Thursday, June 27, 2013

සද්දෙ දමා ගඳ වැසීම! an upgraded story

"සීයේ..... කතාවක් කියන්නකෝ......."

තම ඇට්ටර මුණුබුරාගෙන් ගැලවීමක් නොමැති බැව් සීයා දනී. දන්නා සියළු කතන්දර මුනුබුරාට පවසා ඇතත් කුමක් හෝ කිවයුතුය.

"හ්ම්... එහෙනං හීංඑකෝ මේ බුලත්විට කොටල දියං"

මුණුබුරා අතින් බුලත් වංගෙඩිය සුරතට ගත් සීයා "දොහ්" යන හඬින් වමතට ගත් බුලත් විට ඉහලට හැරවූ දත් රහිත කටට දමාගත්තේය......

"උඹට කියන්න කතන්දර දැං මගේ ලඟ නෑ බොල! උඹලෑ අයිය අර කන්පීතර රාජය බලල කියන කතන්දරකාරයගෙ ජාතියෙ කතාවක් ඕන්නං කියන්නං....."

"කමක් නෑ සියේ....මොකුත්ම නැත්තං ඒවයිං එකක් හරි! ....[දැං කාලෙ හැදෙන සීයලා කතන්දර දන්නෙත් නෑ!]"

"මොකද්ද උඹ කිව්වෙ?"

"හරි හරි කතාව කියන්නකො"

"ඔන්න දවසක් මං නගරෙට යන්න නැග්ග බස් එකේ. ඉඳගන්න සීට් එකකුත් ලැබුන. මගේ ලඟම හිටිය උඹේ වයසෙ පැංචෙක්. ඉස්සරහ‍ සීට් එකේ හිටිය ජැන්ඩියට ඇඳගත්ත නෝන මහත්තයෙක්. ඔන්න ටික දුරක් යනකොට......"

"සීය ලයින් පාරක් දැම්ම නෝනට!"

"නෑ නෑ බොල! [දැං හැදෙන එවුන් වයසටවත් සලකන්නෙ නෑ]"

"ඉතිං සීයේ"

"මහා සද්දෙට වාතයක් පිටවුනේ නැද්ද අර නෝනට"

"ඊ.......යා......මේක අර අයිය කියන කතාවක් වගේනේ"

"ඉතිං අහගනිංකො.... නෝනට තේරුනා වැඩේ වැරදුනා කියල.... "

"ඊලඟ හෝල්ට් එකෙන් බැහැල යන්න ඇති නේද?"

"නෑ නෑ බං,.... නෝන අපූරු වැඩක් කලා. අල්ලගෙන හිටිය ඉස්සරහ සීට්එකේ ඇන්ද හොලවන්න පටන් ගත්ත ජරස් බරස් ගාල‍"

"සද්දෙ වහන්න වෙන්ටෑති"

"අන්න උඹට තේරුනා,....හැබැයි මගේ ලඟ හිටිය හීං එකා නහය අකුලනව. ඌටත් අධෝවාතෙ ගඳ ඇවිල්ල...."

"මං හිටිය නං..... ඉතිං?"

"ඉතිං බං මගෙත් කට හොඳ නෑනේ. මම ඇහුව ....නෝනෙ සද්දෙට සද්දෙ නං හරිගියා..... මේ ගඳට මොකුත් කරන්න බැරිද කියල"

"ලොහ් ලොහ් ලොහ්....හි..හි...ලොහ්..හි...හි..."

"ඉතිං සීයේ?"

"නෝන මගේ දිහා රවල බලල බස්සෙකෙං බැහැල ගියා. ඕං කතාව"

"ඔයවගේම සීන් එකක් ලඟදීත් උනා සීයේ. දන්නවද?"

"මොකද්ද කියපං බලන්න"

"මේ ලඟදි මාධ්‍ය ආචාර ධර්ම ගැන සීන් එකක් ඇදිල ආවනේ. ඉතිං මේ වෙලාවෙ අපේ ආණ්ඩුවෙ ඇත්තො බැලුවෙ පනතක් ගෙනල්ල මාධ්‍යකාරයන්ට නාස් ලණුව දාන්න"

"ඉතිං?"

