Tuesday, January 31, 2012

අන්න ගෑණු! (මෙන්න තවත් ජැක් කතන්දර)

හරියටම දවස් හතරක් මාව හැක් කිරීමට නෝන සමත් වුනා. ඒ නිසා පෝස්ට් කියවන්නත් කොමෙන්ටු දාන්නත් බැරිවුනා. දැනටත් පට්ටම බිසි වෙලා තියෙන්නෙ. ආව එකේ පුංචි කතාවක් දෙකක් කියල යන්නම්. මේ කතා දෙකම ඇත්තම කේස්. එකක් කිවුවෙ බන්ධනාගාරෙක වැඩකරන අයිය කෙනෙක්. අනිත්එක කිව්වෙ ගමේ අයිය කෙනෙක්.

බන්ධනාගාරෙ අයිය කියපු කතාවෙ හැටියට, එයා අළුතින් ඇතුලට ආපු එකෙක්ගෙන් විස්තර අහල තියනව. ඒ හිරකාරයගෙ කතාව තමයි මේ. මේ පුද්ගලය මරු වැඩක් කරනවලු.

කතරගම කාලෙට නොයෙක් ප්‍රදේශවලින් වන්දනා නඩ එනවනේ පෙරහැර බලන්න. ඒ ඇවිල්ල කට්ටිය එක්ක විශ්‍රාම ශාලාවල නිදාගන්නව. කතානායකය කරන්නෙ අන්න ඒවගේ වෙලාවල් වලදී කවුරුහරි ගෑණු කෙනෙක් කිට්ටුව නිදාගන්න එක. සමහර වෙලාවල් වලදී වැඩේ සාර්තක වෙනවලු. ඒත් අන්තිමේදී කෙහෙල් ගහකට කොටලයි ඇතුලට ආවෙ. මේ කියන දවසෙත් බුවා විශ්‍රාම ශාලාවකට ගිහිල්ල ගෑණු පරාණයක් තෝරගෙන ලයිට් ඕෆ් කලාම අර විදියට වැඩේට සෙට් වෙලා. ගෑණුකෙනත් වැඩේට කැමතියි වගේ තේරිලා. "සුදූ" වගේ වචන පාවිච්චි කරමින් ඉදල එකපාරටම බුවා ගෑණිගෙන් ප්‍රශ්නයක් අහල,

"ඔයාගෙ නම මොකක්ද?"

අන්න බුවාට වැරදුන තැන! මෙච්චර වෙලා ගෑණි හිතාගෙන ඉදල තියෙන්නෙ තමංගෙ මිණිහ අහවල් වැඩේට ඇවිල්ල කියල! වැඩේ ගැස්සුනාම ගෑණි කෑගහන්න පටන් අරගෙන. වෙච්ච දේ කියන්න ඕන නෑනේ, තමංගෙ ශරීර කූඩුව අහල පහල ඉන්න එවුන්ගෙ අතේ පයේ හිරි ඇරගන්න පූජාකරල විතරක් නෙවේ පොලිස් කූඩුවෙත් ලැගල දැන් ඇතුලෙත් ඉන්න වෙලා.

දෙවැනි කතාවත් මේ ජාතියෙම සීන් එකක්. තැන විතරයි වෙනස. ඒක කිවුවෙ ගමේ අයිය කෙනෙක්. සෝමෙ අයිය කියමු එයාට. එයා ගිහිල්ල තියනව යාළුවෙකුට ඇප දෙන්න උසාවියට. යාළුව කරපු වැරැද්ද බස් එකේදි ගෑණු කෙනෙකුට ජැක් එකක් ගැසීම. ඇප දීල එන ගමන් තමයි සෝමෙ අයිය මට මුනගැහුනේ. වෙච්ච කතාබහ මේකයි.

මම: සෝමෙ අයියේ කොහේද ගියේ?
සෝමෙ අයිය: මට උනේ මාර වැඩක්නේ රාජ් මල්ලී.
මම: ඇයි?

සෝමෙ අයිය: .......ගෙ ජැක් සීන්එකට ඇප දෙන්න කතාකලේ මට බං. නොයාත් බෑ. යන්නත් ලැජ්ජයි. මොනව කරන්නද මම ගියා. වැඩේත් කරල අඩියකුත් ගහල එන්නෙ. මේ $@^^& පුතා ඒත් පාඩමක් ඉගනගෙන නෑ බං!

