Monday, July 30, 2012

වහලේ යටලීයේ එල්ලී මියගිය ම‍ගේ මලේ.....


"තපස්ගේ කොලම" ලියන තපස් සහෝදරයා‍ගේ, "වළාකුළකින් මුවාකළ හිරු හෙවත්....විජය කුමාරතුංග නම් වූ ගායකයා" යන ලිපියට මා දැමූ කොමෙන්ටුවකට, ඔහු ලබාදුන් සබැඳියක් ඔස්සේ ගොස් අපූරු ගීත කිහිපයක් රසවිඳීමට හැකිවිය. එය විජය කුමාරතුංගගේ කැසට්පටයක ගීත 12කි. කැසට් පටය පිළිබඳව උක්ත ලිපියේ සඳහන්වන අතර මගේ අවධානය යොමුවන්නේ එහි එක් ගීතයකටයි.


මෙන්න එම ගීතය.

වහලේ යටලීයේ එල්ලී මියගිය ම‍ගේ මලේ
මළේ කිමද නුඹ දනිම් මලේ.....

ගෙපැල උගස්කර ලැබූ ශිල්පයට අවමන් ගැරහුම් කරන නිසා
දැනහැඳුනුම්කම් නොමැති කිසිමතැන සිනා පොදක් හෝ නුදුටු නිසා
දම්සක් පැවතුම් සුතුර පුරද්දී නොදහම සිහසුන දරන නිසා
එල්ලී මළබව දනිමි මලේ නුඹ මරනින් මතු ලොව හොඳය සිතා

බොජුන් සදන්නට මාපිය දෙපලට අතමිට සම්පත් සිඳුනු නිසා
සිරසට වහලක් දෙපයට පොලවක් සිතකට නිවනක් නොලද නිසා
මිනියට අන්දා දෙනෙහි තබන්නට පමණක් ඇඟළුම් තිබුන නිසා
එල්ලී මළබව දනිමි මලේ නුඹ මරනින් මතු ලොව හොඳය සිතා

වහලේ යටලීයේ එල්ලී මියගිය ම‍ගේ මලේ
මළේ කිමද නුඹ දනිම් මලේ.....


තම ප්‍රශ්න හමුවේ පීඩනයට පත් තරුණයෙකුගේ දිවි නසාගැනීමක් ගැන කියවෙන මෙම ගීතය පිළිබඳව අමුතුවෙන් අටුවා ටීකා ටිප්පණි ලිවීම අනවශ්‍යය.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කල මගේ ගම්වැසි සහෝදරයෙකු පසුගිය දිනක මට හමුවිය. තවමත් රැකියා විරහිත තත්වයේ සිටි ඔහුගෙන් මා විමසූයේ මේ දිනවල උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ ඔහුට අවස්තාවක් නොලැබිනිද යනවගයි. "යන්න තිබුන අයියේ, මම කා_ _න් එකේ රෙජිස්ටර් වෙලා හිටියෙ නෑනේ......" යන්න ඔහුගේ පිළිතුර විය. මට එක්වරම සිහිවූයේ තපස්ගේ ලිපිය සහ මේ ගීතයයි. විජය කුමාරතුංග මහතා මේ ගීය ගැයූ අසූව දශකයේ තිබූ ප්‍රශ්න වර්තමානය වනවිටද විසඳී නැත.

මේ ගීතය මෙම සබැඳියේ අටවැනි ගීතයයි.

Wednesday, July 25, 2012

පුතෙක් උපන්නා........

කතාවක් තියනවනෙ මිනිහෙක් සම්පූර්ණ වෙන්න නම් ගහක් හිටවන්න ඕන, පොතක් ලියන්න ඕන, පුතෙක් හදන්න ඕන කියල (කියමනට පුතෙක් කිව්වට දුවෙක් උනත් කමක් නෑ). ගස් නං හිටෙව්ව පොඩිකාලෙ ඉඳලම. පොත් ලියල නැතත් පිටු එකසිය ගානක බ්ලොග්එකක් ලියල තියනව. පනස්දාහකට වැඩිය කියවලත් තියනව. එහෙම බැලුවම ඒකත් පොතක් ලිව්ව වගේ නෙවේද මං අහන්නෙ?

අඩුවකට තිබුන සහ අමාරුම කාරණාව පුතෙක් හැදිල්ලනේ. ඕං ඒ බලාපොරොත්තුවත් ඊයෙ ඉෂ්ටවුනා. ඊයෙ දවල් දහයකුත් ගානට නෝනට පුතෙක් ලැබුන. ලැබුන කිව්වට බඩ කපල ගන්නයි උනේ. ඒ කියන්නෙ සීසේරියන් සැත්කම කරල. මම යනකොට ඇස්දෙක කරකවමින් හතරඅතේ බල බල ඉන්නව. තාත්ත කෙනෙක් උනා කියල හිතෙනකොට දැනෙන හැඟීම විස්තර කරන්න බෑ. ඒක විඳලම බලන්න ඕන.

පුත්‍රයට නමක් තියල නෑ තාම. හිතලත් නෑ. නම් තැබිල්ලත් ලේසි නෑනේ. නැන්දල මාමලට පුළුවන් නම් නමකුත් පහලිං කොටල යන්න. වචන දෙකක නමක් නං වඩා හොඳයි.

ගිහිං එන්නං.



Monday, July 23, 2012

ආ.... මහත්තයෝ ඒ මගේ බාල පුතානේ!

ඇවිද්ද පය ලියන සුදීකගෙ ක්‍රිකට් කතාවක් දැකල මගෙත් මතකය අලුත් උනා. ඒ තමයි කාර්යාල ක්‍රීඩා තරග ගැන. සාමාන්‍යයෙන් ගමේ-ඉස්කෝලෙ ඕනතරම් ක්‍රීඩා කරල තිබුනත් කාර්යාල ම‍ට්ට‍මේදි ලැබෙන්නෙ වෙනස්ම අත්දැකීම්. ඇත්තටම කිව්වොත් බොහෝ කාලයකින් පිටියට ගිහිල්ල නැති පිරිසක් එක්ක ක්‍රීඩාකිරීමෙන් වැඩි විනෝයක් ලැබෙනව‍. මට මතකයි කාර්යාලීය ක්‍රිකට් තරගයක එක් ක්‍රීඩකයෙක් ඕවරයකට බෝල 22ක් දැම්ම.

මම කොළඹ වැඩකල කාලෙ, ඔන්න ආව ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර වොලිබෝල් තරගාවලියක්. ඕක හරි විදියටම කියනව නං කියන්න ඕන "කොළඹ දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය වොලිබෝල් තරගාවලිය" කියල. :)
ඉතිං අපි මාසයකට විතර කලින් පුහුණුවීම් පටන්ගත්ත. තරගයට දවසකට කලින් අපේ "උනන්දුවා" වෙච්ච ග්‍රාමසේවක රාලහාමි කෙනෙක් තදබල අසනීපවුනා. අපි ගියා බලන්න ඉස්පිරිතාලෙට. යන්තමට ඇස්ඇරල බැලුව රාලහාමි කිව්වෙ කොහොමහරි තරගය දිනන්න කියල.