"ඉතිං සීයේ රටේ අනිත් කේස් වගේ නෙවේනේ මේ කේස් එක. මෙහෙම එකක් ගෙනාවොත් මාධ්‍යකාරයො රට ගිණිතියනවනේ...... "

"ඔව් ඉතිං තමුංගෙ බඩ ගැන තමුං නොහිත!"

"ඉතිං මේ වෙලාවෙ ඇතිවෙන ආන්දෝලනේ මට්ටු කරන්න නං ඒ වගේම ගේමක් දෙන්න ඕන කියල හිතපු පුත්තලං බූරුවෙක් කවුන්සිලේ හිටිය. එයා කලේ මේ විවාදෙ අතරතුරේ අර අතුරුදහන් වෙච්ච ප්‍රගීත් එක්නැලිගොඩ ඒරොප්පෙ ඉන්නව තමුන් දැක්ක කියල කිව්ව එක"

"ඉතිං ඒකෙන් වෙන සෙතේ මොකද්ද?"

"ඒකත් අර නෝනගෙ සද්දෙ දැමිල්ල වගේ උනා,.... කට්ටිය මාතෘකාව පැත්තකට දාල අතුරුදහන් වෙච්ච කෙනා ගැන කතා කරන්න ගත්ත"

"ඒ උනාට ඉතිං පුරස්නෙ ඉතුරුයිනෙ?"

"ඒක තමයි සීයේ.... සද්දෙට සද්දෙ හරි ගියාට ගඳ තියනව කියන්නෙ"

"ලොහ් ලොහ් ලොහ්....හි..හි...ලොහ්..හි...හි..."


Monday, June 24, 2013

බ්ලොග් කියවන්නන් වෙත කරුණාවෙනි!

"ඇමතීම" අවුලක් වීම පිලිබඳ අපූරු මාතෘකාවක් සහිත ලිපියක් අජිත් පැරකුම් මහතාගේ ඩබ්ලියු ත්‍රී ලංකා අඩවියේ පලවී තිබිනි. ස්වාමීන්වහන්සේ කෙනෙකුට "ඔහු" යනුවෙන් ඇමතීම පිලිබඳව පාඨකයෙකු අසතුටට පත්වීමක් ඊට හේතුවී තිබිනි. මේ බ්ලොග් අඩවියේ පලවූ ලිපියකද "ඇමතීම" සම්බන්ධව පාඨකයන් කිහිප දෙනෙකු දැක්වූ ප්‍රථිචාර අරභයා ලිපියක් ලිවීමට සිටියද එය ප්‍රමාද වූ බැවින් මෙසේ ලියමි.

"ඇමතීම" සම්බන්ධව මේ බ්ලොග් කරුවාගේ ස්ථිර ප්‍රථිපත්තියක් වෙයි. ඒ මෙසේය,

1.යම් සංඝ්‍යාවහන්සේ කෙනෙකු, අන්‍යාගමික පූජකතුමෙකු, මහත්මයෙකු-මහත්මියක, මහජන නියෝජිතයෙකු.... අදාල ගෞරව නාමය ලැබීමට සුදුස්සෙකු නම් ඔහුගේ නාමයට මුලින් ගෞරව පදය යෙදීමත්,

2.යම් සංඝ්‍යාවහන්සේ කෙනෙකු, අන්‍යාගමික පූජකතුමෙකු, මහත්මයෙකු-මහත්මියක, මහජන නියෝජිතයෙකු.... අදාල ගෞරව නාමය ලැබීමට සුදුස්සෙකුද නැත්ද යන්න නිශ්චිතව නොදන්නා විටද සැකයේ වාසිය ඔහුට/ඇයට දී අදාල ගෞරව නාමය දීමට මෙම බ්ලොග්කරුවා පසුබට නොවේ.

3.එහෙත් යමෙකු තම තනතුරට අදාල ගෞරවය රැකගැනීමට අපොහොසත් වනවිට ඔහු/ඇය නමින් හෝ වෙනත් අයුරකින් ඇමතීමට සිදුවීම නොවැලැක්විය හැක්කකි. ප්‍රශ්නයට තුඩුදෙන ඇමතීම් වන "ඥානසාර", "ඉන්දරතන",... වැනි යෙදුම් භාවිත කිරීමට සිදුවන්නේ මෙම කොන්දේසිය යටතේය.