මම:ඇයි නඩුකාර නෝනටත් ජැකක් ගහන්න හැදුවද? :D

සෝමෙ අයිය: එහෙම උනානං මට අරූ ඇතෑරල දාල එන්න තිබුන බං. අපි දෙන්න උසාවියෙ ඉදල ආව ....වයින් එක ලගට. මම කිව්ව ගනිං බාගයක් කියල. අරගෙන එතන තියාගෙනම බීල නැග්ග බස් එකට එන්න. මේ......පුතා ඒකෙත් ජැකක් ගැහුවනේ බං. මටත් එක්ක ලැජ්ජයි.

මම: :D

සෝමෙ අයිය: ඔවු බං. අපි නැගපු බස් එකේ වැඩිය සෙනග හිටියෙත් නෑ. හය හත්දෙනෙක් තමයි හිටගෙන හිටියෙ. මූ ඉස්සරහටම ගිහිල්ල එකියෙකුට ජැක ගැහුවනේ.

මම: ඉතිං, වැදුනද සෙරෙප්පු පාර?

සෝමෙ අයිය: නෑ බං ඒ ගෑණිටත් ලැජ්ජාවක් නෑ අගේට හිටිය දීගෙන. අන්තිමට මූ බැහැල එනගමං මට කියනව "අන්න සෝමේ ගෑණු" කියල. මොනව කරන්නද මමත් හිටි‍ය මූ අදුරන්නැති ගානට.

Monday, January 23, 2012

කාලය පැය දෙකකින් ඉදිරියට ගෙනයන ක්‍රමය!

මේ දවස්වල බ්ලොග් අවකාශයේ කතාවෙන්නේ බරසාර මාතෘකා.

ලිංගිකත්වය ගතටද සිතටද......., පෞද්ගලික විශ්ව විද්‍යාල හොදද නරකද....., ලිංගික කුහකත්වය......, ජොනී අංකල්ගෙ කූඩ කේස්එක ඉවරවුනා විතරයි තර්ටීන් ප්ලස්-මයිනස් අරව මේව..... ඒ විතරද ඔපීසියෙ වැඩ. අවුරුද්දට අලුතෙන් ෆයිල් හදන්න තියනව. ඒ අස්සෙ අපේ එවුන් දකුණු අප්‍රිකාවෙ ක්‍රිකට් ගහනව. මේව්ව කියවල මගේ ඔළුව අවුල්වෙලා. පිස්සු හැදෙයිද දන්නෙ නෑ. ඊට කලිං පෝස්ටුවක් දාන්නත් ඕන. දවස් දෙකතුනකින් මේ පැත්තෙ ආවෙත් නෑ.

හරි අද කියන්නෙ හොස්ටල් එකේ ඉන්න කාලෙ "කාලය පැය දෙකකින් ඉස්සරහට ගත්ත" හැටි.

සිද්ධිය මේකයි. අපේ රූම් එකේ යාළුවෙක් හිටිය. බුරා. මෙයා ඒකාලෙ සතියට දවසක් මොකද්දෝ ක්ලාස් එකකට යනව. මතක විදියට චාටඩ් වලට. කිරුලපන අයිඒඑස් එකට තමයි ගියේ. මාතර එලියකන්ද හොස්ටල් එකේ ඉදල උදේ පාන්දරම එලාම්එකට නැගිටල ලැහැස්ති වෙලා කොලඹ යන බස් එකක තමයි යන්නෙ. මේ කියන දවසෙත් බුරා සුපුරුදු විදියට ෆෝන්එකේ එලාම්එක තියල නිදාගත්ත උදේට කොළඹ යන්න හිතාගෙන. ඒත් රාත්‍රී කාලෙ සිද්ධවුනා වෙනදට සිද්ධ නොවෙන දෙයක්. ඒ තමයි එකපාරටම වෙලාව පැය දෙකකින් ඉස්සරහට ගමන්කිරීම. ඒක කලෙත් අපේ කස්ටියම තමයි. ඉස්සෙල්ලම බුරා ලග තිබුන ෆෝන්එක අරගෙන ඒකෙ වෙලාව පැය දෙකක් ඉස්සරහට දැම්ම. උගේ අත්ඔරලෝසුවට උනෙත් ඒටිකමයි. රූම්එකේ පේන්න තිබුන ඔරලෝසු වලත් ඒ විදියටම වෙලාව වෙනස්කලා. අපේ මිත්‍රය මේ කිසිදෙයක් දන්නෙ නැතුව පැය දෙකකට කලින් වැදුන එලාම්එකට අවදිවෙලා ඉක්මනට ලකලැහැස්ති වෙලා කොළඹ යන්න පිටත් වුනා. හොස්ටල් එකේ ඉදල එලියකන්ද හංදියට පයින් ඇවිල්ල එතන ඉදල ඒසී බස්එකක මාතරට ගියා. දිගටම ඒසී බස්එකේ යන්න සල්ලි නැතිනිසා මාතර ඉදල නෝමල් එකක කොළඹ ගිහිල්ල ක්ලාස් එකට ගියා. එතකොටත් වෙලාව උදේ හයයි. ඊට පස්සෙ සිද්ධවෙච්ච දේ බුරාගෙ වචනයෙන් කිව්වොත් මෙහෙමයි,

