතුරු දැනගත් පසු විමසූ පැනය වූයේ අසත්පුරුෂයන් හතක විශ ඇත්තේ කාටද කියාය. ඊට පිළිතුරු ලැබුනේ පියාගෙන් නොව නැන්දම්මා සමඟ කෝපයෙන් සිටි මවගෙනි.
"අසත්පුරුෂ‍යො හතක විස තියනව බොලාගෙ ආච්චිට"

ආයෙත් හිනි කතාවට පැමිණියහොත්, 'හින්නා' සත්වයෙකු වීමට අමතරව සංකල්පීය අදහසක් ඇති වචනයකි. හරියට මහාචාර්ය නලින්ද සිල්වා මහතා 'පොල්' හැඳින්වූ ලෙසටය. සුද්දාට, පොල් ගෙඩිය කොකනට් වුවද අපට පොල් ගෙඩියට අමතරව පොල් නම් සංකල්පයක් වෙයි. හින්නාද එසේමය. හින්නා යන්නෙන් ප්‍රමාණයෙන් ඉතා කුඩා යන අදහස ලැබේ. ද්‍රව්‍යමය අර්ථයේදී 'හින්නිකිතර', 'හින්නංකිතර' යන්න දකුණේ පාවිච්චි වන වචන දෙකකි.

"හින්නෙක් විතර" යන්න 'හින්නිකිතර' හෝ 'හින්නංකිතර' ලෙස සුමට වන්නට ඉඩ තිබේ. කෙසේ වෙතත් මෙය මගේ අදහසක් විනා පර්යේශනාත්මක අදහසක් නොවේ. 'හින්නි' යන්න ප්‍රමාණ මැනීමේ කුඩාම ඒකකය ලෙස සැලකිය හැකිය. ඊට පසුව චූටි, පොඩි, ලොකු.... ලෙසට ප්‍රමාණ හැඳින්වීමේ වචන යෙදේ. 'හින්නි මහත්මයා' යනු දකුණේ ඕනෑම ගමකින් සොයාගත හැකි මහත්මයෙකි. හින්නි මහත්මයා ඇමතුම ලැබෙන්නේ පවුලේ බාල දරුවෙකුටය. කෙසේ වෙතත් පුද්ගල ආමන්ත්‍රණයේදී හින්නි මහත්මයාට වැඩිය පවුලේ බාලයා බාල මහත්මයාය. මූනට හින්නි මහත්මයා නැතිතැන අමතන්නේ හින්නා කියාය. බ්ලොග්කරුගේ ග්‍රාමයේද හින්නි මහත්වරුන් කිහිපපොලක්ම ඇති අතර එකම පවුලක සහෝදරියන් දෙදෙනෙකු කරකාර බැඳ ගමේ බින්න බැස්ස හින්නි මහත්වරුන් දෙදෙනෙකුද විය. එකම පවුලේ හින්නි මහත්වරුන් දෙදෙනෙකු සිටීම නිසා වැඩිමලාගේ මුලට ඔහුගේ ගමේ නමත් බාලයාට නිව් හින්නි මහත්තයා යනුවෙන් යෙදීමටත් ගැමියන් ක්‍රියා කලා මතකය.