4.මීටත් අමතරව, සමහර විටෙක "මහත්මාකම" අමතක කර දමා "මහත්මයා" යොදන අවස්ථාද තිබේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා, මර්වින් සිල්වා මහතා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා...
මෙසේ යෙදීමේදී මුලින් කී කොන්දේසි උල්ලංඝනය වන ආකාරයක් පෙනුනද එය එසේ නොවේ. මැතිතුමා මහත්මා වැනි ගෞරවාර්ථ පද දීර්ඝ කාලයක් ඔවුන්ගේ නම සමඟ යෙදී, (ඔවුන්ගේ ක්‍රියාවන් හේතුවෙන්) ගෞරවය ඉවත්වී වචනය පමණක් ඉතිරිවී ඇති අවස්ථාවයි මේ. :D


සාමාන්‍යයෙන් ලාංකීය සමාජයේ "ඇමතීම්" තරමක් සංකීර්ණ ස්වරූපයක් ගනී. මහත්මා ගති ඇත්තේ වුවද ක්‍රීඩක-ක්‍රීඩිකාවන් ගායික-ගායිකාවන්, නළු නිළියන් සඳහා මෙම ගෞරව පද භාවිතා නොවේ. උදාහරණයක් ලෙස ක්‍රිකට් විස්තර විචාරයේදී "මහේල ජයවර්ධන මහතා" වැනි වදන් පාවිච්චි කිරීම විකාරයකි.

අනෙක් අතට මහජන නියෝජිතයන් සම්බන්ධයෙන් ලංකාවේ තත්වය ඉඳුරාම වෙනස්ය. ඕනෑම ජඩයෙකු එහිදී "මැතිතුමෙකි" නැතිනම් "මැතිණියකි". ඒ ලංකාවේ ක්‍රමයයි.
මා දැනට සේවය කරන ප්‍රාදේශීය ලෙකම් කාර්යාලය අසල පිහිටි ප්‍රාදේශීය සභාවේ ලිපිකරුවෙකු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ පහර කෑමකට ලක්විය. හේතුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ වැටුප් බහාලන කවරයේ ඔහුගේ නම සමඟ "ගරු" යන්න නොමැති වීමයි.

ඇමතීම සම්බන්ධයෙන් අජිත් පැරකුම් මහතාගේ ලිපියෙහි වැදගත් අදහස් කිහිපයක් මතුවී තිබුනි. එකක් නම් ඇමතුම් ලබන්නා කවර ආකාරයේ අයෙකු වුවද ඔහුට ගෞරවයෙන් ඇමතීම අමතන්නාගේ මහත්මා ගතියක් බවයි. එය එක් එක් අයගේ කැමැත්තයි. අනෙක් අදහස නම් ඇමතීමේ ක්‍රමය හේතුවෙන් ලියා ඇති ලිපියේ අවධානය වෙනතකට යොමුවිය හැකි බවයි. එය නම් සත්‍යකි. මේ සටහන ඒ වෙනුවෙනි. එවිට අඩුම තරමින් එවැනි අවස්ථාවක මෙහි සබැඳිය හෝ දක්වා පලායාමට හැකිය.

Tuesday, June 18, 2013

පරණ කතාවක් සහ අලුත් කතාවක්!

මගේ බ්ලොග් එකේ වැඩියෙන්ම තියෙන්නෙ දේශපාලන, කතන්දර සහ රාජ්‍ය සේවය ගැන ලියවිච්ච. අද කියන්න යන්නෙ මේ තුනම සම්බන්ධ කතන්දරයක්. මේ කතන්දරේ මතක් උනේ අද උදේම ටීවී එකේ පත්තර කියවන වැඩසටහනක් බලද්දි.