මචං මම ක්ලාස්එකට ගියා. නිකං අමුතුයි වගේ. ඉරපායලත් නෑ. චුට්ටක් වාඩිවෙලා හිටිය ඒත් කවුරුවත්ම නෑ. මම ඒ ගමන සිකුරිටි අයියගෙන් ඇහුව අද ක්ලාස් තියනවද කියල. එයා කිව්ව තියනවද කියල. මම තව චුට්ටක් හිටිය. ආයිත් ඇහුව ඇයි දන්නෙ නෑ තාම කවුරුවත් නැත්තෙ කියල. මෙන්න මූ කියනව මල්ලි, තාම වෙලාව හයයි කාලනේ, අට විතර වෙනවනේ කට්ටිය එනකොට..... ඒ වෙලාවෙ තමයි මට වැඩේ තේරුනේ..... අම්මප උඹල එකෙක් මට ඒවෙලාවෙ අහුඋනානනං @$%^& ...........

හැබැයි සීන්එක හොස්ටල්එක පුරා පැතිරෙන්න පටන් ගත්තම මූ කිව්වෙ මේවගේ කතාවක්,

උඹල එහෙම කරපුඑක හොදයි බං....... නැත්තං මම වෙනදට යන බස්එක එදා කැඩිල තිබුන ...... වෙලාවට උඹල එහෙම දෙයක් කලේ....

ගිහිං එන්නං.

Wednesday, January 18, 2012

තොරතුරු තාක්ෂණය සහ අනාගත රාජ්‍යසේවය

ආණ්ඩුව මෙවර උසස්පෙළ විභාගයේ ප්‍රථිපල නිකුත් කිරීම අනාගැනීමත් සමග එකිනෙකා විවිධ දිශාවන්ට ඇගිලි දිගුකිරීමට පටන්ගති. මේ අතර කියැවුනු කතාවක් වූයේ එය "කොම්පියුටර් අවුලක්" බවය. එහි සත්‍යතාවයක් තිබියහැකි වුවත් අවුල ඇත්තේ කොම්පියුටරයේ නොව ඒ ඉදිරියේ හිද සිටින්නන්ගේ බවට සැක නැත.

මීට වසර දහයකට පමණ ඉහතදී රජයේ සේවයට එක්කරන ලද පෙන්ටියම් I හා II වර්ගයේ පරිගණක යන්ත්‍ර, අද වනවිට යම් දියුණුවක් ලබාඇති (රාජ්‍ය අංශයේ) තොරතුරු තාක්ෂණය පිළිබද කියවීමේ ආරම්භකයාය. එකල මෙම පරිගණක යන්ත්‍ර "දේවත්වයෙන්" පුදලැබූ හැටි මගේ සේවා මිත්‍රයෝ යුතුව දැනුදු සිහිපත් කරන්නේ හාස්‍යයෙනි. මුල් කාලයේ මේවාට අධි ආරක්ෂාවක් යොදාතිබූ අතර ඒවා බොහෝවිට කාර්යාලයක මාණ්ඩලික නිලධාරියෙකු යටතේ පැවතින. පරිගණකය තැබීම සදහා අනිවාර්යෙන් වායු සමීකරණය කරන ලද කාමරයක් යොදාගතයුතු යයිද, නිසි පුහුණුව නොලැබූවකු පරිගණක යන්ත්‍ර පාවිච්චි කිරීම ඒවා "කැඩීමට" හේතුවේ යයිද විශ්වාසයන් විය. තාක්ෂණයේ දියුණුවත් සමග කාර්යාල වෙත ලැබුන පරිගණක සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවූ අතර අද වනවිට නැතිවම බැරි උපාංගයක් බවටද පත්වී හමාරය.

