Friday, September 28, 2012

කවි බණ අතරේ...... Hot.......

හෙට තියන පෝය වෙනුවෙන් අද පාන්දරම ඔපීසියෙ කවි බණ වැඩසටහනක් සංවිධානය වෙලා තිබුන. පාන්දර කිව්වට උදේ 9ට විතර. ඕන්න නියමිත වෙලාවට මිදුලෙ පැදුරු එලල අපි කවි බණ අහන්න සෙට්වුනා. හාමුදුරුවරු දෙන්න නං සැප පුටුවක වාඩිවෙලා කවිබණ කිව්වෙ. ටික වෙලාවක් යනකොට ඇ‍ඟේ හැම ජොයින්ට් එකක්ම රිදෙන්න ගත්ත. බණට තියන අවධානයත් අඩුවුනා.

බණට කිව්ව කතාව තමයි අපි දන්න කියන කතාවක්. ඔන්න තාත්තයි අම්මයි පුත්තු තුන්දෙනෙකුයි ඉන්න පවුලක අම්ම මියයනව. තාත්ත වෙන කසාදයක් කරගැනීම තමන්ට තියන දේපල වල අයිතියට තර්ජනයක් කියල තේරුම්ගන්න පුත්තු තාත්තට උපරිමයෙන් සලකනව. ඊට පස්සෙ ඉඩකඩං ටිකත් ලියවගන්නව. ඊටත් පස්සෙ නොසලකාහරිනව. අන්තිමේ තාත්ත බුදුහාමුදුරුවො ලඟට යනව. ඊට පස්සෙ බුදුහාමුදුරුවො කියලදෙන කවිපන්තියක් වගේ එකක් ප්‍රසිද්ධ ස්ථානවල කියනව. ඒක අහන මිනිස්සු අරුවන්ට දඬුවම් කරන්න ලෑස්ති වෙනව. ඊට පස්සෙ එයාල තාත්තට සලකනව. ඔන්න ඔය කතාව ගැන තමයි අපේ අවධානය යොමුවුනේ. අපේ පැදුරෙ හිටිය කස්ටියගෙ කතාව මෙහෙමයි.

(රැඩිකල්)සංවර්ධන සහකාර මහත්තය : තාත්තට වෙලා තියෙන්නෙ පැහැදිලි අසාධාරණයක්. හොඳයි ළමයි එයාට සැලකුවාමයි කියල හිතමු. ඒත් ගෑණියෙකුගෙ අඩුව පුතාලට සම්පූර්ණ කරන්න බෑනේ.

සංස්කෘතික කටයුතු නිලධාරිය : ඔය ඉඩකඩම් කේස් එදා ඉඳල අද වෙනකල්ම ඉන්දියාවෙ තියනව. දෑවැද්ද නොගෙනාව කියල ලේලිල මරණ නැන්දම්මල තාම ඉන්නව.

ඉඩම් නිලධාරිය : ඔතන අවුල තියෙන්නෙ ඉඩකඩම් බෙදල දුන්න විදිය. පරාන භුක්තිය තියාගෙන ඉඩකඩං ලියල දුන්නනං ඔය කේස්එක එන්නෙ නෑ බං. එහෙම ලියල දුන්නනං ළමයි නොසලකා හැරියොත් ආයෙත් ඔප්පුව වෙනස් කරගන්න බැරිය!

රෙජිස්ට්‍රාර් : ඒ කාලෙ විවාහ රෙජිස්ටර් කරන්න නැතුවැති මං හිතන්නෙ. හැබැයි එහෙම උනානං දෙවනි කසාදයක් කරගත්තත් ඉඩම් වලට අවුලක් නෑ නේද?

පවුල් සෞඛ්‍ය නෝන : නෑ මෙතන තියන අවුල තමයි ඒ කාලෙ උපත් පාලනයක් තිබුනෙ නෑනේ. දෙවනි කසාදෙනුත් ළමයි උපදින්න පුළුවන්. එහෙම උනොත් ගැටළු මතු වෙනව.

සැලසුම් සහකාර : හැබැයි ලොකු ලේලි කිව්ව කතාවෙත් ඇත්තක් තියනවනෙ මල්ලි. එයාගෙ ගෙදර දිගටම හිටියඑකයි කේස්එක. ලොකු පුතාට වැඩිපුර මොකුත් දුන්නෙ නෑනේ. එතනදි වැරදියි. අනිත් අතට පුත්තුන්ට ක්‍රමවේදයක් හදාගන්න තිබුන මාරුවෙන් මාරුවට තාත්තට සලකන්න. ඒවගේ ප්ලෑන්එකක් නැතිනිසා වැඩේ දෙල්වුනා.

