Wednesday, May 9, 2012

බුදුහාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවෝ සහ බෞද්ධයෝ

සාමාන්‍යයෙන් අද ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ හැසිරීම සලකා බැලූවිට, බුදු දහම පිළිපැදීමට වඩා රැකගැනීමට පෙලගැසී සිටින සංඛ්‍යාව ඉහලය. බුදු දහම රැකගැනීමට දරණ උත්සාහයේදී වඩ වඩාත් එය කඩවන බව ඔවුන් කිසිවිටෙකත් තේරුම් නොගනී. ධර්මයේ පැවැත්මට අවශ්‍ය වන යම් යම් නීති රීති පැනවීමේදී ඒ ඒ අවස්ථා වලදී මතුවූ කාරණා පදනම් කර‍ගැනීම බුදුන් වහන්සේ විශේෂත්වයකි. ඊටත් වඩා විශේෂත්වය නම් නීතියක් සම්බන්ධ යම් ප්‍රශ්නයක් මතුවූ අවස්ථාවක උන්වහන්සේ විසින් පැනවූ නීති රීති පසු වෙනස් කිරීමට තරම් නිවැරදි දැක්මෙන් යුතු වීමයි. තමන් විසින් පෙර පැනවූ නීති රීති වෙනස් කිරීමට සාමාන්‍ය පුද්ගලයෙකු මැළි වුවද බුදුන් වහන්සේ මෙහිදී ඔවුන්ගෙන් වෙනස්වේ.

කිවයුතු අනෙක් කරුන නම් යම් යම් කාරණා සම්බන්ධයෙන් අන්තවාදී නොවී මැදහත් සිත් ඇති බවයි. අද සිටින බෞද්ධයන් පමණක් නොව මතු දක්වන්නට යෙදෙන කතාවක සදහන් කරන පරිදි (කතාව සත්‍ය නම්) සැරියුත් මහරහතන් වහන්සේට පවා මේ තත්වයෙන් මදෙනු නොහැකිවී ඇත.
(මුල් කතාව හැර)මෙම සිද්ධීන් සදහන් වූයේ ගයාන් චානුක විදානපතිරණ ගේ "සැරියුත් හාමුදුරුවෝ" නම් ග්‍රන්ථයෙනි.

පළමුවෙන්ම සදහන් කලයුත්ත භික්ෂූන්ට පැනවියයුතු නීති පහක් දේවදත්ත තෙරුන් ඉදිරිපත් කල අවස්ථාවයි.
බැලූ බැල්මට එම නීතිරීති වලින් බුදුසසුනේ දීර්ඝකාලීන පැවැත්මට යම් පිටුබලයක් ලැබේ යයි සිතියහැකි වුවද, මධ්‍යම ප්‍රතිපස්‍දාවෙන් බුදුබව ලැබූ බුදුන් වහන්සේ නිවැරදි තීරණය ගනු ලැබීය. අන්තවාදය කරා ගමන් නොකලේය.

තවත් අවස්ථාවක් වන්නේ සැරියුත් තෙරුන් යම් දන්සැලකට වැඩමකොට එහිදී දානය වැළදීමෙන් පසුව දරුණු උදරාබාධයකට ලක්වූ අවස්ථාවයි. එහිදී සැරියුත් තෙරුන්ට එම ස්ථානයෙන් පිටතට යාමට පවා නොහැකිවූ අතර දින කිහිපයක් එම ස්ථානයේ නැවතී සිටීමට සිදුවිය. දින කිහිපයකට පසුව රෝගය මදක් සමනය වූ පමණින් සැරියුත් තෙරුන් වහන්සේ යලි විහාරයට පැමිණියේ "එකම ස්ථානයක දින කිහිපයක් නතරවී සිටිමින් දන් වැලදීම නොකල යුතු යයි" බුදුන් වහන්සේ පනවා තිබූ නීතිය නිසාවෙනි. කෙසේ වුවද මෙම සිද්ධිය සැලවූ පසු උන්වහන්සේ සිදුකලේ කලින් පනවා තිබූ නීතියෙන් "රෝගී වූ භික්ෂූන්" නිදහස් කර නීතිය සංශෝධනය කිරීමය.(පාචිත්තිය පාලි-භික්ඛු වභඩ්ගය-භෝජන වර්ගය)

