Thursday, December 8, 2011

කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇතිකිරීමට නම්.

රාජ්‍ය සේවය පිළිබද ලිපි ගනනාවක් ලිවීමට සිතේ තිබුනත් එන්න එන්නම ප්‍රමාද වූයේ රාජකාරී බහුලවීම නිසා වුවත් දුකාට පොරොන්දු වූ පරිදි කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සදහා ගතයුත්තේ කුමන ක්‍රියාමාර්ගදැයි සාකච්ඡා කිරීම මෙහි පරමාර්ථයයි.

කෙසේ වුවද දුකා සදහන් කල පරිදි අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇතිවීමට ප්‍රධාන හේතුව ප්‍රවාහන ප්‍රශ්න නොවේ. හේතු අනුපිලිවෙලින් සටහන් කලහොත් ප්‍රවාහනය යන කාරණය ඉතාමත් පහලට පැමිණෙනු ඇත.

මාගේ අත්දැකීම් අනුව අකාර්යක්ෂමතාවයට ප්‍රධාන හේතු හතරක් දැක්වියහැකිය.

01. සියලු මට්ටම් වල අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන්.

02. රාජ්‍ය සේවයට සම්බන්ධ කාර්යන්වල පවතින සංකීර්ණ ස්වභාවය.

03. මහජනතාවගේ(පාරිභෝගිකයන්ගේ)නොදැනුවත් ස්වභාවය.

04. කාර්යක්ෂමතාවය සදහා රාජ්‍ය මැදිහත්වීම ප්‍රමාණවත් නොවීම.

දැන් එක් එක් හේතු වෙනවෙනම සලකාබලමු.

සියලු මට්ටම් වල අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන්.

අකාර්යක්ෂම රාජ්‍යසේවයේ මූලය අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන් බව අවිවාදිතය. රාජ්‍ය සේවකයන් මෙසේ වීමට හේතු ඕනෑතරම් දැක්වියහැකි වුවත් "පෙරකල පුරුදු කරගෙන පැමිණිලෙස" රාජකාරී කිරීම ඉන් පළමුවැන්නයි. අන් සියළු කාරණා ඊට පහලින් පිහිටන ඒවා බව මගේ හැගීමයි.

උදාහරණයක් වශයෙන් පාසල් අධ්‍යාපනය හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කල සැනින් රාජ්‍ය සේවයට පැමිණෙන තරුණ නිලධාරියෙකු සලකා බලමු. ඔහුට රැකියාවට පැමිණ කාර්යක්ෂමව වැඩකලහැකි වුවත් එසේ සිදුවේද? නැත. ඔහුට ඉහලින් හෝ පහලින් සිටින නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවයේ-වේගයේ තරමට ඔහුට හැඩගැසීමට සිදුවීම සාමාන්‍ය සංසිද්ධිය වේ. කාර්යාලයක් යනු සාමූහික වගකීමක් ඇති ස්ථානයක් වන අතර එක් අයෙකුට පමණක් "පවතින තත්වය" වෙනස් කිරීම ඉතා අසීරුය. මීට ප්‍රතිවිරුද්ධ පැත්ත සිදුවන පෞද්ගලික අංශය සැලකුවහොත්, එහිදී නවක නිලධාරියෙකුට දක්නට ලැබෙන්නේ කාර්යක්ෂම වෘත්තීය සගයන් පිරිසකි. එහිදී ඔහු ඊට අනුගතවීම නිරායාසයෙන් සිදුවන්නකි.

"රාජ්‍ය සේවයේ ගලායන ප්‍රවාහයට එරෙහිව උඩුගං බලා පිහිනීමෙන් ඉතිරි වන්නේ මහන්සිය පමණි"

මෙම අකාර්යක්ෂමතාවයට හේතු ලෙස විවිධ හේතූක් දැක්වුවද ඒවා එතරම් පිළිගතහැකි මට්ටමේ හේතු නොවේ. උදාහරණ ලෙස වැටුප් වැඩි නොවීම ආදිය ගෙනහැර දැක්වුවද එය එතරම් සාධාරණ තර්කයක් නොවන බව ඉදිරියේදී පැහැදිලි කරමි.