ඒඩී මහත්තය(වනිතා සංවර්ධන නිලධාරිණිය දෙස බලමින්) : මොනව කලත් වැඩක් නෑ බං. ගෑණු එක්ක මොකුත් කරන්න බෑ. බැන්දට පස්සෙ උංගෙ රාජ්ජෙ! මිනිහගෙ එවුන්ට සලකන්නෙ නෑ. තමුන්ගෙ එවුන්ට විතරයි සැලකිලි.

නීතීඥ මහත්තය : ස්වාධීන අධිකරණයක් ඒකාලෙත් තියෙන්න නැතුවැති. ඒකනෙ ඒ මනුස්සයට බුදුහාමුදුරුවො ලඟටම යන්න උනේ.

(වාමාංශික)සංවර්ධන සහකාර : සමාජවාදය යටතේ නං වැඩිහිටියන් රැකබලාගන්න වෙනම වැඩපිලිවෙලක් තියනව. ඕව ධනවාදය නිසා මතුවන ප්‍රශ්න. ඒවට උත්තර ධනවාදයෙන් හොයන්න බෑ මේ කපේදි.

පොලිසියෙ රාලහාමි : දූ දරුවන් නොසලකාහැරිය උනත් නීතියෙ හැටියට ප්‍රසිද්ධ ස්ථානවල හිඟාකන්න බෑ. අත්අඩංගුවට ගන්න වෙනව.

සමෘද්ධි නියාමක : මේවගේ ආදායම් මාර්ගයක් නැති අයට සමෘධිය හිමිවෙන්න ඕන.

සමාජසේවා නිලධාරිය : මේ වගේ වෙලාවට පිහිටවෙන්න තමයි සමාජසේවා දෙපාර්තමේන්තුව තියෙන්නෙ. මෙයාට වැඩිහිටි හැඳුනුම්පතක් හදල, පින්පඩියක් දීල ඕන නං වැඩිහිටි නිවාසෙකට දාන්න තිබුන අදකාලෙ වගේනං.

(වාමාංශික)සංවර්ධන සහකාර(මලපැන) : අපේ පඩියත් ජීවත් වෙන්න මදිඑකේ පිං පඩියෙන් ලුනුකැඳවත් බොන්න පුළුවන්ද බං?

බණ කියන හාමුදුරුවො : ..............සාධු කියන්න පින්වතුනි.

මම(සිතමින්): තව බ්ලොග් පෝස්ට් එකක්.

කිහිප දෙනෙක්ම : අම්මේ.... කොන්ද රිදෙනව, අහපු !@$$%^ නෑ. කකුල් නං රිදෙනව.



Thursday, September 27, 2012

ක්‍රිකට් සහ ලෝක කුසලාන T 20 අසාධාරණ තරග සැලැස්ම.


පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටය මේ වනවිට නිමාවී ඇති අතර ‍අපේ කන්ඩායම නවසීලන්තයත් සමඟ අද පැවැත්වෙන පළමු තරගයෙන් සුපිරි අටදෙනාගේ තරගාවලිය ආරම්භ වේ. ඕනෑම වර්ගයක ලෝක කුසලාන තරගාවලියකදී මූලික වටයේදී දැකියහැකි පෙරලි කිසිවක් මෙම තරගාවලියේ මූලික වටයේ වාර්තා නොවූ අතර ඒ ඒ කාන්ඩ වල දුර්වල කන්ඩායම් ඉවතට විසිවිය. පකිස්තානය හමුවේ බංග්ලාදේශ කන්ඩායම තරමක් හොඳ තරගයක් ලබාදුන් අතර ඇෆ්ගනිස්තානය සහ මීට පෙර තරගාවලිවල දස්කම් දැක්වූ අයර්ලන්ත කන්ඩායම එතරම් දක්ෂතාවයක් දැක්වූයේ නැත.