ඔන්න අදාල දවසෙ අපි කට්ටිය ඔපීසියෙ වාහනයකින් තරගයට පිටත්වුනා. එදා සෙනසුරාද දවසක්. උදේ 9 වෙනකොට අපි නියමිත ස්ථානයට ගියත් ඒ වෙනකොටත් කවුරුවත් නෑ. පැයක් බැලුව දෙකක් බැලුව ම්හු! කවුරුත් නෑ. අපි විතරයි හිටියෙ. දැං ඉතිං මොනව තරන්නද, ටික වෙලාවකින් ආව ප්‍රැක්ටිස් කරන්න කණ්ඩායමක්. කතාකරල බැලුවම අගමැති ආරක්ෂක සෙට් එකක්. අපි ගේම ඉල්ලුවම එයාල කැමතිවුනා ගේමට. 3-2 විදියට අපි පැරදුනා. ඊට පස්සෙ අනුශූරතාවයයි සහතිකයි අරගෙන කොහේදෝ බීච් එකකට ගිහිල්ල දුඹුරු පාට බෝතල් කිහිපයකුත් හිස් කරල ගියා. සඳුදා අපෙන් තරගය ගැන විස්තර අහපු කාර්යාල සගයන්ට ලැබුනෙ මේවගේ උත්තරයක්,

"අම්මට සිරි! අපි ෆයිනල් වෙනකන් ආව. ෆයිනල් එකට අහුවුනේ අගමැති ආරක්ෂකේ සෙට්එකක්. ඒත් අපි 2ක් ගැහුව"

*****************************************************************************

මේ කතාව උඩඑක වගේමයි. වෙනස ක්‍රිකට්. හැබැයි මේකට දිස්ත්‍රික්කෙම ඔපීසි වල සහභාගීත්වය තිබුන.
ඔන්න නියමිත දිනේ වෙලාවට තරගාවලිය ආරම්භවුනා. අපේ ටීම් එකත් මැච් දෙකක් තුනක් ගැහුව. අපි සපෝටර්ල විදියට ගියේ. පලමු පැය භාගෙ ඇතුගත වගේ ග්‍රවුන්ඩ්එකේ කොනකට සෙට්වෙලා දුඹුරු පාට බෝතල් දුකෙන් මුදවමින් හිටියෙ. හැබැයි එක ටීම් එකක් හැම මැච් එකක්ම ගහගෙන ඉස්සරහට එනව කියල, ඒ වෙනකොටත් තේරුම්ගන්න පුළුවන් සීමාව ඉක්මවා හිටියෙ නෑ. මේ අතරෙ අපිට සෙට්වුනා ග්‍රවුන්ඩ්එක කිට්ටුව ගෙදරක අංකොල් කෙනෙක්. ඒ වෙනකොටත් යම් පමණකට පාවිච්චි කරල හිටිය අංකොල්ගෙ සහ අපේ මට්ටම් හරියටම සම්පාතවුනා. සිගරට් කොටයක් දෙගොල්ල යාකරන පාලමේ අන්තිම ඇනයත් ගැහුව. පැයක් ගියා දෙකක් ගියා මම ඉස්සෙල්ල කිව්ව ටීම්එක ඉස්සරහටම ආව. ඒ ටීම් එකේ විශේෂත්වයක් තිබුන.‍ ඒ තමයි 11ක් හිටියත් ඒක වන්මෑන් ෂෝ එකක් වීම. ඒ කියන්නෙ ඒකෙ හිටිය "කී ප්ලේයර්" තමයි හැම වෙලාවෙම ලකුණු ගහන්නෙත් විකට් ගන්නෙත්. ඌ නැත්නම් ටීම්එකට සොරි තමයි. මේ අතරෙ අංකොල්ගෙ කතාබහත් ගන්න ප්‍රමාණයට සාපේක්ෂව වර්ධනය වෙනව. අන්න එහෙම වෙලාවක අර කිව්ව ක්‍රීඩකයගෙ දක්ෂකම් ගැන කතාබහක් ඇදිල ආව. මේ කතාව ඇහුන අංකොල් මැද්දට පැනල කිව්ව,

"ආ මහත්තයෝ ඒ මගේ බාල පුතානේ.........."


"ආ එතකොට ඒජී ඔපිස්සෙකේ එයාගෙ තනතුර මොකද්ද?" අපේ එකෙක් ඇහුව.


"ඌට ඇති තානාන්තරයක් නෑ මහත්තයෝ, ඔය ඔපිස්සෙකේ මහත්තුරුටික තමයි එන්න කිව්වෙ"

බැලින්නං මූ විදෙස් ක්‍රීඩකයෙක්. තරගාවලියේ හැටියට ඒක නීතිවිරෝධී වැඩක්. කොටින්ම ටීම්එකම තහනම් වෙන කේස් එකක්. ඒත් ඒ වෙලාවෙ ඕව අදිනවට වැඩිය වැදගත් වැඩ අපිට තිබුන. ඔක්කෝටමත් වැඩිය අපේ හිත් මල්වගේ වෙලා තිබුනෙ. ඉතිං වැරදිකාරයන්ට සමාව දීල අපි ආව.

Wednesday, July 18, 2012

මච්චං...පොලීෂියෙ ඉන්නව නං ඔඳට ගහන්න ඕන



පොලීසිය කිව්වම අපි හුඟ දෙනෙකුගෙ හිතේ යහපත් හැඟීමක් නෑ. මගේ එක යාළුවෙක් ඉන්නව පොලිසියත් එක්ක පුල්ම මලෙන්. ඒකාලෙ (කොටි ත්‍රස්තවාදය තිබුන කාලෙ) ඌ කියනව "මචං පාරක් අයිනෙ කොටියෙකුයි පොලිස්කාරයෙකුයි වැටිල හිටියොත් වතුර ඉල්ල ඉල්ල මම වතුර දෙන්නෙ කොටියට. මොකද ඌ හොඳයි පොලිස්කාරයන්ට වඩා! :). ආයෙ ඌ කියනව "තාත්ත උනත් පොලිසියෙ නං විශ්වාස කරන්න එපා" කියල. මං හිතන්නෙ පොලීසියෙ වැරදි සහගත ක්‍රියා මේකට හේතුවෙනව. පොලීසිය එහෙම වැරදි කරන්න දේශපාලනයත් ඒ වගේම බනින මිනිස්සුත් හේතු වෙනව. කොහොම උනත් පොලීසියට කවුරුහරි ගැහැව්ව කිව්වොත් අත්පොලසන් දෙන්න කස්ටිය ඕන තරං හොයාගන්න පුළුවන්. අද දවල් අපේ ඔපීසියෙ කෙනෙක් කිව්ව එක්තරා පොලිස් රාලහාමි කෙනෙක් ගැන කතාවක්. දෙන්න කොහේදෝ මත්වතුර සප්පායං වෙන අතරෙ රාලහාමි කියනවලු මෙහෙම,

"මච්චං...., පොලීෂියෙ ඉන්නව නං මිනිශ්ෂුන්ට ඔඳට ගහන්න ඕන..... නැත්තං ඕකුං හදන්න බෑ..... මම නං අහුවුනොත් ඔඳට ගහනව"

ඉතිං ඔයවගේ අදහස් තියන එවුන් තමයි පොලීසිය කන්නෙ.
මම කොළඹ වැඩකරන කාලෙ ගෙදර එන්නෙ බයික් එකේ. බොහෝ වෙලාවට රත්නපුර පාරෙ තමයි එන්නෙ. හදිසියෙ දවසක ගාලුපාරෙත් එනව. ගාලුපාරෙදි සහ රත්නපුර පාරෙදි මුනගැහෙන පොලිස් මාමලගෙ සෑහෙන වෙනසක් මම දැකල තියනව. රත්නපුර පාරෙ උදවිය හොඳයි. තරමක් සීතල දේශගුණික තත්වයක ඉන්න නිසාද කොහෙද එච්චරම සැර නෑ. ඒකට ගාලුපාරෙ පොලීසිය! බේරෙන්නම බෑ. මං හිතන්නෙ රස්නය සහ මූදු හුලං වැදීම නිසා.:)

හුදීජන පහන් සංවේගය සඳහා මම කියන්නම් පොලීසියට ගහපු පෙරහැර දෙකක් ගැන.
එකක් මම දැක්ක සිද්ධියක්. පෙරහැරවල යනව දැකල ඇතිනෙ අපාය, සැලෝන්... වගේ අයිටම්. මේ පෙරහරේ යනව සැලෝන් එකක්. නැත්තං බාබර් සාප්පුවක්. යන්නෙ රෝද දෙකේ ට්‍රැක්ටර් එකක ට්‍රේලරයේ. හෙඩ් බාබර් හිටියෙ මාත් හොඳට දන්න මරුමුස් පොරක්. කසිප්පු ගැලුමකුත් තියනව ඒක ඇතුලෙ. සේලයින් බටයක් ඒකට දාල ටික ටික බිබී තමයි යන්නෙ. ඔන්න පෙරහරේ අවසානයට කිට්ටුවන අතරෙ සූර්වෙලා හිටිය බාබර් අයියට පොලිසියෙ මහත්තයෙක් මොකක්දෝ කිව්ව. මලපැනපු බාබර් අයිය රැව්ල කපන්න ලී වලින් හදාගත්ත දැලිපිහියකින් (දැලිපිහියක් කිව්වට ඒක කඩුවක සයිස්) රාලහාමිට හොඳටම ගැහුව. පස්සෙ රිටන් එක ලැබුනත් වෙච්ච ලැජ්ජාවටද කොහෙද රාලහාමි වෙන පලාතකට මාරුවෙලා ගියා.