තම කුඩා දරුවෙකු සැරියුත් රහතන් වහන්සේ යටතේ පැවිදි කිරීමට එම තෙරුන්ට හිතවත් මාපිය යුවලකට අවශ්‍ය විය. මේ බව දැනගත් සැරියුත් තෙරුන් ප්‍රකාශ කලේ තමා දැනටමත් රාහුල තෙරනුවන් පැවිදි කරවාගෙන ඇති බැවින් එය කල නොහැකි බවයි. උන් වහන්සේ එසේ ප්‍රකාශ කලේ "එක් වැඩිහිටි භික්ෂුවක් යටතේ සාමනේර භික්ෂූන් තබාගත හැක්කේ එක් අයෙක් පමණක්" බැව් බුදුන් වහන්සේ ශික්ෂාපදයක් පණවා තිබූ නිසාවෙනි. මෙය දැනගත් පසු බුදුන් වහන්සේ ප්‍රකාශ කලේ "ප්‍රභල භික්ෂුවක් සාමනේරයන් දෙනමක් තබාගැනීම නුසුදුසු නොවන" බවයි.(මහා වග්ග පාලි- මහා ඛන්ධකය)

දිනක් රෝගාතුර වූ සැරියුත් තෙරුන් වහන්සේ විහාරයේ වැඩසිටි අතර උන්වහන්සේගේ සුවදුක් බැලීමට අග්‍ර උපස්ථායක ආනන්ද තෙරුන් පැමිණියේය. රෝගය පිළිබද විමසීමේදී සැරියුත් තෙරුන් ප්‍රකාශ කලේ ගිහිකල මෙම රෝගය සෑදුනු බවත් "ලුහුණු" ඊට ගුණදායක නමුත් බුදුන් වහන්සේ භික්ෂූන්ට ලුහුණු වැළදීම තහනම් කරමින් ශික්ෂා පදයක් පනවා තිබූ නිසා ලුහුණු වැළදීම සිදුකල නොහැකි බවත්ය. ආනන්ද තෙරුන් මෙම ප්‍රශ්නය බුදුන් වහන්සේ වෙත ගෙනඑනු ලැබූ අතර උන්වහන්සේ අදාල ශික්ෂා පදය සංශෝධනය කලේ "රෝගයකට ඖෂධයක් වශයෙන් ලුහුණු වැළදීම අකැප නොවන" ලෙස සදහන් කරමින්ය.(චුල්ලවග්ග පාලි)

දිනක් බුදුන් වහන්සේගෙන් සැරියුත් රහතන් වහන්සේ විමසන්නේ අටවිසි බුදුවරුන්ගේ ධර්මයන් නොනැසී පැවති කාලය පිලිබදව සහ ඊට හේතු පිළිබදවය. පිළිතුරු වශයෙන් බුදුන් වහන්සේ ප්‍රකාශ කලේ විපස්සී, සිඛී, වෙස්සභූ යන බුදුන් වහන්සේලාගේ ධර්මයන් කෙටි කලකදී අවසන් වූ බවත් කකුසද, කෝනාගම, කාශ්‍යප යන බුදුවරුන්ගේ ධර්මයන් නොනැසී විශාල කාලයක් පැවති බවත්ය. ඊට හේතුව වශයෙන් උන්වහන්සේ ප්‍රකාශ කලේ කකුසද, කෝනාගම, කාශ්‍යප යන බුදුන් වහන්සේලා විස්තර වශයෙන් ධර්මය දේශනා කල බවත්, මැනවින් ප්‍රාතිමෝක්ෂය දේශනා කල බවත්, විනය නීති පැනවූ බවත්ය. විපස්සී, සිඛී, වෙස්සභූ යන බුදුන් වහන්සේලා විස්තර වශයෙන් ධර්මය දේශනා නොකල බවත් නියමිත කාලයේදී විනය ශික්ෂාපද නොපැනවූ බවත් එම නිසා උන්වහන්සේලාගේ ශාසනයේ පැවිදිවූවන් ඉක්මනින්ම ධර්මය අවසන් කල බවත්ය. මෙම සංවාදයට පසුව සැරියුත් තෙරණුවන් ආරාධනා කලේ විනය ශික්ෂාපද පනවන ලෙසත් ප්‍රාතිමෝක්ෂය දේශනා කරන ලෙසත්ය. එය ප්‍රථික්ෂේප කල බුදුන් වහන්සේ වදාලේ ඒ සදහා සුදුසු අවස්ථාව තමන් දන්නා බවත් තමාගේ ශාසනයේ පිරිහීමේ ලකුණු තවමත් පෙනෙන්නට නැති බැවින් මේ අවස්ථාවේ එය අනවශ්‍ය කටයුත්තක් බවත්ය.(පාරාජික පාලි-වේරඤ්ජා කාණ්ඩය)

මේ අවස්ථා සියල්ලෙන්ම ගම්‍ය වන්නේ බුදුන් වහන්සේ යම් යම් ප්‍රශ්න දෙස බැලූ නම්‍යශීලි ස්වභාවයයි. සිංහල බෞද්ධයන් විසින් කල්පනා කලයුත්ත නම් තමා සිටින්නේ කොතැනද යන්නය. පෘත:ජන බෞද්ධයන්ට පමණක් නොව සැරියුත් මහ රහතන් වහන්සේටද මෙය හරිහැටි වැටහුනේදැයි සිතෙන්නේ මේ කතාවෙනි.