මෙහි දෙවැන්න නම් රාජ්‍ය සේවයට සම්බන්ධ කාර්යන්වල පවතින සංකීර්ණ ස්වභාවයයි. වඩාත් පැහැදිලි කලහොත් රාජ්‍ය හා පෞද්ගලික අංශයන් මගින් ඉටුකරන කාර්යන් සංකීර්ණත්වය අනුව පෙළගස්වන්නේ නම් වඩා වගකීම් සහිත කාර්යන් ඇත්තේ රාජ්‍ය අංශයේය. මේ සමග බැදී ඇති අණපනත් නීති රෙගුලාසි වලට යටත්ව අදාල සේවය ඉටුකරදීමේදී සේවකයන් හා පාරිභොගිකයන් යන දෙපක්ෂයම අපහසුතාවයට පත්වීම නොවැලැක්වියහැකි සංසිද්ධියකි. පසුගිය සමයේ ගංවතුර පැමිණ ජනතාව අපහසුතාවයට පත්වීම ඔබට මතක ඇතැයි සිතමි. ඒ අවස්ථාවේදී ජනතාව අමතමින් ජනාධිපතිතුමා පැවසුවේ "ජනතාව අපහසුතාවයට පත්ව ඇති මේ අවස්ථාවේ ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි සංග්‍රහය ආදියේ කුමක් තිබනද ඒ ගැන නොසිතා අපහසුතාවයට පත්වූ ජනතාවට පිහිටවන්න" යනුවෙනි. එහෙත් අවස්ථාව කුමක් වුවද නීතිරීති වලට පිටින් කටයුතු කිරීම විගණන විමසුම් වලට පිළිතුරු සැපයීමේ සිට රැකියාවෙන් එළියට යාමට සිදුවීම දක්වා වන දඩුවමට ලක්වීමට හේතුවක් බව දන්නෝ රාජ්‍ය සේවකයෝය.

අකාර්යක්ෂමතාවයට බලපාන අනෙක් කාරණාව වන්නේ සේවයක් අපේක්ෂාවෙන් පැමිණෙන ජනතාවගේ නොදැනුවත්කමයි. මෙය එතරම් කතාබහට ලක් නොවුවද සෘජුවම මහජනතාව සමග කෙරෙන රාජකාරී හා සම්බන්ධවී ඇති මා හට මේ සම්බන්ධ අත්දැකීම් ඕනෑවට වඩා ඇත. සේවාවන් ලබාගැනීම සම්බන්ධයෙන් මෙ වනවිට යම් යම් උපදෙස් ලබාගැනීමට විධික්‍රම සලසා තිබුනද සේවාදායකයන් ඒවායෙන් ප්‍රයෝජනයක් ලබාගන්නා බවක් නොපෙනේ. උදාහරණයක් වශයෙන් 1919 ඇමතීමෙන් රාජ්‍ය සේවාවන් පිළිබදව හා රාජ්‍ය ආයතනවල දුරකථන අංක ලබාගත හැකි වුවද එයින් ප්‍රයෝජන ගන්නේ කීයෙන් කීදෙනෙක්දැයි වැටහෙන්නේ ඔවුන් කිසිදු දැනුවත් වීමක් නොලබා කාර්යාල වලට පැමිණීමෙනි. අවසානයේ සිදුවන්නේ සේවයක් අපේක්ෂාවෙන් පැමිණෙන්නා රස්තියාදු වී සමස්ථ රාජ්‍ය සේවය පිළිබදව අයහපත් හැගීමක් ඇතිකරගැනීම පමනි.