මම කොළඹ වැඩකරන කාලෙ අපේ ඔපීසියෙ හිටිය මිස් කෙනෙක්. මෙයාගෙ තනතුර “පරිගණක දත්ත ක්‍රියාකරු”. මේ තනතුර ගැනත් යමක් කියන්න තියනව. චන්ද්‍රිකා නෝන රට කරවන කාලෙ රිචඩ් පතිරණ උන්නැහේ තමයි මේක ඇතිකලේ. එහෙම නැත්තං එයාගෙ අමාත්‍යංශය යටතේ ඇතිකල තනතුරක්. හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම මෙයින් එක නිලධාරියෙක් දුන්න. නමේ හැටියට මෙයාලගෙ රාජකාරිය අමුතුවෙන් කියන්න ඕන නෑනේ. වැඩේ කියන්නෙ ලංකාවටම ඕන කරන පරිගණක දත්ත සටහන්කරුවන් ගත්තෙ ගාල්ල දිස්ත්‍රික්කෙන්. එහෙම නොවුන උදවිය හිටියෙ ‍බොහොම ටික දෙනයි. කස්ටිය කෙලින්ම ඇමතිතුමාගෙ ලිස්ට් එකෙන් ආවෙ. එක දිස්ත්‍රික්කයක මිනිස්සු මේ විදියට ලංකාව පුරාම යෙදවීමේ අමනෝඥ තීරණයේ ප්‍රතිපලේ තමයි ටික කාලයක් යද්දි කවුරුත් ගාල්ලට එන්න ට්‍රයිකිරීම. මේක රාජ්‍ය සේවයේ අතිශයින්ම ස්වාභාවික කේස් එකක්. රස්සාව දෙනකොට ලංකාවෙ ඕන තැනක ඉන්නව කිව්වට කලක් යද්දි පරස්තාවක් එහෙම කරගත්තම ගමට එන්න එපැයි. මේ සීන් එකේ අවසාන ප්‍රතිපලේ විදියට අද වෙනකොට මේ තනතුරේ උදවිය කරන්නෙ ලිපිකරු තනතුරේ වැඩ. ලිපිකරුවන් එක්ක සුහද මාරුවීම් කරගන්න පුළුවන් වෙන්නෙ එහෙම උනොත් විතරයිනේ.

මම වැඩකල කාර්යාලෙ හිටිය නෝනත් කාලයක් තිස්සේ ගමට යන්න ට්‍රයි කරනව. ඒත් වැඩේ හරියන්නෙම නෑ. මොකද එයා වෙනුවට අපේ කාර්යාලෙට එන්න කෙනෙක් ගාල්ලෙන් හිටියෙ නෑ. (කවුරුත් ගාල්ලෙනේ). අද කාලෙ උද්ගත වෙන හැම ප්‍රශ්නයක්ම ජනාධිපතිතුමා මැදිහත් වෙලා විසඳනව වගේ අන්තිමට මෙයා ජනාධිපතිට ලිව්ව තමුන්ගෙ දුක් ගැනවිල්ල. සුපුරුදු විදියට ජනාධිපති කාර්යාලෙට ගිය ලිවුං කඩදාසියෙ පිටපතක් අමාත්‍යංශෙට එනව “සුදුසු ක්‍රියාමාර්ග ගන්න” කියන උපදෙස් දීල. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවයේ වැඩ ඔහොම තමයි. රජයේ ආයතන ගැන විශ්වාසයක් නැතිව, කවුරුහරි කෙනෙක් ඇමති කෙනෙකුට හරි ජනාධිපතිට හරි තමුන්ගෙ අවශ්‍යතාවය කිව්වත් අන්තිමට වෙන්නෙ අදාල කාර්යාලයටම ඒ ලිපිය ලැබීම.

මට මතකයි එක සැරයක් මේ වගේ කේස් එකක් උනා. මම වැඩකල කාර්යාලයට නිර්නාමික පෙත්සමක් ආව. කවුදෝ ගැන පැමිණිලි කරල. පැමිණිලිකාරයට අපි ගැන විශ්වාසයක් නැති නිසා අපේ ප්‍රධාන කාර්යාලය වෙච්ච කච්චේරියටත් ලියුමෙ කොපියක් යැව්ව. හැබැයි කච්චේරිය ගැන මෙයාට විශ්වාසයක් තිබිල තියනව. මොකද ඒකට යවපු ලිපියේ තමුන්ගෙ අනන්‍යතාවය සඳහන් කරල තිබුන නිසා. අපිට “නිරිණාමික” පෙත්සම ලැබිල දවස් දෙකතුනකින් “නාමික” පෙත්සමේ කොපියකුත් එනව කච්චේරියෙන්. මේ ක්‍රියාදාමය පෙත්සම්කාරය දැනගෙන හිටිය නං කවදාවත් තමුන්ගෙ නම සඳහන් කරන එකක් නෑ. ඔන්න ඔහොමයි වැඩ.