අසාධාරණ තරග සැලැස්ම.
මෙවර තරගාවලියේ ඉදිරිය ගැන කතාකිරීමට මත්තෙන් සුපිරි 8 දෙනාගේ වටයේ තරග සැකැස්ම ගැන කතාකල යුතුමය. සාමාන්‍යයෙන් ඕනෑම තරගාවලියක සුපිරි 8දෙනාගේ තරග පවත්වනු ලබන ක්‍රම වේදයක් ඇත. මෙය ක්‍රිකට් පමණක් නොව ඕනෑම වර්ගයක තරග සඳහා පොදු රීතියකි. එය සිදුවන්නේ මෙසේය.
යම් තරගාවලියක A, B, C, D යන කාන්ඩ යටතේ පලමු සහ දෙවැනි ස්ථාන වලට සුදුසුකම් ලබන කණ්ඩායම් අට පිලිවෙලින් [a1,a2], [b1,b2], [c1,c2], [d1,d2] යයි සිතමු. එවිට මෙම කාණ්ඩයේ දක්ෂතම කණ්ඩායම් හතර වන්නේ a1,b1,c1,d1 යන කණ්ඩායම්ය. තරගාවලියේ ජීව ගුණය රැකගැනීමට නම් අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබීමට වඩාත් සුදුසු වන්නේ එම කණ්ඩායම්ය. එබැවින් තරග සැලැස්ම සැකසෙන්නේ දක්ෂතම කණ්ඩායම් ඉවත් නොවන ආකාරයටය.

මීට වෙනස් තවත් සාර්ථක යයි කිවහැකි ක්‍රමයක් අයි.පී.එල්. තරගාවලියේදී හඳුන්වා දුන් අතර එහිදී පළමු සහ දෙවැනි ස්ථාන සඳහා පත්වන කණ්ඩායම් අතර තරගයෙන් ජයග්‍රාහකයන් අවසන් තරගයටත්, පරාජිතයන්, තුන්වැනි සහ සිව්වැනි ස්ථාන වල සිටින කණ්ඩායම් අතර තරගයේ ජයග්‍රාහකයන් සමඟ තරග කිරීමෙන්ද අවසන් තරගයට පැමිණේ.

එහෙත් මෙම තරගාවලියේදී සිදුවන්නේ අනෙකකි. A, B, C, D කාන්ඩ යටතේ සුපිරි 8 දෙනාගේ වටයට පිවිසි දක්ෂතම කණ්ඩායම් හතර වන ඉන්දියාව(a1), ඕස්ට්‍රේලියාව(b1), දකුණු අප්‍රිකාව(c1), පාකිස්ථානය(d1) ඔවුනොවුන් අතර තරග වැදීමෙන් ජයග්‍රාහී කණ්ඩායම් දෙකකුත්, දෙවැනි ස්ථානයට පත්වූ එංගලන්තය(a2), බ.ඉ.කො.(b2), ශ්‍රී ලංකාව (c2), නවසිලන්තය(d2) අතරින් කණ්ඩායම් දෙකකුත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. එනම් මෙහි අනිවාර්ය ප්‍රථිපලය ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, පාකිස්ථානය යන දක්ෂතම කණ්ඩායම් හතරෙන් දෙකක් කැපීයාමයි. තරගාවලියේ උණුසුම හීන කිරීමට මෙම කාරණය සමත්ය.

තරගාවලියේ ඉදිරිය.
පන්දුවාර විස්ස ක්‍රිකට් තරග වලදී අනාවැකි පැවසීම කල නොහැකි නමුත් දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක බව පැවසිය යුතුය. සුපිරි අට වටයේ ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, පාකිස්ථානය ඇතුලත් කාණ්ඩයේ තරග වඩා වැඩි ප්‍රේක්ෂක අවධානය යොමුවන තරග වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම
දකුණු අප්‍රිකාව සමඟ පැවති කෙටි තරගයේ ලද පරාජයත් විකෘති තරග සැලැස්මත් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට වාසියක් අත්වූ බව කිව යුතුය. එසේ නොවූයේ නම් සුපිරි 8 වටයේදී ඔවුන්ට තරගවැදීමට සිදුවන්නේ ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ පාකිස්ථානය සමඟය. භූමියේ වාසියද ලබාගෙන එංගලන්තය, බ.ඉ.කො. සහ නවසිලන්තය සමඟ තරග වැදී අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබීමට එතරම් අපහසු නොවනු ඇතැයි මගේ විශ්වාසයයි.

තරගාවලි සංවිධානය.
සාමාන්‍යයෙන් ඕනෑම කාර්යකදී අනාගන්නා ජාතියක් වන ලාංකිකයන් මෙහිදීද තම අනන්‍යතාවය රැකගැනීමට සමත්ව ඇත. ක්‍රිකට් ආයතනය බංකොලොත් කරගෙන ලෝකයේ ලොකුම ක්‍රීඩාංගනය සාදා ලෝකයම බලා සිටියදී මාධ්‍ය කුටියේ වතුර ඉවත් කරන සේවිකාවන් කියාපෑවේ අපේ අනන්‍යතාවය නොවේද? Cheerleadersලා ගැන කතා කිරීම ඔබට භාරය.