දිනක් ගිහි පිරිසක් සැරියුත් තෙරුන් වැඩසිටි විහාරයේම වාසයකල භික්ෂුවක් වෙනුවෙන් රසවත් කැවුම් වර්ගයක් ගෙනඑන ලදී. එහෙත් අදාල භික්ෂුව විහාරයේ නොසිටි බැවින් ඒවා සැරියුත් තෙරුන්ට පූජාකරන ලදී. ටික වේලාවකට පසු පිටතට ගොස් සිටි භික්ෂුව ආපසු පැමිණි අතර ගිහි පිරිස පැවසුවේ කැවුම් සියල්ල සැරියුත් තෙරුන්ට පූජාකල බවයි. කැවුම් පිලිබද තෘෂ්ණාවක් ඇතිකරගත් එම පෘත:ජන භික්ෂුව ප්‍රකාශ කලේ "රසවත් දේවල්වලට කවුරුත් කැමති" බවයි. මෙයින් ධර්ම සංවේගයට පත් සැරියුත් රහතන් වහන්සේ ජීවිත කාලය පුරාම කැවුම් නොවලදා සිටීමට තීරණය කරන ලදී.(විශ්වන්ත ජාතකය-වර්තමාන කතාව)

මෙහි සදහන් වන ආකාරයට යම්කිසි පුහුදුන් තැනැත්තෙකුගේ වචනයක් නිසා බුදුන් වහන්සේගේ දකුණත් සව් වූ සැරියුත් මහරහතුන් එවැනි තීරණයකට එළඹියේද? එසේත් නොමැතිනම් මෙහි සදහන් කතාව පසු කාලීනව එකතුවූ ප්‍රලාපයක්ද?


59 comments:

  1. ඔබගේ මුළු ලිපියටම වඩා එහි මුල් වාක්‍යට මගේ හිත ගියා. බුදු දහම පිළිපැදීමට වඩා ආරක්ෂා කරන්න වෙහෙසෙන පිරිස වැඩියි. සත්තකින්ම. මේ බාප්පලා තමයි මේක විනාශ කරන්නේ. ලෝකෙ හැම දෙයක්ම විනාශ වනවා නම් බුදු දහමත් විනාශ වනවා. ඒක ලෝක ස්වභාවය. නමුත් කළ යුත්තේ කෑගස ගසා සිටීම නොව ආදර්ශයෙන් බෞද්ධයෙක් වීමයි. එතකොට අපි හරිනම් මේක රැකෙයි. අපිත් නාමික බෞද්ධයෝ නම් මේක විනාශ වෙයි.

    ReplyDelete
  2. අැත්ත...බෞද්ධයකු වන්නෙ ක්‍රියාවෙන් මිස උප්පැන්න සහතිකයෙ තිබෙන නිසා නොවෙයි...

    ReplyDelete
  3. අනිවා සරළව කියනවනම් බැලැන්ස් එකේ ජිවත් වෙනකොට ප්‍රශ්ණ අඩුයි....

    බෞද්ධ කම ඇඟේ එල්ලං ප්‍රදර්ශණය නොකොට තමන්ගේ දියුනුවට එය හේතුවක් කරගන්නවනම් පුද්ගල යහපත සැලසේවි...පුද්ගලයා යහපත්නම් සමාජයත්..රටත්..ලොකයත් යහපත් තැනක් වේවි..වක්‍රාකාරව බුදුදහම රැකේවි..හැබැ දැන් සිද්දවෙන්නේ ඔකේ අනිත් පැත්ත නොවැ...

    නමුත් ඔය විකිපිඩියාවනම් රෙෆෙරන්ස් වලට එච්චරම සුදුසු නෑ...ඔක නිශ්ෂංක මල්ල රජුගේ එක් සෙල්ලිපියක් වගේ...

    ReplyDelete
    Replies
    1. විකිපීඩියාවෙ "මේ කාරණාව සම්බන්ධව" තියන දේ නම් හරි. හොයල බලල සුදුසු නම් දාන්න පැකිලෙන්න එපා. අනිතගාමී නොවෙන්නෙ එතකොටයි. :-)

      Delete
  4. සම්පුර්ණයෙන් ම එකඟ වෙනවා!

