Monday, August 1, 2011

මාතලන්, මරණීය දණ්ඩනය, ශ්‍රී ලංකා පොලිසිය සහ මගේ පාසල.

හෙඩ්ලයින් එක දැක්කම නිකං නොගැලපෙන ගතියක් දැනෙනවා නේද? අද කියන්න යන්නෙ 90 අවුරුද්දෙ අපේ ගම සහ ඒ ආසන්නයේ සිදුවුන ඛේදජනක සත්‍ය කතාවක්.
මේ කතාව මට මතක් වුනේ මගේ කලින් පෝස්ට් එකට මාතලන් කොමෙන්ටුවක් දාපු නිසා. මතකයිනෙ මම කිවුවා විභාගයකට ලියනවා කියලා. සෙනසුරාදා තිබුනු ඒ විභාගෙ ආපු එක ප්‍රශ්නයක් තමයි "මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් අපරාධ අඩු කරන්න පුළුවන්ද?" කියන එක ගැන ලියන එක. ඒක ලියලා ඇවිත් පෝස්ට් එක බලනකොට තමයි මාතලන්ගෙ කොමෙන්ටුව දැක්කෙ.
අද ලංකාවෙ මරණීය දඩුවම දෙන්නෙ නැතත් නිළ නොවන වශයෙන් ක්‍රියාත්මක වෙනවනේ.අළුගෝසුව විවේක සුවයෙන් ඉන්නවා වුනාට ඒ කාර්ය භාරය දැන් ඉටු කරන්නෙ ශ්‍රී ලංකා පොලීසිය. ඒ කාරණාව ගැන විස්තර කතා කිරීම මෙතනදි ඕනවෙන්නෙ නෑ. මොකද ඒවා හැමෝම දන්නවනෙ. කොහොම උනත් මම දන්න කියන ඉතිහාසෙ ඉස්සෙල්ලම මේ වගේ මරණිය දණ්ඩනයට ලක් වුනේ "මාතලන්" කියන බිහිසුණු අපරාධකාරයව.
ඒ එක්දහස් නවසීය අනූවෙ අවුරුද්දෙ විතර (මට මතක විදියට). ඒකාලෙ මම ඉස්කොලෙ ගියේ අපේ ගමේ තිබුන පොඩි ඉස්කෝලෙකට. ඒකෙ පන්ති තිබුනෙ හය වසරට යනකම් විතරයි. ඒ කාලෙ ළමයින්ගෙ අධ්‍යාපන කටයුතු වලට අද වගේ උනන්දුවක් තිබුනෙ නෑ. දැනට උනත් නාගරික ප්‍රදේශ වලට සාපේක්ෂව තත්වෙ ඒකම තමයි. ඔය කිවුව අපේ ඉස්කෝලෙ, මට වඩා අවු.2 වැඩිමල් අක්කා කෙනෙක් ඉතිහාසෙ පළවෙනි වතාවට 5 වසර ශිෂ්‍යත්වය සමත් වුනා(අපේ ඉස්කෝලෙන්).
ඊට පස්සෙ එයා අපේ දිස්ත්‍රික්කයේ තිබුනු ‍හොද ඉස්කෝලෙකට යන්න පටන් ගත්තා. ඒ අක්කා හිටියෙ අපේ ගමට එහා පැත්තෙ ගමක. ඒ කියන්නෙ අපට කිටිටුම(කුඩා) ටවුන් එකයි එයා හිටිය ගමයි අතරෙ තමයි අපේ ගම තියෙන්නෙ. බස් එකට නගින්න ටවුමට එන්නත් පාරවල් දෙකක් තිබුනා. එකක් අපේ ගම හරහා-අ‍නිත් ක්‍රමේ අපේ ගමට නැගෙනහිර පැත්තෙන් තිබුන ගම හරහා. වෙනත්(ටිකක් ලොකු) නගරෙක ඉස්කෝලෙකට ගිය ඒ අක්කා ටවුමට යනකල් ගියේ බයිසිකලේකින්. ඒ අපේ ගම පැත්තෙන් නෙවේ අර අනිත් ගම පැත්තෙන්. අනිත් කාරනේ තමයි මේ කොයි පැත්තෙන් ගියත් ගම්මාන දෙක මැද තියන කැලෑ-පාළු ප්‍රදේශයක් පහු කරගෙන යන්නම සිදුවෙනව.