ආයෙත් කතාවට ආවොත්, අර නෝනගෙ දුක්ගැනවිල්ල අපේ අමාත්‍යංශයට ගියා. කතාව එතනින් ඉවර උනේ නෑ. මෙන්න බොලේ ඊට පස්සෙ අමාත්‍යංශයෙන් කියනව තමුන්ගෙ අවසර නැතුව ජනාධිපතිට ලිවුං ඇරියට නිදහසට කරුණු කියන්න කියල! මම රස්සාවට ගිය අලුත මේ කේස්එක උනේ. මේ ගැන හොයල බැලුවම වැඩේ ඇත්ත. සාමාන්‍ය වැසියෙකුට ජනාධිපතිට තමන්ගෙ දුක්ගැනවිල්ල කියන්න පුළුවන් උනාට රජයේ සේවකයන්ට බෑ. එයාල ජනාධිපතිට-ඇමතිවරයෙකුට හෝ වෙනත් අමාත්‍යංශයකට, එහෙම නැත්තං තානාපති කාර්යාලයකට හෝ විදේශයකට ලිපියක් යවනව නම් තමුන්ගෙ ආයතන ප්‍රධානියා හරහා යන්න ඕන. උදාහරණයක් විදියට මට ජනාධිපතිට යමක් කියන්න ඕන නම් අපේ ආයතන ප්‍රධානියා(ප්‍රා.ලේ), දෙපාර්තමේන්තු ප්‍රධානියා(දි.ලේ), අමාත්‍යංශ ලේකම් කියන තුන්දෙනාම හරහා තමයි වැඩේ කරන්න වෙන්නෙ.

අන්තිමේදි අර නෝන අමාත්‍යංශෙට කිව්වද කොහේද “ආයෙත් ඒ වගේ වැඩක් කරන්නෙ නෑ” කියල. ඒ කේස් එක එතනින් ඉවර උනා.

මේ කේස් එක මතක් උනේ ලංකාවේ ප්‍රශ්න ගැන කතා කරන්න අද දෙමළ සන්ධානෙ මන්ත්‍රීවරු ඉන්දියාවෙ අගමැතිතුමා මුනගැහෙන්න නියමිතයි කියන නිව්ස් එක ඇහුවම. රජයේ සේවයේදි අර විදියට වැඩ සිදුවුනාට මහජන නියෝජිතයන්ට පුළුවන් ආණ්ඩුවේ සම්බන්ධයක් නැතිව උනත් විදේශ නියෝජිතයන් මුනගැහෙන්න-ප්‍රශ්න කතා කරන්න. එයාලට කොහේ ගියත් බෙදාගන්න තියෙන්නෙ වෙන හැන්දක්නේ.


