Friday, August 26, 2011

ගල් කේස් (වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි.)

අද කියන්න යන්නෙ ඊයෙ පෙරේදා දවසක වෙච්ච සිද්ධියක්.
ස්ථානය: අපේ ඔෆීසිය.
පාත්‍ර වර්ගයා:රවී, නාලනී මිස්, තිලක මිස්, ප්‍රගීත්(මෙයා කාලයක් තිස්සෙ මුත්‍රාශයේ හැදෙන ගල් නිසා පීඩා වින්ද කෙනෙක් ලගදි මේ අයියට හොදටම අමාරුවෙලා කරාපිටියෙ ඉස්පිරිතාලෙට ඇතුල් කලා.)
එපිසෝඩ් වන්.
වේලාව: උදේ 10.00ට විතර;
නාලනී මිස්: රවී මල්ලී, ප්‍රගීත් හොස්පිට්ල් ඇඩ්මිට් කරලලු නේද? දැන් කොහොමද දන්නෑ?
රවී : ආ..මටත් බලන්න යන්න බැරිවුනා, අද හවස තමයි යන්නෙ, ප්‍රගීත්ගෙ වයිෆ් කිවුවා ඔපරේෂන් කරනවා කියලා.
තිලකමිස් : ඇයි රවී, ප්‍රගීත්ට මොනව වෙලාද?
රවී : ගල් කේස් එක තමයි.(පිටව යයි)
එපිසෝඩ් ටූ.
වෙලාව: හවස 2.00
නාලනී මිස්: රවී තිලකා මිස් මාර කතාවක් කිව්වනේ.
රවී : මොකද්ද?
නාලනී මිස්: උදේ ඔයා කිවුවනේ ප්‍රගීත් ගල් කේස් එකක් නිසා හොස්පිට්ල් ඇඩ්මිට් කලා කියලා. ඒක අහගෙන ඉදපු තිලකා මිස් මගෙන් අහනවා "ප්‍රගීත් මහත්තයා බැදලා ලමයි දෙන්නෙකුත් ඉන්නවනේ. එයා ඒවගේ කෙනෙක්ද? අනිත් එක ඕය ගල්කේස් තියනවයි කියන්නෙ පන්සල් වලනේ"
(නම් මනඃකල්පිතයි)
තරයේ අවවාදයයි: හොරාට කලිං කෙහෙල් කැනට වැට පැණීමට ඉඩ නොදිය යුතුයි.
කොහොමද හිනා ගියාද?