දෙවනි කතාවත් ඒවගේමයි. ඒක නං සිද්ධවුනේ ගිය අවුරුද්දෙ. එතන සීන්එක "අපාය". අපායට රාලහාමිල දෙන්නෙක් මොකද්දෝ කේස් එකක් ඇද්ද. ඊට පස්සෙ මයික්එක අතට ගත්ත යම රජ්ජුරුවො යමපල්ලන්ට නියෝගය දුන්නෙ මෙහෙමයි,

"යමපල්ලනී....... අපායේ කටයුතු වලටත්...... යමරජු වන මටත්....... බාධා කරන...... මේ පොලිස් නරයන්ට........ පහර.... දෙනූ........"

සූර්වෙලා හිටිය යමපල්ලො ටික පැන්න ගමන් පොලිසියට නෙලන්න ගත්ත දුවනකල්. පැය භාගෙකට විතර පස්සෙ ජිප්එක පුරවලා ආයුධ ගත්ත පොලිස් අංකල්ල එනකොට අපායෙ ඉතිරිවෙලා හිටියෙ ට්‍රැක්ටර් ඩ්‍රයිවර් විතරයි.

ප.ලි.- "අපාය" කියල ගූගල් දෙයියන්ගෙං පිංතූර ඉල්ලුවම මේ නංගිලාගෙ පිංතූර එන්නෙ මොකද? එයාල අපායට සම්බන්ධයක් තියනවද? නැත්තං අපායට ගහපු කැලැන්ඩර්ද මේ? ඔහේල මේ ගැන හිතන්නෙ මොකද්ද?


Monday, July 16, 2012

කාර්යක්ෂමතාවය.


"කාර්යක්ෂමතාවය කියන්නෙ මොකක්ද?"
"සරළව කිව්වොත් ඉක්මනින් වැඩක් කිරීමනේ"
"තවත් පැහැදිලි කලොත්?"
"යම්කිසි වැඩක් කරනකොට අඩු කාලයකින්, දෝශ අවම තත්වයේ තියාගෙන වැඩේ කරනව නං කාර්යක්ෂමව වැඩේ සිද්ධවුනා කියල කියන්න පුළුවන්"
"භෞතික විද්‍යාවෙ ගණිතයේ ඕක තියනව නේද?"
"අන්න හරි. සූත්‍රයකුත් තියෙන්නෙ"
"මොකද්ද?"
"ඵලදායී කාර්ය ප්‍රමාණය, ප්‍රතිදාන කාර්යයට දරන අනුපාතයේ ප්‍රතිශතය තමයි කාර්යක්ෂමතාවය කියන්නෙ"
"රජයේ සහ පෞද්ගලික ආයතන වල කාර්යක්ෂමතාවය ගැන කතාවෙනව නේද?"
"ඔව්. පෞද්ගලික ආයතනවල නං මරවල හරි වැඩ අරගෙන ‍කාර්යක්ෂමතාවය තියාගන්න බලනව"
"එතකොට ආණ්ඩුවෙ තැන්වල?"
"එච්චරම කාර්යක්ෂමතාවයක් නං නෑ"
"ඇයි?"
"නොනල මහත්තුරු පුටුවල හිටියට වැඩක් කෙරෙන්නෙ නෑනේ, කාලය ගතවෙනව විතරයි"
"ඒ මොකද?"
"හරියට වැඩ ගන්න බෑ. අනෙක වැඩක් කරන්නත් බෑ! නීති රීති වැඩියි"
"දේශපාලන බලපෑම්?"
"ඒවත් තියනව. ඒත් දැන් දැන් සමහර තැන්වල මිනිස්සු රස්තියාදු වෙනඑක අඩු කරන්න කටයුතු කරල තියනව"
"ඒ කොහේද?"
"ඇයි කටුගේ!"
"කටුගේ? එකෙ හොරකමකුත් සිද්ධවුනානෙ!"
"ඒක තමයි"
"මොකක්ද කියන්නෙ? කටුගේ හොරකම කොහොමද මෙතෙන්ට සම්බන්ධ වෙන්නෙ?"
"ඒක ඝානාවෙන් හඳුන්වාදුන්න ක්‍රමයක්. කාර්යක්ෂමතාවය ඇතිකරන්න"
"ඒ කොහොමද?"
"කටුගේ බලන්න එන මිනිස්සුන්ට ගොඩක් වෙලා යනව පුරාවස්තු නරඹන්න"
"ඉතිං?"
"පුරාවස්තු අඩුවෙන්න අඩුවෙන්න බලන්න ගතවෙන කාලයත් අඩුවෙනව. එතකොට ටක්ගාල බලල ඉවර කරන්න පුළුවන්"
"හා හා හා....."
"අන්න වැටහුනා! පේනව නේ කාර්යක්ෂමතාවය ඇතිකරන්න තමයි මේ ඔක්කොම කරන්නෙ"


idea sponsor:අසරණයා.

Saturday, July 14, 2012

ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් තිබුනට සර් මේක වෙබ් සයිට් එකක් නෙවේ.

සාමාන්‍යයෙන් වේලාවට වැඩකරන මා එදිනද පැමිණියේ නියමිත වේලාවටය. මා පැමිණෙන අවස්ථාව වනවිටද දෙතුන් සියයක් පිරිය පැමිණ සිටියහ. දන්නා හඳුනන මුහුණු ඇත්දැයි වටපිට බලමින් සිටියෙමි. ඇතැමෙකු අත තිබූ ඝනකමැති කවර යොදා ආවරණය කල හතරැස් හැඩැති දේ මුදල් විය යුතුයැයි අනුමාන කලෙමි.‍ ඔවුන්ට තිබුනද මා අත මුදල් නැත. එබැවින් අද කෙසේ හෝ දෙකෙන් එකක් බේරාගත යුතුය.

එක්වරම අවධානය යොමුවන වචන පෙලක් ඇසුනි.

"රාජ්ගෙ නවාතැන,........ ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් රාජ් වන් එස් ටී ඩොට් බ්ලොග් ස්පොට් ඩොට් කොම්,.... රාජ්ගෙ නවාතැන......"

"ඉන්නවා........."

"ඉක්මන් කරල එනව අයිෂෙ,..... හරි. වාඩිවෙනව!"

"කෝ බලන්න තමුංගෙ අඩවිය...."

"මේ තියෙන්නෙ සර්, මේකෙ .....තුමාට බැනල දාපු ලිපි කීපයක්ම තියනව"

"හ්ම්. ඔව්වොව්.... ආ....මේ කතානායකතුමාටත්"

"නෑ සර් මං ආවෙ!"

"ඔව්වොව් මූන වහගෙන සිංහයො වගේ ලිව්වට දැං එන්නෙ දෙකට තුනට නැවිල නෑ සර් කියාගෙන තමයි"

"නෑ සර් මං කියන්න හැදුවෙ....."