මේ විදියට පාසල් ගිය මේ ගෑණු ලමයා එක දවසක් ගෙදර ආවෙ නෑ. අම්මයි තාත්තයි පොලීසියට ගියාම ලැබුන උත්තරේ තමයි(ළමයා 7 වසරෙ වුනාට)
"කෙල්ල කාත් එක්ක හරි පැනලා යන්න ඇති, දවසක් දෙකක් යනකොට ඒවි" කියන එක.
කොහොම උනත් ඒක එහෙම නෙවේ කියලා පොලීසියෙ මහත්වරුන්ට ඒත්තු ගන්වන්න දෙමවුපියන් සමත් වුනා. ඊට පස්සෙ පොලීසිය කලේ ටවුමෙ ඉදලා ළමයා ආවද නැත්ද කියන එක චෙක් කරපු එක. එතනදී මම කලින් කිවුව පාළු ප්‍රදේශයේ දර කපමින් හිටිය මනුස්සයෙකුගෙන් ප්‍රශ්න කලාම ඔහු කිවුවෙ ඒ හරියෙන් ළමයෙක් නොගිය බව. ඊට පස්සෙ තමයි ඒ පාර දෙපැත්තෙ ගමේම හිටිය කොල්ලන්ගෙ නරක කාලෙ උදාවුනේ.
පොලීසියෙ මහත්වරු කලේ හන්දි ගානෙ, බෝක්කු උඩ එහෙමත් නැත්නම් ගෙවල් වල හිටය කොල්ලො උස්සගෙන ගිහිල්ලා දෙතිස් වධ දීපු එක. ඒත් ඇත්ත වශයෙන්ම සිදුවෙලා තිබුනෙ ළමය අර දර කපන්නව පහු කරගෙන ගියත් එයාව දැකලා නොතිබුනු එක. ඊට දවස් දෙකකට විතර පස්සෙ කැලේ තිබිලා ඝාතනය කල ළමයලෙ මළ සිරුර අහුවෙලා තිබුනා. ඝාතකයා වුනේ මම ඉස්සෙල්ලා කියපු මාතලන් කියන තැනැත්තා. එයාට මාතලන් කියන නම හැදුනෙ කොහොමද කියලා දන්නෙ නැහැ. ඒ පුද්ගලයා විකෘති ආශාවන් ඇතිකෙනෙක්. එක් වරක් ඔහු තමන්ගෙ බිරිදට දැඩි ලෙස වධදීලා තිබුනා. ඒවා මෙතනදී සදහන් කරන්නවත් පුළුවන් ඒවා නෙවේ.
අන්තිමේදි පොලිසිය "යුක්තිය ඉටුකලා". ඒ මම මුලින්ම සදහන් කල විදියට.(ඔවුන් ඒබව ගමේ තිබුනු රැස්වීමකදී ප්‍රසිද්ධියේම කිවුවා)