Tuesday, August 23, 2011

පරීක්ෂණ....පරීක්ෂණ....කාර්යාල පරීක්ෂණ

මේ දවස්වල හරියට වැඩ. මොකද අද අපේ කාර්යාල පරීක්ෂණයක් තියනවා. ඉතින් කිසිම නිදහසක් නැතිව හිටියෙ මේ ටිකේම. මොකද කියනවනං පරීක්ෂණේට කලියෙං තියන වැඩ සේරම අවසං කොරන්ටෙපැයි. නැත්නං පරීක්ෂණයේදි හොයාගත්ත වැරදි අද හවස තියන ප්‍රසිද්ධ රැස්වීමේ කියනවා. ආතල් නේ...
කාර්යාල පරීක්ෂණ, ඵලදායීතා තරග ආදී නොයෙක් දේවල් කාලෙකට සැරයක් අපේ කාර්යාල වලට එනවා. කාර්යාලයක කාර්යක්ෂමතාවය වැඩිදියුණු වෙන්න ඒවායෙන් යම් තරමකට සේවයක් නොවෙනවා නෙවේ. අනෙක් අතට මේවායෙන් අයහපත් ප්‍රථිපලත් නැත්තෙ නෑ. පරීක්ෂණයක් පැවැත්වෙනවා කියන ආරංචිය ආපු ගමන් කරන්නෙ නිලධාරීන්ට රැස්වීමක් කැදවලා ඒක කාටත් දැනුම්දෙන එක. ඊට පස්සෙ තමයි "යුද්ධය" ආරම්භ වෙන්නෙ.
ෆයිල් හදන්න, හැඩ වැඩ දාන්න, ෆයිල් දාරවල සෙලෝටේප් අලවන්න, මේස රෙදි හෝදන්න, මේස උඩින් කවදාවත් නැති විදියට මල්පෝච්චි තියන්න ... ඕං ඔයවගේ කෝටියක් වැඩ කරන්න වෙනවා දහසක් රාජකාරී අස්සෙ. ඇත්තටම මේවායෙවන් කාර්යක්ෂමතාවයක් ඇතිවෙනවද කියන එක ප්‍රශ්නයක්. මොකද පරීක්ෂණ දිනේට පස්සෙ ආයෙත් සුපුරුදු විදියටනෙ වැඩ සිද්ධ වෙන්නෙ. මම නං හිතන්නෙ මේකට වැඩියෙන් වගකියන්න ඕන පරීක්ෂණ වලට එන උදවිය කියලයි. මොකද එයාලා ගොඩක් දුරට බලන්නෙ පිරිසිදුකම, ලිපි ගොණුවක් සොයාගැනීමට ගතවන කාලය වගේ මිණුම් දඩු. ඒත් අපේ කාර්යාලවල ඉන්නවා අක්‍රමවත් වුනත් ඉතාමත් කාර්යක්ෂම විදියට වැඩ කරන නිලධාරීන්. මේ නිලධාරීන් ඇගයීමක් මෙයින් සිද්ධ වෙන්නෙ නෑ.
මේකෙ මූලිකම දුර්වලතාවය තමයි අහවල් දවසේ එනවා කියලා කලින් දන්වන එක. හරියටම දිනේ නොකිව්වත් ආසන්න වශයෙන් හරි කියනවා. ඒක හරියට පොලීසිය කසිප්පු අල්ලන්න යනකොට කසිප්පු විකුණන මිණිහට ඇතුලෙන් මැසේජ් එක යනවා වගේමයි නේද?..හික්!
පරීක්ෂණයකට යනව නම් හදිස්සියේ කඩාපනින්න එපැයි නේද? ඊටත් හොදම ක්‍රමේ තමයි සේවා දායකයන් විදියට යන එක. එතකොට පුළුවන් හරියටම කවුද කාර්යක්ෂම කවුද අකාර්යක්ෂම කියලා ලේසියෙන්ම හොයාගන්න. එතකොට අහිංසක මිණිස්සුන්ට ගෙම්බර් දාන, පගා ගහන එවුන් අතටම අල්ලගත්තෑකි. මට මතකයි එකසැරයක් ආවා පරීක්ෂණ කණ්ඩායමක් කොළඹින්. එයාලා ‍ගොඩාක් බලන්නෙ කාර්යක්ෂමතාවයට අදාල පංචවිධ නීති ක්‍රියාත්මක වෙනවද කියලා බලන එක.(අර five-S කියලා කියන්නෙ සිංහලෙන්, ඒක තමයි). මම කලින් වැඩ කරපු කාර්යාලයකට ආපු මේ සෙට් එකේ නෝනා කෙනෙක් හරි අපූරු කතාවක් කිව්වා.
මෙයා ඇවිල්ලා එක මිස් කෙනෙකුගෙ මේසයක් ලග වාඩිවුනා.වාඩිවෙලා ලාච්චුව ඇරියා.
ආ... කියන්න අමතක වුනානෙ. මේගොල්ලො බලන්නෙ මේවගේ දේවල්.