"හරි හරි ලමයා.... තමුන්ට මේව ලියන්න සල්ලි දෙන්නෙ කවුද?"

"කවුරුත් නෑ සර්"

"තමුංගෙ රැකියාව මොකද්ද?"

"........කාර්යාලෙ වැඩ කරන්නෙ"

"හෝ හෝ එහෙනං ආණ්ඩුවෙන් දෙන ඉන්ටනෙට් වලින්මයි ආණ්ඩුවට ගහන්නෙ! හහ් හහ් හහ්"

"සර් මෙන්න බලන්න බේබිලාටත් බැනල තියන ලිපියක් දාල"

"ඒකනෙ මං කිව්වෙ. කොහෙං හරි සල්ලි එනව ඇති ඒකයි"

නිහඬව සිටියා මෙන්ම අතපය හකුලාගෙන සිටියාද ඇතිය,

"සර්, ඕව ලිව්වෙ මම තමයි. කවුරුවත් සල්ලි දීල නෙවේ. සල්ලි වලට ලියන අයත් දෙතුන්දෙනෙක් ඇති. ඒත් වැඩිදෙනා ලියන්නෙ අතිං වියදං කරගෙන"

"හරි හරි ළමයා.... වෙබ් අඩවි තහනං කරන්න අපේ අදහසක් නෑ. අපි හදන්නෙ මේ වෙබ් අඩවි ලියාපදිංචි කිරීමෙන් ලැබෙන මුදල ජාතික ආර්ථිකයේ පෝෂණයට දායක කරගන්න"

බලලා මල්ලෙන් පැන්නේය.

"සර්, මම කියන්න ආවෙ මේකයි, සර්ල මට කතාකරන්න දුන්නෙ නෑනේ, මගේ නවාතැන වෙබ් අඩවියක් නෙවේ. ඒ නිසා ලියාපදිංචි කරන්නවත් සල්ලි ගෙවන්නවත් වැඩක් නෑ."

"oඈ! මොකක් කිව්ව? වෙබ් අඩවියක් නෙවේ?"

"ඔව් මේක බ්ලොග් අඩවියක්, අපි රෙජිස්ටර් වෙන්නෙ මොකටද? මං ආවෙ මේක බේරුමක් කරගන්න"

"කෝ බලන්න ආ.... මේ තියෙන්නෙ ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් අකුරු තුනම"

"ඒත් සර් මේක බ්ලොග්ස්පොට්නේ"

"හහ්! අපිට උගන්නන්නද එන්නෙ මේ තියෙන්නෙ ඩොට් කොම් කියලත්"

"ඒත් සර් මේක බ්ලොග් සයිට් එකක්. අනෙක මේකෙ වැඩියෙන් තියෙන්නෙ විහිළු කතා"

"ඒ වුනාට මේකෙ දේශපාලනයත් කලවංනේ"

"එහෙනං සර් සිංදුයි කෑම හදනඒවයි හැම මඟුලම තියන සීඑස්එන් එක ක්‍රීඩා නාලිකාවක් කියල ක්‍රිකට් විකාශය කරන්න දුන්නෙ අවුරුදු ගානකට?"

"හහ් පෙනේද මුංගෙ කතාව...... මේව තහනං කරල මුංගෙ හතර හංදි කඩල දාන්න ඕන කිසි ගවුරවයක් නැතුව කියන කතා වලට .................. ...................... ................"

ලියාපදිංචිය අලවී නිවසට පැමිණෙන විට මගේ බ්ලොග් අඩවිය හැක් කර තිබුනි. බ්ලොග් රෝලෙහි තිබූ අඩවිද වැඩි ප්‍රමාණයක් හැක් කර තිබුනි.


(විශේෂ මතක් කිරීම: W3Lanka ලිපිය ඇසුරෙනි)

මෙහෙමත් මිනිස්සු.

මේ කියන්න යන්නෙ ඊයෙ පෙරේද අපේ කාර්යාලයෙ වෙච්ච සිද්ධියක්.

අපේ කාර්යාලයටත් ඇවිල්ල ඉන්නව අලුතෙන් රාජ්‍ය සේවයට බඳවගත්ත උපාධිධාරීන් සෙට් එකක්. මේ අය කාර්යාලයේ සහ ක්ෂේත්‍ර රාජකාරී වලට දාල ඉන්නව ට්‍රේනින් වෙන්න‍. අපේ බ්‍රාන්ච් එකෙත් දෙන්නෙක් ඉන්නව. අපරාදෙ කියන්න බෑ මොනවා හරි රාජකාරියක් පැවරුවම කඩියො වගේ වැඩ.

දවස් දෙකකට කලින්, ඒ කියන්නෙ බ්‍රහස්පතින්ද, මේ අලුත් උපාධිධාරී ගැල්ලමයෙක් වාහන ලයිසන් කරන තැන රාජකාරී කරනව, මොකක්දෝ හේතුවකට අදාල නිලධාරියා නැති නිසා. මේ වෙලාවෙ එක මනුස්සයෙක් ඇවිල්ල තියනව වෑන් එකක් ලයිසන් කරගන්න. බ්ලොග් ලියන්න පටන්ගත්ත මුල්කාලෙ මම දැම්ම රස්තියාදු වෙන්නැතුව වාහනේ ලයිසන් කරගන්න ඕනද? කියල පෝස්ටුවක්. ඒකෙ කියල තියන විදියට ට්‍රාන්සර් එකකින් පස්සෙ ලයිසන් එක (අලුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්) ගන්න නම් කලින් ලයිසන් කල කාර්යාලෙන් ගන්න ඕන වාර්තාවක් තියනව. "නොබැඳිපත" කියන්නෙ ඒකයි. ට්‍රාන්සර් එකකට පස්සෙ හුඟදෙනෙක් එන්නෙ ඔය වාර්තාව නැතිව. අපි කරන්නෙ කලින් කාර්යාලෙට කතා කරල විස්තරය ‍ෆැක්ස් එකකින් ගෙන්නගන්න එක. මේකට සාමාන්‍යයෙන් පැය භාගයක්වත් යනව අඩුම ගානෙ. සමහර කාර්යාල වලට කිව්ව ගමන් ෆැක්ස් එක ගෙන්නගන්න බෑ. දෙතුන් සැරයක් කතා කලාම ඔන්න එවනව.

අපේ කතා නායකයා ඇවිල්ල තියෙන්නෙත් පැවරුමකින් පස්සෙ ලයිසන් එක ගන්න. එයා ලඟත් අර ඕන කරන වාර්තාව නෑ. අදාල ස්ථනයට කතා කරල ෆැක්ස් එක ගෙන්නගෙන වැඩේ කරල දුන්න. ලයිසන් එකට රුපියල් පන්දහස් ගනනක්ද කොහේද. සිද්ධිය එතනින් ඉවරයි.

ඉවරයි කිව්වට ඉවරවුනේ නෑ. ටික වෙලාවකින් අපේ බොසාට එනව කෝල් එකක්. කතාකරන මනුස්සය කියනව මීට ටික වෙලාවකට කලින් තමන්ගෙ වාහනය ලයිසන් කරගන්න කෙනෙක් එව්ව කියලත්, ලයිසන් එකේ ගාන රුපියල් දහදාස් ගනනක් උනත් ලයිසන් රාජකාරී කරන නෝනට රුපියල් දෙදාහක් දීල ගනන අඩුවෙන් ලයිසන් එක ගත්ත කියලත්‍. ඒ මදිවට අඩුවෙන් වැඩේ ගොඩදාල දුන්නට කියල රුපියල් දෙදාහකුත් අරගෙන. වැඩියෙන් සල්ලි ගත්ත කිව්වත් ලයිසන් එකේ සටහන් වෙලා තියෙන්නෙ පන්දහස් ගනනක් නිසා තමයි අයිතිකාරය කතා කරන්න ඇත්තෙ.

