අප සිටින්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් ආසන්නයේය. විසිවැනි සංශෝධනය සම්මත වීම හෝ නොවීම ගැන කිසිවක් අනුමාන කල නොහැකි වුවත් දැන් ඇත්තේ මහ මැතිවරණයක් නොපවත්වා සිටිය නොහැකි තත්වයක්ය. මෙවර මැතිවරණ ප්‍රතිපලය ගැන අනාවැකි කීමට කල් වැඩි වුවත් ස්ථිර ලෙස කිවහැක්ක වන්නේ අතිශයින් උනුසුම් මැතිවරණයක් අප ඉදිරියේ ඇති බවය. දශකයකට වැඩි කාලයක් තිස්සේ පරාජිතයන්ව සිටි එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ජයග්‍රහනය කරවීමත් සමඟ ජයග්‍රාහී තත්වයකට පත්වීම හා සුළුතර මන්ත්‍රී සංඛ්‍යාව අතැතිව ආණ්ඩුව පිහිටුවීම මඟින් ශක්තිමත් තත්වයකට පත්ව ඇත. මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයේ නායකත්වයට පත්වීමත් මැතිවරණයට ඉදිරිපත් වීමේ මහින්ද රාජපක්ෂ මහතාගේ අපේක්ෂාවත් නිසා අනෙක් පාර්ශවයන්ද ශක්තිමත්ය. එබැවින් මහ මැතිවරණය ජනාධිපතිවරණයටත් වඩා තියුණු මුහුණුවරක් ගැනීම අපේක්ෂා කල හැකිය.
දහ නව වැනි සංශෝධනය බලාත්මක කිරීම හා විසිවැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ලැබෙන හැකියාව හෝ නොහැකියාව මත මැතිවරණයේ තත්වය වෙනස් විය හැකි වුවද මේ මැතිවරණයේදී ද මෙතෙක් පැවති මැතිවරණයන්ගෙන් විශාල අපගමනයක් බලාපොරොත්තු විය නොහැකිය. ඒ අනුව මෙය පොරොන්දු දේශපාලනය මූලික කරගත් සාමාන්‍ය මැතිවරණයකි.
මැතිවරණය පවත්වන්නේ කුමන ආකාරයෙන් වුවද පුරවැසියන් ලෙස අපට වඩා වැදගත් වන්නේ මැතිවරණයෙන් පසු පත්වන ආණ්ඩුවේ ක්‍රියා කලාපයයි. ජනතා නියෝජිතයන් ලෙස කවුරුන් පත්වුවත් පොරොන්දු වලින් ලිස්සා යාම ආගන්තුක අත්දැකීමක් නොවන නමුත් මැතිවරණය වෙනුවෙන් රටේ ජනතාවට පැවරී අැති කාර්යභාරය විශාලය. මේ පිළිබඳව කල්පනා කිරීමේදී අතීත මැතිවරණ ආශ්‍රිතව කලහැකි අධ්‍යයනයන් දැන් පවතින තත්වය හමුවේ කුමක් කල යුතුදැයි තේරුම්ගැනීමට වැදගත්ය.
එක්දහස් නවසීය හැත්තෑ හතේ මැතිවරණ සමයේ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම වූයේ රට තුල වූ භාණ්ඩ හිඟයට විසඳුමයි. සමඟි පෙරමුණු ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කල සංවෘත ආර්ථික ප්‍රතිපත්ති නිසා හෙම්බත්ව සිටි ජනතා ඉල්ලීම ඉටුකිරීමට ජේආර් ජයවර්ධන මහතා ක්‍රියා කලේය. ඉන්පසු අනූ හතර මැතිවරණයේදී මූලික වූයේ සාමයයි. චන්ද්‍රිකා මැතිණිය බලයට පැමිණි විගස උතුරේදී එල්ටීටීඊය සමඟ යහපත් සම්බන්ධතාවයක් ගොඩනඟාගැනීමට උත්සාහ දැරූ අතර දකුණේදී ජනතා විමුක්ති පෙරමුණ ප්රජාතන්ත්රවාදී දේශපාලනයට පැමිණියේය. (උතුරේදී චන්ද්‍රිකා මැතිනිය අසාර්ථක වීම වෙනම කාරණාවකි). චන්ද්‍රිකා මැතිනියගේ පාලන කාලය අවසන් වනවිට කරලියට පැමිණියේ සාමය සහ ආර්ථිකය වැනි කාරණාවන්ය. පාර්ලිමේන්තු මැතිවරණයෙන් බලය දිනාගැනීමට සමත් වූ රනිල් වික්‍රමසිංහ මහතාද සාම ගිවිසුම හා ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මඟින් ජනතා ඉල්ලීම් ඉටුකිරීමට උත්සාහ කලේය. එහි අවසාන ප්‍රතිපලය වූයේ රනිලුත් රනිල්ගේ සාමයත් දෙකම කුණු කූඩයට යැවීමට ජනතාව කටයුතු කිරීමෙනි. රනිල් වික්‍රමසිංහ මහතාව පරාජය කරමින් බලයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කිරීමත් සමඟ එතෙක් ජනතාව බලාපොරොත්තු වූ සාමය උදාවිය.