මේසයේ ලාච්චුව ඇතුල පිරිසිදුව පිළිවෙලට තියනවද, එක් එක් අංශ වල මේස පුටු අනෙකුත් කෙලකෝටියක් බඩු ඒ ඒ තැන්වල තියනවද කියන එක. අපි හිතමු මේස ලාච්චුවේ තියාගන්නෙ පෑන් දෙකයි, පංචර් එකයි, අඩිරූලයි, කැල්කියුලේටරයයි, කටුගහන මැෂින් එකයි කියලා. මේස ලාච්චුවෙ සයිස් එකට රිජිෆෝම් කෑල්ලක් කපලා අදාල උපකරණ බස්සන්න පුළුවන් විදියට රිජිෆෝම් කෑල්ලෙන් කොටස් අයන් කරලා ලාච්චුව හදාගත්තම පුල් සැටිස්. ඒ වගේම පඩිපෙලවල් වල නගින පැත්තට උඩට ඊතල ගහලා බහින පැත්තට යටට ඊතල ගහල , ඒ විතරක් නෙවේ කුණුකූඩෙ තියන තැනත් යටින් රවුමක් ඇදලා ඒකට ඉඩ වෙන් කරලා ....
ඕන්න ඕවා තමයි කරන්න ඕන. හරි ඉතින් අර මිස් ඇවිල්ලා ලාච්චුව ඇරියා! හොදයි, නැගිටලා කබඩ් එකත් ඇරියා! හොදයි. අන්තිමට ආයෙ වාඩිවුනා. අපේ මිස් වතුර බොන ප්ලාස්ටික් බෝතලයක් තිබුනා ඒකෙ වතුර තිබුනෙ බාගෙට. ඒක දිහා බලලා අපේ මිස්ට කතා කරලා කියනවා,
"මේසෙ උඩ වතුර බෝතලේ තියනකොට, ඒක ටික ටික ඉවර වෙනවා. බාගෙට පිරුණු බෝතලේ දකින්න තියන එක හොද නෑ, ඒක කාර්යක්ෂමතාවයට බාධාවක් නේද?"
හරියටම වචන සැට් එක ඕක නූනත් අදහස ටක්කෙටම හරි. ඉතින් මේවට හිනාවෙනවද අඩනවද කියලා ඔයාලම තීරණය කරන්න.(මේ දේවල් වලට අපහාස කලා නෙවේ).
එස් පහ සංකල්පෙ ගැන කියනව නං ඒක කරන්න පුළුවන් එක සැරයයි නේ. මොකද ඕකෙ හතරවැනියටද කොහෙද තියෙන්නෙ "අදාල ක්‍රියාවලිය නොකඩවා ක්‍රියාත්මක කිරීම". ඒක ඒ විදියට සිද්ධ වෙනවනං අවුරුදු පතා ඕක කරන්න සිද්ධ වෙන්නෙ ඇයි.:D
අපේ කාර්යාල වල උදවිය එස් පහ මතක් කරනකොට එක්කෝ පුපුරණවා. නැත්නම් ඒක ජෝක් එකකට අරගෙන. හපෝයි ජපනා දන්නවා නං වසබොනවා. මොකද එස් පහ ක්‍රමේ උංගෙ නෙ.
දවසක් මම අපේ එකෙකුගෙ ලාච්චුවක් ඇද ඇද සීඩී එකක් හොයනවා. ඒක බලං ඉදපු තව එකෙක් කියනවා
"අරූ ඔය ලාච්චුවට එස් පහ දැම්මෙ නැත්තං ඕක ඇති බං"...D.
කාර්යාල තරග වල තවත් අයහපත් ප්‍රතිඵලයක් තමයි මුදල් නාස්තිය තරමක් දුරට හෝ සිදුවීම. තරගයක් හෝ පරික්ෂණ දිනයක් අවසන් වෙනකොට ඇමුණුම් කටු වල ඉදලා කාර්යාල භූමිය කොන්ක්‍රීට් කිරීම හෝ කැට ගල් ඇතිරීම දක්වා දරණ වියදම සුළුයි කියල කියන්නත් බෑ.
හැම දෙයක්ම ලස්සනට පිළිවෙලට තියෙනකොට වැඩකරන්න පෙළඹවීමක් ඇතිවීම, යහපත් පරිසරය තුල සේවාදායකයන්ගේ සිත්තුල ඇතිවන ධනාත්මක සිතුවිලි ආදිය ගත්තම සිද්ධවෙන සේවයකුත් තියනවා.
ඒනිසා මේවා සජිත් මහත්තයගෙ සත්‍යග්‍රහය තරම්ම අසාර්තකත් නෑ...
එහෙනං ගිහිං එන්නං. රැස්වීම ලගයි වගේ. බැණුං අහන්නත් වෙයිද මංදා. මේ දවස්වල ග්‍රහචාරෙත් හොදනෑ.....
හිතට එන දෙයක් පහලිං කොටලා යන්නත් අමතක කරන්නෙපා.
ප.ලි.
පෝස්ට් කරන්න හදනකොටම පවර් කට් වෙලා වින්ඩෝස් අවුල්ගියා. දැනුයි හැදුවෙ.