පරිගණක තාක්ෂණයේ භාවිතය මූලික අදියර තුනකින් පමණ සිදුවේ.

මින් පළමුවැන්න එක් එක් සේවාව සදහා වෙන් වෙන් වශයෙන් මෘදුකාංග භාවිතා කරමින් අදාළ සේවාවන් කාර්යක්ෂම කිරීමයි.

යම් යම් විශේෂ වූ රාජ්‍ය ආයතන හැරුණුවිට මෙලෙස මුලින්ම පැමිණි පරිගණක වැඩසටහන් වූයේ මාසික වැටුප් ගෙවීම සදහා සකස්කල Dos පාදක කරගත් GPS (Government Payroll System) සහ මුදල්පොත වෙනුවෙන් සකස්කල Cigas නම් වැඩසටහන්ය.(දැනටත් මෙම වැඩසටහන් Dos පාදක කරගෙන පවතී).

Government Payroll System මෘදුකාංගය.

රාජ්‍ය අංශයේ වැටුප් ‍සැකසීම සදහා දැනටත් භාවිතා කරන මෙම මෘදුකාංගය එහි විශාල සංස්කරණ ගණනක් පසුකර සිටී. සංකීර්ණ ස්වරූපයක් ගන්නා රාජ්‍ය අංශයේ වැටුප් සකස් කිරීම මෙමගින් ඉතා පහසුවෙන් කලහැකි අතර Cigas වැඩසටහන සමග එක් කිරීමෙන් ලබාගන්නා ගොණුවක් මගින්, චෙක්පත් ලිවීමකින් පවා තොරව විවිධ බැංකුවල ඇති රාජ්‍ය සේවකයන්ගේ ගිණුම් වලට මුදල් බැරකිරීම කල හැකිය. මෙම වැඩසටහන පැමිණීමට පෙර යම් කාර්යාලයක වැටුප් සකස් කිරීමට සිටින නිලධාරියෙකුහට ඒ සදහා මාසයක කාලයක් වැයකලයුතු වූ අතර දැන් නිලධාරීන් 100 පමණ වැටුප් සකස් කිරීම එක් දිනකින් කලහැකිය.

Cigas මෘදුකාංගය.

GPS මෘදුකාංගය සමග පැමිණි අනෙක් මෘදුකාංගය වූ මෙයින් සිදුකරන්නේ "මුදල් පොත" සම්බන්ධ කටයුතුය. එනම් ලැබීම් ගෙවීම් සටහන් කිරීමත්(පරිගණකගත කිරීම) චෙක්පත් මුද්‍රණය කිරීමත් අවශ්‍ය අනෙකුත් සාරාංශ ආදිය සකස් කිරීමත්ය.

මීට අමතරව ඇති අනෙක් ප්‍රධාන මෘදුකාංගය නම් වාහන ආදායම් බලපත්‍ර ලාබාදීමේදී භාවිතා කරනු ලබන "Vehicle" නම් මෘදුකාංගයි. මෙය පැමිණීමත් සමග ආදායම් බලපත්‍රයක් ලබාගැනීමට, පෙර පැවති පැයක පමණ වූ ප්‍රමාදය විනාඩි දෙකක් පමණ වනතෙක් අඩුවිය.

මේ වනවිට තනි තනි වශයෙන් දියුණු වෙමින් පවතින මෘදුකාංග භාවිතයේ ඊලග පියවර (දෙවන අවධිය) ජාලගත කරන ලද දත්ත පද්ධතීන්ය. මෙම පියවර සම්පූර්ණ වූ පසු ඉතා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බලාපොරොත්තු වියහැකිය. මේ වනවිටත් මේ යුගය ඇරඹී ඇති අතර උදාහරණයක් ලෙස, උප්පැන්න-විවාහ-මරණ සහතික ලබාගැනීම, කොළඹ දිස්ත්‍රික්කය තුල ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් කල හැකිය.

මීට අමතරව ප්‍රාදේශීය කාර්යාල වෙත මුදල් ප්‍රේෂණය කිරීමේ කටයුතු ප්‍රධාන කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි ඔස්සේ සිදුකිරීම මෑතකදී ආරම්භ කරන ලදී.

උදා - හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන www.dctuhambantota.lk අඩවිය තුලින් එම දිස්ත්‍රික්කයේ ඇති සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සදහා ප්‍රතිපාදන සහ මුදල් ලබාදීම සිදුකරන අතර මේ නිසා පෙර පැවති ලිපි හුවමාරුව නවතා ඇත.

තොරතුරු තාක්ෂණයේ තෙවන අදියර වන්නේ (පෞද්ගලික අංශයද ඇතුළුව) වෙනස් කාර්යන් ඉටුකිරීමට කැපවූ එක් එක් ආයතන ඒකාබද්ධ කිරීම තුලින් ලිපි හුවමාරුව අවම කර කාර්යක්ෂමතාවයෙන් ඉහල සේවාවක් සැපයීමයි.

උදාහරණයක් ලෙස ජාතික හැදුනුම්පතක් ලබාගැනීමේදී අවශ්‍ය වන උප්පැන්න සහතිකය සේවාදායකයාගෙන් ලබාගැනීම සිදු නොකරන අතර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් අදාල තහවුරු කිරීම ලබාගනී.

කෙසේ වුවද මෙම තෙවැනි අවස්ථාවට පිවිසීමට, දැනට රාජ්‍ය සේවය සමත් වී නොමැති අතර සංවර්ධනය වෙමින් පවතින බොහොමයක් රටවල්ද පූර්ණ වශයෙන් තෙවැනි අවධිය පසුකර නොමැත.

ලංකා රාජ්‍ය ජාලය(LGN)

රාජ්‍ය සේවය හා පරිගණක තාක්ෂණය ගැන කතාකිරීමේදී අමතක කල නොහැකි මාතෘකාවක් වන්නේ Lanka Government Nework හෙවත් ලංකා රාජ්‍ය ජාලයයි. කොරියානු රජයේ ණය ආධාර පදනමින් හදුන්වාදුන් වැඩසටහනක් වන මේ මගින් 2007 වසරේ සිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ ඇති සියළුම කාර්යාල සදහා අන්තර්ජාල සම්බන්ධතාවය සහිත පරිගණක ලබාදීම සිදුවිය.

තෙවැනි අවධිය කරා ලංවීමේදී ඇති බාධා.
මේ සදහා ඇති මූලිකම බාධා දෙකකි.

ඉන් පළමුවැන්න නම් මේ සදහා දැරීමට සිදුවන මූලික පිරිවැය අධික වීමයි. දැනට ලේඛණගත තත්වයේ ඇති දත්ත කෙටි කාලයක් තුලදී පරිගණක ගත කිරීම සදහා මෙන්ම අවශ්‍ය උපාංග මිලදීගැනීම සදහා විශාල මුදලක් අවශ්‍ය වේ.

දෙවැන්න මේ කාර්ය සාර්ථක කරගැනීම සදහා අවශ්‍ය කරන දැනුමැති රාජ්‍ය සේවකයන්ගේ හිගයයි. පරිගණක යන්ත්‍ර කොතෙක් තිබුනද, පැරණි ක්‍රමයට යතුරු ලියනයෙන් ලිපි සකස්කරන නිළධාරීන් දැනුදු රාජ්‍ය සේවයේ කොතෙකුත් ඇත. ඔවුන්ට නිසි පුහුණුව ලබාදී වැඩපිළිවෙළට දායක කරගතයුතුය. එසේ නොවුනහොත් මෙම කර්තව්‍ය සාර්ථක කරගැනීමට තවත් බොහෝ කලයක් බලාසිටීමට සිදුවනු ඇත.