Thursday, June 23, 2011

.............බුද්ධ පරිනිර්වානය ආනන්ද හිමියන් හා අපි..............

මේ දවස් ටිකේම බ්ලොගේ වහපු ගානයි. දෙවනි පන්තියට උසස් කිරීමේ විබාගෙද මොකක්ද ලියන්න තියන නිසා ජාලෙ ඉදන් පිස්සු කෙලින්න හිත දෙන්නෙම නෑ. කොහොමත් මොකක් හරි කාරණයක් ඔලුවට වැටුනම වෙන දේකට හිත යොමු කරන්න හිතෙන්නෙ නැති එක තමයි මගේ චරිත සොබාවෙ. ඉඩක් ලැබුනොත් පාඩං කරන්න හිතාගෙන හැමදාම පොතකුත් අරගෙන තමයි ඔපීසියට එන්නෙ. ගෙදර යන වෙලාවට පොත ගෙනාව විදියටම අරගෙන ආයෙත් යන්නෙ. වැරදිලා හරි පොත අමතක වුනොත් හිතෙන්නෙ දවසම අපරාදෙ කියල. තමන්ම රවට්ටගන්නව කියන්නෙ ඕකට තමයි. අයියා කෙනෙක් ඇවිලිලා දැං හොද කතාවක් කියලා ගියා. මාතෘකාවට එන්න කලිං ඒකත් කියවලම ඉන්න.
ඊයෙ මම ඔය කියපු අයියා වෙඩිමකට ගියා. තිබුනෙ දකුණු පළාතෙ මූද අයිනෙ හෝටලේක. සල්ලිබාගෙ තියන කස්ටිය වුනත් සංගීතය සපයන්න ගෲප් එකක් වත් DJ කෙනෙක්වත් ඉදලා නෑ. ඉතින් අපේ අයියලා පදමට සෙට්වෙලා එහෙම මනමාලයගෙන් අහල තියනවා ඇයි මියුසික් නැත්තෙ කියලා. ඌ කියලා තියෙන්නෙ මොකක්ද දන්නවද?....
"අයියේ මම චිත්‍ර කරපු නිසා මියුසික් ගෲප් එකක් ගෙනාවෙ නෑ" කියලා :D.
කොහොමිං කොහොමිං හරි මාතෘකාව අමතක වුනා.
බුදු හාමුදුරුවො ගැන ප්‍රශ්නයක් වෙන අනං මනං එක්ක පටලගන්න හොද නෑ තමයි. ඒත් මේක කාලයක් මගේ ඔලුවෙ තිබුනු එකක්. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
බුදුරජානන් වහන්සේ ගැන හෝ බුද්ධ ධර්මය ගැන ඔබට තිබෙන ගැටළු මොනවාද? මේ ප්‍රශ්නයට ලැබෙන පිළිතුරු එක් එක් අයට සාපේක්ෂ විය හැකිය. උදාහරණයක් ලෙස, ජාතක කතා ආදිය නොපිළිගන්නා අය, පුනර්භවය නොපිළිගන්නා අය, හේතු ඵල වාදය නොපිළිගන්නා අය ආදි වශයෙන් වු එහෙම්පිටින්ම යම් කැටගරියක් සදහා විසංවාදී තර්ක ගෙන එන්නන් මෙන්ම, වෙස්සන්තර රජ්ජුරුවන් දරුවන් දන්දීම, මහෞෂධ පඩිතුමා කේවට්ටයාගේ ලේ සෙලවීම ආදී වූ තනි සිද්ධි සදහා පහර දෙන්නන්ද දැකිය හැක.(අන්‍යාගමිකයන් ගෙන එන තර්ක බොහොමයක් මේ දෙවන ගණයට වැටෙන අතර ගම්පල වාදයේදීද ක්‍රිස්තියානි ආගමිකයන් මෙම තර්ක ගුණානන්ද හිමියන්ට එරෙහිව යොදාගෙන තිබුනි) මෙහිදී එක් එක් පුද්ගලයාගේ දැනුමේ සහ භක්තියේ ප්‍රමාණය අනුව පිළිගැනීම හෝ නොපිළිගැනීම සිදුවිය හැකිය. මා මෙහිදී මතුකරන ගැටළුවද දෙවන ගණයේ එකකි,