Saturday, August 13, 2011

ආණ්ඩුවේ කාර්යාලයකින් වැඩක් කරගන්න බැරිද?

රජයේ ආයතන ගැන ඔයාලා හිතන්නේ මොනවද? මේ ප්‍රශ්නෙ මම ඇහුවොත් ඔයාලා කියයි මෙහෙම.
අපෝ ආණ්ඩුවේ ඔෆීස්ද...කතා කරන්න එපා කියලා වැඩක් නෑ...
ඔන්න මම ගියා ...ඔෆීස් එකට .... වැඩේ කරගන්න. එතන ඉන්න මහත්තයා තේ බොන්න ගිහිල්ලා. පැය භාගයකට විතර පස්සෙ එයා ආවා. ඊට පස්සෙ මට කිවුවා වැඩේ කරන්න ....සහතිකේ ඕන කියලා. මම ආයි ආවා.....
මේවගේ කතා ගොඩයි. රජයේ කාර්යාලයක සේවය කරන කෙනෙක් විදියට මේවා ගැන මට හොද අත්දැකීම් තියනවා. ආණ්ඩුවෙ කාර්යාලයකට වැඩක් කරගන්න එන අමාරුයි කියන හැගීම ගොඩාක් අය ගාව තියනවා. හැබැයි ඉතින් මේකට වැරැද්දක් කියන්නත් බෑ. මොකද ගොඩක් කාර්යාල වල තියන අකාර්යක්ෂම භාවය ඉහල අගයක් ගන්නවා. මේකට ගොඩක් හේතු සා‍‍‍‍‍‍‍‍‍‍‍ධක තිබුනත් ඒවායේ මූලය වෙන්නෙ මේවා රජය විසින් පාලනය කරන ආයතන වීම. ආයතනය ලාභ ලබන එකක්ද නැත්ද යන කාරණාව මේකට බලපෑමක් කරන්නෙ නෑ.
පෞද්ගලික අංශය යටතේ පාලනය වන කාර්යාලයක් අරගත්තොතින් ඒවායේ එක කෙලවරක ඒකෙ අයිතිකරුවන් සිටිනවා. ඉහල සිට පහලට නියෝග ගලා ඒම නියමිත පරිදි සිදුවෙනවා. මොකද මේවා ලාභ ලබාගැනීමේ අරමුනින් පිහිටුවා ඇති ආයතන නිසා සේවා දායකයා උපරිම අයුරින් සතුටු කිරීම කල යුතුයි. එසේ නොවුවහොත් ඔවුන්ගේ අරමුණ වන ලාභය නැතිවීයාම තුල ව්‍යාපාරය (මේවා ව්‍යාපාරනේ) බිදවැටෙනවා.
එතකොට රජයේ කාර්යාල වලට එහෙම නොවෙන්නෙ ඇයි?
හේතුව ඒවා රජයේ(ජනතා) මුදලින් නඩත්තු වන ආයතන වීම. මේවා කොතරම් පාඩු ලැබුවත් නොවැසී පවතින්නේ ඒකයි.
පෞද්ගලික අංශයේ ආයතනයක පහලම මට්ටමේ සිටින නිලධාරියාගේ සිට එහි කළමනාකරුවන් දක්වා සෑම කෙනෙක්ම එහි අයිතිකරුවන්ට වගකිව යුතුයි. එතකොට රාජ්‍ය අංශය වගකියන්න ඔන කාටද? ඒ තමයි ජනතාව. ආන්න එතන තමයි ප්‍රශ්නය තියෙන්නෙ. මේ ආයතන ජනතාව වෙනුවෙන් රජයටයි වගකියන්නෙ. ඒත් බදුගෙවන ජනතාව වෙනුවෙන්, මේ දෙගොල්ලන්ගෙම අතින් මේ කාර්ය සිද්ධ වෙන්නෙ නෑ. මෙතනදී මට පේන විදියට නම් වැරැද්දෙ වැඩිකොටස සිද්ධ වෙන්නෙ රජය පැත්තෙන් තමයි. මොකද තීරණ ගන්න ඉන්න තැන්වල‍ට තමන්ගෙ ඉත්තො දාගෙන කිසිම ස්වාධීනත්වයක් නැති තැන් බවට රාජ්‍ය ආයතන පත්කරගත්තම ඒවායේ මේවගේ තත්වයන් ඇතිවීම වලක්වන්න සක්කරයටවත් බෑ.ඒ ගැන වැඩිපුර කතා කිරීම දේශපාලන කාරණයක් නිසා ඒක වෙන දවසකට කල්දාමු.
අකාර්යක්ෂමතාවයට බලපාන තවත් හේතුවක්. තමයි රාජ්‍ය අංශය තුල තියෙන්නෙ (පෞද්ගලික අංශයට සාපේක්ෂව) ඉතා බැරෑරුම් මට්ටමේ කාර්යයන් වීම.
උදාහරණයක් විදියට වාහනයකට මාර්ගයේ ධාවනයට ඕනකරන අවශ්‍යතා ටික ගනිමු. මේකෙදි පෞද්ගලික හා රාජ්‍ය කියන අංශ දෙකම දායක වෙනවා.(ලයිසන් එක ආණ්ඩුවෙන් හා රක්ෂණය සහ දුම් සහතිකය පෞද්ගලික අංශයෙන්). හැබැයි රක්ෂණය සහ දුම් සහතිකය ගැනීම කියන කාරණා දෙක ඉතාම සරළ කාරණාවන්. වාහනේ තත්වය හොදනම් දුම් සහතිකයත් සල්ලි තියනවනං ඕන විදියකට රක්ෂණේ කරගැනීමේදීත් රස්තියාදු වීමට අවශ්‍ය වෙන්නෙ නෑ. ඒත් ලයිසන් එක දීමේදී සලකාබැලිය යුතු කරුණු ගොඩාක් තියනවා. කලින් අවුරුද්දේ මුදල් ගෙවලා තියනවාද, ලීසින් කල එකක් නම් ලීසින් වාරික ගෙවලා තියනවාද, ලියාපදිංචි සහතිකය හොද එකක්ද හොර එකක්ද .. මේ ආදී වශයෙන් කරුණු විශාල වශයෙන් සලකා බැලීමක් සිදුකරන්න ඕන. මෙහිදී යම් ප්‍රමාණයකට රස්තියාදුව සිදුවෙනවා.
අනෙක් වැදගත්ම කරුණ තමයි රාජ්‍ය අංශයේ ඇති ඒකාධිකාරී ස්වභාවය. ඒකාධිකාරීය ඇති තැන අල්ලස දූෂණය නාස්තිය ආදී සියල්ලම තියනවනේ. පෙර උදාහරණයම ගත්තොත්, රක්ෂණය සහතිකය ලබාගැනීමට සමාගම් කොතෙකුත් ඇතත් බලපත්‍රය ගත හැක්කේ අදාල කාර්යාලයෙන් විතරයි. අනිත් එක පෞද්ගලික අංශය තුල අල්ලස් නැත්තේ ඒකාධිකාරී ස්වභාවය නොමැති වීම නිසා. (ඒකාධිකාරයක් ඇති අල්ලස් ගන්නා ආයතනයක් ගැන මම දන්නවා)
අන්තිම කාරණේ තමයි සේවා දායකයාගේ ඇති නොදැනුවත්කම.
ඒ කියන්නෙ කාර්යාලයකට ගිහිල්ලා යම් වැඩක් කරගන්න අවම අවශ්‍යතා ටික දැනගෙන ඉන්න ඕන. එහෙම නැතිවුනොත් වෙන්නෙ සේවකයන්ට බැන බැන ආයිත් ගෙදර එන්න තමයි. දැන් තියනවා ඕනෑම රාජ්‍ය ආයතනයක දුරකතන අංකෙ ගන්න විදියක්. 1919ට කෝල් එකක් දීලා එතනින් ගන්න තියන උපදෙස් ටිකත් අරගෙනම වැඩේ‍‍ට බැස්සොත් තමයි ලේසි.
අන්තිමටම කියන්න තවත් දෙයක් තියනවා. කවුරු කොහොම කිවුවත් රාජ්‍ය සේවය මීට අවුරුදු දහයකට කලින් තත්වයත් එක්ක බැලුවම අල්ලස දූෂණය සහ අකාර්යක්ෂමතාවය සැලකියයුතු කරම් අඩුවෙලා තියනවා කියන එක. ආසන්න වශයෙන් 2020-2025 විතර වෙනකොට රාජ්‍ය අංශය සම්පූර්ණටයන්ම තොරතුරු තාක්ෂණයත් එක්ක සම්බන්ධ වේවි. එතකොට කාර්යක්ෂමතාවය ප්‍රමාණවත් සීමාවකට එලඹිලා තියේවි.
අයි.ටී. සහ අපේ රාජ්‍ය සේවය ගැන ඊලග පෝස්ට් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
මොනව හරි කියන්න තියනව නං කොමෙන්ටුවක් දාලම යන්න.
ප.ලි.-මගේ බ්ලොග් එකේ හිට්ස් ගනන 2000 වුනා. වෙනම පෝස්ට් එකක් ඒගැන දාන්නෙ නෑ. ආපු හැමෝටම ස්තුතියි.