මේ සිද්ධි දාමය අවසානයේ අතුරු ප්‍රථිපල රාශියක් ඇතිවුනා. එකක් තමයි ගැහැණු ලමයාගෙ ගමේ මිණිස්සු සමග නිරපරාදේ දඩුවමට ලක්වුනු තරුණයන් වෛරයක් ඇතිකර ගැනීම. මේ නිසා ඒ ගමේ වැසියන්ට පෙර කී ගම්මානය පසුකර යාමේදී විවිධ අතවර විදීමට සිදුවුනා. අනිත් වැදගත්ම(සහ නරකම) කාරණාව තමයි මුලින් කියපු අපේ ඉස්කෝලෙට, ඝාතනයට ලක්වූ ගමේ ළමයිගේ පැමිණීම නැවතීම. ඊට පස්සෙ ඒ ළමයි අපට විරුද්ධ දිශාවේ ඇති වෙනත් ඉස්කෝලෙකට අස්වෙලා ගියා. ඒ හේතුවෙන් අපේ පාසලේ සිටි 150-180 පමණ වූ ශිෂ්‍ය ප්‍රමාණය අඩකටත් වැඩි ප්‍රමාණයකින් අඩුවුනා.
පස්සෙ කාලෙක විදුහල්පතිතුමාගෙ "දක්ෂතාවය" නිසා මේ ළමයි ප්‍රමාණය 25-30 ප්‍රමාණයට වැටුනා(දැනුත් ඒකයි තත්වෙ). ඒ විදුහල්පති තුමා දැන් නැතත් ඒ පිරිහීම ගැන මතක් වෙනකොට දැනෙන්නෙ දැඩි කණගාටුවක්. මොකද අවුරුදු හයක් මම ඉගෙනගත්ත ඉස්කෝලෙ ඒක නිසා.(ඉගනගන්න වෙලාවෙන් පැයක් දෙකක් 'ඉන්ටවල්' එකටම යනකොට කොහොමට හිටීද? පුදුම වෙන්න එපා-ඉරිසියා කරන්නත් එපා, ඒකාලෙ අපිට ඒ "වරප්‍රසාදෙ" ලැබුනා)
පස්සෙ කාලෙක අර අක්කගෙ එකම නංගිත් නගරෙ ඉස්කෝලෙට ඇතුලත් වුනා. එයත් ටවුමට යනකන් තිබුනු ඒ කි.මී.4-5ක් විතර දුර ගියේ අක්කා වගේම බයිසිකලයකින්. හය වසරෙ ඉදලා ඉස්කෝලෙ යාම අවසන් වනතුරු හෑම දවසකම උදේටයි හවසටයි එයාගෙ තාත්තත් බයිසිකලේක නැගිලා එයාගෙ තනියට යනවා දැකීම අපට සාමාන්‍ය දර්ශනයක් වුනා.
ඉතින් ඕක තමයි මාතලන්ගෙ කතාව. බ්ලොග් ලියන දැන් සිංඩියකුත් පටන්ගත්ත මාතලන් නිසා තමයි මේ කතාව මතක් වුනේ. අනිත් හේතුව මගේ විභාග ප්‍රශ්නෙ. විභාගෙකදී අපි මොනවා ලිවුවත් මම නං කියන්නෙ මරණ දඩුවමට සුදුසු සුළු පිරිසක් මේ සමාජයේ ජීවත් වෙනවා. ඔවුන් අතලොස්සට මරණ දඩුවම දෙන එක තුල බහුතරයක් අහිංසක මිණිස්සුන්ට දැනට වඩා යහපත් සමාජයක ජීවත් වෙන්න අවකාශය සැලසෙනවා. හැබැයි ඒක නීතියකට අනුව සිද්ධවෙන්න ඕන. බලය පාවිචිචි කිරීම පොලීසිය අතට දීමෙන් වෙන්නෙ මොරටුවෙ තරුණයන් දෙන්නගෙ ඝාතනය වගේ දේවල් සිද්ධවෙන එක විතරයි.
මට මතක ඇති කාලයේ, "පොලීසියට ප්‍රහාර එල්ල කර පැනයාමට" උත්සාහ කිරීමේදි සිදුවූ පළමු මරණය තමයි මේක.
ඔක්කොම කියෙව්වා නම්, හිතට දැනෙන දේ පහලින් ලියලා යන්න.
ගිහිං එන්නම්.