දශක තුනකට ආසන්න කාලයක් පැවති ප්‍රධාන ඉල්ලීම වූ යුද්ධය අවසන් වීමත් සමඟ එතෙක් යටගොස් තිබූ අපේක්ෂාවන් මතුපිටට පැමිණෙන්නට විය. සංවර්ධනය, දූෂණ නතරකිරීම, ව්‍යවස්ථාවේ අඩුලුහුඬුකම් ආදිය ගැන අවධානය වර්ධනය වූ අතර එහි කූටප්‍රාප්තිය වූයේ යුධ වීරයා වූ මහින්ද මහතා පරාජය වී මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වයට පත්වීමයි.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය අනෙක් නායකයන්ගේ ජයග්‍රහණ වලට වඩා සුවිශේෂීය. පක්ෂයකින් නායකයකු පත්වන සාම්ප්‍රදායික ක්‍රමයෙන් බාහිරව පොදු අපේක්ෂකයෙකු ලෙස රටේ නායකයා පත්වීම සිදුවන්නේ ප්‍රථම වතාවටය. වැදගත්ම කරුණ වන්නේ පක්ෂ දේශපාලනයට බාහිර පුද්ගලයන් වූ මාදුළුවාවේ සෝභිත හිමි, ආචාර්ය නිර්මාල් රංජිත් වැන්නවුන්ගේ මූලිකත්වයෙන් පිහිටවූ සිවිල් සංවිධානවල ජවය ශක්තිමත් නායකයකු පරාජය කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබීමයි. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාස කිහිපයක පාලන කාලය තුල ව්‍යවස්ථා සංශෝධනය, වංචා විමර්ශනය වැනි කාරණා ඉටුකිරීමට උත්සාහ දැරීම ආදියෙන් පෙනෙන්නේ පාලන බලය ලබාගන්නා අයවලුන් ජනතා ඉල්ලීම් වලට යම් හෝ ආකාරයක අනුකූලතාවයක් දැක්වීමට සිදුවන බවයි.
පාර්ලිමේන්තු මැතිවරණයක් ආසන්න මේ මොහොතේ ජනතා ක්‍රියාකාරීත්වය වැදගත් වන්නේ එබැවිනි. ජනාධිපතිවරණයෙන් පසු නිද්‍රාවට වැටී සිටින නිර් දේශපාලනික කොටස් යලි අවදිවිය යුතුය. ඇනහිට ඇති ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කරවීමට බලපෑම් කලයුතුය. රටට වැදගත් යෝජනා සකස් කර දේශපාලන පක්ෂ වලටත්, පක්ෂ නායකයන්ටත්, ඡන්ද අපේක්ෂකයන්ටත් ඉදිරිපත් කල යුතුය. කුඩුකාරයන්, එතනෝල් මුදලාලිලා, හොරුන් එලවා දමා වඩා යහපත් ජනතා නියෝජිතයන් පත්කිරීමට ඡන්ද දායකයන් කටයුතු කල යුතුය.
මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම්.
-අජිත් පැරකුම්(W3Lanka)
Friday, June 26, 2015
මහ මැතිවරණයට අමුඩ ගැසීම
Thursday, June 11, 2015
දහනවය, විස්ස සහ අශ්වයාට පෙර ඉස්තාලය වැසීම.