Tuesday, August 9, 2011

විවාහයේ පළමු සමාසිකය.

දවස් කීපයකින් මේපැත්තෙ එන්න ලැබුනෙත් නෑ. දාන්න හිතාගෙන හිටිය පෝස්ට් එක නෙවේ අද දාන්න යන්නෙ වෙන එකක්. මෙකක්ද දන්නවාද.....
මගේ විවාහයට හරියටම අදට මාස හයයි. මගේ කියන්නෙ මගෙයි මගේ නෝනාගෙයි.
අපේ විවාහය සිද්ධ වුනේ 2011 පෙබරවාරි 9 වෙනිදා. ඒත් ඉතින් ලංකාවෙ පහල කොනේ රස්සාව කරන මටයි අගනුවර රස්සාව කරන නෝනටයි මාසෙකට තියෙන්නෙ දවස් දහයක විතර කාලයක්.(හතුරෙකුටවත් මේවන් දුක් වෙන්න එපා:)
නෝනා ගැන කියනවනං එයා නයිටිංගේල් පරම්පරාවෙ එක්කෙනෙක්. මට වඩා අවුරුදු දෙකක් බාලයි.(මගේ වයස 31(කිවුවද මන්ද)). මම බ්ලොග් එකක් පටන්ගත්තා කිව්වම මගේ නෝනා ඇහැව්වෙ
"ඔයා මම ගැනත් ලිව්වද?" කියලා.(බ්ලොග් කියන්නෙ මොකක්ද කියලා එයා දැනගෙනහිටියෙ නෑ).
නෝනා ගැන කිපු හින්දා අද එයා සම්බන්ධ පුංචි කතාවක් කියන්නම්.
මේක සිද්ධ වුනේ මීට පැය දෙකකට කලින්. මම කොලඹ ඉන්න කාලෙ කරපු ‍කොම්පීතර කෝස් එකක සැටිපිකට් එකක් ඊයෙ ඔපීසියට තැපෑලෙන් ආවා. මම ඒකත් අරගෙන ගෙදර ගිහිල්ලා මගේ සහතික තියන ෆයිල් එකට දානකොට නෝනා ඒ ෆයිල් එක අරගෙන මගේ ඩීටේල් සැටිපිකේට් එකක් බලනවා..
නෝනා: ආපෝ..ඔයාට E එකකුත් තියනවා...ආ..මෙන්න "ඒ නෙගටිව්" එකකුත් තියනවා.
(ඒ මයිනස් එකට ඒ නෙගටිව් කියවුනේ එයා කරන වෘත්තීයත් එක්ක තියන සම්බන්ධෙ නිසා)
එහෙනං කතා ඉවරයි. ඕං පළවෙනි සැරේට බ්ලොග් එකෙන් මම නෝනාට කියනවා;
"සුදූ, මම ඔයාට ගොඩාක් ආදරෙයි"
හරි ඔයාලා කේක් කෑවානේ...එහෙනම් මම අද දවසම නෝනත් එක්ක ඉන්නවා. ඕං අපි දොර වහගත්තා.

Wednesday, August 3, 2011

මළකුණු රසදෙන ස්වර්ණවාහිණී.