අවසාන කරුණ වශයෙන් දක්වතත් කාර්යක්ෂමතාවය සදහා රාජ්‍ය මැදිහත්වීම ප්‍රමාණවත් නොවීම යන කාරණාවද සැලකියයුතු මට්ටමින් දීර්ඝව සාකච්ඡා කලහැකි මාතෘකාවකි. විශේෂයෙන්ම දක්ෂ තරුණ කොටස් රාජ්‍ය සේවයෙන් ඈත්වීමට රාජ්‍ය සේවක වැටුප් ප්‍රශ්නය විසදීම රජයේ වගකීම වේ. එසේ නොවුවහොත් විශේෂයෙන්ම පිරිමි අයවලුන් අවම වීම තුල රාජ්‍ය සේවය මීට වඩා පිරිහීමකට ලක්වීමට අනාගතයේ ඉඩ ඇත. රාජ්‍ය මැදිහත්වීම ලබාදියයුතු අනෙක් අංශය වන්නේ නව තාක්ෂණය හදුන්වාදීම තුලින් කාර්යක්ෂමතාවය ඇතිකිරීමයි. විශේෂයෙන් තොරතුරු තාක්ෂණය සම්බන්ධ කරගන්නා අංශයන් ඇත්තේ අල්ප වශයෙනි.

එක් එක් අමාත්‍යංශයන් යටතේ ඇති රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාවයන් අතර ඇත්තේද විෂම ස්වභාවයකි. උදාහරණයක් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආදියේ ඇති කාර්යක්ෂමතාවයෙන් අඩක්වත් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති අධ්‍යාපන හා පළාත් අධ්‍යාපන කාර්යාල වල නොමැත. අප කාර්යාලවල ඇති පරිගණක යන්ත්‍ර ඇගිලි සලකුණු කිරීමේ යන්ත්‍ර ආදිය කිසිවක් බොහෝ කාර්යාලවල නොමැති අතර සේවකයන්ට ලබාදෙන පුහුණු වැඩසටහන් ආදියද නොගිණියහැකි තරම් අවම තත්වයේ පවතී.

ලිපිය දිර්ඝ වනබැවින් අකාර්යක්ෂමතාවය ඇතිවන ආකාර පිළිබදව විස්තර කිරීම නවතා කාර්යක්ෂමතාවය වැඩිකිරීමට ගතහැකි ක්‍රියාමාර්ග සලකා බලමු.

මා ඉහත සදහන් කල 02, 03, 04 යන අකාර්යක්ෂමතාවයන්ට හේතුසාධක වලට පිළියම් ලෙස කලහැකි දේ, ඒ තුලම ඇති බැවින් විස්තර නොකරමි.

අංක 01 වන ප්‍රධාන කරුණ වන අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන් පිලිබද ප්‍රශ්නයට විසදුම් ලෙස මා යෝජනා කරන්නේ මෙවැන්නකි.

රාජ්‍ය සේවය තුල වැඩ ඒකක ක්‍රමයක් ඇතිකිරීම හෙවත් උපයන ප්‍රමාණයට ගෙවීම.

මෙහිදී එක් එක් නිලධාරියාගේ වර්තමාන රාජකාරී ලැයිස්තුව තෝරාගෙන එහි ඇති එක් එක් විෂයන්ට අදාලව වටිනාකමක් ලබාදෙයි. උදාහරණයක් වශයෙන් මාගේ රාජකාරී ලයිස්තුව සැලකුවහොත් එහි ඇති ප්‍රධාන විෂයයන් වනුයේ "මාසික බැංකු සැසදුම පිලියෙල කිරීම", "අත්තිකාරම් ගිණුම", "යන්ත්‍රෝපකරණ අළුත්වැඩියාව" ... යනාදියයි. මෙහිදී රාජකාරියේ වැයකල යුතු ශක්ති ප්‍රමාණය අනුව ඊට අදාල වටිනාකම මෙසේ ලබාදිය හැකිය.