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තවමත් පවතින්නේ වැට උඩය. මේ අතරේ අගමැතිට එරෙහි දෝශාභියෝගයද ඇත්තේ අලු යට ගිණි තත්වයේය. යෝජනා දෙකෙන් කවරක් ඉස්සර වේදැයි කිව නොහැකිය. කෙසේ වෙතත් විසිවැනි සංශෝධනය කරලියට පැමිණි ආකාරය එතරම් යහපත් නැත. මුලින් ආසන දෙසීය පනස් පහක් වන ආකාරයේ මැතිවරණ ක්‍රමයක් ගැන පක්ෂ සමඟ සාකච්ඡා කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන විට එය දෙසීය විසි පහට අඩුව තිබුනි. ආසන ගණන අඩුවීම බැලූ බැල්මට යහපත් සේ පෙනුනද එකඟතාවය බිඳගැනීම ගැන සිතූවිට මැවෙන චිත්‍රය යහපත් නැත. ජවිපෙ, හෙළ උරුමය, මුස්ලිම් පක්ෂ මෙන්ම කඳුකරයේ දෙමළ පක්ෂද මේ ක්‍රමයට එකඟ බවක් පෙනෙන්නේ නැත. ශ්‍රීලනිපයේ මහින්ද පිලේ කණ්ඩායම ගැනද කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි නිසා මැතිවරණ ක්‍රමය පිළිබඳව වූ මෙම සංශෝධනය ඇත්තේ අවිනිශ්චිත තත්වයකය. වත්මන් තත්වය අපට සිහි ගන්වන්නේ 2000 වසරේදී චන්ද්‍රිකා මැතිණිය ඉදිරිපත් කල පැකේජයයි.
ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් හඳුන්වාදුන් සමානුපාතික ඡන්ද ක්‍රමය, ඉන් පෙර පැවති සෘජු ආසන ක්‍රමය හා සැසඳීමේදී වඩාත් නවීන යයි කිව හැකි ඡන්ද ක්රමයකි. සෑම ජන වර්ගයකට මෙන්ම විවිධ දේශපාලන කණ්ඩායම් වලට අයත්වන ඡන්ද දායකයන් හට තම නියෝජිතයන් පත්කිරීමට සාධාරණ අවස්ථාවක් ලබාගත හැකි ක්රමයකි. සරළ බහුතරය ලබාගන්නා අය ජනතා නියෝජිතයා සේ පත්වන විට ඉතිරි සියල්ලන්ටම නියෝජනයක් නැතිවීමේ බහුබූත ක්‍රමය නැතිවූයේ සමානුපාතික ක්‍රමය මඟිනි.
සමානුපාතික ක්‍රමයට එරෙහිව සමාජ මතයක් ගොඩනැඟීමට මූලිකවම හේතු වූයේ මනාප ක්‍රමය සමඟ මතුවූ පාදඩ දේශපාලන සංස්කෘතිය නිසාය. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක විසින් මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම හොරෙකු ඡන්දයට ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදුන් අතර ඊට සමානුපාතිකව රටේ නීතිය අන්තයටම පිරිහිනි. කුඩ්ඩන් කසිප්පු කාරයන් ජනතා නියෝජිතයින් වූ විට මීට වැඩි යමක් බලාපොරොත්තු වීම විහිළුවකි. කෙසේ වෙතත් ඔක්කොම කුණු බේරුවල බොක්කට යයි කියන්නාක් මෙන් මේ සියළු දුර්විපාකයන් වලට ඇඟිල්ල දිගු වූයේ සමානුපාතික ඡන්ද ක්රමයටය.