8 comments:

  1. ඔව් සමහර වෙලාවට ඔය දේ ම්ලේච්ඡයි කියලා හිතුවට සමහර වෙලාවකට අහන දකින දි අනූව ඔය දේ නැතුව බැහැයි කියලා හිතෙනවා..

    ReplyDelete
  2. නීතිය හා සදාචාරය අනුව නම් කිසිසේතම අනුමත කළ නොහැක.. නමුත් පාළකයන් පත් වන්නේ ජනතා සිතුම් පැතුම් අනුවයි.. නීතිය වල් වැදී ඇත.. අහිංසකයෙක් මරපු බවක් නම් අද වන තෙක් දැන ගැනීමට නැත.. අඟුලානේ සිඳුවූ දෙයෙහිද කෙලවරකට ගිය විට හේතුව සොයා ගැනීමට පුළුවන.

    බැලුවම මාතලන් කොහේ ගියත් මාර වැඩ කරන එකෙක් නේ, ඔයාලගේ ගමේ මාතලන්ට සිඳු වෙච්ච දේ මගේ "මං උඹේ කීකරු බලු කුක්කා" කියන කව්ය වගේ එකේ තියෙනව. ඕකත් මාරම ප්‍රශ්නයක්. කොහොම හරි පබ්ලිසිටි එකට ගොඩක් පින්. ගාස්තුව පස්සෙ කියන්න.. තෑන්ක්ස් ඈ...

    ReplyDelete
  3. හිතට දැනුණා ලොකු දුකක්... අපේ මිනිස්සු ඇයි ඔහොම හැසිරෙන්නෙ?

    ReplyDelete
  4. ලොකු ලොකු අය නීතිය තමන්ගේ වාසියට භාවිතා කොරන හින්දා තමයි මේ ඔක්කොම නස්පැත්ති වෙන්නෙ...

    ReplyDelete
  5. @චතුර...
    converter එකෙන් (සිංග්ලිෂ්) නේද ටයිප් කරන්නෙ?
    @මාතලන්
    ඒ කවිය බලන්නං.හරිගිය පසු ගාස්තුව :)
    @විසිතුරු
    ඔහොම හැසිරෙන්න හේතු කාරණා ගොඩක් තිබුන වුනත් අද තියන නීතිය යටතේ "ඕන දෙයක් කරලා නිදහස් වෙන්න පුළුවන්" කියන සිතුවිල්ල සෑහෙන බලපෑමක් කරනවා.
    @ප්‍රසංග
    ඒක හරි.මතක ඇතිනේ පහුගිය කාලෙ සිද්ධි කීපයක් වුනා.චූටි දඩයක් ගෙවාගන්න බැරි මිණිස්සු අවුරුදු ගනන් හිරබත් කනකොට මිණීමරපු ගෑණු මිණිස්සු පොදු සමාව යටතේ එලියට ආ හැටි.

    ReplyDelete
  6. මම මේ කතාව කලින් අහලා තිබුනා වගේ. සමහරවිට පත්තරේකින් හෝ කවුරු හරි කියලා වෙන්නැති.
    මොනවා වුනත් නීතිය මිනිහෙක් මරන්න තරම් යොදවනවාට මම නම් කැමති නෑ. ඒ කියන්නේ මම ඔය මරණ දඬුවමට විරුද්ධයි. ඒත් මේ වගේ වැරදි කරන අයට නිසියාකාර දඬුවම් ලැබිය යුතුමයි. ඒක නීතිය ක්‍රියාත්මක කරන අයටත් අදාල වෙන්න ඕනේ.
    අපේ මාතලන් ගොයියාගේ නම තිබ්බම මාත් උඩ ගිහින් බිමට ආවේ.. මේ ඉඳල ඉඳලා ලියන්න ගත්ත ගම්න් අපරාධකාරයෙක් කියල හංවඩු ගහල තියෙනවා දැක්කම.

    ReplyDelete
  7. ප්‍රොෆයිල් නේම් එක කියවන්න ගිහිල්ලා දිව උළුක් වුනා.

    ReplyDelete
  8. මම නම් කියන්නෙ මරණ දඞුවම තියෙන්න ඕන, ඒ වගේම පොලිසිය හැසිරෙන විදිය අනුමත කරන්න නම් බැහැ, ඒත් එහෙම නැතුවත් බැරි වෙන වෙලාවල් තියනවා .....

    ReplyDelete