    ReplyDelete
  5. ඇත්ත කතාව ආගම අදහනවානම් ආගම නැතිවෙන්න විදියක් නැහැ.

    අහල නැති කතා හිහිපයකුත් දැනගන්න ලැබුනා.

    ReplyDelete
  6. 'එසේත් නොමැතිනම් මෙහි සදහන් කතාව පසු කාලීනව එකතුවූ ප්‍රලාපයක්ද?'

    එසේ වීමට ඇති ඉඩකඩ බොහොමයි කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනෙ එහෙම. මොකද ‍සැරියුත් හාමුදුරුවන්ගෙන් ඒ වගේ දෙයක් වෙන්න බෑ.

      Delete
  7. මා දෙස නොබලා මගේ ධර්මය දෙස බලන්න යනු උන් වහන්සේගේ දේශණාවයි. අද් සිටින බොහෝ භික්ෂූන් පවා විවිධ වාද විවාද වල පැටලෙනවා. මාංශ අනුභවය ඉන් එකක්. ඔබ මෙහි සඳහන් කල ආකාරයටම උන් වහන්සේ විටින් විට උද්ගතවෙන ගැටළු වලට ප්‍රතිචාර දක්වා තිබෙනවා. උන් වහන්සේ නොවැලඳිය යුතු මස් වර්ග 10 ක් නම් කොට තිබෙනවා. ඒවාට විද්‍යාත්මක හේතූන් පව තිබෙනවා. රෝගී භික්ෂුවකට ප්‍රතිකාරයක් වශයෙන් මස් අනුභව කිරීම වැරැද්දක් නැතයි උන් වහන්සේ සඳහන් කොට තිබෙනවා. එම කාරණයේදී පවා උන් වහන්සේ මධ්‍යස්ථව තීරණ වලට එලඹි බව පැහැදිලි වනව. අද බොහෝ දෙනෙක් පන්සල් ආරක්ෂ කිරීමට වැඩි ප්‍රමුකත්වයක් දී තිබෙනව, නමුත් ධර්මයේ පිහිට කටයුතු කරන්නේ නෑ. ඔබේ ලිපිය ඉතා කාලෝචිත එකක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මොනවද ඒ මස් වර්ග දහය? හේතුත් දීල තියෙනවද?


      henryblogwalker the Dude

      Delete
    2. එක් හාමුදුරු කෙනෙක් රෝගී වූ අවස්තාවක උන්වහන්සේගේ සුවපත්වීම උදෙසා මස් ලබාගැනීමේ අරමුණින්ම අගසව්දෙනම පිඩුසිගා වැඩි අවස්ථාවක් තියනව.

      අවස්තා 10නම් දන්නෙ නෑ.

      Delete
    3. මිනී මස්, අලිමස්, අශ්ව මස්, බලු මස්, සර්ප මස්, සිංහ මස්, ව්‍යාඝ්‍ර මස්, දිවි මස්, වලස් මස්.

      Delete
    4. දහවෙනි එක කරබානා වලස් මස්.

      Delete
    5. පැහැදිලියි.

      Delete
  8. බෞද්ධ දර්ශනයට පසුකාලිනව එකතු වුනු දේවල් සැහෙන පමණ තියනවා ,ඒකට හේතු වශෙයෙන් අපිට මෙහෙම තර්කයක් මතු කරන්න පුලුවන් , පලවෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ එක් එක් ධර්ම කොටස් මුඛ පරම්පරාගතව පවත්වාගෙන යන්න භාර දුන්නේ එක් එක් රහතන් වහන්සේලාට , මේ සඳහා ඉතා ඈත නැගෙනහිර සහ බටහිර ප්‍රදේශ වලින් ආපු රහතන් වහන්සේලාත් දායක වුනා කියල කියනවා ,. පසු කාලිනව ධර්මාශෝක රජතුමාට මේ සියලුම රහතන් වහන්සේලාගේ න් පැවතගෙන ආපු ධර්ම කොටස් එකතු කරගන්න පුලුවන් වුනාද ? , පසු කාලිනව ඇති වුනු ආක්‍රමනත් එක්ක ඒ දේවල් වැලලිලා ගියාද ? අශෝක රජුගේ කාලය වෙන කොට සාසනයට වුනා කියල තියන දේවල් අනුව අර රහතන් වහන්සේලාගේ පසු පරම්පරාවල පෘතක්ජන හාමුදුරුවරු අතින් වෙනස් වුනා වෙන්න බැරිද? , බෞද්ධ දර්ශනයට සමහර අංශ වලින් සමානාත්ම තාවයක් දක්වන හින්දු දහම හා බෞද්ධ දර්ශනය එකිනෙක මූසු වීමක් වුනේ නැය කියල තහවුරු කරගන්න පුලුවන්ද ?