මාසික බැංකු සැසදුම පිලියෙල කිරීම = 1

අත්තිකාරම් ගිණුම = 4

යන්ත්‍රෝපකරණ අළුත්වැඩියාව = 1

මෙවිට මා කරන කාර්ය ප්‍රමාණය ඒකක 6කි. මෙසේ යම් කාර්යාලයකට අයත් සියලුම රාජකාරී එහි නිලධාරීන් අතර සමසේ බෙදාදිය යුතු අතර නිලධාරියෙකු විශ්‍රාම ලබන විට ඔහුගේ ඒකක ප්‍රමාණය කැමැත්තෙන් භාරගන්නා අයවළුන්ට ඒකකයකට හිමි යම් මුදලක් ලබාදියයුතුය. මේ ක්‍රමය අනුගමනය කිරීමෙන් වසර කිහිපයකදී රාජ්‍ය සේවකයන් ප්‍රමාණය සෑහෙන ප්‍රතිශතයකින් අඩුකරගතහැකි අතර කාර්යක්ෂමතාවය වැඩිවීම මෙන්ම සේවක වැටුප්ද වැඩිවීම සිදුවේ. (මෙම ක්‍රමය තුලින් 20% පමන ප්‍රතිශතයකින් රාජ්‍ය සේවකයන් අඩුකලහැකි බවද මේ ක්‍රමයට රාජ්‍ය සේවකයන් කැමතිවන බවටද සෑහෙන විශ්වාසයක් මා තුල ඇත)

2001 වර්ෂයේ පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව රාජ්‍ය සේවක බදවාගැනීම තාවකාලික නවතාදැමුවද ඒ සමග සිදුවූ විශ්‍රාම වැටුප් කප්පාදුව හා කාර්යක්ෂමතාවය සදහා වෙනමම වැඩපිලිවෙලක් ඉදිරිපත් නොකිරීම නිසා එය අසාර්ථක විය(සේවක අප්‍රසාදයටද ලක්විය).

සාර්ථක සහ ඵලදායී රාජ්‍ය සේවයක් ක්‍රියාත්මක වේ නම් මා ඉහත සදහන් කල ප්‍රතිශතයකින් සේවකයන් අඩුවීම අනිවාර්ය ප්‍රතිපලයක් වන අතර එය "ආණ්ඩු පවත්වාගෙන යාම සදහා රාජ්‍ය සේවයේ රැකියා ලබාදීම" යන කාරණය සමග ඝට්ටනය වීම අනිවාර්ය වේ. එබැවින් මෙය ප්‍රතිපත්තියක් ලෙස සකස් කලයුතු අතර ආණ්ඩු මාරුවුවද නොවෙනස් වියයුතුය.

Monday, December 5, 2011

ප්‍රවාහන ඇමතිතුමාට චෝදනාවක් සහ යෝජනාවක්.

පසුගිය දින කිහිපයේදී වැඩිපුරම කාලය ගතකලේ කාර්යාලයේ හෝ නිවසේ නොව පාරේය. පැහැදිලිවම කිවහොත් පෞද්ගලික බස්රථ තුලය. බසයේ යාමට වැඩි කැමැත්තක් නැතත් අධික වර්ෂාව නිසා යතුරු පැදියේ ගමනටද බාධා ඇතිවේ. දුරගමන් සේවා බස් රථ වලින් කොළඹ සිට නිවසටත් නිවසේ සිට කොළඹටත් කිහිප විටක් ගමන් කිරීමේදී ලැබූ අත්දැකීම් මෙසේ සටහන් කරමි.