මේ වගේ චෝදනාවක තියන බරපතලකම අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. බොසා ඇවිල්ල ප්‍රෝග්‍රෑම් එක චෙක් කරල බැලුව. රාජකාරී කරපු නිලධාරිණිය වංචාවක් කරල නෑ. වැඩේට ආව මනුස්සය වාහනය අයිතිකරුගෙන් රුපියල් දෙදාහක් ගන්න කරපු උප්පරවැට්ටියක්.

Thursday, July 12, 2012

ලාවට හිනාවෙන්න.

මේ දවස්ටිකේම මෙලෝ රහක් තිබුනෙ නෑ. කොටින්ම විනෝද සමය වගේ තිබුන අපේ ඔපීසියත් කිසි කමකට නෑ. වැඩවලට කොච්චර හිරවෙලා හිටියද කියනව නං ‍බ්ලොග් පෝස්‍ට් එකක්වත් ලියන්න කිසිම අයිඩියා එකක් ඔලුවට ආවෙ නෑ. ‍පොඩිපොඩි කතා දෙක තුනක්වත් කියල යන්නයි හදන්නෙ.

මේ සිද්ධිය උනේ අපේ නෑදෑයො වෙන ගෙදරක පොඩ්ඩෙකුට අකුරු කියවන දවසෙ. ඔන්න එදා නැකත තිබුනෙත් ටිකක් වේලාසනම. සැප නින්දේ හිටිය පොඩිඑකා උදේ පාන්දරින් ඇහැරවල ලැහැස්ති කරල ගන්න අවස්තාව වෙනකොට එයාට ටිකක් විතර මළ පැනලයි හිටියෙ. අකුරු කියවන්න ආවෙ නෑදෑයෙක් වෙන ගුරුවරයෙක්. ඔන්න ගුරුතුමා වැඩේ පටන්ගත්ත.

"හා පුතා මේ තියෙන්නෙ අයන්න. පුතා කියන්න අයන්....න......."


"අයන්න"


"හා පුතා කියන්න ආයන්....න......."


"ආයන්න"


"හා පුතා කියන්න ඇයන්න"


"දැං එකසැරයක් කිව්වනේ! ඇහුනෙ නැද්ද?"


* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

දෙවනි කතාව නං හිනාවෙන්න පුළුවන් එකක් නෙවේ. අපේ ප්‍රාන්තයේ ටික කලකට පෙර සිද්ධ වෙච්ච ඇත්ත කතාවක්‍.
සිද්ධිය මේකයි. එක මනුස්සයෙක් ඉඳල තියනව. මෙයා කාලයක් තිස්සේ කොටු පැනීමේ යෙදුන කෙනෙක්. කොටු පැනිල්ල කොච්චර දුරට ගියාද කියනව නං ගෙදර මනුස්සය නැති අල්ල පනල්ලේ ගෙදරටම ඇවිල්ල තහනම් ගහේ ගෙඩි කාල යනව. කොච්චර රහසේ කලත් මේ දේවල් හංගන්න පු‍ළුවන් කමක් නෑනේ. කොහොම හරි ගෙදර මනුස්සයගෙ කනට ආරංචිය ගියා. දවසක් එයා ගෙදර එනකොට අනියම් ජෝඩුව ගේ ඇතුලෙ. මාරු වෙන්නවත් වෙලාවක් තිබුනෙ නැති තැන ඇඳේ හිටිය මනුස්සය ඇඳ යට හැංගුනා. ගෙට ගොඩවුන අයිතිකාරය ඇඳේ හිටිය තමුංගෙ බාරිය ලඟින් වාඩිවුනා. ඒ එක්කම ඇඳ යටින් සද්දයකුත් එක්ක රුපියල් 5 කාසියක් පෙරලිලා ඇවිල්ල කකුලේ වැදුන. ඇඳ යටට එබිල බැලුවම බඩු මාට්ටු. ඊට පස්සෙ මහා පරිමාණයේ ගුටි පූජාවකටත් මුහුන දෙමින් අනියම් ගෙයින් පැනගත්ත‍. උඩ සාක්කුවෙ තිබුන මාරු කාසි ටිකක් තමයි වැඩේ අලකලේ.

Saturday, July 7, 2012

කට්ටඩි මාධ්‍ය සහ ගවේශනශීලි මාධ්‍ය සමඟ පෙරට යන මව්බිම.


ටිරාන් අලස්ගේ "මව්බිම" එකල මා ආශාවෙන් කියවූ පුවත්පතකි. කවුරුන්ගේ හෝ කුණු සේදීමට සිටි මාධ්‍යන් අතර මව්බිම හොඳ විකල්ප පුවත්පතක් විය‍. වංචා දූෂණ වලට එරෙහිව පෑන හැසිරවූ "මාධ්‍යවේදීන්" යයි කටපුරා නිවහැකි පිරිසක් එහි සිටියහ. "ටැබූ සබ්ජෙක්ට්ස්" කතාකල (x කන්ඩායමේ)AK47 අතිරේකය පුවත්පත තහනම් කිරීමට පවා දායක වේ යයි සිතා සිටියෙමි. රාජ්‍ය මර්ධනය හමුවේ තවදුරටත් ඉදිරියට යා නොහැකිවූ ලක්ෂයේදී පුවත්පත නැවතුනි. අයිතිකාර ටිරාන් අලස්ට දඟගෙයි ලැගීමටද ත්‍රස්තවාදී චෝදනා යටතේ අත්අඩංගුවට පත්වූ පරමේශ්වරී වැනි මාධ්‍යවේදීන්ට අපමන පීඩා විඳීවීමටද පුවත්පත සැලැස්වීය.

ඉන්පසු ගිය වසරේ අග කාර්තුවේ නැවතත් පුවත්පත ආරම්භ වූ අතර එය මුල් පැවති තත්වයෙන් ඉඳුරා‍ම වෙනස් එකක් වීය. වෙනත් විදියකින් කිවහොත් අලස් මහතාගේ දේශපාලන ස්ථාවරය සමඟ පෑහෙන ගමනක් අරඹා ඇත. සරත් ෆොන්සේකා මහතා මුදාගැනීමට ජනාධිපතිවරයා සමඟින් කල සාකච්ඡාවන්හි "උණුසුම් පුවත්", ෆොන්සේකා මහතාගේ නිදහසින් පසුව පැවති ප්‍රථම පුවත්පත් සාකච්ඡාව වැනිදෑ සමඟින් වාර්තාගත ලෙස වර්ධනය වී ඇති මව්බිම පුවත්පත ලංකාදීප තරමටම අලෙවියක් ඇතැයි පසුගිය දිනෙක සඳහන් විය.

එහෙත් ප්‍රශ්නය එය නොවේ. විශේෂයෙන් මව්බිම පුවත්පතේත් අනෙකුත් පුවත්පත්වල යම් තරමක් දුරටත් වර්ධනය වෙමින් පවතින එක් ප්‍රවනතාවයක් වන්නේ ජනතාවට අහිතකර මෙන්ම කිසිදු වැදගැන්මකට නොමැති පසුගාමී කට්ටඩි (මිත්‍යා) චින්තනය පැතිරවීමය. එක් එක් කලට මෙවැන් මාධ්‍ය රැලි ඇතිවන අතර මෙකල ඔවුන් "විකිණීමට" තෝරාගෙන ඇත්තේ උක්ත කාරණයයි.