Thursday, June 13, 2013

සේවාදායක තෘප්තිය, හොඳ වර්ගයේ තල කැරලි සහ කිතුල් පැණි

කාලෙකින් කතන්දරයක් කියන්න බැරිවුන නිසා මෙන්න ඒකට අවස්තාව.
ඔන්න ලඟදි දවසක අපේ කාර්යාලෙට ආව උසස් නිලධාරීන් වීමට පුහුණු වෙන තරග විභාගයකින් පාස්වුන කස්ටියක්. සාමාන්‍යයෙන් මේ වගේ උදවිය කාලෙන් කාලෙට එනව පුහුණුවට. මේගොල්ලට තියන පුහුණුවෙ එක අංගයක් තමයි සේවා දායකයන් ගැන හෙවිල්ලෙන් ඉඳීම. ඒ කියන්නෙ ආයතනයේ එක එක අංශ වලට තමුන්ගෙ වැඩ කරගන්න එන ජනතාවගෙ තෘප්තිය-මේකට කියන්නෙ සේවාලාභී තෘප්තිය කියල, එහෙම නැතුව එක එක ගොඩ වෙදකං වලින් ගන්න තෘප්තිය නෙවේ- ගැන පොඩ්ඩක් විමසිල්ලෙන් සිටීම.
ඔන්න දවසක් මේ නෝන-මහත්වරු සෙට් එක ෆෝම් කොල ටිකකුත් අරගෙන ගියා අපේ ඉඩම් අංශයට. මේ කිව්ව ෆෝම් එක එක්තරා විදියක ප්‍රශ්න පත්තරයක්. ප්‍රශ්න හතලිහක් පනහක් තිබුන. ඉතිං ඉඩම් අංශයට ආපු කස්ටමර්ලට මේ ප්‍රශ්නපත්තර බෙදල කිව්ව යන්න කලින් මේක පුරවල දෙන්න කියල.
සාමාන්‍යයෙන් අපේ කාර්යාලෙ තියන පලාත වගේ දුෂ්කර පලාත්වල කාර්යාල වලට එන බොහොමයක් මිනිස්සුන්ට ෆෝම් එකක් පුරවගන්නවත් තේරුමක් නෑ. අනිත් කාරණය තමයි මේ වැඩ කරගන්න එන්නෙ දැනුවත්භාවයෙන් අඩු උදවිය. ඒකටත් හේතුවක් තියනව. උදාහරණයක් විදියට රස්සාවක් කරන කෙනෙකුට තමුන්ගෙ උප්පැන්න සහතිකයක් ගන්න ඕනවුනා කියල හිතමු. ඉතිං එයා නිවාඩු දාල ඒ වැඩේට එන්නෙ නෑ. තමුන්ගෙ අම්ම හරි තාත්ත හරි තමයි එවන්නෙ. මේ කේස්එක නිසා තත්වය දරුණු වෙන හැටි තේරෙනවනේ. මේ වගේ දේට එන මනුස්සයො තමන්ගෙ අයදුම්පත්‍රය පුරවාගන්නෙ කාර්යාලෙම කාටහරි කියල, නැත්තං ඒ වැඩේටම ආපු කෙනෙක් ලවා.
ආයෙත් කතාවට ආවොත්, ඉඩම් අංශෙට ආපු වයසක මනුස්සයට ලැබුනනේ මේ වගේ ප්‍රශ්න කොලයක්. එයා ඒක අරගෙන ආව මගේ ලඟට.

“මහත්තය මේක පුරවල දෙන්නකෝ...... මගේ ඇස් පේන්නෙත් නෑ” මම බැලූකොට මේක අපේ හරි වැරදි හොයන්න ගහපු ප්‍රශ්න පත්තරයක් නෙව. මම එයාට ඒක පැහැදිලි කලා.

“ම්..... මේක තියෙන්නෙ ඔහේල මේ කාර්යාලෙට ඇවිල්ල වැඩක් කරගත්තම හරි වැඩේ කෙරුනෙ නැත්තං ඒ ගැන ඔහේගෙ හිතේ තියන දේවල් කියන්න. ඒක මම පුරවල හරියන්නෙ නෑනේ”

“ඒ උනාට මහත්තය මට තේරෙන්නෙ නෑ ඕව. අඩුගානෙ මට කියන්න මේක පුරවන හැටි”

ඔන්න මම කියවන්න පටන් ගත්ත.
“මෙම කාර්යාලයේ උපකරණ භාවිතය ගැන ඔබේ අදහස කුමක්ද? ඒ, ඉතා අසතුටුදාටකයි බී අසතුටුදායකයි සී තරමක් හොඳයි ඩී හොඳයි ඊ ඉතා හොඳයි.............”