    වෙද මහත්තය කියනව වගේ පලවෙනි වාක්‍ය කිහිපය නම් හිතට හොඳට ම අල්ලුවා !

    ReplyDelete
    Replies
    1. ඔව්. බුවා කියන දේ නොවුන කියන්න හැකියාවක් නෑ. ධර්මයේ සමහර තැන් බැලුවම පිලිගන්න අමාරු ස්වභාවයක් තියෙන්නෙ ඒක වෙන්නැති.

      Delete
  9. අදසසට කලින් රාජ්ට ස්තුති කරන්න ඕනෙ නොදන්න ධර්ම කරුණු කිහිපයක් විස්තර කලාට

    පුංචි ප්‍රෂ්නයක් මතු උනා : ලුහුණු කියන්නේ මොනවද?....

    මගේ අදහස...

    පුද්ගලිකවම බෞද්ධයෝ තේරුම් ගන්න ඕනෙ බුද්ධාගම කියල ව්‍යවහාරයේ තිබුනට මෙය උතුම් දර්ශනයක් බව. ඒතුල යම් කෙනෙකුට ධර්ම කරුනු පහදා දීමක් මිස ධර්මයට පෙලඹවීමක් නොකල යුතුබව.

    ReplyDelete
    Replies
    1. ලූණු. පොතේ තියන විදියටම දැම්ම. ඒකාලෙ සමහර හාමුදුරුවරු පෙලඹිලා ඉදල තියනව ළූනු-ලුණු වගේ දේවල් තියාගෙන කෑමත් එක්ක ගන්න. බුදු හාමුදුරුවො අන්න ඒකයි තහනම් කලේ.

      Delete
  10. Replies
    1. "එල" යනු මා සැදූ වචනයකි. එය "එළ" යන්නෙන් වෙනස්ය.

      ඔබේ ලිපිය මා දිකින විදියට "එල" ලිපියකි. ඒ එළකිරි (එළ) යන සරල සුලබ අර්ථයෙන් නොවේ.

      ඉතා හොඳින් අදහස් ප්‍රකාශකර සකසා ඇති (eloquent) යන අර්ථයෙනි.

      Delete
  11. ඇත්ත තමයි, බෞද්ධ ධර්මය ආරක්ශා කරන්න ඉදිරි පත්වෙන සමහරුන්ගෙ ක්‍රියා දැක්කම හිතෙනව ඔවුන් ඇත්තටම බෞද්ධ ද කියලා, සමහර පංසල් වල ඇසල පෙ‍රැහරට ධාතු කරඬුව ඇතා පිට වඩම්මන්නෙත් මැරවරයන්, අන්‍යා ආගමිකයන්, දෙශපාලකයන්, කවදාවත් නියම බෞද්ධ පිලිවෙතකට ඉන්න දුප්පත් සිල්වත් කෙනෙක්ට ධාතු කරඬුව වඩම්මන්න දීලා තියෙනවද?...... නියම ලිපියක්

    ReplyDelete
    Replies
    1. තැන්කූ. ඇත්ත. එහෙම උනා කියල අපි බෞද්ධ නම් සැලෙන්න හොදත් නෑ. මොකද බෞද්ධකම තියෙන්නෙ පන්සලේවත් කරඩුවෙවත් ඇතා පිටවත් නොවන නිසා. ඒ දේවල් යම් පමනකට අවශ්‍ය තමයි. ඒත් මූලිකය නෙවේ.

      Delete
  12. ඉතාම වටිනා ලිපියක් රාජ්. මේ විදියට බොහොමයක් විනය නීති පැනවුනේ කිසියම් සිදුවීමක් මුල්කර ගෙන බව අහලා තියනවා. අන්ධානුකරණයට යොමු නොකර, සහේතුකව හා තර්කානුකූලව විනය නීති හා ශික්ෂා පද පනවා ඇති නිසාත්, එහි ඇති නම්යශීලී බව නිසාත් බුදු දහම අනෙකුත් ආගම් අතර විශේෂයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අගය කිරීම ගැන. බුදුන් වහන්සේ ඒ ඒ අවස්ථා බලල තමයි මේ සියල්ල කරල තියෙන්නෙ. අද කාලෙ නම් මේ විදියට සිද්ධ වෙයිද? බුද්ධාගමේ තියන විශේෂම දේ තමයි එක එක අන්ත වලට කොටු නොවී මධ්‍ය ස්ථානයක සිටීම. මොන කාරණය සම්බන්ධයෙන් උනත් බුදුහාමුදුරුවො අන්තගාමී වෙලා නෑ.