ටෙස්ට් ක්‍රිකට් එක්දින ක්‍රිකට් සහ 20.20 ක්‍රිකට්.
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට එක්දින තරග පැමිණීමත් සමඟ යම් පිරිසක් ඊට විරුද්ධ වූයේ ක්‍රිකට් තාක්ෂණය වලපල්ලට යතැයි සැක කරමිනි. එහෙත් දින පහක මන්දගාමී ටෙස්ට් තරගයක් නැරඹීමට වඩා එක්දින තරගයක් නැරඹීමට කැමති ප්‍රේක්ෂකයන් නිසා එක්දින ක්‍රිකට් මුල්තැනට පත්වුවත් එක්දින තරග නිසා ටෙස්ට් තරගවල සැලකියයුතු වෙනසක් සිදුවූයේ නැත. එහෙත් පන්දුවාර විස්ස තරග නිසා ක්‍රිකට් තාක්ෂණය උඩුයටිකුරු වීම මේ වනවිට ආරම්භ වී ඇත. උදාහරණ ලෙස මේ වනවිට 20-20 තරග වලදී ක්‍රීඩා කරන පිතිකරුවන්ගේ විලාශය අනුව බේස්බෝල් තරග වලදී මෙන් තාක්ෂණයෙන් තොරව වැරෙන් පන්දුවට පහරදීම්ද එතරම් දඟ නොකැවෙන පන්දු මෙන්ම මඳවේද පන්දු යැවීම් වර්ධනය වීම අනිවාර්ය වේ. අනාගතයේ ඇතිවිය හැකි වෙනස්කම් කල්පනා කර බැලූ විට 20-20 තරග තවමත් පවතින්නේ ළදරු අවධියේය. ප්‍රේක්ෂකයන්ගේ මුල්තැන දිනාගන්නා මෙම තරග නිසා ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවන බලපෑම අති මහත්ය. කෙටියෙන් කිවහොත් 20-20 ක්‍රිකට් වෙනම ක්‍රීඩාවක් තරමට දියුණු වනු ඇතැයි විශ්වාස කල හැකිය. එය රග්බි 15 සහ රග්බි 7ස් වෙන වෙනම පවතින්නාක් වැනිය. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවේ අනන්‍යතාවය රැකගැනීම සඳහා අඩුම තරමින් එක්දින තරග හෝ පවත්වාගෙන යා යුතුය. එසේ නොවුවහොත් මුත්තයියා මුරලිදරන්ලා සචින් තෙන්ඩුල්කාර්ලා ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ලා යලි කිසිදා හමු නොවනු ඇත.


Monday, September 24, 2012

හාමිනේ ෂේප් කරගත් මගෝඩි රාලහාමි.

අදත් කතන්දර. මතකද දන්නෙ නෑ මම කලින් ලිව්ව නෝන රවට්ටල අරක්කු බීපු අපේ රාලහාමිගෙ කතාව. මේ ඒ රාලහාමිගෙම තවත් මගෝඩි වැඩ ටිකක්.

රාලහාමිගෙ බීම ගැන නෝන හිටියෙ බොහෝම නොකැමැත්තෙන්. කොයි ගෑනිද කැමති මිනිහ බීල එනවට! නේද. ඔන්න දවසක් රාලහාමි යාළුවො කිහිප දෙනෙක් ගෙදරටම එක්කරගෙන ඇවිල්ල බිව්ව. නෝන එලිපහලියට ආවෙවත් නෑ. අන්තිමේදි කස්ටියට ඕනවුනා තලප කන්න. ඔන්න කුරහන් පිටි ටිකක් එහෙම අරගෙන තලප හදන්න සූදානම් උනා. මේ වැඩේට ටිකක් ලොකු හට්ටියක් ඕන වෙනව. එක යාළුවෙක් ගෙදර පිටිපස්සෙ වලං මැස්සක තිබුන ලොකු මුට්ටියක් අරගෙන ආවලු. ඒකෙන් තලප හදාගෙන කාල යාළුවො ගියාමයි නෝන එලියට බැස්සෙ. දැන් රාලහාමි පුටුවක වාඩිවෙලා ඉන්නවලු. නෝන ආවේස වෙලා වගේ ලඟට ආවලු,