මංතුමා කල්පනා කලා මේ ප්‍රශ්නෙ ගැන, “හෑ! කාර්යාලෙ තියන උපකරණ ගැන මේ මනුස්සය දන්නෙ කොහොමද? මුන්ට පිස්සු!”
මේ වැඩේ හරියන එකක් නෙවේ. මම ඊට පස්සෙ ඇහුව මොකටද ආවෙ? අපු වැඩේ කෙරුනද? ඒකට දවස් කීයක් ආවද කියල.
බැලින්නං මොකද්දෝ ලේසිපාසු නැති ඉඩම් කේස් එකකට මෙයා ඇවිල්ල තියෙන්නෙ. දවස් දහයක් විතර ඇවිල්ලත් තියනව. ඒ වගේම තව දවස් ගානක් එන්නත් තියනව කේස් එකේ බරපතලකමට. අන්තිමට මම ප්‍රශ්න පත්තරේ ආපිට දීපු කෙනාටම දෙන්න කිව්ව. මේ වගේ දෙයක් කරද්දි ටිකක් දැනුම තේරුම ඇති කෙනෙකුට දෙන්න ඕන. නැත්තං වැඩේ මුළුමනින්ම අසාර්ථකයි.

*************************************************************************

මේ තවත් කතාවක්. ඔන්න සේවාදායකයන්ගේ තෘප්තිය පිලිබඳ පුහුණුවකට ගියා කාර්යාලෙක එක්තරා නිලධාරිණියක්. මේ පුහුණුවෙදි උගන්නන්නෙ මිනිස්සුන්ට යහපත් ආකාරයට සලකන්නෙ කොහොමද කියන කාරණාව. සේවා දායකයා කරන්න බැරි දෙයක් කරල දෙන්න කියල ඉල්ලීමක් කලත් කාරුණිකව ඉල්ලීම ප්‍රථික්ෂේප කරන්නෙ කොහොමද වගේ කාරණා තමයි ඉගනගත්තෙ.
ඔන්න සතියක විතර ට්‍රේනින්එක අවසානයේ අර නෝන වැඩට ආව. එයා හිතාගෙන ආවෙ තමුන් ඉගනගත්ත දේවල් ප්‍රායෝගිකව අත්හදා බලන්න. ඔන්න එනව සේවා දායකයෙක්, නෝන ටක් ගාල එයා පිලිඅරගෙන වාඩිවෙන්න කියල බලෙන්ම ඉස්සරහ තිබුන පුටුවෙ වාඩිකලා. සේවා දායකය මොනවදෝ කියන්න හැදුවත් නෝනගෙ කාරුණික වචන ඔහුගේ චචන අභිබවාගියා. නෝනගෙ දිග වාක්‍ය කිහිපයකට පස්සෙ සේවා දායකයට පුළුවන් උනා තමුන්ගෙ කටටත් අවස්තාව ගන්න.

“නෝන මම ආවෙ..... හොඳ තළ කැරලි තියනව ගන්නවද?...... හොඳ කිතුල්පැණිත් තියනව,.....කලවං නෑ,....... කාල බලල ගන්න පුළුවන් නෝන.........”

බැලින්නං මේ හාදය බඩු විකුණන කෙනෙක්! මේවගේ උදවිය අපේ කාර්යාල වලට එනව ඕන තරම්. අපරාදෙ නෝනගෙ කාරුණික වදන් ටික!

Monday, June 10, 2013

දිවිය ලෝකෙත් ප්‍රශ්න!

සදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයන් බඹලොව බලා සැපත් වූයේ මහා බ්‍රහ්මයා සමඟ සුහද පිළිසඳරකටය. ඒ දෙව්ලොව සහ බඹලොව ඇති මිත්‍රත්වයේ නාමයෙනි. එහෙත් වැඩි වේලාවක් පිලිසඳරේ යෙදීමට නොහැකි විය.

“ශක්‍ර ඔබ දැන් යායුතුයි. විසඳීමට ප්‍රශ්නයක් ඔබේ දිව්‍ය ලෝකයේ ඇත”

“නැත මිතුර! සියළු ප්‍රශ්න විසඳා අවසන්ය. පාණ්ඩුකම්බලාසනය පාවිච්චියද අත්හල පසු ප්‍රශ්න ඇත්තේම නැති ගානය”

“එසේ නොවේ, මෙය අලුත් ප්‍රශ්නයකි. නුවණැතිව කටයුතු කල මැන!”

ශක්‍ර තෙමේ කල්පනා කරමින් රථයට ගොඩවිය. අලුත් ප්‍රශ්නයක්, අලුත් ප්‍රශ්නයක්.

“විගහට යං මාතලී......ලෑල්ලට පාගල යං......”