මේ දිනවල දෙරණ රූපවාහිනී චැනල් එකේ එයාලගෙම නිවුස් ඇඩ්එක මතක ඇතිනේ. අර වාහන දෙකක් හැප්පිලා දෙන්නෙක් මැරිච්ච ප්‍රවෘත්තිය එක එක චැනල්වලට වෙනස්ම ප්‍රවෘත්තියක් එකක් වෙන.
ස්වර්ණවාහිණීයෙන් කරන්නෙ ඒ මරණ ගැන ප්‍රවෘත්තිය රස කරලා කියන එකයි. මේ තත්වය අඩුවැඩි වශයෙන් හැම චැනල් එකකම තිබුනත් ස්වර්ණවාහිණීයෙ ප්‍රවෘත්ති වලදී ඒක පෙන්නන විදිය ඉතාම ජුගුප්සිජනකයි. කුමනහෝ ආකාරයක මරණයක් විකුණාගෙන තමන්ගෙ ප්‍රවෘත්ති ජනප්‍රිය කරගන්න එක තමයි මෙයාලගේ අපේක්ෂාව.
යම්කිසි ඛේදවාචකයක් වාර්තා කරනකොට ඊට අදාල වීඩියෝ කොටස් ප්‍රවෘත්තියට එක්කරන එක ඒ ප්‍රවෘත්තියට වැඩි වටිනාකමක් ගෙන එනවානේ. වැරැද්ද තියෙන්නෙ ස්වර්ණවාහිණිය දාන්නෙ නැරඹීමට අපහසුම අවස්තාවෙ විඩියෝ කොටස්. උදාහරණයක් විදියට දියේ ගිලීමෙන් සිදුවෙච්ච මරණයක් ගනිමු. මළ සිරුර ගොඩට ගත් විගසම සිදුවන දේ තමයි මියගිය තැනැත්තාගේ ඥාතීන් හඩාවැලපෙන එක. අන්න ඒ අවස්තාව තමයි මෙයාල ප්‍රවෘත්ති වලට පෙන්වන්නෙ.වෙලාවකට එතනින් එහාටත් ගිය අවස්තාවක් මම ලගදි දැක්කා.මීට ටික කලකට පෙර මියගියා හෝ ඝාතනයට ලක්වුනා යැයි සැලකෙන හමුදා සෙබලෙකුගේ සිරුර හොයමින් සිටි අවස්ථාවක(එම සිරුර එදින සොයාගැනීමට නොහැකි විය) ස්වර්ණවාහිණිය කිවුවේ මේ ගැන හෙට ප්‍රවෘත්ති විකාශයෙන්ද තොරතුරු ගෙන එන බවයි(කොච්චර කැත අරමුණක්ද?).මේකට වක්‍රාකාරව ප්‍රවෘත්ති බලන අයත් වගකියන්න ඕන. මොකද (විශේෂයෙන් කාන්තා පාර්ශවය) මේවගේ නිවුස් එකක් යනකොට ඒකට යොමුවන අවධානය ඉතාමත් වැඩියි. මිණිස්සු තමන් කරමින් හිටි වැඩ නවත්තලා ටීවී එක ලගට ඇදිලා එන එක ස්වාභාවිකයි.
ප්‍රවෘත්තියක් ඉදිරිපත් කිරීමේදී ඒක මොන විදියටද දෙන්නෙ කියන කාරණය ගැන විවිධ අදහස්, තර්ක විතර්ක පැවතුනත් සෑම ආයතනයකටම පොදු රීති පද්ධතියක් තියනවානේ. නමුත් ස්වර්ණවාහිණියෙන් කරන්නෙ මේ තත්වය ඉක්මවා යෑමක්. මාධ්‍ය කුමක් වුවත් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ ආකාරය ගැන සැලකිලිමත් වෙන්න ඕන කියලයි මට නං හිතෙන්නෙ. ඒවගේම සමාජ-මනෝ විද්‍යාඥයන් කියන විදියට ප්‍රවෘත්ති දැනගැනීමම අපරාධ වලට හේතු වෙනවා. ඒ කියන්නෙ මිණීමැරුම්, ස්ත්‍රී දූෂණ, සොරකම්, පැහැරගෙන යෑම් සහ කප්පම් ගැනීම් වැනි නොයෙකුත් ආකාරයේ අපරාධ පිළිබද ප්‍රවෘත්ති බැලීමෙන්, කියවීමෙන් හෝ ඇසීමෙන් ඒවා බලන, කියවන හෝ අසන පුද්ගලයන්හට ඒවා සාමාන්‍ය දේවල් බවට පත්වෙනවා කියලයි එයාලා කියන්නෙ. ඒ තුල තවතවත් වැරදි කරන්නන් බිහිවෙන්න පුළුවන් කියලයි ඔවුන් කියන්නෙ. හරි හෝ වැරදි ඕනෑම දෙයක් සාමාන්‍යකරණයට ලක්වුනාම තවදුරටත් ඒ දේවල් ගැන මිණිස්සු තුල පවතින තිගැස්ම නැතිවෙනවා.
දැනට වඩා ලංකාවෙ අපරාධ අඩුවෙන් තිබුණු කාලෙ (අපි පොඩිකාලේ ගත්තොත්) අපරාධයක් ගැන ඇහුවම අපේ වැඩිහිටියන් තුල ඇතිවන තිගැස්ම මම දැකලා තියනවා. නමුත් අද ඒක එක කනකින් අහලා අනෙක් කනෙන් පිටකරලා දාන තරමට මිණිස්සු පත්වෙලා. යුද්ධය තිබුනු කාලෙ බෝම්බයක් පිපිරිලා කිවුවම මැරු‍ණෙ කීයද අහලා ඒක අමතක කරලා දැමීම නෙවේද අපි කලේ (ඒ තත්වය දැන් නැතිවීම වාසනාවක්). අනිත් කාරණේ දූෂණයකට ලක්වූ තරුණියක් පිළිබද ප්‍රවෘත්තිය වාර්තා කිරීමේදී "රූමත් තරුණිය දූෂණය කරයි" යනුවෙන් වාර්ති කිරීම තුල රූමත් තරුණියන් දූෂණය කලයුතුයි වගේ හැගිමක් අපරාධකරුවන්ට ඇතිවෙන බව සමාජ විද්‍යාඥයන් කියන්නෙ. අද වනවිට ලෝකයේ පවතින ජනමාධ්‍ය නිදහස නිසා ඕනෑම දෙයක් ඕනෑම ආකාරයට වාර්තාකිරීමේ අයිතිවාසිකම මාධ්‍යවේදීන් සතුයි. ඒත් මම ඉහත කියපු ආකාරයේ වාර්තා කිරීම් වලට ඔයාලා එකගද?
ප.ලි.
බලන්න මාධ්‍ය නිදහස ගැන වැඩිපුරම කතා කරන "රාවය" පත්තරේ අරගෙන ඒකෙ අපරාධ වාර්තා කරන ආකාරය මොනතරම් ශීලාචාරද කියලා.(හැබැයි රාවයේ පවතින දේශපාලනයත් එක්ක මේ කාරණේ පටලවාගන්න එපා).

Monday, August 1, 2011

මාතලන්, මරණීය දණ්ඩනය, ශ්‍රී ලංකා පොලිසිය සහ මගේ පාසල.