නව මැතිවරණ ක්‍රමය ගෙන ඒමේ තවත් අපේක්ෂාවක් ලෙස කියවෙන්නේ සියළු ප්‍රදේශ වල ජනතාවට නිශ්චිත වූ නියෝජිතයෙකු ලබාදීමයි. මනාප ක්‍රමයේදී ආසනයකට මන්ත්‍රීවරයෙකු නොමැති අතර නියෝජිතයන් දිස්ත්‍රික්කය සඳහාම පත්වන බැවින් සමහර ආසන සඳහා මන්ත්‍රීවරයෙකු නොමැතිවීමේ ඊනියා ගැටළුව පැනනඟි. පැරණි ක්‍රමයේදී ප්‍රදේශයට නියෝජිතයෙකු ලැබෙන නමුත් අතිවිශාල ඡන්ද දායකයන් සංඛ්‍යාවකට නියෝජිතයෙකු අහිමි වේ. අනෙක් අතට සමානුපාතික ක්‍රමය ක්‍රියාත්මක කල පසුද ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම තම පක්ෂ නියෝජිතයන් පත්කලේ පැරණි ආසන ක්‍රමය පදනම්වය. ඡන්ද ක්‍රමය වෙනස් වූවාට ආසන සංවිධායකයන් පත්කිරීමේ කිසිදු වෙනසක් සිදුවූයේ නැත. නව ක්‍රමයට අනුව ආසන 125ක් හෝ ඊට වැඩි ආසන ක්‍රමයක් යටතේ වුවද දෙවන ප්‍රධාන පක්ෂයට සහ සුළු පක්ෂ වලට සාධාරණය ඉටුවන්නේ නැත.
අනෙක් අතට 'ජනතාවට නියෝජිතයෙක්' යන්න සංකල්පීයව ප්රජාතනාන්ත්රික වුවද ලංකාවේ තත්වය සලකා බැලීමේදී, පත්වන ජනතා නියෝජිතයා අවශ්‍ය වන්නේ කුමකටද?
ජනප්‍රිය පාසලට ළමයා ඇතුළු කරගැනීමට විදුහල්පතිට ලියුම් ලබාදීමටය, තරග විභාග ලියා සමත්වී ලබාගත යුතු රජයේ රැකියාවන් සඳහා පස්සේ දොරෙන් රිංගීමටය, නීතියෙන් බේරීමට මන්ත්‍රීතුමා ලවා දුරකතන ඇමතුම් ලබාදීමටය, රජයෙන් බෙදන සහනාධාර සහ ද්‍රව්‍යාධාර ලබාගැනීමටය,.....මේ ආදී දහසක් දේවල් වලටය. 'තීරණ ගැනීමේ කාර්යන්' කලයුතු ජනතා නියෝජිතයන් ලවා 'බාස් වැඩ' කරගැනීමටය.
කෙලින්ම රටට බලපාන මෙවන් ව්‍යවස්ථා සංශෝධන කල යුත්තේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුවය. එසේ නොවුවහොත් අලුතෙන් මතුවිය හැකි ගටළු බොහෝය. මනාප ක්‍රමය අවුල් වූවා සේ නව ක්රමයද අවුලට යාම වලක්වා ගැනීමට කටයුතු කලයුතුය. ඡන්ද ක්‍රමය වෙනස් කල පමණින් සියල්ල වෙනස් වේ යයි සිතීම උගහටය.
විස්සට කලින් අනිවාර්යෙන්ම කලයුත්තක්ද ඉතිරිව ඇත. එනම් දහනව වැනි සංශෝධනය බලාත්මක කිරීමයි. විශේෂයෙන්ම ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ පදනම වන ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම එහි මූලික කාර්යයි. මේ වනවිටත් ඊට නියෝජිතයන් පත්කිරීම විවාදයට තුඩු දී ඇත. මැතිවරණ ක්රමයේ වෙනස්වීම කුමන අතකට පත්තු වේදැයි කිව නොහැකි මේ අවස්ථාවේ රටේ නීතිය සැමට සාධාරණ ලෙස ඇතිකිරීම අත්‍යාවශ්‍යය. අශ්වයා පැනගිය පසු ඉස්තාලය වැසීමට වඩා එය වැදගත් වනු ඇත.
Thursday, June 4, 2015
පොලිස් ගොන්කම්, පොලිස් නෝන්ජල්කම් සහ පොලිස් පිට කොන්ද
සිරි ලංකාවේ පොලිසිය ගැන මේ දවස්වල කතා කතා බොහොමය. යහපාලන ආණ්ඩුව කලින් ආණ්ඩුව තරම් ම පොලිසියට බලපෑම් කරන ආකාරයක් පෙනෙන්නට නැත. නමුත් සමහර දේවල් යහපාලනයට නම් එකඟ නැත.