ඩීසල් මිල කීයකින් හෝ වැඩිවූ විට බස් ගාස්තු ඉහල දැමීමට කැසකවන පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඇතුළු නඩය කුමක් සදහන් කලද ප්‍රවාහන සේවය පෞද්ගලික අංශයට විවෘත කලදා පටන් මේ දක්වා එහි ගුණාත්මක භාවයේ කිසිදු වෙනසක් සිදුවී නොමැත. අර්ධසුඛෝපභෝගී යයි කියා සාමාන්‍ය බස් ගාස්තුව මෙන් එකහමාරක් පමණ ගාස්තු වැඩිකල බස් රථවල ඇති තිර රෙදිත් ඒවාට සවිකර තිබූ කැසට් යන්ත්‍ර වෙනුවට අලුතින් සවිකර ඇති විවිධ වර්ගවල ගීත ධාවකයන් හැරුණු විට ඇගට දැනෙන වෙනසක් සිදුවී නොමැත. ආසන දෙකක් අතර ඇති පරතරය කොතරම් අඩුකර ඇත්දැයි කිවහොත් අඩි පහමාරකට වඩා උස අයෙකු වාඩිවුවහොත් කකුල් තබාගැනීමට සිදුවන්නේ එලියේය. බස්රථය තුල දුම්පානය තහනම් වන්නේ මගීන්ට පමණි. රියදුරු, කොන්දොස්තර සහ පාපුවරුවේ යන අමතර සහයකයින්ට දුම්පානය කිරීමට කිසිදු තහණමක් නැත. මා මේ පිළිබදව එක් රියදුරෙකුගෙන් ප්‍රශ්න කලවිට ඔහුගේ පිළිතුර වූයේ "රෑට යනකොට නිදිමත වෙනවා අයියා" යන්නයි. දුම්පානය නොකර රිය පැදවීමට අපහසු උදවියට පොදු ප්‍රවාහනයේදී පැදවීමේ බලපත්‍ර නොදිය යුතුය. මක්නිසාද ඔවුන්ගේ නිදිමත වෙනුවෙන් මගීන්ට ලෙඩවීමට නොහැකි බැවිනි.

දුරගමන්සේවා බස්වල අනෙක් ප්‍රධාන ගැටළුව ආහාරපාන ලබාගන්නා ස්ථානයන් පිළිබදවය. කොළඹ සිට මාතර, තංගල්ල සහ කතරගම බලා ගමන්කරන බස්රථ නවත්වන ස්ථාන කිහිපයක් පිහිටා ඇත්තේ අම්බලන්ගොඩ ඉදුරුව යන ප්‍රදේශයන්හිය. මේවායේ බස්රථ නැවැත්වීමට ඇති එකම සුදුසුකම වන්නේ රියදුරුට හා කොන්දොස්තරට යහමින් සලකන ස්ථානයන් වීම පමණි.(මේ පිලිබදව මාරයාගේ හෝරාවේ බස්පළුවන්ගේ කතා වලින්ද විස්තර කර තිබු බව මතකය) නොමිලේ ලැබෙන කෑමබීම වලට අමතරව(කෑම ටිකක් දීමෙහි වරදක් නැත) දුම්වැටි පමණක් නොව ගංජාවලින්ද සංතර්පනය කර අවසානයේ අතට කීයක් හෝ මුදලක්ද දීමට මගීන් ඉස්තරම් අයුරින් සූරාකෑම කලයුතුය. කෑමට බිමට ඇති සියළුම ආහාර අයිතමයන්ගේ මිල "රවුම් කර" ඇත්තේ එබැවින් වියයුතුය. බොහෝ කෑම වර්ග රුපියල් හතලිහකට වඩා වැඩි අතර තේ එකක් සදහා රුපියල් පහලවක් හෝ විස්සක් අයකරයි. අවසානයේ බලහත්කාරයෙන් "ඇගේ ගසන" ටොපි, චුවිංගම් වැනිදෑද රැගෙන ඒමට අසරණ මගියාට සිදුවේ. මෙම ස්ථානවල ඇති අනෙකුත් පහසුකම් ගැනද කථා කිරීමට දෙයක් නැත. කාන්තාවකට පාවිච්චිකල හැකි වැසිකිළියක් හෝ නොමැති අතර පිරිමි පාර්ශවයට නම් ඇත්තේ මුහුදු සුලං වදිමින් වෙරළේසිට අවශ්‍යතාවය ඉටුකර ගැනීමටයි. මේවා ගැන ගැමුණු විජේරත්න තබා මේ විෂයෙන් හොදට "පදම් වී" ඇතැයි තමාම කියාගන්නා කුමාර වෙල්ගම ඇමතිවරයා හෝ සීබී රත්නායක ඇමතිවරයාවත් පාරිභෝගිකයා පිළිබද අපමණ අනුකම්පාවකින් කටයුතු කරන එම විෂය භාර ඇමතිවරයාවත් කතා නොකරයි.