      Delete
  13. ඔබ අවසානයේ අසා ඇති පැණයට අපි නම් දෙන පිළිතුර, ජාතක කතා යනු බෞද්ධ සාහිත්‍ය අංගයක් නිසා එහි දැක්වෙන කාරනා අතිශය සත්‍ය ලෙස නොගතයුතුය යන්නයි.අට්ට කථා ආදිය ගත්තද එහි අටුවාචාරින්ගේ අදහස්ද තිබිය හැකි නිසා ත්‍රිපිටක කාරණා ම නිරවුල්ව වටහා ගෙන ධර්ම විනය ගලපා ධාරණය කරගැනිම වඩා උචිත බවයි.

    ගයාන් චානුක මහතාගේ ග්‍රන්ථ රැසක් අපිද කියවා ඇත්තෙමු. ඒවා සරළ ලෙස විග්‍රහ කර ඇති නිසා තේරුම් ගැනිමට ද පහසුය.

    බුදු දහම රකින්නට පෙරට එන අයගෙන් අපි නම් ඉල්ලාසිටින්නේ සියල්ලට පෙර තම තමන් පන්සිල් රැක ඒ සදහා පූර්වාදර්ශ සපයන ලෙසයි.

    ඔබේ ලිපිය ඉතාම වටිනා එකකි. දිගටම මෙවන් ලිපි ලියනලෙස ඉල්ලා සිටිමු.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි. එක් එක් බෞද්ධයන් (සංග්‍යා වහන්සේලාද ඇතුළුව) වෙන වෙනම සීලය ආරක්ෂා කරනව නම් මීට වඩා සේවයක් වෙයි කියන එකයි මුලින්ම මතුකලේ. බුදුහාමුදුරුවො වැඩසිටි කාලෙ සිය දහස් ගනනක් පැවිදි උනෙත් බෞද්ධයන් උනෙත් බුදුන්ගේ සහ සංඝයාගේ තිබුනු ශිලාදී ගුණ පිලිබද පැහැදීම නිසා. මේ කාරණාව සර්ව කාලීනයි.

      Delete
  14. ඔහොම කතාවක් ඇහුවමයි රාජ්. ඇත්තටම පොතක තියෙනවද ඔහොම.

    හාමුදුරුවන්ගෙන් අහල බලන්නම්..

    ලිපිය උතුම්..

    ජය !

    ReplyDelete
    Replies
    1. ඔව්. තියනව. සැරියුත් හාමුදුරුවො කැවුම් නොවලදා සිටීම ගැන සංඝ්‍යා වහන්සේල කතාවුනා. සැරියුත් හාමුදුරුවො ගත්ත තීරණයක් වෙනස් නොවන බව සදහන් කරමින් තමයි ඔය ජාතක කතාව දේශනා කලා කියන්නෙ. ජාතක කතා පොත බලන්න.

      Delete
  15. සමාවෙන්න ඒත් මට ඔබේ ලිපිය කියවල ගන්න ඕන ප්‍රධාන අරමුණක් හම්බුනේ නෑ.
    කොහොම වුනත් විකට කතා කුණුහරුප නැතුව බ්ලොග් වල මේවා ලියන එක ගැන සතුටුයි.
    ඒත් ලීවට නම් කමක් නෑ, තමන්ගේ මතවාද දානවිට පරිස්සම් වෙන්ට.
    ත්‍රිපිටකයම මූලාශ්‍ර කරගන්න,
    ලුහුණු කියන්නෙ ළුණු (ලූණු ) වලට.
    බුදු රජාණන් වහන්සේ හෝ රහතන් වහන්සේලාගේ සිත් අපෙ ඒවා වගේ නෙවේ,
    ඒ නිසා විග්‍රහය පරිස්සමින්.
    ඔබ කී කතාව හරි, දහමේ හැසිරෙන කෙනෙක් ධර්මය රකින්ට යෑම නිශ්ඵල දෙයක්.
    එයින් සමහර විට අනුන්ට වැඩක් වෙයි දහම රැකගන්ටත් දායක වෙයි,
    ඒත් ඔහුට වෙන වැඩක් නෑ.
    ඒත් මේ බ්ලොග් වල ඉන්න අය ගොඩක් කරන කැත වැඩක් තියනවා,
    ඒ අයට ජාතිය ආගම ගැන කැක්කුමකුත් නෑ,
    ඒත් ඒ කැක්කුම ටිකක් හරි තියන එකෙක් කතා කරාම,
    මාර විදිහේ සාධාරණ දැක්මක් එන්නෙ,
    ඉතින් අපෙ එකාට බැනල අන්‍යාගමිකයො සාධාරණීකරණය කරනවා.
    හොඳම උදාහරණෙ අර ගයාන්ගෙ සිංදුව.