කොටකෙතන ඝාතන සැකකරුවන් කිහිප දෙනෙකු පසුගිය සතියේ නිදහස් කල අතර ඔවුන් නිදහස් කිරීම අරභයා ගම්වාසීන්ගෙන් මතුවූ විරෝධය පාලනය කිරීමට ජල ප්‍රහාර එල්ල කිරීමට පවා සිදුවිය. සැකකරුවන් නිදහස් කිරීමට හේතුවූයේ ඩී.එන්.ඒ නොගැලපීමයි. එහෙත් ඝාතනය කල ශරීර වලින් ලබාගත් සැක කටයුතු ඩී.එන්.ඒ වලට ගැලපෙන ඩී.එන්.ඒ. වෙනත් අයෙකු සමඟ ගැලපුනද ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු නොකිරීම විශ්මයජනකය.
සිරිලිය නම් ගිණුමක් විවෘත කිරීමේදී සිදුවුනා යයි කියන ව්‍යාජ හැඳුනුම්පත් අංක පිළිබඳ සිද්ධියක් වෙනුවෙන් කට උත්තර ගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීම් ලැබ තිබූ හිටපු ජනාධිපති ආර්යාවට, පොලිසියට යාම වෙනුවට කථානායක [මස්සිනාගේ] නිල නිවසට පොලිසිය යාම තවත් විහිළුවකි. ගමේ ඉන්න සිරිපාලලා පොල් හොරකමක් කලද, පොලිසියට ගෙනගොස් ඇටකටු කුඩුකර ප්‍රශ්න කරන ශ්‍රී ලංකා පොලිසිය ජනතා මුදල් වංචා කල කම්බා හොරුන්ගේ දෙපතුලට යාම හොඳම විහිළුවයි.
දකුණු පළාත් ධීවර අමාත්‍ය ඩී.වී. උපුල්ගේ ප්‍රකාශයකින් නින්දේ සිටි පොලිසිය නිදිගැට කඩා අවදි වූ ආකාරයක් පෙනෙන්නට තිබුනි. මහින්ද රාජපක්ෂ අගමැති කර පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයේ නිලධාරීන්ට ගල් ගසා මරන බව රැස්වීමකදී ඔහු ප්‍රකාශ කලේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකට අනුව මේ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
මෙම ඇමතිවරයා සම්බන්ධ සිද්ධි දෙකක් මගේ මතකයේ ඇත. පසුගිය පළාත් සභා ඡන්දයට කලින් ඡන්දයේදී ගනන් කිරීමේ මධ්‍යස්ථානයේ ශාලාවක් අසල මෙම පුද්ගලයා කලහකාරී ලෙස හැසිරුන අයුරු දක්නට හැකි විය. මනාප ගණනයේදී සිදුවූයේ යයි කියන අක්‍රමිකතාවයක් හේතුවෙන් තමන්ට අසාධාරණයක් වූ බවත් ශාලාවේ රාජකාරී කල නිලධාරීන්ගේ ඡායාරූප ලබාගෙන 'එලියේදි ගනුදෙණු බේරාගන්නා බවත්' ඔහු ප්‍රකාශ කලේය. එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් කසාය බිව් ගොළුවන් සේ සිටියා විනා කිසිදු ක්‍රියාමාර්ගයක් ගනු නොලැබීය.
අනෙක් අවස්ථාව ලංගම බස් සේවකයෙකුට ඇමතිවරයාගේ ගෝලයෙකු පහරදුන් අවස්ථාවයි. සේලයින් ගනිමින් රෝහලේ සිටි ලංගම සේවකයා බලහත්කාරයෙන් එලියට ඇදදමා ගෝලයා බේරා ගැනීමට ඇමතිවරයා කටයුතු කරද්දී ද පොලීසිය සිටියේ නිහඬවය. තර්ජනය පොලිසියට එල්ලවී ඇති මේ අවස්ථාවේ පොලීසියේ 'පිටකොන්දේ' ශක්තිය බලාගත හැකි වනු ඇත.