ඔහු දෙව්ලොවට පැමිණෙන විට අමුතු යමක් සිදුවී ඇති බැව් පෙනිනි.තැන තැන රැස්වූ දිව්‍ය පුත්‍රයන් පිලිසදරෙහි යෙදී සිටි අතර දිව්‍යාංගනාවන්ද වෙනදා තුබූ සුළු සුළු අමනාපකම් අමතක කරමින් කතාබහේ යෙදී සිටියෝය. එහෙත් ඔවුන් පැලඳි මල් මාලා මැලවී ඇති සෙයකි. වෙනදා ඇති මඳ සුලඟද තරමක් චන්ඩ වී ඇති සෙයකි. දෙව්ලොව එක් අන්තයක පිහිටි කල්ප වෘක්ෂය යට එකම අවුල් ජාලයකි.

“මොකද කලබලේ!....” රථයෙන් බසිමින් ශක්‍ර විමසීය.

“ඔබ වහන්සෙට ආරංචිද?” එක් දිව්‍ය පුත්‍රයෙක් වහා ලඟට පැමිණ ශක්‍රයා අතැති පැස අතට ගෙන ඔහුගේ සුරත නිදහස් කලේය.

“මට බ්‍රහ්ම කිව්ව ප්‍රශ්නයක් කියල, ඒකයි මම ආවෙ”

“සුරා පානය කල රුක් දෙවියන් රාශියක් අනවසරයෙන් දිව්‍ය ලෝකයට පැමිණියා ස්වාමීනි. ඔවුන්.....”

“ඇයි මොකද කලේ? කාගේ අවසර ඇතිවද ඔවුන් දිව්‍ය ලෝකයට පැමිණියේ? මනුලොව වෘක්ෂ තුල වාසය කරන ඔවුන්ට දෙව්ලොවට පැමිනීමට අවසර ඇත්තේ කල්පයකට වරක් බැව් අමතක වීද ”

“අතීතයේ අසුරයන් පැමිණි මඟ දිගේ ඔවුන් පැමිණ තිබෙන්නේ”

“ඊට පසු?”

“ටික දෙනෙකු කල්ප වෘක්ෂය අසලට ගොස් එයින් මනුශ්‍ය ලෝකයට ඇවැසි යම් යම් දේවල් ලබාගත්තා. කිහිප දෙනෙකු දිව්‍යාංගනාවන්ටද කරදර කර තිබෙනවා ස්වාමීනි” දිව්‍යාංගනාවක් පැවසුවාය.

“මොනවා?”

“එසේය ස්වාමීනි මල් නෙලමින් සිටි දිව්‍යාංගනාවන් කිහිප දෙනෙකුගේ අඟපසඟ වලින්ද අල්ලා තිබෙනව” ශක්‍රයාගේ අග මෙහෙසි දිව්‍යාංගනාව පැවසුවේ ඔහුගේ කනට ලං වෙමිනි.

“කල්ප වෘක්ෂයේ අතු කඩා දමා වනසා ඔබේ අමතර රථයටද හාණිකර ඔවුන් ගොස් තිබෙන්නේ”

“කල්ප වෘක්ෂයෙන් කංසා වගයකුත් ලබාගෙන තිබෙනවා ස්වාමීනි!”

“මහා විනාශයක් නොවෙද මොවුන් කර ඇත්තේ. කෙසේද මෙවන් බලයක් මොවුන්ට ලැබ්නේ?”

“ස්වාමීනි, ඔවුන් මනුලොවේ ආධාර උපකාර නිසයි මෙසේ හැසිරෙන්නේ” එවර කටහඬ අවදි කලේ රුක් දෙවිවරුන් සමඟ සම්බන්ධකම් ඇති මාතලීය.

“ඒ කියන්නෙ මාතලී?”

“මනුශ්‍ය ලෝකයේ, සිරි ලංකාවේ ප්‍රාදේශීය දේශපාලකයන් සමඟ ඔවුන් සම්බන්ධ වී ඇතිලු!”

“මො මොනවා...

“මාතලී...... පැන් කෙන්ඩිය ගේනෙන්න...... එතුමා විසඥ වූ හැඩයි”