"වලං මැස්සෙ මුට්ටියෙ තිබුන මීවදේ කෝ?" රාලහාමිට හීං දාඩිය දැම්මලු.
"මොන මී වදයක්ද?"
"තමුසෙලා තලප හදන්න ගත්ත මුට්ටියෙ මී වදයක් තිබුන. මම පරිස්සමින් තියාගෙන හිටියෙ අගෝස්තුවෙ ඒක කඩල පැණි ගන්න"
රාලහාමි ගත්ත කෝල් එකක් යාළුවට,
"ඈ බං,..... උඹ තලප හදන්න ගත්ත මුට්ටියෙ මොකුත් තිබුනෙ නැද්ද?"
"ආ...... මොකද්ද කළුපාට කුට්ටියක් තිබුනා.......ආ. මම ඇදල විසිකලා"

සූර්පිට ඌ විසිකරල තියෙන්නෙ මී වදේ!


☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻

"මහත්තයෝ ඔය කේස් එකෙන් පස්සෙ අපේ ගෑනි මාත්තෙක්ක සතියක් විතර කතාකලේ නෑ" රාලහාමි කියනව. "හැබැයි යාළුවෙන්නත් මාරම හේතුවක් හැදුන"

"ඔන්න දවසක් එකෙක් මට කෝල් එකක් දෙනව. ඌට කියන්නෙ බෙලි පුංච කියල. බොන්න එන්න කියනව. ගෑනි කතා කරන්නෙත් නැතිඑකේ මම බිව්වොත් නං මගේ කසාදෙ ඉවරයි මහත්තයෝ. අපි දෙන්න ක්‍රමයක් කතා කරගත්ත"

ඔන්න බෙලි පුංච ගෙදරට ආවම සංවාදෙ මෙහෙමයි,

බෙලි පුංච: රාලහාමි අර වැඩේට යමුද?
රාලහාමි: අනේ මට බෑ බං. මගේ ඇඟටත් හරි නෑ.
බෙලි පුංච: එහෙම කියන්න එපා රාලහාමි, මේක ඉවරයක් කරගන්න යමු!
රාලහාමි: මට බෑ!
බෙලි පුංච: හරක් ටික මැරේවි රාලහාමි.
රාලහාමි: මැරෙන්න දීපං!

රාලහාමි ගේ ඇතුලට ආව.

නෝන: මොකටද අර කතා කරන්නෙ?
බෙලි පුංච: වගා පාළුවක් කරපු හරක් ටිකක් බැඳගෙන.
නෝන: කාගෙද හරක්?
රාලහාමි: කන්දෙ ගෙදර ඇඩ්ඩිංගෙ!
නෝන: මොනව! අපේ තාත්තගෙ හරක්? තමුසෙට මං දුන්න තරහටද තාත්තගෙ හරක්ටික මරන්න හදන්නෙ. ගිහිල්ල කොහොමහරි තාත්තට හරක්ටික බේරල දෙනව.
රාලහාමි: පුංචෝ යමං එහෙනං.

ඕං ඔය විදියට එලියට ආව රාලහාමි රෑ දෙගොඩහරියෙ ගෙදර ආවෙ හතරගාතෙන් බව කියන්නත් ඕනද? උදේ නෝන හොඳයි.

නෝන: රාජකාරියට ගිය මනුස්සයො ගෙදර එන්නෙ ඔහොමද?
රාලහාමි: මං නැත්තං ඔයාගෙ තාත්තට හොඳ ගානක දඩයක් වදිනව. මම බොහොම අමාරුවෙන් ෂේප් කරගත්තෙ. ඊට පස්සෙ බොන්න කතා කලා. මට නොයා ඉන්න පුළුවන්ද?

තමුන්ගෙ තාත්තව බේරගන්න ගිහිල්ල ටිකක් බිව්වත් නෝන තරහ උනේ නෑ‍.

ඒ ඔක්කෝමත් හරි කියමුකො. මම ඇහුව අන්තිමට ප්‍රශ්නයක්.
"හරි! රාලහාමිගෙ බොරුව අහුඋනාට පස්සෙ නෝන තරහ උනේ නැද්ද?""


"මෙන්න ඒකට රාලහාමි දුන්න උත්ත‍රේ. හැබැයි කාන්තා පාර්ශවේ උදවිය බැලීම සපුරා තහනම්."


"රුපියල් එකසිය විසිපහක් දීල අරක්කු බාගයක් බිව්ව කියල අපි හිඟන්නො වෙන්නෙ නෑ කියල මම නෝනට කියන්නෙ . නෝන හිතාගෙන ඉන්නෙ තාම බාගෙ එකසිය විසිපහයි කියල"

අන්තිමටම රාලහාමි කිව්ව.‍