    ReplyDelete
    Replies
    1. කෙලින්ම නොවුනත් මම අදහස් කලේ මෙන්න මේව.
      බුදු දහම තමාට හැකි පමණින් හෝ පිලිපැදීම එය රැකගැනීම සදහා වෙර දැරීමට වඩා උතුම් බව.
      බුදුන් වහන්සේගේ තිබුන නම්‍යශීලී සහ අන්තගාමී නොවන අවස්ථා විස්තර කිරීම.

      බ්ලොග් වලින් මේ සියලු දේ දෙනඑකයි මගේ අරමුණ. විකට කතා-කුණුහරුපත් ඊට ඇතුලත්. ධර්මයම කියන්න ගියොත් ඒක නීරස වෙනව. රාජ්‍යසේවය- දේශපාලනය... මේ හැමදේම තියෙන්න ඕන. අන්තයකට නොවැටී ඉන්නයි මගේ කල්පනාව.

      තමන්ගේ මතවාදය මොකක් උනත් කමක් නෑ. ඒක දාන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ තමයි තමන්ගෙ මතවාදය වැරදියි කියල හිතුන වෙලාවට ඒක වෙනස් කරගන්න නොපැකිලීම.

      ත්‍රිපිටකය කියවා තේරුම්ගන්න අමාරු නිසයි වෙනත් මූලාශ්‍රයක් ගත්තෙ. ඒකෙ තිබුන මුල් මූලාශ්‍රය සදහන් කලේ යමෙකුට පහසු වෙන්න.

      රහතුන්ගෙ සිත් වෙනස් ඇති අපිට වඩා. අන්තිමට ප්‍රශ්නෙකින් අවසන් කලේ(විග්‍රහයකට නොගොස්) ඒකයි.

      බ්ලොග් ලියන්නෙත් සාමාන්‍ය සමාජයේ ඉන්න කොටසක්. එක එක අදහස් එයාල ලග තියනව. සාමාන්‍යයෙන් කවර හෝ ධර්මයකට සම්බන්ධ කොටස් සිංදු වගේ දේවලට යොදාගැනීම මාත් අනුමත කරන්නෙත් නෑ. එහෙම උනා කියල එයාල එක්ක පැටලෙන්නත් ඕන නෑ කියන මතයේයි මම ඉන්නෙ.
      ස්තුතියි අදහස් දැකිවීම ගැන.

      Delete
  16. වැදගත් කරුණු කීපයක්ම තිබුනා.. නොදන්න ඒවත් එහෙමයි.. අර අන්තිමට කියපු දේ ගැනනම් මම අද තමයි දැන ගත්තේ..

    ReplyDelete
  17. හරිම ආසාවෙන් කියවපු ලිපියක්.මේකේ ලින්ක් එකත් සේව් කරගත්තා..සැරින් සැරේට නැවත නැවත බලන්න ඕන නිසාම

    ReplyDelete
  18. ගොඩක් වටින නොදන්න දැනුම ලබාදුන්නාට බොහොම ස්තුතියි... මටත් "ලුහුණු" කියන්නෙ මොකක්ඩ කියන ප්‍රශ්නෙ තිබුනා. ඒත් දැන් උත්තරේ දැනගත්තා...

    ReplyDelete
  19. වටින ලිපියක් අයියෙ... ගොඩක් දෙනා අද අනිත් අයට ඇඟිල්ල දික් කරන්නේ ඊට වඩා වැරදි තමන් ළඟ තියාගෙනයි. ඒ වගේ අය තමයි බුදුදහම ආරක්ෂා කරන්න හදන්නේ. කොහොමත් තමන් හරියට ඉන්නව නම් ප්‍රශ්න හරි අඩුයි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. තමන් පිලි නොපදින දහමක් බලෙන් අනුන්ගේ ඇගේ ගැහීමෙන් වෙන්නෙ ධර්මය පිරිහීම.

      Delete
  20. good post ..........මල්ලි ඔයාලා මේ වගේ ලියන එක ගැන අපිට ආඩම්බරයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියේ. ඔයාලගෙ සයිට් එක ගැන දන්නෙ අදයි.