බුදු රජානන් වහන්සේ පරිනිර්වානයට පෙර තුන් වතාවක් අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන්ට ප්‍රකාශ කලේ තමන් වහන්සේට ආයු කල්පයක් පරිනිර්වාණය නොකර වැඩසිටිය හැකි බවයි. මේවන විට කිසිදු මාර්ගඵලයකට පත්ව ආනන්ද හිමියන්ගේ ප්‍රතිචාරය වුයේ මුනිවත රැකීමය. ආනන්ද හිමියන් බුදුන් වහන්සේට ආරාධනා කලේ නම් ආයුෂ කල්පයක් බුදුන් වහන්සේ සිටිනු ඇත. එසේ නොවූයේ මාරයාගේ බලපෑමෙන් බව සදහන්වේ (බ්ලොග් ලියන මාරයා නොවේ). එනමුත් මතුවන ප්‍රශ්නය වන්නේ බුදුන් වහන්සේ උන්වහන්සේගේ වැඩසිටීම හෝ පිරිනිවන්පෑම පිළිබද තීරණය ආනන්ද හිමියන්ට භාරදීමෙහි ඇති ගැටළු සහිත ස්වභාවයයි.
මෙහිදී සියලු ලෝ වැස්සන්ට බලපානු ලබන කාරණයක් සම්බන්ධ තිරකයා වුයේ ආනන්ද හිමියන්ය! මෙය කෙතරම් දුරට සාධාරන තින්දුවක්ද? දීපංකර බුදුන්ගේ සමයේදී සුමේධ තරුණයාට උන්වහන්සේගෙන් බණ අසා නිර්වාණය අවබෝධ කලහැකිව තිබූ නමුත් බෝධිසත්වයන්ගේ අරමුණ වුයේ බුදුබව ලබා ලෝ වැස්සන්ට පිහිට විමය. නමුත් ආනන්ද හිමියන්ට තීරණය භාර කිරීමෙන් අසාධාරණයක් සිදුවූයේ පසු පරම්පරාවට නොවේද?
නිරායාසයෙන්ම මතුවන ප්‍රශ්න කිහිපයකි,
මෙහිදී ආනන්ද හිමියන් හැර වෙනත් අයෙකු සිටියේනම් කුමක් වේද? එහිදී ඔහුට හෝ ඇයට මාරයාගේ බලපෑමෙන් මිදිය හැකිද? ආනන්ද හිමියන් වෙනුවට මාරයා පරාජය කල රහතන් වහන්සේ කෙනෙක් හෝ අඩුම තරමින් කුමන හෝ මාර්ග ඵලයක් ලබාගත් ගිහි හෝ පැවිදි අයෙකු එම ස්ථානයේ සිටියේ නම් ඉතිහාසය වෙනස් විමට ඉඩ තිබුනිද? එසේත් නැතිනම් හේතු ඵල ධර්මය අනුව පසු පරම්පරාවට නිවන් අවබෝධ කරගැනීමට තරම් කුසල කර්ම නොමැති වීද?
පිළිතුරු සොයාගතයුත්තේ මේවාටය.
ප.ලි.- මේ කාරනෙත් එක්ක උඩ කියලා තියන වැල්වටාරම් ගැලපෙන්නෙ නෑ තමයි. ඒත් මේ දවස්වල තියන කාර්ය බහුලත්වය නිසා වැඩිය පෝස්ට් දාන්න වෙන්නෙ නෑ. උඩ ටිකට ඒ විදියට කමෙන්ට් දැමීමට මොලයේ ඒ පැත්තෙන්ද, දෙවන කාරණය සදහා අනෙක් පැත්තේ භාවිතා කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

1 comment:

  1. මොළේ ඒ පැත්තෙන් උත්තරේ: මමත් ඔහොමම තමයි. පොතක් උස්සගෙන යනවා වැඩට යනකොට. ඒක ආපහු උස්සගෙන එනවා. අනික, ඇත්තටම පාඩම් කරන්ඩ වෙලාවක් හම්බෙන දවසට පොත ගෙනියලා නෑ; පොත ගෙනියන දවසට වෙලාවක් එන්නෙ නෑ. :D

    චිත්‍ර කරපු නිසා මියුසික් නෑ! :D නියම උත්තරේ. කොහොමත් සද්ද අඩු වෙඩිමක්නම් මමත් කැමතියි ඒකට.


    මොළේ අනෙක් පැත්තෙන් උත්තරේ: ඔයා මතු කරන ප්‍රශ්න බොහොම සාධාරනයි. ඔය කතාව පසුකාලීනව කට්ටිය අතින් දාපු එකක් වෙන්නැති කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete