Tuesday, August 11, 2015
කලවං පලා
ඡන්දෙ ඉල්ලන කස්ටිය තම තමන්ගෙ අතීත ක්‍රියාකාරකම් ගැන විවේචන ඉදිරිපත් කරනව.
"අතීතයේ අපේ අතින් වැරදි සිදුවුනා. නමුත් අපි සහතික කරල කියනව සන්නද්ධ අරගලයකට ආයෙත් යන්නෙ නෑ" ඒ ජවිපෙ නායකයා.
"අතීතයේ අපි අතින් සිදුවූ වැරදි නිවැරදි කරගෙනයි අපි මෙවර ඡන්දෙට එන්නෙ" ඒ එජාපයේ අජිත් පී පෙරේරා.
එතකොට සන්ධානෙ කට්ටිය?
"ජනවාරි අට වෙනිදා ජනතාව කල ඒ වැරැද්ද නිවැරදි කරගනීවි යැයි අපි බලාපොරොත්තු වෙනවා" මහින්ද, සිරිපාල ඇතුළු කිහිප දෙනෙක්ම කියනව ඇහුන.
ඇද්ද දැං ඉතිං පවු සමා කරපල්ලකො!
*********************************
ආයෝජකයන්ගෙ කැමැත්ත.
ඊයෙ තුන්සිය හැටට ආපු මහින්ද මහත්තයගෙන් දිල්ක අහනව මෙහෙම,
"ඇයි අවුරුදු දෙකක් ඉතිරිව තියෙද්දි ඡන්දෙකට ගියේ?"
"ඇත්තටම අපිට ඕනවුනා අවුරුදු පහකට ආයෝජකයො ගෙන්වගන්න.... මම ඉස්සරහට අවුරුදු පහක් ඉන්නව කියල දැනගත්ත නං එයාල එනවනේ"
*********************************
උඹලට කොරන්න ගිහිල්ලයි මට යන්න වුනේ.
ඒ සාකච්ඡාවෙදිම ඩිල්ක අහනව මෙහෙම,
"ඔබතුමා වැරදිකරුවන්ව ආරක්ෂා කලා කියල කියනව....."
"ඔව්.... බලන්න සජිත් ප්‍රේමදාසගෙ අක්ක හොර සල්ලි එක්ක අහුවුනා.... එයා එක්ක අහුවෙච්ච සෙබලව රිමාන්ඩ් කරල අපි පරීක්ෂණ පැවැත්තුවෙ... අපි එහෙම කලේ නෑ.... ඒ වගේ වැරදි තමයි කලේ"
*********************************
බූරු ප්‍රශ්න.
ෆොන්සේකගෙ පක්ෂෙ අපේක්ෂකයෙකුගෙන් අයිටීඑන් නිවේදකය අහනව මෙහෙම,
"ඔබතුමන්ලා පෙන්නනව සරත් ෆොන්සේක මහත්තය ප්‍රහාරයට ලක්වුන රථය, ඇයි ඒ?"
"ඒ රථය තිබුනෙ විනාශ වෙමින්...., අපි සල්ලි දීල ඒක ගත්ත.... ඒක විශේෂ රථයක්නෙ" නියෝජිතය කිව්ව.
"ඇයි ඉතිං එ් රථය විතරක්? තවත් රථ තියනවනෙ?"
"ෆොන්සේක මහත්තයා කියන්නෙ විශේෂ කෙනෙක්"
"ඇයි ඉතිං ගෝඨාභය මහත්තයගෙ රථයටත් ප්‍රහාරයක් එල්ලවුනානෙ?"
"$ත්තෝ..... දැකල නැද්ද බණ්ඩාරනායකගෙ ඇඳුම තියනව එයාගෙ කෞතුකාගාරෙ? ඒකට හැම එකාගෙම ඇඳුම් දාන්නෙ නෑ බොල! ෆොන්සේකගෙ වාහනේ අපිට වටින්නෙ ඒක ෆොන්සේකගෙ නිසා" ඒ නියෝජිතය නෙවේ, නියෝජිතය ඉන්න තැන මම හිටිය නං ලැබෙන උත්තරේ.
***********************************
කාල වරෙංකො!
ඊයෙ අනුර කුමාර එක්ක ටීඑන්එල් එකේ සාකච්ඡාවක්, අනුර කියනව මෙහෙම,
"අපේ දරුවො ඉගනත්තොත් එයාල ලඟට යන්නෙ නෑනෙ...පෝස්ටර් ගහන්න කැන්වසින් යන්න කෙනෙක් නෑ.... දැං බලන්න යූඇන්පී එකේ කැන්වසින් යන්න ආපු පාතාල සාමාජි"
"නෑ නෑ පාතාල කණ්ඩායම් ඡන්ද වැඩට ආවෙ නෑ"
" නෑ නෑ දෙගොල්ල වෙඩිතියාගත්ත නේ.... පාතාල"
"නෑ නෑ"
"හරි හරි අපි මෙහෙම කියමුකෝ.....උපාසක මහත්වරු දෙගොල්ලක් අතරෙ පොඩි ප්‍රශ්නයක් අැතිවුනා ධම්මපදයේ කාරණාවක් ගැන.... කට්ටියක් වෙඩිතිව්ව... හරිනේ"
***********************************
රවුමෙන් එලියෙ
"යූඇන්පී එකෙන් පාතාලෙ දාගෙන මැතිවරණ කරනව. ඒකෙ ප්‍රතිපල තමයි ඔය වෙඩිතැබීම"
"ඔන්න අහුවෙලා වෙඩිතියන්න ආපු වාහනේ... සන්ධාන කාර්යාලෙකින්, යූඇන්පියට මඩ ගහන්න කරපු වැඩක් මේක"
"නෑ නෑ යූඇන්පීයමයි මේක සන්ධාන කාර්යාලෙට දාල තියෙන්නෙ සන්ධානෙට අවාසි වෙන්න"
"නෑ නෑ යූඇන්පීය සන්ධානෙ කාර්යාලෙට දාල කියන්න පුළුවන් නිසා තමයි සන්ධානෙ කට්ටිය මේක එයාලගෙ කාර්යාලෙ තියං ඉන්නෙ"
"නෑ නෑ යූඇන්පීය සන්ධානෙ කාර්යාලෙට දාල කියන්න පුළුවන් නිසා තමයි සන්ධානෙ කට්ටිය මේක එයාලගෙ කාර්යාලෙ තියං......"
"හැබෑටම මේ දෙගොල්ල විතරද ඉන්නෙ? පොඩ්ඩක් රවුමෙන් එලියට ඇවිල්ලත් බලමු!"
Tuesday, August 4, 2015
දිවයින කතෘට අමතක වෙච්ච ටික....
උදේ පාන්දර පත්තර කියන දෙරණේ චතුර ළමයා දිවයින කතුවැකිය කියවනවා ඇසුනේය. දිවයින කතුවරයාට මැතිවරණ නීති ක්‍රියාත්මක වන අාකාරය ගැන පොඩි චූන් එකක් ඇතිවී ඇති ආකාරයක් පේන්න තබුනි. විස්තරය අසන්නට ලැබුනේ එහෙන් මෙහෙන් නිසා සම්පූර්ණ විස්තරය බලන්නට සිත්විය.
උපුටාගැනීම:
අවුරුදු පැමිණි බව පවසන්නේ කොහායි. ජන්දය පැමිණි බව පවසන්නේ කෝලාහලයයි. අතින් පයින්, ගලෙන් මුගුරෙන්, කිනිස්‌සෙන් කඩුවෙන්, උණ්‌ඩයෙන් බෝම්බයෙන් ක්‍රියාවට නැංවෙන කෝලාහලය අවසානයේ ඇසට ඇසක් හෝ හිසට හිසක් ඉල්ලන තැනට පැමිණේ. බොහෝවිට එම තත්ත්වයට මුහුණදෙන්නේ ඉස්‌මුරුත්තාවට එන තරමට 'ජන්ද උණ' වැළඳුණු උදවියයි. නමුත් ඉන් මෙහා, ජන්දයක දායකත්වය ජන්ද අයිතියට පමණක් සීමා වූ අහිසංක සාමාන්‍ය ජනතාව අමු අමුවේ පීඩා විඳි ජන්ද කෝලාහලයන්ද විය. ඒ වනාහි මහ පාන්දර සිට රෑ දෙගොඩහරියාමය දක්‌වා තොරතෝංචියක් නොමැතිව යකඩ කටවල්වලින් මුදාහරින මනාප අංක රාවයයි. එය ජන්ද අපේක්‍ෂකයාට ජය සක්‌හඬක් වුණිද, බහුතර සත්ත්වයාට එකම කන්දොස්‌කිරියාවක් විය. මනාප අංකය පමණක් නම් කම් නැත 'දක්‍ෂ, අවංක, එඩිතර, කාර්යශූර, බුද්ධිමත්........' ආදී සිංහලේ අගනා වචන ලැයිස්‌තුවක් ජන්ද සමයේදී මෙලෝ රහක් නැතිව, කන්වලට වද දෙමින් 'හෝල් සේල්' විකිනුණි.
නමුත් දෙයියනේ කියා මෙවර මැතිවරණය කනට අමාරුවක් නැත. සුවසේ අවදිවීමටද, සුවසේ නින්දටයැමටද හැකි මෙවන් ජන්ද සමයක් ඉතිහාසයේ නොතිබූ තරමකි. වෙනදා ඇසෙන ශබ්ද කෝලාහලය මෙවර නැත. ප්‍රසිද්ධ රැස්‌වීමක හැරුණු විට 'ලවුඩ්ස්‌පීකර්ස් ' භාවිතය සඳහා අවසර නැත. එනිසා මේ අප ගෙවමින් පවතින්නේ ජන්ද සමයක් යෑයි නොසිතෙන තරමේ නිසලතාවයක් අවට තිබේ. අප අත්විඳින මේ නිස්‌කලංකයේ ගෞරවය පළමුව හිමිවිය යුත්තේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාටය.
මෙම පාර්ලිමේන්තු මැතිවරණයේදී මැතිරණ කොමසාරිස්‌වරයා විසින් ගෙන ආ නීති අතරින් බහුතරය ක්‍රියාත්මකභාවයට පත්කිරීමටද එතුමාට හැකිවිය. වෙනදා නීති තිබුණද ආණ්‌ඩු බලය ඇති අය මෙන්ම ආණ්‌ඩු බලය නැති අය විසින්ද හරිහරියට ඒවා උල්ලංඝනය කරන ලදී. නීතිය බොහෝ විට වචන හෝ වගන්තිවලට පමණක් සීමා විය. නමුත් මෙවර නීතිය බොහෝ දුරට 'නීතිය' ලෙසින් ක්‍රියාත්මක වීමට පටන්ගෙන තිබේ.
නමුත්, ඉකුත්දා කොළඹ බ්ලුමැන්ඩල් පාරේ සිදු වූ වෙඩිතැබීමේදී එතෙක් ගෞරවයට පාත්‍රවූ නීතියේ ක්‍රියාත්මකවීම තරමක් අභියෝගයට ලක්‌විය. මන්ද එම වෙඩිතැබීම සිදුවන විට ජන්ද ප්‍රචාරක කටයුතුවලට යමින් සිටි හෙවත් 'කැන්වසින්' යමින් සිය ගණනක් එහි සිටි බවට පසුව වාර්තා පළවන්නට විය. එහෙත් කැන්වසින් යන කණ්‌ඩායමක් උපරිමය 25 කට සීමාවිය යුතු යෑයි මෙවර මැතිවරණ කොමසාරිස්‌වරයා නීතියක් පනවා තිබේ. එසේ නම් ආණ්‌ඩු බලය ඇති අයට නීතිය එකවිදිහකටත්, ආණ්‌ඩුබලය නැති උදවියට නීතිය තවත් විදිහකටත් ක්‍රියාත්මකවන්නේ දැයි මෙහිදී තර්කයක් මතුවීම වැළැක්‌විය නොහැකිය.
ඒ වුණත් මෙවර මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් ගෙන ආ එකී නීති හේතුවෙන් සිදුවන්නට නියමිතව තිබූ තවත් 'බ්ලුමැන්ඩල් සිද්ධි' ගණනාවක් වැළකුණු බව අපගේ අදහසයි. ජන්ද ප්‍රචාරක පෙළපාලි සීමා කිරීම, අත්පත්‍රිකා බෙදාහැරීම සඳහා තහංචි පැනවීම, පෝස්‌ටර ව්‍යාපාරයට වැට බැඳීම හරහා ජන්ද උණෙන් 'අං පටලවා ගැනීමට' තිබූ අවස්‌ථා බොහොමයක් වැළකුණි. නොවැළැක්‌විය හැකි සිදුවීම් කිහිපයක් හැරුණුවිට මෑත ඉතිහාසයේ පළමු වරට 'කැලෑ නීතියක් නොවන නීතියක් ' මගින් ජන්දයේ 'ගාය' අඩුකරනු ලැබ තිබේ.
මැතිවරණ නීති හැමදාම තිබුණි. නමුත් සිදුවූයේ නීති ක්‍රියාත්මක නොවීමය. දැන් දැන් නීතියට පණ එමින් පවතී. හැමවිටම මුවග සිනහවකින් සරසාගෙන සැහැල්ලුවෙන් වචන එළියට දැමුවද මහින්ද දේශප්‍රිය මහතාගේ වචන තුළ අපූරු සෘජු බවක් රැඳී තිබේ. ඉකුත් ජන්දයේදී හොර ජන්ද දැමීමට පැමිණියහොත් දනිස්‌සෙන් පහළට නොව හිසටම වෙඩි තැබීමට හැකිවන බවට දේශප්‍රිය මහතා පැවසුවේ තමන් සමග සෙල්ලමට නොඑන ලෙසින් අවශ්‍ය පණිවුඩය, ඉතාම සරලව ප්‍රකාශ කරමිනි.
මැතිවරණ නීති ක්‍රියාත්මකභාවයට පත්කිරීමේ ප්‍රතිඵලය ලෙසින් මේ වන විට පැහැදිලිවම සිදුවීම් අවම වූ ජන්දයක ස්‌වභාවයක් දිස්‌වෙමින් තිබේ. එමගින් නිදහස් මනසකින් සිය මහජන නියෝජිතයා තෝරාගැනීමේ අවස්‌ථාව මහජනතාවට පිරිනැමෙනු ඇත. මේ 'නිදහසේ' ගෞරවයෙන් විශේෂ කොටසක් මහින්ද දේශප්‍රිය මහතාට ලැබිය යුතුය
උපුටාගැනීම අවසන්.
හැබෑවකි! මැතිවරණ නීති හොඳට තදට ක්‍රියාත්මක වෙනවාලු. ඒ ගැන මැතිවරණ කොමසාරිස්තුමාට ප්‍රශංසා කර ඇත. ඒ ගැන අපේ අවුලක්ද නැත. එහෙත් දිවයින කතෘට අමතක වී ඇති කාරණා දෙකතුනක්ද ඇති බව පෙනේ.
2015 පාර්ලිමේන්තු මැතිවරණයට කලින් 2015 ජනාධිපතිවරයා තෝරා ගත්තේද මෙවැනි ඡන්දයකිනි. ඒ මැතිවරණයේදීද සිටියේ මේ මැතිවරණ කොමසාරිස්වරයාය. ඒ මැතිවරණයේදී සිටියේද දැන් සිටින පොලිසියයි. ඒ මැතිවරණයේදීද මැතිවරණ රාජකාරී කලේ දැන් සිටින රාජ්‍ය සේවකයන්මය. ඒ මැතිවරණයේදීද තිබුනේ දැන් තිබෙන රජයේ ජනමාධ්‍යයි-පෞද්ගලික ජනමාධ්‍යයි. ඒ මැතිවරණයේදීද සිටියේ දැන් සිටින ඡන්ද දායකයන්ය. එහෙත්,
ඒ මැතිවරණයේදී තිබුනේ එජනිස ආණ්ඩුවයි. දැන් තියෙන්නේ යහපාලන ආණ්ඩුවයි. ඔක්කෝටමත් වැඩියෙන්, ඒ මැතිවරණයේදී ජනාධිපතිව සිටියේ මහින්ද රාජපක්ෂයි. දැන් ජනාධිපතිව සිටින්නේ මෛත්‍රීපාල සිරිසේනයි.
Thursday, July 30, 2015
කෘමි මර්ධනය, හෙයාස්ටයිල් සහ ජුන්ඩ ලොකුකිරීම.....
අපේ කාර්යාල වලට නිතරම එනව එක එක අයිටම් විකුණන මිනිස්සු. දුරකතන පැකේජ, එක එක ජාති වල සඟරා, එක එක ජාති වල ගැජමැටික්, තෑගි භාණ්ඩ, මාල-වලලු-මුදු-කරාබු වගේ අයිටම්, ටෝච් එකේ ඉඳල ෆ්‍රිජ් එක දක්වා විදුලි උපකරණ.... ඔයවගේ අටෝරාසියක් දේවල්. පිලිගත් සමාගම් වල ප්‍රදර්ශන වගේම 'හඳුන්වාදීමේ' ඒජන්තයොත් මේ අතරෙ ඉන්නව. ඔය සමාගම් වල අය නං අවුලක් නෑ. අපි යම් තරමකට දන්න කියන අය තමයි එන්නෙ. නමුත් නව නිෂ්පාදන කාරයො නං හරි අයියල අක්කල බව කියන්න ඕන.
මේ ලඟදි දවසක හවස දෙකට විතර ආව බුවෙක්. ගෙවල් වල ඉන්න කෘමීන් මර්ධනය ගැන දේශනයක් දෙන්න එනව කියලයි කලින් ආරංචි උනේ. ඔන්න මෑන් ඇවිල්ල කූඹි, මකුළුවන්, හූනන්, කැරපොත්තන්ගෙන් වෙන කරදර ගැන කිව්ව. ඊට පස්සෙ බෑග් එක ඇරල ගත්ත අර කූඹි එනවට අඳින චෝක් එකක්.
"දැං ඔබතුමන්ලා බලන්න මේ තියෙන්නෙ චෝක් එකක්.... අපි ගෙවල් වල කූඹි එනවට මේ වගේ චෝක් පාවිච්චි කරනව.... සාමාන්‍යයෙන් අපි කරන්නෙ කූඹි එන තැන් බලල දිග ඉරක් අඳින එක..... නැත්තං රවුමට ඉරක් ඇඳල මැද්දෙන් කෑම ජාති තියන එක..... ඒක ඉතිං ටික දවසක් යද්දි මැකිල යනව..... ඊට පස්සෙ ආයෙත් අඳින්න ඕන.....නමුත් මේක එහෙම නෙවේ.... මේක දහයයි දහයෙ කාමරයක මෙන්න මෙහෙම ඉරි දෙකක් ඇන්ද නං ඇති. මේ වගේ දවස් දෙක තුනක් ඉරි කෑලි දෙක අඳින්න ඕන.... මේකෙ මෙන්න මේ රවුම් පැත්තෙ ඉඳල පටන් ගන්න තියෙන්නෙ.... සැර අඩු සහ සැර වැඩි කොටස් දෙකක් තියනව.... ඒ නිසා සතුන්ට මේකට හුරු වෙන්න බෑ.... මේක ඇන්දට පස්සෙ අවුරුදු දෙකක් තියනව.... කූඹින්ට, කැරපොත්තන්ට, හූනන්ට, සහ මකුළුවන්ට මේක පාවිච්චි කරන්න පුළුවන්...."
ඔන්න ඔහොම ලෙක්චර් එකක් දීල කට්ටිය අතට බාන්ඩෙ දුන්න. මිල ඇහුවම තමයි තරු පෙනුනෙ....
"මහත්තයා මේක ඉන්දියාවෙන් ගේන්නෙ.... ලංකාවෙ සුපර් මාකට් වලින් ගන්න පුළුවන් මාස දෙක තුනකින්.... රුපියල් පන්සියක් වෙනව.... හැබැයි හඳුන්වාදීමේ මිල විදියට අපි අද ගන්නෙ රුපියල් තුන්සිය හැටයි!"
ඔන්න දහ දොලොස් දෙනෙක් ගත්ත. දවස් කිහිපයකට පස්සෙ මම ඇහුව කස්ටියගෙන් ගුන අගුන.
"වැඩක් නෑ මල්ලි,... අර තිස්පහට ගන්න චෝක් එක ඊට හොඳයි...."
*******************************************************************
ඔන්න ආයෙත් දවසක ආව නෝන කෙනෙක්. නෝනලාට හෙයාස්ටයිල් දාන්න. එක නෝන කෙනෙකුට හෙයාස්ටයිල් එක දාල මොකදෝ කටුවක් ගහල තමයි වැඩේ ෆිනිෂ් කලේ. එයා කරන්නෙ ඒ කටුව විකුණන එක තමයි :-)
කටුවක් තුන්සීය ගානක් වෙනවලු!
*******************************************************************
මම කොළඹ ඔපීසියෙ ඉන්න කාලෙ ආව බුවෙක් මදුරුවන් එලවන ගැජමැටික් එකක් අරගෙන. මිනිහගෙයි සතුන්ගෙයි සංඛ්‍යාත පරාස ගැන "අපි නොදන්න" දේශනයක් එහෙම කරල අපට ඇහෙන්නෙ නැති මදුරුවන්ට ඇහෙන ශබ්දයකින් මදුරුවන් පලවාහරින ගැජමැටික් එකක් විකුණගත්ත. දවස් කිහිපයකට පස්සෙ කස්ටිය කෑම කන වෙලාවෙ ගැජමැටික් එක ගත්ත නෝන කෙනෙකුගෙන් මම ඇහුව ගුණ අගුණ.
"මම ගිහිල්ල කරන්ට් එකට ගහල තිව්ව..... ඇත්තටම මදුරුවො එන්නෙ නෑ බං"
පස්සෙ කට්ටිය නැති තැනක මම ආයෙත් ප්‍රශ්නෙ ඇහුව.
"කට්ටිය හිටිය නිසා කිව්වෙ නැත්තෙ.... ඒකෙන් වැඩක් නෑ බං.... මදුරුවන්ට මොකුත් වෙන්නෙ නෑ.... මහත්තයත් බැන්න හොරුන්ට අහුවෙනව කියල!"
******************************************************************
රැවටෙනබල් මිනිස්සු වැඩිපුර ඉන්න තාක් මේ වගේ හොර වැඩ නවත්තන්න බෑ ඉතිං. රැවටීම එන්නෙත් එක එන විදියට.
✌ මේ මිනිස්සු අල්ලන්නෙ මිනිස්සුන්ගෙ දුර්වලම තැනකින්. උදාහරණයක් විදියට කූඹි, කැරපොත්තො, හූනො කියන්නෙ අන්තිම වධකාර සත්තු ජාති ටිකක්. උන් නැති කරගන්න 'ඕන දෙයක්' කරන්න ලැහැස්ති පිරිසක් ඉන්නව. තට්ටව පෑදිච්ච එකා කැමතියි මොන විදියෙන් හරි කොන්‍ඩය වවාගන්න. සුදුකබර හැදෙනව කියන්නෙත් මානසිකව සෑහෙන්න වැටෙන කෙසේ එකක්. සුදුකබර නිට්ටාවට හොඳ කරනව කියන ගොඩ වෙද්දු පොහොසත් වෙන්නෙ ඒකයි. නෝටි ඇමරිකා බලල තමුන්ගෙ ජුන්ඩ පොඩියි කියල හිතන කොලු ගැටව් ජුන්ඩ ලොකු කරගන්න බෙහෙත් තියනව කිව්වම රවටන්න ලෙහෙසියි.
✌ විවිධ ක්‍රම වලින් එන්නෙ. 'දඬුවම් මුදලාලි' නැත්තං 'සක්විති' කියන්නෙ ලංකාවම රවටපු මිනිස්සු දෙන්නෙක්. ඒ දෙන්නට අහුවෙලා රැවටුනාට පස්සෙ ඒ ව්‍යාපාරයම 'පැනෝරා' කියන නමින් ආවෙ වෙනත් මුහුණුවරකින්. ඇඩ් එකක් ක්ලික් කරන්න කියල ලස්සනට මිනිස්සු අන්දන්න එයාල සමත්වුනා.
✌ ආත්මාර්ථකාමී මිනිසුන්ගෙන් ප්‍රයෝජන ගැනීම. ආයතනයකට ඇවිල්ල එකෙකුට කියනව "අහවල් එකෙන් දහයක් ගත්තොත් ඔයාට එකක් නොමිලේ දෙනව" කියල. ඇතුලෙ ඉන්න එකාගෙ ඔලුව වැඩ කරන්නෙ නිකං ලැබෙන දේ ගන්නෙ කොහොමද කියල. එයාල අතිනුත් දාල යාළුවන්ව අන්දනව.
✌ ප්‍රසිද්ධ නාම පාවිච්චි කරනව. අහවලත් මේක පාවිච්චි කරනයව. බොරු නං අහල බලන්න. කවුරුවත් අහන්න යනවයැ!
*****************************************************************
මේ ජාතියෙ බුවාලගෙන් බේරෙන්න පොඩ්ඩක් මොලය වෙහෙසුවම ඇති.
❂ සුළු ලාභය ගැන නොතකා ඇත්තටම මේහෙම සීන් එකක් වෙන්න පුළුවන්ද කියල හිතල බැලීම.
❂ 'අනෙකාට කෙලවුනත් මම ගොඩ ගිහිල්ලනෙ' කියන චින්තනයෙන් මිදීම.
❂ පිලිගත් ආයතන වලින් පමණක් මිලදී ගැනීම් සිදුකිරීම.
❂ අලුත්ම දේවල් එකවරම ගන්නෙ නැතිව පොඩ්ඩක් කල් බැලීම.
❂ යමකට රැවටුනොත් ලැජ්ජාව පැත්තකින් තියල අනිත් එවුන් දැනුවත් කිරීම. මේ තියෙන්නෙ ඒවගේ තැනක් ගැන දැනුවත් කිරීමක්.