      Delete
  21. නියමය.... එකගයි... 100%

    ReplyDelete
  22. බෞද්ධ නොවන නිසා මුකුත් කියන්න බැහැ. මටත් මුලින්ම තිබ්බ වාක්‍යය තමයි හිතට ගියේ.

    ReplyDelete
  23. අගනා ලිපියක්. අර කැවුම් කතාව පස්සේ එකතු වුවක් විය හැකියි. අනෙක් අතට රහත් හිමි නමකට කැවුම් නොවැලඳුවා කියා ප්‍රශ්නයක් නැති හන්දා එහෙම තීරනයක් ගත්තද දන්නෙත් නෑ.

    රාජ් හොඳට කියවන කෙනෙක් බව පේනවා හොයාගෙන තියන කරුනුවලින්. බ්ලොග් ලියන්ට ගියාම අතපහු වෙන දෙයක් තමා පොත්පත් කියවීම.

    ReplyDelete
    Replies
    1. දැන් එච්චරම නැතත් ඉස්සර කියෙව්ව. ස්තුතියි ආවට.

      Delete
  24. අනිවාර්යෙන්ම බෞද්ධයෙක් කියන්නෙ හදවතින්,ක්‍රියාවෙන් බෞද්ධ කම රකින කෙනෙකුට මිසක් උප්පැන්නේ බෞද්ධ කෙනෙකුට නෙවෙයි...

    ReplyDelete
  25. Excellent Article. All the best!

    ReplyDelete
  26. හොඳ ලිපියක්.

    ලුහුණු කියන්නේ මොනවද?

    අර අන්තිම කතාවනම් ප්‍රලාපයක් කියලා මට හිතෙනවා :)

    ආ අනිත් එක "ධර්ම සංවේගය" කියන්නේ මොකක්ද? රහතන් වහන්සේ කෙනෙක්ට සංවේගය වගේ දේවල් ඇති වෙනවද?

    ReplyDelete
    Replies
    1. ළූණු. කොමෙන්ටු බැලුවනං දැනගන්න තිබුන. ධර්ම සංවේගය කියන්නෙ සංවේගයම නෙවේ. ඒ වගේ දෙයක් තමයි. උදාහරණයක් විදියට රාහුල හාමුදුරුවන්ට වැසිකිලියක් තුල රැය ගතකිරීමට සිදුවුනා. ඒ බව දැනගත් බුදුන් වහන්සේට ධර්ම සංවේගය ඇතිවුනා.

      Delete
  27. අමාරුවෙන් අමාරුවෙන් කියවල තේරුම් ගත්තෙ....හොඳ ලිපියක්..මම ජාතක කතා වලට ගොඩාක් ආශයි ආත්තම්ම කියල දෙනකොට හරිම ලස්සනයි.....ඒ ඉස්සර...දැන් අපි ඉන්නෙ බෞද්ධ අය නැති පැත්තක.......

    ReplyDelete
  28. නියම ලිපියක් අයියේ. තුන් පාරක් විතර කියෙව්වා :පි
    බුදු දහම ගැන වැඩියේ දන්නේ නැතෝ

    ReplyDelete
  29. බුදුන් ගේ ශ්‍රී ශරීරයේ ලේ සෙලවීම ආනන්තර්ය පාපකර්මයක් බව අපි දනිමු. බුදු දහමේ ප්‍රාණය වන් 'ධර්මය' ඝාතනය කිරීම කුමන ආකාරයේ පවක් දැයි නොදනිමි. අද අපි දකින අන්තවාදී බෞද්ධයින් බොහොමයක් කරන්නේ එයයි.

    ඔබට බුදුන් දැකීමට අවශ්‍යය නම් කළ යුත්තේ බුදුන් දෙසූ නිර්මල බුදු දහම පිළිපැදීමයි. පුහු අන්තවාදය අත් හැර බුදු දහම දෙස හැරී බලන්න. මැර දේශප්‍රේමීන් අනුගමනය කිරීම වෙනුවට 'මධ්‍යම ප්‍රතිපදාව' අනුගමනය කරන්න. අන්‍ය ආගමිකයින්ට ගහන්න යනවා වෙනුවට 'අරි අට මගෙහි' යන්න.

    අන්න එතකොට ඔබට මියෙන දවසටත් සතුටු වෙන්න පුලුවන් බුදු දහමේ චිරස්ථිතිය වෙනුවෙන් යමක් කලා කියල.

    බොහොම වටිනා ලිපියක් කියෙව්වා. කියවල ටිකක් දවස් වුනත් අදහස බෙදා හදා ගන්න බැරි උනා. දැන් හරි මේ අවස්තාව ලැබුනු එක ගැන සතුටුයි.

    Modern Patriot

    ReplyDelete