මේ නිසා ජනතාවට ආදරය ඇති ඉහත ඇමතිවරුන් තිදෙනාටම මෙවැනි යෝජනාවක් කරනු කැමැත්තෙමි.

හිතවත් ඇමතිතුමන්ලා වෙත,
පුළුවන්නම් මගේ මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න.

කරන්න තියෙන්නෙ මෙච්චරයි ගාලු පාර අයිනේ අම්බලංගොඩ හරියේ තියන ආණ්ඩුවෙ ඉඩමක හදන්න ගොඩනැගිල්ලක්. එක සැරේකට බස් තුනක් හතරක් පාක් කරන්න පුළුවන් ඉඩකඩ පිටත තියන විදියටත් ඒවායේ සෙනගට ඇතුලට ඇවිල්ල තේ එකක් බොන්න කෑම එකක් කන්න පුළුවන් විදියටත්. මීට අමතරව මෙතෙන්ට ඕන අඩුම ගානෙ බේකරියක් සහ කැත නැතුව යන්න පුළුවන් වැසිකිළි පද්ධතියක්.

හදල ඉවර උනාම විකල්ප දෙකක් තියනවා ඔබතුමාට.

එකක් තමයි සේවකයන් හත් අටදෙනෙක් මෙතෙන්ට දාල වැඩේ කරගෙනයන එක. එතකොට රස්සාවල් කීපයකුත් ඇතිවෙනවා. ආරම්භයක් වශයෙන් භාණ්ඩාගාරෙන් අත්තිකාරමක් ගන්නත් පුළුවන්නේ. (අත්තිකාරම් අරගෙන කරගෙනයන බේකරියක් අංගොඩ මාණසික රෝහලේත් තිබුන කලකට ඉස්සර). ඒ වැඩේ පාඩුයි කියල හිතනව නං දෙන්න පෞද්ගලික අංශෙට. එයාල හරියට කරගෙන යයි. මොකද අනිවාර්යෙන්ම ලාභ ලබන්න පුළුවන් තැනක්නේ.

කාට දුන්නත් මිල පාලනයක් තියෙන්න ඕන. සහන මිලට දෙන්න කියල අපි ඉල්ලන්නෙ නෑ. හැබැයි මගීන්ව ගසා කන්න ඉඩදෙන්න එපා. අනිත් කාරනාව මේ රූට් එකේ යන දුරගමන් බස් නැවැත්විය හැකි එකම ස්ථානය මෙතන පමණක්ම වෙන්න ඕන. ඒකට නීතිරීති ගේන්නත් වෙයි. ඒත් 2/3ක් තියන එකේ ඔච්චර දෙයක්වත් බැරිනං වැඩක් නෑනෙ!

Friday, December 2, 2011

ඩේලිගහනවද? පරිස්සමින්! (බෙබාලට විශේෂයි අන්අයටද තහනමක් නැත)

මේ දිනපතා මත්පැන් පානය කරන්නන්ට අසුභ ආරංචියක් ගැනය. ප්‍රථමයෙන්ම ඊට ප්‍රස්තුත වූ සිද්ධිය පවසන්නම්. මගේ යහළුවෙකු දන්නා කියන මිණිසෙකු ඔහුගේ ගමේ වෙසෙයි. ඔහු ලගදී එම ගමට පැමිණි දෙමළ ජාතිකයෙකි. වැඩපල කිරීමට දක්ෂ ඔහු පාළු ඉඩමක පිහිටි කුඩා හිස් නිවසක නැවතී සිටින අතර දින කිහිපයක් එකම ස්ථානයක වැඩ කරයිනම් ඒ ඒ නිවෙස්වල නැවතී සිටිමින් දිවි ගෙවයි. කුලී වැඩ කිරීමෙන් ලැබෙන මුදලින් කෑමක් බීමක් ගැනීම හැරුනුවිට ඔහු කරන්නේ මත්පැන් පානය කිරීමයි(මෙහි මත්පැන් යනු අරක්කු නොව කසිප්පුය).