හෙඩ්ලයින් එක දැක්කම නිකං නොගැලපෙන ගතියක් දැනෙනවා නේද? අද කියන්න යන්නෙ 90 අවුරුද්දෙ අපේ ගම සහ ඒ ආසන්නයේ සිදුවුන ඛේදජනක සත්‍ය කතාවක්.
මේ කතාව මට මතක් වුනේ මගේ කලින් පෝස්ට් එකට මාතලන් කොමෙන්ටුවක් දාපු නිසා. මතකයිනෙ මම කිවුවා විභාගයකට ලියනවා කියලා. සෙනසුරාදා තිබුනු ඒ විභාගෙ ආපු එක ප්‍රශ්නයක් තමයි "මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් අපරාධ අඩු කරන්න පුළුවන්ද?" කියන එක ගැන ලියන එක. ඒක ලියලා ඇවිත් පෝස්ට් එක බලනකොට තමයි මාතලන්ගෙ කොමෙන්ටුව දැක්කෙ.
අද ලංකාවෙ මරණීය දඩුවම දෙන්නෙ නැතත් නිළ නොවන වශයෙන් ක්‍රියාත්මක වෙනවනේ.අළුගෝසුව විවේක සුවයෙන් ඉන්නවා වුනාට ඒ කාර්ය භාරය දැන් ඉටු කරන්නෙ ශ්‍රී ලංකා පොලීසිය. ඒ කාරණාව ගැන විස්තර කතා කිරීම මෙතනදි ඕනවෙන්නෙ නෑ. මොකද ඒවා හැමෝම දන්නවනෙ. කොහොම උනත් මම දන්න කියන ඉතිහාසෙ ඉස්සෙල්ලම මේ වගේ මරණිය දණ්ඩනයට ලක් වුනේ "මාතලන්" කියන බිහිසුණු අපරාධකාරයව.
ඒ එක්දහස් නවසීය අනූවෙ අවුරුද්දෙ විතර (මට මතක විදියට). ඒකාලෙ මම ඉස්කොලෙ ගියේ අපේ ගමේ තිබුන පොඩි ඉස්කෝලෙකට. ඒකෙ පන්ති තිබුනෙ හය වසරට යනකම් විතරයි. ඒ කාලෙ ළමයින්ගෙ අධ්‍යාපන කටයුතු වලට අද වගේ උනන්දුවක් තිබුනෙ නෑ. දැනට උනත් නාගරික ප්‍රදේශ වලට සාපේක්ෂව තත්වෙ ඒකම තමයි. ඔය කිවුව අපේ ඉස්කෝලෙ, මට වඩා අවු.2 වැඩිමල් අක්කා කෙනෙක් ඉතිහාසෙ පළවෙනි වතාවට 5 වසර ශිෂ්‍යත්වය සමත් වුනා(අපේ ඉස්කෝලෙන්).
ඊට පස්සෙ එයා අපේ දිස්ත්‍රික්කයේ තිබුනු ‍හොද ඉස්කෝලෙකට යන්න පටන් ගත්තා. ඒ අක්කා හිටියෙ අපේ ගමට එහා පැත්තෙ ගමක. ඒ කියන්නෙ අපට කිටිටුම(කුඩා) ටවුන් එකයි එයා හිටිය ගමයි අතරෙ තමයි අපේ ගම තියෙන්නෙ. බස් එකට නගින්න ටවුමට එන්නත් පාරවල් දෙකක් තිබුනා. එකක් අපේ ගම හරහා-අ‍නිත් ක්‍රමේ අපේ ගමට නැගෙනහිර පැත්තෙන් තිබුන ගම හරහා. වෙනත්(ටිකක් ලොකු) නගරෙක ඉස්කෝලෙකට ගිය ඒ අක්කා ටවුමට යනකල් ගියේ බයිසිකලේකින්. ඒ අපේ ගම පැත්තෙන් නෙවේ අර අනිත් ගම පැත්තෙන්. අනිත් කාරනේ තමයි මේ කොයි පැත්තෙන් ගියත් ගම්මාන දෙක මැද තියන කැලෑ-පාළු ප්‍රදේශයක් පහු කරගෙන යන්නම සිදුවෙනව.
මේ විදියට පාසල් ගිය මේ ගෑණු ලමයා එක දවසක් ගෙදර ආවෙ නෑ. අම්මයි තාත්තයි පොලීසියට ගියාම ලැබුන උත්තරේ තමයි(ළමයා 7 වසරෙ වුනාට)
"කෙල්ල කාත් එක්ක හරි පැනලා යන්න ඇති, දවසක් දෙකක් යනකොට ඒවි" කියන එක.
කොහොම උනත් ඒක එහෙම නෙවේ කියලා පොලීසියෙ මහත්වරුන්ට ඒත්තු ගන්වන්න දෙමවුපියන් සමත් වුනා. ඊට පස්සෙ පොලීසිය කලේ ටවුමෙ ඉදලා ළමයා ආවද නැත්ද කියන එක චෙක් කරපු එක. එතනදී මම කලින් කිවුව පාළු ප්‍රදේශයේ දර කපමින් හිටිය මනුස්සයෙකුගෙන් ප්‍රශ්න කලාම ඔහු කිවුවෙ ඒ හරියෙන් ළමයෙක් නොගිය බව. ඊට පස්සෙ තමයි ඒ පාර දෙපැත්තෙ ගමේම හිටිය කොල්ලන්ගෙ නරක කාලෙ උදාවුනේ.