"මැලේසියාවේ ස්වර්ණදත්ත යක්ෂයා ගුවනින් ඇවිත් රාමා හමුවේ"

"මෛත්‍රි බෝසත්හු ආනන්ද මෛත්‍රිය නා හිමියන් සමඟ ඉංගිරිසියෙන් කතා කරති"

"කාලි මෑණියන්ගේ අනාවරණ"


මේ හෙට දින පුවත්පතෙහි (දැනට බෙදාහල) ඇති සිරස්තල කිහිපයකි. මෙවන්දෑ සඳහා උනන්දුවක් දක්වන "අන්ධ" පාඨකයන් විශාල ප්‍රමාණයක් සිටින බව පෙනී යන්නේ පුවත්පතෙහි වර්ධනය දුටු විටය. එක්තරා ලේඛකයෙක්(මතකය නිවැරදි නම් අමුණුගොඩ තිලකරත්න මහතාය) පසුගිය කාලයේ ලක්බිම පුවත්පත මඟින්, ඒබ්‍රහම් ටී කොවූර් මහතා සිදුකල ගවේශන චාරිකා සටහන් කල අතර එහිදී නියමාකාරයෙන්ම මිත්‍යාවෙන්/අවිද්‍යාවෙන්, විද්‍යාව වෙන්කර පෙන්වීය. එහෙත් මෙහිදී එවැන්නක් සිදු නොවන අතර කවුරුන් හෝ යකැදුරෙකු, කට්ටඩියෙකු, කපු‍වකු හෝ මානසික රෝගියෙකුගේ ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නේ සත්‍ය අසත්‍යතාවය සොයා බැලීමෙන් තොරව බැව් පෙනීයයි. ඒ අතින් බැලූවිට තහනම් කලයුතු යැයි හඬනගන ගොසිප් වෙබ් අඩවි මීට වඩා ඉදිරියෙන් සිටී.

විකිණිය හැකි අනෙක නම් ගවේශනශීලී මාධ්‍ය කලාවයි. මගේ දැනුමේ හැටියට ගවේශනශීලී මාධ්‍ය කලාවේ ආරම්භකයා මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාය. සිඟන්නන්, ගණිකාවන්, ගැට කපන්නන් වැනි සමාජයේ ඇති අඳුරු පැතිකඩයන් ඔහු විසින් අනාවරණය කරන ලද්දේ තම ජීවිතයෙන් වසර ගනනක් කැප කරමිනි. එමෙන්ම බුදුන් වහන්සේ දේශනා කල චතුරාර්ය සත්‍ය මෙන්, අඳුරු සමාජයේ අයිතමයන්ද ඒවා ඇතිවීමට හේතුසාධකද ආදී වශයෙන් පූර්ණ විවරණයක්ද ඔහු විසින් ඉදිරිපත් කලේය. ඔහුගේ පරපුරේ වත්මන් මාධ්‍යවේදීන්(?) සිදුකරන්නේ ක්ෂණික ආප්ප ක්ෂණික නූඩ්ල්ස් මෙන් "එදාවේල" ගවේශනයන් බව පුවත්පත් වලින් පෙනීයයි. අද රුපියල් පන්සීයේ-දාහේ සිට ඉහලට යම් මුදලක් වියදම් කිරීමෙන් සොයාගත හැකි ගණිකාවක් සමඟ හෝ ගල් අරක්කු භාගයක් දීමෙන් සොයාගත හැකි සිඟන්නෙකු සමඟ පැය භාගයක් කතාබහ කලවිට පත්තර පිටුවක් "ගොඩදාගත" හැකි බව මෙම ලිපි කියවීමෙන් තේරුම්ගත හැකිය.

ඉතිහාසයේ සෑම කලෙකම අනෙකුත් මාධ්‍යන්ට සාපේක්ෂව මුද්‍රිත මාධ්‍යන් ඉදිරියෙන් සිටියහ. ඔවුන් ජනතාවට ඉදිරියෙන් සිට පෑන මෙහෙයවූහ. ඉල්ලුමට සැපයුම ම ලබාදීමේ සිල්ලර ක්‍රමය ඔවුන් තුල නොවීය. පූර්ණ නිදහසක් නොතිබුනද මාධ්‍යවේදීන්ට, සතුටුදායක අයුරින් පෑන භාවිතා කිරීමේ නිදහස ලබාදී තිබුනි. ඊට හේතුවක්ද තිබුනි. මාධ්‍ය හිමිකරුවන් ඒවා පවත්වාගෙන ගියේ ලාභය මුල්කොට ගෙනම නොව ආත්ම තෘප්තිය සඳහාය. මේ වනවිට මාධ්‍ය, ව්‍යාපාරයක් මට්ටමට පත්වී ඇති අතර මාධ්‍යවේදියාගේ පරාසය, කඹයෙන් බැඳ ඇති ගොනාගේ තණකෑමේ පරාසයේ සිට සෙක්කුවේ බැඳි ගොනාගේ තණකෑමේ පරාසය දක්වා අඩුවී ඇත.


Friday, July 6, 2012

මතු බුදුවන අපේ ආචාර්ය දෙයියා.

සාමාන්‍යයෙන් ලංකාවෙ විශ්ව විද්‍යාලයක දේශකයෙක් වෙනව කියන්නෙ තමන්ගෙ ඉගනීම හරියටම කරල එතනින්ම ගමන ආරම්භ කරන කෙනෙක්. ඒ වගේම අධ්‍යාපනය පැත්තෙන් හොඳ "මීටර්" තමයි මේ තැන්වලට එන්නෙ. ඒ වගේම මේකෙ තවත් පැත්තකුත් තියනව. විශ්ව විද්‍යාලය තුලදී දේශපාලනය සහ අනෙකුත් පොදු වැඩ කරන(කට තියන) උදවිය සාමාන්‍යයෙන් ඉගෙනීමෙන් ඉස්සරහට යන අවස්තා දුලබයි. වෙනත් විදියකට කියනව නම් "හොඳට විභාග පාස් කරන එවුන්" බොහෝවිට "පොත් ගුල්ලෝ". මේ නිසා ඇතිවන අනිවාර්ය ප්‍රතිඵලයක් තමයි විශ්ව විද්‍යාල ආචාර්යවරු දැනුම කොතරම් තිබුනත් ඉගැන්වීමේ හැකියාවෙ දුර්වල වීම. කලා විශය ධාරාවන් වල මේ තත්වය නැතත් විද්‍යා-ගණිත විශය ධාරාවන් වල මේ අවුල තදින්ම තියනව කියල මම දන්නෙ අත්දැකීමෙන්. මේ කියන්න යන්නෙ විශ්ව විද්‍යාලෙ ආචාර්යවරු ගැන මතකයන් ටිකක්.

මම විශ්ව විද්‍යාලයට යන අවස්තාව වෙනකොට කොම්පීතරයක් අල්ලල වත් තිබුනෙ නෑ. අපිට පලමු අවුරුද්දෙදි තිබුන මූලික පරිගණක පාඨමාලාවක්. කරුමෙකට වගේ මේකෙ දේශකයන් සහ උදව්වට හිටිය "ඩිමෝ"ල අපිට ඉගැන්නුවෙ අපි පරිගණක දැනුම පරතෙරටම ගියපු එවුන් කියල හිතාගෙන. පොඩ්ඩ වරදිනකොට මේ උදවිය කෑගහන්නෙ බාලාංශ පන්තියක වගේ.(මේකට විරුද්ධව අපි උද්ඝෝෂණයකුත් කලා). එක දවසක පාඩම උනේ "එම්එස් වර්ඩ්". ඉතිං අපේ ආචාර්යතුමත් ඇවිල්ල මොකක්දෝ කියල දෙනව. ඊට පස්සෙ මට කියනව අරක කරන්න මේක කරන්න කියල. මට මෙව්ව ග්‍රීක් වගේ. ඊට පස්සෙ ලඟ හිටිය එකෙක් "අන්ඩූ" ගැන කියල දුන්න. ඊට පස්සෙ මම කරන්නෙ ආචාර්යතුමා කියලදීල එහාට මෙහාට වෙන අතරේ අන්ඩූ කරල ගත්ත අයිටම් එකේ පොඩි වෙනසක් කරල පෙන්නන එකයි.