දිනක් මධ්‍යම රාත්‍රියේ මේ පුද්ගලයා යහළුවාගේ නිවසට පැමිණෙන්නේ තමා නිවසේ සිටිනවිට අවි ආයුධ රැගත් පිරිසක් තමා මැරීමට පැමිණි බවත් ඔවුන්ට හසුවීමට කලින් පැනආ බවත්ය. මෙහි සත්‍ය අසත්‍ය තාවය සෙවීම පසෙකලා මිත්‍රයා ඔහුට නිදාගැනීමේ අවස්ථාව සලසා දුන් අතර ඉන් පසුවද, යම් ශබ්දයක් ඇසුනවිට මොහු බියපතු වූ බවත් ඔහු මා සමග පැවසීය. කෙසේ වුවද එදින ඔහු බීමතින් නොසිට ඇත. පසුදින අදාල ප්‍රදේශය පරීක්ෂාකර බැලුවද කිසිවකු පැමිණි සළකුණක් නොතිබූ බවත් මා මිතුරා ප්‍රකාශ කලේය. ඔහු එම සිද්ධිය තවත් අයෙකුට ප්‍රකාශ කලවිට එම පුද්ගලයා පැවසුවේ බීමත්ව නොසිට නින්දට යන දිනවලදී ඔහුටද එවැනිදෑ පෙනෙන බවත් මෙම සිද්ධියද එවැන්නක් වියහැකි බවත්ය.(දෙවනුව සදහන් කල තැනැත්තාද අධිකව මත්පැන් පානය කරන්නෙකි).

මේ සිද්ධියෙන් පසු මා කලේ මෙලෙස අධික ලෙස මත්පැන් පානය කරන්නන් කිහිපදෙනෙකුගෙන් මෙවැනි තත්වයක් ඇතිවිය හැකිදැයි විමසීමය.

ලැබුනු ප්‍රථිපල අනුව එය සත්‍යබව පෙනිනි. මා දටදෙනෙකුගෙන් පමන විමසීම් කල අතර ඉන් හයදෙනෙකු පමන ප්‍රකාශ කලේ සාමාන්‍ය තත්වයෙන් බැහැරව බීමතින් නොසිටින රාත්‍රී කාල වලදී ඔවුන් කුමනහෝ ආකාරයක භයවීම් වලට මුහුණදෙන බවයි. එම හයදෙනාගෙන්ද තුන්දෙනෙකු භයවී ඇත්තේ ඉහත පුද්ගලයා මුහුණදුන් ආකාරයට "යම් කෙනෙක් හෝ පිරිසක් තමාට හාණිකිරීමට පැමිණෙන" දර්ශනයන්ගෙනි.

පරීක්ෂණයට ලක්කල අටදෙනාම ඉතාමත් අධික මත්පැන් පානය කරන්නන් වූ අතර මින් සිව්දෙනෙකු කුලීවැඩ කරන්නන් වූ අතර දෙදෙනෙකු ගොවියන්ද අනෙක් දෙදෙනා සුළු ව්‍යාපාර කරගෙනයනු ලබන්නන්ද විය. තවද මොවුන් අටදෙනාම නීතිගත මත්පැන් සහ කසිප්පු යන දෙකම පාවිච්චි කරන්නන් වුවත් සාමාන්‍ය පාවිච්චිය කසිප්පුය. ප්‍රමාණයෙන් භාගය ඉක්මවා යන්නන් විය.

මීට අමතරව සාමාන්‍යයෙන් මත්පැන් පානය කරන්නන්ගෙන්ද වෙනම විමසීමක් කලත් ඔවුන්ගෙන් ඉහත ලැබුනු ප්‍රථිඵලය නොලැබුනි. ඔවුන් සාමාන්‍යයෙන් නීතිගත මත්පැන් පානය කරන්නන් වූ අතර එක්වරකට පානය කරන ප්‍රමාණය භාගයකට අඩුවිය.

අවවාදයයි! ඔබ පාවිච්චි කරන ප්‍රමාණය ඉතා ඉහල නම් මෙවැනි ප්‍රථිඵල ඇතිවියහැක.