පොලීසියෙ මහත්වරු කලේ හන්දි ගානෙ, බෝක්කු උඩ එහෙමත් නැත්නම් ගෙවල් වල හිටය කොල්ලො උස්සගෙන ගිහිල්ලා දෙතිස් වධ දීපු එක. ඒත් ඇත්ත වශයෙන්ම සිදුවෙලා තිබුනෙ ළමය අර දර කපන්නව පහු කරගෙන ගියත් එයාව දැකලා නොතිබුනු එක. ඊට දවස් දෙකකට විතර පස්සෙ කැලේ තිබිලා ඝාතනය කල ළමයලෙ මළ සිරුර අහුවෙලා තිබුනා. ඝාතකයා වුනේ මම ඉස්සෙල්ලා කියපු මාතලන් කියන තැනැත්තා. එයාට මාතලන් කියන නම හැදුනෙ කොහොමද කියලා දන්නෙ නැහැ. ඒ පුද්ගලයා විකෘති ආශාවන් ඇතිකෙනෙක්. එක් වරක් ඔහු තමන්ගෙ බිරිදට දැඩි ලෙස වධදීලා තිබුනා. ඒවා මෙතනදී සදහන් කරන්නවත් පුළුවන් ඒවා නෙවේ.
අන්තිමේදි පොලිසිය "යුක්තිය ඉටුකලා". ඒ මම මුලින්ම සදහන් කල විදියට.(ඔවුන් ඒබව ගමේ තිබුනු රැස්වීමකදී ප්‍රසිද්ධියේම කිවුවා)
මේ සිද්ධි දාමය අවසානයේ අතුරු ප්‍රථිපල රාශියක් ඇතිවුනා. එකක් තමයි ගැහැණු ලමයාගෙ ගමේ මිණිස්සු සමග නිරපරාදේ දඩුවමට ලක්වුනු තරුණයන් වෛරයක් ඇතිකර ගැනීම. මේ නිසා ඒ ගමේ වැසියන්ට පෙර කී ගම්මානය පසුකර යාමේදී විවිධ අතවර විදීමට සිදුවුනා. අනිත් වැදගත්ම(සහ නරකම) කාරණාව තමයි මුලින් කියපු අපේ ඉස්කෝලෙට, ඝාතනයට ලක්වූ ගමේ ළමයිගේ පැමිණීම නැවතීම. ඊට පස්සෙ ඒ ළමයි අපට විරුද්ධ දිශාවේ ඇති වෙනත් ඉස්කෝලෙකට අස්වෙලා ගියා. ඒ හේතුවෙන් අපේ පාසලේ සිටි 150-180 පමණ වූ ශිෂ්‍ය ප්‍රමාණය අඩකටත් වැඩි ප්‍රමාණයකින් අඩුවුනා.
පස්සෙ කාලෙක විදුහල්පතිතුමාගෙ "දක්ෂතාවය" නිසා මේ ළමයි ප්‍රමාණය 25-30 ප්‍රමාණයට වැටුනා(දැනුත් ඒකයි තත්වෙ). ඒ විදුහල්පති තුමා දැන් නැතත් ඒ පිරිහීම ගැන මතක් වෙනකොට දැනෙන්නෙ දැඩි කණගාටුවක්. මොකද අවුරුදු හයක් මම ඉගෙනගත්ත ඉස්කෝලෙ ඒක නිසා.(ඉගනගන්න වෙලාවෙන් පැයක් දෙකක් 'ඉන්ටවල්' එකටම යනකොට කොහොමට හිටීද? පුදුම වෙන්න එපා-ඉරිසියා කරන්නත් එපා, ඒකාලෙ අපිට ඒ "වරප්‍රසාදෙ" ලැබුනා)
පස්සෙ කාලෙක අර අක්කගෙ එකම නංගිත් නගරෙ ඉස්කෝලෙට ඇතුලත් වුනා. එයත් ටවුමට යනකන් තිබුනු ඒ කි.මී.4-5ක් විතර දුර ගියේ අක්කා වගේම බයිසිකලයකින්. හය වසරෙ ඉදලා ඉස්කෝලෙ යාම අවසන් වනතුරු හෑම දවසකම උදේටයි හවසටයි එයාගෙ තාත්තත් බයිසිකලේක නැගිලා එයාගෙ තනියට යනවා දැකීම අපට සාමාන්‍ය දර්ශනයක් වුනා.
ඉතින් ඕක තමයි මාතලන්ගෙ කතාව. බ්ලොග් ලියන දැන් සිංඩියකුත් පටන්ගත්ත මාතලන් නිසා තමයි මේ කතාව මතක් වුනේ. අනිත් හේතුව මගේ විභාග ප්‍රශ්නෙ. විභාගෙකදී අපි මොනවා ලිවුවත් මම නං කියන්නෙ මරණ දඩුවමට සුදුසු සුළු පිරිසක් මේ සමාජයේ ජීවත් වෙනවා. ඔවුන් අතලොස්සට මරණ දඩුවම දෙන එක තුල බහුතරයක් අහිංසක මිණිස්සුන්ට දැනට වඩා යහපත් සමාජයක ජීවත් වෙන්න අවකාශය සැලසෙනවා. හැබැයි ඒක නීතියකට අනුව සිද්ධවෙන්න ඕන. බලය පාවිචිචි කිරීම පොලීසිය අතට දීමෙන් වෙන්නෙ මොරටුවෙ තරුණයන් දෙන්නගෙ ඝාතනය වගේ දේවල් සිද්ධවෙන එක විතරයි.
මට මතක ඇති කාලයේ, "පොලීසියට ප්‍රහාර එල්ල කර පැනයාමට" උත්සාහ කිරීමේදි සිදුවූ පළමු මරණය තමයි මේක.
ඔක්කොම කියෙව්වා නම්, හිතට දැනෙන දේ පහලින් ලියලා යන්න.
ගිහිං එන්නම්.