ආචාර්යවරු කිව්වම කටපුරා නම කියන්න පුළුවන් කෙනෙක් ඉන්නව. ඒ තමයි ආචාර්ය.......(අහවලා). අපි කියන්නෙ "දෙයිය" කියල. ගණිත අංශයේ උගන්වපු මෙතුමාට කවුරුවත් දොසක් කිව්වෙ නෑ. ළමයින් ගැන බොහොම කාරුණිකව බලපු කෙනෙක්. දේශනයේ අන්තිම දවසට හදන ගනන් කිහිපය "ලඟින් යන" ගනන් දෙක තුනක් විභාගයට එනවම තමයි. එක සැරයක් මමයි මගේ යාළුවෙක් වෙච්ච වාසෙයි ගියා මේ ආචාර්යතුමා මුනගැහෙන්න. විභාගෙ තියෙන්නෙ හෙට! කලින් දවසෙ දේශනයට නොගිය අපි එදා කියල දීපු ගනනක් අරගෙන‍ තේරුම්ගන්න උත්සාහ කලත් හරිගියේ නෑ. ඊට පස්සෙ පුස්තකාලයට ගිහිල්ල පොතක් අරගෙන පෙරලනකොට අහම්බෙන් වගේ දැක්ක ඒවගේ ගනනක්. ඒක ඉන්දියාවේ කේරලයේ කවුදෝ ලියපු සංඛ්‍යානය පොතක්. කලින් දවසෙ කියල දීල තියන ගනනම උස්සගෙන යන්න බැරිකමට අපි මේ ගනන කොල කෑල්ලක ලියාගෙන ගියා "දෙයිය" ලඟට. අපි යනකොට මෙන්න දෙයිය ඉන්නව කොරිඩෝවක මේසයක් පුටුවක් දාගෙන. මොනවදෝ කුරුටුගාපු අත් පිටපත් වගයකුත් තිබුන. අපි අතර ඇතිවුන කතාබහ මෙහෙමයි,

දෙයිය: ළමයි මොකද?
අපි: සර් මේ..... ගානක් අහගන්න.
දෙයිය: ෆස්ටියර්ද?
අපි: නෑ සර්,..... සෙකන්ඩියර්. (කෙහොමද අපි ගැන සර්ගෙ මතකය. දේශන වලට හොඳ සහභාගීත්වය තමයි)
දෙයිය: ආ..... හෙට නේද විභාගෙ. දැන්ද පාඩම් කරන්නෙ?(අත් පිටපත් ගොන්න පෙන්වමින්) මේ තියෙන්නෙ පේපර්එක. පුළුවන් නම් බලාගන්න.
අපි: හී..හී... මේ ගාන සර්.
දෙයිය: (පුදුමයෙන්) මේ ගාන ඔයාලට කොයින්ද?
අපි: සර් ඕක කේරලයේ අහවල් පොතේ අහවල් පිටුවෙ තිබුනෙ.

කතාව එතනින් ඉවරයි. ගාන හදන හැටි එතුමා යසට කියල දුන්න. පස්සෙ දවසෙ උදේ විභාගෙට ගිහිල්ල බලනකොට ඒ ගනන කිසිම වෙනසක් නැතුව මෙන්න ප්‍රශ්න පත්තරේ!

දෙවනි සිද්ධිය උනේ මගේ යාලුවො දෙන්නෙකුට. ඒ දවස්වල මොකක්දෝ විශයකට අදාලව ප්‍රොජෙක්ට් එකක් කරන්න තියනව. මේ ප්‍රොජෙක්ට් එකකට ළමයි දෙන්නෙක් ඉන්නව. සාමාන්‍යයෙන් හොඳට ඉගනගන්න කෙනෙක් සෙට්වුනොත් අනෙත් එකාත් ගොඩ. කරුමෙකට වගේ අපේ රූම් එකේම හිටිය එවුන් දෙන්නෙක් එකට සෙට්වුනා.(එකෙක් මගේ බයික්එක උස්සපු පාප මිත්‍රයා චන්දරේ. අ‍නිත් එකා පැය ගනනාවක් කලින් පන්තියකට ගිය බුරා!) නියමිත කාලෙ අවසන් උනත් එකෙක්වත් වැඩේට අතගැහුවෙ නෑ. කාලෙකට පස්සෙ දෙන්න සෙට්වුනා ආචාර්යතුමා ලඟට යන්න. කතාවුනේ මෙහෙමයි,

බුරා: මොනවද බං සර් ලඟට ගිහිල්ල කියන්නෙ?
චන්දරේ: මම ‍කියන්නං මෙහෙම. මම කියනව උඹලගෙ මල්ලි නැතිවුනා කියල. එයා හොයන්න ගිය නිසා පරක්කු උනා කියමු.
බුරා: හා!

ඔන්න දෙන්න ගියා ආචාර්යතුමා ලඟට. ඊට පස්සෙ කතාව මෙහෙමයි.

ආචාර්යතුමා: ආ..... ඔයාල එනකං තමයි මම හිටියෙ. ඇයි ප්‍රොජෙක්ට්එක කරන්නෙ නැත්තෙ. ඔය දෙන්න විතරයි භාරදීල නැත්තෙ.
බුරා: සර් මෙයාගෙ මල්ලි නැතිවුනා ඒකයි පරක්කු උනේ.
ආචාර්යතුමා: මල්ලි මොනව වෙලාද නැතිවුනේ.
බුරා: නෑ සර් නැතිවුනා කිව්වෙ ගෙදරින් ගිහිල්ල. එයාට පොඩි මොලේ අප්සට් ගතියක් තිබ්බ. ඒකයි.
ආචාර්යතුමා: හා.... එහෙනං ඉක්මනට ප්‍රොජෙක්ට් එක කරල භාරදෙන්න.

චන්දරේ හදපු බොරුව බුරා අයිති කරගත්තෙ එහෙමයි. පස්සෙදවසක ආයෙත් දෙන්න යනව ආචාර්යතුමා මුනගැහෙන්න. ප්‍රොජෙක්ට් එකේ ගැටළුවක්. යනකොට ආචාර්යවරු දෙන්නෙක්ම ඉන්නව. ගැටළුව ලිහාගන්න බැරුව දෙන්න තර්ක කරනව සූත්‍රලියනව වැඩ කෝටියයි. අන්තිමට ඒ දෙන්නම ප්‍රොජෙක්ට්එක ගොඩදැම්ම. යාලුවන්ට තිබුනෙ "බලා ලිවිල්ලක්" විතරයි.

ඊලඟ කතාව අපේ තවත් ආචාර්යතුමෙක් ගැන. මෙයාගෙ තියන විශේෂත්වය තමයි කියන කිසිම දෙයක් පැහැදිලි නැති වීම. වොයිස්එක හෙනම අවුල්. දවසක් දේශනය අතරේ ශාලාවෙ පිටුපසට අත දික්කරල කියල තියෙන්නෙ,

"හ්ව්ලිමරදන්ග්"

මේක අහපු පිටිපස්සෙ හිටිය එකෙක් නැඟිටල ගිහිල්ල ඇරෙමින් වැහෙමින් තිබුන දොර වහල ආව. ඒත් ආචාර්යතුමා අහල තියෙන්නෙ

"ඔය පිටිපස්සෙ ඉන්න අයට ඇහෙනවද" කියන එක.

අන්තිම සිද්ධිය උනේ අපේ සීනියර් බැච්එකේ අයියල දෙන්නෙකුට. මේ දෙන්නට කාලෙකට පස්සෙ අදහසක් පහලවෙලා ලෙක්චර් එකකට යන්න. දෙන්න එක්ක ගිහිල්ල තියෙන්නෙ විනාඩියක් දෙකක් පරන්‍ක්කු වෙලා. යනකොට දොර වහල තියනවලු. කෝකටත් කියල දොරේ අගුල කැරකුවලු. ම්හු! ඇරෙන්නෙ නෑ. මේ අතරේ දේශනය කරන ආචාර්යවරිය අනිත් දොරෙන් එන්න කියල සඥා කලා. ඇතුලට ආවම කතාබහ මෙහෙමයි.

ආචාර්යවරිය: ඔය දෙන්න අන්තිමට ලෙක්චර් ආව දවස මතකද?
අයියල: ........
ආචාර්යවරිය: ඔය දොර, ඔය විදියට වහල තියෙන්නෙ ගිය අවුරුද්දෙ ඉඳල.

Wednesday, July 4, 2012

දෙබස්.

"ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකක්ද?"
"එකොලහ වසරෙ උගන්නපු විදියටම, තමංගෙ හැරමිටිය අනෙකාගේ නාසයේ කෙලවර දක්වා වනන්න තියන අයිතියනෙ"
"එතකොට මාධ්‍ය නිදහස, අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය?"
"ඒවත් අරක ඇතුලෙම තියන අයිටම් තමයි"
"එතකොට රැස්වීම් වලට වෙඩි තියන්නෙ, මාධ්‍යවේදීන්ට ගහන්නෙ?"
"ඒව සුළු සිද්ධීන්. හරිම සරළව පැහැදිලි කරන්න පුළුවන්".
"ඒ කිව්වෙ?"
"නහය අගටම හැරමිටිය වනන්න පුළුවන් උනාට කාටද හරියටම ඕක ගෙස් කරල වනන්න පුළුවන්? ඉඳල හිටල නහයේ වදිනව. ඒක වලක්වන්න බෑ"
"එතකොට ඒකද සමහරු ඔළු පලාගෙන ඉන්නෙ?"
"හරියට හරි. ඔය තේරුනේ"
"එතකොට වෙඩි තියන්නෙ දැලිපිහි පාරවල් අතුල්ලන්නෙ?"
"ඒකත් අරවගේමයි. නහය ලඟින් යන්න තියන වෙඩිනෙ ඔය වදින්නෙ. දැලිපිහිය අතේ තියාගෙන අත වනද්දි වැරදිලා ඇ‍ඟේ වදිනව"
"එතකොට වෙබ් අඩවි තහනම?"
"ඔය ඔක්කොම වෙන වෙනම පැහැදිලි කරන්න වෙලාවක් නෑ. පොදු සූත්‍රයට දැම්මම උත්තරේ ගත්තෑකි"

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * ** * * * * * * * * * * * * * * * *

"විධායක ජනාධිපති ක්‍රමේ අවුල් නේද?"
"එක්කෙනෙකුට බලය දුන්නම අවුල් තමයි".
"මේක නැතිකරන්න බැරිද?"
"පුළුවන්".
"ඒ කොහොමද?"
"ක්‍රම දෙකක් තියනව. එකක් තමයි කවුරුත් ඉදිරිපත් නොවීම. අනිත්එක දිනන කෙනා මුල්වෙලා අහෝසි කිරීම, දෙවනි එක කවදාවත් වෙන්නෙ නෑ".
"ඒ මොකද?"
"කවුද බලයට අකමැති? හැබැයි ජේආර් මහත්තය ඕකෙ මෙහෙම දෙයක් ඇතුලත් කරල තිබුනනං පළමු එක වෙන්න තිබුන."
"මොකද්ද?"
"විධායක ජනාධිපතිතුමාට අන්ත:පුරයක් නීත්‍යානුකූලව හිමිය කියල වාක්‍යයක් තිබුනනං හරි"
"එතකොට?"
"එතකොට ඔය තනතුරට කොච්චර ආසාව තිබුන උනත් ගෙදර උන්දැලගෙන් ඉඩක් ලැබෙන්නෙ නෑනේ".

Sunday, July 1, 2012

දීකිරට සාක්කි කියන (ටුබැකෝ) බළල්ලු!

"මං කියෙව්ව පොතක තිබුන කෝක් බොනඑක හෙඳ නෑ කියල."
"ඉතිං?"
"මං කෝක් බීම අත්හැරිය"
"සීනි වැඩිපුර කනඑක හොඳනෑ කියල දැක්කම ඒකත් අත්හැරිය"
"සිගරට් බොනඑක හොඳනෑ කියලත් තිබුන"
"ඉතිං අත්හැරියද?"
"ඔව්"
"එහෙනං බොන්නෙ?"
"නෑ, අත්හැරියෙ පොත් කියවිල්ල!"
:-)

*********************************************************************

"පුතා, පුතා දන්නවද සිගරට් වල මිලෙන් සීයට අනූවක්ම යන්නෙ පිටරටට. ඇයි අපි අපේ සල්ලි පිටරටට ඇදිල යන්න ඉඩ දෙන්නෙ? සිගරට් වලට ඇදිල යන අපේ සල්ලි පිටරටට යනඑක නැවැත්වීමයි මේ සැරේ අපේ සමෘද්ධි සමිතියෙ තේමාව"
"oආ... ඇත්තද?"
"ඔව් ඇත්ත තමයි"
"එතකොට කසිප්පු පෙරන්නෙ අපේ මිනිස්සු, එවට ගන්න සීනිත් අපේ. ටිකුනන්නෙත් අපේ අය. කසිප්පු ටිකක් බිව්වට කමක් නැද්ද? ගංජත් එහෙමයි ඒකත් කමක් නැද්ද?"
:-(
(සත්‍ය සිද්ධියකි)

*********************************************************************

"උඹ දන්නවද මේ මදුරු කොයිල් එකක් කොච්චර විසද කියල?"
"නෑ"
"එක මදුරු කොයිල් එකක් පත්තු කරගෙන රැයක් නිදාගන්නව කියන්නෙ සිගරට් හැත්තෑ ගනනක් බිව්වට සමානයිලු"
"අම්මට සිරි! එහෙමද"
"ඔව්"
"එහෙනං අවුලක් නෑ"
"ඇයි?"
"නෑ මං සිගරට් බිව්වට මදුරු කොයිල් පත්තු කරගෙන නිඳාගන්නෙ නෑනෙ!"
:-)

*********************************************************************

"සිගරට් එකක් බොනකොට සීයට තිහයිලු ඒක බොන එකාට යන්නෙ. දුමෙන් සීයට හැත්තෑවක් යන්නෙ එලියට!"
"ඉතිං?"
"දැං බලපං, උඹේ සිගරට්එක නිසා වැඩියෙන් හානි වෙන්නෙ මට"
"හරි, එහෙනං උඹ මේක බීපං. එතකොට උඹට සීයට තිහයි මට හැත්තෑවයි. එහෙම හොඳයිනේ? :-)"
:-(

*********************************************************************

"උඹ අවසකට සිගරට් කීයක් බොනවද?"
"8ක් 10ක්"
"හරි අපි හිතමු දවසකට සිගරට් 10ක් බිව්ව කියල, එතකොට දහයෙ ඒව විස්සක් දෙසීයි. දවසකට දෙසීයයි"
"ඉතිං?"
"මාසෙකට රුපියල් හයදාහයි, අවුරුද්දකට රුපියල් හැත්ත දෙදාහයි, අවුරුදු දහයකට හත්ලක්ෂ විසිදාහක් පුච්චල තියනව"
"හරි ඉතිං?"
"දැං බලපං උඹ සිගරටි නොබී හිටියනං ඒ සල්ලි වලින් උඹට කාර් එකක් ගන්න තිබුන නේද?"
"හරි! දැං උඹ සිගරට් බොන්නෙ නෑනේ, ඒත් ඉතිං උඹ කාර් අරගෙන තියනවද? උඹටත් කාර් එකක් නෑනේ :-)"
:-(


*********************************************************************
මෙම කතක්දර හුදෙක් හාස්‍ය රසය පමණක් අරමුණුකොටගෙන ලියන ලදී. දුම්බීම ශරීරයට අහිතකරය. පිළිකා, හෘදය ආබාධ, ලිංගික දුබලතා සඳහාද හේතුවේ.